MN 03-01-02 පඤ්ඤත්තය සූත්‍රය

දීඝ නිකායේ බ්‍රහ්මජාල සුත්‍රයේ මධ්‍යම ප්‍රමාණයේ අනුකෘතිය මේ යැයි සඳහන් කල හැක. පඤ්ඤත්තය යන පාලි වචනය පහ සහ තුන ලෙස දැක්වේ. පහ යනු ආත්මවාදී දිට්ඨි පහකි. තුන යනු අතීත, අනාගත , වර්තමාන යන කාල ත්‍රයය. මේ කාල තුනට අදාලව පැසි ආකාර ආත්ම දිට්ඨිවල පැටලී ගැන සමහර සමකාලීන ඉගැන්වීම් මෙහිදී සලකා බලා ඇත. දිඝ නිකායේ බ්‍රහ්මජාල සුත්‍රයේ කෙටි අනුවර්තනයක් ලෙස මෙය සමහරු සලකති.

§ 1, මා විසින් මෙසේ අසනලදී.
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේ පිඬු සිටුහු විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එකල්හි දිනක් භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි,’ කියා භික්ෂූන්ට කථා කළහ. ‘පින්වතුන් වහන්ස!” යැයි’ ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මේ ධර්මය දේශනා කල සේක.

§ 2. අනාගතය ගැන දේශනා කරන්නාවූ ඇතැම් මහණ බමුණන්ට අනාගතය පිළිබඳව මෙබඳු දෘෂ්ටි ඇත්තාහ. අනාගතය අරභයා නොයෙක් ආකාර දෘෂ්ටි දක්වමින්, මත වාද මෙසේ ප්‍රකාශ කෙරෙත්.

(i) “මනුෂ්යාගේ ආත්මය මරණින් පසුව, සඥාවෙන් යුක්තවම මීළඟ භවයෙහි පහල වේ.” යි සමහරු කියති.
(ii) “මනුෂ්‍යයාගේ නිත්‍යවූ ආත්මය මරණින් පසු සඥාවෙන් තොරව මීළඟ භවයෙහි පහල වේ.” යි සමහරු කියති.
(iii) මනුෂ්යාගේ නිත්‍යවූ ආත්මය මරණින් පසු සඥාවෙන් තොරව හෝ සඥාව සහිතව හෝ මීළඟ භවයෙහි පහල විය හැක.” යි සමහරු කියති.
(iv) මරණින් මතු කිසි වක් ඉතිරි නොවේ, යලි පහලවීමක් නොවේ”යයි සමහරු කියති.
(v) නිර්වාණය 936 වර්තමානයේම , එනම් මෙම ජීවිතයේම ලැබිය යුතුයැය්”යි සමහරු කියති.

[936: ටිබෙට් රටෙහි ඉතිරිව ඇති මේ සුත්‍රයෙහි නිර්වානය ගැන ඇති 5 වෙනි කාණ්ඩය මෙහි ඇතුල් නොකොට, වෙනමම කොටසක් ලෙස දක්වා ඇත. බ්‍රහ්මජාල සුත්‍රයේද මේ නිර්වානය ගැන මතය මෙහි දක්වන ආකාරයටම දක්වා ඇත.]

මෙසේ මේ කරුණු පස
(a) මරණයෙන් මතුද නොනැසී පවතින ආත්මයක් ගැන.
(b) මරණින් මතු කිසිවක් ඉතිරිනොවන අනාත්ම වාදයක් ගැන, හා
(c) මේ භවයේම නිර්වාණය ලැබීම යන තුන් ආකාරයෙන් දැක්විය හැක.

මේ පඤ්චත්තය පිළිබඳව උද්දෙසය නොහොත්, සංක්ෂෙපයෙන් දැක්වීම මෙසේ කලින් දැක්වූ වාද පහ , තුන් ආකාරයකට පිඩු කොට දැක්වීම නිසා මේ සුත්‍රය පඤ්ඤත්තය (පහේ සහ තුනේ සුත්‍රය ) ලෙස නම් කොට ඇත.

§ 3. “මහණෙනි, ඔවුන් අතුරෙහි පළමුව දැක්වූ නොනැසී පවතින ආත්මයක් ගැන කියනා මහණ බමුණන්, මේ ඔවුන් කියනා නොනැසෙන ආත්මය
(a) නොනැසෙන රුපයකින් යුක්ත බව හෝ
(b) රූපයකින් යුතුව හෝ රූපයකින් තොරව ඇති බව හෝ
(c) සඥාවෙන් යුතු හෝ සඥානාවෙන් තොර බව හෝ,
(d) ඒකීයතත්වයෙන් යුතු ආත්මයක් ගැන හෝ,
(e) බහු සඥාවෙන් යුක්තවූ හෝ
(f) හීන සඥාවෙන් යුකතවූ හෝ අප්‍රමාන සඥාවෙන් යුක්ත937 වූ හෝ
(g) මරණින් මතු නිත්‍යවූ සංඥාවෙන් යුක්ත ආත්මයක් පණවත්.938

[937:- බ්‍රහ්මජාල සුත්‍රයේ මේ දිට්ඨියේ උප කාණ්ඩ දහසයක් දක්වා ඇත. මේ සුත්‍රයේ එතරම් විස්තරාත්මකව මේ දිට්ඨිය විස්තර නොවුනත් 14 හිදී අතීත

මේ කියනලද සංඥා සත ඉක්මවන්ට හැකියයි කියන සමහරු මේ විඤ්ඤානඤ්චායතනය හෝ අප්‍රමාණයයිවෙනස් කළ නොහැකි යයි සමහරු කියත්.

§ 4. මහණෙනි, මේ කාරණය පිළිබඳව තථාගතයන් ඒ ඒ දෘෂ්ටීන්ද, දෘෂ්ටීන්ගේ හේතුන්ද, දෘෂ්ටින්ගේ අරමුණුත් මෙසේ දන්නාහ.

යම් පින්වත් මහණ බමුණෝ මරණින් මතු නිත්‍යවූ සංඥාවෙන් යුක්තවූ ආත්මයක් පණවත්ද, ඒ පින්වත් මහණ බමුණෝ රූපයක් ඇත්තාවූ, මරණින් මතු නිත්‍යවූ, පින්වත් මහණ බමුණෝ රූප නැත්තාවූ, මරණින් මතු නිත්‍යවූ සංඥාවෙන් යුක්තවූ ආත්මයක් හෝ පණවත්.

යම් මහණ බමුණන් රූපයක් ඇත්තාවූ, හෝ රූපයක් නැත්තාවූද, මරණින් මතු පවත්නා වූ සංඥාවෙන් යුක්තවූ ආත්මයක් පණවත්ද . ඒ පින්වත් මහණ බමුණෝ රූපයක් ඇත්තේත් නොවන්නාවූද, රූප නැත්තේත් නොවන්නාවූද, මරණින් මතු නිත්‍යවූ සංඥාවෙන් යුක්තවූ ආත්මයක් පණවත්.

සමහර මහණ බමුණන් එක් සංඥාවක් ඇත්තාවූ මරණින් මතු නිත්‍යවූ සංඥාවෙන් යුත් ආත්මයක් පණවත්ද, ඒ පින්වත් මහණ බමුණෝ නොයෙක් සංඥා ඇත්තාවූ මරණින් මතු නිත්‍යවූ සංඥාවෙන් යුත් ආත්මය පණවත්.

ඒ පින්වත් මහණ බමුණෝ හීන සංඥා ඇත්තාවූ මරණින් මතු නිත්‍යවූ සංඥාවෙන් යුත් ආත්මයක් පණවත්. නැතිනම් අප්‍රමාණ සංඥාවෙන් යුක්තවූ , මරණින් මතු නිත්‍යවූ සංඥාවෙන් යුත් ආත්මයක් පණවත්.

මේ රූප සහිත සංඥා අතුරෙන්ද, රූප නැති සංඥා අතුරෙන්ද, එකත්ත සංඥා අතුරෙන්ද නානත්ත සංඥා අතුරෙන්ද, යම් සංඥාවක් පිරිසිදුය, උතුම්ය, අග්‍රය, සියල්ලට වඩා උතුම් යයි කියනු ලැබේද, එය නාස්තිභාවප්‍රඥප්තිය අරමුණු කොට ඇති ආකිඤ්චඤ්ඤායතන සංඥාව අප්‍රමාණ වෙයි. කම්පා නො වේය යී සමහරු කියත්. එය ප්‍රත්‍යයෙන් හටගන්නා ලද්දකි. එහෙයින් ඖදාරික වේ. සංස්කාරයන්ගේ නිරෝධයවූ නිවන ඇත්තේම ය. ඒ නිවන ඇත්තේය යි එසේ දැන ඒ සංස්කාරයන්ගේ නික්මීම දක්නා තථාගත තෙමේ ඒ සංස්කාරයන් ඉක්මීය.

§  4. “මහණෙනි, ඒ වාද අතුරෙන් යම් මහණ බමුණ කෙනෙක් මරණින් මතු නිත්‍යවූ සංඥා නැත්තාවූ ආත්මය පණවත්ද, ඒ පින්වත් මහණ බමුණෝ, රූපය ඇත්තාවූ මරණින් මතු නිත්‍යවූ සංඥාවෙන් තොරවූ ආත්මයක් හෝ පණවත් ද, ඒ පින්වත් මහණ බමුණෝ රූපය නැත්තාවූ මරණින් මතු නිත්‍යවූ සංඥාවෙන් තොරවූ ආත්මයක් හෝ පණවත්,

ඒ පින්වත් මහණ බමුණෝ රූප ඇත්තාවූ ද රූප නැත්තාවූද, මරණින් මතු නිත්‍යවූ සංඥාවෙන් තොරවූ ආත්මයක් හෝ පණවත්ද, ඒ පින්වත් මහණ බමුණෝ රූප ඇත්තේත් නොවන්නාවූද සංඥාවෙන් තොරවූ ආත්මයක් හෝ පණවත්.

මහණෙනි, ඒ වාද අතුරෙහි යම් මහණ බමුණකු මරණින් මතු නිත්‍යවූ සංඥාවෙන් යුක්තවූ ආත්මයක් පණවත්, සමහරු ඒ මතය බැහැර කෙරෙත්.
ඊට හේතු කවරේද?

සංඥාව රොගයකි, සංඥාව ගඩයකි, සංඥාව හුලකි. සංඥා රහිත බවක් වේද, එය ශාන්තය, එය ප්‍රණීතය යි ඔව්හු සිතත්. මහණෙනි, තථාගතයන් ඒ අසඥ භාවයත් දන්නේය.

§  5. “සමහර පින්වත් මහණ බමුණෝ මරණින් මතු නිත්‍යවූ සංඥාවක් නැත්තාවූ ආත්මයක් පණවත්, ඒ පින්වත් මහණ බමුණෝ මරණින් මතු, රූපයක් ඇත්තාවූ නිත්‍යවූ සංඥා නැති ආත්මය හෝ පණවත්.

සමහර මහණ බමුණෝ රූප ඇත්තාවූද රූප නැත්තාවූද, මරණින් මතු නිත්‍යවූ සංඥාවක් නැති ආත්මයක් පණවත්. ඒ පින්වත් මහණ බමුණෝ රූපය ඇති හෝ නැති, මතු නිත්‍යවූ සංඥා නැති ආත්මයක් පණවත්. මහණෙනි, යම් කිසි ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ ‘මම රූපයෙන් වෙන්ව වේදනාවෙන් වෙන්ව, සංඥාවෙන් වෙන්ව, සංස්කාරයන්ගෙන් වෙන්ව, විඤ්ඤාණයාගේ (ප්‍රතිසන්ධි වශයෙන්) ඊම හෝ යාම හෝ චුතවීම හෝ ඉපදීම හෝ වැඩීම හෝ නැගීම හෝ මහත්වීම හෝ පණවන්නෙමියි.’ කියන්නේද ඒ සිදු නොවන්නකි. විඥානයද ප්‍රත්‍යයෙන් උපදින ලද්දකි. ඖදාරිකය. සංස්කාරයන්ගේ නිරෝධයෙක් ඇත්තේමය. මෙය ඇතැයි මෙසේ දැන එයින් මිදීම දක්නා තථාගතයන් එය ඉක්ම වූයේය.

§  6. “මහණෙනි, ඔවුන් අතරෙහි සමහර මහණ බමුණෝ සංඥා ඇත්තෙත් නොවන්නාවූද නැත්තේත් නොවන්නාවූද මරණින් මතු නිත්‍යවූ ආත්මයක් පණවත්. ඇතැම් මහණ බමුණෝ රූපය ඇත්තාවූ මරණින් මතු නිත්‍යවූ සංඥා ඇත්තේත් නොවන්නාවූද නැත්තේත් නොවන්නාවූද ආත්මයක් පණවත්.

ඒ මහණ බමුණෝ රූපයෙන් තොරව, නිත්‍යවූ සංඥාවෙන් යුතු ආත්මයක් මරණින් මතු ඇත්තේයි පණවති. ඇතැම් මහණ බමුණෝ රූප ඇත්තාවූද, රූප නැත්තාවූද මරණින් මතු නිත්‍යවූ සංඥා ඇත්තේත් නොවන්නාවූද නැත්තේත් නොවන්නාවූද, සංඥා ඇති ආත්මයක් පණවත්. ඇතැම් මහණ බමුණෝ රූප ඇත්තේත් නොවූ රූප නැත්තේත් නොවූද, මරණින් මතු නිත්‍යවූ සංඥා ඇත්තේත් නොවූද සංඥා නැත්තේත් නොවූද ආත්මය හෝ පණවත්.

මහණෙනි, ඔවුන් අතරෙහි යමෙක් මරණින් මතු නිත්‍යවූ සංඥා ඇති ආත්මයක් පණවත්ද, සමහරු ඔවුන් බැහැර කරයිද, ඒ පින්වත් මහණ බමුණෝ මරණින් මතු නිත්‍යවූ සංඥා නැත්තාවූ ආත්මය පණවත්ද, සමහරු ඔවුන් බැහැරකරත්. ඊට හේතු කවරේද?

‘සංඥාව රෝගයකි, සංඥාව ගඩයකි, සංඥාව හුලකි, අසංඥාව මුළාවකි. මේ සංඥාව ඇත්තේත් නැති නැත්තේත් නැති බවක්වේ නම් එය ශාන්තය, එය ප්‍රණීතයයි’ කියායි මහණෙනි, ඒ දෘෂ්ටියද තථාගතයන් දන්නේය.

§  7. සමහර මහණ බමුණෝ නිත්‍යවූ සංඥාවකින් තොර, ආත්මයක් පනවත්, සමහර මහණ බමුණෝ රූපය ඇත්තාවූ මරණින් මතු නිත්‍යවූ සංඥා ඇත්තේත් නැත්තේත් නොවූ ආත්මය හෝ පණවත්. සමහර මහණ බමුණෝ රූපය නැති, නිත්‍යවූ සංඥා ඇති ආත්මයක් පණවත්. ඒ පින්වත් මහණ බමුණෝ රූපය ඇත්තාවූද, රූපය නැත්තාවූද, මරණින් මතු නිත්‍යවූ සංඥා ඇත්තේත් නොවූ නැත්තේත් නොවූ ආත්මය හෝ පණවත්. ඒ පින්වත් මහණ බමුණෝ රූපය ඇත්තේත් රූපය නැත්තේත් නොවූ මරණින් මතු නිත්‍යවූ සංඥා ඇත්තේත් නොවූ නැත්තේත් නොවූ ආත්මය හෝ පණවත්. 942

[942: පංච ස්කන්ධයන් පවතින උප්පත්ති භුමි ගැන මේ වාදයෙහි මෙසේ දැක්වේ යයි අටුවාව කියයි. අරුපී තල උප්පති භූමිවල පංච ස්කන්ධයෙන් තොර විඥානය පමණක් පවතියි, රූපය පමනක් ඇති විඥානය නැති භුමි ගැනද මොවුන් දක්වයි. එනමුත් අනෙත් මනෝ ස්කන්ධයන් තුනෙන් තොරව විඥානය නොපිහිටයි.]

§  8. “මහණෙනි, යම් මහණ බමුණු කෙණෙක් ඇසින් දැකීමය, කණින් ඇසීමය, නාසයෙන්, දිවෙන්, කයෙන් දැනීමය යන මෙයින් දතයුතුවූ (දොරටු පසෙහි සංඥාවගේ පැතීම් මාත්‍රයෙන්) ඖදාරික සංස්කාරයන්ගේ පැවැත්මෙන් මේ නෙවසඤ්ඤානාසඤ්ඤායතනයාගේ ලැබීම පණවත්.

මහණෙනි, ‘සමාපත්තියෙන් නැගිටීම වන හෙයින් විනාශයක්ම මේ ආයතනයාගේ ලැබීම පිණිස කියයි. මහණෙනි, මේ නෙවසංඤ්ඤානාසංඤ්ඤායතනයට පැමිණීම ඖදාරික සංස්කාරයන්ගේ පැවැත්මෙන් පැමිණිය යුතුයයි’ කියා කිය නොහැක.. මහණෙනි, මෙය සංස්කාර විශේෂයක් සහිත සමාපත්තියෙන් පැමිණිය යුතු ආයතනයකි.. එයද ප්‍රත්‍යයෙන් උපදවන ලද්දකි. ඖදාරිකද වේ. සංස්කාරයන්ගේ නිරෝධයෙක් ඇත්තේමය. එය ඇතැයි, මෙසේ දැන ඉන් මිදීම දක්නා තථාගතයන් එය ඉක්මවන ලද්දේය..

§ 9. “මහණෙනි, ඒ වාදයන් අතර සමහර මහණ බමුණෝ, සත්වයාගේ උච්ඡෙදය, විනාසය, නොවීම පණවත්ද, මහණෙනි, ඒ මහණ බමුණෝ මරණින් මතු නිත්‍යවූ සංඥා ඇති ආත්මය පණවත්. සමහරු ඒ බැහැර කරත්. යම් මහණ බමුණෝ මරණින් මතු නිත්‍යවූ සංඥා නැත්තාවූ ආත්මය පණවත්, සමහරු ඒ බැහැර කරත්. සමහර මහණ බමුණෝ මරණින් මතු නිත්‍යවූ සංඥා ඇති හෝ නැති, ඇත්තෙත් නැති , නැත්තේත් නැති ආත්මයක් පණවත්. සමහරු ඒ බැහැර කරත්.
ඊට හේතු කවරේද?

ඒ සියළු පින්වත් මහණ බමුණෝ ‘අනාගතයෙහි සැරිසරන්නාවූ මෙසේ පරලොව වන්නෙමු. මෙසේ පරලොව වන්නෙමුයි’ ඇලීමම කියන්නාහු වෙති. යම්සේ නම් වෙළඳාමට යන්නාවූ වෙළෙන්දාට ‘මෙයින් මට මෙය වන්නේය, මෙයින් මෙය එපරිද්දෙන්ම පරලොව මෙසේ වන්නෙමු. පරලොව මෙසේ වන්නෙමුයි,’ සිතන්නාවූ මේ පින්වත් මහණ බමුණෝ වෙළඳුන්ට බඳු උපමා ඇත්තාහුයයි වැටහෙත්. මහණෙනි, මෙයද තථාගතයන් දන්නේය.

§ 10. “යම් මහණ බමුණෝ සත්වයාගේ උච්ඡෙදය, විනාශය, හට නොගැණීම, පණවත්, ඔව්හු ත්‍රිවිධ භවයට භය වන්නාහුය, ත්‍රිවිධ භවය පිළිකුල් කරන්නාහුය. ත්‍රිවිධ භවය අනුවම දුවත්. ත්‍රිවිධ භවය අනුව පෙරළෙත්. යම්සේ සුනඛයෙක් දම්වැලකින් බඳනා ලද්දේ, දැඩිවූ කණුවක හෝ හුලක හෝ බඳින ලද්දේ නම් , එම වැලත් සමග හෝ හුලත් සමඟ ඒ සුනඛයා දුවන්නේද, ගමන් කරන්නේද, එමෙන් එපරිද්දෙන්ම මේ මහණ බමුණෝ සත්වයාගේ පැවැත්මට භය ඇත්තාහුය. සත්වයාගේ පැවැත්මට පිළිකුල් කරන්නාහුය. සත්වයාගේ පැවැත්ම අනුවම දුවත්, අනුවම පෙරළෙත්. ඒ එයද ප්‍රත්‍යයෙන් කරණ ලද්දක් වේ. එහෙයින්ම ඖදාරිකවේ. සංස්කාරයන්ගේ නිරෝධයෙක් ඇත්තේමය. ඒ නිරෝධය ඇතැයි මෙසේ දැන සංස්කාරයන් ගෙන් මිදීම දක්නා තථාගතයන් එය ඉක්මවූයේ වෙයි.

“මහණෙනි, සත්වයන්ගේ අනාගතය කල්පනා කරන්නාවූ අනාගතය අනුව ගිය දෘෂ්ටි ඇත්තාවූ යම්කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ වෙත්ද, ඔව්හු අනාගතය අරබයා අනෙක ප්‍රකාරවූ දෘෂ්ටි දක්වන්නාවූ, වචන කියත්ද? ඒ සියල්ලෙන් මේ කරුණු පසම කියත්. එයින් එක්තරා කරුණක් හෝ කියත්.

§  11. “මහණෙනි, සත්වයන්ගේ අතීතය කල්පනා කරන්නාවූ අතීතය අනුව ගිය දෘෂ්ටි ඇත්තාවූ ඇතැම් මහණ බමුණෝ වෙත්. ඔව්හු අතීතය අරබයා අනෙකප්‍රකාරවූ දෘෂ්ටි දක්වන්නාවූ වචන කියත්.

  • ‘ආත්මයද, ලෝකයද සදා කාලිකය මෙයම සත්‍යය, මෙයින් අන්‍ය කියුම් අසත්‍යය’යි සමහරු කියත්.
  • ‘ආත්මයද ලෝකයද සදාකාලික නොවේ. මෙයම සත්‍යය, මෙයින් අන්‍ය කියුම් අසත්‍යය’යි,’ සමහරු කියත්.
  • ‘ආත්මයද ලෝකයද, සදාකාලිකද වේ. සදාකාලික නොවන්නේද වේ. මෙයම සත්‍යයයි. මෙයින් අන්‍ය කියුම් අසත්‍යය’යි,’ සමහරු කියත්.
  • ‘ආත්මයද ලෝකයද, සදාකාලික නොවේ. සදාකාලික නොවන්නේද නොවේ. මෙයම සත්‍යයයි මෙයින් අන්‍යය අසත්‍යය’යි.’ සමහරු කියත්.
  • ‘ආත්මයටද ලෝකයටද කෙළවරක් ඇත්තේය. මෙයම සත්‍යය, අන්‍යය අසත්‍යය’යි,’ සමහරු කියත්.
  • ‘ආත්මයට ද ලෝකයට ද, කෙළවරක් නැත්තේය, මෙයම සත්‍යය අන්‍යය අසත්‍යය’යි.’ සමහරු කියත්.
  • ‘ආත්මයටද ලෝකයට ද කෙළවරක් ඇත්තේද නොවේ. කෙළවරක් නැත්තේද වේ, මෙයම සත්‍යය අන්‍යය අසත්‍යය’යි’ සමහරු කියත්.
  • ‘ආත්මයද ලෝකයද කෙළවරක් ඇත්තේද නොවේ. කෙළවරක් නැත්තේද වේ. මෙයම සත්‍යය අන්‍යය අසත්‍යය’යි’ සමහරු කියත්.
  • ‘ආත්මයද ලෝකයද නොයෙක් සංඥා ඇත්තේ වෙයි. මෙයම සත්‍යය අන්‍යය අසත්‍යය’යි’ සමහරු කියත්.
  • ‘ආත්මයද ලෝකයද නොයෙක් සංඥා ඇත්තේවේ. මෙයම සත්‍යය අන්‍යය අසත්‍යය’යි’ සමහරු කියත්.
  • ‘ආත්මයද ලෝකයද හීන සංඥා ඇත්තේවේ. මෙයම සත්‍යය අන්‍යය අසත්‍යය’යි’ සමහරු කියත්.
  • ‘ආත්මයද ලෝකයද අප්‍රමාණ සංඥා ඇත්තේවේ. මෙයම සත්‍යය අන්‍යය අසත්‍යය’යි’ සමහරු කියත්.
  • ‘ආත්මයද ලෝකයද ඒකාන්ත සැප ඇත්තේ වේ. මෙයම සත්‍යය අන්‍යය අසත්‍යය’යි සමහරු කියත්.
  • ‘ආත්මයද ලෝකයද ඒකාන්ත දුක් ඇත්තේවේ. මෙයම සත්‍යය අන්‍යය අසත්‍යය’යි’ සමහරු කියත්.
  • ‘ආත්මයද ලෝකයද දුක සැප දෙකම ඇත්තේවේ. මෙයම සත්‍යය අන්‍යය අසත්‍යය’යි සමහරු කියත්.
  • ‘ආත්මයද ලෝකයද දුක් ඇත්තේත් නොවේ. සැප ඇත්තේත් නොවේ. මෙයම සත්‍යය අන්‍යය අසත්‍යය’යි’ සමහරු කියත්.

§  12. “මහණෙනි, ඔවුන් අතර යම් ඒ මහණ බමුණෝ මෙබඳුවාද ඇත්තාහු මෙබඳු දෘෂ්ටි ඇත්තාහු වෙත්ද, ඒකාන්තයෙන් ඔවුන්ට ආත්මයද, ලෝකයද, ශාස්වතය, මෙයම සත්‍යය අනික සිස්ය යන ඇදහීමෙන් තොරව කැමැත්තෙන් තොරව ඇසීමෙන් තොරව ආකාර කල්පනා කිරීමෙන් තොරව සිතින් බැසගැනීමෙන් තොරව පිරිසිදුවූ නිර්මලවූ ප්‍රත්‍යක්ෂවූම ඥාණය වන්නේය යන මේ කාරණය විද්‍යමාන නොවේ.

මහණෙනි, පිරිසිදුවූ නිර්මලවූ ප්‍රත්‍යක්ෂවූම නුවණ නැති කල්හි ඒ පින්වත් මහණ බමුණෝ යම් ඥාණ කොටස් මාත්‍රයක්ම පිරිසිදු කෙරෙත්ද, එයම මේ පින්වත් මහණ බමුණන්ගේ දැඩි කොටගත් දෘෂ්ටියයි කියනු ලැබේ. ඒ මේ දැඩිව ගත් දෘෂ්ටිය ප්‍රත්‍යයෙන් කරණ ලද්දකි. එහෙයින් ඖදාරිකවේ.

සංස්කාරයන්ගේ නිරෝධයෙක් ඇත්තේමය. මෙය ඇත්තේයයි මෙසේ දැන ඒ සංස්කාරයන්ගේ මිදීම දක්නා තථාගතයන් එය ඉක්මවූයේය.

§  13. “මහණෙනි, ඔවුන් අතර යම් ඒ මහණ බමුණෝ මෙබඳුවාද ඇත්තාහු මෙබඳු දෘෂ්ටි ඇත්තාහු වෙත්ද, ‘ආත්මයද ලෝකයද සදාකාලික නොවේ. මෙයම සත්‍යය අනික හිස් යයි’ ඒකාන්තයෙන් ඔවුන්ගේ ශ්‍රද්ධාවෙන් තොරවම කැමැත්තෙන් තොරව අනුශ්‍රවණයෙන් තොරව ආකාර පරිවිතර්කයෙන් තොරව පිරිසිදුවූ නිර්මලවූ ප්‍රත්‍යක්ෂවූම ඥානය වන්නේය යන මේ කාරණය විද්‍යමාන නොවේ. මහණෙනි, පිරිසිදුවූ නිර්මලවූ ප්‍රත්‍යක්ෂවූම නුවණ නැති කල්හි, ඒ පින්වත් මහණ බමුණෝ යම් ඤාණභාග මාත්‍රයක්ම පිරිසිදු කෙරෙත්ද, එයම ඒ පින්වත් මහණ බමුණන්ගේ දෘෂ්ටි උපාදානයයි කියනු ලැබේ. ඒ මේ දෘෂ්ටි උපාදානය සංස්කරණය කරණ ලද්දේය. එහෙයින් ඖදාරික වේ. සංස්කාරයන්ගේ නිරෝධයෙක් ඇත්තේමය. මෙය ඇත්තේ යයි මෙසේ දැන, ඔහුගේ නිවණ දක්නා සුළුවූ තථාගත තෙමේ එය ඉක්මවූයේ වේ.

§ 14. “මහණෙනි, ඔවුන් අතර යම් ඒ මහණ බමුණෝ මෙබඳු වාද ඇත්තාහු මෙබඳු දෘෂ්ටි ඇත්තාහු වෙත්ද, ‘ආත්මයද ලෝකයද සදාකාලිකද වේ. සදාකාලික නොවන්නේද මෙයම සත්‍යය. අනික අසත්‍යය’යි’

ඒකාන්තයෙන් ඔවුන්ගේ ශ්‍රද්ධාවෙන් තොරවම, කැමැත්තෙන් තොරවම, අනුශ්‍රවණයෙන් තොරව, ආකාර පරිවිතර්කයෙන් තොරව පිරිසිදුවූ නිර්මලවූ ප්‍රත්‍යක්ෂවූම ඥානය ඇතිවීම සිදු නොවේ.

මහණෙනි, පිරිසිදුවූ නිර්මලවූ ප්‍රත්‍යක්ෂවූම නුවණ නැති කල්හි, ඒ පින්වත් මහණ බමුණෝ යම් ඤාණභාග මාත්‍රයක්ම පිරිසිදු කෙරෙත්ද, එයම ඒ පින්වත් මහණ බමුණන්ගේ දෘෂ්ටි උපාදානයයි කියනු ලැබේ. ඒ මේ දෘෂ්ටි උපාදානය සංස්කරණය කරණ ලද්දේය. එහෙයින් ඖදාරික වේ. සංස්කාරයන්ගේ නිරෝධයක් ඇත්තේමය මෙය ඇත්තේයයි මෙසේ දැන, ඔහුගේ නිවණ දක්නාසුළුවූ තථාගතයන් එය ඉක්මවූයේ වේ.

§  15. . “මහණෙනි, ඔවුන් අතර සමහර මහණ බමුණෝ මෙබඳු වාද ඇත්තාහු මෙබඳු දෘෂ්ටි ඇත්තාහුවෙත්. ආත්මයද ලෝකයද නොමසදාකාලික නොවන්නේද, සදාකාලික නොවන්නේද නොවේ. මෙයම සත්‍යය අනික අසත්‍යය’යි ඒකාන්තයෙන් ඔවුන්ගේ ශ්‍රද්ධාවෙන් තොරවම කැමැත්තෙන් තොරව අනුශ්‍රවණයෙන් තොරව ආකාර පරිවිතර්කයෙන් තොරව පිරිසිදුවූ නිර්මලවූ ප්‍රත්‍යක්ෂවූම ඥානය වන්නේය යන මේ කාරණය සිදු නොවේ.

මහණෙනි, පිරිසිදුවූ නිර්මලවූ ප්‍රත්‍යක්ෂවූම නුවණ නැති කල්හි, ඒ පින්වත් මහණ බමුණෝ යම් ඤාණභාග මාත්‍රයක්ම පිරිසිදු කෙරෙත්ද එයම ඒ පින්වත් මහණ බමුණන්ගේ දෘෂ්ටි උපාදානයයි කියනු ලැබේ. ඒ මේ දෘෂ්ටි උපාදානය සංස්කරණය කරණ ලද්දේය. එහෙයින් ඖදාරික වේ. සංස්කාරයන්ගේ නිරෝධයක් ඇත්තේමය. මෙය ඇත්තේයයි මෙසේ දැන, ඔහුගේ නිවණ දක්නාසුළුවූ තථාගත තෙමේ එය ඉක්මවූයේ වේ.“

මහණෙනි, ඔවුන් අතර යම් ඒ මහණ බමුණෝ මෙබඳු වාද ඇත්තාහු මෙබඳු දෘෂ්ටි ඇත්තාහු වෙත්ද, ‘ආත්මයද ලෝකයද කෙළවර ඇත්තේ වේ. මෙයම සත්‍යය. අනික අසත්‍යය’යි, ඒකාන්තයෙන් ඔවුන්ගේ ශ්‍රද්ධාවෙන් තොරවම කැමැත්තෙන් තොරව අනුශ්‍රවණයෙන් තොරව ආකාර පරිවිතර්කයෙන් තොරව පිරිසිදුවූ නිර්මලවූ ප්‍රත්‍යක්ෂවූම ඥානය වන්නේය යන මේ කාරණය විද්‍යමාන නොවේ.

මහණෙනි, පිරිසිදුවූ නිර්මලවූ ප්‍රත්‍යක්ෂවූම නුවණ නැති කල්හි ඒ පින්වත් මහණ බමුණෝ යම් ඤාණභාග මාත්‍රයක්ම පිරිසිදු කෙරෙත්ද එයම ඒ පින්වත් මහණ බමුණන්ගේ දෘෂ්ටි උපාදානයයි කියනු ලැබේ. ඒ මේ දෘෂ්ටි උපාදානය සංස්කරණය කරණ ලද්දේය. එහෙයින් ඖදාරික වේ. සංස්කාරයන්ගේ නිරෝධයෙක් ඇත්තේමය. මෙය ඇත්තේයයි මෙසේ දැන ඔහුගේ නිවණ දක්නාසුළුවූ තථාගත තෙමේ එය ඉක්මවූයේ වේ.

§  16. “මහණෙනි, ඔවුන් අතර යම් මහණබමුණෝ මෙබඳු වාද ඇත්තාහු මෙබඳු දෘෂ්ටි ඇත්තාහු වෙත්ද, ආත්මයද ලෝකයද කෙළවර නැත්තේ වේ. මෙයම සත්‍යය අනිකඅසත්‍යය’යි ඒකාන්තයෙන් ඔවුන්ගේ ශ්‍රද්ධාවෙන් තොරවම කැමැත්තෙන් තොරව අනුශ්‍රවණයෙන් තොරව ආකාර පරිවිතර්කයෙන් තොරව පිරිසිදුවූ නිර්මලවූ ප්‍රත්‍යක්ෂවූම ඥානය වන්නේය යන මේ කාරණය විද්‍යමාන නොවේ.

මහණෙනි, පිරිසිදුවූ නිර්මලවූ ප්‍රත්‍යක්ෂවූම නුවණ නැති කල්හි, ඒ පින්වත් මහණබමුණෝ යම් ඤාණභාග මාත්‍රයක්ම පිරිසිදු කෙරෙත්ද එයම ඒ පින්වත් මහණ බමුණන්ගේ දෘෂ්ටි උපාදානයයි කියනු ලැබේ. ඒ මේ දෘෂ්ටි උපාදානය සංස්කරණය කරණ ලද්දේය. එහෙයින් ඖදාරික වේ. සංස්කාරයන්ගේ නිරෝධයෙක් ඇත්තේමය. මෙය ඇත්තේයයි මෙසේ දැන, ඔහුගේ නිවණ දක්නාසුළුවූ තථාගත තෙමේ එය ඉක්මවූයේ වේ.

§ 17. “මහණෙනි, ඔවුන් අතර යම් ඒ මහණ බමුණෝ මෙබඳු වාද ඇත්තාහු මෙබඳු දෘෂ්ටි ඇත්තාහු වෙත්ද, ආත්මයද ලෝකයද කෙළවර ඇත්තේද කෙළවර නැත්තේ දවේ. මෙයම සත්‍යය අනිකඅසත්‍යය’යි ඒකාන්තයෙන් ඔවුන්ගේ ශ්‍රද්ධාවෙන් තොරවම කැමැත්තෙන් තොරව අනුශ්‍රවණයෙන් තොරව ආකාර පරිවිතර්කයෙන් තොරව පිරිසිදුවූ නිර්මලවූ ප්‍රත්‍යක්ෂවූම ඥානය වන්නේය යන මේ කාරණය විද්‍යමාන නොවේ,

මහණෙනි, පිරිසිදුවූ නිර්මලවූ ප්‍රත්‍යක්ෂවූම නුවණ නැති කල්හි, ඒ පින්වත් මහණ බමුණෝ යම් ඤාණභාග මාත්‍රයක්ම පිරිසිදු කෙරෙත්ද, එයම ඒ පින්වත් මහණ බමුණන්ගේ දෘෂ්ටි උපාදානයයි කියනු ලැබේ. ඒ මේ දෘෂ්ටි උපාදානය සංස්කරණය කරණ ලද්දේය. එහෙයින් ඖදාරික වේ. සංස්කාරයන්ගේ නිරෝධයෙක් ඇත්තේමය. මෙය ඇත්තේයයි මෙසේ දැන, ඔහුගේ නිවණ දක්නාසුළුවූ තථාගත තෙමේ එය ඉක්මවූයේ වේ.

§  18. “මහණෙනි, ඔවුන් අතර යම් ඒ මහණ බමුණෝ මෙබඳු වාද ඇත්තාහු මෙබඳු දෘෂ්ටි ඇත්තාහු වෙත්ද, ‘ආත්මයද ලෝකයද නොමකෙළවර ඇත්තේද නොමකෙළවර නැත්තේද වේ. මෙයම සත්‍යය අනික අසත්‍යය’යි’ ඒකාන්තයෙන් ඔවුන්ගේ ශ්‍රද්ධාවෙන් තොරවම කැමැත්තෙන් තොරව අනුශ්‍රවණයෙන් තොරව ආකාර පරිවිතර්කයෙන් තොරව පිරිසිදුවූ නිර්මලවූ ප්‍රත්‍යක්ෂවූම ඥානය වන්නේය යන මේ කාරණය විද්‍යමාන නොවේ.

මහණෙනි, පිරිසිදුවූ නිර්මලවූ ප්‍රත්‍යක්ෂවූම නුවණ නැති කල්හි, ඒ පින්වත් මහණ බමුණෝ යම් ඤාණභාග මාත්‍රයක්ම පිරිසිදු කෙරෙත්ද, එයම ඒ පින්වත් මහණ බමුණන්ගේ දෘෂ්ටි උපාදානයයි කියනු ලැබේ. ඒ මේ දෘෂ්ටි උපාදානය සංස්කරණය කරණ ලද්දේය. එහෙයින් ඖදාරික වේ. සංස්කාරයන්ගේ නිරෝධයෙක් ඇත්තේමය. මෙය ඇත්තේයයි මෙසේ දැන, ඔහුගේ නිවණ දක්නාසුළුවූ තථාගත තෙමේ එය ඉක්මවූයේ වේ.

§  19. “මහණෙනි, ඔවුන් අතර යම් ඒමහණ බමුණෝ මෙබඳු වාද ඇත්තාහු මෙබඳු දෘෂ්ටි ඇත්තාහු වෙත්ද, ‘ආත්මයද ලෝකයද එක් සංඥා ඇත්තේ වේ. මෙයම සත්‍යය, අනික අසත්‍යය’යි’ එකාන්තයෙන් ඔවුන්ගේ ශ්‍රද්ධාවෙන් තොරවම කැමැත්තෙන් තොරව අනුශ්‍රවණයෙන් තොරව ආකාර පරිවිතර්කයෙන් තොරව පිරිසිදුවූ නිර්මලවූ ප්‍රත්‍යක්ෂවූම ඥානය වන්නේය යන මේ කාරණය විද්‍යමාන නොවේ.

මහණෙනි, පිරිසිදුවූ නිමලවූ ප්‍රත්‍යක්ෂවූම නුවණ නැති කල්හි, ඒ පින්වත් මහණ බමුණෝ යම් ඤාණභාග මාත්‍රයක්ම පිරිසිදු කෙරෙත්ද එයම ඒ පින්වත් මහණ බමුණන්ගේ දෘෂ්ටි උපාදානයයි කියනු ලැබේ ඒ මේ දෘෂ්ටි උපාදානය සංස්කරණය කරණ ලද්දේය. එහෙයින් ඖදාරික වේ. සංස්කාරයන්ගේ නිරෝධයෙක් ඇත්තේමය. මෙය ඇත්තේයයි මෙසේ දැන, ඔහුගේ නිවණ දක්නාසුළුවූ තථාගත තෙමේ එය ඉක්මවූයේ වේ.

§  20. “මහණෙනි, ඔවුන් අතර යම් ඒ මහණ බමුණෝ මෙබඳු වාද ඇත්තාහු මෙබඳු දෘෂ්ටි ඇත්තාහු වෙත්ද, ‘ආත්මයද ලෝකයද නොයෙක් සංඥා ඇත්තේ වේ. මෙයම සත්‍යය, අනික අසත්‍යය’යි’ එකාන්තයෙන් ඔවුන්ගේ ශ්‍රද්ධාවෙන් තොරවම කැමැත්තෙන් තොරව අනුශ්‍රවණයෙන් තොරව ආකාර පරිවිතර්කයෙන් තොරව පිරිසිදුවූ නිර්මලවූ ප්‍රත්‍යක්ෂවූම ඥානය වන්නේය යන මේ කාරණය විද්‍යමාන නොවේ.

මහණෙනි, පිරිසිදුවූ නිර්මලවූ ප්‍රත්‍යක්ෂවූම නුවණ නැති කල්හි ඒ පින්වත් මහණ බමුණෝ යම් ඤාණභාග මාත්‍රයක්ම පිරිසිදු කෙරෙත්ද, එයම ඒ පින්වත් මහණ බමුණගේ දෘෂ්ටි උපාදානයයි කියනු ලැබේ. ඒ මේ දෘෂ්ටි උපාදානය සංස්කරණය කරණ ලද්දේය. එහෙයින් ඖදාරික වේ සංස්කාරයන්ගේ නිරෝධයෙක් ඇත් මෙය ඇත්තේයයි මෙසේ දැන, ඔහුගේ නිවණ දක්නාසුළුවූ තථාගත තෙමේ එය ඉක්මවූයේ වේ.

§  21. ‘මහණෙනි, ඔවුන් අතර යම් ඒ මහණ බමුණෝ මෙබඳු වාද ඇත්තාහු මෙබඳු දෘෂ්ටි ඇත්තාහුද වෙත්ද ‘ආත්මයද ලෝකයද හීන සංඥා ඇත්තේ වේ. මෙයම සත්‍යය, අනික අසත්‍යය’යි, එකාන්තයෙන් ඔවුන්ගේ ශ්‍රද්ධාවෙන් තොරවම කැමැත්තෙන් තොරව අනුශ්‍රවණයෙන් තොරව ආකාර පරිවිතර්කයෙන් තොරව පිරිසිදුවූ නිර්මලවූ ප්‍රත්‍යක්ෂවූම ඥානය වන්නේය යන මේ කාරණය විද්‍යමාන නොවේ.

මහණෙනි, පිරිසිදුවූ නිර්මලවූ ප්‍රත්‍යක්ෂවූම නුවණ නැති කල්හි, ඒ පින්වත් මහණ බමුණෝ යම් ඤාණභාග මාත්‍රයක්ම පිරිසිදු කෙරෙත්ද, එයම ඒ පින්වත් මහණ බමුණන්ගේ දෘෂ්ටි උපාදානයයි කියනු ලැබේ. ඒ මේ දෘෂ්ටි උපාදානය සංස්කරණය කරණ ලද්දේය. එහෙයින් ඖදාරික වේ. සංස්කාරයන්ගේ නිරෝධයෙක් ඇත්තේමය. මෙය ඇත්තේයයි මෙසේ දැන ඔහුගේ නිවණ දක්නාසුළුවූ තථාගත තෙමේ එය ඉක්මවූයේ වේ.

§  22. “මහණෙනි, ඔවුන් අතර යම් ඒ මහණ බමුණෝ මෙබඳු වාද ඇත්තාහු මෙබඳු දෘෂ්ටි ඇත්තාහු වෙත්ද, ‘ආත්මයද ලෝකයද අප්‍රමාණ සංඥා ඇත්තේ වේ. මෙයම සත්‍යය, අනික අසත්‍යය’යි’ ඒකාන්තයෙන් ඔවුන්ගේ ශ්‍රද්ධාවෙන් තොරවම කැමැත්තෙන් තොරව, අනුශ්‍රවණයෙන් තොරව, ආකාර පරිවිතර්කයෙන් තොරව, පිරිසිදුවූ නිර්මලවූ ප්‍රත්‍යක්ෂවූම ඥානය වන්නේය යන මේ කාරණය විද්‍යමාන නොවේ.

මහණෙනි, පිරිසිදුවූ නිර්මලවූ ප්‍රත්‍යක්ෂවූම නුවණ නැති කල්හි, ඒ පින්වත් මහණ බමුණෝ යම් ඤාණභාග මාත්‍රයක්ම පිරිසිදු කෙරෙත්ද, එයම ඒ පින්වත් මහණ බමුණන්ගේ දෘෂ්ටි උපාදානයයි කියනු ලැබේ. ඒ මේ දෘෂ්ටි උපාදානය සංස්කරණය කරණ ලද්දේය. එහෙයින් ඖදාරික වේ. සංස්කාරයන්ගේ නිරෝධයෙක් ඇත්තේමය. මෙය ඇත්තේයයි මෙසේ දැන, ඔහුගේ නිවණ දක්නාසුළුවූ තථාගත තෙමේ එය ඉක්මවූයේ වේ.

§  23. “මහණෙනි, ඔවුන් අතර යම් ඒ මහණ බමුණෝ මෙබඳු වාද ඇත්තාහු මෙබඳු දෘෂ්ටි ඇත්තාහු වෙත්ද, ‘ආත්මයද ලෝකයද ඒකාන්ත සැප ඇත්තේ වේ. මෙයම සත්‍යය, අනික අසත්‍යය’යි’ ඒකාන්තයෙන් ඔවුන්ගේ ශ්‍රද්ධාවෙන් තොරවම කැමැත්තෙන් තොරව, අනුශ්‍රවණයෙන් තොරව, ආකාර පරිවිතර්කයෙන් තොරව, පිරිසිදුවූ නිර්මලවූ ප්‍රත්‍යක්ෂවූම ඥානය වන්නේය යන මේ කාරණය විද්‍යමාන නොවේ.

මහණෙනි, පිරිසිදුවූ නිර්මලවූ ප්‍රත්‍යක්ෂවූම නුවණ නැති කල්හි, ඒ පින්වත් මහණ බමුණෝ යම් ඤාණභාග මාත්‍රයක්ම පිරිසිදු කෙරෙත්ද, එයම ඒ පින්වත් මහණ බමුණන්ගේ දෘෂ්ටි උපාදානයයි කියනු ලැබේ. ඒ මේ දෘෂ්ටි උපාදානය සංස්කරණය කරණ ලද්දේය. එහෙයින් ඖදාරිකවේ. සංස්කාරයන්ගේ නිරෝධයෙක් ඇත්තේමය. මෙය ඇත්තේයයි මෙසේ දැන, ඔහුගේ නිවණ දක්නාසුළුවූ තථාගත තෙමේ එය ඉක්මවූයේ වේ.

§  24. “මහණෙනි, ඔවුන් අතර යම් ඒ මහණ බමුණෝ මෙබඳු වාද ඇත්තාහු මෙබඳු දෘෂ්ටි ඇත්තාහු වෙත්ද, ‘ආත්මයද ලෝකයද ඒකාන්ත දුක් ඇත්තේ වේ. මෙයම සත්‍යය, අනික අසත්‍යය’යි ඒකාන්තයෙන් ඔවුන්ගේ ශ්‍රද්ධාවෙන් තොරවම කැමැත්තෙන් තොරව අනුශ්‍රවණයෙන් තොරව ආකාර පරිවිතර්කයෙන් තොරව පිරිසිදුවූ නිර්මලවූ ප්‍රත්‍යක්ෂවූම ඥානය වන්නේය යන මේ කාරණය විද්‍යමාන නොවේ.

මහණෙනි, පිරිසිදුවූ නිර්මලවූ ප්‍රත්‍යක්ෂවූම නුවණ නැති කල්හි, ඒ පින්වත් මහණ බමුණෝ යම් ඤාණභාග මාත්‍රයක්ම පිරිසිදු කෙරෙත්ද, එයම ඒ පින්වත් මහණ බමුණන්ගේ දෘෂ්ටි උපාදානයයි කියනු ලැබේ. ඒ මේ දෘෂ්ටි උපාදානය සංස්කරණය කරණ ලද්දේය. එහෙයින් ඖදාරික වේ. සංස්කාරයන්ගේ නිරෝධයෙක් ඇත්තේමය. මෙය ඇත්තේයයි මෙසේ දැන ඔහුගේ නිවණ දක්නාසුළුවූ තථාගත තෙමේ එය ඉක්මවූයේ වේ.

§  25. “මහණෙනි, ඔවුන් අතර යම් ඒ මහණ බමුණෝ මෙබඳු වාද ඇත්තාහු මෙබඳු දෘෂ්ටි ඇත්තාහු වෙත්ද, ‘ආත්මයද ලෝකයද සැප දුක් ඇත්තේ වේ. මෙයම සත්‍යය, අනික අසත්‍යය’යි’ ඒකාන්තයෙන් ඔවුන්ගේ ශ්‍රද්ධාවෙන් තොරවම කැමැත්තෙන් තොරව අනුශ්‍රවණයෙන් තොරව ආකාර පරිවිතර්කයෙන් තොරව පිරිසිදුවූ නිර්මලවූ ප්‍රත්‍යක්ෂවූම ඥානය වන්නේය යන මේ කාරණය විද්‍යමාන නොවේ.

මහණෙනි, පිරිසිදුවූ නිර්මලවූ ප්‍රත්‍යක්ෂවූම නුවණ නැති කල්හි, ඒ පින්වත් මහණ බමුණෝ යම් ඤාණභාග මාත්‍රයක්ම පිරිසිදු කෙරෙත්ද, එයම ඒ පින්වත් මහණ බමුණන්ගේ දෘෂ්ටි උපාදානයයි කියනු ලැබේ. ඒ මේ දෘෂ්ටි උපාදානය සංස්කරණය කරණ කරණ ලද්දේය. එහෙයින් ඖදාරික වේ. සංස්කාරයන්ගේ නිරෝධයෙක් ඇත්තේමය. මෙය ඇත්තේයයි මෙසේ දැන ඔහුගේ නිවණ දක්නාසුළුවූ තථාගත තෙමේ එයඉක්ම වූයේවේ.

§ 26. “මහණෙනි, ඔවුන් අතර යම් ඒ මහණ බමුණෝ මෙබඳු වාද ඇත්තාහු මෙබඳු දෘෂ්ටි ඇත්තාහු වෙත්ද, ‘ආත්මයද ලෝකයද දුකද නැත්තේ සැපද නැත්තේ වේ. මෙයම සත්‍යය, අන්‍ය අසත්‍යය’යි’ ඒකාන්තයෙන් ඔවුන්ට ශ්‍රද්ධාවෙන් වෙන්ව, කැමැත්තෙන් වෙන්ව, ඇසීමෙන් වෙන්ව, ආකාර කල්පනාවෙන් වෙන්ව, සිතින් බැසගැනීමෙන් වෙන්ව, පිරිසිදුවූ නිර්මලවූ ප්‍රත්‍යක්ෂවූම ඥානය වන්නේය යන මේ කාරණය විද්‍යමාන නොවේ.

මහණෙනි, ප්‍රත්‍යක්ෂයෙන්ම පිරිසිදුවූ නිර්මලවූ ඥානය නැති කල්හි ඒ පින්වත් මහණ බමුණෝ එහි යම් ඥාන කොට්ඨාශ මාත්‍රයක්ම පිරිසිදු කෙරෙත්ද, එයම ඒ පින්වත් මහණ බමුණන්ගේ දැඩිව ගත් දෘෂ්ටියයි කියනු ලැබේ. ඒ මේ දැඩිව ගත් දෘෂ්ටිය ප්‍රත්‍යයෙන් කරණ ලද්දකි. එහෙයින් ඖදාරිකවේ සංස්කාරයන්ගේ නිරෝධයෙක් ඇත්තේමය. එය ඇතැයි මෙසේ දැන ඒ සංස්කාරයන්ගේ මිදීම දක්නා තථාගත තෙමේ එය ඉක්මවූයේ වේ.

§  27. ‘මහණෙනි, ඇතැම් මහණෙක් හෝ බමුණෙක් හෝ අතීතය අනුව ගියාවූ දෘෂ්ටි දුරලීමෙන්ද, අනාගතය අනුව ගියාවූ දෘෂ්ටින් දුරලීමෙන්ද, සියලු ආකාරයෙන් කාම සංයොජනයන්ගේ නොසිටීමෙන්ද, මේ ධ්‍යාන ප්‍රීතියට පැමිණ වාසය කරමි’ යි කියා , මෙය ශාන්තය, මෙය ප්‍රණීතයයි, ධ්‍යාන ප්‍රීතියට පැමිණ වාසය කරයි ඔහුගේ ඒ ධ්‍යාන ප්‍රීතිය නිරුද්ධවේ. ධ්‍යාන ප්‍රීතිය නිරුද්ධවීමෙන් දොම්නස උපදියි. දොම්නස නිරුද්ධවීමෙන් ධ්‍යාන ප්‍රීතිය උපදියි.

§  28. “මහණෙනි, යම්සේ ඡායාව යමක් අත්හරීද, එහි අව්ව පැතිරෙයිද, අව්ව යමක් අත්හරීද, එහි ඡායාව පැතිරේද, මහණෙනි, එමෙන්ම ධ්‍යාන ප්‍රීතියගේ නිරුද්ධවීමෙන් දොම්නස උපදියි. දොම්නස නිරුද්ධවීමෙන් ධ්‍යාන ප්‍රීතිය උපදියි.

§  29. “මහණෙනි, මේ මහණ බ්‍රාහ්මණයන්, අතීතය අනුව ගියාවූ දෘෂ්ටි දුරලීමෙන්ද, අනාගතය අනුව ගියාවූ දෘෂ්ටි දුරලීමෙන්ද, සියලු ආකාරයෙන් කාම තෘෂ්ණාවන්ගේ නොපිහිටීමෙන් මේ ධ්‍යාන ප්‍රීතියට පැමිණ වාසය කරමියි, යන යමක්වේද, මෙය ශාන්තය. මෙය ප්‍රණීතයයි ධ්‍යාන ප්‍රීතියට පැමිණ වාසය කරයි. ඔහුගේ ඒ ධ්‍යාන ප්‍රීතිය නිරුද්ධ වේ. ධ්‍යාන ප්‍රීතිය නිරුද්ධවීමෙන් දොම්නස උපදියි. දොම්නස නිරුද්ධ වීමෙන් ධ්‍යාන ප්‍රීතිය උපදියි ඒ මේ ප්‍රීතිය ප්‍රත්‍යයෙන් උපදින ලද්දක්වේ. එහෙයින් ඖදාරිකවේ. සංස්කාරයන්ගේ නිරෝධය ඇත්තේ යයි තථාගත තෙම දන්නේය. මෙසේ දැන ඒ දෘෂ්ටියෙන් මිදීම දක්නා තථාගත තෙමේ එය ඉක්ම වූයේ වේ.

§  30. “මහණෙනි, මේ ලෝකයෙහි වනාහි ඇතැම් මහණෙක් හෝ බමුණෙක් හෝ අතීතය අනුව ගියාවූ දෘෂ්ටි දුරලීමෙන්ද, අනාගතය අනුව ගියාවූ දෘෂ්ටි දුරලීමෙන්ද, සියලු ආකාරයෙන් කාම තෘෂ්ණාවන්ගේ නොපිහිටීමෙන් ධ්‍යාන ප්‍රීතිය ඉක්මවීමෙන් නිරාමිස (ලෞකික ආශා නැති) ප්‍රීතියට පැමිණ වාසය කරමි යන යමක්වේද, එය ශාන්තය, එය ප්‍රණීතයයි නිරාමිෂවූ සැපයට පැමිණ වාසය කරයි. ඔහුගේ ඒ නිරාමිෂ සැපය නිරුද්ධවේ. නිරාමිෂ සැපය නිරුද්ධ වීමෙන් ධ්‍යාන ප්‍රීතිය උපදියි. ධ්‍යාන ප්‍රීතිය නිරුද්ධ වීමෙන් නිරාමිෂවූ සැපය උපදියි.

§  31. “මහණෙනි, යම්සේ ඡායාව යමක් අත්හරීද, එහි අව්ව පැතිරෙයිද, අව්ව යමක් අත්හරීද, එහි ඡායාව පැතිරේද, මහණෙනි, එපරිද්දෙන්ම නිරාමිෂවූ සැපය නිරුද්ධ වීමෙන් ධ්‍යාන ප්‍රීතිය උපදියි. ධ්‍යාන ප්‍රීතිය නිරුද්ධ වීමෙන් නිරාමිෂවූ සැපය උපදියි.

මහණෙනි, මේ පින්වත් මහණ බමුණහු අතීතය අනුව ගියාවූ දෘෂ්ටි දුරලීමෙන්ද, අනාගතය අනුව ගියාවූ දෘෂ්ටි දුරලීමෙන්ද, සියලු ආකාරයෙන් කාමතෘෂ්ණාවන්ගේ පිහිටීම දුරලීමෙන්ද, ධ්‍යාන ප්‍රීතිය ඉක්ම වීමෙන් නිරාමිෂවූ සැපයට පැමිණ වාසය කරමි. යන මේ යමක් වේද, එය ශාන්තය, එය ප්‍රණීතයයි, නිරාමිෂ සැපයට පැමිණ වාසය කරයි. ඔහුගේ ඒ නිරාමිෂ සැපය නිරුද්ධවේ. නිරාමිෂ සැපය නිරුද්ධ වීමෙන් ධ්‍යාන ප්‍රීතිය උපදියි. ධ්‍යාන ප්‍රීතිය නිරුද්ධ වීමෙන් නිරාමිෂ සැපය උපදියි ඒ මේ සැපය ප්‍රත්‍යයෙන් උපදින ලද්දකි. එහෙයින් ඖදාරිකවේ. සංස්කාරයන්ගේ නිරෝධයෙක් ඇත්තේය. යන මේ කාරණය තථාගත තෙමේ දන්නේය. “

මෙසේ දැන ඒ දෘෂ්ටියෙන් මිදීම දන්නා තථාගතයන් එය ඉක්මවූයේය,

§  32. “මහණෙනි, ඇතැම් මහණෙක් හෝ බමුණෙක් හෝ අතීතය අනුව ගියාවූ දෘෂ්ටි දුරලීමෙන්ද, අනාගතය අනුව ගියාවූ දෘෂ්ටි දුරලීමෙන්ද, සියලු ආකාරයෙන් කාම තෘෂ්ණාවන්ගේ පිහිටීම නැති කිරීමෙන්ද, ධ්‍යාන ප්‍රීතිය ඉක්මවීමෙන්ද, නිරාමිස සැපය ඉක්මවීමෙන්ද, උපෙක්ෂා වේදනාවට පැමිණ වාසය කරමි’ යි සිතා , එය ශාන්තය, එය ප්‍රණීතයයි, උපෙක්ෂා වේදනාවට පැමිණ වාසය කරයි. ඔහුගේ ඒ උපෙක්ෂා වේදනාව නිරුද්ධවේ. උපෙක්ෂා වේදනාව නිරුද්ධ වීමෙන් නිරාමිස සැපය උපදියි. නිරාමිස සැපය නිරුද්ධවීමෙන් උපෙක්ෂා වේදනාව උපදියි.

§ 33. “මහණෙනි, සෙවනැල්ල හිරු රැස් නිසා ඇතිවේ. හිරු රැස් නැති විට සේවනැල්ලක් නැත. මහණෙනි, එපරිද්දෙන්ම උපෙක්ෂා වේදනාව නිරුද්ධවීමෙන් නිරාමිස සැපය උපදියි. නිරාමිස සැපය නිරුද්ධ වීමෙන් උපෙක්ෂා වේදනාව උපදියි.

මහණෙනි, මේ පින්වත් මහණ, බමුණු තෙමේ හෝ අතීතය අනුව ගියාවූ දෘෂ්ටි දුරලීමෙන්ද, අනාගතය අනුව ගියාවූ දෘෂ්ටි දුරලීමෙන්ද, සියලු ආකාරයෙන් කාම තෘෂ්ණාවන්ගේ පිහිටීම නැති කිරීමෙන්ද, ධ්‍යාන ප්‍රීතිය ඉක්මීමෙන්ද, නිරාමිස සැපය ඉක්මීමෙන්ද උපෙක්ෂා වේදනාවට පැමිණ වාසය කරමි’ යන මේ යමක් වේද, එය ශාන්තය, එය ප්‍රණීතයයි, උපෙක්ෂා වේදනාවට පැමිණ වාසය කරයි,

ඔහුගේ ඒ උපෙක්ෂා වේදනාව නිරුද්ධවේ. උපෙක්ෂා වේදනාව නිරුද්ධවීමෙන් නිරාමිස සැපය උපදියි. නිරාමිස සැපය නිරුද්ධ වීමෙන් උපෙක්ෂා වේදනාව උපදියි. ඒ මේ උපෙක්ෂා වේදනාව ප්‍රත්‍යයෙන් උපදින ලද්දක්ය. එහෙයින් ඖදාරිකවේ. සංස්කාරයන්ගේ නිරෝධයෙක් ඇත්තේමය යන මේ කාරණය තථාගතයන් දන්නේය. මෙසේ දැන ඒ දෘෂ්ටියගේ මිදීම දක්නා තථාගතයන් එය ඉක්මවූයේය.

§  34. “මහණෙනි, ඇතැම් මහණෙක් හෝ බමුණෙක් හෝ අතීතය අනුව ගියාවූ දෘෂ්ටි දුරලීමෙන්ද, අනාගතය අනුව ගියාවූ දෘෂ්ටි දුරලීමෙන්ද සියලු ආකාරයෙන් කාම සංයොජනයන්ගේ පිහිටීම නැතිකිරීමෙන්ද, ධ්‍යානය ඉක්මවීමෙන්ද, නිරාමිස සැපය ඉක්මවීමෙන්ද, උපෙක්ෂා වේදනාව ඉක්මවීමෙන්ද, ‘මම සංසිඳුනෙමි. මම නිවුනෙමි. මම තෘෂ්ණාවෙන් අල්වා නොගත්තෙක් වෙමියි කියයි.

මහණෙනි, මහණ බමුණන් , අතීතය අනුව ගියාවූ දෘෂ්ටි දුරලීමෙන්ද, අනාගතය අනුව ගියාවූ දෘෂ්ටි දුරලීමෙන්ද, සියලු ආකාරයෙන් කාම සංයොජනයන්ගේ පිහිටීම නැතිකිරීමෙන්ද, ධ්‍යාන ප්‍රීතිය ඉක්මවීමෙන්ද, නිරාමිස සැපය ඉක්මවීමෙන්ද, උපෙක්ෂා වේදනාව ඉක්මවීමෙන්ද, ‘මම සංසිඳුනෙමි මම නිවුණෙමි. මම තෘෂ්ණාවෙන් අල්වා නොගත්තෙක් වෙමියි, දකියි.

මේ ආයුෂ්මත් තෙමේ මෙය නිවණට උපකාරවූ ප්‍රතිපදාවකැයි කියයි. එතකුදු වුවත් මේ පින්වත් මහණ බමුණහු අතීතය අනුව ගියාවූ දෘෂ්ටිය දැඩිව අල්වාගනියි. අනාගතය අනුව ගියාවූ දෘෂ්ටිය දැඩිව අල්වා ගනියි. කාම සංයොජනයන් දැඩිව අල්වා ගනියි. ධ්‍යාන ප්‍රීතිය දැඩිව අල්වා ගනියි. නිරාමිස සැපය දැඩිව අල්වා ගනියි. උපෙක්ෂා වේදනාව දැඩිව අල්වා ගනියි.

මේ ආයුෂ්මතුන් ‘මම සංසිඳුනෙමි. මම නිවුනෙමි. මම දැඩිකොට අල්වාගැනීමෙන් මිදුනෙමියි’ කියයිද, එයද මේ පින්වත් මහණ බමුණන්ගේ දෘෂ්ටි උපාදාන යයි කියනු ලැබේ. ඒ දෘෂ්ටිය ප්‍රත්‍යයෙන් උපදින ලද්දකි. එහෙයින් ඖදාරික වේ. සංස්කාරයන්ගේ නිරෝධයෙක් ඇති බව තථාගතයන් දන්නේය. මෙසේ දැන ඒ දෘෂ්ටියගේ මිදීම දක්නා තථාගතයන් එය ඉක්මවූයේය..

§  35. “මහණෙනි, තථාගතයන් විසින් මේ නිරුත්තරවූ ශාන්තවූ උතුම් පදය සිය ඥානයෙන්ම දැක, ප්‍රත්‍යක්ෂ කොට අවබෝධ කරණලදී. මේ සවැදෑරුම්වූ ස්පර්ශයන්ට හේතුවූ චක්ෂුරාදි ආයතනයන්ගේ හටගැනීමද, විනාශයද, ආශ්වාදයද, ආදීනවයද, මිදීමද තත්වූ පරිද්දෙන් දැන උපාදානයන් කෙරෙන් මිදීමෙන් ලබන යම් අර්හත් ඵලයෙක් වේ.

මහණෙනි, ඒ සවැදෑරුම් ස්පර්ශයන්ට හේතුවූ චක්ෂුරාදි ආයතනයන්ගේ හටගැනීමද, විනාසයද, ආශ්වාදයද, ආදීනවයද, මිදීමද තත්වූ පරිද්දෙන් දැන උපාදානයන් කෙරෙන් මිදීමෙන් ලබන අර්හත්ඵලයවූ” මේ උත්තම ශාන්ත පදය තථාගතයන් විසින් අවබෝධ කරනලදී.

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළේය.
සතුටු සිත් ඇත්තාවූ ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ වචනය සතුටින් පිළිගත්තාහුය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.