
.
AN 10-03-01 දස බල සූත්‍රය,
පුජ්‍ය මැල්සිරිපුර ධම්මකුසල ස්වාමින් වහන්සේ
§ 1.“මහණෙනි, මෘගරාජයා වන සිංහයා සවස් කාලයෙහි ගුහාවෙන් නික්මෙයි. ගුහාවෙන් නික්ම ඇඟ හිරි අරියි. එසේ ඇඟ කිලිපොලා හාත්පස සිවු දිග බලයි. හාත්පස සිවු දිග බලා තුන් වරක් සිංහනාද කරයි. තුන්වරක් සිංහනාද කර ඉන් පසුව ගොදුරු පිණිස පිටත් වෙයි.
ඊට හේතු කවරේද?
‘මා ගමන් කරන මගට අහම්බෙන්වත් එන කුඩා සතුන් විනාශයට නොපමුණුවමිය’ යි සිතායි.
§2.“මහණෙනි, සිංහ යනු අර්හත් සම්‍යක් සම්බුද්‍ධ තථාගතයන් වහන්සේට කිව හැකි තවත් නමකි. මහණෙනි, තථාගතයන් යම් සභාවක ධර්මයක් දේශනා කෙරේද, ඒ තථාගතයන් ගේ සිංහ නාදය වෙයි.
“මහණෙනි, , තථාගතයන්ගේ තථාගත බල දසයක් වේ. 1983 LINK
[1983:- මජ්ජිම නිකායේ මහා සීහ නාද සුත්‍රයේ 9 වෙනි චෙදයේද අංගුත්තර නිකායේ 43 වන ධම්මික සුත්‍රයේද මේ දස බලයන් සඳහන් වෙ.]
§ 3. “කවර දසයක්ද යත්?

3.1 මහණෙනි, තථාගතයන් සිදුවිය හැක්ක සහ සිදුවිය නොහැක්ක 1384 , තත්වූ පරිද්දෙන් දනී. මහණෙනි, මෙසේ වූ තථාගතයන් ගේ විය හැක්ක නොහැක්ක පිලිබඳ මේ අසමාන්‍ය ඥානය පිරිස් මැද සිංහ නාද කිරීමට නොහොත් ධර්ම චක්‍රය ලොව පුරා පතුරුවන්නටත් තථාගතයන්ට බලය වේ. මේද තථාගතයන් වහන්සේගේ තථාගත බලයකි.
[1384:- තානාත්ඨාන කෝසල ඥානය:- මෙය සුදුසු දේ කරන්නය නොසුදුසු දේ නොකරන්නට ඇති හැකියාව ලෙස සමහර අරිවර්තන වල ඇතත් සිදිවිය හැක්ක සහ සිදුවිය නොහැක්ක ලෙස යෙදීම සුදුසු බව සිතමි.]
3.2 “මහණෙනි, තථාගතයන්, සත්වයන්ගේ අතීත, අනාගත, වර්‍තමාන කර්මයන්ගේ ඵලයන් ලෙස ලබනා ඵල1385 ගැන දනී. මහණෙනි, මෙයද තථාගතයන් වහන්සේ සතු අසමාන්‍ය ඥානය පිරිස් මැද සිංහ නාද කිරීමට නොහොත් ධර්ම චක්‍රය ලොව පුරා පතුරුවන්නටත් තථාගතයන්ට බලය වේ. මේද තථාගතයන් වහන්සේගේ තථාගත බලයකි.
[1385 :- විපාක ඥාණය: පෙර භවයන්හි දී හෝ මේ භවයේදී කල කී දේ නිසා ඇති වූ කර්ම සංඛාරයන්ගේ ඵලයන් ලෙස මේ භවයේ සත්වයාට අත්වෙන නොයෙක් විපාක පිලිබඳ ඥාණය. ]
3.3 .“මහණෙනි, තථාගතයන්, සත්වයන්ගේ මතු භවයන් කෙසේ කෙබඳු වේදැයි1386 තත්වූ පරිද්දෙන් දනී, මහණෙනි, මෙයද තථාගතයන් වහන්සේ සතු අසමාන්‍ය ඥානය පිරිස් මැද සිංහ නාද කිරීමට නොහොත් ධර්ම චක්‍රය ලොව පුරා පතුරුවන්නටත් තථාගතයන්ට බලය වේ. මේද තථාගතයන් වහන්සේගේ තථාගත බලයකි.
[1386 :- සබ්බත්තගමිනි පටිපධා යතාභුත ඥාණය :- ලෙස, සත්වයා නිරයට යාදැයි, තිරිසන් ලොව හෝ ප්‍රේත ලොව උපදීදැයි මනුෂ්‍ය භවයක හෝ සුර ඇසුර භවයක උපදී දැයි, හෝ පරිනිර්වාණයට හේතු වෙ දැයි දන්නා අසමාන ඥාණය වෙ.]
3.4. “මහණෙනි, නැවතද තථාගතයන් නොයෙක් ධාතූන් ඇති ධාතු ලෝකය තත්වූ පරිද්දෙන් දනී,1387 මහණෙනි, මෙයද තථාගතයන් වහන්සේ සතු අසමාන්‍ය ඥානය පිරිස් මැද සිංහ නාද කිරීමට නොහොත් ධර්ම චක්‍රය ලොව පුරා පතුරුවන්නටත් තථාගතයන්ට බලය වේ. මේද තථාගතයන් වහන්සේගේ තථාගත බලයකි.
[1387:- “අනෙකධතු නානා ධාතු ලෝකං යතාභුතන් ඥානම්” ලෙස දැක්වෙන්නේ ස්කන්ධයන්ගේ, ආයතනයන්ගේ, ධාතුන්ගේ විචිත්‍ර විවිධ ස්වභාවයන් පිලිබඳ භාග්‍යවතුන් වහන්සේ සතු පුර්ණ අවබෝධය වෙ.]
3.5 “මහණෙනි, තථාගතයන් සත්ත්‍වයන්ගේ නොයෙක් විවිධ චරිත ස්වභාවයන්1988 තත්වූ පරිද්දෙන් දනී. මහණෙනි, මෙයද තථාගතයන් වහන්සේ සතු අසමාන්‍ය ඥානය පිරිස් මැද සිංහ නාද කිරීමට නොහොත් ධර්ම චක්‍රය ලොව පුරා පතුරුවන්නටත් තථාගතයන්ට බලය වේ. මේද තථාගතයන් වහන්සේගේ තථාගත බලයකි.
[1988:- සත්තානං ඥාණදීමුත්තින් කතන් යාත භුතන්ඥානං:- සත්වයන්ගේ විවිධාකාර වූ ගති ස්වභාවයන් හා චරිත ලක්ෂණයන් ; රාග චරිත, ලෝභ චරිත, දෝස චරිත ආදියද සමාන චරිත ලක්ෂණ ඇති සත්වයන් ඒ ඒ භවයන්හිදී එක වන සැටිද, තතාගතයන්වහහන්සේ දන්නා ඥාණය ලෙස විභංග ප්‍රකරණයේ 813 චේදයේ දැක්වේ.]
3.6 “මහණෙනි, නැවතද තථාගතයන් සියලු සත්ත්‍වයන්ගේද, හීන හෝ මහත් වූ , ශ්‍රද්‍ධාදී ඉන්‍ද්‍රියයන්ගේ1989 වැඩිමද, පිරිහීමද, තත්වූ පරිද්දෙන් දනී මහණෙනි, මෙයද තථාගතයන් වහන්සේ සතු අසමාන්‍ය ඥානයකි. පිරිස් මැද සිංහ නාද කිරීමට නොහොත් ධර්ම චක්‍රය ලොව පුරා පතුරුවන්නටත් තථාගතයන්ට මේ එක් බලයක් වේ. මේද තථාගතයන් වහන්සේගේ තථාගත බලයකි. .
[1989:-පර සත්තානං පර පුග්ගලානං ඉන්ද්‍රිය පරෝපරිය ඥාණය :- අනුසය වශයෙන්හෝ සැඟව සත්වයා තුල පවතින ගති සිරිත්, ලක්ෂණ, ඥානයේ හීන මහත් බව, ශ්‍රද්ධා, සීල, සති, සමාධි, ප්‍රඥා ඉන්ද්‍රියන්ගේ නොවැඩුණු වැඩුණු තරම දන්නා ඥාණය ලෙස විභංග ප්‍රකරණයේ 814 චේදයේ දැක්වේ.]
3.7 “මහණෙනි, තථාගතයන්, සත්වයන්ගේ සන්තානයන්හි කෙලෙස් හීනව ඇති බව, සමාධි සතර ධ්‍යානයන්, අෂ්ට විමොක්‍ෂයන්ට 1990ලංවීමට ඇති ප්‍රවණතාවයද තත්වූ පරිද්දෙන් දනී. මහණෙනි, මෙයද තථාගතයන් වහන්සේ සතු අසමාන්‍ය ඥානයකි. පිරිස් මැද සිංහ නාද කිරීමට නොහොත් ධර්ම චක්‍රය ලොව පුරා පතුරුවන්නටත් තථාගතයන්ට මේද එක් බලයක් වේ. මේද තථාගතයන් වහන්සේගේ තථාගත බලයකි.
[1990:- ඥානාධිමුක්තික ඥාණය : සමාධිය සිතෙහි වැදීමට කෙලෙස් ප්‍රහාණය හාසීලයට අනුගත්වෙමේ මනෝ භාවයන් තථාගතයන් වහන්සේ දන්නා ඥාණය. ආසවක්ඛය ඥාණය ලෙස දැක්වේ.බොහෝ විට ඵලයනට් පත්වන්නට සිය විපාක ඵල මුහුකුරා ගිය මිනිසුන් සොයා ගොස් ඔවුනට කල ධර්ම දෙසනාවන් අසා වහා ඔවුන් මාර්ග ඵල ලැබුහ.]
3.8 “මහණෙනි, තථාගතයන් තමන්ගේ නානාප්‍රකාර පූර්‍වෙනිවාසයන්1291 සිහිකරත්, ඒ මෙසේයි. එක් ජාතියක්ද, සියක් පෙර ජාතීන්ද, දහසක් පෙර ජාතීන්ද, දස දහසක් පෙර ජාතීන්ද සිහිකරත්. ඒ භවයෙදී මම අසුවල් රට, අසුවල් ගම, අසුවල් පවුලක, අසුවල් නමින් උපන්නෙනි. අසුවල් කර්මාන්ත කොට දිවි සලසා ගත්තෙමි. අසුවල් රෝගයක් නිසා මම එහි මිය ගොස්, අසුවල් තැන උපන්නෙමි. එසේ පෙර භවයන් දන්නා ඥාණය තථාගතයන් වහන්සේ සතු අසමාන්‍ය ඥානයකි. පිරිස් මැද සිංහ නාද කිරීමට නොහොත් ධර්ම චක්‍රය ලොව පුරා පතුරුවන්නට තථාගතයන්ට මේ ද බලයක් වේ. මේ තථාගතයන් වහන්සේගේ තථාගත බලයකි.
[1991:- තමන්ගේ පෙර භාවය ගැන කියනා ළදරු ළදැරියන් ගැන බොහෝ පුවත් අසන්නට ලැබේ. පුනර්භවය විස්වාස නොකරනවුනට මහාචාර්ය ඉයන් ස්ටීවන්සන් මහතා කල පරීක්ෂණ අලලා ප්‍රසිද්ධ කල පොත් කියවීම, පට නැරඹීම උදව් වනු ඇත. මේ බොහෝ දරු දැරියන් ඉතා ලාබාල වියෙහිදී මෙසේ පුර්ව ජාතිය පමණක් ගැන මතක් කලමුත්, තමන්ගේ බොහෝ පෙර ජාතින් ගැන මතක් කර ගන්නට අසමත් වෙති. භාග්‍යවතුන් වහන්සේ කල්ප ගණන් දුර ඈත අතීතයක දස දහස් භවයන් ගැන සියළු විස්තට දැක දේසනා කල බව මෙහි ඇති ආශ්චර්ය වේ.]
3.9. “මහණෙනි, තථාගතයන් වහන්සේ පිරිසිදුවූ මිනිසැස ඉක්ම පවත්නාවූ දිව්‍යය ඇසින් නොයෙක් නොයෙක් සත්වයන් සිය පෙර කර්මයනට අනුරූපව නොයෙක් භවහි උපත ලබන සැටි දකී. කාය, වචී, මනෝ දුෂ්ක්‍රියා නිසා, හීන වූ සැප නැති, නරකයන් හි, ප්‍රේත යන්ව, තිරිසනුන්ව උපදිනවා දකියි. කාය, වචී, මනෝ සත් ක්‍රියා නිසා, මනු ලොව, දෙව් ලොව, බඹ ලොව උපදිනවා දකියි. මහණෙනි, මහණෙනි, මෙයද තථාගතයන් වහන්සේ සතු අසමාන්‍ය ඥානයකි. පිරිස් මැද සිංහ නාද කිරීමට නොහොත් ධර්ම චක්‍රය ලොව පුරා පතුරුවන්නටත් තථාගතයන්ට මේද එක් බලයක් වේ. මේද තථාගතයන් වහන්සේගේ තථාගත බලයකි.
3.10. “මහණෙනි, තථාගතයන් ආශ්‍රවයන්ගේ ක්‍ෂයවීමෙන් ආශ්‍රව රහිත සිතෙහි නිදහස් වීමද, ප්‍රඥාව නිදහස් වීමද, මේ ආත්මයෙහිම සිය විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂකොට වාසය කරත්, මහණෙනි, මහණෙනි, මෙයද තථාගතයන් වහන්සේ සතු අසමාන්‍ය ඥානයකි. පිරිස් මැද සිංහ නාද කිරීමට නොහොත් ධර්ම චක්‍රය ලොව පුරා පතුරුවන්නටත් තථාගතයන්ට මේද එක් බලයක් වේ. මේද තථාගතයන් වහන්සේගේ තථාගත බලයකි.
“මහණෙනි, පිරිස් මැද සිංහ නාද කිරීමට නොහොත් ධර්ම චක්‍රය ලොව පුරා පතුරුවන්නටත් තථාගතයන්ට මේ දස විධ බලයන් වේ. මේ තථාගත බල දසයයි.
AN 10-03-02 අධිමුත්තිපද සූත්‍රය ,
§1. දිනක් ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේය. එවිට, භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.
§2. ‘ආනන්‍දය, මේ ලොව පවතින යම් ධර්මයෝ විශේෂ ඥානයකින් ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිස ඇවැසි විශේෂ1992 ඥානයක් වේද, ඒ ඥාණය තථාගතයන් සතුව පවතී.
[1992:- යෙ තේ ධම්මා අධිමුත්තී පදනං;- දස විධ ඥාණයන්ට අමතරව , ස්කන්ධ, ආයතන, ඉන්ද්‍රිය ආදී සසර පැවැත්මට අදාළ වන සියලු සිද්ධන්තයන්ද සසර ගමන නතර කිරීමට ඕනෑකරණ ප්‍රතිපදාව සඳහා පිරිය යුතු පිළිවෙත් ගැන ද ඇති ඥානය.]
ආනන්‍දය, මම එහි විශාරදව ඒවායේ අවබෝධය ඇතිකර ගතිමි. ආනන්‍දය, යමක් ඇතිවන්නේද, පවතින්නේද, නැතිව යන්නේද, ලාමක දෙය ලාමකයයි දන්නේද, ප්‍රණීත දෙය ප්‍රණීතයයි දන්නේද, වැඩිය යුතු සිත වැඩි ඇත්දැයි දනීමි. උසස්බවට පත් නොවු සිත උසස් නොවූ සිත බව දනිමි. යම් පරිද්දෙකින් දත යුතුද, දැක්ක යුතුද, ප්‍රත්‍යක්‍ෂ කටයුතුද, එසේ දනිමි, දකිමි, ප්‍රත්‍යක්‍ෂ කලෙමි.
§ 3. “ආනන්‍දය, මම නොයෙක් අයට ඒ ඒ විධියෙන් වෙනස් ආකාරවලින් ඔවුන්ට වටහාගෙන ප්‍රත්‍යක්ෂ කර ගත හැකි ආකාරයට ධර්ම දේශනා කිරීමට හැකියාව ඇත්තෙමි. දුරු කල යුතු හීන ධර්මයෝ මොනවාද, ප්‍රගුණ කල යුතු, වඩා ගතයුතු උතුම් ධර්මයෝ මොනවාදැයි අසන්නන්ට අවබෝධ කර ගන්නට හැකි ;ලෙස, එසේ අවබෝධ කරන ශ්‍රාවකයන් පටිපදාවේ පිහිටුවීමටත් ඇවැසි යම් ඥාණයක් වේද ඒ ඥාණයෙහි දක් බව ප්‍රතිඥා කරමි.
ආනන්‍දය, ඒ ඒ තන්හි තත්වූ පරිදි දැනීමක් ඇද්ද, ඒ සියලු ඤාණයන්ගෙන් මෙය ශ්‍රේෂ්ඨයයි කිව හැක. ආනන්‍දය, මේ ඤාණයට වඩා උතුම්වූ, ශ්‍රේෂ්ඨවූ අනික් ඤාණයක් නැතැයි කියමි.
[1993:- Etadanuttariyam, Ananda, nananam yadidam tattha tattha yathabhutananam. විශ්වයේ පවත්නා සිදුවන්නාවූ සියලු ක්‍රියාකාරකම් සිදුවන ආකාරය දන්නා සර්වඥ භාවය එනම් ” තේසු තේසු ධම්මේසු යතා සබ්බ වන්නන්” මින් කියැවේ.]
§ 4. “ආනන්‍දය, තථාගතයන් වහන්සේගේ තථාගත බල දසයක් වේ. පිරිස් මැද සිංහ නාද කිරීමට නොහොත් ධර්ම චක්‍රය ලොව පුරා පතුරුවන්නටත් තථාගතයන්ට මේ දස විධ බලයන් වේ. මේ තථාගත බල දසයයි.
“කවර දසයක්ද යත්?
මීට ඉහලින් ඇති සුත්‍රයේ AN 10-01-01 දස බල සූත්‍රය, හි § 3 සිට ඇති චේදයන් මෙහිදී කියවන්න .”
AN 10-03-03 ද්වාවරත්තය පහාතබ්බ සූත්‍රය
§ 1. “මහණෙනි,
- කයින් ප්‍රහිණය කටයුතු, වචනයෙන් ප්‍රහාණය කල නොහැකි ධර්මයෝ ඇත .
- මහණෙනි, කයින් නොව වචනයෙන් ප්‍රහාණය කටයුතු ධර්මයෝ ඇත්තාහ.
- මහණෙනි, කයින්ද, වචනයෙන්ද ප්‍රහාණය කල නොහැකි , ඤාණයෙන් දැක දැක ප්‍රහාණය කටයුතු ධර්මයෝ ඇත.
§ 2. “මහණෙනි, කවර ධර්මයන් වචනයෙන් නොව කයින් ප්‍රහාණය කටයුතුද?
මහණෙනි, මේ ශාසනයෙහි මහණකු කයින් කිසියම් ඉතා ස්වල්ප අකුශලයක් කරනවා දුටු ඤාණවන්ත සබ්‍රහ්මචාරීහු ඔහුට ‘ආයුෂ්මත් ඔබ කයින් මේ මේ ක්‍රියාව කිරීමෙන් ඉතා ස්වල්ප අකුශලයක් කර ගත්තේය. ඇවතට පැමිණියේය. ආයුෂ්මතුන් මින් මතු ඒ කාය දුෂ්චරිතය අත්හැර, කාය සුචරිතය වඩන්නේ නම් යහපතැයි’ කියු විට , ඒ භික්ෂුව කාය දුශ්චරිතය අත්හැර, කාය සුචරිතය පුරයි. මහණෙනි, මේ වචනයෙන් නොව කයින් ප්‍රහීන කටයුතු ධර්මයෝයයි කියනු ලැබෙත්.
§ 3. “මහණෙනි, කයින් නොව, වචනයෙන් ප්‍රහීන කටයුතු ධර්මයෝ කවරහුද?
මහණෙනි, මේ ශාසනයෙහි මහණකු කතාවෙන් කිසියම් ඉතා ස්වල්ප අකුශලයකට පැමිණියේද, ඒ ඇසු ඤාණවන්ත සබ්‍රහ්මචාරීහු ඔහුට ‘ආයුෂ්මත් ඔබ වචනයෙන් මේ මේ කීමෙන් ඉතා ස්වල්ප අකුශලයකට පැමිණියේය. ආයුෂ්මතුන් මින් මතු ඒ වචී දුෂ්චරිතය අත්හැර, වචී සුචරිතය වඩන්නේ නම් යහපතැයි’ කියනු ලබන විට , ඒ භික්ෂුව වචී දුශ්චරිතය අත්හැර, වචී සුචරිතය පුරයි. මහණෙනි, මේ කයින් නොව වචනයෙන් ප්‍රහීන කටයුතු ධර්මයෝයයි කියනු ලැබෙත්.
§ 4. “මහණෙනි, කවර ධර්‍ම කයිනුත් නොව, වචනයෙනුත් නොව, නුවණින් දකිමින් ප්‍රහීන කටයුතුද?
මහණෙනි,
- ලෝභය කයින් හෝ වචනයෙන් ප්‍රහීන කල නොහැකිය.
- දෝසය කයින් හෝ වචනයෙන් ප්‍රහීන කල නොහැකිය.
- මෝහය කයින් හෝ වචනයෙන් ප්‍රහීන කල නොහැකිය.
- ක්‍රෝධය කයින් හෝ වචනයෙන් ප්‍රහීන කල නොහැකිය.
- බද්‍ධ වෛරය කයින් හෝ වචනයෙන් ප්‍රහීන කල නොහැකිය
- මකු ගතිය කයින් හෝ වචනයෙන් ප්‍රහීන ප්‍රහීන කල නොහැකිය.
- එකට එක කිරීම කයින් හෝ වචනයෙන් ප්‍රහීන කල නොහැකිය
- මසුරුකම කයිනුත් ප්‍රහීන කල නොහැකිය. වචනයෙන් ප්‍රහීන ප්‍රහීන කල නොහැකිය.
- ලාමක ඊර්‍ෂ්‍යාව කයින් හෝ වචනයෙන් හෝ ප්‍රහීන කල නොහැකිය.
නුවණින් දැක දැක ප්‍රහීන කටයුතුය.
“මහණෙනි, ලාමක ඊර්‍ෂ්‍යාව කුමක්ද? 1994
[1994:- ගෘහස්තව වසනා ගිහියන් හා පැවිදි ශ්‍රමණයන්ට ඇතිවන ලාමක ඊර්ෂ්‍යාව මෙහිදී වෙන් වෙන්ව දක්වා ඇත.]
මහණෙනි, ගෘහපතියෙකු ධනයෙන් , ධාන්‍යයෙන් , රිදියෙන් , රත්රනින් , සමෘද්‍ධව සිටිනවා දකිනා අන් කෙනෙකුට, ‘මේ ගෘහපතියා ධනයෙන් , ධාන්‍යයෙන් , රිදියෙන්, රත්රනින් , සමෘද්‍ධ නොවන්නේ නම් යහපතැ’ යි සිතක් ඇති වේද. යම් ශ්‍රමණයෙක් හෝ, බ්‍රාහ්මණයෙක් හෝ සිවුරු, පිඬු, සෙනසුන්, ගිලන්පස, බෙහෙත් පිරිකර ලබන විට , ඒ දකිනා අන් ශ්‍රමණයෙකුට හෝ බ්‍රාහ්මණයෙකුට, ‘මේ ආයුෂ්මතුන්ට මෙසේ සිවුරු, පිඬු, සෙනසුන්, ගිලන්පස, බෙහෙත් පිරිකර නොලබන්නේ නම් යෙහෙකැ’යි සිතක් වේද . මහණෙනි, මේ ලාමක ඊෂ්‍යාවයි. මහණෙනි, ලාමක ඊර්‍ෂ්‍යාව කයින් ප්‍රහාණය කල නොහේ . වචනයෙනුත් නොව, නුවණින් දැන දැන ප්‍රහීන කටයුතුය.
“මහණෙනි, ලාමක ඊර්‍ෂ්‍යාව කවරේද?
මහණෙනි, යම් මහණෙක්
- ශ්‍රද්‍ධාව හීනව ඉන්නාමුත් තමා ශ්‍රද්ධාවන්ත’ බව අන්‍යයන්ට පෙන්නීමට කැමති ද,
- දුශ්ශීලව සිට තමා සිල්වත්’ යි අනුන් දන්නේ නම් යෙහෙකැයි කැමති වෙයිද,
- අල්පශ්‍රුත වූයේම, ‘මා බහුශ්‍රුතයයි දනීනම් යෙහෙකැ’ යි කැමති වෙයිද.
- සමාජ ආශ්‍රයට කැමති මුත් , ‘මා ප්‍රකර්‍ෂ විවේකයට රිසි’’ යි පෙන්නන්නට කැමතිවෙයිද.
- අලස හා කම්මැලිවූවත්, ‘මා පටන්ගන්නා ලද වීර්‍ය්‍ය ඇත්තේයයි අනුන් දනීවා’ යි කැමතිවෙයිද.
- සතිය නැතිව ඉන්නාමුත්, තමන් සතිමත්’යැයි අනුන් දන්නේ නම් හොඳ’යි කැමතිවේද,
- නොසන්සුන් ව ඉන්නා මුත් තමන් , ‘සංසිඳුනේයයි මා දනීවා’ යි කැමතිවෙයිද.
- නුවණ නැත්තේ වුවද , ‘මා ප්‍රඥාවන්තයයි දනීවා’ යි කැමතිවෙයිද.
- ක්‍ෂීණාශ්‍රව සිඳ නැත්තේ මුත් , ‘මා කෙළෙසුන් නැති කෙනෙකැයි දනීවා’ යි කැමතිවෙයිද.
මහණෙනි, මේ ලාමක ඊර්‍ෂ්‍යාව (පාපිකා ඉච්චා) යැයි කියනු ලැබේ.
මහණෙනි, ලාමක ඊර්‍ෂ්‍යාව කයින් හෝ වචනයෙන් හෝ ප්‍රහීන කළ නොහැකිය .
නුවණින් දකිමින් සිය සන්තානයේම ප්‍රහීන කටයුතුය.
§ 5. “මහණෙනි, ඉදින් භික්‍ෂුවක් ලෝභ සිත් නොහලේද, දෝස සිත් නොහලේද, මෝහය දුරු නොකළේද, අමනාපය, තරහව, ඊර්ශාව දුරු නොකළේද, ඔහු ගැන මෙසේ සිතිය යුතුය.
“ලෝභය මැඩ පවත්වන ආකාරයෙන් නොසිතන නිසා ඔහුගේ ලෝභය පවතී. ඔහු ඒ ලෝභ සිතීන්ම වසයි.
දෝසය මැඩ පවත්වන ආකාරයෙන් නොසිතන නිසා ඔහුගේ දෝස ගතිය පවතී. ඔහු ඒ දෝස සිතීන්ම වසයි.
මෝභය මැඩ පවත්වන ආකාරයෙන් නොසිතන නිසා ඔහුගේ මෝහ සිත පවතී. ඔහු ඒ මෝහ සිතින්ම වසයි.
අමනාපය, තරහව මැඩ පවත්වන ආකාරයෙන් නොසිතන නිසා ඔහුගේ තරහව පවතී. ඔහු ඒ අමනාප සිතීන්ම වසයි.
මකු ගතිය මැඩ පවත්වන ආකාරයෙන් නොසිතන නිසා ඔහුගේ මකු ගතිය සිත පවතී. ඔහු ඒ මකු ගතිය ඇති සිතින්ම වසයි.
යුගග්‍රාහය මැඩ පවත්වන ආකාරයෙන් නොසිතන නිසා ඔහුගේ යුගග්‍රාහය පවතී. ඔහු ඒ යුගග්‍රාහ සිතින්ම වසයි.
මසුරුකම මැඩ පවත්වන ආකාරයෙන් නොසිතන නිසා ඔහුගේ මසුරුකම පවතී. ඔහු ඒ මසුරු සිතින්ම වසයි.
ඊර්ශාව මැඩ පවත්වන ආකාරයෙන් නොසිතන නිසා ඔහුගේ ඊර්ෂා සිත පවතී. ඔහු ඒ ඊර්ෂා සිතින්ම වසයි.
“ඔහු සිය මනස මේ දුර්ගුණ මතු නොවෙන ලෙස හසුරුවන්නේ නම් ඔහු තුල මේ සියලු දුර්ගුණ දුරු වේ. එසේ හෙයින් භික්ෂුව මේ දුර්ගුණ මතු නොවන සේ සිත පවත්වා ගත යුතුය.
AN 10-03-04. මහා චුන්‍ද – සහජාති සූත්‍රය
එක් කාලයෙක්හි ආයුෂ්මත් මහාචුන්ද ස්ථවිරයන් වහන්සේ චෙතිය නුවර සහජාතිය නම් ස්ථානයෙහි වාසය කරණ සේක. එකල්හි දිනක් ආයුෂ්මත් මහාචුන්ද ස්ථවිරයන් වහන්සේ, ‘ඇවැත්නි, මහණෙනි,’ යි කියා භික්‍ෂූන් ආමන්ත්‍රණය කළ සේක. ඒ භික්‍ෂූහු, ‘ඇවැත්නි’ යි කියා ආයුෂ්මත් මහාචුන්ද ස්ථවිරයන් වහන්සේට පිළිවදන් දුන්හ.
ආයුෂ්මත් මහාචුන්ද ස්ථවිරයන් වහන්සේ, මෙසේ දේශනා කල සේක.
“ඇවැත්නි, ‘ධර්‍මය දනිමි. මේ ධර්‍මය මම වටහා ගතිමි’ 1995 යි ඤාණවාදය1995 කියන්නාවූ භික්‍ෂුවක් වෙයි නම් මෙසේ සැලකිය යුතුය.
[1995:- “ධර්මය දනිමි,වටහාගතිමි’ යන්නෙන් අදහස් වන්නේ සම්පුර්ණ දැනීම සහ ප්‍රතිපදාව සම්පුර්ණ කිරීම නොහොත් අරහත්භාවය බව මනෝරථපුරණි අට්ඨකතා කියයි. “ඥාණ වාදී” ලෙස හඳුන්වන්නේ ධර්මය බොහෝ සේ අසා කියවා ධර්මය දත් අය ලෙස දනිමු. ඔවුන් භාවනා නොකොට මාර්ග ඵල ලැබිය හැකි බව අදහති. සිය ධර්ම ඥානය හසුරුවා සිතා බැලීම විදර්සනාවක් යයිද ඒ මගින් මාර්ග ඵල ලැබිය හැකි යැයිද ඔවුහු අදහති.]
“ඇවැත්නි, ඉදින් ඒ භික්‍ෂුව තුල
ලෝභය ඉතිරිවී ඇත්නම්,
දෝසය සුළුවෙන් හෝ ඉතිරිවී ඇත්නම්,
ලාමක ඊර්‍ෂ්‍යාව සුළුවෙන් හෝ ඉතිරිවී ඇත්නම්,
ක්‍රෝධය සුළුවෙන් හෝ ඉතිරිවී ඇත්නම්,
උපනාහය – බද්‍ධ වෛරය සුළුවෙන් හෝ ඉතිරිවී ඇත්නම්,
මක්ඛය – ගුණමකු ගතිය සුළුවෙන් හෝ ඉතිරිවී ඇත්නම්,
පළාසය- එකට එක කිරීම සුළුවෙන් හෝ ඉතිරිවී ඇත්නම්,
මච්චරිය- මසුරුකම සුළුවෙන් හෝ ඉතිරිවී ඇත්නම්,
ඉස්සා – ලාමක බලාපොරොත්තු සුළුවෙන් හෝ ඉතිරිවී ඇත්නම්,
ඒ ගුණයන් ඔහු තුල තවමත් අනුසය ලෙස හෝ ඉතිරිව ඇති බව දකී නම්
ඔහු ගැන මෙසේ දත යුතු වන්නේය.
‘මේ භික්ශුව ලෝභය, දෝසය, අමනාපය,….ඊර්ෂ්‍යාව … මතු නොවන සේ නොසිතන නිසා මේ දුර්ගුනයෝ ඔහු තුල පහව නැත. 1996 මේ භික්ෂුව තම පටිපදාවෙදී පෙර කී දුර්ගුණයන් මතු නොවෙන ලෙස සිතන්නේ නම් ක්‍රමක්‍රමයෙන් ඒවා හීනවී නැති වනු ඇත.
[ 1996:- “අභිභුය තිට්ටති “ලෙස මීට පෙර වූ සුත්‍රයේදී සඳහන් වූ ගුණය මය]
“ඇවැත්නි, ‘ධර්‍මය දනිමි. මේ ධර්‍මය මම වටහා ගතිමි’ යි භාවනා වාදය1997 කියන්නාවූ භික්‍ෂුවක් වෙයි නම් මෙසේ සැලකිය යුතුය.
[ භාවනාවෙන් මිස මේ බුදු මගෙහි මග ඵල ලැබිය නොහැක. යැයි තමන් විස්වාස කරන තමන් කරන භාවනාව
“මහණෙනි, එම භාවනා වාදය කියන්නාවූ භික්ෂුව කායානුපස්සනාව වඩන්නේද, සීලය පිරිසිදු බව දකිමින් සීලානුපස්සනාව වඩන්නේද, සිට සිතුවිලි දෙස බලමින් චිත්තානුපස්සනාව වඩන්නේද, නොයෙක් ලෙස විදර්ශනා භාවනා පුරුදු කරන්නේද,
“ඇවැත්නි, ඉදින් ඒ භික්‍ෂුව තුල
ලෝභය ඉතිරිවී ඇත්නම්,
දෝසය සුළුවෙන් හෝ ඉතිරිවී ඇත්නම්,
ලාමක ඊර්‍ෂ්‍යාව සුළුවෙන් හෝ ඉතිරිවී ඇත්නම්,
ක්‍රෝධය සුළුවෙන් හෝ ඉතිරිවී ඇත්නම්,
උපනාහය – බද්‍ධ වෛරය සුළුවෙන් හෝ ඉතිරිවී ඇත්නම්,
මක්ඛය – ගුණමකු ගතිය සුළුවෙන් හෝ ඉතිරිවී ඇත්නම්,
පළාසය- එකට එක කිරීම සුළුවෙන් හෝ ඉතිරිවී ඇත්නම්,
මච්චරිය- මසුරුකම සුළුවෙන් හෝ ඉතිරිවී ඇත්නම්,
ඉස්සා – ලාමක බලාපොරොත්තු සුළුවෙන් හෝ ඉතිරිවී ඇත්නම්,
ඒ ගුණයන් ඔහු තුල තවමත් අනුසය ලෙස හෝ ඉතිරිව ඇති බව දකී නම්
ඔහු ගැන මෙසේ දත යුතු වන්නේය.
‘මේ භික්ශුව ලෝභය, දෝසය, අමනාපය,….ඊර්ෂ්‍යාව … මතු නොවන සේ නොසිතන නිසා මේ දුර්ගුනයෝ ඔහු තුල පහව නැත. 1996 මේ භික්ෂුව තම පටිපදාවෙදී පෙර කී දුර්ගුණයන් මතු නොවෙන ලෙස සිතන්නේ නම් ක්‍රමක්‍රමයෙන් ඒවා හීනවී නැති වනු ඇත. එසේ කරන්නාවූ භික්ෂුව ධර්මය දැනගතේ කෙනෙකැයි. ධර්මය අවබෝධ කල කෙනෙකැයි කිව හැක.
ඒ කෙබඳුද යත්, යම් මිනිසෙකු, තමා මහා ධනවතෙකි යැයි කියයි. එසේ කියන්නාවූ ඔහුට යම් වටිනා දෙයක් මිලට ගැනීමට අවශ්‍යවේ. ඔහු ඒ භාණ්ඩය සඳහා, ධාන්‍යවලින්, රිදීයෙන්, රත්තරනින්, ඒ මිල ගෙවා ඔහුට ඒ භාණ්ඩය මිලට ගත හැක. මක් නිසාද යත්, ඔහු තමා ධනවත් කෙනෙකැයි ප්‍රකාශ කලේ සැබවින්ම ඔහු ධනවත් කෙනෙකු නිසා බැවිනි. මහණෙනි , ඒ ලෙසම තමා ධර්මය දැන ගත්තෙමි, ධර්මය තමන් අවබෝධ කර ගත්තෙමි’ යිසබවින්ම කිව හැකි වන්නේ මේ දුර්ගුණ මුළු මනින්ම සිය සන්තානයෙන් පහ කල භික්ෂුවකටය.”
AN 10-03-05. කසිණායතන සූත්‍රය
“මහණෙනි, කසිනසථාන දසයක් ඇත..
“කවර දසයක්ද යත්?
එකෙක් උඩ, යට, සරස දෙකක් නැති1996 , අප්‍රමාණ 1997 පෘථුවියම දක්නා පඨවි කසිනය හඳුනයි.
[1996:- අද්වයන්,= සරස නැති, non dual ලෙස දක්වන්නේ එක් කසිනයක ඇති ඒකීය බවයි. යමෙක් දිය පිරි විලක ගිලෙමින් ස්නානය කරන්නේ නම් ඔහු දියේ යට ගිය වීට ඔහු ගේ සිරුර සම්පුර්ණයෙන්ම ජලයෙන් වටවී තිබේ. වතුර හැර, අන් කිසිවක් ඔහු ස්පර්ෂ නොකරයි. එලෙසම පඨවි කසිණය වඩද්දී ඔහුට අන් එකදු කසිනයක් නොපෙනේ, නො දකී. පඨවි කසිනයම ඔහු වටකොට සිටී. ඒ ගුණය ‘අද්වයන්‘ ලෙස පාලි යෙන් කියැවේ. අනෙත් කසිනයන් වඩත්දී ද ඒ වඩන කසින හැරෙන්නට අන් කසිනයක් ඔහුට ස්පර්ෂ නොවේ.]
[1997: අප්පමාන:- කසින අරමුණෙහි මේ මුලය, මේ අගය, මේ මැදය කියන්නට හෝ කසිනයෙහි සීමාවන් මේයැයි කියන්නට නොහැකි ලෙස සිත අරමුණෙහි ගිලා බසින ස්වභාවය නිසා කසින අරමුණ අප්පමාණය කියා කියැවේ,]
ඇතැම් කෙනෙක් උඩ, යට, සරස දෙකක් නැති , අප්‍රමාණ ආපො ,වම දක්නා ආපො , කසිනය හඳුනයි
ඇතැම් කෙනෙක් උඩ, යට, සරස දෙකක් නැති , අප්‍රමාණ වායො,වම දක්නා වායො, කසිනය හඳුනයි
ඇතැම් කෙනෙක් උඩ, යට, සරස දෙකක් නැති , අප්‍රමාණ තේජෝ,වම දක්නා තේජෝ, කසිනය හඳුනයි
ඇතැම් කෙනෙක් උඩ, යට, සරස දෙකක් නැති , අප්‍රමාණ නීල දක්නා නීල කසිනය හඳුනයි
ඇතැම් කෙනෙක් උඩ, යට, සරස දෙකක් නැති , අප්‍රමාණ පීත දක්නා පීත කසිනය හඳුනයි
ඇතැම් කෙනෙක් උඩ, යට, සරස දෙකක් නැති , අප්‍රමාණ ලොහිතය දක්නා ලොහිත කසිනය හඳුනයි
ඇතැම් කෙනෙක් උඩ, යට, සරස දෙකක් නැති , අප්‍රමාණ ඔදාත දක්නා ඔදාත කසිනය හඳුනයි.
ඇතැම් කෙනෙක් උඩ, යට, සරස දෙකක් නැති , අප්‍රමාණ ආකාශයම දක්නා ආකාශ කසිනය හඳුනයි.
ඇතැම් කෙනෙක් උඩ, යට, සරස දෙකක් නැති , අප්‍රමාණ විඤ්ඤාණයම දක්නා විඤ්ඤාණ කසිනය හඳුනයි.
මහණෙනි, මේ දස කසිනායතනයෝයි.
AN 10-03-06. කාළීකුර රඝරිකා සූත්‍රය-
“එක් කාලයෙක්හි, ආයුෂ්මත් මහා කච්චායන ස්ථවිරයන් වහන්සේ අවන්ති ජනපදයෙහි, කුරර ඝරයෙහි, පවත්ත නම් පර්‍වතයෙහි වාසය කරණ සේක. ඒ කාලයේ එක් දිනක කුරරඝරික කාලී නම් උපාසිකාව1998 ආයුෂ්මත් මහා කච්චායන ස්ථවිරයන් වහන්සේ වෙත පැමිණ, ආයුෂ්මත් මහා කච්චායන තෙරුන් වැඳ, එකත්පසෙක හුන්නාය.
[1998:- ධර්මය ඇසු පමණින් ශ්‍රද්ධාව උපදවාගත් ශ්‍රාවිකාවන් අතර අග්‍ර ස්ථානය ගත් උපාසිකාව කාලි උපාසිකාව බව අටුවාව කියයි. කිසිදා භාග්‍යවතුන් වහන්සේ හමු නොවූ ඇය අන්‍යයන්ගෙන් ඇසු ධර්මය අසා ශ්‍රද්ධාව මෙසේ වඩා ගත්තාය.]
“එකත්පසෙක සිටි උපාසිකාව, ආයුෂ්මත් මහා කච්චායන ස්ථවිරයන් වහන්සේට, මෙසේ කීවාය.
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් කුමාරී ප්‍රශ්න1999 යෙහිදී ,
[1999:- කුමාරියන් ලෙස මෙහි සඳහන් වන්නේ තන්හා , රති, රගා යන මාර දු වරුන් තිදෙනා බව සංයුක්ත නිකායේ 4.25 සුත්‍රයේ සඳහන් වේ. මෙහිදී ප්‍රශනය වන්නේ මේ තිදෙනාගෙන් එකියක වන තන්හා පිළිබඳව බව අටුවාව කියයි.]
“ අත්ථස්ස පත්තිං හදයස්ස සන්තිං,
ජෙත්වාන සෙනං පියසාතරූපං;
එකොහං ඣායං සුඛමනුබොධිං,
තස්මා ජනෙන න කරොමි සක්ඛිං;
සක්ඛීන සම්පජ්ජති කෙනචි මෙ’ති.
සිත පිනවන වශීකරන අරමුණු මැඩ
හුදෙකලාව බවුන් වඩා,
හදෙහි සැනසීම වන අරහත්වය ලදිමි,
එනිසා ලෝකයා හා කුලුපගවන්නට,
මා රිසි නොකරමි,
මා හා කුළුපගවන්නට ලෝකයා නොපමුනුවමි“
’ වදාළ සේක.
“භාග්‍යවතුන් වහන්සේ විසින් සංක්‍ෂෙපයෙන් වදාරණ ලද මෙය කෙසේ විස්තර වශයෙන් අර්ත්‍ථය වශයෙන් දත යුතුද?” කියා විචාලාය.
“නැගනියෙනි,
ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ පඨවි කසින සමාපත්තියම පරම උත්තම බවය2000 කියා සිතා පඨවි කසිණය වඩා ඒ සමාපත්තිය ලබා ඒ අරහත් බව පතා පඨවි කසිණය වඩති.
[2000:- අත්තාහි නිබ්බත්තෙසුන් :- පඨවි කසින සමාපත්තියම නිර්වාණය බව සිතීම් ලෙස ]
නැගනියෙනි, පඨවි කසින සමාපත්තියයේ යම් උසස් බවක්, උතුම් බවක්වේද , භාග්‍යවතුන් වහන්සේ සිය විශිෂ්ඨ ඥානයෙන් ඒ දැනගත් සේක. එමතු ද නොව භාග්‍යවතුන් වහන්සේ එය විශිෂ්ට ඥානයෙන් දැන එයනිසා වන සමාධියේ ඉපදීමට හේතුවද දත් සේක. ඒ සමාධියේ ආදීනවය ද දැනගත් සේක. එහි නිෂ්ක්‍රමණය නම් නිරෝධය ද දත් සේක.
අරහත්වයට නිසි මාර්ගයද , එය ලද නොහැකි මාර්‍ග ද අවබෝධ කල සේක. සියල්ලේ මුල දැකීමේ හේතුවෙන්, ආදීනවය දැකීමේ හේතුවෙන්, නික්මීම දැකීමේ හේතුවෙන්, මග නොමග දැකීමේ හේතුවෙන්, අර්ත්‍ථයට පැමිණීම, සන්තානයේ සංසිඳීම පිණිස හේතු විය..
නැගනියෙනි,
ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ආපෝ කසින සමාපත්තියම පරම උත්තම බවය කියා සිතා……. පඨවි කසිණය වඩා ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ වායෝ කසින සමාපත්තියම පරම උත්තම බවය කියා සිතා…….
ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ තේජෝ කසින සමාපත්තියම පරම උත්තම බවය කියා සිතා…….
ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ නීල කසින සමාපත්තියම පරම උත්තම බවය කියා සිතා…….
ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ පීත කසින සමාපත්තියම පරම උත්තම බවය කියා සිතා…….
ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ලෝහිත කසින සමාපත්තියම පරම උත්තම බවය කියා සිතා…….
ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඕදාත කසින සමාපත්තියම පරම උත්තම බවය කියා සිතා…….
ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ආකාස කසින සමාපත්තියම පරම උත්තම බවය කියා සිතා…..
ඒ ඒ සමාපත්තිය ලබා ඒ අරහත් බව පතා ඒ ඒ කසිණ වඩති.
නැගනියෙනි, ඒ සියළු කසින සමාපත්තින්ගේ උතුම් බව, භාග්‍යවතුන් වහන්සේ සිය විශිෂ්ට ඥානයෙන් දැනගත් සේක. භාග්‍යවතුන් වහන්සේ ඒ සමාපත්තින්ගේ ඉපදීමට හේතුන් දත් සේක. ආදීනව දැනගත් සේක. නික්මීම (නිරෝධ සත්‍යය) දත් සේක.
අරහත්වයට නිසි මාර්ගයද , එය ලද නොහැකි මාර්‍ග ද අවබෝධ කල සේක. සියල්ලේ මුල දැකීමේ හේතුවෙන්, ආදීනවය දැකීමේ හේතුවෙන්, නික්මීම දැකීමේ හේතුවෙන්, මග නොමග දැකීමේ හේතුවෙන්, අර්ත්‍ථයට පැමිණීම, සන්තානයේ සංසිඳීම පිණිස හේතු විය..
භාග්‍යවතුන් වහන්සේ විසින්,
“ සිත පිනවන වශීකරන අරමුණු මැඩ- හුදෙකලාව බවුන් වඩා,
හදෙහි සැනසීම වන අරහත්වය ලදිමි,
එනිසා ලෝකයා හා කුලුපගවන්නට, රිසි නොකරමි,
මා හා කුළුපගවන්නට ලෝකයා නොපමුනුවමි“ යි වදාරණ ලද්දේද,
නැගණියෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් සංක්‍ෂෙපයෙන් වදාරණ ලද මේ භාෂිතයෙහි අර්ත්‍ථය විස්තර වශයෙන් මෙසේ දත යුතුයි.
AN 10-03-07. මහා පඤ්හ සූත්‍රය
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවනයෙහි අනේපිඬු මහ සිටුහුගේ අරමෙහි වාසය කරණ සේක. දිනෙක බොහෝ භික්‍ෂූහු පූර්‍වාහ්න වේලාවෙහි හැඳ පොරවා පාත්‍රා සිවුරු රැගෙන සැවැත්නුවරට පිඬු පිණිස පැමිණියාහුය. එදා ඒ භික්‍ෂූන්ට ‘තවම සැවැත්නුවර පිඬු සිඟීමට කල් නොවෙයි. පමාව යාම යෙහෙකි. ඒ කාලය අන්‍ය තීර්ත්‍ථක පරිබ්‍රාජකයන්ගේ ආරාමය ට යන්නෙමු නම් යෙහෙකැ’ යි සිතූහ.
ඉක්බිති ඒ භික්‍ෂූහු අන්‍ය තීර්ත්‍ථක පරිබ්‍රාජකයන්ගේ ආරාමය යම් තැනෙක්හිද, එහි වැඩියාහුය. වැඩ ඒ අන්‍ය තීර්ත්‍ථක පරිබ්‍රාජකයන් සමග සතුටුවූවාහුය. සතුටුවී, සතුටුවියයුතුවූ, සිහි කටයුතුවූ, කථාව කොට නිමවා එකත්පසෙක සිටියාහුය.
එකත්පසෙක සිටි ඒ භික්‍ෂූන්ට අන්‍ය තීර්ත්‍ථක පරිබ්‍රාජකයෝ, “ඇවැත්නි, ඔබගේ ශාස්තෘ ශ්‍රමණ ගෞතමයන් ශ්‍රාවකයන්ට, ‘මහණෙනි, මෙහි එව්. සියලු ධර්මය දනිව්. සියලු ධර්මය පසක් කොට දැන වාසය කරව්’2001 යයි මෙසේ බණ කියාදැ” යි ඇසුහ.
[2001:- ” ඒථ තුම්හේ භික්කවේ සබ්බං ධම්මං අභිජානාථ; සබ්බං ධම්මං අභිඥඥය, විහරථ” ]
“ඇවැත්නි, අපිද අපේ ශ්‍රාවකයන්ට, ‘ඇවැත්නි, මෙහි එව්. සියලු ධර්මය දනිව්. සියලු ධර්මය පසක් කොට දැන වාසය කරව්’ යයි ධර්ම දේශනා කරමු.”
“ඇවැත්නි, ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේගේ හෝ අපේ ධර්ම දේශනාවෙහි කිසි වෙනසක් ඇත්ද? යම් අනුශාසනයක ඇති වෙනස කුමක්ද, අදහස කුමක්ද, වෙන් කිරීම කුමක්දැ” යි ඇසූහ.
ඉක්බිති ඒ භික්‍ෂූහු පරිබ්‍රාජකයන්ගේ වචනයට එකඟව කරුණු නොකියා, විරිද්ධවද කරුණු නොකියා, අස්නෙන් නැගිට, ‘භාග්‍යවතුන් වහන්සේගෙන්ම මේ වචනයේ අර්ත්‍ථය දැනගන්නෙමු’ යි සිතා එතැනින් පිටව පිඬු පිණිස චාරිකාවේ යෙදුනහ. ඒ භික්‍ෂූහු සැවැත්නුවර පිඬු පිණිස හැසිර පිණ්ඩපාතය වැළඳීමෙන්යෙ පසු භාග්‍යවතුන් වහන්සේ වැඩ හුන් තැනට පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියාහුය.
එකත්පසෙක සිටි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට අන්‍යය තීර්තක පරිබ්රාජිකයන් කිවූ කාරණය ප්‍රකාශ කළහ.
“මහණෙනි, එසේ කියන්නාවූ අන්‍ය තීර්ත්‍ථක පරිබ්‍රාජකයන්ට මෙසේ පිළිතුරු දියයුතුයි.
‘ඇවැත්නි, එක් ප්‍රශ්නයෙකට. එක් කියා දීමකි. එක් විස්තරයකි. ප්‍රශ්න දෙකකට. කියාදීම් දෙකකි. විස්තර දෙකකි. ප්‍රශ්න තුනෙකට. කියාදීම් තුනෙකි. විස්තර තුනෙකි. ප්‍රශ්න සතරකට. කියාදීම් සතරකි. විස්තර සතරකි. ප්‍රශ්න පසකි. කියාදීම් පසකි. විස්තර පසකි. ප්‍රශ්න සයකි. කියාදීම් සයකි. විස්තර සයකි. ප්‍රශ්න සතකි. කියාදීම් සතකි. විස්තර සතකි. ප්‍රශ්න අටෙකට. කියාදීම් අටෙකි. විස්තර අටෙකි. ප්‍රශ්න නවයෙකට. කියාදීම් නවයෙකි. විස්තර නවයෙකි. ප්‍රශ්න දසයකට . කියාදීම් දසයකි. විස්තර දසයකියි’
මහණෙනි, මෙසේ විචාරණ ලද්දාවූ අන්‍ය තීර්ත්‍ථක පරිබ්‍රාජකයෝ සම්පාදනය කොට කියන්ට නොහැකි වන්නාහ. මත්තෙහිද දුකට පැමිණෙන්නාහ. ඊට හේතු කවරේද? මහණෙනි, එය නොවැටහීමයි.
“මහණෙනි, මරුන් සහිත, බඹුන් සහිත, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත, දෙවි මිනිසුන් සහිත, සත්ත්‍වයන් අතරෙහි දෙවියන් සහිත ලෝකයෙහි යමෙක් මේ ප්‍රශ්න ප්‍රකාශ කිරීමෙන් සිත සතුටු කරන්නේද, තථාගතයන් හෝ, තථාගත ශ්‍රාවකයන් හෝ, මෙයින් අසා හෝ හැර ඔහු මම නොදකිමි. එක ප්‍රශ්නයෙකි, කියාදීම් එකකි, විස්තර එකකැයි මෙසේ වනාහි මෙය කියන ලද්දේද, එය කුමක් සඳහා කියන ලද්දේද?
(i) “මහණෙනි, එක ධර්‍මයෙක්හි භික්ෂුව කළකිරෙන්නේද , නොඇළෙන්නේද , මිදෙන්නේද , මනාකොට කෙළවර දක්නේද , සම ස්වභාවයට නුවණින් පැමිණ මෙළොවදීම දුක් කෙළවර කරන්නේද වේ නම් . ඒ කවර එක් ධර්මයෙක්හිද?
සියලු සත්ත්‍වයෝ ආහාරය නිසා පවතී..
මහණෙනි, ආහාරය යන මේ එක ධර්‍මයෙහි භික්ෂුවක් සම්පුර්ණයෙන් කළකිරෙන්නේද , නොඇළෙන්නේද, මිදෙන්නේද, කෙළවර දක්නේද , සම ස්වභාවයට නුවණින් පැමිණ, මෙලොවම දුක් කෙළවර කරන්නේ වේ. එක් ප්‍රශ්නයෙකි, එක් කියාදීමකි, එක් විස්තර කිරීමකියි, යමක් කියන ලද්දේද, එය මේ සඳහා කියන ලදී.
(ii) “මහණෙනි, ධර්‍ම දෙකක්හි භික්ෂුව කළකිරෙන්නේ, නොඇළෙන්නේ, මනාකොට මිදෙන්නේ, මනාකොට කෙළවර දක්නේ, සම ස්වභාවයට නුවණින් පැමිණ මෙළොවම දුක් කෙළවර කරන්නේ වේ. කවර ධර්‍ම දෙකක්හිද?
සියලු සත්ත්‍වයෝ නාමයද, රූපයද නිසා සිටින්නාහුය
යන මහණෙනි, මේ ධර්‍ම දෙකෙහි මහණතෙම මනාකොට කළකිරෙන්නේ, මනාකොට නොඇළෙන්නේ, මනාකොට මිදෙන්නේ, මනාකොට කෙළවර දක්නේ, සම ස්වභාවයට නුවණින් පැමිණ, මෙලොවම දුක් කෙළවර කරන්නේ වේ. ප්‍රශ්න දෙකකි, කියාදීම් දෙකකි, විස්තර කිරීම් දෙකකියි, යමක් කියන ලද්දේද, එය මේ සඳහා කියන ලදී.
“මහණෙනි, ධර්‍ම තුනක්හි මනාකොට මහණතෙම කළකිරෙන්නේ, නොඇළෙන්නේ, මනාකොට මිදෙන්නේ, මනාකොට කෙළවර දක්නේ, සම ස්වභාවයට නුවණින් පැමිණ මෙළොවම දුක් කෙළවර කරන්නේ වේ. කවර ධර්‍ම තුනක්හිද? සියලු සත්ත්‍වයෝ වේදනා තුන නිසා සිටින්නාහුය යන මහණෙනි, මේ ධර්‍ම තුනෙහි මහණතෙම මනාකොට කළකිරෙන්නේ, මනාකොට නොඇළෙන්නේ, මනාකොට මිදෙන්නේ, මනාකොට කෙළවර දක්නේ, සම ස්වභාවයට නුවණින් පැමිණ, මෙලොවම දුක් කෙළවර කරන්නේ වේ. ප්‍රශ්න තුනෙකි, කියාදීම් තුනෙකි, විස්තර කිරීම් තුනෙකියි, යමක් කියන ලද්දේද, එය මේ සඳහා කියන ලදී.
“මහණෙනි, ධර්‍ම හතරක්හි මනාකොට මහණතෙම කළකිරෙන්නේ, නොඇළෙන්නේ, මනාකොට මිදෙන්නේ, මනාකොට කෙළවර දක්නේ, සම ස්වභාවයට නුවණින් පැමිණ මෙළොවම දුක් කෙළවර කරන්නේ වේ. කවර ධර්‍ම හතරක්හිද? සියලු සත්ත්‍වයෝ ආහාර සතර නිසා සිටින්නාහුය යන මහණෙනි, මේ ධර්‍ම හතරෙහි මහණතෙම මනාකොට කළකිරෙන්නේ, මනාකොට නොඇළෙන්නේ, මනාකොට මිදෙන්නේ, මනාකොට කෙළවර දක්නේ, සම ස්වභාවයට නුවණින් පැමිණ, මෙලොවම දුක් කෙළවර කරන්නේ වේ. ප්‍රශ්න හතරකි, කියාදීම් හතරකි, විස්තර කිරීම් හතරකියි, යමක් කියන ලද්දේද, එය මේ සඳහා කියන ලදී.
“මහණෙනි, ධර්‍ම පහක්හි මනාකොට මහණතෙම කළකිරෙන්නේ, නොඇළෙන්නේ, මනාකොට මිදෙන්නේ, මනාකොට කෙළවර දක්නේ, සම ස්වභාවයට නුවණින් පැමිණ මෙළොවම දුක් කෙළවර කරන්නේ වේ. කවර ධර්‍ම පහක්හිද? සියලු සත්ත්‍වයෝ උපාදාන ස්ඛන්‍ධ පස නිසා සිටින්නාහුය යන මහණෙනි, මේ ධර්‍ම පසෙහි මහණතෙම මනාකොට කළකිරෙන්නේ, මනාකොට නොඇළෙන්නේ, මනාකොට මිදෙන්නේ, මනාකොට කෙළවර දක්නේ, සම ස්වභාවයට නුවණින් පැමිණ, මෙලොවම දුක් කෙළවර කරන්නේ වේ. ප්‍රශ්න පසෙකි, කියාදීම් පසෙකි, විස්තර කිරීම් පසෙකියි, යමක් කියන ලද්දේද, එය මේ සඳහා කියන ලදී.
“මහණෙනි, ධර්‍ම හයෙක්හි මනාකොට මහණතෙම කළකිරෙන්නේ, නොඇළෙන්නේ, මනාකොට මිදෙන්නේ, මනාකොට කෙළවර දක්නේ, සම ස්වභාවයට නුවණින් පැමිණ මෙළොවම දුක් කෙළවර කරන්නේ වේ. කවර ධර්‍ම හයෙක්හිද? සියලු සත්ත්‍වයෝ ඇතුලත ඇති ආයතන සය නිසා සිටින්නාහුය යන මහණෙනි, මේ ධර්‍ම සයෙහි මහණතෙම මනාකොට කළකිරෙන්නේ, මනාකොට නොඇළෙන්නේ, මනාකොට මිදෙන්නේ, මනාකොට කෙළවර දක්නේ, සම ස්වභාවයට නුවණින් පැමිණ, මෙලොවම දුක් කෙළවර කරන්නේ වේ. ප්‍රශ්න සයෙකි, කියාදීම් සයෙකි, විස්තර කිරීම් සයෙකියි, යමක් කියන ලද්දේද, එය මේ සඳහා කියන ලදී. 15 “මහණෙනි, ධර්‍ම හතක මනාකොට මහණතෙම කළකිරෙන්නේ, නොඇළෙන්නේ, මනාකොට මිදෙන්නේ, මනාකොට කෙළවර දක්නේ, සම ස්වභාවයට නුවණින් පැමිණ මෙළොවම දුක් කෙළවර කරන්නේ වේ. කවර ධර්‍ම හතක්හිද? සියලු සත්ත්‍වයෝ විඤ්ඤාණ සත නිසා සිටින්නාහුය යන මහණෙනි, මේ ධර්‍ම හතෙහි මහණතෙම මනාකොට කළකිරෙන්නේ, මනාකොට නොඇළෙන්නේ, මනාකොට මිදෙන්නේ, මනාකොට කෙළවර දක්නේ, සම ස්වභාවයට නුවණින් පැමිණ, මෙලොවම දුක් කෙළවර කරන්නේ වේ. ප්‍රශ්න හතකි, කියාදීම් හතකි, විස්තර කිරීම් හතකියි, යමක් කියන ලද්දේද, එය මේ සඳහා කියන ලදී.
“මහණෙනි, ධර්‍ම අටක මනාකොට මහණතෙම කළකිරෙන්නේ, නොඇළෙන්නේ, මනාකොට මිදෙන්නේ, මනාකොට කෙළවර දක්නේ, සම ස්වභාවයට නුවණින් පැමිණ මෙළොවම දුක් කෙළවර කරන්නේ වේ. කවර ධර්‍ම අටක්හිද? සියලු සත්ත්‍වයෝ ලෝක ධර්‍ම අට නිසා සිටින්නාහුය යන මහණෙනි, මේ ධර්‍ම අටෙහි මහණතෙම මනාකොට කළකිරෙන්නේ, මනාකොට නොඇළෙන්නේ, මනාකොට මිදෙන්නේ, මනාකොට කෙළවර දක්නේ, සම ස්වභාවයට නුවණින් පැමිණ, මෙලොවම දුක් කෙළවර කරන්නේ වේ. ප්‍රශ්න අටකි, කියාදීම් අටකි, විස්තර කිරීම් අටකියි, යමක් කියන ලද්දේද, එය මේ සඳහා කියන ලදී.
“මහණෙනි, ධර්‍ම නවයක මනාකොට මහණතෙම කළකිරෙන්නේ, නොඇළෙන්නේ, මනාකොට මිදෙන්නේ, මනාකොට කෙළවර දක්නේ, සම ස්වභාවයට නුවණින් පැමිණ මෙළොවම දුක් කෙළවර කරන්නේ වේ. කවර ධර්‍ම නවයෙක්හිද? සියලු සත්ත්‍වයෝ සත්ත්‍වයන් වසන තැන් නවය නිසා සිටින්නාහුය යන මහණෙනි, මේ ධර්‍ම නවයෙහි මහණතෙම මනාකොට කළකිරෙන්නේ, මනාකොට නොඇළෙන්නේ, මනාකොට මිදෙන්නේ, මනාකොට කෙළවර දක්නේ, සම ස්වභාවයට නුවණින් පැමිණ, මෙලොවම දුක් කෙළවර කරන්නේ වේ. ප්‍රශ්න නවයෙකි, කියාදීම් නවයෙකි, විස්තර කිරීම් නවයෙකියි, යමක් කියන ලද්දේද, එය මේ සඳහා කියන ලදී.
“මහණෙනි, ධර්‍ම දහයක මනාකොට මහණතෙම කළකිරෙන්නේ, නොඇළෙන්නේ, මනාකොට මිදෙන්නේ, මනාකොට කෙළවර දක්නේ, සම ස්වභාවයට නුවණින් පැමිණ මෙළොවම දුක් කෙළවර කරන්නේ වේ. කවර ධර්‍ම දහයෙක්හිද? සියලු සත්ත්‍වයෝ දශ අකුශල ධර්මයන් නිසා සිටින්නාහුය යන මහණෙනි, මේ ධර්‍ම දහයෙහි මහණතෙම මනාකොට කළකිරෙන්නේ, මනාකොට නොඇළෙන්නේ, මනාකොට මිදෙන්නේ, මනාකොට කෙළවර දක්නේ, සම ස්වභාවයට නුවණින් පැමිණ, මෙලොවම දුක් කෙළවර කරන්නේ වේ. ප්‍රශ්න දහයෙකි, කියාදීම් දහයෙකි, විස්තර කිරීම් දහයෙකියි, යමක් කියන ලද්දේද, එය මේ සඳහා කියන ලදී.
AN 10-03-08. කජඞගලා සූත්‍රය
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කජංගලා නුවර වෙළුවනයෙහි වාසය කරණ සේක. ඉක්බිති කජඞ්ගලයෙහිවූ බොහෝ උපාසකවරු කජඞ්ගලා2012 භික්‍ෂුණිය යම් තැනෙක්හිද, එහි පැමිණියාහුය. පැමිණ, කජඞ්ගලා භික්‍ෂුණිය වැඳ, එකත්පසෙක සිටියාහුය.
[2012: කජඞ්ගලා යනු මේ භික්ෂුණියගේ නම් දැයි හෝ මෙහෙණින් වහන්සේ ගේ ගමේ නමදැයි ස්ථිරව සඳහන් කිරීම අපහසුය. ]
එකත්පස්ව සිට ඒ උපාසකයෝ කජඞ්ගල භික්‍ෂුණියට, මෙසේ කිවුහ..
“ආර්‍ය්‍යාවෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් මහා ප්‍රශ්නයන්හි,
“එක් ප්‍රශ්නයෙකි. එක් කියා දීමකි. එක් විස්තරයකි. ප්‍රශ්න දෙකකි. කියාදීම් දෙකකි. විස්තර දෙකකි. ප්‍රශ්න තුනකි. කියාදීම් තුනකි. විස්තර තුනකි. ප්‍රශ්න සතරකි. කියාදීම් සතරකි. විස්තර සතරකි. ප්‍රශ්න පසකි. කියාදීම් පසකි. විස්තර පසකි. ප්‍රශ්න සයකි. කියාදීම් සයකි. විස්තර සයකි. ප්‍රශ්න සතකි. කියාදීම් සතකි. විස්තර සතකි. ප්‍රශ්න අටකි. කියාදීම් අටකි. විස්තර අටකි. ප්‍රශ්න නවයකි. කියාදීම් නවයකි. විස්තර නවයකි. ප්‍රශ්න දසයකි. කියාදීම් දසයකි. විස්තර දසයකි”යි මෙය වදාරණ ලද්දේය. බුදුරජාණන් වහන්සේ විසින් සංක්‍ෂෙපයෙන් වදාරණ ලද මෙහි කෙසේ විස්තර වශයෙන් අර්ත්‍ථය දත යුතුද, ඇවැත්නි, මෙය භාග්‍යවතුන් වහන්සේ සමීපයෙන් නොඅසන ලදී. සමීපයෙන් නොපිළිගන්නා ලදී. සිත දියුණු කරණ භික්‍ෂූන් සමීපයෙන්ද නොඅසන ලදී. පිළිනොගන්නා ලදී.”
“එතකුදුවුවත් යම් සේ මෙය වැටහේද, එය අසව්, මනාකොට මෙනෙහි කරව්, කියන්නෙමි” යි කීවාය. “ආචාර්‍ය්‍යයන් වහන්ස, එසේය” යි කජඞ්ගලායෙහි වූ උපාසකයෝ කජඞ්ගලා භික්‍ෂුණියට ප්‍රති වචන දුන්හ.
“කජඞ්ගලා භික්‍ෂුණිය, එක යන ප්‍රශ්නයකි. එක කියා දීමකි. එක විස්තරයකි කියා භාග්‍යවතුන් වහන්සේ මෙසේ යමක් වදාරණ ලද්දේද? මෙය කුමක් සඳහා වදාරණ ලද්දේද?
“ඇවැත්නි, මහණතෙම එක් ධර්‍මයෙක්හි මනාකොට කලකිරෙන්නේ, නොඇලෙන්නේ, මනාකොට මිදෙන්නේ, මනාකොට කෙළවර දක්නේ, සම ස්වභාවයකට නුවණින් පැමිණ, මෙලොවම දුක් කෙළවර කරන්නේ වේ. කවර එක් ධර්මයෙක්හිද? සියලු සත්ත්‍වයෝ ආහාරය නිසා සිටින්නාහුය යන මේ ධර්මයෙහියි. “ඇවැත්නි, මහණතෙම එක් ධර්‍මයෙක්හි මනාකොට කලකිරෙන්නේ, නොඇලෙන්නේ, මනාකොට මිදෙන්නේ, මනාකොට කෙළවර දක්නේ, සම ස්වභාවයකට නුවණින් පැමිණ, මෙලොවම දුක් කෙළවර කරන්නේ වේ. එක යන ප්‍රශ්නයෙකි. එක කියාදීමකි. එක විස්තර කිර්මකි. මෙසේ ඒ යමක් වදාරණ ලද්දේ නම් මෙය මේ සඳහා වදාරණ ලදී.”
“ප්‍රශ්න දෙකකි, කියාදීම් දෙකකි, දෙක දෙක විස්තර කිරීමකියි භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ මෙය වදාරණ ලද්දේ නම් එය කුමක් සඳහා වදාරණ ලද්දේද?”
“ඇවැත්නි, මහණතෙම ධර්ම දෙකෙක්හි මනාකොට කලකිරෙන්නේ, නොඇලෙන්නේ, මනාකොට මිදෙන්නේ, මනාකොට කෙළවර දක්නේ, සම ස්වභාවයකට නුවණින් පැමිණ, මෙලොවම දුක් කෙළවර කරන්නේ වේ. කවර දෙකෙක්හිද යත්, නාමයද, රූපයද යන දෙක කෙරෙහිය. ප්‍රශ්න දෙකකි, කියාදීම් දෙකකි, දෙක දෙක විස්තර කිරීමකියි මනාකොට කලකිරෙන්නේ, නොඇලෙන්නේ, මනාකොට මිදෙන්නේ, මනාකොට කෙළවර දක්නේ, සම ස්වභාවයකට නුවණින් පැමිණ, මෙලොවම දුක් කෙළවර කරන්නේ වේ. ප්‍රශ්න දෙකකි, කියාදීම් දෙකකි, දෙක දෙක විස්තර කිරීමකියි භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ යමක් වදාරණ ලද්දේ නම් මෙය මේ සඳහා වදාරණ ලදී.”
“ප්‍රශ්න තුනකි, කියාදීම් තුනකි, විස්තර කිරීම් තුනකියි භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ මෙය වදාරණ ලද්දේ නම් එය කුමක් සඳහා වදාරණ ලද්දේද?”
“ඇවැත්නි, මහණතෙම ධර්ම තුනෙක්හි මනාකොට කලකිරෙන්නේ, නොඇලෙන්නේ, මනාකොට මිදෙන්නේ, මනාකොට කෙළවර දක්නේ, සම ස්වභාවයකට නුවණින් පැමිණ, මෙලොවම දුක් කෙළවර කරන්නේ වේ. කවර තුනෙක්හිද යත්, වේදනා තුන කෙරෙහිය. ප්‍රශ්න තුනකි, කියාදීම් තුනකි, විස්තර කිරීම් තුනකියි මනාකොට කලකිරෙන්නේ, නොඇලෙන්නේ, මනාකොට මිදෙන්නේ, මනාකොට කෙළවර දක්නේ, සම ස්වභාවයකට නුවණින් පැමිණ, මෙලොවම දුක් කෙළවර කරන්නේ වේ. ප්‍රශ්න තුනකි, කියාදීම් තුනකි, විස්තර කිරීම් තුනකියි භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ යමක් වදාරණ ලද්දේ නම් මෙය මේ සඳහා වදාරණ ලදී.”
“ප්‍රශ්න සතරකි, කියාදීම් සතරකි, විස්තර කිරීම් සතරකියි භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ මෙය වදාරණ ලද්දේ නම් එය කුමක් සඳහා වදාරණ ලද්දේද?”
“ඇවැත්නි, මහණතෙම ධර්ම සතරෙක්හි මනාකොට කලකිරෙන්නේ, නොඇලෙන්නේ, මනාකොට මිදෙන්නේ, මනාකොට කෙළවර දක්නේ, සම ස්වභාවයකට නුවණින් පැමිණ, මෙලොවම දුක් කෙළවර කරන්නේ වේ. කවර සතරෙක්හිද යත්, සතිපට්ඨාන සතරෙහිය. ප්‍රශ්න සතරකි, කියාදීම් සතරකි, විස්තර කිරීම් සතරකියි මනාකොට කලකිරෙන්නේ, නොඇලෙන්නේ, මනාකොට මිදෙන්නේ, මනාකොට කෙළවර දක්නේ, සම ස්වභාවයකට නුවණින් පැමිණ, මෙලොවම දුක් කෙළවර කරන්නේ වේ. ප්‍රශ්න සතරකි, කියාදීම් සතරකි, විස්තර කිරීම් සතරකියි භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ යමක් වදාරණ ලද්දේ නම් මෙය මේ සඳහා වදාරණ ලදී.”
“ප්‍රශ්න පහකි, කියාදීම් පහකි, විස්තර කිරීම් පහකියි භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ මෙය වදාරණ ලද්දේ නම් එය කුමක් සඳහා වදාරණ ලද්දේද?”
“ඇවැත්නි, මහණතෙම ධර්ම පසෙක්හි මනාකොට කලකිරෙන්නේ, නොඇලෙන්නේ, මනාකොට මිදෙන්නේ, මනාකොට කෙළවර දක්නේ, සම ස්වභාවයකට නුවණින් පැමිණ, මෙලොවම දුක් කෙළවර කරන්නේ වේ. කවර පසක් කෙරෙහිද යත්, පඤ්චෙද්‍රියයන් කෙරෙහිය. ප්‍රශ්න පහකි, කියාදීම් පහකි, විස්තර කිරීම් පහකියි මනාකොට කලකිරෙන්නේ, නොඇලෙන්නේ, මනාකොට මිදෙන්නේ, මනාකොට කෙළවර දක්නේ, සම ස්වභාවයකට නුවණින් පැමිණ, මෙලොවම දුක් කෙළවර කරන්නේ වේ. ප්‍රශ්න පහකි, කියාදීම් පහකි, විස්තර කිරීම් පහකියි භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ යමක් වදාරණ ලද්දේ නම් මෙය මේ සඳහා වදාරණ ලදී.”
“ප්‍රශ්න හයකි, කියාදීම් හයකි, විස්තර කිරීම් හයකියි භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ මෙය වදාරණ ලද්දේ නම් එය කුමක් සඳහා වදාරණ ලද්දේද?”
“ඇවැත්නි, මහණතෙම ධර්ම හයෙක්හි මනාකොට කලකිරෙන්නේ, නොඇලෙන්නේ, මනාකොට මිදෙන්නේ, මනාකොට කෙළවර දක්නේ, සම ස්වභාවයකට නුවණින් පැමිණ, මෙලොවම දුක් කෙළවර කරන්නේ වේ. කවර හයක් කෙරෙහිද යත්, නිස්සාරනීය ධාතු නම් අධ්‍යාත්මික ආයතන සය කෙරෙහිය. ප්‍රශ්න හයකි, කියාදීම් හයකි, විස්තර කිරීම් හයකියි මනාකොට කලකිරෙන්නේ, නොඇලෙන්නේ, මනාකොට මිදෙන්නේ, මනාකොට කෙළවර දක්නේ, සම ස්වභාවයකට නුවණින් පැමිණ, මෙලොවම දුක් කෙළවර කරන්නේ වේ. ප්‍රශ්න හයකි, කියාදීම් හයකි, විස්තර කිරීම් හයකියි භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ යමක් වදාරණ ලද්දේ නම් මෙය මේ සඳහා වදාරණ ලදී.”
“ප්‍රශ්න හතකි, කියාදීම් හතකි, විස්තර කිරීම් හතකියි භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ මෙය වදාරණ ලද්දේ නම් එය කුමක් සඳහා වදාරණ ලද්දේද?”
“ඇවැත්නි, මහණතෙම ධර්ම හතෙක්හි මනාකොට කලකිරෙන්නේ, නොඇලෙන්නේ, මනාකොට මිදෙන්නේ, මනාකොට කෙළවර දක්නේ, සම ස්වභාවයකට නුවණින් පැමිණ, මෙලොවම දුක් කෙළවර කරන්නේ වේ. කවර හතක් කෙරෙහිද යත්, බොජ්ඣඞ්ග සත කෙරෙහිය. ප්‍රශ්න හතකි, කියාදීම් හතකි, විස්තර කිරීම් හතකියි මනාකොට කලකිරෙන්නේ, නොඇලෙන්නේ, මනාකොට මිදෙන්නේ, මනාකොට කෙළවර දක්නේ, සම ස්වභාවයකට නුවණින් පැමිණ, මෙලොවම දුක් කෙළවර කරන්නේ වේ. ප්‍රශ්න හතකි, කියාදීම් හතකි, විස්තර කිරීම් හතකියි භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ යමක් වදාරණ ලද්දේ නම් මෙය මේ සඳහා වදාරණ ලදී.”
“ප්‍රශ්න අටකි, කියාදීම් අටකි, විස්තර කිරීම් අටකියි භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ මෙය වදාරණ ලද්දේ නම් එය කුමක් සඳහා වදාරණ ලද්දේද?”
“ඇවැත්නි, මහණතෙම ධර්ම අටෙක්හි මනාකොට කලකිරෙන්නේ, නොඇලෙන්නේ, මනාකොට මිදෙන්නේ, මනාකොට කෙළවර දක්නේ, සම ස්වභාවයකට නුවණින් පැමිණ, මෙලොවම දුක් කෙළවර කරන්නේ වේ. කවර අටක් කෙරෙහිද යත්, ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්‍ගය කෙරෙහිය. ප්‍රශ්න අටකි, කියාදීම් අටකි, විස්තර කිරීම් අටකියි මනාකොට කලකිරෙන්නේ, නොඇලෙන්නේ, මනාකොට මිදෙන්නේ, මනාකොට කෙළවර දක්නේ, සම ස්වභාවයකට නුවණින් පැමිණ, මෙලොවම දුක් කෙළවර කරන්නේ වේ. ප්‍රශ්න අටකි, කියාදීම් අටකි, විස්තර කිරීම් අටකියි භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ යමක් වදාරණ ලද්දේ නම් මෙය මේ සඳහා වදාරණ ලදී.”
“ප්‍රශ්න නවයකි, කියාදීම් නවයකි, විස්තර කිරීම් නවයකියි භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ මෙය වදාරණ ලද්දේ නම් එය කුමක් සඳහා වදාරණ ලද්දේද?”
“ඇවැත්නි, මහණතෙම ධර්ම නවයෙක්හි මනාකොට කලකිරෙන්නේ, නොඇලෙන්නේ, මනාකොට මිදෙන්නේ, මනාකොට කෙළවර දක්නේ, සම ස්වභාවයකට නුවණින් පැමිණ, මෙලොවම දුක් කෙළවර කරන්නේ වේ. කවර නවයක් කෙරෙහිද යත්, නව ප්‍රකාර සත්ත්‍වයන් වසන තැන්හිය. ප්‍රශ්න නවයකි, කියාදීම් නවයකි, විස්තර කිරීම් නවයකියි මනාකොට කලකිරෙන්නේ, නොඇලෙන්නේ, මනාකොට මිදෙන්නේ, මනාකොට කෙළවර දක්නේ, සම ස්වභාවයකට නුවණින් පැමිණ, මෙලොවම දුක් කෙළවර කරන්නේ වේ. ප්‍රශ්න නවයකි, කියාදීම් නවයකි, විස්තර කිරීම් නවයකියි භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ යමක් වදාරණ ලද්දේ නම් මෙය මේ සඳහා වදාරණ ලදී.”
“ප්‍රශ්න දහයකි, කියාදීම් දහයකි, විස්තර කිරීම් දහයකියි භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ මෙය වදාරණ ලද්දේ නම් එය කුමක් සඳහා වදාරණ ලද්දේද?”
“ඇවැත්නි, මහණතෙම ධර්ම දසයෙක්හි මනාකොට කලකිරෙන්නේ, නොඇලෙන්නේ, මනාකොට මිදෙන්නේ, මනාකොට කෙළවර දක්නේ, සම ස්වභාවයකට නුවණින් පැමිණ, මෙලොවම දුක් කෙළවර කරන්නේ වේ. කවර දසයක් කෙරෙහිද යත්, දශ කුසල ධර්‍ම පථයන්හිය. ප්‍රශ්න දහයකි, කියාදීම් දහයකි, විස්තර කිරීම් දහයකියි මනාකොට කලකිරෙන්නේ, නොඇලෙන්නේ, මනාකොට මිදෙන්නේ, මනාකොට කෙළවර දක්නේ, සම ස්වභාවයකට නුවණින් පැමිණ, මෙලොවම දුක් කෙළවර කරන්නේ වේ. ප්‍රශ්න දහයකි, කියාදීම් දහයකි, විස්තර කිරීම් දහයකියි භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ යමක් වදාරණ ලද්දේ නම් මෙය මේ සඳහා වදාරණ ලදී.”
“ඇවැත්නි, මේ දස ධර්මයන් කෙරෙහි මහණතෙම මනාකොට පුරුදුකරණලද සිත් ඇත්තේ, මනාකොට කෙළවර දක්නේ, සම ස්වභාවයට නුවණින් පැමිණ, මෙලොවම දුක් කෙළවර කරන්නේ වේ. ප්‍රශ්ණ දසයකි, කියාදීම් දසයකි, විස්තර දසයකියි භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ යමක් වදාරණ ලද්දේ නම් එය මේ සඳහා වදාරණ ලදී.
“කජඞ්ගලා භික්‍ෂුණිය, එක යන ප්‍රශ්නයකි. එක කියා දීමකි. එක විස්තරයකි කියා භාග්‍යවතුන් වහන්සේ මෙසේ යමක් වදාරණ ලද්දේද? මෙය කුමක් සඳහා වදාරණ ලද්දේද? “ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් සංක්‍ෂෙපයෙන් වදාරණ ලද්දාහු, මොහුගේ මෙසේ විස්තර වශයෙන් අර්ත්‍ථය දනිමි. ඇවැත්නි, තෙපි කැමැත්තහු නම් භාග්‍යවතුන් වහන්සේ කරාම පැමිණ මෙහි අර්ත්‍ථය අසව්. යම් සේ අපට භාග්‍යවතුන් වහන්සේ ප්‍රකාශ කරයිද එය එසේ දරන්නහුය.”
“ආර්‍ය්‍යයන් වහන්ස, එසේය” යි කජඞ්ගලා උපාසකවරු කජඞ්ගලා භික්‍ෂුණියගේ කියමනට සතුටුව, අනුමෝදන්ව, හුනස්නෙන් නැගිට, කජඞ්ගලා භික්‍ෂුණිය වැඳ පැදකුණු කොට භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියාහුය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියාහුය.
එකත්පසෙක සිටි කජඞ්ගල උපාසකයෝ කජඞ්ගල භික්‍ෂුණිය සමග යම් සල්ලාපයක් වූයේද, ඒ සියල්ල භාග්‍යවතුන් වහන්සේට සැළකළහ. “ගෘහපතිවරුනි, යහපති. යහපති, ගෘහපතිවරුනි, කජඞ්ගලා භික්‍ෂුණිය පණ්ඩිතය, ගෘහපතිවරුනි, කජඞ්ගලා භික්‍ෂුණිය මහා ප්‍රාඥය. ගෘහපතිවරුනි, ඉදින් තොප මා කරා පැමිණ, මේ කාරණය විචාළාහු නම්, මමද මෙය කජඞ්ගලා භික්‍ෂුණිය ප්‍රකාශ කළාක් මෙන් මෙසේම ප්‍රකාශ කරන්නෙමි. මෙහි අර්ත්‍ථය මේය. එය එසේම දරව්” යයි වදාළ සේක.
AN 10-03-09. කාසිකොසල සූත්‍රය
§ 1. “මහණෙනි,
කාසි සහ කොසල රටවල් කොතරම් දුරකට පැතිර ඇත්ද, ඒ සුවිසල් භුමිය පැතිරුණ තෙක් දුරට පසේ නදී කෝසල රජුගේ රාජධානිය පැතිර පවතී. පසේනදි කොසොල් රජහුගේ රටෙහි ප්‍රාන්ත රජවරු යම් පමණක්ද, ඔවුන් සියල්ලන්ටම පසේනදි කොසොල් රජ අග්‍රයයි කියනු ලැබේ. මහණෙනි, එසේ බලවත් වුවත්, මේ පසේනදි කොසොල් රජුගේ පවා වෙනස්වීමක් ඇත්තේමය. ජරා වීමක් ඇත්තේමය, මරණයක්ද ඇත්තේමය. මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවකයා මේ නොයෙක් සම්පතෙහි කළකිරෙයි. අග්‍ර රජකමෙහිද නොඇළෙයි. ඉදින් කොසොල් රජුගේ සම්පන් වලට වඩා අඩු දෙය ගැන කියනුම කවරේද?
§ 2. “මහණෙනි, දහසක් සෞර මණ්ඩලයන්හි දස දහසක් ලෝකයන් පරිබ්‍රමණය කෙරෙත්. දස දහසක් වන්‍ද්‍රයෝ දස දහසක් සූර්‍ය්‍යයෝ, දස දහසක් ලෝකයන් ආලෝක කරති. මේ දස දහසක් ලෝකයන්හි, මහමෙර දස දහසෙක, දඹදිව් දස දහසෙක, අපරගොයාන දස දහසෙක, උතුරුකුරු දිවයින් දස දහසෙක, පූර්‍වවිදෙහ දස දහසෙක, මහා සමුද්‍ර සාර දස දහසෙක, මහරජවරු සාර දස දහසෙක, චාතුර්මහාරාජික දස දහසෙක, තව්තිසා දස දහසෙක, යාම දස දහසෙක, තුෂිත දස දහසෙක, නිර්‍මාණරතී දස දහසෙක, පරනිර්මිත වසවර්ති දස දහසෙක, බ්‍රහ්මලෝක දස දහසෙක, මහණෙනි, සහශ්‍රී ලෝක ධාතුව යම්තාක්ද, මහා බ්‍රහ්මයා එහි අග්‍රයයි කියනු ලැබේ. මහණෙනි, මහා බ්‍රහ්මයාගේද වෙනස්විමක් ඇත. මරණයක්ද ඇත. මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවකයා එහිද කළකිරෙයි. එහි කළකිරෙන්නේ, විශ්ව අග්‍ර පදවියෙහි කළකිරෙයි. ලාමක දෙය ගැන කියනුම කවරේද?”
§ 3. “මහණෙනි, යම් දවසෙක මේ ලෝකය වැනසී යන්නේය. මහණෙනි, එසේ ලෝකය නැසෙන කල්හි බොහෝ සත්ත්‍වයෝ ආභස්සර 2017 බ්‍රහ්ම ලෝකයේ උපදිත්. ඔවුහු සිය ශරීර ආලෝකයෙන් දිලිසෙමින්, අහසෙහි හැසිරෙන්නාහුය., සිතින් උපදවා ගත් ප්‍රීතිය ආහාර ලෙස ගන්නෝය., මෙම ආභස්සර දෙවියෝ බොහෝ කාලයක් ආයුෂ ඇත්තෝය. ඔවුන් බොහෝ කාලයක් සිටිත්. මහණෙනි, ලෝකය නැසෙන කල්හි ආභසස්ර දෙවියෝ අග්‍රයයි කියනු ලැබෙත්. මහණෙනි, එසේ වුවද ආභස්සර දෙවියන්ගේද වෙනස්වීමක් ඇත. මරණයක් ඇත. මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවකයා එහිද කළකිරෙයි. එහි කළකිරෙන්නේ, අග්‍ර පදවියෙහි කළකිරෙයි. ලාමක දෙය ගැන කියනුම කවරේද?”
[2017:- (යෙභුයෙයන සත්තා ආභස්සර සංවත්තනිකා ) ආභස්සර බ්‍රහ්ම ලෝකය: දෙවන ධ්‍යානයට පත්වන මනුෂ්‍යයෙකු ගේ ඊළඟ චුතිය සිදුවන තලය යි. ප්‍රභාශ්වර ආලෝකයක් නිකුත්වන ශරීර මේ දෙවියන් t හිමි වන නිසා ආභස්සර ලෙස ලෝකයට නම් යෙදී ඇත. මේ ලොවට පහලින් ඇති සියළු ලෝක තලයන් විනාශ වෙත්දී අභාස්සර ලෝකය පමණක් විනාශ නොවී පවතියි.]
§ 4. “මහණෙනි, කසින ක්‍ෂෙත්‍රයෝ දසයකි.
මෙය කවර දසයක්ද යත්?
එකෙක් උඩ, යට, සරස දෙකක් නැති, අප්‍රමාණ පෘථුවියම දක්නා පෘථුවි කසිනය හඳුනයි. ඇතැම් කෙනෙක් ආපො කසිනය හඳුනයි. තෙජො, වායො, නීල, පීත, ලොහිත, ඔදාත, ආකාශ, විඤ්ඤාණ, උඩ, යට, සරස දෙකක් නැති අප්‍රමාණවූ විඤ්ඤාණ කසිනය ඇතැම් කෙනෙක් හඳුනයි. මහණෙනි, මේ දස කසිනායතනයෝයි. මහණෙනි, මේ කසින ක්‍ෂෙත්‍ර දසයෙන් එකෙක් උඩ, යට, සරස දෙකක් නැති, අප්‍රමාණවූ යම් මේ විඤ්ඤාණ කසිනයක් අඳුනයිද, මේ විඥාන කසිනය වඩන්නා ශ්‍රේෂ්ඨ වේ. එසේ වුවද මේ ශ්‍රේෂ්ඨයා ද වෙනසට පත් වේ. ඔහුද ව්යාදියට මරණයට පත් වේ.
මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවකයා එහිද කළකිරෙයි. එහි කළකිරෙන්නේ, අග්‍ර පදවියෙහිද කළකිරෙයි. ලාමක දෙය ගැන කියනුම කවරේද?”
§ 5. “මහණෙනි, අභිභායතන නොහොත් මැඩ පවත්වන කරුණු අටක් වෙත්.
කවර අටක්ද යත්?
(i) කෙනෙක් තමා තුළවූ අභ්‍යන්තර රූප නිමිති කොට භාවනාව බොහෝ පුරුදු කරන මුත්, බාහිර රූප නිමිති භාවනාවන් වශයෙන් නොවැඩූ හෙයින් , මනා වර්‍ණ ඇති හෝ රූපයන් දකී. ඔවුන් මැඩ පවත්වා දනිමි, දකිමියි මෙබඳු සංඥා ඇත. මේ ප්‍රථම අභිභායතනයයි.
(ii) කෙනෙක් තමා තුළවූ රූපයෙහි පරිකර්‍ම කරන්නේ, පිටත දුවර්‍ණ වශයෙන් මහත්වූ, මනා වර්‍ණ ඇති හෝ රූපයන් දකී. ඔවුන් මැඩ පවත්වා දනිමි, දකිමියි මෙබඳු සංඥා ඇත. මේ දෙවෙනි අභිභායතනයයි.
(iii) කෙනෙක් තමා තුළවූ අරූපයෙහි පරිකර්ම කරන්නේ, පිටත අර්‍පණා වශයෙන් නොවැඩූ, මනා වර්‍ණ ඇති හෝ දුවර්‍ණ ඔවුන් මැඩ පවත්වා දනිමි, දකිමියි මෙබඳු සංඥා ඇත. මේ තුන්වෙනි අභිභායතනයයයි.
(iv) .“කෙනෙක් තමා තුළවූ අරූපයෙහි පරිකර්ම කරන්නේ, පිටත අර්‍පණා වශයෙන් අප්‍රමාණවූ මනා වර්‍ණ හෝ දුවර්‍ණවූ රූපයන් දකී. ඔවුන් මැඩ පවත්වා දනිමි, දකිමියි මෙබඳු සංඥා ඇත. මේ සතරවෙනි අභිභායතනයයයි.
(v). “කෙනෙක් තමා තුළවූ අරූප පරිකර්‍ම කරන්නේ, පිටත අර්‍පණා වශයෙන් නිල්වූ, නීලවර්‍ණවූ, නිල් පෙනීම ඇති, නිලට බබලන රූපයන් දකී. උම්මා පුෂ්පය යම්සේ නිල්ද, නිල්පාටද, නිලට උදාහරණද, නිලෙන් බබලාද, ඒ බරණැස වස්ත්‍රය යම් සේ දෙපාර්‍ශවයෙන් මදිනා ලද්දේද, නිල්ද, නිල් පාටද, නිලට නිදර්‍ශනද, නිලින් බබලාද, එසේම අධ්‍යාත්මයෙහි කෙනෙක් අරූප පරිකර්‍ම කරන්නේ, නිල්වූ, නිල්පාටවූ, නිලට නිදර්‍ශනවූ, නිලින් බබලන්නාවූ රූපයන් දකී. ඔවුන් මැඩ පවත්වා දනිමි, දකිමියි මෙබඳු සංඥා ඇත. මේ පස්වෙනි අභිභායතනයයයි.
(vi) . “කෙනෙක් තමා තුළවූ අරූපයෙහි පරිකර්ම කරන්නේ, කහවූ, කහපාටවූ, කහට නිදර්‍ශනවූ, කහෙන් බබලන පිටත අර්‍පණා වශයෙන් රූප දකිත්ද, කිණිහිරි මල් යම්සේ කහද, කහපාටද, කහට නිදර්‍ශනද, කහෙන් බබලාද, බරණැස් වස්ත්‍රය හෝ යම් සේ දෙපාර්‍ශවයෙන් මදිනා ලද්දේද, කහද, කහපාටද, කහට නිදර්‍ශනද, කහෙන් බබලාද, එසේම කෙනෙක් තමා තුළ අරූපයෙහි පරිකර්ම කරන්නේ, කහවූ, කහපාට ඇති, කහට නිදර්‍ශනවූ, කහෙන් බබලන, පිටත රූපයන් දකී. ඔවුන් මැඩ පවත්වා දනිමි, දකිමියි මෙබඳු සංඥා ඇත. මේ සවෙනි අභිභායතනයයයි.
(vii) . “කෙනෙක් තමා තුළවූ අරූපයෙහි පරිකර්ම කරන්නේ, රතුවූ, රතුපාටවූ, රතට නිදර්‍ශනවූ, රතින් බබලන රූපයන් දකී. බඳුවද මල් යම්සේ ලෙයද, රතුපාටද, ලෙයට නිදර්‍ශනද, ලෙයින් බබලාද, බරණැස වස්ත්‍රයක් යම් සේ දෙපාර්‍ශවයෙන් මදිනා ලද්දේ, රතුද, ලේපාටද, ලෙයට නිදර්‍ශනද, ලෙයින් බබලාද, එසේම කෙනෙක් තමා තුළ අරූපයෙහි පරිකර්ම කරන්නේ, රතුවූ, රතුපාට ඇති, ලෙයට නිදර්‍ශනවූ, ලෙයින් බබලන රූපයන් දකීද. ඔවුන් මැඩ පවත්වා දනිමි, දකිමියි මෙසේ සංඥා ඇත. මේ සත්වෙනි අභිභායතනයයයි.
(viii). “කෙනෙක් තමා තුළවූ අරූපයෙහි පරිකර්ම කරන්නේ, සුදුවූ, සුදුපාට ඇති, සුදට නිදර්‍ශනවූ, සුදින් බබලන පිටත රූපයන් දකියි. යම්සේ දහවත් තරුව (ඔසධි තාරකාව) සුදුද, සුදුපාටද, සුදට නිදර්‍ශනද, සුදින් බබලාද, බරණැස් වස්ත්‍රය හෝ යම් සේ දෙපාර්‍ශවයෙන් මදිනා ලද්දේද, සුදුද, සුදුපාටද, සුදට නිදර්‍ශනද, සුදින් බබලාද, එසේම කෙනෙක් අධ්‍යාත්මයෙහි අරූප යන සංඥා ඇත්තේ, සුදුවූ, සුදුපාට ඇති, සුදට නිදර්‍ශනවූ, සුදින් බබලන, රූපයන් දකී. ඔවුන් මැඩ පවත්වා දනිමි, දකිමියි යන සංඥා ඇත. මේ අට අභිභායතනයයයි.
“මහණෙනි, මේ අභිභායතන අටින් යම් කෙනෙක් තමා තුල වූ අරූපයෙහි පරිකර්ම කරන්නේ සුදුවූ, සුදු පාට ඇති, සුදට නිදර්‍ශනවූ, සුදින් බබලන, රූපයන් දකීද, ඔවුන් මැඩ පවත්වා දනිමි, දකිමියි යන සංඥාව ඇත්තේ වේ. මහණෙනි, මෙබඳු සංඥා ඇත්තාවූ සත්ත්‍වයෝ ඇත්තාහ. මහණෙනි, මෙබඳු සංඥා ඇත්තාවූ සත්ත්‍වයන්ගේ වෙනස්වීමක් ඇත. මරණයක් ඇත. මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම එහිද කළකිරෙයි. එහි කළකිරෙන්නේ, අග්‍ර පදවියෙහි කළකිරෙයි. ලාමක දෙය ගැන කියනුම කවරේද?”
“මහණෙනි, ප්‍රතිපදා සතරක් වෙත්. කවර සතරක්ද යත්.
- දුක් ප්‍රතිපදාව ප්‍රමාද අභිඥාව, (දුක්ඛ පටිපදා කිප්පා බිඥා)
- දුක් ප්‍රතිපදාව වහා ලැබෙන අභිඥාව, (දුක්ඛ පටිපදා කිප්පා බිඥා)
- සැප ප්‍රතිපදාව ප්‍රමාදව ලැබෙන අභිඥාව, (සුඛ පටිපදා කිප්පා බිංඥා
- සැපවූ ප්‍රතිපදාව වහා ලැබෙන අභිඥාව (සුඛ පටිපදා
යන, මහණෙනි, මේ සතර ප්‍රතිපදාවෝය.
“මහණෙනි,, මේ සතර ප්‍රතිපදාවන්ගෙන් යම් මේ සැපවූ ප්‍රතිපදාව වහා ලැබෙන අභිඥාය යන යමක් ඇද්ද, මේ සතර ප්‍රතිපදාවන්ගෙන් මෙය ශ්‍රේෂ්ඨයි. මහණෙනි, මෙසේ පිළිපන් සත්ත්‍වයෝ ඇත්තාහ. මෙසේ පිළිපන්නාවූ සත්ත්‍වයන්ගේද, වෙනස් ස්වභාවයක්, මරණයක් ඇත්තේය. මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම එහිද කළකිරෙයි. එහි කළකිරෙන්නේ, අග්‍ර පදවියෙහි කළකිරෙයි. ලාමක දෙය ගැන කියනුම කවරේද?”
“මහණෙනි, මේ සංඥාවෝ සතර දෙනෙක් වෙත්. කවර සතර දෙනෙක්ද යත්, කෙනෙක් කාමාවචරය අඳුනයි. කෙනෙක් රූපාරූපභව අඳුනයි. ලෝකෝත්තරය අඳුනයි. කෙනෙක් කිසිවක් නැතැයි ආකිඤ්චඤ්ඤායතනය හඳුනයි. මහණෙනි, මේ සතර සංඥාවෝය. මහණෙනි, මේ සතර සංඥාවන්ගෙන් යම් මේ කිසිවක් නැතැයි ආකිඤ්චඤ්ඤායතනය හඳුනයිද, මෙය ශ්‍රේෂ්ඨයි. මහණෙනි, මෙබඳු සංඥා ඇත්තාවූ සත්ත්‍වයෝ ඇත්තාහ. මහණෙනි, මෙබඳු සංඥා ඇති සත්ත්‍වයන්ගේ වෙනස්වීමක් ඇත්තේය. මරණයක් ඇත්තේය. මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම එහිද කළකිරෙයි. එහි කළකිරෙන්නේ, අග්‍ර පදවියෙහි කළකිරෙයි. ලාමක දෙය ගැන කියනුම කවරේද?”
“මහණෙනි, බුද්‍ධ ශාසනයෙන් බැහැරවූ දෘෂ්ටීන්ගේ යම් මේ ‘නොදවන්නෙමි. මාගේ නොවන්නේය. නොවන්නෙමි. මට නොවන්නේය’ යි යන මෙය ශ්‍රේෂ්ඨය. මහණෙනි, මෙබඳු දෘෂ්ඨි ඇත්තේ, භවයෙහි යම් මේ නොපිළිකුල් කමක් වේද, ඒ ඔහුට නොවේයයි භවයාගේ නිරුද්‍ධවීමෙහි යම් පිළිකුල් බවක් වේද, ඔහුට එය නොවන්නේයයි කැමතිවිය යුතුයි. මහණෙනි, මෙබඳු දෘෂ්ඨි ඇත්තාවූ සත්ත්‍වයෝ ඇත්තාහ. මහණෙනි, මෙබඳු දෘෂ්ඨි ඇති සත්ත්‍වයන්ට වෙනස්වීමක්, මරණයක් ඇත්තේය. මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම එහිද කළකිරෙයි. එහි කළකිරෙන්නේ, අග්‍ර පදවියෙහි කළකිරෙයි. ලාමක දෙය ගැන කියනුම කවරේද?”
“මහණෙනි, ඉතා උසස් ශුද්ධිය පනවන ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඇත්තාහ. ඉතා උසස් ශුද්ධිය පනවන්නවුන් අතුරෙන් යම් මේ සර්‍වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්ම නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ වාසය කරයිද, මෙය ශ්‍රේෂ්ඨයි. ඔවහු එය විශිෂ්ඨ ඥානයෙන් දැන එය ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිස බණ කියයි. මහණෙනි, මෙසේ කියන්නාවූ සත්ත්‍වයෝ ඇත. මහණෙනි, මෙසේ කියන්නාවූ සත්ත්‍වයන්ට වෙනස්වීමක් ඇත්තේය. මරණයක් ඇත්තේය. මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම එහිද කළකිරෙයි. එහි කළකිරෙන්නේ, අග්‍ර පදවියෙහි කළකිරෙයි. ලාමක දෙය ගැන කියනුම කවරේද?”
“මහණෙනි, මේ ආත්මයෙහිම ශ්‍රේෂ්ඨ නිර්‍වාණය පණවන ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඇත්තාහ. ඔවුහු මේ ආත්මයෙහිම ශ්‍රේෂ්ඨ නිර්‍වාණය පණවත්. මහණෙනි, මේ ආත්මයෙහිම ශ්‍රේෂ්ඨ නිර්‍වාණය පනවන්නන් අතුරෙන් යම් මේ සය වැදෑරුම් ස්පර්‍ශයන්ගේ පහළවීමද, විනාශයද, ආශ්වාදයද, දොෂයද, නික්මීමද, තත්ත්වූ පරිද්දෙන් දැන, තෘෂ්ණා, මාන, දෘෂ්ඨි වශයෙන් දැඩි කොට නොගෙන, යම් මිදීමක් ඇද්ද, මෙය ශ්‍රේෂ්ඨයි. මහණෙනි, මා මෙසේ කියුම් ඇත්තේ, මෙසේ කීයේයයි ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ නොවූ හිස් බොරු නොවූ දෙයින් ශ්‍රමණ ගෞතමයන් වහන්සේ කාමයන්ගේ විශේෂ දැනීම නොපනවයි. රූපයන්ගේ විශේෂ දැනීම නොපණවයි. වේදනාවන්ගේ විශේෂ දැනීම නොපණවයි’ යයි මා අභිබවා කියත්. මහණෙනි, මම කාමයන්ගේ විශේෂ දැනීම කියමි. රූපයන්ගේ විෂෙශ දැනීම කියමි. වේදනාවන්ගේද විශේෂ දැනීම කියමි. මේ ආත්මයෙහිම තෘෂ්ණාව දුරු කළේ, නිවුනේ, සිහිල් වූයේ, කෙලෙස් අල්වා ගැනීම නැති පිරිනිවීම පණවමියි වදාළ සේක”10. දුතියකොසලසුත්තං
AN 10-03-10. පසේනදිපච්චකාර සූත්‍රය
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර අසල අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එකල්හි පසේනදි කොසොල් රජ තුමා සිය විජිතයේ එක් සීමාවක යුද්ධයක් කොට සිය සිතැඟි ඉටු කර ගෙන2027 මඩ පවත්වන්නට සිය හමුදාව සමග ගොස් ඒ කාර්‍යය නිමකොට සාවත්ති නුවරට ආවේය. මාලිගාවට යාමට පෙර ජීතවනාරාමය පසුකර යා යුතුය. කිසිදා ඔහු බ්නැගාග්වයවතුන්තු වහන්නේසේ නොදක ජේතවනාරාමය ලඟින් නොයන නිසා මෙවරද ඔහු සිය හමුදාව හා යානයන් අසල නවතා පයින්ම ඇවිද ජේතවනාරාමයට ඇතුළු විය.
[2027: ඓතිහාසික තොරතුරු : පසේනදිගේ පියා වූ කෝසල රජතුමා තම දියණිය විවාහ කර දුන්නේ මගධයේ රජු බිම්බිසාර ටය. දැවද්දේ කොටසක් ලෙස මේ රාජධානි දෙකේ මායිමේ පිහිටි කසී ගම ඔහු ඇයට දී තිබිණ, බිම්බිසාර රජුගේ පුත් අජාත සත්තු සිය පියා ඝාතනය කල පසු රජ බිසව එනම් කොසොල් රජුගේ දියණිය සිය ස්වාමියාට වූ අපරාධය නිසා ශෝකයෙන් මිය ගියාය. තම දියණිය මල නිසා දැන් යලිත් කසී ගම තමන්ට අයිති බව කොසොල් රජු කීවේය. අජාත සත්තු රජු හා කොසොල් රජු අතර කිහිපවිටක් මේ කසිගම නිසා යුද්ධ කෝලහාල ඇතිවිය. දෙවතාවක් අජාසත්තුගේ හමුදාව විසින් පරාජය කලද මේ වර ඔවුන් පරදා ඔහු දිනුවේය. තමාගේ අභිමතාර්ථය ඉටු කර ගැනීම ලද්ධාදිප්පයෝ ලෙස පාලියෙන් දැක්වේ.]
එකල්හි බොහෝ භික්‍ෂූහු එලිමහනෙහි සක්මන් භාවනාවෙහි යෙදී සිටියහ. පසේනදි කොසොල් රජතුමා ඒ භික්‍ෂූහු වෙත පැමිණ, “ස්වාමීනි, භාග්‍යවත්, අර්හත් සම්‍යක් සම්බුද්‍ධයන් වහන්සේ දැන් කොහි වාසය කෙරෙත්ද?” යි ඇසීය.
“මහරජ, භාග්‍යවතුන් වහන්සේ තෙල පෙනෙන , දොර වසා ඇති විහාරයේ සිටින්නේය. නිශ්ශබ්දව ගොස් , ඉක්මන් නොවී, පිට බරාඳයට ඇතුළ්වී, උගුර පාදා මඩ ශබ්දයක් කොට, ඒ දොර අගුලට තට්ටු කරව. භාග්‍යවතුන් වහන්සේ තොපට දොර හරින සේක.”
ඒ කී පරිදිම පසේනදි කොසොල් රජ විහාරය වෙත ගොස් අගුලට තට්ටු කළේය. භාග්‍යවතුන් වහන්සේ දොර හළ සේක. එවිට පසේනදි කොසොල් රජ, එහි ඇතුළ , භාග්‍යවතුන් වහන්සේගේ පාමුල්හි හිසින් වැටී, “ස්වාමීනි, මම පසේනදි කොසොල්ය. ස්වාමීනි, මම පසේනදි කොසොල්ය’ යි සිය නමද කියමින් .2028 භාග්‍යවතුන් වහන්සේගේ සිරි පතුල් මුවින්ද සිඹියි. දෙඅතින්ද පිරිමදියි.
[2028:- කොසොල් රජු භාග්‍යවතුන් වහන්සේට මහා ආදරයක් ගෞරවයක් ඇතිව සිටි බවත්, මෙසේ දනින් වටී සිරි පා සිඹිමින් තම නම මේ යැයි කියමින් කල බුහුමන ගැන සුත්‍ර කිහිපයකම සඳහන් වේ.]
“මහරජ, ඔබ කවර කාරණයක් දකිමින් මේ ශරීරයට මෙසේ අතිශය ගෞරවයක් කරයිද, ආදරයක් පෙන්නන්නේ ද ?”
“ස්වාමීනි, මම ඔබ වහන්සේ කෙරෙහි මගේ ඇති ගෞරවය හා භක්තිය නිසා මම මෙසේ ආදර ගෞරව දක්වන්නෙමි, ස්වාමිනි.”
(1) “ස්වාමීනි, ඔබවහන්සේ අනුන් පිණිස, බොහෝ දෙනාට යහපතක් කරන්නටම ඔබ වහන්සේගේ කාලය වැය කරන සේක. ලෝකයාගේ හිත පිණිසම සැප පිණිසම වැඩ වසන්නේය. බොහෝ දෙනා ආර්යමාර්ගයේ පිහිටවූ සේක. අකුසල් මගින් වලකා කුසලයට යෙදවූ සේක. යහපත් ජීවිතවලට් පත් කල සේක. 2029
[2029:- බහුනෝ ජනස්ස අරිය ඥායෙ පතිට්ඨාපිතා , යදිධන් කල්‍යාණ ධම්මතාය , කුසල ධම්මතාය, ලෙස දැක්වූ පාඨය, මනුෂ්‍යගේ ලෞකික හා ලෝකෝත්තර සුභ සිද්ධිය යන අංශ දෙකම භාග්‍යවතුන් වහන්සේ සලකා ක්‍රියා කල බව කියයි.]
“ස්වාමීනි, මම මේ කාරණය දකිමින්, භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මෙබඳු ශ්‍රේෂ්ඨ ආදර ගෞරවයක්, කරමි.”
(2) “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ සිල්වත් වූයේය, වැඩුණු සිල් ඇත්තේය, ශ්‍රේෂ්ඨ සිල් ඇත්තේය, නිපුණවූ සිල් ඇත්තේය, නිපුණවූ ශීලයෙන් යුක්තවූයේය.
“ස්වාමීනි, මම මේ කාරණය දකිමින්, භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මෙබඳු ශ්‍රේෂ්ඨ ආදර ගෞරවයක්, කරමි.”
(3) “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ බොහෝ කලක් ජන ශුන්යවූ මහා වනයේ, වනගතව ජීවත් වූ සේක. මිනිසුන්ගෙන් හිස්වූ කැලෑ, ගුහා, පර්වත සෙවන වල වාසය කල සේක.
“ස්වාමීනි, මම මේ කාරණය දකිමින්, භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මෙබඳු ශ්‍රේෂ්ඨ ආදර ගෞරවයක්, කරමි.”.
(4) “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේට ලැබෙන සිවුරු, පිඬු, සෙනසුන්, ගිලන්පස, බෙහෙත් පිරිකර කෙබඳු වුවත්, එලද පරිද්දෙන්ම ඒ ගැන සතුටු වෙයි, “ස්වාමීනි, මම මේ කාරණය දකිමින්, භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මෙබඳු ශ්‍රේෂ්ඨ ආදර ගෞරවයක්, කරමි.”
(5) “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ පූජාවට සුදුසුය. ආගන්තුක සත්කාරයට සුදුසුය. දන්දීමට සුදුසුය, දෙඅත් හිස තබා වැඳීමට සුදුසුය. ලෝකයාගේ ඉතා උසස් පින් කෙතය. “ස්වාමීනි, මම මේ කාරණය දකිමින්, භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මෙබඳු ශ්‍රේෂ්ඨ ආදර ගෞරවයක්, කරමි.”.
(6) “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ කරන කතාවක් වේද ඒ, කෙළෙස් දුරු කරණ, සිත පිබිදීමට සුදුසු, ආශාවන් අඩු කරවන කථාය, සන්තෝෂය ඇති කරවන කථාය, විවේකයෙහි වටිනාකම දක්වන කථාය, කුලයන් හා බැඳීමේ විපාක දක්වන කථාය, ප්‍රතිපත්ති පිරීමට වීර්‍ය්‍යාරම්භය ඇතිකරන කථාය, සීලයෙහි ආනිසංස දක්වන කථාය, සිත එකඟ කිරීමේ කථාය, ප්‍රඥාව ඇති කරවන කථාය, විමුක්තිය පිලිබඳ කථාය, මුක්තිය ලබන මග පිලිබඳ කථාය, සතිය ඇති කරන කථාය, 2030 ඔබ වහන්සේගෙන් මෙබඳු කථා නිරුත්සාහයෙන් ලබන හෙයින් , නිදුකින් ලබන හෙයින් , පහසුවෙන් ලබන හෙයින් , “ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මෙබඳු ශ්‍රේෂ්ඨ ආදර ගෞරවයක්, කරමි.”
[2030:- අප්පිච්ච කථා, සන්තුට්ඨි කථා,, පඡේක කථා, අසන්සග්ග කථා, විරියාරම්භ කථා, සීල කථා, සමාධි කථා, පඥා කථා, විමුත්ති කථා, විමුත්ති ඥාණ දස්සන කථා, එවරුපිය කථා,…… ]
(7) “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ අපහසුවෙකින් තොරවම කැමති ආකාරයකින්, කැමති වේලාවක සතර ධ්‍යානයන් ට සමවැද, මේ ජීවිතයේ ලද හැකි ශ්‍රේෂ්ඨම ප්‍රීතිය, සැපය නිදුකින් ලබන බව දනිමි. පහසුවෙන් ලබන බව දනිමි. “ස්වාමීනි, මම මේ දකිමින්, භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මෙබඳු ශ්‍රේෂ්ඨ ආදර ගෞරවයක්, කරමි.”.
(8) “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ ගේ පුර්ව භවයන් එකක් නොව, දහසක් නොව, කල්ප ගැන ඈත අතීතයට දකින්නේය. අසුවල් නම ඇතිව, අසුවල් දේශයක, අසුවල් කුලයක ඉපිද අසුවල් ජීවිකාවක් කලෙමි. අසුවල් අසුවල් ලෙස සිට මිය ගොස් ඉන් පසු අසුවල් රටක, අසුවල් කුලයක උපන්නෙමි’ යි දේසනා කරනු අසා මම , භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මෙබඳු ශ්‍රේෂ්ඨ ආදර ගෞරවයක්, කරමි.”.
(9) “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ , මිනිස් ඇස ඉක්මවා ගිය දිව්‍ය ඇසින් , දිවැසින් , මේ මේ සත්වයන්, මේ මේ ආකාරයෙන් මියගොස්, මේ මේ කර්මවල විපාක ලෙස මේ මේ තැන් වල මේ මේ ජාතිවල උපදිනවා දකින්නේය යනු මා අසා ඇත. මේ අසා , භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මෙබඳු ශ්‍රේෂ්ඨ ආදර ගෞරවයක්, කරමි.”.
(10.) “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සියලු ආශ්‍රවයන් ක්‍ෂය කිරීමෙන්, ආශ්‍රව රහිතව සිත නිදහස් කර ගත්තේය., ප්‍රඥාව දියුණු කොටගෙන ඒ ප්‍රඥාවෙන්ම විමුක්තිය සාධනය කර ගත් සේක. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ යම්සේ ආශ්‍රවයන්ගේ ක්‍ෂයවීමෙන් ආශ්‍රව රහිත සිත නිදහස් වීමද, ප්‍රඥාව නිදහස් වීමද, මෙලොවම තෙමේ විශිෂ්ඨ ඥානයෙන් දැන, ප්‍රත්‍යක්‍ෂකොට පැමිණ වාසය කරයිද, ස්වාමීනි, මම මේ කාරණයද දක්නේ, භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මෙබඳු ශ්‍රේෂ්ඨ ගෞරවයක්, මෛත්‍රී එළවීමක් කරමි.

“ස්වාමීනි, එසේනම් දැන් යමි. අපට බොහෝ කටයුතුය. බොහෝ වැඩ පලය.”
“මහරජ, දැන් තොප යාමට කල් දනිව්.” යි භාග්‍යවතුන් වහන්සේ අනුදැන වදාළ සේක.
පසේනදි කොසොල් රජතුමා හුනස්නෙන් නැගිට, භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට පිටව ගියේය.”
