MN 03-04-02. ආනන්ද භද්දෙකරත්ත සූත්‍රය

පාලි සුත්‍ර සජ්ජායනාව

භද්දෙක රත්ත සුත්‍ර සතරේම ඇත්තේ එකම ඉගැන්වීමකි.
අතීතයේ වූ දෙ ගැන සිතා එහි සතුටින් නොබැදෙන්න.
අනාගතය ගැන මේ මේ ආකාරයෙන් සැප විඳිමි’යැයි තන්හාවෙන් නොසිතන්න.
මේ දැන් පසිඳුරන් ලබන අරමුණු “දුක්ඛ, අනිච්ච, අනාත්ම ” ලෙස විදසුන් ඇසින් බලන්න ..
ඒ උපදෙස මෙසේ සැලකීම වටි. අතීතයේදී රස විඳි පස් කම්කම් සැප ගැන අද සතුටින් ආසාවෙන් මෙනෙහි කිරීමෙන් එදා රැස් කල සංස්කාර ගොඩම යලි ඔබ උපදවා ගනියි. එදා කරගත් සංස්කාර රැස්කිරීම කර හමාරය. ඒ ගැන දැන් කල හැක්කක් නැත. එහෙත් එදා ඇසු ගීත නැවත මතක් කරගෙන, එදා දුටු චිත්‍රපට අද නැවත මතක් කරමින් ඔබ අද ද එදා කල අනුවණ දෙය අදත් කර ගනියි. අනාගතයේ ගැනද එසේමය. තවම කර නොගත් සංස්කාර ගොඩ ගැසීමක් තවම නොආ අනාගතයක් ගැන මෙසේම කරගැනීම අනුවණ කමකි. අද ඔබ ට හමුවන අරමුණු ගැන යෝනිසෝ මනසිකාරයෙන් බලා, ඒ අරමුණු දුක්ඛ, අනිච්ච , අනාත්ම ලෙස විදර්ශනා කිරීමෙන් එයින් වන සංකාර යහපත් ආකාරයකට හසුරුවාගන්නට ඔබ දක්ෂ විය යුතුය. එම විදර්ශනාව ජීවිතයේ කොටසක් කරගත යුතුය. අද ජීවත්වන්නා අතීතයේ සහ අනාගතයේ කල , කල යුතු දෙ ගැන සිතා සංකාර ගොඩ නැගීම නතර කල යුතුය.

පුජ්‍ය බෝගහපුර දේවමිත්ත හිමි කල සුත්‍ර විවරණය

§ 1. මා විසින් මෙසේ අසනලදී.
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ ජේතවන නම් අනේපිඩු මහසිටුහුගේ ආරාමයෙහි වැඩවාසය කරණසේක. ඒ කාලයෙහි වනාහි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ උපස්ථාන ශාලාවෙහි භික්ෂූන්ට දැහැමි කථාවෙන් කරුණු ගෙණහැර දක්වයි. එහි යොදවයි. තෙද ගන්වයි. සතුටු කරවයි. යහපත් එක් රැයක් ඇත්තහුගේ උද්දේසයයි කියනලද මාතෘකාවක්, විභංගයයි කියනලද විස්තරයත් ප්‍රකාශ කරයි.

§ 2. එකල්හි දිනෙක භාග්‍යවතුන් වහන්සේ සවස් කාලයෙහි ඵල සමාපත්තියෙන් නැගිට උපස්ථාන ශාලාවට වැඩමවා පනවනලද බුද්ධාසනයෙහි වැඩහිඳ භික්ෂූන් ආමන්ත්‍රණය කළ සේක.
“මහණෙනි, කවරෙක් උපස්ථාන ශාලාවෙහි භික්ෂූන්ට ධර්ම කතාවෙන් කරුණු ගෙනහැර දැක්වූයේද, පටිපදාවෙහි යෙදවූයේද, තෙදගැන්වූයේද සතුටු කෙළේද, යහපත් එක් රැයක් ඇත්තහුගේ මාතෘකාව විස්තර කොට කීයේදැ”යි ඇසූහ.

§ 3. “ස්වාමීනි, ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ අපට ධර්ම කථාවෙන් කරුණු දැක්වූයේය. යෙදවූයේය. තෙද ගැන්වූයේය. සතුටු කෙළේය යහපත් එක් රැයක් ඇත්තහුගේ මාතෘකාව විස්තර කෙළේ යයි” සැළකෙළේය.

එකල්හි භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ ආමන්ත්‍රණය කළසේක.
“ආනන්දය, ඔබ කවර පරිද්දෙකින් භික්ෂූන්ට දැහැමි කථාවෙන් කරුණු දැක්වූයේද, යෙදවූයේද, තෙදගැන්වූයේද සතුටු කෙළේද, යහපත් එක් රැයක් ඇත්තහුගේ මාතෘකාවත් විස්තර බෙදීමත්, ප්‍රකාශ කෙළේදැයි” විචාළසේක.

§ 4. “ස්වාමීනි මම මෙසේ භික්ෂූන්ට දැහැමි කථාවෙන් කරුණු දැක්වූයෙමි. යෙදවූයෙමි. තෙද ගැන්වූයෙමි. සතුටුකෙළෙමි. යහපත් එක් රැයක් ඇත්තහුගේ මාතෘකාවත් විස්තර බෙදීමත් ප්‍රකාශ කෙළෙමියි මෙසේ සැලකෙළේය.

[1] “අතීතය ගැන සිතමින් ඒ මතකයන් මත සතුටු නොවන්න.
අනාගතය ගැන සිහින මවමින් ඒ බලාපොරොත්තු මත තුටු නොවන්න.
අතීතය වැළලී ගොස්ය. අනාගතය උපන්නේ නැත.

[2] “වර්තමානයෙහි යමක් වේද ,
එහි තිලක්ඛනය දකිමින් විදර්ශනා වඩන්න.
ඒ විදර්ශනාව රාගාදීන්ගෙන් විසිරී නොයන සේ
කුපිත නොකොට සතිය වඩන්න.

[3] “අදම කෙළෙස් තවන වීර්‍ය්‍යය වඩා පිළිවෙත් පුරන්න.
මරණය හෙට ඒ දැයි අද ඒ දැයි දන්නේ කවුද,
මරණය සමග කිසිවෙකුට කිසි ගිවිසුමක් නැත්තේය.

[4] “මෙසේ වසන්නාවූ කෙළෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තවූ,
රෑ දාවල් දෙක්හි අනලස්ව පිළිවෙත්හි පිළිපන්නාවූ භික්ෂුව ,
උත්තම රැයක් ගෙවූ භික්ෂුව යයි ශාන්තවූ බුද්ධ මුනින් වදාළේය.

§ 5. ඇවැත්නි, කෙසේ අතීතය අල්ලා ගන්නේද,

  • ‘මම අතීත කාලයෙහි මෙබඳු රූපයක් ඇත්තෙක්මි’යි, ඒ අතීත රූපය කෙරෙහි තෘෂ්ණාව පවත්වන්නේය.
  • “මම අතීත කාලයෙහි මෙබඳු දේ වින්දෙමි’යි, ඒ අතීත වින්දනය කෙරෙහි තෘෂ්ණාව පවත්වන්නේය.
  • මම අතීත කාලයෙහි මෙබඳු සංඥා ඇත්තෙක් වීමියි ඒ අතීත සඥාව කෙරෙහි තෘෂ්ණාව පවත් වන්නේය.
  • මම අතීත කාලයෙහි මෙබඳු සංස්කාර ඇත්තෙක් වීමියි ඒ අතීත සංස්කාරයන් කෙරෙහි තෘෂ්ණාව පවත්වන්නේය.
  • මම අතීත කාලයෙහි මෙබඳු විඥාන ඇත්තෙක් වීමියි ඒ අතීත විඥානය කෙරෙහි තෘෂ්ණාව පවත්වන්නේය

ඇවැත්නි, මෙසේ අතීතය අනුව තෘෂ්නාව පවත්වන්නේය.

§ 6. “ඇවැත්නි, කෙසේ අතීතය අනුව සිත නොයවන්නේද?

  • ‘මම අතීත කාලයෙහි මෙබඳු රූප ඇත්තෙක් වීමියි ඒ අතීත රූපය කෙරෙහි තෘෂ්ණාව නොපවත්වන්නේය.
  • මම අතීත කාලයෙහි මෙබඳු වින්දනයන් ඇත්තෙක් වීමියි ඒ අතීත වින්දනය කෙරෙහි නොපවත්වන්නේය.
  • මම අතීත කාලයෙහි මෙබඳු සංඥා ඇත්තෙක් වීමියි, ඒ අතීත සඥාව කෙරෙහි තෘෂ්ණාව නොපවත්වන්නේය.
  • මම අතීත කාලයෙහි මෙබඳු සංස්කාර ඇත්තෙක් වීමියි ඒ අතීත සංස්කාරයන් කෙරෙහි තෘෂ්ණාව නොපවත්වන්නේය.
  • මම අතීත කාලයෙහි මෙබඳු විඥාන ඇත්තෙක් වීමියි ඒ අතීත විඥානය කෙරෙහි තෘෂ්ණාව නොපවත්වන්නේය.’

ඇවැත්නි, මෙසේ අතීත ස්කන්ධයන් කෙරෙහි තෘෂ්ණාව නොපවත්වන්නේය.’

§ 7. “ඇවැත්නි, කෙසේ අනාගතය ප්‍රාර්ථනා කරන්නේද?

  • ‘අනාගත කාලයෙහි මම මෙබඳු රූප ඇත්තෙක් වන්නෙමියි, එහි තෘෂ්ණාව පවත්වන්නේය.
  • අනාගත කාලයෙහි මම මෙබඳු වින්දනයන් ලබන්නෙමි යි, එහි තෘෂ්ණාව පවත්නේය.
  • අනාගත කාලයෙහි මම මෙබඳු සංඥා ඇත්තෙක් වන්නෙමියි, එහි තෘෂ්ණාව පවත්වන්නේය.
  • අනාගත කාලයෙහි මම මෙබඳු සංස්කාර ඇත්තෙක් වන්නෙමියි, එහි තෘෂ්ණාව පවත්වන්නේය.
  • මම අනාගත කාලයෙහි මෙබඳු විඥානය ඇත්තෙක් වන්නෙමියි, එහි තෘෂ්ණාව පවත්වන්නේය. ‘

ඇවැත්නි, මෙසේ අනාගතය ප්‍රාර්ථනා කරන්නේය.

§ 8. “ඇවැත්නි, කෙසේ අනාගතය ප්‍රාර්ථනා නොකරන්නේද?

  • ‘අනාගත කාලයෙහි මෙබඳු රූපයක් ලබමි’ යයි එහි තෘෂ්ණාව නොපවත්වන්නේය.
  • අනාගත කාලයෙහි මම මෙබඳු වේදනා ඇත්තෙක් වන්නෙමියයි, එහි තෘෂ්ණාව නොපවත්නේය.
  • අනාගතයෙහි මම මෙබඳු සංඥා ඇත්තෙක් වන්නෙම්යයි, එහි තෘෂ්ණාව නොපවත්වන්නේය.
  • අනාගතයෙහි මෙබඳු සංස්කාර ඇත්තෙක් වන්නෙම්යයි එහි තෘෂ්ණාව නොපවත්වන්නේය.
  • අනාගත කාලයෙහි මම මෙබඳු විඥාන ඇත්තෙක් වන්නෙමියි එහි තෘෂ්ණාව නොපවත්වන්නේය.’

ඇවැත්නි, මෙසේ පණ්ඩිත භික්ෂුව අනාගත ස්කන්ධයන් ප්‍රාර්ථනා නොකරන්නේය.

§ 9. “ඇවැත්නි, කෙසේ වර්තමානය තෘෂ්ණා දෘෂ්ටීන්ගේ වශයෙන් ඇද ගනීද?

ඇවැත්නි, මේ ශාසනයෙහි ආර්‍ය්‍යයන් නොදක්නා ස්වභාව ඇත්තාවූ, ආර්‍ය්‍ය ධර්මයෙහි දක්ෂ නොවූ, ආර්‍ය්‍ය ධර්මයෙහි නොහික්මුනාවූ, සත්පුරුෂයන් නොදක්නා ස්වභාව ඇත්තාවූ සත්පුරුෂ ධර්මයෙහි අදක්ෂවූ, සත්පුරුෂ ධර්මයෙහි නොහික්මුනාවූ, ඇසූ පිරූතැන් නැති පෘථග්ජන පුද්ගලයා

  • රූපය තමා වශයෙන් දක්නේය. තමා රූපය ඇත්තෙකැයි කියා දක්නේය. රූපය තමා කෙරෙහි ඇත්තේය කියා දක්නේය. තමා රූපය කෙරෙහි ඇත්තේය කියා හෝ දක්නේය.
  • වින්දනය නොහොත් විඳින්නා තමා වශයෙන් දකියි. තමා විඳිනා දේ මගේ වින්දනය යැයි කියා හෝ දකියි. වේදනාව තමා කෙරෙහි ඇත්තේයයි කියා හෝ දකී. තමා වේදනාව කෙරෙහි ඇත්තේයයි කියා හෝ දකී.
  • සංඥාව තමා වශයෙන් හෝ දකී. තමා සංඥාව ඇත්තෙකැයි කියා හෝ දකී. සංඥාව තමා කෙරෙහි ඇත්තේ යයි කියා හෝ දකී. තමා සංඥාව කෙරෙහි ඇත්තේයයි කියා හෝ දකී.
  • සංස්කාර තමා වශයෙන් හෝ දකී. තමා සංස්කාර ඇත්තෙකැයි කියා හෝ දකී. සංස්කාර තමා කෙරෙහි ඇත්තේයයි කියා හෝ දකී. තමා සංස්කාර කෙරෙහි ඇත්තේයයි කියා හෝ දකී.
  • විඥානය තමා වශයෙන් හෝ දකින්නේය. තමා විඥානය ඇත්තෙකැයි කියා හෝ දක්නේය. විඥානය තමා කෙරෙහි ඇත්තේය කියා හෝ දක්නේය. තමා විඥානය කෙරෙහි ඇත්තේය කියා හෝ දක්නේය.

ඇවැත්නි, මෙසේ වර්තමාන ස්කන්ධයන් කෙරෙහි ඇද ගැනීම වේ.

§ 10 . “ඇවැත්නි, කෙසේ වර්තමානය කෙරෙහි බැදීම නොවේද,

“ඇවැත්නි, ආර්‍ය්‍යයන් දක්නා ස්වභාව ඇත්තාවූ, ආර්‍ය්‍ය ධර්මයෙහි දක්ෂවූ, ආර්‍ය්‍ය ධර්මයෙහි හික්මුනාවූ, සත්පුරුෂයන් දක්නා ස්වභාව ඇත්තාවූ, සත්පුරුෂ ධර්මයෙහි දක්ෂවූ, සත්පුරුෂ ධර්මයෙහි හික්මුනාවූ ඇසූපිරූතැන් ඇති ආර්‍ය්‍ය ශ්‍රාවකයා

  • රූපය තමා වශයෙන් හෝ නොදක්නේය. තමා රූපය ඇත්තෙකැයි කියා හෝ නොදක්නේය. රූපය තමා කෙරෙහි ඇත්තේය කියා හෝ නොදක්නේය.
  • වේදනාව තමා වශයෙන් හෝ නොදක්නේය. තමා වේදනාව ඇත්තෙකැයි කියා හෝ නොදකී. වේදනාව තමා කෙරෙහි ඇත්තේයයි කියා හෝ නොදකී. තමා වේදනාව කෙරෙහි ඇත්තේයයි කියා හෝ නොදකී.
  • සංඥාව තමා වශයෙන් හෝ නොදක්නේය. තමා සංඥාව ඇත්තෙකැයි කියා හෝ නොදකී. සංඥාව තමා කෙරෙහි ඇත්තේයයි කියා හෝ නොදකී. තමා සංඥාව කෙරෙහි ඇත්තේයයි කියා හෝ නොදකී.
  • සංස්කාර තමා වශයෙන් හෝ නොදක්නේය. තමා සංස්කාර ඇත්තෙකැයි කියා හෝ නොදකී. සංස්කාර තමා කෙරෙහි ඇත්තේයයි කියා හෝ නොදකී. තමා සංස්කාර කෙරෙහි ඇත්තේයයි කියා හෝ නොදකී.
  • විඥානය තමා වශයෙන් හෝ නොදක්නේය. තමා විඥානය ඇත්තෙකැයි කියා හෝ නොදක්නේය. විඤ්ඤාණය තමා කෙරෙහි ඇත්තේය කියා හෝ නොදක්නේය. තමා විඤ්ඤාණය කෙරෙහි ඇත්තේය කියා හෝ නොදක්නේය.

ඇවැත්නි, වර්තමාන ස්කන්ධයන්හි තෘෂ්ණා වශයෙන් ඇදගනීම මෙසේ සිදු නොවේ.

[1] “අතීතය ගැන සිතමින් ඒ මතකයන් මත සතුටු නොවන්න.
අනාගතය ගැන සිහින මවමින් ඒ බලාපොරොත්තු මත තුටු නොවන්න.
අතීතය වැළලී ගොස්ය. අනාගතය උපන්නේ නැත.

[2] “වර්තමානයෙහි යමක් වේද ,
එහි තිලක්ඛනය දකිමින් විදර්ශනා වඩන්න.
ඒ විදර්ශනාව රාගාදීන්ගෙන් විසිරී නොයන සේ
කුපිත නොකොට සතිය වඩන්න.

[3] “අදම කෙළෙස් තවන වීර්‍ය්‍යය වඩා පිළිවෙත් පුරන්න.
මරණය හෙට ඒ දැයි අද ඒ දැයි දන්නේ කවුද,
මරණය සමග කිසිවෙකුට කිසි ගිවිසුමක් නැත්තේය.

[4] “මෙසේ වසන්නාවූ කෙළෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තවූ,
රෑ දාවල් දෙක්හි අනලස්ව පිළිවෙත්හි පිළිපන්නාවූ භික්ෂුව ,
උත්තම රැයක් ගෙවූ භික්ෂුව යයි ශාන්තවූ බුද්ධ මුනින් වදාළේය.

“ස්වාමීනි, මම මෙසේ භික්ෂූන්ට දැහැමි කථාවෙන් කරුණු දැක්වූයෙමි. යෙදවූයෙමි. තෙද ගැන්වූයෙමි. සතුටු කෙළෙමි. යහපත් එක් රාත්‍රියක් ඇත්තහුගේ මාතෘකාවත් විස්තර විභාගයත් ප්‍රකාශ කෙළෙමියි’ සැලකෙළේය.

§ 11 . ඉතා යහපති ආනන්දය.
ඔබ උත්තුන්ගවූ රාත්‍රිය ඉතා මැනවින් දේසනා කරන ලද්දේය. කියා භාග්‍යවතුන් වහන්සේ ආනන්ද හිමියන් ගේ දේසනාව අනුමත කල සේක.

සතුටු සිත් ඇති ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට විශේෂයෙන් සතුටුවූයේයි.”

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.