MN 02-05-01. බ්‍රහ්මායු සූත්‍රය

WARNING
බුද්ධ කාලින භාරත සමාජයේ කිඳාබැස තිබු ආගම බ්‍රාහ්මණ ආගමය. මහා බ්‍රහ්මයා ලෝකය මැවීය. මිනිසාගේ සියළු අවශ්‍යතා ඔහු ලබා දෙන්නේය. ඔහුගේ ඉගැන්වීම මිස අන් ඇදහීමක් විය නොහැක යැයි බ්‍රාහ්මණයන්ගේ ඉගැන්වීම සියල් සමස්ත භාරතයම පිලිගත්තෝය. ඔවුන් ගෙන ආ කුල වාදය සමාජ සම්මතය විය. මේ අතරට ආ සිද්ධාර්ථ ගෞතම නම් ශ්‍රමණයෙකු තමා බුදු වීයැ’යි ප්‍රකාශ කිරීම සමාජයේ දැඩි මත භේදයට කාරණයක් විය. භවත් ගෞතමයන් ගේ දර්ශනය, ඉගැන්වීම කෙසේ වෙතත්, ඔහුගේ ශාරීරික ලක්ෂණ වලින් ඔහු ශ්‍රේෂ්ඨයයි ඔප්පු කරන්නට, ශරීරයේ තිස් දෙකක් අසාමාන්‍ය ලක්ෂණ ගැන බ්‍රාහ්මණ වේදයේ ඇති කාරනා ගෙන භාග්‍යවතුන් වහන්සේ ට ඒ ලක්ෂණ තිබුණාය කීම , සමහර බෞද්ධයන් එදා කල බව විස්වාස කල හැක.

එනමුත් මේ ලක්ෂණ ප්‍රදර්ශනය කරමින් බුදුන් වහන්සේ සිය බුද්ධත්වය ඔප්පු කළායැයි කියා ලියා ඇති සුත්‍ර පසුකාලීනව, කල නිබන්ධන සේ සැලකීම වඩා සුදුසුය. විශේෂයෙන්ම සිය දිව එලියට ඇද එහි දිග දැක්වීමට දෙකන් දිව ගෑවා ය, රහස්‍යන්ගය කොපුවෙන් ඉවතට ගෙන මිනිසුන්ට පෙනෙන ලෙස සෘද්ධියක් පෑවේය වැනි කථා කිසිසේත් ඇදහිය නොහැක. මේ සුත්රයේත්, ලක්ඛණ සුත්රයේත්, සේල සුත්රයේත් දක්වා ඇති මේ කාරනා කිසිදු ආකාරයෙන් බුද්ධ භාෂිත ලෙස ගැනීම නොවටී. මේ සුත්‍රය කියවීමෙන්, ඇසීමෙන් ඔබ ලබන ධර්ම ඥානයක් නැත. හුදු මේ සුත්‍ර ගොන්න සම්පුර්න කිරීම පිණිස මෙය ඇතුලත් කලෙමි.

පුජ්‍ය මඩවල උපාලි ස්වාමින්වහන්සේ කල සුත්‍ර විවරණය

§ 1.මා විසින් මෙසේ අසනලදී.
එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ වෙදෙහ ජනපදයන්හි බොහෝ භික්ෂූන් සමග චාරිකාවෙහි හැසිරුනි..

§2. එකල්හි බොහෝ , මහලුවූ , ජීවිතයේ අන්තිම වයසට පැමිණි එනම් උත්පත්තියෙන් එක්සිය විසි අවුරුදුවූ, බ්‍රහ්මායුනම් බ්‍රාහ්මණයෙක් මිතිලා නුවර වාසය කළේය. ඔහු මනිඝණ්ඩු ක්‍රියා, කල්ප විකල්ප ශික්ෂා නිරුක්ති යන ප්‍රභෙදයන් ඇති ඉතිහාස පස්වැනි කොට ඇති තුන්වෙදයේ කෙළවරට ගියාවූ, බ්‍රාහ්මණ පණ්ඩිතයෙකි. පද හා ව්‍යාකරණ හදාරන්නාවූ ලොකායන ශාස්ත්‍රයේත් මහා පුරුෂ ලක්ෂන ශාස්ත්‍රයේත් අති දක්ෂවූ බ්‍රාහ්මණ ආචාර්යවර යෙකි.

§3. ශාක්‍ය කුලයෙන් නික්ම පැවිදිවූ, ශාක්‍ය පුත්‍රවූ, ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ පන්සියයක් පමණ මහත් භික්ෂු සංඝයා සමග වෙදෙහ ජනපදයන්හි චාරිකාවෙහි හැසිරෙන්නාහුයි, බ්‍රහ්මායු බ්‍රාහ්මණයාට මෙසේ අසන්නට ලැබිණි.

‘ඒ භාග්‍යවත් ගෞතමයන් වහන්සේ මේ මේ කාරණයෙන්ද අර්හත්හ, සම්‍යක් සම්බුද්ධයහ, විදර්ශනා ඥානය ආදී ඥාන අටෙන්ද’ සීල සංවරය ආදී චරණ ධර්ම පහළොවෙකින් යුක්තයහ. යහපත් ගති ඇත්තාහ, සියලු ලෝකයන් දන්නාහ, ශ්‍රේෂ්ඨයහ, හික්මවිය යුතු පුරුෂයන් දමනය කිරීමෙහි අති දක්ෂ වූහ. දෙවියනට හා මනුෂ්‍යයන්ට ගුරුවරයෙක්වූහ, බුද්ධයහ, භාග්‍යවත්හ, ඒ භාග්‍යවතුන් වහන්සේ දෙවියන් සහිතවූ මරුන් සහිතවූ බඹුන් සහිතවූ මහණ බමුණන් සහිතවූ රජුන් හා මිනිසුන් සහිතවූ සත්ව වර්ගයා ඇතුළු සියලු ලෝකය තමන් වහන්සේම මනාව පැහැදිලිකොට දැන ප්‍රකාශ කරණසේක. උන්වහන්සේ මුල මැද අග යන තුන් තන්හි යහපත්වූ, අර්ථ සහිතවූ, දස ආකාරයෙන් නියම විදියට මවන ශබ්දකිරීම ඇත්තාවූ, සම්පූර්ණවූ පිරිසිදුවූ ධර්මය ප්‍රකාශ කරණ උතුමෙකි.  එබඳුවූ රහතුන්ගේ දැකීමක් වේනම් ඒ යහපත් දැක්මක් මයි’ කියායි.

§ 4. “එකල්හි බ්‍රහ්මායු බ්‍රාහ්මණයා වෙත වේදය හදාරන බ්‍රාහ්මණ ශිෂ්‍යයන් බොහෝ දෙනෙක් වුහ. ඔවුන් අතර මේ විතණ්ඩ ශාස්ත්‍රයේත් මහා පුරුෂ ලක්ෂණ ශාස්ත්‍රයේත් දක්ෂවූ ‘උත්තර’නම් තරුණ ශිෂ්‍යයෙක් වීය. භාග්‍යවතුන් වහන්සේ වේදේහ ජනපද සංචාරයේ එන බව ඇසු බ්‍රහ්මායු බ්‍රාහ්මණතුමා එම උත්තර තරුණයා අමතා මෙසේ කීහ.

“දරුව උත්තර, ශාක්‍යපුත්‍රවූ ශාක්‍ය කුලයෙන් නික්ම පැවිදිවූ ශ්‍රමණ භවත් ගෞතමයන්, මහා භික්ෂු සමූහයක් සමග වේදෙහ ජනපදයන්හි චාරිකාවෙහි හැසිරෙත්ල. ඒ භාග්‍යවතුන් වහන්සේ පිලිබඳ මෙබඳුවූ යහපත් කීර්ති රාවයක් පැතිර ඇත්තේය. එබඳුවූ රහතුන්ගේ දර්ශනය පවා යහපත්මැ”යි කියායි.

“දරුව, උත්තර! යව, නුඹ ශ්‍රමණ ගෞතමයන් ඉන්නා තැන සොයා එහි යව. ගොස් ඉදින් ඒ භවත් ගෞතමයන් ගැන මෙසේ පතලාවූ ගුණ ඇත්තෙන්ම ඔහු කෙරෙහි වෙත්ද? එසේ නොවෙත්ද? කියා පිරික්සා බලා මට දන්වව.”

§ 5 . “පින්වත් ගුරු දේවයනි, , ඉදින් ඒ භවත් ගෞතමයන් එබඳුද? ඉදින් එසේ නොවේදැයි මම කෙසේ නම් දැන ගන්නෙම්ද?”

“දරුව, උත්තරය, අපගේ වේද ශාස්ත්‍රයන්හි දෙතිස් මහා පුරුෂ ලක්ෂණ851 සඳහන් වේ.. ඒ ලක්ෂණයන්ගෙන් යුක්තවූ මහා පුරුෂයාහට ගති දෙකෙක් පමණක් වෙති. අනිකෙක් නැත. ඉදින් ඔහු ගිහිගෙයි වසයි නම් සක්විති රජවෙයි.852 ඉදින් හෙතෙම ගිහිගෙන් නික්ම පැවිදි වෙයිනම් ලෝකයේ කෙලෙස් වැස්ම දුරුකළාවූ අර්හත් වූ සම්‍යක් සම්බුද්ධවෙයි. දරුව, උත්තරය, මම තොපට මේ වේද ශිල්පය මනා සේ ප්‍රගුණ කර වීමි. එහෙයින් තොපට මේ සාක්‍යපුත්‍ර ශ්‍රමණ භවත් ගෞතමයන් ගේ මේ ලක්ෂණ දෙතිස වේදැයි හෝ නොවේදැයි හඳුනාගත හැක.

[851:- දෙතිස් මහා පුරුස ලක්ෂණ මේ සුත්‍රයේ §9 වෙනි චේදයෙහි විස්තර වශයෙන් සඳහන් වේ. ශරීර ලක්ෂණවලින් මනුෂ්‍යයකුගේ ගුණ කිව හැකි බව අද බටහිර විද්‍යාඥයන් ද කියති. මේ සාස්ත්‍රය ලක්ඛණ සාස්ත්‍රය නමින් පුරාතන ජම්බුද්වීපයේ සෘෂිවරු, තාපසයන් හා බ්‍රාහ්මණයන් ප්‍රගුණ කළහ. අසාමාන්‍ය මනුෂ්‍යයෙකුට ඇති ශරීර ලක්ෂණ තිස් දෙක ගැන දීඝ නිකායේ 30 වන ලක්ඛණ සුත්‍රයේ ද සඳහන් වේ.. මේ ලක්ෂණ 32 ඉබේ පහල වූ ඒවා නොව බෝධිසත්ව ජීවිතවලදී පුරා ගත් විවිධ පාරමිතා නිසා ඇතිවෙන ඒවාය කියා අටුවාව කියයි.]

[852:- චක්‍රවර්ති රජුට රත්න සතක් වෙත්. කවරහුද යත්? චක්‍ර රත්නය, හස්ති රත්නය, අශ්ව රත්නය, මානික්‍ය රත්නය, ස්ත්‍රිරත්නය, ගෘහපති රත්නය සත්වැනිවූ පුත්‍ර රත්නයද යන රත්න හතයි. ශූරවූ දිව්‍ය පුත්‍රයන්ට සමානවූ, නොහොත් වීර්ය සම්පන්නවූ ශරීර ඇත්තාවූ පරසතුරු සේනාවන් මර්දනය කරන්නාවූ දහසකටත් අධික වූ පුත්‍රයෝ ඒ සක්විති රජුට වෙත්. හෙතෙම සයුර කෙළවර කොට ඇති මේ පෘථිවිය දඬුවම් කිරීම් නැතිව, යුද්ධ කිරීම් නැතිව, ධර්මයෙන් හැමදෙන දිනා සතර මහා දීපයන්ට අධිපතිව වෙසෙයි. යයි අටුවාව කියයි. දන්නා කාලයක එබඳු මුළු මනුෂ්‍ය ලෝකයට අදිපති පාලකයෙක් හිටි බවක් දැන ගන්නට නැත ]

§ 6. “එසේය ස්වාමීනි”යි උත්තරදී උත්තර මානවකයා හුනස්නෙන් නැගී, බ්‍රහ්මායු බ්‍රහ්මයාහට පැදකුණු කොට වන්දනා කොට නික්ම ගොස් වේදෙහ ජනපදයෙහි භාග්‍යවතුන් වහන්සේ වැඩ හුන් තැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය යුතු , සිහි කටයුතු , කථා කොට නිමවා එක් පසෙක උන්නේය. එකත් පසෙක උන්නාවූ උත්තර තරුණයා භාග්‍යවතුන් වහන්සේගේ ශරීරයෙහි දෙතිස් මහා පුරුෂ ලක්ෂණ සෙවීය. උත්තර මානවකයා භාග්‍යවතුන්ගේ ශරීරයෙහි ලකුණු දෙකක් හැර අනෙක් තිස් මහා පුරුෂ ලක්ෂණ දුටුවේය. දකින්නට නොහැකි නිසා කොසොහිත වත්ථගුය්හ ලක්ෂණය, හා පහුතජිව්හතා ලක්ෂණය යන මහාපුරුෂ ලක්ෂණ දෙකක් පමණක් ගැන ඔහු සැකයෙන් නොමිදුනි.

§7. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මේ උත්තර මානවකයාගේ සිත දකින්නේ , ‘මේ උත්තර තරුණයා මාගේ ලක්ෂණ දෙකක් හැර සෙසු මහා පුරුෂ ලක්ෂණ දකී, කොසොහිතවත්ථගුයහ ලක්ෂණය හා පහුතජිව්හතා ලක්ෂණය යන මහාපුරුෂ ලක්ෂණ දෙකෙහි සැක උපදවයි. විචිකිච්ඡා කෙරෙයි. ඒ සැකයෙන් ඔහු මුදවමි’යි උත්තර මානවකයාහට භාග්‍යවත්හුගේ කොසොහිත වත්ථගුය්හ ලක්ෂණය පෙනෙන ලෙස , එබඳු ඍද්ධියක් පෑහ. අනතුරුව භාග්‍යවතුන් වහන්සේ දිව බැහැරකොට කන්සිදුරු දෙක පිරිමැද්දහ. නාස් සිදුරු දෙක පිරිමැද්දහ, මුළු නලල්තලයම දිවෙන් වැසූහ.

§ 8. එකල්හි උත්තර මානවකයාට මෙසේ සිතුනි.

“ශ්‍රමණ ගෞතමයන් වහන්සේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් සමන්විතවූ සේක. මම ශ්‍රමණ ගෞතමයන් වහන්සේ පසු පසින් යන්නෙම් නම්, උන්වහන්සේගේ යාම ඊම ආදී ඉරියව් දකින්නෙම් නම්, මැනවිය”. කියායි.

ඉක්බිති උත්තර තරුණයා සත්මසක් නොහැර ගමන් කරන සෙවනැල්ලක් මෙන්, භාග්‍යවතුන් වහන්සේ පසුපස ඇවිද්දේය. එසේ ඇවිද භාග්‍යවතුන් වහන්සේගේ සියලු හැසිරීම් අධ්‍යනය කොට ඒ සත් මස අවසානයේ සම්පුර්ණයෙන්ම සෑහීමට පත්වුයේ විදේහ රට සිට සිය රටට එනම් මිථිලා නුවරට ගියේය.

සිය ආචාරීන් වූ , බ්‍රහ්මායු බ්‍රාහ්මණ තුමා හුන් ආරණ්‍යයට ගොස් බ්‍රහ්මායු බ්‍රාහ්මණයා වැඳ එක් පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ උත්තර මානවකයාට බ්‍රහ්මායු බ්‍රාහ්මණ තෙමේ මෙසේ කීය.
‘කිමෙක්ද? දරුව, උත්තර, ඒ භවත් ගෞතමන් වහන්සේගේ ඇති ගුණයන් නිසාම මේ කීර්ති ශබ්දය පැතිර ගියේද, අන් අයුරකින් නොවේද, කිමෙක්ද? ඒ භවත් ගෞතමයෝ එබඳුද, එසේ නොවේද?”

§ 9. “ස්වාමීනි, ඒ භවත් ගෞතමයන් වහන්සේගේ ඇති ගුණයන් නිසාම කීර්ති ශබ්දය පැතිර ගියේය. අන් අයුරකින් නොවේ. ස්වාමීනි, ඒ භවත් ගෞතමයන් වහන්සේ එබඳුමය. වෙනස් ආකාරයක් නැත. ස්වාමීනි, ඒ භවත් ගෞතමයන් වහන්සේ දෙතිස්මහාපුරුෂ ලක්ෂණයන්ගෙන් යුක්තවූ සේක.

  1. ඒ භවත් ගෞතමයන් වහන්සේ වනාහි මනාව පිහිටි පා ඇත්තේ වෙයි. මෙයද ඒ භවත් ගෞතමවූ මහාපුරුෂයන් වහන්සේගේ මහාපුරුෂ ලක්ෂණයක් වෙයි.
  2. ඒ භවත් ගෞතමයන් වහන්සේගේ යටපාතලයන්හි දහසක් දැති ඇති නිම්වලලු සහිතවූ නැබ සහිතවූ සියලු අයුරින් සම්පූර්ණවූ චක්‍රයෝ වූහ. මෙයද ඒ භවත් ගෞතමවූ, මහා පුරුෂයන් වහන්සේගේ මහාපුරුෂ ලක්ෂණයෙකි.
  3. ඒ භවත් ගෞතමයන් වහන්සේ වනාහි දික්වූ විළුම් ඇත්තේ වෙයි. මෙයද ඒ භවත් ගෞතමවූ, මහා පුරුෂයන් වහන්සේගේ මහා පුරුෂ ලක්ෂණයෙකි.
  4. ඒ භවත් ගෞතමයන් වහන්සේ වනාහි දික්වූ ඇඟිලි ඇත්තේ වෙත්. මෙයද ඒ භවත් ගෞතමවූ, මහාපුරුෂයන් වහන්සේගේ මහාපුරුෂ ලක්ෂණයෙකි.
  5. ඒ භවත් ගෞතමයන් වහන්සේ වනාහි මෘදුවූ ලපටිවූ අතුල් පතුල් ඇත්තේ වෙත්. මෙයද ඒ භවත් ගෞතමවූ, මහාපුරුෂයන් වහන්සේගේ මහා පුරුෂ ලක්ෂණයෙකි.
  6. ඒ භවත් ගෞතමයන් වහන්සේ දැල්කවුළුවකට බඳු අතුල් පතුල් ඇත්තේ වෙයි. මෙයද ඒ භවත් ගෞතමවූ, මහා පුරුෂයන් වහන්සේගේ මහා පුරුෂ ලක්ෂණයෙකි.
  7. ඒ භවත් ගෞතමයන් වහන්සේ වනාහි පිරුණු ගොප් මසැති පා ඇත්තේ වෙයි. මෙයද ඒ භවත් ගෞතමවූ, මහා පුරුෂයන් වහන්සේගේ මහා පුරුෂ ලක්ෂණයෙකි.
  8. ඒ භවත් ගෞතමයන් වහන්සේ වනාහි (ඕලු) එනම් මුවන්ගේ බඳු කෙන්ඩා ඇත්තේ වෙයි. මෙයද ඒ භවත් ගෞතමවූ, මහා පුරුෂයන් වහන්සේගේ මහා පුරුෂ ලක්ෂණයෙකි.
  9. ඒ භවත් ගෞතමයන් වහන්සේ සිටියේම නොනැමී දෙඅත්තලවලින් දනහිස් පිරිමදින සේක. මෙයද ඒ භවත් ගෞතමවූ මහා පුරුෂයන් වහන්සේගේ මහා පුරුෂ ලක්ෂණයෙකි.
  10. ඒ භවත් ගෞතමයන් වහන්සේ වනාහි කොෂය තුළ සැඟවුණු පුරුෂව්‍යඤ්ජනය ඇත්තේ වෙයි. මෙයද ඒ භවත් ගෞතමවූ, මහා පුරුෂයන් වහන්සේගේ මහා පුරුෂ ලක්ෂණයෙකි.
  11. ඒ භවත් ගෞතමයන් වහන්සේ වනාහි රන්වන් වූයේ වෙත්. මෙයද ඒ භවත් ගෞතමවූ, මහාපුරුෂයන් වහන්සේගේ මහාපුරුෂ ලක්ෂණයකි.
  12. ඒ භවත් ගෞතමයන් වහන්සේ වනාහි රන්වන්වූ සිවි ඇත්තේ වෙයි. මෙයද ඒ භවත් ගෞතමයන්වූ මහාපුරුෂයන් වහන්සේගේ මහාපුරුෂ ලක්ෂණයෙකි.
  13. සියුම්වූ සිවි ඇත්තේ වෙයි. සියුම්වූ සිවි ඇති බැවින් ශරීරයෙහි දූලි කුණු නොතැවරෙන්නේ වෙත්. මෙයද ඒ භවත් ගෞතම වූ, මහා පුරුෂයන් වහන්සේගේ මහා පුරුෂ ලක්ෂණයෙකි.
  14. ඒ භවත් ගෞතමයන් වහන්සේ වනාහි එක එකලොම් ඇත්තේවෙයි. රෝම කූපයන්හි එක් එක් ලොම් හටගන්නේ වෙයි. මෙයද ඒ භවත්ගෞතම වූ මහා පුරුෂයන් වහන්සේගේ මහා පුරුෂ ලක්ෂණයෙකි.
  15. ඒ භවත් ගෞතමයන් වහන්සේ වනාහි උඩුකුරු අක් ඇති රෝම ඇත්තේ වෙයි. හටගත් ලොම් උඩුකුරුයි, නිල්වන්ය, අඳුන්වන්ය, කුණ්ඩලයක් මෙන් කරකැවුනේ වෙයි. දකුණට කැරකැවුනේ වෙයි. මෙයද ඒ භවත් ගෞතමවූ මහා පුරුෂයන් වහන්සේගේ මහා පුරුෂ ලක්ෂණයකි.
  16. ඒ භවත් ගෞතමයන් වහන්සේ වනාහි කෙලින් පිහිටි සිරුර ඇත්තේවෙයි. මෙයද ඒ භවත් ගෞතමවූ මහා පුරුෂයන් වහන්සේගේ මහා පුරුෂ ලක්ෂණයෙකි.
  17. ඒ භවත් ගෞතමයන් වහන්සේ වනාහි සත්තැන උස්වූයේ වෙයි. මෙයද ඒ භවත් ගෞතම වූ මහා පුරුෂයන් වහන්සේගේ මහා පුරුෂ ලක්ෂණයෙකි.
  18. ඒ භවත් ගෞතමයන් වහන්සේ වනාහි සිංහයෙකුගේ පෙරකය මෙන් සම්පූර්ණ සිරුර ඇත්තේ වෙයි. මෙයද ඒ භවත් ගෞතම වූ මහා පුරුෂයන් වහන්සේගේ මහාපුරුෂ ලක්ෂණයකි.
  19. ඒ භවත් ගෞතමයන් වහන්සේ පිට දැලවර මැද පිරුනේ වෙයි. මෙයද ඒ භවත් ගෞතමවූ, මහා පුරුෂයන් වහන්සේගේ මහා පුරුෂ ලක්ෂණයෙකි.
  20. ඒ භවත් ගෞතමයන් වහන්සේ වනාහි නුගරුකක් සේ පිරිමඩුලු ඇත්තේ වෙයි. උන්වහන්සේගේ ශරීරය යම් පමණවේද, බඹයත් එපමණය. උන්වහන්සේගේ බඹය යම්පමණවේද, ශරීරයත් එපමණය. මෙයද ඒ භවත් ගෞතම වූ මහා පුරුෂයන් වහන්සේගේ මහා පුරුෂ ලක්ෂණයෙකි.
  21. ඒ භවත් ගෞතමයන් වහන්සේ වනාහි සමවූ වටවූ ග්‍රීවය ඇත්තේ වෙයි. මෙයද ඒ භවත් ගෞතම වූ මහා පුරුෂයන් වහන්සේගේ, මහා පුරුෂ ලක්ෂණයෙකි.
  22. ඒ භවත් ගෞතමයන් වහන්සේ වනාහි සමසතලිසක් දත් ඇත්තේ වෙයි. මෙයද ඒ භවත් ගෞතම වූ මහා පුරුෂයන් වහන්සේගේ මහා පුරුෂ ලක්ෂණයෙකි.
  23. ඒ භවත් ගෞතමයන් වහන්සේ වනාහි සමවූදත් ඇත්තේ වෙයි. මෙයද ඒ භවත් ගෞතම වූ, මහා පුරුෂයන් වහන්සේගේ මහා පුරුෂ ලක්ෂණයෙකි.
  24. ඒ භවත් ගෞතමයන් වහන්සේ විවර නැතිවූ දත් ඇත්තේ වෙයි. මෙයද ඒ භවත් ගෞතමවූ මහා පුරුෂයන් වහන්සේගේ මහාපුරුෂ ලක්ෂණයෙකි.
  25. ඒ භවත් ගෞතමයන් වහන්සේ වනාහි දිලිසෙන ඉතා සුදුදත් ඇත්තේ වෙයි. මෙයද ඒ භවත් ගෞතම වූ මහා පුරුෂයන් වහන්සේගේ මහා පුරුෂ ලක්ෂණයෙකි.
  26. ඒ භවත් ගෞතමයන් වහන්සේ වනාහි මෘදු දික් පුළුල් දිව ඇත්තේ වෙයි. මෙයද ඒ භවත් ගෞතම වූ මහා පුරුෂයන් වහන්සේගේ මහා පුරුෂ ලක්ෂණයෙකි.
  27. ඒ භවත් ගෞතමයන් වහන්සේ වනාහි බ්‍රහ්මස්වර ඇත්තේ වෙයි. කුරවි රාවය බඳු රාවය ඇත්තේ වෙයි. මෙයද ඒ භවත් ගෞතම වූ මහා පුරුෂයන් වහන්සේගේ මහා පුරුෂ ලක්ෂණයෙකි.
  28. ඒ භවත් ගෞතමයන් වහන්සේ වනාහි පිරිසිදු නිල්වන් පෑ ඇස් ඇත්තේවෙයි. මෙයද ඒ භවත් ගෞතම වූ මහා පුරුෂයන් වහන්සේගේ මහාපුරුෂ ලක්ෂණයෙකි.
  29. ඒ භවත් ගෞතමයන් වහන්සේට දැන් උපන් වස්සෙකුගේ බඳු ප්‍රසන්න ඇස් ගුලි ඇත්තේ වෙයි. මෙයද ඒ භවත් ගෞතම වූ මහා පුරුෂයන් වහන්සේගේ මහා පුරුෂ ලක්ෂණයෙකි.
  30. ඒ භවත් ගෞතමයන් වහන්සේගේ දෙබැම අතර සුදුවූ මෘදුවූ පුලුන් පෙදක්වැනි දකුණට කරකැවී නළල් මැදපිහිටි රෝමයක්වූයේ වෙයි. මෙයද ඒ භවත් ගෞතමවූ මහාපුරුෂයන් වහන්සේගේ මහා පුරුෂ ලක්ෂණයකි.
  31. ඒ භවත් ගෞතමයන් වහන්සේගේ හිස ජටාවක් මෙන් උන්හී සසීතසා ලක්ෂණ ඇත්තේ වෙයි. මෙයද ඒ භවත් ගෞතම වූ මහා පුරුෂයන් වහන්සේගේ මහාපුරුෂ ලක්ෂණයෙකි.
  32. ඒ භවත් ගෞතමයන් වහන්සේ වනාහි පිරුණු නළල සහිත සම්පූර්ණ හිස ඇත්තේ වෙයි. මෙයද ඒ භවත් ගෞතමවූ මහා පුරුෂයන් වහන්සේගේ මහා පුරුෂ ලක්ෂණය වෙයි.

ඒ භවත් ගෞතමයන් වහන්සේ මේ දෙතිස් මහා පුරිස් ලකුණින් සමන්විතවූසේක.”

§ 10 . “ඒ භවත් ගෞතමයන් වහන්සේ ගමනෙහි යෙදෙන විට දකුණු පය පළමුව ඔසවා පෙරට තබා යන සේක. උන්වහන්සේ සිය පාදය වැඩි දුරක නොතබන සේක. ඉතා ළඟද නොතබන සේක. උන්වහන්සේගේ ගමන ඉතා ඉක්මණින්ද නොවන්නේය.. ඉතා සෙමින්ද නොවන්නේය. . දණහිසින් දණහිස නොගැටෙන සේ වඩින්නාහ. ගොප් ඇටයෙන් ගොප් ඇටය නොගටමින් වඩින්නාහ. උන්වහන්සේ වඩිනවිට කලවය උඩට නොනැමෙයි. කලවය පහළට නොනැමෙයි. කලවය දැඩිකොට පය නොතබයි. කලවය එහා මෙහා නොසලවයි. වඩින්නාවූ ඒ භවත් ගෞතමයන් වහන්සේගේ යට කයම සෙලවෙයි, කයින් වෙර ගමනින් නොවඩිත්.

ඒ භවත් ගෞතමයන්වහන්සේ හැරී බලනවිට හිස පමණක් හරවා නොබලයි. මුලු කයම හරවා බලයි. උන්වහන්සේ උඩ නොබලනසේක. යට නොබලනසේක, වට පිට බලමින් නොවඩිත්. වියදඬු පමණ දුර පමණක්ම බලත්. ඉන් එහා උන්වහන්සේගේ කිසිම ආවරණයක් නැති ඤාණයෙන් බැලීම වෙයි.

§11. උන්වහන්සේ ගෙයක් තුළට ඇතුල්වන්නේ කය උඩට නොඔසවන සේක, කය පහළට නොනමත්, කය දැඩිකොට නොතබයි. කය එහා ඉදිරියට හෝ පස්සට නොනවත්. ආසනය ළඟදී උන්වහන්සේ වැඩි දුරකින් හෝ ඉතා ළංව හෝ ආසනයට නොහිඳීත්.

§ 12. “අතින් තදකොට ආසනයෙහි නොසිටිත්. ආසනයෙහි කය නොහෙළත්, උන්වහන්සේ ඇතුළුගෙහි හිඳීන්නේ හස්ත විකාර නොකරත්. පාද විකාර නොකරත්. පයක් පිට පයක් දමා නොහිඳිත්. ගොප් මස්පිට ගොප්මස (බත්කෙන්ඩ) නගා නොඉඳිත්, නිකට අත තබා නොහිඳිත්. උන්වහන්සේ ඇතුළුගෙහි බියවූ ස්වභාවයෙන් නොඉඳිත්. උන්වහන්සේ භය නොවූ කම්පා නොවූ නොසෙල්වෙන තැති නොගෙන පහවූ ලොමුදැහැ ගැනීම් ඇතිව නිවන් ඇසුරු කරන සිත් ඇතිව ඒ භවත් ගෞතමයන් වහන්සේ ඇතුළු ගමෙහි වැඩ හිඳිත්.

§ 13. “උන්වහන්සේ පාත්‍රයට වතුර පිළිගන්නා විට පාත්‍රය උඩට නොඔසවත්. පාත්‍රය පහලට නොනමත්, පාත්‍රය ඉදිරියට හෝ පස්සට නොනමත්. උන්වහන්සේ පාත්‍රයට වතුර වැඩියත් නොව අඩුවත් නොව පිළිගන්නා සේක. උන්වහන්සේ “බුලු බුලු” ශබ්ද නොනගිනසේ පාත්‍රය සෝදනසේක. පෙරල පෙරලා පාත්‍රය නොසෝදන්නාහ. පාත්‍රය බිම තබා අත් නොසෝදන්නාහ. අත් සේදූ කල්හි පාත්‍රය සෝදන ලද්දේවෙයි. පාත්‍රය සේදූකල්හි අත් සෝදන ලද්දේ වෙයි. උන්වහන්සේ පාත්‍ර ජලය ඉතා දුරත් නොව ඉතා ළඟත් නොව දමනසේක. උන්වහන්සේ බත් පිළිගන්නා සේක් පාත්‍රය උඩට නොනමත්. පාත්‍රය පහලට නොනමත්. පාත්‍ර තදකොට නොතබත්. පාත්‍රය එහා මෙහා නොසොළොවත්.

§ 14. උන්වහන්සේ බත් පිලිගනිත්දී පත්‍රය නොඔසවයි. පහත් නොකරයි. පත්‍රය ඉදිරියට හෝ පස්සට නොනවයි. වැඩිත් නොව අඩුත් නොව බත පිළිගන්නා සේක. “ඒ භවත් ගෞතමයන් වහන්සේ බතින් හතරෙන් කොටසක් පමණ ව්‍යඤ්ජන පිළිගන්නා සේක. බත් ආලොපය ව්‍යඤ්ජනයෙන්ම වැඩිමනත් නොකරන්නාහ. ඒ භවත් ගෞතමයන් වළඳද්දී උන්වහන්සේ මුඛයෙහි බත් පිඩු දෙතුන් වරක් පෙරළා වළඳනසේක. උන්වහන්සේගේ සියලු බත් පිඩු මනාසේ දත්වලින් විකා වළඳයි. උන්වහන්සේගේ මුඛයෙහි කිසි බත් උලක් ඉතුරු නොවෙයි. ඉක්බිති නැවතද බත් පිඩක් මුඛයට පමුණුවයි.

ඒ භවත් ගෞතමයන් වහන්සේ රසය දැන ගනිමින් . ආහාර වළදනසේක. රස තෘෂ්ණාවෙන් රස විඳිමින් නොවළඳනසේක, ඒ භවත් ගෞතමයන් වහන්සේ වනාහි අංගඅටකින් යුක්තවූ ආහාරය වළඳනසේක. මල්ලවපොර බැදීම පිණිස, මද වැඩීම පිණිස, ශරීරයේ අඩු තැන් පිරවීම පිණිස, අලංකාරය පිණිස නොවළඳනසේක. යම්තාක් මේ ශරීරයාගේ පැවැත්ම පිණිස යැපීම පිණිස දුක් නැතිකරගැනීම පිණිස බ්‍රහ්මචර්යාවට අනුග්‍රහ පිණිස වළඳන සේක. මෙසේ පුරාණ වේදනා නසමි. අලුත් වේදනා නූපදවන්නෙමි මාගේ ජීවිත යාත්‍රාවද වන්නේය. වරද නැති බවද, පහසු විහරණයද, වන්නේය’ යන අදහසින් වළඳන සේක.

§ 15 . උන්වහන්සේ වළඳා අවසන්ව පාත්‍රයට වතුර පිළිගන්නා සේක් පාත්‍රය උඩට නොනමනසේක. පාත්‍රය පහලට නොනමනසේක. පාත්‍රය නොඔබන සේක. පාත්‍රය එහා මෙහා නොසොළොවත්. උන්වහන්සේ පාත්‍රජලය ඉතා වැඩිත් නොව අඩුත් නොව පිළිගන්නාසේක. උන්වහන්සේ “බුලු බුලු” යන ශබ්ද නගනසේ පාත්‍රය නොසෝදන සේක. පෙරළ පෙරළා පාත්‍රය නොසෝදන සේක.

§ 16 .“පාත්‍රය බිම දමා අත නොසෝදන්නාහ. අත සේදූ කල්හි පාත්‍රය සෝදනලද්දේ වෙයි. පාත්‍රය සේදූ කල්හි අත සෝදන ලද්දේ වෙයි. උන්වහන්සේ පාත්‍ර ජලය ඉතා දුරද ඉතා ළඟද නොදමන්නාහ. උන්වහන්සේ වළඳා අවසන්ව පාත්‍රය ඉතා දුරද, ඉතා ළඟද, බිම නොතබනසේක. පාත්‍රයෙහි බලාපොරොත්තුව අත්හරින්නේද නොවෙත්. සීමාව ඉක්මවා රක්නේද නොවෙත්.

§ 17. උන්වහන්සේ වළඳා අවසන්වී මොහොතක් නිශ්ශබ්දව හිඳිනසේක. අනුමෝදනාවට කාලය නොඉක්මවනසේක. උන්වහන්සේ වළඳා අවසානව අනුමෝදනා කරන සේක. ඒ බතට නින්දා නොකරනසේක, අන් බතක් බලාපොරොත්තු නොවනසේක. ධර්ම කථාවෙන්ම ඒ පිරිස උනන්දු කරවයි. ධර්මානුධම්ම ප්‍රතිපත්තියට යොමු කරවයි. කුශල ධර්මයෙහි සමාදන් කරවයි. උත්සාහවත් කරවයි, සතුටු කරවයි. උන්වහන්සේ ඒ පිරිසට ධර්ම කථාවක් දක්වා, කුසල ධර්මයන්හි සමාදන් කරවා උත්සාහවත් කරවා සතුටු කරවා, හුනස්නෙන් නැගිට වඩින සේක.

§ 18. “උන්වහන්සේ ඉතා ඉක්මනින්ද නොවඩිනසේක. ඉතා සෙමින්ද නොවඩිත්. පිරිසෙන් වෙන්ව නොවඩිත්.

§ 19 .ඒ භවත් ගෞතමයන් වහන්සේගේ කයෙහි සිවුර හනුඇටයෙන් උඩට පොරවා උදරය පෙනෙනසේ නොවඩියි. එක් උරයක් පොරවා තනය පෙනෙනසේ නොවඩියි. කයෙහි සිවුර දහඩියෙන් ඇලෙනසේ තදකොටද නොවඩිනසේක. සිවුර කයින් වූයේද නොවේ. ඒ භවත් ගෞතමයන්ගේ කයින් සිවුර වාතයෙන් ඉවතට නොයවයි. ඒ භවත් ගෞතමයන්ගේ කයෙහි රජස්දැලි නොගැල්වෙයි.

§ 20 . උන්වහන්සේ ආරාමයට වැඩියේ පැනවූ අස්නෙහි වැඩ හිඳිනසේක. හිඳ පාදයන් සෝදන්නාහ. ඒ භවත් ගෞතමයන් වහන්සේ පාදයන් සැරසීමෙහි නොයෙදෙන සේක. උන්වහන්සේ පාදයන් සෝදා පර්යංක බැඳ කය කෙලින් තබා සිහිය එළවාගෙන වැඩ හිඳිනසේක.

§ 21. උන්වහන්සේ තමාහට ලාභය පිණිස අසන්නන් සතුටු කරන්නට ධර්මය නොදෙසන සේක. අසන්නන් පරිභවයට හේතුවන කාරනා ගැන නොදෙසන සේක. ශ්‍රාවකයාගේ ප්‍රමෝදය පිණිස, මතු යහපත පිණිසම ධර්මය දේශනා කරන සේක. අන් සාස්ත්රුන්ට නින්දා පරිභව කරමින් දෙසනා නොකරන සේක. අන් ධර්මයන්ට හා ඒවායේ යෙදෙන්නන්ට පරිභව නොකරන සේක. සියලු ලෝකයටම හිතවූවක් ඒ භවත් ගෞතමයන් වහන්සේ දෙසනා කරන සේක.

§ 21 .උන්වහන්සේ ආරාමයට වැඩියේ පිරිසට ධර්මය දේශනා කරන සේක. ඒ පිරිස උසස් තන්හිලා කථා නොකරන සේක. ඒ පිරිස පහත් තන්හිලා කථා නොකරනසේක. ධර්ම කථාවෙන්ම ඒ පිරිස දක්වත්. කුසල් දහම් සමාදන් කරවත්. උත්සාහවත් කරවත්. සතුටුකරවත් පැහැදිලිවද, දැනීමෙහි පොහොසත් බවද, මිහිරි බවද, කනට සුව බවද, විහිදී නොයනබවද, නොවිසිරෙන බවද, ගැඹුරු බවද, බොහෝ නාද ඇති බවද යන අංග අටන් යුක්තවූ ඝොෂයක් ඒ භවත් ගෞතමයන් වහන්සේගේ මුවින් පිටවෙයි. පිරිසේ පමණට ශබ්ද නගන ස්වරයන්වූ සේක. උන්වහන්සේගේ ඝොෂය පිරිසෙන් පිටතටද නොයයි.

§ 22. ඒ භවත් ගෞතමයන් ඇවිදින සැටි අප දැක්කෙමු. හිඳ ඉන්නා ආකාරය අපි දැක්කෙමු. සිටගෙන ඉන්නා ආකාරය අපි දැක්කෙමු. අරන්යට ඇතුළුවන සැටි, පිටවන සැටි අපි දැක්කෙමු. ඒ භවත් ගෞතමයන් ධර්මය දෙසනා කරනු අපි දැක්කෙමු. ඇතුළුගමට වඩින්නාවූ උන්වහන්සේ අපි දැක්කෙමු. ඇතුළුගෙහි තුෂ්ණිම්භූතව වැඩ උන්නාවූ උන්වහන්සේ අපි දැක්කෙමු. වළඳා අවසන්වී අනුමෝදන් කරන්නාවූ උන්වහන්සේ අපි දැක්කෙමු.. ආරාමයට වඩින්නාවූ, උන්වහන්සේ අපි දැක්කෙමු. ආරාමයට ඇතුල්ව නිශ්ශබ්දව වැඩඋන්නාවූ, උන්වහන්සේ අපි දැක්කෙමු. ආරාමයට පැමිණි පිරිසට දම්දෙසන්නාවූ උන්වහන්සේ අපි දැක්කෙමු. ඒ භවත් ගෞතමයන් වහන්සේ මෙබඳුය. මෙබඳුය, කියන්නට අපි අසමත් වෙමු. උන් වහන්සේගේ ගුණයන් මහා පෘතුවි තලය මෙන් විශාලය. මට කියත හැක්කේ නිය අගින් ගත් පස් බිඳක් බඳුවූ ගුණ ස්වල්පයකි.”

§ 23. “උත්තර මානවකයා මෙසේ කී කල්හි බ්‍රහ්මායු බ්‍රාහ්මණතුමා හුනස්නෙන් නැගිට උතුරුසළුව එක් අංශයෙක්හි කොට භාග්‍යවතුන් වහන්සේ ඉන්නා දිශාවට ඇඳිලි බැඳ වැඳ
“ඒ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.
ඒ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාර වේවා.
ඒ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාර වේවා.”
යි තුන් වරක් ප්‍රීතිවාක්‍ය ප්‍රකාශ කෙළේය.

“අපි ඒ භවත් ගෞතමයන් වහන්සේ ළඟදීම හමුවන්නේ නම්, ඉතා යෙහෙක. ධර්ම කථා සල්ලාපයක් කරන්නේ නම්, ඉතා යෙහෙක” කියා කීය.

§ 24 . එකල්හි භාග්‍යවතුන් වහන්සේ වේදෙහ ජනපදයන්හි පිළිවෙලින් චාරිකාවේ වඩනා සේක් මියුලු නුවර වෙතද පැමිණියහ. එහිදී භාග්‍යවතුන් වහන්සේ මියුලු නුවර මඛාදෙව නම් අඹ උයනෙහි වැඩ වාසය කරණ සේක.

“ශාක්‍ය කුලයෙන් නික්ම පැවිදිවූ ශාක්‍යපුත්‍රවූ ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ වෙදෙහ ජනපදයෙහි චාරිකාවෙහි වඩින්නේ පන්සියයක් මහත් භික්ෂු සංඝයා සමග මියුලු නුවරට පැමිණ, මියුලු නුවරෙහි මඛාදෙව නම් අඹ උයනෙහි වාසය කරන සේකැයි” මියුලු නුවරෙහි මඛාදෙව නම් අඹ උයනෙහි වාසය කරන සේකැයි” මියුලු නුවරවාසී බ්‍රාහ්මණ ගෘහපතියෝ ඇසුහ.

ඒ භවත් ගෞතමයන් වහන්සේ පිළිබඳ මෙසේ කීර්ති පැතිර ඇතයි කීහ.
“ඒ භාග්‍යවතුන් වහන්සේ මේ කාරණයෙනුදු අර්හත්හ, සම්‍යක් සම්බුද්ධයහ, විජ්ජාචරණ සම්පන්නයහ, සුගතයහ, ලොකවිදූහ, අනුත්තරයහ, පුරිසදම්ම සාරථියහ, දෙවි මිනිසුන්ට ශාස්තෘහ, බුද්ධයහ, භාග්‍යවත්හ, උන්වහන්සේ දෙවියන් සහිතවූ මරුන් සහිතවූ, බඹුන් සහිතවූ, මහණ බමුණන් සහිතවූ, රජුන් හා මිනිසුන් සහිතවූ, සත්ව වර්ගයා ඇතුළු සියලු ලෝකය තමන් වහන්සේම මනාව පැහැදිලිකොට දැන ප්‍රකාශ කරණ සේක. උන්වහන්සේ මුල මැද අග යන තුන් තන්හි යහපත්වූ, අර්ථ සහිතවූ, ව්‍යඤ්ජන සහිතවූ, සම්පූර්ණවූ, පිරිසිදුවූ, බ්‍රහ්මචර්යාව ප්‍රකාශ කරණ සේක. එබඳුවූ රහතුන්ගේ දැකීමක් වේ නම් එය යහපත්මැයි කියායි”.

§ 25 . ඉදින් මියුලු නුවර වැසි බ්‍රාහ්මණ ගෘහපතියෝ භාග්‍යවතුන් වහන්සේ වැඩ හුන් තැනට ගොස් සමහරු භාග්‍යවතුන් වහන්සේ වැඳ එක්පසෙක හුන්හ. සමහරු භාග්‍යවතුන් වහන්සේ සමග . සතුටුවිය යුතුවූ, සිහිකටයුතුවූ කථාව කොට නිමවා එක් පසෙක හුන්හ. සමහරු භාග්‍යවතුන් වහන්සේ දෙසට ඇඳිලි බැඳ වැඳ එකත්පසෙක හුන්හ. සමහරු භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි තමන්ගේ නාම ගොත්‍ර කියා එක් පසෙක උන්හ. සමහරු නිශ්ශබ්දවම එක් පසෙක උන්හ.

§ 26. ශාක්‍යකුලයෙන් නික්ම පැවිදිව ශාක්‍යපුත්‍රවූ ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ මියුලු නුවරට පැමිණ මියුලු නුවර මඛාදෙව අඹ උයනෙහි වැඩවාසය කරතියි’ බ්‍රහ්මායු බ්‍රාහ්මණ තෙමේ ඇසීය. එකල්හි බ්‍රහ්මායු බ්‍රාහ්මණ තුමා බොහෝ තරුණ මානවක ශිෂ්ය‍යන් සමග මඛාදෙව අඹ වනයට පැමිණියේය. ඉක්බිති අඹ උයනට සමීපයේදී බ්‍රහ්මායු බ්‍රාහ්මණයාට මෙබඳු සිතක් විය.

§ 27. “ මම පළමුකොට නොදන්වා ශ්‍රමණ ගෞතමයන් වහන්සේ දැකීමට යාම මට නුසුදුසුය”යි, සිතීය. අනතුරුව බ්‍රහ්මායු බ්‍රාහ්මණයා එක් මානවකයෙකුට කථාකෙළේය. “දරුව , නුඹ යව. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ වෙත යව. ගොස් මගේ වචනයෙන් ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ ආබාධ නැති බව, සැහැල්ලු නැති බව, ශරීර බලය, පහසු විහරණ ඇති බව විමසව්”.

භවත් ගෞතමයන් වහන්ස, බ්‍රහ්මායු බ්‍රාහ්මණ තුමා භවත්ගෞතමයන් වහන්සේට ආබාධ නැති බව, ශරීරයේ සැහැල්ලු බව, ශරීර බලය, සැපවිහරණ ඇති බව අසයි, කියාය. තවද බ්‍රහ්මායු බ්‍රාහ්මණ තෙමේ ජරාවට පැමිණියෙක, මහලුය වයසට පැමිණියෙක, එක්සිය විසි වයස් ඇත්තෙක, හෙතෙම භවත් ගෞතමයන් වහන්සේ දැකීමට කැමැත්තේයයිද කියව”.

§ 28. “එසේය ස්වාමීනියි” ඒ මානවකයා බ්‍රහ්මායු බ්‍රාහ්මණයාට උත්තර දී භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද, එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටුවිය යුතුවූ සිහිකටයුතුවූ කථාව කොට නිමවා එක් පසෙක සිටියේය. එකත්පසෙක සිටි ඒ තරුණයා භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය.

“භවත් ගෞතමයන් වහන්ස, බ්‍රහ්මායු බ්‍රාහ්මණ තෙමේ භවත් ගෞතමයන් වහන්සේගේ ආබාධ නැති බව, ශරීරයේ සැහැල්ලු බව, ශරීර බලය, සැපවිහරණය අසයි”.
“භවත් ගෞතමයන් වහන්ස, බ්‍රහ්මායු බ්‍රාහ්මණ තෙමේ ජරාවට පැමිණියෙක, වෘද්ධය, මහලුය, අර්ධගතය, වයසට පැමිණියේය, උත්පත්තියෙන් අවුරුදු එක්සියවිස්සක් ආයුෂ විය. නාම නිඝණ්ඩු ක්‍රියාකල්ප විකල්ප ශික්ෂානිරුක්ති යන ප්‍රභෙදයන් ඇති, ඉතිහාසය පස්වෙනි කොට වෙදත්‍රයයේ කෙළවරට ගියේය. පද හා ව්‍යාකරණ හදාරන ලද්දේය. ලොකායත ශාස්ත්‍රයෙහිද මහාපුරිස ලක්ෂණයන්හිද සම්පූර්ණය.

§ 29. “ස්වාමීනි, මිථිලාවෙහි යම් පමණ බ්‍රාහ්මණ ගෘහපතියෝ වාසය කරත්ද, ඔවුනතුරෙන් බ්‍රහ්මායු බ්‍රාහ්මණ තෙමේ වස්තුවෙන්ද අග්‍රය, ඔවුනතුරෙන් බ්‍රහ්මායු බ්‍රාහ්මණ තෙමේ මන්ත්‍රයෙන්ද අග්‍රය, ඔවුනතුරෙන් බ්‍රහ්මායු බ්‍රාහ්මණ තෙමේ වයසින් හා යසසින් ද අග්‍රය, හෙතෙම භවත් ගෞතමයන් වහන්සේ දැකීම කැමැත්තෙන් සිටීයයි” කීය.

“මානවකය, දැන් බ්‍රහ්මායු බ්‍රාහ්මණ මෙහි පැමිණීම සුදුසුයයි” වදාළේය.
එකල්හි ඒ මානවකයා බ්‍රහ්මායු බ්‍රාහ්මණයා හුන් , තැනට ගියේය. ගොස් බ්‍රහ්මායු බ්‍රාහ්මණයාට ‘භවත් ශ්‍රමණ ගෞතමයන් වහන්සේ විසින් කරණ ලද අවකාශ ඇත්තේය. දැන් පින්වතුන් වහන්සේ කල් දන්නේයයි” කීය.

§ 30. ඉක්බිති බ්‍රහ්මායු බ්‍රාහ්මණ තුමා භාග්‍යවතුන් වහන්සේ වැඩ හුන් තැනට ගියේය. ඒ මියුලු නුවරවාසී ශ්‍රමණ ගෘහපති පිරිස එන්නාවූ බ්‍රහ්මායු බ්‍රාහ්මණයා දුරදීම දුටුවාහුය. දුටු කෙණෙහි ප්‍රසිද්ධවූ කීර්ති ඇති ඔහුට අවකාශ දුන්නේය. අනතුරුව බ්‍රහ්මායු බ්‍රාහ්මණයා ඒ පිරිසට මෙසේ කීය.

“පින්වත කම් නැත. තොපි සිය අසුන්හි හිඳිව්. මම මෙහි ශ්‍රමණ ගෞතමයන් වහන්සේ සමීපයෙහි හිඳගන්නෙමියි” කීය. ඉක්බිති බ්‍රහ්මායු බ්‍රාහ්මණ තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටුවිය යුතුවූ සිහිකටයුතුවූ කථාව කොට නිමවා එක් පසෙක හිඳිමින් භාග්‍යවතුන් වහන්සේගේ කායයෙහි දෙතිස්මහාපුරිස් ලකුණු පරීක්ෂා කෙළේය. බ්‍රහ්මායු බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේගේ ශරීරයෙහි ලකුණු දෙකක් හැර බොහෝසෙයින් දෙතිස්මහා පුරුෂ ලක්ෂණ දුටුවේය. කොසොහිත වත්ථගුය්හතා ලක්ෂණය හා පහූතජිව්හතා ලක්ෂණය යන ලක්ෂණ දෙකෙහි සැක කරයි. සැකයෙන් නොමිදෙයි. නොපැහැදෙයි. එකල්හි බ්‍රහ්මායු බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේට ගාථාවන්ගෙන් මෙසේ කීය.

§ 31 . “ගෞතමයන් වහන්ස, මා විසින් පින්වතුන් වහන්සේගේ ශරීරයෙහි යම්බඳු දෙතිස්මහාපුරිස් ලකුණු අසන ලද්දේද ඔවුන් අතුරෙන් දෙකක් නොදකිමි.

“නරොත්තමයන් වහන්ස, පින්වතුන් වහන්සේගේ වස්ත්‍රයෙන් වැසිය යුතුවූ කොසොහිත ලක්ෂණය කිමෙක්ද? ස්ත්‍රීලිංග නාමයකින් කියවෙන පහූතජිව්හතා ලක්ෂණය කිමෙක්ද?

“කිමෙක්ද? පහූතජිව්හතා ලක්ෂණය ඇත්තෙහිද? එය යම් ආකාරයකින් දැනගනිමුද? ඒ ආකාරයෙන් නිකුත් කොට දක්වනු මැනවි”. ඍෂීන් වහන්ස, අපගේ මේ සැකය දුරුකළ මැනව.

“යමක් දැනගැනීමට කැමතිවන ලද්දේද, එය කරන ලද අවකාශ ඇතිව මෙලොව යහපත පිණිසද, පරලොව යහපත පිණිසද අසමු.”

§ 32 . ඉක්බිති භාග්‍යවතුන් වහන්සේට ‘මේ බ්‍රහ්මායු බ්‍රාහ්මණ තෙමේ මාගේ ලක්ෂණය දෙකක් හැර බොහෝසෙයින් දෙතිස්මහාපුරිස් ලකුණු දකියි. කොසොහිත වත්ථගුය්හ ලක්ෂණය හා පහූතජිව්හතා ලක්ෂණය යන දෙකෙහි සැකකරයි. සැකයෙන් නොමිදෙයි. නොපැහැදෙයි’ යන අදහස පහළවිය.

අනතුරුව භාග්‍යවතුන් වහන්සේ බ්‍රහ්මායු බ්‍රාහ්මණ තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ කොසොහිතවත්ථගුය්හ ලක්ෂණ යම්සේ දකීද, එබඳුවූ ඍද්ධියක් පෑහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ දිව බැහැර කොට දෙකන් සිදුරු පිරිමැදිසේක. දෙ නාසා සිදුරු මැදි සේක. මුළු නලල්තලය වැසූසේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ බ්‍රහ්මායු බමුණාට ගාථාවන් දේශනා කළ සේක.

§ 33 . “බ්‍රාහ්මණය, (තා විසින්) යම් ඒ දෙතිස්මහාපුරුෂ ලකුණු අසන ලද්දේද, ඒ සියලු ලක්ෂණ මාගේ ශරීරයෙහි ඇත්තේය. තොපි සැක නොකරව්.

“දතයුතු සියල්ල දැනගන්නා ලදී. වැඩිය යුතු සියල්ලද වඩන ලදී. මා විසින් පහකළ යුත්ත පහකරනලදී. බ්‍රාහ්මණය, එහෙයින් මම බුද්ධ නම් වෙමි.

“යමක් දැනගැනීමට කැමැත්තේ නම් එය මෙලොව යහපත පිණිසද පරලොව යහපත පිණිසද, කරනලද අවකාශ ඇත්තේ අසව.

§ 34 . ඉක්බිති බ්‍රහ්මායු බ්‍රාහ්මණයාට ශ්‍රමණ ගෞතමයන් වහන්සේ විසින් කරනලද අවකාශ ඇත්තේ වෙමි. ‘මම මෙලොව අර්ථය පිණිස හෝ පරලොව අර්ථය පිණිස හෝ කුමක් ශ්‍රමණ ගෞතමයන් වහන්සේගෙන් විචාරන්නෙම්දැයි, සිතක් පහළ විය.

ඉක්බිති බ්‍රහ්මායු බමුණාට මෙබඳු සිතක් පහළ විය. ‘මම වනාහි මෙලොව අර්ථයන්හි දක්ෂයෙක්මි. අන්‍යයෝද, මා අතින් මෙලොව අර්ථයන් අසත්. මම ශ්‍රමණ ගෞතමයන් වහන්සේ අතින් පරලොව අර්ථයම අසන්නෙම් නම් යෙහෙකි’. කියායි

අනතුරුව බ්‍රහ්මායු බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේට ගාථාවන්ගෙන් මෙසේ කීයේය.

§ 35 . “ස්වාමීනි, කෙසේ නම් බ්‍රාහ්මණයෙක් වන්නේද,
කෙසේ නම් වෙදයෙහි පරතෙරට ගියෙක් වන්නේද,
ස්වාමීනි, කෙසේ නම් ත්‍රිවිද්‍යා ඇත්තෙක් වන්නේද,
පිරිසිදුවීම කුමක්යයි කියනු ලැබේද?

“ස්වාමීනි, කෙසේ නම් රහත් වූවෙක් වන්නේද,
කෙසේ නම් සම්පූර්ණවූ බ්‍රහ්මචර්යාව ඇත්තෙක් වන්නේද,
ස්වාමීනි, කෙසේ නම් මුනි නම් වූවෙක් වන්නේද,
කවරෙක් බුද්ධයයි කියනු ලැබේද?”

. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේද බ්‍රහ්මායු බමුණාට මෙසේ ගාථාවෙන් ම පිළිතුරු දුන්නේය.

“යමෙක් පෙර විසූ භව පිළිබඳ දනීද,
ස්වර්ගය හා අපාය දනීද,
ඉක්බිති ඉපදීම කෙළවර කිරීමට පැමිණියේද,
අවබෝධ කොට කෙළවරට පැමිණියේද,
අර්හත් මාර්ග ඥාන මුනි භාවයෙන් යුක්තවේද,

“සියලු ආකාරයෙන් රාගයෙන් මිදුනු පිරිසිදු සිත දනීද,
ප්‍රහීනකළ ජාති ජරා මරණ ඇති,
සම්පූර්ණ සතරමාර්ග බ්‍රහ්මචර්යා ඇති,
සියලු ධර්මයන්ගේ කෙළවරට පැමිණි
එබඳුවූ පුද්ගලයා හට බුද්ධයයි කියනු ලැබේ.

§ 36 .මෙසේ වදාළ කල්හි බ්‍රහ්මායු බ්‍රාහ්මණයා හුනස්නෙන් නැගිට උතුරුසළුව ඒකාංශකොට භාග්‍යවතුන් වහන්සේගේ පාදයන්හි සිරසින් වැටී වැඳ භාග්‍යවතුන් වහන්සේගේ පාදයන් මුවින් සිඹියි. අතින්ද පිරිමදියි. “ස්වාමීනි, ගෞතමයන් වහන්ස, මම බ්‍රහ්මායු බ්‍රාහ්මණයා වෙමි. ස්වාමීනි, ගෞතමයන් වහන්ස, මම බ්‍රහ්මායු බ්‍රාහ්මණයා වෙමියි. නමද කියයි”.

ඉක්බිති ඒ සිටියාවූ පිරිස
‘ශ්‍රමණයන් වහන්සේගේ මහත් ඍද්ධිභාවය, මහානුභාවය. පින්වත, ඒකාන්තයෙන් ආශ්චර්යයි පින්වත, ඒකාන්තයෙන් පුදුමයි. යම්හෙයකින් නම් මේ ප්‍රසිද්ධ කීර්ති ඇති බ්‍රාහ්මායු බ්‍රාහ්මණයා මේ භවත් ගෞතමයන් වහන්සේට මෙබඳුවූ ඉතා මහත් ගෞරවයක් කරන්නේයයි” ආශ්චර්යවූ සිත් ඇත්තේ විය.

අනතුරුව භාග්‍යවතුන් වහන්සේ බ්‍රහ්මායු බ්‍රාහ්මණයාට මෙසේ වදාළහ.
“බ්‍රාහ්මණය, කම් නැත. නැගිටුව. නුඹ තම ආසනයෙහි හිඳගනුව. යම් කරුණකින් තාගේ සිත මා කෙරෙහි පැහැදුනේය”. එකල්හි බ්‍රහ්මායු බ්‍රාහ්මණ තෙම තම ආසනයෙහි හුන්නේය.

§ 37. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ බ්‍රහ්මායු බමුණාට පිළිවෙල කථාව දෙසූ සේක.
කවරේද යත්?

දාන කථාවය, සීලකථාවය, ස්වර්ගකථාවය,
කාමයන්ගේ ආදීනවය, ලාමක බවය, කිලුටුබවය, ආදීනවය
නෛෂ්ක්‍රම්‍යයෙහි ආනිසංසය ප්‍රකාශ කළ සේක. භාග්‍යවතුන් වහන්සේ යම් කලෙක බ්‍රහ්මායු බ්‍රාහ්මණයාහට නිරෝගීවූ, මෘදුවූ, නීවරණ රහිතවූ, සතුටුවූ ප්‍රසන්නවූ සිත ඇතිවීයයි දත් සේක් නම්, එකල දුක්ඛය සමුදය, නිරෝධය මාර්ගය යන බුදුවරයින් තමන් විසින්ම අවබෝධ කළ වතුරාර්ය සත්‍ය ධර්මය ප්‍රකාශ කළ සේක.

යම් සේ පහවූ කාලවර්ණ ඇති පිරිසිදු වස්ත්‍රයක් මනාකොට රජන් (සායම්) පිළිගන්නේද, එපරිද්දෙන්ම බ්‍රහ්මායු බ්‍රාහ්මණයාහට ඒ හුන් ආසනයෙහිම යම්කිසිවක් උපදනා ස්වභාව ඇත්තේද, ඒ සියල්ල වැනසීම ස්වභාවකොට ඇත්තේය, යන පහවූ කෙලෙස් රජස් ඇති පහවූ කෙලෙස් මල ඇති ධර්ම චක්ෂුස (සොතාපත්තිමාර්ග ඥානය) උපන්නේය.

ඉක්බිති බ්‍රහ්මායු බ්‍රාහ්මණයා දක්නාලද ධර්ම ඇත්තේ, පැමිණි ධර්ම ඇතියේ, අවබෝධ කළ ධර්ම ඇතියේ, දැඩිව ගත් ධර්ම ඇතියේ, එතර කළ විචිකිච්ඡා ඇතියේ, විසාරද වූයේ, ශාසනයෙහි අන් ධර්මයක් නොඅදහන බවට පැමිණියේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය.

“භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපති භවත් ගෞතමයන් වහන්ස, ඉතායහපති,

“භවත් ගෞතමයන් වහන්ස, යම්සේ යටිකුරු කරනලද්දක් උඩුකුරු කරන්නේද, වැසුනු දෙයක් විවෘත කරන්නේද, මුලාවූවකුට මාර්ගය කියන්නේද, ඇස් ඇත්තෝ වස්තූන් දකිත්වායි අන්ධකාරයෙහි තෙල් පහනක් දල්වන්නේද, එපරිද්දෙන් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් ලෙසින් ධර්මය දේශනා කරණ ලදී.

භවත් ගෞතමයන් වහන්ස, මේ මම භවත් ගෞතමයන් වහන්සේද ධර්මය හා භික්ෂු සංඝයාද සරණකොට යමි. භවත් ගෞතමයන් වහන්සේ මා අද පටන් දිවිතෙක් සරණගිය උපාසකයකු කොට පිළිගන්නා සේක්වා. භවත් ගෞතමයන් වහන්සේ භික්ෂුසංඝයා සමග මාගේ (ගෙදර) සෙට දින බත් පිණිස ඉවසන සේක්වා”.

භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්ද වීමෙන් ඉවසූ සේක. එකල්හි බ්‍රහ්මායු බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේගේ ඉවසීම දැන හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට ගියේය.

§ 38. ඉක්බිති බ්‍රහ්මායු බ්‍රාහ්මණතුමා ඒ රාත්‍රිය ඉක්මීමෙන් සිය නිවසෙහි ප්‍රනීතවූ දානයක් පිළියෙල කොට භාග්‍යවතුන් වහන්සේට, “ස්වාමිනි දානය පිණිස වඩින සේක්වා!” කාලය දැන්වීය. භවත් ගෞතමයන් වහන්ස, සුදුසු කාලයයි, බත් පිළියෙල කරනලදී” (කියායි) යි

එකල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරුයෙහි හැඳ පොරවා පාත්‍ර සිවුරු ගෙන බ්‍රහ්මායු බ්‍රාහ්මණයාගේ ගෙදරට පැමිණි සේක. පැමිණ පැනවූ අස්නෙහි භික්ෂුසංඝයා සමග වැඩහුන් සේක. ඉක්බිති බ්‍රහ්මායු බ්‍රාහ්මණයා බුදුන් ප්‍රධාන භික්ෂුසංඝයා සත්දවසක් ප්‍රණීතවූ කෑ යුතුවූ බුදිය යුතුවූ ආහාරපාන වර්ගවලින් සියතින් වැළඳවීය. කැමතිසේ වැළඳවීය.

§ 39 .අනතුරුව භාග්‍යවතුන් වහන්සේ ඒ සත්දවස ඇවෑමෙන් වේදෙහ ජනපදයෙහි චාරිකාවෙහි වැඩි සේක. ඉක්බිති බ්‍රහ්මායු බ්‍රාහ්මණතුමා භාග්‍යවතුන් වහන්සේ වැඩිය නොබෝ කලකින් කළුරිය කෙළේය.

ඉක්බිති බොහෝ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එක්පසෙක හුන්හ. එක් පසෙක උන්නාවූ ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීහ.
“ස්වාමීනි, බ්‍රහ්මායු බ්‍රාහ්මණයා කළුරිය කෙළේය. ඔහුගේ ගතිය කුමක්ද? ඔහුගේ පරලොව කුමක්ද?”

“මහණෙනි, බ්‍රහ්මායු බ්‍රාහ්මණයා පණ්ඩිතයෙකි. ධර්මයට අනුව පිළිපැද්දේය. ධර්මය කරණකොටම මා නොවෙහෙසීය. මහණෙනි, බ්‍රහ්මායු බ්‍රාහ්මණ තෙමේ කාමලෝකය පිළිබඳව සඤ්ඤොජන පස නැතිකිරීමෙන් ඒ බඹලොවින් නැවත නොඑන එහිදී පිරිනිවෙන ඔපපාතික පුද්ගලයෙක්වීයයි” වදාළ සේක, සතුටුවූ සිත් ඇති ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව සතුටින් පිළිගත්හ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.