SN 02-01-04-03  ඤාණවත්ථු සූත්‍රය

ඤාණවස්තූ 44

පුජ්‍ය හිනිදුම නන්ද හිමිගේ සුත්‍ර විවරණය

§ 1. මා විසින් මෙසේ අසනලදී.
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසයකරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

§2. “මහණෙනි, නුඹලාට ඤාණවස්තූන් හතළිස් හතරක් දේශනා කරන්නෙමි. එය අසව්, මනාකොට මෙනෙහි කරව්, කියන්නෙමියි (දේශනා කළසේක.) ‘එසේය ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු වනාහි භාග්‍යවතුන් වහන්සේට ප්‍රතිවචන දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය දේශනා කළසේක.

§3. “මහණෙනි, ඤාණවස්තු හතළිස් හතර කවරේද?”

ජරාමරණ දන්නා ඤාණය.
ජරාමරණ හේතූන් දන්නා ඤාණය,
ජරා මරණයන්ගේ නිරුද්ධවීම දන්නා ඤාණය,
ජරාමරණ නිරුද්ධ කිරීමේ ප්‍රතිපදාව දන්නා ඤාණය
.

ජාතිය දන්නා ඤාණය,
ජාති හේතුව දන්නා ඤාණය,
ජාති නිරෝධය දන්නා ඤාණය,
ජාති නිරෝධගාමිනී පටිපදාව දන්නා ඤාණය.

භවය දන්නා ඤාණය,
භව හේතුව දන්නා ඤාණය,
භව නිරෝධය දන්නා ඤාණය,
භව නිරෝධගාමිනී පටිපදාව දන්නා ඤාණය.

උපාදානය දන්නා ඤාණය,
උපාදාන හේතුව දන්නා ඤාණය,
උපාදාන නිරෝධය දන්නා ඤාණය,
උපාදාන නිරෝධගාමිනී පටිපදාව දන්නා ඤාණය.

තණ්හාව දන්නා ඤාණය,
තණ්හා හේතුව දන්නා ඤාණය,
තණ්හා නිරෝධය දන්නා ඤාණය,
තණ්හා නිරෝධ ගාමිනී පටිපදාව දන්නා ඤාණය.

වේදනාව දන්නා ඤාණය,
වේදනා හේතුව දන්නා ඤාණය,
වේදනා නිරෝධය දන්නා ඤාණය,
වේදනා නිරෝධ ගාමිනී පටිපදාව දන්නා ඤාණය.

ස්පර්ශය දන්නා ඤාණය,
ස්පර්ශය හේතුව දන්නා ඤාණය,
ස්පර්ශය නිරෝධය දන්නා ඤාණය,
ස්පර්ශය නිරෝධ ගාමිනී පටිපදාව දන්නා ඤාණය.

සළායතන දන්නා ඤාණය,
සළායතන හේතුව දන්නා ඤාණය,
සළායතන නිරෝධය දන්නා ඤාණය,
සළායතන නිරෝධ ගාමිනී පටිපදාව දන්නා ඤාණය.

නාමරූප දන්නා ඤාණය,
නාමරූප හේතුව දන්නා ඤාණය,
නාමරූප නිරෝධය දන්නා ඤාණය,
නාමරූප නිරෝධ ගාමිනී පටිපදාව දන්නා ඤාණය.

“විඤ්ඤාණ දන්නා ඤාණය,
විඤ්ඤාණ හේතුව දන්නා ඤාණය,
විඤ්ඤාණ නිරෝධය දන්නා ඤාණය,
විඤ්ඤාණ නිරෝධ ගාමිනී පටිපදාව දන්නා ඤාණය.

සංඛාර දන්නා ඤාණය,
සංඛාර හේතුව දන්නා ඤාණය,
සංඛාර නිරෝධය දන්නා ඤාණය,
සංඛාර නිරෝධ ගාමිනී පටිපදාව දන්නා ඤාණය.

“මහණෙනි, ඒ නම් ඤාණ වස්තු හතලිස් හතර යයි” කියනු ලැබෙත්”

§ 3. “මහණෙනි, ජරාමරණය කවරේද?

ඒ ඒ සත්ව නිකායෙහිවූ, ඒ ඒ සත්වයන්ගේ යම් ජරාවක්, දිරායාමක්, දත් වැටීමක්, කෙස් සුදුවීමක්, ඇඟ රැළි වැටීමක්, ආයුෂයාගේ ගෙවීයාමක්, ඉන්ද්‍රියන්ගේ මේරීමක් වේද, මෙය ජරාවයි කියනු ලැබේ.

ඒ ඒ සත්වනිකායෙන් ඒ ඒ සත්වයන්ගේ යම් චුතවී යාමක්, පහවීයාමක්, බිඳීමක්, අතුරුදන් වීමක්, මෘත්‍යුනම්වූ මරණයක්, කාලක්‍රියාවක්, ස්කන්ධයන්ගේ බිඳීමක්, මෘතශරීරයාගේ අත්හැර දැමීමක් වේද, මෙය මරණයයි කියනු ලැබේ.

මහණෙනි, මෙසේ මේ දිරීමද; මේ මැරීමද, ජරා මරණයයි කියනු ලැබේ ජාති හේතුකොට ගෙන (උප්පත්තිය ඇතිවීමෙන්) ජරා මරණ ඇතිවේ. ජාති නිරෝධයෙන් (උප්පත්තිය නැති කිරීමෙන්) ජරා මරණය නැතිවේ. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයම ජරා මරණය නැති කිරීමට ගමන් කළයුතු මාර්ගයයි (කියනු ලැබේ.)

ඒ මාර්ගය කවරේද?
සම්මාදිට්ඨිය, සම්මාසංකප්පය, සම්මාවාචාය, සම්මාකම්මන්තය, සම්මා ආජීවය සම්මාවායාමය. සම්මාසතිය සහ සම්මාසමාධියයි.“

මහණෙනි, යම් හේතුවකින් ආර්ය ශ්‍රාවකයා මෙසේ ජරා මරණය දනීද, මෙසේ ජරා මරණයන්ගේ හේතු දනීද, මෙසේ ජරා මරණයන්ගේ නැතිවීම දනීද, මෙසේ ජරා මරණ නැතිකරන මාර්ගය දනීද, මෙය ඔහුගේ චතුස්සත්‍යය දක්නා ඥානය වන්නේය. හෙතෙම නුවණින් දක්නාලද, නුවණින් අවබෝධ කරන ලද කල් නොගොස් අනතුරුවම ඵල දෙන ස්වභාවය ඇති, පැමිණියාවූ නුවණින් බැසගන්නා ලද, මේ චතුරාර්ය සත්‍යධර්මයන් දක්නා ඥානයෙන් අතීත අනාගත කාල දැනගන්නාවූ ඥානයටද පමුණුවන්නේය.

අතීත කාලයෙහිවූ, යම් කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ජරා මරණය දැනගත්තාහුද, ජරාමරණයන්ගේ හේතු දැනගත්තාහුද, ජරා මරණයන්ගේ නැතිවීම දැනගත්තාහුද, ජරා මරණය නැතිකරන මාර්ගය දැනගත්තාහුද ඔහු සියලු දෙනම, මම මෙකල්හි යම්සේ දැනගත්තෙම්ද, එසේම දැන ගත්තාහුය. අනාගත කාලයෙහි වෙන යම් කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ජරාමරණය දැනගන්නාහුද, ජරා මරණයන්ගේ හේතු දැනගන්නාහුද, ජරා මරණයන්ගේ නැතිවීම දැනගන්නාහුද, ජරාමරණය නැතිකරන මාර්ගය දැනගන්නාහුද, ඔවුහු සියලු දෙනම මම යම්සේ මෙකල්හි දැන් දනිම්ද, එසේ දැනගන්නාහුය’ කියායි මෙය ඔහුගේ මාර්ගඥානයට අනුව පහළවන්නාවූ ඥානයයි. (ප්‍රත්‍යවෙක්ෂා ඥානයයි.)

“මහණෙනි, යම් හෙයකින් ආර්ය ශ්‍රාවකයාහට මාර්ග ඥානයද, ප්‍රත්‍යවෙක්ෂා ඥානයද යන මේ ඥාන දෙක පිරිසිදු වෙත්ද, නිර්මල වෙත්ද, මහණෙනි, මේ ආර්යශ්‍රාවකයා මාර්ගදෘෂ්ටියෙන් යුක්ත වූයේයයි කියාද, මාර්ග දර්ශනයෙන් යුක්ත වූයේයයි කියාද, මේ මාර්ග සද්ධර්මයට පැමිණියේයයි කියාද, මේ මාර්ග සද්ධර්මය දකීයයි කියාද, ශෛක්ෂ ඥානයෙන් යුක්තයයි කියාද ශෛක්ෂ විද්‍යාවෙන් යුක්තයයි කියාද, මාර්ග නම් ධර්ම ශ්‍රොතයට පැමිණියේයයි කියාද, පෘථග්ජන භූමිය ඉක්මවූ, කලකිරීමේ නුවණ ඇත්තේයයි කියාද, නිර්වාණ මාර්ගයට පැමිණ සිටීයයි කියාද, කියනු ලැබේ.

§ 4. “මහණෙනි, ජාතිය නම් කවරේද?
ඒ ඒ සත්ව නිකායෙහි ඒ ඒ සත්වයින්ගේ යම් ඇතිවීමක්, හටගැනීමක්, බැසගැනීමක්, ඉපදීමක්, ස්කන්ධයන්ගේ ඇතිවීමක්, ආයතනයන්ගේ පහළවීමක් වේද, මහණෙනි, මෙය ජාතියයි (උප්පත්තියයි) කියනු ලැබේ.

§ 5 . “මහණෙනි, භවය නම් කවරේද?
මහණෙනි, කාම භවය, රූප භවය, සහ අරූප භවයයි කියා මේ භවයෝ තිදෙනෙක් වෙත්. මහණෙනි, මෙය භවයයි කියනු ලැබේ.

§ 6 . “මහණෙනි, උපාදානය කවරේද?
මහණෙනි, කාමුපාදානය, දිට්ඨුපාදානය, සීලබ්බතුපාදානය සහ අත්තවාදුපාදානයයි කියා මේ උපාදානයෝ (දැඩිව අල්වා ගන්නෝ) සිව් ආකාර වෙති. මහණෙනි, මෙය උපාදානයයි (දැඩිව අල්වා ගැනීමයයි) කියනු ලැබේ.

§ 7 .“මහණෙනි, තණ්හාව කවරේද?
මහණෙනි, රූප තණ්හාව, සද්ද තණ්හාව, ගන්ධ තණ්හාව, රස තණ්හාව, ඵොට්ඨබ්බ තණ්හාව සහ ධර්ම තණ්හාව යයි කියා, මේ තණ්හා සමූහයෝ සයක් වෙති. මහණෙනි, මෙය තණ්හාවයයි කියනු ලැබේ.

§ 8 . “මහණෙනි, වේදනාව කවරේද?
මහණෙනි, ඇස හා ගැටීමෙන් ඇතිවෙන වේදනාව, කණ හා ගැටීමෙන් ඇතිවෙන වේදනාව, නහය හා ගැටීමෙන් ඇතිවෙන වේදනාව, දිව හා ගැටීමෙන් ඇතිවෙන වේදනාව, කය හා ගැටීමෙන් ඇතිවෙන වේදනාව සහ සිත හා ගැටීමෙන් ඇතිවෙන වේදනාව යයි කියා මේ වේදනා සමූහයෝ සදෙනෙක් වෙති. මහණෙනි, මෙය වේදනාවයයි කියනු ලැබේ.

§ 9. “මහණෙනි, ස්පර්ශය කවරේද?
මහණෙනි, චක්ඛුස්පර්ශය, ශ්‍රොත ස්පර්ශය, ඝ්‍රාණ ස්පර්ශය, ජිව්හා ස්පර්ශය, කාය ස්පර්ශය සහ මනස් ස්පර්ශයයි කියා මේ ස්පර්ශ සමූහයෝ සදෙනෙක් වෙති. මහණෙනි, මෙය ස්පර්ශයයි කියනු ලැබේ.

§ 10 .“මහණෙනි, සළායතන කවරේද?
මහණෙනි, චක්ඛායතනය, සෝතායතනය, ඝාණායතනය, ජිව්හායතනය, කායායතනය සහ මනායතනයයි කියා මේ ආයතන සමූහයෝ සදෙනෙක් වෙති. මහණෙනි, මෙය සළායතනයයි කියනු ලැබේ.

§ 11 .“මහණෙනි, නාමරූප කවරේද?
වේදනාව, සංඥාව, චේතනාව, ස්පර්ශය සහ මනසිකාරය යන මෙය නාමයයි කියනු ලැබේ. සතර මහා භූතයින් සහ සතර මහා භූතයන් නිසා පවත්නා රූපයද යන මෙය රූපයයි කියනු ලැබේ. මහණෙනි, මෙසේ මේ නාමයද, රූපයද නාම රූපයයි කියනු ලැබේ.

§ 12 .“මහණෙනි, විඤ්ඤාණය කවරේද?
මහණෙනි, චක්ඛු විඤ්ඤාණය, සෝත විඤ්ඤාණය, ඝාණ විඤ්ඤාණය, ජිව්හා විඤ්ඤාණය, කාය විඤ්ඤාණය සහ මනෝ විඤ්ඤාණයයි කියා මේ විඤ්ඤාණ සමූහයෝ සදෙනෙක් වෙති. මහණෙනි, මෙය විඤ්ඤාණයයි කියනු ලැබේ.

§ 13 .“මහණෙනි, සංස්කාර කවරේද?
මහණෙනි, කාය සංඛාරය, වචී සංඛාරය සහ චිත්ත සංඛාරයයි කියා මේ සංස්කාරයෝ තුනක් වෙති. මහණෙනි, මේවා සංස්කාරයෝ යයි කියනු ලැබෙත්.

§ 14 .“අවිජ්ජාව ඇතිවීමෙන් සංස්කාර ඇතිවේ. අවිජ්ජාව නැතිවීමෙන් සංස්කාර නැතිවේ. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයම සංස්කාර නැතිකිරීම පිණිස ගමන් කළ යුතු මාර්ගයයි (කියනු ලැබේ.) ඒ කවරේද? සම්මාදිට්ඨිය, සම්මා සංකප්පය, සම්මාවාචාය, සම්මාකම්මන්තය, සම්මාආජීවය, සම්මාවායාමය, සම්මාසතිය සහ සම්මාසමාධියයි.

§ 15 .“මහණෙනි, යම් හෙයකින් ආර්යශ්‍රාවකයා මෙසේ සංස්කාරයන් දනීද, මෙසේ සංස්කාරයන්ගේ හේතු දනීද, මෙසේ සංස්කාරයන්ගේ නැතිවීම දනීද, මෙසේ සංස්කාරයන් නැතිකරන මාර්ගය දනීද, මෙය මාර්ගඥානය වන්නේය. හෙතෙම නුවණින් දක්නාලද, නුවණින් දන්නා ලද, කල් නොගොස් ඵලදෙන ස්වභාවය ඇති, අවබෝධ කරනලද, නුවණින් පිවිසෙන ලද, මේ චතුරාර්ය සත්‍ය දන්නා ඥානයෙන්, අතීත කාල අනාගත කාල දක්නා නුවණටද පමුණුවයි.

අතීත කාලයෙහිවූ යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ සංස්කාරයන් දැනගත්තාහුද, සංස්කාරයන්ගේ හේතු දැනගත්තාහුද, සංස්කාරයන්ගේ නැතිවීම් දැනගත්තාහුද, සංස්කාරයන් නැතිකරන මාර්ගය දැන ගත්තාහුද ඔවුහු සියලු දෙනම, මම යම්සේ මෙකල්හි දනිම්ද, එසේම දැන ගත්තාහුය. අනාගත කාලයෙහි වෙන යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ සංස්කාරය දැනගන්නාහුද, සංස්කාරයන්ගේ හේතු දැනගන්නාහුද, සංස්කාරයන්ගේ නැතිවීම දැනගන්නාහුද, සංස්කාර නැති කරන මාර්ගය දැනගන්නාහුද, ඔවුහු සියලු දෙනම මම යම්සේ මෙකල්හි දැන් දනිම්ද, එසේ දැනගන්නාහුය කියායි. මෙය ඔහුගේ මාර්ගඥානයට අනුව පහළවන ඥානයයි (ප්‍රත්‍යවේක්ෂා ඥානයයි.)

“මහණෙනි, යම් හෙයකින් ආර්ය ශ්‍රාවකයාගේ මාර්ග ඥානයද, ප්‍රත්‍යවේක්ෂා ඥානයද යන මේ ඥාන දෙක පිරිසිදු වෙත්ද, නිර්මල වෙත්ද, මහණෙනි, මේ ආර්ය ශ්‍රාවකයා මාර්ග දෘෂ්ටියෙන් යුක්තවූයේයයි කියාද, මාර්ග දර්ශනයෙන් යුක්තවූයේ යයි කියාද, මේ මාර්ග සද්ධර්මයට පැමිණියේයයි කියාද, මේ මාර්ග සද්ධර්මය දකීයයි කියාද, ශෛක්ෂ ඥානයෙන් යුක්තයයි කියාද, ශෛක්ෂ විද්‍යාවෙන් යුක්තයයි කියාද, මාර්ග නම් ධර්ම ශ්‍රොතයට පැමිණියේයයි කියාද, පෘථග්ජන භූමිය ඉක්මවූ, කලකිරීමේ නුවණ ඇත්තේයයි කියාද, නිර්වාණ මාර්ගයට පැමිණ සිටීයයි කියාද, කියනු ලැබේ.”

(තුන්වෙනි ඤාණ වත්ථු සූත්‍රය නිමි.)

SN 02-01-04-04  ඤාණවත්ථු සූත්‍රය

ඤාණවත්ථු 77

§ 1.මා විසින් මෙසේ අසනලදී.
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසයකරනසේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’ යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

§2. “මහණෙනි, ඤාණවස්තූන් හැත්තෑ හතක් නුඹලාට දේශනා කරන්නෙමි. එය අසව්. මනාකොට මෙනෙහි කරව්. කියන්නෙමියි (දේශනා කළසේක.) එසේය, ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු වනාහි භාග්‍යවතුන් වහන්සේට ප්‍රතිවචන දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය දේශනා කළසේක.

“මහණෙනි, ඤාණවස්තු හැත්තෑහත කවරහුද?

ඉපදීම

(1) ඉපදීම නිසා ජරා මරණය ඇතිවේය යන නුවණ.
(2) ඉපදීම නැති කල්හි ජරා මරණය නැතිවේය යන නුවණ.
(3) අතීත කාලයෙහිද ඉපදීම නිසා ජරා මරණය ඇති වූයේය යන නුවණ.
(4) ඉපදීම නැතිවූ කල්හි ජරා මරණය නැතිවූයේය, යන නුවණ.
(5) අනාගත කාලයෙහිද ඉපදීම නිසා ජරා මරණය ඇතිවන්නේය යන නුවණ.
(6) ඉපදීම නැති කල්හි ජරා මරණය ඇති නොවන්නේය යන නුවණ.
(7) යම් ඒ (ඉපදීම නිසා ජරා මරණය ඇතිවේය යන) පටිච්චසමුප්පාදය දන්නා නුවණක්වේද එයද ක්ෂයවන ස්වභාව ඇත්තේය. විනාශවන ස්වභාව ඇත්තේය. නොඇලෙන ස්වභාව ඇත්තේය. නැතිවෙන ස්වභාව ඇත්තේය යන නුවණ.

භවය

(8) භවය නිසා ඉපදීම ඇතිවේය යන නුවණ.
(9) භවය නැති කල්හි ඉපදීම නැතිවේය යන නුවණ.
(10) අතීත කාලයෙහිද භවය නිසා ඉපදීම ඇතිවූයේය යන නුවණ.
(11) භවය නැතිවූ කල්හි ඉපදීම නැතිවූයේය යන නුවණ.
(12) අනාගත කාලයෙහිද භවය නිසා ඉපදීම ඇති වන්නේය යන නුවණ.
(13) භවය නැති කල්හි ඉපදීම ඇති නොවන්නේය යන නුවණ.
(14) යම් ඒ (භවය නිසා ඉපදීම ඇතිවේය යන) පටිච්චසමුප්පාදය දන්නා නුවණක්වේද, එයද ක්ෂයවන ස්වභාව ඇත්තේය. විනාශවන ස්වභාව ඇත්තේය. නොඇලෙන ස්වභාව ඇත්තේය. නැතිවෙන ස්වභාව ඇත්තේය යන නුවණ.

උපාදානය

(15) උපාදානය නිසා භවය ඇතිවේය යන නුවණ.
(16) උපාදානය නැතිකල්හි භවය නැතිවේය යන නුවණ.
(17) අතීත කාලයෙහිද උපාදානය නිසා භවය ඇති වූයේය යන නුවණ.
(18) උපාදානය නැතිවූ කල්හි භවය නැතිවූයේය යන නුවණ.
(19) අනාගත කාලයෙහිද උපාදානය නිසා භවය ඇති වන්නේය යන නුවණ.
(20) උපාදානය නැති කල්හි භවය ඇතිනොවන්නේය යන නුවණ.
(21) යම් ඒ (උපාදානය නිසා භවය ඇතිවේය යන) පටිච්චසමුප්පාදය දන්නා නුවණක්වේද, එයද ක්ෂයවන ස්වභාව ඇත්තේය. විනාශවන ස්වභාව ඇත්තේය. නොඇලෙන ස්වභාව ඇත්තේය. නැතිවෙන ස්වභාව ඇත්තේය යන නුවණ.

තන්හාව

(22) තණ්හාව නිසා උපාදානය ඇතිවේය යන නුවණ.
(23) තණ්හාව නැති කල්හි උපාදානය නැතිවේය යන නුවණ.
(24) අතීත කාලයෙහිද තණ්හාව නිසා උපාදානය ඇති වූයේය යන නුවණ.
(25) තණ්හාව නැතිවූ කල්හි උපාදානය නැතිවූයේය යන නුවණ.
(26) අනාගත කාලයෙහිද තණ්හාව නිසා උපාදානය ඇතිවන්නේය යන නුවණ.
(27) තණ්හාව නැති කල්හි උපාදානය ඇති නොවන්නේය යන නුවණ.
(28) යම් ඒ (තණ්හාව නිසා උපාදානය ඇතිවේය යන) පටිච්චසමුප්පාදය දන්නා නුවණක් වේද එයද ක්ෂයවන ස්වභාව ඇත්තේය. විනාශවන ස්වභාව ඇත්තේය. නොඇලෙන ස්වභාව ඇත්තේය. නැතිවෙන ස්වභාව ඇත්තේය යන නුවණ.

වේදනාව

(29) වේදනාව නිසා තණ්හාව ඇතිවේය යන නුවණ.
(30) වේදනාව නැතිකල්හි තණ්හාව නැතිවේය යන නුවණ.
(31) අතීත කාලයෙහිද වේදනාව නිසා තණ්හාව ඇති වූයේ යන නුවණ.
(32) වේදනාව නැතිවූ කල්හි තණ්හාව නැතිවූයේය යන නුවණ.
(33) අනාගත කාලයෙහිද වේදනාව නිසා තණ්හාව ඇති වන්නේය යන නුවණ.
(34) වේදනාව නැතිකල්හි තණ්හාව ඇති නොවන්නේය යන නුවණ.
(35) යම් ඒ (වේදනාව නිසා තණ්හාව ඇතිවේය යන) පටිච්චසමුප්පාදය දන්නා නුවණක්වේද එයද ක්ෂයවන ස්වභාව ඇත්තේය. විනාශවන ස්වභාව ඇත්තේය. නොඇලෙන ස්වභාව ඇත්තේය. නැතිවෙන ස්වභාව ඇත්තේය යන නුවණ.

ස්පර්ශය

(36) ස්පර්ශය නිසා වේදනාව ඇතිවේය යන නුවණ.
(37) ස්පර්ශය නැති කල්හි වේදනාව නැතිවේය යන නුවණ.
(38) අතීතකාලයෙහිද ස්පර්ශය නිසා වේදනාව ඇති වූයේය යන නුවණ.
(39) ස්පර්ශය නැතිවූ කල්හි වේදනාව නැතිවූයේ යන නුවණ
(40) අනාගත කාලයෙහිද ස්පර්ශය නිසා වේදනාව ඇති වන්නේ යන නුවණ.
(41) ස්පර්ශය නැති කල්හි වේදනාව ඇති නොවන්නේය යන නුවණ.
(42) යම් ඒ (ස්පර්ශය නිසා වේදනාව ඇතිවේය යන) පටිච්චසමුප්පාදය දන්නා නුවණක්වේද, එයද ක්ෂයවන ස්වභාව ඇත්තේය. විනාශන ස්වභාව ඇත්තේය. නොඇලෙන ස්වභාව ඇත්තේය. නැතිවෙන ස්වභාව ඇත්තේය යන නුවණ.

සලායතන

(43) සළායතනයන් නිසා ස්පර්ශය ඇතිවේය යන නුවණ.
(44) සළායතන නැති කල්හි ස්පර්ශය නැතිවේය යන නුවණ.
(45) අතීත කාලයෙහිද සළායතන නිසා ස්පර්ශය ඇතිවූයේය යන නුවණ.
(46) සළායතන නැතිවූ කල්හි ස්පර්ශය නැතිවූයේය යන නුවණ.
(47) අනාගත කාලයෙහිද සළායතන නිසා ස්පර්ශය ඇතිවන්නේය යන නුවණ.
(48) සළායතන නැති කල්හි ස්පර්ශය ඇති නොවන්නේය යන නුවණ.
(49) යම් ඒ (සළායතනය නිසා ස්පර්ශය ඇතිවේය යන) පටිච්චසමුප්පාදය දන්නා නුවණක්වේද, එයද ක්ෂයවන ස්වභාව ඇත්තේය. විනාශවන ස්වභාව ඇත්තේය. නොඇලෙන ස්වභාව ඇත්තේය. නැතිවෙන ස්වභාව ඇත්තේය යන නුවණ.

නාම රුප

(50) නාමරූප නිසා සළායතනයන් ඇතිවේය යන නුවණ.
(51) නාමරූප නැති කල්හි සළායතන නැතිවේය යන නුවණ.
(52) අතීත කාලයෙහිද නාමරූප නිසා සළායතන ඇති වූයේ යන නුවණ.
(53) නාමරූප නැතිවූ කල්හි සළායතන නැතිවූයේය යන නුවණ.
(54) අනාගත කාලයෙහිද නාමරූප නිසා සළායතන ඇතිවන්නේය යන නුවණ.
(55) නාමරූප නැතිකල්හි සළායතන ඇති නොවන්නේ යන නුවණ.
(56) යම් ඒ (නාමරූප නිසා සළායතනය ඇතිවේය යන) පටිච්චසමුප්පාදය දන්නා නුවණක්වේද, එයද ක්ෂයවන ස්වභාව ඇත්තේය. විනාශවන ස්වභාව ඇත්තේය. නොඇලෙන ස්වභාව ඇත්තේය. නැතිවෙන ස්වභාව ඇත්තේය යන නුවණ.

සලායතන

(57) විඤ්ඤාණය නිසා නාමරූප ඇතිවේය යන නුවණ.
(58) විඤ්ඤාණය නැති කල්හි නාමරූප නැතිවේය යන නුවණ.
(59) අතීත කාලයෙහිද විඤ්ඤාණය නිසා නාමරූප ඇතිවූයේය යන නුවණ.
(60) විඤ්ඤාණය නැතිවූ කල්හි නාමරූප නැතිවූයේය යන නුවණ.
(61) අනාගත කාලයෙහිද විඤ්ඤාණය නිසා නාමරූප ඇතිවන්නේය යන නුවණ.
(62) විඤ්ඤාණය නැතිකල්හි නාමරූප ඇති නොවන්නේය යන නුවණ.
(63) යම් ඒ (විඤ්ඤාණය නිසා නාමරූප ඇතිවේය යන) පටිච්චසමුප්පාදය දන්නා නුවණක්වේද, එයද ක්ෂයවන ස්වභාව ඇත්තේය. විනාශවන ස්වභාව ඇත්තේය. නොඇලෙන ස්වභාව ඇත්තේය. නැතිවෙන ස්වභාව ඇත්තේය යන නුවණ.

සංස්කාර

(64) සංස්කාරය නිසා විඤ්ඤාණය ඇතිවේය යන නුවණ
(65) සංස්කාරය නැති කල්හි විඤ්ඤාණය නැතිවේය යන නුවණ.
(66) අතීත කාලයෙහිද සංස්කාරය නිසා විඤ්ඤාණය ඇතිවූයේය යන නුවණ.
(67) සංස්කාරය නැතිවූ කල්හි විඤ්ඤාණය නැතිවූයේය යන නුවණ.
(68) අනාගත කාලයෙහිද සංස්කාරය නිසා විඤ්ඤාණය ඇතිවන්නේය යන නුවණ.
(69) සංස්කාරය නැතිකල්හි විඤ්ඤාණය ඇති නොවන්නේය යන නුවණ.
(70) යම් ඒ (සංස්කාරය නිසා විඤ්ඤාණය ඇතිවේය යන) පටිච්චසමුප්පාදය දන්නා නුවණක්වේද එයද ක්ෂයවන ස්වභාව ඇත්තේය. විනාශවන ස්වභාව ඇත්තේය. නොඇලෙන ස්වභාව ඇත්තේය. නැතිවෙන ස්වභාව ඇත්තේය යන නුවණ.

අවිජ්ජාව

(71) අවිජ්ජාව නිසා සංස්කාර ඇතිවේය යන නුවණ.
(72) අවිජ්ජාව නැති කල්හි සංස්කාරය නැතිවේය යන නුවණ.
(73) අතීත කාලයෙහිද අවිජ්ජාව නිසා සංස්කාර ඇති වූයේය යන නුවණ.
(74) අවිජ්ජාව නැතිවූ කල්හි සංස්කාරය නැතිවූයේය යන නුවණ.
(75) අනාගත කාලයෙහිද අවිජ්ජාව නිසා සංස්කාරය ඇතිවන්නේය යන නුවණ.
(76) අවිජ්ජාව නැති කල්හි සංස්කාරය ඇති නොවන්නේය යන නුවණ.
(77) යම් ඒ (අවිජ්ජාව නිසා සංස්කාර ඇතිවේය යන) පටිච්චසමුප්පාදය දන්නා නුවණක්වේද, එයද ක්ෂයවන ස්වභාව ඇත්තේය. විනාශවන ස්වභාව ඇත්තේය. නොඇලෙන ස්වභාව ඇත්තේය. නැතිවෙන ස්වභාව ඇත්තේය යන නුවණ.

“මහණෙනි, මේවා ඤාණවස්තු සැත්තෑසත යයි කියනු ලැබෙත්.

(සිව්වන ඤාණවත්ථු සූත්‍රය නිමි.)


අවිජ්ජා සූත්‍රය
නතුම්හාක සූත්‍රය

MN 078 අයෝධ්‍ය ශ්‍රමණයා

MN 02-03-08 සමණ මණ්ඩික සූත්‍රය

පුජ්‍ය ඉඟුරුවත්තේ ධම්මගවෙසි හිමියන් කල විවරණය

§ 1. “මා විසින් මෙසේ අසන ලදී.
එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර අනේපිඬු මහ සිටුහු විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩ වීසූහ.

§ 2. එකල්හි පඤ්චකංග නම් ඇති වඩු කාර්මිකයා දවල් කාලයෙහි භාග්‍යවතුන් වහන්සේ දැකීමට සැවැත් නුවරින් නික්මුනේය.770

[770 : පන්චන්ගික බාස් උන්නැහේ යැයි ප්‍රසිද්ධ ඔහු කෝසල රජුගේ රාජකීය වඩු කාර්මිකයා ( සථපතියා ) බව අටුවාව කියයි. නිතර වඩු උපකරණ පහක් ඔහු ගෙන යන් නිසා “පන්චාංගික” ලෙස ඔහුට නමක් ජනයා යෙදුහ. බුදුන් වහන්සේ හා අනෙක් ආර්ය සංඝයාගෙන් ධර්මය අසා බෞද්ධ උපාසකයෙක්ව සිටි ඔහු ඉඩක් ඇති හැම විටම විහාරයට හෝ ආරාමයට ගොස් භාග්‍යවතු වහන්සේ හා ධර්මය කතා කරන්නට පුරුදුව සිටි කෙනෙකි. ]

පින්ඩපාතයේ ගොස් භික්ෂුන් ආපසු වැඩ කල් නොගිය බව දුටු පඤ්චකංග වඩුහට මෙබඳු සිතක් වූයේය. “දැන්ම භාග්‍යවතුන් වහන්සේ දැකීමට සුදුසු කල් නොවේ. භාග්‍යවතුන් වහන්සේ පල සමවතින් යුක්තවූයේ වෙයි. සිත වැඩීමෙහි යෙදුනාවූ භික්ෂූන් වහන්සේලාගේ ද දැකීමට මෙය කාලය නොවෙයි. සිත දියුණු කරන්නාවූ භික්ෂුහුද මේ වෙලාවේ ධ්‍යානයන්ට සමවැදී වාසය කරති. මා දන්නා අන්‍ය පරිබ්‍රාජකයෙක් වන උග්ගමාන නම් පරිව්‍රාජකයා ජේතවනාරාමයට නුදුරින් ඇති තින්දුකාචීර උයනෙහි ඇති මල්ලිකාරාම771 නම් එක සාලක ශාලාවෙහි සිටින බව දනිමි. මම එහි ගොස් ඔහු හමුවීම සුදුසුය “

[771 :-තිඹිරි ගස්වලින් වටවූ නිසා තින්දුකාචිර නම්වූ මල්ලිකා දේවිය සතු උයනක එක් විසාල සාලාවක් පමණක් ඇතිව තනවා ශ්‍රමණයන් ගේ පාවිච්චිය සඳහා වෙන් කොට ආරාමයක් තිබුන බවත් ඒ ශාලාව එක් සාලාවක් පමණක් ඇති නිසා ඒකසාල ලෙස හෝ මල්ලිකා දේවියගේ උයනේ තැනවූ නිසා මල්ලිකා සාලාව ලෙසත් කියවූ බව අටුවාව කියයි. උග්ගහමාන පිරිවැඩි ගේ මව සමනමංඩික නම් වූ නිසා ඔහුව සමනමංඩික පුත්ත ලෙස පුර්ව නාමයක් වූ බවද කියවේ.]

§ 3. එසේ සිතු පන්චගික සමණ මණ්ඩික පුත්‍රවූ උග්ගහමාන නම් පරිව්‍රාජකයා දකින්නට ඒකසාල ආරාමය වෙත ගියේය. ඒ වෙනවිට උග්ගහමාන පරිව්‍රාජකයා සත්සියයක් පමණවූ මහත් පරිව්‍රාජක පිරිස සමග මහ හඬින් කෑ කෝ ගසමින් නොයෙක් වැදගැම්මකට නැති කතා සල්ලාපයෙහි යෙදී සිටියේය.

කිනම් දේ ගැන කතාද යත්:- රජුන් පිළිබඳ කතාය, සොරුන් පිළිබඳ කතාය, මහ ඇමැතියන් පිළිබඳ කතාය, සේනාවන් පිළිබඳ කතාය, භය පිළිබඳ කතාය, යුද්ධ පිළිබඳ කතාය, ආහාර පිළිබඳ කතාය, බොන දේ පිළිබඳ කතාය, ඇඳුම් පිළිබඳ කතාය, නිදන ආසන පිළිබඳ කතාය, මල්මාලා පිළිබඳ කතාය, සුවඳ පිළිබඳ කතාය, නෑයන් පිළිබඳ කතාය, රථ පිළිබඳ කතාය, ගම් පිළිබඳ කතාය, මහගම් පිළිබඳ කතාය, නගරයන් පිළිබඳ කතාය, ජනපද පිළිබඳ කතාය, ස්ත්‍රීන් පිළිබඳ කතාය, සූරයන් පිළිබඳ කතාය, වීථි පිළිබඳ කතාය, දියතොට පිළිබඳ කතාය, පූර්වඥාති ප්‍රේතයන් පිළිබඳ කතාය, නොයෙක් ස්වභාවයෙන් යුක්ත කතාය, ලෝකය පිළිබඳ ප්‍රකාශ වන්නාවූ කතාය, සමුද්‍රය පිළිබඳව ප්‍රකාශ වන්නාවූ කතාය ‘මෙසේ වන්නේය, මෙසේ නොවන්නේය’ යන මෙබඳු කතාය.

§ 4. උග්ගහමාන පරිව්‍රාජකයා තම ශාලාව වෙත එන්නාවූ පඤ්චකංග වඩුවා දුරදීම දුටුයේය. දැක ස්වකීය පිරිස නිශ්ශබ්ද කරවුයේය. තැන්පත් කෙළේය.
පින්වත්නි, නිශ්ශබ්ද වෙත්වා, පින්වත්නි, ශබ්ද නොකරව්, මේ එන්නේ ශ්‍රමණ භවත් ගෞතමයන්ගේ ශ්‍රාවකයෙක්වූ පඤ්චකංග නම් උපාසකයය. ශ්‍රමණ ගෞතමයන්ගේ සුදුවත් හඳින්නාවූ ගිහිවූ ශ්‍රාවකයෝ සැවැත් නුවර වාසය කෙරෙත්ද, මේ පඤ්චකංග නම් ථපති තෙමේද ඔවුන්ගෙන් කෙනෙකි. ඒ ශ්‍රමණ භවත් ගෞතමයන් නිශ්ශබ්දතාව ප්‍රිය කරන කෙනෙක්ය. ඔහුගේ පැවිදි ගිහි සියල්ලන් ම එසේම නිහඬ බවේ කැමැත්ත ඇත්තෝ ලෙස හික්මවන ලද්දෝය. ස්වල්ප ශබ්ද ඇත්තවුන් විසින් හික්මවන ලද්දෝය. ස්වල්ප ශබ්ද ඇත්තවුන්ගේ ගුණ කියන්නෝය. ස්වල්ප ශබ්ද ඇති පිරිසකැයි සිතා මේ පන්චන්ගික උපාසකයා මෙහි පැමිණීමට අදහස් කරන්නේ නම් මැනවයි” කියා පිරිස සන්සුන් කෙළේය. ඉක්බිති ඒ පරිව්‍රාජකයෝ නිශ්ශබ්ද වූහ.

§. 5 . එකල්හි පඤ්චකංග තෙමේ උග්ගහමාන පරිව්‍රාජකයා හුන් තැනට පැමිණ ඔහු සමග සතුටු වියයුතුවූ සිහි කටයුතුවූ කථාව කොට නිමවා එක් පැත්තක හිඳ හුන්නේය. එක් පැත්තක හුන්නාවූ පඤ්චකංග නම් වඩුවාට උග්ගමාන පරිව්‍රජාක තෙම මෙසේ කීයේය.

§ 5. “සථපතිය, කරුණු සතරකින් යුක්තවූ පුරුෂයා සම්පූර්ණවූ කුසල් ඇති උතුම්වූ කුසල් ඇති උත්තම භාවයට පැමිණියාවූ වාද කොට සෙලවිය නොහැකි ශ්‍රමණයා යයි මම කියමි.
කවර සතරකින්ද යත්?

“සථපතිය,
(i) කාය දුෂ්චරිතයෙන් දුරුව; කයින් පව්කම් නොකෙරේද,
(ii) නපුරු වචන නොකියයිද,
(iii) පවිටු වූ සිතුවිලි කල්පනා නොකෙරේද,
(iv) අධාර්මමික වූ ජීවිකාවෙන් ජීවිකාව නොකෙරේද,

සථපතිය, මේ කරුණු සතරින් යුක්තවූ පුරුෂයා කුසල් සම්පූර්ණ කර ඇති උතුම් කුසල් ඇති උතුම් බවට පැමිණියාවූ වාද කොට සෙලවිය නොහැකි ශ්‍රමණයායි මම ප්‍රකාශ කරමියි” කීය.

§ 6 . එවිට පඤ්චකංග සථපති තෙම, උග්ගහමාන පරිව්‍රාජකයාගේ කීමට සතුටුද නොවිය. ප්‍රතික්ෂෙපද නොකෙළේය. සතුටු නොවී ප්‍රතික්ෂෙප නොකොට හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙන් මේ කියමනේ අර්ථය දැන ගන්නෙමියි. සිතා උග්ගහමාන පරිව්‍රාජකයා ගෙන් සමුගෙන පිටව ගියේය.

§ 7. ඉක්බිති පඤ්චකංග සථපති තෙමේ ජේතවනාරාමයට පැමිණ භාග්‍යවතුන් වහන්සේට මනා කොට වැඳ එකත් පස්වහිද තමන් සහ උග්ගහමාන පරිව්‍රාජක අතර වූ සියළු කථාබහ භාග්‍යවතුන් වහන්සේට දැන්වූයේය. මෙසේ දැන්වූ කල්හි භාග්‍යවතුන් වහන්සෙ පඤ්චකංගට මෙසේ වදාළේය.

‘සමණ මණ්ඩික උග්ගහමාන පරිව්‍රාජකයාගේ කීමට අනුව සථපතිය, අළුත උපන්නාවූ, තොටිල්ලක උඩුකුරුව වැතිර ඉන්නාවූ, ලපටි දරුවෙකු කුසල ධර්ම සම්පුර්ණ කළාවූ, අනුපමේය විමුක්තියට පත් වූ වාදයෙන් බිඳ හෙලනට නොහැකි ශ්‍රමණ උත්තමයෙකු වන්නේය.

මන්දයත්,

  • ඒ ළදරුවාට “මේ මගේ ශරීරය” යැයි තම ශරීරය කිසිදු දැනුමක් නැත. උඩුකුරුව සයනය කරන්නාවූ එම ලපටියා අත පය සොලවනවා මිස කයෙන් අකුසල් කිරීමක් නොකරන්නේය.
  • ඒ ළදරුවාට කතා කරන්නට දැනුමක් නැත. වචන කතා කරන්නට නොදන්නා ඒ ළදරුවා හැඬීම පමණක් කරනවා මිස වාග් අකුසලයක් ද නොකරන්නේය.
  • සිනාසීම් මාත්‍රයක් හැර පවිටු කල්පනා කල්පනා කරන්නේද නැත. මේ කලයුතු යෑයි ඒ ළදරුවාට ඕනෑකමක් ද නැත.
  • මවගේ කිරි බීම හැර ලාමකවූ ජීවිකාවෙන් ජීවිකාව කරන්නේද නොවේ

ඉදින් උග්ගහමාන ගේ පිළිගැනීමේ හැටියට මේ ළදරුවා සම්පූර්ණ කුසල් ඇති උතුම්වූ කුසල් ඇති උතුම් බවට පැමිණියාවූ වාදකොට ජය ගත නොහැකි ශ්‍රමණයෙක් උතුම් ආජීවකයෙකු වීමට අවශ්‍ය කාරනා සතරම සම්පුර්ණ කල කෙනෙකු නොවන්නේද?

§ 8 . “සථපතිය, එසේ එම කාරනා සතර සම්පුර්ණ කළාවූ යම් ශ්‍රමණයෙකු ආජීවකයෙකු වේනම් ඔහු උත්තරීතර උතුම්වූ කුසල් ඇති උතුම් බවට පැමිණියාවූ වාදකොට ජය ගත නොහැකි ශ්‍රමණයෙක් උතුම් ආජීවකයෙකු නොව තොටිල්ලේ වැද හූනා ඒ ලපටියා වැන්නැ’ යි මම කියමි.

“කවර සතරකින්ද යත්, ථපතිය, මේ ලෝකයෙහි කයින් පව්කම් නොකෙරේද, ලාමක නපුරු වචන නොකියාද, ලාමකවූ සිතිවිලි කල්පනා නොකෙරේද, අධාර්මික ජීවිකාවෙන් ජීවිකාව නොකෙරෙයිද, ථපතිය, මේ කරුණු සතරින් යුක්තවූ පුද්ගලයා සම්පූර්ණ කුසල් නැත්තාවූද, උතුම් කුසල් නැත්තාවූද, උතුම් පැමිණීමට නොපැමිණියාවූද, වාදයෙන් සෙලවිය නොහැක්කාවූද, මේ ළදරුවූ බාලවූ උඩුකුරුව නිදන්නාවූ මේ කුමාරයාට සමානයෙක් මිස වීශේෂවූද ශ්‍රමණයෙකැයි ප්‍රකාශ නොකරමි.

§ 9 .“සථපතිය, කරුණු දසයකින් යුක්තවූ පුද්ගලයා කුසල ධර්ම සම්පූර්ණ කළාවූද, උතුම් කුසල් ඇත්තාවූද, උත්තම බවට පැමිණියාවූද, වාදයෙන් සෙල්විය නොහැක්කාවූද ශ්‍රමණයෙකැයි ප්‍රකාශ කරමි.772

[772: එම කාරනාවලට පෙර භාග්‍යවතුන් වහන්සේ රහතුන් ගේ ( “අසෙක” පුද්ගලයෙකුගේ) ස්වභාවය දක්වයි. ඉන්පසු යම් ශ්‍රාවකයෙකු විසි කෙසේ ඒ ධර්මයන් වඩා “සේක” තත්වයට පත් විය යුතු දැයි විස්තර කරයි. මේ වැඩිය යුතු ධර්මයන් “සීලය” යන්නෙන් ඔබ්බට ගියාවූ ඊට වඩා පුළුල් වූ කාරනා වෙති]

දත යුතු පිළිවෙත්

(i) “සථපතිය, අකුශල පිළිවෙත්773 මොනවාදැයි දතයුතුයයි කියමි.
මේ අකුශල පිළිවෙත්, කුමක් හේතුකොට ගෙන හටගත්තාහුදැ’යි දතයුතුදැයි කියමි.
මේ අකුශල පිළිවෙත් කෙසේනම් ඉතිරිනොවී නිරුද්ධ වෙත්දැයි දතයුතුය” යි කියමි.
සථපතිය, කෙසේ පිළිපදින්නාවූ තැනැත්තකු මේ අකුශල පිළිවෙත්හි නිරෝධය පිණිස පිළිපන්නේ වේදැයි දැනගත යුතුයයි කියමි.

[773:- කුසල සීල, අකුසල සීල ආදී පාලි යෙදුම් වල සීල යන පදය වෙනුවට මේ පරිවර්තනයේ “පිළිවෙත්” (ප්‍රතිපත්ති) යැයි යොදා ඇත්තේ ප්‍රකට ලෙස භාවිතා වන “සීල” පදයෙහි අර්ථය මෙයින් නොකිලිටි වේ යැයි අදහසිනි. “පිළිවෙත්” යන්නෙන් “පුරුදු” යන අදහස නැගේ නම් ඒ නිවැරදිය. සමහර ක්‍රියා මිනිසුන් කරන්නේ පුරුද්දට වගේය එය සසර පුරුද්ද හෝ ඇතිකරගත් පුරුද්ද විය හැක. ]

(ii) “සථපතිය, කුශල පිළිවෙත් මොනවා දැයි දත යුතුයයි කියමි.
මේ කුසල පිළිවෙත් කුමක් නිසා හට ගන්නාහුදැ’යයි දත යුතු යැයි කියමි.
මේ කුශල පිළිවෙත් කෙසේ නම් ඉතිරියක් නොවී නිරුද්ධ වෙත්දැයි දැනගත යුතුයි කියමි.
කෙසේ මේ කුසල පිළිවෙත් වල නිරෝධය පිණිස පිළිපන්නේදැයි දතයුතුයයි කියමි.

(iii) සථපතිය, අකුශල සංකල්පනා මොනවා දැයි දතයුතුයයි කියමි.
මේ අකුශල සංකල්පනාවෝ කුමක්කි නිසා හටගන්නාහුදැයි දතයුතුය’යි කියමි.
මේ අකුශල සංකල්පනාවෝ ඉතිරි නොවී කොතැන්හි නිරුද්ධ වෙත්දැයි දතයුතුයයි කියමි.
කෙසේ පිළිපන්නාවූ පුද්ගලයෙකු මේ අකුසල සංකල්පනාවන්ගේ නිරෝධය පිණිස පිළිපන්නේදැ”යි දතයුතුයයි කියමි.

(iv) කුසල සංකල්පනාවෝ මොනවාදැයි දතයුතුයි කියමි.
මේ කුසල සංකල්පනාවෝ කුමක් නිසා හටගන්නාහුදැයි දතයුතුයයි කියමි.
මේ කුසල සංකල්පනාවෝ කොතැන්හි ඉතිරි නැතිව නිරුද්ධ වෙත්දැයි දතයුතුයයි කියමි.
කෙසේ පිළිපන්නාවූ පුද්ගලයෙකු මේ කුසල සංකල්පනාවන්ගේ නිරෝධය පිණිස පිළිපදින්නේදැයි දතයුතුයයි කියමි.

අකුසල පිළිවෙත්

§10 . “සථපතිය, අකුසල පිළිවෙත් කවරහුද,

අකුසල්වූ කාය කර්මය
අකුසල්වූ වාග්කර්මය
ලාමකවූ ජීවිකාවය යන මේවාය.

සථපතිය, මේවා අකුසල පිළිවෙත්ය යි කියනු ලැබෙත්.

මේ අකුසල පිළිවෙත් කුමක් හේතු කොටගෙන හට ගන්නාහුද?
ඔවුන්ගේ ඉපදීමට හේතුව අසන්නේ වී නම් අකුසල සඥාව නිසා උපදින්නාහුයයි කියයුතු වෙත්.

අකුසල සඥාව කවරේද?
සඥාව බොහෝ වැදෑරුම්හ. නොයෙක් ආකාරය.
ඒ කාම සඥාවය,
ව්‍යාපාද සඥාවය,
හිංසා සඥාවය, ,
අකුසල පිළිවෙත් මේ සඥා නිසා හටගත්තාහුය.

§ 11 සථපතිය, මේ අකුසල පිළිවෙත් කෙසේ ඉතිරියක් නැතිව නිරුද්ධවෙත්ද?,
ඒවායේ නිරෝධය මෙසේ කියනු ලැබේ.

සථපතිය, භික්ෂුවක් කාය දුශ්චරිතය හැර කාය සුචරිතය වඩාද, වාග් දුශ්චරිතය හැර වාග් සුචරිතය වඩාද, මනො දුශ්චරිතය හැර මනො සුචරිතය වඩාද මිථ්‍යා ආජීවය හැර යහපත් ජීවිකාවෙන් ජීවිකාව කෙරේද, මෙසේ මේ අකුසල පිළිවෙත් ඉතිරියක් නැතිව නිරුද්ධවෙත්.

.  සථපතිය , කෙසේ පවතින්නා වූ පුද්ගලයා, අකුසල පිළිවෙත් හි නිරෝධය කරගන්නේද?

“සථපතිය, යම් භික්ෂුවක් ..

(i) නූපන්නාවූ ලාමකවූ අකුශල ධර්මයන්ගේ නොඉපදවීම පිණිස කැමැත්ත උපදවයිද, වෑයම් කරයිද, වීර්ය පටන්ගනියිද, සිත ඔසවයිද, වීර්ය කරයිද,
(ii) උපන්නාවූ ලාමකවූ අකුශල ධර්මයන් දුරුකිරීම පිණිස කැමැත්ත උපදවයිද, ව්‍යායාම් කරයිද, වීර්ය පටන්ගනියිද, සිත ඔසවයිද, උත්සාහ කරයිද, නූපන්නාවූ
(iii) නුපන් කුසල ධර්මයන්ගේ ඉපදීම පිණිස කැමැත්ත උපදවයිද, වෑයම් කරයිද, වීර්ය පටන් ගනියිද, සිත ඔසවයිද, උත්සාහ කරයිද,
(iv) උපන්නාවූ කුසල ධර්මයන්ගේ පැවැත්ම පිණිස, මුලානොවීම පිණිස, වැඩිවීම පිණිස, මහත්බව පිණිස, දියුණු කිරීම පිණිස කැමැත්ත උපදවයිද, වෑයම් කරයිද, වීර්ය පටන්ගනියිද, සිත ඔසවයිද, උත්සාහ කරයිද, 774

ගෘහපතිය, මෙසේ පිළිපදින්නාවූ පුද්ගලයා අකුසල පිළිවෙත් හි නිරෝධය පිණිස පිළිපදීන්නේ වෙයි.

[774 සෝවාන් වනතුරු ඔහු අකුසල පිළිවෙත් නතර කර ගන්නට මෙසේ පිළිපැදිය යුතු වේ. සෝවාන් වූ අයෙකුට මේ අකුසල පිළිවෙත් නැවත ඇති වේ යැයි බියක් වී යුතු නොවේ.]

කුසල පිළිවෙත්

§. 12 . “සථපතිය, කුසල පිළිවෙත් මොනවාද ?
සථපතිය , කුසලවූ කාය කර්මයද, කුසල් වූ වාග් කර්මයද, පිරිසිදු ජීවිකාවද කුසල පිළිවෙත් වේ.

සථපතිය, මේ කුසල පිලිවෙත් කුමක් හේතු කොටගෙන උපදින්නාහුද, ?
කුසල පිලිවෙත්වල උත්පත්ති හේතුව කිවහොත් සිත හා සිතුවිලි නිසා උපදින්නාහුය”යි කියයුතු වෙත්.

සිත කවරේද?,
සිත බොහෝ වැදෑරුම්ය, නානාප්‍රකාරය.

යම් සිතක රාගය පහ කරන ලද්දේද, දෝසය පහ කරන ලද්දේද , මෝහය පහ කරන ලද්දේ වෙයිද, ඒ මනස කුසල පිළිවෙත් හි පිහිටියා වෙත්.

සථපතිය, මේ කුසල පිළිවෙත් කෙසේ ඉතිරියක් නැතිව නිරුද්ධ වෙත්ද?

කුසල පිළිවෙත් හි නිරෝධය කියතහොත් සථපතිය, යම් භික්ෂුවක් සිල්වත් වේද, ඒ “සිල්වත් කෙනා මම” යැයි හෝ “ඒ මගේ සීලය” යැයි මමඥනාව දුරු කොට සිටීද , මින්පසු රැක්කයුතු තවත් සීලයක් නැත්තේයැයි තමාම අවබෝධයෙන් දන්නාවූ අරහත් භාවය සාක්ෂාත් කර්ගන්නා ලද “අසේක” වූ රහතුන් වහන්සේ කෙනෙක් සිත අකුසල් කිරීමට නොව කුසල් කිරීමට පවා නොනමයි.

ඵල සමාධියත් ඵල සමාපත්තියත් දන්නා උන්වහන්සේ කරන කර්මයන් ඵල ශුන්‍ය වේ. එසේ හෙයින් අසේක උන්වහන්සේ කුසල පිළිවෙත් පවා නිරෝධයට පත් කර ගන්නා ලද්දේ යැයි776 කිව හැකිය.

[776:- කරන්නා වූ කුසල් අකුසල් මම කරමි මගේ ක්‍රියා යැයි නොදකින්නේ රහතුන් විසින් “මම”, “මාගේ” ලෙස ඒවා නොදකින නිසාය. මතුදු උන්වහන්සේ කරණ යහපත් ක්‍රියා කුසල් නොවන්නේ , ඒවා නිසා කුසල කර්මයක් සිදු නොවන බැවිනි.]

§ 13. අකුසල සංකල්පනා මොනවාද?

“සථපතිය, අකුසල සංකල්පනාවෝ තුනෙකි. ඒ නම්
කාම සංකල්පයෝ
ව්‍යාපාද සංකල්පයෝ සහ
විහිංසා සංකල්පයෝ ය.

අකුසල සංකල්පයන් කුමක් මුල් කොට උපදීද?
අකුසල සංකල්පයන් පුද්ගලයාගේ සඥාවෙන්ම උපදින්නේ වෙයි.

ඒ කුමන සඥාවකින්ද ?

ඒ කුමන සඥාවකින්ඳ කිවහොත් , සඥාවෝ බොහෝ වෙති. ඒ බහු විධ සඥා අතරින්
කාමච්චන්දය නොහොත් කාම සඥාය ,
ව්‍යාපාද සඥා,
හිංසා සඥා යන තෙවදෑරුම් සඥා නිසා අකුසල සංකල්පයෝ උපදිත්.

මේ අකුසල සංකල්පයෝ කෙසේ නම් නිරුද්ධ වේද?

සථපතිය , භික්ෂුව කාමයන්ගෙන් වෙන්වම අකුශල ධර්මයන්ගෙන් වෙන්වම විතර්ක සහිතවූ, විචාර සහිතවූ, විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි නම් මේ අකුශල සංකල්පනාවෝ ඉතිරියක් නැතිවම නිරුද්ධ වෙත්.

, කෙසේ පිළිපදින පුද්ගලයා අකුශල සංකල්පනාවන්ගේ නිරෝධය පිණිස පිළිපන්නේ වේද ?

සථපතිය, මේ ශාසනයෙහි භික්ෂුව
(i) නූපන්නාවූ ලාමකවූ අකුශල ධර්මයන්ගේ නොඉපදීම පිණිස කැමැත්ත උපදවයිද ව්‍යායාම කරයිද, වීර්ය පටන්ගනියිද, සිත ඔසවයිද, උත්සාහ කරයිද

(ii) උපන්නාවූ ලාමකවූ අකුසල ධර්මයන්ගේ දුරුකිරීම පිණිස කැමැත්ත උපදවයි වෑයම් කරයි. වීර්ය පටන්ගනියි. උත්සාහ කරයි.

(iii) නූපන්නාවූ කුශල ධර්මයන්ගේ ඉපදීම පිණිස කැමැත්ත උපදවයි. වෑයම් කරයි. වීර්ය පටන්ගනියි. උත්සාහ කරයි.

(iv) උපන්නාවූ කුසල ධර්මයන්ගේ පැවැත්ම පිණිස, ගිලිහී නොයාම පිණිස, වැඩිවීම පිණිස, මහත් බැව් පිණිස, දියුණුව පිණිස, කැමැත්ත උපදවයිද, ව්‍යායාම කරයිද, වීර්ය පටන්ගනියිද, සිත ඔසොවයිද, උත්සාහ කරයිද, ගෘහපතිය,

මෙසේ පිළිපදින පුද්ගලයා අකුසල සංකල්පනාවන්ගේ නිරෝධය පිණිස පිළිපන්නේ වේ.

§14 . “ සථපතිය , කුසල සංකල්පනාවෝ කවරහුද?

නෛෂ්ක්‍රම්‍ය සංකල්පනාය,
අව්‍යාපද සංකල්පනාය,
අවිහිංසා සංකල්පනාය යන මේවායි.

සථපතිය, මේවා කුසල සංකල්පයෝයයි කියනු ලැබෙත්.

සථපතිය, මේ කුසල සංකල්පනාවෝ කුමකින් හටගන්නාහු වෙත්ද?,
ඔවුන්ගේ හටගැනීම කිවහොත්, සංඥාව නිසා ඒ සංකල්පනාවෝ හටගන්නාහුයයි කියයුතු වෙත්.

සංඥා මොනවාද ?
සංඥාවෝද බොහෝ වැදෑරුම්ය, නානාප්‍රකාරය.

කාමයන්ගෙන් සිත මුදා ගන්නට ඇතිවන සංඥාවය,
අනුන්ට වෛර නොකිරීම පිළිබඳ සංඥාවය,
හිංසා නොකිරීම පිළිබඳ සංඥාවය යන මේවා යි.
කුසල සංකල්පනාවෝ මේ සංඥා නිසා හටගන්නාහු වෙත්.

සථපතිය, මේ කුසල සංකල්පනාවෝ කෙසේ ඉතිරි නැතිව නිරුද්ධ වෙත්ද?

ඔවුන්ගේ නිරෝධයද කියත හොත්
සථපතිය, මේ ශාසනයෙහි භික්ෂුවක් විතර්ක විචාරයන්ගේ සංසිඳීමෙන්, ඇතුලත පැහැදීම ඇති හිතේ එකඟබව ඇති විතර්ක රහිතවූ විචාර සහිතවූ, සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ද්විතීය ධ්‍යානයට පැමිණ වාසය කරයිද, එහිදී මේ කුසල සංකල්පනාවෝ ඉතිරිනොවී නිරුද්ධ වෙත්.

සථපතිය, කෙසේ පිළිපදින අයෙකු ගේ කුසල සංකල්පනාවන් නිරෝධය පිණිස පිළිපන්නේ වේද?
සථපතිය , යම් භික්ෂුවක් නූපන්නාවූ ලාමකවූ අකුසල ධර්මයන්ගේ නොඉපදීම පිණිස කැමැත්ත උපදවයිද, වෑයම් කරයිද, වීර්ය පටන්ගනියිද, සිත ඔසවයිද, උත්සාහ කරයිද,
උපන්නාවූ ලාමකවු අකුසල ධර්මයන්ගේ දුරුකිරීම පිණිස කැමැත්ත උපදවයි. වෑයම් කරයි. වීර්ය පටන්ගනියි. උත්සාහ කරයි.
නූපන්නාවූ කුශල ධර්මයන්ගේ ඉපදීම පිණිස කැමැත්ත උපදයි. වෑයම් කරයි. වීර්ය පටන්ගනියි. උත්සාහ කරයි.
උපන්නාවූ කුසල ධර්මයන්ගේ පැවැත්ම පිණිස, මුළා නොවීම පිණිස, වැඩිවීම පිණිස, මහත් බැව් පිණිස, දියුණුව පිණිස, කැමැත්ත උපදවයි. වෑයම් කරයි, වීර්ය පටන්ගනියි, සිත ඔසවයි, උත්සාහ කරයි.
සථපතිය , මෙසේ පිළිපදින්නා කුසල සංකල්පනාවන්ගේ නිරෝධය පිණිස පිළිපන්නේ වේ

උත්තම ශ්‍රමණයා කවරෙක්ද

§. 15 “ සථපතිය, කවර නම් කරුණු දසයකින් යුක්තවූ පුරුෂ පුද්ගලයා කුසල් සම්පූර්ණ කර ඇති, උතුම් කුසල් ඇති, උතුම් පැමිණීමට පැමිණියාවූ, වාදයෙන් නොසෙල්විය හැකිවූ ශ්‍රමණයා යයි ප්‍රකාශ කරම්ද?

“සථපතිය , භික්ෂුව
අශෛක්ෂ වූ (රහත්වූ) , සම්‍යක් දෘෂ්ටියෙන් (යහපත් දැකීමෙන්) යුක්තවූයේ වේද,
අශෛක්ෂවූ (රහත්වූ) සම්‍යක් සංකල්පනයෙන් (යහපත් කල්පනාවෙන්) යුක්තවූයේ වේද,
අශෛක්ෂවූ (රහත්) සම්‍යක් වචනයෙන් (යහපත් වචනයෙන්) යුක්තවූයේ වේද,
අශෛක්ෂවූ (රහත්) සම්‍යක් කර්මාන්තයෙන් (යහපත් කිරීමෙන්) යුක්තවූයේ වේද,
අශෛක්ෂවූ (රහත්) සම්‍යක් ආජීවයෙන් (යහපත් ජීවිකාවෙන්) යුක්තවූයේ වේද,
අශෛක්ෂවූ (රහත්) සම්‍යක් ව්‍යායාමයෙන් (යහපත් උත්සාහයෙන්) යුක්තවූයේ වේද,
අශෛක්ෂවූ (රහත්) සම්‍යක් ස්මෘතියෙන් (යහපත් සිහියෙන්) යුක්තවූයේ වේද,
අශෛක්ෂවූ (රහත්) සම්‍යක් සමාධියෙන් (යහපත් සිතේ එකඟබවෙන්) යුක්තවූයේ වේද,
අශෛක්ෂවූ (රහත්) සම්‍යක් ඥානයෙන් (යහපත් නුවණින්) යුක්තවූයේ වේද,
අශෛක්ෂවූ (රහත්) සම්‍යක් විමුක්තියෙන් (යහපත් මිදීමෙන්) යුක්තවූයේ වේද,

[ ශෛක්ෂ හා අශෛක්ෂ යනු දැනගන්නට සෙඛපරියාය සූත්‍රය කියවන්න.]

සථපතිය , මේ කරුණු දහයෙන් යුක්තවූ පුරුෂයා කුසල් සම්පූර්ණ කරගත්තා වූ, උතුම්වූ කුසල් ඇති, උතුම් බවට පැමිණියාවූ, වාදයෙන් නොසෙල්විය හැකි උත්තම ශ්‍රමණයෙකැයි ප්‍රකාශ කරමි.

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
සතුටු සිත් ඇත්තාවූ පඤ්චකංග සථපති තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ වචනය සතුටින් පිළිගත්තේය.

MN 03-03-02 මහා සුඤ්ඤත සූත්‍රය

[1145 බොහෝ අවස්තාවලදී භාග්‍යවතුන් වහන්සේ විසින් හුදෙකලාවේ අගය ගැන දේසනා කර ඇත. සමාජයට ප්‍රියව දොඩමළුව හිස් කතා කිරීම සසර දික් කරගැන්මට අනිසි තැන්වල උපත ලැබීමට සංඛාර ජනනයට හේතු වනවා පමණක් නොව සසර විම්ක්තිය පතා ඉන්නෙකුගේ ප්‍රතිපත්ති පුරාණයට ද මහා බාධකයක් වේ. ශුන්යතාවයට සිත පුරුදු කරන්නෙකුට මහ ජනයා අතර දී වුවත් සිය අභ්‍යන්තරික, අධ්‍යාත්මික හුදෙකලාව පවත්වාගැන්මට ශුන්යතාවට සිත නැංවීම නිසා හැකිවේ. සමාජයෙන් වෙන්ව කටයුතු කල නොහැකි වැඩ පල ඇති ආනන්ද හිමියන්ට මේ දේශනාව කලේ ආනන්ද හිමියන්ට ශුන්යතාවේ ඇති ප්‍රයෝජනය වඩා හොඳින් දැක්වීම පිණිස වන්නට හැක.]

මේ සුත්රය විග්‍රහ කෙරෙන අන් දේසනාවක් සොයාගන්නට අසමත් වීමි.

§ 1. මා විසින් මෙසේ අසනලදී. 1145
එක් සමයක භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයන්හි, කිඹුල්වත් පුරයේ නිග්‍රොධ උයනෙහි වැඩ වසන සේක.

§ 2 දිනක් භාග්‍යවතුන් වහන්සේ පෙරවරු කාලයෙහි හැඳ, පා සිවුරු ගෙන කිඹුල්වත් පුරයට පිඬු පිණිස වැඩිසේක. කිඹුල්වත් පුරයෙහි පිඬු පිණිස හැසිර, බතින් පසු “කාලඛෙමක”1146 නම් ශාක්‍යය පුත්රයා තනවා තිබු ප්‍රසිද්ධ ගිමන් ශාලාවේ දවල් කාලයෙහි “දිවා විහරණය” පිණිස වැඩිසේක. ඒ “කාලඛේමක ශාක්‍යයාගේ විහාරයෙහි බොහෝ අසුන් පනවා තිබු සැටි දුටු භාග්‍යවතුන් වහන්සේ “කාලඛේමක” විහාරයෙහි බොහෝ භික්ෂූහු වාසය කෙරෙත්ය’යි දැන ගත සේක.

[1146: නිග්‍රෝධ උයනෙහි කාලකෙමඛ නම් සාක්‍ය කුමරෙකු විසින් කරවන ලද මේ ශාලාව නොයෙක් ශ්‍රමණයන්ගේ පාවිච්චියට වෙන් කොට තිබුවක් බවත් භාග්‍යවතුන් වහන්සේ එහි වඩින කල බොහෝ සයනයන් නිදන පැදුරු ආදිය එලා එය සංඝයා ගේ බෝඩිමක් ලෙස පෙනෙන්නට තිබු බවත් අටුවාව කියයි.]

§ 2. එසමයෙහි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ බොහෝ භික්ෂුන් සමග “ඝටා” නම් ශාක්‍යයාගේ විහාරයෙහි සිවුරු මැසීම කරයි. එකල්හි භාග්‍යවතුන් වහන්සේ සවස් කාලයෙහි පලසමවතින් නැඟි සිට “ඝටා” ශාක්‍යයාගේ විහාරයට වැඩම කොට පනවන ලද ආසනයෙහි වැඩහුන්සේක. වැඩහිඳ භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේට කථාකළසේක.

“ආනන්දය, ‘කාලඛේමක” ශාක්‍යයාගේ විහාරයෙහි බොහෝ සෙනසුන් පනවන ලද්දාහුය. එහි බොහෝ භික්ෂුහු වෙත්දැ”යි යි ඇසූහ.1147

[1147: භාග්‍යවතුන් වහන්සේ එසේ ප්‍රශ්නයක් නැගුවේ පිළිතුර නොදන්නා නිසා නොව සංඝයාගේ බොහෝ කල් පැවැත්මට අර්ථ ශාධනයට අත්‍යවශ්‍යම වූ හුදෙකලාව විසීමේ අගය ඔවුනට මේ ‘මහා ශුන්‍යතා සුත්‍රය” දේශනා කරන්නට අවස්තාවක් කර ගන්නට බව අටුවාව කියයි.]

“එසේය ස්වාමිනි,  මෙහි මේදිනවල මෙහි බොහෝ භික්ෂූහු සිටියි. ස්වාමීනි, මේ අපගේ සිවුරු මසන කාලය වේයයි කීය.”1148.

[1148:- බොහෝ සංඝයා එක්ව සතුටක් ආනන්දයක් ලබන්නට නොව සිවුරු මැසීමේ කාර්යය පිණිස භික්ෂුන් බොහෝ දෙනෙක් එක්වී සිටින බව ආනන්ද ස්වාමින් වහන්සේ කිවූ බවක් පෙනේ.]

§ 3 .“ආනන්දය, ශාසන ප්‍රතිපදාවේ නියැලී විමුක්තිය ප්‍රාර්ථනයෙන් පැවිදි වුවෙකු බොහෝ දෙනා හා එක්වී, සමාජ ශීලි වීම, එසේ එකට ඉන්නට කැමති වීම, එසේ එකව් සිටිමින් ඉන් සතුටක් ලැබීම ඔහුගේ ප්‍රතිපත්ති සාධනයට අවහිරයක් ම වේ. ඒ භික්ෂුවකට නොසුදුසුය.

එසේ බොහෝ දෙනා සමග එක්ව විසීම, එසේ ඉන්ට ඇති කැමැත්ත, එසේ එක්ව සිටීමෙන් සතුටුවීම ඔහුගේ ගමන අඩාල කරයි. එසේ එක්ව විසීමෙහි ඇළුණු එක්ව විසීමෙහි කැමති මහණහු නෙක්කම්ම සැපය (පංච කාමයෙන් නික්මීමේ සැපය), කාමයෙන් වෙන්වීමේ සැපයද, රාගාදීන්ගේ සංසිඳීම නිසා ලබන සැපයක් වේද, මාර්ගාවබෝධය නිසා ලබන සැපයක් වේද, ඒ ඒ සැප කිසිවක් අත් නොවිඳියි.“1149.

[1149: “සැපය” යන වචනය යොදා ඇත්තේ පාලි “සුඛ” වෙනුවෙනි. පාලි වචනයෙහි සම්පුර්ණ අර්ථය ඉන් නොකියවෙන මුත් “සුවය”, “සතුට” වැනි අනෙක් වචන වලට වඩා “සැපය” සුදුසු බව තමන් සිතු බව ඥානාලෝක හිමියන් කියයි.]

“ආනන්දය, යම් භික්ෂුවක් හුදකලා ජීවන පැවැත්ම රුචි කරන්නේද , සමූහයාගෙන් වෙන්ව හුදෙකලාව වාසය කෙරේද, ඒ භික්ෂුව කාමයෙන් නික්මීමේ සැපයද, කාමයෙන් වෙන්වීමේ සැපයද, රාගාදීන්ගේ සංසිඳීම නිසා වන්නාවූ සැපයද, මාර්ගාවබෝධය පිණිස පැවතීමේ සැපයද, නොඅඩුව ලබයි.

§ 4. “ආනන්දය, යම් භික්ෂුවක් සමාජශිලිවන්නට බොහෝදෙනා සමග එක්ව විසීමට කැමත්ත ඇත්තේද අනුන් හා එක්ව විසීමෙහි ඇළුනේද හෙතෙමේ කෙලෙසුන්ගෙන් මිදී තාවකාලිකව කෙටි කාලෙකට ලබන්නාවූ රූපාරූපාවචර චිත්ත සමාධියක් හෝ ක්ලේශයන්ගෙන් සහමුලින්ම මිදී ලබන නොසිඳෙන සමාධියක්1150 හෝ ලබන්නට අසමත් වන්නේය..“

[1150: පළමුවන ධ්යානයේ සිට සිව් වැන්න තෙක්ම ධ්‍යානයන් ලැබීමෙන් ලබන සුවය – රුප ධ්‍යානයන් හා සතර අරූප ධ්‍යායන ගෙන් කෙටි කාලින අසමාය විමොක්ඛ සුඛය ලෙසද සතර මාර්ග ඵල සාක්ෂාත් කර ගත්තෙකු ලබන නොසිඳේන්නාවූ සුවය සමාය විමොක්ඛ සැපය දෙවැන්න ලෙසද අටුවාව විස්තර කරයි.]

§ 5. “ආනන්දය,
වෙනස්වීම නිසා ශෝකය ඇති නොකරන්නාවූ, වැළපීමට තුඩු නොදෙන්නාවූ, පරිදේහය ඇති නොකරන්නාවූ කිසිදු රූපයක්, රූප ස්වභාවයක් මම නොදකිමි. [රූපය යන්නෙන් සියලුම කාණ්ඩ රූප රූප, ශබ්දව් රූප, ඝන්ධ රූප, රස රූප, ස්පර්ශ රූප අදහස් වෙයි.]

§ 6. එසේ වුවත් ආනන්ද, තථාගතයන් විසින් නිරාවරණය කර ගත් ශුන්‍යතා විහරණයක් ඇත්තේය. මේ ශුන්‍යතා විහරණයට එළඹීමෙන් සියළු කාම අරමුණු වලින් වෙන්ව අධ්‍යාත්මිකව ලබන උත්තරීතර සැපය ලබත හැක්කේය.

මේ ශුන්‍යතා විහරණයෙහි නිමග්නවූ තථාගතයන්1151 දකින්නට භික්ෂුන්, භික්ෂුනීන් , ගිහි උපාසක උපාසිකාවන්, රජුන්, ඇමතින්, සිටුවරුන්, තීර්ථකයෝ, තීර්ථක ශ්‍රාවකයෝද, හෝ අන් කවරෙකු ආවත්, තථාගතයන් සිය ශුනයතා සමාපත්තිය පවත්වාගන්නය සමත්ය. තථාගතයන් .ඉක්මනින්ම ඒ ආවා වූ පිරිස ආපසු පිටත් කරන්නාවූ ලෙසම ඔවුන් හා කථා කරයි. හුදෙකලාවට නැමුණු චන්දය , නිර්වාණයට නැමුණු, නිර්වාණයට අවනතවූ නිර්වාණයට බරවූ ක්ලේශයන්ගෙන් වෙන්වූ, හික්මීමෙහි ඇළුනු සිතින් යුක්තව කෙලෙසුන්ට හේතුවන ධර්මයන් නොවැඩෙන පරිදිම, කථා කරන්නේවෙයි.

[1151: සිය ශ්‍රාවක භික්ෂුන්ට හුදෙකලාවීමේ අනුසස් කරමින් භාග්‍යවතුන් වහන්සේ රජුන් සිටුන් උපාසක උපාසිකාවන් සමග කතා බස් කරමින් සමාජ ශිලිව ඉන්නේය යනුවෙන් මතුවට යමෙක් කල හැකි දෝශාරෝපනය වැලැක්වීම පිණිස හා ශුන්‍යතා විහරණය හුරු කල කෙනෙකුට සමාජයේ සිටියද ශුන්‍යතා විහරණ රැකීම කල හැකි බව දක්වනු පිණිස මෙසේ දේශනා කරන්නට ඇත.]

§ 7.  ආනන්දය, යම් මහණෙකු එසේ ශුන්‍යතා විහරණයට කැමත්තේ වී නම් තෙමේ සුඤ්ඤත ඵල සමාපත්ති අරමුණට සිත නමා එහි සිත මොනවට තැබිය යුතුයි. මොනවට පිහිටුවා ගත යුතුයි. එකඟකළ යුතුයි. එකම වූ ඒ අරමුනෙහි සිය සිත නොසෙල්වෙන සේ පිහිටුවා ගත යුතුයි.

භික්ෂුවක් කෙසේ සිය සිත ශුන්‍යතා විහරණ සමාපත්තිය කෙරෙහි එකඟ කල යුත්තේද?

§ 8. ආනන්දය භික්ෂුවක් සියලු කාමයන්ගෙන් වෙන්ව, අකුශල ධර්මයන්ගෙන් වෙන්ව, විතර්ක සහිතවූ, විචාර සහිතවූ, විවේකයෙන් හටගත් ප්‍රීති සැප ඇති, ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයිද, විතර්ක විචාරයන්ගේ සංසිඳීමෙන් තමාතුළ පැහැදීම ඇති කරන්නාවූ චිත්තයාගේ එකඟ බව ඇති කරන්නාවූ විතර්ක රහිත විචාර රහිත සමාධියෙන් හටගත් ප්‍රීති සැප ඇති, ද්වීතිය ධ්‍යානයට පැමිණ වාසයකරයිද, උපෙක්ෂා ඇත්තේ, සිහි ඇත්තේ, සැප විහරණ ඇත්තේයයි ආර්‍ය්‍යයෝ වර්ණනා කරන්නාවූ ඒ තෘතිය ධ්‍යානයට පැමිණ වාසය කරත්ද, සැපය දුරු කිරීමෙන්ද, දුක්ඛය දුරු කිරීමෙන්ද, පළමුවම සොම්නස් දොම්නස් දෙකම දුරු කිරීමෙන්, දුක් නැත්තාවූද, සැප නැත්තාවූද, උපෙක්ෂා ස්මෘති දෙදෙනාගේ පිරිසිදු බැව් ඇති චතුර්ථ ධ්‍යානයට පැමිණ වාසය කරයිද ආනන්දය, භික්ෂුව මෙසේ ධ්‍යාන සමවැතට පත් වූ සිත නොසෙල්වෙයි. අරමුණෙහි ඒකාග්‍ර වෙයි. සියළු ලෞකිකත්වයෙන් (ලෝකය ට සම්බන්ධවන්නාවූ සිතුවිලි වලින්) මිදෙයි. උසස්ම සමාධිය ලබයි. 1152

[1152 : ශුන්‍යතා විහරණයට දොරටුව , හිනිපෙළ ධ්‍යානයන් බවම මෙසේ දැක්වේ. ධ්යානයනට නොනැංවූ අසමාහිත සිතකින් සමාධිය ධ්‍යානය තෙක් නොනැංවූ සිතකින් ශුන්‍යතා විහාරනට එළඹෙන්නට නොහැකිය.]

§ 9. “ආනන්දය, ඉන්පසු ඔහු ශුන්යතාවට සිත ගෙන යන්නට සැරසෙයි. තම පංච ස්කන්ධයන් එකින් එකෙහි ඇති ශුන්‍යත්වය ඔහු විමසයි. එසේ විදර්ශනාවට තැත් කරන ඔහු සිය සිත ශුන්යතාවයට නොඑළඹෙන බව ඔහු දකියි. මේ සමථ විදර්ශනා විහරණයෙන් සූන්‍යතාවයේ සිත නොබැස ගනී. නොපහදී. නොසිටී. මනාව නොපිහිටයි. සූන්‍යතාවයේ සිත නොබැස ගනී. නොපහදී. සතුටක් නොවිදී. එහි මනාව නොපිහිටයි. ලොවින් නොමිදේ .1153

[1153:- නපඥ්න්න්දති, නප්පසිදති, න සන්තිට්ඨති, න විමුජ්ජති: නොබසියි, අරමුණට නොපනියි, අරමුණෙහි නොගිලෙය්. ලෝකයෙන් නිදහස් නොවෙයි. මහා වේදල්ල සුත්‍රයෙහි 43 හි දැක්වූ ලෙස සියළු සඥාවලින් වෙන්ව අසංඥයික සමාධිය ලැබීම ]

ආනන්දය, එසේ වූ කල්හි භික්ෂුව මෙසේ දැනගනියි, තම පංච ස්කන්ධයන්ගේ සූන්‍යතාවය මෙනෙහි කරණ මාගේ සිත මා පිළිබඳ සූන්‍යතාවයේ නොබැසගනී. නොපහදී. නොසිටී. ස්ථිරව නොපිහිටායයි දැනගනී. මෙහිදී කර්මස්ථානය සම්පූර්ණ නොවන බව දැනගනී.

§ 10.  එසේ සිත කර්මස්තානයෙහි නොපිහිටන බව දත් භික්ෂුව නැවත ආපසු ධ්යානයනට සිත යොමුකොට සිත සමාධියට, නොසෙල්වෙන බවට හා නොසතුටු බව නැති කරගන්නට තැත් කල යුතුයි. හොඳින් හුරු කල සිත වහා භාවනා නිමිත්තට පැන (පක්කන්ධති) එහි එල්බ ගනී. අරමුණට බැඳේ. 1154

[1154: විදර්ශනාවට පාදක වූ ධ්‍යානය ට සිත නවන්නට ඔහු නැවත නැවත තැත් කල යුතු වෙයි. සිත ඒ සමාධියට පොලා නොපනී නම් ඉන් සතුට ට නොපැමිණේ නම් සිය පංචස්කන්ධයේ ශුන්‍යතාව ඔහු දකින්නට අසමත් වේ. එසේ අසමත් සිත ආපසු ධ්යානනට ලන්වීමටම ඔහු තැත් කල යුතු වේ.]

මෙසේ නිශ්චල කල සිත නැවත අභ්‍යන්තර ස්කන්ධයන් ගේ ශුන්‍යතාව මෙනෙහි කරන්නට යොමු කල විට බොහෝ විට කර්මස්ථානය වැඩෙනු ඇත. එසේ නොවේ නම් නැවත ආපසු ධ්‍යාන සමාධිය වඩා සිත නිශ්චල කොට ඉන් පසු අභ්‍යන්තර ස්කන්ධයන්ගේ ශුන්‍යතාව විදර්ශනා කල යුතු වේ. එසේ කරන්නාවූ ඔහු තම සිත අභ්‍යන්තර ස්කන්ධයන්ගේ ශුන්යතාවයේ සිත පිහිටන අයුරු දකියි. ඔහු සිත ශුන්‍යතාවයට නොපැකිල පොලා පැන ගනී. (leaps), එහි එල්ලෙයි. ප්‍රීතිය විදී. හෙතෙම එවිට බාහිර වූ ස්කන්ධ පිළිබඳ සූන්‍යතාවය මෙනෙහි කරයි.. හෙතෙම තමාගේද අන්‍යයන්ගේද ස්කන්ධයන් පිළිබඳ සූන්‍යතාවය මෙනෙහි කරයි.

ආනන්දය, එසේ ඇති කල්හි භික්ෂුව මෙසේ දැනගනියි, “තම ස්කන්ධයන්ගේ සූන්‍යතාවය මෙනෙහි කරණ තමාගේ සිත තමා පිළිබඳ සූන්‍යතාවයේ බැසගනී. පහදී. . ස්ථිරව පිහිටාය”යි දැනගනී. මෙහිදී කර්මස්ථානය සම්පූර්ණ බවද දැනගනී.

හෙතෙම අන්‍යයන්ගේ ස්කන්ධ පිළිබඳ සූන්‍යතාවය මෙනෙහි කෙරේ. හෙතෙම තමාගේද අන්‍යයන්ගේද ස්කන්ධයන් පිළිබඳ සූන්‍යතාවය මෙනෙහි කෙරෙයි. අරූප සමාපත්තිය මෙනෙහි කෙරෙයි. අරූප සමාපත්තිය මෙනෙහි කරන්නාවූ ඔහුගේ සිත අරූප සමාපත්තියෙහි බැස ගනී. පහදී. . ස්ථීරව පිහිටයි. ලෞකියත්වයෙන් මිදෙයි.

§ 11. එසේ කරණ ඒ භික්ෂුවගේ සිත ඉදින් සක්මනට නැමෙයි නම් හෙතෙම සක්මන් කරයි. මෙසේ සක්මන් කරන ඔහුට අභිජ්ජාව අසතුට යන ලාමක අකුශල ධර්ම පහළ නොවන්නාහුය. එහිදී මෙසේ ඒ කර්මස්ථානය සම්පූර්ණයයි දැනගනියි.

ආනන්දය, මේ සමථ විදර්ශනා විහරණයෙන් යුක්තව වාසය කරණ භික්ෂුවගේ සිත ඉදින් සිටීමට නැමෙයි නම් හෙතෙම සිටගන සිටී. මෙසේ සිටින ඔහුට කලකිරීම්, ආසාවන් යන ලාමක අකුශල ධර්ම පහළ නොවන්නාහුය. මෙසේ එහිදී කර්මස්ථානය සම්පූර්ණයයි දැන ගනියි.

ආනන්දය, මේ විහරණයෙන් යුක්තව වාසය කරන ඒ භික්ෂුවගේ සිත ඉදින් පල්ලන්කයෙහි හිඳීම පිණිස නැමෙයි නම් හෙතෙම හිඳියි. මෙසේ හිඳින ඔහුට අභිධ්‍යා අසතුට ආදී ලාමක අකුශල ධර්මයෝ පහළ නොවන්නේය. මෙසේ එහිදී ඔහු සිය කර්ම ස්ථානය සම්පූර්ණයයි දැනගනී.

ආනන්දය, මේ අයුරින් සිත හැසිරවූ භික්ෂුවගේ සිත ඉදින් සැතපී සිටීමට නැමෙයි නම් හෙතෙම සැතපෙයි. මෙසේ වැතිරී සැතපෙන ඔහුට කලකිරීම්, ආසාවන් යන ලාමක අකුශල ධර්ම පහළ නොවන්නාහුය. මෙසේ එහිදී සිය කර්මස්ථානය සම්පූර්ණයයි දැනගනී“

§ 12. ආනන්දය, මේ විහරණයෙන් යුක්තව වාසයකරන ඒ භික්ෂුවගේ සිත ඉදින් කිසිවෙක් හා කථාවට නැමෙයි නම් හෙතෙමේ යම් කථාවක්1153 ලාමකද, ග්‍රාම්‍යද, පෘථග්ජනයන්ට අයත්ද, අනාර්‍ය්‍යද අනර්ථයෙන් යුක්තද, කලකිරීම පිණිස නොපවතීද, නොඇල්ම පිණිස පවතීද, නිරෝධය පිණිස නොපවතීද, කෙලෙස් සංසිඳීම පිණිස නොපවතීද, විශේෂ දැනීම පිණිස නොපවතීද, සම්‍යක් අවබෝධය පිණිස නොපවතීද නිර්වාණය පිණිස නොපවතීද, මෙබඳු කථා නොකරන්නෙමි”යි පිළිපදියි. හික්මෙයි.

[1153 එනම්: රජුන් පිළිබඳ කථාය, සොරුන් පිළිබඳ කථාය, මහ ඇමතියන් පිළිබඳ කථාය, සේනා පිළිබඳ කථාය, භය පිළිබඳ කථාය, යුද්ධ පිළිබඳ කථාය, ආහාර පිළිබඳ කථාය, පානවර්ග පිළිබඳ කථාය, වස්ත්‍ර පිළිබඳ කථාය සයන පිළිබඳ කථාය, මල්මාලා පිළිබඳ කථාය, සුවඳ පිළිබඳ කථාය, නෑයන් පිළිබඳ කථාය, යාන පිළිබඳ කථාය, ගම් පිළිබඳ කථාය, නියම්ගම් පිළිබඳ කථාය, නගර පිළිබඳ කථාය, ජනපද පිළිබඳ කථාය, ස්ත්‍රීන් පිළිබඳ කථාය, පුරුෂයන් පිළිබඳ කථාය, සුරා පිළිබඳ කථාය, වීථි පිළිබඳ කථාය, තොටුපලවල් පිළිබඳ කථාය, පෙර මළගියවුන් පිළිබඳ කථාය, නානත්වය පිළිබඳ කථාය, ලෝකය පිළිබඳ කථාය, (ලෝකය මැවීම) මුහුද පිළිබඳ කථාය, ශාස්වත උච්ඡෙද පිළිබඳ කථාය,]

මෙසේ මෙබඳු කථා නොකරන්නෙමියි පිළිපදියි. මෙසේ එහි කර්මස්ථානය සම්පූර්ණ වීයයි දැනගනී.

“ආනන්දය, යම් කථාවක් කෙලෙස් කපා හරින්නීද, සිය සිත අල්පෙච්චතාව පිණිස, සංසිඳීම පිණිස, ඇති දෙයින් සතුටුටට පත්වීම පිණිස, හුදෙකලාවේ ඉන්නට කැමති බව ඇති කිරීමට සුදුසුද, ඒකාන්තයෙන් කාමයන් කෙරෙහි කලකිරීම පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස, කෙලෙස් සංසිඳවීම පිණිස, විශේෂ දැනීම පිණිස, සත්‍යාවබෝධය පිණිස, නිර්වාණය පිණිස පවතීද,

[1154: එනම්:- මද දෙයින් සතුටුවීම පිළිබඳ කථාය, ලද පමණින් සතුටුවීම පිළිබඳ කථාය, විවේකය පිළිබඳ කථාය බොහෝදෙනා එකතු නොවීම පිළිබඳ කථාය, පටන්ගන්නා ලද වීර්‍යය පිළිබඳ කථාය, ශීලය පිළිබඳ කථාය, සමාධිය පිළිබඳ කථාය, ප්‍රඥාව පිළිබඳ කථාය, විමුක්තිය පිළිබඳ කථාය, විමුක්ති ඥානදර්ශනය පිළිබඳ කථාය, යන මේවාය. මෙසේ මෙබඳුවූ කථා කරන්නෙමිය ඔහු සිත නැමෙයි. මෙසේ එහි කර්මස්ථානය සම්පූර්ණයයි දැනගනී.]

§ 13 ආනන්දය, මේ විහරණයෙන් යුක්තව වාසයකරන ඒ භික්ෂුවගේ සිත ඉදින් විතර්කයට නැමෙයි නම් (සිතුවිලි ඇති වන්නේ නම්) හෙතෙම ලාමකවූ පෘථග්ජනයන්ට අයත්වූ පිළිබඳවූ ආර්‍යයන්ට අයත් නොවූ අනර්ථ සහිතවූ යම් මේ විතර්කයෝ වෙත් නම් (ඒවා) කලකිරීම් පිණිස නොපවතිත්ය, නොඇල්ම පිණිස නොපවතිත්ය, නිරෝධය පිණිස නොපවතිත්ද, සංසිඳීම පිණිස නොපවතිත්ද, විශේෂ දැනීම පිණිස නොපවතිත්ද, අවබෝධය පිණිස නොපවතිත්ද, නිර්වාණය පිණිස නොපවතිත්ද, ඒ නම් කාම විතර්කය, ව්‍යාපාද විතර්කය, විහිංසා විතර්කයයි යන මේවා යි.

මෙසේ මෙබඳු විතර්කයන් කල්පනා නොකරන්නේනෙමියි පිළිදියි මෙසේ එහිදී කර්මස්ථානය සම්පූර්ණයයි දැනගනී. (සම්මා සංකප්ප)

“ආනන්දය, යම් සිතුවිලි පිරිසිදු ද, නෛර්‍ය්‍යානික ද (නිවනට හේතුවන්නා වේද ) ඒ සිතන්නහුගේ දුක් ක්ෂය කරන්නහුද එනම්:- නෛෂ්ක්‍රම්‍ය විතර්ක, අව්‍යාපාද විතර්ක, අවිහිංසා විතර්ක යන මේවා යි. මෙසේ මෙබඳු සිතිවිලි පමණක් සිත පවත්වමි යැයි සිත නැමෙයි. මෙසේ එහි කර්මස්ථානය සම්පූර්ණයයි දැනගනී.

[අටුවාවට අනුව භාග්‍යවතුන් වහන්සේ $13 චේදය තෙක් සෝවාන් සකෘදාගාමි ඵල තෙක් සිත මෙහෙයවන අයුරු උගන්වන අතර 14 හා 15 හි අනාගාමි ඵලය තෙක් සිත නංවා කාමච්චන්දය දුරු කරන ශික්ෂාව දක්වයි.]

§ 14. “ආනන්දය, උපාදානස්කන්ධ යෝ පසකි.
කුමන පසක් ද යත්:

(i) රූපය : ඇසින් දැකිය හැකි වූ මනාප වූ ප්‍රිය වූ කැමති වන්නාවූ ආශාව වන්නා වූ රුපයෝ වෙත්.
(ii) ශබ්දයෝ: කනින් ඇසිය හැකි වූ මනාප වූ ප්‍රිය වූ කැමති වන්නාවූ ආශාව ඇති වන්නා වූ ශබ්දයෝ වෙත්.
(iii) ඝන්ධයෝ: නාසයෙන් විඳිය හැකි වූ මනාප වූ ප්‍රිය වූ කැමති වන්නාවූ ආශාව ඇති වන්නා වූ ඝන්ධයෝ වෙත්.
(iv) රස: දිවෙන් විඳිය හැකි වූ මනාප වූ ප්‍රිය වූ කැමති වන්නාවූ ආශාව ඇති කර වන්නා වූ රස වෙත්.
(v) ස්පර්ශයෝ: ශරීරයෙන් ලබත හැකි වූ මනාප වූ ප්‍රිය වූ කැමති වන්නාවූ ආශාව වඩවන්නා වූ ස්පර්ශයෝ වෙත්. මේ පස් ආකාර වූ කාම ගුණයන් වෙති.

§ 15. මේ සාසනයෙහි භික්ෂුවක් නිතොර නිතොර මේ පංච කාම ගුණයන්ගෙන් කිසිවක් නිසා මගේ සන්තානයෙහි කැළඹීමක් සෙලවීමක් වේද යනුවෙන් ප්‍රත්‍යාවෙක්ෂ කල යුතු වෙයි.

සිය සිත එසේ විමර්ශනය කල යුතු වෙයි. එසේ සලකන ඔහු සිය සන්තානයේ යම් සෙලවීමක් සමාධියේ යම් ගිලිහීමක් දකින්නේ වී නම් මේ කාම ගුණයන් පහ මා සිතෙන් පහව නැත්තේ යැයි ඔහු ප්‍රත්යාවෙක්ෂයෙන්ම දනියි. හොඳින්ම දනියි.

නමුත් එසේ ප්‍රතවෙක්ෂ කරත්දී සිය සන්තානයේ සෙලවීමක් සමාධියේ යම් ගිලිහීමක් නොදකින්නේ වී නම් මේ කාම ගුණයන් පහ මා සිතෙන් පහව ගොස් ඇත්තේ යැයි ඔහු ප්‍රත්යාවෙක්ෂයෙන්ම දනියි. හොඳින්ම දනියි.

§ 16. ආනන්දය, මේ පංච උපාදාන ස්කන්ධයන්ගේ1156 උදය, ව්‍යය භික්ෂුව විසින් මෙසේ නුවනින් දැකිය යුතු වේ. කෙසේද යත්:

[1156: §§16–17 දෙකෙහි අරහත් ඵල සාක්ෂාත් කරගන්නට අවශ්‍යවන අසමි මානය “මම” යන මමංකාරය නැතිකරගන්නට පාදකවන විදර්ශනාව දැක්වේ.]

රූපය : මෙසේය, රූපයේ පහළවීම (සමුදය) මෙසේය, රූපයේ විනාශය (අස්තන්ගමය) මෙසේය,
වේදනාව වින්දනය මෙසේය, විඳීම පටන්ගන්නේ මෙසේය, විඳීම නැතිවන්න මෙසේය,
සංඥාව මෙසේය, සංඥාවේ හටගැන්මට හේතු මෙසේය, සංඥාවේ විනාශය මෙසේය,
සංස්කාර මෙසේය, සංස්කාරයන්ගේ හටගැන්ම මෙසේය, සංස්කාරයන්ගේ විනාශය මෙසේය,
විඥානය මෙසේය, විඥානයන්ගේ හටගැන්ම මෙසේය, විඥානයන්ගේ විනාශය මෙසේයයි කියාය.

§ 17. මේ උපාදාන ස්කන්ධ පසේ ඇතිවීම සහ නැතිවීම නැවත නැවත දකිමින් වාසය කරන ඔහුට උපාදාන ස්කන්ධ පසෙහි මම වෙමි යන හැඟීම , පංචස්කන්ධය නිසා වූ අස්මිමානය ප්‍රහීණ වෙයි.

ආනන්දය, මෙසේ වූ කල්හි භික්ෂුව මෙසේ දැනගනී. මේ උපාදානස්කන්ධ පසේ මමය යන හැඟීමක් විය “මට දැන් මමය යන හැගීම ප්‍රහීනය“යි යනුවෙනි. මෙසේ එහි කර්මස්ථානය සම්පූර්ණය,යි දැනගනී.

§ 18 මේ ඵලයන් ඒකාන්තයෙන් කුශල් වශයෙන් පැමිණියාහ, කෙලෙස් රහිතයහ, ලෝකෝත්තරය. මාරයා විසින් නොදක්නා ලදහ.

§ 19. “ආනන්දය, ඔබ කෙසේ සිතන්නේද?

භාග්‍යවතුන් වහන්සේ විසින් එලවා පලවා හරින ලද්දේ මුත් ඔහු වෙතම රැදී ප්‍රතිපදාව හැදෑරීමට හැකි ශ්‍රාවකයා ගැන ඔබ කෙසේ සිතන්නේද?”

“ස්වාමීනි, අප දන්නා ධර්මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල්කොට ඇත්තෝ නොවෙත්ද, භාග්‍යවතුන් වහන්සේ වෙතින් මතුව ආවෝ නොවෙත්ද, භාග්‍යවතුන් වහන්සේ පිළිසරණකොට ඇත්තෝ නොවෙත්ද, මේ වචනයේ අර්ථයද භාග්‍යවතුන් වහන්සේම ප්‍රකාශ කරන සේක්වා. භාග්‍යවතුන් වහන්සේගෙන් අසා ගත් ලෙසම භික්ෂූහු ඒ දරාගන්නාහුය.”

§ 20. “ආනන්දය, සුත්‍ර ධර්ම ඉගෙනීමට, ගාථා ධර්ම ඉගෙනීමට, අන් ධර්ම ඉගෙනීමේ අදහසින් යම් ශ්‍රාවක යෙක් ශාස්තෘන් වහන්සේ කරා යන්නට නුසුදුසුය. මන්ද යත් :-

පැවිදිව බොහෝ කල් ගෙවුනාවූ ශ්‍රාවකයන් බොහෝ පර්යාප්ති ධර්මයෝ අසන ලද්දාහ. ධාරණය කරන ලද්දාහ. කට පාඩම් කරන ලද්දාහ. සිතින් සලකා බලන ලද්දාහ, ප්‍රඥා වෙන් අවබෝධ කරණ ලද්දාහ,

එහෙත් ආනන්දය, යම් කථාවක් කෙළෙසුන් අඩු කර හරින්නීද, සිත විනිශ්චය කිරීමට සුදුසුද ඒකාන්තයෙන් කලකිරීම පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස, උපසමය පිණිස, අභිඥාව පිණිස, සම්බෝධය ක්ලෙශයන්ගේ සංසිඳීම පිණිස, සම්පුර්ණ දැනීම පිණිස, සත්‍යාවබෝධය පිණිස, නිර්වාණය පිණිස පවතීද.
එනම්:-
මද දෙයින් සතුටුවීම පිළිබඳ කථාය (අල්පේච්ච කතා) ,
ලද පමණින් සතුටුවීම පිළිබඳ කථාය (සන්තුට්ඨි කථා),
විවේකය පිළිබඳ කථාය, (ප්‍රවීවේක කථා),
බොහෝදෙනා එකතුවීමේ ආදීනව පිළිබඳ කථාය (අසංසර්ග කථා),
වීරියාරම්භය පිළිබඳ කථාය ( වීරියාරම්භය කථා),
සීලය පිළිබඳ කථාය (ශිල කථා),
සමාධිය පිළිබඳ කථාය ( සමාධි කථා),
ප්‍රඥාව පිළිබඳ කථාය ( ප්‍රඥා කථා),
විමුක්තිය පිළිබඳ කථාය ( විමුක්ති කථාය),
විමුක්තිඥාන දර්ශනය පිළිබඳ කථාය ( විමුක්තිඥාන දර්ශන කථා),
යන මේවා යි.

ආනන්දය, මෙබඳු කථා අසාගන්නට කැමති ශ්‍රාවකයා වළක්වනලද නමුත් ආචාර්යයන් වහන්සේ වෙත යන්නට සුදුසුය.

§ 21. “ආනන්දය, එසේවුවද ආචාර්‍ය්‍යයාට උපද්‍රව ඇතිවෙයි.
එසේ ඇති කල්හි අතවැසියාට (ශිෂ්යයා)ට ද උපද්‍රව ඇතිවෙයි.
එසේ ඇතිකල්හි බ්‍රහ්මචර්‍යාව පිළිබඳ උපද්‍රව ඇතිවෙයි. 1157

[1157: ආචාරිය උපද්දව, අන්තේවාස උපද්දව , බ්‍රහ්මචරිය උපද්දව, උපද්දව යනු අන්තරාය, මනාප නොවූ ප්‍රතිපල ලෙස සලකන්න. ශුන්‍යත්වය පතා හුදෙකලාව ඉන්නා වූ ශ්‍රමණහු තනිව විසුවද හුදෙකලාවේ අරමුණ අමතක වුවහොත් මේ තෙආකාරවන අන්තරායනට ගොදුරුවිය හැකි බව දැක්වේ. මෙහි ආචාර්යවරයා භාග්‍යවතුන් වහන්සේ නොවන බව සලකන්න.]

§ 22 .“ආනන්දය, ආචාර්‍ය්‍යයා පිළිබඳ උපද්‍රව කෙසේ වේද?

ආනන්දය, මේ ලෝකයෙහි යම් ශාස්තෘවරයෙක්, ආචාරී කෙනෙක් ජනයාගෙන් තොරවූ කැලෑවක් , මහා වනයක්, ගස් බෙනයක්, ගුහාවක්, සුසාන භූමියක්, පිදුරු ගොඩක්, හිස් එලිමහනක් වෙත ගොස් වාසය කරයි. එසේ තපස් රකිනා ඔහු සොයා ගම වැසියෝද නගර වැසියෝද බමුණු බැමිනියෝද එන්නට පටන් ගනී. ඔහුට පිරිකර භව භෝග පුද කරත්. එසේ වූ විට ඔහුගේ ආසාවෝ මතුවෙති. ක්ලේශයෝ ඔහු යටත් කර ගනී. තෘෂ්ණාවෙන් ඔහුව මැඩගෙන ඔහුට සිය කාර්‍ය අමතක කරවයි. පිළිවෙත් පිරීම ඔහුට අමතක වේ.

මේ (අනතුරට) උපද්දවයට පත් ආචාර්‍ය්‍යයා යයි කියනු ලැබේ. සිතෙහි කෙලෙසීම ඇතිකරණ, නැවත ඉපදීම ඇතිකරණ, විඩා ඇතිකරණ, දුක් විපාක ගෙන දෙන, මත්තෙහි ජරා මරණ ඇති කරවන, ලාමක අකුශල ධර්මයෝ ආචාර්‍ය්‍ය උපද්‍රවයෙන් ඔහු වැනසූහ. ආනන්දය මෙසේ ආචාර්‍ය්‍ය උපද්‍රවය වෙයි.

§ 23 “ආනන්දය, අතවැසි උපද්‍රවය කෙසේ වේද?

ආනන්දය, යම් ශ්‍රාවක අතවැසි කෙනෙක්, ගෝලවූ ශ්‍රමණයෙක් ඒ ශාස්තෘවරයා අනුව විවේකය වඩන්නේ ජනයාගෙන් තොරවූ කැලෑවක් , මහා වනයක්, ගස් බෙනයක්, ගුහාවක්, සුසාන භූමියක්, පිදුරු ගොඩක්, හිස් එලිමහනක් වෙත ගොස් වාසය කරයි. එසේ තපස් රකිනා ඔහු සොයා ගම වැසියෝද නගර වැසියෝද බමුණු බැමිනියෝද එන්නට පටන් ගනී. එසේ වූ විට ඔහුගේ ආසාවෝ මතුවෙති. ක්ලේශයෝ ඔහු යටත් කර ගනී. තෘෂ්ණාවෙන් ඔහුව මැඩගෙන ඔහුට සිය කාර්‍ය අමතක කරවයි. පිළිවෙත් පිරීම ඔහුට අමතක වේ.

ආනන්දය, මෙතෙම උවදුරට පැමිණි අතවැසියායයි කියනු ලැබේ. කෙලෙසීම ඇතිකරණ, නැවත ඉපදීම ඇතිකරණ, දුක් විපාක ඇති, මතු ජාති ජරා මරණ ඇතිවන, ලාමක අකුශල ධර්මයෝ අතවැසි උවදුරෙන් යුත් ඔහු මැරූහ. ආනන්දය, මෙසේ අතවැසි උපද්‍රවය වෙයි.

§24 ආනන්දය, බ්‍රහ්මචාරී උපද්‍රවය කෙසේ වේද?

ආනන්දය, මේ ලෝකයෙහි අර්හත්වූ සම්‍යක් සම්බුද්ධවූ අෂ්ට විද්‍යා පසළොස් චරණ ධර්මයන්ගෙන් යුත්, මනා ගති ඇති, තුන්ලොව දත්, නිරුත්තර, දමනය කළයුතු පුරුෂයන් දමනය කරන්නාවූ, දෙවිමිනිසුන්ට අනුශාසකවූ, චතුරාර්‍ය සත්‍යය අවබෝධ කළ භාග්‍යවත් තථාගත තෙමේ පහළ වෙයි.

ඒ තථාගතයන් ජනයාගෙන් තොරවූ කැලෑවක් , මහා වනයක්, ගස් බෙනයක්, ගුහාවක්, සුසාන භූමියක්, පිදුරු ගොඩක්, හිස් එලිමහනක් වෙත ගොස් වාසය කරයි. එසේ තපස් රකිනා තථාගතයන් සොයා ගම් වැසියෝද නගර වැසියෝද බමුණු බැමිනියෝද එන්නට පටන් ගනී. එසේ පැමිණි කල්හි තථාගතයන් මුළා නොවෙයි. තෘෂ්ණා වශයෙන් කැමති නොවෙයි. දැඩි ඇල්මට නොපැමිණෙත්. ප්‍රත්‍ය බහුලත්වයට නොපෙරළෙයි.

“ආනන්දය, තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක කෙනෙක් ද ඒ තථාගතයන් වහන්සේ අනුව විවේකය වඩන්නේ, ජනයාගෙන් තොරවූ කැලෑවක් , මහා වනයක්, ගස් බෙනයක්, ගුහාවක්, සුසාන භූමියක්, පිදුරු ගොඩක්, හිස් එලිමහනක් සේවනය කරයි. එසේ විවේකව වාසය කරන ඔහු වෙතට බ්‍රාහ්මණ ගෘහපතියෝද, නියම්ගම් වැසියෝද, දනව් වැස්සෝද පැමිණෙත්. හෙතෙමේ බ්‍රාහ්මණ ගෘහපතියන්ද, නියම්ගම් වැසියන්ද, දනව් වැසියන්ද පැමිණි කල්හි මූළාවෙයි. තෘෂ්ණා වශයෙන් කැමති වෙයි. දැඩි ඇල්මට පැමිණෙයි. ප්‍රත්‍ය බහුල බවට පෙරළෙයි.

“ආනන්දය, මෙතෙමේ උවදුරට පත් බ්‍රහ්මචාරියෙක් යැයි කියනු ලැබේ, කෙලෙසීම ඇතිකරණ, නැවත නැවත ඉපදීම් ඇතිකරණ, විඩා ඇතිකරණ, දුක් විපාක ඇති, මතු ජාති ජරා මරණ ඇතිවන, ලාමක අකුශල ධර්මයෝ බ්‍රහ්මචාරී උපද්‍රවයෙන් යුත් ඔහු වැනසූහ. ආනන්දය, බ්‍රහ්මචාරී උපද්‍රවය මෙසේ වෙයි.“

ආනන්දය, යම් ආචාර්‍ය්‍ය උපද්‍රවයක් වේද, යම් අන්තෙවාසික උපද්‍රවයක් වේද, මේ බ්‍රහ්මචාරී උපද්‍රවය ඒ දෙකටම වඩා අතිශයින් දුක් විපාක ඇත්තේය, අතිශයින් දැඩි නපුරු විපාක ඇත්තේද වෙයි. බොහෝ කල් නිරයෙහි ඉපදීම පිණිස පවතී. 1158

[1158: සම්බුද්ධ සාසනයෙන් පිට අන් සසුනක පැවිදි වන්නට කෙසේ දැඩිව ඒ පිළිවෙත පිරුවත් ලැබෙනුයේ අල්ප වූ ඵලයකි. එසේ ලද අල්ප ප්‍රතිඵලයෙන් පිරිහුනද එය දැඩි ලෙස ඔහුට නපුරක් නොවේ. මේ ආර්ය සාසනයෙහි පැවිදි වන්නා ඉතා මහත් ඉතා ප්‍රනීතවූ ප්‍රතිඵල ඇති එකක් වේ. එහෙයින් මේ සාසනයේ බ්‍රහ්මචාරී උපද්‍රවයට පත් වන්නා බොහෝ දුකටම බොහෝ විශාල වූ අනතුරටම පත් වේ. සෙමින් යන කොටලුවෙකුගේ පිට යන්නෙකු බිමට වැටුනහොත් වෙන තුවාල අල්පමුත් වේගයෙන් දිව යන අශ්වයෙකුගේ පිටින් වැටුන හොත් ලබන තුවාල බිඳුම් බොහෝ වැඩි ලෙසය.]

§ 25. ආනන්දය, එහෙයින් මිත්‍රභාවයෙන් තථාගතයන් ආශ්‍රය කරව්. සතුරුකමින් ආශ්‍රය නොකරව්. එය තොපට බොහෝ කලක් හිත පිණිස, සැප පිණිස වන්නේය.
කෙසේ නම් ශ්‍රාවකයෝ ශාස්තෘන් වහන්සේ සතුරුකමින් ඇසුරු කෙරෙත්ද? මිත්‍රභාවයෙන් ඇසුරු නොකෙරෙත්ද?

“ආනන්දය, සිය ශ්‍රාවකයන්ගේ යහපත පිණිසම ඔවුන් කෙරෙහි පතල මහා කරුණාවෙන් තථාගතයන් ඔවුනට ධර්මය දේශනා කෙරෙයි.

ආනන්දය, මේ ශාසනයෙහි ශාස්තෘන් වහන්සේ අනුකම්පා ඇතුව, හිතවත්ව, මෙය තොපට හිත පිණිසය, මෙය තොපට සැප පිණිසයයි අනුකම්පාවෙන් ශ්‍රාවකයන්ට දහම් දෙසයි. උන්වහන්සේගේ දේසනා ඇසීමට ශ්‍රාවකයෝ කැමති නොවෙත්. ඒවාට කන් යොමු නොකෙරෙත්. දැනීම පිණිස සිත නොපිහිටුවත්. ශාස්තෘ ශාසනයෙන් බැහැරව සිත පවත්වත්.

ආනන්දය, මෙසේ වූ ශ්‍රාවකයෝ ශාස්තෘන් වහන්සේට සතුරුව හැසිරෙත්. මිත්‍රත්වයෙන් ඇසුරු නොකරත්.

§ 26. “ආනන්දය, කෙසේ නම් ශ්‍රාවකයෝ ශාස්තෘන් වහන්සේ මිත්‍රත්වයෙන් ඇසුරු කරත්ද? සතුරුකමින් ඇසුරු නොකෙරෙත්ද?

ආනන්දය, තථාගතයන් ශ්‍රාවකයන්හට අනුකම්පා ඇතියේ ඔබට හිතවත්ව මේ තොපට හිත පිණිස, සැප පිණිස යයි අනුකම්පාවෙන් ශ්‍රාවකයන්හට දහම් දෙසයි. උන්වහන්සේගේ ශ්‍රාවකයෝ එය අසනු කැමති වෙති. කන් යොමත්. දැනීම සඳහා සිත පිහිටුවත්. ශාස්තෘ ශාසනයෙන් ඉවත් නොව එහිම පවතිත්.

ආනන්දය, ශ්‍රාවකයෝ මෙසේ ශාස්තෘන්වහන්සේ මිත්‍රත්වයෙන් ඇසුරු කෙරෙත්. සතුරුකමින් ඇසුරු නොකරත්.

ඒ නිසා මිත්‍රත්වයෙන් මා ආශ්‍රය කරව්. සතුරුකමින් ආශ්‍රය නොකරව්. එය තොපට බොහෝ කලක් හිත පිණිස, සැප පිණිස පවත්නේය. ආනන්දය, කුඹල්කරුවෙක් සිය කර්මාන්තට ගෙන ආ මැටි ගුලියට කරන්නාක් මෙන් නිතරම නුඹලා වළක්වමින් ඒ මේ අත හරවමින් මම නුඹලා නොහික්මවමි 1159 . එනමුත් අවශ්‍යවූ තැන නුඹලා වලක්වමින්ද, වරදක් දුටු කල එය නිවරද කරන්නට දැඩිව අවවාද කරමින්ද නුඹලාට යා යුතු මගෙහි යාමට මම යලි යලිත් උපදෙස් දෙමි.

[1159: මේ උපමාව මෙසේ වටහා ගනු වටි. අමු මැටි අනමින් තවමින් කුඹලා ඕනාකරන හැඩය ලැබෙන තුරු මැටි ගුළිය තලයි. වරක් උපදෙස් දුන් පසු තථාගතයන් ශ්‍රාවකයා නොසලා නොසිටියි. ඔහුට ඵලයක් ලැබෙන තුරුම නැවත නැවත ඔහු ට උපදෙස් දේ. හික්මවයි. කලාතුරකින් ඇදව ගිය නොපිලිස්සුනු භාණ්ඩ වේ නම් ඒ ඉවත් කරන්නටද කුඹල් කරු මැලි නොවන්නා සේ තථාගතයන් ද ශ්‍රාවකයන් පරික්ෂා කරයි.]

නිබඳවම බොහෝ වර මම නිග්‍රහ කොට කොට හෝ , දොෂයන් හැර හැර, නැවත නැවත අවවාද කරන්නෙමි. එය තොපට යහපත පිණිසම වන්නේය.

භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රය වදාළසේක. ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව සතුටින් පිළිගත්තේය.

PLEASE CLICK ABOVE TO READ ENGLISH VERSION

MN 02-02-08 නලකපාන සූත්‍රය

§ 1. මාගේ ඇසීම මෙසේය,
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ කොසොල් ජනපදයෙහි නලකපාන නම් ගමේ කෑල (-එරබඳු) වනයෙහි වාසය කළහ.

§ 2. ඒ කාලයෙහි බොහෝ ප්‍රසිද්ධ ප්‍රසිද්ධ කුල පුත්‍රයෝ භාග්‍යවතුන් වහන්සේ උදෙසා ශ්‍රද්ධාවෙන් ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වූවාහු වෙත්. ආයුෂ්මත් අනුරුද්ධ, ආයුෂ්මත් නන්දිය, ආයුෂ්මත් කිම්බිල, ආයුෂ්මත් භගු, ආයුෂ්මත් කුණ්ඩධාන, ආයුෂ්මත් රෙවත, ආයුෂ්මත් ආනන්ද (සහ) වෙනත් ප්‍රසිද්ධ ප්‍රසිද්ධ කුල පුත්‍රයෝ එසේ වූ සමහරෙක් වෙත්.

§ 3. ඒ කාලයෙහි දිනක් භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් විසින් පිරිවරණ ලද්දේ එළිමහනෙහි වැඩහුන්නේ ඒ කුල පුත්‍රයන් අරබයා භික්ෂූන්ට කථාකොට, මෙසේ විචාල සේක

“මහණෙනි, ඔබ කුලපුත්‍රයෝ මා උදෙසා ශ්‍රද්ධාවෙන් ගිහිගෙන් නික්ම, සස්නෙහි පැවිදි වූවාවූ භික්ෂූහු වෙති. නුඹලා දැන් කැමැත්තෙන් හා සතුටින් බ්‍රහ්මචර්යාවෙහි හැසිරෙන්නාහුද?”
මෙසේ ඇසු කල්හි ඒ භික්ෂූහු නිශ්ශබ්ද වූහ. දෙවෙනි වරටත් භාග්‍යවතුන් වහන්සේ ඒ කුල පුත්‍රයන් අරබයා භික්ෂූන්ට, කථාකොට, “මහණෙනි, යම් කුල පුත්‍රයෝ මා උදෙසා ශ්‍රද්ධාවෙන් ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වූවාහුද, මහණෙනි, ඒ භික්ෂූහු බ්‍රහ්මචර්යාවෙහි සතුටින් ඇලුනාහුද” දෙවෙනි වරත් ඒ භික්ෂූහු නිශ්ශබ්ද වූහ.
තුන්වෙනි වරත් භාග්‍යවතුන් වහන්සේ ඒ එම ප්‍රශ්නය ඇසුවත් තුන් වන වරත් ඒ භික්ෂූහු නිශ්ශබ්ද ව සිටියෝය.

§ 4. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේට, මම ඒ කුලපුත්‍රයන්ගෙන් වෙන් වෙන්වම අසන්නෙම් නම් යෙහෙකැයි අදහස් විය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන්ට කථා කළහ.
“අනුරුද්ධයෙනි, තොප මහන දම්හි සතුටින් හැසිරෙන්නාහු ද?”
“ස්වාමීනි, ඒකාන්තයෙන්ම අපි බ්‍රහ්මචර්යාවෙහි සතුටින්ම හැසිරෙන්නෝ වමු”
“අනුරුද්ධයෙනි, යහපත, යහපත, අනුරුද්ධයෙනි, තොපි බ්‍රහ්මචර්යාවෙහි කැමතිවන්නාහු නම් එය ශ්‍රද්ධාවෙන් ගිහිගෙන් නික්ම පැවිදිවූ තොප වැනි කුලපුත්‍රයන්ට, සුදුසුය. අනුරුද්ධයෙනි, හොඳ තරුණ වයසින් යුත්, මුල් වයසෙහි සිටි, කලු කෙස් ඇතිව හුන් තොපි නොයෙක් කම්සැප අනුභව කරන්නට හැකිව සිටි තොප ඒ කම් සැප නොතකා ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වූවාහුය,

අනුරුද්ධයෙනි, තොපි රජුන්ට බියෙන් පැනගොස් ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වූවාහු නොවෙති,
සොරුන්ට බයව පැනගොස් ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදිවූවාහු නොවෙති,
ණයෙන් පීඩාවී ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වූවාහු නොවෙති,
බයෙන් පීඩාවී ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වූවාහු නොවෙති.
ජීවත්වන්ට පහසු මගක් සොයා ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදිවූවාහු නොවෙති.

අනුරුද්ධයෙනි,: ‘ඉපදීමෙන්, ජරාමරණ දෙකින් සොකයන්ගෙන්, වැලපීම්වලින්, දුක්වලින්, දොම්නස්වලින්, උපායාසයන්ගෙන් යුක්ත වූයෙමි, දුකට බැසගතිමි, දුකින් මඩනා ලද්දෙමි. මේ සියලු දුක් රාශියේ අවසානය දක්ක හොත් යෙහෙකැ’යි, අවබෝධයෙන් තොපි ශ්‍රද්ධාවෙන් ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වූවාහු නොවෙත්ද?”

“එසේය, ස්වාමීනි.”
§ 6 .“අනුරුද්ධයෙනි, මෙසේ අවබෝධයෙන් පැවිදිවූ කුලපුත්‍රයා විසින් කුමක් කළ යුතු වන්නේද?
අනුරුද්ධයෙනි, ශ්‍රමණ ජීවිතයෙහි ඔහු කාමයන්ගෙන් වෙන්වූ ඔහු, අකුශල ධර්මයන්ගෙන් වෙන්වූ ප්‍රීතියකට සැපයකට688 හෝ නොපැමිණෙයිද, ඊට වඩා උසස් අනික් සැපයකට නොපැමිණෙයිද,

[688: කාමයන්ගෙන් වෙන්ව ලබන්නාවූ ප්‍රීති ප්‍රමෝදයෙන් යුක්ත සැපය පළමු හා දෙවන ධ්‍යානයන් ගේ සැපය ලෙසද ගත මනාය. තෙවෙනි හා සිව් වෙනි ධ්යානයන්ගේ ඇති සැපයද මාර්ග ඵලයන් ලද සිතක ප්‍රීති ප්‍රමෝදය “ඊට වඩා උසස් අනෙක් සැපය ලෙස ගත හැක. ]

එසේ වූ කල්හි විවිධ අරමුණු කෙරෙහි ඇතිවන්නා වූ ආසාවන් ඔහුගේ සිත තුල ඇතිවේ සිතෙහි ලැගුම් ගනී. අප්‍රිය අරමුණු කෙරෙහි අසතුට අමනාපය ඇති වන්නේය. ඒ අසතුට ව්‍යාපාදය තෙක් වැඩෙයි. ඒ ව්‍යාපාදය ඔහු සිත මැඩගෙන සිටී. ථිනමිද්ධයද ඔහුගේ සිත මැඩගෙන සිටී, උද්ධච්ච කුක්කුච්චයද, ඔහුගේ සිත මැඩගෙන සිටී, විචිකිච්ඡාවද, ඔහුගේ සිත මැඩගෙන සිටියි. නොඇල්මද ඔහුගේ සිත මැඩගෙන සිටී. අලසකමද, ඔහුගේ සිත මැඩගෙණ සිටියි.

අනුරුද්ධයෙනි, කාමයන්ගෙන් වෙන්වූ අකුශලයන්ගෙන් වෙන්ව ප්‍රීති සැපය හෝ එයින් අන්‍යවූ සැපයක් හෝ නොලබන්නේ නම් [ධ්‍යානයන් නොවැඩේ නම් ] මෙසේ වන්නේය.

“අනුරුද්ධයෙනි, කාමයන්ගෙන් වෙන්වූ අකුශල ධර්මයන්ගෙන් වෙන්වූ ප්‍රීතිසැපයට හෝ පැමිණේද, ඊට වඩා උසස් අනික් සැපයකට හෝ පැමිණේද, ඔහුගේ සිත ආසාවෙන් මිදෙයි. ලෝභයෙන් අල්වාගෙණ නොසිටී. ඔහුගේ සිත ව්‍යාපාදයෙන් මිදෙයි. ඔහුගේ සිත ථීනමිද්ධයෙන් අල්වාගෙණ නොසිටී. ඔහුගේ සිත උද්ධච්ච කුක්කුච්චයෙන් අල්වාගෙණ නොසිටී. ඔහුගේ සිත විචිකිච්ඡාවෙන් අල්වාගෙණ නොසිටී. ඔහුගේ සිත නොඇල්මෙන් අල්වාගෙණ නොසිටී. ඔහුගේ සිත අලසබවෙන් අල්වාගෙණ නොසිටී. අනුරුද්ධයෙනි, කාමයන්ගෙන් වෙන්වූ අකුශල ධර්මයන්ගෙන් වෙන්වූ ප්‍රීති සැපයට හෝ පැමිණෙයිද, ඊට වඩා උසස් සැපයකට හෝ පැමිණෙයිද ඔහුට මෙසේ බ්‍රහ්ම චරියාවට ඇවැසි සිතෙහි දාන්ත බව ඇති වන්නේය.

§ 7. “අනුරුද්ධයෙනි, ඔබ තථාගතයන් ගැන මෙසේ සිතන්නේද ?
“තථාගතයන් වහන්සේ විසින් සිත කෙලෙසන, නැවත භවයේ ඉපදීම ඇතිකරණ, පීඩා සහිත, දුක් විපාක ඇති, නැවත ඉපදීම ජරාව මරණය ඇතිකරණ, ක්ලේශ ආශ්‍රවයෝ ප්‍රහීන නොකළාහුය. තථාගතයන් වහන්සේ සේවනය කළ යුතු කොටස දැන සේවනය කරයි. ඉවසිය යුතු කොටස දැන ඉවසයි. දුරුකළ යුතු කොටස දැන දුරුකරයි. සංසිඳවිය යුතු කොටස දැන සංසිඳවයි.”689 කියා මා කෙරෙහි තොපි මෙසේ සිතව්ද?

“නැත ස්වාමීනි, තථාගතයන් වහන්සේ ගැන අප එසේ නොසිතමු. සිත කෙලෙසන, නැවත ඉපදීම ඇතිකරණ පීඩා සහිත, දුක් විපාක ඇති, නැවත ඉපදීම, ජරාව, මරණය ඇතිකරණ සියළු ආශ්‍රවයෝ තථාගතයන් වහන්සේ ප්‍රහීණ කල සේක. එහෙයින් තථාගතයන් වහන්සේ සේවනය කළ යුතු කොටස දැන සේවනය කරයි. ඉවසිය යුතු කොටස දැන ඉවසයි. දුරු කළ යුතු කොටස දැන දුරුකරයි. සංසිඳවිය යුතු කොටස දැන සංසිඳවයි කියා අප සිතමු.“

.“අනුරුද්ධයෙනි, යහපත, යහපත, අනුරුද්ධයෙනි, කෙලෙසන, නැවත ඉපදීම ඇතිකරණ, පීඩා සහිත දුක් විපාක ඇති, නැවත ඉපදීම, ජරාව, මරණය ඇතිකරණ, සියළු ආශ්‍රවයෝ, තථාගතයන් වහන්සේගේ ප්‍රහීණ වූවාහුය. මුල් සුන්කරණ ලද්දාහුය. මස්තකය සිඳින ලද තල්ගසක් සියළු මුල් විනාශ කරණ ලද්දාහුය. නැවත ඉපදීමක් නැතිකරණලද්දාහුය. අනුරුද්ධයෙනි, යම්සේ මස්තකය සිඳින ලද තල්ගස නැවත කිසිදා නොවැඩේ ද, අනුරුද්ධයෙනි, එමෙන්ම කෙලෙසන නැවත ඉපදීම ඇතිකරණ, පීඩා සහිත, දුක් විපාක ඇති නැවත ඉපදීම ජරාව මරණය ඇතිකරණ ආශ්‍රවයෝ තථාගතයන් වහන්සේ විසින් පහකරන ලද්දාහුය. මුලුසුන් කරණලද්දාහුය. මස්තකය සිඳින තල් වත්තක් මෙන් කරණ ලද්දාහුය. විනාශකරන ලද්දාහුය. නැවත ඉපදීම නැතිකරණ ලද්දාහුය. එහෙයින් තථාගතයන් වහන්සේ සේවනය කළ යුතු කොටස දැන සේවනය කරයි. ඉවසිය යුතු කොටස දැන ඉවසයි. දුරු කළ යුතු කොටස දැන දුරුකරයි. සංසිඳවිය යුතු කොටස දැන සංසිඳවයි කියා තථාගතයන් වහන්සේ කෙරෙහි මේ අදහස වන්නේය.

§ 8. “අනුරුද්ධයෙනි, ඒ කුමකැයි සිතන්නහුද?
කවර ප්‍රයොජනයක් බලාපොරොත්තුවෙන් තථාගතයන් වහන්සේ කාලක්‍රියා කළ සිය ශ්‍රාවකයන් ‘අසුවලා අසුවල් තැන පහළවිය, අසුවලා අසුවල් තැන පහළවිය ’යි ඉකුත්වූ පිළිබඳ උප්පත්තීන් ප්‍රකාශ කරයිද?”
[ඉපදුනේය ” යන යෙදුම වෙනුවට “පහළ වුනේය ” (reappeared) යොදා ඇත්තේ සියළු ජනන තලයන්ටම යෙදෙන පරිදිය. ]
“ස්වාමීනි, අප භාග්‍යවතුන් වහන්සේ උගැන්වූ ධර්මයෝ මුල් කොට ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ ආදිකොට ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ පිහිටකොට ඇත්තාහ. ස්වාමීනි, මේ කරුණ පිළිබඳවද අර්ථය භාග්‍යවතුන් වහන්සේම අපට කියාදෙනසේක්නම් යහපති. භාග්‍යවතුන් වහන්සේගෙන් අසා දැනගන්නා සේ භික්ෂූහු දරත්” යයි (කීවාහුය.)

“අනුරුද්ධයෙනි, තථාගතයන් මිනිසුන් රැවටීම පිණිස, ( පිරිකර පිණිස රැවටීම), මිනිසුන් උසස් කොට තැබීම පිණිස, මිනිසුන් අතර ප්‍රසිද්ධ වීම පිණිස, මිනිසුන් පුදුම කරවනු පිණිස, ජනයන් පොළඹවනු පිණිස, ලාභ සත්කාර කීර්තිය පිණිස ‘මා ජනයා මෙසේ දැන හැඳිනගණිවා’යි ‘අසුවලා අසුවල් තැන උපන්නේය. අසුවලා අසුවල් තැන උපන්නේය’යි ඉකුත්වූ මැරීගිය ශ්‍රාවකයන් පිළිබඳ උප්පත්තිය ප්‍රකාශ නොකරයි.

අනුරුද්ධයෙනි, ශ්‍රද්ධාව නිසාම මහණවුන, බොහෝ කුලපුත්රයන් මේ සාසනයේ බඹසර රැකි ඒ ශ්‍රාවකයන් එසේ ප්‍රනීත ජන්ම ලාභයන් ලැබූ බව අසා මහත් සතුටට පත් වේ. ප්‍රතිපදාවේ හැසිරීමට වද වඩාත් උනන්දු වෙයි. අනුරුද්ධයෙනි, ඔවුන්ට එය බොහෝ කලක් හිත සැප පිණිස වෙයි.

§ 10. “අනුරුද්ධයෙනි, මේ ශාසනයෙහි භික්ෂුවක් තථාගතයන් විසින් මෙසේ ප්‍රකාශ කලේ යැයි අසයි. කෙසේද යත්: ‘මෙනම් දෑරු භික්ෂුව කාලක්‍රියා කෙළේය. ‘ඒ භික්ෂුව යලි කිසිදු උපතකට පත් නොවන්නේයැයි (අරහත් බැව්හි පිහිටියේයයි’) ප්‍රකාශ කරණ ලද්දේයයි අසයි.

ඒ ආයුෂ්මත්තෙම එසේ සඳහන් කරන ලද භික්ෂුව දැක ඇත්තේය. ඔහු ගැන අසා හෝ ඇත්තේය. ඔහු මෙබඳු සීලයක් ඇතිව සිටි කෙනෙක. මෙබඳු සමාධියකට පත් වන්නට සමත් වූ කෙනෙක. මෙබඳු ශ්‍රද්ධාවක් ඇතිව සිටි කෙනෙක. මෙසේ වූ ත්‍යාගශීලි කෙනෙක. මෙසේ වූ ප්‍රඥාවක් ඇතිව සිටි කෙනෙක.බව ඒ ආයුෂ්මතුන් එසේ දන්නේ වේ. ඔහු ඒ භික්ෂුව මෙසේ භවයෙන් මිදුනේයයි, අසනලද්දේ, ඒ ආයුෂ්මත්හුගේ ශ්‍රද්ධාවද, ශීලයද, උගත් බවද, ත්‍යාගයද, ප්‍රඥාවද සිහි කරමින් ඒ අනුව තමාගේ සීලයද සමාධියද ප්‍රඥාවද වඩා ගන්නට සිත මෙහෙයවයි. අනුරුද්ධයෙනි මෙසේද භික්ෂුවගේ සැපවිහරණය වේ.

§ 11. “අනුරුද්ධයෙනි, මේ ශාසනයෙහි භික්ෂුවක් තථාගතයන් විසින් මෙසේ ප්‍රකාශ කලේ යැයි අසයි. කෙසේද යත්: ‘මෙනම් දෑරු භික්ෂුව කාලක්‍රියා කෙළේය භාග්‍යවතුන් වහන්සේ විසින් ඒ භික්ෂුව කාමලෝකය භජනය කරන ඕරම්භාගිය සංයොජන පස නැති කිරීමෙන් ඔහු සුද්ධාවාස තලයෙක පහළ වූ යේය”යි අසයි.

ඒ ආයුෂ්මත්තෙම එසේ සඳහන් කරන ලද භික්ෂුව දැක ඇත්තේය. ඔහු ගැන අසා හෝ ඇත්තේය. ඔහු මෙබඳු සීලයක් ඇතිව සිටි කෙනෙක. මෙබඳු සමාධියකට පත් වූ කෙනෙක. මෙබඳු ශ්‍රද්ධාවක් ඇතිව සිටි කෙනෙක. මෙසේ වූ ත්‍යාගශීලි කෙනෙක. මෙසේ වූ ප්‍රඥාවක් ඇතිව සිටි කෙනෙක. ඒ ආයුෂ්මතුන් එසේ දන්නේ වේ. ඔහු ඒ භික්ෂුව මෙසේ ශුද්ධාවාසයක පහළ වුයේය යි, අසනලද්දේ, ඒ ආයුෂ්මත්හුගේ ශ්‍රද්ධාවද, ශීලයද, උගත් බවද, ත්‍යාගයද, ප්‍රඥාවද සිහි කරමින් ඒ අනුව තමාගේ සීලයද සමාධියද ප්‍රඥාවද වඩා ගන්නට සිත මෙහෙයවයි. අනුරුද්ධයෙනි මෙසේ භික්ෂුවගේ සැපවිහරණය වේ.

§ 12. “අනුරුද්ධයෙනි, මේ ශාසනයෙහි භික්ෂුවක්, ‘ තථාගතයන් විසින් මෙසේ ප්‍රකාශ කලේ යැයි අසයි. කෙසේද යත්: ‘මෙනම් දෑරු භික්ෂුව කාලක්‍රියා කෙළේය භාග්‍යවතුන් වහන්සේ විසින් ‘ඒ භික්ෂුව සංයොජන (භවබන්ධන) තුනක් නැතිකිරීමෙන්, රාග ද්වේෂ මෝහයන් තුනී කිරීමෙන් සකෘදාගාමීව මේ ලෝකයට එක් වරක්ම (උප්පත්ති වශයෙන්) පැමිණ දුක් කෙළවර කරන්නේයයි ප්‍රකාශ කරණ ලද්දේයයි’ අසයි.

‘ ඒ ආයුෂ්මත්තෙම එසේ සඳහන් කරන ලද භික්ෂුව දැක ඇත්තේය. ඔහු ගැන අසා හෝ ඇත්තේය. ඔහු මෙබඳු සීලයක් ඇතිව සිටි කෙනෙක. මෙබඳු සමාධියකට පත් වූ කෙනෙක. මෙබඳු ශ්‍රද්ධාවක් ඇතිව සිටි කෙනෙක. මෙසේ වූ ත්‍යාගශීලි කෙනෙක. මෙසේ වූ ප්‍රඥාවක් ඇතිව සිටි කෙනෙක. ඒ ආයුෂ්මතුන් එසේ දන්නේ වේ ඒ ආයුෂ්මත්තෙම මෙසේ සකෘදාගාමි ඵලය ලැබීය”යි අසන ලද්දේ ද, ඒ භික්ෂුව ඒ ආයුෂ්මත්හුගේ ශ්‍රද්ධාවද, ශීලයද, උගත්බවද, ත්‍යාගයද, ප්‍රඥාවද, සිහිකරමින් ඒ ඵලය ලැබීම පිණිස සිතයොදවයි. අනුරුද්ධයෙනි, මෙසේද භික්ෂුවට සැපවිහරණය වේ.

§ 13. “අනුරුද්ධයෙනි, මේ ශාසනයෙහි භික්ෂුවක් ‘මෙනම් භික්ෂුව කාලක්‍රියා කෙළේය. භාග්‍යවතුන් වහන්සේ විසින් ඒ භික්ෂුව සංයොජන (භවබන්ධන) තුනක් නැති කිරීමෙන් සෝවාන්ව, අපායෙහි උපදින ස්වභාවය නැත්තෙක්ව නියමයෙන්ම නිවන් පිහිටකොට ඇත්තෙක් වීයයි. ප්‍රකාශ කරණ ලද්දේය’යි, අසයි.

‘ ඒ ආයුෂ්මත්තෙම එසේ සඳහන් කරන ලද භික්ෂුව දැක ඇත්තේය. ඔහු ගැන අසා හෝ ඇත්තේය. ඔහු මෙබඳු සීලයක් ඇතිව සිටි කෙනෙක. මෙබඳු සමාධියකට පත් වූ කෙනෙක. මෙබඳු ශ්‍රද්ධාවක් ඇතිව සිටි කෙනෙක. මෙසේ වූ ත්‍යාගශීලි කෙනෙක. මෙසේ වූ ප්‍රඥාවක් ඇතිව සිටි කෙනෙක. ඒ ආයුෂ්මතුන් එසේ දන්නේ වේ

මෙසේ සෝවාන්ව, අපායෙහි උපදින ස්වභාවය නැත්තෙක්ව නියමයෙන්ම නිවන් පිහිටකොට ඇත්තෙක් වීයයි යි’ අසන ලද්දේ ද. ඒ භික්ෂුවද ඒ ආයුෂ්මත්හුගේ ශ්‍රද්ධාවද, ශීලයද, උගත්බවද, ත්‍යාගයද, ප්‍රඥාවද, සිහිකරමින් ඒ බව පිණිස සිතයොදවයි. අනුරුද්ධයෙනි මෙසේද භික්ෂුවට සැප විහරණය වේ.

§ 14. “අනුරුද්ධයෙනි, මේ ශාසනයෙහි භික්ෂුණියක් ‘මෙනම් භික්ෂුණිය කාලක්‍රියා කළාය. භාග්‍යවතුන් වහන්සේ විසින් ‘ඒ භික්ෂුණිය රහත් බැව්හි පිහිටියායයි ප්‍රකාශ කරණ ලද්දේයයි, අසයි.

‘ඒ භික්ෂුණිය තමා විසින්ම දක්නා ලද්දී හෝ වෙයිද, ඒ නැගනිය මෙබඳු සිල් ඇත්තීය. ඒ නැගනිය මෙබඳු ස්වභාව ඇත්තීය. ඒ නැගනිය මෙබඳු නුවණ ඇත්තීය. ඒ නැගනිය මෙබඳු හැසුරුම් ඇත්තීය. ඒ නැගනිය මෙසේ භවයෙන් මිදුනීයයි’ අසන ලද්දී හෝ වෙයිද. ඒ භික්ෂුණියගේ ශ්‍රද්ධාවද, ශීලයද, උගත්බවද, ත්‍යාගයද, ප්‍රඥාවද, සිහිකරමින් ඒ බව පිණිස සිත යොදවයි. අනුරුද්ධයෙනි, මෙසේද භික්ෂුණියට සැප විහරණය වේ.

§ 15. “අනුරුද්ධයෙනි, මේ ශාසනයෙහි භික්ෂුණියක් ‘මෙනම් භික්ෂුණිය කාලක්‍රියා කළාය. භාග්‍යවතුන් වහන්සේ විසින් ඒ භික්ෂුණිය, කාම ලෝකය භජනය කරණ සංයොජන පස නැතිකිරීමෙන් ඔපපාතිකව එහි පිරිනිවෙන ඒ ලෝකයෙන් මෙහි නොඑන ස්වභාව ඇත්තේයයි’ ප්‍රකාශ කරණ ලද්දීය.

ඒ භික්ෂුණිය තමා විසින් දක්නා ලද්දී හෝ වෙයිද, ඒ නැගණිය ‘මෙබඳු සිල් ඇත්තීය, ඒ නැගනිය මෙබඳු ස්වභාව ඇත්තීය, ඒ නැගනිය මෙබඳු නුවණ ඇත්තීය, ඒ නැගනිය මෙබඳු හැසිරීම් ඇත්තීය, ඒ නැගනිය මෙසේ අනාගාමි ඵලය සාක්ෂාත් කලේ යැයි අසන ලද්දී ඒ භික්ෂුණිය ඒ භික්ෂුණියගේ ශ්‍රද්ධාවද, සීලයද, උගත්බවද, ත්‍යාගයද, ප්‍රඥාවද සිහි කරමින්, ඒ බව පිණිස සිත යොදවයි. අනුරුද්ධයෙනි, මෙසේද භික්ෂුණියට සැපවිහරණය වේ.

§ 16. “අනුරුද්ධයෙනි, මේ ශාසනයෙහි භික්ෂුණියක් ‘මෙනම් භික්ෂුණිය කාලක්‍රියා කළාය. භාග්‍යවතුන් වහන්සේ විසින් ඒ භික්ෂුණිය සංයොජන (භවබන්ධන) තුන නැති කිරීමෙන් රාග දොස මෝහයන්ගේ තුනීකිරීමෙන් සකෘදාගාමීව මේ ලෝකයට එකවරක්ම (උප්පත්ති වශයෙන්) පැමිණ දුක් කෙළවර කරන්නීයයි ප්‍රකාශ කරණ ලද්දීයයි, අසයි.

, ඒ භික්ෂුණිය තමා විසින්ම දක්නා ලද්දී හෝ වෙයිද, ඒ නැගනිය මෙබඳු සිල් ඇත්තීය. ඒ නැගනිය මෙබඳු ස්වභාව ඇත්තීය, ඒ නැගනිය මෙබඳු නුවණ ඇත්තීය, ඒ නැගනිය මෙබඳු හැසිරීම් ඇත්තීය, ඒ නැගනිය මෙසේ සකෘදාගාමීව භවයෙන් මිදුනීය’යි, අසන ලද්දී, ඒ භික්ෂුණිය ඒ භික්ෂුණියගේ ශ්‍රද්ධාවද, සීලයද, උගත් බවද, ත්‍යාගයද, ප්‍රඥාවද සිහිකරමින්, ඒ බව පිණිස සිත යොදවයි. අනුරුද්ධයෙනි, මෙසේද භික්ෂුණියට සැපවිහරණය වේ.

§ 17. “අනුරුද්ධයෙනි, මේ ශාසනයෙහි භික්ෂුණියක් ‘මෙනම් භික්ෂුණිය කාලක්‍රියා කළාය. භාග්‍යවතුන් වහන්සේ විසින් ඒ භික්ෂුණිය සංයොජන (භවබන්ධන) තුනක් නැතිකිරීමෙන් සෝවාන්ව සතර අපායෙහි ඉපදීමට නොපැමිණෙන්නියක්ව නියමයෙන්ම නිවන් පිහිටකොට ඇත්තියක් වීයයි ප්‍රකාශ කරණ ලද්දීයයි අසයි,

ඒ භික්ෂුණිය තමා විසින්ම දක්නා ලද්දී හෝ වෙයිද, ඒ නැගනිය මෙබඳු සිල් ඇත්තීය, ඒ නැගනිය මෙබඳු ස්වභාව ඇත්තීය, ඒ නැගනිය මෙබඳු නුවණ ඇත්තීය, ඒ නැගනිය මෙබඳු හැසිරීම් ඇත්තීය. ඒ නැගනිය මෙසේ සෝවාන් ඵලයට පත්ව මෙසේ භවයෙන් මිදුනීයයි අසන ලද්දී ද, ඒ භික්ෂුණිය ඒ භික්ෂුණියගේ ශ්‍රද්ධාවද, සීලයද, උගත් බවද, ත්‍යාගයද, ප්‍රඥාවද, සිහිකරමින් ඒ බව පිණිස සිත යොදවයි. අනුරුද්ධයෙනි, මෙසේද භික්ෂුණියට සැප විහරණය වේ.

§ 18. “අනුරුද්ධයෙනි, මේ ශාසනයෙහි උපාසකයෙක් ‘මෙනම් උපාසකයා කාලක්‍රියාකළේය. භාග්‍යවතුන් වහන්සේ විසින් ඒ උපාසකයා කාමලෝකය භජනය කරන සංයොජන පස නැතිකිරීමෙන් ඔපපාතිකව එහි පිරිනිවෙන, ඒ ලෝකයෙන් මෙහි නොඑන ස්වභාව ඇත්තේයයි ප්‍රකාශ කරණ ලද්දේයයි’ අසයි,

ඒ උපාසකයා තමා විසින්ම දක්නා ලද්දේ හෝ වෙයිද, ‘ඒ උපාසකයා මෙබඳු සිල් ඇත්තෙක, ඒ උපාසකයා මෙබඳු ස්වභාව ඇත්තෙක, ඒ උපාසකයා මෙබඳු නුවණ ඇත්තෙක, ඒ උපාසකයා මෙබඳු හැසිරීම් ඇත්තෙක, ඒ උපාසකයා මෙසේ භවයෙන් මිදුනේයයි’ අසන ලද්දේ හෝ වෙයිද, ඒ උපාසකයා ඒ උපාසකයාගේ ශ්‍රද්ධාවද, සීලයද, උගත් බවද, ත්‍යාගයද, ප්‍රඥාවද සිහිකරමින් ඒ බව පිණිස සිත යොදවයි. අනුරුද්ධයෙනි, මෙසේද උපාසකයාට සැපවිහරණය වේ.

§ 19. “අනුරුද්ධයෙනි, මේ ශාසනයෙහි උපාසකයෙක් ‘මෙනම් උපාසකයා කාලක්‍රියා කෙළේය. භාග්‍යවතුන් වහන්සේ විසින් ඒ උපාසකයා සංයොජන තුනක් නැතිකිරීමෙන් රාග, දොස, මෝහයන්ගේ තුනී කිරීමෙන් සකෘදාගාමීව මේ ලෝකයට එක්වරක්ම (උප්පත්ති වශයෙන්) පැමිණ දුක් කෙළවර කරන්නේයයි ප්‍රකාශ කරණ ලද්දේයයි’ අසයි.

, ඒ උපාසකයා තමා විසින්ම දක්නා ලද්දේද, ‘ඒ උපාසකයා මෙබඳු සිල් ඇත්තෙක, ඒ උපාසකයා මෙබඳු ස්වභාව ඇත්තෙක, ඒ උපාසකයා මෙබඳු නුවණ ඇත්තෙක, ඒ උපාසකයා මෙබඳු හැසිරීම් ඇත්තෙක, ඒ උපාසකයා මෙසේ භවයෙන් මිදුනේ යයිද,’ අසන ලද්දේ හෝ වෙයිද. ඒ උපාසකයා ඒ උපාසකයාගේ ශ්‍රද්ධාවද සීලයද, උගත් බවද, ත්‍යාගයද, ප්‍රඥාවද සිහිකරමින් ඒ බව පිණිස සිත යොදවයි. අනුරුද්ධයෙනි, මෙසේද උපාසකයාහට සැපවිහරණය වේ.

§ 20. “අනුරුද්ධයෙනි, මේ ශාසනයෙහි උපාසකයෙක් ‘මෙනම් උපාසකයා කාලක්‍රියා කෙළේය. භාග්‍යවතුන් වහන්සේ විසින් ඒ උපාසකයා සංයොජන (භව බන්ධන) තුනක් නැති කිරීමෙන් සෝවාන්ව, අපාය ලෝකයන්හි ඉපදීමට නොපැමිණෙන්නෙක්ව නියමයෙන්ම නිවන් පිහිට කොට ඇත්තෙක් වීයයි ප්‍රකාශ කරණ ලද්දේයයි’ අසයි

ඒ උපාසකයා තමා විසින්ම දක්නා ලද්දේ හෝ වෙයිද, ‘ඒ උපාසකයා මෙබඳු සිල් ඇත්තෙක, ඒ උපාසකයා මෙබඳු ස්වභාව ඇත්තෙක, ඒ උපාසකයා මෙබඳු හැසිරීම් ඇත්තෙක, ඒ උපාසකයා මෙසේ භවයෙන් මිදුනේයයි,’ අසන ලද්දේ හෝ වෙයිද, ඒ උපාසකයා ඒ උපාසකයාගේ ශ්‍රද්ධාවද, සීලයද, උගත් බවද, ත්‍යාගයද, ප්‍රඥාවද, සිහිකරමින් ඒ බව පිණිස සිත යොදවයි. අනුරුද්ධයෙනි, මෙසේද උපාසකයාට සැපවිහරණය වේ.

§ 21. “අනුරුද්ධයෙනි, මේ ශාසනයෙහි උපාසිකාවක් ‘මෙනම් උපාසිකාව කාලක්‍රියා කළාය. භාග්‍යවතුන් වහන්සේ විසින් ඒ උපාසිකාව කාම ලෝකය භජනය කරන සංයොජන පස නැතිකිරීමෙන් ඔපපාතිකව එහි පිරිනිවෙන ඒ ලෝකයෙන් මෙහි නොඑන ස්වභාව ඇත්තීයයි ප්‍රකාශ කරණ ලද්දීයයි අසයි.

‘ඒ උපාසිකාව තමා විසින්ම දක්නා ලද්දීද, ‘ඒ උපාසිකාව මෙබඳු සිල් ඇත්තීයයිද, ඒ උපාසිකාව මෙබඳු ස්වභාව ඇත්තීයයිද, ඒ උපාසිකාව මෙබඳු නුවණ ඇත්තීයද, ඒ උපාසිකාව මෙබඳු හැසිරිම් ඇත්තීය. ඒ උපාසිකාව මෙසේ භවයෙන් මිදුනීයයි,’ අසන ලද්දේ හෝ වෙයිද. ඒ උපාසිකාව, ඒ උපාසිකාවගේ ශ්‍රද්ධාවද, සීලයද, උගත්කමද, ත්‍යාගය හා ප්‍රඥාවද සිහිකරමින් ඒ බව පිණිස සිත යොදවයි. අනුරුද්ධයෙනි, මෙසේද උපාසිකාවට සැපවිහරණය වේ.

§ 22 . “අනුරුද්ධයෙනි, මේ ශාසනයෙහි උපාසිකාවක් ‘මෙනම් උපාසිකාව කාලක්‍රියා කළාය. භාග්‍යවතුන් වහන්සේ විසින් ඒ උපාසිකාව සංයොජන (-භවබන්ධන) තුන නැතිකිරීමෙන් රාග, ද්වේස, මෝහයන්ගේ තුනී කිරීමෙන් සකෘදාගාමීව මේ ලෝකයට එක වරක්ම (උප්පත්ති වශයෙන්) පැමිණ දුක් කෙළවර කරන්නීයයි ප්‍රකාශ කරණ ලද්දීයයි’ අසයි

ඒ උපාසිකාව තමා විසින්ම දක්නා ලද්දී හෝ වෙයිද, ‘ඒ උපාසිකාව මෙබඳු සිල් ඇත්තීය, ඒ උපාසිකාව මෙබඳු ස්වභාව ඇත්තීය, ඒ උපාසිකාව මෙබඳු නුවණ ඇත්තීය, ඒ උපාසිකාව මෙබඳු හැසිරීම් ඇත්තීය, ඒ උපාසිකාව මෙසේ සකෘදාගාමීව භවයෙන් මිදුනීයයි’ අසන ලද්දේ ද, ඒ උපාසිකාවගේ ශ්‍රද්ධාවද, සීලයද උගත් බවද, ත්‍යාගයද, ප්‍රඥාවද සිහිකරමින් ඒ බව පිණිස සිත යොදවයි. අනුරුද්ධයෙනි, මෙසේද උපාසිකාවට සැපවිහරණය වේ.

§ 23. “අනුරුද්ධයෙනි, මේ ශාසනයෙහි උපාසිකාවක් ‘මෙනම් උපාසිකාව කාලක්‍රියා කළාය. භාග්‍යවතුන් වහන්සේ විසින් ඒ උපාසිකාව සංයොජන (-භවබන්ධන) තුනක් නැති කිරීමෙන් සෝවාන්ව, අපාය ලෝකයන්හි ඉපදීමට නොපැමිණෙන්නියක්ව, නියමයෙන්ම නිවන් පිහිටකොට ඇත්තියක් වීයයි ප්‍රකාශ කරණ ලද්දීයයි’ අසයි.

ඒ උපාසිකාව තමා විසින් දක්නා ලද්දී හෝ වෙයිද, ‘ඒ උපාසිකාව මෙබඳු සිල් ඇත්තීය, ඒ උපාසිකාව මෙබඳු ස්වභාවඇත්තීය, ඒ උපාසිකාව මෙබඳු නුවණ ඇත්තීය, ඒ උපාසිකාව මෙබඳු හැසිරීම් ඇත්තීය, ඒ උපාසිකාව මෙසේ භවයෙන් මිදුනීයයි අසන ලද්දේ හෝ වෙයිද, ඒ උපාසිකාව, ඒ උපාසිකාවගේ ශ්‍රද්ධාවද, සීලයද, උගත් බවද, ත්‍යාගයද, ප්‍රඥාවද, සිහි කරමින් ඒ බව පිණිස සිත යොදවයි අනුරුද්ධයෙනි, මෙසේද උපාසිකාවට සැපවිහරණය වේ.”

§ 24. අනුරුද්ධයෙනි, තථාගතයන් මිනිසුන් රැවටීම පිණිස, ( පිරිකර පිණිස රැවටීම), මිනිසුන් උසස් කොට තැබීම පිණිස, මිනිසුන් අතර ප්‍රසිද්ධ වීම පිණිස, මිනිසුන් පුදුම කරවනු පිණිස, ජනයන් පොළඹවනු පිණිස, ලාභ සත්කාර කීර්තිය පිණිස ‘මා ජනයා මෙසේ දැන හැඳිනගණිවා’යි ‘අසුවලා අසුවල් තැන උපන්නේය. අසුවලා අසුවල් තැන උපන්නේය’යි ඉකුත්වූ මැරීගිය ශ්‍රාවකයන් පිළිබඳ උප්පත්තිය ප්‍රකාශ නොකරයි.

එසේ තථාගතයන් විසින් අසුවල් ශ්‍රාවකයා අසුවල් තලයක පහළ වී යැයි, අසුවල් ඵලයක් ලැබී යැයි දේශනා කරන්නේ ශ්රද්ධාව නිසාම මහණවුන, බොහෝ කුලපුත්රයන් ප්‍රතිපදාවේ හැසිරීමට වඩ වඩාත් උනන්දු කිරීම පිණිස වෙයි. අනුරුද්ධයෙනි, ඔවුන්ට එය බොහෝ කලක් හිත සැප පිණිස වෙයි.

භාග්‍යවතුන් වහන්සේ මෙය දෙසූ සේක.

සතුටු සිත් ඇති ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ වචනයට සතුටු විය.

MN 03-02-02 ඡබ්බ සොධන සූත්‍රය

[ස‍ටහන: අරහත් භාවය ලැබුවෙකු එය ප්‍රසිද්ධියේ නොකිව යුතු යැයි මතයක් ලංකාවේ ඇත. එමතුදු නොව තමා ලැබූ කිසිම ආර්ය ඵලයක් ප්‍රකාශ නොකළ යුතු යෑයි සිංහල බෞද්ධයෝ කියති. භාග්‍යවතුන් වහන්සේ දේශනා කර ඇති ,මේ සුත්‍රයෙහි සඳහන් වන්නේ තමන් ලැබූ අරහත් භාවය ප්‍රකාශ කිරීම තහනම් කිරීම නොව ඒ භික්ෂුවගේ සහ බ්‍රහ්මචාරීන් වහන්සේලා ඒ භ්ක්ෂුව කල ප්‍රකාශය පිලිබඳ විනිශ්චය කිරීමට ටෝදාගත යුතු සය වැදෑරුම් ප්‍රශ්න මාලාවකි. විමුක්තිය ලත් රහත් තෙර නමක් කෙබඳු පිළිතුරු දෙයි දැයි මෙහි දැක්වේ.]

පුජ්‍ය බෝගහපුර දේවමිත්ත හිමිහල සුත්‍ර විවරණය පහත දැක්වේ

§ 1. මා විසින් මෙසේ අසනලදී.
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතනම් රජකුමරුගේ උයනෙහි අනේපිඬු සිටුතුමා විසින් කරවන ලද ආරාමයෙහි (ජේතවනාරාමයෙහි) වැඩවසන සේක. එහිදී දිනෙක භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’ කියා භික්ෂූන්ට කථාකළ සේක. ඒ භික්ෂුහු ‘ස්වාමීනි’ යි. භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.

§ 2. “මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුවක් යම් විටෙක,
” යලි ඉපදීම නැවැත්වීමි . බ්‍රාහ්මචර්‍ය්‍යාව වැස නිම කරන ලද්දේය. කටයුතු දෑ කොට අවසානය, මත්තෙහි කළයුතු අනිකක් නැතැයි, දනිමි” යි කියා සිය අරහත් බව ප්‍රකාශ කෙරේද, මහණෙනි, ඔහුගේ ඒ ප්‍රකාශය අසා සෙසු භික්ෂූහු අප්‍රසාදයක් නොදැක්විය යුතුය, ඔහුගේ ප්‍රකාශය හිස් යැයි ප්‍රතික්ෂෙපද නොකළ යුතුය. සතුටු නොවී බැහැරද නොකොට මෙසේ ඔහුගෙන් ප්‍රශ්නයක් ඇසිය යුතුය.

“ඇවැත්නි, භාග්‍යවත්වූ සියල්ල දන්නාවූ, සියල්ල නුවණැසින් දක්නාවූ, අර්හත්වූ අප සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේ මැනවින් ප්‍රකාශ කරණලද ව්‍යවහාරයෝ සතරකි.
ඒ සතර කුමක්ද?
දක්නාලද දෙය දක්නාලද පරිදි කීමය,
අසනලද දෙය අසනලද පරිදි කීමය,
(නාසය, දිව, ශරීරය යන මෙයින්) දැන ගන්නාලද දෙය දැන ගන්නා ලද පරිදි කීමය,
(මනසින්) දැනගන්නාලද දෙය දැනගන්නා ලද පරිදි කීමය යනුයි..

[1057:-ගන්නා සියලු අරමුණු පිලිබදව කැමැත්තක් අකමැත්තක් හෝ අන් කිසිං චිත්ත සංඛාරයකින් තොරව උපාදානයකින් තොරව දැකීමයි, ඇසීමයි , දැනීමයි ආදී ලෙස අරමුණ දැකීම]

§ 3. “ඇවැත්නි, සියල්ල දන්නාවූ, සියල්ල නුවණින් දක්නාවූ, භාග්‍යවත්වූ, අර්හත්වූ, ඒ සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේ විසින් මැනවින් ප්‍රකාශ කරණලද මේ සතර ව්‍යවහාරයෝ වෙති.

ආයුෂ්මතුන්ගේ සිත මේ සතර ව්‍යවහාරයන් කෙසේ දන්නාවූ කෙසේ දක්නාවූ තෘෂ්ණාදෘෂ්ටි වශයෙන් නොගෙණ ආශ්‍රවයන්ගෙන් මිදුනේද? කියායි.

“මහණෙනි, ආශ්‍රවයන් ක්ෂය කළාවූ බ්‍රහ්මචර්‍ය්‍යාව වැස නිමවනලද, කටයුතු දෑ කොට අවසන්වූ, බහා තබනලද බර ඇති, ස්වකීයාර්ථට පැමිණි, භව බැඳුම් ක්ෂය කළ, මැනවින් දැන කෙලෙස් බැම්මෙන් මිදුනාවූ භික්ෂුවගේ පිළිතුර මේ ආකාර වෙයි.

(i).”ඇවැත්නි, මම දක්නාලද දෙයෙහි (රාග වශයෙන්) නොපැමින්නේ, (ද්වේෂ වශයෙන්) ඉවත් නොවන්නේ (තෘෂ්ණා දෘෂ්ටි වශයෙන්) නොඇලුනේ (ඡන්ද රාගයෙන්) නොබැඳුනේ (කාම රාගයෙන්) මිදුනේ සියළු කෙලසුන්ගෙන් වෙන්වූයේ (කෙලෙස් වශයෙන් හෝ අරමුණු වශයෙන් හෝ) සීමාවක් නොකරණලද සිතින් යුක්තව වසමි.

(ii). ඇවැත්නි, මම අසන ලද්දෙහි නොඇලී ඒ ශබ්දය නිසා නොකිපී ඒ අරමුණෙන් ඉවත් නොවන්නෙමි , තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් ඇසුරු නොකෙළේ, කාම රාගයෙන් නොබැඳුනේ ඡන්දරාගයෙන් මිදුනේ, කෙලෙසුන්ගෙන් වෙන්වූයේ, කෙලෙසුන්ගෙන් හෝ ආරම්මණයන්ගේ සීමාවක් නොකරණලද සිතින් යුක්තව වසමි.

(iii). ඇවැත්නි, මම නාසය, දිව, සිරුර යන මේ දොරටු වලින් දැනගන්නාලද ආරම්මණයන්ද ඇලීම් වශයෙන් නොගන්නමි. කිපීම් වශයෙන් ඉවත් නොකරන්නෙමි. තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් ඇසුරු නොකරන්නෙමි. කාමරාගයෙන් ඡන්දරාගයෙන් නොබැඳුනමි. මිදුනෙමි, කෙලෙසුන්ගෙන් වෙන්වූයේමි, කෙලෙසුන්ගෙන් හෝ ආරම්මණයන්ගේ සීමාවක් නොකරණ ලද සිතින් යුක්තව වසමි.

(iv) ඇවැත්නි, මම සිතින් දැන ගන්නාලද දෙයෙහිද (රාග වශයෙන්) නොඑළඹෙන්නේ (ද්වේෂයෙන්) ඉවත් නොවන්නේ (තෘෂ්ණා දෘෂ්ටි වශයෙන්) නොඇලෙන්නේ, (ඡන්දරාගයෙන්) නොබැඳුනේ (කාමරාගයෙන්) මිදුනේ, (සියළු කෙලෙසුන්ගෙන්) වෙන්වූයේ (කෙලෙස් වශයෙන් හෝ අරමුණු වශයෙන් හෝ) සීමාවක් නොකරණලද සිතින් යුක්තව වසමි.

ඇවැත්නි, මේ සතර ව්‍යවහාරයන්හි මෙසේ දන්නාවූ, මෙසේ දක්නාවූ මාගේ සිත තෘෂ්ණා දෘෂ්ටිවශයෙන් නොගෙණ ආශ්‍රවයන් කෙරෙන් මිදුනේ වෙයි කියායි.

“මහණෙනි, එසේ පිළිතුරු දුන්නාවූ ඒ භික්ෂුවගේ කීම යහපතැයි කියා ඔබ පිළිගත යුතුයි. ඒ අනුව සතුටු වියයුතුයි. යහපතැයි එම කීම පිළිගෙණ ඒ අනුව සතුටුව අනුමෝදන් විය යුතුය.

(මුල් ප්‍රශ්නයට ඔහු දුන් පිළිතුරෙන් සෑහීමට පත්නොවේ නම්) මතුද ප්‍රශ්නයක්, ඇසිය යුතුයි.

§ 4. , ඇවැත්නි, භාග්‍යවත්වූ, සියල්ල දන්නාවූ, සියල්ල නුවණැසින් දක්නාවූ අර්හත්වූ ඒ සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේ විසින් මැනවින් ප්‍රකාශ කරණලද උපාදානස්කන්ධයෝ පසෙකි.
ඒ කවර පසෙක්දයත්?
රූප උපාදානස්කන්ධය,
වේදනා උපාදානස්කන්ධය,
සංඥා උපාදානස්කන්ධය,
සංස්කාර උපාදාන
ස්කන්ධ විඥාන උපාදානස්කන්ධය
යන මේ පසයි.

ඇවැත්නි, මේ පඤ්ච උපාදානස්කන්ධයෝ භාග්‍යවත්වූ සියල්ල දන්නාවූ, සියල්ල දක්නාවූ, අර්හත්වූ සම්‍යක් සම්බුද්ධ රජාණන් වහන්සේ විසින් මැනැවින් ප්‍රකාශ කරණ ලදහ.“

මේ පඤ්ච උපාදානස්කන්ධයන් කෙරෙහි කෙසේ දන්නාවූ කෙසේ දක්නාවූ ආයුෂ්මතුන්ගේ සිත තෘෂ්ණාදෘෂ්ටි වශයෙන් නොගෙන ආශ්‍රවයන්ගෙන් මිදුනේද කියායි.

“මහණෙනි, ක්ෂීණාශ්‍රවවූ, වැස නිමවනලද බ්‍රහ්මචර්‍ය්‍යා ඇති කටයුතු දැ කොට අවසන්වූ, බහා තබනලද බර ඇති පැමිණි තමන්ගේ අර්ථය ඇති, ක්ෂය කළ භව බැඳුම් ඇති, මැනවින් දැන මිදුනාවූ භික්ෂුවගේ විසඳීම මේ ආකාර වෙයි.

“ඇවැත්නි, මම රූපය දුර්වලය නො ඇලිය යුත්තක අස්වැසිලි රහිතවූවකැයි දැන රූපයෙහි මමය මාගේ යයි ගන්නා චිත්තයාගේ සිටීමය, බැසගැනීමය, අනුසය වශයෙන් පැවැත්මයි කියනලද මේ තෘෂ්ණා දෘෂ්ටීහු වෙත්ද, ඔවුන්ගේ ක්ෂය වීමෙන්, නොඇලීමෙන්, වැලැක්වීමෙන්, හැරලීමෙන් අතහැර දැමීමෙන් මාගේ සිත මිදුනේයයි දනිමි.

ඇවැත්නි, මම වේදනාව දුර්වලය, නොඇලිය යුත්තක, අස්වැසිලි රහිතවූ වෙකැයි දැන වේදනාවෙහි මමය මාගේයයි සිත පිහිටන්නාවූ බැසගන්නාවූ අනුසය වශයෙන් පවත්නාවූ යම් තෘෂ්ණා දාෂ්ටීහු වෙත්ද, ඔවුන්ගේ ක්ෂය වීමෙන්, නොඇලීමෙන්, වැලැක්මෙන්, හැරලීමෙන් අතහැර දැමීමෙන් මාගේ සිත මිදුනේයයි දනිමි.

ඇවැත්නි, මම වනාහි සංඥාව දුර්වලය, නොඇලිය යුත්තක, අස්වැසිලි රහිත වූවෙකැයි දැන, සංඥාවෙහි මමය මගේයයි සිත පිහිටන්නාවූ බැසගන්නාවූ, අනුසය වශයෙන් පවත්නාවූ යම් තෘෂ්ණා දෘෂ්ටීහු වෙත්ද, ඔවුන්ගේ ක්ෂය වීමෙන්, නොඇලීමෙන්, වැලැක්වීමෙන්, හැරලීමෙන්, අතහැර දැමීමෙන් මාගේ සිත මිදුනේයයි දනිමි.

ඇවැත්නි, මම වනාහි සංස්කාරයන් දුර්වලය, නොඇලිය යුත්තක, අස්වැසිලි රහිතවූයෙකැයි දැන සංස්කාරයන්හි මමය මාගේයයි සිත පිහිටන්නාවූ බැස ගන්නාවූ, අනුසය වශයෙන් පවත්නාවූ, යම් තෘෂ්ණා දෘෂ්ටීහු වෙත්ද, ඔවුන්ගේ ක්ෂය වීමෙන්, නොඇලීමෙන්, වැලැක්වීමෙන් හැරලීමෙන්, අතහැර දැමීමෙන් මාගේ සිත මිදුනේ යයි දනිමි.

ඇවැත්නි, මම වනාහි විඤ්ඤාණය දුර්වලය, නො ඇලිය යුත්තක, අස්වැසිලි රහිත වූවකැයි දැන විඤ්ඤාණයෙහි මමය මාගේයයි ගන්නා චිත්තයාගේ සිටීමය, ඇතුළත්වීමය අනුශය වශයෙන් පැවැත්මයයි කියනලද යම් තාෂ්ණා දෘෂ්ටීහු වෙත්ද, ඔවුන්ගේ ක්ෂය වීමෙන් නොඇලීමෙන් වැලැක්වීමෙන් හැරලීමෙන්, අතහැර දැමීමෙන් මාගේ සිත මිදුනේයයි දනිමි.“

ඇවැත්නි, මෙසේ වනාහි පඤ්චඋපාදානස්කන්ධයන් කෙරෙහි දන්නාවූ මෙසේ දක්නාවූ මාගේ සිත තෘෂ්ණා දෘෂ්ටිවශයෙන් නොගෙණ ආශ්‍රවයන් කෙරෙන් මිදුනේය. කියායි.“

ඇවැත්නි, ඒ භික්ෂුවගේ කීම යහපතැයි කියා පිළිගත යුතුයි. ඒ අනුව සතුටු විය යුතුයි. යහපතැයි එම කීම පිළිගෙණ ඒ අනුව සතුටුව ( ප්‍රශ්නයට ඔහු දුන් පිළිතුරෙන් සෑහීමට පත්නොවේ නම්) මතුද ප්‍රශ්නයක් ඇසිය යුතුයි.

§ 5. “ඇවැත්නි, භාග්‍යවත්වූ, සියල්ල දන්නාවූ, සියල්ල නුවණැසින් දක්නාවූ, අර්හත්වූ ඒ සම්‍යක් සම්බුදුරජානන් වහන්සේ විසින් මෙම ධාතු සය මැනවින් ප්‍රකාශ කරණලදී.

කවර නම් සයක්ද යත්?
පඨවි ධාතුය, ආපො ධාතුය, තෙජො ධාතුය, වායො ධාතුය ආකාස ධාතුය, විඤ්ඤාණ ධාතුය යන සයයි.

ඇවැත්නි, භාග්‍යවත්වූ සියල්ල දන්නාවූ සියල්ල නුවණැසින් දක්නාවූ අර්හත් වූ, ඒ සම්‍යක් සම්බුදුරාජාණන් වහන්සේ විසින් මෙම ධාතු සය මැනවින් ප්‍රකාශ කරණලදහ.

ඉදින් සිය අරහත් බව ප්‍රකාශ කළාවූ ඒ භික්ෂුවගෙන් ඔබ මෙසේ ප්‍ර ශ්න කලයුතු වෙයි
“මේ ධාතු සයෙහි කෙසේ දන්නාවූ කෙසේ දක්නාවූ ආයුෂ්මතුන්ගේ සිත තාෂ්ණා දෘෂ්ටි වශයෙන් නොගෙණ ආශ්‍රවයන්ගෙන් මිදුනේද?” කියායි.

“මහණෙනි ක්ෂීණාශ්‍රවවූ වැස නිමවනලද බ්‍රහ්මචර්‍ය්‍යා ඇති කටයුතු දැ කොට අවසන්වූ බහා තබනලද බර ඇති පැමිණි තමාගේ අර්ථය ඇති ක්ෂය කළ භව බැඳුම් ඇති මැනවින් දැන මිදුනාවූ භික්ෂුවගේ පිළිතුර මේ ආකාරවේ.

(i)‘ඇවැත්නි, මම පඨවි ධාතුව මම නොවේයයි නුවණින් බැස ගතිමි. පඨවි ධාතුව ඇසුරුකොටද තමා නැත්තේය. පඨවි ධාතුව ඇසුරු කොට පවත්නා මමය මාගේ යයි ගන්නාවූ චිත්තයාගේ සිටීමය, ඇතුළත් වීමය, අනුශය වශයෙන් පැවැත්මයයි කියනලද යම් ඒ තෘෂ්ණා දෘෂ්ටීහු වෙත්ද ඔවුන්ගේ ක්ෂය වීමෙන් නොඇලීමෙන් වැළැක්මෙන්, හැරලීමෙන්, අතහැර දැමීමෙන් මාගේ සිත මිදුණේ යයි දනිමි.

(ii) “ඇවැත්නි, මම ආපෝධාතුව ආත්මයයි නො ගනිමි. ආපෝධාතුව ඇසුරුකොට ආත්මයක් ඇතැයි නොගනිමි. ආපෝ ධාතුව ඇසුරුකොට මමය මාගේයයි සිත පිහිටන්නාවූ, බැසගන්නාවූ, අනුශය වශයෙන් පවත්නාවූ යම් ඒ තෘෂ්ණා දෘෂ්ටීහු වෙත්ද, ඔවුන්ගේ ක්ෂය වීමෙන් නොඇලීමෙන් වැලැක්මෙන්, හැරවීමෙන්, අතහැර දැමීමෙන් මාගේ සිත ‘මිදුනේයයි දනිමි.

(iii) ඇවැත්නි, මම තෙජෝධාතුව ආත්මයයි නොගතිමි තෙජො ධාතුව ඇසුරුකොට, ආත්මයක් ඇතැයිද නොගතිමි. තේජෝධාතුව ඇසුරුකොට ආත්මයයි නොගතිමි. ආපෝධාතුව ඇසුරුකොටද ආත්මයක් ඇතැයි නොගතිමි. ආපෝධාතුව ඇසුරුකොට මමය මාගේයයි සිත පිහිටුවන්නාවූ බැසගන්නාවූ අනුශය වශයෙන් පවත්නාවූ යම් ඒ තෘෂ්ණා දෘෂ්ටීහු වෙත්ද, ඔවුන්ගේ ක්ෂය වීමෙන් නොඇලීමෙන් වැලැක්මෙන්, හැරවීමෙන් අතහැර දැමීමෙන් මාගේ සිත මිදුණේ යයි දනිමි.

(iv) ඇවැත්නි, මම වායෝධාතුව ආත්මයයි නොගනිමි. වයෝධාතුව ඇසුරුකොට, ආත්මයක් ඇතැයිද නොගතිමි. වායෝධාතුව ඇසුරුකොට ආත්මයයි නොගතිමි. ආපෝධාතුව ඇසුරුකොටද ආත්මයක් ඇතැයි නොගතිමි. ආපෝධාතුව ඇසුරුකොට මමය මාගේ යයි සිත පිහිටන්නාවූ බැසගන්නා වූ අනුශය වශයෙන් පවත්නාවූ, යම් ඒ තෘෂ්ණා දෘෂ්ටීහු වෙත්ද, ඔවුන්ගේ ක්ෂය වීමෙන් නොඇලීමෙන්, වැලැක්මෙන් හැරවීමෙන්, අතහැර දැමීමෙන් මාගේ සිත මිදුනේයයි දනිමි. ඇවැත්නි,

(v) මම ආකාස ධාතුව ආත්මයයි නොගතිමි. ආකාස ධාතුව ඇසුරුකොට, ආත්මයක් ඇතැයිද නොගතිමි. ආකාස ධාතුව ඇසුරුකොට ආත්මයයි නොගතිමි. ආපෝ ධාතුව ඇසුරුකොටද ආත්මයක් ඇතැයි නොගනිමි. ආපෝ ධාතුව ඇසුරුකොට මමය මාගේයයි සිත පිහිටුවන්නාවූ බැස ගන්නාවූ අනුශය වශයෙන් පවත්නාවූ යම් ඒ තෘෂ්ණා දෘෂ්ටීහු වෙත්ද, ඔවුන්ගේ ක්ෂය වීමෙන් නොඇලීමෙන්, වැලැක්මෙන් හැරවීමෙන්, අතහැර දැමීමෙන් මාගේ සිත මිදුනේයයි දනිමි.

(vi) “ඇවැත්නි, මම විඤ්ඤාණධාතුව තමා නොවේයයි නුවණින් බැසගතිමි. විඤ්ඤාණධාතුව ඇසුරුකොටද තමා නැත්තේය. විඤ්ඤාණධාතුව ඇසුරුකොට පවත්නා මමය මාගේයයි ගන්නා චිත්තයාගේ ඇතුළත්වීමය අනුශය වශයෙන් පැවැත්මයයි කියනලද යම් ඒ තෘෂ්ණා දෘෂ්ටීහු වෙත්ද, ඔවුන්ගේ ක්ෂය වීමෙන් නොඇලීමෙන්, වැලැක්මෙන්, හැරලීමෙන්, අත්හැර දැමීමෙන් මාගේ සිත මිදුණේයයි දනිමි.“

ඇවැත්නි, මෙසේ මේ ධාතු සයෙහි දන්නාවූ මෙසේ දක්නාවූ මාගේ සිත තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් නොගෙණ ආශ්‍රවයන් කෙරෙන් සිත මිදුනේය කියායි.

“ඇවැත්නි, ඒ භික්ෂුවගේ කීම යහපතැයි කියා පිළිගත යුතුයි. ඒ අනුව සතුටුවිය යුතුයි. යහපතැයි ඒ කීම පිළිගෙණ ඒ අනුව සතුටුව ( ප්‍රශ්නයට ඔහු දුන් පිළිතුරෙන් සෑහීමට පත්නොවේ නම් ) මතුද ප්‍රශ්නයක් ඇසිය යුතුයි.

§ 6. “ඇවැත්නි, භාග්‍යවත්වූ, සියල්ල දන්නාවූ, සියල්ල නුවණැසින් දක්නාවූ අර්හත්වූ ඒ සම්‍යක් සම්බුදු රජාණන් වහන්සේ විසින් මේ සය වැදෑරුම්වූ අධ්‍යාත්මික බාහිර ආයතනයෝ මැනවින් ප්‍රකාශ කරණ ලදහ. කවර නම් සයක්ද යත්?

ඇසද රූපයෝද, කණද ශබ්දයෝද, නාසයද ගන්ධයෝද, දිවද රසයෝද, කයද ස්පර්ශයෝද, සිතද ධර්මයෝද යන මේ සයයි.

“ඇවැත්නි, භාග්‍යවත්වූ සියල්ල දන්නාවූ සියල්ල නුවණැසින් දක්නාවූ අර්හත්වූ ඒ සම්‍යක් සම්බුදු රජාණන් වහන්සේ විසින් මේ සය වැදෑරුම්වූ ආධ්‍යාත්මික බාහිර ආයතනයෝ මැනවින් ප්‍රකාශ කරණ ලදහ.

මේ සය වැදෑරුම්වූ ආධ්‍යාත්මික බාහිර ආයතනයන් කෙසේ දන්නාවූ, කෙසේ දක්නාවූ ආයුෂ්මතුන්ගේ සිත ඒ තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් නොගෙණ ආශ්‍රවයන් ගෙන් මිදුණේද කියායි.

‘මහණෙනි, ක්ෂීණාශ්‍රවවූ, වැස නිමවනලද බ්‍රහ්මචර්‍ය්‍යා ඇති කටයුතු දෑ කොට අවසන්වූ බහා තබනලද බර ඇති පැමිණි තමාගේ අර්ථය ඇති ක්ෂය කළ බව බැඳුම් ඇති මැනවින් දැන මිදුනාවූ භික්ෂුවගේ විසඳීම මේ ආකාරවේ.

(i) “ඇවැත්නි, ඇසෙහිද, රූපයෙහිද, චක්ඛුවිඤ්ඤාණයෙහිද, චක්ඛුවිඤ්ඤාණයෙන් දැනගතයුතු ධර්මයන් කෙරෙහිද, යම් කැමැත්තෙක් වේද, යම් ඇලීමක් වේද, යම් සතුටු වීමක් වේද, යම් තණ්හාවක් වේද, මමය මාගේයයි ගන්නා චිත්තයාගේ සිටීමය, බැස ගැනීමය. අනුශය වශයෙන් පැවැත්මයි කියනලද යම් තෘෂ්ණාදෘෂ්ටීහු වෙත්ද ඔවුන්ගේ ක්ෂයවීමෙන්, නොඇලීමෙන්, වැළැක්වීමෙන්, හැරලීමෙන්, අතහැර දැමීමෙන් මාගේ සිත මිදුනේ වේයයි දනිමි.

(ii) “ඇවැත්නි, කණෙහිද, ශබ්දයෙහිද, සොත විඤ්ඤානයෙහිද, ශ්‍රොත විඥානයෙන් දතයුතුවූ ධර්මයන්හිද, යම් තෘෂ්ණා ඡන්දයක් වේද, යම් ඇලීමෙක් වේද, යම් සතුටුවීමක් වේද, යම් තෘෂ්ණාවක් වේද, මමය මාගේයයි ගන්නා චිත්තයාගේ සිටීමය බැස ගැණීමය, අනුශය වශයෙන් පැවැත්මයයි කියනලද යම් තෘෂ්ණා දෘෂ්ටීහු වෙත්ද, ඔවුන්ගේ ක්ෂය වීමෙන්, නොඇලීමෙන්, වැලැක්මෙන්, හැරලීමෙන් අතහැර දැමීමෙන් මාගේ සිත මිදුණේයයි දනිමි.“

ඇවැත්නි, මේ සය වැදෑරුම් ආධ්‍යාත්මික බාහිර ආයතනයන් කෙරෙහි මෙසේ දන්නාවූ, මෙසේ දක්නාවූ මාගේ සිත තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් නො ගෙණ ආශ්‍රවයන් කෙරෙන් සිත මිදුනේය කියායි.

“ඇවැත්නි, ඒ භික්ෂුවගේ කීම යහපතැයි කියා පිළිගත යුතුයි. ඒ අනුව සතුටුවිය යුතුයි. යහපතැයි ඒ කීම පිළිගෙණ ඒ අනුව සතුටුව ( ප්‍රශ්නයට ඔහු දුන් පිළිතුරෙන් සෑහීමට පත්නොවේ නම් ) මතුද ප්‍රශ්නයක් ඇසිය යුතුයි.

§ 7 “මේ විඤ්ඤාණ සහිත වූ කයෙහිද, බාහිරවූ සියළු ආරම්මණයන්හිද, කෙසේ දන්නාවූ කෙසේ දක්නාවූ ආයුෂ්මතුන්ගේ මමය මාගේ යයි ගන්නාවූ මානානුශයයෝ මැනවින් උදුරා දමන ලද්දාහුද? කියායි.

“මහණෙනි, ක්ෂීණාශ්‍රව වූ වැස නිමවන ලද බ්‍රහ්මචර්‍ය්‍යාව ඇති කටයුතු දෑ කොට අවසන් වූ බහා තබන ලද බර ඇති පැමිණි තමාගේ අර්ථය ඇති ක්ෂය කළ භව බැඳුම් ඇති, මැනවින් දැන මිදුනාවූ භික්ෂුවගේ විසඳීම් මේ ආකාර වෙයි.“

ඇවැත්නි, ‘මම පෙර ගිහිව වසන්නේ නො දන්නෙක් වීමි. මට තථාගතයන් වහන්සේ හෝ තථාගත ශ්‍රාවක කෙනෙක් හෝ දහම් දෙසූහ. මම ඒ ධර්මය අසා තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ලැබුවෙමි. ඒ ශ්‍රද්ධා ලාභයෙන් යුක්තවූ ඒ මම මෙසේ සිතිමි. කෙලෙස් දූවිලි වැදෙන මගවූ, ගිහිගෙයි විසීම අවහිරයකි. පැවිද්ද (නිදහස්වූ) අවකාශ ඇතියෙයි ගිහිගෙයි වසන්නහු විසින් එකාන්තයෙන් සම්පූර්ණවූ, එකාන්තයෙන් පිරිසිදුවූ, ලියවන ලද හක්ගෙඩියක් මෙන් පිරිසිදුවූ බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිරෙන්ට පහසු නොවේ. මම කෙස් රැවුල් බා කසාවත් හැඳ ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවන්නෙම් නම් ඉතා යහපත්ය කියායි.“

ඇවැත්නි, ‘ඒ මම පසු කාලයෙහි ස්වල්පවූ හෝ මහත්වූ හෝ වස්තු හැර, ස්වල්පවූ හෝ මහත්වූ හෝ නෑ සමූහයා හැර, කෙස් රැවුල් බා කසාවත් හැඳ ගිහිගෙයින් නික්ම ශාසනයෙහි පැවිදිවීමි.‘

මෙසේ පැවිදිවූ ඒ මම භික්ෂූන්ගේ ශික්ෂාවෙන් හා ආජිවයෙන් යුක්තවූයේ ප්‍රාණඝාතය හැර ප්‍රාණඝාතයෙන් වෙන්වූයේ වීමි. බහා තබනලද දඬු ඇත්තේ, බහා තබන ලද අවි ඇත්තේ, ලජ්ජාවෙන් යුක්තවූයේ දයා සහිත වූයේ සියළු ප්‍රාණීන් කෙරෙහි හිතානු කම්පා ඇතිව විසීමි.

‘නුදුන්දෙය ගැනුම හැර නුදුන් දෙය ගැණුමෙන් වෙන් වීමි. දුන්දෙය ගන්නේ දුන්දෙය බලාපොරොත්තු වන්නේ සොරසිත් රහිතවූ පිරිසිදු වූවෙක්ව විසීමි.‘

මෛථුන සෙවනය දුරුකොට, මෛථූන නම්වූ ග්‍රාම ධර්මයෙන් වෙන්වූයේ බ්‍රහ්මචාරී වීමි.

මුසාවාදය හැර මුසාවාදයෙන් වෙන්වූයේ වීමි. සත්‍යය කියන්නෙක්, සත්‍යයෙන් සත්‍යය ගලපන්නෙක්, ස්ථිර කථා ඇත්තෙක් ඇදහියයුතු කථා ඇත්තෙක්, ලෝකයාට බොරු කියන්නෙක්, නොවීමි.

කේළාම් වචනය හැර කේළාම් වචනයෙන් වෙන්වූයේ වීමි.

මොවුන්ගේ භෙදය පිණිස මෙතනින් අසා එතැන නොකියන්නෙක් ඔවුන්ගේ භෙදය පිණිස එතනින් අසා මෙතැන නොකියන්නෙක් මෙසේ වෙන්වූවන්ගේ සමගිය ඇතිකරන්නෙක්, සමගි වූවන්ගේ සමගිය තව තවත් දියුණු කරන්නෙක් සමගියෙහි ඇළුනෙක් සමගියෙහි යෙදුනෙක් සමගියෙහි සතුටු වූවෙක් සමගිය ඇතිකරන්නාවූ වචනය කියන්නෙක් වීමි.‘

පරුෂ වචනය හැර පරුෂ වචනයෙන් වෙන්වූයේ වීමි. යම් ඒ වචනයක් ප්‍රියවේද, කණට මිහිරිවේද, ප්‍රෙම කළයුතුද, හදපතුළටම යන සුළුද, පුරවැසියන් විසින් ව්‍යවහාර කරන්නේද, බොහෝ දෙනා කැමතිවන්නහුද, බොහෝ දෙනාගේ මන වඩන්නේද, එබඳුවූ වචනය කියන්නෙක්වීමි.‘

හිස් වචන කීමහැර හිස් වචන කීමෙන් වෙන්වූයේ වීමි. සුදුසු කාලයෙහි කියන සුළුවූ, සිදුවූ දෙය කියන සුළුවූ, අර්ථවත් දෙය කියන සුළුවූ, ධර්මයෙන් යුත් දෙය කියන සුළුවූ, විනයෙන් යුත් දෙය කියන සුළුවූ විනයෙන් යුත් දෙය කියන සුළුවූ නිධානයක් මෙන්වූ, සිතේ තබාගැනීමට සුදුසුවූ, සුදුසු කල්හි කරුණු සහිතව අර්ථවත්වූ, ප්‍රමාණවත් වචන කියන්නෙක් වීමි.

ඒ මම පැලවෙන්නාවූ නිල් තණ පැලෑටි යනාදිය කැඩීමෙන් බිඳීමෙන් වෙන්වූයේ වීමි.

රාත්‍රි භෝජනයෙන් වැළකුණේ ඒක භක්තික වීමි.

නැටීම්, ගැයීම්, වැයීම් විසුළු දැකීමෙන් වෙන්වූයේ වීමි.

සැරසීමට හා අලංකාරයට කරුණුවු මල් ගඳ විලවුන් දැරීමෙන් වෙන්වූයේ වීමි.

උස් ආසන මහ ආසනවලින් වෙන් වූයේ වීමි.

රන් රිදී (මසු කහවණු) පිළිගැන්වීමෙන් වෙන්වූයේ වීමි.

අමු ධාන්‍ය පිළිගැණීමෙන් වෙන්වූයේ වීමි.

අමු මස් පිළිගැණීමෙන් වෙන්වූයේ වීමි.

ස්ත්‍රීන් හා කන්‍යාවන් පිළිගැණීමෙන් වෙන්වූයේ වීමි.

දාසි දාසයන් පිළිගැණීමෙන් වෙන්වූයේ වීමි.

එළු බැටළුවන් පිළිගැණීමෙන් වෙන්වූයේ වීමි. කුකුළන් හූරන් පිළිගැණීමෙන් වෙන්වූයේ වීමි. ඇත් ගව අස් වෙළඹුන් පිළිගැණීමෙන් වෙන්වූයේ වීමි.

කෙත් වත් පිළිගැණීමෙන් වෙන් වූයේ වීමි.

දූතයන් විසින් කරණු ලබන පණිවුඩ පණත් ගෙණ යාමෙන් වෙන්වූයේ වීමි.

තරාදි ලොහො සේරු ආදියෙන් කරණ සොර වෙළඳාමෙන් වෙන්වූයේ වීමි’

අල්ලස් ගැණීම්, රැවටුම්, රන්වැනි දෙය රන්ය යනාදීන් කරණ වඤ්චා යන මේ වංකකම්වලින් වෙන්වූයේවීමි.‘

අත් පා කැපීම්, මැරීම්, බැඳීම්, සැඟවී මුළාකිරීම්, ගම් පැහැරීම්, බලයෙන් ගැනීම් ආදියෙන් වෙන්වූයේ වෙමි.‘

ඒ මම කයට පොහොනා තරම්වූ සිවුරෙන්ද කුසට පොහොනා තරමවූ පිණ්ඩපාතයෙන්ද සතුටු වූයේ වීමි.

යම් යම් තැනකට ගියෙම්ද (සිවුරු පිරිකර) රැගෙණම ගියෙමි. යම්සේ පක්ෂියෙක්, තෙම යම් යම් තැනකට පියාඹායේද, පියාපත් බර සහිතවම පියාඹායේ. ඇවැත්නි, එපරිද්දෙන්ම මම කය පොහොනා සිවුරින් කුස පොහොනා පිණ්ඩපාතයෙන් සතුටුවූයේ වීමි. යම් යම් තැනකට ගියෙමි. (ඒ ඒ තැනට සිවුරු පිරිකර) රැගෙනම ගියෙමි.‘

ඒ මම මේ ආර්‍ය්‍යවූ ශීලස්කන්ධයෙන් සමන්විත වූයේ අධ්‍යාත්මිකවූ නිවැරදි සුවය වින්දෙමි.

මම ඇසින් රූප දැක නිමිති වශයෙන් නොගන්නේ, අනු ව්‍යඤ්ජන වශයෙන් නොගන්නේ වීමි. යම් හෙයකින් ඒ නිමිති ගැණීම හේතුකොටගෙණ චක්ඛුන්ද්‍රිය අසංවර කළවුන් අනුව ලෝභය හා දොම්නස් නම්වූ පවිටු අකුසල ධර්මයෝ වහනය වෙත්ද, එහෙයින් ඇසේ සංවරය පිණිස, පිළිපැද්දෙමි. ඇස රැක්කෙමි ඇසෙහි සංවරයට පැමිණියෙමි.

කණින් ශබ්දය අසා ලකුණු වශයෙන් නොගන්නේ, කුඩා ලකුණු වශයෙන් නොගන්නේවීමි යම් හෙයකින් ඒ නිමිති ගැණීම හේතුකොටගෙණ සෝතෙන්ද්‍රිය අසංවර කළවුන් අනුව ලෝභ දොස යන පවිටු අකුශල ධර්මයන් වහනය වෙත්ද, එහෙයින් ඔහුගේ සංවරය පිණිස පිළිපැද්දෙමි.

නාසයෙන් ගන්ධය දැන ලකුණු වශයෙන් කුඩා ලකුණු වශයෙන් නොගන්නේ වීමි. යම් හෙයකින් ඒ ලකුණු වශයෙන් කුඩා ලකුණු වශයෙන් ගැනීම හේතුකොටගෙණ ඝාණෙන්ද්‍රිය ලකුණු වශයෙන් නොගන්නේ, කුඩා ලකුණු වශයෙන් නොගන්නේ, වීමි.

යම් හෙයකින් ඒ නිමිති ගැණීම හේතුකොටගෙණ සොතෙන්ද්‍රිය සංවර කළවුන් අනුව ලෝභ දොස යන පවිටු අකුශල ධර්මයන් වහනය වෙත්ද, එහෙයින් ඔහුගේ සංවරය පිණිස පිළිපැද්දෙමි.

දිවෙන්ද රස විඳ ලකුණු වශයෙන් නොගන්නේ. කුඩා ලකුණු වශයෙන් නොගන්නේ වීමි. යම් හෙයකින් ඒ ලකුණු වශයෙන් ගැනීම කුඩා ලකුණු වශයෙන් ගැනීම හේතුකොටගෙණ ජිව්හෙන්ද්‍රිය ලකුණු වශයෙන් නොගන්නේ කුඩා ලකුණු වශයෙන් නොගන්නේ වීමි. යම් හෙයකින් ඒ නිමිති ගැනීම හේතුකොටගෙණ ජිව්හා ඉන්ද්‍රිය සංවර කළවුන් අනුව ලෝභ දොස යන පවිටු අකුසල ධර්මයන් වහනය වෙත්ද, එහෙයින් ඔහුගේ සංවරය පිණිස පිළිපැද්දෙමි.

කයින් ස්පර්ශය ස්පර්ශකොට ලකුණු වශයෙන් නොගන්නේ, කුඩා ලකුණු වශයෙන් නොගන්නේ, වීමි. යම් හෙයකින් ඒ නිමිති ගැනීම හේතුකොටගෙණ කායෙන්ද්‍රිය ලකුණු වශයෙන් නොගන්නේ, කුඩා ලකුණු වශයෙන් නොගන්නේ වීමි. යම් හෙයකින් ඒ නිමිති ගැනීම හේතු කොටගෙණ කාය ඉන්ද්‍රිය සංවර කළවුන් අනුව ලෝභ දොස යන පවිටු අකුශල ධර්මයන් වහනය වෙත්ද, එහෙයින් ඔහුගේ සංවරය පිණිස පිළිපැද්දෙමි.

මනසින් ධර්මය (ධර්මා ලම්බනය) දැන නිමිති වශයෙන් නොගන්නේ අනු ව්‍යඤ්ජන වශයෙන් නොගන්නේ වීමි. යම් හෙයකින් ඒ නිමිති ගැනීම හේතුකොට මනින්ද්‍රිය අසංවර කළ වුන් අනුව ලෝභය හා දොම්නස නම් පවිටු අකුශල ධර්මයෝ වහනය වෙත්ද එහෙයින් සිතේසංවරය පිණිස පිළිපැද්දෙමි. මනින්ද්‍රිය රැක්කෙමි. මනින්ද්‍රියෙහි සංවරයට පැමිණියෙමි.

එසේ මම මේ ආර්‍ය්‍යවූ ඉන්ද්‍රිය සංවරයෙන් යුක්තවූයේ අධ්‍යාත්මිකවූ කෙලෙස් හා අමිශ්‍රවූ සුවය වින්දෙමි.

‘ මම ඉදිරියට යාමෙහිද, ආපසු ඊමෙහිද, සතියෙන් යුක්තවූයේවීමි. ඉදිරිපස බැලීමෙහිද හැරී බැලීමෙහිද නුවණින් යුක්තවීමි. (අත්පා) දිගු කිරීමෙහිද, හැකිලීමෙහිද, සතියෙන් යුක්තවීමි. සඟලසිවුර පාත්‍රසිව්රු දැරීමෙහිද නුවණින් යුක්ත වීමි. අනුභව කිරීමෙහි, පීඹෙහි, කෑමෙහි රසවිඳ ගැන්මෙහි සතියෙන් යුක්තවීමි. මලමුත්‍ර කිරීමෙහි නුවණින් යුක්තවීමි. යාමෙහි සිටීමෙහි හිඳීමෙහි නිදීමෙහි නිදිමැරීමෙහි කීමෙහි, නිශ්ශබ්දවීමෙහි සතියෙන් යුක්තවීමි.

‘ මම මේ ආර්‍ය්‍ය වූ සීලස්කන්ධයෙන්ද සමන්විත වූයේ මේ ආර්‍ය්‍යවූ ඉන්ද්‍රිය සංවරයෙන්ද සමන්විත වූයේ මේ ආර්‍ය්‍යවූ සිහිනුවණින්ද යුක්ත වූයේ අරණ්‍යය, වෘක්ෂ මූලය, පර්වතයක කඳුරැළිය, ගිරිගුහාවය, සොහොනය, කැලෑවෙහිය, දුරසෙනසුනය (අභ්‍යවකාසය) එලිමහනය පිදුරුගොඩය යන විවේක සෙනසුනක් භජනය කෙළෙමි.

‘මම සවස් කල පිණ්ඩපාතයෙන් පෙරළා අවුත් අරමිනිය ගොතා හිඳ කය කෙළින් තබා සතිය පෙරටුකොට එලවා හුන්නෙමි. මම ස්කන්ධ ලෝකයෙහි ආශාව දුරු කොට පහවූ ආශාවෙන් යුත් සිතින් විසීමි. ආශාවෙන් සිත මුදා පිරිසිදු කෙළෙමි.
ක්‍රෝධය හැර ක්‍රෝධයෙන් තොරවූ සිත් ඇත්තේ සියළු සත්වයන් කෙරෙහි අනුකම්පා ඇතිව විසීමි.
ව්‍යාපාද දොෂයෙන් සිත පිරිසිදු කෙළෙමි.
ථීනමිද්ධය හැර පහවූ ථීනමිද්ධය ඇත්තේ ආලෝක සඥාවෙන් යුක්තවූයේ සතියෙන් හා ප්‍රඥාවෙන් යුක්තවූයේ විසීමි. ථීනමිද්ධයෙන් සිත පිරිසිදු කෙළෙමි.
උද්ධච්චකුක්කුච්චය හැර ඇතුළත සංසිඳවූ සිත් ඇත්තේ උද්ධච්චකුක්කුච්ච රහිතව විසීමි. උද්ධච්චකුක්කුච්චයෙන් සිත පිරිසිදු කෙළෙමි.
විචිකිච්ඡාව හැර එතර කළ විචිකිච්ඡා ඇත්තේ සැක රහිත වූයේ විසීමි. කුශල ධර්මයන්හි වූ සැකයෙන් සිත පිරිසිදු කෙළෙමි.

මම මේ ප්‍රඥාව දුර්වල කරන්නාවූ සිත කිලිටි කරන්නාවූ පඤ්ච නීවරණයන් හැර කාමයන්ගෙන් වෙන්ව, අකුශල ධර්මයන්ගෙන් වෙන්ව විතර්ක සහිතවූ විචාර සහිතවූ විවේකයෙන් හටගත් ප්‍රීති සුඛ ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ විසීමි.

විතර්ක විචාරයන්ගෙන් සංසිඳීමෙන් ඇතුළත පහද වන්නාවූ සිත එකඟ කරන්නාවූ විතර්ක රහිතවූ විචාර රහිත වූ සමාධියෙන් හටගත් ප්‍රීති සුඛය ඇති දූතියධ්‍යානයට පැමිණ විසීමි.

ප්‍රීතියෙන්ද වෙන්වීමෙන් උපෙක්ෂා සහිතවූයේ විසීමි. සිහියෙන් යුක්ත වූයේ ප්‍රඥාවෙන් යුක්ත වූයේ සුඛයද, කයින් වින්දෙමි. උපේකෂා සහිත වූයේ සිහියෙන් යුක්තවූයේ සුවසේ වෙසේයයි ඒ යම් ධ්‍යානයකට ආර්‍ය්‍යයෝ කියත්ද, ඒ තෘතියධ්‍යානයට පැමිණ විසීමි.

සුඛයද පහ කිරීමෙන් දුක්ඛයද පහ කිරීමෙන් පළමුවම සොම්නස් දොම්නස් දෙදෙනාගේ දුරු කිරීමෙන් දුක්ද නොවූ සැපද නොවූ උපෙක්ෂාවෙන් හා සිහියෙන් පිරිසිදුවූ චතුර්ථ ධ්‍යානයට පැමිණ වාසය කෙළෙමි.

‘මම මෙසේ සිත සමාධිගතවූ කල්හි පිරිසිදුවූ කල්හි කෙලෙස් රහිත වූ කල්හි උපක්ලේෂ රහිතවූ කල්හි මෘදුවූ කල්හි, කර්මණ්‍ය වූ කල්හි නිශ්චල වූ කල්හි නොසැලෙන බවට පැමිණියාවූ කල්හි ආශ්‍රවයන්ගේ ක්ෂය පිණිස සිත නැමීමි.

‘මම මේ දුකයයි තත්වූ පරිදි දැනගත්තෙමි මේ දුක්ඛ සමුදය (දුක් ඉපදීමේ හේතුව) යයි තත්වූ පරිදි දැනගත්තෙමි. මේ දුක්ඛ නිරෝධය (දුක් නැතිවීම) යයි තත්වූ පරිදි දැන ගත්තෙමි. මේ දුක්ඛ නිරෝධ ගාමිණී ප්‍රතිපදාව (දුක් නැති කිරීමේ ප්‍රතිපත්තිය) යයි තත්වූ පරිදි දැන ගත්තෙමි.

මේ ආශ්‍රවයෝ යයි තත්වූ පරිදි දැන ගත්තෙමි. මේ ආශ්‍රව ඉපදීමේ හේතුව (ආසව සමුදය) යයි තත්වූ පරිදි දැන ගත්තෙමි. මේ ආශ්‍රව නැතිවීම (ආසව නිරෝධ) යයි තත්වූ පරිදි දැනගත්තෙමි. මේ ආශ්‍රව නිරෝධයට යන ප්‍රතිපදාව (ආසව නිරෝධ ගාමිණී පටිපදා) යයි තත්වූ පරිදි දැන ගත්තෙමි.

‘මෙසේ දන්නාවූ මෙසේ දක්නාවූ මාගේ සිත කාමාශ්‍රවයන්ගෙන්ද මිදුනේය. භවාශ්‍රවයන්ගෙන්ද මිදුනේය. අවිද්‍යාශ්‍රවයන්ගෙන්ද සිත මිදුනේය. මිදීමෙහි මිදුණේය යන නුවණ පහළ විය. නැවත නැවත ඉපදීම නැති විය. බ්‍රහ්මචර්‍ය්‍යාව වැස නිමවන ලදි, කටුයතු දෑ කරණ ලදි. මේ (දුක් නැතිකිරීම) මින්මතු කළ යුත්තක් නැතැයි දැනගතිමි.

“ඇවැත්නි, ‘මේ විඤ්ඤාණ සහිත කයෙහිද බාහිරවූ සියළු නිමිතින්ද මෙසේ දන්නාවූ මෙසේ දක්නාවූ මාගේ මමය මාගේයයි ගන්නා මානානුශයෝ මැනවින් උපුටා දමන ලදහ’ කියායි.

“ඇවැත්නි, ඒ භික්ෂුවගේ කීම යහපතැයි කියා පිළිගත යුතුයි. ඒ අනුව සතුටු විය යුතුයි. යහපතැයි ඒ කීම පිළිගෙණ ඒ අනුව සතුටුව මෙසේ කියයුතු වන්නේය. “යම් හෙයකින් එබඳු ආයුෂ්මත්වූ බ්‍රහ්මචාරී කෙනෙක් දකිමුද, ඇවැත්නි, එය අපට ලාභයකි. ඇවැත්නි, එය අපට මනාවූ ලාභයකි.”

භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.
සතුටුවූ ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ වචනය සතුටින් පිළිගත්තාහුය.

MN 02-03-02 අග්ගි වච්ඡගොත්ත සූත්‍රය

තථාගතයන් පිරිනිවීමෙන් පසු කුමක් වේද යන්න ගැන සමහරක් අය තුල අද පවා මිත්‍යා මත ඇත. ඒ යුගයේ දඹදිව වූ බොහෝ ඇදහීම් වල අන්තිම ඵලය ලෙස බලාපොරොත්තු වුයේ සදාකාලික සැප ඇති සදාකාලික තලයක ඉපදීමයි. ඒ ගැන සමහරෙක් ඇසු ප්‍රශ්න සංයුක්ත නිකායේ අඛ්‍යාකත සංයුක්තය හිද සඳහන් වේ. වච්චගොත්ත පරිබ්‍රාජික තුමාද ඒ ප්‍රශනය ඇසු කල භාග්‍යවතුන් වහන්සේ දුන් මේ දේසනාව නිවුණු ගින්නක් කොහි ගියේදැයි උපමාව ගෙන කල නිසා අග්ගි වච්චගොත්ත සුත්‍රය ලෙස දැක්වේ. මේ දේසනාවෙන් පසු මෙම පරිබ්‍රාජික තුමා තිසරණය සරණගිය උපාසකයෙක් බවට පත් වීය. සුත්‍රයේ කථා රසය පමණක් නොව නිවන් දකින්නේ කුමක් නැති කර දැමීමෙන්ද යන්න යන්තමටවත් දැනගැනීම මේ කියවීමෙන් ඔබට හැකිවේවා යි පතමි.

පූජ්‍යපාද ඉදුරුහේනේ ධමිමදේව ස්වාමින් වහන්සේ
මීට වඩා හොඳ දේසනාවක් ගැන දන්නේනම් කරුණාකර දන්වා එවන්න

§ 1, මා විසින් මෙසේ අසනලදී.
එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර අනේපිඩු මහ සිටුහු ඉදි කරවා පුජා කල ජෙතවන ආරාමයෙහි වාසය කළහ.

§ 2. එකල්හි වච්ඡගොත්ත නම් පරිව්‍රාජකයා, භාග්‍යවතුන් වහන්සේ හා ධර්ම කතාවක යෙදෙනු කැමැත්තෙන් එහි ගොස් උන් වහන්සේ හා ආ ගිය කථා කොට නිමවා මෙසේ ඇසීය.

“භවත් ගෞතමයන් වහන්ස, මේ දඹදිව ඉන්නා බොහෝ සාස්ත්රුවරු සාකච්චාකරනු ලබන, නොයෙක් මත ගෙන හැර දක්වන ප්‍රශ්න දහයක් වෙයි. මම ඒ ගැන මෙසේ ඔබ වහන්සේගෙන් අසා ඔබේ මතය දැනගනු කැමැත්තෙමි.717

[717:- මේ ප්‍රශ්න අසන වච්චගොත්ත පරිබ්රාජිකයා මේ මතයන් පිළිගත් කෙනෙක් නොව සමාජයේ ඇති දාර්ශනික ආගමික ප්‍රශ්න ගොන්නම භාග්‍යවතුන් වහන්සේගෙන් අසන්නේ මේ ධර්මයේත් අන්‍ය ධර්මවලත් ඇති වෙනස හඳුනාගැනීමටයි. වච්ච්ගොත්තට දේසනා කල සුත්‍ර ධර්ම තුනක් මජ්ජිම නිකායේ ඇතුලත් වේ.]

§ 3. ” ලෝකය සදාකාලිකය කියන මතය , එනම් සාස්වත දිට්ඨිය ගෞතමයන් වහන්සේ පිළිගන්නේද?‘
එනම් අප මිය ගිය විට නැවත නැවත මෙහිම උපදින්නේය එනම් අපේ ආත්මය සදාකාලිකය, මෙය පමණක්ම සත්‍යය. මෙයින් වෙනස් අන්‍ය මත අසත්‍යය” යන දෘෂ්ටිය ඔබ වහන්සේ දරන්නේ ද?”
“වච්ඡය, මම ‘ලෝකය සදාකාලිකය, මෙයම සත්‍යයි මෙයින් අන්‍ය මත සිස්ය, යන දෘෂ්ටිය නොදරමි.”

§ 4 .“භවත් ගෞතමයන් වහන්ස,
භවත් ගෞතමයන් උච්චේද දෘෂ්ඨිය දරන්නේද? ;
එනම් මේ ජීවිතය මේ ජීවිතයෙන්ම නිම වන්නේය. අපේ නැවත අන් පැවැත්මක් නැත.’ යන මේ ‘ලෝකය සදාකාලික නොවේ. මෙයම සත්‍යයි මෙයින් අන්‍ය මත හිස්ය, යන දෘෂ්ටිය දරන්නේ ද?”
“වච්ඡය, තථාගතයන් ‘ලෝකය සදාකාලික, නොවේ. මෙයම සත්‍යය මෙයින් අන්‍ය මත සිස්ය, යන දෘෂ්ටිය නොදරන්නේය. .”

§ 5, “භවත් ගෞතමයන් වහන්ස, භවත් ගෞතමයන් ‘මේ ජීවිතය සීමිතය. අප නැවත උපදින නියමිත වාරගණනක් ඇත. ඒ නියමිත උපදීම් පසු නැවත ඉපදීමක් නැත”.යන දිට්ඨිය දරන්නේද? ‘ . මෙයම සත්‍යය, මෙයින් අන්‍ය වූ මත අසත්‍යය’යි, යන මතය දරන්නේ ද?”
“ වච්ඡය, තථාගතයන්, ‘මේ ජීවිතය සීමිතය. එයින් ම නිම වන්නේය. මෙයම සත්‍යය, මෙයින් අන්‍ය මත බොරු ය.’යි දෘෂ්ටියක් නොදරමි. ”

§ 6 “භවත් ගෞතමයන් වහන්ස, කිමෙක්ද? ඔබ ‘මේ ජීවිතය අසීමිතය. මැරෙමින් ඉපිදමින් යන වාර ගණන අසීමිතය. එනිසා ලෝකයෙහි කෙළවරක් නැත්තේය මේ ජීවිතයෙන් කිසිදා නිම නොවන්නේය. මෙයම සත්‍යය, මෙයින් අන්‍ය මත අසත්‍යය ය” ’යි යන දෘෂ්ටිය දරන්නේ ද?” ”
“වච්ඡය, තථාගතයන් ‘ලොකයෙහි කෙළවරක් නැත්තේය. මෙයම සත්‍යය, මෙයින් අන්‍ය මත බොරුය’යි යන දෘෂ්ටිය නොදරමි. ”

§ 7. “භවත් ගෞතමයන් වහන්ස, කිමෙක්ද? භවත් ගෞතමයන් මේ ‘ශරීරය සහ ආත්මය එකක් ම වේ,718 මෙයම සත්‍යය, මෙයින් අන්‍ය වූ මත සිස්ය’යි, මෙබඳු දෘෂ්ටියක් දරන්නේ ද?” ”
“වච්ඡය තථාගතයන් ‘ශරීරය සහ ආත්මය එකක්මය යන දෘෂ්ඨියක් නොදරයි, මෙයම සත්‍යය, මෙයින් අන්‍යමත සිස්ය’යි, මෙබඳු දෘෂ්ටියක් ද නොදරයි .”

[718:-ආත්මය සහ ශරීරය යනු එකක්මය ඒ දෙකම එකකි ය යන මතය භෞතික වාදය වෙයි. ජීවාත්මය හා ශරීරය එකට බැදී ඇති බව කියවෙන මේ දෘෂ්ඨිය ට ප්‍රතිවිරුද්ධ වන මී ලඟට අසන ප්‍රශ්නයේ තේරුම නම් ආත්මය ශරීරය ට වඩා උසස් හා ශරීරයෙන් තොරව පැවතිය හැකි බව හැඟවෙන බොහෝ අය අදහන ආත්ම වාදය පිළිගන්නේද යන්නයි.]

§ 8 .“භවත් ගෞතමයන් වහන්ස, එසේ නම් භවත් ගෞතමයන් ‘ ආත්මය එකක් වේ. ශරීරය අනිකක් වේ. මෙයම සත්‍යය, මෙයින් අන්‍යමත සිස්ය’යි, මෙබඳු දෘෂ්ටියක් දරන්නේ ද?”
“ වච්ඡය, තථාගතයන් ‘ආත්මය අනිකක් වේ. ශරීරය අනිකක් වේ. මෙයම සත්‍යය, මෙයින් අන්‍යමත සිස්යයි මෙබඳු දෘෂ්ඨියක් නොදරයි . ”

§ 9. “භවත් ගෞතමයන් වහන්ස, ‘තථාගතයන් මරණින් මතුවද පවතීයි. මෙයම සත්‍යය, මෙයින් අන්‍යමත සිස්ය’යි, මෙබඳු දෘෂ්ටි දරන්නේද ?”
“වච්ඡය, මම ‘තථාගතයන් මරනින් පසුවද වේ. මෙයම සත්‍යය, මෙයින් අන්‍යමත සිස්ය’යි, දෘෂ්ටියක් නොදරමි.” 719.

[719:- මරණින් මතු වැඩ පැවතෙන ස්වභාවයක් පිණිස තවුස් දම් පිරීම සමහර තවුසන් කලනිසා මේ සාසනයේ ඉහලම ඵල ලද්දෙක් ශරීරයේ අවසනට පසුවද ඉතිරි වේයයි ඔහුගේ ආත්මය ශරීරය සමග මිය නොයන්නේ යයි යන දිට්ඨිය තතාගතයන්ට නොනැසෙන ආත්මයක් ඇතැයි යන මිච්චා දිට්ඨිය පාදක කොට ඇතිකරගත් එකක් බවත් මී ලන්ගට ඇති අනෙක් ප්‍රශ්න දෙකෙන්ම තථාගතයන් ආත්මයක් සහිත වූ වෙක් බව මත ගොඩ නැගුනු ඒවාය. භාග්‍යවතුන් වහන්සේ ඒ ප්‍රශ්න තුනටම ඒ ප්‍රශ්නය අදාළ නොවේ. නුසුදුසුය. ලෙස නිෂ්ප්‍රභා කර වදාළේ මේ මිච්චා දිට්ඨිය මත සිට ඇසු වැරදි ප්‍රශ්න නිසාය.[

§ 10. . “භවත් ගෞතමයන් වහන්ස, භවත් ගෞතමයන් ‘තථාගතයන් මරණින් මතු නොවේ. මෙයම සත්‍යය, මෙයින් අන්‍යමත සිස්ය’යි, මෙබඳු දෘෂ්ටියක් දරන්නේ ද?” ”
“ වච්ඡය, මම ‘තථාගතයන් මරණින් මත්තෙහි නොවේ.’ මෙයම සත්‍යය මෙයින් අන්‍යමත සිස්ය’යි, මෙබඳු දෘෂ්ඨියක් නොදරයි . ”

§ 11.. “භවත් ගෞතමයන් වහන්ස, කිමෙක්ද? භවත් ගෞතම තෙමේ ‘තථාගතයන් මරණින් මතු වන්නේද වෙයි. නොවන්නේද වෙයි, මෙයම සත්‍යය, මෙයින් අන්‍ය මත සිස්ය’යි, මෙබඳු දෘෂ්ටි දරන්නේ ද?” ”

“වච්ඡය, මම ‘තථාගතයන් මරණින් මත්තෙහි වන්නේද වෙයි, නොවන්නේද වෙයි මෙයම සත්‍යය, මෙයින් අන්‍ය මත සිස්ය’යි, දෘෂ්ඨියක් නොදරයි . ”

§ 12.. “භවත් ගෞතමයන් වහන්ස, කිමෙක්ද? භවත් ගෞතමයන්, ‘තථාගතයන් මරණින් මතු නොම වෙයි. නොවන්නේ නොවෙයි, මෙයම සත්‍යය. මෙයින් අන්‍ය මත සිස්ය’යි මෙබඳු දෘෂ්ටියක් දරන්නේ ද?”

“ වච්ඡය, තථාගතයන් සත්වයා මරණින් මත්තෙහි නොමවෙයි. නොවන්නේ නොවෙයි. මෙයම සත්‍යය, මෙයින් අන්‍ය මත සිස්ය’යි, මෙබඳු දෘෂ්ටි නොදරමි. ”

§ 13 . “භවත් ගෞතමයන් වහන්ස, කිමෙක්ද? භවත් ගෞතමයන් අප, ‘ලොකය සදාකාලික වේ. මෙයම සත්‍යය. මෙයින් අන්‍ය මත සිස්ය’යි, මෙබඳු දෘෂ්ටි ඇත්තේදැයි මෙසේ විචාරණ ලද්දේ ‘වච්ඡය මම ලොකය සදාකාලිකය, මෙයම සත්‍යය, මෙයින් අන්‍ය මත සිස්ය’යි මෙබඳු දෘෂ්ටි නොදරමි. ’ කීවෙහිය.

[ සියලු ප්‍රශ්න හා ඒවාට පිළිතුරු ලෙස භාග්‍යවතුන් වහන්සේ වදාළ දේ වචිගොත්ත නැවත අසනු නැවත සඳහන් කරනු පහත ලා පැහැයෙන් දැක්වේ.]

§ 14.“භවත් ගෞතමයන් වහන්ස, කිමෙක්ද? භවත් ගෞතමයන් , ලොකය ශාස්වත නොවේ. මෙයම සත්‍යය. මෙයින් අන්‍ය මත සිස්ය’යි, මෙබඳු දෘෂ්ටි ඇත්තේදැ?’යි මෙසේ විචාරණ ලද්දේද ‘වච්ඡය, මම, ලොකය සදාකාලික නොවේ. මෙයම සත්‍යය, මෙයින් අන්‍ය මත සිස්ය’යි, මෙබඳු දෘෂ්ටි ඇත්තේද නොවෙමියි කීයෙහිය.

“භවත් ගෞතමයන් වහන්ස, කිමෙක්ද, භවත් ගෞතම තෙමේ, ලොකය කෙළවර ඇත්තේය. මෙයම සත්‍යය, මෙයින් අන්‍යමත සිස්ය’යි මෙබඳු දෘෂ්ටි ඇත්තේද?’යි මෙසේ විචාරණ ලද්දේද ‘වච්ඡය, මම ලොකය කෙළවර ඇත්තේය. මෙයම සත්‍යය, මෙයින් අන්‍ය මත සිස්ය’යි, මෙබඳු දෘෂ්ටි නොදරමි. යි’ කීයෙහිය.

“භවත් ගෞතමයන් වහන්ස, කිමෙක්ද, භවත් ගෞතම තෙමේ ලොකය කෙළවර නැත්තේය. මෙයම සත්‍යය, මෙයින් අන්‍ය මත සිස්යයි, මෙබඳු දෘෂ්ටි ඇත්තේදැයි මෙසේ විචාරන ලද්දේද ‘වච්ඡය, මම ලොකය කෙළවර නැත්තේය. මෙයම සත්‍යය, මෙයින් අන්‍ය මත සිස්ය’යි, මෙබඳු දෘෂ්ටි නොදරමි.”යි කීයෙහිය.

භවත් ගෞතමයන් වහන්ස, කිමෙක්ද? භවත් ගෞතමයන් ආත්මය හා ශරීරය එකටම වේ, මෙයම සත්‍යයි. මෙයින් අන්‍ය මත හිස්යයි, මෙබඳු දෘෂ්ටි දරන්නේදැයි ?’යි මෙසේ විචාරණ ලද්දේද, ‘වච්ඡය, මම එය ජීවය එය ශරීරය එකක්ම වේ යන දිට්ඨිය නොදරී’මි , මෙයම සත්‍යය මෙයින් අන්‍ය මත සිස්යයි මම මෙබඳු දෘෂ්ටි නොදරමි”යි කීයෙහිය.

“භවත් ගෞතමයන් වහන්ස, කිමෙක්ද? භවත් ගෞතම තෙමේ ආත්මය අනිකක, ශරීරය අනිකක, මෙයම සත්‍යය, මෙයින් අන්‍ය මත සිස්යයි, මෙබඳු දෘෂ්ටි ඇත්තේද?” මෙසේ විචාරණ ලද්දේද, “වච්ඡය, ජීවය අනිකක, ශරීරය අනිකක, මෙයම සත්‍යය, මෙයින් අන්‍යමත සිස්යයි, මම මෙබඳු දෘෂ්ටි නොදරමි. යි’ කීයෙහිය.

“භවත් ගෞතමයන් වහන්ස, කිමෙක්ද, භවත් ගෞතමයන්, සත්වතෙම මරණින් මත්තෙහි වෙයි. මෙයම සත්‍යය, මෙයින් අන්‍ය මත සිස්යයි, මෙබඳු දෘෂ්ටි ඇත්තේද?” මෙසේ විචාරණ ලද්දේද, ‘වච්ඡය, සත්ව තෙම මරණින් මත්තෙහි වෙයි. මෙයම සත්‍යය, මෙයින් අන්‍ය මත සිස්යයි, මම මෙබඳු දෘෂ්ටි නොදරමි. යි’ කීයෙහිය.

“භවත් ගෞතමයන් වහන්ස, කිමෙක්ද? භවත් ගෞතම තෙමේ, සත්වතෙම මරණින් මත්තෙහි නොවෙයි. මෙයම සත්‍යය, මෙයින් අන්‍ය මත සිස්යයි, මෙබඳු දෘෂ්ටි ඇත්තේදැයි, මෙසේ විචාරණ ලද්දේද, “වච්ඡය, සත්ව තෙම මරණින් මත්තෙහි නොවෙයි. මෙයම සත්‍යය, මෙයින් අන්‍ය මත සිස්යයි මම මෙබඳු දෘෂ්ටි නොදරමි.” කීයෙහිය.

“භවත් ගෞතමයන් වහන්ස, කිමෙක්ද? භවත් ගෞතම තෙමේ, සත්ව තෙම මරණින් මත්තෙහි වන්නේද වෙයි, නොවන්නේද වෙයි, මෙයම සත්‍යය, මෙයින් අන්‍ය මත සිස්යි මෙබඳු දෘෂ්ටි ඇත්තේද? මෙසේ විචාරණ ලද්දේද, ‘වච්ඡය, මම සත්ව තෙම මරණින් මත්තෙහි වන්නේද වෙයි, නොවන්නේද වෙයි, මෙයම සත්‍යය, මෙයින් අන්‍යමත සිස්යයි මෙබඳු දෘෂ්ටි නොදරමි. යි’ කීයෙහිය.

“භවත් ගෞතමයන් වහන්ස, කිමෙක්ද?
භවත් ගෞතමයනි, තථාගතයන් මරණින් මත්තෙහි නොමවෙයි. නොවන්නේත් නොවෙයි. මෙයම සත්‍යය, මෙයින් අන්‍යමත හිස්ය, මෙබඳු දෘෂ්ටියක් ඇත්තේද? “
‘වච්ඡය, තථාගතයන් මරණින් මත්තෙහි නොමවෙයි. නොවන්නේත් නොවෙයි. මෙයම සත්‍යය, මෙයින් අන්‍යමත සිස්යයි, මම මෙබඳු දෘෂ්ටි නොදරමි. යි’ කීයෙහිය.

§ 4. “භවත් ගෞතමයනි , ඔබ කිනම් ආදීනවයක් දකිමින් මෙසේ මේ සියලු දෘෂ්ටි වලට නොපැමිණියේද?”719

“වච්ඡය, ලෝකය ශාස්වතය යන මේ දෘෂ්ටිය, දෘෂ්ටි වනයකි, දෘෂ්ටි කාන්තාරයකි , දෘෂ්ටි හුලකි, දෘෂ්ටි චපල බවය, දෘෂ්ටි සංයොජනය දුක් සහිතය, උවදුරු සහිතය, වෙහෙස කරවන සුළුය, දැවිලි සහිතය,

ඒ දෘෂ්ඨිය සසර කලකිරීම පිණිස, භවයෙහි නොඇලීම පිණිස, දුක් නැතිකිරීම පිණිස, ක්ලේශ සංසිඳීම පිණිස, දැනීම පිණිස, අවබොධය පිණිස, නිර්වාණය පිණිස හේතු නොවෙයි. උපකාර නොවෙයි.

[719: දෘෂ්ඨිය යන වචනයේ අර්ථය කුමක්දැයි පළමුව වටහා ගැනීම වටී. දෘෂ්ඨියක් යනු යමෙක් පැමිණ සිටිනා පිළිගන්න මතයකි. එසේ පිළිගැනීමට කාරනා අන්‍යයන් ගේ කීම නිසා, දෙසනා නිසා, කියන්නාගේ ගති නිසා විය හැක. යම් කෙනෙකු විස්වාස කොටගෙන ඔහු කියන දේ විස්වාස කරගෙන සිය දිට්ටිය ලෙස අදහයි. භාග්‍යවතුන් වහන්සේට දිට්ඨි කිසිවක් නැතැයි කියන්නේ සර්වඥ වූ භාග්‍යවතුන් වහන්සේ සියල්ල සිය ස්වයන්භු ඥානයෙන් දැන දැකගත් නිසාය. එය දිට්ඨියක් නොව ස්වයං අවබෝධයය.]

“වච්ඡය, ලොකය කෙළවර නැත්තේය යන දෘෂ්ටිය,ද ….. නිවන් පිණිස, නොපවතියි.

“වච්ඡය, එය ආත්මයවේ. එය ශරීරයවේය යන මේ දෘෂ්ටිය ද… , නිවන් පිණිස නොපවතියි.

“වච්ඡය, ජීවය අනිකක, ශරීරය අනිකක යන මේ දෘෂ්ටිය,ද ………. නිවන් පිණිස නොපවතියි.

“වච්ඡය, සත්වයා මරණින් මත්තෙහි වේය යන මේ දෘෂ්ටිය, ද දෘෂ්ටි වනය…….

“වච්ඡය, සත්වයා මරණින් මත්තෙහි නොවේය යන දෘෂ්ටිය ද , ……

“වච්ඡය, සත්වයා මරණින් මත්තෙහි වන්නේද වෙයි, නොවන්නේද වෙයි යන දෘෂ්ටිය, ……. නිවන් පිණිස නොපවතියි.

“වච්ඡය, තථාගතයන් මරණින් මත්තෙහි නොමවෙයි. නොවන්නේත් නොවෙයි යන දෘෂ්ටියද ….. නිර්වාණය පිණිස නොපවතියි.

වච්ඡය, මම මේ දොෂ දකිමින් මේ දෘෂ්ටිවලට සියලු ආකාරයෙන් නොඑළඹුනෙමියි” කීහ.

“එසේනම් භවත් ගෞතමයන් වහන්සේගේ වෙනත් කිසියම් දෘෂ්ටියක් ඇද්ද?”
“වච්ඡය, “දෘෂ්ටිය” යන මෙය තථාගතයන් විසින් බැහැර කරන ලදී.

§ 15. වච්ඡය, තථාගතයන් විසින්
රූපය මේය, රූපයේ හේතුව මේය. රුපයේ නැතිවීම මේය,
වෙදනාව මේය, වෙදනාවගේ හෙතුව මේය. වෙදනාවගේ විනාසය මේය.
සංඥාව මේය, සංඥාවගේ හෙතුව මේය. සංඥාවගේ විනාසය මේය.
සංස්කාරයෝ මොහුය. සංස්කාරයන්ගේ හේතුව මේය. සංස්කාරයන්ගේ විනාසය මේය.
විඤ්ඤාණය මේය, විඤ්ඤාණයාගේ හෙතුව මේය. විඤ්ඤාණයාගේ විනාසය මේයයි.
දන්නා ලද්දේමය.

එහෙයින් තථාගතයන් සියලු මඤ්ඤිතයන්ගේ (තණ්හා දිට්ඨි මානයන්ගේ)
සියලු මථතයන්ගේ (තණ්හාදිට්ඨිමානයන්ගේ) මමයයි ගන්නා දෘෂ්ටිය
මගේයයි ගන්නා තෘෂ්ණාව
මමයයි හඟින මානය
යන අනුශයයන්ගේ නැසීමෙන්, දුරුකිරීමෙන්, නිරුද්ධ කිරීමෙන්, හැරදැමීමෙන්, උපාදාන රහිතව මිදුනේයි කියමි
යි” වදාළේය.,

§ 16. “භවත් ගෞතමයන් වහන්ස, මෙසේ මිදුනාවූ සිත් ඇති භික්ෂුව මරණින් මතු කොහි උපදීද?
“වච්ඡය, උපදීය යනු භාවිතයට නොයෙදෙයි.“
“භවත් ගෞතමයන් වහන්ස, එසේ නම් රහත් භික්ෂුව නූපදීද?”
“වච්ඡය, නූපදී යනුද සුදුසු නොවෙයි” 721

[721:- රහතුන් වහන්සේ යලි නව භාවයකට පත්වීමක් , කය ශරීරයේ වෙනසක් නොවූ හෙයින් එම අර්ථයෙන් එම ප්‍රශ්නයට “අදාළ නොවේය” යි පිළිතුරු දුන් බවත් , පිරිනිවී රහතුන් යලි නුපදීය’යි පිළිතුරු දුන්නේ නම් වච්චගොත්තයන් ඒඋච්චේදවාදය ලෙස පටලවාගන්නට ඉඩ ඇති නිසා මෙසේ “අදාළ නොවේ” ය යන පිළිතුර දුන් බවත් අටුවාව කියයි.]

“භවත් ගෞතමයන් වහන්ස, එසේවීනම් රහත් භික්ෂුවක් යලි උපදීද, නූපදීද?”
“වච්ඡය, උපදීද, නූපදීද යනුද නොයෙදෙයි.”

“භවත් ගෞතමයන් වහන්ස, එසේවීනම්, නොමඋපදියි, නූපදින්නේත් නොවේද?”
“වච්ඡය, නොම උපදියි නූපදින්නේත් නොවෙයි යනුද නොයෙදේ”යයි වදාළේය.

“භවත් ගෞතමයන් වහන්ස, මෙසේ මිදුනු සිත් ඇති භික්ෂුව කොහි උපදීද?’
මෙසේ විචාරණ ලද්දේද, “වච්ඡය, උපදියි යනු නොයෙදේ යයි” කීයෙහිය.

“භවත් ගෞතමයන් වහන්ස, එසේවීනම් නූපදීද? මෙසේ විචාරණ ලද්දේද
“වච්ඡය, නූපදියි යනු නොයෙදේයයි” කීයෙහිය.

“භවත් ගෞතමයන් වහන්ස, එසේවීනම් උපදීද නූපදීද?”
මෙසේ විචාරණ ලද්දේද “වච්ඡය, උපදීද නූපදීද යනු නොයෙදේයයි” කීයෙහිය.

“භවත් ගෞතමයන් වහන්ස, නොම උපදියි, නූපදින්නේත් නොවේද?”
මෙසේ විචාරණ ලද්දේ “වච්ඡය, නොම උපදියි නූපදින්නේත් නොවේය යනු නොයෙදේයයි” කීයෙහිය.

§ 17. “භවත් ගෞතමයන් වහන්ස, මම මෙහිදී මං මුළාවට පත්වූයෙමි. ඔබ කියන දේ වටහාගන්නට නොහැකි බවට පත් වීමි. භවත් ගෞතමයන් වහන්සේගේ පළමු කථාවෙන් මා හට යම් ප්‍රසාද මාත්‍රයක් ඇතිවීද, එයද දැන් මට නැතිවිය.”
“වච්ඡය, නුඹගේ අන්දුන් කුන්දුන් වීම මුලාවට පත්වීම පුදුමයක් නොවේ.

§ 18. වච්ඡය, මේ ධර්මය ගැඹුරුය. දැකීම දුෂ්කරය අවබොධ කිරීම දුෂ්කරය, එනමුත් ශාන්තය, ප්‍රණීතය, තර්කයෙන් බැසගත නොහැක්කේය. සියුම්ය. පණ්ඩිතයන් විසින් දත යුතුය. අන්‍ය දෘෂ්ටිකවූ අනික් දෘෂ්ටියක් පිළිගන්නාවූ අනික් දෘෂ්ටියක් කැමතිවන්නාවූ අනික් දෘෂ්ටියෙක්හි සිත් යොදන්නාවූ අනික් දෘෂ්ටියක ගුරුවරුන් ඇත්තාවූ ඔබ විසින් ඒ ධර්මය දැනගැණීම දුෂ්කරය.

§ 19. “වච්ඡය, එසේවීනම් මෙහිලා මෙසේ අසමි.
ඔබ කැමැති පරිද්දෙන් එයට පිළිතුරු ප්‍රකාශ කරව. වච්ඡය ඒ කුමකැයි හඟින්නෙහිද?”
“ඉදින් ඔබ ඉදිරියෙහි ගින්නක් ඇවිලෙන්නේය. එවිට නුඹ ‘මාගේ ඉදිරියෙහි මේ ගින්න ඇවිලේ යයි දන්නෙහිද?
“භවත් ගෞතමයන් වහන්ස, ඉදින් මා ඉදිරියෙහි ගින්නක් ඇවිලෙන්නේ නම් මේ ගින්න මා ඉදිරියෙහි ඇවිලේයයි මම දනිමි.”

“වච්ඡය, ඉදින් ‘ මේ තොප ඉදිරියේ ඇවිලෙන ගින්න, කුමක් නිසා කුමක් හේතු කොටගෙන ඇවිලේද?” කියා යමෙක් අසන්නේ නම් වච්ඡය නුඹ කුමකැයි ප්‍රකාශ කරන්නෙහිද?
“භවත් ගෞතමයන් වහන්ස, ‘ඉදිරියේ ඇවිලෙන ගින්න, තෘණ දැව දර නිසා ඇවිලේය’යි ප්‍රකාශ කරන්නෙමි.

“වච්ඡය, ඉදින් තොප ඉදිරියෙහි වූ එම ගින්න නිවෙන්නේ නම්, මේ ගින්න නිවුනේ යයි දන්නෙහිද?”
“භවත් ගෞතමයන් වහන්ස, ඉදින් මා ඉදිරියෙහි වූ ඒ ගින්න නිවුනේ නම්, මේ ගින්න මා ඉදිරියේ නිවුනේ යයි මම දනිමි.”

“වච්ඡය, ‘එසේ තොප ඉදිරියෙහි නිවුන ඒ ගින්න, මෙතැනින් නැගෙනහිර දිශාවට හෝ බස්නාහිර දිශාවට හෝ උතුරු දිශාවට හෝ දකුණු දිශාවට හෝ කවර නම් දිසාවකට ගියේදැයි, ඔබගෙන් අසන ලද්දේ නම් වච්ඡය, නුඹ කුමකැයි ප්‍රකාශ කරන්නෙහිද?”

“භවත් ගෞතමයන් වහන්ස, එසේ කීම නොයෙදෙයි. භවත් ගෞතමයන් වසන්ස, ඒ ගින්න තෘණ දර ආදී ඉන්ධන නිසා ඇවිලුනේද, එය කෙළවර වීමෙන්, දැවීමට අන් දෙයක්ද නැති හෙයින් නිවුණේයයි කියයුතු වේ.යයි” කීයේය.

§ 20. “වච්ඡය, මෙපරිද්දෙන්ම රූපය නිසා තථාගතයන් වහන්සේ සත්වයෙකැයි පනවන්නේද, කියන්නේද, ඒ රූපය තථාගතයන් විසින් ප්‍රහීණ කරණ ලද්දේය. මුල් සිඳින ලද්දේය, කරටිය සිඳින ලද තල් ගසක් මෙන් කරණ ලදී. විනාශ කරණ ලදී. මතු නූපදනා බවට පමුණුවන ලදී. 722 . එඑහෙයින් නැවත උපතක් නැති කර දමන ලදී.

[722:- රූප ස්කන්ධයක් තථාගතයන් යයි ගෙන ආත්මයක් ඇති ශරීරයක් තථාගතයන් සේ සලකා අසන මේ ප්‍රශ්නය නොසුදුසු වන්නේ සංයෝජනවලින් මිදුවාවූ ව රූප ස්කන්ධයේ යලි පහලවීමක් නොවන නිසා බව අටුවාව v ඉස්තර කරයි.]

“යම් විඳීමක් ඇතිව උන් නිසා තථාගතයන්, සත්වයෙකැයි පනවන්නේද, කියන්නේද, ඒ වෙදනාව ………. කීමටද නුසුදුසුය.
“යම් සංඥාවක් නිසා ………. කීමටද නුසුදුසුය.
“යම් සංස්කාරයක් නිසා…. නුසුදුසුය.
වීඤ්ඤාණය නිසා….. නුසුදුසුයි.” වදාළේය. 723.

[723:- මේ කොටස කලින් විස්තර කල නිවී ගිය ගින්න පිලිබඳ උපමාව හා එක්ව සැලකිය යුතු වේ. නිවුණු ගින්න ගිය තැනක් සතර දිසාවේම නොවන සේම පිරිනිවීමට පත් තථාගතයන් රූප, වේදනා, සංඥා , සංඛාර යන සතර උපාදානයන්ම නැති කල නිසා නැවත උපතක් ගැන ප්‍රශ්න අදාළ නොවන බව පෙනේ.]

§ 21. මෙසේ වදාළ කල්හි වච්ඡගොත්ත පරිව්‍රාජකයන් භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීවේය.
. “භවත් ගෞතමයන් වහන්ස, ගමකට හෝ නියම් ගමකට හෝ නුදුරු තැනක මහ සල් රුකක් වේද, එය අනිත්‍ය බැවින් අතු පතර බිඳෙන්නේය. සිවිය හා පතුරු බිඳෙන්නාහුය. ඵලය බිඳෙන්නේය. ඒ ගස පසු කලෙක්හි අතු පතර පහව ගිය නිසා , සිවිය හා පතුරු ගැලවුන නිසා , ඵල සැලුනු නිසා අරටුව පමණක් සහිතව පිහිටන්නේය.. මෙපරිද්දෙන්ම භවත් ගෞතමයන් වහන්සේගේ මේ ධර්මය පහව ගිය අතු පතර ඇති පහවූ සිවිය හා පතුරු ඇති පහවූ ඵලය ඇති පිරිසිදුවූ සාරයෙහි පිහිටියේ වෙයි.

“භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපත. භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපත, භවත් ගෞතමයන් වහන්ස, යම්සේ යටිකුරු කොට තබන ලද්දක් හෝ උඩුකුරු කරන්නේද, වසා තබන ලද්දක් හෝ වැසුම් හරින්නේද මං මුලාවූවෙකුට හෝ මග කියන්නේද, අන්ධකාරයෙහි හෝ ඇස් ඇත්තෝ රූප දකිත්වායි තෙල් පහනක් දරන්නේද, මෙපරිද්දෙන්ම භවත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් ප්‍රකාරයෙන් ධර්මය දෙශනා කරණ ලදී.

මම භවත් ගෞතමයන් වහන්සේ සරණ කොට යමි.
ධර්මයද භික්ෂු සංඝයාද සරණකොට යමි.
භවත් ගෞතමයන් වහන්සේ මා අද පටන් දිවිහිම්කොට සරණ ගියාවූ උපාසකයෙකැයි, දරණ සේක්වා”යි කීය

දෙවෙනිවූ අග්ගි වච්ඡගොත්ත සූත්‍රයයි.

www://majjimanikaya.wordpress.com/2021/06/01/072-aggivaccagoththa-sutta/

MN 03-03-08 උපක්ලෙශ සූත්‍රය

පුජ්‍ය පුහුල්වැල්ලේ සාරද හිමි කල ධට්මදෙසනාව

භාග්‍යවතුන් වහන්සේගේ ඒ බුද්ධ කෘතිය ඉටු කරන අතර නොයෙකුත් බාධක අවහිරතා පිටතින් මෙන්ම සසුන තුලින්ද මතුවිය. ඒ සිද්ධියක් සහිත වූ කාල පරිච්චේදයකදී වූ සිදුවීම් මේ සුත්‍ර ධර්මයේ වාර්තා වෙ. ඒ හැරෙන්නට මෙහි වැදගත්ම සඳහන වන්නේ භාවනා මාර්ගයට පිලිපන්නෙකු කෙසේ සිය ආරාමයේදී සබ්‍රහ්මචාරින් සමග කෙසේ හැසිරිය යුතුද යන්නත් භාවනාවේදී සිය නිමිත්ත පිළිබඳව යෝගී භික්ෂුවකට මුහුණ දෙන්නට වන දුෂ්කරතා කිහිපයක් ගැන සිය අත් දැකීමෙන්ම අනුරුද්ධ ස්වාමින් වහන්සේට දන්වමින් තමන් වහන්සේ කෙසේ ඒ උපක්ලේශයන් මැඩ ගත්තේදැයි කල උපදේශයන්ය.

§ 1. මා විසින් මෙසේ අසන ලදී.
එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ කොසඹෑ නුවර සමීපයෙහිවූ ඝෝෂිතාරාමයෙහි වැඩවාසය කරණ සේක.

§ 2 . එකල්හි කොසඹෑ නුවර භික්ෂූන් අතර යම් වාදයක් හටගෙන සියළු භික්ෂුන් දෙපිරිසකට බෙදී කල කෝලාහල කරන්නාහු ය. [විස්තර කොසම්බිය සුත්‍රය කියවා දැනගන්න]

§ 3. එකල්හි එක් භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේ සොයා පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පැත්තක හිඳ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළේය.
“ස්වාමීනි, කොසඹෑ නුවර භික්ෂූහු දබරකර ගනිමින්, කෝලාහල කර ගනිමින්, වාදකර ගනිමින්, ඔවුනොවුන්ට, නපුරු වචනවලින් පවා ආක්‍රෝෂ පරිභව කර ගනිති. “ස්වාමීනි, ඒ භික්ෂූහු කෙරෙහි අනුකම්පා කොට ඒ අරගලය සංසිඳුවනු පිණිස භාග්‍යවතුන් වහන්සේ එහි වැඩමවන්නේ නම් මැනවි”

එවිට භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්ද භාවයෙන් ඒ ආරාධනය ඉවසා වදාළ සේක. [භාග්‍යවතුන් වහන්සේද අනෙකුත් ආර්යයන් වහන්සේලාද යම් ආරාධනාවක් ලත් කල මුවින් නොබැණ නිශ්ශබ්දව ඉඳීමෙන් එම ආරාධනය පිළිගත් බව හඟවයි..]

§ 4 . ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ කළහ කරන්නාවූ භික්ෂූහු හුන් තැනට . වැඩ ඒ භික්ෂූන්ට මෙසේ වදාළ සේක.
මහණෙනි, මේ නුසුදුසුය, දබර නොකරව්, කලහ නොකරව්, කෝලාහල නොකරව්, විරුද්ධ වාද නොකරව්,” කියායි.

එසේ වදාළ කල්හි එක් භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීයේය..
“ස්වාමීනි, ධර්මස්වාමීවූ භාග්‍යවතුන් වහන්සේ ඉවසන සේක්වා. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ වෙහෙස නොවත්වා. භාග්‍යවතුන් වහන්සේ ඵල සමාපත්ති සැප විහරණයෙහි යෙදී වාසය කරණ සේක්වා. අපි මේ දබරයෙන් කලහයෙන් කෝලාහලයෙන් විරුද්ධ වාදයෙන් ම මේ විසඳා ගන්නෙමු” කියායි.

දෙවනුවද තෙවනුවද භාග්‍යවතුන් වහන්සේ ඒ භික්ෂූන්ට දබර කෝලාහල නවතන ලෙස අවවාද කලද දෙවනුවත් තෙවනුවත් ඒ භික්ෂුහු භාග්‍යවතුන් වහන්සේ ගේ කීම පිළිනොගෙන තමන් ම මේ විසඳා ගන්නා බවත් භාග්‍යවතුන් වහන්සේ මෙයට මැදහත් නොවී තමන් වහන්සේ ගේ ධ්‍යාන ඵල විඳිනු යහපත් බවත් කීහ.

§ 5 . ඉදින් භාග්‍යවතුන් වහන්සේ පෙරවරු කාලයෙහි හැඳ පාසිවුරු ගෙන කොසඹෑ නුවරට පිඬු පිණිස වැඩිසේක. කොසඹෑ නුවර පිඬු පිණිස හැසිර, බතින් පසුව, පිණ්ඩපාතයෙන් වැළකුණේ සෙනසුන තැන්පත් කොට තබා පාසිවුරු ගෙන වැඩ සිටියේම මේ ගාථාවන් වදාළසේක. [ පළමු ගාතා දෙක හැර අනෙක් ගාථා හතම ධම්මපදයෙහි අඩංගු කොට ඇත.]

§ 6
[1] “තමනගේ අනුවන කම නොමදැන 
එක්වර සැම   කෑ මොර   දෙන
සඟ සසුනම බිඳ පිරිහන 
වරද  තමන්ගේ බව නොම දැන.
[2] “අව සිහියෙන් කරනා දොස්ඇති 
අරුත් සුන් හිස් නපුරු ඵල ඇති 
දොඩමින් වදන් මුළු  සසුනම වනසති 
මන්ද  නොදැන මේ ලෙස උන් හැසිරෙති
[3] බැන වැදුනෙය මට පහරයි  දුන්නේ , 
මා පරදා  මගේ වස්තුය ගන්නේ 
නිබඳ සිතා ක්‍රෝධයම වඩන්නේ
කිසිදා     වෛරය නැත සංසිඳුනේ.
[4] බැන්නත් ගැසුවත් තම දෙය ගත්තත්
තරහ නොගෙන  සිත කරගෙන තැන්පත්,
ඉන්නට ඉවසා හැකිනම් නම් නැණවත් 
ඔහු තුල වෛරය කිසිදා  නොපවත් 
[5] “කිසිදා වෛරයෙන් වෛරය    නොසන්සිඳේ
වෛරය වෛර නොකිරීමෙන්ම    සන්සිඳේ,
බුදුවරු දෙසු දහමකි නොනැසෙන    නිබඳේ,
මෙය නොනැසෙනා දහමක් ලෙස   ලොවේ රැඳේ
[6] “කල කෝලහල කරන්නන්  මේ ලොව වසන,
“අපි  කරනා දෙයින්  අපම නැසෙන්නෙමු යැ’යි නොදැන,
අරගල වලින් පිරිහී යන  බව  දක්නා   දන්න,
නුවණැති දනෝ වැළකෙති අරගල වලින

[7] “ඇට බිඳ පණ නසා මිනිසුන් නසන
අනුනගෙ දේම උදුරා සොරකම් කරන
සොරු රැල පවා ඉන්නේ නීති සමගියෙන,
තොප හට මන්ද නැත්තේ එකමුතු නුවණ .

[8] “තැනට සුදුසු නුවනින් යුතු මිතුරන් කලණ
ලබන කෙනෙක් වේ නම් නොවී යුතු උරණ
උන් හා එක්ව වැඩියුතු යහ දහම් ගුණ
නොබිඳ මිතු දම් ද බඹසර වඩම්න

[9] “නොලදො ත් මිතුරෙක් වඩනට පිළිවෙත් නැනැති ,
මහා ජන රජු සේ හැරී රජබව හා පිරිස වන වැද
පිරි ලෙව් ඇත් රජුන් නික්මුණ සේ සිය කැලෙනි
පිරිසෙන් නික්ම බඹසර රැකුම කල යුතු වෙ නීති

[10] “ නොහිඳ එකට අනුවණයා සමග නොදත් සුමග
තනිව වැඩුම පිළිවෙත් පහසුය යමින් අරි අට මග
පාරිලෙය්‍යක ඇතු මෙන් යන සිය රැල අතැර
නුවනැතියා යතිය තනිවම පස් පව් දුරැර.”

§ 7 . ගොශිතාරාමයෙන් පිටව යාමට පෙර තමන් වහන්සේ සිටගෙනම සිට මේ ගාථාවන් වදාරා භග්‍යවතුන් වහන්සේ “බාලක ලොණකාර” නම් ගම ට යාමට පිටත්ව වැඩි සේක.

එසමයෙහි ආයුෂ්මත් භගු ස්ථවිරයන් “බාලක ලොණකාර” ගමෙහි වාසය කෙරෙයි. ආයුෂ්මත් භගු ස්ථවිරයන් වඩින්නාවූ භාග්‍යවතුන් වහන්සේ දුරදීම දැක, ආසනයක් පැනවීය. පා දෝනා දිය තැබීය. භාග්‍යවතුන් වහන්සේ පනවන ලද අස්නෙහි වැඩහුන් සේක. වැඩහිඳ පා සේදීය. ආයුෂ්මත් භගු ස්ථවිරයන්ද භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක් පැත්තක හුන්නේය. එක් පැත්තක හුන් ආයුෂ්මත් භගු ස්ථවිරයන්ගෙන් භාග්‍යවතුන් වහන්සේ මෙසේ සුව දුක් අසා වදාළ සේක.

“මහණ කෙසේද ? ඔබ සුවයෙන් පහසුවෙන්ම මෙහි වැඩ සිටින්නේද? ඔබට පහසුවෙන් පිණ්ඩපාතය ලැබෙන්හිනෙද?”
“භාග්‍යවතුන් වහන්ස, එසේය. මම මෙහි පහසුවෙන් වසමි. ස්වාමීනි, ආහාරයෙන්ද අඩු පාඩුවක් නොවෙති ” යි කීය.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් භගු ස්ථවිරයන් දැහැමි කථාවෙන් කරුණු දක්වා (එහි) සමාදන් කරවා ධර්ම මාර්ගයෙහි උනන්දු කරවා එම වීමුක්ති මාර්ගයෙහි යාමට, පිළිවෙත් පිරීමට උන්වහන්සේගේ සිත් තෙද ගන්වා, වීර්යයෙහි සිත් පහදවා හුනස්නෙන් නැගිට “බටහිර බට වනය ” නම් උයන ” වෙත. වැඩිසේක.

§ 8. එසමයෙහි ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන්ද, ආයුෂ්මත් නන්දිය ස්ථවිරයන්ද , ආයුෂ්මත් කිම්බිල ස්ථවිරයන්ද එම උයනෙහි භාවනාවෙහි යෙදී බඹසර වෙසෙති.
[චේද §8 සිට §15 දක්වා MN 01-04-01 චුලගොසිංග සුත්‍රයේ දැක්වෙන පරිදිම වෙතත් මේ උපකිලෙස සුත්‍රය චුල ගොසිංග සුත්‍රයට පෙර සිදුවීමක් බව පෙනෙන්නේ මෙම ස්වාමින් වහන්සේලා ගොසිංග සුත්‍රයේදී අරහත් භාවයට පත් ව සිටින මුත් මෙහිදී මේ තුන් නම ඒ සඳහා පිළිවෙත් පුරන බව මෙහි දක්වා තිබීමෙන් ය..]

උයන්පල්ලා උයන දෙසට වඩිනා භාග්‍යවතුන් වහන්සේ දුරදීම දැක, භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය. “ශ්‍රමණය, මේ උයනට නොපිවිසෙව, මෙහි කුලපුත්‍රයෝ තිදෙනෙක් බවුන් වඩමින් වෙසෙති. ඔවුන්ට අපහසුවක් බාධාවක් නොකළ මැනව” කියායි.
[බුදු රජාණන් වහන්සේ ගැන බොහෝ බෞද්ධයන් දරනා නොයෙක් මිත්‍යා මත මේ සිද්ධියෙන් මිත්‍යාවන් බව ඔප්පු වෙ. එනම් භාග්‍යවතුන් වහන්සේ සාමාන්‍ය මිනිසුන්ට වඩා වෙනස් පෙනීමක් ඇති බව රැස් විහිදවමින් වඩිනා බව අසු රියනක් උස ශරීරයක් ඇති බව ආදී කතා ප්‍රබන්ධ බවත් උන් වහන්සේ සාමාන්‍ය ශ්‍රමණයෙකුට සමාන ශරීරයක් දැරූ බව උයන් පල්ලාට බුදුන් වහන්සේ හඳුනා ගන්නට නොහැකි වීමෙන් පෙනේ]

ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේට උයන් පාලකයා භාග්‍යවතුන් වහන්සේ ට මෙසේ කියනු අසා, වනපාලකයාට මෙසේ කීය. “ඇවැත්නි, වන පාලකය, භාග්‍යවතුන් වහන්සේ නොවලක්වව. ඒ අපගේ ශාස්තෘවූ භාග්‍යවතුන් වහන්සේ වඩිනා සේක” කියායි.

§  9. ඉක්බිති ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ, ආයුෂ්මත් නන්දිය ස්ථවිරයන්ද ආයුෂ්මත් කිම්බිල ස්ථවිරයන්ද වෙත පැමිණ මෙසේ භාග්‍යවතුන් වහන්සේ පැමිණ ඇති බව දන්වා ඔවුන් සමගම ඉදිරියට ගොස් භාග්‍යවතුන් වහන්සේ පිළිගත්හ.

§  10. “එකනමක් භාග්‍යවතුන් වහන්සේගේ පාසිවුරු ගත්තේය. එකනමක් අසුන් පැණවීය. එකනමක් පාදෝනා පැන් තැබීය. භාග්‍යවතුන් වහන්සේ පනවන ලද ආසනයෙහි වැඩහිඳ, පා සේදූ සේක. ඒ ආයුෂ්මත්වරුද, භාග්‍යවතුන් වහන්සේ වන්දනා කොට , එක් පැත්තක හුන්නාහුය.

. එක් පැත්තක හුන්නාවූ ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන්ගෙන් භාග්‍යවතුන් වහන්සේ මෙසේ අසා වදාළ සේක. [එක් භික්ෂුවකට වැඩි පිරිසක් අමතද්දී එපිරිසෙන් ජේෂ්ඨ භික්ෂුවගේ නම් කියා ඇමතීමෙන් මුළු පිරිසම ආමන්ත්‍රණය බුදුන් වහන්සේගේ සිරිත විය.]
“අනුරුද්ධයිනි, නුඹලා පහසුවෙන් සුවයෙන් මෙහි වැඩ සිටින්නේද?
ඔබලාට පහසුවෙන් පිණ්ඩපාතය ලැබෙන්හිනෙද?”
“භාග්‍යවතුන් වහන්ස, එසේය. අපි මෙහි පහසුවෙන් වසමු. ස්වාමීනි, අපට ආහාරයෙන් අඩු පාඩුවක් නොවෙති ” යි කීය.”

§  11. “අනුරුද්ධයිනි, නුඹලා තිදෙන එකමුතුව සමගිව, සතුටු සිතැතිව, වාද විරුද්ධ කම් නැතිව, කිරි හා දිය මෙන් එක්ව, ඔවුනොවුන් කෙරෙහි කරුණාවෙන් හා මෛත්‍රියෙන් වාසය කරහුද?”
“එසේය ස්වාමීනි, අපි තිදෙනා ඒකාන්තයෙන් ම එකමුතුව, සමගිව, සතුටු සිතැතිව, වාද විවාද රහිතව, කිරි හා දිය මෙන් එක්සත්ව, ඔවුනොවුන් කෙරෙහි ප්‍රියව වාසය කරමු.”

“අනුරුද්ධයිනි, තෙපි කෙසේ සමගිව, සතුටු සිතැතිව, විවාද රහිතව, කිරි හා දිය මෙන් එක්සත්ව කෙසේ වසත් ද?” , ඔවුනොවුන් දෙස ප්‍රිය ඇස්වලින් බලමින් කෙසේ වනාහි වාසය කරව්ද?”

§ 12 . “ස්වාමීනි, මට මෙසේ සිතෙයි. ‘මම මෙබඳුවූ සබ්‍රහ්මචාරීන් සමග වෙසෙම්ද එය, ඒකාන්තයෙන් මට ලාභයකි. ඒකාන්තයෙන් මා විසින් ලාභයක් ලබන ලදී.’
ස්වාමීනි, මේ ආයුෂ්මතුන් කෙරෙහි මෛත්‍රී සහගත කාය කර්ම ප්‍රසිද්ධියේත්, අප්‍රකටවත් මා පවත්වමි. එසේම මෛත්‍රී සහගත වාග් කර්ම ප්‍රසිද්ධියේත්, අප්‍රකටවත් මා පවත්වමි මෛත්‍රී සහගත මනෝ කර්ම ප්‍රසිද්ධියේත්, අප්‍රකටවත් මා පවත්වමි.
[ප්‍රසිද්ධියෙත් = අන්‍යයන්ට පෙනෙන ලෙස/ දැකිය හැකි ලෙස, අප්‍රකටව = අනුනට නොපෙනෙන ලෙස නොදකින ලෙස ]

ස්වාමීනි, මට මෙසේද සිතෙයි.
‘මා මට කරන්නට සිත් වන දෙය වෙනුවට මේ ආයුෂ්මතුන් වහන්සේ ලා කරන්නට අදහස් කල දෙය කරමි.’ කියායි.’ ස්වාමීන්වහන්ස, අපේ ශරීර වෙන් වෙන්වූ ඒවා නමුත් සිත නම් එකක්මයයි හඟිමි.

ආයුෂ්මත් නන්දිය තෙමේද, ආයුෂ්මත් කිම්බිල තෙමේද, භාග්‍යවතුන් වහන්සේට මෙසේම සැල කළාහුය.

“ස්වාමීනි, අපි මෙසේ සමගිව, සතුටු සිතැතිව, විවාද රහිතව, කිරි හා දිය මෙන් එක්සත්ව ඔවුනොවුන් කෙරෙහි කරුණාවෙන් හා මෛත්‍රී සහගත සිතින් යුතුව වාසය කරමුයි” කීවාහුය.

§13.   ‘අනුරුද්ධයිනි, යහපති, යහපති. අනුරුද්ධයිනි, තෙපි අප්‍රමාදව, කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇතිව, සිවු මගට යොදවන ලද සිත් ඇතිව වාසය කරව්ද?”
“ස්වාමීනි, එසේමය. අපි ඒකාන්තයෙන් අප්‍රමාදව කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව සිවු මගට යොදවන ලද සිත් ඇතිව වාසය කරමු.”

§14.   “අනුරුද්ධයිනි, තෙපි කෙසේ නම් අප්‍රමාදව, කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව, සිව් මගට පමුණුවන ලද සිතැතිව, වාසය කරව්ද?”
“ස්වාමීනි, අපගෙන් යමෙක් පිඬු පිණිස ගොස් ගමින් පෙරළා පළමුව මෙහි එයිද, හෙතෙම සියල්ලන්ටම අසුන් පනවයි. බීමට පැන් හා පරිභෝග කටයුතු පැන් ගෙනත් තබයි. ඉතුරු ආහාර දමන භාජනය සූදානම් කොට තබයි. යමෙක් පසුව එයිද, ඔහු සෙස්සන් වළඳා ඉතිරි ආහාර යක් වේද, ඉඳින් කැමති නම් ඒ වළඳයි. ඉදින් අකමැති නම් එය ගෙන ගොස් තණ පැලෑටි නැති තැනක දමයි. සතුන් නැති දියෙහි හෝ පාකොට හරියි.

හෙතෙම පාවිචියට ගත් ආසන තිබුලෙස තැන් පත් කොට තබයි. පැන් බඳුන් හිස්කොට සෝදා තැන්පත් කොට තබයි. ඉතිරිවූ බත් දමන භාජනය පෙර කී ලෙස හිස්කොට සෝදා තැන්පත් කොට තබයි. දන් ශාලාව හමදී. යමෙක් පැන් තාලිය නොහොත් බොන පැන් කළය හිස්ව තිබෙනු දකීද, හෙතෙම ඒ දියෙන් පුරවා තබයි. ඉදින් ඒ පැන් කළ හෝ බඳුන් තනිව ඔසවා යාමට නොහැක්කේ නම් ඔහු අනෙකෙක් ගේ සහාය ඇවැසි බව අතින් සංඥා කොට දක්වා දෙදෙනා සමගම ඒ කිස නිම කරමු. කෙසේ නමුත් අප කෙලෙසවත් එකිනෙකා සමග කතා නොකොටම සතිය පවත්වමු. නමුත් සෑම පස්දිනකටම වරක් අප එක්ව මුළු රැය මුළුල්ලේම ධර්මය සාකච්චා කරමු.

ස්වාමීනි, අපි මෙසේ අප්‍රමාදව, කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇතිව, සිව් මගට යොමු කල ලද සිතැතිව වාසය කරමු.”

[අසමගිව දබර කල කෝසැඹී යෙ ඝෝශිතාරාම යෙන් පිටව ආ භාග්‍යවතුන් වහන්සේ ඒ භික්ෂුන් ගේ අසමගිය නිසාම මේ ප්‍රශ්නය අසන්නට ඇත.]

§  15 . ‘අනුරුද්ධයිනි, යහපති, යහපති. අනුරුද්ධයිනි, මෙසේ අප්‍රමාදව, කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව, සිව් මගට යොමන ලද සිතැතිව, වාසය කරන තොප විසින් සාමාන්‍ය මනුෂ්‍ය ධර්මයනට වැඩි ආර්‍ය්‍යභාවයට පත් වුවනට විශේෂි වූ යම් විහරණයක්වූ ඥානදර්ශන විශේෂයක් අවබෝධ කරන ලද්දේ වේද?” [වෙන වචනවලින් ඇසුවොත් ඔබ වහන්සේලා ලබා ගත් ධ්‍යාන යන් වේද ? සිව් ඵලයන් ගෙන් කිසිවක් ලැබීද යනුයි.]

[මෙතන සිට මේ සුත්‍රය 31 චූල ගොසිංග සුත්‍රයෙන් වෙනස් වෙයි. ]

භාවනා නිමිති


“ස්වාමීනි, මෙසේ අප්‍රමාදව, කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව, සිව් මගට යවනලද සිතැතිව, භාවනා කරන අපි (පරිකර්මයන්ගේ ඕභාස) ප්‍රභාව ද [ධ්‍යානයනට සිත පත් වන විට දකිනා ආලෝකයද] සතරවන ධ්‍යානයට සිත නංවත් දී ලබනා ආලෝක කසින ප්‍රභාව දිව්‍ය චක්සුසය ට පෙරම නිමිත්තක් සේ දැක්කෙමු. එහෙත්, ඒ නිමිත්ත (ආලෝකය)ද, සුළු වේලාවකින් අතුරුදහන් වෙයි. ඊට කාරණය නොදනිමු.”
[නිමිත්ත :- භාවනාවෙහි යෙදෙන යෝගියා ගේ සිත සමාධියට පත්ව බොහෝ සන්සුන්ව ගියකළ ධ්‍යාන සිත් පහල වෙන්නට පෙර ඔහුට යම් යම් නිමිති දර්ශනය වීම ස්වභාවයයි. නිමිත්තක් ලෙස යම් ආලෝකයක් වර්ණයක් හෝ යම් දර්ශනයක් වෙන්නට පිළිවන.
ආනාපාන භාවනාවේදී හමුවන පළමු නිමිත්ත “පටිභාග නිමිත්ත” ලෙස හැඳින් වෙ. සමථ භාවනාවට නිමිති වශයෙන් ගත හැකි කර්මස්ථාන සතළිහක් ධර්ම ග්‍රන්ථයහින් දක්වා ඇත. දස කසිණ, දස අසුභ, දස අනුස්සති, සතර අප්පමඤ්ඤා ආහාරේ පටික්කූල සංඤ්ඤාව චතුධාතු වවත්ථාන සතර ආරුප්ප යනු එම සතළිස් කර්මස්ථානයන්ය. මෙම සතළිස් කර්මස්ථානයන්ගෙන් එකක් ගෙන භාවනා කරන විට නීවරණ ධර්ම යටපත් කොට එක අරමුණකට සිත නංවා ගැනීමට හැකිවෙයි.
තම චරිතයට ගැළපෙන කර්මස්ථානයක් ගෙන භාවනා කිරීම පරිකර්ම අවස්ථාව යැයි කියනු ලැබේ. දිගටම පරිකර්ම අවස්ථාවේ නියැළී සිටින විට උග්ගහ නිමිත්ත ඇතිවේ. එනම් අන් ස්ථානයකට ගියද නිමිත්ත පේන තත්ත්වයට පත්වීමයි. තවදුරටත් භාවනා කරන විට නිමිත්ත ඉතා පැහැපත්ව ඒ මැදින් කලාමැදිරියෙක් තරම ආලෝකයක් මතු වෙයි. එය පටිභාග නිමිත්ත වශයෙන් හැඳින්වේ. පරිකර්ම, උපචාර, අර්පණා යනුවෙන්ද අවස්ථා තුනකි. දෑස් පියා ගත්තද නිමිත්ත පෙනෙන තුරු භාවනා කිරීම පරිකර්ම අවස්ථාවයි. පංච නීවරණ ධර්මයන් යටපත් කොට කසිණාලෝකය උපදවා ධ්‍යාන ලබා ගැනීම තෙක් පවත්වාගෙන යාම උපචාර නම්වෙයි’. උපදවා ගත් ප්‍රතිභාග නිමිත්ත ස්ථීරත්වයට පත්වීම අර්පණා අවස්ථාවයි….]

“අනුරුද්ධයිනි, ඊට කාරණය තොප විසින් පිරික්සා දැනගත යුතුය. [නිමිත්ත පටිවිජ්ජිත කල යුතුය. පාලනයට දක්ෂ විය යුතුය. නිමිත්තම විදක්සනා කල යුතු වෙයි.]

අනුරුද්ධයිනි, සම්‍යක් සම්බොධියෙන් පෙර, බොධිසත්ව වූ සමයේ මමද (පරිකර්මයන්ගේ) ආලෝකයද, දිවැසින් මෙන් රූපද නිමිති ලෙස දුටිමි.. ඒ ඒ ආලෝකයත් දකිනා රූප ආදී නිමිතිත් සුළු වේලාවකින් අතුරුදන් විය. [ආනාපාන සති භාවනාවේදී සිත සමාධියට පත් වූ විට දකිනා උග්ගහ නිමිති වලාකුල් ආදී ලා ආලෝක ද බෝල බෝල වැනි රුපද නිමිති වෙයි.] එවිට මගේ සමාධියද නැතිවිය.

§  16.. විචිකිච්චාව
§  17. අසතිමත් බව
§  18 . ථීනමිද්ධය
§  19  භය සන්ත්‍රාසය
§  20 උප්පීලනය  
§  21 කාය දරත බව
§  22 දැඩිව කරන ලද වීර්‍ය්‍යය
§  23  ලිහිල් වූ වීර්‍ය්‍යය
§  24  තණ්හාව
§  25. . නානත්ත සංඥාව
§  26. රූපයන් පිලිබඳ අතිනිජ්ජායනතාව

. §  16. විචිකිච්චාව
“අනුරුද්ධයිනි, මට මේ අදහස ඇති විය.
‘මා දුටු නිමිති ඉක්මනින්ම , ‘අතුරුදන් වේ නම් ඊට හේතු කවරේද? ප්‍රත්‍යය කවරේද?’ කියායි

අනුරුද්ධයිනි, මට මේ අදහස විය.
‘මට ඇතිවන්නාවූ සැකය නිසා [මේ ආලෝකය, පෙනෙන්නාවූ දර්ශණය සැබවින්ම නිමිත්තක් දෝ නිමිත්තක් නො වෙයි දෝ ඇති විචිකිච්චාව ) විචිකිච්චාව ( සැකය) ඇති නිසා සිත සැලුනි .

මේ විචිකිච්චාව හේතු කොටගෙන මගේ සමාධිය නැතිවිය. සමාධිය නැතිවූ කල්හි නිමිත්ත අතුරුදහන් වෙයි. ඒනිසා මම සිත නැගුන ඒ සැකය දුරු කොටගෙන මේ මම දකින්නේ භාවනාවෙහි නිමිති බව දැන භාවනාවේ යෙදුනෙමි.

§  17. අසතිමත් බව
අනුරුද්ධයිනි, මම අප්‍රමාදවූයේ, කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇත්තේ, සිව්මගට යවන ලද සිතැතිව භාවනා කරන්නේ මේ දකින්නේ නිමිත්තක්ම බව අවබෝධකොට විචිකිච්චාව තොර කොට භාවනාවේ යෙදුනෙමි. එවිට යලි ආලෝකයද, රූපද නිමිත්තක් සේ දකිමි. හඳුනමි. එසේ වුවද යලිත් සුළු මොහොතකින් මාගේ එම නිමිත්ත , අතුරුදහන් වෙයි.

අනුරුද්ධයිනි, එවිට මට මේ අදහස විය. ‘යමකින් මාගේ නිමිත්ත අතුරුදහන්වේ නම් ඊට හේතු කවරේද? ප්‍රත්‍යය කවරේද?’ කියායි.

“අනුරුද්ධයිනි, එවිට මට මේ අදහස විය. ‘මම දැන් කිසිවක් මෙනෙහි නොකරන්නෙමි. යන “අසතිමත් බව” මා තුල වේ යැයි දිටිමි.. අසතිමත් බව’ හේතුකොට මාගේ සමාධිය නැතිවිය. සමාධිය නැතිව ගිය කල්හි ආලෝකය ආදී නිමිති අතුරුදහන් වෙයි.

[නිමිත්ත කෙරෙහි සතිමත් වීමෙන් මුල කර්මස්ථානය කෙරෙහි වැඩි අවධානයක් යෙදීමෙන් මගේ භාවනා කර්මස්ථානය වන ආනපානය හුස්ම ගැන යෙදිය යුතු අවධානය යෙදීම් වැලකේ යැයි බලෙන්ම සිත නිමිත්තෙන් ගලවා හුස්මට යොමු කිරීම නිමිත්තට ඇති අසතිමත් බවය.

ස්වාභාවිකවම නිමිත්ත ඇසුරු කරන සතිය ඉබේටම ඉන් ගිලිහී භාවනා කර්මස්තානට පත්වෙන තුරු යෝගියා ඉවසිය යුතු වෙයි.; බ්‍රහ්මවංස මහතෙරුන් මෙසේ නොකළ යුතු බවත් නිමිත්තෙහි ඇලුන සිත නොබෝ වේලාවකින්ම එහි නොඇලී යලි මුල් කර්මස්තානයට බසින බව කියයි.]

ඒසේම මම නැවත සැකය නූපදින්නේ නම් සතිමත් බව ගිලිහී නොයා නම් එසේ මා සමාධියෙහි නොසිස්ව සිටියෙමි’ කියා මම එහි සිත් නංවා භාවනාවේ යෙදුනෙමි..

§  18. ථීනමිද්ධය
අනුරුද්ධයිනි, එසේ අප්‍රමාදවූයේ, කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇත්තේ, සිව් මඟට යවන ලද සිතැතිව, භාවනා කරන්නේ ආලෝක ද, රූප දැකීමද ආදී නිමිති යලි දැක ගනිමි. එනමුත් නැවතද මාගේ ඒ නිමිති අතුරුදහන් විය.. අනුරුද්ධයිනි, මට මේ අදහස විය. ‘යමකින් මාගේ ආලෝකය ආදී නිමිති අතුරුදහන්වේ නම් ඊට හේතු කවරේද? ප්‍රත්‍යය කවරේද?’ කියායි.

“අනුරුද්ධයිනි, මට මේ අදහස විය. ‘මට ථීනමිද්ධය නිසා මෙසේ නිමිත්ත අතුරුදහන් විය .
ථීනමිද්ධය හේතුකොට ගෙන මාගේ සමාධිය පහවිය. සමාධිය පහව ගිය කල්හි ආලෝකය, රූපාදී නිමිති , අතුරුදහන් විය කියයි. නැවත මම ථිනමිද්ධය නූපදිනැ ලෙස ද, සතිය උපදින්නේද, [ථීනමිද්ධය නැතිකිරීමේ හොඳම ක්‍රමය නිමිත්ත දෙස දැඩි ඕනෑකමින් බලා සිට එම වර්ණ සටහනේ හෝ ආලෝකයේ දීප්තිමත්ම තැනට සිත් යොමු කිරීම වේ. මෙයින් සිත දැඩි සේ උත්තේජන වී ථිනය මිද්ධ ය නොහොත් අලස බව දුරු වෙයි.] ථිනමිද්ධය නූපදිනැ ලෙස ද, එසේ සිත් දැඩි කොට භාවනා කලෙමි.

§  19 .භය (සන්ත්‍රාසය)
අනුරුද්ධයිනි, ඒසේ මම නැවත භාවනා කරන්නේ නිමිති යලි , දැක ගනිමි. එසේ වුව නැවත ද මාගේ ඒ ආලෝක, රූප දර්ශන ආදී නිමිති ද අතුරුදහන් විය.’

අනුරුද්ධයිනි, ඒ මට මේ අදහස විය ‘යමකින් මාගේ නිමිත්ත යලි අතුරුදහන් වේනම් ඊට හේතු කවරේද? ප්‍රත්‍යය කවරේද?’ කියායි.

“අනුරුද්ධයිනි, මට මේ අදහස විය. ‘මට භය ඇතිවුන නිසා මෙසේ නිමිත්ත ගිලිහී යන්නට ඇත..

[භය:-
ආලෝක නිමිත්තේ අති මහත් ප්‍රභාව ක්‍රමයෙන් ඉතා දැඩිව පෙනෙන්ට වූ විට තමන් ට ඒ නිමිත්ත පාලනය කරන්නට නොහැකි බව ඔහු දකී.යෝගියාගේ අත්ත සංඥාව දුර්වල කරන්නට නිමිත්තේ මේ මහා ආලෝකය සමත් වෙ. යෝගියාට තමන් මේ භාවනාවේ පාලකයා නොවන බව මෙසේ දකින ඔහු බියට පත් වෙ. මේ බිය ඔහුගේ ප්‍රගතිය වලක්වයි.

මේ සුත්‍රය ඉංගිරිසි බසින් විස්තර කරන අජාන් බ්‍රහ්මවංසෝ ස්වාමින් වහන්සේ ගේ දේශනාව ඔබට මේ සියළු උපක්ලේශ ගැන දැනගන්නට මහත් උදව්වක් වෙනු ඇත.]

මේ භය. තැතිගැන්ම හේතුකොට ගෙන මගේ සමාධිය පහවිය. සමාධිය පහව ගිය කල්හි ආලෝකයද, රූප දර්ශනයද ආදී නිමිති අතුරුදහන් වෙයි.’

අනුරුද්ධයිනි, යම් පුරුෂයෙක් දීර්ඝ ගමනක යාමට මාර්ගයට පිළිපන්නේ මුත් ඔහු යන මග දෙපස මන්පහරන සොරු රැක උන්නාහු නම් ඔහුට ඒ මිනීමරන සොරු දෙපස ඉන්නවා දැකීමෙන් ඒ හේතුකොට ගෙන බිය තැතිගැන්ම උපදින්නේය

[සොරුන් ඉන්නේ මගියා සතු වටනා දේ උදුරා ගන්නටය. යෝගියා සතු වටනා දෙය ලෙස ඔහු සිතා සිටියෙ මම කියා කෙනෙක් ඉන්නවාය මේ භාවනා කරන්නේ මමය යන හැගීම ය. භාවනාවේ දී මේ මමක් නැති බව යන්තමින් හෝ දැනෙන විට සිටගෙන සිටින බිම ගිලා බසින්නාක් මෙන් හෝ පය තබා සිටි ගල් කුල පොලොව යටට කිඳා ගියා සේ දැනී මහත් සන්ත්‍රාසයකට යෝගියා පත් වෙ. එනම් ආත්ම සඥාව හීන වීමෙන් යෝගියා භයට සන්ත්‍රාසයට පත් වෙ. ඔහුගේ නිමිත්ත පිරිහේ.]

. අනුරුද්ධයිනි, ‘එපරිද්දෙන්ම මටත් තැතිගැන්ම ඇති විය. තැතිගැන්ම හේතුකොට, මාගේ සමාධිය පහවිය. සමාධිය පහවගිය කල්හි ආලෝකයද, රූප දර්ශනයද, අතුරුදහන් විය. මම නැවත විචිකිච්ඡාව නූපදින්නේද, අමනසිකාරය නූපදින්නේද, ථීනමිද්ධය නූපදින්නේද, තැති ගැන්ම නූපදින්නේද, ඒ ලෙස මම එසේ කරන්නෙමි’ කියා නැවත අරමුණ වැඩුවෙමි.

[ කිසි විටෙක තමන්ට පාලනය කල හැක්කක් මෙහි නැති බව තමන් මෙහි නැති බවත් මෙනෙහි කිරීම වටී.
[i] තම ගුරුවරයා මේ තත්වයේ මීට පෙර වූ බවත් තවත් බොහෝ දෙනා මින් පෙර මේ තත්වයට පත් වූ බවත් මතක් කර ගැනීමෙන් මේ භය වලක්වා ගන්නට හැක..
[ii] කුඩා ළදරුවෙකු මුලින්ම පිහිනීමට හුරුකරන පියා දරුවාට ඇති භය ක්‍රමක්‍රමයෙන් දුරු කරවයි. මුළින දරුවාගේ එක් ඔයක් වතුරට දමා අනතුරක් නැතිබව පෙන්වා දෙයි. ඉන් පසු ක්‍රමයෙන් සිය මුලු ශරීරයම දියේ බැස උන්නත් අනතුරක් නොවන බව පෙන්න දී දරුවාගේ දියට ඇති බිය දුරු කරවයි. එසේම යෝගියාද නිමිත්ත කෙරෙහි වරින් වර යාමෙන් බැඳීමෙන් නිමිත්තට ඇති සන්ත්‍රාසය දුරු කර ගනී.
[iii] නිමිත්තට සිත් යෙදීමෙන් ඉතා මහත් ප්‍රීතියක් ඇති බව සියල්ලන් කියන නිසා වුවක් උනාවේ යි සිතමින් යලි නිමිත්තම මෙනෙහි කිරීම.
මේ තුන් ක්‍රමයන් එකක් පහසුවෙන්ම අනුගමනය කිරීමෙන් මේ භය නම් උපකිලේසයෙන් නිදහස් වීමට හැක.]

Infant Swimming: What Are the Benefits?

§  20 . උප්පීලනය [අධික ප්‍රීතිය]
“අනුරුද්ධයිනි, මම අප්‍රමාදව, කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව, සිව් මඟට යවන ලද සිතැතිව, නැවත එසේ භාවනා කරන්නේ නිමිති ලෙස ආලෝකයද, රූප දර්ශනයද, දැනගනිමි. එනමුදු නැවත මාගේ ඒ ආලෝකයද, රූප දර්ශනයද අතුරුදහන් විය. අනුරුද්ධයිනි, මට මේ අදහසවිය. ‘යමකින් නිමිත්ත අතුරුදහන් වේනම් ඊට හේතු කවරේද? ප්‍රත්‍යය කවරේද?” කියායි.

“අනුරුද්ධයිනි, ඒ මට මේ අදහස විය. ‘මට ඇතිවූ උප්පීලනය [අධික ප්‍රීතිය] හේතුකොට මාගේ සමාධිය පහවිය. සමාධිය පහවූ කල්හි ආලෝකයද, රූප දර්ශනයද අතුරුදහන්විය.’

අනුරුද්ධයිනි, යම්සේ පුරුෂයෙක් එක් නිදන් පළක් සොයන්නේ එක් උත්සාහයකින්ම නිදන් පොළවල් පහක් ලබන්නේද, ඔහුට ඒ හේතුකොට අධික ප්‍රීතිය උපදින්නේය. මෙතුවක් කල් භාවනා කල මම කිසිදු නිමිත්තක් නොදුටුවෙමි. එහෙත් මම අද දැන් මේ නිමිත්ත දුටුවෙමි. ඒ නිසා යෝගියාගේ සිත ඉපිල යයි. මහා ප්‍රීතියට පත් වෙ.

අනුරුද්ධයිනි, එපරිද්දෙන්ම මට අධික ප්‍රීතිය පහළවිය. අධික ප්‍රීතිය කරණකොට ගෙන මාගේ සමාධිය නැතිවිය. සමාධිය පහවූ කල්හි ආලෝකයද, රූප දර්ශනයද අතුරුදහන් වෙයි. [Elation = අධි ප්‍රීතිය ] දැන් යෝගියා මේ නිමිත්ත ගැන යෝනිසෝ මනසිකාරයෙන් සිතිය යුතුය. මේ නිමිත්ත නැවත නොපෙනෙන්නට ඉඩ ඇත. දැක්කොත් දකින්නෙමි. නොදක්කොත් ඉන් කම්පා නොඑමි. නිමිත්තෙන් ගිලිහුන සිත මුල කර්මස්තානයට යොදමි’යි භාවනාවට යෙදිය යුතු.]

§  21 කායික වෙහෙස / කාය දරත බව
ඉදින් මම නැවත මට වූ විචිකිච්ඡාව සිඳ, සිත් හි සතිමත් බව වඩා, ථීනමිද්ධය නූපදින්ද , තැතිගැන්මෙක් නූපදින්නේද, බලවත් ප්‍රීතිය හැර දමා භාවනා කලෙමි. අනුරුද්ධයිනි, මම එසේ අප්‍රමාදවූයේ, කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇත්තේ, සිව් මඟට යවන ලද සිතැතිව, වාසය කරන්නේ ආලෝකයද, රූප දර්ශනයද, ආදී නිමිති දැනගනිමි. එනමුත් නැවත මාගේ ඒ ආලෝකයද, රූප දර්ශනයද ආදී නිමිති අතුරුදහන් විය.

අනුරුද්ධයිනි, ඒ මට මේ අදහස විය. ‘යමකින් මාගේ ආලෝකයද, රූප දර්ශනයද අතුරුදහන් වේනම් ඊට හේතු කවරේද? ප්‍රත්‍යය කවරේද?’ කියායි.“
අනුරුද්ධයිනි, ඒ මට මේ අදහස විය.
‘මට කායික දරත බව ඇතිවිය. ඒ කායික දෘඩ බව හේතුකොට ගෙන මාගේ සමාධිය පහවිය.
[කාය දරත බව : දැඩි ලෙස වෑයම් කිරීම ම බර ගතියට හේතුවය. නිමිත්ත බරක් ලෙස දැනේ. අමාරුවෙන් අත්වූ නිමිත් ඉතා දැඩිව අල්ලාගෙන සිටීම මේ කාය දරත චිත්තොපක්ලේශය වෙයි. stiffness, lack of buoyancy තම සිතින් මේ නිමිත්ත කෙරෙහි ඇති ආසාව කැමැත්ත අත හැරීම මේ උපක්ලේශයෙන් යෝගියා මීදී යාමට ඉඩ දෙයි.]

ඉදින් මම නැවත මට වූ විචිකිච්ඡාව සිඳ, සිත් හි සතිමත් බව වඩා, ථීනමිද්ධය නූපදින්ද , තැතිගැන්මෙක් නූපදින්නේද, බලවත් ප්‍රීතියක් නූපදින ලෙස , භාවනා කලෙමි.

§  22 දැඩිව කරන ලද වීර්‍ය්‍යය
. අනුරුද්ධයිනි, මම එසේ අප්‍රමාදවූයේ, කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇත්තේ, සිව් මඟට යවන ලද සිතැතිව, වාසය කරන්නේ ආලෝකයද, රූප දර්ශනයද, ආදී නිමිති දැනගනිමි. එනමුත් නැවත මාගේ ඒ ආලෝකයද, රූප දර්ශනයද ආදී නිමිති අතුරුදහන් විය.
සමාධිය පහව ගිය කල්හි, ආලෝකයද, රූප දැකීමද වැනි නිමිති අතුරුදහන් වෙයි. මම යම්සේ මට නැවත විචිකිච්ඡාව නූපදින්නේද, අමනසිකාරය නූපදින්නේද, ථීනමිද්ධය නූපදින්නේද, තැතිගැන්ම නූපදින්නේද අධික ප්‍රීතිය නූපදින්නේද, කායික පීඩාව නූපදින්නේද එසේ කරන්නෙමි.’

“අනුරුද්ධයිනි, මම එසේ අප්‍රමාදවූයේ, කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇත්තේ, සිව් මඟට යවන ලද සිතැතිව, වාසය කරන්නේ, ආලෝකයද, රූප දර්ශනයද ආදී නිමිති දැනගනිමි. මාගේ ඒ ආලෝකයද, රූප දර්ශනයද අතුරුදහන් වෙයි.

අනුරුද්ධයිනි, ඒ මට මේ අදහස විය. ‘යමකින් මාගේ ආලෝකයද, රූප දර්ශනයද ආදී නිමිති අතුරුදහන් වේනම් ඊට හේතු කවරේද? ප්‍රත්‍යය කවරේද?’ කියායි.

“අනුරුද්ධයිනි, මට මේ සිත විය.
‘මම අතිශයින් දැඩිව පටන්ගන්නා ලද වීර්‍ය්‍යය ඇතිව භාවනා කලෙමි. ’ කියායි. දැඩිව කරන ලද වීර්‍ය්‍යය හේතුකොට ගෙන, මාගේ සමාධිය පහවිය. සමාධිය පහවූ කල්හි ආලෝකයත්, රූප දර්ශනයත්, අතුරුදහන් වෙයි.

අනුරුද්ධයෙනි, යම්සේ පුරුෂයෙක් ඉතා සියුම් සිරුරක් ඇති කුඩා වටු කුල්ලෙක් සිය මිටින් ඉතා දැඩිව සිරකොට අල්ලා ගත හොත් ඒ කුඩා කුරුල්ලා මැරී යනු ඇත.

අනුරුද්ධයිනි, එපරිද්දෙන්ම මට දැඩිව පටන්ගන්නා ලද වීර්‍ය්‍යය හේතුකොට ගෙන ඉතා තදින් නිමිත්ත ග්‍රහණය කල මාගේ සමාධිය පහවිය. සමාධිය පහවූ කල්හි, ආලෝකයත්, රූප දර්ශනයත් අතුරුදහන් වෙයි. ඒ මම යම්සේ මට නැවත විචිකිච්ඡාව නූපදින්නේද, අමනසිකාරය නූපදින්නේද, ථීනමිද්ධය නූපදින්නේද, තැතිගැන්ම නූපදින්නේද, බලවත් ප්‍රීතිය නූපදින්නේද, කායික පීඩාව නූපදින්නේද, අධික වීර්‍ය්‍යය නූපදින්නේ මම නිමිත්ත දැඩිව මෙනෙහි නොකලෙමි. ඒ නිමිත්ත හාත්පසින් වුමසන්නට නොඑලඹුනෙමි.

ද මම එසේ භාවනා කරන්නෙමි.

§  23 . ලිහිල් වූ වීර්‍ය්‍යය
“අනුරුද්ධයිනි, මම අප්‍රමාදවූයේ, කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇත්තේ, සිව් මගට යවන ලද සිතැතිව, වාසය කරන්නේ ආලෝකයද, රූප දර්ශනයද නිමිති සේ දැනගනිමි.

එනමුදු නැවත මාගේ ඒ නිමිති අතුරුදහන් විය . අනුරුද්ධයිනි, මට මේ අදහස විය. ‘යමකින් මාගේ ආලෝකයද, රූප දර්ශනයද ආදී නිමිති අතුරුදහන් වේනම් ඊට හේතුව කවරේද? ප්‍රත්‍යය කවරේද?’ කියායි.

“අනුරුද්ධයිනි, ඒ මට මේ සිත් විය. ‘මගේ වීර්‍ය්‍යය ලිහිල් විය, යනුවෙනි. ඉතා ලිහිල් වීර්‍ය්‍යය හේතු කොටගෙණ මගේ සමාධිය පහවිය. සමාධිය පහවූ කල්හි ආලෝකයද, රූප දර්ශනයද ආදී නිමිති ද අතුරුදහන් විය.’

අනුරුද්ධයිනි, යම් පුරුෂයෙක් ඉතා ලිහිල්ව වටුකුරුල්ලා සිය මිටෙහි අල්වා ගත්තෙ ඔහු ඉතා සුළුවෙන් ඌ අල්ලා ගෙන සිටීද බුරුල් ව සිර කල නිසා ඒ කුරුල්ලා පහසුවෙන් මිනිසාගේ මිටින් මිදී පියඹා යයි. අනුරුද්ධයිනි, එපරිද්දෙන්ම මගේ වීර්‍ය්‍යය ලිහිල් වීමෙන් ඒ හේතුකොටගෙන මාගේ සමාධිය පහවිය. සමාධිය පහවූ කල්හි, ආලෝකයද, රූප දර්ශනයද ආදී නිමිති අතුරුදහන් වෙයි.

ඒ නිසා මම, යම්සේ මම නැවත විචිකිච්ඡාව නූපදින ලෙස , අමනසිකාරය නූපදින ලෙසද, ථීනමිද්ධය නූපදින ලෙසද , තැතිගැන්ම නූපදින ලෙසද , අධික ප්‍රීතිය නූපදින ලෙසද , කායික දරත බව නූපදින ලෙසද , අධික වීර්‍ය්‍යය නූපදින ලෙසද , වීරිය ඉතා ලිහිල් නොකොට ද, එසේ භාවනා කරන්නෙමි.

§  24. ධ්‍යානයට ඇති තණ්හාව
“අනුරුද්ධයිනි, මම එසේ අප්‍රමාදවූයේ, කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇත්තේ, සිව් මඟට යවනලද සිතැතිව, භාවනා කරන්නේ නිමිති යලි දැන ගනිමි. එසේ මුත් නැවත මාගේ ඒ ආලෝකයද, රූප දර්ශනද ආදී නිමිති අතුරුදහන් විය..

අනුරුද්ධයිනි, ඒ මට මේ අදහස විය. ‘යමකින් නිමිත්ත අතුරුදහන් වේ නම් ඊට හේතු කවරේද? ප්‍රත්‍යය කවරේද?’ කියායි.

අනුරුද්ධයිනි, මට මේ අදහස විය. මට ධ්‍යානයට ඇති තණ්හාව නොහොත් දැඩි කැමැත්ත ඇති විය යනුයි. මේ නිමිත්ත නොව මට ඕනෑකරන්නේ ධ්‍යානය ය. වහ වහා මගේ ධ්‍යානය වඩා ගන්නට මට ඕනෑය යන සිත නිසා නිමිත්ත ගිලිහී යැයි. ඒ තෘෂ්ණාව හේතුකොට ගෙන මාගේ සමාධිය පහවිය. සමාධිය පහවූ කල්හි, ආලෝකයද, රූප දර්ශනය ආදී නිමිතිද අතුරුදහන් විය.. ඒ වටහාගත් මම මේ නිමිත්ත මා ලදිමි. මෙය ඉතා වටනේය. මම මේ නිමිත්ත සමග සතුටින් සිටිමි. ධ්‍යානයක් වේවා නොවේවා මම ඊට ආසා නොවෙමි’ යි ධ්‍යානයන් කෙරෙහි ඕනෑකම අත් හැලෙමි.

මම, නැවත විචිකිච්ඡාව නූපදින ලෙස , අමනසිකාරය නූපදින ලෙසද, ථීනමිද්ධය නූපදින ලෙසද , තැතිගැන්ම නූපදින ලෙසද , අධික ප්‍රීතිය නූපදින ලෙසද , කායික දරත බව නූපදින ලෙසද , අධික වීර්‍ය්‍යය නූපදින ලෙසද , වීරිය ඉතා ලිහිල් නොකොට ද, නොලැබූ ධ්‍යානයන් කෙරෙහි තෘෂ්ණාව නොවඩා භාවනා කලෙමි.

§  25. . නානත්ත සංඥාව
“අනුරුද්ධයිනි, මම අප්‍රමාදවූයේ, කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇත්තේ, සිව්මඟට යවනලද සිතැතිව, වාසය කරන්නේ ආලෝකයද, රූප දර්ශනද ආදී නිමිති යලි දැනගනිමි. එනමුදු නැවතත් ඒ නිමිති අතුරුදහන් විය..

අනුරුද්ධයිනි, ඒ මට මේ අදහස විය. ‘යමකින් මාගේ ආලෝකයද, රූප දර්ශනයද, අතුරුදහන් වේ නම් ඊට හේතු කවරේද? ප්‍රත්‍යය කවරේද?’ කියායි.

අනුරුද්ධයිනි, ඒ මට මේ අදහස විය. ‘මට නානත්ත සංඥාව පහළවිය යනුයි. නානත්ත සංඥාව යනු දකිනා නිමිත්ත ඉතා වෛවර්ණ ඉතා වෙනස් ආකාර ඇති ව බොහෝ සිත් ඇද බැඳ ගන්නා ලෙස බොහෝ විස්තරාංග සහිතව නිමිති දර්ශනය වීමයි. මෙසේ සඥා වෙහි නානත්වය හේතුකොට මාගේ සමාධිය පහවිය. සමාධිය පහවූ කල්හි, ආලෝකයද, රූප දර්ශනයද ආදී සියළු නිමිති ක්‍රමයෙන් අතුරුදහන් විය.

[මින් ගැලවීම පිණිස ඒ නානත්ත නිමිත්ත මුළුමනින් ගෙන ඒ දිගුවට කෙටියට ආදී ලෙස විමර්ශනය කිරීම “විසුද්ධි මග්ග” යෙදී කියා ඇතත් ඒ නිසුදුසු බවත් ඊට වඩා ඒ නානත්ත නිමිත්තේ ඉතා කුඩා කොටසක් පමණක් විධාරණ කරමින් ගොස් තව තවත් ලෙස ඒ කුඩා කරමින් ඒ නිමිත්තේ යම් කුඩා ම කොටසක් පමණක් විචාරණ කරන ලෙස බ්‍රහ්මවංසෝ ස්වාමින් වහන්සේ උපදෙස් දෙයි.]

ඉදින් මම විචිකිච්ඡාව නූපදින ලෙස , අමනසිකාරය නූපදින ලෙසද, ථීනමිද්ධය නූපදින ලෙසද , තැතිගැන්ම නූපදින ලෙසද , අධික ප්‍රීතිය නූපදින ලෙසද , කායික දරත බව නූපදින ලෙසද , අධික වීර්‍ය්‍යය නූපදින ලෙසද , වීරිය ඉතා ලිහිල් නොකොට ද, නොලැබූ ධ්‍යානයන් කෙරෙහි තෘෂ්ණාව නොවඩා නානත්ත සංඥාව නූපදින ලෙසද භාවනා කලෙමි .’

§  26 . රූපයන් පිලිබඳ අතිනිජ්ජායනතාව
“අනුරුද්ධයිනි, මම අප්‍රමාද වූයේ, කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇත්තේ, සිව් මඟට යවනලද සිතැතිව, භාවනා කරන්නේ, විටෙක ආලෝකය නොහොත් ඔභාව අතුරුදහන් වෙයි. එනමුත් එවිට රුප දර්ශන දකින්නට හැකි වෙයි. සමහර විටෙක ආලෝකය දකිමි එවිට රූප දර්ශන අතුරු දහන් විය. එසේ එක් පුරා දිනයක් හෝ පුරා දිනයක් හා රාත්‍රියක් මෙසේ විය,. එසේම විටෙක රූප දර්ශනයන් දනිමි. එනමුත් ආලෝකය අතුරුදහන් වෙයි. එසේ එක් පුරා දිනයක් හෝ පුරා දිනයක් හා රාත්‍රියක් මෙසේ විය,.

අනුරුද්ධයිනි, ඉදින් මට මෙසේ අදහස් විය . ‘යම් හෙයකින් මාගේ ආලෝකය හා රූප දර්ශන මෙසේ වරින්වර එකිනෙක අතුරුදහන් වීමටද වරකට ආලෝක හෝ ඕභාස පෙනීමටද හේතුව කුමක්ද? ප්‍රත්‍යය කුමක්ද?’

අනුරුද්ධයිනි, මට මේ අදහස ඇතිවිය. ‘මට පෙනෙනා නිමිති පිළිබඳ අතිනිජ්ජායනතාව ඇති විය. [එනම් නිමිති වල කොටස් ගැන අතිශයින් අනන්ත ලෙස නැවත නැවත සිතා බලන බව ය යනුයි]. රූපයන් පිළිබඳ අතිශයින් නැවත නැවත සිතා බලන බව හේතුකොටගෙන රූප නිමිත්ත අතුරුදහන් විය, ආලෝක නිමිත්ත පිලිබඳ නැවත නැවත සිත යොමන කල ආලෝක නිමිත්ත අතුරුදහන් විය. ඒ සැම විටම සමාධිය පහවිය. සමාධිය පහව ගිය කල්හි ආලෝකයත් රූප දර්ශනයත් අතුරුදහන් වෙයි.

යම්සේ මට නැවත විචිකිච්ඡාව නූපදින්නීද, අමනසිකාරය නූපදින්නේද, ථීනමිද්ධය නූපදින්නේද, තැතිගැන්ම නූපදින්නේද, අධික ප්‍රීතිය නූපදින්නේද, කායික පීඩාව නූපදින්නේද, අධික වීර්‍ය්‍යය නූපදින්නේද, ඉතා ලිහිල් වීර්‍ය්‍යය නූපදින්නේද, අධික තෘෂ්ණාව නූපදින්නේද, නානත්ත සංඥාව නූපදින්නීද, රූපයන් පිළිබඳ අතිශයින් නැවත නැවත සිතා බලන බව නූපදින්නේද එසේ කරන්නෙමි.’

§  27 . “අනුරුද්ධයිනි,
විචිකිච්ඡාව භාවනාවට බාධාකරන උපක්ලේශ ධර්මයක්යයි මෙසේ දැන, මේ දකින්නේ නිමිති බව සැක නැතිව අවබෝධ කිරීමෙන් විචිකිච්ඡාව දුරු කෙළෙමි.
සතිමත් නොවීම (අසතිය) සිත කෙළෙසන ධර්මයක්යයි මෙසේ දැන, සිත කෙළෙසන්නාවූ අසතිය දුරු කෙළෙමි.
ථීනමිද්ධය සිත කෙළසන ධර්මයක්යයි දැන, ථීනමිද්ධය දුරු කෙළෙමි.
බිය උපක්ලෙශයක්යයි දැන, තැතිගැන්ම දුරු කෙළෙමි.
අධික ප්‍රීතිය උපක්ලේශ ධර්මයක්යයි දැන, අධික ප්‍රීතිය දුරු කෙළෙමි.
කායික පීඩාව උපක්ලේශ ධර්මයක්යයි මෙසේ දැන, කායික පීඩාව දුරු කෙළෙමි.
දැඩිව පටන්ගන්නාලද වීර්‍ය්‍යය උපක්ලේශ ධර්මයක්යයි දැන, අධික වීර්‍ය්‍යය දුරු කෙළෙමි. ඉතා ලිහිල් වීර්‍ය්‍යය උපක්ලේශ ධර්මයක්යයි දැන, ඉතා ලිහිල් වීර්‍ය්‍යය දුරු කෙළෙමි. තෘෂ්ණාව උපක්ලේශ ධර්මයක්යයි දැන, අධික තෘෂ්ණාව දුරු කෙළෙමි.
නානත්ත සංඥාව උපක්ලේශ ධර්මයක්යයි දැන, නානත්ත සංඥාව දුරු කෙළෙමි.
රූපයන් අතිශයින් නැවත නැවත සිතා බලන බව උපක්ලේශ ධර්මයක්යයි දැන, රූපයන් අතිශයින් නැවත නැවත සිතා බලන බව දුරු කෙළෙමි.

§ 31 “අනුරුද්ධයිනි, මම පමා නොවූයේ, කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇත්තේ, සිව්මඟට යවනලද සිතැතිව වාසය කරමින් ආලෝකය දැනගනිමි. රූප නොදකිමි. යම්හෙයකින් රූප දකිම්ද, හුදෙක් රාත්‍රියද, හුදෙක් දාවලද, හුදෙක් රෑ දාවල්ද, ආලෝකය නොහඳුනමි. අනුරුද්ධයිනි, ඒ මට මෙය අදහස් විය. ඒ මම ආලෝකය හඳුනම්ද, රූප නොදක්නෙම්ද, ඊට හේතු කවරේද? ප්‍රත්‍යය කවරේද? ඒ කාලයෙහි රූප දකිමි. හුදෙක් රෑද, හුදෙක් දාවල්ද, හුදෙක් රෑ දාවල් දෙක්හිද ආලෝකය නොහඳුනමි. අනුරුද්ධයිනි, ඒ මට මේ අදහස ඇතිවිය. ‘මම යම් සමයෙක්හි රූප විෂය මෙනෙහි නොකොට, ආලෝක විෂය මෙනෙහි කෙරෙම්ද, ඒ කාලයෙහි ආලෝකය හඳුනමි. රූප නොදකිමි. යම් කලක ආලෝක විෂය මෙනෙහි නොකොට, රූප විෂය මෙනෙහි කෙරෙම්ද, එකල රූප දකිමි. හුදෙක් රෑද, හුදෙක් දාවල්ද, හුදෙක් රෑ දාවල්ද ආලෝකය නොහඳුනමි.’

“අනුරුද්ධයිනි, ඒ මම අප්‍රමාදව, කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව, සිව්මගට යවනලද සිතැතිව, වාසය කරන්නේ සුළු කර්මස්ථානයෙහිවූ ආලෝකය හඳුනමි. සුළු කර්මස්ථානයෙහිවූ රූප දක්නෙමි. අප්‍රමාණ කර්මස්ථානයෙහිවූ, ආලෝකය හඳුනමි. හුදෙක් රෑද, හුදෙක් දවල්ද, හුදෙක් රෑ දාවල්ද, අප්‍රමාණ කර්මස්ථානයෙහිවූ රූපයන් දක්නෙමි. අනුරුද්ධයිනි, ඒ මට මේ අදහස ඇතිවිය. ‘ඒ මම සුළු කර්මස්ථානයෙහිවූ ආලෝකය හඳුනම්ද, සුළු කර්මස්ථානයෙහිවූ රූපයන් දක්නෙම්ද, අප්‍රමාණ කර්මස්ථානයෙහිවූ ආලෝකය හඳුනම්ද, හුදෙක් රෑද, හුදෙක් දවල්ද, හුදෙක් රෑ දාවල්ද අප්‍රමාණ කර්ම ස්ථානයෙහිවූ රූපයන් දක්නෙම්ද, ඊට හේතු කවරේද? ප්‍රත්‍යය කවරේද?’

අනුරුද්ධයිනි, ඒ මට මේ අදහස විය. ‘යම් කලෙක සමාධිය කුඩාද? එසමයෙහි මගේ දිවැසද කුඩාය. ඒ මම ස්වල්ප මාත්‍රවූ, දිවැසින් ස්වල්ප මාත්‍රවූද ආලෝකය හඳුනමි. ස්වල්පමාත්‍රවූ රූපයන්ද දකිමි. යම් කලෙක සමාධිය අප්‍රමාණද එකල මගේ දිවැසද අප්‍රමාණය. ඒ මම අප්‍රමාණවූ දිවැසින් අප්‍රමාණවූ ආලෝකයද හඳුනමි. හුදෙක් රෑද, හුදෙක් දවල්ද, හුදෙක් රෑ දාවල්ද, අප්‍රමාණවූ රූපයන් දක්නෙමි.

§ 32. “අනුරුද්ධයිනි,
විචිකිච්ඡාව චිත්තොප ක්ලෙශයයි මෙසේ දැන, විචිකිච්ඡා චිත්තොපක්ලෙශය ප්‍රහීණවීද,
අමනසිකාරය චිත්තොපක්ලෙශයයි මෙසේ දැන, අමනසිකාර චිත්තොපක්ලෙශය ප්‍රහීණවීද, ථීනමිද්ධය චිත්තොපක්ලෙශයයි මෙසේ දැන, ථීනමිද්ධ චිත්තොපක්ලෙශය ප්‍රහීණවීද, තැතිගැන්ම චිත්තොපක්ලෙශයයි මෙසේ දැන, චිත්තොපක්ලෙශයවූ තැතිගැන්ම ප්‍රහීණවීද අධික ප්‍රීතිය චිත්තොපක්ලෙශයයි මෙසේ දැන, අධික ප්‍රීති චිත්තොපක්ලෙශය ප්‍රහීණවීද, කායික දරතය චිත්තයාගේ උප ක්ලෙශයයි මෙසේ දැන, කායික පීඩා චිත්තොප ක්ලෙශය ප්‍රහීණවීද,
අධික වීර්‍ය්‍යය, චිත්තොපක්ලෙශයයි මෙසේ දැන, අධික වීර්‍ය්‍ය චිත්තොපක්ලෙශය ප්‍රහීණවීද, ඉතා ලිහිල් වීර්‍ය්‍යය චිත්තයාගේ උප ක්ලෙශයයි මෙසේ දැන, ඉතා ලිහිල් වීර්‍ය්‍ය චිත්තොපක්ලෙශය ප්‍රහීණවීද,
තෘෂ්ණාව චිත්තොප ක්ලෙශයයි මෙසේ දැන, අධික තෘෂ්ණා චිත්තොපක්ලෙශය ප්‍රහීණවීද, නානත්ත සංඥාව චිත්තොපක්ලෙශයයි මෙසේ දැන, නානත්ත සංඥා චිත්තොපක්ලෙශය ප්‍රහීණවීද,
රූපයන් පිළිබඳව අතිශයින් නැවත නැවත සිතා බලන බව චිත්තොපක්ලෙශයයි මෙසේ දැන, රූපයන් පිළිබඳව අතිශයින් නැවත නැවත සිතා බලන චිත්තොපක්ලෙශය ප්‍රහීණවීද.

§ 33. අනුරුද්ධයිනි, මට මේ අදහස විය. මාගේ සිතට යම් උපක්ලෙශයෝ වෙත්ද, ඔව්හු මට ප්‍රහීණය. එබැවින් මම දැන් විධි තුනකින් යුත් සමාධිය වඩමි’ කියායි.

“අනුරුද්ධයිනි,
මම විතර්ක සහිත, විචාර සහිත සමාධිය වැඩුවෙමි.
විතර්ක රහිත විචාරය පමණක් ඇති සමාධිය වැඩුවෙමි.
විතර්ක රහිත විචාර රහිත සමාධිය වැඩුවෙමි.

ප්‍රීති සහිත සමාධිය වැඩුවෙමි.
ප්‍රීති රහිත සමාධිය වැඩුවෙමි.
සුඛ සහගත සමාධිය වැඩුවෙමි.
උපෙක්ෂා සහගත සමාධිය වැඩුවෙමි.

අනුරුද්ධයිනි, යම් හෙයකින් මා විසින් විතර්ක සහිත, විචාර සහිත, සමාධිය වඩන ලද්දේද, විතර්ක රහිත විචාරය පමණක් ඇති සමාධිය වඩන ලද්දේද, විතර්ක රහිත විචාර සමාධිය වඩන ලදද, ප්‍රීති සහිත සමාධිය වඩන ලදද, ප්‍රීති රහිත සමාධිය වඩන ලදද, සුඛ සහගත සමාධිය වඩන ලදද, උපෙක්ෂා සහගත සමාධිය වඩන ලදද මට ඥාන දර්ශනය පහළවිය. මාගේ චිත්ත විමුක්තියද කෝප නොවීය. මේ අන්තිම උපැත්මය. දැන් පුනරුත්පත්තියක් නැත.”

භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රය වදාළසේක.
සතුටු සිතැති අනුරුද්ධ ආයුෂ්මත් වහන්සේද භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව සතුටින් පිළිගත්තේය.

READ ENGLISH VERSION

MN 02-03-10. වෙඛණස්ස සූත්‍රය

සත්වයා උපතේ සිට මරණය තෙක් ප්‍රීතියම සතුටම සොයමින් යයි. බොහෝ දෙනා සිතන්නේ දකින්නේ සතුට ඇත්තේ පංච කාම සැප විඳින්නට හැකි තරමට බවය. මේ පස් කම් සැපය ලබන්නා “අහෝ මේ සැපයක්ම වේ” යැයි කලාතුරකින් ලබන පස්කම් සැපයක් නිසා මුලා වෙයි.. මේ මිච්චාදිට්ඨියට පාදක වුයේ “මම” ක් ඉන්නේයැයි ඇති ආත්ම දෘෂ්ඨියයි. වෙඛනස්ස ඇදුරු තුමාට කල මේ දේසනාව මේ ගම්භිර ධර්මය දැන ඉගෙනීමට ප්‍රමාණවත් නොවෙතත් කාම සැපයට වඩා උතුම් සැපයක් වන බව අසන්නාට හඳුන්වා දෙයි.

පුජ්‍ය පුහුල්වැල්ලේ සාරද හිමි කල දේසනාව

§ 1.මා විසින් මෙසේ අසන ලදී.
එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම්වූ අනේපිඩු මහ සිටුහු සාදවා පුජා කල ආරාමයෙහි වැඩ විසූහ. එකල්හි වේඛණස නම් පරිබ්‍රාජක ආචාර්යයා භාග්‍යවතුන් වහන්සේ දකින්නට අවුත් භාග්‍යවතුන් වහන්සේ සමග සතුටුවියයුතු සිහිකටයුතු කථාකොට නිමවා එකත් පසක සිටියේය. [සකුළුදායි සුත්‍රයෙහි සඳහන් වන සකුළුදායි පරිබ්‍රාජක යා මේ වෙඛනස්ස ආචාර්ය තුමා ගේ ශිෂ්‍යයෙකු බව අටුවාවේ සඳහන් වෙයි.]

§ 2. එකත් පසක සිටියාවූ වේඛණස නම් ආචාර්යවරයා භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි එසේ සිට ‘මෙය උතුම්ම සැපය වේ” යැයි ’, ප්‍රීති වාක්‍ය පැවැත්වූයේය.

[අයං පරමෝ වන්නෝ” හි වන්නෝ යන වචනයෙහි තේරුම ‘චවි වර්ණය’ නොවන බව මම සිතමි. අභිවාදන සීලිස්ස හි ආයු වන්නෝ සුඛං බලං යන්නෙහිද සමේ පැහැය නොව වෙනත් යමක් බව සිතමි. මේ සුත්‍රයෙහි ඉංගිරිසි පරිවර්තනවල වන්නෝ වචනය splendour ලෙස දක්වා ඇත. එයද වටහා ගන්නට පහසු නොවේ. මේ වන්නෝ යන්නට ගැලපෙන සිංහල වචනයක් ඔබ දන්නේ නම් කරුණාකර මෙහි comment වල ලියන්න.]

‘කච්චානය . ඒ උතුම් සැපය කවරේදැයි භාග්‍යවතුන් වහන්සේ ඇසූහ.
“භවත් ගෞතමයන් වහන්ස, යම් වින්දනයකට ට වඩා උතුම්වූද ප්‍රණීතවූද අනික් විඳීමක් නැත්තේද එය උතුම් සැපය වේ”යි.

“කච්චානය, යම් සැපයකට වඩා උතුම්වූද උසස්වූද අනික් සැපයක් නැත්තේද ඒ සැපය කුමක්ද?”
“භවත් ගෞතමයන් වහන්ස, යම් සැපයකට වඩා ඉතා උතුම්වූද ඉතා උසස්වූද අනික් සැපයක් නැත්තේද එය උතුම්ම සැපය වෙයි”,

“කච්චාණය යම් සැපයකට වඩා උතුම්වූද උසස්වූද අනික් සැපයක් නැත්තේනම් එය උතුම් සැපයයි කියන්නෙහි නම් තොපගේ මේ කීම දිගින්දිගට කියා ගෙන යාමක් මිස තේරුමක් අර්ථයක් නොදක්වන්නෙහිය.

§ 3. කච්චානය, යම් පුරුෂයෙක් යම් රූමත් ගැහැණියක් දැක “මම , ඇයට කැමැත්තෙමි ඇයම පතමියි”. කියන්නේය.
එවිට ඒ ඇසු මිනිසුන් ඔහුගෙන් මෙසේ අසන්නාහුය.
පින්වත් පුරුෂය, නුඹ ප්‍රිය කරන ඒ කල්‍යාණිය ක්ෂත්‍රීය ස්ත්‍රීයක් හෝ බ්‍රාහ්මණ ස්ත්‍රීයක් හෝ වෛශ්‍ය ස්ත්‍රියක් හෝ ශුද්‍ර ස්ත්‍රීයක් හෝ වේයයි දන්නෙහිද,?”
මෙසේ අසන ලද කල ඔහු ‘නැතැයි’ කියන්නේය.

එවිට මිනිසුන් ඔහුගෙන් නැවත අසන්නේ
එම්බල පුරුෂය, නුඹ කැමැති ඒ කල්‍යාණිය ගේ නාමය දන්නෙහිද, ඇයගේ ගෝත්‍රය හෝ දන්නෙහිදැ“යි, මෙසේ අසන ලද්දේ ‘නැතැයි’ කියන්නේය.

එවිට මිනිසුන් නැවත අසන්නේ ” යහළුව ඇය උස් සිරුරක් ඇති තැනැත්තියක් හෝ මිටි තැනැත්තියක් හෝ මධ්‍යම තැනැත්තියක් හෝ වේද?යයිද , “කලුපාට තැනැත්තියක් හෝ එලලුපාට තැනැත්තියක් හෝ දුඹුරුපාට ඇත්තියක් හෝ වේයයි, දන්නෙහිද?”,යි මෙසේ අසන ලද්දේ “නැතැ”යි කියන්නේය.

‘අසවල් ගමෙහි හෝ නියම් ගමෙහි හෝ නගරයෙහි හෝ ඇය වසන්නේ යයි, දන්නෙහිදැයි, අසනලද්දෙද ,’ නැතැයි කියන්නේය’.

ඔහුට මිනිසුන් අසන්නේ ” එම්බල පුරුෂය, නුඹ ඒ ගැහැණිය ගැන කිසිවක්ම නොදැන ම ඇයට කැමති වූ වෙහිද, ඇය පතන්නෙහිද ?

මෙසේ අසන ලද්දේ ඔහු ‘එසේයයි’ කියන්නේය.

කච්චානය, ඒ පුරුෂයාගේ කථාව හිස් කථාවක් නොවන්නේද?”
“භවත් ගෞතමයන් වහන්ස, ඒකාන්තයෙන් එසේ ඇති කල්හි ඒ පුරුෂයාගේ කථාව හිස්වූවක් වේයයි’ කීය.

“කච්චානය, යම් සැපයකට වඩා ඉතා උතුම්වූද ප්‍රණීතවූද අනික් සැපයක් නැත්තේ නම් එය උතුම් සැපයයි නුඹ කියන්නෙහි නම් ඒ සැපයද නොදක්වන්නෙහි නම් ඔබගේ ඒ කථාවද එසේම හිස්ය .

Glittering Diamond On Red Velvet Stock Photo - Download Image Now - iStock

§ 4 .“භවත් ගෞතමයන් වහන්ස, යහපත්වූද, දීප්තිමත්වූද අටැස් ඇත්තාවූ මනාව ඔපදමන ලද්දාවූ වෛඩූර්ය මාණික්‍යය පඩුවන් කම්බිලියෙහි බහන ලද්දේ යම්සේ බබලයි ද ඒ බඳු ස්වභාව ඇත්තා වූ ආත්මය මරණෙන් මත්තෙහිද උවදුරු රහිතව පවත්නේය.

“කච්චානය, ඒ කුමකැයි හඟින්නෙහිද, ඒ වෛඩූර්ය මාණික්‍යය පඬුවන් කම්බිලියෙහි තබන ලද්දේ එහි ආලෝකය පැතිරේද, දිලිසේද අතිෂයෙන් බබලයිද, ඝනාන්ධකාරවූ රාත්‍රියක දී යම් කණ මැදිරියෙක් පතුරන එළියක් වේද, මේ ආලෝක දෙකින් කවර ආලෝකයක් අතිශයින් බබලන්නේත් අතිශයින් ප්‍රණීතවූයේ වේද”?

“භවත් ගෞතමයන් වහන්ස, රාත්‍රි ඝනාන්ධකාරයෙහි යම් මේ කණමැදිරියෙක් වේද? මෙම මේ වර්ණ දෙක අතුරෙන් අතිශයින් බබලන්නේත් අතිශයින් ප්‍රණීතවූයේත් කණ මැදිරි එලියම වෙයි.”

“කච්චානය, ඒ කුමකැයි හඟින්නෙහිද?
රාත්‍රි ඝනාන්ධකාරයෙහි යම් කණමැදිරියෙක් වේද, රාත්‍රි ඝනාන්ධකාරයෙහි යම් තෙල් පහනක් දැල්හෝවූයේ වේද, මේ දෙකින් කවර එලියක් අතිශයින් දීප්තිමත් වේද අතිශයින් ප්‍රයෝජනවත් වූයේ වේද”?
“භවත් ගෞතමයන් වහන්ස, රාත්‍රී ඝනාන්ධකාරයෙහි දැල්වූ තෙල් පහන මේ දෙක අතුරෙන් අතිශයින් දීප්තිමත් වේ අතිශයින් ප්‍රයෝජනවත් වූයේ ත් වෙයි.”

“කච්චානය, ඒකුමකැයි හඟින්නෙහිද?
රාත්‍රි ඝනාන්ධකාරයෙහි තෙල් පහනක් දැල්වූයේ වේද, තවෙකෙක් මහ ගිණි මැලයක් ඇවිලූවෙ වේද , මේ දෙකින් කවරක් අතිශයින් දීප්තිමත් වේද අතිශයින් ප්‍රයෝජනවත් වූයේත්වේද?”

“භවත් ගෞතමයන් වහන්ස, රාත්‍රි ඝනාන්ධකාරයෙහි දැල්වෙන මහ ගිනි මැලය මේ දෙකින් අතිශයින් බබලන්නේත් අතිශයින් ප්‍රණීතද වූයේ වේයි”.

“කච්චානය, ඒ කුමකැයි හඟින්නෙහිද?
රාත්‍රි ඝනාන්ධකාරයෙහි මහ ගිනි මැලයක් හෝ වේද, අළුයම් කාලයෙහි වැස්ස නැති, වලාකුල් නැති අහසෙහි පායන උදා තරුව හෝ වේද, මේ ආලෝක දෙක අතුරෙන් කවරක් අතිශයින් දීප්තිමත් වේද අතිශයින් ප්‍රයෝජනවත් වූයේ වෙයිද?”

” භවත් ගෞතමයන් වහන්ස, අළුයම් කාලයෙහි වැස්ස නැති වලාකුල් නැති අහසෙහි පායන උදා තරුව , මේ දෙකින් වඩා බබලන්නේත් වඩා ප්‍රණීතවූයේත් වෙයි”

“කච්චායනය, ඒ කුමකැයි හඟින්නෙහිද?
රාත්‍රි අළුයම් කාලයෙහි වැස්ස නැති, වලාකුල් නැති අහසෙහි උදා තරුව වේද, එ පසළොස්වක් රාත්‍රීයෙහි වැස්ස නැති වලාකුල් නැති අහසෙහි මධ්‍යම රාත්‍රියෙහි චන්ද්‍රයා වේද, මේ දෙකින් කවරක් අතිශයින් දීප්තිමත් වේද අතිශයින් ප්‍රයෝජනවත් වූයේත්වේද?”
” භවත් ගෞතමයන් වහන්ස, පසළොස්වක්හි වැස්ස නැති, වලාකුල් නැති, අහසෙහි මධ්‍යම රාත්‍රිකාලයෙහි ඇති චන්ද්‍රයා, මේ දෙකින් වඩා දීප්තිමත් වේ අතිශයින් ප්‍රයෝජනවත් වූයේත්වේ?”

“කච්චායනය, ඒ කුමකැයි හඟින්නෙහිද?
එදවස්හි පසළොස්වක්හි, වැස්ස නැති, වලාකුල් නැති අහසෙහි මධ්‍යම රාත්‍රිකාලයෙහි චන්ද්‍රයා වේද, වර්ෂා මාසයන්හි අන්තිම මාසයවූ සරත් කාලයෙහි වැස්ස නැති වලාකුල් නැති අහසෙහි ඉරමුදුන් ව ඇති සූර්යයා හෝ වේද, මේ දෙකින් කවරක් අතිශයින් දීප්තිමත් වේද අතිශයින් ප්‍රයෝජනවත් වූයේත්වේද?”

“භවත් ගෞතමයන් වහන්ස, මේ සූර්යයා , මේ දෙකින් ඉතා බබලන්නේත් ඉතා ප්‍රණීත වූයේත් වෙයි.

කච්චායනය, මේ චන්ද්‍රයාගේ හෝ සූර්යයාගේ ආලෝකයට වඩා ප්‍රභාවෙන් යුක්තවන්නා වූ දෙවියෝ බොහෝ වෙති. මම ඔවුන් දනිමි. එතකුදු වුවත් මම යම් ප්‍රභාවකට වඩා ඉතා උතුම්වූද, ඉතා ප්‍රණීතවූද අන්‍යවූ ප්‍රභාවයක් නැත්තේයයි නොකියමි.
කච්චායනය එතකුදු වුවත් නුඹ යම් ආලෝකයක් කණාමැදිරියෙකුටත් වඩා අතිශයින් හීනවූයේද, අතිශයින් පිළිකුල් වූයේද, ඒ උතුම් ප්‍රභාව යැයි කීයෙහිය.

§ 5.. “කච්චායනය, කාම ගුණ පසක් වෙත්.
කවර පසක්ද යත්?

  • ඇසින් දැකිය යුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මනාපවූ ප්‍රිය ස්වභාව ඇත්තාවූ කම්සැප එලවන්නාවූ ඇලුම් කටයුතුවූ රූපයෝය,
  • කණින් දතයුතුවූ, ඉෂ්ටවූ, කාන්තවූ, මන වඩන්නාවූ, ප්‍රියස්වභාව ඇත්තාවූ, කම්සැප එලවන්නාවූ, ඇලුම් කටයුතුවූ ශබ්දයෝද,
  • නාසයෙන් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම්සැප එලවන්නාවූ, ඇලුම් කටයුතුවූ ගන්ධයෝද,
  • දිවෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කාන්තවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම්සැප එලවන්නාවූ, ඇලුම් කටයුතුවූ රසයෝද,
  • කයෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කාන්තවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම්සැප එලවන්නාවූ, ඇලුම් කටයුතුවූ, ස්පර්ශයෝද යන මේවායි.

කච්චායනය, මේවා පඤ්චකාම ගුණයෝ වෙත්.
කච්චායනය, පංච ඉන්ද්‍රියයන් ට අරමුණු වන කාම වස්තු නිසා සත්වයන්ගේ සිත සොම්නස් වෙයි. සතුටට පත් වෙයි. මේ පස්කම් ගුණයන් නිසා යම් සැපක් සොම්නසක් උපදීද, සත්වයෝ ඒ ප්‍රීතිය සොම්නස විඳීද මෙය කම්සැපයයි කියනු ලැබේ. මෙසේ කාම ගුණයන් කරණකොට කාම සැපය ඇති වේ. එසේ නමුත් කච්චායනය මේ කාම සැපයට වඩා ශ්‍රේෂ්ඨ වුද උතුම් වුද අනෙක් සැපයක් ඇත්තේමය.

.ඉමේ පංච කාම ගුණේ පටිච්ච උප්පජ්ජිති සුඛං සොම්නස්සං
ඉදං වුච්චති කාම සුඛං,
කාම සුඛා කාමග්ගසුඛං තත්ථ අගගමක්ඛයතිති.

මෙසේ වදාළ කල්හි වේඛනස නම් පරිව්‍රාජකයා සතුටට පත්ව භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීයේය.

[වෙඛනස්ස , පරිභ්‍රජිකයකු වුවද දැඩි සේ කාම සැපයෙහි ලොල් වූ වෙක් බව අටුවාව දක්වයි.]


“භවත් ගෞතමයන් වහන්ස, ආශ්චර්ය. භවත් ගෞතමයන් වහන්ස, පුදුමය. භවත් ගෞතමයන් වහන්සේ විසින් කාමගුණයන් කරණකොට කාම සැපය වේ. කාම සැපයට වඩා කාමයෙන් අග්‍ර සැපය (නිවණ) උතුම්යයි කියනු ලැබේය යන කීම මනාව කියන ලද්දකි.”

එවිට භාග්‍යවතුන් වහන්සේ ඔහු කාමය හැර අන් සුවයක් නොදන්නා බව ඔහුටම හඟවනු පිණිස මෙසේ වදාළ සේක.
” කච්චායනය, අන්‍ය දෘෂ්ටියක් ඇත්තාවූ අන්‍ය ඇදහීම් ඇත්තාවූ, අනික් ධර්මයක් කැමති වන්නාවූ, අන් ධර්මයක යෙදෙන්නාවූ, අන් ගුරුවරුන් ඇත්තාවූ තොපට කාමයන් හෝ කාම සැපය හෝ මිස කාමයෙන්ගෙන් වෙන්වූ අග්‍ර සැපය දැනගැනීම දුෂ්කර වේ.

කච්චායනය, සියළු ආශ්‍රව ක්ෂය කළාවූ ඇත්තාවූ, , බ්‍රහ්මචර්යාව වැස නිම කළාවූ, සතර මගින් කළයුතු කටයුතු කොට නිමවූ, කෙලෙස් බර බහා තබනලද, පිළිවෙළින් පැමිණියාවූ අර්හත්වයට පත් වූ , භවයෙහි බැඳීම් නැති කළාවූ, මනාකොට නුවණින් දැන කෙලෙසුන් කෙරෙන් මිදුනාවූ භික්ෂුහු වෙත්ද, ඔව්හු කාමයන්ද, කාම සැපයද, කාමයෙන් වෙන්වූ කාම සැපයට අග්‍ර සැපයද දන්නාහුයයි” (වදාළේය.)

§ 6. මෙසේ වදාළ කල්හි වෙඛනස පරිව්‍රාජක කිපියේ නොසතුටුවූයේ භාග්‍යවතුන් වහන්සේටම ක්‍රොධ කරමින් භාග්‍යවතුන් වහන්සේටම ගරහමින් භාග්‍යවතුන් වහන්සේට කියනු ලබන්නේ
“ශ්‍රමණ ගෞතම තෙමේද සත්‍ය නොදන්නෙක්ය”යි කියමින් භාග්‍යවතුන් වහන්සේට මෙසේද කීයේය.

“ මේ ලෝකයෙහි සමහර මහණ බමුණෝ අතීතයද නොදන්නාහුය, අනාගතයද නොදක්නාහුය. එසේද වුවත් ඔව්හු තමන් ජාතිය ක්ෂය කරන ලද්දීය. බ්‍රහ්මචර්යාව වැස නිමවන ලද්දේය. සතර මගින් කටයුත්ත කරන ලද්දේය. මෙන් මතු කළ යුතු අනිකක් නැතැයි දනිමුයි ප්‍රකාශ කෙරෙත්. ඔවුන්ගේ මේ කීම සිනහවටම කරුණක් බවට පැමිණෙයි. හිස් වචන පමණක් බවටම පැමිණෙයි. ”

“කච්චායනය, යම් මහණ බමුනෙක් අතීතය නොදන්නාහු අනාගතය නොදක්නාහු, ජාතිය ක්ෂය කරණ ලද්දීය. බ්‍රහ්මචර්යාව වැස නිමවන ලද්දේය. සතර මගින් කළයුත්ත කරණ ලද්දේය. මින්පසු කළ යුතු අනිකක් නැතැයි දනිමුයි ප්‍රකාශ කෙරෙත්නම් ඒ ඒ මහණ බමුණන්ගේ කීම් කිරීම් ධර්මයට අනුවම විසඳීම් කල හැක්කේය.

එසේ වුවද කච්චානය, තවද අතීතය ගැන කථා තිබේවා, අනාගතය ගැන කථා තිබේවා, කෛරාටික නොවූ මායා නැත්තාවූ ඍජු ස්වභාව ඇති නුවණැති පුරුෂයෙක් පැමිණෙත්වා, මම ඔහුට අනුශාසනා කරමි. මම ධර්මය දේශනා කරමි. අනුශාසනා කළ පරිද්දෙන් ඔහු පිළිපදිනු ලබන්නේ නම් වැඩි කල් නොයවාම නොබෝ කලකින්ම ඔහු අවිද්‍යා (නොදැනීම්) බැම්මෙන් මිදුනේ වෙයි. ඒ බව තෙමේම දන්නේය. තෙමේම දක්නේය.

කච්චානය, යම්සේ බාලවූ, උඩුකුරුව සයනය කරන්නාවූ ළදරු වෙක් අත් පා සහ බෙල්ල නූල් බැමිවලින් (ඔහුගේ ආරක්ෂාව පිණිස) බඳනා ලද්දේ, ඔහු වැඩිවියට පැමිණ ඉන්ද්‍රයයන් මේරූ කල්හි ඒ බැමිවලින් මිදෙන්නේද, හෙතෙම මිදුනේ වෙමියි බැඳීමක් නැතැයි දන්නේද,

කච්චානය, එපරිද්දෙන්ම කෛරාටික නොවූ අවංක වූ මායා නැත්තාවූ ඍජු ස්වභාව ඇති නුවණැති පුරුෂයෙක් පැමිණෙත්වා, මම ඔහුට අනුශාසනා කරමි. මම ධර්මය දේශනා කරමි. එසේ අනුශාසනා කරණ ලද්දේ, එසේ පිළිපදින්නේ නොබෝ කලකින්ම ඔහු තමන් මනා කොට අවිද්‍යා බැම්මෙන් මිදුනේ වෙමියි’ තෙමේම දන්නේය, තෙමේම දක්නේයයි, (වදාළේය.)

§ 7. මෙසේ වදාළ කල්හි වෙඛනස පරිව්‍රාජකයා භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීයේය.

“භවත් ගෞතමයන් වහන්ස,
ඉතා යහපත. භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපත.
ස්වාමීනි, යම්සේ යටිකුරු කොට තබන ලද්දක්, උඩුකුරු කරන්නේ හෝ වේද,
වසා තබන ලද්දක් වැසුම් අරින්නේ හෝ වේද
මංමුළාවූවෙකුට මග කියන්නේ හෝ වේද,
අන්ධකාරයෙහි ඉන්නා ඇස් ඇත්තෝ රූප දකිත්වායි තෙල් පහනක් දරන්නේ හෝ වේද,
එපරිද්දෙන්ම භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් ආකාරයෙන් ධර්මය දේශනා කරන ලද්දේය.

ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේද, ධර්මයද, භික්ෂු සංඝයාද සරණ කොට යමි. භවත් ගෞතමයන් වහන්සේ මා අද පටන් දිවිහිමි කොට සරණ ගියාවූ උපාසකයෙකැයි, දරණ සේක්වා.” යි කියා වෙස්සනඛ පරිබ්‍රාජිකයා භාග්‍යවතුන් වහන්සේ වන්දනා කළහ.

READ IN ENGLISH : ඉංග්‍රීසියෙන් ලිවූ මුල් පිටපත

MN 03-02-09 කායගතා සති සූත්‍රය

§1 .මා විසින් මෙසේ අසන ලදී.
එක් කලක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ ජේතවන ආරාමයෙහි වැඩ වෙසෙති. එකල්හි එක් සවස් වරුවෙක්හි පිණ්ඩපාතයෙන් පසු , උපස්ථාන සාලාවෙහි (ආගන්තුකාදීන්ට සත්කාරකරන ශාලාවෙහි) රැස්ව හුන්නාවූ, බොහෝ භික්ෂූන් අතරෙහි මේ අතුරු කථාව ඇතිවීය. ‘

(දතයුතු සියල්ල) දන්නාවූ (දැක්ක යුතු සියල්ල) දක්නාවූ, අර්හත්වූ සම්‍යක් සම්බුද්ධවූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් යම් වඩන ලද්දාවූ, පුරුදු කරන ලද්දාවූ, කායගතා සතියක් මහත්ඵල ඇත්තීයයි මහානිසංස ඇත්තී යයි වදාරණ ලද්දේද, ඇවැත්නි, එය ආශ්චර්‍ය්‍යයකි, ඇවැත්නි, එය පුදුමයකි, යනුයි.

ඒ භික්ෂූන්ගේ, මේ අතුරු කථාව අවසාන නොවූයේ වේද, එකල්හි භාග්‍යවතුන් වහන්සේ සවස් කාලයෙහි ඵලසමාපත්තියෙන් නැගී සිටියේ (ආගන්තුකාදීන්ට) සත්කාර කරන ශාලාව යම් තැනෙක්හිද, එතැන්හි වැඩිසේක. වැඩ පනවන ලද ආසනයෙහි වැඩහුන් සේක. වැඩහිඳ භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට කථාකළහ. “මහණෙනි, දැන් වනාහි කිනම් කථාවකින් යුක්තව හුන්නාහුද? ඔබලාගේ කිනම් අතුරු කථාවක් අවසන් නොවූයේ දැයි” ඇසූහ.“ස්වාමීනි, මෙහි සවස් වරුවෙහි පිණ්ඩපාතයේ යෑමෙන් වැලකුනාවූ, උපස්ථාන ශාලාවෙහි රැස්වී හුන්නාවූත අප අතරෙහි මේ අතුරු කථාව ඇතිවිය. ‘දන්නාවූ දක්නාවූ, අර්හත්වූ, සම්‍යක් සම්බුද්ධවූ භාග්‍යවතුන් වහන්සේ විසින් වඩන ලද්දාවූ පුරුදු කරන ලද්දාවූ, යම් මේ කායගතා සතියත් මහත්ඵල ඇත්තීයයි මහානිසංස ඇත්තීයයි වදාරණ ලද්දේ වේද, ඇවැත්නි, එය ආශ්චර්‍ය්‍යය, ඇවැත්නි, එය පුදුමය’ ස්වාමීනි, අපේ මේ කථාව අවසන් නොවූයේ විය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ වැඩිසේකැයි” කීහ.

§2. “මහණෙනි, කෙසේ වඩන ලද, කෙසේ පුරුදු කරන ලද කායගතා සතිය මහත්ඵල වන්නීද, මහානිසංස වන්නීද, මහණෙනි, මේ ශාසනයෙහි වනයකට ගියාවූ හෝ රුක් මුලකට ගියාවූ හෝ, හිස් ගෙයකට ගියාවූ හෝ මහණතෙම අරමිණියා ගොතා, ඇඟ කෙළින් තබා සිහිය ඉදිරිපත්කොට තබාගෙන හිඳින්නේය. හෙතෙම සිහියෙන්ම හුස්ම ගනී. සිහියෙන්ම හුස්ම පිටකරයි. දිගට හුස්ම ගන්නේ හෝ දිගට හුස්ම ගන්නෙමියි දැනගනියි. දිගට හුස්ම පිටකරන්නේ හෝ දිගට හුස්ම පිටකරන්නෙමියි දැනගනියි. කොටින් හුස්ම ගන්නේ හෝ කොටින් හුස්ම ගන්නෙමියි දැනගනියි. කොටින් හුස්ම පිටකරන්නේ හෝ කොටින් හුස්ම පිටකරන්නෙමියි දැනගනියි. සියලු ආශ්වාස ප්‍රශ්වාස කය දැනගනිමින් හුස්ම ගන්නෙමියි හික්මෙයි. සියලු ආශ්වාස ප්‍රශ්වාස කය දැනගනිමින් හුස්ම පිටකරන්නෙමියි හික්මෙයි. ආශ්වාස ප්‍රශ්වාසයන් තුනිකරමින් හුස්ම ගන්නෙමියි හික්මෙයි. ආශ්වාස ප්‍රශ්වාසයන් තුනීකරමින් හුස්ම පිටකරන්නෙමියි හික්මෙයි. මෙසේ අප්‍රමාදව කෙළෙස් තවන වීරිය ඇතිව නිවන කරා යවනලද සිතැතිව වාසය කරන්නාවූ, ඒ මහණහුගේ යම් ඒ පඤ්චකාමය ඇසුරුකොට පවත්නාවූ ඊට දුවන කල්පනාවෝ වෙත්ද, ඔව්හු දුරුවෙත්. ඔවුන්ගේ දුරුවීමෙන් තමා තුළම සිත රඳා සිටියි, නැවතී හිඳියි, එකඟවෙයි. මනාකොට පිහිටයි. මහණෙනි, මෙසේද මහණතෙම කායගතා සතිය වඩයි.

§3 ‘මහණෙනි, නැවතද මහණතෙම යන්නේ හෝ යන්නෙමියි දැනගනියි. සිටියේ හෝ සිටින්නෙමියි දැන ගනියි. හුන්නේ හෝ හුන්නෙමියි දැනගනියි. සැතපෙන්නේ හෝ සැතපෙන්නෙමියී දැන ගනියි. යම් මේ ලෙසකින් වනාහි ඒ මහණහුගේ කය පිහිටුවන ලද්දේ වෙයිද, ඒ ඒ ලෙසින් ඔහු දැනගනියි. මෙසේ නොපමාවූ, කෙළෙස් තවන වීරිය ඇත්තාවූ, නිවන කරා යවනලද සිතැතිව වාසය කරන්නාවූ, ඒ මහණහුගේ යම් ඒ පඤ්චකාමය ඇසුරුකොට පවත්නාවූ ඊට දුවන කල්පනාවෝ (වෙත්ද) ඔව්හු දුරුවෙත්. ඔවුන්ගේ තමා තුළම සිත රඳා සිටියි, නැවතී හිඳියි. එකඟ වෙයි. මනාකොට පිහිටයි. මහණෙනි, මෙසේද මහණතෙම කායගතා සතිය වඩයි.“මහණෙනි, නැවතද මහණතෙම ඉදිරියට යාමෙහිද ආපසු ඊමෙහිද නුවණින් මනාකොට දැන කරන්නේ වෙයි. ඉදිරිය බැලීමෙහිද අවට බැලීමෙහිද නුවණින් මනාකොට දැන කරන්නේ වෙයි. අත් පා හැකිලීමෙහිද දිගු කිරීමෙහිද නුවණින් මනාකොට දැන කරන්නේ වෙයි. පාත්‍රා, දෙපට සිවුරු, තනිපොට සිවුරු, දැරීමෙහිද නුවණින් මනාකොට දැන කරන්නේ වෙයි. කෑමෙහිද, බීමෙහිද, අවුලුපත් කෑමෙහිද, රස විඳීමෙහිද, නුවණින් මනාකොට දැන කරන්නේ වෙයි. මළමුත්‍ර පහකිරීමෙහිද නුවණින් මනා කොට දැන කරන්නේ වෙයි. යාමෙහිද, සිටීමෙහිද, හිඳීමෙහිද, නිදීමෙහිද, නිදිමැරීමෙහිද, කථාකිරීමෙහිද, කථා නොකිරීමෙහිද නුවණින් මනාකොට දැනකරන්නේ වෙයි. මෙසේ නොපමාව කෙළෙස් තවන වීරිය ඇතිව, නිවන කරා යවන ලද සිතැතිව වාසය කරන්නාවූ, ඒ මහණහුගේ යම් පඤ්ච කාමය ඇසුරුකොට පවත්නාවූ, ඊට දුවන කල්පනාවෝ වෙත්ද, ඔව්හු දුරුවෙත්. ඔවුන්ගේ දුරු වීමෙන් තමා තුළම සිත රඳා සිටියි, නැවතී හිඳියි, එකඟවෙයි, මනාකොට පිහිටයි. මහණෙනි, මෙසේද කායගතා සතිය වඩයි.“මහණෙනි, නැවතද මහණතෙම පාද තලයෙන් උඩ හිසකේ මුදුනෙන් යට හම කෙළවරකොට ඇති නානාවිධ අසූචියෙන් පිරුණාවූ, මේ කයම නුවණින් බලයි. මේ කයෙහි කෙස්, ලොම්, නිය, දත්, සම, නහර, ඇට, ඇටමිදුලු, වකුගඩුව, හෘදයමාංශය, අක්මාව, දළබුව, බඩදිව, පෙණහල්ල, බඩවැල, අතුණුබහණ, නොදිරූ ආහාරමළ, හිස්මොළය, පිත, සෙම, සැරව, ලේ, ඩහදිය, මේදතෙල, කඳුලු, වුරුණු තෙල, කෙළ, සොටු, සඳමිදුලු සහ මූත්‍ර ඇත්තේය, (කියායි.) මහණෙනි, නොයෙක් ආකාරවූ ධාන්‍යයන්ගෙන් මුව දක්වා පුරවන ලද, උඩ යට දෙපැත්තෙන් කටවල් දෙකක් ඇති මල්ලක් වේද? කිනම් ධාන්‍යවලින් (පුරවන ලද මල්ලක්) ද යත්:- හැල්වී, මාවී, මුං, මෑ, තල සහ සහල් (යන මේ ධාන්‍ය වලිනි.) ඇස් ඇති පුරුෂයෙක් ඒ ධාන්‍ය පිරූ මල්ල ලිහා, මේ හැල්ය, මේ මාවීය, මේ මුංය, මේ මෑය, මේ තලය, මේ සහල් යයි යම්සේ මෙනෙහි කරන්නේ වේද, එපරිද්දෙන්ම මහණෙනි, (මහණතෙම) පාද තලයෙන් උඩ හිසකේ මුදුනෙන් යට හම කෙළවරකොට ඇති, නානාවිධ අසුචියෙන් පිරුණාවූ, මේ කයම නුවණින් බලයි. මේ කයෙහි කෙස්, ලොම්, නිය, දත්, සම, නහර, ඇට, ඇටමිදුලු, වකුගඩුව, හෘදය මාංශය, අක්මාව, දළබුව, බඩදිව, පෙණහල්ල, බඩවැල, අතුණු බහණ, නොදිරූ ආහාර, මළ, හිස්මොළය, පිත, සෙම, සැරව, ලේ, ඩහදිය, මේදතෙල, කඳුලු, වුරුණු තෙල්, කෙළ, සොටු, සඳමිදුලු, සහ මූත්‍ර ඇත්තේය. (කියයි.) මෙසේ නොපමාව කෙළෙස් තවන වීරිය ඇතිව, නිවන කරා යවන ලද සිතැතිව වාසය කරන්නාවූ ඒ මහණහුගේ යම් ඒ පඤ්චකාමය ඇසුරුකොට පවත්නාවූ ඊට දුවන කල්පනාවෝ වෙත්ද, ඔව්හු දුරුවෙත්. ඔවුන්ගේ දුරුවීමෙන් තමා තුළම සිත රඳාසිටියි. නැවතී හිඳියි. එකඟවෙයි. මනාකොට පිහිටයි. මහණෙනි, මෙසේද මහණතෙම කායගතා සතිය වඩයි.

§4 මහණෙනි, නැවතද මහණතෙම යම් ඉදිරියව්වකින් සිටියාවූ යම් ආකාරයකින් තබනලද්දාවූ, මේ කයම ධාතු වශයෙන් නුවණින් සිහි කරන්නේය. (කෙසේද) මේ කයෙහි “පඨවි” ධාතුව ඇත්තේය. ආපෝධාතුව ඇත්තේය. තේජෝ ධාතුව ඇත්තේය. වායෝ ධාතුව ඇත්තේය. (කියයි.) මහණෙනි, යම්සේ දක්ෂවූ ගවයන් මරන්නෙක් හෝ ගවයන් මරවන්නෙකගේ අතවැසියෙක් හෝ ගවයකු මරා සතර මං සන්ධියක කොටස් වශයෙන් වෙන් වෙන්කොට බෙදා උන්නේ වේද, මහණෙනි, එමෙන් මහණතෙම යම් ඉරියව්වකින් සිටියාවූ යම් ආකාරයකින් තබන ලද්දාවූ මේ කයම ධාතුවශයෙන් සිහි කරන්නේය. මේ කයෙහි පඨවි ධාතුව ඇත්තේය. ආපෝ ධාතුව ඇත්තේය. තේජෝ ධාතුව ඇත්තේය. වායෝ ධාතුව ඇත්තේය. (කියායි) මෙසේ නොපමාව කෙළෙස් තවන වීරිය ඇතිව, නිවන කරා යවන ලද සිතැතිව වාසය කරන්නාවූ ඒ මහණහුගේ යම් ඒ පඤ්චකාමය ඇසුරුකොට පවත්නාවූ ඊට දුවන කල්පනාවෝ වෙත්ද, ඔව්හු දුරුවෙත්. ඔවුන්ගේ දුරුවීමෙන් තමා තුළම සිත රඳා සිටියි. නැවතී හිඳියි. එකඟවෙයි. මනාකොට පිහිටයි. මහණෙනි, මෙසේද මහණතෙම කායගතා සතිය වඩයි.“මහණෙනි, නැවතද මහණතෙම මැරී එක් දවසක් ගියාවූ හෝ දෙදවසක් ගියාවූ හෝ තුන් දවසක් ගියාවූ හෝ ඉදිමුණාවූ, නිල්වූ, සැරව වැගිරෙන්නාවූ අමුසොහොනෙහි දමනලද ශරීරයක් යම්සේ දක්නේද, ඒ මහණතෙම මේ කය ඒ හා සමාන කර බලන්නේය. (කෙසේද) මේ කයද, මෙබඳු ස්වභාව ඇත්තේය. මේ ස්වභාවයට පැමිණෙන්නේය. මේ ස්වභාව නොයික්ම සිටියේය. (කියයි) මෙසේ නොපමාව කෙළෙස් තවන වීරිය ඇතිව, නිවන කරා යවන ලද සිතැතිව වාසය කරන්නාවූ, ඒ මහණහුගේ යම් ඒ පඤ්චකාමය ඇසුරු කළාවූ ඊට දුවන කල්පනාවෝ වෙත්ද, ඔව්හු දුරුවෙත්. ඔවුන්ගේ දුරුවීමෙන් තමා තුළම සිත රැඳී සිටියි, නැවතී හිඳියි, එකඟවෙයි, මොනවට පිහිටයි. මහණෙනි, මෙසේ මහණතෙම කායගතා සතිය වඩයි.“මහණෙනි, නැවතද මහණතෙම කපුටන් විසින් කනු ලබන්නාවූ හෝ උකුස්සන් විසින් කනු ලබන්නාවූ හෝ ගිජුලිහිණියන් විසින් කනු ලබන්නාවූ හෝ බල්ලන් විසින් කනු ලබන්නාවූ හෝ හිවලුන් විසින් කනු ලබන්නාවූ හෝ නොයෙක ප්‍රාණීන් විසින් කනු ලබන්නාවූ හෝ ශරීරයක් යම්සේ දක්නේද, ඒ මහණතෙම මේ මළ කයම තම කය හා සමාන කරන්නේය. (කෙසේද) මෙ කයද, මෙබඳු ස්වභාවය ඇත්තේය. මෙබඳු ස්වභාවයට පැමිණෙන්නේය. මෙබඳු ස්වභාව නොයික්ම සිටින්නේය. (කියායි) මෙසේ නොපමාව කෙළෙස් තවන වීරිය ඇතිව නිවන කරා යවන ලද සිතැතිව වාසය කරන්නාවූ ඒ මහණහුගේ යම් පඤ්චකාමය ඇසුරු කළාවූ ඊට දුවන කල්පනාවෝ (වෙත්ද) ඔව්හු දුරුවෙත්. ඔවුන්ගේ දුරුවීමෙන් තමා තුළම සිත රැඳී සිටි. නැවතී හිඳියි. එකඟ වෙයි. මනාකොට පිහිටයි. මහණෙනි, මෙසේද මහණතෙම කායගතා සතිය වඩයි.

§5 .“මහණෙනි, නැවතද මහණතෙම ලේ මස් සහිතවූ නහර වැලින් බැඳුනාවූ ඇටසැකිල්ලක්ද මස් නැති ලේ තැවරුණු, නහරින් බැඳුනු ඇටසැකිල්ලක්ද මස් ලේ පහවූ නහර වලින් බැඳුනු, ඇටසැකිල්ලක්ද (නහර) සම්බන්ධයෙන් වෙන්වූ, එක දිසාවක පා ඇටද එක් දිසාවක කෙණ්ඩා ඇටද එක් දිසාවක කලවා ඇටද, එක් දිසාවක කටි ඇටද, එක් දිසාවක පිටකටුද, එක් දිසාවක හිස් කබලද ඇත්තාවූ, දිශා අනු දිසාවන්හි විසුරුණු ඇට කැබලි ඇත්තාවූ, අමු සොහොනෙහි දමන ලද ශරීරයක් යම්සේ දක්නේද, ඒ මහණතෙම මේ මළ කයම තම කය හා සමාන කරන්නේය. (කෙසේද) මේ කයද මෙබඳු ස්වභාව ඇත්තේය. මෙබඳු ස්වභාවයට පැමිණෙන්නේය. මෙබඳු ස්වභාව නොයික්ම සිටියේය. (කියායි). මෙසේ නොපමාව කෙළෙස් තවන වීරිය ඇතිව නිවන කරා යවන ලද සිතැතිව, වාසය කරන්නාවූ ඒ මහණහුගේ යම් ඒ පඤ්චකාමය ඇසුරු කළාවූ ඊට දුවන කල්පනාවෝ (වෙත්ද) ඔව්හු දුරුවෙත්. ඔවුන්ගේ දුරුවීමෙන් තමා තුළම සිත රැඳී සිටියි. නැවතී හිඳියි. එකඟ වෙයි. මනාකොට පිහිටයි. මහණෙනි, මෙසේද මහණතෙම කායගතා සතිය වඩයි.“මහණෙනි, නැවතද මහණතෙම හක්ගෙඩියක් පාටට සමාන ස්වභාව ඇති සුදුවූ ඇට ඇත්තාවූ, ඇට ගොඩක්වූ, අවුරුදු ගණනක් ඉකුත්වූ, පිළිකුල්වූ, සුණුවූ ඇට ඇත්තාවූද අමුසොහොනෙහි දමන ලද ශරීරයක් යම්සේ දක්නේද ඒ මහණතෙම මේ මළ කයම තම කය හා සමාන කරන්නේය. (කෙසේද) මේ කයද මෙබඳු ස්වභාව ඇත්තේය මෙබඳු ස්වභාවයට පැමිණෙන්නේය. මෙබඳු ස්වභාව නොයික්ම සිටියේය. (කියායි.) මෙසේ නොපමාව, කෙළෙස් තවන වීර්‍ය්‍ය ඇතිව, නිවන කරා යවන ලද සිතැතිව, වාසය කරන්නාවූ ඒ මහණහුගේ යම් ඒ පඤ්චකාමය ඇසුරුකළාවූ ඊට දුවන කල්පනාවෝ (වෙත්ද) ඔව්හු දුරුවෙත්. ඔවුන්ගේ දුරුවීමෙන් තමා තුළම සිත රැඳී සිටියි. නැවතී හිඳියි. එකඟ වෙයි. මොනවට පිහිටයි. මහණෙනි, මෙසේද මහණතෙම කායගතා සිහිය වඩයි.

§6 .“මහණෙනි, නැවතද මහණතෙම කාමයන්ගෙන් වෙන්ව, අකුශල ධර්මයන්ගෙන් වෙන්ව, විතර්ක සහිත විචාර සහිත, විවේකයෙන් උපන් ප්‍රීතිය සහ සැපය ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි. ඒ මහණතෙම මේ කයම විවේකයෙන් උපන් ප්‍රීතියෙන් සහ සැපයෙන් තෙමයි, වගුරුවයි, පුරවයි, පතුරුවයි, ඔහුගේ මුළු කයේ විවේකයෙන් උපන් ප්‍රීතිය සහ සැපය නොපැතුරුණු කිසි තැනෙක් නොවන්නේය. මහණෙනි, යම්සේ දක්ෂ නහවන්නෙක් හෝ නහවන්නෙකුගේ අතවැසියෙක් හෝ ලෝහ තලියෙහි නහන කල්ක බහා දියෙන් තෙම තෙමා මිශ්‍රකොට හනන්නේය. ඔහුගේ ඒ නාන සුණු පිඩ තෙතමනේ යුක්තවූයේ, තෙතමනෙන් බැඳුණේ ඇතුළත සහ පිටත පැතිරෙන ලද්දේ වේද, නොවැගිරෙන්නේ වේද, එසේම මහණෙනි, මහණතෙම මේ කයම විවේකයෙන් උපන් ප්‍රීතියෙන් සහ සැපයෙන් තෙත් කරයි, වගුරුවයි, පුරවයි, පතුරුවයි, ඔහුගේ මුළු කයේ විවේකයෙන් උපන් ප්‍රීතිය සහ සැපය නොපැතුරුණු කිසි තැනක් නොවන්නේය. මෙසේ නොපමාව කෙළෙස් තවන වීර්‍ය්‍ය ඇතිව නිවන කරා යවන ලද සිතැතිව වාසය කරන්නාවූ ඒ මහණහුගේ යම් ඒ පඤ්චකාමය ඇසුරු කළාවූ ඊට දුවන කල්පනාවෝ ආශාවෝ වෙත්ද, ඒවා දුරු වෙත්. ඔවුන්ගේ දුරුවීමෙන් තමා තුළම සිත බැඳී සිටියි. නැවතී හිඳියි. එකඟ වෙයි. මනාව පිහිටයි, මහණෙනි, මෙසේද මහණතෙම කායගතා සිහිය වඩයි.‘මහණෙනි, නැවතද මහණතෙම විතර්ක විචාරයන්ගේ සංසිඳුවීමෙන් ඇතුළත පහදන්නාවූ, සිත එකඟ කරන්නාවූ විතර්ක රහිත, විචාර රහිත, සමාධියෙන් උපන් ප්‍රීතිය සහ සැපය ඇති දෙවෙනි ධ්‍යානයට පැමිණ වාසය කරයි. ඒ මහණතෙම මේ කයම සමාධියෙන් උපන් ප්‍රීතියෙන් හා සැපයෙන් තෙමයි, වගුරුවයි, පුරවයි, පතුරුවයි. ඔහුගේ මුළු කයෙහි සමාධියෙන් උපන් ප්‍රීතිය සහ සැපය නොපැතුරුණු කිසි තැනක් නොවන්නේය.මහණෙනි, ජලයෙන් පිරුණාවූ විලක්වේද, ඒ නැගෙන හිර දිසාවෙන්ද, ජලමාර්ගයක් නොවන්නේද, බස්නාහිර දිසාවෙන්ද, ජලමාර්ගයක් නොවන්නේද, උතුරු දිසාවෙන්ද ජල මාර්ගයක් නොවන්නේද, දකුණු දිසාවෙන්ද ජලමාර්ගයක් නොවන්නේද, වැස්සද කලින් කල මනාකොට වසින්නේවේද, ඉක්බිති ඒ දිය විලෙන්ම සිහිල් ජල ධාරාවන් මතුවී ඒ දිය විලම සිහිල් ජලයෙන් තෙමෙන්නේද, වගුරුවන්නේද, පුර වන්නේද, පතුරුවන්නේද, ඒ සියලු දිය විලේ සිහිල් දියෙන් නොපැතුරුණු කිසිතැනක් නැත්තේද මහණෙනි, එපරිද්දෙන් මහණ තෙම මේ කය සමාධියෙන් හටගත් ප්‍රීතියෙන් හා සැපයෙන් තෙමයි වගුරුවයි, පුරවයි, පතුරුවයි. ඔහුගේ මුළු කයෙහි ප්‍රීතියෙන් හා සැපයෙන් නොපැතුරුණාවූ කිසි තැනක් නැත්තේය. මෙසේ නොපමාව කෙළෙස් තවන වීර්‍ය්‍ය ඇතිව, නිවනකරා යවනලද සිතැතිව වාසය කරන්නාවූ ඒ මහණහුගේ යම් ඒ පඤ්චකාමය ඇසුරු කළාවූ ඊට දුවන කල්පනාවෝ වෙත්ද, ඒවා ඔව්හු දුරුවෙත්. ඔවුන්ගේ දුරු වීමෙන් තමා තුළම සිත රැඳී සිටියි. නැවතී හිඳියි, එකඟ වෙයි, මනාකොට පිහිටයි. මහණෙනි, මෙසේද මහණ තෙම කය අනුව ගියාවූ සිහිය වඩයි.

§7. “මහණෙනි, නැවතද මහණතෙම ප්‍රීතියද ඉක්මවීමෙන් උපෙක්ෂාවෙන් යුක්තව සිහියෙන් යුක්තව නුවණින් යුක්තව වාසය කරයි. කයින් සැපයද විඳියි. ආර්‍ය්‍යයෝ යම් ධ්‍යානයක් උපෙක්ෂාවෙන් යුක්ත වූයේ සිහියෙන් යුක්තවූයේ සැපවිහරණ ඇත්තේයයි කියත්ද, ඒ තුන්වන ධ්‍යානයට පැමිණ වාසය කරයි. හෙතෙම මේ කයම ප්‍රීතිය රහිත සැපයෙන් තෙමෙන්නේය. වගුරුවන්නේය, පුරවන්නේය. පතුරු වන්නේය. ඔහුගේ මුළු කයේ ප්‍රීතිය රහිත සැපය නොපැතුරුණු කිසිම තැනක් නොවෙයි. මහණෙනි, යම්සේ මානෙල් විලක හෝ පියුම් විලක හෝ හෙළ පියුම් විලක හෝ දියෙහි හටගත්, දියෙහි වැඩුණු, දිය අනුව උස්වූ ඇතුලෙහි ගිලී වැඩෙන්නාවූ, කිසියම් උපුල් හෝ පියුම් හෝ හෙළ පියුම් හෝ (වෙත්ද) ඒවා අගසිට මුල දක්වාත් මුල සිට අග දක්වාත් සිසිල් දියෙන් තෙමුණාහූ, වැගුරුණාහු, පිරුණාහු, පැතුරුනාහු වෙත්ද. ඒ සියලු උපුල්වල හෝ පියුම්වල හෝ හෙළ පියුම් වල හෝ සිසිල් දිය නොපැතුරුණු කිසිම තැනක් නොවන්නේය. මහණෙනි, එසේම මහණතෙම මෙම කයම ප්‍රීතිය රහිත සැපයෙන් තෙමයි, වගුරයි, පුරවයි, පතුරුවයි. ඔහුගේ මුළු කයේ ප්‍රීතිය රහිත සැපය නොපැතුරුණු කිසි තැනක් නොවෙයි. මෙසේ නොපමාව කෙළෙස් තවන වීර්‍ය්‍ය ඇතිව, නිවණ කරා යවනලද සිතැතිව වාසය කරන්නාවූ ඒ මහණහුගේ යම් ඒ පඤ්චකාමය ඇසුරු කළාවූ ඊට දුවන්නාවූ කල්පනාවෝ වෙත්ද, ඒවා දුරු වෙත්. ඔවුන්ගේ දුරු වීමෙන් තමා තුළම සිත රැඳී සිටියි, නැවතී හිඳියි, එකඟ වෙයි, මනා කොට පිහිටයි. මහණෙනි, මෙසේද මහණ තෙම කය අනුව ගියාවූ සිහිය වඩයි.“මහණෙනි, නැවත මහණ තෙම සැපයද නැති කිරීමෙන් දුකද නැති කිරීමෙන් පළමුවම සොම්නස් දොම්නස් දෙක අතුරුදන් කිරීමෙන් දුක් නැත්තාවූද, සැප නැත්තාවූද උපෙක්ෂාවෙන් හටගත් සිහිය පිළිබඳ පිරිසුදු බැව් ඇති, සතර වන ධ්‍යානයට පැමිණ වාසය කරයි. ඒ මහණතෙම මේ කයම පිරිසිදුවූ, හාත්පස පිරිසිදුවූ සිතින් පතුරුවා හුන්නේ වෙයි. ඔහුගේ මුළු කයේ පිරිසිදුවූ හාත්පස පිරිසිදුවූ, සිත නොපැතුරුණු කිසි තැනක් නොවන්නේය. මහණෙනි, යම් පුරුෂයෙක් සුදු රෙද්දකින් හිස සහිතව පොරොවාගෙන හුන්නේ වේද, ඔහුගේ මුළු කයේ සුදුරෙද්ද නොපැතුරුණු කිසි තැනක් නැත්තේ වේද, මහණෙනි, එසේම හෙතෙම මෙම කයම පිරිසිදුවූ, හාත්පස පිරිසිදුවූ, සිතින් පතුරුවා හුන්ගේ මුළු කයේ පිරිසිදුවූ, හාත්පස පිරිසිදුවූ, සිත නොපැතුරුණු කිසිතැනක් නොවෙයි. මෙසේ නොපමාව, කෙළෙස් තවන වීරිය ඇතිව නිවන කරා යවන ලද සිතැතිව, වාසය කරන්නාවූ, ඒ මහණහුගේ යම් ඒ පඤ්චකාමය ඇසුරු කළාවූ ඊට දුවන කල්පනාවෝ වෙත්ද, ඔව්හු දුරුවෙත්. ඔවුන්ගේ දුරුවීමෙන් තමා තුළම සිත රැඳී සිටියි නැවතී හිඳියි, එකඟ වෙයි. මනා කොට පිහිටයි. මහණෙනි, මෙසේද මහණතෙම කය අනුව ගියාවූ සිහිය වඩයි.

§8. මහණෙනි, යම් කිසිවෙකු විසින් කය අනුව ගියාවූ සිහිය වඩන ලද්දීද, පුරුදු කරන ලද්දීද, ඔහුගේ ඒ කය අනුව ගියාවූ සිහියට අෂ්ට විද්‍යාවට අයත් කුශල ධර්මයෝ නම් ඒ සියල්ල ඇතුලත් වෙත්.“මහණෙනි, යම්සේ යමෙකු විසින් ආපො කසිණ සමාපත්තියෙන් හෝ දිබ්බචක්ඛුඥානයෙන් හෝ මහා සමුද්‍රය ස්පර්ශ කරන ලද්දේද, ඒ මහා සමුද්‍රය කරා ගමන් කරන්නාවූ යම්කිසි කුඩා ගංගාවෝ වෙත් නම් ඒ සියල්ල ඒ මහමූදට ඇතුලත් වෙත්. මහණෙනි, එසේම කිසිවෙකු විසින් කායගතා සතිය වඩන ලද්දීද, පුරුදු කරන ලද්දීද, ඔහුගේ ඒ කායගතා සතියෙහි යම් ඒ අෂ්ට විද්‍යාවට අයත් කුශල ධර්මයෝ වෙත් නම් ඒ සියල්ල ඇතුළත් වන්නාහුය. මහණෙනි, යම්කිසිවෙකු විසින් කායගතා සතිය නොවඩන ලද්දීද, පුරුදු නොකරන ලද්දීද, මාරතෙමේ ඔහුගේ සිදුරු දකියි. මාරතෙමේ ඔහුගේ කෙළස් ඉපදීම පිණිස පවත්නා හේතු දකියි. මහණෙනි, යම්සේ පුරුෂයෙක් බරවූ ගලක් තෙත්වූ මැටි ගොඩක හෙලන්නේය මහණෙනි, කුමක් සිතව්ද ඒ බර ගල ඇතුල් වීමට තෙත මැටි ගොඬේසිදුරක් ලබන්නේද?” “එසේය. ස්වාමීනි, ලබන්නේය.” “මහණෙනි, එසේම යමෙකු විසින් කායගතා සතිය නොවඩන ලද්දීද, පුරුදු නොකරන ලද්දීද, මාර තෙමේ ඔහුකරා ඇතුළත් වීමට ඔහුගේ සිදුරු ලබන්නේය. මාර තෙමේ ඔහුගේ කෙලස් ඉපදීමට හේතු දකින්නේය.“මහණෙනි, වේලුනු දරලීයක් වෙයි. ඉක්බිති පුරුෂයෙක් ගිනිගානා දණ්ඩක් ගෙන ‘ගිනි උපදවන්නෙමි, උණුසුම පහළ කරන්නෙමි’යි එන්නේය. මහණෙනි, කුමක් සිතව්ද, ඒ පුරුෂයා මේ වියලි දරලීය ගිනිගානා දණ්ඩ ගෙන පිරිමදින්නේය. ගිනි නිපදවන්නේද? උණුසුම පහළ කරන්නේද?” “එසේය. ස්වාමීනි,” “මහණෙනි, එසේම යමෙකු විසින් කායගතා සතිය නොවඩන ලද්දේද, පුරුදු නොකරන ලද්දීද, මාරතෙම ඔහුගේ සිදුරු දකියි, මාරතෙම ඔහුගේ කෙළෙස් ඉපදීමට හේතු දකියි.“මහණෙනි, යම්සේ දිය නැත්තාවූ, හිස්වූ, ආධාරයෙහි (දරණුයෙහි) තබන ලද්දාවූ, මහදිය සැලියක් (වේද) ඉක්බිති පුරුෂයෙක් දිය බරක් ගෙන එන්නේය. මහණෙනි, කුමක් සිතව්ද, ඒ පුරුෂයා ජලය වත්කිරීමට ලබන්නේද?” ‘එසේය ස්වාමීනි,” මහණෙනි, යම්කිසිවෙකු විසින් කායගතා සතිය නොවඩන ලද්දීද, පුරුදු කරන ලද්දීද, මාරතෙමේ ඔහුගේ සිදුරු දකියි. ඔහුගේ කෙළෙස් ඉපදීමට හේතු දකියි.

§9 . “මහණෙනි, යම්කිසිවෙකු විසින් කායගතා සතිය වඩන ලද්දීද, පුරුදු කරන ලද්දීද, මාරතෙම ඔහුගේ සිදුරු නොදකියි. මාර තෙම ඔහුගේ කෙළෙස් ඉපදීමට හේතු නොදකියි. මහණෙනි, යම්සේ පුරුෂයෙක් සැහැල්ලුවූ නූල් ගුලියක් සියල්ල අරටුවෙන් නිමවූ, දොර පලුවක් උඩ දමන්නේද මහණෙනි, කුමක් සිතව්ද, ඒ සැහැල්ලුවූ නූල් ගුලිය සියල්ල අරටුවෙන් නිමවූ දොරපලුයෙහි සිදුරක් ලබන්නේද?” “ස්වාමීනි, එය නොවේමය.” “මහණෙනි, එසේම යම්කිසිවෙකු විසින් කායගතා සතිය වඩනලද්දීද, පුරුදු කරන ලද්දීද, ඒ මහණෙකුගේ සිදුරක් මාරයා නොලබයි. ඔහුගේ කෙලෙස් ඉපදීමට හේතුවක් මාරයා නොදකියි.“මහණෙනි, යම්සේ තෙත්වූ අමු ලීයක් ඇත්තේය. ඉක්බිති පුරුෂයෙක් ගිනිගානා දණ්ඩක් ගෙන ගිනි නිපදවන්නෙමි. උණුසුම් පහළ කරන්නෙමියි එන්නේය. මහණෙනි, කුමක් සිතම්ද, ඒ පුරුෂයා මේ තෙත්වූ අමුලීය ගිනි ගානා දණ්ඩ ගෙන පිරිමැදීමෙන් ගිනි නිපද වන්නේද? උණුසුම පහළ කරන්නේද?” “ස්වාමීනි, එය නොවේ.” “මහණෙනි, මෙසේම යම් කිසිවෙකු විසින් කායගතා සතිය වඩන ලද්දීද, ඒ මහණහුගේ සිදුරක් මාරයා නොලබයි. ඔහුගේ කෙලෙස් ඉපදීමට හේතුවක් මාරයා නොදකින්නේය.“මහණෙනි, යම්සේ දිය පිරුණාවූ, ගැට්ට ලඟට පිරුණාවූ කපුටකු විසින් බිය හැකි තරමට පිරුණාවූ ආධාරයෙහි (දරණුයෙහි) තබන ලද්දාවූ මහ දිය සැළියක් (වේද) ඉක්බිති පුරුෂයෙක් දිය බරක් ගෙන එන්නේය. මහණෙනි, කුමක් සිතව්ද, ඒ පුරුෂයා දිය වත් කිරීමට ලබන්නේද?” “ස්වාමීනි, එය නොවේ” “මහණෙනි, මෙසේම යම් කිසිවෙකු විසින් කායගතා සතිය වඩන ලද්දීද, ඔහුගේ සිදුරක් මාරයා නොලබයි. ඔහුගේ කෙලෙස් ඉපදීමට හේතුවක් මාරයා නොලබයි.

§10. “මහණෙනි, යම් කිසිවෙකු විසින් කායගතා සතිය වඩනා ලද්දීද, බහුල කරන ලද්දීද, හෙතෙම නුවණින් දැන ප්‍රත්‍යක්ෂ කළයුතු යම් යම් ධර්මයක් වේද, එය නුවණින් දැන ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස සිත නමයි. ඒ ඒ තන්හි කරුණු ඇති ඇති කල්හි ප්‍රත්‍යක්ෂ කිරීමට පැමිණෙයි. ඇති ඇති කල්හි ප්‍රත්‍යක්ෂ කිරීමට පැමිණෙයි. මහණෙනි යම්සේ පිරුණාවූ, දිය ගැට්ට ළඟට ඇත්තාවූ, කපුටකු විසින් බිය හැකි තරම් පිරුණාවූ, ආධාරයෙහි (දරුණුයෙහි තබන ලද්දාවූ, දිය සැළියක් (වේද) ඒ මේ සැළිය බලවත් පුරුෂයෙක් යම් යම් තැනකින් තමන්ගේ දිය එන්නේද?”“එසේය, ස්වාමීනි,”“මහණෙනි, එසේම යම් කිසිවෙකු විසින් කායගතා සතිය වඩන ලද්දීද, පුරුදු කරන ලද්දීද, හෙතෙම නුවණින් දැන ප්‍රත්‍යක්ෂ කළයුතු යම් යම් ධර්මයක් වේද (එය) නුවණින් දැන ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස සිත නමයි. ඒ ඒ තන්හි කරුණු ඇති ඇති කල්හි ප්‍රත්‍යක්ෂ බවට පැමිණෙයි.“මහණෙනි, යම් බැම්මක් බඳින ලද, පිරුණාවූ ගැට්ට ලඟට දිය පිරුණාවූ කපුටකු විසින් බිය හැකි තරමට පිරුණාවූ, සමභූමියෙහිවූ, හතරැස් පොකුණක් වේද, බලවත් පුරුෂයෙක් ඒ මේ පොකුණේ යම් යම් පැත්තකින් බැම්ම බිඳින්නේ දිය එන්නේද?”“එසේය, ස්වාමීනි,”“මහණෙනි, එසේය යම් කිසිවෙකු විසින් කායගතා සතිය වඩන ලද්දීද, බහුල කරන ලද්දීද, හෙතෙම නුවණින් දැන ප්‍රත්‍යක්ෂ කළයුතු යම් යම් ධර්මයක් වේද, (එය) නුවණින් දැන ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස සිත නමයි. ඒ ඒ තන්හි කරුණු ඇති ඇති කල්හි ප්‍රත්‍යක්ෂ බවට පැමිණෙයි.“මහණෙනි, යම්සේ සතර මංසන්ධියක යහපත් තැනක කෙවිට පහත හෙළන ලද අශ්වයන් යෙදූ උතුම් රියක් (වේද) ඒ රථයට දක්ෂවූ අසුන් හික්මවන්නාවූ රියැදුරෙක් නැඟී වමතින් සම්පටිය ගෙන දකුණතින් කෙවිට ගෙන යම් කිසි කැමති තැනකට පදවන්නේද, මහණෙනි, එසේම යම් කිසිවෙකු විසින් කායගතා සතිය වඩන ලද්දීද, බහුල කරන ලද්දීද, හෙතෙම නුවණින් දැන ප්‍රත්‍යක්ෂ කළයුතු යම් යම් ධර්මයක් වේද (එය) නුවණින් දැන ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස සිත නමයි. ඒ ඒ තන්හිදී කරුණු ඇති ඇති කල්හි ප්‍රත්‍යක්ෂ බවට පැමිණෙයි.

§11. “මහණෙනි, සේවනය කරන ලද්දාවූ වඩන ලද්දාවූ පුරුදු කරන ලද්දාවූ, යානාවක් මෙන් කරන ලද්දාවූ, පිහිටක් බවට පමුණුවන ලද්දාවූ, නැවත නැවත කරන ලද්දාවූ, පුරුදුකරන ලද්දාවූ, මනාකොට වීර්‍ය්‍යකරන ලද්දාවූ, කායගතා සතියෙහි මේ ආනිසංස දසයක් කැමතිවිය යුත්තාහ. කවර දසයක්ද යත්? (කුශල ධර්මයන්හි) නොඇලීමද, (කම් සැපයෙහි) ඇල්මද මැඩපැවත්වන්නේ වෙයි. ඒ (කුශල ධර්මයන්හි) නොඇලීම නොඉවසයි. උපන් (කුශල ධර්මයන්හි) නො ඇල්ම මැඩ වාසයකරයි. භයානක අරමුණු මැඩපවත්වන්නේ වෙයි. ඒ භයානක අරමුණු නොඉවසයි. උපන් භයානක අරමුණු මැඩ වාසය කරයි. ශීතයාගේද, උෂ්ණයාගේද, සාගින්නේද, පිපාසයාගේද, මැස්සන්ගේද, මදුරුවන්ගේද, වාතයේද, අවු රශ්මියේද, සර්පයන්ගේද ස්පර්ශය ඉවසන්නේ වෙයි. නොමනාසේ කියන ලද, නපුරුකොට කියනලද, වචන ඉවසන්නේ වෙයි. උපන්නාවූ, දුක්වූ, තියුණුවූ, කුරිරුවූ, කටුකවූ, නොමිහිරිවූ, අමනාපවූ, දිවි නසන්නාවූ, ශරීර වේදනාව ඉවසන්නෙක් වෙයි.“පිරිසිදු සිතෙහි හටගත්තාවූ, මේ ආත්මයෙහි සැප වාසය ඇත්තාවූ, (රූපාවචර) ධ්‍යාන සතර කැමතිසේ ලබන්නේ, පහසුවෙන් ලබන්නේ, අමාරුවක් නැතිව ලබන්නේ, නොයෙක් අයුරින් යුත් ඍධිවිධි අනුභව කරයි. (විඳියි.) (කෙසේද) එකෙක්ව බොහෝසේ වෙයි. බොහෝසේව එකෙක් වෙයි. ප්‍රකට බවටද, මුවහ බවටද අහසෙහි මෙන් බිත්තිය විනිවිද ගෙනද, පවුර විනිවිද ගෙනද, පර්වතය විනිවිද ගෙනද, නොහැපෙමින් යයි. දියෙහි මෙන් පොළොවෙහිද කිමිඳීම් මතුවීම් කරයි. පොළොවෙහි මෙන් දියෙහි, දිය නොබිඳ ගමන් කරයි. පක්ෂියෙකු මෙන් අහසෙහිද, අරමිණියා ගොතා හිඳගෙන යයි. මෙසේ මහත් ඍද්ධි ඇති, මෙසේ මහත් ආනුභාව ඇති මේ සඳ හිරු දෙදෙන අතින් අතගායි, පිරිමදියි. බඹලොවතෙක් ශරීරයෙන් වසඟ බව පවත්වයි. පිරිසිදුවූ, මිනිස් කණ ඉක්ම පැවැත්තාවූ දිව කණින් දිව්‍යමයවූද, මනුෂ්‍යමයවූද, දුරවූද, ලඟවූද දෙවැදෑරුම් ශබ්දයන් අසයි.

§12. “අන්‍ය සත්වයින්ගේ, අන්‍ය පුද්ගලයින්ගේ, සිත තම සිතින් පිරිසිඳ දනියි. (කෙසේද) රාග සහිත සිත රාග සහිත සිතයයි දනියි. රාග රහිත සිත රාග රහිත සිත යයි දනියි. ද්වේෂ සහිත සිත ද්වේෂ සහිත සිතයයි දනියි. ද්වේෂ රහිත සිත ද්වේෂ රහිත සිතයයි දනියි. මෝහ සහිත සිත මෝහ සහිත සිතයයි දනියි. මෝහ රහිත සිත මෝහ රහිත සිත යයි දනියි. හැකුලුනු සිත හැකුලුනු සිතයයි දනියි. මහත් බවට ගිය සිත මහත් බවට ගිය සිතයයි දනියි. මහත් බවට නොගිය සිත මහත් බවට නොගිය සිතයයි දනියි. (ලෞකික සිත්අතුරෙන්) උසස්වූ සිත (ලෞකික සිත් අතුරෙන්) උසස්වූ සිතයයි දැන ගනියි. (ලෞකික සිත් අතුරෙන්) උසස් නොවූ සිත (ලෞකික සිත් අතුරෙන්) උසස් නොවූ සිතයයි දැන ගනියි. සමාධි ගතවූ සිත සමාධිගතවූ සිත යයි දැනගනියි. සමාධිගත නොවූ සිත සමාධිගත නොවූ සිතයයි දැනගනියි. (කෙළෙසුන් කෙරෙන්) මිදුනු සිත (කෙළෙසුන් කෙරෙන්) මිදුනු සිතයයි දැනගනියි. (කෙළෙසුන් කෙරෙන්) නොමිදුනු සිත (කෙළෙසුන් කෙරෙන්) නොමිදුනු සිතයයි දැන ගනියි. නන්වැදෑරුම්වූ පෙර විසූ තැන් සිහිකරයි.“ඒ කවරේදයත්:- එක් ජාතියක්ද, ජාති දෙකක්ද ජාති තුනක්ද, ජාති හතරක්ද, ජාති පහක්ද, ජාති දහයක්ද, ජාති විස්සක්ද, ජාති තිහක්ද, ජාති හතළිසක්ද, ජාති පණසක්ද, ජාති සියයක්ද, ජාති දහසක්ද, ජාති ලක්ෂයක්ද, නොයෙක් ජාතිලක්ෂ ගණන්ද, අසවල් තැන වූයෙම් මෙබඳු නම් ඇත්තේ, මෙබඳු ගොත්‍ර ඇත්තේ, මෙබඳු වර්ණ ඇත්තේ, මෙබඳු ආහාර ඇත්තේ, මෙබඳු සැප දුක් විඳින්නේ, මෙබඳු ආයුෂ කෙළවරකොට ඇත්තේවීමි. මම එයින් චූත වූයෙමි. අසවල් තැන උපනිමි. එහිද මෙබඳු නම් ඇත්තේවීමි. මෙබඳු ගොත්‍ර ඇත්තේ වීමි. මෙබඳු වර්ණ ඇත්තේ වීමි. මෙබඳු ආහාර ඇත්තේ වීමි. මෙබඳු සැප දුක් වින්දේ වීමි. මෙබඳු ආයුෂ කෙළවරකොට ඇත්තේ වීමි. ඒ මම එයින් චුත වූයෙම් මෙහි උපන්නෙමි. මෙසේ ආකාර සහිතව, දැක්වීම් සහිතව නානා ප්‍රකාරවූ, පෙර විසූ ආත්ම සිහිකරයි. පිරිසිදුවූ මිනිසත් බව ඉක්මෙව්වාවූ, දිව ඇසින් බලන්නේ මැරෙන්නාවූද, උපදින්නාවූද, හීනවූද, උසස්වූද, යහපත් වර්ණ ඇත්තාවූද, දුර්වර්ණවූද, යහපත් ගති ඇත්තාවූද, අයහපත් ගති ඇත්තාවූද, කම්වූ පරිදි මිය පරලොව යන්නාවූද, සත්වයන් දැනගනියි.
“කෙළෙස් (ආශ්‍රව) නැති කිරීමෙන් ආශ්‍රව රහිතවූ සමාධියෙන් මිදීමත් ප්‍රඥාවෙන් මිදීමත්, මේ ජාතියේදීම විශේෂ නුවණින් දැන, ප්‍රත්‍යක්ෂකොට ඊට පැමිණ වාසය කරයි. මහණෙනි, සේවනය කරන ලද්දාවූ, වඩන ලද්දාවූ, බොහෝ කරන ලද්දාවූ, යානාවක් මෙන් කරන ලද්දාවූ, පිහිටක් කරන ලද්දාවූ, නැවත නැවත කරන ලද්දාවූ, පුරුදු කරන ලද්දාවූ, වීර්‍ය්‍ය කරන ලද්දාවූ, කායගතා සතියෙහි මේ ආනිසංසයෝ දස දෙන කැමතිවිය යුත්තාහ.” මෙය භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. සතුටු සිතැති ඒ භික්ෂුහු භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට සතුටුවූහ

AN 09-01-01. සම්බොධි පක්ඛික සූත්‍රය

§ 1.මා විසින් මෙසේ අසන ලදී.
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටුහු විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි දිනක් භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් කැඳවූහ. භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට, “පින්වතුන් වහන්සැ” යි පිළිතුරු දුන්හ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.

§ 2, “මහණෙනි, ඉදින් අන්‍යය තීර්තක පිරිවැජියෝ, ‘ඇවැත්නි, සසර විමුක්තියට හේතුවන ධර්මය අවබෝධයට උපකාරීවන වූ ධර්‍මයන් වැඩීමට කුමක් හේතුවේදැ’ යි ඔබ විචාරන්නාහු නම් ඒ පිරිවැජියන්ට පිළිතුරු පිණිස කුමක් කියන්නහුද?”

“ස්වාමීනි,භාග්‍යවතුන් වහන්ස! අපගේ ධර්මයන් භාග්‍යවත්හු මුල්කොට ඇත්තේය. භාග්‍යවත්හු නායකකොට ඇත්තෝය. භාග්‍යවත්හු පිළිසරණ වූවෝය. ස්වාමීනි, මේ ප්‍රශ්නයට නිසි පිළිතුර ඔබ වහන්සේම අප හට විස්තර කර දෙන සේක්වා . ඒ . භාග්‍යවතුන් වහන්සේගෙන් අසා භික්‍ෂූහු දරත්.”

§ 3. “මහණෙනි, එසේ වි නම් අසව්. මනාකොට මෙනෙහි කරව්. දෙසන්නෙමි.”
“මහණෙනි, ඉදින් අන්‍යය තීර්තක පරිබ්‍රාජිකයන් සිවුසස් අවබෝධ කරණ ධර්‍මයන්ගේ වැඩීමට කවරක් හේතුවේදැයි විචාරන්නහුද, මහණෙනි, ඔබ එසේ විචාරන්නාවු ඒ අන්‍යාගමික පිරිවැජියන්ට මෙසේ ප්‍රකාශ කිරීම සුදුසු වේ.

§ 3.1 ‘ඇවැත්නි, මේ ශාසනයෙහි භික්‍ෂුවක් හට කලණ මිතුරන් ඇත්තේ වේද, යහපත් සබ්‍රහ්මචාරීන් හා ඇසුරු කරන්නේ වේද, යහපතට නැමුණෙක් වේද, ඇවැත්නි, සිවුසස් අවබෝධ කරණ ධර්‍මයන්ගේ වැඩීමට මේ පළමුවන හේතුව වේ.

§ 3.2 “ඇවැත්නි, නැවතද භික්‍ෂුවක් සිල්වත් වේද, පාමොක් සංවරයෙන් සංවරව වසයිද, ආචාරයෙන් හා ගෝචරයෙන් යුක්තව, සුළු වරද පවා බියෙන් දකින සුළුව, සිකපද සමාදන්ව වසයිද, ඇවැත්නි, සිවුසස් අවබෝධ කරණ ධර්‍මයන්ගේ වැඩීමට මේ දෙවන හේතුව වේ.“

§ 3.3. ඇවැත්නි, නැවතද භික්‍ෂුවක් කෙලෙස් ලිහිල් කරණ සිතේ ඉඩ ඇති වීමට හේතුවන

3.3.1. අප්පිච්ඡ කථාවය, [අල්පේච්ඡකම පිළිබඳව, සීලය ගැන, ධූතාංග පිළිබඳව කතා බස් කිරීම, අල්පේච්ඡකම අනිවාර්යෙන්ම ඕනෑම කෙනෙකුට අවශ්‍යයයි. අල්පේච්ඡකම තිබුණොත් තමන්ගේ මෙලොව , පරලොව සැපතටත් හොඳයි. මෙලොව සුගතියටත් හොඳයි. නිවන් සුවය සඳහාත් මහෝපකාරී වෙනවා. ඒ වගේම ලද දෙයින් සතුටුවීම සන්තුට්ඨි කථා යනුවෙන් හඳුන්වනවා.]

3.3.2. සන්තුට්ඨි කථාවය,
[අල්පේච්ඡ කථා වගේම ලද දෙයින් සතුටුවීම, තමාට යමක් ල ැබෙන්නේ පින නිසයි. පිනට ලැබෙන දේ ගැන සෑහීමකට පත්විය යුතුයි. සතුටුවෙන්නට ඕන. එය සන්තුට්ඨි කථා යනුවෙන් හඳුන්වනවා. අවිවේකී කථා – කාය විවේක , චිත්ත විවේක, උපධි විවේක යනුවෙන් විවේක තුනක් තිබෙනවා. අන්න ඒ විවේක තුන පිළිබඳව කතා කරන්නට ඕන. ඒ වගේම හික්මෙන්නට ඕන. ඒවගේම සංවරකම දියුණු කරගන්නට ඕන. සංවරකථා ආදී දුරුකරගන්නා විට එය ලෝකෝත්තර සුවය පිණිස නැඹුරු වෙනවා. එහෙමනම් විවේකය පිළිබඳ කථා කිරීම අවශ්‍යයයි. ඊළඟට නොඇලීම පිළිබඳව කථා කරන්නේ නැතිව, සාරසබ්බ කථා, එකතු වී කථා කරන්නේ නැතිව වාද භේද අසමඟිකම් නැතිව වැදගත් දෙයක් පිළිබඳව පමණක් කතා කරන්න ඕන. ඒකත් ලෝකෝත්තර ධර්මතාවයන්ට නැඹුරු වෙනවා]

3.3.3.උතුම් විවේකයෙහි කථාවය, අවිවේකී කථා
[කාය විවේක , චිත්ත විවේක, උපධි විවේක යනුවෙන් විවේක තුනක් තිබෙනවා. අන්න ඒ විවේක තුන පිළිබඳව කතා කරන්නට ඕන. ඒ වගේම හික්මෙන්නට ඕන. ඒවගේම සංවරකම දියුණු කරගන්නට ඕන. සංවරකථා ආදී දුරුකරගන්නා විට එය ලෝකෝත්තර සුවය පිණිස නැඹුරු වෙනවා. එහෙමනම් විවේකය පිළිබඳ කථා කිරීම අවශ්‍යයයි. ඊළඟට නොඇලීම පිළිබඳව කථා කරන්නේ නැතිව, සාරසබ්බ කථා, එකතු වී කථා කරන්නේ නැතිව වාද භේද අසමඟිකම් නැතිව වැදගත් දෙයක් පිළිබඳව පමණක් කතා කරන්න ඕන. ඒකත් ලෝකෝත්තර ධර්මතාවයන්ට නැඹුරු වෙනවා. ]

3.3.4.අසංසග්ග කථාවය, සමාධි කථා, [බුදු ගුණ. මෛත්‍රී, අසුභ, ආනාපානසති වැනි භාවනා පිළිබඳව කථා කළ යුත්තේ සමාධිය පිණිසයි. සමාධිය යනු සිතේ තැන්පත්කමයි. සිතේ තැන්පත්කම ලබන්න නිකම් බැහැ. පොත පත කියවීමෙන්, දේශනාවන්නට සවන් යොමු කිරීමෙන්, භාවනාවක් කිරීමෙන් අපට පුළුවන්කම තියෙනවා මෙන්න මේ කියනු ලබන සමාධි අවස්ථාවන්ට පත්වෙන්නට. ඒකට තමයි ධ්‍යාන අවස්ථාව කියන්නේ. ප්‍රථම ධ්‍යානය, ද්වීතීය ධ්‍යානය, තෘතීය ධ්‍යානය , චතුර්ත ධ්‍යානය කියන්නේ ඒ සමාධි අවස්ථාවන්ටයි. එහෙම දියුණු කර ගත්තහම රූපාවචර තත්ත්වයන්ට පත් වෙනවා. එහෙමනම් මේ සිතේ සමාධිය, සිතේ තැන්පත්කම දියුණු කරගන්න අය තමයි විපස්සනාවට හැරිලා මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන ලෝකෝතර දියුණුවට සිත මුල් කරගන්නේ. එහෙමනම්, සමාධිය පිළිබඳව කතා කිරීම බොහොම වැදගත්]

3.3.5. විරියාරම්භ කථාවය, [ උත්සාහය ගැන කථා කරන්නට අවශ්‍යයයි. කම්මැළි පුද්ගලයෙක් නිවන් දැක්කේ නැහැ. කම්මැළි පුද්ගලයෙක් දෙව්ලොවට , බඹලොවට ගියේ නැහැ. ඔහු දියුණුවක් ලැබුවේ නැහැ. හැම අවස්ථාවකදීම මේ උදවිය දුකට පත්වුණා. උත්සාහවන්තයා සුගතියට ගිය බවත්, දෙව්ලොවට ගිය බවත්, බඹලොවට ගිය බවත්, චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත් බවත් ඕනතරම් සඳහන් කරන්න පුළුවන්. බුද්ධ ශාසනය ඇත්තේ උත්සාහවන්තයාටයි. “උත්සාහවන්තයා ජය ගනී කියන්නේ අන්න ඒකටයි. චතුරාර්ය සත්‍ය අවබෝධය, මාර්ගඵල ධර්මයන්ගේ ප්‍රතිභාවය නිවන් සාක්ෂාත් කරනු ලබන්නේ උත්සාහවන්ත නිසයි. උත්සාහ කිරීම පිළිබඳව කතා කිරිීම විශේෂිතයි]

3.3.6. සීල කථාවය, [ ශීල කථා. පංචශීලය ගැන අටසිල් ගැන, දස සිල්, සාමණේර සිල් , උප සම්පදා සිල් කියල අධිශීල ගැන කථාබස් කරන්න. එහෙම කථා කළොත් ලෝකෝත්තර පැත්තට සිත නැඹුරු වෙනවා. මා සිල්වන්තයෙක්, ගුණවන්තයෙක් කියලා හැම පැත්තටම නැඹුරු වෙනවා. ශීලය එතරම්ම වටිනවා. පංච ශීලය එකමොහොතක් රකිනවානම් ඒ ආනිසංසවාරය මෙපමණයි කියන්න බැහැ. අවුරුදු සීයක් දුසිල්වන්තව ඉන්නවාට වැඩිය වටිනවා එක මොහොතක් සිල්වන්තව වාසය කිරීම. සංසාරෙදිවත් තෙරුවන් සරණ ගිහින් පන්සිල් අටසිල් රකින්න පුළුවන් කියලා සිතන්න අමාරුයි. බුදු සසුනේ නැහැ එතරම් අසීරු දෙයක්. මේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයටම බුදුවුණේ විසිඅටනමයි. අප සිල්ගන්න වාර විසිඅටයි තිබුණේ. අපේ පෙර වාසනාවකට මේ ගෞතම බුද්ධ ශාසනයේදී තෙරුවන් සරණ ගිහින් පන්සිල්, අටසිල් රැකීමේ ශක්තිය ලැබුවා. ගුණයට අප පුළුවන් තරම් ශීල කථාව ඇතිකරන්න ඕන. එය ලෝකෝත්තර දියුණුව පිණිසයි]

3.3.7. පඤ්ඤා කථාවය, [නුවණ ගැන කථා කරන්නට ඕන. නුවණ ලැබෙන්නෙ කොහොමද, නුවණ දියුණුවෙන්නේ කොහොමද කියලා සිතන්න ඕන. ඒ ගැන කථා කරන්න ඕන. ඒකෙනුත් කෙලෙස් යටපත් වෙනවා. නිවනට සමීප වෙනවා. වැදගත් ධර්මතා කරුණු බොහෝ රාශියක් දියුණු තියුණු වෙලා යනවා. ඒකත් වැදගත් පාඩමක්. ප්‍රඥාව දියුණුව පිණිස කටයුතු කරන්නට ඕන. බණ ඇසීමෙන් ප්‍රඥාව වැඩෙනවා. භාවනාවෙන්, පොත පත කියවීමෙන් ධර්ම සාකච්ඡාවෙන් ඒ ඒ දේවල් සිතීමෙන් නුවණ හොඳට දියුණු වෙනවා. ලෝභ, දෝස, මෝහ නැත්නම් ඒ සෑම අවස්ථාවකම හොඳට ප්‍රඥාව දියුණු කර ගන්න පුළුවන්කම තියෙනවා. මේ ශරීරය අනිත්‍යයයි, දුක්ඛයි, අනාත්මයි කියලා මෙනෙහි කරනවානම් ඒක තමයි නුවණ දියුණු කරන පළමුවන ක්‍රමය. විදසුන් භාවනාව. මේ ශරීරය අනිත්‍ය, දුක්ඛය , අනාත්මයි කියලා නිතර නිතර මෙනෙහි කරන්න. එය ප්‍රඥාව හොඳට දියුණු වෙනවා. එහෙමනම් ප්‍රඥාව ගැන හොඳට සිතලා කථා කරද්දී ප්‍රඥාව හොඳට දියුණු වෙනවා. ලෝකෝතර පැත්තට දියුණු වෙනවා.]

3.3.8. විමුත්ති කථාවය, [නිවන ගැන කථා කරන්නට ඕන. නිර්වාණය යනු තණ්හාවේ නිවීමයි. කෙලෙසුන්ගේ නිවීම නිර්වාණයයි. එහෙනම් තථාගත බුදු කෙනෙකු පමණයි මේ නිර්වාණය ගැන විස්තර කරන්නේ. සංසාරය එතෙරවීම ගැන කියල දෙන්නේ. වෙන කාටවත් බැහැ. එහෙමනම් බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් නිවන ගැන කථා කරන්න ඕන. ඒක නිරෝධ සත්‍යයයි. එය නිවනට හේතුවන ලෝකෝත්තර දියුණුව පිණිසයි.]

3.3.9. විමුත්ති ඤාණදස්සන කථාවය [නිවනට පත් වුණහම ප්‍රත්‍යවේක්ෂා ඥාන තියෙනවා. ඒවා ගැන කථා කරන්න ඕන. දැන් සෝවාන් ආර්යයන් වහන්සේට ප්‍රත්‍යවේක්ෂා ඥාන පහයි. ඉතුරු ක්ලේශ ප්‍රත්‍යවේක්ෂාව, ප්‍රහීණ ක්ලේෂ ප්‍රත්‍යවේක්ෂාව, සෝවාන් මාර්ග ප්‍රත්‍යවේක්ෂාව, සෝවාන් ඵල ප්‍රත්‍යවේක්ෂාව , නිර්වාණ ප්‍රත්‍යවේක්ෂාව ආදී පස්වැදෑරුම් වෙනවා. සකෘදාගාමීතුමාටත් පහයි. අනාගාමීතුමාටත් පහයි. එසේනම්, ඔක්කොම පහළොවයි. රහතන් වහන්සේට හතරයි. ඉතුරු කෙලෙස් නැහැ. ශේෂ ක්ලේෂ නැහැ. එහෙමනම් දහනවයයි. ඔන්න ඔය ප්‍රත්‍යවේක්ෂා ධර්ම දහනවයම තියෙනවා. විමුක්ති ඥාන දස්සන කථා කියලා. එහෙමනම්, අප නිවන ගැන කථා කරන්න වගේ මාර්ග ඵල ධර්ම ගැන කථාකරන්නට ඕන. ඉතුරු ක්ලේශ ගැන, ප්‍රහාණය වූ ක්ලේශ ගැන, මාර්ග ඵල ගැන, නිවන ගැන සාකච්ඡා කරනවිට කථාකරන විට එය සම්පූර්ණ වෙනවා. ලෝකෝත්තර පැත්තට සිතදියුණු වෙනවා.] අම්බලන්ගොඩ, කහව ගල්දූව ආරණ්‍ය සේනාසනයේ කම්මට්ඨානාචාර්ය, ත්‍රිපිටකාචාර්ය, ත්‍රිපිටක විශාරද කහගොල්ලේ සෝමවංශ හිමි 2016 අප්‍රේල් 21 දා බුදුසරණ පුවත් පතට ලියු ලිපියකින්.
යන මෙබඳු කථාවන් නිතර කැමැත්තෙන් ලබන ලද්දේ වේද, නිදුකින් ලැබීම ඇත්තේ වේද, පහසුවෙන් ලැබීම ඇත්තේ වේද, ඇවැත්නි, සිවුසස් අවබෝධ කරණ ධර්‍මයන්ගේ වැඩීමට මේ තුන්වන හේතුව වේ.“

§ 3.4. ඇවැත්නි, නැවතද භික්‍ෂුවක් අකුසල් දහම් නැති කිරීමටද, කුසල් දහම් වැඩීමටද, ප්‍රාරම්භ වීර්‍ය්‍යය ඇතුව වසයිද, ශක්තිය ඇත්තෙක් වෙයිද, දැඩි උත්සාහ ඇත්තෙක් වෙයිද, කුසල් දහම් වැඩීමෙහි නොනැවැත්තූ උත්සාහ ඇත්තේ වෙයිද, ඇවැත්නි, සිවුසස් අවබෝධ කරණ ධර්‍මයන්ගේ වැඩීමට මේ සතරවන හේතුව වේ.

§ 3.5. “ඇවැත්නි, නැවතද භික්‍ෂුවක් ආරියවූ, සසර කලකිරීමවූ, මනාකොට දුක් කෙළවර කිරීමට පමුණුවන උදයත්‍ථය ගාමිනී නැතිවීම ඇතිවීම දෙක අවබෝධ කරවන ලද නුවණින් යුක්ත වේද, ඇවැත්නි, සිවුසස් අවබෝධ කරණ ධර්‍මයන්ගේ වැඩීමට මේ පස්වන හේතුව වේ.

§ 4. “මහණෙනි, කලණ මිතුරන් ඇති, යහපතට නැමුණු මිතුරන් ඇති භික්‍ෂුව පහසුවෙන්ම සිල්වත් වන්නෙය. පාමොක් සංවරයෙන් සංවර වන්නේය. ආචාරයෙන් හා ගෝචරයෙන් යුක්තව, සුළු වරද පවා බියෙන් දක්නා සුළුව, ශික්‍ෂා පදයන් සමාදන්ව හික්මෙන්නේය.

§ “මහණෙනි, කලණ මිතුරන් ඇති, යහපතට නැමුණු කලණ මිතුරන් ඇති භික්‍ෂුවක් විසින් සිල්වත් වන්නේය. පාමොක් සංවරයෙන් සංවර වන්නේය. ආචාරයෙන් හා ගෝචරයෙන් යුක්තව, සුළු වරද පවා බියෙන් දක්නා සුළුව, ශික්‍ෂා පදයන් සමාදන්ව හික්මෙන්නේය.

§මහණෙනි, කලණ මිතුරන් ඇති, යහපතට නැමුණු කලණ මිතුරන් ඇති භික්‍ෂුවක් විසින් අකුසල් දහම් නැති කිරීමටද, කුසල් දහම් වැඩීමටද, ප්‍රාරම්භ වීර්‍ය්‍යය ඇතුව වසයි. ශක්තිය ඇත්තෙක් වෙයි. දැඩි උත්සාහ ඇත්තෙක් වෙයි. කුසල් දහම් වැඩීමෙහි නොනැවැත්තූ උත්සාහ ඇත්තෙක් වෙයි.

“කලණ මිතුරන් ඇති, යහපතට නැමුණු කලණ මිතුරන් ඇති භික්‍ෂුවට සිල්වත් වන්නෙය. පාමොක් සංවරයෙන් සංවර වන්නේය. ආචාරයෙන් හා ගෝචරයෙන් යුක්තව, සුළු වරද පවා බියෙන් දක්නා සුළුව, ශික්‍ෂා පදයන් සමාදන්ව හික්මෙන්නේය .

ආරියවූ, නිබ්බෙධිකවූ (සසර කලකිරවන) මනාකොට දුක් කෙළවර කිරීමට පමුණුවන උදයත්‍ථයගාමිනීපඤ්ඤා (ඇතිවීමේ හා නැතිවීමේ තත්ත්‍වය අවබෝධ කරණ නුවණ) යයි කියන ලද නුවණින් යුක්තවේයයි

.“මහණෙනි, ඒ භික්‍ෂුව විසින් මුලින් කියන ලද පඤ්ච ධර්මයන්හි පිහිටා තව ධර්ම සතරක් වැඩිය යුතුය, එනම්
රාගය නැතිකිරීමට අසුභය වැඩිය යුතුය.
ව්‍යාපාදය නැති කිරීමට මෛත්‍රිය වැඩිය යුතුය.
විතක්කය නැතිකිරීමට ආනාපානසතිය වැඩිය යුතුය.
මමය යන හැඟීම නැතිකිරීමට අනිච්චසඤ්ඤාව වැඩිය යුතුය.

මහණෙනි, අනිච්චසඤ්ඤාව ඇති භික්‍ෂුවට අනත්තසඤ්ඤාව පිහිටයි. අනත්තසඤ්ඤාව ඇත්තේ මේ අත්බවම නිවණයයි කියන ලද මමය යන හැඟීම නැති කිරීමට පමුණුවයි.”