ආහාර වර්ගය
1. ආහාර සූත්‍රය 2. ඵග්ගුන සූත්‍රය 3. ශ්‍රමණ බ්‍රාහ්මණ සූත්‍රය-1 4. ශ්‍රමණ බ්‍රාහ්මණ සූත්‍රය- 25. කාත්‍යායන ගෝත්‍ර සූත්‍රය 6. ධර්ම කථික සූත්‍රය 7. අචේල කස්සප සූත්‍රය 8. තිම්බරුක සූත්‍රය 9. බාලපණ්ඩිත සූත්‍රය 10. ප්‍රත්‍යය සූත්‍රය
SN 02-01-02-01. ආහාර සූත්‍රය
පුජ්‍ය පියදස්සි මහා ස්වාමින්වහන්සේ සතර ආහාර ගැන
§ 1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනියි’ කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
§ 2. මහණෙනි, උපන් සත්වයන්ගේ පැවැත්ම පිණිසද, උපදිමින් සිටින සත්වයින්ට උපකාරය පිණිසද පවත්නාවූ ආහාර (හේතු) සතරක් වෙත්. ඒ ආහාර සතර මොනවාද? (i).මහත්වූ හෝ ඉතා කුඩාවූ හෝ කබලිංකාරාහරය (පිඬුකොට වළඳන ආහාරය) ද (ii). දෙවැනිවූ එස්සාහාරයද (iii) තුන්වැනිවූ මනොසංචෙතනාහාරයද (iv) සතරවැනිවූ විඤ්ඤාණාහාරයද යන මේ සතරයි.
මහණෙනි, උපන් සත්වයින්ගේ පැවැත්ම පිණිසද, උපදිමින් සිටින්නාවූ සත්වයන්ට උපකාරය පිණිසද මේ සතර ආහාරයෝ පවතිත්.
§3. “මහණෙනි මේ සතර ආහාරයෝ කුමක් මුල්කොට ඇත්තාහුද? කුමක් හේතුකොට ඇත්තාහුද? කුමක් උප්පත්තිකොට ඇත්තාහුද? කුමක් ප්‍රභවකොට ඇත්තාහුද?
මේ සතර ආහාරයෝ තණ්හාව මුල්කොට ඇත්තාහ. තණ්හාව හේතුකොට ඇත්තාහ. තණ්හාව උප්පත්තිකොට ඇත්තාහ. තණ්හාව ප්‍රභවකොට ඇත්තාහ.
§4. “මහණෙනි, මේ තණ්හාව කුමක් මුල්කොට ඇත්තේද? කුමක් හේතුකොට ඇත්තේද? කුමක් උප්පත්ති කොට ඇත්තේද? කුමක් ප්‍රභවකොට ඇත්තේද?
තණ්හාව වින්දනය මුල්කොට ඇත්තේය. විඳීම හේතුකොට ඇත්තේය. විඳීම උප්පත්තිකොට ඇත්තේය. විඳීම ප්‍රභවකොට ඇත්තේය.
§ 5.“මහණෙනි, වින්දනය කුමක් මුල්කොට ඇත්තේද? කුමක් හේතුකොට ඇත්තේද? කුමක් උප්පත්ති කොට ඇත්තේද? කුමක් ප්‍රභවකොට ඇත්තේද?
වේදනාව ස්පර්ශය මුල්කොට ඇත්තේය. ස්පර්ශය හේතුකොට ඇත්තේය. ස්පර්ශය උප්පත්තිකොට ඇත්තේය. ස්පර්ශය ප්‍රභවකොට ඇත්තේය.
§ 6. “මහණෙනි, මේ ස්පර්ශය කුමක් මුල්කොට ඇත්තේද? කුමක් හේතුකොට ඇත්තේද? කුමක් උප්පත්ති කොට ඇත්තේද? කුමක් ප්‍රභවකොට ඇත්තේද? ස්පර්ශය සළායතනය න් මුල්කොට ඇත්තේය. සළායතන හේතුකොට ඇත්තේය. සළායතන උප්පත්තිකොට ඇත්තේය. සළායතන ප්‍රභවකොට ඇත්තේය.
§ 7. “මහණෙනි, මේ සළායතන කුමක් මුල් කොට ඇත්තේද? කුමක් හේතුකොට ඇත්තේද? කුමක් උප්පත්තිකොට ඇත්තේද? කුමක් ප්‍රභවකොට ඇත්තේද? සළායතනයන් නාමරූප මුල්කොට ඇත්තේය. නාමරූප හේතුකොට ඇත්තේය. නාමරූප උප්පත්තිකොට ඇත්තේය. නාමරූප ප්‍රභවකොට ඇත්තේය
.§ 8. “මහණෙනි මේ නාමරූප කුමක් හේතු කොට ඇත්තේද? කුමක් උප්පත්තිකොට ඇත්තේද? කුමක් ප්‍රභවකොට ඇත්තේද? නාමරූපය විඤ්ඤාණය මුල්කොට ඇත්තේය. විඤ්ඤාණය හේතුකොට ඇත්තේය. විඤ්ඤාණය උප්පත්තිකොට ඇත්තේය විඤ්ඤාණය ප්‍රභවකොට ඇත්තේය.
§ 9. “මහණෙනි, මේ විඤ්ඤාණය කුමක් මුල් කොට ඇත්තේද? කුමක් හේතුකොට ඇත්තේද? කුමක් උප්පත්තිකොට ඇත්තේද? කුමක් ප්‍රභවකොට ඇත්තේද? විඤ්ඤාණය සංස්කාර මුල්කොට ඇත්තේය. සංස්කාර හේතුකොට ඇත්තේය. සංස්කාර උප්පත්තිකොට ඇත්තේය. සංස්කාර ප්‍රභවකොට ඇත්තේය.
§ 10. “මහණෙනි, මේ සංස්කාර කුමක් මුල්කොට ඇත්තේද? කුමක් හේතුකොට ඇත්තේද? කුමක් උප්පත්ති කොට ඇත්තේද? කුමක් ප්‍රභවකොට ඇත්තේද? සංස්කාර අවිද්‍යාව මුල්කොට ඇත්තේය. අවිද්‍යාව හේතුකොට ඇත්තේය. අවිද්‍යාව උප්පත්තිකොට ඇත්තේය. අවිද්‍යාව ප්‍රභවකොට ඇත්තේය.
§11. “මහණෙනි, මෙසේ අවිද්‍යාව නිසා සංස්කාරයෝ ඇතිවෙත්. සංස්කාරයන් නිසා විඤ්ඤාණය ඇතිවේ. විඤ්ඤාණය නිසා නාමරූප ඇතිවේ. නාමරූප නිසා සළායතන ඇතිවේ. සළායතන නිසා ස්පර්ශය ඇතිවේ. ස්පර්ශය නිසා වේදනාව ඇතිවේ. වේදනාව නිසා තණ්හාව ඇතිවේ. තණ්හාව නිසා උපාදානය ඇතිවේ.
[උපාදාන විස්තර කියවන්න HERE]
උපාදානය නිසා භවය ඇතිවේ. භවය නිසා (ජාතිය) ඉපදීම ඇතිවේ. ඉපදීම (ජාතිය) නිසා ජරා, මරණද, ශෝකවීම්, හැඬීම්, දුක්වීම්, දොම්නස්වීම් සහ වැළපීම් ඇතිවෙත්. මෙසේ මේ සියලු දුක් සමූහයාගේ ඇතිවීම වෙයි.
§ 12. “අවිද්‍යාව මුළුමනින් නැතිවීමෙන් සංස්කාරයන්ගේ නැතිවීම වේ. සංස්කාරයන් මුළුමනින් නැතිවීමෙන් විඤ්ඤාණය නැතිවේ. විඤ්ඤාණය නැතිවීමෙන් නාමරූප නැතිවෙයි. නාමරූප නැතිවීමෙන් සළායතන නැතිවෙයි. සළායතන නැතිවීමෙන් ස්පර්ශය නැතිවෙයි. ස්පර්ශය නැතිවීමෙන් වේදනාව නැතිවෙයි. වේදනාව නැතිවීමෙන් තණ්හාව නැතිවෙයි. තණ්හාව නැතිවීමෙන් උපාදානය නැතිවෙයි. උපාදානය නැතිවීමෙන් භවය නැතිවෙයි. භවය නැතිවීමෙන් ජාතිය (උප්පත්තිය) නැතිවෙයි. ජාතිය (උප්පත්තිය) නැතිවීමෙන් ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ නැතිවෙත්. මෙසේ සියලු දුක් සමූහයාගේ නැතිවීම වෙයි.
(පළමුවන ආහාර සූත්‍රය නිමි.)
[අට්ඨාකතා ආහාර සුත්‍ර වර්ණනාව :- ආහාර වර්ගයේ පළමු සූත්‍රයේ “ආහාරා” යනු ප්‍රත්‍යයයි. හේතුප්‍රත්‍යයෙන් තමඵලය ගෙනයන්නේ යන අරුතින් (ආහාරන්තීති) “ආහාරා” නම් වේ. “භූතානං වා සත්තානං” යනාදියෙහි “භූතා” යනු උපන්නා වූ, ඉපදුනා වූ යන අර්ථයයි. “සම්භවෙසිනො” යනු යමෙක් උපතක්, ජාතියක්, ඉපදීමක් සොයත් ද ගවේෂණය කරත් ද ඔවුහුය. එහි සතර යෝනිවල අණ්ඩජ හා ජලාබුජ සත්ත්වයෝ යම්තාක් කල් බිත්තර කටුව හෝ ගර්භාෂය නොබිඳිත්ද ඒ තාක් ‘සම්භවේසී’ නම් වෙති. බිත්තරයත් ගර්භාෂයත් බිඳ පිටත නික්මෙත් ද එවිට ඔවුහු “භූත” නම් වේ. සංසේදජයෝ ද ඕපපාතිකයෝ ද පළමු චිත්තක්ෂණයෙහි “සම්භවේසී” නම් වෙති. දෙවන චිත්තක්ෂණයේ සිට ඔවුහු ද භූත නම් වෙති. යම් ඉරියව්වකින් පහල වී, එම ඉරියව්ව වෙනස් නොකරන තාක් කල් ඔවුහු සම්භවේසී නම් වෙති. ඉරියවු වෙනස් කළ පසුව ‘භූත’ නම් වෙති. නැතිනම් භූත යනු උපන්-හටගත් සත්ත්වයෝය. එබඳු භූත වූ සත්ත්වයෙක් නැවත නූපදින සංඛ්‍යාවට පැමිණියේ එනම් ක්ෂීණාස්‍රවයන් වහන්සේලාට භාවිත මේ තවත් නමකි. නැවත උපතක් සොයන්නෝ සම්භවේසී නම් වෙති. ප්‍රහීණ නොකල භව සංයෝජන ඇති බැවින් අනාගතයෙහි ද උපතක් සොයන – සේචයන්ට හා පුහුදුන් පුද්ගලයන්ට භාවිත වේ තවත් නාමයකි. මෙසේ සියලුම ආකාරයෙන් මේ පද දෙකින් සෑම සත්ත්වයෙක්ම අදහස් කරනු ලැබේ. (හාත්පසින් ගනු ලැබේ.) “වා” ශබ්දය මෙහිදී සම්පිණ්ඩනය කිරීම් අර්ථයෙන් යෙදී ඇත. එනිසා භූතයෝ ද සම්භවේසියෝ ද යනුවෙන් මෙහි අර්ථ දතයුතුයි. ඨිතියා” යනු සසර සිටි බවයි. “අනුග්ගහායා” – ‘අනුග්‍රහ කිරීම පිණිස’ යනුයි. මේ වචන භේදයක්මය. පද දෙකෙහිම අර්ථය එක සමානය. නැතහොත් “ඨිතියා” යනු ඒ ඒ සත්ත්වයන් තුළ උපන් ධර්මයන්ගේ අනුප්‍රබන්ධ වශයෙන් නොසිඳී පැවැත්වීම පිණිස යනුයි. “අනුග්ගහායා” යනු “නූපන් ධර්මයන්ගේ ඉපදීම පිණිස උපකාර කිරීමයි.” මේ දෙපදයේදී භූතයන්ගේ පැවැත්ම මෙන්ම අනුග්‍රහ පිණිස ද සම්භවේසීන්ගේ පැවැත්ම මෙන් ම අනුග්‍රහ පිණිසද යනුවෙන් උභය අර්ථ දතයුතුය. කබළිංකාරො ආහාරො” පිඬුකර ගිලදැමිය යුතු ආහාරය. බත්, පිට්ටු ආදී ආහාර ද්‍රව්‍යයන්ගේ ඕජාවට භාවිත මේ තවත් වදනකි. “ඕළාරිකො වා සුඛුමො වා” ආහාර ද්‍රව්‍යයන්ගේ දැඩි වූ බැවින් ඕළාරික වූ, සියුම් වූ, සූක්ෂම රූප ඇතුලත් බැවින් කබලිංකාර ආහාරය සූක්ෂම වේ. එයද ඒ වස්තූන්ගේ ඕළාරික බව හා සූක්ෂම බව උපමාකොට හෝ සමානකොට දතයුතුය. කිඹුලන්ගේ ආහාරයට වඩා මොණරුන්ගේ ආහාරය සියුම් වේ. කිඹුල්ලු වනාහී ගල් ගිලති. එම ගල් ඔවුන්ගේ කුසට පැමිණ දියවේ. මොණරු සර්ප, ගෝනුසු ආදී ප්‍රාණීන් ආහාරයට ගනිති. මොණරුන්ගේ ආහාරයට වඩා කළු වලසුන්ගේ ආහාරය සියුම් වේ. කළු වලස්සු වසර තුනක් අත්හැරදැමූ “අං” හා “ඇට” ආහාරයට ගනිති. ඒවා එම වළසුන්ගේ කෙළවලින් තෙමුණු පමණින් ම කදමුල් මෙන් ඉතා සියුම් වේ. කළු වලසුන්ගේ ආහාරයට වඩා ඇතුන්ගේ ආහාරය සියුම් වේ. ඇත්තු වනාහී නොයෙක් ගස්-අතු ආදිය ආහාරයට ගනිති. ඇතුන්ගේ ආහාරයට වඩා ගවර-ගෝණ-මුව ආදීන්ගේ ආහාරය ඉතා සියුම් වේ. ඔවුහු නිස්සාර වූ නොයෙක් ගස්-කොළ-දළු ආදිය ආහාරයට ගනිති. මොවුන්ගේ ආහාරයට වඩා ගවයන්ගේ ආහාරය සියුම් වේ. ගොනුන් අමු හා වේලුණු තණ ම ආහාරයට ගනිති. ගවාහාරයට වඩා හාවුන්ගේ ආහාරය සියුම් වේ. හාවුන්ගේ ආහාරය වඩා පක්ෂීන්ගේ ආහාරය සියුම් වේ. කුරුල්ලන්ගේ ආහාරයට වඩා පිටිසර වැසි මිනිසුන්ගේ ආහාරය සියුම්වේ. පිටිසර වැසියන්ගේ ආහාරයට වඩා ග්‍රාමභෝජකයන්ගේ ආහාරය සියුම් වේ. ග්‍රාමභෝජකයන්ගේ ආහාරයට වඩා රාජරාජ මහාමාත්‍යාදීන්ගේ භෝජනය සියුම් වේ. ඔවුන්ගේ ආහාරයට වඩා සක්විති රජුන්ගේ ආහාරය සියුම් වේ. සක්විති රජුගේ ආහාරයට වඩා භූමි වැසි දෙවියන්ගේ ආහාරය සියුම් වේ. භූමි වැසි දෙවියන්ගේ ආහාරයට වඩා චාතුම්මහාරාජික දෙවියන්ගේ ආහාරය සියුම් වේ. මෙසේ පරනිම්මිත වසවත් දෙවියන් දක්වා විස්තර කළ යුතුයි. පරනිම්මිත වසවත් දෙවියන්ගේ ආහාරය ම ඉතා සියුම් වේ. එතැනින් කබලිංකාර ආහාර විස්තරය නිමා වේ. මෙහිද දළ ආහාරයේ පෝෂ්‍ය ගුණය ඉතා අල්පය. ඉතා දුබලය. සූක්ෂම ආහාරයේ පෝෂ්‍ය ගුණය ඉතා බහුලය. ප්‍රබලය. ඒ එසේමැයි. එක පාත්‍රයක් පුරවා කැඳ බිවූ විට මොහොතකින්ම කුසගිනි ඇතිවේ. යම් කිසිවක් කනු කැමති වේ. ගිතෙල් වනාහි අල්ලක් පමණ ප්‍රමාණයක් වුව පානය කර, දවසක්ම ආහාර නොගෙන සිටිය හැකිය. ඒ ආහාර වස්තුවේ කර්මජ, තෙජස් සංඛ්‍යාත වූ සූක්ෂමතාවය අනතුරු දුරු කරයි. නමුත් එය ශරීර පාලනයට සමත් නොවේ. පෝෂ්‍යගුණය වනාහී ශරීර පාලනයට සමත් වේ. එනමුත් අතුරු ආබාධ දුරු කිරීමට එය සමත් නොවේ. මෙනිසා ආහාරයේ ඇති ඕළාරික බවත් සූක්ෂම බවත් එක්වීමෙන් ශරීරයේ ඇති අතුරු ආබාධාදී උවදුරු ද දුරු කරයි. ශරීරය මැනවින් පාලනය කරයි.
ඵස්සො දුතියො” යනු චක්ෂු ස්පර්ශාදී වශයෙන් ඵස්සාහාරය සය වැදෑරුම් වේ. මේ සිවු ආහාර අතුරින් දෙවන ආහාරය ස්පර්ශයයි. මේ දේශනා නය ක්‍රමයයි. එනිසා මේ නම් කිරීමේ හේතුවෙන් දෙවන – තෙවන ආදී වශයෙන් මෙහි අර්ථ නොසෙවිය යුතුය. “මනොසඤ්චෙත්තා” යනුවෙන් වේදනාවම කියන ලදී. “විඤ්ඤාණං” යනු සිතයි. මෙසේ භාග්‍යවතුන් වහන්සේ මෙතැනදී “තණ්හාවෙන් ගන්නා ලද” සහ “තණ්හාවෙන් නොගන්නා ලද” වශයෙන් ඒකරාශී කර – සතර ආහාරයන් දක්වන ලදී. කබලිංකාර ආහාරය උපාදිණ්ණක (තෘෂ්ණාවෙන් ගත්) හා අනුපාදිණ්ණක (තෘෂ්ණාවෙන් නොගත්) යනුවෙන් දෙකොටසකි. ඵස්සාදී ආහාරවල ද එසේමය. එහි සර්පාදීන් විසින් ගිලින ලද මැඩියන්ගේ වශයෙන් උපාදිණ්ණක කබලිංකාර ආහාරය දත යුතුයි. මැඩි ආදී සත්තු, සර්පයන් විසින් ගිලින ලදුව – කුස තුලට ගියත් සුළු කාලයක් ජීවත් වන්නේ ම ය. ඒ මැඩි ආදීහු, “උපාදිණ්ණක” කොටසට අයත්ව පවතින තාක් ආහාරය පිණිස හේතු නොවෙති. ඔවුහු ඉන් බිඳී – මරණයට පත්ව-“අනුපාදිණ්ණක” කොටසට අයත් වේ ද එවිට ආහාරය පිණිස හේතුවෙනි. “ඇතැම්හු මෙයටද උපාදිණ්ණක ආහාරය ම යැයි කියති.” යන මේ කාරණය – පුරාණ ආචාරීන්ට රුචි නොවන බව පවසා අටුවාවේදී (හෙළටුවා) මේ අදහස ප්‍රතික්ෂේප කර මෙසේ කියන ලදී. “මේ සත්වයන්ගේ ආහාර ගැනීම සිදු වුවත් – නැතත්, අනුභව කළත් නොකළත් ප්‍රතිසන්ධි සිතින් ම එක්ව උපන් (සහජාත වූ) කර්මජ ධාතුව “ඕජා” නම් වේ. එය සත්වන දිනය දක්වා (සතියක්ම) සිරුර පාලනය කරයි. මෙයම “උපාදිණ්ණක කබලිංකාර ආහාරය” යැයි දතයුතුයි. ත්‍රෛභූමික විපාක වශයෙන් උපාදිණ්ණක ඵස්සාදී ආහාර දත යුතුයි. ත්‍රෛභූමික කුසලාකුසල ක්‍රියා වශයෙන් අනුපාදිණ්ණක ලෝකෝත්තර සිත් වැඩීම් වශයෙන් කියන ලදී. මෙසේ පැවසේ. – “ඉදින් දිවිපැවැත්මට හේතුවන ප්‍රත්‍යාර්ථයේ ‘ආහාර’ අර්ථය වේනම් කුමක් නිසා අන්‍ය සත්වයන් අතර දිවි පැවැත්මට හේතුවන ප්‍රත්‍යයන් විද්‍යාමාන වන කල්හි මේ සතර ආහාර පිළිබඳව කියන ලද්දේ ද? අධ්‍යාත්මික සන්තතියේ පැවැත්මට උපකාර වන බැවින් මේ සතර දක්වන ලදී. විශේෂ ප්‍රත්‍ය වශයෙන් – කබලිංකාහාර අනුභව කරන සත්වයන් ගේ රූපකායේ පැවැත්මට කබළිංකාහාරය උපකාර වේ. නාම කායේ පැවැත්මට, වේදනාව නම් වූ වින්දනය සඳහා ඵස්සාහාරය ද විඤ්ඤාණයට මනෝසඤ්චේතනා ආහාරය ද නාම-රූප දෙක සඳහාම විඤ්ඤාණහාරය ද උපකාර වේ. එනිසා කියන ලදී. “මහණෙනි! යම්සේ ආහාරය නිසා පවතින මේ කය ආහාරය නිසාම පවතියි. ආහාර නොමැතිව නොසිටියි ද එසේම ඵස්ස ප්‍රත්‍යයෙන් වේදනාවද සංස්කාර ප්‍රත්‍යයෙන් විඤ්ඤාණය ද විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් නාමරූප දෙක ද පවතී. මෙහි ආහාරය යනු කුමක්ද? කුමක් ගෙනෙයි ද? කබළිංකාර ආහාරය ඕජාෂ්ඨමක රූප උපදවයි. ඵස්සාහාරය ත්‍රිවිධ වේදනා උපදවයි. මනෝසඤ්චේතනාහාරය ත්‍රිවිධ භවයන් උපදවයි. විඤ්ඤාණාහාරය ප්‍රතිසන්ධි නාමරූප උපදවයි. ඒ කෙසේද? කබළිංකාර ආහාරය මුවෙහි තැබූ පමණින් ම රූප අටක් උපදියි. දත්වලින් කුඩු කරමින් ගෙනයනු ලබන්නේ එක් එක් බත් ඇටයක් පාසා රූප අට බැගින් උපදින්නේය. මෙසේ කබළිංකාර ආහාරය ඕජාෂ්ඨමක රූප උපදවයි. ඵස්සාහාරය වනාහී සැප වේදනාවක් ගෙනදෙන ස්පර්ශයක් හා ගැටුණු විට සැප වේදනාවක්ද, දුක් වේදනාවක් ගෙන දෙන ස්පර්ශයෙන් දුක් වේදනාවක්ද, මැදහත් වේදනාවක් ගෙන දෙන උපර්ශයෙන් සැප-දුක් අතර වූ මැදහත් වේදනාවක් ද යනුවෙන් මෙලෙස සෑම අයුරකින්ම ඵස්සාහාරයෙන් ත්‍රිවිධ වේදනාවක් උපදියි.
මනෝසඤ්චේතනාහාරය වනාහී කාමභවයට එළඹි කර්මය අනුව කාමභවය උපදවයි. රූප-අරූප භවයන්ට එළඹි කර්ම ඒ ඒ භවයන් උපදවයි. මෙසේ සියලු ආකාරයෙන් මනෝසඤ්චේතනා ආහාරය ත්‍රිවිධ භවයන් උපදවයි. විඤ්ඤාණාහාරය වනාහී ප්‍රතිසන්ධි ක්ෂණයෙහි එය හා සම්ප්‍රයුක්ත වූ ත්‍රිවිධ ස්කන්ධයො ද ත්‍රිවිධ භවයේ පැවතීම් වශයෙන් තිසක් වූ රූපයෝ ද උපදිති. සහජාතාදී ප්‍රත්‍ය න්‍යායට අනුව මේ ස්කන්ධ – රූපාදිය උපදවන්නේ යැයි කියනු ලැබේ. මෙසේ විඤ්ඤාණාහාරය ප්‍රතිසන්ධි නාම-රූප උපදවයි. මෙහිද “මනෝ සඤ්චේතනාව කියන ලදී. “විඤ්ඤාණය ප්‍රතිසන්ධි නාමරූප උපදවයි.” යන්නෙන් ප්‍රතිසන්ධි විඤ්ඤාණය ම කියන ලදී. අවිශේෂයෙන් වනාහී ඒ ඒ සම්ප්‍රයුක්ත ධර්මයන්ගේ ඒ ඒ හටගන්නා වූ ධර්මයන්ගේ ගෙන ඒමෙන් එම ධර්මයෝ “ආහාර” යැයි පවසති. මේ සතර ආහාරයන් අතර කබලිංකාර ආහාරය උපස්ථම්භනයෙන් අහර කිස සිදුකරයි. ඵස්සාහාරය ස්පර්ශ කිරීමෙන් ද මනෝසඤ්චෙතනාහාරය රැස්කරමින් ද? විඤ්ඤාණාහාරය දැනගැනීමෙන් ද අහර කිස සිදුකරයි. ඒ කෙසේද? කබළිංකාර ආහාරය උපකාර කිරීමෙන් ම කය පැවැත්වීමෙන් සත්වයන්ගේ පැවැත්ම වේ. කර්මයෙන් ජනිත වූවත් මේ කය, කබලිංකාරාහාරයෙන් උපස්ථම්භනය ලබා වර්ෂ දහයක්, වර්ෂ සීයක් පමණක් නොව ආයු අවසානය දක්වාම පවතියි. යම්සේ මෑණීයන්ට බිහිවූ දරුවා කිරිමවගේ තනයෙන් කිරිබී පෝෂණය වනුයේ බොහෝ කලක් සිටී ද එසේමය. යම්සේ කණු ආදියෙන් පිහිටාධාර හා උපස්ථම්භක ලැබූ ගෙය මෙනි. මෙය කියන ලදී. මහරජතුමනි! යම්සේ ගෙයක් වැටෙන කල්හි අන්‍ය වූ දැව ආදියෙන් උපස්ථම්භනයක සපයන ලද විට, එම ගෙය නොවැටෙන්නාක් මෙන් ආහාරයෙන් පවතින මේ කය ආහාර නිසා නොවැටී පවතින්නේයැ” යි නාගසේන හිමියෝ වදාළහ. මෙසේ කබළිංකාර ආහාරය උපස්ථම්භනය ලැබ, අහර කිස සිදු කරයි.
එලෙස අහර කිස සිදුකරමින් ම කබලිංකාර ආහාරය, ආහාරයේ ම හටගැනීම ද තෘෂ්ණාවෙන් තදින් ගැනීම ද යන ද්විධ රූප සන්තනීන්ගේ පැවැත්මට ප්‍රත්‍ය වේ. කර්මජයන්ගේ පාලකයෙක් වී ඊට හේතු වන්නේය. ආහාරය හටගැනීම්වල උපදවන්නා වී. ඵස්සාහාරය වනාහී සැප ආදියට හේතුවූ අරමුණක් ස්පර්ශ කරමින් ම සැප ආදී වේදනාවන් පැවතීම් වශයෙන් සත්ත්වයන්ගේ පැවැත්ම සිදුකරයි. මනෝසඤ්චේතනාහාරය, කුශලාකුශල කර්ම වශයෙන් රැස්කරමින් ම භව මූලය නිපදවීම් වශයෙන් සත්වයන්ගේ පැවැත්ම සිදුකරයි.
මෙසේ උපස්ථම්භනය වීම් වශයෙන් අහර කිස සිදුකරන කල්හි ඒ ආහාර සතරෙහි, සතර භයක් දැකිය යුතුයි. ඒ කෙසේද? කබළිංකාර ආහාරයේ තෘෂ්ණා භය ඇත. ඵස්සාහාරයේ පැමිණීම් භය ඇත. මනෝ සඤ්චේතනාහාරයේ රැස්කිරීම් භය ඇත. විඤ්ඤාණාහාරයේ අභිමුඛ වැටීම් භය ඇත. කවර කරුණකින්ද? කබළිංකාර ආහාරයේ ආශාව කොට, සීතාදියේ පෙරටුවීම් වශයෙන් සත්වයෝ ආහාර පිණිස මුද්‍රා, ගණන් කිරීම් ආදී ක්‍රියා කරමින් අනල්ප වූ දුක් විඳිති. ඇතැම්හු මේ සසුනේ පැවිදි වීත් වෙදකම් ආදී වූ අයෝග්‍ය වෘත්තීන්ගෙන් ආහාර සොයමින් මෙලොවදීම ගැරහුමට බඳුන් වෙති. පරලොව දී ද “ඔහුගේ දෙපට සිවුර ගිනිදැල්වලින් ඇවිලගන්නේය.” ආදී වශයෙන් ලක්ඛණ සූත්‍රයේ පැවසූ අයුරින්ම ශ්‍රමණ ප්‍රේතයෝ වෙති. මේ කාරණාවලින් කබළිංකාර ආහාරයේ ආශාවීම ම බියෙකැයි දතයුතුයි.
පහස හෙවත් ස්පර්ශ හේතුවෙන් ලගට (සමීපයට) එයි. පහස නිසා අන්‍යයන් විසින් ආරක්ෂා කරන ලද අඹුවන් ආදී වස්තු කෙරෙහි අපරාධ කරති. බඩු අයිති කරුවෝ ඒ සොරාගත් බඩු සහිතවම සොරු අල්ලාගෙන කඩ කඩ කරමින් සිඳ දමති. කුණුගොඩට ඇද දමති. රජුට හෝ පවරා දෙති. රජතුමා, ඔවුන්ට විවිධාකාර දඬුවම් කරවයි. මරණීන් පසු ඔවුන් විසින් දුගතිය කැමති විය යුතුයි. මෙසේ ස්පර්ශය මූලිකව මෙලොවදීත්-පරලොවදීත් සියලු භය පැමිණෙන්නේමය. මෙකරුණින් ඵස්සාහාරයෙහි සමීපවීමට භයකැයි දතයුතුයි.
කුශලාකුශල කර්ම රැස්කිරීමේදී ද ඒවාට මුල් වූ ත්‍රිවිධ භවයෙහි සියලුම භය පැමිණියේ වේ. මෙකරුණින් මනෝසඤ්චේතනාහාරයෙහි රැස්කිරීමට භයකැයි දතයුතුයි.
ප්‍රතිසන්ධි විඤ්ඤාණය යම් යම් තැනෙක් හි වැටේද ඒ ඒ තැන්හිම ප්‍රතිසන්ධිය නාමරූප රැගෙනම උපදියි. එහි උපන් කල්හි සියලු භය හටගත්තා වේ. ඊට මූලික වූ බැවින් මේ කාරණයෙන් විඤ්ඤාණහාරයේ ඉදිරියේ වැටීමට භයකැයි දතයුතුයි.
“කිං නිදානා” යනාදියෙහි නිදානාදිය සියලුම හේතූන්ට සමාන වදනකි. කරුණ-හේතුව යනු යමකින් විපාකයක් නිධන් කරයි. ඒකාන්තයෙන් එය ගනිවු යි පමුණුවන්නාක් මෙනි. එනිසා ඊට ‘නිදානය’ යැයි කියනු ලැබේ. යම් හෙයකින් ඉන් හටගනියි. උපදියි, ප්‍රභවයට පත් වේද එහෙයින් “හටගැනුණි, ඉපදුණි, ප්‍රභවවිය” යනුවෙන් කියයි. මෙහි වනාහී මේ පදවල අර්ථයයි. “මේවායේ නිදානය කුමක්ද? යනු “කිං නිදානා” නමි. මේවායේ හටගැනීම කවරේද? යනු “කිං සමුදයා” නමි. මේවායේ උපත කෙසේ වේද? යනු “කිඤ්ජාතිකා” නමි. මේවායේ ප්‍රභවය කෙසේවේද? යනු “කිං පභවා” නමි. යම් හෙයකින් ඉහත කියන ලද ක්‍රමයෙන් තන්හාවම එම ආහාරයන්ගේ නිදානයද හටගැනීම් හේතුවද උප්පත්ති හේතුවද ප්‍රභව හේතුවද වනු බැවින් “තණ්හා නිදානා” යනාදිය කියන ලදී. මෙසේ සියලුම පදයන්හි අර්ථ දත යුතුයි. මෙහිද “ඉමෙ චත්තාරො ආහාරා තණ්හා නිදානා” යි.
මේ සතර ආහාරයෝම තණ්හාව නිදාන කරගෙන ඇත.” යනුවෙන් ප්‍රතිසන්ධිය ආදී කොට ඇති ආත්මභාව සංඛ්‍යාත වූ ආහාරයන් ම පෙරටු වන තණ්හා වශයෙන් නිදානය දතයුතුයි. කෙසේද? ප්‍රතිසන්ධික්ෂණයෙහි පළමුකොට පරිපූර්ණ වූ ආයතන සහිත සත්වයන්ට සත්ව සන්තතික වශයෙන්ද, අනතුරුව සෙසු අඩු වූ ආයතන සහිත සත්වයන්ට සත්ව සන්තති වශයෙන් ද උපන් අභ්‍යන්තර රූපයේ පහළ වූ ඕජාවක් ඇත. මෙය තණ්හාවේ නිදානයයි. උපාදිණ්ණක කබලිංකාර ආහාරයයි. ප්‍රතිසන්ධි සිත හා සම්ප්‍රයුක්ත වූ ඵස්ස චේතනාව වනාහී තමාට “සිත දැනගනියි” – මෙය තණ්හාවේ නිදානයයි. උපාදිණ්ණක ඵස්ස, මනෝසඤ්චේතනා, විඤ්ඤාණ යන ආහාරයන් ය. මෙසේ පළමුකොට මුල්ම ප්‍රතිසන්ධියට අයත් තණ්හාවේ නිදාන වන ආහාරයෝ යම් සේ “ප්‍රතිසන්ධිකයෝ” වෙත් ද, එලෙස ඉන්පසුව ප්‍රථම භවාංග චිත්තක්ෂණාදියට පැමිණියේයැයි දතයුතුයි.
යම්හෙයකින් භාග්‍යවතුන් වහන්සේ හුදෙක් ආහාරයන්ගේ නිදානය පමණක් ම දන්නාහු නොවෙති. ආහාරයන්ගේ නිදානය වූ තණ්හාවේද නිදාන වූ වේදනාදිය ද දන්නාහුමය. එහෙයින් “මහණෙනි! මේ තණ්හාවේ නිදානය කුමක්ද?” ආදී වශයෙන් තණ්හාව ඇතිවන ආකාරයද දක්වා නැවත එය නැතිවන අයුරු (වට්ට විවට්ට) දැක්වූ සේක. මෙහිදී භාග්‍යවතුන් වහණ්සේ අතීතාභිමුඛ වූ දේශනාවක් පවත්වා, අතීතයෙන් ම තණ්හාවේ ඇතිවීම දැක්වූහ. ඒ කෙසේද? මේ ආත්මභාවය ආහාර වශයෙන් තණ්හාව ගන්නා ලදී.
මේ ආත්මභවයේ ජනක කර්ම වූ වේදනාව, ස්පර්ශය, ෂඩායතයනය, නාමරූප හා විඤ්ඤාණයෝ යම් ආත්මභාවයකට ඇතුළුව කර්ම රැස් කරනුයේ ද එය දැක්වීමට “අවිද්‍යා සංස්කාර දෙක ඒ ආත්මභවයාගේ ජනක කර්මය යැයිද දෙතැනක ආත්මභාව දෙකක විපාක කර්මය යැයි ද සංක්ෂිප්ත වශයෙන් “කර්මය” ද “කර්මවිපාක” ද යන ධර්ම දෙක දැක්වීම් වශයෙන් අතීතය අභිමුඛ වූ දේශනාවක් කර, අතීත කාලයෙන් දැක්වූ සේක.
එහිදී මේ දේශනාව අනාගත කාලයේ නොදක්වන ලද බැවින් අපරිපූර්ණයැයි නොසිතිය යුතුයි. න්‍යාය වශයෙන් පරිපූර්ණ යැයි දතයුතුයි. යම්සේ ඇස් ඇති පුරුෂයෙකු ජලය මතුයෙහි හොත්තා වූ කිඹුලෙකු දැක -උගේ පසුකොට බලන්නේ බෙල්ල දකින්නේය. පිට උඩින්, අවසන ඇති නගුටේ මුල, යටිබඩ ආදිය බලනුයේ දියයට ඇති නගුටේ අග මෙන්ම සිවු පාදයයෙන්ද නො දක්නේය. ඔහු මෙපමණකින් “සම්පූර්ණවම කිඹුලා නොදුටුවෙමි” යි නොසිතයි. න්‍යාය වශයෙන් ගත් කල, සම්පූර්ණවම කිඹුලා දැක ඇත. මෙසේ ඉහත කී සියලු පදයන්ගේ අර්ථ දතයුතුයි.
තීරයේ සිටි පුරුෂයා මෙන් යෝගාවචර භික්ෂුව සැලකිය යුතුයි. ඇස් ඇති පුරුෂයා ගං ඉවුරේ සිට දියමත සිටි කිඹුලා දුටුවාක් මෙන් ඒ යෝගියා විසින් ආහාර හේතුවෙන් පවතින මේ ආත්මභාවය දක්නා ලදී. එම පුරුෂයා කිඹුලාගේ බෙල්ල දුටුවාක් මෙන් මේ ආත්මභාවයේ ප්‍රභවයට හේතු වූ තණ්හාව දකින්නේය. පිට දුටුවාක් මෙන් යම් ආත්මභාවයක තණ්හා සංඛ්‍යාත වූ කර්මය කරන ලද වේදනාදී හේතූන් දකින්නේය. නගුටේ මුල දුටුවාක් මෙන් ඒ ආත්මභාවයේ උපතට හේතු වූ අවිද්‍යා – සංස්කාරාදී හේතූන් දකින්නේය. යටිබඩ බලන විට නගුටේ අග ද සතර පාදයන් ද නොදැක, එනමුත් කිඹුලා අසම්පූර්ණව දකින ලදැයි නොගන්නාක් මෙන් ද න්‍යාය වශයෙන් සම්පූර්ණයෙන් ම දුටු සේ ගන්නාක් මෙන් ද – යම් තැනෙක ප්‍රත්‍යයන්ගේ පිළිවෙල – වෘත්තය ත්‍රිපිටකයේ නොපැමිණියත්, ඒ ඒ සූත්‍ර දේශණාවෝ – අසම්පූර්ණ යැයි නොගෙන න්‍යාය වශයෙන් පරිපූර්ණ වූ දේශනාවන් ලෙසට ගතයුතුයි. එහිද ආහාර – තණ්හා දෙක අතරෙහි එක් සන්ධියකි. තණ්හා-වේදනා දෙක අතරෙහි එක් සන්ධියකි. විඤ්ඤාණ- සංස්කාර දෙක අතරේ එක් සන්ධියකි. මෙසේ සන්ධි තුනකින් හා සතර සංක්ෂේපයන්ගෙන්; සසර පැවැත්ම දක්වන ලදී.
SN 02-01-02-02. මෝලිය ඵග්ගුන සූත්‍රය
§ 1. මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරණසේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.
§ 2. “මහණෙනි, උපන් සත්වයින්ගේ පැවැත්ම පිණිසද, උපදිමින් සිටින සත්වයින්ට උපකාර පිණිසද, පවත්නාවූ මේ ආහාර (හේතු) සතරක් වේ. කවර සතරක්ද යත්?
මහත්වූ හෝ සියුම්වූ හෝ කබලිකාර ආහාරය, දෙවැනිවූ ස්පර්ශාහාරය, තුන්වැනිවූ මනොසංචෙතනාහාරය, සතරවැනිවූ විඤ්ඤාණාහාරය යන මේවායි.
මහණෙනි, උපන් සත්වයින්ගේ පැවැත්ම පිණිසද, උපදිමින් සිටින්නාවූ සත්වයින්ට උපකාරය පිණිසද මේ සතර ආහාරයෝ පවතිත්.
§ 3. මෙසේ වදාළ කල්හි, ආයුෂ්මත් “මෝළිය ඵග්ගුන” (නම් භික්ෂුව) භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය
“ස්වාමීනි, කවරෙක් විඤ්ඤාණය ආහාරය අනුභව කෙරේද?” කියායි. භාග්‍යවතුන් වහන්සේ “ප්‍රශ්නය නුසුදුසුය”යි වදාළ සේක. ‘අනුභව කෙරේයයි මම නොකියමි ඉදින් මම අනුභව කෙරේයයි කියම් නම්, “ස්වාමීනි, කවරෙක් වනාහි අනුභව කෙරේද? යන ප්‍රශ්නය සුදුසු වන්නේය. මම මෙසේ නොකියමි මෙසේ නොකියන්නාවූ, මාගෙන් ‘ස්වාමීනි, විඤ්ඤාණ ආහාරය කුමකට උපකාර වේද?’ කියා මෙසේ යමෙක් අසයි නම්, එය සුදුසු ප්‍රශ්නයකි.
විඤ්ඤාණ ආහාරය සසර නැවත ඉපදීමට උපකාර වෙයි. ඒ ඉපදීම ඇතිවූ කල්හි සළායතන ඇතිවෙයි. සළායතනයන් නිසා ස්පර්ශය ඇතිවේය යි කියා එහිදී විසඳීම සුදුසුය.”
§ 5. “ස්වාමීනි, කවරෙක් ස්පර්ශ කෙරේද? “ප්‍රශ්නය නුසුදුසුයයි” භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. ‘ස්පර්ශය කෙරේයයි’ මම නොකියමි. ඉදින් ‘ස්පර්ශය කෙරේයයි’ මම කියම් නම් එකල ‘ස්වාමීනි, කවරෙක් ස්පර්ශය කරයිද?’ යන ප්‍රශ්නයද සුදුසු වන්නේය. මම එසේ නොකියමි. එසේ වූ කල ‘ස්වාමීනි, ස්පර්ශය කුමක් නිසා ඇතිවේද?’ කියා, අසයි නම් එය සුදුසු ප්‍රශ්නයකි.
සළායතනයන් නිසා ස්පර්ශය ඇති වෙයි. ස්පර්ශය නිසා වින්දනයන් ඇතිවේ ය” යි කියා එහිදී විසඳීම සුදුසුය.”
§ 6. “ස්වාමීනි, කවරෙක් විඳීද?” “ඒ ප්‍රශ්නයද නුසුදුසුයයි” භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. “විඳීයයි මම නොකියමි. ඉදින් මම විඳීයයි කියම් නම්, ‘ස්වාමීනි, කවරෙක් විසින් විඳීද?’ යන ප්‍රශ්නය සුදුසුය. එසේ මම නොකියමි. එසේ වූ කල ‘ස්වාමීනි කුමක් නිසා වේදනාව ඇතිවේද?’ කියා, අසයි නම්, එය සුදුසු ප්‍රශ්නයකි.
එහිදී ස්පර්ශය නිසා වින්දනය ඇතිවෙයි. වින්දනය නිසා තණ්හාව ඇතිවේ යයි කියා විසඳීම සුදුසුය.”
§7. “ස්වාමීනි, කවරෙක් ආශා කරයිද?” භාග්‍යවතුන් වහන්සේ ප්‍රශ්නය නුසුදුසුයයි වදාළ සේක “මම ආශා කෙරේයයි නොකියමි. ආශා කෙරේයයි කියම් නම්, ‘ස්වාමීනි, කවරෙක් ආශා කෙරේද?’ යන ප්‍රශ්නය සුදුසුය. එසේ නොකියමි. එසේ වූ කල ‘ස්වාමීනි, කුමක් නිසා ආශාව ඇතිවේද?” කියා අසයි නම් මෙය සුදුසු ප්‍රශ්නයකි.
එහිදී විඳීම නිසා තණ්හාව (ආශාව) ඇතිවේ. තණ්හාව නිසා උපාදානය (දැඩිකොට අල්වාගැනීම) ඇති වේයයි කියා විසඳීම සුදුසුය.”
§8. “ස්වාමීනි, කවරෙක් උපාදානය (දැඩිකොට අල්වාගැනීම) කරත්ද?” භාග්‍යවතුන් වහන්සේ ප්‍රශ්නය නුසුදුසුයයි වදාළ සේක. “ උපාදානය කරයි’යැයි නොකියමි. උපාදානය කෙරේයයි කියම් නම් ‘ස්වාමීනි, කවරෙක් උපාදානය ඇති කෙරේද?’ යන ප්‍රශ්නය සුදුසුය. එසේ මම නොකියමි. එසේවූ කල ‘ස්වාමීනි, කුමක්නිසා උපාදානය ඇතිවේද?’ අසයි නම්, මෙය සුදුසු ප්‍රශ්නයකි.
එහිදී තණ්හාව නිසා උපාදානය ඇතිවේ. උපාදානය නිසා භවය ඇතිවේ. භවය නිසා ජාතිය (ඉපදීම) ඇතිවේ. ජාතිය (ඉපදීම) නිසා ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝද ඇතිවෙත්. මෙසේ මේ සියලු තනිකර දුක් සමූහය ඇතිවෙයි.
§ 9. “ඵග්ගුනය, සවැදෑරුම් ස්පර්ශායතනයන් මුළුමනින් නැසීමෙන් ස්පර්ශය නැතිවේ. ස්පර්ශය නැතිවීම නිසා විඳීම (වේදනාව) නැතිවේ. වේදනාව නැතිවීම හේතුකොටගෙන තණ්හාව නැතිවේ. තණ්හාව නැතිවීම හේතුකොටගෙන උපාදානය නැතිවේ. උපාදානය නැතිවීම හේතුකොටගෙන භවය නැතිවේ. භවය නැතිවීම හේතුකොට ගෙන ඉපදීම නැතිවේ. ඉපදීම නැතිවීම හේතුකොටගෙන ජරාව මරණය, ශෝකය. පරිදේව (හැඬීම) දුක්, දොම්නස් සහ උපායාසයෝ (තද ශෝක) නැතිවෙත්. මෙසේ මේ සියලු තනිකර දුක් සමූහය නැතිවෙයි.
(දෙවෙනි ඵග්ගුන සූත්‍රය නිමි.)
[මොළියඵග්ගුන සූත්‍ර වර්ණනාව :- දෙවන සූත්‍රයේ “සම්භවෙසීනං වා අනුග්ගාය” යනු මෙතැනදී ම භාග්‍යවතුන් වහන්සේ දේශනාව නැවැත්වූ සේක. කුමක් හෙයින්ද? මිසදිටු ගත්තෙකු එම පිරිසේ හුන් බැවිනි. ඒ සඟ පිරිසේ මිසදිටුගත් මොළිය ඵග්ගුණ නම් භික්ෂුවක් හුන්නේය. ඉක්බිති බුදුරජාණන් වහන්සේ මෙසේ සිතූ සේක. “මොහු නැගිට මගෙන් ප්‍රශ්නයක් විචාරන්නේය. එවිට මම එය විසඳන්නෙමි” යි උන්වහන්සේට ප්‍රශ්නයක් ඇසීමට ඉඩදීම සඳහා දේශනාව නැවැත්වූ සේක. “මොළිය ඵග්ගුණෝ” යනුවෙන් ‘මොළී’ යනු හිස මුදුනේ ඇති කෙස්‍රොදයි මෙසේ කියන ලද බැවිනි.ජෙත්වාන මොළිං වර ගන්ධ වාසිතං වෙහාසයං උක්ඛිපි සක්‍ය පුංගවො සහස්ස නෙත්තො සිරසා පටිගහී සුවණ්ණ චංගා චරෙන වාසවො ඒ ශ්‍රේෂ්ඨ ශාක්‍ය වංශිකයා, තම උතුම් වූ සුවඳ කවන ලද කේශ කලාපය සිඳ – අහසට දැමුවේය. ‘වාසව’ නම් වූ දහසක් නෙත් ඇති ශක්‍රයා එය රන් කරඬුවකින්, ශීර්ෂ ප්‍රණාමයෙන් පිළිගත්තේය.”
ඒ කේශකලාපය ඔහුගේ ගිහිකාලයේදී ඉතා විශාල විය. එනිසා ඔහුට “මොළිය ඵග්ගුණ” නාමය ඇතිවිය. පැවිදි වූ පසුවත් ඔහු එනමින්ම හැඳින්විණි. “එතදවොච” යනු දේශනාවේ ගැලපීම් ඇතිකරමින් මේ “කොනු ඛො භන්තෙ! විඤ්ඤාණාහාරං ආහාරෙ” යන වචනය කියන ලදී. එහි අර්ථ මෙසේය. “ස්වාමීනි! මේ විඤ්ඤාණාහාරය ආහාරයට ගනුයේ හෝ අනුභව කරනුයේ කවර තැනැත්තෙක් ද?”
මෙහිදී සෙසු ආහාර තුන පිළිබඳව නොපවසා විඤ්ඤාණාහාරය පමණක් විචාළේ ඇයි? “එය දනිමි” යි යන පිළිගැනීම ඇති බැවිනි. ඔහු මහත් පිඬු වශයෙන් ගෙන කබළිංකාර ආහාරය අනුභව කරයි. එබැවින් එය ඔහුට මැනවින් පෙනේ. එනිසා ඒ පිළිබඳව “දනිමි” යි යන විශ්වාසය උන්වහන්සේට ඇත. වටු, මොණර, කුකුළු ආදී පැටවු මවුගේ ස්පර්ශයෙන් යැපෙනු දැක – “මොවුහු ඵස්සාහාරයෙන් යැපෙන්නෝයැ” යි ඔහුට විශ්වාසයක් ඇතිවේ. කැසිබුවෝ තම සෘතු සමයන්හි මහමුහුදින් ගොඩබිමට පැමිණ, මුහුදුතෙර වැලිකතර බිජු දමා – එය වැලිවලින් වසා – නැවත මුහුදට යති. ඒ බිජු මවගේ සිහිකිරීම් හේතුවෙන් කුණු නොවේ. ඒ බිත්තර “මනෝසඤ්චේතනා-හාරයෙන් යැපෙන්නේය” යන ඇදහීම – පිළිගැනීම එවිට ඇතිවේ. ඵග්ගුණ තෙරුන්ට මෙසේ මේ ආහාර තුන පිළිබඳව ම දැනීම (ප්‍රත්‍යක්ෂ) ඇති නමුත් විඤ්ඤාණාහාරය පිළිබඳව එවැනි ප්‍රත්‍යක්ෂ දැනුමක් නැති බැවින් මේ ප්‍රශ්නය අසන ලදී. දෘෂ්ටිගතිකයා හෙවත් යම් දෘෂ්ටියක් පිළිගත් තැනැත්තා – උම්මත්තකයෙකු වැනිය. යම්සේ උමතු මිනිසෙකු කූඩයක් රැගෙන වීථියට පැමිණ ගොම ද ගල් ද අශූචි ද කැබලි ආදී ආහාර ද්‍රව්‍ය ද යනාදී තමාට අවශ්‍ය අනවශ්‍ය සෑම දෙයක් ම කූඩයට දාගනු ලබන්නේ ද, එමෙන්ම දෘෂ්ටිගතිකයාත් සුදුසු – නුසුදුසු සෑම දෙයම අසයි. ඔහුට “මම කුමක් නිසා මේ ප්‍රශ්න අසන්නෙම්ද?” යන්න නිගමනය කළ නොහැක. ඇසූ ඇසූ ප්‍රශ්නයෙහි ඔහුගේ සිත අවුල් වේ. එනිසා ඉන් වැලකිය යුතුයි. මේ හේතුවෙන් ඵග්ගුණ හිමිගේ ප්‍රශ්නයේදී භාග්‍යවතුන් වහන්සේ “ඔබ කුමක් නිසා මේ ප්‍රශ්න ඇසීද?” යි නොවදාරා, දැඩිව ගත් දෘෂ්ටියෙන් ඔහු මිදවීමට කැමති සේක් – “නො කල්ලො පඤ්හො” යනුවෙන් දේශනා කළ සේක.
එහි “නොකල්ලො” යනු නුසුදුසුයි. අයුතුයි. “ආහාරෙතීති අයහං න වදාමී” යනු මම කිසියම් සතෙක් හෝ පුද්ගලයෙක් හෝ අනුභව කරයි යනුවෙන් නොදෙසමි. “ආහාරෙතීති චාහං වදෙය්‍යං” ඉදින් මම “අනුභව කරයි” යනුවෙන් කියත්නම් “තත්‍රස්ස කල්ල පඤ්හො” යනු එවිට මේ ප්‍රශ්නය සුදුසු වේ. “කිස්සනු ඛො භන්තෙ! විඤ්ඤාණාහාරො” යනු ස්වාමීනි! මේ විඤ්ඤාණාහාරය කවරකට ප්‍රත්‍ය වන්නේ ද? යන අර්ථයි. “තත්‍ර කල්ලං වෙය්‍යාකරණං” යනුවෙන් මෙසේ ප්‍රශ්නය විචාළවිට, “විඤ්ඤාණාහාරය අනාගතයේ නැවත ඉපදීමට, පලවීමට හේතුවේ” යන ව්‍යාකරණය සුදුසුය. මෙහි ද “විඤ්ඤාණාහාරො” යනු ප්‍රතිසන්ධියයි. “ආයතිං පුනබ්භවා භිනිබ්බත්ති” යනු ඒ විඤ්ඤාණයෙන් ම හටගත් නාමරූප දෙකයි. “තස්මිං භූතෙ සති සළායතනං” එහි නැවත ඉපදීම් පළවීම් සංඛ්‍යාත වූ නාමරූපයන් පහළවූ කල්හි ආයතන සය ඇතිවන්නේය යන අර්ථයයි.
සළායතන පච්චයා ඵස්සො” මෙහිදී ද භාග්‍යවතුන් වහන්සේ තවත් ප්‍රශ්නයකට ඉඩ සළසමින් දේශනාව නිමාකළ සේක. දෘෂ්ටි ගතිකයා වනාහි නැවත ප්‍රශ්නයක් ඉපිදවීමට සමත් නොවේ. විස්තර කළ ප්‍රශ්නම ය නැවතත් විචාරයි. මෙනිසා භාග්‍යවතුන් වහන්සේ ඔහුට ඒ අවසරය දුන් සේක. අර්ථ වනාහි සියලු පදවල කියූ ක්‍රමයෙන් ගතයුතුයි. “ස්වාමීනි! කවරෙක් නම් වන්නේද?” යනුවෙන් කුමක් නිසා විමසුවේද? දෘෂ්ටිගතිකයා හට සත්වයා නම් සත්‍ය වශයෙන්ම ඇත්තෙකි. හටගත්තෙක්මයැ” යි යන පිළිගැනීම ඇත. එනිසා තම පිළිගැනීමට විරුද්ධ වන හෙයින් “මෙය” යැයි ද්‍රව්‍යාත්මකව නොවිචාළේය. තවද “මෙය තවත් ප්‍රත්‍යයක් හේතුකොටගෙන වන්නේයැ” යි යන්න බොහෝ තැනෙක්හි දේශිත බැවින් ද තමා විසින් අවබෝධ කරගැනීමට පැමිණි හෙයින් ද ඔහු විසින් එසේ නොවිචාරයි. බුදුරජාණන් වහන්සේ ද මේ බොහෝ සෙයින් විමසන්නාගේ සෑහීමකට පත්වීමක් නැති බැවින් – “හිස් ප්‍රශ්නයම අසයි” සිතා එතැන් පටන් දේශනාව ඒකාබද්ධ කර දෙසූ සේක. “ඡන්නත්වෙවා” යනුවෙන් යම්තැනක සිට දේශනාවට නංවන ලද අර්ථයම ගෙන දෙසුම නැවත සසර නැවැත්ම වශයෙන් දක්වන සේක මෙසේ වදාළහ. මේ සූත්‍රයේ වනාහී විඤ්ඤාණය හා නාමරූප දෙක අතර එක් සන්ධියකි. වේදනා හා තණ්හා ප්‍රත්‍ය දෙක අතර එක් සන්ධියකි. භව හා ජාති ප්‍රත්‍ය දෙක අතර එක් සන්ධියකි. මෙලෙස සන්ධි තුනකි.]
SN 02-01-02-03 . ශ්‍රමණ බ්‍රාහ්මණ සූත්‍රය -1
§ 1. මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවෙසෙති. එහිදී, භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
§ 2. “මහණෙනි, යම් ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු ජරාව සහ මරණය නොදනිත්ද, ජරාමරණ ඇතිවීම නොදනිත්ද, ජරාමරණ නැතිවීම නොදනිත්ද, ජරා මරණ නැතිකරන මාර්ගය නොදනිත්ද, ඉපදීම නොදනිත්ද, ඉපදීම ඇතිවීම නොදනිත්ද, ඉපදීම නැතිවීම නොදනිත්ද, ඉපදීම නැතිකරන මාර්ගය නොදනිත්ද, භවය නොදනිත්ද, භවය ඇතිවීම නොදනිත්ද, භවය නැතිවීම නොදනිත්ද, භවය නැතිකරන මාර්ගය නොදනිත්ද, උපාදානය නොදනිත්ද, උපාදානය ඇතිවීම නොදනිත්ද, උපාදානය නැතිවීම නොදනිත්ද, උපාදානය නැතිකරන මාර්ගය නොදනිත්ද, තණ්හාව නොදනිත්ද, තණ්හාව ඇතිවීම නොදනිත්ද, තණ්හාව නැතිවීම නොදනිත්ද, තණ්හාව නැති කරන මාර්ගය නොදනිත්ද, වේදනාව නොදනිත්ද, වේදනාව ඇතිවී නොදනිත්ද, වේදනාව නැතිවීම නොදනිත්ද, වේදනාව නැති කරන මාර්ගය නොදනිත්ද, ස්පර්ශය නොදනිත්ද, ස්පර්ශය ඇතිවීම නොදනිත්ද, ස්පර්ශය නැතිවීම නොදනිත්ද, ස්පර්ශය නැති කරන මාර්ගය නොදනිත්ද, සළායතන (ෂට් ඉන්ද්‍රිය) නොදනිත්ද සළායතන ඇතිවීම නොදනිත්ද, සළායතන නැතිවීම නොදනිත්ද, සළායතන නැතිකරන මාර්ගය නොදනිත්ද,
නාමය සහ රූපය නොදනිත්ද නාමය සහ රූපය ඇතිවීම නොදනිත්ද, නාමය සහ රූපය නැතිවීම නොදනිත්ද, විඤ්ඤාණය නොදනිත්ද, විඤ්ඤාණය ඇතිවීම නොදනිත්ද, විඤ්ඤාණය නැතිවීම නොදනිත්ද, විඤ්ඤාණය නැතිකරන මාර්ගය නොදනිත්ද, සංස්කාරයන් නොදනිත්ද, සංස්කාරයන් ඇතිවීම නොදනිත්ද, සංස්කාරයන් නැතිවීම නොදනිත්ද, සංස්කාරයන් නැතිකරන මාර්ගය නොදනිත්ද,
මහණෙනි, ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ ශ්‍රමනයන් හෝ බ්‍රහ්මනයන්ය කියා හැඳින්වීම නුසුදුසුය.
ඒ ආයුෂ්මත්හු ශ්‍රමණ බවේ ඵලය හෝ බ්‍රාහ්මන බවේ ඵලය හෝ මේ ජීවිතයේම තමන්ම දැන ප්‍රත්‍යක්ෂකොට ඊට පැමිනීමට අසමත් වුවෝය.
§ 3. මහණෙනි, යම්කිසි මහණෙක් හෝ බමුණෙක් ජරාව සහ මරණය දනිත්ද , ජරාමරණයන්ගේ ඇතිවීම දනිත්ද, ජරා මරණය නැතිවීම දනිත්ද, ජරාමරණය නැති කරන මාර්ගය දනිත්ද,
ඉපදීම දනිත්ද, ඉපදීම ඇතිවීම දනිත්ද, ඉපදීම නැතිවීම දනිත්ද, ඉපදීම නැතිකරන මාර්ගය දනිත්ද,
භවය දනිත්ද, භවය ඇතිවීම දනිත්ද, භවය නැතිවීම දනිත්ද, භවය නැතිකරන මාර්ගය දනිත්ද,
උපාදානය (දැඩිව අල්ලා ගැනීම) දනිත්ද, උපාදානය (දැඩිව අල්ලා ගැනීම) ඇතිවීම දනිත්ද, උපාදානය (දැඩිව අල්ලා ගැනීම) නැතිවීම දනිත්ද, උපාදානය (දැඩිව අල්ලා ගැනීම) නැතිකරන මාර්ගය දනිත්ද,
තණ්හාව දනිත්ද? තණ්හාව ඇතිවීම දනිත්ද, තණ්හාව නැතිවීම දනිත්ද, තණ්හාව නැති කරන මාර්ගය දනිත්ද,
වේදනාව දනිත්ද, වේදනාව ඇතිවීම දනිත්ද, වේදනාව නැති වීම දනිත්ද, වේදනාව නැතිකරන මාර්ගය දනිත්ද,
ස්පර්ශය දනිත්ද, ස්පර්ශය ඇතිවීම දනිත්ද, ස්පර්ශය නැතිවීම දනිත්ද, ස්පර්ශය නැතිකරන මාර්ගය දනිත්ද,
සළායතනයන් (ෂට් ඉන්ද්‍රිය) දනිත්ද, සළායතනයන් (ෂට් ඉන්ද්‍රිය) ඇතිවීම දනිත්ද, සළායතනයන් (ෂට් ඉන්ද්‍රිය) නැතිවීම දනිත්ද, සළායතනයන් (ෂට් ඉන්ද්‍රිය) නැති කරන මාර්ගය දනිත්ද,
නාමරූපයන් දනිත්ද, නාමරූපයන් ඇතිවීම දනිත්ද, නාමරූපයන් නැතිවීම දනිත්ද, නාමරූපයන් නැති කරන මාර්ගය දනිත්ද, විඤ්ඤාණය දනිත්ද, විඤ්ඤාණය ඇතිවීම දනිත්ද, විඤ්ඤාණය නැතිවීම දනිත්ද, විඤ්ඤාණය නැතිකරන මාර්ගය දනිත්ද,
සංස්කාරයන් දනිත්ද, සංස්කාරයන් ඇතිවීම දනිත්ද, සංස්කාරයන් නැතිවීම දනිත්ද, සංස්කාරයන් නැතිකරන මාර්ගය දනිත්ද, මහණෙනි, ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ශ්‍රමණයන් ශ්‍රමනයෝය බ්රාහ්මනයෝය. කියා කියන්නට සුදුසු වෙති. ඒ ආයුෂ්මත්හු ශ්‍රමණ භාවයේ ඵලයද, බ්‍රාහ්මණ භාවයේ ඵලයද මේ ජීවිතයේදීම තමන්ම දැන, ප්‍රත්‍යක්ෂකොට ඊට පැමිණ වාසය කෙරෙත්.
(ශ්‍රමණ බ්‍රාහ්මණ සූත්‍රය නිමි.)
[3. සමණබ්‍රාහ්මණ සූත්‍ර වර්ණනාව:- තෙවන සූත්‍රයේ “සමණා වා බ්‍රාහ්මනා වා” යනු සත්‍ය අවබෝධ කරගැනීමට අසමත් බැවින් බුදුසසුනින් බැහැර වූ මහණ බමුණෝ. “ජරා මරණං නප්පජානන්ති” ආදියේ ජරාමරණ දෙක දුක්ඛ සත්‍ය වශයෙන් නොදනිති. සමුදය සත්‍ය වශයෙන් ජරා මරණ දෙකේ ඇතිවීම නොදනිති. තණ්හාවත් සමග ජාති-ජරා-මරණ ආදියේ ඇතිවීම වේයැයි නොදනිති. නිරෝධ සත්‍යය වශයෙන් ජරා මරණ දෙකේ නැතිවීම නොදනිති. මාර්ග සත්‍ය වශයෙන් දුක ජයගන්නා ප්‍රතිපදාව නොදනිති. දුක්ඛ සත්‍යය වශයෙන් ඉපදීම නොදනියි. සමුදය සත්‍ය වශයෙන් “තණ්හාවත් සමග භවය, ජාතිය හටගනියි” යන ඉපදීමේ හේතුව නොදනිති. මෙසේ තණ්හාවත් සමග හටගැනීමේ හේතුව සෑම පදයකම යොදා චතුරාර්‍ය සත්‍යය මූලිකව අර්ථය දතුයුතුයි. “සාමඤ්ඤත්ථං වා බ්‍රහ්මඤ්ඤත්ථං වා” යනු මේ ආර්‍ය මාර්ගයෙහි ශ්‍රමණ බව, බ්‍රහ්ම බව යන වදන් දෙකෙහිම අර්ථය නම් “ආර්‍ය ඵලයම වන බව දතයුතුයි. මෙසේ භාග්‍යවතුන් වහන්සේ මෙම සූත්‍රයෙහි එකොළොස් තැනක චතුරාර්‍ය සත්‍යය දක්වා ඇත.]
SN 02-01-02-04. දුතිය ශ්‍රමණ බ්‍රාහ්මණ සූත්‍රය
§ 1. මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. එවිට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
§ 2. “මහණෙනි, යම් කිසි ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ මේ ධර්මයන් නොදනිත්ද, මේ ධර්මයන්ගේ ඇතිවීම නොදනිත්ද, මේ ධර්මයන්ගේ නැතිවීම නොදනිත්ද, මේ ධර්මයන් නැතිකරන මාර්ගය නොදනිත්ද, ඔවුන් ශ්‍රමනයන් හෝ බ්‍රාහ්මණයන් ලෙස කීම නොවටී.
කිනම් ධර්මයන් නොදනිත්ද? කිනම් ධර්මයක ඇතිවීම නොදනිත්ද? කිනම් ධර්මයක නැතිවීම නොදනිත්ද? කිනම් ධර්මයක් නැතිවෙන මාර්ගය නොදනිත්ද?
ජරා මරණ නොදනිත්ද, ජරා මරණයන්ගේ ඇතිවීම නොදනිත්ද, ජරාමරණයන්ගේ නැතිවීම නොදනිත්ද, ජරා මරණය නැතිවෙන මාර්ගය නොදනිත්ද,
ඉපදීම නොදනිත්ද, ඉපදීම ඇතිවීම නොදනිත්ද, ඉපදීම නැතිවීම නොදනිත්ද, ඉපදීම නැතිකරන මාර්ගය නොදනිත්ද, භවය නොදනිත්ද,
භවය ඇතිවීම නොදනිත්ද, භවය නැතිවීම නොදනිත්ද, භවය නැතිකරන මාර්ගය නොදනිත්ද,
උපාදානය ( ඇතිවීම නොදනිත්ද, උපාදානය නැතිවීම නොදනිත්ද, උපාදානය නැතිකරන මාර්ගය නොදනිත්ද,
තණ්හාව නොදනිත්ද තණ්හාව ඇතිවීම නොදනිත්ද, තණ්හාව නැතිවීම නොදනිත්ද, තණ්හාව නැතිකරන මාර්ගය නොදනිත්ද,
වේදනාව නොදනිත්ද, වේදනාව ඇතිවීම නොදනිත්ද, වේදනාව නැතිවීම නොදනිත්ද, වේදනාව නැති කරන මාර්ගය නොදනිත්ද,
ස්පර්ශය නොදනිත්ද, ස්පර්ශය ඇතිවීම නොදනිත්ද, ස්පර්ශය නැතිවීම නොදනිත්ද, ස්පර්ශය නැතිකරන මාර්ගය නොදනිත්ද,
සළායතනයන් (ෂට් ඉන්ද්‍රිය) නොදනිත්ද, සළායතනයන් ඇතිවීම නොදනිත්ද, සළායතනයන් නැතිවීම නොදනිත්ද, සළායතනයන් නැතිකරන මාර්ගය නොදනිත්ද,
නාමරූපයන් නොදනිත්ද, නාමරූපයන් ඇතිවීම නොදනිත්ද, නාමරූපයන් නැතිවීම නොදනිත්ද, නාම රූපයන් නැතිකරන මාර්ගය නොදනිත්ද,
විඤ්ඤාණය නොදනිත්ද, විඤ්ඤාණය ඇතිවීම නොදනිත්ද, විඤ්ඤාණය නැතිවීම නොදනිත්ද, විඤ්ඤාණය නැතිකරන මාර්ගය නොදනිත්ද,
සංස්කාරයන් නොදනිත්ද, සංස්කාරයන්ගේ ඇතිවීම නොදනිත්ද, සංස්කාරයන්ගේ නැතිවීම නොදනිත්ද, සංස්කාරයන් නැතිවන මාර්ගය නොදනිත්ද,
මේ ධර්මයන් නොදනිත්ද, මේ ධර්මයන්ගේ ඇතිවීම නොදනිත්ද, මේ ධර්මයන්ගේ නැතිවීම නොදනිත්ද, මේ ධර්මයන් නැතිවන මාර්ගය නොදනිත්ද, මහණෙනි, ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ශ්‍රමණයන් අතුරෙහි ශ්‍රමණ සම්මතද, බ්‍රාහ්මණයන් අතුරෙහි බ්‍රාහ්මණ සම්මතද නොවෙති. ඒ ආයුෂ්මත්හුද ශ්‍රමණභාවයේ ඵලය හෝ බ්‍රාහ්මණ භාවයේ ඵලය හෝ මේ ආත්මභාවයෙහි තෙමේම දැන ප්‍රත්‍යක්ෂකොට ඊට පැමිණ වාසය නොකරත්.
§ 3. “මහණෙනි, යම් කිසි ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ මේ ධර්මයන් දනිත්ද, මේ ධර්මයන්ගේ ඇතිවීම දනිත්ද, මේ ධර්මයන්ගේ නැතිවීම දනිත්ද, මේ ධර්මයන් නැතිවන මාර්ගය දනිත්ද, කිනම් ධර්මයක් දනිත්ද, කිනම් ධර්මයක්හුගේ ඇතිවීම දනිත්ද? කිනම් ධර්මයක්හුගේ නැතිවීම දනිත්ද? කිනම් ධර්මයක්හුගේ නැතිවෙන මාර්ගය දනිත්ද? ජරාමරණය දනිත්ද, ජරාමරණයාගේ ඇතිවීම දනිත්ද, ජරාමරණය නැතිවීම දනිත්ද, ජරාමරණය නැතිවෙන මාර්ගය දනිත්ද, ඉපදීම දනිත්ද,
ඉපදීම ඇතිවීම දනිත්ද, ඉපදීම නැතිවීම දනිත්ද, ඉපදීම නැතිවෙන මාර්ගය දනිත්ද, භවය දනිත්ද, භවය ඇතිවීම දනිත්ද, භවය නැතිවීම දනිත්ද, භවය නැතිවෙන මාර්ගය දනිත්ද,
උපාදානය (දැඩිව අල්ලා ගැනීම) දනිත්ද උපාදානය (දැඩිව අල්ලාගැනීම) ඇතිවීම දනිත්ද, උපාදානය (දැඩිව අල්ලාගැනීම) නැතිවීම දනිත්ද, උපාදානය (දැඩිව අල්ලාගැනීම) නැතිවෙන මාර්ගය දනිත්ද,
තණ්හාව දනිත්ද, තණ්හාව ඇතිවීම දනිත්ද, තණ්හාව නැතිවීම දනිත්ද, තණ්හාව නැතිවෙන මාර්ගය දනිත්ද,
වේදනාව දනිත්ද, වේදනාව ඇතිවීම දනිත්ද, වේදනාව නැතිවීම දනිත්ද වේදනාව නැති වෙන මාර්ගය දනිත්ද
ස්පර්ශය දනිත්ද, ස්පර්ශය ඇතිවීම දනිත්ද, ස්පර්ශය නැතිවීම දනිත්ද, ස්පර්ශය නැතිවෙන මාර්ගය දනිත්ද,
සළායතනයන් (ෂට් ඉන්ද්‍රිය) දනිත්ද, සළායතනයන් ඇතිවීම දනිත්ද, සළායතන නැතිවීම දනිත්ද, සළායතනයන් නැතිවෙන මාර්ගය දනිත්ද,
නාමරූපයන් දනිත්ද, නාමරූපයන් ඇතිවීම දනිත්ද, නාමරූපයන් නැතිවීම දනිත්ද, නාමරූපයන් නැතිවෙන මාර්ගය දනිත්ද,
විඤ්ඤාණය දනිත්ද, විඤ්ඤාණය ඇතිවීම දනිත්ද, විඤ්ඤාණය නැතිවීම දනිත්ද, විඤ්ඤාණය නැතිවෙන මාර්ගය දනිත්ද,
සංස්කාරයන් දනිත්ද, සංස්කාරයන්ගේ ඇතිවීම දනිත්ද, සංස්කාර නැතිවීම දනිත්ද, සංස්කාර නැතිවෙන මාර්ගය දනිත්ද,
මේ ධර්මයන් දනිත්ද, මේ ධර්මයන්ගේ ඇතිවීම දනිත්ද, මේ ධර්මයන්ගේ නැතිවීම දනිත්ද, මේ ධර්මයන්ගේ නැතිවෙන මාර්ගය දනිත්ද, මහණෙනි, ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ශ්‍රමණයන් අතුරෙහි ශ්‍රමණ සම්මතද, බ්‍රාහ්මණයන් අතුරෙහි බ්‍රාහ්මණ සම්මතද වෙත්. ඒ ආයුෂ්මත්හුද ශ්‍රමණ භාවයේ ඵලයද, බ්‍රාහ්මණ භාවයේ ඵලයද, මේ ආත්මභාවයෙහි තෙමේම දැන, ප්‍රත්‍යක්ෂ කොට ඊට පැමිණ වාසය කරති.
(සතරවන ශ්‍රමණ බ්‍රාහ්මණ සූත්‍රය නිමි.)
[4. දුතිය සමණබ්‍රාහ්මණ සූත්‍ර වර්ණනාව:- සිවුවන සූත්‍රයේ – “ඉමෙ ධම්මෙ-කතමෙ ධම්මෙ” යනු මේ දක්වා විස්තර කර, දේශනා කරන ලද, ධර්මය අවබෝධ කරගැනීමට සමත් පුද්ගලයන්ගේ අදහසට අනුව – “ඉමෙ ධම්මා නප්පජානන්තී” ආදිය දක්වන ලදී. සෙසු පද විස්තර මුල් සූත්‍රයන්ට සමානය.]
SN 02-01-02-05. කාත්‍යායන ගෝත්‍ර සූත්‍රය
§ 1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩ වසන සේක.
§ 2. ඉක්බිති කච්චායනගොත්ත නම් භික්ෂුව භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක් පැත්තෙක සිට භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. \
“ස්වාමීනි, සම්‍යක්දෘෂ්ටිය, සම්‍යක් දෘෂ්ටියයි කියනු ලබයි. ස්වාමීනි කෙතෙක් කරුණකින් සම්‍යක්දෘෂ්ටිය ඇති වේද?”
§ 3. “කච්චායනය, මේ ලෝවැසියා බොහෝ සෙයින් ‘ඇත්තේය යන දෘෂ්ටියෙහිද, නැත්තේය යන දෘෂ්ටියෙහිද පිහිටා සිටී..
“කච්චායනය, ලෝකයේ ඇතිවීම ඇතිසැටියෙන් මනා නුවණින් දකින්නාට, ලෝකයෙහි නැත්තේය යන දෘෂ්ටිය ඇති නොවෙයි. කච්චායනය, ලෝකයේ නැතිවීම ඇතිසැටියෙන් මනා නුවණින් දකින්නාට ලෝකයෙහි ඇත්තේය යන දෘෂ්ටිය ඇති නොවෙයි
“කච්චායනය, මේ ලෝවැසියෝ බොහෝ සෙයින් උපාය උපාදාන අභිනිවෙස නම්වූ තෘෂ්ණා දෘෂ්ටීන් විසින් බැදී සිටියි.
එහෙත් ආර්ය ශ්‍රාවකයා අකුසල් සිතට පිහිටවූ, නිවාසස්ථානවූ, නිදනස්ථානයවූ උපාය උපාදානයයි කියන තෘෂ්ණා දෘෂ්ටි දෙකින් මෙය මාගේ ආත්මයයි නොඅදහයි, නොගනියි, නොපිහිටයි. උපදිනුයේද පඤ්චස්කන්ධ දුකමය, නිරුද්ධ වන්නේද පඤ්චස්කන්ධ දුකමය, එයින් අන්‍යවූ සත්වයෙක් පුද්ගලයෙක් නොවේයයි සැක නොකරයි, දෙයාකාරයකින් නොසිතයි, ඔහුට මෙහි ප්‍රත්‍යක්ෂවූම ඥානයක් වෙයි. කච්චායනය, මෙතෙක් කරුණුවලින් සම්‍යක්දෘෂ්ටිය වෙයි.
§ 4. කච්චායනය, සියල්ල ඇත යන මේ ශාස්වත දෘෂ්ටිය වනාහි එක් අන්තයකි. සියල්ල නැත යන මේ උච්ඡේද දෘෂ්ටිය දෙවෙනි අන්තයයි. කච්චායනය, මේ අන්ත දෙකට නොපැමිණ, තථාගතයන් වහන්සේ මධ්‍යම ප්‍රතිපදාවෙන් ධර්මය දේශනා කරන සේක. (කෙසේද?)
අවිජ්ජාව නිසා සංස්කාරයෝ ඇතිවෙති. සංස්කාරයන් නිසා විඤ්ඤාණය ඇතිවේ. විඤ්ඤාණය නිසා නාමරූප ඇතිවේ. නාමරූප නිසා සළායතන ඇතිවේ. සළායතන නිසා ස්පර්ශය ඇතිවේ. ස්පර්ශය නිසා වේදනාව ඇතිවේ. වේදනාව නිසා තණ්හාව ඇතිවේ. තණ්හාව නිසා උපාදානය ඇතිවේ. උපාදානය නිසා භවය ඇතිවේ භවය නිසා (ජාතිය) ඉපදීම ඇතිවේ. ඉපදීම (ජාතිය) නිසා ජරා මරණ, ශෝකවීම්, හැඬීම්, දුක්වීම්, දොමනස්වීම් සහ වැළපීම් ඇතිවෙත්. මෙසේ මේ සියලු එකම දුක්ගොඩ ඇතිවේ.
අවිජ්ජාව සහමුලින් නැතිවීමෙන් සංස්කාරයෝ නැතිවෙති. සංස්කාරයන් නැතිවීමෙන් විඤ්ඤාණය නැතිවේ. විඤ්ඤාණය නැතිවීමෙන් නාමරූප නැතිවෙයි. නාමරූප නැතිවීමෙන් සළායතන නැතිවෙයි. සළායතන නැතිවීමෙන් ස්පර්ශය නැතිවෙයි. ස්පර්ශය නැතිවීමෙන් වේදනාව නැතිවෙයි. වේදනාව නැතිවීමෙන් තණ්හාව නැතිවෙයි. තණ්හාව නැතිවීමෙන් උපාදානය නැතිවෙයි. උපාදානය නැතිවීමෙන් ජාතිය (ඉපදීම) නැතිවෙයි. ජාතිය නැතිවීමෙන් ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ නැතිවේ. මෙසේ මේ සියලු දුක්ගොඩ නැතිවේය කියායි.”
(කාත්‍යායන ගොත්‍ර සූත්‍රය නිමි.)
[5. කච්චානගොත්ත සූත්‍ර වර්ණනාව :- පස්වන සූත්‍රයේ – “සම්මාදිට්ඨි” යනු යම් පණ්ඩිත වූ දිව්‍ය මනුෂ්‍යයෝ, ඒ ඒ තැන්හි “සම්‍යක් දර්ශනය” යැයි යමකට කියත් ද ඒ සියල්ල ම මෙම දෙපදයෙන් හකුළුවා දක්වන ලද්දේ, විමසයි. “ද්වයං නිස්සිතො” යනු දෙකොටසක් ඇසුරු කළයුතුය. “යෙභුය්‍යෙත” යනුවෙන් ආර්‍ය පුද්ගලයන් හැර – සෙසු මහජනයා අදහස් කරයි. “අත්ථිතං” යනු ශාස්වත වාදයයි. “නත්ථිතං” යනු උච්ඡේද වාදයයි. “ලෝකසමුදයං” යනු ලෝකය නම් සංස්කාරික ලෝකයයි. එහි ඉපදීමයි. “සම්මප්පඤ්ඤාය පස්සතො” යනු සම්‍යක් ප්‍රඥාව නම් විදර්ශනාව සහිත මාර්ග ප්‍රඥාවයි. එය දකින්නා යන අර්ථයයි. “යා ලොකෙ නත්ථිතා” යනු සංස්කාරයමය ලෝකයෙහි හටගත් ධර්මයන් පිළිබඳව ප්‍රඥාවෙන්ම “යමක් නැතැ”යි යන උච්ඡේද දෘෂ්ටිය උපදින්නේ නම්, “එබඳු දෘෂ්ටියක් නැත” යන අර්ථයයි. “ලොක නිරොධං” යනු සංස්කාරයන්ගේ බිඳීයාමයි. නැසීයාමයි. “යා ලොකෙ අත්ථිතා” යනු සංස්කාර ලෝකයෙහි විද්‍යාමාන වූ ධර්ම පිළිබඳ ප්‍රඥාවෙන් ම ‘යමක් ඇත’ යි යන ශාස්වත දෘෂ්ටිය උපදින්නේ නම්, “එබඳු දෘෂ්ටියක් නොමැත” යන අර්ථයි.
තවද “ලොකසමුදයං” යනු ප්‍රතීත්‍ය සමුත්පාදය අනුලෝම වශයෙන් දැක්වීමයි. “ලොකනිරොධං” යනු ප්‍රතීත්‍ය සමුප්පාදය ප්‍රතිලෝම වශයෙන් දැක්වීමයි. ලෝකය ආශ්‍රයෙන් දකින්නහුට, ප්‍රත්‍යයන්ගේ නොසිඳීමෙන් ප්‍රත්‍යුත්පන්න ධර්මයන්ගේ නොසිඳී පැවැත්ම දැකීමෙන්, ‘යමක් නැත’යි යන උච්ඡේද දෘෂ්ටිය උපදින්නේ නම් එය නැත. ප්‍රත්‍යයන්ගේ නිරෝධය දකින්නහුට ද ප්‍රත්‍යයන්ගේ නැතිවීමෙන් ප්‍රත්‍යුත්පන්න ධර්මයන්ගේ නිරුද්ධවීම දැකීමෙන්, “යමක් ඇතැ”යි යන “ශාස්වත දෘෂ්ටිය නූපදින්නේය” යන අර්ථයි.
උපායුපාදානා භි නිවෙස විනිබද්ධො” යනු උපායෙහි ද උපාදානයෙහි ද අභිනිවේසනයෙහිද එකට බැඳී සම්භන්ධ වූ යන අර්ථයයි. එහි ‘උපාය’ යනු උපාය දෙකකි. තණ්හා උපායත, දිට්ඨි උපායත් ය. උපාදානයෙහි ද මේ ක්‍රමයම යෙදේ. තණ්හා දෘෂ්ටියෙහි යම් හෙයකින් “මම” “මගේ” යනාදී ආකාරයෙන් ත්‍රෛභූමික ධර්මයන්ට පැමිණෙයි. ළඟට පැමිණෙයි. යන අරුතින් ‘උපාය’ යැයි කියනු ලැබේ. යම්හෙයකින් ඒ ධර්මයන්හි අල්ලාගනියි ද එසේම ඇලීමට පැමිණෙයි ද එනිසා “උපාදාන” යැයි ද “අභිනිවෙස” යැයිද කියනු ලැබේ. මේවායින් සත්වයා ලෝකයට බැඳුණේය. එබැවින් “උපාය-උපාදාන-අභිනිවේසාදියෙන් බැඳුණේ” යැයි කියන ලදී.
තඤ්චාය” යනු ඒ උපාදාන ඇති මේ ආර්‍ය ශ්‍රාවකයායි. “චෙතසො අධිට්ඨානං” යනු සිතේ තදින් පිහිටියා වූ යනුයි. “අභිනිවෙසානුසයං” යනු නිවාස වූ ද සැඟවී පවතින්නා වූ ද තණ්හා, දෘෂ්ටි ආදී අකුසල සිත් පිහිටියේය. එහි තදින් ඇලී පවතිනුයේ ද අත්නොහැර පවතිනුයේ ද වේ. එනිසා ඒ දෙක සිතේ අධිෂ්ඨාන වශයෙන් තදින් ඇලී පවතිනුයේ ඇයි කියන ලදී. “න උපෙති” යනු නොපැමිණෙයි. “න උපාදියති” යනු නොගනියි. “නාධිට්ඨාති” යනු අධිෂ්ඨාන නොකරයි. කුමක්ද? “අත්තා මෙ” යනු ‘මගේ ආත්මය’ යනුවෙනි. “දුක්ඛමෙව” යනු පංච උපාදානස්කන්ධයම පමණක්ම. “න කඞඛතී” යනු දුකම උපදියි. දුකම නිරුද්ධ වේ. මෙහි අනෙක් සත්ත්වයෙක් නම් ඇතැයි සැක නොකරයි. “ත විචිකිච්ඡතී” යනු සැකයක් නූපදවයි.
අපරප්පච්චයා” යනු අන්‍යයන්ගේ පිහිට නොසොයන, අන්‍යයකුගේ ප්‍රාර්ථනාවක් නොමැතිව, ආත්ම ප්‍රත්‍යක්ෂ ඤාණ වශයෙන් මෙහි වේ යනුයි. “එත්තාවතා ඛො කච්චාන! සම්මා දිට්ඨි හොති” මෙසේ ‘සත්ව’ සංඥාව ප්‍රහීණ කළ බැවින් මෙපමණකින් යහපත් දර්ශනය නම් වන්නේ යැයි මිශ්‍ර වූ සම්‍යක් දෘෂ්ටිය කියන ලදී. “අයමෙකො අන්තො” මෙය එක්තරා පහත් වූ-ළාමක වූ අන්තයකි. පළමු ශාස්වතවාදයයි. “අයං දුතියො” මෙය දෙවැන්නයි. සියල්ල නැතැයි හටගත් දෘෂ්ටි සංඛ්‍යාත පහත්වූ-ළාමකවූ අන්තයකි. දෙවැනි උච්ඡේද වාදයයි යන අර්ථයි. මෙහි සෙසු පද විභාග ඉතා ප්‍රකටමය.]
SN 02-01-02-06. ධර්ම කථික සූත්‍රය
§ 1. මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක
. § 2. ඉක්බිති එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පසෙක හුන්නේය. එක්පසෙක හුන් ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. ස්වාමීනි, ධර්මකථිකයාය, ධර්මකථිකයායයි කියනු ලැබේ. ස්වාමීනි, කොපමණකින් වනාහි ධර්ම කථිකයෙක් වෙයිද?”
§ 3.“ඉදින් භික්ෂුව ජරා මරණයට කලකිරීම පිණිසද, නොඇලීම පිණිසද, ජරා මරණ නැතිකිරීම පිණිසද, ධර්මදේශනා කෙරේද, ඒ භික්ෂුව ධර්මකථික භික්ෂුවයයි කීමට සුදුසුය. ඉදින් භික්ෂුව ජරා මරණයට කලකිරීම පිණිසද නොඇලීම පිණිසද සහ ජරා මරණ නැතිකිරීම පිණිසද පිළිපන්නේ වෙයිද, ඒ භික්ෂුව (ධර්මානුධර්ම පටිපන්න) ලෝකෝත්තර ධර්මයට අනුව පිළිපන් භික්ෂුවයයි කීමට සුදුසුය. ඉදින් භික්ෂුව ජරා මරණයට කලකරීම හේතුකොටගෙන, නොඇලීම හේතුකොටගෙන, ජරා මරණ නැතිකිරීම හේතුකොටගෙන, සතර උපාදානයන්ගේ අල්වා ගැනීමෙන් මිදුනේ වේද, ඒ භික්ෂුව මේ ආත්මයෙහි නිවණට පැමිණි භික්ෂුවයයි කීමට සුදුසුය.
§ 4. “ඉදින් භික්ෂුව ඉපදීමට කලකිරීම, නොඇලීම, එය නැතිකිරීම පිණිස ධර්මදේශනා කෙරේද, ඒ භික්ෂුව ධර්මකථික භික්ෂුවයයි කීමට සුදුසුය. ඉදින් භික්ෂුව ජාතියට කලකිරීම, නොඇලීම සහ එය නැතිකිරීම පිණිස පිළිපන්නේ වෙයිද, ඒ භික්ෂුව ලෝකොත්තර ධර්මයට අනුකූලවූ, ධර්මයට පැමිණි භික්ෂුවයයි කීමට සුදුසුය. ඉදින් භික්ෂුව ජාතියට කලකිරීමෙන් නොඇලීමෙන් එය නැතිකිරීමෙන් සහ සතර උපාදානයන්ගේ වශයෙන් කිසිවක් නොගැනීමෙන් වැළකුණේ වේද, ඒ භික්ෂුව මේ ආත්මයෙහි නිවණට පැමිණි භික්ෂුවයි කීමට සුදුසුය.
§ 5. “ඉදින් භික්ෂුව භවයට කලකිරීම, නොඇලීම එය නැතිකිරීම පිණිස ධර්මදේශනා කෙරේද, ඒ භික්ෂුව ධර්මකථික භික්ෂුවයයි කීමට සුදුසුය. ඉදින් භික්ෂුව භවයට කලකිරීම, නොඇලීම සහ එය නැතිකිරීම පිණිස පිළිපන්නේ වෙයිද, ඒ භික්ෂුව ලෝකොත්තර ධර්මයට අනුකූලවූ, ධර්මයට පැමිණි භික්ෂුවයයි කීමට සුදුසුය. ඉදින් භික්ෂුව භවයට කලකිරීමෙන් නොඇලීමෙන් එය නැතිකිරීමෙන් සහ සතර උපාදානයන්ගේ වශයෙන් කිසිවක් නොගැනීමෙන් වැළකුණේ වේද, ඒ භික්ෂුව මේ ආත්මයෙහි නිවණට පැමිණි භික්ෂුවයයි කීමට සුදුසුය.
§ 6. “ඉදින් භික්ෂුව උපාදානයට (තද ඇල්මට) කලකිරීම, නොඇලීම, එය නැතිකිරීම පිණිස ධර්මදේශනා කෙරේද, ඒ භික්ෂුව ධර්මකථික භික්ෂුවයයි කීමට සුදුසුය. ඉදින් භික්ෂුව උපාදානයට (තද ඇල්මට) කලකිරීම, නොඇලීම සහ එය නැතිකිරීම පිණිස පිළිපන්නේ වෙයිද ඒ භික්ෂුව ලෝකොත්තර ධර්මයට අනුකූලවූ, ධර්මයට පැමිණි භික්ෂුවයයි කීමට සුදුසුය. ඉදින් භික්ෂුව උපාදානයට කලකිරීමෙන් නොඇලීමෙන් එය නැතිකිරීමෙන් සහ සතර උපාදානයන්ගේ වශයෙන් කිසිවක් නොගැනීමෙන් වැළකුණේද, ඒ භික්ෂුව මේ ආත්මයෙහි නිවණට පැමිණි භික්ෂුවයයි කීමට සුදුසුය.
§ 7. “ඉදින් භික්ෂුව තණ්හාවට කලකිරීම; නොඇලීම එය නැතිකිරීම පිණිස ධර්මදේශනා කෙරේද, ඒ භික්ෂුව ධර්මකථික භික්ෂුවයයි කීමට සුදුසුය. ඉදින් භික්ෂුව තණ්හාවට කලකිරීම, නොඇලීම සහ එය නැතිකිරීම පිණිස පිළිපන්නේ වෙයිද, ඒ භික්ෂුව ලෝකොත්තර ධර්මයට අනුකූලවූ, ධර්මයට පැමිණි භික්ෂුවයයි කීමට සුදුසුය. ඉදින් භික්ෂුව තණ්හාවට කලකිරීමෙන් නොඇලීමෙන් එය නැතිකිරීමෙන් සහ සතර උපාදානයන්ගේ වශයෙන් කිසිවක් නොගැනීමෙන් වැළකුණේවේද, ඒ භික්ෂුව මේ ආත්මයෙහි නිවණට පැමිණි භික්ෂුවයයි කීමට සුදුසුය.
§ 8. “ඉදින් භික්ෂුව වේදනාවට කලකිරීම, නොඇලීම එය නැතිකිරීම පිණිස ධර්මදේශනා කෙරේද ඒ භික්ෂුව ධර්ම කථික භික්ෂුවයයි කීමට සුදුසුය. ඉදින් භික්ෂුව වේදනාවට කලකිරීම, නොඇලීම සහ එය නැතිකිරීම පිණිස පිළිපන්නේවෙයිද, ඒ භික්ෂුව ලෝකොත්තර ධමර්යට අනුකූලවූ, ධර්මයට පැමිණි භික්ෂුවයයි කීමට සුදුසුය. ඉදින් භික්ෂුව වේදනාවට කලකිරීමෙන්, නොඇලීමෙන් එය නැතිකිරීමෙන් සහ සතර උපාදානයන්ගේ වශයෙන් කිසිවක් නොගැනීමෙන් වැළකුණේවේද, ඒ භික්ෂුව මේ ආත්මයෙහි නිවණට පැමිණි භික්ෂුවයයි කීමට සුදුසුය.
§ 9. “ඉදින් භික්ෂුව ස්පර්ශයට කලකිරීම නොඇලීම එය නැතිකිරීම පිණිස ධර්මදේශනා කෙරේද, ඒ භික්ෂුව ධර්ම කථික භික්ෂුවයයි කීමට සුදුසුය. ඉදින් භික්ෂුව ස්පර්ශයට කලකිරීම, නොඇලී සහ එය නැතිකිරීම පිණිස පිළිපන්නේ වෙයිද, ඒ භික්ෂුව ලෝකොත්තර ධර්මයට අනුකූලවූ, ධර්මයට පැමිණි භික්ෂුවයයි කීමට සුදුසුය. ඉදින් භික්ෂුව ස්පර්ශයට කලකිරීමෙන් නොඇලීමෙන් එය නැතිකිරීමෙන් සහ සතර උපාදානයන්ගේ වශයෙන් කිසිවක් නොගන්ණේ ද, ඒ භික්ෂුව මේ ආත්මයෙහි නිවණට පැමිණි භික්ෂුවයයි කීමට සුදුසුය.
§ 10. “ඉදින් භික්ෂුව සළායතනයන්ට කලකිරීම, නොඇලීම, එය නැතිකිරීම පිණිස ධර්මදේශනා කෙරේද, ඒ භික්ෂුව ධර්ම කථික භික්ෂුවයයි කීමට සුදුසුය. ඉදින් භික්ෂුව සළායතනයන්ට කලකිරීම, නොඇලීම සහ එය නැති කිරීම පිණිස පිළිපන්නේ වෙයිද, ඒ භික්ෂුව ලෝකොත්තර ධර්මයට අනුකූලවූ, ධර්මයට පැමිණි භික්ෂුවයයි කීමට සුදුසුය. ඉදින් භික්ෂුව සළායතනයන්ට කලකිරීමෙන් නොඇල්මෙන් එය නැතිකිරීමෙන් සහ සතර උපාදානයන්ගේ වශයෙන් කිසිවක් නොගැනීමෙන් වැළකුණේද, ඒ භික්ෂුව මේ ආත්මයෙහි නිවණට පැමිණි භික්ෂුවයයි කීමට සුදුසුය.
§ 11. “ඉදින් භික්ෂුව නාම රූපයන්ට කලකිරීම, නොඇලී, එය නැතිකිරීම පිණිස ධර්මදේශනා කෙරේද, ඒ භික්ෂුව ධර්ම කථික භික්ෂුවයයි කීමට සුදුසුය. ඉදින් භික්ෂුව නාමරූපයන්ට කලකිරීම, නොඇලීම සහ එය නැති කිරීම පිණිස පිළිපන්නේ වෙයිද, ඒ භික්ෂුව ලෝකොත්තර ධර්මයට අනුකූලවූ, ධර්මයට පැමිණි භික්ෂුවයයි කීමට සුදුසුය. ඉදින් භික්ෂුව නාමරූපයන්ට කලකිරීමෙන් නොඇලීමෙන් එය නැතිකිරීමෙන් සහ සතර උපාදානයන්ගේ වශයෙන් කිසිවක් නොගැනීමෙන් වැළකුණේද, ඒ භික්ෂුව මේ ආත්මයෙහි නිවණට පැමිණි භික්ෂුවයයි කීමට සුදුසුය.
§ 12. “ඉදින් භික්ෂුව විඤ්ඤාණයට කලකිරීම, නොඇලීම, එය නැතිකිරීම පිණිස ධර්මදේශනා කෙරේද, ඒ භික්ෂුව ධර්ම කථික භික්ෂුවයයි කීමට සුදුසුය. ඉදින් භික්ෂුව විඤ්ඤාණයට කලකිරීම, නොඇලීම සහ එය නැතිකිරීම පිණිස පිළිපන්නේ වෙයිද, ඒ භික්ෂුව ලෝකොත්තර ධර්මයට අනුකූලවූ, ධර්මයට පැමිණි භික්ෂුවයයි කීමට සුදුසුය. ඉදින් භික්ෂුව විඤ්ඤාණයට කලකිරීමෙන් නොඇලීමෙන් එය නැතිකිරීමෙන් සහ සතර උපාදානයන්ගේ වශයෙන් කිසිවක් නොගැනීමෙන් වැළකුණේද, ඒ භික්ෂුව මේ ආත්මයෙහි නිවණට පැමිණි භික්ෂුවයයි කීමට සුදුසුය.
§ 13, “ඉදින් භික්ෂුව සංස්කාරයන්ට කලකිරීම, නොඇලීම, එය නැතිකිරීම පිණිස ධර්මදේශනා කෙරේද, ඒ භික්ෂුව ධර්ම කථික භික්ෂුවයයි කීමට සුදුසුය. ඉදින් භික්ෂුව සංස්කාරයන්ට කලකිරීම, නොඇලීම සහ එය නැතිකිරීම පිණිස පිළිපන්නේ වෙයිද, ඒ භික්ෂුව ලෝකොත්තර ධර්මයට අනුකූලවූ, ධර්මයට පැමිණි භික්ෂුවයයි කීමට සුදුසුය. ඉදින් භික්ෂුව සංස්කාරයන්ට කලකිරීමෙන් නොඇලීමෙන් එය නැතිකිරීමෙන් සහ සතර උපාදානයන්ගේ වශයෙන් කිසිවක් නොගැනීමෙන් වැළකුණේවේද, ඒ භික්ෂුව මේ ආත්මයෙහි නිවණට පැමිණි භික්ෂුවයයි කීමට සුදුසුය.
14. §“ඉදින් භික්ෂුව අවිජ්ජාවට කලකිරීම, නොඇලීම, එය නැතිකිරීම පිණිස ධර්මදේශනා කෙරේද, ඒ භික්ෂුව ධර්ම කථික භික්ෂුවයයි කීමට සුදුසුය. ඉදින් භික්ෂුව අවිජ්ජාවට කලකිරීම, නොඇලීම සහ එය නැතිකිරීම පිණිස පිළිපන්නේ වෙයිද, ඒ භික්ෂුව ලෝකොත්තර ධර්මයට අනුකූලවූ, ධර්මයට පැමිණි භික්ෂුවයයි කීමට සුදුසුය. ඉදින් භික්ෂුව අවිජ්ජාවට කලකිරීමෙන් නොඇලීමෙන් එය නැතිකිරීමෙන් සහ සතර උපාදානයන්ගේ වශයෙන් කිසිවක් නොගැනීමෙන් වැළකුණේද, ඒ භික්ෂුව මේ ආත්මයෙහි නිවණට පැමිණි භික්ෂුවයයි කීමට සුදුසුය.
[6. ධම්මකථික සූත්‍ර වර්ණනාව:- සයවන සූත්‍රයේ – “නිබ්බිදාය” යනු කළකිරීම පිණිස. “විරාගාය” නොඇලීම පිණිස. “නිරොධාය” නිරුද්ධ කිරීම සඳහා. “පටිපන්නො හොති” යන මෙහි සීලයේ පටන් රහත් බව දක්වා පිළිපන්නේ යැයි දතයුතුයි. “ධම්මානුධම්ම පටිපන්නො” යනු ලෝකෝත්තර නිර්වාණ ධර්මයාගේ සුළු ශික්ෂාපද හා ප්‍රතිපත්ති සහිත පිළිවෙතට එළඹි, “අනුධම්මභූත” -එනම් ධර්මයට යෝග්‍ය වූ සුදුසු වූ යන අර්ථයි. “නිබ්බිදා විරාගා නිරෝධා” යනු කළකිරීමෙන්-විරාගයෙන් මෙන්ම නිරෝධයෙන් ද යනුයි. “අනුපාදා විමුත්තො” යනු උපාදානයන් සතරින් කිසිවක් දැඩිව නොගෙන ඉන් මිදුණු. “දිට්ඨ ධම්ම නිබ්බාණප්පත්තො” යනු මෙලොවදීම නිවනට පැමිණියේ. “අලං වචනාය” යනු මෙසේ කිවයුතු බවට පැමිණේ. ඊට සුදුසු වේ. ඉතා යෝග්‍ය වේ. මෙලෙස මෙම සූත්‍රයේදී එක් ක්‍රමයකින් ධර්මකථිකයන් වහන්සේගේ ප්‍රශ්නයන් විමසන ලදී. ක්‍රම දෙකකින් එය විශේෂත්වයට ගෙන – සේඛ හා අසේඛ භූමිහු නිර්දිෂ්ඨයහ.]
SN 02-01-02-07. අචේල කස්සප සූත්‍රය.
§ 1. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහිවූ, “කලන්දකනිවාප” නම් ලත් වේළුවනාරාමයෙහි වැඩ වසනසේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරු කාලයෙහි හැඳ, පාත්‍ර සිවුරු ගෙන, රජගහ නුවරට පිඬුපිණිස වැඩිසේක.
§ 2. “අචේල කාශ්‍යපතෙම වනාහි වඩින්නාවූ භාග්‍යවතුන් වහන්සේ දුරදීම දුටුවේය. දැක, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ හා සමග සතුටු වූයේය. සතුටු වියයුතුවූද, සිහිකටයුතුවූද, කථාව කොට නිමවා, එක් පසෙක සිටියේය. එක් පසෙක සිටියාවූ, අචේල කාශ්‍යපතෙම වනාහි භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. “ඉදින් අපට ප්‍රශ්නයක් ඇසීමට ඉඩ දෙතොත් අපි භවත් ගෞතමයන්ගෙන් කිසියම් කාරණයක් අසන්නෙමු”යි කියායි. කාශ්‍යප “ඇතුළුගමට පිවිසියෙමු. ඒතාක් ප්‍රශ්නය ඇසීමට කාලය නොවේයයි වදාළ සේක.
අචේල කාශ්‍යප තෙම වනාහි දෙවෙනුවත් භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. “ඉදින් අපට ප්‍රශ්නයක් ඇසීමට ඉඩ දෙතොත් අපි භවත් ගෞතමයන්ගෙන් කිසියම් කාරණයක් අසන්නෙමු කියායි.” “කාශ්‍යපය, ඇතුළුගමට පිවිසියෙමු. ඒතාක් ප්‍රශ්නය ඇසීමට කාලය නොවේයයි” වදාළ සේක.
අචේල කාශ්‍යපෙතම වනාහි තෙවෙනුවත් භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. “ඉදින් අපට ප්‍රශ්නයක් ඇසීමට ඉඩ දෙතොත් අපි භවත් ගෞතමයන්ගෙන් කිසියම් කාරණයක් අසන්නෙමු” කියායි. “කාශ්‍යපය, ඇතුළුගමට පිවිසියෙමු. ඒ තාක් ප්‍රශ්නය ඇසීමට කාලය නොවේයයි” වදාළ සේක.
මෙසේ කීකල්හි අචේල කාශ්‍යපතෙම මෙය කීයේය. අපි වනාහි භවත් ගෞතමයන්ගෙන් බොහෝ කොට අසනු කැමති නොවෙමු” කියායි. “කාශ්‍යපය, යමක් ඇසීමට කැමැත්තෙහි නම් එය අසවයි” වදාළ සේක.
“භවත් ගෞතමයිනි, කිමෙක්ද දුක, තමා විසින් කරන ලද්දේද?” “කාශ්‍යපය, එසේ නොකියවයි,” භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
“භවත් ගෞතමයිනි, කිමෙක්ද දුක, අනුන් විසින් කරන ලද්දේද?” “කාශ්‍යපය, එසේ නොකියවයි,” භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
“භවත් ගෞතමයිනි, කිමෙක්ද දුක, තමා විසින් සහ අනුන් විසින් කරන ලද්දේද?” “කාශ්‍යපය, එසේ නොකියවයි,” භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
“භවත් ගෞතමයිනි, කිමෙක්ද දුක, තමා විසින් සහ අනුන් විසින් නොකරන ලද්දේ සිය කැමැත්තෙන් (ඉබේ) ඇතිවූයේද?” “කාශ්‍යපය, එසේ නොකියවයි,” භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
“භවත් ගෞතමයිනි, කිමෙක්ද දුකක් නැද්ද?” “කාශ්‍යපය, දුක වනාහි නැත්තේ නොවේ. දුක වනාහි ඇත්තේය.”
“එසේ වී නම් භවත් ගෞතම තෙමේ දුක නොදනියිද? නොදකියිද?” “කාශ්‍යපය, මම වනාහි දුක නොදන්නෙම් නොවෙමි, නොදක්නෙම් නොවෙමි. කාශ්‍යපය, මම වනාහි දුක දනිමි. කාශ්‍යපය, මම වනාහි දුක දකිමියි” වදාළ සේක.
§ 3. “භවත් ගෞතමයිනි, කිමෙක්ද? දුක තමා විසින් කරන ලද්දේ දැයි මෙසේ අසන ලද්දේ වනාහි ‘කාශ්‍යපය, එසේ නොකියවයි’ කියහි. භවත් ගෞතමයිනි, කිමෙක්ද? දුක අනුන් විසින් කරන ලද්දේදැයි මෙසේ අසන ලද්දේ වනාහි ‘කාශ්‍යපය, එසේ නොකියවයි’ කියහි. භවත් ගෞතමයිනි, කිමෙක්ද? දුක තමා විසින් සහ අනුන් විසින් කරන ලද්දේ දැයි මෙසේ අසන ලද්දේ වනාහි කාශ්‍යපය, එසේ නොකියවයි’ කියහි. භවත් ගෞතමයිනි කිමෙක්ද? දුක තමා විසින් නොකරන ලද්දේ. අනුන් විසින් නොකරන ලද්දේ, සිය කැමැත්තෙන් (ඉබේ) ඇතිවූයේ දැයි මෙසේ අසන ලද්දේ වනාහි ‘කාශ්‍යපය, එසේ නොකියවයි’ කියහි. භවත් ගෞතමයිනි, කිමෙක්ද? දුකක් නැද්දැයි මෙසේ අසන ලද්දේ වනාහි ‘කාශ්‍යපය, දුක වනාහි නැත්තේ නොවේ. ‘කාශ්‍යපය, දුක වනාහි ඇත්තේය’යි කියහි. එසේ වී නම් භවත් ගෞතම තෙමේ දුක නොදනියිද නොදකියි දැයි අසන ලද්දේ වනාහි ‘කාශ්‍යපය, මම වනාහි දුක නොදන්නෙම් නොවෙමි. කාශ්‍යපය, මම වනාහි දුක දනිමියි’ කියහි.
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මට දුක කියා දෙන සේක්වා. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මට දුක දේශනා කරන සේක්වා.”
§ 4. “කාශ්‍යපය, හෙතෙම කෙරෙයි, හෙතෙම විඳීයයි” මුලදීම මෙසේ ගෙන දුක තමා විසින් කරන ලද්දේයයි කියන තැනැත්තා, ශාස්වත දෘෂ්ටියට (නිත්‍ය ආත්මයක් ඇත යන දෘෂ්ටියට) පැමිණෙයි. කාශ්‍යපය, අනිකෙක් කරයි, අනිකෙක් විඳීයයි මුලදී මෙසේ ගෙන වේදනාවෙන් යුක්තවූ කල්හි දුක අනුන් විසින් කරන ලදැයි කියන තැනැත්තා උච්ඡේද දෘෂ්ටියට (කරන්නා මෙතනින්ම කෙළවර වෙයි යන දෘෂ්ටිය) පැමිණෙයි. කාශ්‍යපය, ඒ මේ ශාස්වත, උච්ඡේද යන අන්ත දෙකට නොපැමිණ, මද්ධ්‍යම ප්‍රතිපදාවෙහි සිට තථාගතයන් ධර්මය දේශනා කරන්නේය. (කෙසේද?)
§ 5. “අවිජ්ජාව නිසා සංස්කාරයෝ ඇතිවෙත්. සංස්කාර නිසා විඤ්ඤාණය ඇතිවෙයි. විඤ්ඤාණය නිසා නාම රූප ඇතිවේ. නාම රූප නිසා සළායතන ඇතිවේ. සළායතන නිසා ස්පර්ශය ඇතිවේ. ස්පර්ශය නිසා වේදනාව ඇතිවේ. වේදනාව නිසා තණ්හාව ඇතිවේ. තණ්හාව නිසා උපාදානය ඇතිවේ. උපාදානය නිසා භවය ඇතිවේ. භවය නිසා (ජාතිය) ඉපදීම ඇතිවේ ඉපදීම (ජාතිය) නිසා ජරා මරණ, ශෝකවීම්, හැඬීම්, දුක්වීම්, දොම්නස්වීම් සහ වැළපීම් ඇතිවෙත්. මෙසේ මේ සියලු එකම දුක් ගොඩ ඇතිවෙයි.
§6. “අවිජ්ජාව සහමුලින් නැතිකිරීමෙන්ම සංස්කාරයෝ නැතිවෙත්. සංස්කාර නැතිවීමෙන් විඤ්ඤාණය නැතිවෙයි. විඤ්ඤාණය නැතිවීමෙන් නාම රූප නැතිවෙයි. නාම රූප නැතිවීමෙන් සළායතන නැතිවෙයි. සළායතන නැතිවීමෙන් ස්පර්ශය නැතිවෙයි. ස්පර්ශය නැතිවීමෙන් වේදනාව නැතිවෙයි. වේදනාව නැතිවීමෙන් තණ්හාව නැතිවෙයි. තණ්හාව නැතිවීමෙන් උපාදානය නැතිවෙයි. උපාදානය නැතිවීමෙන් ජාතිය (ඉපදීම) නැතිවෙයි. ජාතිය නැති වීමෙන් ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ නැතිවෙයි. මෙසේ මේ සියලු එකම දුක් ගොඩ නැතිවෙයි කියායි.”
§ 7. මෙසේ වදාළ කල්හි අචේල කාශ්‍යප , භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය.
“ස්වාමීනි, ඉතා යහපත. ස්වාමීනි, ඉතා යහපත යම්සේ යටිකුරු කළ භාජනයක් උඩුකුරු කරන්නේද, (තණකොළ ආදියෙන්) වැසුනක් වැහුම් හරින්නේද, මංමුළාවූවෙකුට මඟ හෝ කියන්නේද, (ගණඅඳුරෙහි) ඇස් ඇත්තෝ රූප දකිත්වායි තෙල් පහනක් දල්වන්නේද, එපරිද්දෙන්ම පින්වතුන් වහන්සේ නොයෙක් පරිද්දෙන් ධර්මය දේශනා කරනලදී. ස්වාමීනි, ඒ ධර්මය ඇසූ මම භාග්‍යවතුන් වහන්සේ සරණකොට යමි. ධර්මයද, සංඝයාද සරණ කොට යමි. ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි පැවිද්ද ලබන්නෙමි, උපසම්පදාව ලබන්නෙමි”යි කීයේය.
§ 8 “කාශ්‍යපය, අන්‍ය ශාසනයක පැවිදිව සිටියෙක් මේ ශාසනයෙහි පැවිද්ද කැමැති වේ නම් ; උපසම්පදාව කැමති වේද, හෙතෙම සාරමාසයක් පිරිවෙස් පුරයි. සාරමස පසුවීමෙන් වැස නිමවන ලද පිරිවෙස් ඇත්තන් විසින් සතුටු කරන ලද සිත් ඇති, භික්ෂූහු, කැමති වන්නාහු නම් භික්ෂු භාවයෙහි පැවිදි කරවත්, උපසම්පදා කරවත්. එතකුදුවුවත් මා විසින් පුද්ගලයන්ගේ නානත්වය දැනගන්නා ලදී.”
§9. “ඉදින් ස්වාමීනි, ශාසනයෙහි පැවිද්ද කැමැත්තාවූ, උපසම්පදාව කැමැත්තාවූ, අන් සසුනක පැවිදිව විසුවෝ සාරමසක් පිරිවෙස් පුරද්ද, සාරමස අවසන් වීමෙන් සතුටු කරන ලද, සිත් ඇති භික්ෂූහු කැමැත්තාහු නම් ඒ වැස නිමවන ලද පිරිවෙස් ඇතියන් භික්ෂු භාවයෙහි පැවිදි කෙරෙද්ද, උපසම්පදා කෙරෙද්ද, මම සතර අවුරුද්දක් පිරිවෙස් පුරමි. සාර අවුරුද්දකින් පසු සතුටු කරන ලද සිත් ඇති භික්ෂූහු වැස නිමවන ලද පිරිවෙස් ඇති මා භික්ෂු භාවයෙහි පැවිදි කෙරෙත්වා; උපසම්පදා කෙරෙත්වා’ යනුයි.
§ 10. අචේල කාශ්‍යපයන් භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි පැවිද්ද ලැබීය. උපසම්පදාව ලැබීය. අලුත උපසම්පදාවූ ඇවැත් අචේල කාශ්‍යප ස්ථවිරයන් වනාහි තනිව පිරිසෙන් වෙන්ව, ප්‍රමාද නොව, කෙලෙස් තවන වීර්යය ඇතිව, නිවණ කරා යවන ලද සිත් ඇතිව, වාසය කරන්නේය, නොබෝ කලකින්ම යමක් සඳහා කුලපුත්‍රයෝ මනාකොට ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වෙත්ද, ඒ අති උතුම් වූ, බ්‍රහ්මචරියාව මේ ආත්යෙහි තෙමේම දැන, අවබෝධ කොට, ඊට පැමිණ, වාසය කළේය. ඉපදීම නැති විය. බ්‍රහ්මචරියාවෙහි හැසිර අවසන් කරන ලදී. කළයුත්ත කරන ලදී. මේ ආත්මයෙහි කළයුතු අන් කිසිවක් නැතැයි දැන ගත්තේය. ඇවැත් කාශ්‍යප තෙම එක්තරා රහතන් වහන්සේ නමක්ද වූයේය. (හත්වන අචේල සූත්‍රය නිමි.)
[7. අචෙලකස්සප සූත්‍ර වර්ණනාව:- සත්වන සූත්‍රයේ “අචෙල කස්සපො” යනු ආකාරයෙන් අචේලයෙකි වස්ත්‍ර නැත්තෙකි. නාමයෙන් කස්සප නමැයි “ඔකාසං” යනු ප්‍රශ්න-ව්‍යාකරණයට ක්ෂණික කාලයක්. “අන්තරඝරං” යන මෙහි “දෙඅත් බැඳගෙන අන්තරඝරයෙහි නොහිඳින්නෙමි”1 යන මෙහි අන්තරඝර යනු නිවසේ ඇතුලයි. “පහතට හෙලූ ඇතිව අන්තරඝරයෙහි ඇවිදින්නෙමි”1 යන මෙහි අන්තරඝර යනු ඉන්ද්‍රඛීලයේ පටන් මුලු ඇතුළු ගම්මානය යි. මෙම සූත්‍රයේ ද මේ දෙවන අදහස ගත යුතුයි. “යදාකඞඛසී” යනු යමක් කැමති නම් එයයි.
මේ සූත්‍රය වදාරනු කැමති වුවත් භාග්‍යවතුන් වහන්සේ තෙවනවර දක්වා ම ප්‍රතික්ෂේප කරන ලද්දේ කුමක් නිසාද? ගෞරවය දැන්වීම පිණිසය. දෘෂ්ටිගතිකයෝ වනාහී ප්‍රශ්නයට වඩා ම පිළිතුරු නොදෙන්නේ නම් ගෞරව නොකරති. “ශ්‍රමණ භවත් ගෞතමයන් වෙත පැමිණීමත්, ප්‍රශ්න ඇසීමත් පහසුය.” ඇසූ ගමන් ම පිළිතුරු දෙන්නේ නම් ඒ එක් වදනකුදු නො අදහති. පිළිනොගනිති. දෙවරක්-තෙවරක් ප්‍රතික්ෂේප කළවිට “ශ්‍රමණ භවත් ගෞතමයන් වෙත එළඹීමත් ප්‍රශ්න ඇසීමත් ඉතා දුෂ්කර වූවකි” යි ඊට ගරුකරති. තෙවැනි වර දක්වා ඉල්ලීම් කර, පිළිතුරු දුන්කල්හි එය මැනවින් අසති. අදහති. පිළිගනිති. මෙනිසා භාග්‍යවතුන් වහන්සේ “මොහු මනාව අසන්නේය, පිළිගන්නේය” යනුවෙන් තෙවැනිවර දක්වා ඉල්ලීම් කළ කල්හි පිළිතුරු දුන් සේක. තවද වෛද්‍යවරයෙක් තෙල් හෝ පැණි හෝ පිසනුයේ මෘදු වූ පැසීම්, රළු වූ පැසීම් ආදී යෝග්‍ය පැසීම් අවස්ථාව මැනවින් බලනුයේ පැසෙන අවස්ථාව නො ඉක්මවා ම ලිපෙන් එය බස්වයි. මේ අයුරින් ම භාග්‍යවතුන් වහන්සේ ද සත්ත්වයන්ගේ ඤාණය මුහුකුරා යෑම සිදුවන අවස්ථාව මනාව දන්නා සේක් – තෙවැනිවර දක්වා ඉල්ලන තෙක් ම සිටිසේක.
මා හෙවං කස්සප” යනු කස්සපය! එසේ නොකියන්න. දුක තමා විසින් කරන ලදැයි පැවසීම නුසුදුසුය. දුක කරන්නා වූ – කාරකයක් වූ “ආත්මය” නම් වූ කිසිවක් නැතැයි දක්වයි. සෙසු ප්‍රශ්නයන්හි අර්ථ ද මෙලෙසින්ම දතයුතුයි. “අධිච්ච සමුප්පන්නං” යනු කරුණක් – හේතුවක් නොමැතිව යමක් කැමැත්තෙන් – අහඹු ලෙස ඉපදීමයි. “ඉති පුට්ඨො සමානො” යන්න කුමක් නිසා කියන ලද්දේ ද? මෙලෙස වූ සිතක් පිළිබඳව කස්සට ඇතිවිය. මේ තැනැත්තා දුක තමා විසින් කරන ලදැයි ආදී වශයෙන් විමසනු ලැබූ විට ‘එසේ නොකියව’ යි පවසයි. ‘දුකක් නැතිද?’යි විමසූවිට ‘ඇතැ’යි කියයි. ‘භාග්‍යවත්හු දුක නොදනියි. නොදකියි’ යනුවෙන් විමසූවිට ‘දුක මම දනිමි’යි කියයි. මෙලෙස පවසනුයේ ඇයි? මවිසින් වැරදි ලෙස ප්‍රශ්න අසන ලදද?”යි සිතා නැවත එම ප්‍රශ්නාවලිය දෙස මුලසිට පරීක්ෂා කර බලමින් පිරිසිදු කරමින් මෙලෙස පැවසීය.
ආචික්ඛතු මෙ භන්තෙ! භගවා” යන මෙහි ශාස්තෲන් වහන්සේ කෙරෙහි හටගත් අසීමිත ගෞරවය නිසාම ‘භවං’ යනුවෙන් නොපවසා ‘භගවා’ යැයි පැවසීය. “සො කරොති” යනාදිය ‘දුක තමා විසින් කරන ලදැ’යි යන පිළිගැනීම ප්‍රතික්ෂේප කිරීමට කියන ලදී. මෙහි “සතො” යනු සත්තමී අර්ථයේ ඡට්ඨි විභක්තිය යෙදුණු පදයකි. එබැවින් අර්ථ මෙසේ දතයුතුයි. “කස්සප! ඔහු කරයි. ඔහු විඳියි. ආදී වශයෙන් මුලදීම ගත්විට; පසුව දුක තමා විසින් ම කරන ලදී” යන පිළිගැනීමට පැමිණීමට සිදුවේ. “ඉතිවදං” මේ මුලින් ඇති ‘ආදී’ ශබ්දය අනන්තර වශයෙන් ශාස්වත ශබ්දයන් හා සම්බන්ධ වේ. දක්වයි. ගනියි යනු මෙහි සෙසු පාඨයන් ය. මෙය කියන ලදී. “මෙසේ දක්වමින් මුලින් ම ශාස්වත වාදය දක්වා, එම වාදය ගන්නා ලද්දේ කුමක් නිසා ද? එහි මෙය දැක්වීමයි. “එතං පරෙ” යනු කාරකයාද විඳින්නාද එකට ම ගෙන මේ ශාස්වත වාදයට පැමිණේය යන අර්ථයි.
අඤ්ඤො කරොති” ආදිය වනාහි දුක අනුන් විසින් කරන ලදැයි එන පිළිගැනීම දුරුකිරීම සදහා යොදන ලදී. “ආදිතො සතො” මෙය වනාහි මෙහි දී ද පැමිණවිය යුතුය. මෙය මෙහි අර්ථයයි. “කස්සප! අනිකකු කරයි. අනිකකු විඳියි’ යන්න මුලදීම ගත්විට කාරකයා පසුව සිඳ දමයි. ඔහු විසින් කළ දේ වෙනත් අයෙකු විසින් විඳියි යනුවෙන් එසේ පිළිගත් උච්ඡේද දෘෂ්ටිය ඇතිවේ.” උච්ඡේද දෘෂ්ටිය ඇති පහර ලබා වේදනාවෙන් පීඩා වූවන්ට “දුක අනුන් විසින් කරන ලදී” යන පිළිගැනීම ඇති වේ. “ඉති වදං” මුලදී කියන ලද ක්‍රමයෙන් ම යෙදිය යුතුයි. මේ එම අර්ථ යෝජනාවයි. මෙසේ දක්වමින් මුලින්ම උච්ඡේදවාදය දක්වයි, එම උච්ඡේදවාදය ම ගනියි. කුමක් නිසාද? එහි මේ දැක්වීමයි. “එතං පරෙ” යනු මේ උච්ඡේදවාදය පිළිගැනීමට පැමිණේ යන අර්ථයයි.
“එතෙතෙ” යනු සම්බුදු වූ ශාස්වත – උච්ඡේදවාද සංඛ්‍යාත වූ “උභො අන්තෙ අනුපගම්ම” යනු අන්ත දෙක ම අත්හැර – ඊට නොපැමිණ, “මජ්ඣෙන තථාගතො ධම්මං දෙසෙති” යන මධ්‍යම ප්‍රතිපදාවෙහි පිහිටා තථාගතයන් වහන්සේ දහම් දෙසන සේක. ඉදින් කවර ධර්මයක් ද? “යදිදං අවිජ්ජා පච්චයා සංඛාරා” යනු හේතු වශයෙන් ඵලය ද හේතු නිරෝධ වශයෙන් නිවණ ද දක්වන ලදී. කිසියම් කරන්නෙක් හෝ විඳින්නෙක් මෙහිදී නොදැක්විනි. මෙපමණකින් ඉතිරි ප්‍රශ්න ප්‍රතික්ෂිප්තය. අන්ත දෙකට නොපැමිණ යන මෙහිදී “අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාර වේ” යන තෙවන ප්‍රශ්නය ප්‍රතික්ෂේප කරන ලදී. මෙයින්ම හේතුවක් නැතුව හටගත් බව ද නොදැනීම ද ප්‍රතික්ෂිප්ත බව දතයුතුයි. “ය්‍ය”රීමෙන් අනුපිළිවෙලින් ධර්මාවබෝධය වේනම් ඔහු “ා විමසා බැලීමෙන් හා කල්‍යාන මිත්‍ර ආශ්‍රයෙන් – භජනයෙන් – පයිරුපාසනයෙ ලභෙය්‍යාහං භන්තෙ! භගවතො සන්තිකෙ පබ්බජ්ජං ලභෙය්‍යෙං උපසම්පදං” යන මේ ප්‍රකාශය ඔහු විසින් භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ භික්ෂුභාවය පතමින් පවසන ලදී.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ – ඛන්ධක විනයේ දී තිත්ථිය පරිවාසය පනවන ලද සේක් ද – එනම්; පෙර අන්‍ය තීර්ථක වූවෙක් සාමණේර බවට පත්ව, “මම පෙර මෙනම් අන්‍යාගමිකයෙක් වූයෙමි. ස්වාමීනි! ඒ මම ධර්ම විනයෙහි උපසම්පදාව කැමැත්තෙමි. ඒ සඳහා සංඝයාගෙන් සිවුමසක පරිවාසය ඉල්ලමි.” ආදී වශයෙන් පරිවාසය සමාදන්ව විසීමයි. ඒ සඳහා මෙය දක්වන ලදී. “යෙ ඛො කස්සප! අඤ්ඤතිත්ථිය පුබ්බො” යනාදිය දේශනා කළ සේක. එහි “පබ්බජ්ජං” යන්න මෘදු වචන වශයෙන් කියන ලදී. පරිවාසයක් නැතිවීම පැවිද්ද ලබයි. උපසම්පදාව කැමැත්තා විසින් ‘කල් ඉක්මවා ගමට පිවිසීම්’ ආදී අටවත් පුරමින් පිරිවෙස් විසිය යුතුයි.
“ආරද්ධ චිත්තා” යනු අටවත් පිරීම් වශයෙන් සතුටු සිත් ඇති. මේ අර්ථ ඉතා සංක්ෂිප්තව දැක්විණි. අන්‍ය තීර්ථ පරිවාසය පිළිබඳ සවිස්තරව දැනගනු කැමැත්තෝ, සමන්තපාසාදිකා විනය අටුවාවේ පබ්බජ්ජක්ඛන්ධක වර්ණනාව බැලිය යුතුයි. “අපි ච මයා” මෙහි මේ පාඨය විය යුතුයි. අනිකුත් තැන්හි “අපි ච මෙත්ථා” යන්නද යෙදේ. “පුග්ගල වෙමත්තතා විදිතා” යනු පුද්ගලයන්ගේ විවිධත්වය දන්නා ලදී. “මේ පුද්ගලයා පරිවාසයට සුදුසුය. මොහු පරිවාසයට නුසුදුසුය යන මෙකරුණ මට ඉතා ප්‍රකටව වැටහේ” යැයි දක්වන ලදහ.
ඉක්බිති කස්සප මෙසේ සිතීය – අනේ! බුදුසසුනේ ආශ්චර්‍ය බව පුදුමයකි. යම්හෙයකින් මෙසේ ගටා, කළඹා සුදුසු දේම ගනියි. නුසුදුසු දේ නොගනියි. ඉක්බිති වහා ම ඔහු පැවිද්දට හටගත් ආශාව ඇත්තේ “සචෙ භන්තෙ” යනාදිය පැවසීය.
SN 02-01-02-08. තිම්බරුක සූත්‍රය
§ 1. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩ වසනසේක.
§ 2. ඉක්බිති ‘තිම්බරුක’ පරිබ්‍රාජකයා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය.
‘භවත් ගෞතමයිනි, කිමෙක්ද, සැප දුක් තමා විසින් කරන ලද්දේද?” “තිම්බරුකය, එසේ නොකියව”යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
“භවත් ගෞතමයිනි, කිමෙක්ද, සැප දුක් අනුන් විසින් කරන ලද්දේද?” “තිම්බරුකය, එසේ නොකියව” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
“භවත් ගෞතමයිනි, කිමෙක්ද, සැප දුක් තමා සහ අනුන් විසින් කරන ලද්දේද?” “තිම්බරුකය, එසේ නොකියව”යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
“භවත් ගෞතමයිනි, කිමෙක්ද, සැප දුක් තමා සහ අනුන් විසින් නොකරන ලද්දේ, සිය කැමැත්තෙන් (ඉබේ) ඇතිවූයේද?” “තිම්බරුකය, එසේ නොකියව” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
“භවත් ගෞතමයිනි, කිමෙක්ද, සැප දුක් නැද්ද?” “තිම්බරුකය, සැප දුක් වනාහි නැත්තේ නොවේ. තිම්බරුකය, සැප දුක් වනාහි ඇත්තේය.”
එසේ වීනම්, භවත් ගෞතම තෙම සැප දුක් නො දනියිද?” “තිම්බරුකය, මම වනාහි සැප දුක් නොදන්නෙම් නොවෙමි. තිම්බරුකය, මම වනාහි සැප දුක් දනිමි.”
“භවත් ගෞතමයිනි, කිමෙක්ද? සැප දුක් තමා විසින් කරන ලද්දේ දැයි මෙසේ අසන ලද්දේ වනාහි ‘තිම්බරුකය, එසේ නොකියව”යි කියහි. භවත් ගෞතමයිනි, කිමෙක්ද? සැප දුක් අනුන් විසින් කරන ලද්දේ දැයි මෙසේ අසන ලද්දේ වනාහි ‘තිම්බරුකය, එසේ නොකියව’යි කියහි. භවත් ගෞතමයිනි, කිමෙක්ද, සැප දුක් තමා විසින් නොකරන ලද්දේ, අනුන් විසින් නොකරන ලද්දේ සිය කැමැත්තෙන් (ඉබේ) ඇති වූයේ දැයි මෙසේ අසන ලද්දේ වනාහි ‘තිම්බරුකය, එසේ නොකියව’යි කියහි. භවත් ගෞතමයිනි, කිමෙක්ද, සැප දුක් නැද්දැයි මෙසේ අසන ලද්දේ වනාහි ‘තිම්බරුකය, සැප දුක් වනාහි නැත්තේ නොවේ. තිම්බරුකය, සැප දුක් වනාහි ඇත්තේයි’ කියහි.
එසේ නම් භවත් ගෞත තෙමේ සැප දුක් නොදනියිද, නොදකියි දැයි අසන ලද්දේ ‘තිම්බරුකය, මම වනාහි සැප දුක් නොදන්නෙම් නොවෙමි. තිම්බරුකය, මම වනාහි සැප දුක් දනිමියි කියති. භවත් ගෞතයන් වහන්සේ මට සැප දුක් කියා දෙන සේක්වා. භවත් ගෞතමයන් වහන්සේ මට සැප දුක් දේශනා කරන සේක්වා.”
§ 3. “තිම්බරුකය, ඒ වේදනා ඔහු විඳීයයි මෙසේ ඇති කල්හි සැප දුක් තමා විසින් කරන ලද්දේයයි මෙසේ මම නොකියමි. තිම්බරුකය, අන්‍යවූ වේදනා අනිකෙක් විඳීයයි මෙසේ වේදනාවෙන් යුක්තවූ කල්හි වනාහී සැප දුක් අනුන් විසින් කරන ලද්දේයයි මම නොකියමි. තිම්බරුකය, ඒ මේ අන්ත දෙකට නොපැමිණ, මධ්‍යම ප්‍රතිපදාවෙන් තථාගතයන් වහන්සේ ධර්මය දේශනා කරන සේක.
§ 4. “අවිජ්ජාව නිසා සංස්කාර ඇතිවෙයි. සංස්කාරයන් නිසා විඤ්ඤාණය ඇතිවේ. විඤ්ඤාණය නිසා නාමරූප ඇතිවේ. නාමරූප නිසා සළායතන ඇතිවේ. සළායනත නිසා ස්පර්ශය ඇතිවේ. ස්පර්ශය නිසා වේදනාව ඇතිවේ. වේදනාව නිසා තණ්හාව ඇතිවේ. තණ්හාව නිසා උපාදනය ඇතිවේ. උපාදානය නිසා භවය ඇතිවේ. භවය නිසා (ජාතිය) ඉපදීම ඇතිවේ. ඉපදීම (ජාතිය) නිසා ජරා, මරණ, ශෝකවීම්, හැඬීම්, දුක්වීම්, දොම්නස්වීම් සහ වැළපීම් ඇතිවෙත්. මෙසේ මේ සියලු දුක් ගොඩ ඇතිවේ.
§ 5 “අවිජ්ජාව සහමුලින් නැතිකිරීමෙන්ම සංස්කාර නැතිවෙයි. සංස්කාරයන් නැතිවීමෙන් විඤ්ඤාණය නැතිවෙයි. විඤ්ඤාණය නැතිවීමෙන් නාම රූප නැතිවෙයි. නාම රූප නැතිවීමෙන් සළායතන නැති වෙයි. සළායතන නැතිවීමෙන් ස්පර්ශය නැතිවෙයි. ස්පර්ශය නැතිවීමෙන් වේදනාව නැතිවෙයි. වේදනාව නැතිවීමෙන් තණ්හාව නැතිවෙයි. තණ්හාව නැතිවීමෙන් උපාදානය නැතිවෙයි. උපාදානය නැතිවීමෙන් ජාතිය (ඉපදීම) නැතිවෙයි. ජාතිය නැතිවීමෙන් ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ නැතිවෙත්. මෙසේ මේ සියලු (එකම) දුක් ගොඩ නැතිවේයයි (වදාළ සේක.)
§ 6. “මෙසේ වදාළ කල්හි තිම්බරුක පරිබ්‍රාජක තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය.
“භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපත. යම්සේ යටිකුරු කළ භාජනයක් උඩුකුරු කරන්නේද, (තණකොළ ආදියෙන්) වැසුනක් වැහුම් හරින්නේද, මංමුළාවූවෙකුට මඟ හෝ කියන්නේද, (ගණඅඳුරෙහි) ඇස් ඇත්තෝ රූප දකිත්වායි තෙල් පහනක් දල්වන්නේද, එපරිද්දෙන්ම භවත් ගෞතමයන් වහන්සේ නොයෙක් පරිද්දෙන් ධර්මය දේශනා කරන ලදී. ස්වාමීනි, ඒ ධර්මය ඇසූ මම භාග්‍යවතුන් වහන්සේ සරණකොට යමි. ධර්මයද, සංඝයාද සරණ කොට යමි.
භවත් ගෞතමයන් වහන්සේ අද පටන් දිවිහිමි කොට සරණ ගිය උපාසකයකු කොට මා සලකන සේක්වා.
[ අට්ඨාකතා සුත්ර වර්ණනාව:- අටවන සූත්‍රයේ – “සා වෙදනා” ආදියේ සැප-දුක් දෙක තමා විසින් කරන ලදැයි යන පිළිගැනීම, ප්‍රතික්ෂේප කිරීම සඳහා කියන ලදී. මෙහිද “සතො” යනු සත්තමී අර්ථයේ ඡට්ඨි විභක්ති වචනයකි. මේ එහි අර්ථ විස්තරයයි. “තිම්බරුක! ඒ වේදනාව ඔහු විඳියි’ යනුවෙන් මුලදීම ගත්විට දුක තමා විසින් ම කරන ලදැ’යි යන මේ පිළිගැනීම ඇතිවේ. වේදනාව විසින් ම වේදනාව කරන ලදැයි දේශනා කළවිට, මේ වේදනාව පෙරත් තිබූ අනුදන්නා ලදැයි ශාස්වත වශයෙන් ගනියි. කුමක් නිසාද? මෙහිදී මෙකරුණ දැක්වීමට “මෙය අනිකකි” “මෙය ශාස්වත බවට පැමිණේ” යන අර්ථ යෙදේ. මුල් අර්ථය සඳහා ම භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ වන්නේය. මෙනිසා අවුවාවෙහි (හෙළටුවාවේ) එය යොදාම මේ අර්ථය දක්වන ලදී. “එවම්පහං න වදාමී” යනු මම “ඒ වේදනාව ඔහු විඳියි” යැයි නොකියමි. දුක තමා විසින් කරන ලදැයි ද නොකියමි යන අර්ථයි.
වේදනාව අනිකකි.” ආදී වශයෙන් සැප-දුක් දෙක අනුන් විසින් කරන ලදැයි යන පිළිගැනීම ප්‍රතික්ෂේප කිරීම සඳහා කියන ලදී. මෙහි ද මේ අර්ථ යෙදීමයි. “තිම්බරුක! වේදනාව අනිකකි. “අනිකෙක් විඳියි” යනුවෙන් මුලදීම ගත්විට, පසුව ප්‍රථම පක්ෂයේ වූ කාරක-වේදනා-සඤ්ඤා යනාදිය සිඳ දමන ලදී. “තමා විසින් කළ දේ අනිකෙක් විඳී” යනුවෙන් උපන් උච්ඡේද දෘෂ්ටියත් සමග සම්ප්‍රයුක්ත වූ වේදනාව මැඩපැවැත්වූවහට වනාහී “සැපදුක් දෙක අනිකකු විසින් කරන ලදැ”යි යන මේ පිළිගැනීම ඇතිවේ. මෙසේ පවසන කල්හි – “කාරකයා සිඳින ලදී. අනිකකු විසින් ප්‍රතිසන්ධිය ගන්නා ලදී.” යනුවෙන් උච්ඡේද දෘෂ්ටිය දක්වයි. කුමක් හෙයින් උච්ඡේද දෘෂ්ටිය ගන්නේ ද? එහිදී එකරුණ දැක්වීමට-‘මෙය අනිකකි.’ ‘මෙය උච්ඡේදයට පැමිණේ’ යන අර්ථ යෙදේ. මෙහිදී ද මේ පදයන් හෙළටුවාවෙන් ගෙන යොදන ලද්දේ මය.
මේ සූත්‍රයේ වනාහි සැප-දුක් වේදනා පවසන ලදී. එහිම සැප-දුක් විපාකයද යෙදීම සුදුසු යැයි කියන ලදී.]
SN 02-01-02-09. බාලපණ්ඩිත සූත්‍රය
§ 1. මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
§ 2. “මහණෙනි, අවිජ්ජාවෙන් වැසීගියාවූ, තණ්හාවෙන් යුක්තවූ, බාලයාගේ මේ කය (අවිජ්ජාවෙන් වැසීගිය හෙයින් සහ තණ්හාවෙන් යුක්තවූ හෙයින්) මෙසේ ඇති වූයේය. මෙසේ මේ අධ්‍යාත්මිකවූ, තමාගේ කයද, බාහිරවූ, අනුන්ගේ කයදැයි මෙසේ මෙය දෙකකි. ඒ අධ්‍යාත්මික තමාගේ කයත් බාහිරවූ අන්‍යයාගේ කයත් යන කරුණු දෙක නිසා ස්පර්ශය ඇතිවේ. ඒ ස්පර්ශය ඇතිවෙන කරුණු සයක්ම වෙත්. යම් ඒ කරුණු වලින් හෝ ඒ කරුණු අතුරෙන් එක්තරා කරුණකින් ස්පර්ශ කරන ලද්දාවූ බාලතෙම සැප දුක් විඳීද,
§ “මහණෙනි, අවිජ්ජාවෙන් වැසීගියාවූ, තණ්හාවෙන් යුක්තවූ, පණ්ඩිතයාගේ මේ කය (අවිජ්ජාවෙන් වැසීගිය හෙයින් හා තණ්හාවෙන් යුක්තවූ හෙයින්) මෙසේ ඇති වූයේය. මෙසේ මේ අධ්‍යාත්මිකවූ තමාගේ කයද, බාහිරවූ අනුන්ගේ කයදැයි මෙසේ මෙය දෙකකි. ඒ අධ්‍යාත්මික බාහිර කරුණු දෙක නිසා ස්පර්ශය ඇතිවේ. ඒ ස්පර්ශය ඇතිවන්නාවූ කරුණු සයකි. ඒ කරුණු වලින් හෝ ඒ කරුණු අතුරෙන් එක්තරා කරුණකින් හෝ ස්පර්ශය කරන ලද්දාවූ පණ්ඩිතතෙම සැප දුක් විඳීද, මහණෙනි, බාලයාගේ සහ පණ්ඩිතයාගේ කය හට ගැනීමාදියෙහිදී බාලයාට වඩා පණ්ඩිතයාගේ ඇති විශේෂය කවරේද? අධික විශේෂය කවරේද? වෙනස්වූ කාරණය කුමක්ද?”
“ස්වාමීනි, අපගේ ධර්මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල්කොට ඇත්තාහුය. භාග්‍යවතුන් වහන්සේ පමුණුවන්නා කොට ඇත්තාහුය. භාග්‍යවතුන් වහන්සේ පිළිසරණ කොට ඇත්තාහුය. ස්වාමීනි, මේ කීමේ අදහස භාග්‍යවතුන් වහන්සේ විසින් කියා දෙතොත් ඉතා හොඳය. “මහණෙනි, එසේ වී නම් අසව්. ඉතා හොඳින් සිතේ තබා ගනිව් කියන්නෙමියි” වදාළ සේක. “එහෙමයි ස්වාමීනි.” කියා ඒ භික්ෂූන් භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
§ “මහණෙනි, යම් අවිජ්ජාවකින් වැසුනාවූ, යම් තණ්හාවකින් යුක්තවූ බාලයාගේ මේ කය ඇතිවූයේ වේද, බාලයාගේ ඒ අවිජ්ජා තොමෝ නැති නොවූවාය. ඒ තණ්හා තොමෝ ක්ෂය නොවූවාය. එයට හේතු කවරේද? මහණෙනි, බාලතෙම දුක් නැතිකිරීම පිණිස මනාකොට බ්‍රහ්මචරියාවෙහි නොහැසුරුනේය. ඒ නිසා බාලතෙම කය බිඳීමෙන් අන්‍යවූ කයකට (පිළිසිඳ ගැනීම වශයෙන්) යන්නේ වෙයි. හෙතෙම අන්‍යවූ කයකට (පිළිසිඳ ගැනීම් වශයෙන්) යන්නේ ඉපදීමෙන්ද, දිරීමෙන් සහ මැරීමෙන්ද, ශෝක වීමෙන්ද, හැඬීමෙන්ද, දුකින්ද, දොම්නසින්ද, වැළපීමෙන්ද නොමිදෙයි, දුකින් නොමිදේයයි කියමි.
§ “මහණෙනි, යම් අවිජ්ජාවකින් වැසුනාවූ, යම් තණ්හාවකින් යුක්තවූ පණ්ඩිතයාගේ මේ කය ඇතිවූයේ වේද, පණ්ඩිතයාගේ ඒ අවිජ්ජා තොමෝ නැතිවූවාය. ඒ තණ්හා තොමෝ ක්ෂය වූවාය. එයට හේතු කවරේද? මහණෙනි, පණ්ඩිත තෙම දුක් නැතිකිරීම පිණිස මනාකොට බ්‍රහ්මචරියාවෙහි හැසුරුණේය. ඒ නිසා පණ්ඩිතතෙම කය බිඳීමෙන් අන්‍යවූ කයකට (පිළිසිඳ ගැනීම වශයෙන්) නොයන්නේ වෙයි. හෙතෙම අන්‍යවූ කයකට (පිළිසිඳ ගැනීම් වශයෙන්) නොයන්නේ, ඉපදීමෙන්ද, දිරීමෙන් සහ මැරීමෙන්ද, ශෝකයෙන්ද, හැඬීමෙන්ද, දුකින්ද, දොම්නසින්ද, වැළපීමෙන්ද මිදෙයි. දුකින් මිදේයයි කියමි. මහණෙනි, බාලයාගේ හා පණ්ඩිතයාගේ ඇති විශේෂය නම්, අධික විශේෂය නම්, වෙනස්වූ කාරණය නම් මේ බ්‍රහ්මචරියාවෙහි හැසිරීමයි.”
[අට්ඨාකතා සුත්ර වර්ණනාව:- නවවන සූත්‍රයේ – “අවිජ්ජා නීවරණස්ස” යනු අවිද්‍යාව වැළැක්වූවහටයි. “ඒවමයං කායො සමුදාගතො” යනු අවිද්‍යාවෙන් මිදුණු බැවින් තණ්හාවෙන් යුක්තවූවම මේ කය ඉපදුණි යනුයි. “අයඤ්චෙ ව කායො” යනු තමාගේ සවිඤ්ඤාණක වූ මේ කයයි. “බහිද්ධාච නාමරූපං” යනු බාහිර වූ අන්‍යන්ගේ සවිඤ්ඤාණක කයයි. තමාගේත් අනුන්ගේත් පංචස්කණ්ධයෙන් හා ආයතණ සයෙන් මේ අර්ථ දැක්විය යුතුයි. “ඉත්ථෙතං ද්වයං” යනු මෙසේ මේ නාමරූප දෙකයි. “ද්වයං පටිච්ච ඵස්සො” – අන්‍ය වූ ඇස-රූප යන දෙක ගැටීමෙන් ස්පර්ශාදිය ඇතිවේ යැයි කියන ලදී. මෙහි වනාහී අධ්‍යාත්මික හා බාහිර ආයතන වශයෙනි. “මහාද්වය” යනුවෙන් මේ දෙක හැඳින්වේ. “සළෙවායතනානි” යනු සයක් වූ ස්පර්ශායතන හා ස්පර්ශ කරණායතනයන් ය. “යෙහි ඵුට්ඨො” යනු යම් හේතු-භූත වූ ආයතන වලින් උපන් පහසින්, ස්පර්ශ කරන ලද්දේ යනුයි. “අඤ්ඤාතරෙන” යන මෙහි පරිපූර්ණ – අපරිපූර්ණ වශයෙන් එකකින් හෝ ඊට වැඩි ගණනකින් දතයුතුයි. “තත්‍ර“ යනු ඒ බාල-පණ්ඩිත සැමදෙනාගේම කයින් පහළ වූ දෙයෙහිය. “කො අධිප්පායො” කවර අධික ප්‍රයෝගයක් ද?
එම ධර්මයන්ට භාග්‍යවතුන් වහන්සේ මූලික බැවින් “භගවංමූලකා” යැයි යෙදේ. මේ කියන ලදී. – “ස්වාමීණි, අපගේ මේ ධර්මයෝ පෙර කාශ්‍යප බුදුරජාණන් වහන්සේ විසින් උපදවන ලදහ. උන්වහන්සේගේ පිරිනිවණින් පසුව එක් බුද්ධාන්තරයක් ගතවන තුරු වෙනත් කිසිදු ශ්‍රමණ බ්‍රාහ්මණයෙක් මේ ධර්ම උපදවා ගැනීමට අසමත් වූ හ. දැන් භාග්‍යවතුන් වහන්සේ විසින් මේ ධර්ම උපදවන ලද බැවින්; ඔබවහන්සේ නිසාම අපි මේ දහම දනිමු. මනාව අවබෝධ කරමු. ස්වාමීනි! මෙලෙසින් අපගේ ධර්මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල් කොට පවතින්නෝ ය. “භගවන්නෙත්තිකා” යනු ධර්මයන්ගේ නායකයා, හික්මවන්නා, සමාදන් කරවන්නා භාග්‍යවතුන් වහන්සේ මය. යථා ස්වභාව වශයෙන් ධර්මය වෙන් වෙන් වශයෙන් ගෙන හැර දක්වන ලද බැවින් “භාග්‍යවතුන් වහන්සේම නායක කරගෙන ඇත” නම් වේ. “භගවම්පටිසරණා” යනු චාතූර්භූමික ධර්මයෝ සර්වඥ ඥානයාගේ දැකීමට පැමිණෙමින් භාග්‍යවතුන් වහන්සේම පිහිට කොට ඇතැයි, උන්වහන්සේ වෙතම එක් රැස් වේ යැයි කියන ලදී. පටිසරති යනු එක් රැස්වේ. එක්තැන් වේ යන අර්ථයි. තවද – මහබෝ මැඬ හුන් භාග්‍යවතුන් වහන්සේ වෙත ප්‍රතිවේධ වශයෙන් ස්පර්ශය පැමිණෙයි. “භාග්‍යවතුන් වහන්ස! මගේ නම කුමක්ද? නුඹ ස්පර්ශ කිරීම් අර්ථයෙන් “ඵස්ස” නම් වේ. මෙලෙස වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ ආදියද උන්වහන්සේ ගේ සිතට පැමිණෙයි. ‘භාග්‍යවතුන් වහන්ස! මගේ නම කුමක්ද? නුඹ දැනගැනීම් අර්ථයෙන් ‘විඤ්ඤාණ නම් වේ.’ මෙසේ චාතූර්භූමික වූ යථා ස්වභාවය වෙන් වෙන් වශයෙන් ගනිමින් භාග්‍යවතුන් වහන්සේ ධර්මයන් රාශිභූත කරයි. මේ අරුතින්-“භගවම්පටිසරණා” නම් වේ. “භගවන්තඤ්ඤෙ ව පටිභාතු” යනු භාග්‍යවතුන් වහන්සේට මේ දේශනයේ අර්ථ වැටහේවා. නුඹ වහන්සේම අපට විස්තර වශයෙන් දේශනා කරන සේක්වා යන අර්ථයයි.
සා චෙව අවිජ්ජා” යන මෙහි කෙසේ වුවත්, අවිද්‍යාවද තණ්හාවද කර්මය වේගවත් කරවා ප්‍රතිසන්ධිය ඇද නිරුද්ධ කරන ලදී. යම් සේ යම් බෙහෙතක් අද හෝ ඊයේ පානය කරන විටම “ආහාර අනුභව කරව” යි සමාන වූ ගැලපීන් අර්ථයෙන් “එකණෙහිම” යැයි කියත්ද එලෙසින්ම මෙහිද ඒ අවිද්‍යාවම “ඒ තණ්හාව” යැයි සමානාර්ථයෙන් කියන ලදී. “බ්‍රහ්මචරියං” යනු මාර්ග බ්‍රහ්මචර්‍යාවයි. “දුක්ඛක්ඛයාය” සංසාරික පැවතීම් වශයෙන් ඇති දුකෙහි නැති කිරීම පිණිස. “කායූපගො හොති” අනිත් ප්‍රතිසන්ධි කයට පැමිණියේ වේ. “යදිදං බ්‍රහ්මචරිය වාසො” යමෙක් මේ මාර්ග බ්‍රහ්මචර්‍යාවේ යෙදී වාසය කිරීම. මෙහිදී බාලයාගෙන් පණ්ඩිතයා විශේෂ වේයයි දක්වයි. මෙම සූත්‍රයේ සියලු ආකාර පිළිසිඳ ගැනීම් සහිත පුහුදුන් පුද්ගලයා, “බාලයා” යැයි ද පිළිසිඳ ගැනීම් රහිත ක්ෂීණාස්‍රව රහතන් වහන්සේ “පණ්ඩිතයා” යැයි ද කියන ලදී. සෝවාන්, සකෘදාගාමී, අනාගාමී පුද්ගලයෝ වනාහී පණ්ඩිතයෝමය. ඔවුහු බාලයෝ යැයි නොකිව යුතුයි. ඇසුරු කරන්නෝ වනාහී පණ්ඩිත පක්ෂයම ඇසුරු කරති.]
SN 02-01-02-10. ප්‍රත්‍යය සූත්‍රය
§ 1. මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවෙසෙති. එහිදී, භාග්‍යවතුන්වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනියි’ කියා භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
§ 2. “මහණෙනි, මම තොපට පටිච්චසමුප්පාදයද (හේතු ධර්මයද) පටිච්චසමුප්පන්න ධර්මයන්ද (ඵල ධර්මයන්ද) දේශනා කරන්නෙමි එය අසව්. මනාකොට මෙනෙහි කරව්. කියන්නෙමියි” වදාළ සේක. ‘එසේය ස්වාමීනි, කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන්වහන්සේට පිළිතුරු දුන්හ. භාග්‍යවතුන්වහන්සේ මෙය වදාළ සේක.
§ 3. “මහණෙනි, පටිච්චසමුප්පාදය (හේතු ධර්ම) නම් කවරේද? මහණෙනි, තථාගතවරයන් උපන් කල්හිද, තථාගත වරයන් නූපන් කල්හිද ඉපදීම නිසා ජරාව සහ මරණය ඇතිවේ. මේ ප්‍රත්‍යය ස්වභාව ප්‍රත්‍යයන් හේතුකොටගෙන ප්‍රත්‍යයන්ගේ පැවැත්ම මේ ඵලයන්ට මේ හෙතූන් බව ඇත්තේය. එය තථාගතතෙම අවබෝධ කෙරෙයි. වටහාගනියි. අවබෝධකොට වටහාගෙන, කියයි. දේශනා කෙරෙයි. පණවයි. පිහිටුවයි. විවරණ කෙරෙයි. බෙදයි. මතුකොට දක්වයි.
“මහණෙනි, ඉපදීම නිසා ජරාව සහ මරණය ඇති වේ. එය බලව්යයි ද කියයි.
§4. “මහණෙනි, තථාගතයන් වහන්සේ උපන් කල්හිද නූපන් කල්හිද, භවය නිසා ජාතිය (ඉපදීම) ඇතිවේ. මේ ප්‍රත්‍යය ස්වභාවය වනාහි ස්වභාවයෙන් සිටියේමයි. ස්වභාව ධර්මයයි. ධර්ම නිසාමයයි. ජරාමරණාදීන්ට ප්‍රත්‍යයවීමයි. එය තථාගත තෙම අවබෝධ කෙරෙයි. වටහා ගනියි. අවබෝධ කොට, වටහාගෙන කියයි. දේශනා කෙරෙයි පණවයි. පිහිටුවයි. විවරණ කෙරෙයි. බෙදයි. මහණෙනි, “භවය නිසා ජාතිය” ඇතිවේ. එය බලව්යයි ද කියායි. මහණෙනි, මෙසේ වනාහි ඒ “භවය නිසා ජාතිය” යන තන්හි ඒ ඒ ප්‍රත්‍යයන් ගෙන් ඒ ඒ ධර්මයාගේ ඇතිවීමක්, සමගියට පැමිණි ප්‍රත්‍යයයන්හිදී මොහොතකුදු එයින් උපදින ධර්මයන්ගේ නැතිවීමක්, අන්‍යවූ, ධර්ම ප්‍රත්‍යය කරණකොට ගෙන අන්‍ය ධර්මයන්ගේ ඇතිවීමක්, ජරාමරණයන්ට ප්‍රත්‍ය වීමක් වේද, මහණෙනි, මෙයට පටිච්චසමුප්පාදයයි (හේතුඵල ධර්මයයි) කියනු ලැබේ.
§ 5. “මහණෙනි, තථාගතයන්වහන්සේ උපන් කල්හිද නූපන් කල්හිද උපාදානය (තද ඇල්ම) නිසා භවය ඇතිවේ. නූපන් මේ ප්‍රත්‍යය ස්වභාවය වනාහි ස්වභාවයෙන් සිටියේමයි. ස්වභාව ධර්මයයි. ධර්ම නිසාමයයි ජරාමරණාදීන්ට ප්‍රත්‍යක්ෂවීමයි. එය තථාගත තෙම අවබෝධ කෙරෙයි. වටහා ගනියි. අවබෝධ කොට, වටහාගෙන කියයි. දේශනාකෙරෙයි. පණවයි. පිහිටුවයි. විවරණ කෙරෙයි. බෙදයි. මහණෙනි, “උපාදානය නිසා භවය” ඇතිවේ. එය බලව්යයිද කියායි. මහණෙනි, මෙසේ වනාහි ඒ “උපාදානය නිසා භවය” ඇතිවේ. යන තන්හි ඒ ඒ ප්‍රත්‍යයන්ගෙන් ඒ ඒ ධර්මයාගේ ඇතිවීමක්, සමගියට පැමිණි ප්‍රත්‍යයන්හිදී මොහොතකුදු එයින් උපදින ධර්මයන්ගේ නැතිවීමක්, අන්‍යවූ, ධර්ම ප්‍රත්‍යය කරණකොට ගෙන අන්‍ය ධර්මයන්ගේ ඇතිවීමක්, ජරාමරණයන්ට ප්‍රත්‍යයවීමක් වේද, මහණෙනි, මෙයට පටිච්චසමුප්පාදයයි (හේතුඵල ධර්මයයි) කියනු ලැබේ.
§6. “මහණෙනි, තථාගතයන්වහන්සේ උපන් කල්හිද නූපන් කල්හිද තණ්හාව නිසා උපාදානයෝ ඇතිවෙත්. මේ ප්‍රත්‍යය ස්වභාවය වනාහි ස්වභාවයෙන් සිටියේමයි. ස්වභාව ධර්මයයි, ධර්ම නිසාමයයි. ජරාමරණාදීන්ට ප්‍රත්‍යයවීමයි. එය තථාගතතෙම අවබෝධ කෙරෙයි. වටහා ගනියි. අවබෝධ කොට, වටහාගෙන කියයි. දේශනා කෙරෙයි, පණවයි. පිහිටුවයි, විවරණ කෙරෙයි, බෙදයි, මහණෙනි, “තණ්හාව නිසා උපාදානයෝ” ඇතිවෙත් යන තන්හි ඒ ඒ ප්‍රත්‍යයන්ගෙන් ඒ ඒ ධර්මයාගේ ඇතිවීමක්, සමගියට පැමිණි ප්‍රත්‍යයයන්හිදී මොහොතකුදු එයින් උපදින ධර්මයන්ගේ නැතිවීමක්, අන්‍යවූ, ධර්ම ප්‍රත්‍යය කරණකොට ගෙන අන්‍ය ධර්මයන්ගේ ඇතිවීමක්, ජරාමරණයන්ට ප්‍රත්‍යයවීමක් වේද, මහණෙනි, මෙයට පටිච්චසමුප්පාදයයි (හේතුඵල ධර්මයයි) කියනු ලැබේ.
§ 7. “මහණෙනි, තථාගතයන් වහන්සේ උපන් කල්හිද නූපන් කල්හිද, වේදනාව නිසා තණ්හාව ඇතිවේ. මේ ප්‍රත්‍යය ස්වභාවය වනාහි ස්වභාවයෙන් සිටියේමය, ස්වභාව ධර්මයයි, ධර්ම නිසාමයයි. ජරාමරණාදීන්ට ප්‍රත්‍යයවීමයි. එය තථාගතතෙම අවබෝධ කෙරෙයි, වටහා ගනියි, අවබෝධකොට වටහාගෙන කියයි, දේශනා කෙරෙයි, පණවයි, පිහිටුවයි, විවරණකෙරෙයි, තවද, මහණෙනි, “වේදනාව නිසා තණ්හාව” ඇතිවේ. එය බලව්යයිද කියයි. මහණෙනි, මෙසේ වනාහි ඒ “වේදනාව නිසා තණ්හාව” ඇතිවේ යන තන්හි ඒ ඒ ප්‍රත්‍යයන්ගෙන් ඒ ඒ ධර්මයාගේ ඇතිවීමක්, සමගියට පැමිණි ප්‍රත්‍යයන්හිදී මොහොතකුදු එයින් උපදින ධර්මයන්ගේ නැතිවීමක්, අන්‍යවූ, ධර්ම ප්‍රත්‍යය කරණකොට ගෙන අන්‍ය ධර්මයන්ගේ ඇතිවීමක්, ජරාමරණයන්ට ප්‍රත්‍යයවීමක් වේද, මහණෙනි, මෙයට පටිච්චසමුප්පාදයයි (හේතුඵල ධර්මයයි) කියනු ලැබේ.
§ 8. “මහණෙනි, තථාගතයන් වහන්සේ උපන් කල්හිද, නූපන් කල්හිද ස්පර්ශය නිසා වේදනාව ඇතිවේ. මේ ප්‍රත්‍යය ස්වභාවය වනාහි ස්වභාවයෙන් සිටියේමයි. ස්වභාව ධර්මයයි, ධර්ම නිසාමයයි ජරාමරණාදීන්ට ප්‍රත්‍යයවීමයි. එය තථාගත තෙම අවබෝධ කෙරෙයි. වටහා ගනියි. අවබෝධ කොට, වටහාගෙන කියයි. දේශනා කෙරෙයි. පණවයි. පිහිටුවයි. විවරණ කෙරෙයි. බෙදයි. මහණෙනි, “ස්පර්ශය නිසා වේදනාව” ඇතිවේ. එය බලව්යයිද කියායි. මහණෙනි, මෙසේ වනාහි ඒ “ස්පර්ශය නිසා වේදනාව” ඇතිවේ යන තන්හි ඒ ඒ ප්‍රත්‍යයන්ගෙන් ඒ ඒ ධර්මයාගේ ඇතිවීමක්, සමගියට පැමිණි ප්‍රත්‍යයන්හිදී මොහොතකුදු එයින් උපදින ධර්මයන්ගේ නැතිවීමක්, අන්‍යවූ, ධර්ම ප්‍රත්‍යය කරණකොට ගෙන අන්‍ය ධර්මයන්ගේ ඇතිවීමක්, ජරාමරණයන්ට ප්‍රත්‍යය වීමක් වේද, මහණෙනි, මෙයට පටිච්චසමුප්පාදයයි (හේතුඵල ධර්මයයි) කියනු ලැබේ.
§ 9. “මහණෙනි, තථාගතයන් වහන්සේ උපන් කල්හිද, නූපන් කල්හිද, සළායතනයන් (ඉන්ද්‍රියන්) නිසා ස්පර්ශය ඇතිවේ. මේ ප්‍රත්‍යය ස්වභාවය වනාහි ස්වභාවයෙන් සිටියේමයි. ස්වභාවධර්මයයි. ධර්ම නිසාමයයි. ජරාමරණාදීන්ට ප්‍රත්‍යයවීමයි. එය ස්වභාව ධර්මයයි තථාගතතෙම අවබෝධ කෙරෙයි. වටහා ගනියි. අවබෝධ කොට, වටහාගෙන කියයි. දේශනා කෙරෙයි. පණවයි. පිහිටුවයි. විවරණ කෙරෙයි. බෙදයි. මහණෙනි, “සළායතනයන් නිසා ස්පර්ශය” ඇතිවේ. එය බලව්යයිද කියයි. මහණෙනි, මෙසේ වනාහි ඒ “සළායතනයන් නිසා ස්පර්ශය” ඇතිවේ. යන තන්හි ඒ ඒ ප්‍රත්‍යයන්ගෙන් ඒ ඒ ධර්මයාගේ ඇතිවීමක් සමගියට පැමිණි ප්‍රත්‍යයයන්හිදී මොහොතකුදු එයින් උපදින ධර්මයන්ගේ නැතිවීමක්, අන්‍යවූ, ධර්ම ප්‍රත්‍යය කරණකොට ගෙන අන්‍ය ධර්මයන්ගේ ඇතිවීමක්, ජරාමරණයන්ට ප්‍රත්‍යයවීමක් වේද, මහණෙනි, මෙයට පටිච්චසමුප්පාදයයි (හේතුඵල ධර්මයයි) කියනු ලැබේ.
§ 10. “මහණෙනි, තථාගතයන් වහන්සේ උපන් කල්හිද, නූපන් කල්හිද, නාමරූපයන් නිසා සළායතනයෝ ඇතිවෙත්. මේ ප්‍රත්‍යය ස්වභාවය වනාහි ස්වභාවයෙන් සිටියේමයි. ස්වභාව ධර්මයයි. ධර්ම නිසාමයයි, ජරාමරණාදීන්ට ප්‍රත්‍යයවීමයි. එය තථාගත තෙම අවබෝධ කෙරෙයි. වටහා ගනියි. අවබෝධ කොට, වටහා ගෙන කියයි. දේශනා කෙරෙයි. පණවයි. පිහිටුවයි. විවරණ කෙරෙයි. බෙදයි. මහණෙනි, නාමරූපයන් නිසා සළායතනයන් ඇතිවේ. එය බලව්යයිද කියායි. මහණෙනි, මෙසේ වනාහි ඒ “නාමරූපයන් නිසා සළායතනයන්” ඇතිවේ. යන තන්හි ඒ ඒ ප්‍රත්‍යයන්ගෙන් ඒ ඒ ධර්මයාගේ ඇතිවීමක්, සමගියට පැමිණි ප්‍රත්‍යයයන්හිදී මොහොතකුදු එයින් උපදින ධර්මයන්ගේ නැතිවීමක්, අන්‍යවූ, ධර්ම ප්‍රත්‍යය කරණකොට ගෙන අන්‍ය ධර්මයන්ගේ ඇතිවීමක්, ජරාමරණයන්ට ප්‍රත්‍යයවීමක් වේද, මහණෙනි, මෙයට පටිච්චසමුප්පාදයයි (හේතුඵල ධර්මයයි) කියනු ලැබේ.
§ 11. “මහණෙනි, තථාගතයන් වහන්සේ උපන් කල්හිද, නූපන් කල්හිද, විඤ්ඤාණය නිසා නාම රූප ඇතිවේ. මේ ප්‍රත්‍යය ස්වභාවය වනාහි ස්වභාවයෙන් සිටියේමයි. ස්වභාවධර්මයයි ධර්ම නිසාමයයි, ජරාමරණාදීන්ට ප්‍රත්‍යයවීමයි. එය තථාගතතෙම අවබෝධ කෙරෙයි. වටහා ගනියි. අවබෝධ කොට, වටහාගෙන කියයි. දේශනා කෙරෙයි. පණවයි. පිහිටුවයි. විවරණ කෙරෙයි. බෙදයි. මහණෙනි, “විඤ්ඤාණය නිසා නාම රූප” ඇතිවේ. එය බලව්යයිද කියායි. මහණෙනි, මෙසේ වනාහි ඒ “විඤ්ඤාණය නිසා නාම රූප” ඇතිවේ යන තන්හි ඒ ඒ ප්‍රත්‍යයන්ගෙන් ඒ ඒ ධර්මයාගේ ඇතිවීමක්, සමගියට පැමිණි ප්‍රත්‍යයයන්හිදී මොහොතකුදු එයින් උපදින ධර්මයන්ගේ නැතිවීමක්, අන්‍යවූ, ධර්ම ප්‍රත්‍යය කරණකොට ගෙන අන්‍ය ධර්මයන්ගේ ඇතිවීමක්, ජරාමරණයන්ට ප්‍රත්‍යයවීමක් වේද, මහණෙනි, මෙයට පටිච්චසමුප්පාදයයි (හේතුඵල ධර්මයයි) කියනු ලැබේ.
§ 12. “මහණෙනි, තථාගතයන් වහන්සේ උපන් කල්හිද, නූපන් කල්හිද, සංස්කාරයන් නිසා විඤ්ඤාණය ඇතිවේ. මේ ප්‍රත්‍යය ස්වභාවය වනාහි ස්වභාවයෙන් සිටියේමයි. ස්වභාව ධර්මයයි, ධර්ම නිසාමයයි, ජරාමරණාදීන්ට ප්‍රත්‍යයවීමයි. එය තථාගතතෙම අවබෝධ කෙරෙයි. වටහා ගනියි. අවබෝධ කොට, වටහාගෙන කියයි. දේශනා කෙරෙයි. පණවයි. පිහිටුවයි. විවරණ කෙරෙයි. බෙදයි. මහණෙනි, “සංස්කාරයන් නිසා විඤ්ඤාණය” ඇතිවේ. එය බලව් යයිද කියයි. මහණෙනි, මෙසේ වනාහි ඒ සංස්කාරයන් නිසා විඤ්ඤාණය ඇතිවේ, යන තන්හි ඒ ඒ ප්‍රත්‍යයන්ගෙන් ඒ ඒ ධර්මයාගේ ඇතිවීමක්, සමගියට පැමිණි ප්‍රත්‍යයන්හිදී මොහොතකුදු එයින් උපදින ධර්මයන්ගේ නැතිවීමක්, අන්‍යවූ, ධර්මප්‍රත්‍යය කරණකොට ගෙන අන්‍ය ධර්මයන්ගේ ඇතිවීමක්, ජරාමරණයන්ට ප්‍රත්‍යයවීමක් වේද, මහණෙනි, මෙයට පටිච්චසමුප්පාදයයි (හේතුඵල ධර්මයයි) කියනු ලැබේ.
§ 13. “මහණෙනි, තථාගතයන් වහන්සේ උපන් කල්හිද, නූපන් කල්හිද, අවිජ්ජාව නිසා සංස්කාරයෝ ඇතිවෙත්. මහණෙනි, මෙසේ එහි එසේම වන බවක්, නොවරදින බවක්, අන් ආකාරයකින් නොවන බවක්, මේ ඵලය මේ හේතුවෙන් වන බවක් ඇත්තේද, මහණෙනි, මේ වනාහි පටිච්චසමුප්පාදයයි කියනු ලැබේ.
“මහණෙනි, පටිච්චසමුප්පන්න ධර්මයෝ (හේතුඵල ධර්මයෝ) කවරහුද?
මහණෙනි, ජරාව සහ මරණය අනිත්‍යය. ප්‍රත්‍යයන් විසින් එක්ව කරන ලද්දේය. ප්‍රත්‍යයන් නිසා උපන්නේය. ක්ෂය වන ස්වභාව ඇත්තේය. වැය වන ස්වභාව ඇත්තේය. නොඇලෙන ස්වභාව ඇත්තේය. නැතිවෙන ස්වභාව ඇත්තේය.
“මහණෙනි, ජාතිය (ඉපදීම) අනිත්‍යය. ප්‍රත්‍යයන් එක්කොට කරන ලද්දේය. ප්‍රත්‍යයන් නිසා උපන්නේය. ක්ෂය වෙන ස්වභාව ඇත්තේය. වැය වෙන ස්වභාව ඇත්තේය. නොඇලෙන ස්වභාව ඇත්තේය. නැතිවෙන ස්වභාව ඇත්තේය.
“මහණෙනි, භවය අනිත්‍යය. ප්‍රත්‍යයන් එක්කොට කරන ලද්දේය. ප්‍රත්‍යයන් නිසා උපන්නේය. ක්ෂයවෙන ස්වභාව ඇත්තේය. වැයවෙන ස්වභාව ඇත්තේය. නොඇලෙන ස්වභාව ඇත්තේය. නැතිවෙන ස්වභාව ඇත්තේය.
“මහණෙනි, උපාදානය (තද ඇලීම) අනිත්‍යය. ප්‍රත්‍යයන් එක්කොට කරන ලද්දේය. ප්‍රත්‍යයන් නිසා උපන්නේය. ක්ෂයවෙන ස්වභාව ඇත්තේය. වැයවෙන ස්වභාව ඇත්තේය. නොඇලෙන ස්වභාව ඇත්තේය. නැතිවෙන ස්වභාව ඇත්තේය.
“මහණෙනි, තණ්හාව අනිත්‍යය. ප්‍රත්‍යයන් එක්කොට කරන ලද්දේය. ප්‍රත්‍යයන් නිසා උපන්නේය. ක්ෂයවෙන ස්වභාව ඇත්තේය. වැයවෙන ස්වභාව ඇත්තේය. නොඇලෙන ස්වභාව ඇත්තේය. නැතිවෙන ස්වභාව ඇත්තේය.
“මහණෙනි, වේදනාව අනිත්‍යය. ප්‍රත්‍යයන් එක්කොට කරන ලද්දේය. ප්‍රත්‍යයන් නිසා උපන්නේය. ක්ෂයවෙන ස්වභාව ඇත්තේය. වැයවෙන ස්වභාව ඇත්තේය. නොඇලෙන ස්වභාව ඇත්තේය. නැතිවෙන ස්වභාව ඇත්තේය.
“මහණෙනි, ස්පර්ශය අනිත්‍යය. ප්‍රත්‍යයන් එක්කොට කරන ලද්දේය. ප්‍රත්‍යයන් නිසා උපන්නේය. ක්ෂයවෙන ස්වභාව ඇත්තේය. වැයවෙන ස්වභාව ඇත්තේය. නොඇලෙන ස්වභාව ඇත්තේය. නැතිවෙන ස්වභාව ඇත්තේය.
“මහණෙනි, සළායතන (ඉන්ද්‍රිය) අනිත්‍යය. ප්‍රත්‍යයන් එක්කොට කරන ලද්දේය. ප්‍රත්‍යයන් නිසා උපන්නේය. ක්ෂයවෙන ස්වභාව ඇත්තේය. වැයවෙන ස්වභාව ඇත්තේය. නොඇලෙන ස්වභාව ඇත්තේය. නැතිවෙන ස්වභාව ඇත්තේය.
“මහණෙනි, නාමරූප අනිත්‍යය. ප්‍රත්‍යයන් එක්කොට කරන ලද්දේය. ප්‍රත්‍යයන් නිසා උපන්නේය. ක්ෂයවෙන ස්වභාව ඇත්තේය. වැයවෙන ස්වභාව ඇත්තේය. නොඇලෙන ස්වභාව ඇත්තේය. නැතිවෙන ස්වභාව ඇත්තේය.
“මහණෙනි, විඤ්ඤාණය අනිත්‍යය. ප්‍රත්‍යයන් එක්කොට කරන ලද්දේය. ප්‍රත්‍යයන් නිසා උපන්නේය. ක්ෂයවෙන ස්වභාව ඇත්තේය. වැයවෙන ස්වභාව ඇත්තේය. නොඇලෙන ස්වභාව ඇත්තේය. නැතිවෙන ස්වභාව ඇත්තේය.
“මහණෙනි, සංස්කාර අනිත්‍යය. ප්‍රත්‍යයන් එක්කොට කරන ලද්දේය. ප්‍රත්‍යයන් නිසා උපන්නේය. ක්ෂයවෙන ස්වභාව ඇත්තේය. වැයවෙන ස්වභාව ඇත්තේය. නොඇලෙන ස්වභාව ඇත්තේය. නැතිවෙන ස්වභාව ඇත්තේය.
“මහණෙනි, අවිජ්ජාව අනිත්‍යය. ප්‍රත්‍යයන් එක්කොට කරන ලද්දේය. ප්‍රත්‍යයන් නිසා උපන්නේය. ක්ෂයවෙන ස්වභාව ඇත්තේය. වැයවෙන ස්වභාව ඇත්තේය. නොඇලෙන ස්වභාව ඇත්තේය. නැතිවෙන ස්වභාව ඇත්තේය.
“මහණෙනි, මොවුහු පටිච්චසමුප්පන්න ධර්මයෝයයි (හේතුඵලධර්මයෝයයි) කියනු ලැබෙත්.
§ 14. “මහණෙනි, යම් හෙයකින් ආර්ය ශ්‍රාවකයා විසින් මේ පටිච්චසමුප්පාදයද, මේ පටිච්චසමුප්පන්න ධර්මයන්ද ඇතිසැටි යහපත් නුවණින් මනාකොට දක්නේද , එවිට ඒ ආර්ය ශ්‍රාවකයා “මම අතීතකාලයෙහි වූයෙම්දෝ අතීත කාලයෙහි නූවූයෙම්දෝ කවර ජාති ඇත්තෙකු වූයෙම්දෝ අතීත කාලයෙහි රූපය කෙසේ වූයෙම්දෝ, මම අතීත කාලයෙහි කවර ජාති ඇත්තෙකු වී පසුව කවර ජාති ඇත්තෙකු වූයෙම්දෝ “කියා අතීතයට නොදුවන්නේය.
“මම අනාගත කාලයෙහි වෙම්දෝ, අනාගත කාලයෙහි නොවෙම්දෝ, අනාගත කාලයෙහි කවර ජාති ඇත්තෙකු වෙම්දෝ, අනාගත කාලයෙහි රූපය කෙසේ වෙම්දෝ, අනාගත කාලයෙහි කවර ජාති ඇත්තෙකුවී, පසුව කවර ජාති ඇත්තෙකු වෙම්දෝයි අනාගතයට නොදුවන්නේය. .
මේ වර්තමාන කාලය ගැන හෝ තමාගේ පඤ්චස්කන්ධය මම වෙම්දෝ, නොවෙම්දෝ, කවර ජාති ඇත්තෙකු වෙම්දෝ (රූපය) කෙසේ වෙම්දෝ මේ සත්වතෙම කොහෙන් වනාහි ආයේද; හෙතෙම කොහි යන්නේදැයි සැක ඇති නො වන්නේය. ඊට හේතුව කවරේද?
මහණෙනි, ආර්යශ්‍රාවකයා විසින් මේ පටිච්ච සමුප්පාදයද; මේ පටිච්චසමුප්පන්න ධර්මයෝද ඇති සැටි යහපත් නුවණින් මනාකොට දක්නාලද හෙයිනි.
[අට්ඨාකතා සුත්ර වර්ණනාව:- දසවන සූත්‍රයේ – “පටිච්ච සමුප්පාදඤච වො භික්ඛවෙ! දෙසිස්සාමි පටිච්ච සමුප්පන්නෙන ච ධම්මෙ” යනුවෙන් ශාස්තෲන් වහන්සේ මේ සූත්‍රයේ ප්‍රත්‍යන්හිද ප්‍රත්‍ය ඉපදීමේහි ද යන දෙකෙහි ධර්ම ස්වභාවය දේශනා කරන්නෙමි’යි ද්විධ දේශනාව ඇරඹූ සේක. “උප්පාදවා තථාගතානං” යනු තථාගතවරු, බුදුවරු පහළ වුවත්-නොවූවත් ජාති ප්‍රත්‍යය නිසාම ජරාමරණ දෙක පවතී. ජාතියම (ඉපදීම ම) ජරාමරණ දෙකට හේතු වේ යනුයි. “ඨිතාව සධාතු” යනු ඒ ප්‍රත්‍යයයේ ස්වභාවය ඒ පරිදිමය. කිසිදිනෙකත් ජාතිය ජරාමරණ දෙකෙහි ප්‍රත්‍යය නොවන්නේ නොවේ යනුයි. (වන්නේමය) “ධම්මට්ඨිතිතා ධම්මනියාමතා” යනු මේ දෙපදයෙන් ප්‍රත්‍ය ගැනම පවසයි. ප්‍රත්‍ය නිසාම ප්‍රත්‍යුත්පන්න ධර්මයෝ පවතිති. එනිසා ප්‍රත්‍යයන්ට ම “ධම්මට්ඨිතිතා” යනුවෙන් කියයි. ප්‍රත්‍යයන්ම ධර්ම මෙහෙයවයි. එනිසා ප්‍රත්‍යයන්ට “ධම්මනියාමතා” යි කියනු ලැබේ. “ඉදප්පච්චතා” මේ ජරාමරණාදීන්ගේ හේතුව-ප්‍රත්‍යය ඉදප්පච්චයතාවයි. මෙය ප්‍රත්‍යකොට පැවතීමම ඉදප්පච්චයතාවයි. “තං” යනු ඒ ප්‍රත්‍යයයි. “අභිසම්බුජ්ඣති” යනු ඤාණයෙන් මනාව අවබෝධ කරගනියි. “අභිසමෙති” යනු ඤාණයෙන් දැනගනියි. “ආචික්ඛතී” යනු කියයි. දේශනා කරයි. “දෙසෙති” යනු දක්වයි. “පඤ්ඤාපෙති” යනු දන්වයි. “පට්ඨපෙති” යනු ඤාණය නැමැති මුවෙහි තබයි. “විවරතී” යනු විවරණය කර දක්වයි. “විභජති” යනු බෙදීම් වශයෙන් දක්වයි. “උත්තානි කරොති” ප්‍රකට කරයි. “පස්සථාති චාහ” බලවු යැයි කියයි. කුමක්ද? “මහණෙනි! ජාති ප්‍රත්‍ය නිසා ජරාමරණ පවතී ආදී වශයෙනි.
ඉති ඛො භික්ඛවෙ” යනු “මහණෙනි! මෙසේ යනුයි. “යා තත්‍ර” යනු ඒ ජාතිප්‍රත්‍ය හේතුවෙන් ජරාමරණ වේ. යනාදියෙහිය. “තථතා” යනු ආදිය ප්‍රතීත්‍ය සමුත්පාදයට ම සමාන වදන් වේ. ඒ ඒ ප්‍රත්‍යයන් නිසා අඩුවැඩි වශයෙන් ඒ ඒ ධර්මයන්ගේ පහළවීම “තථතා” තථතාවයි. සාමග්‍රියට, එක්වීමට පැමිණි ප්‍රත්‍යයන්හි මොහොතක් හෝ ඉපදීම ගෙනදුන් ධර්මයන්ගේ විද්‍යමාන නොවීම “අවිතථතා” අවිතථතාවයි. අන්‍ය ධර්ම ප්‍රත්‍යයන්හි අන්‍ය ධර්ම පැමිණීමෙන් “අනඤ්ඤතා” වේ. ජරාමරණාදීන්ගේ ප්‍රත්‍ය වශයෙන් හෝ ප්‍රත්‍ය සමූහ වශයෙන් හෝ “ඉදප්පච්චයතා” යි කියන ලදී. එහි මේ වචනාර්ථයයි. මේ ප්‍රත්‍යයන්ගේ හේතුවෙන් පැවතීම – ඉදප්පච්චයතාවයි. ඉදප්පච්චයම ඉදප්පච්චයතාවයි. ඉදප්පච්චයන්ගේ සමූහය – ඉදප්පච්චයතාවයි. මෙහි ශබ්ද ශාස්ත්‍ර ලක්ෂණ මේ අයුරින් දතයුතුයි.
අනිච්චං” යනු පැවතී නැතිවීම් අර්ථයෙන් අනිත්‍යයයි. මෙහිද අනිත්‍යයනුවෙන ජරාමරණ අනිත්‍ය නොවේ. අනිත්‍ය ස්වභාවය වනාහී ස්කන්ධයන්ගේ ජරාමරණ වශයෙන් පැවැත්ම අනිත්‍ය නම් වේ. සංඛත ද්‍රව්‍යයන්හි වනාහී මේ ක්‍රමයමයි. මෙහි “සංඛතං” යනු හේතුප්‍රත්‍ය සමවායෙන් කරන ලද යන්නයි. “පටිච්ච සමුප්පන්නං” යනු ප්‍රත්‍යයන් නිසා උපන් යනුයි. “ඛය ධම්මං” යනු ක්ෂයවන ස්වභාවයයි. “වයධම්මං” යනු පහවන – නැතිවන ස්වභාවයයි. “විරාග ධම්මං” යනු නොඇලෙන ස්වභාවයයි. “නිරෝධ ධම්මං” යනු නිරුද්ධ වන – නැතිවන ස්වභාවයයි. උපත-ඉපදීම් ආදිය ද කියන ලද පරිදිම අනිත්‍යය යැයි දතයුතුයි. ජනක ප්‍රත්‍යයන්ගේ හෝ කෘත්‍යානුභාව ක්ෂණයෙහි නිර්දේශ කරන ලද බැවින් එක් පර්‍යායකින් මෙහි “අනිත්‍යය” යැයි ආදී වශයෙන් යෙදෙන්නේමය. භවාදිය අනිත්‍යාදී ස්වභාවයෙන් යුක්තවේමය.
පඤ්ඤාය” යනු විදර්ශනා සහිත මාර්ග ප්‍රඥාවෙනි. “පුබ්බංතං” යනු පූර්ව අන්තය, අතීත කාලය යන අර්ථයි. “අහොසිංනුඛො” ආදියෙහිද ඉක්මගිය කාලයයි. “අහොසිං නුඛො තත්‍ර ඛො” යනු ශාස්වත ආකාරයද අධිච්ච සමුප්පන්න ආකාරයද නිසා අතීතයේ තමා විද්‍යමාන වී ද? නොවීද? යනුවෙන් සැක කරන හෙයින් “කවර කරුණකින්ද?” යි නොකිව යුතුයි. උම්මත්තකයෙකු මෙන් බාල පුහුදුන් පුද්ගලයා යම් සේ සිතත්ද එසේ පවතියි. “කිං නුඛො අහොසිං” ජාති-ලිංග-උත්පත්ති ආදිය නිසා ක්ෂත්‍රියෙක් වී ද? බමුණෙක්-වෛශ්‍යයෙක්-ශුද්‍රයෙක්-ගිහියෙක්-පැවිද්දෙක්-දෙවියෙක්-මිනිසෙක් යනාදීන්ගෙන් කවරෙකු වීද? යි සැක කරයි. ඇතැමෙක් වනාහී ඊශ්වර නිර්මාණවාදී අදහස් නිසා කවර කරුණකින් වීද? යි හේතු වශයෙන්ද සැකකරන බව පවසති. “කිං හුත්වා කිං අහොසි” ජාති ආදිය නිසා ක්ෂත්‍රියයෙක් වී බ්‍රාහ්මණයෙක් වී ද? -පෙ- දෙවියෙක් වී මිනිසෙක් වී ද? ආදී ලෙස තමාගේ භව පරපුර සැක කරයි. සැමතැනම වනාහී “අද්ධානං” යනු කාලය හඟවන පදයකි. “අපරන්තං” යනු අනාගත අන්තයකි. “භවිස්සාමිනුඛො නනුඛො” යනුවෙන් ශාස්වත ආකාරයද උච්ඡේද ආකාරයද නිසා අනාගතයේ තමා විද්‍යමාන වීද? අවිද්‍යමාන වීද? යි සැක කරයි. ඉතිරි පදයන්ගේ අර්ථ ද මෙලෙස දතයුතුයි.
එතරහි වා පච්චුප්පන්නං අද්ධානං” යනු දැන් ප්‍රතිසන්ධි ආදී කරගත් චුතියෙන් අවසන් වන සියලු කාලය, ‘වර්ථමානය’ යැයි ගෙන යනුයි. “අජ්ඣත්තං කථං කථි භවිස්සතී” තමාගේ ස්කන්ධයන්හි සැක ඇත්තේ වන්නේය. “අහං නු ඛොස්මී” යනු තමාගේ ඇතිබව-පැවැත්ම සැක කරයි. මෙය පිළිගැනීම සුදුසුද? “සුදුසු ද -නුසුදුසු ද යනු මේ කාගේ සිතුවිල්ලක්ද? මෙහිදී මෙම කථාවස්තුව උදාහරණයකි.
චූලමාතාවගේ පුතා හිස මුඩුකර ඇත. මහාමාතාවගේ පුතා හිස මුඩුකර නැත. ඔහුගේ හිස මුඩුකළ කල්හි ඔහු නැගිට මම චූල මාතාවගේ පුතාද? යි සිතීය. මෙසේ “මම් වීම්ද?”යි සැක කරයි. “නොනුඛොස්මී” යි තමාගේ අවිද්‍යමානත්වය, නොපැවැත්ම සැකකරයි. එහි මේ උදාහරණ කථාවයි. එක් මසුන් මරන්නෙක් ජලයේ බොහෝ වේලාවක් තිබීමෙන් සීතල වූ තමාගේම කලවට මාළුවෙක් යැයි සිතා ගැසුවේය. තව අයෙක් සොහොන්බිම අසල කෙතක් රකිමින් සිටියදී තනිව සිටි නිසා බියෙන් හැකිලී නිදාගත්තේය. ඔහු නැගිට තමාගේම තමාගේම දණහිස් දෙකට යක්ෂයෝ දෙදෙනෙකැයි රැවටී පහර දුන්නේය. මේ අයුරින් “මම නොවීම්ද”යි සැක කරයි.
කිං නු ඛො ස්මී” ක්ෂත්‍රියයෙක් වූයේ තමාගේ ක්ෂත්‍රියබව සැක කරයි. සෙසු ජාතිවලද මේ ක්‍රමයයි. දෙවියෙක් වූයේ දෙවි බව නොදෙන්නෙක් නම් නැත. දෙවියාද මම රූපවත්ද? අරූපවත්ද?යි ආදී වශයෙන් සැකකරයි. ක්ෂත්‍රියාදීහු කුමක් නිසා නොදන්නහුද? ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ නොවූ බැවිනි. ගෘහස්ථ පෝතලිකාදීහු, ඒ ඒ කුලවල උපන්නාහු පැවිදිවීමේ සංඥාව ඇත. පැවිද්දෝ ද “මගේ ක්‍රියා අස්ථිරයැ”යි ආදී වශයෙන් ගෘහස්ථ සංඥා ඇත. මිනිස්සු ද රජවරුන් මෙන් තමා පිළිබඳව දේව සංඥා ඇත්තෝ වෙති. “කථං නුඛො ස්මී” යන්න කියන ලද පරිදිමය. හුදෙක් මේ ශරීරාභ්‍යන්තරයේ ජීවියෙක් ඇතැයි ගෙන ඔහුගේ රූපාකාරය දැක්වීම් වශයෙන් දික්වූයෙම් ද – කෙටිවී ද – චතුරස්‍රාකාරවී ද – පඤ්චස්‍රාකාර වීද – ෂඩස්‍රාකාර වීද – සප්තාකාරවීද – අෂ්ටාකාර වීද – දසාකාර වීද – සොළසාකාර වීද ආදී වශයෙන් අන්‍යාකාර වීදැයි සැක කරනුයේ “කිම නොවූයෙම්ද?” යි සැකකරන බව දතයුතුයි. ශරීර සටහන් වශයෙන් වත්මන් ස්වභාවය නො දන්නෙක් නම් නැත.
කුතො නු ඛො ආගතො සො කුහිං ගාමි භවිස්සති” යනු ආත්මභාවයේ යෑම්-ඊම් වශයෙන් සැක කරනුයේ මෙසේ සැකකරයි. “අරියසාවකස්ස” යනු මෙහි සෝවාන් වූ පුද්ගලයායි. ඉතිරි ආර්‍ය පුද්ගලයන් තිදෙනාද මෙහිදී අදහස් කරන ලදී.]