MN 03-01-03. කින්ති සූත්‍රය.

භාග්‍යවතුන් වහන්සේ සිය බුද්ධ කෘත්‍යා නිම කරමින් කුසිනාරාවෙදී පරිනිර්වාණය කරන්නට පෙර අප කෙරෙහි මහා අනුකම්පාවෙන් පුරා සතලිස් පස් වසක් දේශනා කල ධර්මය කුළු ගන්වමින් මේ සාසනයේ පරමාර්ථය වන විමුක්තිය ලබන්නට, සසරින් මිදෙන්නට ඇවැසි සියලු ධර්මයන් දේශනා කර ඇති බවත්, දැන් භික්ෂු සංඝයාගේ යුතුකම හා වගකීම වන්නේ ඒ ධර්ම පිළිවෙතෙහි නොඅලස්ව, අප්‍රමාදව හැසිරීම බවත් මේ සුත්‍රයෙන් වදාළ සේක. සංඝයාගේ අසමගිය ඇතිවුවහොත් පිලිවෙත් පිරීම නොවන බව හා, එකමුතුව එක්සත්ව සුහදව, වාද දුරුකර ගන්නට මාර්ගයද මේ සුත්‍රයේ දක්වා වදාළ සේක. අද, හෙළ සඟ පරපුරේ භික්ෂුන් වහන්සේලා කල්ලි ගැසී අනුන්ට දොස් කියමින් එකිනෙකා ගරහමින් කල් නොගෙවා මේ බුද්ධානුසාසනාව අනුව පිළිවෙත් පුරන සේක්වා.

§ 1. මා විසින් මෙසේ අසනලදී.
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ කුසිනාරා නුවර “බලිහරණ” නම් වන ලැහැබෙහි වැඩවසන සේක. එකල්හි දිනක් භාග්‍යවතුන් වහන්සේ, ‘මහණෙනි,’ කියා භික්ෂූන්ට කථා කළසේක. ‘පින්වතුන් වහන්සැයි’ ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළේය.

§ 2. “මහණෙනි, තොපට මා ගැන කෙසේ සිත් සිතන්නේද ?
‘ශ්‍රමණ ගෞතමයන් පරිශ්කාර ලබාගැනීමේ අරමුණෙන් ධර්මය දේශනා කරන්නේද ,
ශ්‍රමණ ගෞතමයන් ආහාර දාන ලබා ගැනීම පිණිස ධර්මය දේශනා කරන්නේද?
ශ්‍රමණ ගෞතම යන් සෙනසුන් නොහොත් ඉන්නට පන්සලක් ලබාගැනීමේ අදහසින් ධර්මය දේශනා කරන්නේද, ශ්‍රමණ ගෞතමයන් මතු භවයක සැප ලැබීම පිණිස ධර්මය දේශනා කරන්නේද?’ කියායි.

[969: අද මෙන්ම එදාද බොහෝ මිනිසුන් ශ්‍රමණ බවට පැමිණියේ මේ දැක්වූ කාරනා සඳහාය. ශ්‍රමනයන්, පුජකයන් ගිහියනට වඩා විශේෂ මනුෂ්‍ය කොටසකි, ඒ අයට ගිහියන් සිව් පසයෙන් සැලකිය යුතුය යන්න එදාද මහජනතාව අතර වූ පිළිගැනීම විය. ඒ නිසාම බොහෝ අලස මිනිසුන් පහසුවෙන් දිවි රැක ගැන්මට ශ්‍රමණ වෙස් ගත්හ. ]

“ස්වාමීනි, ‘ අප එසේ නොසිතමු. භාග්‍යවතුන් වහන්සේ ධර්මය දේශනා කරන්නේ පිරිකර ලබන්නට , පිණ්ඩපාතය ලබන්නට, සෙනසුන් ලබන්නට හෝ මතු දිව්‍යය, බ්‍රහ්ම භවයක් පිණිස නොවන බව අප දනිමු.”

“මහණෙනි, ඒ හේතු නිසා නොවේ නම් මහණෙනි, මා කුමන අරමුණකින් ධර්මය දේශනා කරන්නේදැයි තොප සිතන්නේද ?”

§5. “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ , අප කෙරෙහි අනුකම්පාවෙන් , අපගේ යහපත පිණිසම ධර්මය දේශනා කරන්නේයැයි අප සිතමු.

§3. “මහණෙනි, එසේ තොප මා කෙරෙහි ශ්‍රද්ධාව , විශ්වාසය ඇත්තේ නම්, තොපගේ සංසාර විමුක්තිය පිණිස දැන ගන්නට අවශ්‍ය සියල්ල මා දේශනා කර ඇති බව දත යුතුවන්නේය. මා විසින් අනෙකෙකුගේ ආධාරයක් නැතිව මා විසින්ම අවබෝධකොට ප්‍රත්‍යක්ෂ කොට ගත් මේ ධර්මයන් මා උගන්වා දෙන ලදී.

ඒ කවරහුද යත් ,
සතර සතිපට්ඨානයෝය,
සතර සම්‍යක් ප්‍රධානයෝය,
සතර ඍද්ධි පාදයෝය,
පඤ්චෙන්ද්‍රියෝය,
පඤ්චබලයෝය,
සප්ත බෞද්ධ්‍යංගයෝය,
ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගයෝය

යන මේවායි. නුඹලා සියල්ලන් විසින් එක්සත්ව , එකිනෙකා කෙරෙහි ගෞරවයෙන් හා විශ්වාසයෙන් යුතුව වාද විවාද නොකොට මෙසේ මා දේශනා කල ධර්මයෙන්හි පිළිපැදිය යුතුය. හැසිරිය යුතුය.

§ 4 . “මහණෙනි, සමගිව, සතුටුව, වාද විවාද නොකරමින්, පිළිවෙත් පුරන්නාවූ තොප අතර සමහර විටෙක සමහර ගැඹුරු ධර්ම කාරනා970 පිළිබඳව එකඟත්වයක් නොවන්නට පිළිවන. යම් භික්ෂුවක් අනෙක් භික්ෂුන්ට වඩා වෙනස් අර්ථයක් වටහාගන්නට ඉඩ ඇත.

[970: අභිධර්මය ලෙස පාලි සුත්‍රයෙහි සඳහන්ව ඇති දෙය., අද අභිධර්ම පිටකය ලෙස ධර්ම කොට්ඨාසය නොව මෙහි කලින් සඳහන් කල සත් තිස් බෝධි පාක්ෂික ධර්මයන් හි අඩංගු ගම්භිර ධර්ම කොටස් බව අටුවාව කියයි.]

මෙසේ වෙනස් වාද ඇතිවීම කාරනා දෙකක් නිසා විය හැක. එනම්
1. අර්ථය : ධර්ම කොටසක අර්ථය, අදහස වෙනස් ලෙස තේරුම් ගන්නට හැක.
2. ව්‍යංජන : ඇතැම් ධර්ම කොටස් ඉදිරිපත් කිරීමේදී පාවිච්චිකරන වචන වල වෙනසක් නිසා මේ දෙආකාර වෙනස්කම් නිසා වාද ඇති විය හැක.

භික්ෂූහු දෙදෙනෙක් අතර මෙසේ අර්ථය හා ව්‍යංජන යන දෙකම නිසා වාදයක් වූ කල ඉන් භික්ෂුව සුවච පැවතුම් ඇති කලහකාරී ස්වභාව නැති භික්ෂුව වෙත එළඹ මෙසේ කිව යුතුය.
“ආයුෂ්මතුන් ගේ ධර්ම විග්‍රහය, අර්ථ වශයෙන් වෙනස්ය. ව්‍යංජන හෙවත් වචන වශයෙන් ද වෙනස්ය. එසේ හෙයින් මේ ධර්ම කාරණය මේ ආකාරයෙන් කිවහොත් දේශනා කලහොත් එහි අර්ථය පැහැදිලි කිරීම පහසු වෙයි. මේ පිළිබඳව වාද කිරීම නොහොබී. මින් මතු අපි මේ කාරණය මේ ආකාරයට ව්‍යංජන සකසා , නිරවද්‍ය අර්ථය මතු කෙරෙන සේ දේශනා කිරීම සුදුසුය,”
කියා කියයුතු වන්නේය.

එවිට අනික් පක්ෂයෙහි භික්ෂූව සාවද්‍ය ලෙස ධර්මය වටහාගත් ආකාරය දැනගෙන සිය දිශය නිවරද කර ගන්නේය. මෙසේ ධර්මය හා විනයට අනුව සුහදව සාකච්චා කරන්නට සුදුසුය.971

[971: දීඝ නිකායේ 27 වන සුත්‍රය වන පාසාදික සුත්‍රයේ 18 වන චෙදයේද මේ පිළිවෙත දක්වා ඇත.]

§ 6. යම් විටෙක අනෙක් භික්ෂුවගේ ධර්ම විග්‍රහය ව්‍යංජන වශයෙන් නිවැරදි වුවත්, එනම් හරි වචන පාවිච්චි කරමින් ඉදිරිපත් කලත්, අර්ථ වශයෙන් සාවද්‍ය නම් , ඒ අතරෙහි යම් භික්ෂුවක් ඉතා සුවචයයි හඟින්නහුද, ඔහු වෙත එළඹ මෙසේ කිව යුතුය.
‘ආයුෂ්මතුන්ගේ කීම, ව්‍යඤ්ජන වශයෙන් සම වේය. එනමුත් අර්ථ වශයෙන්ද වෙනස්යයි ආයුෂ්මත්හු මේ ධර්ම කාරණය මෙසේ අර්ථ වශයෙන් දැනගැනීම සුදුසුය. මේ ගැන අපගේ ශාස්තෘන් වහන්සේ මේ මේ සුත්‍රවල දී ද මේ ආකාරයට දේශනා කර ඇත. මේ මේ විනය පටිපදා වලින් ද මේ ආකාරය වඩා සුදුසු බව දක්වා ඇත යයි” සුත්‍ර හා විනය පරිශීලනය කරමින් නිරවද්‍ය අර්ථය ඒ භික්ෂුවට තේරුම් ගන්නට පිළිගන්නට උදව් කල යුතුය. ඒ ආකාරයෙන් දැනගනිව්. විවාදයට නොපැමිණෙත්වා”යි කියයුතු වන්නේය.

§ 7. “ඉදින් එහි තොපට මේ ආයුෂ්මත්වරුන්ගේ කීම අර්ථවශයෙන් නිරවද්‍ය වේ. නමුත් ව්‍යඤ්ජන වශයෙන් සාවද්‍ය යයි සිතයි නම් ඉන් යම් භික්ෂුවක් සුවචයයි හඟින්නාහුද, ඔහු කරා පැමිණ මෙසේ කිව යුතු වන්නේය.

‘ආයුෂ්මත් වරුන්ගේ කීම අර්ථ වශයෙන් නිරවද්‍ය වේ. එනමුත් ව්‍යඤ්ජන වශයෙන් සාවද්‍ය වේ. එය මේ මේ නිසා, අර්ථ වශයෙන් නිරවද්‍ය වේ. එනමුත්, ව්‍යඤ්ජන වශයෙන් (ඉදිරිපත් කල වචන හෝ උදාහරණ ) නොසුදුසු වේ. 972

[972: අද බොහෝ ධර්ම දේශකයන් වහන්සේලා ඉතා ග්‍රාමය වචන යොදා ගෙන හා ලාබ පහත් පෙලේ භාෂාව යොදා ගෙන ධර්ම විග්‍රහ කරනවා අසන්නට පිළිවන. නියම අර්ථය ශ්‍රාවකයාට සන්නයනය කරන්නට ධර්මයේ ගරුත්වය රැකෙන ලෙස භාෂාව හා උපහැරණ ගැනීම වටනේය.]

” ආයුෂ්මත්හු ඒ ආකාරය මෙසේ දැනගනිව්. මේ ව්‍යඤ්ජනය වෙනුවට මෙසේ වෙනස් වචනයක් යෙදීමෙන් ධර්මය වඩාත් පිරි සිදු ලෙස කියා හැකි නොවේද යයි සාකච්චා කරමින් මෙසේද කිව යුතු වන්නේය.
” මේ ව්‍යජන වාදය සුළු කරුණකි. ආයුෂ්මත්හු ස්වල්ප වැදගත්කමක් ඇති ව කාරණයකින් විවාදයට නොපැමිණෙත්වා”යි කියයුතු වන්නේය.

මෙසේ නිවරද කොට ගන්නා ලද්ද නිවරද කොට ගන්නා ලද්ද වශයෙන් දැරිය යුතුයි. වරදවා ගන්නා ලද්ද වරදවා ගන්නා ලද්ද වශයෙන් දැරිය යුතුයි. නිවරද කොට ගන්නා ලද්ද නිවරද කොට ගන්නා ලද්ද වශයෙන් දරා වරදවා ගන්නා ලද්ද වරදවා ගන්නා ලද්ද වශයෙන් දරා, යමක් ධර්මයවේද, යමක් විනය වේද, එය කිය යුතුයි. “

§ 8. ඉදින් තොපට මේ ආයුෂ්මතුන්ලාගේ කීම අර්ථවශයෙන්ද නිරවද්‍ය වේ. ව්‍යඤ්ජන වශයෙන්ද නිරවද්‍ය වේයයි සිතෙන්නේනම්, යම් භික්ෂුවක් සුවචයයි හඟින්නාහුද, ඔහු කරා පැමිණ මෙසේ කිව යුතු වන්නේය.

‘ආයුෂ්මතුන්ලාගේ කීම අර්ථ වශයෙන්ද, නිවැරදි වේ. ව්‍යඤ්ජන වශයෙන්ද නිවැරදි වේ. එනිසා අර්ථයෙනුත් සමාන, ව්‍යඤ්ජනයෙනුත් සමාන, ඒ ධර්ම කාණ්ඩය අපිදු ඒ ආකාරයෙන් දැනගනිමු. ආයුෂ්මත්හු ඒ නිසා විවාදයට නොපැමිණෙත්වායි,’ කියයුතු වන්නේය.

මෙසේ නිවරද කොට ගන්නා ලද්ද නිවැරදි ධර්මය වශයෙන් දැරිය යුතුයි. නිවරද කොට ගන්නා ලද්ද එසේ දරා ඒ ධර්මය සුත්‍ර ධර්මය , විනය අනුව කිය යුතුයි. 973.

[973:- ඉහත චෙදයන්හි සාරාංශය මෙසේ කිව හැක. යම් ධර්මයක් සාවද්‍ය ලෙස වටහා ගත භික්ෂුවක් වේ නම් ඔහුගේ වරද සුහදව ඔහුට පෙන්වාදී ඔහු ට යම් සිත් රිදීමක් වුවද, තමන්ට්ගේ කාලය මිඩංගු කරන්නට හා වෙහෙසක් දරන්නට සිදු වුවද ඔහු නිවැරදි කල යුතු වන්නේය. නමුත් ඔහුව එසේ උත්සාහ කලද නිවැරදි කරන්නට නොහැකි වේනම් ඔහු ගැන තවත් වෙර නොදරා තමන්ගේ උපේක්ඛාව නොසිඳ ගෙන සිටිය යුතු වන්නේය.]

§ 9. “මහණෙනි, කෙසේද යත් එක්ව බඹසර රකිනා අනෙක් ආයුෂ්මතුන් සමග සතුටින්, මිත්‍ර ශීලීව , වාද විවාද නොකරමින් ඉන්නා තොප අතුරෙන් කෙනෙකුට ඇවතක් වන්නේද, ඔහු වරදක් කරන්නේය’යි තොප දක්නේද, ඒ විගස ඔහුට චෝදනා කරන්නට තොප ඉදිරිපත් නොවිය යුතුය. ඔහු ගැන අන්‍යයන්ට කියා ඔහු අපහසුවට පත් නොකළ යුතුය.

§ 10 .”ඒ සබ්‍රහ්මචාරීන්ගේ මේ පිළිවෙත නිසා, ඔහු අකුසලයක් කර ගන්නේය. ඔහුට ඇවතක් සිදුවන්නේය.” කියා තම දකින්නේ නම් හා ඒ ආයුෂ්මතින් ඒ වරද, නොදැන කරන්නේය. ඔහු දැඩිව එය අල්ලාගෙන නැත. ඔහු පහසුවෙන් කෝපයට පත්වෙනසුලු කෙනෙක් නොවේය. කියා තොප දන්නේ නම් පමණක්, ඔහු හා සුහදව කතා කොට ඔහු නිවැරදි කර ගැනීම තොපගේ යුතු කමක් ය.

§ 11 . එක්තරා භික්ෂුවක්හට ඇවතක් වන්නේද, වරද කිරීමක් වන්නේද, මහණෙනි, තොප ඔහුට චෝදනා කිරීමට නොයා යුතුයි. ඒ අනික් භික්ෂුව තරහ ගන්නෙක් ය. මේ කිවහොත් අසන්තෝෂයට පත් වෙන්නේය. එසේ මුත් ඔහු තම මතය අත් නොහරින සේ තදින් නොගන්නෙකි, තම මතය පහසුවෙන් දුරලිය හැක්කෙක් වේය: කියා දන්නේ නම් ‘මටද වෙහෙස නොවන්නේය. අනිකාටද දුකට පැමිණීමක් නොවන්නේය. මට ඒ පුද්ගලයා අකුසලයෙන් නැගිටුවා කුසලයෙහි පිහිටුවන්ට නොහැක්කේයයි’ උකටලී නොවිය යුතුය.

තමනට කාලය මිඩංගු කරන්නට වුවද, තමනට වෙහෙස වුවද, ඔහුට අසතුටක් වුවත්, තරහවක් ඔහුට ඇති වුවත්, ඔහුගේ අකුසල පිළිවෙත වෙනස් කිරීම ඔහුට බොහෝ යහපත පිණිස වන්නේය” යි දැන ඔහුට ඒ කාරනය , කීමට සුදුසු වන්නේය.

§ 12. “මහණෙනි, ඉදින් ‘මට මෙය වෙහෙස පිණිස වන්නේය. නමුත් අනෙක් භික්ෂුව ට දුකක් නොවන්නේය. අනික් භික්ෂුව තරහ ගන්නෙක්, ක්‍රොධ නොකරන්නෙක් වෛර කරන්නෙක් නොවේය. තම මතය තරයේ අල්ලා ගෙන එහි ග්‍රහණය කොට සිටියත්, මට ඔහුට විස්තර වශයෙන් මෙය දක්වා ඔහුගේ මතය වාදය සාවද්‍ය බව, ඔහුට දැක්විය හැකිය. එමගින් ඔහුගේ සාවද්‍ය මතය දුරු කොට ඔහුව අකුසලෙන් මුදවා, කුසලයෙහි පිහිටුවීමට හැකිය” කියා තොප දන්නේ නම්, තොප එසේ කල යුතු වන්නේය.

§ 13. “මහණෙනි, ඉදින් එසේ ඔහුගේ වාදය නිවරදි කරන්නට යාම මටද වෙහෙස පිණිස වන්නේය. අනික් පුද්ගලයාටද දුක් වන්නේය. අන් පුද්ගලයා කිපෙන්නෙක්, බද්ධ වෛර කරන්නෙක්, මතය තරයේ ගන්නෙක්, මතය පහසුවෙන් දුරලිය නොහැක්කෙක් වන්නේ වුවද , ‘මම මේ පුද්ගලයා අකුසලයෙන් නැගිටුවා කුසලයෙහි පිහිටුවන්ට හැක්කේ වෙම් නම්’ මට යම් වෙහෙසීමක් වුවත්, ඔහුට යම් දුකක්වුවත් , මෙය සුලු වූවකි. මම මේ පුද්ගලයා අකුසලයෙන් නැගිටුවා කුසලයෙහි පිහිටුවන්ට හැකිවෙම් නම් එයම මහත් වන්නේය.’ කියා තොප දන්නේ නම් මහණෙනි, ඉදින් මෙසේ කීමට සුදුසුය.

§ 14. “මහණෙනි, ඉදින් මේ ක්‍රියාව මටද වෙහෙස වන්නේය. ඒ භික්ෂුවටද දුක් පිණිස වන්නේය. අනික් භික්ෂුව පහසුවෙන් කිපෙන්නක, වෛර කරන්නෙක, මතය තරයේ ගන්නෙක, මතය පහසුවෙන් දුරලිය නොහැක්කෙක. මම කෙතරම් කීවද, මේ පුද්ගලයා අකුසලයෙන් නැගිටුවා කුසලයෙහි පිහිටුවන්ට නොහැකි වෙති”යි, දන්නේද, මහණෙනි, මෙබඳු පුද්ගලයා කෙරෙහි උපෙක්ෂාව නොයික්මවිය යුතුය.

§ 15. “මහණෙනි, සමගිව සතුටින් , වාද විවාද නොකරමින් පිළිවෙත් පුරන්නාවූ (ධර්ම මාර්ගයෙහි යන්නාවූ), තොප අතර සමහර විටෙක, සිත් දූෂ්‍ය කරන්නාවූ අමනාපය ඇති කරන්නාවූ, නොසතුට නොඇල්ම ඇති කරන්නාවූ, සමගිය නැති කරන්නාවූ, නොමනා වචන කියනවුන් ඉන්නට හැක.

එවිට ඒ භික්ෂූන් අතුරෙන් යම් භික්ෂුවක් ඉතා සුවචයයි හඟින්නහුද, ඔහු කරා පැමිණ, ‘ඇවැත්නි, සමගිව සතුටින්, වාද විවාද නොකරමින් දහම් පිළිවෙත් පුරන්නාවූ , අප අතරෙහි සිත් දූෂ්‍ය කරන්නාවූ, අමනාප ඇතිකරන්නාවූ, නොසතුට ඇතිකරන්නාවූ, නොමනා වචන දොඩන භික්ෂුන් ඇත්තේය” යි කිය යුතුය.

“මහණෙනි, එසේ පැහැදිලිව මනාකොට ප්‍රකාශ කරන්නාවූ භික්ෂුව මෙසේද ප්‍රකාශ කරන්නේය. ‘ඇවැත්නි, සමගිව සතුටින්, වාද විවාද නොකරමින්පිළිවෙත් පුරන්නාවූ , අප අතරෙහි සිත් දූෂ්‍ය කරන්නාවූ, අමනාප ඇතිකරන්නාවූ, නොසතුට ඇතිකරන්නාවූ, නොමනා වචන දොඩන භික්ෂුන් ඇත්තේය’ යි , අප ශාස්තෘන් වහන්සේ දන්නේ නම් එය ගරහන්නේය.

‘ඇවැත්නි, මේ අමනාපයන් සිත් ඇතිව කොලාහල කිරීම දුරු නොකොට නිවණ ප්‍රත්‍යක්ෂ කිරීම කල හැක්කේදැයි ඇසිය යුතුය. මහණෙනි, මනාකොට ප්‍රකාශ කරන්නාවූ භික්ෂුව මෙසේ ප්‍රකාශ කරන්නේය.

‘ඇවැත්නි, මේ කොලාහල කිරීම දුරු නොකොට නිවණ ප්‍රත්‍යක්ෂ නොකරන්නේය.’

§ 16. එවිට , අනික් පක්ෂයෙහි භික්ෂූන්ගෙන් යම් භික්ෂුවක් ඉතා සුවචයයි හඟින්නාහුද, ඔහු කරා පැමිණ ‘ඇවැත්නි, මෙසේ අසමගිව දුෂ්‍ය සිති ඉඳීම අප ශාස්තෘන් වහන්සේ ඉවසන්නේදැ”යි ඇසිය යුතුය. ඒ භික්ෂුව එය ශාස්තෘන් වහන්සේ නොපිළිගන්නා බව පිලිගත්විට මෙසේ ඇසිය යුතුය. ඉදින් මෙසේ අසමගිව, අසන්තෝෂයෙන් අපට පිළිවෙත් පුරා විමුක්තිය ලබා ගන්නට හැක්කේ දැ”යි ඇසිය යුතුය.
“නැත , ආයුෂ්මතුන් එසේ අසමගියෙන්, දුෂ්‍ය සිති ඉන්නා ශ්‍රමනයනට විමුක්තිය ලබන්නට නොහැකි ය”

§ 17. “මහණෙනි, ඉදින් ඒ භික්ෂුවගෙන් අනික් භික්ෂුවක් ආයුෂ්මතුන් විසින් අපගේ මේ භික්ෂූහු අකුසලයෙන් නැගිටුවා කුසලයෙහි පිහිටුවන ලද්දාහුදැයි අසන්නේ නම්, මහණෙනි, මනාකොට ප්‍රකාශ කරන්නාවූ භික්ෂුව මෙසේ ප්‍රකාශ කරන්නේය.

‘ඇවැත්නි, මම භාග්‍යවතුන් වහන්සේ වෙත ගීයෙමි. මට භාග්‍යවතුන් වහන්සේ ධර්මය දේශනා කළසේක.’ මම ඒ ධර්මය අසා ඒ භික්ෂූන්ට ඒ ධර්මය අවබෝධ කරවීමි. දැන් ඒ භික්ෂුහු ඒ ධර්මය අසා අකුසලයෙන් වෙන්හු වුවාහුය. කුසලයෙහි පිහිටියාහුය”, යනුවෙනි.

“මහණෙනි, මෙසේ ප්‍රකාශ කරන්නාවූ භික්ෂුව, තමා උසස් කොට නොහඟවයි. අනුන් පහත් යයි නොපෙන්වයි. ධර්මයට අනුකූල වූවක් ම ප්‍රකාශ කරයි. කරුණු සහිතවූ අනික් කිසිවාදයක් හෝ අනුවාදයක් හෝ (මේ පුද්ගලයාට) ගැරහිය යුතු යයි යන මතයකට කිසිවෙක් නොපැමිණෙන්නේය.

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළේය.
සතුටු සිත් ඇත්තාවූ ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ වචනය සතුටින් පිළිගත්තාහුය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.