AN 05- (17) 2. අඝාත වර්‍ගය

අඝාත යන පාලි වචනය ඉංග්‍රීසියෙන් යොදා ඇත්තේ Resentment ලෙසය. එය සිංහලට පෙරලන්නේ අමනාපය ලෙසය. බොහෝ සිංහල පරිවර්තන වල එය ක්‍රෝධය ලෙස දක්වා ඇත. ක්‍රෝධය අඝාතයේ ඉහලම අවස්තාවක් නිසා ඒ වෙනුවට නුරුස්නා බව, හෝ අමනාපය වැනි වෙනත් වචනයක් යොදමි. සිංහලයෙන් යොදාගත හැකි වචන බොහෝ ඇත. මේ ‘තරහ යාම’ ගැන මදක් විමසිල්ලෙන් බැලුවොත් ඒ මේ මානසික ගතිය පටන් ගන්නා තැන සොයා ගන්නට පහසුය. දෙගොඩතලා ගලන මහවැලි ගඟ මධ්‍යම කඳුකරයේ කුඩා උල්පතක් ලෙස පටන් ගත් බව අපි දනිමු.

මේ ආඝාතය පටන් ගන්නේ නොරිස්සීම් නිසාය.අල්ලන්නේ නැති කම, පේන්න බැරි කම, අප්‍රිය කම, ආදී ලෙස ඇතිවන්නේ මේ නොරිස්සීමේ විවිධ ස්වරුපයන්ය. සමහර අයගේ කතාව, හැසිරීම් වලට තමා තුල ඇතිවන නොමනාපය කෙමෙන් වැඩී අකමැත්ත, තරහව බවටත්, එය වර්ධනය වීමෙන් තරහව වෛරයක් වෙන සැටිත්, ඒ වෛරය තවත් වැඩී ක්‍රෝධය බවට පත් වන බවත් අපි දකිමු. මේ ක්‍රියාවලිය මුලදීම නුරුස්සන තත්වයේදීම නතර කර ගත්තොත් එය වඩා පහසු වෙනු ඇත. මේ සුත්‍ර ගොනුවේ මුලින් ඇති ඉගැන්වීම් ඒ සඳහා උපදෙස් ලබා දෙයි.

පුජ්‍ය හොරණ වජිරඥාන මහා ස්වාමින්වහන්සේ- ආඝාත පරටිවෙන සුත්‍රය 

AN 05-17-01. ආඝාත පටිවිනය සූත්‍රය

පුජ්‍ය වත්තල අරියරතන හිමිගේ සුත්‍ර විවරණය

“මහණෙනි, සන්තානයේ උපන්නාවූ තරහව දුරු කරගන්නට සංසිඳවන්නට විධි පහක් ඇත..

“ඒ මොනවාද යත්?

  • මහණෙනි, යම් පුද්ගලයෙක් කෙරෙහි අමනාපයක් උපදීයි නම්, ඒ පුද්ගලයා කෙරෙහි ’ මෛත්‍රිය වැඩිය යුතුය. මෙයින් ඒ පුද්ගලයා කෙරෙහි අමනාප ගතිය දුරුකල හැකි වේ.
  • “මහණෙනි, යම් පුද්ගලයෙක් කෙරෙහි අකැමැත්තක් උපදීනම්, ඒ පුද්ගලයා කෙරෙහි කරුණාව වැඩිය යුතුයි. මෙයින් ඒ පුද්ගලයා කෙරෙහි අකැමැත්ත දුරුකල හැකි වේ.
  • “මහණෙනි, යම් පුද්ගලයෙක් කෙරෙහි තරහක් උපදීනම්, ඒ පුද්ගලයා කෙරෙහි උපෙක්‍ෂාව වැඩිය යුතුයි. මෙයින් ඒ පුද්ගලයා කෙරෙහි තරහව දුරුකල හැකි වේ.
  • “මහණෙනි, යම් පුද්ගලයෙක් කෙරෙහි තරහ උපදීයි නම්, ඒ පුද්ගලයා ගැන සිහි නොකල යුතුය., මෙනෙහි නොකල යුතුය. මෙයින් ඒ පුද්ගලයා කෙරෙහි තරහව දුරුකල හැකි වේ
  • “මහණෙනි, යම් පුද්ගලයෙක් කෙරෙහි තරහක් උපදීයි නම්, ඔහු , ඔහුගේ කර්‍මය ස්වකීය කොට ඇත්තේය, ඔහුගේම කර්‍මය උරුම කොට ඉන්නේය, ඔහුගේ උත්පත්ති කාරණාවකර්‍මය අනුව විය , ඔහුගේ පැවතුම් කර්‍මය අනුවම වෙයි.
    ඔහුගේ සිතුවිලි ඔහුගේ කර්‍මය අනුවම ඇත්තේය. අයහපත්වූ හෝ ලාමකවූ හෝ යම් කර්‍මයක් ඔහු කලේනම්, කරන්නේ නම් එහි විපාකය ඔහුටම උරුම වන්නේය. ඔහු නිසා තමන් තරහ ගැනීමෙන් තමාට අකුසලයක් මිස ඔහුට කිසිවක් සිදු නොවන බවද සිහි කළ යුතුයි. මෙයින් ඒ පුද්ගලයා කෙරෙහි තරහව දුරුකල හැකි වේ.

“මහණෙනි, යම් අරමුණෙක් කෙරෙහි උපන්නාවූ තරහව , ආඝාතය නැති කිරීම පිණිස මේ ආඝාත සංසිඳීම් පස වෙත්.

AN 05-17-02. සාරිපුත්ත ආඝාතක විනය සූත්‍රය 

උද්දේසය

“දිනක් ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ , “ඇවැත්නි මහණෙනි,” යි භික්‍ෂූන්ට ඇමතූ සේක. “ඇවැත්නි” කියා ඒ භික්‍ෂූහු ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිරයන්ට ප්‍රතිවචන දුන්හ. ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මෙය වදාළේය..

“ඇවැත්නි, යම් අරමුණක් නිසා භික්‍ෂුහුගේ සිතෙහි අමනාප බවක් ඇතිවේද, ඒ දුරු කොට ලන්නට ක්‍රම පහක් ඇත්තේය.

උපන්නාවූ අසන්තොශය , තරහව දුරුකළ යුතුද, ඒ පිණිස සංසිඳීම් ඉස ක්‍රම පසක් ඇත.

“කවර පසක්ද යත්?

(i) “ඇවැත්නි, ඇතැම් පුද්ගලයෙක් කාය සංවරයක් නැති කම නිසා කයින් කරත හැකි අකුසල් කරන්නේය. නමුත් ඔහු වචනයෙන් සන්වර වේ, යහපත් වචන කියන්නේය. අපිරිසිදු දේ කතා නොකරන්නේය, ඔහු කෙරෙහි ද අමනාපය පහසුවෙන් දුරු කල හැකිය.

(ii). “ඇවැත්නි, ඇතැම් පුද්ගලයෙක් අපිරිසිදුවූ වචන දොඩන මුත්, යහපත් කාය සංවරයෙන් යුතුව කයින් අකුසල් නොකරන්නේ ය, ඇවැත්නි, ඔහු කෙරෙහි ද අමනාපය පහසුවෙන් දුරු කල හැකිය.

(iii).“ඇවැත්නි, ඇතැම් පුද්ගලයෙක් අපිරිසිදු කාය කර්ම හා අපිරිසිදු වචී කර්ම ඇති නමුත්, ඉඳ හිට හෝ කලින් කල ඔහුගේ සිත නිස්කලංක කර ගනී. චිත්තයෙහි සමාධියක්, එකඟබවක් අවකාශයකුක් ලබාගනී., ඇවැත්නි, මෙබඳු පුද්ගලයා කෙරෙහිද ඇති නොරුස්නාව දුරු කටයුතු වේ.

[1158:- ලභාති ච කාලෙන කාලං චේතසෝ විවරං චේතසෝ පාසා දං : විටින් විට ඔහු ගේ සිත විවුර්ත වෙ’ යන්නෙන් අදහස් වන්නේ ඔහුට සිත සමාධිමත් කර ගන්නට, හා විදර්සනා කරන්නට ඔහු තුල ශ්‍රද්ධාවක් වේ නම් ඉඩ කඩ ඇති බවයි. සීලයෙන් තොරව විමුක්තියක් ලබන්නට නොහැකි නමුදු ඔහු ගේ මේ ගුණය ගැන සිතා ඔහුගේ කායික වාචසික දුර්ගුණයන් අමතක කොට මොහු පෝය දාට සිල් ගන්නා උපාසකයෙකි යි මෙනෙහි කරමින් ඔහු කෙරෙහි ඇති නුරුස්නා ගතිය දුරු කර ගත හැක.]

(iv) “ඇවැත්නි, පුද්ගලයෙක් අපිරිසිදු කයින් හැසිරීම් ඇත්තේය., අපිරිසිදුවූ වචනයෙන් හැසිරීම් ඇත්තේය, ඔහු කිසිදා සිතෙහි සමාදියක් එකඟ කමක් නොලබාද ඔහු කෙරෙහිද නුරුස්නා සිත, තරහව දුරු කටයුතු වේ.

(v) “ඇවැත්නි, ඇතැම් පුද්ගලයෙක් පිරිසිදුවූ කාය හැසිරීම ඇත්තේය, පිරිසිදුවූ වචනයෙන් හැසිරීම ඇත්තේය, කලින් කල චිත්තයාගේ අවකාශයක්, චිත්තයාගේ ප්‍රසාදයකුත් ලබාද, ඇවැත්නි, මෙබඳු පුද්ගලයා කෙරෙහිද නුරුස්නා සිත, තරහව දුරු කටයුතු වේ.

නිද්දේසය

(i) “ඇවැත්නි, ඇතැම් පුද්ගලයෙක් කාය සංවරයක් නැති කම නිසා කයින් කරත හැකි අකුසල් කරන්නේය. නමුත් ඔහු වචනයෙන් සන්වර වේ, යහපත් වචන ම කියන්නේද, අපිරිසිදු දේ කතා නොකරන්නේය, ඔහු කෙරෙහි ද අමනාපය පහසුවෙන් දුරු කල හැක්කේ කෙසේද?.

“ඇවැත්නි, යම් පාංසුකූලික භික්‍ෂුවක් , වීථියෙහි විසිකොට ඇති අපිරිසිදු රෙදි කඩක් දැක, එය වම් පයින් මැඩ, දකුණු පයින් දිග හැර එහි යම් නොඉරුනු වැඩට ගතහැකි කොටසක් වේද, එය ඉරා ඉවත් ගෙණ සිවුරක් සාදා ගැනීම පිණිස ගෙන යන්නේය.

“ඇවැත්නි, මෙපරිද්දෙන්ම යම් පුද්ගලයෙක් අපිරිසිදු කාය කර්ම කරයිද, නොමනා හැසිරීම් ඇත්තේ නමුත්, පිරිසිදුවූ වචන පමණක් දොඩන්නේද , ඕහුගේ අපිරිසිදු හැසිරීම ගැන නොසිතිය යුතුය. ඒ සිහි වන විට ඔහුගේ යහපත් වචී පිළිවෙත, යහපත් වචන කතා කිරීම මෙනෙහි කටයුතුයි. මොහුගේ යහපත් පිරිසිදු වචනයෙන් හැසිරීම පමණක් මෙනෙහි කළ යුතුය. කෙනෙකුගේ බොහෝ දුර්ගුණයන් අතර එකදු හෝ හොඳක් ඇත්නම් ඒ සුගුණය ඉදිරියට ගෙන එයම් සිහිකිරීමෙන් ඔහු කෙරෙහි ඇති නුරුස්නා ගතිය, තරහව දුරු කල හැකිය. ඇවැත්නි, මෙසේ එබඳු පුද්ගලයා කෙරෙහිද නුරුස්නා බව දුරු කල හැකිවේ.

(ii)“ඇවැත්නි, ඇවැත්නි, ඇතැම් පුද්ගලයෙක් අපිරිසිදුවූ වචන දොඩන මුත්, යහපත් කාය සංවරයෙන් යුතුව අකුසල් කයින් නොකරන්නේ ය, ඇවැත්නි, ඔහු කෙරෙහි ද අමනාපය පහසුවෙන් දුරු කල හැක්කේ කෙසේද?

“ඇවැත්නි, යම් පොකුණක සෙවෙල, දිය ජබර , පරඬැල් ආදිය දිය මත්තේ ඇති නිසා වතුර නොපෙනේද, ග්‍රීෂ්මයෙන් තැවුනාවූ, ග්‍රීෂ්මයෙන් පෙළුනාවූ. පිපාසයෙන් ක්ලාන්තවූ, වතුර සෝයමින් යන මිනිසෙක් ඒ පොකුණ දැක, දිය සෙවල, දිය පැලෑවලින් අපවිත්‍ර මුත් ජලය ඇති බව දැක සතුටට පත් ව ඒ පොකුණට පැන එහි සෙවල , දිය පැළෑටි දෙඅතින් එහා මෙහා කොට ජලය පානය කරයි. පිපාසය නිවා ගනී.

“ඇවැත්නි, මෙපරිද්දෙන්ම මේ පුද්ගලයා, අපිරිසිදු වචනයෙන් අපිරිසිදු වචී චර්යාව ඇති මුත්, පිරිසිදු කාය චර්යාව ඇත්තේද, සොරකම්, සත්ව හිංසාව, කාමයෙහි වැරදි හැසිරීම්, සුරා පානය නොකරන්නේද ඒ ගුණයන් නැවත නැවත මෙනෙහි කරමින්, ඔහුගේ අපිරිසිදු වචී කර්ම සිහි නොකොට යුතුය. කාය සංවරය නිසාවන ඔහුගේ සුගුණ මතක් කරමින් ඔහු කෙරෙහි ඇති නුරුස්නා බව දුරු කල හැකිවේ.

(iii) .“ඇවැත්නි, ඇතැම් පුද්ගලයෙක් අපිරිසිදු කාය කර්ම හා අපිරිසිදු වචී කර්ම ඇති නමුත්, ඉඳ හිට හෝ කලින් කල ඔහුගේ සිත නිස්කලංක කර ගනී. චිත්තයෙහි සමාධියක්, එකඟබවක් අවකාශයකුක් ලබාගනී.

“ඇවැත්නි, මෙබඳු පුද්ගලයා කෙරෙහිද ඇති නොරුස්නාව දුරු කරගන්නේ කෙසේද?.

“ඇවැත්නි, ග්‍රීෂ්මයෙන් තැවුනාවූ, ග්‍රීෂ්මයෙන් පෙළුනාවූ. පිපාසයෙන් ක්ලාන්තවූ, දැඩි සේ වියලුනු මුවක් ඇති පුරුෂයෙක් එන මග කලිනි එමග ගිය ගවයෙකුගේ කුරය පොළොවේ වැඩීමෙන් ඇතිවූ ඉතා කුඩා සිදුරක එකතුව ඇති දිය ඉතා ස්වල්පයක් දකී..

ඉතා ස්වල්ප වූ ඒ දිය දකින ඔහු මෙසේ සිතයි. ‘මේ ගව පියවරෙහි ජලය ඉතා ස්වල්පය. ඉදින් මම අතින් ගෙන බොන්නට තත් කලොත්, භාජනයකට ගන්නට තත කලොත්, ඒ දිය ස්වල්පය අහිමිවන්නේය.

එනිසා මම දෑතින් හා දෙදනින් බිම හෙව
ගවයෙකු බොන්නාක් මෙන්
මේ දිය පොද පානය කර
මගේ පවස සංසිඳුවාගනිමි.” යි
කියායි.

ඉදින් හෙතෙම දෑතින් හා දෙදනින් හෙව ගවයෙකු බොන්නාක් මෙන් පානයකොට සිය පිපාසය සංසිඳවා ගන්නේය.

“ඇවැත්නි, මේ මනුෂ්‍යයා අපිරිසිදු කාය කර්ම හා අපිරිසිදු වචී කර්ම ඇති නමුත්, ඉඳ හිට හෝ කලින් කල ඔහුගේ සිත නිස්කලංක කර ගනී. චිත්තයෙහි සමාධියක්, එකඟබවක් අවකාශයකුක් ඔහු ලබයි.

ඔහුගේ සීලයේ සිදුරු මෙනෙහි නොකොට ඔහු ඉඳ හිට හෝ සිල් ගෙන සිත එකඟ කර ගන්නා කෙනෙක් බව මතක් කරමින්, ඔහු කෙරෙහි ඇති නුරුස්නා ගතිය දුරු කර ගත හැක.

(iv) .“ඇවැත්නි, පුද්ගලයෙක් අපිරිසිදු කයින් හැසිරීම් ඇත්තේය., අපිරිසිදුවූ වචනයෙන් හැසිරීම් ඇත්තේය, ඔහු කිසිදා සිතෙහි සමාදියක් එකඟ කමක් නොලබාද ඔහු කෙරෙහිද නුරුස්නා සිත, තරහව දුරු කටයුතු ආකාරයක් ඇත. කෙසේද යත්:

“ඇවැත්නි, යම් ගිලන්වූ මිනිසෙක් ඉතා දුර ගමනක් යන්නේ, එක් මිනිස් වාසයක් පසු කරමින් යන විට තමා ගේ ආහාර, බීමට ජලය අහවරවී ඇති බව දැන ගනී. ඊළඟ ගම තවත් බොහෝ ඈත බව බව ද ඔහු දන්නේය. කෑමට ආහාර, බීමට ජලය, රෝගයට ඖශධ හෝ, සහයට උපස්තායකයෙක් නැතිව ඔහු බොහෝ සේ අසරණව යන්නේය.

ඒ මාර්ගයේම ගමන්කරනා තවත් මනුෂ්‍යයකු මොහු දැක “අහෝ මේ අසරණයා බලවත් විපතකට පත් ව ඉන්නේය. ඔහුට කෑමට බීමට යමක් ලැබෙන්නේ නම් හොඳය. ඔහුගේ රෝගයට නිසි ඖශධ හා උපස්ථානයට කෙනෙක් ලැබෙන්නේ නම් හොඳය. එසේ සිදුවී මොහු මේ අන්තරයෙන් මිදෙත්වා! සුවපත් වේවා!! ” යි කරුණාවෙන්, අනුකම්පාවෙන් ප්‍රාර්ථනා කරයි.

“කුමක් පිණිසද යත්, ගිලන් මගියා අනතුරෙන් ගැලවී සුවපත් වෙනු දකින්නට ඇති ඔහුගේ කරුණාව නිසාය.

ඒ ලෙසින්ම ආයුෂ්මතුනි, මේ කාය, වචී සහ මනෝ තෙදොරින්ම අසන්වරවූ මේ මිනිසා කිසි දාක සිත එකඟ කරගන්නට නොදත්, මේ මිනිසා මේ අනතුරින් මිදේවා හැගීමෙන්;

  • අහෝ මේ පුද්ගලයා කාය දුශ්චරිතෙන් මිදී සුචරිතය පුහුණු කරත්වා ,
  • ඔහුගේ වචීදුස්චරිතය හැර වචී සුචරිතය දියුණු වෙත්වා
  • ඔහුගේ මනෝ දුෂ්ක්රියා හැර යෝනිසෝ මනසිකාරය ඇති කර ගනිත්වා

“කුමක් නිසා එසේ පතන්නේද යත්:
මේ ජීවිතය නිමා කොට ඔහු කාලක්‍රියා කල පසු ඔහු සදා දුක් ලැබෙන නරකයක උපත නොලබත්වා. යන තමාගේ නිර්මල සත්පුරුෂ භාවය නිසාය.

“ඇවැත්නි, කාය, වචී සහ මනෝ තෙදොරින්ම අසන්වරවූ මේ පුද්ගලයා කෙරෙහිද මෙසේ මෛත්‍රී පෙරදැරිව ඔහු කෙරෙහි වූ නුරුස්නා බව අමනාපය දුරු කටයුතු වේ.

(v) . “ඇවැත්නි, ඇතැම් පුද්ගලයෙක් පිරිසිදුවූ කාය හැසිරීම ඇත්තේය, පිරිසිදුවූ වචනයෙන් හැසිරීම ඇත්තේය, කලින් කල චිත්තයාගේ අවකාශයක්, චිත්තයාගේ ප්‍රසාදයකුත් ලබාද, ඇවැත්නි, මෙබඳු පුද්ගලයා කෙරෙහිද නුරුස්නා සිත, තරහව දුරු කටයුතු වේ.

“ඇවැත්නි, බොහෝ සුවිසල් ගහින් සෙවන වූ යම් වන පෙතක සිසිල් දිය පිරුණු, පිරිසුදු පොකුණක් වේ.

බොහෝ දුර ගමනින් දැඩි වෙහෙසට පත්, ඇඟ පත මුව වියලී ගිය සිරුරින් යුත් , මහා පිපාසයෙන් පෙලෙන මගියෙකු මේ පොකුණ වෙත ආවොත්, ඔහු වහා දියට පැන සිය සියොළඟ සිසිල් කර ගනී.

සිසිල් පැන් බී පිපාසය සිඳුවා ගනී. පසුව පොකුනින් ගොඩවුත් සිහිල් ගස් සෙවනේ වැතිර හෝ හිඳ සතුටින් ඉන්නේය.

“ඇවැත්නි, එමෙන්ම කාය සංවරයෙන් යුත්, වචී සංවරයෙන් යුත්, මේ තැනැත්තා ඉඳ හිට තමා ලබන චිත්ත ඒකාග්‍රතාව , සමාධිය වඩා ගන්නට නිතොර ලබා ගන්නට උත්සාහ කරන්නේ නම් එසේ කරගන්නට ඔහුට හැකිවනු ඇත. 1159

කවදා හෝ එසේ උතුම් ආර්යත්වයකට පත්වන මේ මනුෂ්‍යයා කෙරෙහි මගේ ඇති අමනාපය නොමනාය. නොසුදුසුය. මෙසේ සිතා ඔහු කෙරෙහි ඇති නුරුස්නා ගතිය දුරු කර ගත හැක.

[1159: සමන්ත පාසාදිකන් ආවුසො පුග්ගලං ආගම්ම චිත්තං පසීදති.” කාය වචී සුචරිතයේ යෙදුනු මේ පුද්ගලයා කෙරෙහි ඇති අමනාපය ඉතා පහසුවෙන් දුරු කර ගත හැක.]

“ඇවැත්නි, මේ දේසනා කල ආකාර පහ, භාවිතා කිරීමෙන් යම් අරමුණක භික්‍ෂුහුගේ උපන්නාවූ නොරුස්ආනා ගතිය, අමනාපය, තරහව දුරු කර ගත හැක.

AN 05-17-03. අලංසාකච්ඡ සූත්‍රය 

“එකල්හි දිනක් ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ, “ඇවැත්නි මහණෙනි,” යි භික්‍ෂූන්ට ඇමතූ සේක.
“ඇවැත්නි” කියා ඒ භික්‍ෂූහු ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිරයන්ට ප්‍රතිවචන දුන්හ.
ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිර තෙම මෙය වදාළේය.

“ඇවැත්නි, ගුණ ම පසකින් යුක්තවූ භික්‍ෂුවක් සහ බ්‍රහ්මචාරීන් විසින් සාකච්ඡාවට සහභාගී කර ගැනීම සුදුසු වෙයි.
“කවර පසකින්ද යත්?

ඇවැත්නි, මේ ශාසනයෙහි භික්‍ෂුවක්,

(i) තමන් ශීලය ආරක්ෂා කරමින්, ශීල සම්පත්තිය පිළිබඳ ප්‍රශ්න විසදන්නේද,
(ii) තමන් සමාධියෙන් යුක්තව, සමාධි සම්පත්තිය පිළිබඳ ප්‍රශ්න විසඳන්නේද,
(iii) තමන් ප්‍රඥාවෙන් යුක්තව, ප්‍රඥා සම්පත්තිය පිළිබඳ ප්‍රශ්න විසඳන්නේත්ද,
(iv) තමන් විමුක්තියෙන් යුක්තව, විමුක්ති සම්පත්තිය පිළිබඳ ප්‍රශ්න විසඳන්නේද,
(v) තමන් විමුක්ති ඥාන දර්‍ශනයෙන් යුක්තව, විමුක්ති ඥාන දර්‍ශන සම්පත්තිය පිළිබඳ ප්‍රශ්න විසඳන්නේද, යන පසිනි.

මේ ගුණ පහෙන් යුතු භික්ෂුව අනෙක් සබ්‍රහ්මචාරී භික්ෂුන් විසින් ධර්ම සාකච්චා පිණිස සහභාගී කර ගැනීම සුදුසු වේ.

AN 05-17-04. අලසාංජීව සූත්‍රය

“එකල්හි දිනෙක ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ, “ඇවැත්නි මහණෙනි,” යි භික්‍ෂූන්ට ඇමතූ සේක.
“ඇවැත්නි” කියා ඒ භික්‍ෂූහු ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිරයන්ට ප්‍රතිවචන දුන්හ.
ආයුෂ්මත් ස්ථවිරයන් වහන්සේ මෙය වදාළේය.

“ඇවැත්නි, ගුණ පසකින් යුක්තවූ භික්‍ෂුවක් සබ්‍රම්සරුන්ගේ හා සමග එක්ව විසීම1060 සුදුසු වේ.

[1060:- සජීවෝ ති පන්හාපුච්චන්චේව පන්හා විස්සජ්න්ච. එක්ව වාසය කිරීම, එක්ව සාකච්චා කිරීම්, ප්‍රතිපත්ති පුරන භික්ෂුවකට අවශ්‍ය කාරනා වෙ.]

“කවර පසකින්ද යත්?

ඇවැත්නි, මේ ශාසනයෙහි භික්‍ෂුව,

(i) තමනුත් ශීලය ආරක්ෂා කරමින්, ශීල සම්පත්තිය පිළිබඳ ප්‍රශ්න විසඳන්නේද,
(ii) තමනුත් සමාධියෙන් යුක්තව, සමාධි සම්පත්තිය පිළිබඳ ප්‍රශ්න විසඳන්නේද,
(iii) තමනුත් ප්‍රඥාවෙන් යුක්තව, ප්‍රඥා සම්පත්තිය පිළිබඳ ප්‍රශ්න විසඳන්නේත්ද,
(iv) තමනුත් විමුක්තියෙන් යුක්තව, විමුක්ති සම්පත්තිය පිළිබඳ ප්‍රශ්න විසඳන්නේද,
(v) තමනුත් විමුක්ති ඥාන දර්‍ශනයෙන් යුක්තව, විමුක්ති ඥාන දර්‍ශන සම්පත්තිය පිළිබඳ ප්‍රශ්න විසඳන්නේද, ,
යන පසිනි.

AN 05-17-05. පඤ්ච පුච්ඡන සූත්‍රය

“එකල්හි දිනක් ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ, “ඇවැත්නි මහණෙනි,” යි භික්‍ෂූන්ට ඇමතූ සේක. “ඇවැත්නි” කියා ඒ භික්‍ෂූහු ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිරයන්ට ප්‍රතිවචන දුන්හ. ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මෙය වදාළේය.

“ඇවැත්නි, යම්කිසිවෙක් ප්‍රශ්න අසයිද. ඒ ප්‍රශ්න අසන්නේ කරුණු පහක් නිසාය.
ඒ පහෙන් කිහිපයක් හෝ ඒ පහෙන් එකක් නිසාය.

“කවර පසකින්ද යත්?

(i) තමන් නුවණ මඳ බැවින්, හෝ කාරනා පටලා ගෙන ඉන්නා බැවින්
(ii) තමන් ධර්මය හොඳින් දන්නේයැයි පෙන්නන්නට ඇති ආසාව නිසා,
(iii) අනෙකාව ගර්හාවට පත් කිරීමේ, පරිභව කිරීමේ අදහසින් ,
(iv) කරුණු කාරණා ඇත්තටම දැන ගැනීමේ අදහසින්,
(v) . මේ ප්‍රශ්නයට ඔහු නිවැරදිව පිළිතුරු දෙන්නේ නම් පිලි ගනිමි. වැරදි පිළිතුරක් දේ නම් මම එය නිවැරදි කොට කියා දෙමි. යන අදහසින් .

“ඇවැත්නි, යම්කිසිවෙක් අනිකෙකුගෙන් ප්‍රශ්න අසයිද. ඒ අසන්නේ මේ කරුණු පසකින් එකක් හෝ කිහිපයක් නිසා හෝ වෙයි.”

AN 05-17-06. වෙදයිත නිරෝධ සූත්‍රය

“එකල්හි දිනක් ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ, “ඇවැත්නි මහණෙනි,” යි භික්‍ෂූන්ට ඇමතූ සේක. “ඇවැත්නි” කියා ඒ භික්‍ෂූහු ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිරයන්ට ප්‍රතිවචන දුන්හ. ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මෙය වදාළේය.

“ඇවැත්නි, මේ ශාසනයෙහි භික්ෂුවක් ශීලයෙන් යුක්තවූයේ නම්, සමාධියෙන් යුක්තවූයේ නම්, ප්‍රඥාවෙන් යුක්තවූයේ නම් සංඥා වේදයිත නිරෝධ සමාපත්තියට තමන් රිසි සේ සමවදින්නේය. තමන් රිසි සේ එයින් නැගිටින්නේය.”.

ඉදින් මේ ආත්මයෙහිම රහත්බවට නොපැමිණෙන්නේ නම් කබලිකාර ආහාරයෙන් ජීවත්වන දේව සමුහයාට1161 වඩා උසස් වූ මනෝ කාය1162 ඇති දෙවියන් අතර ඉපිද , එහිදී ද සංඥා වේදයිත නිරෝධ සමාපත්තියට තමන් රිසි සේ සමවදින්නේය. ඉන් තමන් රිසිසේ නික්මෙන්නේය” යි සාරිපුත්ත ස්ථවිරයන් වහන්සේ වදාළේය.

[1161:- කබලිකාර ආහාර භාක්කනන් දේවානං” සෙන්ඛ තලයේ මේ දේව සමුහයා ඉන්නේයැයි කියැවේ]
[1162:- අනන්තරන් මනොමයන් කායන්: ධ්‍යාන වඩා බ්‍රහ්ම ලෝකවල පහල වූ මනෝමය කාය ඇති දෙවියන්]

මෙසේ කී කල්හි ආයුෂ්මත් උදායී ස්ථවිරයන් ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිරයන්ට මේසේ කීයේය.

“ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිරයෙනි, මෙය විය නොහැකිය. භික්ෂුවක් කබලීකාරාහාරය බුදින්නාවූ දෙවියන් ඉක්මවාම, මනෝමය බ්‍රහ්ම කයකට පැමිණ, සංඥා වේදයිත නිරෝධ සමාපත්තියට යලි සමවදින්නේය ඉන් නැගිටින්නේ ය යන්න සිදු විය නොහැක.”

“දෙවනුවද, ආයුෂ්මත් සාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ භික්‍ෂූන්ට ආමන්ත්‍රණය කෙළේය.

“ඇවැත්නි, මේ ශාසනයෙහි භික්‍ෂුවක් ශීලයෙන් යුක්තවූයේ, සමාධියෙන් යුක්තවූයේ, ප්‍රඥාවෙන් යුක්තවූයේ, මේ ආත්මයෙහි රහත්බවට නොපැමිණෙන්නේ නම්, කබලිකාර ආහාරයෙන් ජීවත්වන දේව සමුහයාට වඩා උසස් වූ මනෝ කාය ඇති දෙවියන් අතර ඉපිද , එහිදී ද සංඥා වේදයිත නිරෝධ සමාපත්තියට තමන් රිසි සේ සමවදින්නේය. ඉන් තමන් රිසිසේ නික්මෙන්නේය” යි සාරිපුත්ත ස්ථවිරයන් වහන්සේ නැවත වදාළේය.

මෙසේ කී කල්හි ආයුෂ්මත් උදායී ස්ථවිර යන් ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිරයන්ට නැවත මේ කීයේය. “ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිරයෙනි, මෙය කරුණු රහිතයි. අවකාශ රහිතය. ඒ භික්‍ෂු තෙම කබලීකාරාහාරය අනුභව කරන්නාවූ දෙවියන්ගේ සහභාවය ඉක්මවාම එක්තරා මනෝමය බ්‍රහ්ම කයකට පැමිණියේ සංඥා වේදයිත යන නිරෝධ සමාපත්තියට සමවදින්නේද එයින් නැගිටින්නේද යන යමක් ඇද්ද, මේ කරුණ විය නොහැක.

“තුන්වෙනුවද ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ භික්‍ෂූන්ට ආමන්ත්‍රණය කෙළේය….. එවරද ආයුෂ්මත් උදායී ස්ථවිරයන් එය විය නොහැකි බව කීය.

“ඉක්බිති ආයුෂ්මත් සාරිපුත්‍ර ස්ථවිරයන්ට මේ අදහස විය. තුන්වෙනි වර දක්වාම ආයුෂ්මත් උදායී ස්ථවිරයන් මගේ වචනය පිලි නොගනී. මාගේ වචනය අනුමෝදන් නොවෙයි. මම භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්නා තැනට ගොස් මේ විසඳා ගන්නෙමි” යි කියායි

ඉක්බිති ආයුෂ්මත් සාරිපුත්‍ර ස්ථවිරයන් භාග්‍යවතුන් වහන්සේ වැඩ හුන් තැනට පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස්ව හිඳ භික්‍ෂූන්ට ආමන්ත්‍රණය කෙළේය.
“ඇවැත්නි, මේ ශාසනයෙහි භික්‍ෂුවක් ශීලයෙන් යුක්තවූයේ, සමාධියෙන් යුක්තවූයේ, ප්‍රඥාවෙන් යුක්තවූයේ, මේ ආත්මයෙහි රහත්බවට නොපැමිණෙන්නේ නම්, කබලිකාර ආහාරයෙන් ජීවත්වන දේව සමුහයාට වඩා උසස් වූ මනෝ කාය ඇති දෙවියන් අතර ඉපිද , එහිදී ද සංඥා වේදයිත නිරෝධ සමාපත්තියට තමන් රිසි සේ සමවදින්නේය. ඉන් තමන් රිසිසේ නික්මෙන්නේය” යි සාරිපුත්ත ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේදීම නැවත වදාළේය

මෙසේ කී කල්හි ආයුෂ්මත් උදායී ස්ථවිරයන් ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිරයන්ට මේ කීයේය.
“ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිරයෙනි, මෙය විය නොහැකිය. භික්ෂුවක් කබලීකාරාහාරය බුදින්නාවූ දෙවියන් ඉක්මවාම, මනෝමය බ්‍රහ්ම කයකට පැමිණ, සංඥා වේදයිත නිරෝධ සමාපත්තියට යලි සමවදින්නේය ඉන් නැගිටින්නේ ය යන්න සිදු විය නොහැක.”

“දෙවනුවද, ආයුෂ්මත් සාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ භික්‍ෂූන්ට ආමන්ත්‍රණය කෙළේය.
“ඇවැත්නි, මේ ශාසනයෙහි භික්‍ෂුක්ශීලයෙන් යුක්තවූයේ, …සංඥා වේදයිත නිරෝධ සමාපත්තියට තමන් රිසි සේ සමවදින්නේය. ඉන් තමන් රිසිසේ නික්මෙන්නේය”
එවරත් ආයුෂ්මත් උදායි ” එය පිළිගැනීම ප්‍රතික්ෂේප කළේය.

“තුන්වෙනුවද ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ භික්‍ෂූන්ට ආමන්ත්‍රණය කොට මේ කාරණය දේසනා කලත් එවරද ආයුෂ්මත් උදායි ස්ථවිරයන් ඒ ප්‍රතික්ෂේප කළේය..

“ඉක්බිති ආයුෂ්මත් සාරිපුත්‍ර ස්ථවිරයන්ට මෙසේ සිත් විය.. භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහිද ආයුෂ්මත් උදායී ස්ථවිරයන් තුන්වෙනි වර දක්වා මා කල දේශනාව ප්‍රතික්ෂේප කළේය. එනිසා මාගේ වචනය කිසි භික්‍ෂුවක් අනුමෝදන් නොවෙයි. මම නිශ්ශබ්ද වන්නෙම් නම් යෙහෙක” කියායි. ඉක්බිති ආයුෂ්මත් සාරිපුත්‍ර ස්ථවිරයන් නිශ්ශබ්ද වූයේය.

“එකල්හි භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් උදායී ස්ථවිරයන්ට ආමන්ත්‍රණය කළ සේක.
“උදායීය, ධ්‍යාන සිතින් උපදවා ගත් මනෝමය කාය යනුවෙන් ඔබ කුමක් වටහා ගන්නේද? ”

“ස්වාමීනි, සංඥාව පමණක් ඇති රුපයක් නැති දෙවියන් යැයි මම සිතමි1163 . ” යි කීයේය.

[1163:- යෙ තේ භන්තේ, දේවා අරුපීනො සංඥාමයා ” උදායි ස්තවිරයන් අරුපි බ්‍රහ්ම ලෝක වල දෙවියන් හා සඥාව පමණක් ඇති දේව කොටස් පටලවා ගත් බවක් මේ ප්‍රකාශයෙන් පෙනේ.]

“උදායීය, අඥානවූ, අව්‍යක්තවූ තොපගේ කීම අර්ථ සුන්‍යය. තමා නොදන්නා දෙයක් ගැන කටමැත දෙඩවීම කල යුතු යැයි නුඹ හඟින්නෙහිද?” වදාළේය.

“ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන්ට ආමන්ත්‍රණය කළ සේක.
ආනන්‍දය, ජේෂ්ඨ ස්ථවිරයන් වහන්සේ කෙනෙකුව නොමනා ලෙස හිරි හැර කරනු දකිමින් ඔබ නිකන් බලා ඉඳීම හරිද?’
ආනන්‍දය, ස්ථවිර භික්‍ෂුව වෙහෙසනු ලබන කල්හි උන්වහන්සේ කෙරෙහි කිසි කරුණාවක්, අනුකම්පාවක් ඇති නොවන්නේද?

පසුව භාග්‍යවතුන් වහන්සේ අනෙක් භික්‍ෂූන්ට ආමන්ත්‍රණය කළ සේක.

“මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුවක් ශීලයෙන් යුක්තවූයේ නම් , සමාධියෙන් යුක්තවූයේ නම් ඔහුට රිසි සේ ඔහු සංඥා වෙදයිත නිරෝධ සමාපත්තියට සමවදින්නේය. ඔහුට රිසි සේ එයින් නික්මෙන්නේය. ඉදින් මේ ආත්මයෙහිම අර්හත්‍වයට නොපැමිණෙන්නේ නම් කබලීකාහාර බුදින්නාවූ දෙවියන්ගේ සහභාවය ඉක්මවාම, ධ්‍යාන සිතින්ලැබූ අරුපි බ්‍රහ්ම කයක් ලබා එහිදීද රිසි සේ සංඥා වේදයික නිරෝධ සමාපත්තියට සමවදින්නේය, රිසි සේ එයින් නැගිටින්නේය.” යි’ භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එසේ සුගතයන් වහන්සේ වදාරා හුනස්නෙන් නැගිට විහාරයට වැඩිය සේක.

ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් භාග්‍යවතුන් වහන්සේ නිකුත්ව ගිය පසු, ආයුෂ්මත් උපවාන ස්ථවිරයන් හුන් තැනට පැමිණ, ආයුෂ්මත් උපවාන ස්ථවිරයන්ට මෙය කීවේය.
‘ආයුෂ්මත් උපවාන ස්ථවිරයෙනි, සමහරු වැඩිමහලු ආචාර්ය ස්ථවිර භික්‍ෂූන් වෙහෙසෙත්. අපි ඔවුන්ට කිසිවක් නොකීවෙමු.1164

[1164:- මයං තේ න පුච්චාම’ ලෙස බුද්ධ ජයන්ති ත්‍රිපිටකයෙහි ඇති අයුරින්]

ආයුෂ්මත් උපවාන ස්ථවිරයෙනි, භාග්‍යවතුන් වහන්සේ සවස් වේලෙහි මෙම කාරණය අරභයා යම් ප්‍රකාශයක් කරාවි යැයි මම සිතමි. මා මෙයට මැදිහත් නොවීම නිසා භාග්‍යවතුන් වහන්සේ මට දොස් කී නිසා මගෙන් නැවත විමසන්නේ නැතිව මේ සම්බන්ධයෙන් භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේගෙන් මේ සිදුවීම ගැන අසන්නට පිළිවන.” යි1165 කීයේය.

[1165 :- යථා ආයස්මන්තන් යෙ වෙත්ත උපවානං පටිභාසෙව්ය:-]

“ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සවස් වේලෙහි පල සමවතින් නැගී සිටි සේක් උපස්ථාන ශාලාව වෙත පැමිණ, පනවන ලද අස්නෙහි වැඩහිඳ ආයුෂ්මත් උපවාන ස්ථවිරයන්ට මෙය වදාළ සේක

‘උපවානය, කෙතෙක් ගුණ වලින් යුක්තවූ ස්ථවිර භික්‍ෂුවක් සම බ්‍රහ්මචාරීන්ට ප්‍රියයෙක්ද. මනාපවූවෙක්ද ගරු කටයුත්තෙක්ද, බුහුමන් කටයුත්තෙකුත් වේද?”

“ස්වාමීනි, ධර්‍ම පසකින් යුක්තවූ ස්ථවිර භික්‍ෂුවක් සබ්‍රහ්මචාරීන්ට ප්‍රියවූවෙක් වේ. මනාපවූවෙක් වේ. ගරු කටයුත්තෙක් වේ, බුහුමන් කටයුත්තෙක්ද වේ.

“කවර පසකින්ද යත්?
ස්වාමීනි, මේ ශාසනයෙහි ස්ථවිර භික්‍ෂුව

(i) සිල්වත් වේද, ප්‍රාතිමොක්‍ෂ සංවරයෙන් යුක්තවූයේ වේද, ආචාරයෙන් හා ගෝචරයෙන් යුක්තවූයේ, ස්වල්ප තරම් වරදවල භය දක්නා ගති ඇතුව වාසය කෙරේද, ශික්‍ෂාපදයන්හි සමාදන්ව ශික්‍ෂාවෙහි හික්මේද,

(ii) බහුශ්‍රුතවේද, ඇසූ දෙය මනාව දරන්නේද ,වන පොත් කරන ලද්දේද, අසන ලද්ද සජ්ජායනා කරමින් සිහියේ දරන්නේද, විදර්ශනා කරනු ලබන්නේද, දෘෂ්ටියෙන් මනාව ප්‍රතිවේධ කරගන්නා ලද්දේද,

(iii) දක්ෂ ධර්ම දේශකයෙකු වේද, යහපත් වචන ඇත්තේ, යහපත් වචන උච්චාරණය ඇත්තේ, විහිදුවන ලද, කෙළතොලු නොවූ ලෙස , අර්ත්‍ථය පැහැදිලිව තේරුම් ගත හැකි ලෙස ධර්මය දේශනා කරන්නේද,

(iv) තමන්ට රිසි සේ ආයාසයකින් තොරව පහසුවෙන් එළඹ මේ ආත්මයෙහි සැප විහරණ ඇත්තාවූ, සතර ධ්‍යානයන්ට තමන් රිසි සේ එළඹීමට හැකියාවක් ඇතිද,

(v) සියළු ආශ්‍රව සිඳ අර්හත් ඵල සමාධිය, අර්හත් ඵල ප්‍රඥාව මෙලොවදීම තම විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂකොට පැමිණ වාසය කෙරේද,”
යන පසිනි.

“ස්වාමීනි, එම ගුණ ධර්‍ම පසකින් යුක්තවූ ස්ථවිර භික්‍ෂුව සබ්‍රහ්මචාරීන්ට ප්‍රියවූවෙක්ද. මනාපවූවෙක්ද , ඔවුන් විසින් ගරූ කටයුත්තෙක්ද, බුහුමන් කටයුත්තෙක්ද වේ.

“උපවානය, යහපති. යහපති, උපවානය.
මේ ධර්‍ම පසින් වනාහි යුක්තවූ ස්ථවිර භික්‍ෂුව බ්‍රහ්මචාරීන්ට ප්‍රියවූවෙක්ද. මනාපවූවෙක්ද ගරු කටයුත්තෙක්ද, බුහුමන් කටයුත්තෙක්ද වේ.

උපවානය, ඉදින් මේ පඤ්ච ධර්‍මයෝ ස්ථවිර භික්‍ෂුවක් වෙත නොවේ නම්, ඔහු බ්‍රහ්මචාරීන්ට ප්‍රියවූවෙක්. මනාපවූවෙක්, ඔවුන් විසින් ගරු කටයුත්තෙක්, බුහුමන් කටයුත්තෙක් වීමට වෙනත් හේතු කාරනා වෙත් ද?. දත් වැටුනු බැවින්, හිස කෙහෙ පැසුනු බැවින්ද, ඇඟ රැලි වැටුනු බැවින්, වයෝවෘද්ධ වුනු බැවින් ?
උපවානය මේ පඤ්ච ධර්‍මයෝ ස්ථවිර භික්‍ෂුහුගේ පවතිද්ද, එහෙයින් ඔහුට බ්‍රහ්මචාරීහු සත්කාර කරත්. ගෞරව කරත්. බුහුමන් කරත්. පූජා කරත්ය” යි වදාළ සේක.

AN 05-17-07. චොදක ධම්ම සූත්‍රය

§ 1. සැවත් නුවර දී.

දිනක් ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ, “ඇවැත්නි මහණෙනි,” යි භික්‍ෂූන්ට ඇමතූ සේක. “ඇවැත්නි” කියා ඒ භික්‍ෂූහු ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිරයන්ට ප්‍රතිවචන දුන්හ. ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මෙය වදාළේය.

§ 2. “ඇවැත්නි, අනික් භික්ෂුවකට චෝදනා කරණ චෝදක භික්‍ෂූව විසින් කරුණු පසක් තමන් කෙරෙහි පිහිටුවා එසේ අන්‍යයාට චෝදනා කටයුතු වේ.
“කවර පසක්ද යත්?

(i) සුදුසු වෙලාවක කියන්නෙමි, නුසුදුසු වෙලාවක නොකියන්නෙමි.
(ii) අභූත සිද්ධියක් ගැන නොව සත්‍යවශයෙන් ම සිදුවූවක් ගැන චෝදනා කරමි.
(iii) මෘදු වශයෙන් කියන්නෙමි, සැර පරුෂ ලෙස නොකියන්නෙමි.
(iv) ඔහුට වැඩ සහිත වෙන ලෙස කියන්නෙමි, අවැඩ පිණිස නොකියන්නෙමි.
(v) ද්වේෂ සිතින් නොව මෛත්‍රී සිතින් කියන්නෙමි,
යන පසයි.

“ඇවැත්නි, අනිකාට චෝදනා කරණ චෝදක භික්‍ෂූහු විසින්එම කරුණු පස තමන් කෙරෙහි පිහිටුවා අන්‍යයාට චෝදනා කටයුතු වේ.

“ඇවැත්නි, මේ ශාසනයෙහි අවේලාවෙහි චෝදනා කරන්නාවූ, සුදුසු කාලයක් බලා චෝදනා නොකරන්නාවූ , චුදිතයාව කලබල කරන්නාවූ1165 , ඇතැම් පුද්ගලයන් දක්නෙමි. අභූතයෙන් චෝදනා කරණු ලබන්නාවූ, ඵරුෂ වශයෙන් චෝදනා කරන්නාවූ, කිපියාවූද, අවැඩ යුක්තවූවකින් චෝදනා කරන්නාවූ, ද්වේෂ සිතින් චෝදනා කරන්නාවූ, පසුව ඒ ගැන පසුතැවෙන්නාවූ, ඇතැම් පුද්ගලයන් දක්නෙමි.

[1165:- නො කාලෙන කුපිතං ” මෙහි කුපිත වචනය යොදා ඇත්තේ මන්දැයි අපැහැදිලිය. කුපිත යන පාලි වචනය ,අවුල් කරවන, කලබල කරවන, තරහ ගස්සන ලෙස සිංහලෙන් කිව හැක. මෙහි යෙදීම අපැහැදිලි එනිසාය.]

§ 3 . “ඇවැත්නි, ධර්‍මයෙන් පරිභාහිර විධියකට චෝදනා කරණ ලද විට භික්‍ෂුවක් පස් ආකාරයකින් පසුතැවීම සිතෙහි නැති කර ගත යුතුයි.

(i) .“ඇවැත්නි, ඔබට සුදුසු වෙලාවක නොව, නුසුදුසු කල්හි චෝදනා කරණ ලදී.
ඒ නිසා තොපට පසුතැවිලි වීමට කාරණාවක් නැත.

(ii). ආයුෂ්මතුන්ට අසත්‍යයෙන් චෝදනා කරණ ලදී. සත්‍යයෙන් නොවේ.
තොප ඒ නිසා දුක්වීම නොසුදුසුය .

(iii).ආයුෂ්මතුන්ට ඵරුෂ වශයෙන් චෝදනා කරණ ලදී. මෘදු වශයෙන් නොවේ.
තොප ඒ නිසා විපිළිසර වීම නොසුදුසුය.

(iv)ආයුෂ්මතුන් අවැඩ සහිත ලෙස චෝදනා කරණ ලදී. වැඩ සහිත ලෙස නොවේ.
තොපට ඒ නිසා විපිළිසර වීම නොසුදුසුය.

ආයුෂ්මතුන්ට ද්වේෂ සිතින් චෝදනා කරණ ලදී. මෛත්‍රී සිතින් නොවේ.
ඒ නිසා තොපට විපිළිසර වීම අනවශ්ය‍ය.

“ඇවැත්නි, ධර්‍මයෙන් බැහැරව චෝදනා ලැබූ භික්‍ෂුහට මේ පස් ආකාරයෙන් විපිළිසර වීමෙන් බැහැර විය හැකිය.

§ 4. “ඇවැත්නි, ධර්‍මයෙන් පරිබාහිරව අන් භික්ෂුවකට චෝදනා කරන්නාවූ චෝදක භික්ෂුව මේ පස් ආකාරයෙන් පසුතැවිලි වීමට සුදුසුය.

(i). ආයුෂ්මතුන් වෙලාව නොබලා අව්ලාවෙහි චෝදනා කරණ ලදී.
ඒ ගැන තොපට විපිළිසර වීමට සුදුසුය.
(ii). ආයුෂ්මතුන් අසත්‍යයෙන් චෝදනා කරණ ලදී.
ඒ ගැන තොපට විපිළිසර වීමට සුදුසුය. .
(iii) . ආයුෂ්මතුන් ඵරුෂ වශයෙන් චෝදනා කරණ ලදී.
ඒ ගැන තොපට විපිළිසර වීමට සුදුසුය.
(iv) . ආයුෂ්මතුන් අවැඩ සහිත ලෙස චෝදනා කරණ ලදී..
ඒ ගැන තොපට විපිළිසර වීමට සුදුසුය.
(v) . ආයුෂ්මතුන් ද්වේෂ සිතින් චෝදනා කරණ ලදී. .
ඒ ගැන තොපට විපිළිසර වීමට සුදුසුය.

ඇවැත්නි, ධර්‍මයෙන් පරිබාහිරව චෝදනා කරන්නාවූ භික්‍ෂුවක් මේ පස් ආකාරයෙන් විපිළිසර වීම, පසුතැවිලි වීම සුදුසුය. ඊට හේතු කවරේද? යම්සේ අන්‍ය භික්‍ෂුවක් තමන් කල ලෙස එසේ අවේලාවෙහි, අසත්‍යයෙන් , පරුෂ ලෙස, අවැඩ පිණිස, ද්වේශ සිතින් තවත් භික්ෂුවකට චෝදනා කරනු වැලැක්වීම පිණිසය.

§ 5. සමහර විට මම තවත් භික්ෂුවක සබ්‍රහ්මචරියෙකුගේ ඇවතක් දැන, වෙලාව බලා, සත්‍යය ඇවතක් නිසා, පරුෂ ලෙස නොව, ඔහුගේ මතු යහපතම සලකා , මෛථ්රී සිතින් චෝදනා කරනු දැක ඇත්තෙමි.

“ඇවැත්නි, මෙසේ ධර්ම විනයානුකුලව චෝදනා කල විට ඒ චුදිත භික්කෂුව තුල මෙසේ පස් පසු තැවීම ඇති කල යුතුය.

(i) “ඇවැත්නි, තොපට නිසි වෙලාව බලා සුදුසු කල්හි චෝදනා කරණ ලදී.
නුසුදුසු කල්හි නොවේ. ඒ නිසා තොප පසුතැවීම සුදුසුය.
(ii) “ඇවැත්නි, තොපට සත්‍ය ඇවතක් නිසා චෝදනා කරණ ලදී. අසත්‍යයෙන් නොවේ.
ඒ නිසා තොප පසුතැවීම සුදුසුය.
(iii) “ඇවැත්නි, ඵරුෂ වශයෙන් නොව, මෘදු වශයෙන් චෝදනා කරණ ලදී.
ඒ නිසා තොප පසුතැවීම සුදුසුය.
(iv) “ඇවැත්නි, තොපගේ අවැඩ පිණිස නොව, වැඩ පිණිස චෝදනා කරණ ලදී.
ඒ නිසා තොප පසුතැවීම සුදුසුය.
(v) “ඇවැත්නි, ද්වේෂ සිතකින් නොව, මෛත්‍රී සිතින් තොපට චෝදනා කරණ ලදී.
ඒ නිසා තොප පසුතැවීම සුදුසුය.

“ඇවැත්නි, ධර්‍මයානුකුලව චෝදනා කරණ ලද භික්‍ෂුහට මේ පස් ආකාරයෙන් පසුතැවීම ඉපදවිය යුතුයි.

§ 6. “ඇවැත්නි, ධර්‍මයෙන් චෝදනා කරන්නාවූ භික්‍ෂුහට පස් ආකාරයකින් පිළිසර නොවීම ඉපදවිය යුතුයි.

(i). “ඇවැත්නි, ඔබ සුදුසු කල්හි චෝදනා කරණ ලදී. නුසුදුසු කල්හි නොවේ.
තොපට විපිළිසර වීම ට කාරනා නැත.
(ii). ආයුෂ්මත්නි ඔබ සත්‍ය කරුණක් නිසා චෝදනා කරණ ලදී. අසත්‍යයෙන් නොවේ.
තොපට විපිළිසර වීම ට කාරනා නැත.
(iii). ආයුෂ්මත්නි ඔබ මෘදු වශයෙන් චෝදනා කරණ ලදී. ඵරුෂ වශයෙන් නොවේ.
තොපට විපිළිසර වීම ට කාරනා නැත.
(iv) ආයුෂ්මත් තෙමේ වැඩ සහිත වූවකින් චෝදනා කරණ ලදී. අවැඩ සහිත වූවකින් නොවේ.
තොපට විපිළිසර වීම ට කාරනා නැත.
(v) ආයුෂ්මත් තෙමේ මෛත්‍රී සිතින් චෝදනා කරණ ලදී. ද්වේෂ සිතකින් නොවේ.
තොපට විපිළිසර වීම ට කාරනා නැත.

“ඇවැත්නි, ධර්‍මයෙන් චෝදනා කරන්නාවූ චෝදක භික්‍ෂුහට මේ පස් ආකාරයෙන් පිළිසර වීම නැති කල යුතුයි.
ඊට හේතු කවරේද?
යම් සේ අන්‍ය භික්‍ෂුවක් , සිය සබ්‍රහ්මචාරි භික්ෂුවක් ඇවතට පත්වනු දුටු කල මෙසේ චෝදනා කටයුතු කරන්නට ඉඩ සලසන ලෙසය.

§ 7. “ඇවැත්නි, චෝදනා ලද පුද්ගලයා විසින් සත්‍යයෙහිද, නොකිපීමෙහිද යන ධර්‍ම දෙක්හි පිහිටිය යුතුයි.

“ඇවැත්නි, ඉදින් මටම සුදුසු කල්හි හෝ නුසුදුසු කල්හි, සත්‍යයෙන් හෝ අසත්‍යයෙන් හෝ, මෘදු වශයෙන් හෝ ඵරුෂ වශයෙන් හෝ, මගේ දියුණුව පිණිස හෝ, මගේ අවැඩ පිණිස හෝ , මෛත්‍රී සිතින් හෝ ද්වේෂ සිතකින් හෝ අන්‍යයෝ මට චෝදනා කරන්නාහු නම් මම සත්‍යයෙහිද නොකිපීමෙහිද යන ධර්‍ම දෙක්හිම පිහිටන්නෙමි. ඉදින් මා කෙරෙහි මේ අධර්‍මය ඇතැයි දන්නෙම් නම්, මේ අගුනය මා කෙරෙහි ඇත්තේයයි පිලිගනිමි. ඉන් වැලකෙමි.

ඉදින් මේ ධර්‍මය මා කෙරෙහි නැත්තේයයි දන්නෙම් නම්, මේ ධර්‍මය මා කෙරෙහි නැත්තේයයි කියන්නෙමි” යි කීයේය.

§ 8. එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.
“ සාරිපුත්තය ! ඔබ මෙසේ මේ භික්ෂුන්ට ධර්මය කියාදෙන විටත්, සමහර අඥාන මහනුන් ඔබගේ ඉගැන්වීම් ශ්‍රද්ධාවෙන් පිලි නොගනී. ඔබ ඒ ගැන කුමක් කියන්නේද?

§ 9.“ස්වාමීනි, සමහර පුද්ගලයෝ මහණවී ඉන්නේ ශ්‍රද්ධාව නිසා නොව, ජීවිකා වෘතියක් වශයෙනි. ඔවුන් කෛරාටිකය, මායා ප්‍රයෝග සහිතය. කුහකය. උඩගුය. මානයෙන් ඉදිමුනාහ. වංකය. වාචාලය. දොඩමළුය. ඉන්ද්‍රිය සංවරයක් නැත්තෝය. කෑමෙහි සීමාවක් නොදන්නෝය, නින්දේ සීමාවක් නොදන්නෝය. ශ්‍රමණ පැවැත්මේ පටිපදාව නොදන්නෝය. ප්‍රතිපදාවේ හැසිරීමක් නො තකන්නොය. හුදෙකලාව ප්‍රිය නොකරන්නෝය, වෙර නොවඩන්නොය, අලසය, කිසිදා සමාධියක් නොදන්නෝය, ඉබාගාතේ යන සිත් ඇත්තෝය, අඥානය. ශ්‍රමණ ජීවිතට නොසුදුස්සෝය.

මා ධර්මය දේශනා කරන විට ඔවුන් ගෞරවයෙන් ඒ දේශනය පිලි නොගනී.

§ 10. “ස්වාමීනි, නමුත් බොහොමයක් කුලපුත්‍රයෝ ශ්‍රද්‍ධාවෙන් ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූ අයය, ඔවුන් කෛරාටික නැත, මායා නැත, අවංකය, උඩඟු නැත, උද්ගත මාන නැත, චපල නැත, දොඩමළු නැත, විසුරුණු වචන නැත, ඉන්‍ද්‍රියයන් සංවරය. භෝජනයෙහි පමණ . දන්නාහුය.නොඇලුනෝය, නීවරණයන් දුරු කිරීමේ ඕනෑකම ඇත්තෝය. පටන්ගත් වීර්යය ඇත්තෝය. භක්තිය ඇත්තෝය. ශ්‍රද්ධාවන්තය.. ප්‍රතිපදාව ගැන විශ්වාසය ඇත්තෝය, සතිමත් වුවෝය. සමාධියට හුරු සිත් ඇත්තෝය. අරඹන ලද වීර්යය ඇත්තෝය. ඥාණවන්තයෝය.

ඔවුන් වැඩි කතා නැත්තෝය. ඔවුන් මා විසින් මෙසේ කියනු ලබන්නාවූ ධර්මය, ශ්‍රද්ධාවෙන් පිලිගන්නොය.” යිද කීයේය.

§ 11. “ශාරීපුත්‍රය, ඒ කෛරාටික, මායා ප්‍රයෝග සහිත. කුහක. උඩගු. මානයෙන් ඉදිමුන. වංක. වාචාල. දොඩමළු. ඉන්ද්‍රිය සංවරයක් නැති. කෑමෙහි සීමාවක් නොදන්නා, නින්දේ සීමාවක් නොදන්නා. ශ්‍රමණ පැවැත්මේ පටිපදාව නොදන්නා. ප්‍රතිපදාවේ හැසිරීමක් නොතකන. හුදෙකලාව ප්‍රිය නොකරන, වෙර නොවඩන, අලස, කිසිදා සමාධියක් නොදන්නා, ඉබාගාතේ යන සිත් ඇත්තෝ, අඥානයෝ වෙද්ද, ඔවුහු සිටිත්වා.

“ශාරීපුත්‍රය, යම් කුලපුත්‍රයෝ වනාහි ශ්‍රද්‍ධාවෙන් ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූවාහුදව්, කෛරාටික නොවූවාහු, මායා නැත්තාහු, කෙටුහ නොදන්නාහු, උඩඟු නොවූවාහු, උද්ගත මාන නල නැත්තාහු, චපල නුවූවාහු, දොඩමළු නුවූවාහු, නොවිසුරුණු වචන ඇත්තාහු, ඉන්‍ද්‍රියයන්හි රක්නා ලද දොරටු ඇත්තාහු, භෝජනයෙහි පමණ දන්නාහු, නිදි දුරු කිරීමෙහි යෙදුනාහු, ශ්‍රමණ භාවයෙහි අපේක්‍ෂා ඇත්තාහු, ශික්‍ෂාවෙහි දැඩි ගෞරව ඇත්තාහු, ප්‍රත්‍යය බහුලකොට නැත්තාහු, සස්න ලිහිල් කොට නොගත්තාහු, නීවරණයන්ට බැස ගැන්මෙහි බහා තබන ලද ධුර ඇත්තාහු, ප්‍රකර්‍ෂ විවේකයෙහි පෙරදැරි වූවාහු, පටන්ගන්නා ලද වීර්‍ය්‍ය ඇත්තාහු, හරණ ලද ආත්මාලය ඇත්තාහු, එළඹ සිටි සිහි ඇත්තාහු, මනා නුවණ ඇත්තාහු, සමාධි වූවාහු, එකඟවූු සිත් ඇත්තාහු, ප්‍රඥා ඇත්තාහු, කෙළතොලු නොවූවාහු වෙද්ද,

“ශාරීපුත්‍රය, ඔවුන්ට නුඹ ධර්මය දේශනා කරව., ශාරීපුත්‍රය, සබ්‍රම්සරුන්ට අවවාද කරව. ශාරීපුත්‍රය, සබ්‍රම්සරුන් අසද්‍ධර්මයෙන් ගලවා සද්‍ධර්මයෙහි පිහිටුවන්නෙමියි, සබ්‍රම්සරුන්ට අනුශාසනා කරව. ශාරීපුත්‍රය, මෙසේ තොප විසින් හික්මිය යුතුය” යි වදාළසේක.

AN 05-17-08 . සීල සූත්‍රය

ඇවැත්නි,

(i) ශීලයක් නොරකින, දුශ්ශීලයාට සම්මා සමාධියක් ලබන්නට කෙසේවත් නොහැකිවන්නේ ඔහුට සමාධියට අවශාකරන සීලය නොමැති කමෙනි.
(ii) සමාධිය නොලබා ඔහුට යතාභුත ඥාණ දර්ශණය 1166 නොලැබේ.
(iii) යථාභූත ඥාණ දර්ශනයෙන් තොරව නෙක්ඛම්මය හෝ
(iv) විරාගය පිළිබඳව ඔහුට් කිසිදු හැගීමක් ඇති නොවේ.
(v) නෙක්ඛම්ම හා විරාග නොදත් අයෙක් ව්මුක්තිය පිලිබඳ හැගීමක් හෝ විමුක්තිඥාන දර්ශනයක් ඇති නොවේ.

[1166:- මහණෙනි, පවට ලැජ්ජා භය නැති කල්හී, පවට ලැජ්ජා භය නැති තැනැත්තා හට ඉන්ද්‍රිය සංවරය නැමැති හේතු සම්පත් නැසුණේ වෙයි. ඉන්ද්‍රිය සංවරය නොමැති කල්හී, ඉන්ද්‍රිය සංවරය නැති තැනැත්තා හට සීලය නැමැති හේතු සම්පත් නැසුණේ වෙයි. සීලය නොමැති කල්හී, සිල් නැති තැනැත්තා හට සම්මා සමාධිය නැමැති හේතු සම්පත් නැසුණේ වෙයි. සම්මා සමාධිය නොමැති කල්හී, සම්මා සමාධිය නැති තැනැත්තා හට යථාභූත ඥානදර්ශනය නැමැති හේතු සම්පත් නැසුණේ වෙයි. යථාභූත ඥාන දර්ශනය නොමැති කල්හී, යථාභූත ඥානදර්ශනය නැති තැනැත්තා හට නිබ්බිදා විරාගය නැමැති හේතු සම්පත් නැසුණේ වෙයි. නිබ්බිදා විරාගය නොමැති කල්හී, නිබ්බිදා විරාගය නැති තැනැත්තා හට විමුක්ති ඥානදර්ශනය නැමැති හේතු සම්පත් නැසුණේ වෙයි. (AN 04-22-09 හිරෝත්තප්ප සුත්‍රය)]

ඇවැත්නි,
යම්සේ අතු හා කොළ අඩු ගසක් වේද, ඒ ගසේ පොත්ත ඝනකමෙන් අඩුවේ. ඒ ගසේ කඳ මහත්ව නොවැඩේ. අරටුවද හොඳින් නොවැඩේ.

ඇවැත්නි, එසෙයින් ම ශීලයක් නොරකිනා දුශ්ශීලයාට සම්‍යක් සමාධියක්1166 ඇති නොවේ. සම්‍යක්සමාධිය නැතිව යථාභූත ඥානදර්ශනය ඇති නොවෙයි. යථාභූත ඥානදර්ශනය නැතිව නෙක්ඛම්මය හෝ විරාගය පිළිබඳව ඔහුට කිසිදු හැගීමක් ඇති නොවේ. නෙක්ඛම්ම හා විරාග නොදත් ඔහුට ව්මුක්තිය පිලිබඳ හැගීමක් හෝ විමුක්තිඥාන දර්ශනයක් ඇති නොවේ.

[1166: අන්ගුත්තර නිකායේ පඤ්චංගික සමාධි සූත්‍රය කියවන්න.]

ඇවැත්නි, සිල්වත්වූ භික්ෂුවගේ සම්‍යක්සමාධිය වහා වැඩේ.. සම්‍යක්සමාධිය ඇති වත් ම යථාභූත ඥානදර්ශ නය ඇති වෙයි. යථාභූත ඥාන දර්ශනය1167 ඇතිවත් ම නිබ්බිදාව හා විරාගය ඇති වෙයි. නිබ්බිදාව1168 හා විරාගය ඇති වත් ම විමුක්ති ඥානදර්ශනය ඇති වෙයි..

[1167:- යථාභූත ඥානදර්ශනය යනු ‘යම් සේ සිදු වී ඇත්ද, ඒ ආකාරය දක්නා නුවණ යි’
මෙහි දී විෂයය විය යුත්තේ අපගේම සංකල්පනා ක්‍රියාකාරිත්වය විනා අන් කිසිවක් නොවේ. ආයතන සයක ක්‍රියාකාරිත්වයෙන් අපි පෙනෙනවා. ඇසෙනවා ,ආඝ්‍රාණ දැනෙනවා. රස දැනෙනවා, ස්පර්ශ දැනෙනවා, කල්පනා වෙනවා යන අත්දැකීම් ලබමු. වින්දන වශයෙන් ඇලෙන්නේ, ගැටෙන්නේ, රැවටෙන්නේ එසේ අරමුණු වන නාමමාත්‍ර රූපනිමිති වලටයි. වින්දනයෙන් තණ්හාවට වැටෙන සත්වයා උපාදාන භව, ජාති, ජරා ,මරණ, සෝක, පරිදෙව දුක් දොම්නස් උපායාසයන්ට වැටේ.]

[1168: නිබ්බිදාව : ලෝක ස්වභාවය අවබෝධකිරීමත් සමග නිබ්බිදාව ඇති වේ. අනිත්‍යබව, අනාත්ම බව හා දුක්ඛ ස්වභාවය ලෝකයේ ස්වභාවය බවත් කිසිවෙකුට ඒවායින් මිදීමක් නැති බව අවබෝධ වීමෙන් නිබ්බිදාවක් හටගනී. ]

AN 05-17-09. ඛිප්පනිසන්තී සූත්‍රය

“එකල්හි දිනක් ආයුෂ්මත් අනද තෙරණුවෝ සැරියුත් තෙරණුවන් වෙත එළඹ ආයුෂ්මත් සැරියුත් තෙරණු‍වන් හා සතුටු වියයුතු සිහි කටයුතු කථා කොට නිමවා එකත්පස් ව හුන්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට මෙසේ කීයේය.:

“ආයුෂ්මත් ශාරීපුත්‍රයෙනි, කෙබඳු ගුණයෙන් යුතු භික්ෂුවක්, ඉක්මනින් සත්ධර්මය වටහාගන්නේද, ඒ වටහා ගෙන අමතක නොවන සේ මනාව ධාරණය කර ගන්නේද? ” යි. ඇසීය.

‍“ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ බහුශ්‍රැතයහ. ආයුෂ්මත් ආනන්ද තෙරුන්ම ඒ ප්‍රශ්නයටේ පිළිතුර සපයත්වා!” යි සැරියුත් ස්ථවිරයන් වහන්සේ වදාළ සේක.

‍“එසේ වී නම් ආයුෂ්මත් ශාරීපුත්‍රයෙනි, අසනු මැනැවි, මනා කොට මෙනෙහි කළ මැනැවි, කියමි” යි.

‘ඇවැත්නි, එසේ ය’යි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ආයුෂ්මත් ආනන්ද තෙරණුවන්ට පිළිවදන් ඇස්සූහ. ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ මෙසේ කීහ:

‍“ආයුෂ්මත් ශාරීපුත්‍රයෙනි, මෙ සස්නෙහි මහණකු සත්ධර්මයෙහි අර්ථය මනාව වටහා ගනීද,
වචන භාවිතය පිලිබඳ මනාව දන්නේද, නිරුක්ති වචනයෙහි ද දක්ෂද. ව්‍යඤ්ජන (පදභෙද) යෙහි ද දක්ෂ වේ ද. පූර්වාපර සන්ධානයෙහි (මුල අග ගැළපීමෙහි) ද දක්ෂ වේද1169 , එබඳු භික්ෂුව වහා ධර්මය අවබෝධකර ඒ වටහාගෙන ඒ දරාගන්නට සමත් වෙයි. මෙසේ ඔහු උගත් ධර්මය ඔහු t කිසි කලෙක අමතක නොවේ.” යි වදාළේය.

[1169:- Anantara asavanarn kJmyo hoti. On the “immediacy condition for the destruction of the taints,”
Anantariyam papunati dsavanam khayaya. The word anantariya is of rare occurrence, so its meaning must be determined inferentially. One clue is the Ratana Sutta, which says: yam buddhasettho parivannayl sucim samadhim anantarikannam ahu (Sn 226).
Any difference between dnantarika and anantariya is insignificant, as the terminations -iya and -ika are often interchangeable. Another clue is SN 22:81, at III 96 -99, where the Buddha addresses the question: “How should one know and see to attain immediately (lit. /without interval’) the destruction of the taints?” (evam . . .janato evam passato anantara asavdnam khayo hoti). Other AN .suttas— 3:102, I 158,7-12, and 5:23, III 16,29-17,2—speak about the mind being “properly concentrated for the destruction of the taints” (samma samadhiyati asavanam khayaya). See too.5:170, III 202 ,27-33, which speaks about certain conditions “such that immediately afterward the destruction of the taints occurs” (anantara asavdnam khayo hoti). Thus, the “immediacy condition” spoken of here seems to be a state in which the mind is properly concentrated and, at the same time, has acquired the insight that brings about the destruction of the taints.]

“ සාදු! සාදු!! ඇවැත්නි, අද්භූත ය ඇවැත්නි, ආයුෂ්මත් ආනන්ද තෙරුණුවන් විසින් මෙය සුභාෂිත මැ යැ. අපි ආයුෂ්මත් ආනන්ද තෙරණුවන්ද මේ ඔබම වදාළ ගුණ පසින් සමන්වාගත බව දැනීම්.

“ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ අර්ථකුශලයහ, ධර්මකුශලයහ, නිරුක්තිකුශලයහ, ව්‍යඤ්ජනකුශලයහ, පූර්වාපරසන්ධානකුශලයහ”යි අපිදු දරම්හ.” යි වදාළේය.

AN 05-17-10. භද්දජී – ආනන්‍ද සූත්‍රය

එක් කලෙක්හි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ, කොසඹෑ නුවර ඝෝෂිතාරාමයෙහි වැඩ වසයි. එකල්හි ආයුෂ්මත් භද්දජි ස්ථවිරයන්, ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ හුන්තැනට පැමිණ, ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් සමග ආ ගිය කථා නිමවා එකත් පසෙක හුන්නේය.

එකත්පසෙක උන්නාවූ ආයුෂ්මත් භද්දජි ස්ථවිරයන්ට ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ මෙය කීයේය. “ආයුෂ්මත් භද්දජි ස්ථවිරයෙනි,

(i) කුමක් නම් දර්‍ශනයන්ගෙන් අග්‍රද,
(ii) කුමක් ශ්‍රවණයන්ගෙන් අග්‍රද,
(iii ) කුමක් සැපයන්ගෙන් අග්‍රද,
(iv) කුමක් සංඥාවන්ගෙන් අග්‍රද,
(v) කුමක් භවයන්ගෙන් අග්‍රද?”

“ඇවැත්නි. අනුන් සියලු දෙනා මැඩපවත්නාවූ, තමන්න් කිසිවෙකු වීසින් නොමැඩහැකි ලෙස ඉන්නාවූ , ඒකාන්තයෙන් සියල්ල දක්නාවූ, සියලුදෙනා වසඟයෙහි පවත්වන්නාවූ මහා බ්‍රහ්මයා වේ. යමෙක් ඒ මහා බ්‍රහ්මයා දකීද, මෙය දර්‍ශනයන්ගෙන් අග්‍රය.

“ඇවැත්නි. සැපයෙන් විශේෂයෙන් පිනාගියාවූ, හාත්පසින් පිනාගියාවූ, ආභාස්සර’ නම් දෙවියෝ ඉන්නාහ. ඔවුහු නිතොර ‘අහෝ සැපය, අහෝ සැපය’ යි ප්‍රීති වාක්‍ය පවත්වත්. යමෙක් ඒ ශබ්දය අසාද, මෙය ශ්‍රවණයන්ගෙන් අග්‍රය.

“ඇවැත්නි. ශුභකිණ්ණක නම් දෙවියෝ ඇත්තාහ. ඔවුහු සුවපත් භාවය හා ප්‍රීතියම ඇතිව සුවය විඳිත්. මේ සැපයන්ගෙන් අග්‍රය.

“ඇවැත්නි. ආකිඤ්චඤ්ඤායතන බඹ ලොවට පැමිණියාවූ දෙවියෝ ඇත්තාහ. මෙය සංඥාවන්ගෙන් අග්‍රය.

“ ඇවැත්නි. නෙවසඤ්ඤා-නාසඤ්ඤායතනයට පැමිණියාවූ දෙවියෝ ඇත්තාහ. මෙය භවයන්ගෙන් අග්‍රය” යි කීයේය.

“ආයුෂ්මත් භද්දජි ස්ථවිරන්ගේ මේ කීම. බොහෝ දෙනා විසින්හා කියන පිළිගත් ඒවාය” යි කීයේය.

“ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් බහුශ්‍රුතවේ. ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් මෙය අපට දේසනා කරත්වා!” යි භද්දජි ස්ථවිරන් කීයේය.

“ආයුෂ්මත් භද්දජි ස්ථවිරයෙනි, එසේ වී නම් අසව. මනාකොට මෙනෙහි කරවයි කියන්නෙමි.” යි කීයේය. “ඇවැත්නි. එසේය” යි ආයුෂ්මත් භද්දජි ස්ථවිරයන් ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන්ට ප්‍රතිවචන දුන්නේය. ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ මෙය කීයේය.

  • “ඇවැත්නි. යමක් දැක්ක විට ආශ්‍රවයන් නැසේද, මෙය දර්‍ශනයන්ගෙන් අග්‍රය.
  • යම්සේ අසන විට ආශ්‍රවයන් නැසීම සිදු වේද, මෙය ශ්‍රවණයන්ගෙන් අග්‍රය.
  • යම්සේ සුවපත්වූවහුට ආශ්‍රවයන් නැසී යාද, මෙය සැපයන්ගෙන් අග්‍රය.
  • යම්සේ සංඥා ඇත්තහුට ආශ්‍රවයන් නැසීම වේද, මෙය සංඥාවන්ගෙන් අග්‍රය.
  • යම්සේ වූවහුට අනතුරුව ආශ්‍රවයන්ගේ නැසීම වේද, මෙය භවයන්ගෙන් අග්‍රය”

යි කීයේය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.