
§ 1. මා විසින් මෙසේ අසනලදී.
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ උජුකා නගරාසන්නයෙහිවූ කණ්ණකත්ථල නම්වූ මුවන්ට අභය දුන් මුව උයනෙහි වැඩ වෙසෙති.
§2. එකල්හි පසේනදි කොසොල් රජ කිසියම් රාජකාරි කටයුත්තක් පිණිස උජුකා නගරයට පැමිණියේය. භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටිනා තැන නුදුරු බව දත් කොසොල් රජු එක්තරා පුරුෂයෙක් කැඳවා,
“එම්බා පුරුෂය, නුඹ භාග්‍යවතුන් වහන්සේ වැඩ හිඳිනා තැනට යව. ගොස් මාගේ වචනයෙන් භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා වඳුව. උන්වහන්සේ ගේ සැප සනීප විමසව. මෙසේද කියව. ‘ස්වාමීනි, පසෙනදි කොසොල් රජතුමා භාග්‍යවතුන් වහන්සේගේ සිරි පා හිස් මුදුනෙන් වඳියි. ස්වාමීනි, අද පසෙනදි කොසොල්රජතුමා උදැසන ආහාරයෙන් පසුව භාග්‍යවතුන් වහන්සේ දකිනු පිණිස පැමිණෙන්නේය. “කියා කියව. ” කියාය.
“දේවයන් වහන්ස, එසේය” කියා ඒ පුරුෂයා , භාග්‍යවතුන් වහන්සේ හුන් විහාරයට ගොස් ඒ ආකාරයට රජුගේ පැමිණීම ගැන දන්වුවේය.
සොමා, සකුලා යන සොහොයුරියෝ දෙදෙන පසේ නදී කෝසල රජුගේ මෙහෙසියන් වුහ. ‘අද පසෙනදි කොසොල්රජ සවස් කාලයෙහි භාග්‍යවතුන් වහන්සේ දකිනු පිණිස පැමිණෙන්නේය’ කියා ඇසුවාහුය. ඒ සොහොයුරියෝ දෙදෙන ආහාර ගනිමින් හුන් රජු වෙත ගොස් මෙසේ කීහ. “එසේ නම් මහරජ, අපගේ වචනයෙන්ද, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී පාදයන් මුදුනෙන් වැන්ද මැනව. ස්වාමීනි, සොමා, සකුලා යන සොහොයුරියෝ භාග්‍යවතුන් වහන්සේගේ පාදයන් සිරසින් වඳිති. සැප දුක් විචාරත්ය කියාය.”
§ 4. ඉක්බිති පසෙනදි කොසොල්රජ උදෑසන ආහාරයෙන් පසු භාග්‍යවතුන් වහන්සේ වැඩ හුන් ආරාමයට ගොස්, වන්දනා කරමින් මෙසේ කීය.
“ස්වාමීනි, සොමා, සකුලා යන මාගේ බිසෝවරු ද, භාග්‍යවතුන් වහන්සේගේ පාදයන් සිරසින් වඳිති. සැප දුක් අසත්යි” කීය.
“කිමෙක්ද? මහරජ, සොමා, සකුලා යන සොහොයුරියෝ ඔබ අතින් පන්වුද අනික් දූතයෙකු නොලැබුවාහුදැයි” වදාළහ.
“ස්වාමීනි, මගේ බිසවුන් දෙදෙනෙකුවන සෝමා සහ සකුලා යන සොහොයුරියෝ, අපගේ වචනයෙන්ද භාග්‍යවතුන් වහන්සේගේ පාදයන් සිරසින් වඳිනු මැනවි. ආබාධ රහිත බව, නිරෝග බව, කයේ සැහැල්ලු බව, කාය බලය, සැපවිහරණය විචාළ මැනව. යි’ කියාය.
“මහරජ, සොමා, සකුලා යන සොහොයුරියෝ සුව ඇත්තියෝ වෙත්වායි” වදාළහ.
§ 5. ඉක්බිති පසෙනදි කොසොල්රජ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීහ.
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, සියල්ල, දන්නාවූද, සියල්ල දක්නාවුද සර්වඥවූද, මහන බමුණන් මේ ලෝකයේ නැතැයි” ඔබ වහන්සේ දේසනා කල බව මම ඇසුවෙමි. එසේ ඔබවහන්සේ කීවාය කියන්නවුන් කියන්නේ ඈත්තක් ද, නැතිනම් ඔබ වහන්සේ කීවක් වරදවා ගෙන කියන කතාවක්ද?’ යි ඇසීය.
“මහරජ. එසේ කියන්නවුන් මා කී දෙයක් ඒ ආකාරයෙන් නොකියයි. මා කීවක් වරදවා ගෙන විකෘති ලෙස කියා ඇත.”
§ 6 . එවිට පසෙනදි කොසොල්රජ විඩුඩභ සේනාපතියාට කථාකොට
“කවරෙක් රජ මාළිගාවෙහිදී මේ කථාව කීවේදැයි” ඇසීය.
“මහරජ, ආකාශ ගෝත්‍රික සඤ්ජය නම් බ්‍රාහ්මණයා ඒ කතාව කීය”යයි කීය.
ඉක්බිති කොසොල්රජ එක් පුරුෂයෙක් යවා ඒ සඤ්ජය නම් බ්‍රාහ්මණයා මෙහි කැඳවා එව”යි යැවීය.
§ 8. එසේ මිනිසෙකු යවා ඉක්බිති රජ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය.
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ විසින් කෙසේ කියන ලද්දක් මෙසේ වෙනස් ලෙස වටහාගෙන කියා ඇත්ද? ස්වාමිනි ඔබ වහන්සේ කුමක් කී සේක්දැයි කියන සේක්වා” යි කීය.
“මහරජ, මා කියන ලද වචනය මෙසේය.
‘සැමවිටම සියල්ල දන්නා, දක්නා, ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ නැත. එය සිදුවිය නොහැක” යනුයි. 846
[846:- මෙහි වරද වුයේ භාග්‍යවතුන් වහන්සේ වදාළ “සැම විටම ” පදය අත් හැර ඉතිරිය කීමය. සියල්ල දන්නා දක්නා කෙනෙකුට සැමවිටම, නිරන්තරයෙන් සියල්ල නොදැනේ. සියල්ල නොදකි. මේ හැකියාව ඇති භාග්‍යවතුන් වහන්සේ පවා තමන්වහන්සේට , ඕනෑ කරන තැනක්, පුද්ගලයකු, ගැන මෙනෙහි කොට ඒ දකිනවා විනා, සැමවිටම ඒ තැන හෝ ඒ පුද්ගලයා නොදකියි. මිලින්ද ප්‍රශ්නයෙදී මේ ප්‍රශ්නයට නාගසේන රහතුන්වහන්සේ දුන් පිළිතුර බලන්න.]
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ පිළිගන්නට හේතු සහගත වෙයි.. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ කරුණු සහිත වූවක්ම වදාළේය.” යි කියා කොසොල් රජු මෙසේ තවත් ප්‍රශ්නයක් විචාළේය.
§ 9. “ස්වාමීනි, ක්ෂත්‍රියෝය, බ්‍රාහ්මණයෝය, වෛශ්‍යයෝය, ශුද්‍රයෝය, කියා කුල වංශ සතරක් වෙති. ස්වාමීනි, මේ සතර ජාතීන්ගේ වෙනසක් ඇත්ද , වෙනස් බවක් ඇත්ද” යි ඇසීය.
“මහරජ, ක්ෂත්‍රියය, බ්‍රාහ්මණය, වෛශ්‍යය, ශුද්‍රය කියා ඔබ දන්නා මේ සතර ජාතින් අතුරින් ක්ෂත්‍රියය, බ්‍රාහ්මණය යන දෙජාතිය උඅස්සස්ය, උතුම්ය යි ලෝක යෙහි පිළිගැනීමක් ඇත. ඒ නිසා අනිත් වංශ දෙකෙහි මිනිසුන් ක්ෂත්‍රිය , බ්‍රාහ්මණ දෙකුල වල අයට, වැඳීම, හුනස්නෙන් නැගිටීම, දොහොත් මුදුන්දී වැදීම, ගරු කිරීම ආදීයෙන් සලකන්නෝය.’
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේගෙන් ඔවුන්ගේ මේ භවයේ ජීවිතය පිළිබඳ නොව, පරලොව පිළිබදව අසමි. ස්වාමීනි, ක්ෂත්‍රියය බ්‍රාහ්මණය, වෛශ්‍යය, ශුද්‍රය යන මේ ජාති සතර කුලවල අය මතු භවයන්හේ කෙසේ වේද?” යි ඇසීය. 847
[847:- සමාජයේ වසර දහස් ගණනක් පැවතුන මතයක් පිළිගැනීමක් වෙනස් කිරීම හැමවිටම දුෂ්කරය. මේ කුල වාදය සෑම භාරත වැසියෙක්ම පිළිගත් එකක් මෙන්ම සිතෙන් බැහැර නොවන එකකි. කොසොල් රජුගේ ප්‍රශනය වුයේ මේ සංසාර විමුක්තියක් පිනිස බුදුන් වහන්සේගේ පටිපාටිය පිළිපදින අය අතර ඉන්නා සතර කුලවලම භික්ෂුන් ඒ විමුක්තිය ලබන්නේද? යන්නයි.]
“මහරජ, වීර්ය කිරීම පිණිස පස් ආකාරයකින් හේතුවන උදව්වන කාරණ වෙයි.
කවර පසක්ද යත්.
(i) .“මහරජ, මේ ශාසනයෙහි භික්ෂුව ශ්‍රද්ධා ඇත්තෙක් වෙයි.
භාග්‍යවතුන් වහන්සේ මේ මේ කරුණු නිසා අර්හත්හ, සම්‍යක්සම්බුද්ධයහ, විජ්ජා-චරණ සම්පන්නයහ, සුගතය, ලොකවිදූහ, අනුත්තරයහ, පුරුෂදම්‍යසාරථිහ, දිව්‍යමනුෂ්‍යයන්ට ශාස්තෘහ, බුද්ධයහ, භාග්‍යවත්හ කියා තථාගතයන් වහන්සේගේ බොධිය නොහොත් බුද්ධත්වය විස්වාස කොට අදහන්නේය.
(ii). “ ශරීර ආබාධ රහිත, ලෙඩ දුක් රෝග නැතිව නිරොගවූයෙක් වෙයි. සනිපසම්පන්න ආහාර රුචියක් ඇති, පිළිවෙත් පිරීම පිණිස වෙර වැඩිමට හැකි සෞඛ්‍යයෙන් යුක්තෙක් වෙයිද,
(iii). කපටි නොවූ මායා නැති වංචා නොකරන, අවංක ශාස්තෘන් වහන්සේටද, නැණවත් සබ්‍රහ්මචාරින්ටද, භික්ෂූන්ටද තමා ලබනා දේ දක්නා දේ ඇති සැටියෙන් තමා හෙලිකරන්නෙක් වෙයිද.
(iv) “අකුසල් පහකිරීම පිණිසද, කුසල් වැඩීම පිණිසද, නිබඳ පවත්වන උත්සාහය, දැඩි වීර්ය ඇතිව කුශල ධර්මයන් කිසිකල අත් නොහරින්නේද,
(v) “ ඇතිවීම හා නැතිවීම දකිනා විදර්ශනා ප්‍රඥාවෙන් යුක්තවූයේ දක්ඛ ප්‍රහාණය පිණිස පිළිවෙත් සම්ප්ර්ණ කරන්නේද,
ඒ කාරනා පහ සැමටම අවශ්‍යවන වීර්යය පිනිස අවශ්‍ය කාරනා වෙය්. පධංග වීර්ය පිණිස වූ අංග පස වෙති.
මහරජ, මහරජ, ක්ෂත්‍රිය බ්‍රාහ්මණ, වෛශ්‍ය, ශුද්‍රයයි ජාති සතරෙන් කවරෙකු වුවද , මෙම වීර්ය අංග පස ඇත්තේ නම්, එසේ යොදමින් වීර්ය වඩාද, ඒ කාරණය ඔවුන්ට බොහෝ කලක් හිත පිණිස සුව පිණිස නොහොත් විමුක්ති සාධනය පිණිස වන්නේය”යි වදාළහ.
§11. එවිට කෝසල රජු නැවත මෙසේ ඇසීය.
“ස්වාමීනි, ක්ෂත්‍රිය, බ්‍රාහ්මණය වෛශ්‍යය, ශුද්‍රය, යන සතර ජාතියට අයත් වූවෝ මේ අංග පසින් යුක්ත වූ වීර්ය කරනමුත් , ස්වාමීනි, මේ කරුණෙහිදී ඔවුන්ගේ වෙනසෙක් ඇත්තේ දැයි” ඇසීය..
“මහරජ, මෙහිදී ඔවුන්ගේ ප්‍රතිඵලය ලැබීමෙහි වෙනසක් වේ නම් ඒ ඔවුන්ගේ වීර්යය යෙදීමේ ඇතිවන වෙනසක් නිසා මිස වංශය නිසා නොවෙයි. .
§ “ “මහරජ, යම් හොඳින් හීලෑ කල අශ්වයන් දෙදෙනෙකු , හොඳින් හීලෑ කල ඇතුන් දෙදෙනෙකු, හීලෑ කල වෘෂභයන් දෙදෙනෙකු ද එසේ හීලෑ නොකල අසුන් දෙදෙනෙක්, හීලෑ නොකල නාඹු ඇතුන් දෙදෙනෙක් හෝ හීලෑ නොකල නාඹු ගවයන් දෙදෙනෙක් ඉන්නේ නම් මේ කාණ්ඩ දෙකේ සතුන්ගේ හැසිරීමේ පැවතීමේ වෙනසක් ඇතිදැයි ඔබතුමා සිතන්නේද?

එසේය ස්වාමිනි. හීලෑ කල අශ්වයන්, ඇතුන් හා ගවයන් ගේ හා හීලෑ නොකල අශ්වයන් , ඇතුන් හා ගවයන්ගේ හැසිරීමේ හා පැවතීමේ වෙනසක් ඇත.
මහරජ, නොදැමුණු නොහික්මුණු, නාඹු අසුන් දෙදෙනා නාඹු ඇතුන් දෙදෙනා හෝ නාඹු ගවයන් දෙදෙනා, කවදා හෝ හොඳින් හෝ හොඳින් හීලෑ කල පසු ඔවුන්ගේත්, කලින් සිටි හීලෑ කල අසුන්, ඇතුන්, ගවයන්ගේත් වෙනසක් දකින්නට හැකි වේද?
“නැත ස්වාමිනි, හොඳින් හීලෑ කල පසු ඒ සතුන්ගේත් කලින් සිටි හීලෑ කල සතුන්ගේත් කිසි වෙනසක් නැත.”
මහරජ, නොදැමුණු නොහික්මුණු, නාඹු අසුන් දෙදෙනා නාඹු ඇතුන් දෙදෙනා හෝ නාඹු ගවයන් දෙදෙනා, කිසිදාක හීලෑ නොකරන්නේ නම්, නොහික්මවන්නේ නම්, ඔවුන් කවදා හෝ හීලෑ, දැමුණු, සතුන් බවට පත් වේද?”
“නැත ස්වාමිනි, හීලෑ නොකල සතුන් කිසි දා හීලෑ නොකරන්නේ නම්, දැමුණු සංවර බවට පත් නොවන්නේය.”
ඒ ආකාරයෙන්ම මහරජ ශ්‍රද්ධාවෙන් යුක්තවූ, අසනීපයෙන් තොරවූ, අවංකවූ, විර්ය සම්පන්න වූ භික්ෂුවක් ලබන්නාවූ ආකාර ඵලයක්, ශ්‍රද්ධාවක් නැති, අසනීප බහුල, වංචා සිත් ඇති, අලස භික්ෂුවක් ලබාවි යයි කිව නොහැක.”
§12. “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ හේතු සහිත වූවක්ම කියන්නාහ. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ කරුණු සහිත වූවක්ම කියන්නාහ. ස්වාමිනි ! මම තවත් ප්‍රශ්නයක් අසමි.”
“ස්වාමීනි, ක්ෂත්‍රිය, බ්‍රාහ්මණ, වෛශ්‍යය, ශුද්‍රයයයි යන මේ ජාති සතරට අයත්වූවෝම වීර්යය පිණිස පවත්නා මේ අංග පසෙන් යුක්තවූවාහු වෙත්ද, සම්‍යක් ප්‍රධාන වීර්යයෙන් යුක්ත වූවාවූ වෙත්ද, ස්වාමීනි, මෙහිදී ඔවුන් ලබන ඵලයේ වෙනසක් වන්නේද?”
“මහරජ, නිවණට පැමිණියාවූ ඔවුන්ගේ නිර්වාණ ඵලයෙහි වෙනසක් නැත.
මහරජ, යම්සේ පුරුෂයෙක් වියලුන සාක ලීයක් තවත් සාක ලීයක උලමින් ගිනි උපදවන්නේය. ගිනි පහල කරන්නේය. අන් පුරුෂයෙක් වියලුන සල් ලීයක් තවත් වියලි සල් ලීයක උලා ගෙන ගිනි උපදවන්නේය. ගිනි පහල කරන්නේය. අන් යම් පුරුෂයෙක් වියලුන අඹ ලීයක් තවත් අඹ ලීයක උලා ගිනි උපදවන්නේද, ගිනි පහල කරන්නේය. අන් යම් පුරුෂයෙක් වියලුන ඉඹුල් ලීයක් ගෙන තවත් ඉඹුල් ලීයක ගටා ගිනි උපද වන්නේය. ගිනි පහල කරන්නේය.

මහරජ, ඔබ කුමක් සිතන්නේද?
වෙන වෙන ලී වලින් උපදවන ලද ඒ ගිනි අතරෙහි , ගින්නෙන් නැගෙන දල්ලෙහි වෙනසක්, ගින්න නිසා ඇතිවන එළියේ වෙනසක්, ගිනි දල්ලේ වර්ණයේ හෝ ආලෝකයෙහි කිසියම් වෙනසක් වන්නේද?”
“නැත ස්වාමීනි,”
‘මහරජ, ඒ ආකාරයෙන්ම යම් භික්ෂුවක් සිය පධාන වීර්ය නංවා අධ්‍යාත්මික ගිනි පුපුරක් ඇතිකොට ඒ දල්වා ගනිත්ද ඒ ලබාගන්නා විමුක්ති ආලෝකයේ වෙනසක් ජාති නිසා හෝ කුල නිසා හෝ වංස නිසා නොවන්නේය.”
§13. “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ හේතු සහිතවම කියන්නාහ. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ කරුණු සහිත වූවක්ම කියන්නාහ. ස්වාමිනි තවත් ප්‍රශ්නය කට පිළිතුරු දෙන සේක්වා, ස්වාමිනි දෙවියෝ සිටින්නේද?”
“මහරජ, තොප කුමක් හෙයින් එසේ අසන්නේද?”
“ස්වාමීනි, දෙව්ලොව වසන දෙවියෝ යලි මෙලොව උපදින්නේද? , නොපැමිණෙන්නේද?”
“මහරජ, ව්‍යාපාදය (එනම් අසන්තොශය, අසන්තෘප්තිය, දෝෂය) සහිතවූ යම් දෙවිකෙනෙක් වෙද්ද, ඔවුහු මේ ලෝකයට ආපසු පැමිණෙති, ව්‍යාපාද රහිතවූ දෙවියන් මේ ලෝකයට නොපැමිණෙති”. 849
[849: යලි මෙලොව නුපදින දෙවියන් අනාගාමි බව ලබා දේව උපතක් ලත් අය බවත්, යලි මනුෂ්‍ය ලොව උපතකට එන්නෝ බොහෝ විට සකෘදාගාමි බව ලබා දේව භවයක උපන් අය සහ, අන්‍ය සෝවාන් ඵල ඇති හෝ පෘතග්ජන බව නොඉක්මවූ අය බව අටුවාව කියයි. මේ විස්තරය පහත එන §15 හි බ්‍රහ්ම ලෝ ගැනද මෙසේම වේ. මෙහි සව්‍යාපජ්ජ සහ අභ්යාබජ්ජ ලෙස දැක්වෙන්නේ ව්‍යාපාද ඇති සහ නැති බව යයි පාලි සංගමයේ (PTS) පරිවර්තනය කියයි. K.R. Norman ගේ පරිවර්තනයෙයේ මෙයට වෙනස් අදහසක් දක්වා ඇති මුත්, මෙහිදී එය සඳහන් නොකරමි.]
§14 . භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ කල්හි විඩුඩභ නම් සේනාපතියන් භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය.
“ස්වාමීනි, ව්‍යාපාද සහිතවූ මේ ලෝකයට ආපසු එන්නාවූ එබඳු දෙවියන්ට , ඒ දිව්‍ය ලෝකයේ ඉන්නා ව්‍යාපාද නැති දෙවියන් ඒ දිව්‍යලෝකයෙන් නෙරපා දමන්නට නොහැකිද?” කියායි.
එවිට ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්ට මේසේ සිතුනි.
” මේ තරුණ විඩුඩභ සෙනාපතිතුමා, පසේනදි කොසොල් රජුගේ පුත්‍රයාය. මම භාග්‍යවතුන් වහන්සේගේ පුත්‍රයාය. පුත්‍රයකු විසින් තවත් පුත්‍රයෙකුගේ ප්‍රශ්නය විසඳීම සුදුසුය.”කියායි
ඉක්බිති ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ විඩුඩභ සේනාපතියාට කථා කෙළේය.
“සෙනාපතිය, එසේනම් මේ කාරණය ගැන මම නුඹගෙන්ම අසන්නෙමි. තොපට සිතෙන ආකාරයට ප්‍රකාශ කරව. සේනාපතිය, ඒ කුමකැයි හඟින්නේද?
“පසේනදි කොසොල් රජුගේ රාජ්‍යය යම් තරමක් වේද, පසේනදි කොසොල් රජ යම් ප්‍රදෙශයක අධිපතිකම් කරයිද, එහි ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ පින් ඇත්තෙකු හෝ පින් නැත්තෙකු හෝ බ්‍රහ්මචාරී වූවෙකු බ්‍රහ්මචාරී නොවූවෙකු හෝ ඉන් පහකිරීමට හෝ රටින් නෙරපීමට හෝ පසේනදි කොසොල් රජ සමර්ථවේද?”
“පින්වතුන් වහන්ස, එසේය. කොසොල් රජ එයට සමර්ථ වෙයි.”
සේනාපතිය, ඒ කුමකැයි හඟින්නෙහිද?
“යම් ස්ථානයක් පසේනදි කොසොල් රජුගේ රාජ්‍යය තුල නොවේද, යම් ප්‍රදෙශයක පසේනදි කොසොල් රජතුමාගේ අධිපතිකම් බල නොපායිද, එම තැන ඉන්නා ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු ඉන් නෙරපීමට පිටුවහල් කිරීමට කොසොල් රජතුමා සමර්ථ වේද?”
“නැත, පින්වතුන් වහන්ස, තමන් අදිපති බව නොදරන ස්ථානයක ඉන්නා අය නෙරපීමට කොසොල් රජතුමා සමර්ථ නොවෙයි.”
“සේනාපතිය! තොප තව්තිසාවෙහි දෙවියන් ගැන අසා ඇත්ද,”
“එසේය, පින්වතුන් වහන්ස . තව්තිසා දෙවියන් ගැන මා අසා තිබේ. පසේනදි කොසොල් රජුද තව්තිසා දෙවියන් ගැන අසා ඇත.”
“සේනාපතිය, ඔබ කෙසේ සිතයිද?
තව්තිසාවෙහි ඉන්නා දෙවියකු ඉන් පහ කිරීමට හෝ නෙරපීමට හෝ පසේනදි කොසොල් රජතුමා සමර්ථවේද?”
“පින්වතුන් වහන්ස! තව්තිසා දෙවියන් දැකීමටවත් පසේනදි කොසොල් රජතුමා අසමර්ථය, කෙසේනම් තව්තිසාවෙහි දෙවියකු ඉන් පහකිරීමට හෝ නෙරපීමට හෝ එතුමා සමර්ථ වෙයිද?”
“සේනාපතිය, එපරිද්දෙන්ම මේ ලෝකයට පැමිණෙන්නාවූ ඒ ව්‍යාපාද සහිත දෙවිවරු, මේ ලෝකයට නොපැමිණෙන්නාවූ ව්‍යාපාද රහිත ඒ දෙවියන් නොදකිති. ඔවුන්ට දැකිය නොහැක, එසේ ඒ දෙවියන් දැකීමටද නොහැකි නම්, කෙසේ නම් ඉන් පහකරන්නේ හෝ නෙරපන්නේ හෝ වේද?”
§ 15. “එකල්හි පසෙනදි කොසොල් රජතුමා භාග්‍යවතුන් වහන්සේගෙන් මෙසේ ඇසීය.
“ස්වාමීනි, මේ භික්ෂුව කවරෙක්ද”
“මහරජ, ඒ ආනන්දය,”
“පින්වත්නි, එකාන්තයෙන් උන්වහන්සේ ආනන්දයකි. (සතුටකි), පින්වත්නි, එකාන්තයෙන් සතුටුවීමට කරුණකි. ස්වාමීනි, ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ හේතු සහිත වූවක්ම කියුහ. ස්වාමීනි, ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ කරුණු සහිත වූවක්ම කිහ.”
ස්වාමිනි තවත්ම ප්‍රශ්නයකට පිළිතුරු දෙන සේක්වා, කිමෙක්ද ස්වාමීනි, බ්‍රහ්මයෝ සිටින්නේද?”
“මහරජ, තොප කුමක් හෙයින් එසේ අසන්නේද?”
“ස්වාමීනි, බඹ ලොව වසන බ්‍රහ්මයෝ යලි මෙලොව උපදින්නේද? , නොපැමිණෙන්නේද?”
“මහරජ, ව්‍යාපාදය (එනම් අසන්තොශය, අසන්ත්රුප්තිය, දෝෂය) සහිතවූ යම් බ්‍රහ්මයෙක් වෙද්ද, ඔවුහු මේ ලෝකයට ආපසු පැමිණෙති, ව්‍යාපාද රහිතවූ බ්‍රහ්මයන් මේ ලෝකයට නොපැමිණෙති”
§ 17. “එකල්හි එක්තරා පුරුෂයෙක් පසේනදි කොසොල් රජුට මෙසේ කීයේය.
“මහරජ ආකාශ ගොත්‍ර ඇති සඤ්ජය බ්‍රාහ්මණයන්ම කැටුව ආයෙමිය” කියායි.
කොසොල් රජ සංජය බ්‍රාහ්මණයාගෙන් මෙසේ ඇසීය.
“බ්‍රාහ්මණය, මාලිගාවේදී මේ කථාව කථා කළේ කවරෙක්ද,”
“මහරජ, විඩුඩභ සෙනාපති තුමාය.”
ඒ ඇසු විඩුඩභ සේනාපති මෙසේ කීය.
“මහරජ, ඒ කීවේ සංජය බ්‍රාහ්මණයාය.”
§ 17. ඉක්බිති එක් පුරුෂයෙක් පසෙනදි කොසොල් රජුට මෙසේ කීය.
“මහරජතුමනි, දැන් ගමනට සුදුසු කාලයයි.”
එකල්හි පසේනදි කොසොල් රජතෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය.
“ස්වාමීනි, අපි භාග්‍යවතුන් වහන්සේගෙන් සර්වඥභාවය ගැන ඇසුවෙමු. භාග්‍යවතුන් වහන්සේ සර්වඥභාවය විස්තර කළහ. එය අප පිළිගතිමු . ඒ අපේ කැමැත්ත පිණිස විය. එයින් අපි සතුටු වීමු.
ස්වාමීනි, සතර ජාතීන්ගේ සුද්ධිය ගැන අපි භාග්‍යවතුන් වහන්සේගෙන් ඇසුවෙමු. භාග්‍යවතුන් වහන්සේ සතර ජාතීන්ගේ සුද්ධිය විස්තර කළහ. එය අප පිළිගතිමු . ඒ අපේ කැමැත්ත පිණිස විය. එයින් අපි සතුටු වීමු.
ස්වාමීනි, උසස් දෙවියන් ගැන අපි භාග්‍යවතුන් වහන්සේගෙන් ඇසුවෙමු. භාග්‍යවතුන් වහන්සේ උසස් දෙවියන් ගැන විස්තර කළහ. එයද අප පිළිගතිමු . ඒ අපේ කැමැත්ත පිණිස විය. එයින් අපි සතුටු වීමු.

ස්වාමීනි, අපි භාග්‍යවතුන් වහන්සේගෙන් උසස් බ්‍රහ්මයන් ගැන ඇසුවෙමු. භාග්‍යවතුන් වහන්සේ උසස් බ්‍රහ්මයන් ගැන විස්තර කළහ. එයද එය අප පිළිගතිමු . ඒ අපේ කැමැත්ත පිණිස විය. එයින් අපි සතුටු වීමු.
ස්වාමීනි, දැන් අපි යන්නෙමු. අපි බොහෝ වැඩ කටයුතු ඇත්තෝ වෙමු”යි කීය.
“මහරජ, තොප කැමැති ලෙස කරව”යි වදාළහ.
ඉක්බිති පසේනදි කොසොල් රජතුමා භාග්‍යවතුන් වහන්සේගේ වචනයට සතුටුව අනුමෝදන්ව උන් ආසනයෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේට වැඳ පැදකුණු කොට පිටව ගියේය.
