AN 01-02 නීවරණ වග්ගය

§ 01.02.01.කාමච්ඡන්දුප්පාද සූත්‍රය.

“මහණෙනි,
යම් සිතක නුපන් කාම ආසාවන් ඇතිකිරීමට, උපන් කාම ආසාවන් වැඩි කිරීමට හේතුවන බලගතුම ධර්මය සුභ නිමිත්තය.. යම් නිමිත්තක් දැක එය සුභ වශයෙන් ගැනීමෙන්23 , ( අසුචි පිරවූ කලයක් බඳු, ලේ
සැරව මුත්‍රා පිරුණු කාන්තා රූපයක්, මනහර සුරූපී ලෙස රාග අරමුණක් ලෙස ගැනීමෙන්) නූපන් කාම ආශාව උපදී, උපන්නාවූ කාම ආශාව නැවත නැවත ඉපදීම හා වැඩිවීම වන්නේය. අරමුණෙහි සුභ නිමිති ගැනීම හැර මේ අනර්ථයට හේතුවන වෙනත් හේතුවක් මා නොදකිමි.

මහණෙනි, කැමැත්ත, ආසාව, කාමය, රාගය ඇතිකරණ අරමුණ අනුවණින් වැරදිලෙස මෙණෙහි කරන්නා තුළ නූපන් කාම ආශාවන් උපදී, උපන්නාවූ කාම ආශාවෙහි පැතිරීම හා වැඩි වීම සිදුවන්නේය.”

[23: පෘතග්ජන මනස දකින අරමුණුවල සත්‍ය ස්වභාවය වෙනුවට දකින්නේ තමන්ගේ කැමැත්තට අනුව කාමය වඩන ආකාරයටය. දකින වස්තුව අරමුණය. ඒ දකින්නාගේ සිතේ ස්වභාවය නොසා නිමිත්තක් ලෙස ගනී. මේ නිමිත්ත පච්චය හෙවත් හේතුව ද වේ. මේ නිමිත්ත නිසා ඔහු තුල කාම රාග ආදී කෙලෙස් උපදී. රාගට්ටණියෝ ඉට්ඨාරම්මන ධම්මෝ : යෝනිසෝ මනසිකාරය මේ සිද්ධියට මුල් වේ.]

§ 01.02.02. ව්‍යාපාදුප්පාද සූත්‍රය.

“මහණෙනි, පටිග්ගහ නිමිත්ත24 තරම් සිතෙහි අසන්තොශය ඇති කිරීමට, ද්වේශය තරහව ඇතිකිරීමට, ඇතිවූ අසන්තොශය හා කලකිරීම දියුණු කොට, ව්‍යාපාදය තෙක් ගෙනයාමට, සමත් වෙනත් ධර්මතාවක් මා නො දකිමි.

මෙසේ යම් අරමුණක් යෝනිසෝ මනසිකාරයෙන් සති සම්පජන්නයෙන් මනා නුවනින් තොරව ගැනීමෙන් වැරදිලෙස මෙනෙහිකරන්නා තුළ (කලින්) නූපන් ආශාවන් උපදී, උපන්නාවූ ආශාවන් බහුලභාවයට හා විපුලභාවයට පැමිණේ”

[24: පටිග්ගහ නිමිත්ත යනු තමා අකමැති අරමුනක්ය. ඒ අකමැත්ත වන්නේද සඥා විපල්ලාසයෙන් යුතුව අරමුණ දෙස බැලීමෙනි. බුද්ධඝෝෂ හිමියන් අටුවාව මේ තේරුම් කිරීම දැන් සොයා ගන්නට බැරි සිංහල මහා අට්ටකථාවෙන් ගත් බව සඳහන් කරයි. දැනට දකින්නට නැති සිංහල අටුවා ටීකා ආදිය විසුද්ධි මාර්ගය ලියන්නට බුද්ධඝෝෂ හිමියන් පාවිච්චිකළ බව මෙයින් පැහැදිලිවේ. ]

සිතෙහි නුරුස්නා බව ඇතිකරණ තරහ අරමුණක් නිසා නූපන් අසතුටක්  උපදී ද, උපන්නාවූ අසතුට  නැවත නැවත ඉපදීම හා විසාලලෙස රැස්වීම ඇති වන්නේද, මහණෙනි, එබඳුවූ අනික් එකම කරුණකුදු මම නොදකිමි.

§ 01.02.03. ථීනමිද්ධුප්පාද සූත්‍රය.

“මහණෙනි,
සිතෙහි හැකිලීම, නම් චිත්ත ස්වභාවය නිසා කුශලධර්මයන්හි නොඇලීම, අලස බව, කම්මැලි වීම,ඇඟමැලිකැඩීම, බත්මත, සිතෙහි හැකුළුණු බව යන ථින මිද්ධ ගති ඇතිවේ. සිතෙහි හැකිලුනු බව නිසා නූපන් ථීනමිද්ධය (සිතෙහි අලස බව හා කයෙහි අලස බව) උපදී, උපන්නාවූ ථීනමිද්ධය බහුලභාවයට විපුලභාවයට පත් වන්නේ ය.,

මහණෙනි, නොතිබුන ථීනමිද්ධය ඉපදවීමට, ඇතිවූ ථීනමිද්ධය වැවීමට , සිතෙහි හැකිලීම තරම් හේතු වූ අනෙක් එකම කරුණකුදු මම නොදකිමි. මහණෙනි, මැලි සිත් ඇත්තා තුල නූපන් ථීනමිද්ධයත් උපදී, උපන්නාවූ ථීනමිද්ධයෙහි බහුලභාවය හා විපුලභාවයත් ඇතිවන්නේය.”

§ 01.02.04 උද්ධච්ච කුක්කුච්චුප්පාද සූත්‍රය .

“මහණෙනි,
සිත්හි නොසංසිඳුනු බව නිසා නූපන් උද්ධච්ච කුක්කුච්චය උපදී,
උපන් උද්ධච්චකුක්කුච්චය බහුලභාවයට හා විපුලභාවයට පැමිණේ,
මහණෙනි, උද්ධච්ච කුක්කුච්චය පිණිස , නොසන්සුන් සිත තරම් හේතුවන අනෙක් එකම කරුණකුදු මම නොදකිමි.
නොසන්සුන් සිත් ඇත්තා තුළ නූපන් උද්ධච්ච කුක්කුච්චය උපදී,
උපන් උද්ධච්ච කුක්කුච්චය බහුලභාවයට හා විපුලභාවයට පැමිණේ.”

§ 01.02.05. විචිකිච්ඡුප්පාද සූත්‍රය

“මහණෙනි, අයෝනිසෝ මනසිකාරය (නුවණින් මෙනෙහි නොකිරීම) නිසා නූපන් විචිකිච්ඡාව (සැකය) උපදී, උපන් විචිකිච්ඡාව හෝ බහුලභාවයට හා විපුලභාවයට පැමිණේ, මහණෙනි, විචිකිච්චාව පිණිස, නුවනින් මෙනෙහි නොකිරීම නොහොත් යෝනිසෝ මනසිකාරය තරම් හේතුවන අනික් එකම කරුණකුදු මම නොදකිමි.

නුවණින් මෙනෙහි නොකිරීම නිසා නූපන් විචිකිච්ඡාව උපදී,
උපන් විචිකිච්ඡාවත් බහුලභාවයට හා විපුලභාවයට පැමිණේ.

§ 01.02.06 . කාමච්චන්ද පහාන සුත්‍රය

“මහණෙනි, කාමච්චන්දය දුරු කල යුත්තේය.
අසුභ නිමිත්ත නිසා කාම රාගය තුනී වේ. නූපන් කාමච්ඡන්දය (පඤ්චකාමයන් කෙරෙහි ආසාව) නූපදී ,
උපන් කාමච්ඡන්දය විනාසයට යේ, අවසන්ම වේ,
මහණෙනි අරමුණෙහි අසුභය දැකීම තරම් කාමච්චන්දය ප්‍රහීනයට හේතුවන අනික් එකම කරුණකුදු මම නොදකිමි.29

[මනෝරත පුරණි ටීකාව කාමච්චන්ද ප්‍රහීනය පිණිස පස් වැදෑරුම් අත්හැරීම් දක්වයි.
(i) විදර්ශනාවෙන් කරන තදන්ඝ ප්‍රහාණය
(ii) යටපත් කිරීමෙන් කරන වික්කම්භන ප්‍රහාණය
(iii) මාර්ගය වැඩීමෙන් වන සමුච්චේද ප්‍රහාණය
(iv) මාර්ගඵල අධිගමයෙන් වන පටිපස්සදී ප්‍රහාණය
(v) සියලු ක්ලේශයන් අරහත් ඵලයෙන් දුරු කිරීමෙන් වන නිස්සරණ ප්‍රහාණය මගින් ලෙසය.

මනෝරත පුරණි ටීකාවෙහි මෙම අසුභ නිමිත්ත විස්තර කෙරෙන්නේ දස අසුභ සග්නාවන් විදර්ශනාවෙන් ලබාගන්නා පළමු ධ්‍යානහි ඵලයක් ලෙසය. මේ විස්තර කිරීම විසුද්ධි මාර්ගය උපුටා දැක්වීමක් ලෙස දැකිය හැක. ]

අරමුණෙහි අසුභ නිමිත්ත නුවණින් මෙනෙහිකරන්නා තුළ පෙර නූපන් කාමච්ඡන්දයත් නූපදන්නේය,
උපන් කාමච්ඡන්දයත් පහව යන්නේය.”
30

[30: සතිපට්ඨාන සුත්‍රයේ අටුවාවේ දැක්වෙන පිළිවෙත් අනුව පංච නීවරණයන්හි කාමච්චන්දය දුරු කිරීමේ ආකාර සයක් මනෝරත පුරණය දක්වයි.
(i) අරමුණෙහි අසුභය දැකීම
(ii). අසුභය භාවනා කිරීම
(iii) පංච ඉන්ද්‍රිය සංවරය
(iv) ආහාරයේ පමණ දැන වැළඳීම
(v) කල්‍යාන මිත්‍ර ආශ්‍රය සහ
(vi) පමණ දැන කථාවෙහි යෙදීමය ]

§ 01.02.07. ව්‍යාපාදප්පහාන සූත්‍රය.

“මහණෙනි,
ව්‍යාපාදය දුරු කල යුත්තේය.
මෛත්‍රී සහගත සිත නිසා නූපන් තරහව නූපදී,
උපන්නාවූ ක්‍රෝධය විනාසයට යේ,

මෛත්‍රිය31 තරම් මහණෙනි, එබඳුවූ අනික් එකම කරුණකුදු මම නොමදකිමි. මෛත්‍රීසහගතව මිදුනු සිත නුවණින් මෙනෙහි කරන්නා තුළ
නූපන් අකමැත්තත්, ක්‍රෝධයත් නූපදන්නේය,
උපන් ක්‍රෝධයත් විනාසයට යන්නේය”
32

[31: මෙත්තා චේතෝ විමුක්තිය : සියලු සත්වයන් කෙරෙහි පැතිර පවත්නා මෛත්‍රිය වැඩීම , සියලු සත්ව ප්‍රජාවට යහපත පැතීම, ඒ පරමාර්ථයෙන් ක්‍රියා කිරීම සිතෙහි විමුක්තිය ඇති කරලන්නට සමත් වේ. මෛත්‍රී භාවනාව මනාසේ වඩන්නාගේ සිත නිබඳව සමාධියට පත්වේ. මේ සමාධිය දෙවන ධ්‍යානය තෙක්ම සිත නැංවීමට පවා සමත්ය ]

[32 :- ව්‍යාපාදය දුරු කිරීමට පියවර සයක් මනෝ පුර්නිකාව දක්වයි. (i). මෛත්‍රී භාවනාව ප්‍රගුණ කිරීම (ii) මෛත්‍රී භාවනාව වැඩීම (iii). කර්ම විපාක විදර්ශනාව (iv) අනුස්සති භාවනාව (v) කල්‍යාණ මිත්‍ර ආශ්‍රය (vi) වාග් සංවරය

§ 01.02.08 . ථීනමිද්ධප්පහාන සූත්‍රය

“මහණෙනි, ථිනමිද්ධය විමුක්තියට බාධා කරන මහම නීවරයකි.

ආරම්භධාතු නම් , ප්‍රථමාරම්භ වීර්‍ය්‍යය, නික්කම ධාතු නම් වූ කුසීතභාවයෙන් තොරවූ ඊට වඩා බලවත් වීර්‍ය්‍යය, පරක්කම ධාතු නම් වූ මතු මත්තෙහි සම්පතට පමුණුවමින් උපදනා ඊටත් වඩා බලවත්වූ වීර්‍ය්‍යය නිසා නූපන් ථීනමිද්ධය හෝ නූපදී, උපන් ථීනමිද්ධය හෝ විනාසයට ය.

මහණෙනි, ථීනමිද්ධය දුරු කිරීමට සමත් එබඳුවූ අනික් එකම කරුණකුදු මම නොදකිමි.
මහණෙනි, පරිපූර්ණ වූද අල්වාගන්නාලද්දාවූද වීර්‍ය්‍යය ඇත්තා තුළ නූපන් ථීනමිද්ධයත් නූපදී, උපන් ථීනමිද්ධය විනාසයට යයි.”

§ 01.02.09. -උද්ධච්චකුක්කුච්චප්පහාන සූත්‍රය

“මහණෙනි, සිතෙහි සංසිඳවීම නිසා නූපන් උද්ධච්චකුක්කුච්චය නූපදී, උපන් උද්ධච්චකුක්කුච්චය විනාසයට යේ, මහණෙනි, සිත සන්සුන් කිරීම තරම් , උද්ධච්චකුක්කුච්චය වැලක්වීමට හේතුවන අනික් එකම කරුණකුදු මම නොදකිමි.

මහණෙනි, සන්හුන් සිත් ඇත්තා තුළ නූපන් උද්ධච්චකුක්කුච්චයත් නූපදී, උපන් උද්ධච්චකුක්කුච්චයත් විනාසයට යයි.”

§ 01.02.10. විචිකිච්ඡප්පහාන සූත්‍රය

“මහණෙනි, විචිකිච්චාව යනු නීවරණයකි.

යෝනිසෝමනසිකාරය නම්, නුවණින් මෙනෙහිකිරීම නිසා නූපන් සැකය හෝ නූපදී, උපන් සැකය විනාසයට යේ,

මහණෙනි, එබඳුවූ අනික් එකම කාරණයකුදු මම නොදකිමි. මහණෙනි, නුවණින් මෙනෙහි කිරීම ඇත්තා තුළ නූපන් සැකයත් නූපදී, උපන් සැකයත් විනාසයට යයි”

“අත්ථි භික්ඛවෙ, කුසලාකුසලා ධම්මා සාවජ්ජානවජ්ජා ධම්මා සෙවිතබ්බාසෙවිතබ්බා ධම්මා හීනනප්පණිතා ධම්මා කණ්හසුක්කසප්පටිභාගා ධම්මා තත්ථ යොනිසොමනසිකාරබහුලීකාරො අයමාහාරො අනුප්පන්නාය වා විචිකිච්ඡාය අනුප්පාදාය, උපපන්නාය වා විචිකිච්ඡාය න භීය්‍යොභාවාය.”

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.