SN-02-01- දේවපුත්ත සංයුක්තය – සූරිය වර්‍ගය

1. (ප්‍රථම) සූරිය වර්‍ගය

1. කස්සප සූත්‍රය
2. (දෙවැනි) කස්සප සූත්‍රය
3. මාඝ සූත්‍රය
4. මාගධ සූත්‍රය
5. දාමලි සූත්‍රය
6. කාමද සූත්‍රය
7. පඤචාලචණ්ඩ සූත්‍රය
8. තායන සූත්‍රය
9. චන්‍දිම සූත්‍රය
10. සූරිය සූත්‍රය 
ප්‍රථම වර්‍ගයයි.

2. දෙවපුත්ත සංයුත්තය
1. (ප්‍රථම) සූරිය වර්‍ගය
1. කස්සප සූත්‍රය
82


මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල කාශ්‍යප දේව පුත්‍රතෙම රෑ පෙරයම ඉක්ම ගිය පසු බබළන වර්‍ණ ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එක්පසෙක සිටි ඒ කාශ්‍යප දෙව්පුත් තෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීයේය. ’’භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂුව (මෙසේයයි) පැවසූසේක. එහෙත් භික්‍ෂුවට අනුශාසනය නොපැවසූ සේක.’’
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.) ’’කාශ්‍යපය, එසේ නම් එය ඔබටම වැටහේවා.’’
(දෙවිපුත් තෙම මෙසේ කීය: ’’වාක් සුචරිතය පුරුදු කරන්නේය. මහණුන් විසින් වැඩිය යුතුවූ කමටහන්ද වඩන්නේය. නොහොත් බහුශ්‍රුත මහණුන් ඇසුරු කිරීමද කළයුතු. හුදකලාව ඒකාසනිකාංගයද පුරුදු කරන්නේය. අෂ්ට සමාපත්ති වශයෙන් සිත සංසිමද පුරුදු කරන්නේය.
කාශ්‍යප දෙව්පුත් මෙය කීය. භාග්‍යවතුන් වහන්සේ එය මැනවයි අනුමත කළසේක. ඉක්බිති කාශ්‍යප දෙව්පුත් තෙම, ’’ශාස්තෲන් වහන්සේ මාගේ කීම අනුදත් සේකැ’’ යි සතුටුව භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණුකොට එහිම අතුරුදහන් විය.
2. (දෙවැනි) කස්සප සූත්‍රය
83
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි පිහිටි අනේපිඬු සිටුහු විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල වනාහි කාශ්‍යප දේව්පුත් තෙම රෑ පළමු දසපැය ඉක්මුණු කල මනාපැහැ ඇත්තාහු සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමුණුනාහ. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි කාශ්‍යප දෙව්පුත් තෙම භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ මේ ගාථාව කීය:
’’රහත් බව කැමැත්තේ නම්, මහණ තෙම ධ්‍යාන කරන්නෙක් විය යුතු. (කර්‍මස්ථාන විමුක්තියෙන්) මිදුණු සිතැත්තෙක් විය යුතු. (සංස්කාර) ලෝකයේ හටගැන්මත් විනාශයත් දැන, මනා සිතැත්තේව, තණ්හා දෘෂ්ටින් ඇසුරු නොකෙළෙක්ව, ඒ රහත් බව අනුසස් කොට ඇත්තෙක් විය යුතු.’’
3. මාඝ සූත්‍රය
84
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල මාඝ (ශක්‍ර) දෙව්පුත් රෑ පෙරයම ඉක්මගිය පසු බබළන ශරීර ශෝභා ඇත්තේ මුළු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එක්පසෙක සිටි මාඝ දෙව්පුත් භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් මෙය කීය:
’’කුමක් නම් නසා සුවසේ සැතපේද? කුමක් නම් නසා ශෝක නොකෙරේද? ගෞතමයන් වහන්ස, කවර නම් එක් දැයෙක විනාශයට සතුටුවහුද?’’
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.) ’’ක්‍රෝධය නසා සුවසේ සැතපෙයි. ක්‍රෝධය නසා ශෝක නොකෙරේ. ශක්‍රය, දුඃක විපාක විෂමූලයක් ඇති, මිහිරිවූ අගක් ඇති, ක්‍රෝධයාගේ විනාශය ආර්‍ය්‍යයෝ ප්‍රශංසා කරත්. එය නසා ශෝක නොකෙරේ.
4. මාගධ සූත්‍රය
85
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල වනාහි මාගධ දෙව්පුත් තෙම රෑ පළමු දසපැය ඉක්ම ගිය කල්හි බබළන ශරීර ශෝභා ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි මාගධ දෙව්පුත් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි ගාථායෙන් (මෙසේ) කීය:
’’යමෙකින් ලොව ආලෝකවත් වේ නම්, එසේ වූ පහන් කීයෙක් ලොව වෙත්ද?
භාග්‍යවතුන් වහන්සේගෙන් විචාරන්නට අවුක් සිටිමු. එය අපි කෙසේ දැනගත හැක්කෙමුද?’’
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.) ලොව පහන් සතරෙකි. මෙහි පස්වැන්නෙක් නැත. දහවල් හිරු බබළයි. රෑ සඳු බබළයි. තවද ගින්න රෑ දවල් දෙක්හිම ඒ ඒ තැන බබළයි. බබළන්නවුන් අතුරෙන් සම්‍යක් සම්බුද්‍ධ තෙම ශ්‍රෙෂඨයි. මෙම නිරුත්තර ආලෝකයයි.’’
5. දාමලි සූත්‍රය
86
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල වනාහි දාමලි දෙව්පුත් තෙම රෑ පළමු දසපැය ඉක්ම ගිය කල්හි බබළන ශරීර ශෝභා ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි ඒ දාමලි දෙව්පුත් තෙම භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:
මෙහි (මේ සස්නෙහි) බ්‍රාහ්මණයා (රහත්හු) විසින් අකුසීතව (ප්‍රධන්) වීර්‍ය්‍යය කටය්‍රතුය. කාමයන් දුරලීමෙන් ඔහු භවය නොපතයි.’’
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.) ’’දාමලිය, බ්‍රාහ්මණයා විසින් (රහත්හු විසින්) නැවත කළ යුත්තෙක් නැත. බ්‍රාහ්මණතෙම (රහත් තෙම) ඒකාන්තයෙන් කොට නිමවූ කටයුතු ඇත්තේය. සත්ත්‍ව තෙමේ ගංගාවෙහි ස්ථිරව සිටීමට තැනක් නොලබන තෙක්ම සියලු ශරීර අවයවවලින් (ගොඩනගින්නට) තැත් කෙරේ. ඔහු ස්ථිරව සිටීමට තැනක් ලැබ සිටගත්තේ (ඉන්පසු) උත්සාහ නොගනී. කවර හෙයින්ද යත්, ඔහු එගොඩ වූයේය. එබැවිනි. දාමලිය, ප්‍රඥා ඇති, ධ්‍යානයෙහි ඇලුණු, ආශ්‍රව නැසූ, පව් බැහැර කළාහට මේ උපමාවෙකි. ඔහු ජාති මරණ දෙකේ කෙළවරට පැමිණ, ඒකාන්තයෙන් (භව සාගරයේ) පරතෙරට ගියේ, උත්සාහ නොකෙරේ.’’
6. කාමද සූත්‍රය
87
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල වනාහි කාමද දෙව්පුත් තෙම රෑ පළමු දසපැය ඉක්ම ගිය කල්හි බබළන ශරීර ශෝභා ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එක්පසෙක සිටි ඒ දෙව්පුත් තෙම භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීයේය:
එක් පසෙක සිටි කාමද දෙව්පුත් භාග්‍යවතුන් වහන්සේට, ’’භාග්‍යවතුන් වහන්ස, දුස්කරය, අතිශයින් දුෂ්කරය’’ යි කීය.
( භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.) ’’කාමදය, ශීලයෙන් යුක්තවූ ස්ථිර සිත් ඇති,
ශෛක්‍ෂයෝ දුෂ්කරවූද මහණදම් කරත්, ගිහිගෙන් වෙන්වූ බවට පැමිණියාහටම සැප ගෙන දෙන ලද දැයෙහි සතුට වෙයි.’’
’’භාග්‍යවතුන් වහන්ස, මේ ලද සිවුපසයෙහි සතුටය යන යමෙක් ඇද්ද, එයද දුර්ලභ දෙයකි.’’
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.) ’’කාමදය, දිවා රෑ දෙක්හි යම් කෙනෙකුන්ගේ සිත (භාවනායෙහි) ඇලුණේද, සිත සන්සිඳීමෙහි ඇලුණු ඔවුහු දුර්ලභවූ නමුදු ඒ සතුට ලබත්.’’
’’භාග්‍යවතුන් වහන්ස, මේ සිත නම් වූ යමක් ඇද්ද, එය එකඟ කිරීම දුෂ්කරය.
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.) ’’කාමදය, (චක්‍ෂුරාදී) ඉන්‍ද්‍රියයන් සන්සිඳවීමෙහි ඇලුණෝ එකඟකිරීමට දුෂ්කරවූ නමුදු (සිත) එකඟ කරත්. ඒ ආර්‍ය්‍යයෝ මරහුගේ දැල (කෙලෙස් දැල) සිඳදමා යෙත්.’’
’’භාග්‍යවතුන් වහන්ස, මාර්‍ගය දුකසේ යා යුතුය, විෂමය.’’
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) ’’කාමදය, ආර්‍ය්‍යයෝ දුකසේ යායුතුවූද මාර්‍ගයෙහි යෙත්. අනාර්‍ය්‍යයෝ යටිකුරුවූ හිස ඇත්තෝ විෂම මාර්‍ගයෙහි වැටෙත්. මාර්‍ගය ආර්‍ය්‍යයන්ට සමය, ආර්‍ය්‍යයෝ සම නුවූයෙහි සම වූවෝයි.’’
7. පඤචාලචණ්ඩ සූත්‍රය
88
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල වනාහි පඤචාලචණ්ඩ දෙව්පුත් තෙම රෑ පළමු දසපැය ඉක්ම ගිය කල්හි බබළන ශරීර ශෝභා ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එක්පසෙක සිටි ඒ පඤචාලචණඩ දෙව්පුත් තෙම භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:
’’මානය දුරු කළවුන්ට ශ්‍රේෂ්ඨවූ යම් බුද්‍ධ මුනිවරයෙක් ධ්‍යානය අවබෝධ කළේද, මහත් ප්‍රඥා ඇති හෙතෙම අවහිරයෙහි ඉඩ ලැබීය.’’
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) ’’පඤචාලචණ්ඩය, නුවණැත්තෝ අවහිරයෙහි පවා (නිවන් පිණිස) ධ්‍යාන ලබත්. යම් කෙනෙක් නිවන් ලබනු පිණිස සිහිය ලැබුවාහුද, ඔහු හොඳින් (ලෝකෝත්තර) සමාධියෙන් සමාහිත වූවෝය.’’
8. තායන සූත්‍රය
89
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. ඉක්බිත්තෙන් පෙර අත්බැව්හි තීර්‍ථකරව සිටි තායන දෙව්පුත් තෙම රෑ මැදුම්යම්හි බබළන ශරීර ප්‍රභා ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එක්පසෙක සිටි ඒ තායන දෙව්පුත් තෙම භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථා කීය:
’’බ්‍රාහ්මණය, වීර්‍ය්‍යකොට තණ්හා දියපහර සිඳලව. කාමයන් දුරලව. මුනිතෙම කාමයන් නොදුරලා ඒකත්වය (ධ්‍යානයන්) නොලබයි.
’’ඉදින් කරතොත් මෙය කටයුතුය. මෙය දැඩිකොට කටයුතුය. ඒ එසේමැයි. ලිහිල්කොට ගක් පැවිද්ද වඩ වඩා මත්තෙහි කෙලෙස් දූවිලි විසුරුවයි.
’’පව් නොකළේ මැනවි. පාපය එය කළාහු පසුව තවයි. යමක් කොට නොපසු තැවේද, එසේවූ පිනම කරන ලදුයේ මැනවි.
’’වරදවා අල්ලා ගන්නා ලද කුස තණ පත (එය ගත්) අතම යම්සේ සිඳීද, එසේම වරදවා ගත් මහණකම (පැවිද්ද) නිරයට ඇද දමයි.
’’යම් ලිහිල් මහණකමක් වේද, කිලිටිවූ යම් සීලයක් වේද, යම් සැක කටයුතු බ්‍රහ්මචරියාවකුත් වේද, එය මහත් ඵල ඇත්තේ නොවේ.
තායන දෙව්පුත් මෙය කීය. මෙය කියා භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට එහිම අතුරුදහන් විය.
එවිට භාග්‍යවතුන් වහන්සේ ඒ රැය ඉක්ම ගිය පසු භික්‍ෂූන්ට කථාකළ සේක.
’’මහණෙනි, මේ (ගතවූ) රැයෙහි පුරාණ තීර්‍ථංකරවූ තායන නම් දෙව්පුත් රෑ පෙරයම ඉක්මුණුකළ බබළන ශරීරය ඇත්ාත් සියලු ජේතවනය බබුළුවා මම යම් තැනෙකද, එතැනට පැමිණියේය. පැමිණ මා වැඳ එක් පසෙක සිටියේය. එක් පසෙක සිටි තායන දෙව්පුත් මා සමීපයෙහි,
’’බ්‍රාහ්මණය, වීර්‍ය්‍යකොට තණ්හා දියපහර සිඳලව. කාමයන් දුරලව. මුනිතෙම කාමයන් නොදුරලා ඒකත්වය ධ්‍යානය නොලබයි.
’’ඉදින් කරතොත් මෙය කටයුතුය. මෙය දැඩිකොට කටයුතුය. ඒ එසේමැයි. ලිහිල්කොට ගක් පැවිද්ද වඩ වඩා මත්තෙහි කෙලෙස් දූවිලි විසුරුවයි.
’’පව් නොකරන ලද්දේ මැනවි. පාපය එය කළාහු පසුව තවයි. යමක් කොට නොපසු තැවේද, එසේවූ පිනම කරන ලදුයේ මැනවි.
’’වරදවා අල්ලා ගන්නා ලද කුස තණ පත (එය ගත්) අතම යම්සේ සිඳීද, එසේම වරදවා ගත් මහණකම (පැවිද්දා) නිරයට ඇද දමයි.
’’යම් ලිහිල් කොට ගත් මහණකමක් වේද, කිලිටිවූ යම් (ධුතාඞග) ව්‍රතයක් වේද, යම් සැක කටයුතු බ්‍රහ්මචරියාවකුත් වේද, එය මහත් ඵල ඇත්තේ නොවේ’’ යි කීය.
’’මහණෙනි, තායන දෙව්පුත් මෙය කීය. මෙය කියා මා වැඳ පැදකුණු කොට එහිම අතුරුදහන් විය.
’’මහණෙනි, තායන දෙව්පුත්ගේ ගාථා උගනිවු. මහණෙනි, තායන ගාථාවන් පුහුණු කරවු. මහණෙනි, තායන ගාථා යහපත පිණිස වෙයි. මාර්‍ග බ්‍රහ්මචරියාවට ආදිය (මුල) වේය’’ යි වදාළ සේක.
9. චන්‍දිම සූත්‍රය
90
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි චන්‍දිම දේවපුත්‍ර තෙමෙ රාහු අසුරිඳු විසින් අල්ලා ගන්නා ලද්දේ විය. එකල චන්‍දිම දෙව්පුත් තෙම භාග්‍යවතුන් වහන්සේ සිහි කෙරෙමින් ඒ වේලායෙහි මේ ගාථාව කීය.
’’බුද්ධ වීරයන් වහන්ස, ඔබට නමස්කාර වේවා. ඔබ සියලු තන්හි මිදුණෝය. (මම) පීඩාවට පැමිණියෙම් වෙමි, එසේවූ මට පිහිට වන්න.’’
එකල්හි භාග්‍යවතුන් වහන්සේ චන්‍දිම දෙව්පුතු අරභයා රාහු අසුරිඳුට (මෙසේ) ගාථායෙන් වදාළහ.
’’එම්බා රාහු, චන්‍දිම තෙම අර්‍හත්වූ තථාගතයන් සරණ ගියේය. ඒ චන්‍දිම දෙව්පුතු අතහරුව. බුදුවරු ලොවට අනුකම්පා කරන්නෝය.’’
එවිට රාහු අසුරිඳු චන්‍දිම දෙව්පුතු අතහැර ඉක්මන් ස්වභාව ඇත්තේ වේපචිත්ති අසුරිඳු යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, කැළඹුණු සිතැත්තේ, හටගත් ලොමු දහගැනුම් ඇත්තේ, එක් පසෙක සිටියේය. එක් පසෙක සිටි රාහු අසුරිඳුට වේපචිත්ති අසුරිඳු ගාථායෙන් (මෙසේ) කීය.
’’එම්බා රාහු, කවර හෙයින් ඉක්මන්ව මෙන් චන්‍දිම දෙව්පුතු අතහැරියෙහිද? කවර හෙයින් කැලැඹුණු ස්වභාව ඇතිව, බිය ගත්තෙකු මෙන් සිටිනෙහිද?’’
(එවිට රාහු අසුරිඳු මෙසේ කීය:) ’’බුදුරජුන් විසින් ගාථායෙන් ආමන්‍ත්‍රණය කරණලද්දෙමි. (ඒ මම) ඉදින් චන්‍දිම දෙව්පුතු නොමිදුයෙම් නම් මා හිස සත්කඩෙක්ව පැලෙන්නේය..ජීවත්වුවද සැපක් නම් නොලබන්නෙමි.’’
10. සූරිය සූත්‍රය
91
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි සූර්‍ය්‍යදෙව්පුත් තෙම රාහු අසුරිඳු විසින් අල්ලා ගන්නා ලද්දේ විය. එකල සූර්‍ය්‍ය දෙව්පුත් තෙම භාග්‍යවතුන් වහන්සේ සිහි කරනුයේ මේ ගාථාව කීය.
’’බුද්ධ වීරයන් වහන්ස, ඔබට නමස්කාර වේවා. ඔබ හැමතන්හි මිදුණෝය. (මම) පීඩාවට පැමිණියෙම් වෙමි, එසේවූ මට පිහිට වන්න.’’
එකල්හි භාග්‍යවතුන් වහන්සේ සූර්‍ය්‍ය දෙව්පුතු අරභයා රාහු අසුරිඳුට (මෙසේ) ගාථායෙන් වදාළහ.
’’එම්බා රාහු, සූර්‍ය්‍ය දෙව්පුත් තෙම අර්‍හත්වූ තථාගතයන් සරණ ගියේය. ඒ චන්‍දිම දෙව්පුතු අතහරුව. බුදුවරු ලොවට අනුකම්පා කරන්නෝය.’’
’’එම්බා රාහු, අන්‍ධකාරයෙහි යමෙක් එලිය කරන්නේද, බබළන්නේද, මඬුලු සටහන් ඇත්තේද, උග්‍ර තේජස් ඇත්තේද, එසේවූ අහස හැසිරෙන සූර්‍ය්‍යයා නොගිලුව, මගේ ශ්‍රාවක බවට පැමිණි සූර්‍ය්‍යයා අතහරුව,’’
එකල රාහු අසුරිඳු සූර්‍ය්‍ය දෙව්පුතු අතහැර ඉක්මන් ස්වභාවය ඇත්තේ වේපචිත්ති අසුරිඳු වෙත පැමිණියේය. පැමිණ, කැලැඹුණේ ලොමු දැහැගැනුම ඇත්තේ, එක් පසෙක සිටියේය. එක් පසෙක සිටි රාහු අසුරිඳුට වේපචිත්ති අසුරිඳුට ගාථායෙන් (මෙසේ) කීය:
’’එම්බා රාහු, කවර හෙයින් ඉක්මන්ව මෙන් හිරු දෙව්පුතු අතහැරියෙහිද? කවර හෙයින් කැලැඹුණු, ස්වභාවය ඇතිව, බිය ගත්තකු මෙන් සිටිනෙහිද?’’
(එවිට රාහු අසුරිඳු මෙසේ කීය:) ’’බුදුරජුන් විසින් ගාථායෙන් ආමන්‍ත්‍රණය කරණලදුයෙමි. (ඒ මම) ඉදින් සූර්‍ය්‍ය දෙව්පුතු නොමුදාලීම් නම්, මා හිස සත්කඩකට පැලෙන්නේය..ජීවත්වන්නෙම් නම් සැපයක් නම් නොලබන්නෙමි.’’
ප්‍රථම වර්‍ගයයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.