[මෙම සුත්‍ර දේශනාව බොහෝ සේ වැදගත් වන්නේ :
ඊළඟ භවය සකස්වන්නේ බොහෝ විට කෙනෙකුගේ මේ ජීවිතය තුල කල කර්මවල ශක්තිය අනුව බව ධර්මයේ සඳහන් වේ. පෙර භාව වල කල කර්මයන් නොව මේ මිය යන භාවයේ කල කර්මයන් පමණක් ඊළඟ භවය තීරණය කරන බව බොහෝ සුත්‍රවල සඳහන් වේ. මෙසේ තීරණය වන ගති අරමුණ වෙනස් කරන්නට අන්තිම මොහොතේ දී පවා හැකියාවක් ඇති බව මේ සුත්‍රය හැදෑරීමෙන් වැටහේ. කල සියළු නරක කර්මයන් උගුලා දැමීමක් නොව ඊළඟ භවය වන ස්ථානය වෙනස් කරන්නට උපාය ශීලි විය හැක. සත්වයාගේ ඊළඟ භවය සකස් කරන චිත්තය ඔහුගේම මනස විසින්ම තීරණය කරන නිසා යමෙක් සිය මනස යහපත් අරමුණක රඳවා ගන්නේ නම් තමන් කල කුසල් සිහිකොට තමන්ගේ ඊළඟ භවය අසුවල් දේව ලෝකයේය අසුවල් බ්‍රහ්ම ලෝකයේය ලෙස තමාම පිහිටුවා ගැනීම කල හැකි බව මේ සුත්‍රය මගින් පෙන්වා දේ.

§ 1. මා විසින් මෙසේ අසනලදී.
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කලන්දක නිවාපයෙහිවූ “වෙළුවන” නම් විහාරයෙහි වාසය කරන සේක. එසමයෙහි ආයුෂ්මත් සාරිපුත්ත ස්ථවිරයන් වහන්සේ මහත් භික්ෂු සංඝයා සමග දක්ෂිණ ගිරි ජනපදයෙහි ධර්ම චාරිකාවේ හැසිරෙන සේක.
§ 2. එකල්හි එක්තරා භික්ෂුවක් රජගහ නුවර වස් වැස නිම කොට, දක්ෂිණ ගිරිය ට ආවේ, ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ සොයා පැමිණ ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් සමග සතුටු විය යුතු වූත්, සිහි කටයුතුවූත්, කථාව කොට නිමවා එක් පැත්තක හුන්නේය. එක් පැත්තක උන්නාවූ ඒ භික්ෂුවගෙන් ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මෙසේ අසා වදාළහ.
“ඇවැත්නි, කිමෙක්ද? භාග්‍යවතුන් වහන්සේ නිරෝගිව වසන්නේද ?”
“ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ නිරෝගිය..”
“ඇවැත්නි, කිමෙක්ද? භික්ෂු සංඝයා නිරෝගිව හොඳින් වසන්නේද?”
“ඇවැත්නි, එසේය. භික්ෂු සංඝයා නිරෝගිව හොඳින් වසත්ය.”
“ඇවැත්නි, රජගහනුවර සමීපයෙහි තණ්ඩුලපාල ද්වාර නම් ගම් දොර ධනන්ඤ්ජානී නම් බමුණෙක් හුන්නේය .”
“ඇවැත්නි, කිමෙක්ද? එම ධනන්ඤ්ජානි බ්‍රාහ්මණයා නිරෝගිව වසන්නේද? ආබාධයකින් තොරව වසන්නේද?”
“එසේය ඇවැත්නි, ධානඤ්ජානි බ්‍රාහ්මණ තෙමේද නිරෝගිය. ආබාධයෙන් තොරය..”
“ඇවැත්නි, කිමෙක්ද ධනන්ඤ්ජානි බ්‍රාහ්මණ තුමා අප්‍රමාදව897 හැසිරෙන්නේද? ”
“ඇවැත්නි, කෙසේ නම් ධානඤ්ජානි බමුණා අප්‍රමාද වන්නේද?
“ඇවැත්නි, ධානඤ්ජානි බ්‍රාහ්මණයා රජුන් ගේ නාමයෙන් අනෙක් බ්‍රාහ්මණයන්ගේ වස්තුව පැහැරගනී. බ්‍රාහ්මණ ගෘහපතියන් ට ද වංචා කරමින් රජුන් සතු වස්තුව පැහැර ගනී.
[897:- අප්‍රමාදව ඉන්නේද? යන්නෙන් අදහස් කරන්නේ අකුසලයන්ගෙන් මිදී කුසලයෙහි යෙදේද, සසර බිය ඇතිව යහපත් පවතුමේ හැසිරේද යන්නය.]
“ශ්‍රද්ධාවත් කුලයකින් ආවාහ කරගත් මනා සීලයෙන් යුතුවූ ඔහුගේ පෙර භාර්‍යාව කළුරිය කළේය. ඉන් පසු හෙතෙම අශ්‍රද්ධාවත් කුලයකින් කිසිදු ශ්‍රද්ධාවක් නැති අන්‍යවූ භාර්යාවක් ගෙනෙන ලද්දීය. ඉන් පසු එම බමුණා සිය ධාර්මික පැවැත්ම හැර අධාර්මිකවම වසන්නේය ”
“ඇවැත්නි, එකාන්තයෙන් නපුරු දෙයක් ඇසීමු. ඇවැත්නි, එකාන්තයෙන් නපුරු සිදුවීමක් ඇසීමු. අපි විසින් තොරතුරු විමසන ලද ඒ ධනන්ඤ්ජානි බමුණා හමුවී ඔහුට පිහිට වන්නේ නම් ,කිසියම් කථා සල්ලාපයක් වන්නේ නම් හොඳය.” ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ කීහ.<ඉක්බිති ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ දක්ෂිණාගිරි ජනපදයෙහි කැමැතිතාක් කල් වාසය කොට රජගහනුවර වෙත චාරිකාවෙහි වැඩි සේක. පිළිවෙලින් චාරිකාවෙහි හැසිරෙන්නේ, රජගහනුවර ට පැමිණියේය. එහි ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ රජගහ නුවර කලන්දක නිවාපයෙහි වෙළුවන නම්වූ විහාරයෙහි ලැගුම් ගත්තේ . පෙරවරුවෙහි හැඳ පොරවා පාත්‍ර සිවුරු ගෙන රජගහ නුවරට පිඬු පිණිස වැඩියහ. පිණ්ඩපාතයෙන් ඉක්බිති මහ තෙරුන් වහන්සේ නගරයෙන් පිට වූ ධනංජානි බ්‍රාහ්මණයා ගේ නිවසට වැඩියේය.
§ 4 .එවිට ධනන්ඤ්ජානි බ්‍රාහ්මණයා සිය ගවගාලෙහි දෙනුන්ගෙන් කිරි දොවමින් සිටියේය. ධනඤ්ජානි බමුණා දුර එන්නාවූ ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ දුරදීම දුටුවේය. දැක, ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ ඉදිරියට පැමිණ ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේට මෙසේ කීය.
“භවත් ශාරිපුත්‍රයන් වහන්ස, බත් අනුභව කිරීමට කාලය එනතුරු මෙයින් කිරි බොන සේක්වා”
‘බමුණ, කම් නැත. මා විසින් අද බත් අනුභව කරන ලදී. අසුවල් ගස මුල මාගේ දවල් වාසය කිරීම වන්නේය. එහි එන්නෙහි නම් යහපතැ යි” කීහ. “එසේය. පින්වතුන් වහන්සැයි” ධානඤ්ජානි බමුණා ආයුෂ්මත් සාරිපුත්ත තෙරුන්ට උත්තර දුන්නේය.
§ 5 . ඉක්බිති ධනංඤ්ජානි බ්‍රාහ්මණයා උදේ ආහාරය වහා නිමවා ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ වැඩ හුන් තැනට පැමිණ ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ සමග සතුටුවිය යුතුවූත් සිහිකටයුතුවූත් කථා කොට නිමවා එක් පැත්තක උන්නේය. එක් පැත්තක උන්නාවූ ධානඤ්ජානි බ්‍රාහ්මණයාට ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මෙසේ කීහ.
“ධනංඤ්ජානිය, කිමෙක්ද, නුඹ අප්‍රමාදව898 ජීවත් වන්නේද ?”
[898:- කුසලයෙහි ප්‍රමාද නොවීම අකුසල දුරු කිරීමෙහි ප්‍රමාද නොවීම = අප්‍රමාදය ලෙස ගත මනාය]
“භවත් ශාරිපුත්‍රයන්වහන්ස, කෙසේ නම් අප අප්‍රමාද ප්‍රතිපදාවේ යෙදෙන්නේද ? අප හට බොහෝ වගකීම් ඇත්තේය.
- අප විසින් අපගේ මවුපියන් පොෂ්‍ය කළයුතුය.
- අඹුදරුවන් පොෂ්‍ය කළයුතුය.
- දාසි දාස කම්කරුවන් පොෂ්‍ය කළයුතුය.
- අසල්වැසියන්ගේ අසල්වැසි කටයුතු කළයුතුය.
- නෑදෑයන්ගේ නෑදෑ කටයුතු කළයුතුය.
- ආගන්තුකයන්ගේ ආගන්තුක කටයුතු කළයුතුය.
- මියගියවුන් පිළිබඳ කටයුතු කළයුතුය.
- දෙවියන්ගේ පුද පුජා දේව උත්සව පිළිබඳ කටයුතු කළයුතුය.
- රජුන් නියමකරන රාජකාරි කළයුතුය.
- මේ කයද පිනවිය යුතුය. වර්ධනය කළ යුතුයයි” කීහ.
§ 6 “ධානඤ්ජානිය, නුඹ කුමක් සිතන්නෙහිද?
මේ ලොකයෙහි යම් පුද්ගලයෙක් මව් පියන් නිසා අධාර්මික ව ආජීවය ඇත්තේ අකුසල් ක්‍රියාවෙන් ධනය උප්දවන්නේද, අනුනට හානි ඇතිවෙන විසම හැසිරීම් ඇත්තේද, ඒ පුද්ගලයා අධර්ම හැසිරීම විසම හැසිරීම හේතුවෙන් කලුරිය කල වහා යමපල්ලන් ඔහු වෙත වුත් ඔහු නිරයට ඇදගෙන යන්නෝය.එසේ වූ විට ඔහු යම පල්ලන් අමතා ,
. ‘මම අධර්මචාරී විසමචාරී වූයෙ මහේ මව් පියන් පෝෂණය කරනු පිණිසය. ඒ නිසා මා නරකයට නොඅදිත්වා“
යයි කියා නිරයපාලයෝ වළක්වා ගැනීමට ඔහු සමර්ථ වේද?
ඔහුගේ මව් පියෝ ,
“මොහු අප නිසා අධර්මික ලෙස ජීවත්විය. විසම හැසිරීම ඇත්තෙක් වීය, අප නිසා ඔහු අකුසල් කල නිසා අප පුතු නිරයට නොඅදිත්වා“
යි කියා නිරය පාලයෝ වළක්වා ගැනීමට සමර්ථ වෙත්ද?”
“භවත් සාරිපුත්‍රයන් වහන්ස, මෙය කිසි විට සිදු නොවේ. එකල්හි ඔහු හඬද්දීම නිරය පාලයෝ නිරයෙහි ඇද දමන්නාහුය.”
§ 7 . “ධනන්ඤ්ජානිය, නුඹ කුමක් සිතන්නෙහිද?
යම් පුද්ගලයෙක් සිය අඹු දරුවන් පෝෂණය පිණිස අධාර්මික පැවතුම් හා හැසිරීම ඇත්තේ අනුනට හානිකර විසම හැසිරීම ඇත්තේ වන්නේද, ඒ පුද්ගලයා අධර්ම චරියා විසමචරියා හෙතුවෙන් නිරයට නිරයපල්ලෝ අදින්නාහුය.
‘අහෝ මම මගේ අඹු දරුවන් නිසා අධර්ම චර්යා විසම චර්යා කළේමි. මා නරකයට නො අදිත්වා!”යයි යම පල්ලන් වළක්වා ගැන්මට සමර්ථ වේද?,
” අහෝ යම පල්ලනි ! මේ තෙමේ අප නිසා අධර්මචාරී විසමචාරී විය. ඔහු නිරයට නො අදිත්වා!”යි’ ඔහුගේ කියා ඔහුගේ අඹුදරුවන්ට, නිරපල්ලෝ වළක්වා ගැනීමට සමර්ථ වෙද්ද?”
“භවත් ශරිපුත්‍රයන් වහන්ස, නොහැකිය. ඔහු අඬද්දීම නිර පල්ලෝ ඔහුව නිරයෙහි ඇද දමන්නාහුය.”
§ 8. “යමෙක් දැසි දස්සන් සේවකයන් නිසා අධර්මචාරී විසමචාරී ලෙස ධනය උපයන්නේය, . ඒ පුද්ගලයාගේ අධර්ම චරියා විසම චරියා හේතුවෙන් නිරයපාලයෝ ඔහු නිරයට අදින්නාහුය.
‘අහෝ මම දැසි දස් කම්කරු පුරුෂයන් නිසා අධර්මචාරී විසමචාරී වූයෙමි. නිර පල්ලෝ මා නිරයට නොඅදිත්වා!”
යි, වළක්වා ගැනීමට ඔහු හෝ සමර්ථ වේද?”
“ නිරී පල්ලනි ! මේ අප ස්වාමියා අප නිසා අධර්මචාරී විසමචාරී විය. ඔහු නිරයට නොහෙලත්වා!” ,
යි කියා වළක්වා ගැනීමට දැසි දස් කම්කරුවෝ හෝ සමර්ථ වෙත්ද?”
“භවත් ශරිපුත්‍රයන් වහන්ස, එසේ නොහැකිය නිර පල්ලෝ ඔහු අඬද්දීම නිරයෙහි ඇද දමන්නාහුය.”
§ 9 . ධනන්ඤ්ජානිය, කුමක් සිතන්නෙහිද?
මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් අසල්වැසියන්ට උපකාර ආධාර කිරීමට ධනය ඉපඊමට අධාර්මික ක්‍රියා කලේ ඒ හැසිරීම් ඒ සමහැසිරීම් ඇත්තේ වන්නේද, ඒ පුද්ගලයා අධර්මචාරී විසමචාරී කර්ම හේතුවෙන් නිර පල්ලෝ නිරයට ඔහු අදින්නාහුය..
” මම මගේ අසල්වැසියන් නිසා අධර්මචාරී විසමචාරී වූයෙමි. මා නිරයෙහි නොහෙලත්ත්වා!”යි, කියා යමපල්ලන් වලක්වා ලීමට ඔහු සමර්ථ වේද,?”
‘මේ තෙමේ අප නිසා අධර්මචාරී විසමචාරී විය. ඔහු නිරයට නොඅදිත්වා!”යි, කියා නිරි පල්ලෝ වළක්වාගන්ට ඔහුගේ අසල් වැසියෝ සමර්ථ වෙද්ද?’
“භවත් ශාරිපුත්‍රය, එසේ නොහැකිය. ඉක්බිති නිරයපල්ලෝ ඔහු අඬද්දීම නිරයෙහි ඇද දමන්නාහුය.”
§ 10 . ….නෑසහලේ නෑයන් නිසා ……..”
§ 11 “…. ආගන්තුකයන් නිසා……”
§ 12. “……….. මළගියවුන් නිසා ………………”
§ 13………. දෙවියන් නිසා ………………
§ 14 “……………. රජු නිසා ……………………….”.
§ 15 . “………….ශරීරය පිනවීම් හා වැඩීම් නිසා ………….”.
§ 16 . “ධනන්ඤ්ජානිය, ඔබ කුමක් සිතන්නෙහිද?
යම් පුද්ගලයෙක් සිය මව් පියන් පෝෂණය පිණිස අධාර්මික චරියාවෙන් උපයන්නේය. අනෙකෙකු සිය මාපියන් පෝෂණය පිණිස ධාර්මික රැකියාවක් කරන්නේය. ඔවුන් දෙදෙනා අතරෙන් ශ්‍රේෂ්ඨ වන්නේ කවරහුද?
“භවත් ශාරිපුත්‍රයනි, මව් පියන් පෝෂණය පිණිස විෂම හැසිරීම් ඇත්තා නිරි පාලයෝ නරකයට අදින්නාහුය. මව් පියන් පෝෂණය පිණිස ධාර්මිකව පැවතුම් කලහු එසේ නිරයට නොයන්නොය. එනිසා ඔවුන් අතුරෙන් ධාර්මිකව ජීවත්වන්නා ශ්‍රේෂ්ඨය”
§ 17 . -§ 25. “ධනන්ඤ්ජානිය, ඔබ කුමක් සිතන්නෙහිද?
මේ ලෝකයෙහි යමෙක් අඹු දරුවන් නිසා ………..”
….. දැසි දස් කම්කරු පුරුෂයන් නිසා ……… .”
…… හිත මිතුරන් නිසා සල්වැසියන් නිසා …………. …..”.
….., නෑ සහලේ නෑයන් නිසා …………….”
……. අමුත්තන් නිසා…….”
……මියගිය ඥාතීන් ට පින් පෙත් සඳහා…
…….දෙවි දේවතාවන් ට පින් දීම් සඳහා…
…….රජුට පාක්කුඩම් සැපයීම් පිණිස…
……තමාට කෑම බීම සපයා ගැනීමට
“සිය ආජීවය ජීවිකාව ධාර්මිකව සලසා ගන්නා මිනිසාද අධාර්මිකව සලසා ගන්නා මිනිසාද අතරෙන් වඩා ශ්‍රේෂ්ඨ වන්නේ කවරහුද?
“ස්වාමිනි! ධාර්මික පැවැතුම් ඇත්තා වඩා ශ්‍රේෂ්ඨ වේ”
“ධනන්ඤ්ජානිය, අධාර්මික නොවූ අන්‍යයන්ට අවැඩ පිණිස නොවූ අනෙක් ධාර්මික කර්මාන්තයෝ ඇත්තාහ. “
§ 26 . මහ තෙරුන් වහන්සේ ගේ ධර්ම දේශනාව අසා සිටි ධනන්ජානි බ්‍රාහ්මණ තෙමේ ඉතා සතුටට පත් වුයේ උන් වහන්සේට වන්දනා කොට ඉන් පිටව ගියේය..
§ 27. ඉන් කලකට පසු ධනන්ජානි බමුණා රොගීව දුකට පැමිණියේය. දැඩි සේ ගිලන් විය. එකල්හි ධානඤ්ජානි බමුණා එක් පුරුෂයෙකුට කථා කළේය. “එම්බා පුරුෂය නුඹ මෙහි එව. භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද, එහි යව. ගොස් ‘ස්වාමීනි, ධානඤ්ජානි බමුණා රෝග ආබාධ ඇතිව, දුකට පත්ව, දැඩි ගිලන්ව සිටී. හෙතෙම භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී පාදයන් සිරසින් වඳීයයි (කියා) මාගේ වචනයෙන් භාග්‍යවතුන් වහන්සේගේ පාදයන් සිරසින් වඳුව.
“ආයුෂ්මත් සැරියුත් තෙරුන් යම් තැනෙකද, එහි යව ගොස් ‘ස්වාමීනි, ධානඤ්ජානි බමුණා රෝගීව දුකට පත්ව දැඩි ගිලන්ව සිටී. හෙතෙම ආයුෂ්මත් සැරියුත් තෙරුන් වහන්සේගේ පාදයන් සිරසින් වඳියයි’ මාගේ වචනයෙන් වඳුව. වැඳ මෙසේද කියව ‘ස්වාමීනි, ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ ධානඤ්ජානි බමුණහට අනුකම්පාකොට ඔහුගේ ගෙදර ට පැමිණෙන සේක්නම්, හොඳය (කියායි)”
“ඒ පුරුෂයා, එසේය ස්වාමීනි”යි ධානඤ්ජානි බමුණාට පිළිතුරුදී භාග්‍යවතුන් වහන්සේ වෙත ගොස් භාග්‍යවතුන් වහන්සේ වැඳ එක් පැත්තක උන්නේය. එක් පැත්තක හුන්නාවූ ඒ පුරුෂයා භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය. “ස්වාමීනි, ධානඤ්ජානි බමුණා රෝගීව දුකට පත්ව දැඩි ගිලන්ව සිටී. හෙතෙම භාග්‍යවතුන් වහන්සේගේ පාදයන් සිරසින් වැඳීයයි.” (කියායි) ආයුෂ්මත් සැරියුත් තෙරුන් යම් තැනෙකද එහි ගියේය. ගොස් ආයුෂ්මත් සැරියුත් තෙරුන් වැඳ එක් පැත්තක හුන්නේය. එක් පැත්තක හුන් ඒ පුරුෂයා ආයුෂ්මත් සැරියුත් තෙරුනට මෙසේ කීය. ‘ස්වාමීනි, ධානඤ්ජානි බමුණා රොගීව දුකට පත්ව දැඩි ගිලන්ව සිටී. හෙතෙම ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ පාදයන් සිරසින් වඳී (ඔහු) මෙසේද කියයි. ‘ආයුෂ්මත් සැරියුත් තෙරුන් වහන්සේ ධානඤ්ජානි බමුණාට අනුකම්පා කොට ඔහුගේ ගෙදර ට එළඹෙන සේක්නම් හොඳය” (කියායි)
ආයුෂ්මත් සැරියුත් තෙරුණුවෝ නිශ්ශබ්ද වීමෙන් ආරාධනාව ඉවසූහ.
§ 28 අනතුරුව ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ හැඳපොරවා පාත්‍ර සිවුරු ගෙන ධනඤ්ජානි බමුණාගේ ගෙදරට වැඩිසේක. එහි වැඩ පැනවූ ආසනයෙහි වැඩ හිඳ ධනඤ්ජානි බමුණාට මෙසේ කීහ.
“ධනන්ඤ්ජානිය, කිමෙක්ද? තොපගේ වේදනාව ඉවසිය හැකිද? දරා සිටිය හැකිද? වේදනාවෝ අඩු වෙත්ද, වැඩි නොවෙත්ද, අඩුවීමක් පෙනේද? වැඩී වීමක් නොපෙනේද?”
§ 29 “භවත් ශාරිපුත්‍රයන් වහන්ස, මේ වේදනාව මා විසින් ඉවසිය නොහැක. යැපිය නොහැක. මගේ දැඩි දුක් වෙදනාවෝ වැඩි ඩෙත්. අඩු නොවෙත්. වැඩී වීමක් මිස අඩු වීමක් නොපෙනේ. භවත් ශාරිපුත්‍රයන් වහන්ස, යම්සේ බලවත් පුරුෂයෙක් තියුණු හුලකින් හිස් මුදුනට ගසන්නේද, එපරිද්දෙන්ම භවත් ශාරිපුත්‍රයන්වහන්ස, මාගේ නපුරු වාතයෝ හිස් මුදුනට අනිත්. භවත් ශාරිපුත්‍රයන් වහන්ස, මට ඉවසිය හැකි නොවේ. යැපිය හැකි නොවේ. දැඩි දුක් වේදනාවෝ මට වැඩෙත්. පහව නොයත්. වැඩීමක් මිස අඩුවීමක් නොපෙනේ.
“භවත් ශාරිපුත්‍රයන් වහන්ස, බලවත් පුරිසයෙක් දැඩිවූ හම් පටකින් හිසෙහි හිස් වෙළුමක් බැඳ හිස තදව වෙලන්නේද, මෙපරිද්දෙන්ම ශාරිපුත්‍රයන්වහන්ස, හිසෙහි නපුරු හිස් වේදනාවක් වෙයි. භවත් ශාරිපුත්‍රයන් වහන්ස, ඉවසිය නොහැක යැපිය නොහැක. මගේ දැඩි දුක් වේදනාවෝ වැඩෙත්. අඩුනොවෙත් වැඩීම මිස අඩුවීමක් නොපෙනේ.
“භවත් ශාරිපුත්‍රයන්වහන්ස, යම්සේ දක්ෂ ගෝඝාතකයෙක් හෝ ඔහුගේ අතවැසියෙක් හෝ තියුණුවූ ගෙරිමස් කපන කැත්තෙන් බඩ කපන්නේද, එපරිද්දෙන්ම භවත් ශාරිපුත්‍රයන්වහන්ස, දරුණු වාතයෝ කුස කපත්. භවත් ශාරිපුත්‍රයන්වහන්ස, ඉවසිය නොහැක. යැපිය නොහැක. මගේ දැඩි දුක් වේදනාවෝ වැඩෙත්. වැඩීම මිස අඩු වීමක් නොපෙනේ.
“භවත් ශරිපුත්‍රයන්වහන්ස, යම්සේ බලවත් පුරුෂයෝ දෙදෙනෙක් දුර්වල පුරුෂයකු අත්වලින් අල්ලාගෙන අඟුරු වළෙහි තවන්නාහුද, නැවත තවන්නාහුද, එපරිද්දෙන්ම භවත් ශාරිපුත්‍රයන් වහන්ස, මාගේ ශරීරයෙහි දැවීම අධිකය. භවත් ශාරිපුත්‍රයන්වහන්ස, මට ඉවසිය නොහැක. යැපිය නොහැක. මගේ දැඩි දුක් වේදනාවෝ වැඩෙත්. අඩු නොවෙත්. වැඩීම මිස අඩුවීමක් නොපෙනේ.” 899
[899:-මේ විස්තරය අතර ආයුෂ්මත් සැරියුත් මහා තෙරුන් ඔහුගේ ඊළඟ භවය නිරයේ සිදුවන බව දැන ගනී. ඔහු කෙරෙහි අනුකම්පාවෙන් ඔහු නිරා දුකින් ගලවා ගැන්මට මේ අවසන් මොහොතේ ඔහුගේ සිත් සකස් කිරීමට මහ තෙරුන් වහන්සේ ඔහු ගේ සිත මෙසේ මෙහෙයවයි.]
§ 30 . “ධනන්ඤ්ජානිය, ඔබ කුමක් සිතන්නෙහිද?
මිනිසෙකු මැරී ගොස් නිරය, තිරිසන් යොනිය (යන දෙකින්) කවරක ඉපදීම වඩා හොඳ වේද?
“භවත් ශාරිපුත්‍රයන් වහන්ස, නිරයට වඩා තිරිසන්යොනියක ඉපදීම උතුම්ය.” ධනන්ඤ්ජානිය! ඔබ, කුමක් සිතන්නෙහිද?
තිරිසන් යොනිය ප්‍රෙතවිෂය (යන දෙකින්) කවරක ඉපදීම වඩා හොඳ වේද??”
“භවත් ශාරිපුත්‍රයන් වහන්ස, තිරිසන්යොනියට වඩා ප්‍රෙතවිෂය උතුම්ය.”
“ධනන්ඤ්ජානිය! ඔබ, කුමක් සිතන්නෙහිද?
ප්‍රෙත විෂය, මනුෂ්‍යලොකය (යන දෙකින්)කවරක ඉපදීම වඩා හොඳ වේද?”
“භවත් ශාරිපුත්‍රයන්වහන්ස, ප්‍රෙත විෂයට වඩා මනුෂ්‍ය ලොකය උතුම්ය.
“ධනන්ඤ්ජානිය! ඔබ, කුමක් සිතන්නෙහිද?
මනුෂ්‍ය ලොකය හා චාතුර්මහාරාජික දෙවියන් (යන දෙකින්)කවරක ඉපදීම වඩා හොඳ වේද?”
“භවත් ශාරිපුත්‍රයන් වහන්ස, මනුෂ්‍යයන්ට වඩා චාතුර්මහාරාජික දෙවියෝ උතුම් වෙති.”
“ධනන්ඤ්ජානිය! ඔබ, කුමක් සිතන්නෙහිද?
චාතුර්මහාරාජික දෙවියන් තව්තිසා දෙවියන් (යන දෙකොටසින්) කවරක ඉපදීම වඩා හොඳ වේද? උතුම්ද?”
“භවත් ශාරිපුත්‍රයන් වහන්ස, චාතුර්මහාරාජික දෙවියන්ට වඩා තාවතිංස දෙවියෝ උතුම් වෙත්.”
“ධනන්ඤ්ජානිය! ඔබ, කුමක් සිතන්නෙහිද?
තාවතිංස දෙවියන් යාමදෙවියන් (යන දෙකොටසින්)කවරක ඉපදීම වඩා හොඳ වේද? කවරක් උතුම්ද?”
“භවත් ශාරිපුත්‍රයන් වහන්ස, තාවතිංස දෙවියන්ට වඩා යාමදෙවියෝ උතුම්වෙත්”.
“ධනන්ඤ්ජානිය! ඔබ, කුමක් සිතන්නෙහිද?
යාම දෙවියන් තුසිතදෙවියන් (යන දෙකොටසින්) කවරක ඉපදීම වඩා හොඳ වේද? කවරක් උතුම්ද?”
“භවත් ශාරිපුත්‍රයන් වහන්ස, යාමදෙවියන්ට වඩා තුසිත දෙවියෝ උතුම් වෙත්.”
“ධනන්ඤ්ජානිය! ඔබ, කුමක් සිතන්නෙහිද?
තුසිත දෙවියන් නිම්මාණරතී දෙවියන් (යන දෙකොටසින්) කවරක් උතුම්ද?”
“භවත් ශාරිපුත්‍රයන් වහන්ස, තුසිත දෙවියන්ට වඩා නිම්මාණරතී, දෙවියෝ උතුම්හ”. “ධනන්ඤ්ජානිය! ඔබ, කුමක් සිතන්නෙහිද?
නිම්මාණරති දෙවියන් පරනිම්මිතවසවර්ති දෙවියන් (යන දෙකොටසින්)කවරක ඉපදීම වඩා හොඳ වේද? කවරෙක් උතුම්ද?”
“භවත් ශාරිපුත්‍රයන් වහන්ස, නිම්මාණරතී දෙවියන්ට වඩා පරනිම්මිතවසවර්ති දෙවියෝ උතුම්හ”.
§ 31. “ධනන්ඤ්ජානිය, ඔබ කුමක් සිතන්නෙහිද?
පරනිම්මිතවසවර්තියද, බ්‍රහ්මලොකද (යන දෙකින්) කවරක ඉපදීම වඩා හොඳ වේද? කවරක් උතුම්ද?”
“භවත් ශාරිපුත්‍රයන් වහන්සේ බ්‍රහ්ම ලොක යයි කියයිද, භවත් ශාරිපුත්‍රයන් වහන්සේ බ්‍රහ්ම ලොකයි කියයිදැ යි” ධනන්ජානි කීය.
එවිට ආයුෂ්මත් සැරියුත් තෙරුන්ට මෙබඳු සිතෙක් විය. ‘මේ බමුණෝ බ්‍රහ්ම ලොකයෙහි ඇලුනෝය. ධනනඤ්ජානි බමුණාට බ්‍රහ්මයන් හා එක්වීමට පැමිණෙන මාර්ගය මම දෙසන්නෙම් නම් හෙයෙකි. (කියාය),
“ධනන්ඤ්ජානිය, නුඹට බ්‍රහ්මයන් හා එක්වීමට හැකි මා මාර්ගය දෙසන්නෙමි, එය අසව මනාව සිත්හි කරව් කියන්නෙමි. ධනඤ්ජානි බමුණ, “එසේය පින්වතුන් වහන්සැයි” ආයුෂ්මත් සැරියුත්තෙරුන්ට උත්තර දුන්නේය.
§ 32 .ආයුෂ්මත් ශාරිපුත්‍රතෙමේ මෙසේ වදාළේය.
“ධනන්ඤ්ජානිය, බ්‍රහ්මයන් හා එක්වීමට හැකි මාර්ගය කවරේද?
ධනන්ඤ්ජානිය, භික්ෂුවක් මෛත්‍රී සහගත සිතින් සිය මෛත්‍රිය එක් දිසාවක පතුරුවා වාසය කරයිද, එසේ දෙවැනි තෙවැනි, සතරවැනි දිසාවලට පතුරුවමින් වාසය කරයිද, මෙසේ උඩ යට සරස යන සියලු දිසා හි පැතිර පවත්නා අයුරින් සියල්ල ඇතුළත් මහත්වූ ලෝකය මහග්ගතවූ අප්‍රමාණවූ අචෛරීවූ අව්‍යාපාදවූ මෛත්‍රීසහගත සිතින් පතුරුවා වාසය කරයිද, මේද ධානඤ්ජානිය බඹුන් හා එක්වීමට මාර්ගයයි.
§ 33 – § 35... “එසේම ධනන්ජානි! යම් භික්ෂුවක් කරුණාව සිය සිතින් එක් දිසාවක පතුරුවා වාසය කරයිද, එසේ දෙවෙනි, තෙවෙනි, සතරවැනි දිසාවලට පතුරුවා වාසය කරයිද, …..
“මුදිතා සහගත සිතින් එක් දිසාවක පතුරුවා වාසය කරයිද, ……..
“උපෙක්ඛා සහගත සිතින් ……අප්‍රමාණවූ අවෛරීවූ, අව්‍යපාදවූ, උපෙක්ඛා සහගත සිතින් පතුරුවා වාසය කරයිද, මේද ධානඤ්ජානිය බඹුන් හා එක්වීමට මාර්ගයයි.
§ 36 .“භවත් ශාරිපුත්‍රයන් වහන්ස, එසේ නම් මාගේ වචනයෙන් භාග්‍යවතුන්ගේ පාදයන් සිරසින් වඳිනු මැනව. “ස්වාමීනි, ධනන්ඤ්ජානි, බමුණා රොගීව, දුකට පත්ව දැඩි ගිලන්ව සිටී හෙතෙම භාග්‍යවතුන් වහන්සේගේ පාදයන් සිරසින් වඳියයි, (කියායි)”
ඉක්බිති ආයුෂ්මත් ශාරිපුත්‍ර තෙමේ ධනන්ඤ්ජානි බමුණාගේ සිත බඹලොව පිහිටුවා හුනස්නෙන් නැගිට විහාරයට ගියේය.
[සති උත්තර කරණිය: ආයුෂ්මත් සාරිපුත්ත ස්වාමින්වහන්සේ විසින් ධනන්ජානි ආර්ය මාර්ගයට පත්වන සෝවාන් මාර්ගයට හෝ යොමු නොකළේ ඔහුගේ ධර්ම ඥානය මුහුකුරා නොතිබීම, ධර්මය වටහාගන්නට තරම් තැන්පත් බවකට පත්වීමට ඔහුගේ රෝගී වේදනා තත්වය බාධාවක් වීම නිසා වන්නට හැක. ඔහු පත්ව සිටි භයානක ගති නිමිත්ත වෙනස් කිරීම වඩා ඉක්මනින් කිරීම මහ තෙරුන් වහන්සේගේ අරමුණ විය]
ධනන්ඤ්ජානි බමුණා ආයුෂ්මත් සැරියුත් තෙරුන් වැඩි නොබෝ වෙලාවකින් කලුරිය කෙළේ බඹලොව උපන්නේය.
§ 37 . “ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට කථා කොට මෙසේ දේසනා කළසේක. “මහණෙනි, මේ සාරිපුත්‍ර තෙමේ ධනඤ්ජානි බමුණා ආර්ය තත්වයට පත් නොකොට ඔහු සිත හීනවූ බඹලොව පිහිටුවා හුනස්නෙන් නැගිට ගියේයයි” වදාළේය.
ඒ ඇසු ආයුෂ්මත් සාරිපුත්‍ර ස්වාමින් වහන්සේ , භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත්පස්ව හිඳ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය.
“ස්වාමීනි, ධානඤ්ජානි බමුණා, රොගීව දුකට පත්ව දැඩි ගිලන් වූයේ වෙයි. හෙතෙම භාග්‍යවතුන් වහන්සේගේ පාදයන් සිරසින් වඳීයයි” කීය.
“කිමෙක්ද? ශාරිපුත්‍රය, ධානඤ්ජානි බමුණා ආර්යත්වයට නොපමුනුවාම ඔහු හීනවූ බඹලොව පිහිටුවා හුනස්නෙන් නැගිට ගියේදැයි? ඇසූහ”.
[භාග්‍යවතුන් වහන්සේගේ මේ අදහස් දැක්වීම සාරිපුත්රයන් වහන්සේට කල සියුම් චෝදනාවක් ලෙස දැක්ක හැක. ධනන්ජානි බ්‍රාහ්මණයාගේ පාරමී ශක්තිය ආර්යත්වයට පත්වීමට තරම් මුහුකුරා සිටි බවක් ශාස්තෘන් වහන්සේ දකින්නට ඇත. මජ්ජිම නිකායේ සුභ සුත්‍රයේ දී භාග්‍යවතුන් වහන්සේ බ්‍රහ්ම ලොව ඉපදීමට යොමුකරන්නේ ශ්‍රාවකයා පාරමී හීනයෙක් වූ විට පමණකි. ]
“ස්වාමීනි. මට වනාහි මේ අදහස විය. ‘ බ්‍රාහ්මණ වංශිකයන් බඹ ලොවට ඇලුනෝය. ධනඤ්ජානි බමුණාට බ්‍රහ්මයන් අතර පහළවීමට මාර්ගය මම දෙසන්නෙම් නම් යෙහෙක” (කියායි).
“ශාරිපුත්‍රය, ධානඤ්ජානි බමුණා කළුරිය කෙළේය. බඹලොව උපන්නේය”. යි භාග්‍යවතුන් වහන්සේ දැන්වූ සේක.
සත්වැනිවූ ධනන්ඤ්ජානි සූත්‍රය නිමි. (5-7)
