AN 05-01 සෙඛබල වර්‍ගය

AN 05-01-01 සංඛිත්ත සෙඛබල සූත්‍රය

,§ 1. “මා විසින් මෙසේ අසන ලදී.
එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද. ජේතවනාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි දිනක් භාග්‍යවතුන් වහන්සේ, “මහණෙනි” යි කියා භික්‍ෂූන්ට ආමන්ත්‍රණය කළ සේත “පින්වතුන් වහන්සැ” යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ.

,§2. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, සප්තවිධ ශෛක්‍ෂයන්ගේ බලයෝ මේ පසෙක් වෙත්.
කවර පසෙක්ද යත්,

ශ්‍රද්‍ධා බලය,
හිරි බලය,
ඔත්තප්ප බලය,
වීර්‍ය්‍ය බලය,
ප්‍රඥා බලය
යන මේ පසයි.

, “මහණෙනි, මේ පස වනාහි සප්තවිධ ශෛක්‍ෂයන්ගේ බලයෝ වෙත්.

,§ 3. “මහණෙනි, එහෙයින් මේ ශාසනයෙහි මෙසේ හික්මිය යුතුයි.

ශෛක්‍ෂ බලයවූ ශ්‍රද්‍ධා බලයෙන් යුක්ත වන්නෙමු.
ශෛක්‍ෂ බලයවූ හිරි බලයෙන් යුක්ත වන්නෙමු.
ශෛක්‍ෂ බලයවූ ඔත්තප්ප බලයෙන් යුක්ත වන්නෙමු.
ශෛක්‍ෂ බලයවූ වීර්‍ය්‍ය බලයෙන් යුක්ත වන්නෙමු.
ශෛක්‍ෂ බලයවූ ප්‍රඥා බලයෙන් යුක්ත වන්නෙමු. කියායි.

මහණෙනි, මෙසේ තොප විසින් හික්මිය යුතුයයි වදාළ සේක.”

AN 05-01-02. චිත්ත සේඛබල සූත්‍රය

“,§ 1. මහණෙනි, සප්තවිධ ශෛක්‍ෂයන්ගේ බලයෝ මේ පසෙක් වෙත්.
කවර පසෙක්ද යත්,
ශ්‍රද්‍ධා බලය, හිරි බලය, ඔත්තප්ප බලය, වීර්‍ය්‍ය බලය, ප්‍රඥා බලය යන මේ පසයි.

§ 2. මහණෙනි, ශ්‍රද්‍ධා බලය කවරේද යත්:

මහණෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම ශ්‍රද්‍ධාව ඇත්තේ වෙයි.
“ඒ භාග්‍යවතුන් වහන්සේ මේ කාරණයෙනුත්, අර්හත්ය. සම්‍යක් සම්බුද්ධය. අෂ්ටවිද්‍යා පසළොස්චරණ ධර්මයන්ගෙන් යුක්තය. සුගතය. ලෝකවිදුය. පුරුෂයන් දමනය කිරීමෙහි අනුත්තර සාරථියෙකි. දෙව් මිනිසුන්ගේ අනුශාසකය. බුද්ධය. භාග්‍යවත්ය.”යි තථාගතයන්ගේ බෝධිය (බුද්ධගුණ) අදහන්නේ ය.

මහණෙනි, මෙය ශ්‍රද්ධාබලය යි කියනු ලැබේ.

§3. “මහණෙනි, හිරි බලය නම් කවරේද :

මහණෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍ය ශ්‍රාවකයා පාපයට ලැජ්ජා ඇත්තේ වේද,
කාය දුශ්චරිතයට, වාක් දුශ්චරිතයට, මනෝ දුශ්චරිතයට, පිළිකුල් කෙරේද?
ලාමකවූ අකුශල ධර්‍මයන්ට පැමිණීමට පිළිකුල් කෙරේද,
මහණෙනි, මෙය හිරි බලයයි කියනු ලැබේ.

§ 4 , මහණෙනි, ඔත්තප්ප බලය කවරේද :

මහණෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍ය ශ්‍රාවකyaa පාපයට භය ඇත්තේ වේද,
කාය දුශ්චරිතයට, වාක් දුශ්චරිතයට, මනෝ දුශ්චරිතයට, භය වේද,
ලාමකවූ අකුශල ධර්‍මයන්ගේ පැමිණීමට භය වේද,
මහණෙනි, මෙය ඔත්තප්ප බලයයි කියනු ලැබේ.

§ 5. මහණෙනි, වීර්‍ය්‍ය බලය කවරේද යත්:

මහණෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම අකුශල ධර්මයන් දුරු කිරීම පිණිස, කුශල ධර්මයන් ඉපදවීම පිණිස, පටන් ගන්නා ලද වීර්‍ය්‍ය ඇත්තේ, ශක්තිමත් වූයේ, දෘඪ වීර්‍ය්‍ය ඇත්තේ, කුශල ධර්මයන්හි බහා නොතබන ලද බර ඇත්තේ, වාසය කෙරේද, මහණෙනි, මෙය වීර්‍ය්‍ය බලයයි කියනු ලැබේ.

§ 6. මහණෙනි, ප්‍රඥා බලය නම් කවරේද යත්:

මහණෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම
පිරිසිදුවූ කෙළෙසුන් බිඳීම ඇත්තාවූ, මනාකොට දුක් ක්‍ෂය කිරීම පිණිස පවත්නාවූ,
පඤ්චස්කන්‍ධයන්ගේ ඇතිවීමද, නැතිවීමද දැනගන්ට සමර්ත්‍ථවූ,
විදර්‍ශනා ප්‍රඥාවෙන් හා මාර්‍ග ප්‍රඥාවෙන් යුක්තවූයේ වේද,
මහණෙනි, මෙය ප්‍රඥා බලයයි කියනු ලැබේ.

“මහණෙනි, මේ පස වනාහි සප්තවිධ ශෛක්‍ෂයන්ගේ බලයෝ වෙත්.

§ 7. “මහණෙනි, එහෙයින් මේ ශාසනයෙහි මෙසේ හික්මිය යුතුයි.
ශෛක්‍ෂ බලයවූ ශ්‍රද්‍ධා බලයෙන් යුක්ත වන්නෙමු.
ශෛක්‍ෂ බලයවූ හිරි බලයෙන් යුක්ත වන්නෙමු.
ශෛක්‍ෂ බලයවූ ඔත්තප්ප බලයෙන් යුක්ත වන්නෙමු.
ශෛක්‍ෂ බලයවූ වීර්‍ය්‍ය බලයෙන් යුක්ත වන්නෙමු.
ශෛක්‍ෂ බලයවූ ප්‍රඥා බලයෙන් යුක්ත වන්නෙමු’යි කියායි.

මහණෙනි, මෙසේ තොප විසින් හික්මිය යුතුයයි වදාළ සේක.”

AN 05-01-03. දුක්ඛවිහාර සූත්‍රය

§ 1. “මහණෙනි, මේ කරුණු පසකින් යුක්තවූ භික්‍ෂුව මේ ආත්මයෙහිම පීඩා සහිතව, දැඩි ආයාශයෙන් යුක්තව, හාත්පස දැවීමෙන් යුක්තව, දුකසේ වාසය කෙරෙයි. ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි දුර්‍ගතියද කැමතිවිය යුතුයි.“
කවර පසකින්ද යත්,

මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුව ශ්‍රද්‍ධාව නැත්තේ වේද,
පවට ලජ්ජා නැත්තේ වේද,
පවට බිය නැත්තේ වේද,
අලස වූයේ වේද,
ප්‍රඥා නැත්තේ වේද, යන මේ පසිනි.

මහණෙනි, මේ කරුණු පසකින් යුක්තවූ භික්‍ෂුව මේ ආත්මයෙහිම පීඩා සහිතව, දැඩි ආයාශයෙන් යුක්තව, හාත්පස දැවීමෙන් යුක්තව, දුකසේ වාසය කෙරෙයි.

ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි දුර්‍ගතියද කැමතිවිය යුතුයි.

§ 2. “මහණෙනි, මේ කරුණු පසකින් යුක්තවූ භික්‍ෂුව මේ ආත්මයෙහිම දුක් රහිතවූ, දැඩි ආයාශ රහිතව, හාත්පස දැවීම් රහිතව, සුවසේ වාසය කරයි. ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි සුගතියද කැමතිවිය යුතුයි.“

කවර පසකින්ද යත්,
මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුව ශ්‍රද්‍ධාව ඇත්තේ වේද,
පාපයට ලජ්ජා ඇත්තේ වේද,
පාපයට භය ඇත්තේ වේද,
පටන්ගන්නාලද වීර්‍ය්‍ය ඇත්තේ වේද,
ප්‍රඥාව ඇත්තේ වේද, යන මේ පසිනි.

මහණෙනි, මේ කරුණු පසකින් යුක්තවූ භික්‍ෂුව මේ ආත්මයෙහිම දුක් රහිතවූ, දැඩි ආයාශ රහිතව, හාත්පස දැවීම් රහිතව, සුවසේ වාසය කරයි. ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි සුගතියද කැමතිවිය යුතුයි.

AN 05-01-04. යථාභතනික්ඛිත්ත සූත්‍රය

§ 1. “මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්‍ෂු තෙම ගෙණෙනලද බරක් බිම තබන ලද්දේ යම්සේද, මෙසේ නරකයෙහි උපදී.“
කවර පසකින්ද යත්,

මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂු තෙම ශ්‍රද්‍ධාව නැත්තේ වේද,
පවට ලජ්ජා නැත්තේ වේද,
පවට බිය නැත්තේ වේද,
අලස වූයේ වේද,
ප්‍රඥා නැත්තේ වේද, යන මේ පසිනි.

මහණෙනි, මේ කරුණු පසකින් යුක්තවූ භික්‍ෂු තෙම මේ ආත්මයෙහිම පීඩා සහිතව, දැඩි ආයාශයෙන් යුක්තව, හාත්පස දැවීමෙන් යුක්තව, දුකසේ වාසය කෙරෙයි. ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි දුර්‍ගතියද කැමතිවිය යුතුයි.“

මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්‍ෂු තෙම ගෙණෙනලද බරක් බිම තබන ලද්දේ යම්සේද, මෙසේ නරකයෙහි උපදී.

AN 05-01-05. සික්ඛාපච්චක්ඛාන සූත්‍රය

§ 1.“මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්‍ෂුව ගෙණෙනලද බරක් බහා තබන ලද්දේ යම්සේද, මෙසේ ස්වර්‍ගයෙහි උපදී.“

කවර පසකින්ද යත්, මහණෙනි,
මේ ශාසනයෙහි භික්‍ෂුව ශ්‍රද්‍ධාව ඇත්තේ වේද,
පාපයට ලජ්ජා ඇත්තේ වේද,
පාපයට භය ඇත්තේ වේද,
පටන්ගන්නාලද වීර්‍ය්‍ය ඇත්තේ වේද,
ප්‍රඥාව ඇත්තේ වේද, යන මේ පසිනි.“

මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්‍ෂුව ගෙණෙනලද බරක් බහා තබන ලද්දේ යම්සේද, මෙසේ ස්වර්‍ගයෙහි උපදී.

AN 05-01-06. අකුසල සමාපත්ති සූත්‍රය
pujya kukulpana sudassi

“මහණෙනි, යම්කිසි භික්‍ෂුවක් හෝ භික්‍ෂුණියක් හෝ ශික්‍ෂාව හැරදමා ගිහිබවට පැමිණේද, ඕහට මේ ආත්මයෙහිම ගැරහියයුතු කරුණු සහිත වාද ප්‍රවෘත්ති පසක් පැමිණෙත්.
“කවර පසකින්ද යත්,

කුශල ධර්මයන්හි තොපගේ ශ්‍රද්‍ධාවකුත් නොවීය.
කුශල ධර්මයන්හි තොපගේ ලජ්ජාවකුත් නොවීය.
කුශල ධර්මයන්හි තොපගේ භයකුත් නොවීය.
කුශල ධර්මයන්හි තොපගේ වීර්‍ය්‍යයකුත් නොවීය.
කුශල ධර්මයන්හි තොපගේ ප්‍රඥාවකුත් නොවීය. යන පසයි.“

මහණෙනි, යම්කිසි භික්‍ෂුවක් හෝ භික්‍ෂුණියක් හෝ ශික්‍ෂාව හැරදමා ගිහිබවට පැමිණේද, ඕහට මේ ආත්මයෙහිම ගැරහියයුතු කරුණු සහිත වාද ප්‍රවෘත්ති පසක් පැමිණෙත්.

“මහණෙනි, යම්කිසි භික්‍ෂුවක් හෝ භික්‍ෂුණියක් හෝ දුක සහිතවද, දොම්නස සහිතවද, කඳුළු පිරුණු මුහුණු ඇත්තේ, හඬමින් සම්පූර්‍ණකොට, පිරිසිදුකොට බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිරේද, ඔහුට මේ ආත්මයෙහිම කරුණු සහිතවූ, පැසසියයුතු කරුණු පසක් පැමිණෙත්.“

කවර පසක්ද යත්.
කුශල ධර්මන්හි තොපගේ ශ්‍රද්‍ධාවද විය.
කුශල ධර්මන්හි තොපගේ ලජ්ජාවද විය.
කුශල ධර්මන්හි තොපගේ භයද විය.
කුශල ධර්මන්හි තොපගේ වීර්‍ය්‍යයද විය.
කුශල ධර්මන්හි තොපගේ ප්‍රඥාවද විය. යන පසයි.

“මහණෙනි, යම්කිසි භික්‍ෂුවක් හෝ භික්‍ෂුණියක් හෝ දුක සහිතවද, දොම්නස සහිතවද, කඳුළු පිරුණු මුහුණු ඇත්තේ, හඬමින් සම්පූර්‍ණකොට, පිරිසිදුකොට බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිරේද, ඔහුට මේ ආත්මයෙහිම කරුණු සහිතවූ, පැසසියයුතු කරුණු පසක් පැමිණෙත්.

AN 05-01-07. කාමපලාලිත සූත්‍රය

§1. “මහණෙනි, යම්තාක් කුශල ධර්මයන්හි ශ්‍රද්‍ධාව එළඹ සිටියා වේද, ඒතාක් අකුශල ධර්මයට පැමිණීම නොවේ. මහණෙනි, යම් තැනෙක පටන් ශ්‍රද්‍ධාව අතුරුදහන් වේද, අශ්‍රද්‍ධාව හාත්පස වැළඳගෙන සිටීද, එකල්හි අකුශලයාගේ පැමිණීම වේ.“

§ 2. මහණෙනි, යම්තාක් අකුශල ධර්මයන්හි ලජ්ජාව එළඹ සිටියා වේද, ඒතාක් අකුශලයාගේ පැමිණීම නොවේ. මහණෙනි, යම් තැනෙක පටන් ලජ්ජාව අතුරුදන් වේද, ලජ්ජාව නැතිබව හාත්පසින් වැළඳගෙන සිටීද, එකල්හි අකුශලයාගේ පැමිණීම වේ.

මහණෙනි, යම්තාක් අකුශල ධර්‍මයන්හි පාපයට භයවීම එළඹ සිටියේ වේද, ඒතාක් අකුශල ධර්මයාගේ පැමිණීම නොවේ.

මහණෙනි, යම් තැනෙක පටන් පාපයට භයවීම අතුරුදන් වේද, පාපයට භය නැතිවීම හාත්පස වැළඳගෙන සිටීද, එකල්හි අකුශල ධර්මයාගේ පැමිණීම වේ.

මහණෙනි, යම්තාක් කුශල ධර්මයන්හි වීර්‍ය්‍යය එළඹ සිටියේ වේද, ඒතාක් අකුශල ධර්මයාගේ පැමිණීම නොවේ.

මහණෙනි, යම් තැනෙක පටන් වීර්‍ය්‍යය අතුරුදන් වේද, කුසීත බව හාත්පසින් වැළඳගෙන සිටීද, එකල්හි අකුශල ධර්මයාගේ පැමිණීම වේ.

මහණෙනි, යම්තාක් කුශල ධර්මයන්හි ප්‍රඥාව එළඹ සිටියා වේද, ඒතාක් අකුශල ධර්මයාගේ පැමිණීම නොවේ.“

මහණෙනි, යම් තැනෙක පටන් ප්‍රඥා තොමෝ අතුරුදන් වේද, දුෂ්ප්‍රඥාව හාත්පසින් වැළඳගෙන සිටීද, එකල්හි අකුශල ධර්මයාගේ පැමිණීම වේ.“

මහණෙනි, බොහෝ සෙයින් සත්ත්‍වයෝ කාමයන්හි ඇළුනාහු වෙත්. මහණෙනි, කුලපුත්‍රතෙම දෑකැත්ත හා කූඩකද හැරදමා ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූයේ වේද, හෙතෙම ශ්‍රද්‍ධාවෙන් පැවිදිවූ කුලපුත්‍රයායයි කියන්ට සුදුසුය. ඊට හේතු කවරේද යත්?

මහණෙනි, යෞවනයෙකු විසින් කාමයෝ ලැබිය හැක්කාහ. ඒ කාමයෝද වනාහි යම්බඳුවූවාහු හෝ එබඳුවූවාහු හෝ වෙත්. මහණෙනි, යම් හීනවූ කාමයෝ වෙත්ද, යම් මධ්‍යමවූ කාමයෝ වෙද්ද, යම් ප්‍රණීතවූ කාමයෝ වෙද්ද, ඒ සියලු කාමයෝ කාමයෝයයිම සංඛ්‍යාවට පැමිණෙත්.“

මහණෙනි, යම්සේ බාලවූ, උඩුකුරුව සයනය කරන්නාවූ ලදරු (දරු)වෙක් කිරිමවගේ ප්‍රමාදයකට පැමිණ, කාෂ්ටයක් හෝ, කැබලිත්තක් හෝ, මුඛයෙහි දමා ගන්නේද, එය කිරි මව වහා වහා මෙනෙහි කරන්නේය. වහ වහා මෙනෙහිකොට, වහ වහා පිටතට ගන්නේය. ඉදින් වහ වහා හැරගන්ට නොහැකි වන්නේ නම්, වම් අතින් වහා අල්වාගෙන, දකුණතින් ඇඟිල්ල වක්කොට ලේ සහිතවද හැර ගන්නේය. ඊට හේතු කවරේද?

“මහණෙනි, කුමරුවාට වෙහෙස ඇත්තේය. මේ වෙහෙස නැතැයි නොකියමි. මහණෙනි, වැඩ කැමතිවූ, හිත කැමතිවූ, අනුකම්පා ඇත්තාවූ කිරි මව විසින් අනුකම්පාව නිසා මෙය කටයුතුද වේ.“

මහණෙනි, යම් තැනක පටන් ඒ දරුවා වැඩිවිය පැමිණියේ, සුදුසු ප්‍රඥාව ඇත්තේ වේද, මහණෙනි, එතැන් පටන් කිරි මව ඒ දරුවා කෙරෙහි දැන් දරුවා තමා විසින් රක්නා ලද්දේ ප්‍රමාදවීමට සුදුසු නොවේයයි අපේක්‍ෂා නැත්තී වේද,
මහණෙනි, මෙපරිද්දෙන්ම යම්තාක්ම භික්‍ෂුහුගේ කුශල ධර්මයන්හි ශ්‍රද්‍ධාවෙන් කටයුතු දෙය නොකරණ ලද්දේ වේද, කුශල ධර්මයන්හි පවට ලජ්ජාවෙන් කටයුතු දෙය නොකරණ ලද්දේ වේද, කුශල ධර්මයන්හි පවට බියෙන් කටයුතු දෙය නොකරණ ලද්දේ වේද, කුශල ධර්මයන්හි වීර්‍ය්‍යයෙන් කටයුතු දෙය නොකරණ ලද්දේ වේද, කුශල ධර්මයන්හි ප්‍රඥාවෙන් කටයුතු දෙය නොකරණ ලද්දේ වේද, මහණෙනි, ඒ තාක් මේ භික්‍ෂුව මා විසින් රැකියයුතු වේ.“

§ මහණෙනි, යම් තැනෙක පටන් භික්‍ෂුහුගේ කුශල ධර්මයන්හි ශ්‍රද්‍ධාවෙන් කටයුත්ත කරණ ලද්දේ වේද, කුශල ධර්මයන්හි ලජ්ජාාවෙන් කටයුත්ත කරණ ලද්දේ වේද, කුශල ධර්මයන්හි පවට බියෙන් කටයුත්ත කරණ ලද්දේ වේද, කුශල ධර්මයන්හි වීර්‍ය්‍යයෙන් කටයුත්ත කරණ ලද්දේ වේද, කුශල ධර්මයන්හි ප්‍රඥාවෙන් කටයුත්ත කරණ ලද්දේ වේද, මහණෙනි, දැන් මම ඒ සෝවාන්වූ භික්‍ෂුව කෙරෙහි දැන් භික්‍ෂු තෙම තමා විසින් රක්නා ලද්දේ ප්‍රමාදවීමට සුදුසු නොවේ යයි අපේක්‍ෂා නැත්තේ වෙමි” යි වදාළ සේක.

AN 05-01-08. සඹම්මවචන සූත්‍රය

§ 1. “මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්‍ෂුව චුතවේ. ශාසනයෙහි නොපිහිටයි. කවර පසකින්ද යත්?

මහණෙනි, ශ්‍රද්‍ධාව නැත්තාවූ භික්‍ෂුව චුතවෙයි. ශාසනයෙහි නොපිහිටයි.
මහණෙනි, පවට ලජ්ජා නැත්තාවූ භික්‍ෂුව චුතවෙයි. ශාසනයෙහි නොපිහිටයි.
මහණෙනි, පවට භය නැත්තාවූ භික්‍ෂුව චුතවෙයි. ශාසන යෙහි නොපිහිටයි.
මහණෙනි, අලසවූ භික්‍ෂුව චුතවෙයි. ශාසනයෙහි නොපිහිටයි.
මහණෙනි, දුෂ්ප්‍රාඥවූ භික්‍ෂුව චුතවෙයි. ශාසනයෙහි නොපිහිටයි.“

§ 2. මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්‍ෂුව චුත නොවෙයි, ශාසනයෙහි පිහිටයි.
කවර පසකින්ද යත්?

මහණෙනි, ශ්‍රද්‍ධාව ඇති භික්‍ෂුව චුත නොවෙයි. ශාසනයෙහි පිහිටයි.
මහණෙනි, ලජ්ජා ඇති භික්‍ෂුව චුත නොවෙයි. ශාසනයෙහි පිහිටයි.
මහණෙනි, භය ඇති භික්‍ෂුව චුත නොවෙයි. ශාසනයෙහි පිහිටයි.
මහණෙනි, පටන් ගන්නා ලද වීර්‍ය්‍ය ඇති භික්‍ෂුව චුත නොවෙයි. ශාසනයෙහි පිහිටයි.
මහණෙනි, ප්‍රඥාව ඇති භික්‍ෂුව චුත නොවෙයි. ශාසනයෙහි පිහිටයි.

මහණෙනි, මේ කරුණු පසින් වනාහි යුක්තවූ භික්‍ෂු තෙම චුත නොවෙයි. ශාසනයෙහි පිහිටාය” යි වදාළ සේක.

AN 05-01-09. පඨම ආගාරව සූත්‍රය

§1. “මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්‍ෂුව ගෞරව නැත්තේ, පිහිට නැත්තේ චුත වෙයි. ශාසනයෙහි නොපිහිටයි.“

කවර පසකින්ද යත්?
මහණෙනි,

ශ්‍රද්‍ධාව නැත්තාවූ භික්‍ෂුව “ගෞරව නැත්තේ, පිහිට නැත්තේ චුත වෙයි. ශාසනයෙහි නොපිහිටයි.“
මහණෙනි, ලජ්ජා නැත්තාවූ භික්‍ෂුව ගෞරව නැත්තේ, පිහිට නැත්තේ චුත වෙයි. ශාසනයෙහි නොපිහිටයි. මහණෙනි, භය නැත්තාවූ භික්‍ෂුව ගෞරව නැත්තේ, පිහිට නැත්තේ චුත වෙයි. ශාසනයෙහි නොපිහිටයි.
මහණෙනි, අලසවූ භික්‍ෂුව ගෞරව නැත්තේ, පිහිට නැත්තේ චුත වෙයි. ශාසනයෙහි නොපිහිටයි.
මහණෙනි, දුෂ්ප්‍රාඥවූ භික්‍ෂුව ගෞරව නැත්තේ, පිහිට නැත්තේ චුත වෙයි. ශාසනයෙහි නොපිහිටයි.“

මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්‍ෂු තෙම ගෞරව නැත්තේ, පිහිට නැත්තේ චුත වෙයි. ශාසනයෙහි නොපිහිටයි.

§2. “මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්‍ෂුව ගෞරව සහිත වූයේ, ප්‍රතිෂ්ඨා සහිත වූයේ චුත නොවෙයි. ශාසනයෙහි පිහිටයි.“
කවර පසකින්ද යත්?

මහණෙනි, ශ්‍රද්‍ධාව ඇත්තාවූ භික්‍ෂුව“ගෞරව සහිත වූයේ, ප්‍රතිෂ්ඨා සහිත වූයේ චුත නොවෙයි. ශාසනයෙහි පිහිටයි.“
මහණෙනි, පවට ලජ්ජා ඇති භික්‍ෂුව ගෞරව සහිත වූයේ, ප්‍රතිෂ්ඨා සහිත වූයේ චුත නොවෙයි. ශාසනයෙහි පිහිටයි.
මහණෙනි, පවට භය ඇති භික්‍ෂුව ගෞරව සහිත වූයේ, ප්‍රතිෂ්ඨා සහිත වූයේ චුත නොවෙයි. ශාසනයෙහි පිහිටයි.
මහණෙනි, පටන් ගන්නා ලද වීර්‍ය්‍ය ඇති භික්‍ෂුව ගෞරව සහිත වූයේ, ප්‍රතිෂ්ඨා සහිත වූයේ චුත නොවෙයි. ශාසනයෙහි පිහිටයි.
මහණෙනි, ප්‍රඥා සහිතවූ භික්‍ෂුව ගෞරව සහිත වූයේ, ප්‍රතිෂ්ඨා සහිත වූයේ චුත නොවෙයි. ශාසනයෙහි පිහිටයි.“

මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්‍ෂුව ගෞරව සහිත වූයේ, ප්‍රතිෂ්ඨා සහිත වූයේ චුත නොවෙයි. ශාසනයෙහි පිහිටයි.

AN 05-01-10. දුතිය ආගාරව සූත්‍රය

§1. “මහණෙනි, කරුණු පසකින් යුත් භික්‍ෂුව ගෞරව නැත්තේ, පිහිට නැත්තේ, මේ ශාසනයෙහි වැඩීමට, හටගැනීමට, මහත් බවට පැමිණෙන්ට නුසුදුසු වේ.“
කවර පසකින්ද යත්,

§2. මහණෙනි, ශ්‍රද්‍ධාව නැත්තාවූ භික්‍ෂුව“ගෞරව නැත්තේ, පිහිට නැත්තේ, මේ ශාසනයෙහි වැඩීමට, හටගැනීමට, මහත් බවට පැමිණෙන්ට නුසුදුසුවේ.“

මහණෙනි, ලජ්ජා නැති භික්‍ෂුව ගෞරව නැත්තේ, පිහිට නැත්තේ, මේ ශාසනයෙහි වැඩීමට, හටගැනීමට, මහත් බවට පැමිණෙන්ට නුසුදුසු වේ.

මහණෙනි, භය නැති භික්‍ෂුව ගෞරව නැත්තේ, පිහිට නැත්තේ, මේ ශාසනයෙහි වැඩීමට, හටගැනීමට, මහත් බවට පැමිණෙන්ට නුසුදුසු වේ.

මහණෙනි, කුසීතවූ භික්‍ෂුව ගෞරව නැත්තේ, පිහිට නැත්තේ, මේ ශාසනයෙහි වැඩීමට, හටගැනීමට, මහත් බවට පැමිණෙන්ට නුසුදුසු වේ.

මහණෙනි, දුෂ්ප්‍රාඥවූ භික්‍ෂුව ගෞරව නැත්තේ, පිහිට නැත්තේ, මේ ශාසනයෙහි වැඩීමට, හටගැනීමට, මහත් බවට පැමිණෙන්ට නුසුදුසු වේ.“

මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්‍ෂුව “ගෞරව සහිතවූයේ, ප්‍රතිෂ්ඨා සහිතවූයේ මේ ශාසනයෙහි වැඩීමට, හටගැනීමට, මහත් බවට පැමිණීමට සුදුසුවේ.“
කවර පසකින්ද යත්?“

මහණෙනි, ශ්‍රද්‍ධාව ඇති භික්‍ෂුව ගෞරව සහිතවූයේ, ප්‍රතිෂ්ඨා සහිතවූයේ මේ ශාසනයෙහි වැඩීමට, හටගැනීමට, මහත් බවට පැමිණීමට සුදුසුවේ.“

මහණෙනි, පවට ලජ්ජා ඇති භික්‍ෂුව ගෞරව සහිතවූයේ, ප්‍රතිෂ්ඨා සහිතවූයේ මේ ශාසනයෙහි වැඩීමට, හටගැනීමට, මහත් බවට පැමිණීමට සුදුසුවේ.

මහණෙනි, පවට භය ඇති භික්‍ෂු තෙම ගෞරව සහිතවූයේ, ප්‍රතිෂ්ඨා සහිතවූයේ මේ ශාසනයෙහි වැඩීමට, හටගැනීමට, මහත් බවට පැමිණීමට සුදුසුවේ.

මහණෙනි, පටන් ගන්නා ලද වීර්‍ය්‍ය ඇති භික්‍ෂුව ගෞරව සහිතවූයේ, ප්‍රතිෂ්ඨා සහිතවූයේ මේ ශාසනයෙහි වැඩීමට, හටගැනීමට, මහත් බවට පැමිණීමට සුදුසුවේ.

මහණෙනි, ප්‍රඥාව ඇති භික්‍ෂුව ගෞරව සහිතවූයේ, ප්‍රතිෂ්ඨා සහිතවූයේ මේ ශාසනයෙහි වැඩීමට, හටගැනීමට, මහත් බවට පැමිණීමට සුදුසුවේ.

මහණෙනි, මේ කරුණු පසින් වනාහි යුක්තවූ භික්‍ෂු තෙම ගෞරව සහිතවූයේ, ප්‍රතිෂ්ඨා සහිතවූයේ මේ ශාසනයෙහි වැඩීමට, හටගැනීමට, මහත් බවට පැමිණීමට සුදුසුවේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.