MN 02-05-03 . අස්සලායන සූත්‍රය

බුද්ධකාලීන ඉන්දීය සමාජය ව්යුහගතව තිබුන පළමු නීතිය කුල වාදයයයි. සතර කුලයක මනුෂ්‍යයන් සතර ආකාරය. ඔවුන් සිතන්නේ ක්‍රියා කරන්නේ ඒ ඒ කුලයට අදාළ ඔපරෙටින්ග් සිස්ටම් එකකටය කියා බ්‍රාහ්මණ ඉගැන්වීම් වලින් මුළු ඉන්දියාවටම ඒත්තු ගන්වා තිබුණි. භාග්‍යවතුන් වහන්සේ මේ ගැන දරන ලද අදහස එකල සමාජයේ ප්‍රධාන මාතෘකාවක් විය. අන් සුත්‍ර බොහෝ ගණනක මෙන්ම මේ සුත්‍රයේද මේ කාරණය ගැන වාද විවාද සඳහන් වේ. මේ සුත්‍රයේ ඇති කාරනා විමුක්ති සාධනයට අදාළ නොවන නිසාත් මේ ප්‍රශ්නය ඔබේ සමාජයේ නැති නිසාත් මේ සුත්‍රය අවැදගත් එකක් බව මම මුලින්ම සඳහන් කරනු කැමැත්තෙමි. “බෞද්ධයන් පිළිපදින ප්‍රතිපදාවේ යාමට කුමන කුලයක වුවත්, කුමන ජාතියක වුවත් අයෙකුට බාධාවක් නොවේ”ය යන්න MN 02-04-10 කණ්ණකත්ථල සුත්‍රයේදී භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. දාන ආනිසංස ලෙස ප්‍රාර්ථනය කෙරෙන ආයු, වන්නෝ, සුඛං, බලං යන සතරේ වන්ණ යනු කුලයයි. ලබන භවය උසස් කුලයක උපදීවායි පැතීම බෞද්ධාගමේ පිළිගැනීමක් නිසා කුලය වැදගැම්මකට නැති එකක් යයි බැහැර කිරීම නුසුදුසු යි හඟිමි. මේ සුත්‍රයේ අවසානයට ඇති පසුවදන කියවන්නට ආරාධනා කරමි. (RD).

පුජ්‍ය මිරහවත්තේ පඥාසිරි හිමි කල සුත්‍ර විවරණය

§ 1. මා විසින් මෙසේ අසනලදී.
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර අනේපිඩු සිටුහු විසින් කරවන ලද, දෙව්රම් වෙහෙර වැඩවාසය කරණ සේක.

§ 2 .එසමයෙහි කිසියම් කටයුත්තක් සඳහා සැවැත් නුවරට නොයෙක් පෙදෙස් වලින් ආ බමුණන් පන්සියයක් පමණ එක් තැන්ව එනුවර වාසය කළහ.. ඒ බමුණන්ට මෙබඳු සිතක් පහල විය. “මේ ශ්‍රමණ ගෞතමයන් සතර කුලවල සියළු ඇත්තන්ටම ලඟාවිය හැකි විසුද්ධියක් ගැන දේසනා කරයි. එනම් උන් වහන්සේ චාතුර්වර්ණ ශුද්ධියක් පනවයි.869 (වර්ණ යනු කුළවේ.) ශ්‍රමණ ගෞතමයන් සමග මේ ගැන වාදයක් කොට ඔහුව පරදවා ලීමට මේ නුවර බ්‍රාහ්මණයන් අතරෙන් කවරෙකුට හැකිවේද ?” කියායි.

[869:- මජ්ජිම නිකාය MN 02-04-10 කන්නකත්තල සුත්‍රයේදී භාග්‍යවතුන් වහන්සේ විසින් මේ කුල සතරෙන් ඕනෑම එකක කෙනෙකු ශ්‍රද්ධා, විරිය, සති සමාධි, ප්‍රඥා යන පංච බලයන් වඩන්නේ නම් අරහත් නම් උතුම් ම ඵලය තෙක් යාමට සමත් වෙතැයි දෙසනා කළේය. වසර දහස් ගණනක් භාරතය් සමාජය විශ්වසකල හා අනුගමනය කල සම්පුර්ණ සමාජ ව්‍යුහය මේ වන්න භේද නොපිලිගන්නාවූ බෞද්ධ ඉගැන්වීමෙන් අභියෝගයට ලක්විය. ]

§ 3 . එසමයෙහි දහසය හවුරුදු වියැති අස්සලායණ නම් තරුණ බ්‍රාහ්මණයෙක් සැවැත් නුවර වාසය කලේය., නාම නිඝණ්ඩු යාග ආදී කටයුතු පිළිවෙල හා ශික්ෂානිරුක්ති යන ප්‍රභෙදන් ඇති, ඉතිහාසය පස්වැනි කොට ඇති වෙදත්‍රයයෙහි කෙළවරට ගිය කෙනෙක. පද හා ව්‍යාකරණ කටපාඩමේ කියන්නෙක, ලොකායත ශාස්ත්‍රයේත් මහාපුරුෂ ලක්ෂණ ශාස්ත්‍රයෙත් දක්ෂයෙක. කෙටියෙන් කිවහොත් බ්‍රාහ්මණ ආගමේ උගන්වන සියළු ඉගැන්වීම් වල ඉහලම පරිචයක් ඇති උගතෙකි.

මේ තරුණ බ්‍රාහ්මණයා ගැන ඇසු බමුණන් ඔහුව භවත් ගෞතම ශ්‍රමණයන් වෙත යවා මේ කාරණය ගැන වාදයක් කොට භාග්‍යවතුන් වහන්සේ දරන මේ දුර්මතය පරාජය කල යුතු යයි සිතුහ. අස්සලායන මානවකයා ශ්‍රමණ ගෞතමයන් සමග මේ මතය ගැන විරුද්ධව සාකච්ඡා කිරීමට අස්සලායන මානවකයා සමර්ථ වේයැයි, කියා සිතුහ.

§ 4 . ඉදින් ඒ බමුණෝ අස්සලායණ තරුණයා හුන් තැනට එළඹ අස්සලායණ මානවකයාට මෙසේ කීහ. “පින්වත් අස්සලායණය, මේ ශ්‍රමණ ගෞතමයන් චාතුර්වර්ණ ශුද්ධියක් පනවමින් සියළු කුලවල මිනිසුන් එකම විසුද්ධියකට පත් කල හැකියයි උගන්වති. පින්වත් අස්සලායණය! තොප මේ ශ්‍රමණ ගෞතමයන් ගේ මේ වැරදි මතය ට විරුද්ධව සාකච්ඡා කිරීමට පැමිණේවා” යි කීහ.

මෙසේ කී කල්හි අස්සලායණ මාණවකයා ඒ බමුණන්ට මෙසේ කීය. “ශ්‍රමණ භවත් ගෞතමයෝ ධර්මවාදීහ, ධර්මවාදීහු සමග විරුද්ධව සාකච්ඡා කිරීම ඉතා අපහසුය. මම ශ්‍රමණ ගෞතමයන් සමග මේ ගැන විරුද්ධව සාකච්ඡා කිරීමට කැමති නොවෙමි” යි කීහ.

දෙවනුත් ඒ බමුණෝ අස්සලායණ ට, මෙසේ කීවද ඔහු සිය අකමැත්ත පල කළේය. තෙවනුවත් ඒ බමුණු පිරිස ඔහුට භාග්‍යවතුන් වහන්සේ සමග වාද කරන්නයි කියා මෙසේ ද කීහ. “පින්වත් අස්සලායණයන් වේදය අනුව තවුස් පිළිවෙලට හැසුරුණු කෙණෙක . භවත් අස්සලායණය, යුද්ධයට නොගොස්ම පරාජය නොව. යුද කොට870 නොපැරදෙව” යි කීහ.

[870:- ත්‍රිවේදය සම්පුර්ණ වශයෙන් හදාරා නිම කල සියලු වේද මන්ත්‍ර වන පොත් කර අවසන්වූ අස්ස්ලානයන් දැන් බ්‍රාහ්මණ ශ්‍රමනයෙක්ම බඳු නිසා ඔබේ පරාජය සිදු නොවේ. ඔබට ජය නියතය කියා මේ බ්‍රාහ්මණයන් කී බවක් අටුවාව කියයි.]

මෙසේ කී කල අස්සලායණ තරුණයා ඒ බමුණන්ට මෙසේ කීය. “පින්වතුනි, එකාන්තයෙන් මම මේ වාදයෙන් ජය නොලබමි. ශ්‍රමණ භවත් ගෞතමයෝ ධර්මවාදීහ ය. ධර්මවාදීහු සමග ඉතා ප්‍රවේසමෙන් වාදකළ යුතු වෙති. ශ්‍රමණ ගෞතමයන් සමග මේ කාරණා ගැන වාදකිරීමට මම අසමර්ථයෙමි. එසේ වුවද ඔබ සැම තෙවරක්ම පෙරැත්ත කල නිසා භවත් ගෞතමයන් හමුවීමට මම යන්නෙමියි” කියායි.

§ 5 . ඉක්බිති අස්සලායණ මානවකයා මහත්වූ බ්‍රාහ්මණයෝ සමූහයක් සමග භාග්‍යවතුන් වහන්සේ සොයා පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය යුතුවූත් සිහිකටයුතුවූත් කථා කොට නිමවා එකත්පසෙක හිඳ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය.

“භවත් ගෞතමයන් වහන්ස, ලෝකයේ, ඉන්නා ජාති අතර බ්‍රාහ්මණයෝම උතුම් ජාතියේ ඇත්තෝය. අන්‍යයෝ හීන ජාතිවල ඇත්තෝය. බ්‍රාහ්මණයෝම ශුද්ධ වංශ ඇත්තෝය, අන්‍යයෝ අශුද්ධ වංශ ඇත්තෝය. බ්‍රාහ්මණයෝම පැහැපත්ය. අන්‍ය කුලවල වුන් දුර්වර්ණ වුවන්ය. , බ්‍රාහ්මණයෝම පිරිසිදු වුවන් වෙති. අන්‍යයෝ අපිරිසිදු ය. බ්‍රාහ්මණයෝම මහා බ්‍රහ්මයාගේ ඖරස පුත්‍රයෝව මුඛයෙන් උපන්නාහුය. බ්‍රහ්මජයහ, බ්‍රහ්මයා නිමැවු හෙයින් බ්‍රහ්මනිර්මිතයහ, බ්‍රහ්ම දායාදයහ,“යි අපි කියන්නමෝ වෙමු. භවත් ගෞතමයන් මේ ගැන කුමක් කියන සේක්ද?”

“අස්සලායණය, බමුණන්ගේ භාර්යාවන්වන සමහර බැමිණියෝ ගැහැනුන්ට වන මාස් ශුද්ධිය නොලබා ඉන්නවා පෙනේ. සමහර බැමිණියෝ ගැබිනියෝ වන බව පෙනේ. සමහර බැමිණියෝ දරුවන් වදන්නියෝ වන බව පෙනේ . සමහර බැමිණියෝ දරුවනට කිරි පොවන්නියෝවන බව පෙනෙත්. 871

[871:- බ්‍රාහ්මණ කුලයේම දරුවන්ද අන් කුලවල දරුවන් සේම මහා බ්‍රහ්මයාගේ මුවින් උපත ලද්දා නොව මිනිස් මවකගේ කුසින් උපන් බව පෙන්වීම මේ චේදයේ අදහසයි.]

“බැමිනියකගේ කුසින් උපන් ඒ බමුණෝම, එසේ මනුෂ්‍ය යෝනියෙන් උපන්නාහුම වී මෙසේ කීයන්නෝය. ‘බමුණෝම උතුම්ම කුලයේ වුවෝ වෙති, අන්‍යයෝ හීන කුලයන්හි උපන්නෝය. බමුණෝම ශුද්ධ වංශ ඇත්තෝය, අන්‍යයෝ අශුද්ධ වංශ ඇත්තෝය. බමුණෝම පැහැපත්ය. අන්‍ය කුලවල වුන් දුර්වර්ණ වුවන්ය. , බමුණෝම පිරිසිදු වුවන් වෙති. අන්‍යයෝ අපිරිසිදු ය. බමුණෝම මහා බ්‍රහ්මයාගේ ඖරස පුත්‍රයෝව මුඛයෙන් උපන්නාහුය. බ්‍රහ්මජයහ, බ්‍රහ්මයා නිමැවු හෙයින් බ්‍රහ්මනිර්මිතයහ, බ්‍රහ්ම දායාදයහ” , කියායි.

§ 6. “ භවත් ගෞතමයන් වහන්සේ කෙසේ කීවත්, බ්‍රාහ්මණයෝ මෙසේම සිතත්. ‘බ්‍රාහ්මණයෝම උතුම්ම කුලයේ වුවෝ වෙති, අන්‍යයෝ හීන කුලයන්හි උපන්නෝය. බ්‍රාහ්මණයෝම ශුද්ධ වංශ ඇත්තෝය, අන්‍යයෝ අශුද්ධ වංශ ඇත්තෝය. බ්‍රාහ්මණයෝම පැහැපත්ය. අන්‍ය කුලවල වුන් දුර්වර්ණ වුවන්ය. , බ්‍රාහ්මණයෝම පිරිසිදු වුවන් වෙති. අන්‍යයෝ අපිරිසිදු ය. බ්‍රාහ්මණයෝම මහා බ්‍රහ්මයාගේ ඖරස පුත්‍රයෝව මුඛයෙන් උපන්නාහුය. බ්‍රහ්මජයහ, බ්‍රහ්මයා නිමැවු හෙයින් බ්‍රහ්මනිර්මිතයහ, බ්‍රහ්ම දායාදයහ , කියායි.”

“අස්සලායණය, ඔබ යෝන නම් පසල් දනව්වක් සහ කාම්බෝජ නම් පසල් දනව්වක් ගැන අසා තිබේද? “
“එසේය භවත් ගෞතමයනි, මා ඒ ජනපද ගැන අසා ඇත.”

“අස්සලායණය, යොනක සහ කම්බුජ නම් පසල් දනව්වලද, අන්‍යවූ තවත් සමහර ප්‍රත්‍යන්ත දේශවලද , ස්වාමි සහ සේවක කියා, වර්ණ දෙකෙකි. සමහර මිනිසෙක් කලක් ස්වාමියෙක්ව සිට, ඉන් පසුව දුගීව ගොස් ඔහුද සේවකයෙකු වෙයි. සේවකයෙක්ව සිට සමහරෙක් පසුව ස්වාමියෙක් වෙයි. නුඹ ඒ බව දන්නේද?”

“එසේය ස්වාමීනි, එසේ මා විසින් අසන ලදී. යෝන සහ කම්බුජ නම් පසල්දනව්වල ස්වාමියයිද දාසයයිද වර්ණ දෙකකි, ස්වාමියෙක්ව සිට දාසයෙක් වෙයි යයිද , දාසයෙක්ව සිට ස්වාමියෙක්වේයයිද මා විසින් අසනලදී.”.

“අස්සලායණය, මෙසේ වෙනත් දේශවල වර්ණ (කුල) දෙකක් පමණක් තිබියදී කුමන හේතුවක්, කුමන කාරණයක් මත සිට බ්‍රාහ්මණයන් …
බ්‍රාහ්මණයන්ම ශ්‍රේෂ්ඨවර්ණයහ, අන්‍යයෝ හීනවර්ණයහ, බ්‍රාහ්මණයන්ම සුද්ධවන්තය. අන්‍යයෝ දුර්වර්ණය, බ්‍රාහ්මණයන්ම පිරිසිදු වුවෝ වෙත්. අන්‍යයෝ අපිරිසිදු වෙත්. බ්‍රාහ්මණයන්ම මහා බ්‍රහ්මයාගේ ඖරස පුත්‍රව මුවින් උපන්නාහු බ්‍රහ්මජය. මහ බඹා මැවූ හෙයින් බ්‍රහ්ම නිර්මිතයහ. බ්‍රහ්මදායාදයහ’ කියා කියන්නේද ?.

§ 7. “භවත් ගෞතමයන් වහන්සේ කෙසේ කීවත්, බ්‍රාහ්මණයෝ මෙසේම සිතත්.
බ්‍රාහ්මණයන්ම ශ්‍රේෂ්ඨවර්ණයහ, අන්‍යයෝ හීනවර්ණයහ, බ්‍රාහ්මණයන්ම සුද්ධවන්තය. අන්‍යයෝ දුර්වර්ණය, බ්‍රාහ්මණයන්ම පිරිසිදු වුවෝ වෙත්. අන්‍යයෝ අපිරිසිදු වෙත්. බ්‍රාහ්මණයන්ම මහා බ්‍රහ්මයාගේ ඖරස පුත්‍රව මුවින් උපන්නාහු බ්‍රහ්මජය. මහ බඹා මැවූ හෙයින් බ්‍රහ්ම නිර්මිතයහ. බ්‍රහ්මදායාදයහ’, කියායි.”

“අස්සලායණය, නුඹ මේ ගැන කුමක් සිතන්නෙහිද?
“යම් ක්ෂත්‍රිය වංශිකයෙක් සතුන් මරන්නේ නම්, සොරකම් කරන්නේ නම්, කාමයන්හි වරදවා හැසිරෙන්නේ නම්, බොරු කියන්නේ නම්, කේලාම් කියන්නේ නම්, රළු වචන කියන්නේ නම්, හිස් වචන කියන්නේ නම්, විෂම ලෝභ ඇත්තේ නම්, ව්‍යාපාදයෙන් යුත් සිත් ඇත්තේ නම්, වැරදි දැකීම් ඇත්තේ නම්, එවන් ක්ෂත්රියයෙක් ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැපයෙන් තොරවූ, නරක නපුරු විපාකම ඇති විනිපාත නම්වූ නිරයෙහි උපදින්නේද. නොවන්නේද?
“බ්‍රාහ්මණ කුලයේ කෙනෙක් සතුන් මරන්නේනම්……..
“වෛශ්‍ය කුලයේ කෙනෙක් ………..”
“ශුද්‍ර කුලයේ කෙනෙක් සතුන් මරන්නේ නම්, සොරකම් කරන්නේ නම්, කාමයන්හි වරදවා හැසිරෙන්නේ නම්, බොරුකියන්නේ නම්, කේලාම් කියන්නේ නම්, රළු වචන කියන්නේ නම්, හිස් වචන කියන්නේ නම්, විෂම ලෝභ ඇත්තේ නම්, ව්‍යාපාදයෙන් යුත් සිත් ඇත්තේ නම්, වැරදි දැකීම් ඇත්තේ නම්, එවන් ක්ෂත්රියයෙක් ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැපයෙන් තොරවූ, නරක නපුරු විපාකම ඇති විනිපාත නම්වූ නිරයෙහි උපදින්නේද. නොවන්නේද?

“භවත් ගෞතමයන් වහන්ස, මෙය එසේම වන්නේමය.
භවත් ගෞතමයන් වහන්ස, ක්ෂත්‍රියයා වුවත්, බ්රාහ්මනයා වුවත්, වෛශ්‍යයා වුවත්, ශුද්‍රයා වුවත්, ඒ කවර කෙනෙකුවුවත් සතුන් මරන්නේ නම්, සොරකම් කරන්නේ නම්, කාමයන්හි වරදවා හැසිරෙන්නේ නම්, බොරුකියන්නේ නම්, කේලාම් කියන්නේ නම්, රළු වචන කියන්නේ නම්, හිස් වචන කියන්නේ නම්, විෂම ලෝභ ඇත්තේ නම්, ව්‍යාපාදයෙන් යුත් සිත් ඇත්තේ නම්, වැරදි දැකීම් ඇත්තේ නම්, එවන් ක්ෂත්රියයෙක් ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැපයෙන් තොරවූ, නරක නපුරු විපාකම ඇති විනිපාත නම්වූ නිරයෙහි උපදින්නේය.”

“ එසේ නම් අස්සලායණය, කුමන හේතුවක්, කුමන කාරණයක් මත සිට බ්‍රාහ්මණයන්, “බ්‍රාහ්මණයන්ම ශ්‍රේෂ්ඨ වර්ණයහ, අන්‍යයෝ හීන වර්ණයහ, බ්‍රාහ්මණයන්ම සුද්ධවන්තය. අන්‍යයෝ දුර්වර්ණය, බ්‍රාහ්මණයන්ම පිරිසිදු වුවෝ වෙත්. අන්‍යයෝ අපිරිසිදු වෙත්. බ්‍රාහ්මණයන්ම මහා බ්‍රහ්මයාගේ ඖරස පුත්‍රව මුවින් උපන්නාහු බ්‍රහ්මජය. මහ බඹා මැවූ හෙයින් බ්‍රහ්ම නිර්මිතයහ. බ්‍රහ්මදායාදයහ’ කියා කියන්නේද ?.

§ 8 . “භවත් ගෞතමයන් වහන්සේ කෙසේ කීවත්, බ්‍රාහ්මණයෝ මෙසේම සිතත්. “බ්‍රාහ්මණයන්ම ශ්‍රේෂ්ඨවර්ණයහ, අන්‍යයෝ හීනවර්ණයහ, බ්‍රාහ්මණයන්ම සුද්ධවන්තය. අන්‍යයෝ දුර්වර්ණය, බ්‍රාහ්මණයන්ම පිරිසිදු වුවෝ වෙත්. අන්‍යයෝ අපිරිසිදු වෙත්. බ්‍රාහ්මණයන්ම මහා බ්‍රහ්මයාගේ ඖරස පුත්‍රව මුවින් උපන්නාහු බ්‍රහ්මජය. මහ බඹා මැවූ හෙයින් බ්‍රහ්ම නිර්මිතයහ. බ්‍රහ්මදායාදයහ’, කියායි.”

“අස්සලායණය, මේ ගැන නුඹ කිමැයි සිතන්නෙහිද?

“යම් බ්‍රාහ්මණයෙක්, පර පණ නැසීමෙන් වැළකී, සොරකමින් වැළකී, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකී, මුසාවාදයෙන් වැළකී, කේලාම් කීමෙන් වැළකී, රළු වචන කීමෙන් වැළකී, හිස් වචන කීමෙන් වැළකී, විෂම ලෝභය නැති කර, අව්‍යාපාද සිත් ඇතිව, අසතුට අසහනය නැති කොට, හරි දැකීම් ඇත්තේ නම් , ඔහුගේ ශරීරයාගේ බිඳීමෙන්, ඔහුගේ මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ගලෝකයෙහි ඔහු උපදින්නේද? නොවේද?”
“භවත් ගෞතමයන් වහන්ස, පර පණ නැසීමෙන් වැළකී, සොරකම් …..“භවත් ගෞතමයන් වහන්ස මෙය වන්නේමය. “
“යම් ක්ෂත්රියයෙක්….
“යම් වෛශ්යයෙක් …
“යම් ශුද්‍රයෙක් පර පණ නැසීමෙන් වැළකී, සොරකමින් වැළකී, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකී, මුසාවාදයෙන් වැළකී, කේලාම් කීමෙන් වැළකී, රළු වචන කීමෙන් වැළකී, හිස් වචන කීමෙන් වැළකී, විෂම ලෝභය නැති කර, අව්‍යාපාද සිත් ඇතිව, අසතුට අසහනය නැති කොට, හරි දැකීම් ඇත්තේ නම් , ඔහුගේ ශරීරයාගේ බිඳීමෙන්, ඔහුගේ මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ගලෝකයෙහි ඔහු උපදින්නේද? නොවේද?

“භවත් ගෞතමයන් වහන්ස මෙය වන්නේමය. බ්‍රාහ්මණ, ක්ෂත්‍රිය, වෛශ්‍ය , ශුද්‍ර යන කුල සතරෙන් ඕනෑම එකෙකු මෙසේ පර පණ නැසීමෙන් වැළකී, සොරකමින් වැළකී, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකී, මුසාවාදයෙන් වැළකී, කේලාම් කීමෙන් වැළකී, රළු වචන කීමෙන් වැළකී, හිස් වචන කීමෙන් වැළකී, විෂම ලෝභය දුරු කොට…. ඉදී නම් මරණයෙන් මතු , ශරීරයාගේ බිඳීමෙන්, මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ග ලෝකයෙහි උපදින්නේය.” යි අස්සලායන කීය.

“ එසේ නම් අස්සලායණය, කුමන හේතුවක්, කුමන කාරණයක් මත සිට බ්‍රාහ්මණයන්,
“බ්‍රාහ්මණයන්ම ශ්‍රේෂ්ඨ වර්ණයහ, අන්‍යයෝ හීන වර්ණයහ, බ්‍රාහ්මණයන්ම සුද්ධවන්තය. අන්‍යයෝ දුර්වර්ණය, බ්‍රාහ්මණයන්ම පිරිසිදු වුවෝ වෙත්. අන්‍යයෝ අපිරිසිදු වෙත්. බ්‍රාහ්මණයන්ම මහා බ්‍රහ්මයාගේ ඖරස පුත්‍රව මුවින් උපන්නාහු බ්‍රහ්මජය. මහ බඹා මැවූ හෙයින් බ්‍රහ්ම නිර්මිතයහ. බ්‍රහ්මදායාදයහ’ කියා කියන්නේද ?.

§ 9 . “භවත් ගෞතමයන් වහන්සේ කෙසේ කීවත්, බ්‍රාහ්මණයෝ මෙසේම සිතත්. “බ්‍රාහ්මණයන්ම ශ්‍රේෂ්ඨවර්ණයහ, අන්‍යයෝ හීනවර්ණයහ, බ්‍රාහ්මණයන්ම සුද්ධවන්තය. අන්‍යයෝ දුර්වර්ණය, බ්‍රාහ්මණයන්ම පිරිසිදු වුවෝ වෙත්. අන්‍යයෝ අපිරිසිදු වෙත්. බ්‍රාහ්මණයන්ම මහා බ්‍රහ්මයාගේ ඖරස පුත්‍රව මුවින් උපන්නාහු බ්‍රහ්මජය. මහ බඹා මැවූ හෙයින් බ්‍රහ්ම නිර්මිතයහ. බ්‍රහ්මදායාදයහ’, කියායි.”

“භවත් ගෞතමයන් වහන්ස, මෙය වන්නේමය. භවත් ගෞතමයන් වහන්ස, බ්‍රාහ්මණයා සේම, ක්ෂත්‍රියාත්, වෛශ්‍යයාත්, ශුද්රයාත් ප්‍රදේශයේ වසනා සියලු සත්ව ප්‍රජාව කෙරෙහි මෛත්‍රී සහගත සිතින් මෛත්‍රිය වඩමින් අවෛරව අව්‍යාපාදව මෙත් සිත් වැඩීමට සමර්ථ වන්නේය. භවත් ගෞතමයන් වහන්ස, සියලු චතුර් වර්ණයෝම මේ ප්‍රදෙශයෙහි අවෛරව අව්‍යාපාදව මෙත්සිත් වැඩීමට සමර්ථ වෙති”

“එසේ නම් අස්සලායණය, කුමන හේතුවක්, කුමන කාරණයක් මත සිට බ්‍රාහ්මණයන්,
බ්‍රාහ්මණයන්ම ශ්‍රේෂ්ඨ වර්ණයහ (උතුම්ම කුලයේය.) , අන්‍යයෝ හීන වර්ණයහ (පහත් කුලයේය.) , බ්‍රාහ්මණයන්ම සුද්ධවන්තය. අන්‍යයෝ දුර්වර්ණය, බ්‍රාහ්මණයන්ම පිරිසිදුය. අන්‍යයෝ අපිරිසිදුය. බ්‍රාහ්මණයන්ම මහා බ්‍රහ්මයාගේ ඖරස පුත්‍රව මුවින් උපන්නාහු බ්‍රහ්මජය. මහ බඹා මැවූ හෙයින් බ්‍රහ්ම නිර්මිතයහ. බ්‍රහ්මදායාදයහ’ කියා කියන්නේද ?.

§ 10. “භවත් ගෞතමයන් වහන්සේ කෙසේ කීවත්, බ්‍රාහ්මණයෝ මෙසේම සිතත්. “බ්‍රාහ්මණයන්ම ශ්‍රේෂ්ඨවර්ණයහ, අන්‍යයෝ හීනවර්ණයහ, බ්‍රාහ්මණයන්ම සුද්ධවන්තය. අන්‍යයෝ දුර්වර්ණය, බ්‍රාහ්මණයන්ම පිරිසිදු වුවෝ වෙත්. අන්‍යයෝ අපිරිසිදු වෙත්. බ්‍රාහ්මණයන්ම මහා බ්‍රහ්මයාගේ ඖරස පුත්‍රව මුවින් උපන්නාහු බ්‍රහ්මජය. මහ බඹා මැවූ හෙයින් බ්‍රහ්ම නිර්මිතයහ. බ්‍රහ්මදායාදයහ’, කියායි.” .

“අස්සලායණය, මේ ගැන නුඹ කිමැයි සිතන්නෙහිද?”
බ්‍රහ්මනයෙක්ම පමණක් ගඟට බැස දිය නා සබන් ඇග උලා, සිය ගතෙහි කුණු සෝදා පවිත්‍ර වන්නට සමත් වේද? ක්ෂත්‍රියෙක්, වෛශ්‍යයෙක්, ශුද්‍රයෙක්, සබන් ගා දිය නා පිරිසිදු වන්නට සමර්ථ නොවේද?”

” භවත් ගෞතමයන් වහන්ස, මෙය වන්නේමය.
භවත් ගෞතමයන් වහන්ස, බ්‍රාහ්මණයාසේම, ක්ෂත්‍රියාත්, වෛශ්‍යයාත්, සුද්‍රයාත් ගගට බැස සබන් උලා නෑමෙන් පිරිසිදු වන්නේය. භවත් ගෞතමයන් වහන්ස, සතර කුලයේ මිනිසුන්ම, ඇඟ උලන සබන් ගෙන ගඟට ගොස් නා, සම බැඳුන කුණු තට්ටු සෝදා හරින්ට සමර්ථ වෙති.”

“එසේ නම් අස්සලායණය, කුමන හේතුවක්, කුමන කාරණයක් මත සිට බ්‍රාහ්මණයන්,
බ්‍රාහ්මණයන්ම ශ්‍රේෂ්ඨ වර්ණයහ, අන්‍යයෝ හීන වර්ණයහ, බ්‍රාහ්මණයන්ම සුද්ධවන්තය. අන්‍යයෝ දුර්වර්ණය, බ්‍රාහ්මණයන්ම පිරිසිදු වුවෝ වෙත්. අන්‍යයෝ අපිරිසිදු වෙත්. බ්‍රාහ්මණයන්ම මහා බ්‍රහ්මයාගේ ඖරස පුත්‍රව මුවින් උපන්නාහු බ්‍රහ්මජය. මහ බඹා මැවූ හෙයින් බ්‍රහ්ම නිර්මිතයහ. බ්‍රහ්මදායාදයහ’ කියා කියන්නේද ?

§ 11 . “භවත් ගෞතමයන් වහන්සේ කෙසේ කීවත්, බ්‍රාහ්මණයෝ මෙසේම සිතත්. “බ්‍රාහ්මණයන්ම ශ්‍රේෂ්ඨ වර්ණයහ, අන්‍යයෝ හීන වර්ණයහ, බ්‍රාහ්මණයන්ම සුද්ධවන්තය. අන්‍යයෝ දුර්වර්ණය, බ්‍රාහ්මණයන්ම පිරිසිදු වුවෝ වෙත්. අන්‍යයෝ අපිරිසිදු වෙත්. බ්‍රාහ්මණයන්ම මහා බ්‍රහ්මයාගේ ඖරස පුත්‍රව මුවින් උපන්නාහු බ්‍රහ්මජය. මහ බඹා මැවූ හෙයින් බ්‍රහ්ම නිර්මිතයහ. බ්‍රහ්මදායාදයහ’, කියායි.”

“අස්සලායණය, මේ ගැන නුඹ කිමැයි සිතන්නෙහිද?”
“යම් ක්ෂත්‍රිය රජෙක් නොයෙක් ජාති කුල ඇති පුරුසයන් සියයක් රැස් කරන්නේය.
“පින්වත්හු එත්වා, ක්ෂත්‍රිය කුලයෙන්, බ්‍රාහ්මණ කුලයෙන්, ප්‍රදෙශරාජ කුලයෙන්, උපන්නාවූ යමෙක් වේනම් ඔහු සල් රුකක හෝ හොර රුකක හෝ සඳුන් රුකක හෝ පදුම රුකක හෝ වියලි දැව දණ්ඩක්, අවුලන දණ්ඩක උලා ගින්නක් උපදවත්වා. “

“සැඩොල් කුලයෙන්, වැදිකුලයෙන්, වෙණ කුලයෙන්, රථකාර කුලයෙන්, පුක්කුස කුලයෙන්, උපන්නාවූ මිනිසෙක් බල්ලන් දිය බොන ඔරුවක හෝ ඌරන් දිය බොන ඔරුවක හෝ රෙදි සෝදන ඔරුවක හෝ ඇති දැව දණ්ඩක් එරඬුලීයක හෝ ගෙන එය උඩගාන දණ්ඩක් හා උලා ගිනි උපදවත්වා, තෙජස පතුරුවත්වා.” යි අණ කරන්නේය.

“අස්සලායණය, එසේ ඒ පුරුෂයන් කාණ්ඩ දෙකින් පළමු කාණ්ඩයේ උතුම් කුලවල පුරුෂයන් උසස් දැව දල්වා කල ගින්න, අනික් භීන කුලවල පුරුෂයන් බාල ලී දවා දැල්වූ ගින්නට වඩා උසස් වේද, රශ්නයක් දේද?, ආලෝකයක් දේද?

“භවත් ගෞතමයන් වහන්ස, මෙය නොවන්නේය.
භවත් ගෞතමයන් වහන්ස, ක්ෂත්‍රිය කුලයෙන්, බමුණු කුලයෙන්, ප්‍රදේශරාජ කුලයෙන්, උපන්නාහු විසින් සල් රුකක හෝ හොර රුකක හෝ සඳුන් රුකක හෝ පදුම රුකක හෝ දණ්ඩක් උඩගාන දණ්ඩක උලා, නිපදවන ලද ගින්නේද, සැඩොල් කුලයෙන්, වැදි කුලයෙන්, වෙණ කුලයෙන්. රථකාර කුලයෙන්, පුක්කුස කුලයෙන්, උපන්නවුන් විසින බල්ලන් බොන ඔරුවක හෝ ඌරන් බොන ඔරුවක හෝ රෙදි සෝදන ඔරුවක හෝ එරඬු ලීයක හෝ ගෙන එය උඩගාන දණ්ඩක උලා, නිපදවනලද ගින්නේද වෙනසක් නොවේමය. ඒ දෙකින්ම රශ්නය හා ආලෝකය එක සේම ඇති වන්නේමය. භවත් ගෞතමයන් වහන්ස, සියලුම ගිනි ගිනිදැලින් යුක්තය, වර්ණවත්ය, ප්‍රභාශ්වරය, සියලුම ගින්නෙන් කළහැකි වැඩ සියල්ලක් කරන්නට හැකිය.”

“එසේ නම් අස්සලායණය, කුමන හේතුවක්, කුමන කාරණයක් මත සිට බ්‍රාහ්මණයන්, “බ්‍රාහ්මණයන්ම ශ්‍රේෂ්ඨ වර්ණයහ, අන්‍යයෝ හීන වර්ණයහ, බ්‍රාහ්මණයන්ම සුද්ධවන්තය. අන්‍යයෝ දුර්වර්ණය, බ්‍රාහ්මණයන්ම පිරිසිදු වුවෝ වෙත්. අන්‍යයෝ අපිරිසිදු වෙත්. බ්‍රාහ්මණයන්ම මහා බ්‍රහ්මයාගේ ඖරස පුත්‍රව මුවින් උපන්නාහු බ්‍රහ්මජය. මහ බඹා මැවූ හෙයින් බ්‍රහ්ම නිර්මිතයහ. බ්‍රහ්මදායාදයහ’ කියා කියන්නේද ?

§ 12 . “භවත් ගෞතමයන් වහන්සේ කෙසේ කීවත්, බ්‍රාහ්මණයෝ මෙසේම සිතත්. “බ්‍රාහ්මණයන්ම ශ්‍රේෂ්ඨවර්ණයහ, අන්‍යයෝ හීනවර්ණයහ, බ්‍රාහ්මණයන්ම සුද්ධවන්තය. අන්‍යයෝ දුර්වර්ණය, බ්‍රාහ්මණයන්ම පිරිසිදු වුවෝ වෙත්. අන්‍යයෝ අපිරිසිදු වෙත්. බ්‍රාහ්මණයන්ම මහා බ්‍රහ්මයාගේ ඖරස පුත්‍රව මුවින් උපන්නාහු බ්‍රහ්මජය. මහ බඹා මැවූ හෙයින් බ්‍රහ්ම නිර්මිතයහ. බ්‍රහ්මදායාදයහ’, කියායි.”

“අස්සලායනය! මේ ගැන නුඹ කුමක් කියන්නෙහිද? “
“යම් ක්ෂත්‍රිය කුමරෙක් බ්‍රාහ්මණ කන්‍යාවක් සමග වෙසෙන්නේය. ඔවුන් දෙදෙන සහ වාසයට පැමිණ පුත්‍රයෙක් උපදින්නේය. ක්ෂත්‍රිය කුමාරයා නිසා බමුණු කන්‍යාවට උපන් ඒ දරුවා මවටද සමානය, පියාටද සමානය, ඔහුට ක්ෂත්‍රියයායි කිය යුතුද, බ්‍රාහ්මණයායයි කිය යුතුද?”

“භවත් ගෞතමයන් වහන්ස, ක්ෂත්‍රිය කුමරා නිසා බමුණු කන්‍යාවගේ කුස උපන්නේ වේද, ඔහුට . ක්ෂත්‍රියයායිද කිය හැකිය. බ්‍රාහ්මණයායිද කිය හැකිය.”

“අස්සලායණය, මේ ගැන නුඹ කුමක් කියන්නෙහිද? “
යම් බ්‍රාහ්මණ කුමාරයෙක්, ක්ෂත්‍රිය කන්‍යාවක් සමග වෙසෙන්නේය. ඔවුන් දෙදෙනාගේ සහවාසයට පැමිණීමෙන් පුත්‍රයෙක් උපදින්නේය. බමුණු කුමරුවා නිසා ක්ෂත්‍රිය කන්‍යාවට උපන් ඒ පුත්‍රයා මවටද සමානය, පියාටද සමානය. ඔහුට ක්ෂත්‍රියය’යි කියයුතුද, බ්‍රාහ්මණය’යි කිය යුතුද?”

“භවත් ගෞතමයන් වහන්ස, බමුණු කුමරා නිසා ක්ෂත්‍රියා කන්‍යාවගේ කුස උපන් ඒ පුත්‍රයාට, ක්ෂත්‍රියයයිද කිය හැකිය.. බ්‍රාහ්මණයයිද කිය හැකිය .”

§ 14. “අස්සලායණය, මේ ගැන නුඹ කිමැයි සිතන්නෙහිද?”
” යම් විටෙක අශ්ව වෙළඹක් බූරුවෙකු සමග එක්වීමෙන් පැටියෙක් උපදින්නේය. ඒ පැටියා කොටළුවා නිසා වෙළඹට උපන්නද ඌ මවටද සමානය, පියාටද සමානය, ඒ පැටියාට අශ්වයයි කියයුතුද, කොටලුවා යයි කියයුතුද?”

“භවත් ගෞතමයන් වහන්ස, එසේ කිව නොහැක. ඔහුට අශ්වයාගේ ලක්ෂණද නැත. කොටලුවකුගේ ලක්ෂණද නැත. අශ්ව වෙළඹ ගෙන් බුරු පියෙක් නිසා උපන් ඔහු පෝනියා නොහොත් කොටළුවෙකැයි මිනිසුන් දන්නේය..”

§ 15 . “අස්සලායණය, මේ ගැන නුඹ කුමක් කියන්නෙහිද? “

“එක බ්‍රාහ්මණ පවුලක උපන් සහෝදරයෝ දෙදෙනෙක් වේයයි සිතන්න. එකෙක් හොඳින් , ඕනෑකමින් වේද ශාස්ත්‍ර, වේද මන්ත්‍ර හදාරන ලද්දේය. අනෙකා අලසව ඉන්නේ වේද මන්ත්‍ර නොහදාරන්නෙය. ඔවුන් දෙදෙනාම යම් බ්‍රාහ්මණ මල ගෙයක, මතක බත පිණිස ආරාධනා ලබා යා නම් හෝ යම් දානයකට ආරාධනා ලැබ යානම් මේ සහෝදරයන්ගෙන් කවරෙකුට පළමුව දානය පිලිගන්නවන්නේද? කවරකු පළමුව වළඳ වන්නාහුද?”

“භවත් ගෞතමයන් වහන්ස, ඒ බඳු දානයකදී අපි මන්ත්‍ර උගත් බ්රාහ්මනයාම පළමුව වළඳවමු. ඔහුටම ගරු කරමු. මන්ත්‍ර වේද නුගත් බමුණාට දෙන දානයෙන් කෙසේ උසස් ඵලයක් ලබන්නද?”

§ 16 . “අස්සලායණය, මේ ගැන නුඹ කුමක් කියන්නෙහිද?”
“තවත් එබඳුම බ්‍රාහ්මණ පවුලක උපන් සහෝදරයෝ දෙදෙනෙක් වේයයි සිතන්න. ඉන් එකෙක් හොඳින් , ඕනෑකමින් වේද මන්ත්‍ර හදාරන ලද්දේය. එනමුත් ඔහු දුසිල්වත්ය. පාපී ක්‍රියාම කරන්නේය. අනෙක් බ්‍රාහ්මණ සහෝදරයා වේද මන්ත්‍ර නුගත්තේය. නොදන්නේය. එනමුත් ඔහු සිල්වත්ය. පවෙන් වැළකී සිටින්නේය.

ඔවුන් දෙදෙනාම යම් බ්‍රාහ්මණ මල ගෙයක මතක බත පිණිස ආරාධනා ලබා යා නම්, හෝ දානයකට ආරාධනා ලැබ යානම් මේ සහෝදරයාගෙන් කවරෙකුට පළමුව දානය පිලිගන්නවන්නේද? කවරකු පළමුව වළඳ වන්නාහුද?”

“භවත් ගෞතමයන් වහන්ස, ඒ අවස්ථාවේ බ්රාහ්මනාවූ අපි වේදය නොදත් නමුත්, සිල්වත්ව , පවින් වැළකී ඉන්නා බ්‍රාහ්මණයා පළමුව වළඳවමු. ඔහුටම ගරු කරමු. මන්ත්‍ර වේද උගත් වුවත් පාප ක්‍රියා කරන බමුණාට දෙන දානයෙන් කෙසේ උසස් ඵලයක් ලබන්නද?”

§ 17. “අස්සලායණය, නුඹ කලින් ජාතිය කුලය උතුම් යයි කීවේය. දෙවනුව වේද මන්ත ඉගෙනුම උතුම් යැයි කීවේය. දැන් නුඹ ශිලවන්තවීම ඒ දෙකටම වඩා උතුම් යයි, කියා මගේ දේසනාවම එනම් කුලය ට වඩා හැසිරීමම වැදගත්ය ” යන ඕනෑම කුලයක කෙනෙකුට පිරිසිදු වීමට හැකිය කියාම පැනවූ ” චාතුර් වර්ණ ශුද්ධිය ට ආවේහිය”

මෙසේ කී කල අස්සලායණ තරුණයා නිශ්ශබ්දවූයේ ලජ්ජාවූයේ, හිස නමා ගෙන, මුහුණ යටිකුරු කරගෙන, , සුසුම්ලමින්, මුලාව හිඳ හුන්නේය.

§ 18.. එවිට භාග්‍යවතුන් වහන්සේ ඔහුට මෙසේ වදාළ සේක.

“අස්සලායණය, ඈත අතීතයේ වූ දෙයක් කියමි. අසව.

ඉතා ඈත කාලයක මහ වනයේ අතු සේවෙලිකල කුටිවල බ්‍රාහ්මණ සෘෂිවරු සත් දෙනෙක් විසුහ. ඔවුනට මේ අදහස ඇති විය. “බ්‍රාහ්මණයන්ම ශ්‍රේෂ්ඨවර්ණයහ, අන්‍යයෝ හීනවර්ණයහ, බ්‍රාහ්මණයන්ම සුද්ධවන්තය. අන්‍යයෝ දුර්වර්ණය, බ්‍රාහ්මණයන්ම පිරිසිදු වුවෝ වෙත්. අන්‍යයෝ අපිරිසිදු වෙත්. බ්‍රාහ්මණයන්ම මහා බ්‍රහ්මයාගේ ඖරස පුත්‍රව මුවින් උපන්නාහු බ්‍රහ්මජය. මහ බඹා මැවූ හෙයින් බ්‍රහ්ම නිර්මිතයහ. බ්‍රහ්මදායාදයහ’, කියායි.”

ඔවුන් ගේ මේ ලාමක දෘෂ්ටිය උපන්නේයයි අසිත දේවල ඍෂිහු874 ඇසීය.”

[874: දේවල සෘෂි තුමා භාග්‍යවතුන් වහන්සේගේ පෙර භවයක අඩු කුලයක ඉපදී බ්‍රහ්මනයනට වඩා වැඩි ස්රිද්ධි බල ලැබූ ස්රුශිවරයෙකු බවත්, මේ පෙර සිදුවීම දක්වන්නේ “එදා මම අඩුකුලයක ඉපිද ඇසු ප්‍රශනයට පිළිතුර දෙන්නට අසමත්වූ බ්‍රාහ්මණයන් අද සම්බුද්ධත්වය ලැබූ මා අසන ප්‍රශන වලට කෙසේ පිළිතුරු දෙන්නේදැ”යි හැඟවීමට බව අටුවාව කියයි.]

“අස්සලායණය, එවිට අසිත දේවල ඍෂිතුමා, කෙස් රැවුල් කපා මදටිය පාට ඇති වස්ත්‍ර ඇඳ පොරවා පොටවල් බොහෝ ඇති වහන් පයලා රන්මුවා දණ්ඩක් ගෙන සත්බමුණු ඉසිවරුන්ගේ පන්සල් මිදුලෙහි පහල විය. අස්සලායණය, අසිත දේවල ඍෂි තුමා එසේ පහල වී , සත්බමුණු ඉසිවරුන්ගේ පන්සල් මිදුලෙහි සක්මන් කරමින් මෙසේ කීය. ‘මේ භවත් බමුණු ඍෂිහු කොහි ගියාහුද? මේ භවත් බමුණු ඍෂිහු කොහි ගියාහුද?”

“අස්සලායණය, එකල්හි සත්බමුණු ඍෂීන්ට මෙබඳු සිතක් විය. ‘කුමක් හෙයින් මොහු ගම්දරුවෙකු මෙන් සත්බමුණු ඍෂිවරුන්ගේ පන්සල් මිදුලෙහි සක්මන් කරමින් මෙසේ කියයිද? එබැවින් ඔහුට සාප කරමු.’යි කියායි.

“අස්සලායණය, එකල්හි සත්බමුණු ඍෂීහු අසිත දේවල ඍෂියාට සාපකළහ. ‘වසළය, තා අලුවේවා!” යි. කියා ශාප කළහ. ‘අස්සලායණය, එසේ සත්බමුණු ඍෂීහු අසිත දේවල ඍෂියාට සාපකළාහුද, ඒ ඒ අයුරින්ම අසිත දේවල ඍෂිහු ගේ රූපය තවත් විශිෂ්ඨ වෙයි, දැකීමට ප්‍රිය වෙයි, ප්‍රසාදයද උපදවයි.

“අස්සලායණය, එකල සත්බමුණු ඍෂීන් මෙසේ සිතුහ.
‘ඒකාන්තයෙන් අපගේ තපස හිස්ය. බ්‍රහ්මචර්ය නිෂ්ඵලය, පෙර අපි යමෙකුට ‘වසළය අලුවේවයි’ ශාප කෙළෙම්ද? ඒ ඕනෑම කෙනෙක් හලු වෙයි. මොහුට වනාහි කොතෙකින් ශාප කෙළෙමුද, ඒ ඒ පරිද්දෙන්ම විශිෂ්ඨ රූප ඇත්තේ වෙයි දැකීමට ප්‍රිය වෙයි. ප්‍රසාදය උපදවයි. “යි සිතුහ.

එවිට අසිත දේවල ඍෂිතුමා ඔවුනට මෙසේ කීය.
“භවතුන්ගේ තපස හිස් නොවේ. බ්‍රහ්මචර්යාය නිෂ්ඵල නොවේ. එබැවින් පින්වත්හු මා කෙරෙහි දූෂ්‍යවූ සිතක් වේ නම් එය දුරුකරව්. “යි කීය.
” පින්වත, අපේ දූෂ්‍යවූ සිත් අපි දුරුකරමු.’
‘පින්වත් ඔබතුමා කවරෙක් ද?”, යි සත් බ්‍රාහ්මණ සෘෂින් ඇසුහ.

” පින්වතුනි, තොප විසින් අසිත දේවල ඍෂි ගැන අසා ඇත්ද?.
‘පින්වත, එසේය. අපි ඒ අසිත දේවල ඍෂිතුමා ගැන අසා ඇත්තෙමු”යි කීහ.

“පින්වත්නි , ඒ අසිත දේවල ඍෂි නම් මම වෙමියි’ අසිත දේවල ඍෂි කීය.
අස්සලායණය එකල්හි සප්ත බ්‍රාහ්මණ ඍෂීහු අසිත දේවල ඍෂියාට වන්දනා කොට බුහුමන් කරන්නට වුහ.

“එකල අස්සලායණය, අසිත දේවල ඍෂිතුමා සත්බමුණ ඉසිවරුන්ට මෙසේ කීයේය.
‘පින්වත, මවිසින් මෙසේ අසන ලදී. මේ වන අරණ්‍යයෙහි කුටින්හි වසන්නාවූ සත්බමුණු ඍෂීන්ට මෙබඳු ලාමක දෘෂ්ටියක් උපන්නේය.
“බ්‍රාහ්මණයන්ම ශ්‍රේෂ්ඨවර්ණයහ, අන්‍යයෝ හීනවර්ණයහ, බ්‍රාහ්මණයන්ම සුද්ධවන්තය. අන්‍යයෝ දුර්වර්ණය, බ්‍රාහ්මණයන්ම පිරිසිදු වුවෝ වෙත්. අන්‍යයෝ අපිරිසිදු වෙත්. බ්‍රාහ්මණයන්ම මහා බ්‍රහ්මයාගේ ඖරස පුත්‍රව මුවින් උපන්නාහු බ්‍රහ්මජය. මහ බඹා මැවූ හෙයින් බ්‍රහ්ම නිර්මිතයහ. බ්‍රහ්මදායාදයහ’, කියායි.”
“එසේය පින්වත, අපට ඒ අදහස ඇතිවිය”යි කීහ.

“පින්වත්නි, තොපගේ මව තවත් බ්‍රාහ්මණ පුරුෂයකු හා සහවාසය කිරීමෙන් තොප උපන්නේය, තොපගේ පියා අන් කුලයක අයකු නොවේයයි තොප සහසුද්ධයෙන්ම දන්නේදැයි අසිත දේවල ඍෂිතුමා ඇසීය.
“නැත උතුමාණනි, ඒ බව අපි නොදන්නෙමු”යි ඔවුන් පිළිතුරු දුන්හ.

“තොපේ මව් පරපුරේ සත් පරම්පරාවාට පෙර සිටම කිසි මවක් අන් කුලයක පුරුෂයෙකු හා සහ වාසය නොකලාය”යි තොප සහසුද්ධයෙන්ම දන්නේදැයි අසිත දේවල ඍෂිතුමා ඇසීය.
“නැත උතුමාණනි, ඒ බව අපි නොදන්නෙමු”යි පිළිතුරු දුන්හ.

පින්වත්නි, තොපගේ පියා තොපගේ බ්‍රාහ්මණ මව හා හා සහවාසය කිරීමෙන් තොප උපන්නේය, තොපගේ පියා අන් කුලයක ස්ත්‍රියක හා සහවාසයෙන් තොප නුපන්නේය” යයි තොප සහසුද්ධයෙන්ම දන්නේදැයි අසිත දේවල ඍෂි ඇසීය.
“නැත උතුමාණනි, ඒ බව අපි නොදන්නෙමු”යි පිළිතුරු දුන්හ

“තොපේ පිය පරපුරේ සත් පරම්පරාවාට පෙර සිටම කිසි පියෙක් අන් කුලයක ගැහැණියෙකු හා සහ වාසය නොකලාය”යි තොප සහසුද්ධයෙන්ම දන්නේදැයි ඇසීය.
“නැත උතුමාණනි, ඒ බව අපි නොදන්නෙමු”යි පිළිතුරු දුන්හ.

“පින්වතුනි, තොප මිනිස් මවකගේ කුසෙහි දරු පිළිසිඳගැනීම වේයයි දනිත්ද ?,
“පින්වත, දරු කුසෙහි පිළිසිඳගැනීම අපි දනිමු.

§ 19 “ සුදුසු සෘතුබ වෙහිදී මව හා පියාගේ එක්වීමෙන් හා ගන්ධබ්බයෙකුගේ ආගමනයෙන් යන කාරනා තුන සම්පුර්ණවීමෙන් දරු කුසෙහි පිළිසිඳගැනීම වෙයි.875

[875:- ගන්ධබ්භයෙකුගේ ආගමනයක් නොව ඒ ගන්ධබ්භ සංයෝජනය උත්පත්තිය පිණිස හේතුවන බව මහා තන්හා සන්ඛය සුත්‍රයේද මෙසේම සඳහන් වෙයි. මාපියන්ගේ සංසර්ග ක්‍රියාවෙන් පිටත සිට බලා ඉන්නෙක් නොව ඒ ක්‍රියාවේ කොටසක් ඉටුකරන පෙර කර්මයන්ගේ ඵලයක් ලෙස ඝන්ධබ්බ තේරුම් කර ඇත. වැඩිදුර කියවන්න..]

“ඉදින් පින්වත්හු ඒ එක්වුණු ගන්ධබ්භයා ක්ෂත්‍රියාය කියා හෝ බමුණාය කියා හෝ වෛශ්‍යයාය කියා හෝ ශුද්‍රයාය කියා හෝ තොප දන්නේද?”
“පින්වත, ඒ ගන්ධබ්භයා ක්ෂත්‍රියාය කියා හෝ බමුණාය කියා හෝ වෛශ්‍යයාය කියා හෝ ශුද්‍රයාය කියා හෝ අපි නොදනිමු.”

“පින්වත, එසේ නොදන්නේනම් , තෙපි බ්‍රහ්මනයාදැයි, ක්ෂත්‍රියයැයි, වෛශ්‍යයැයි, ශුද්‍රයා දැයි, තොප කවුරුදැයි තොපි දනිව්ද?”
“පින්වත, මෙසේ ඇති කල්හි අප කවුදැයි අපි නොදනිමු.”

“අස්සලායණය, ඒ සත්බමුණු ඍෂීහු අසිත දේවල ඍෂියා විසින් එසේ ප්‍රශ්න කරන ලද්දෙමුත්, ඔවුහු කුමන කුලයකදැයි ස්තිරවම පිළිතුරු දෙන්නට අසමත් වූ කල , නුඹ මා විසින් අසන ලද ප්‍රශ්නයට පිළිතුරු කෙලෙසක පිළිතුරු දෙන්නද?”

හුදෙක් තොපගේ ආචාර්යයන්ගේ මතය පාඩම් කරගෙන කියවන්නාවූ තොප පුන්න876 යන් තරම්වත් මේ කාරණය ගැන නොදන්නේය.

[876: පුන්න යනු කලින් කිවූ වනගතව විසු සත් සෘෂින්ට වනඵල නෙලා තම්බා හැන්දෙන් ගෙන කවන පොවන ආවතෙවකයා ලෙස සඳහන් වේ.]

§ 19 . භාග්‍යවතුන් වහන්සේ මෙසේ කීකල අස්සලායණ තරුණයා මෙසේ කීය.
“භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපත. භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපත, භවත් ගෞතමයන් වහන්ස, යම්සේ යටිකුරුකොට තබන ලද්ද උඩුකුරු කරන්නේ හෝ වේද, වසා තබන ලද්දක් වැසුම් හරින්නේ හෝ වේද, මංමුළාවූවෙකුට මග කියන්නේ හෝ වේද, අන්ධකාරයෙහි ඇස් ඇත්තෝ රූප දකිත්වායි තෙල් පහනක් දරන්නේ හෝ වේද, එපරිද්දෙන්ම භවත් ගෞතමයන් වහන්සේ නොයෙක් ආකාරයෙන් ධර්මය දේශනා කරන ලද්දේය.

“මම භවත් ගෞතමයන් වහන්සේද, ඒ ශ්‍රී සද්ධර්මයද, සංඝයාද සරණ කොට යමි. භවත් ගෞතමයන් වහන්සේ මා අද පටන් දිවිහිමියෙන් සරණගිය උපාසකයෙකු කොට සලකන සෙක්වා.”

පසු වදන:-
නජජ්ජා වසලෝ හොති නජජ්ජා හොති බ්‍රාහ්මණා ” යන කියමනේ ඒ ඒ කුලවල, ඒ ඒ ජාතිවල මිනිසුන් සිතන ආකාරය, ක්‍රියා කරන ආකාරය එක සමානයැයි නොකියැවේ. ජෛව වෛද්යාත්මික හා මනෝ වෛද්යාත්මික පරීක්ෂණවලින්, ජාන මගින් මේ හැසිරීම් හා චින්තන ක්‍රියා වලින් බොහොමයක් නිර්ණය වන බව හඳුනා ගෙන ඇත. දහස් වසරක් අමිශ්‍ර්ව පැවතුන එක් මනුෂ්‍ය කුලකයක ගති ලක්ෂණ එම කුලකයට හිමි අසාමාන්‍ය ඒවා බවත් අන්‍ය කුලකයක ඒ හා සමාන ජාන ලක්ෂණ විය නොහැකි බවත් පිළිගත හැක. ඒ ඒ කුලකවලින් ගත් නිදර්ශක වලින් මේ හැසිරීම් උසස්, පහත්, හීන, උතුම් ලෙස වර්ග කරන්නට හැක. STATISTICALLY සසඳා බලනවිට කුල වාදය සාධාරණ එකක් යයි බොහෝ දුරට ඔප්පු කල හැක.

READ ලංකාවේ කුල භේදය කවදා ඇතිවුවාදැයි කියන්නට දැඩි සාක්ෂි නැතත් ගොවි, කරා, දුරා, සලාගම , හුණු ආදී කුල ගණනාවක් පහත රට හා උඩරට සිය ගණනක් අවුරුදු ක්‍රියාත්මක විය. වත් පොහොසත් කම්, අධ්‍යාපනය ආදී දේ එක්ලෙස ලැබුවත් අප රට පාලනය කල බොහෝ නායකයන්ගේ හැසිරීම් හා ක්‍රියා අහසට පොලොව සේ වෙනස් බව ඔබ දකින්නට ඇත. මේ නායකයන් කුල අනුව කුලක ගතකර බැලුවහොත් දෙආකාර ගති ලක්ෂණ උසස් හා පහත් කුලවලින් මතුවූ නායකයන් කල කී දෑ තුලින් දැකිය හැක. දේශපාලකයන් ගත්තේ සැමෝම දන්නා ප්‍රසිද්ධ චරිත නිසාය.
මේ කුලවලට අයත් ඔබ දන්නා හඳුනන, මිනිසුන්ගේ ක්‍රියා හොඳින් අධ්‍යයනය කළහොත් කුල අනුව මේ බෙදීමේ යම් අර්ථයක් ඇති බව ඔබත් පිලිගන්නවා ඇත. බංගලා දේශයේ වසර ගණනක් සිටි මම එරටදී හමුවූ බ්‍රාහ්මණ කුලයේ මිනිසුන්ගේ උතුම් කල් ක්‍රියා දැක පුදුම වීමි. කෙතරම් දුප්පත් වුවත්, අනුන්ගේ දෙයක් නොගන්නා, කිසි විටෙක බොරුවක් නොකියනා, තමාගේ බත් පත ආගන්තුකයෙකු හා බෙදාගන්නා ඒ ගුණාංග අනෙක් කුලවල මිනිසුන් තුල මම නොදුටුවෙමි.

RD

CLICK ABOVE TO READ MORE ON GENETICAL INFLUENCE ON HUMAN BEHAVIOUR

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.