
1. බාල භය සුත්‍රය 2. කම්මලක්ඛණ සූත්‍රය. 3. බාලලක්ඛණ සූත්‍රය.
4. අච්චය පටිකරණ සූත්‍රය. 5. අයොනිසොපඤ්හ සූත්‍රය.
6. අකුශල කම්ම සූත්‍රය. 7. සාවජ්ජ කම්ම සූත්‍රය.
8. සව්‍යාපජ්ඣ කම්ම සූත්‍රය, 9. ඛතත්ත සූත්‍රය.
10. මලප්පහාණ සූත්‍රය
AN 03-01-01. බාල භය සූත්‍රය
“මහණෙනි, යම්කිසි භය උපදිත්ද, ඒ සියලු භය බාලයා කෙරෙන් උපදිත්. පණ්ඩිතයා කෙරෙන් නූපදිත්. යම්කිසි විපත්තීහු උපදිත්ද, ඒ සියලු විපත්තීහු බාලයා කෙරෙන් උපදිත්. පණ්ඩිතයාගෙන් නූපදිත්. යම්කිසි උවදුරු උපදිත්ද, ඒ සියලු උවදුරු බාලයා කෙරෙන් උපදිත්. පණ්ඩිතයාගෙන් නූපදිත්.
“මහණෙනි, යම්සේ වනාහි බට සෙවිලි ගෙයක් හෝ තණ සෙවිලි කළ ගෙයක් හෝ ගිනිගන්නා ලද්දේ, ඇතුළත පිටත (සුනුපිරියම්) කරණ ලද භික්ති ඇත්තාවූ මනාව සවිකළ දොරවල් ඇත්තාවූ, මනාව යෙදූ වා කවුළු ඇත්තාවූ, කූටාගාරයන්ද දවන්නේද, මහණෙනි, එපරිද්දෙන්ම වනාහි යම්කිසි භය කෙනෙක් උපදිත්ද, ඒ සියලු බිය බාලයා කෙරෙන් උපදිත්. පණ්ඩිතයා කෙරෙන් නූපදිත්.
“යම්කිසි විපත්තීහු උපදිත්ද, ඒ සියලු විපත් බාලයා කෙරෙන් උපදිත්. පණ්ඩිතයා කෙරෙන් නූපදිත්. යම්කිසි උපද්‍රව කෙනෙක් උපදිත්ද, ඒ සියලු උපද්‍රවයෝ බාලයා කෙරෙන් උපදිත්. පණ්ඩිතයා කෙරෙන් නූපදිත්.
“මහණෙනි, මෙසේ බාලයා භය සහිත වේ. පණ්ඩිත තෙම භය සහිත නොවේ. බාල තෙම විපත්ති සහිත වේ. පණ්ඩිත තෙම විපත්ති සහිත නොවේ. බාල තෙම උවදුරු සහිත වේ. පණ්ඩිත තෙම උවදුරු සහිත නොවේ. මහණෙනි, පණ්ඩිතයා කෙරෙන් බියක් නැත්තේය. පණ්ඩිතයාගෙන් විපතක් නැත. පණ්ඩිතයා කෙරෙන් උවදුරක් නැත.
“මහණෙනි, එහෙයින් ධර්‍ම තුනකින් යුක්තවූ පුද්ගලයා බාලයායයි දත යුත්තේද, ඒ ධර්‍ම තුන දුරුකොට යම් ධර්‍ම තුනකින් යුක්තවූ පුද්ගලයා පණ්ඩිතයායයි දත යුත්තේද, ඒ ධර්‍ම තුන සමාදන්ව වාසය කරන්නෙමුයි මෙසේ හික්මිය යුතුයි. මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතුය” යි වදාළ සේක-
AN 03-01-02. කම්ම ලක්ඛණ සූත්‍රය
“මහණෙනි, බාල තෙම ක්‍රියාව ලක්‍ෂණ (හැඳින ගතයුතු කරුණ) කොට ඇත්තේය. පණ්ඩිත තෙමේ ක්‍රියාව ලක්‍ෂණ කොට ඇත්තේය. ප්‍රඥාව චරිතයෙන් ශෝභමාන වන්නීය” යි වදාළ සේක.
“මහණෙනි, ධර්ම තුනකින් යුක්තවූ පුද්ගලයා බාල යයි දත යුතුයි. කවර ධර්‍ම තුනකින්ද? කාය දුශ්චරිතයෙන්ද, වාග් දුශ්චරිතයෙන්ද, මනෝ දුශ්චරිතයෙන්ද වෙයි. මහණෙනි, මේ ධර්ම තුනෙන් යුක්තවූයේ බාල යයි දතයුතු.
“මහණෙනි, ධර්ම තුනකින් යුක්තවූයේ පණ්ඩිතයයි දත යුතුයි. කවර තුනකින්ද යත්? කාය සුචරිතයෙන්ද, වාග් සුචරිතයෙන්ද, මනෝ සුචරිතයෙන්ද වෙයි. මහණෙනි, මේ ධර්ම තුනෙන් යුක්තවූයේ පණ්ඩිතයයි දත යුතුයි. මහණෙනි, එහෙයින් යම් ධර්‍ම තුනකින් යුක්තවූයේ බාලයායයි දත යුත්තේද, ඒ ධර්‍ම තුන දුරුකොට යම් ධර්‍ම තුනකින් යුක්තවූයේ පණ්ඩිතයායයි දත යුත්තේද, ඒ ධර්‍ම සමාදන්ව වාසය කරන්නෙමියි මෙසේ හික්මිය යුතුයි. මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතුය” යි වදාළ සේක.
AN 03-01-03 . බාල ලක්ඛණ සූත්‍රය
-3 3. සූත්‍රය–
“මහණෙනි, බාලයාගේ බාල ලක්‍ෂණ බාලයායයි දැනගැනීමට කරුණු බාල චරිත තුනක් වෙත්. කවර තුනක්ද යත්? මහණෙනි, මේ ලෝකයෙහි බාල තෙම නපුරු සිතක්ම සිතන්නේ වෙයි. නපුරු වචනයක්ම කියන්නේ වෙයි. නපුරු ක්‍රියාවක්ම කරන්නේ වෙයි.
“මහණෙනි, මේ බාලතෙම ඉදින් නපුරු සිතක් නොසිතන්නේත් වේ නම්, නපුරු වචන නොකියන්නේත් වේ නම්, නපුරු ක්‍රියා නොකරන්නේත් වේ නම්, පණ්ඩිතයෝ ඔහු මේ පිනවත් තෙමේ බාලයෙක, අසත්පුරුෂයෙකැයි කිනම් කරුණකින් දැනගන්නාහුද.
“මහණෙනි, යම් හෙයකින් වනාහි බාල තෙම නපුරු සිතක්ම සිතන්නේ වෙයිද, නපුරු වචනයක්ම කියන්නේ වෙයිද, නපුරු ක්‍රියාවක්ම කරන්නේ වෙයිද, එහෙයින් පණ්ඩිතයෝ ඔහු මේ පින්වත් තෙමේ බාලයෙක පණ්ඩිතයෙකැයි දැනගන්නාහුය. මහණෙනි, මොහු වනාහි බාලයාගේ බාල ලක්‍ෂණ, බාල කරුණු, බාල චරිතයෝ වෙත්ය” යි වදාළ සේක.
“මහණෙනි, පණ්ඩිතයාගේ පණ්ඩිත ලක්‍ෂණ, පණ්ඩිත කරුණු, පණ්ඩිත චරිත තුනක් වෙති. කවර තුනක්ද? මහණෙනි, මේ ලෝකයෙහි පණ්ඩිත තෙම යහපත් සිතක්ම සිතන්නේ වෙයි. යහපත් වචනයක්ම කියන්නේ වෙයි. යහපත් ක්‍රියාවක්ම කරන්නේ වෙයි. මහණෙනි, ඉදින්, පණ්ඩිත තෙමේ යහපත් සිතක්ම සිතන්නේත්, යහපත් වචනයක්ම කියන්නේත්, යහපත් ක්‍රියාවක්ම කරන්නේත් නොවේ නම් පණ්ඩිතයෝ ඔහු මේ පින්වත් තෙමේ පණ්ඩිතයෙක, සත්පුරුෂයෙකැයි කුමකින් දැනගන්නාහුද,
“මහණෙනි, යම් හෙයකින් පණ්ඩිත තෙමේ යහපත් සිතක්ම සිතන්නේ වේද, යහපත් වචනයක්ම කියන්නේ වේද, යහපත් ක්‍රියාවක්ම කරන්නේ වේද, එහෙයින් ඥානවන්තයෝ මේ පින්වත් තෙමේ පණ්ඩිතයෙක, සත්පුරුෂයෙකැයි දැනගනිත්. මහණෙනි, මොහු පණ්ඩිතයාගේ පණ්ඩිත ලක්‍ෂණ, පණ්ඩිත කරුණු, පණ්ඩිත චරිත වෙත්..
“මහණෙනි, එහෙයින් ධර්‍ම තුනකින් යුක්තවූ පුද්ගලයා බාලයායයි දත යුත්තේද, ඒ ධර්‍ම තුන දුරුකොට යම් ධර්‍ම තුනකින් යුක්තවූ පුද්ගලයා පණ්ඩිතයායයි දත යුත්තේද, ඒ ධර්‍ම තුන සමාදන්ව වාසය කරන්නෙමුයි මෙසේ හික්මිය යුතුයි. මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතුය” යි වදාළ සේක.
AN 03-01-04. අච්චය පටිකරණ සූත්‍රය
— සූත්‍රය–
“මහණෙනි, ධර්ම තුනකින් යුත් පුද්ගලයා බාලයායයි දත යුතුයි. කවර තුනකින්ද?
“වරද, වරද වශයෙන් නොදකියිද, වරද, වරද වශයෙන් දැක ධර්‍මයවූ පරිද්දෙන් පිළියම් නොකරයිද, අනිකෙකු වරද ප්‍රකාශකළ කල්හි ධර්‍මයවූ පරිද්දෙන් නොපිළිගනියිද, මහණෙනි, මේ කරුණු තුනෙන් යුත් පුද්ගලයා බාලයායයි දත යුතුයි.
“මහණෙනි, ධර්ම තුනකින් යුත් පුද්ගලතෙමේ පණ්ඩිතයායයි දත යුතුයි. කවර තුනකින්ද යත්? වරද, වරද වශයෙන් දකියිද, වරද, වරද වශයෙන් දැක ධර්‍මයවූ පරිද්දෙන් පිළියම් කරයිද, අනිකෙකු වරද ප්‍රකාශකළ කල්හි ධර්‍මයවූ පරිද්දෙන් පිළිගනියිද, මේ ධර්ම තුනෙන් යුත් පුද්ගලයා පණ්ඩිතයායයි දත යුතු.
“මහණෙනි, එහෙයින් ධර්‍ම තුනකින් යුක්තවූ පුද්ගලයා බාලයායයි දත යුත්තේද, ඒ ධර්‍ම තුන දුරුකොට යම් ධර්‍ම තුනකින් යුක්තවූ පුද්ගලයා පණ්ඩිතයායයි දත යුත්තේද, ඒ ධර්‍ම තුන සමාදන්ව වාසය කරන්නෙමුයි මෙසේ හික්මිය යුතුයි. මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතුය” යි වදාළ සේක.
AN 03-01-05. අයොනිසොපඤ්හ සූත්‍රය
–5. අයොනිසොපඤ්හ සූත්‍රය-
“මහණෙනි, ධර්ම තුනකින් යුත් පුද්ගලයා බාලයායයි දත යුතුයි. කවර තුනකින්ද?
“නුනුවණින් ප්‍රශ්න අසන්නේ වේද, නුනුවණින් ප්‍රශ්න විසඳන්නේ වේද, අනිකෙකු විසින් නුවණින්, අන්‍ර්‍ථයෙන් හා කාරණයෙන් යුක්තවූ, සිලුටුවූ පද ව්‍යඤ්ජනයන්ගෙන් විසඳන ලද ප්‍රශ්න සතුටින් පිළිනොගන්නේ වෙයිද, මහණෙනි, මේ කරුණු තුනෙන් යුත් පුද්ගල තෙම බාලයායයි දත යුතු.
“මහණෙනි, කරුණු තුනකින් යුත් පුද්ගලයා පණ්ඩිතයායයි දත යුතුය. කිනම් කරුණු තුනකින්ද? මහණෙනි, නුවණින් ප්‍රශ්න අසන්නේ වෙයිද, නුවණින් ප්‍රශ්න විසඳන්නේ වෙයිද, අනිකෙකු විසින් නුවණින්, අන්‍ර්‍ථයෙන් හා කාරණයෙන් යුත්, සිලුටු පද ව්‍යඤ්ජනයන්ගෙන් විසඳන ලද ප්‍රශ්න සතුටින් පිළිගන්නේ වෙයිද, මහණෙනි, මේ කරුණු තුනෙන් යුත් පුද්ගලයා පණ්ඩිතයායයි දත යුතුය.
“මහණෙනි, එහෙයින් ධර්‍ම තුනකින් යුක්තවූ පුද්ගලයා බාලයායයි දත යුත්තේද, ඒ ධර්‍ම තුන දුරුකොට යම් ධර්‍ම තුනකින් යුක්තවූ පුද්ගලයා පණ්ඩිතයායයි දත යුත්තේද, ඒ ධර්‍ම තුන සමාදන්ව වාසය කරන්නෙමුයි මෙසේ හික්මිය යුතුයි. මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතුය” යි වදාළ සේක.
AN 03-01-06. අකුශල කම්ම සූත්‍රය
— සූත්‍රය–
“මහණෙනි, ධර්ම තුනකින් යුත් පුද්ගලයා බාලයායයි දත යුතුයි. කවර තුනකින්ද?
“අකුශල කාය කර්‍මයෙන්ද, අකුශල වාක් කර්‍මයෙන්ද, අකුශල මනො කර්‍මයෙන්ද වෙයි. මහණෙනි, මේ ධර්ම තුනෙන් යුත් පුද්ගලයා බාලයායයි දත යුතුයි.
“මහණෙනි, කරුණු තුනකින් යුත් පුද්ගලයා පණ්ඩිතයායයි දත යුතුයි. කවර තුනකින්ද ? කුශල කාය කර්‍මයෙන්ද, කුශල වාක් කර්‍මයෙන්ද, කුශල මනො කර්‍මයෙන්ද වෙයි. මහණෙනි, මේ ධර්ම තුනෙන් යුත් පුද්ගලයා පණ්ඩිතයායයි දත යුතු.
“මහණෙනි, එහෙයින් ධර්‍ම තුනකින් යුක්තවූ පුද්ගලයා බාලයායයි දත යුත්තේද, ඒ ධර්‍ම තුන දුරුකොට යම් ධර්‍ම තුනකින් යුක්තවූ පුද්ගලයා පණ්ඩිතයායයි දත යුත්තේද, ඒ ධර්‍ම තුන සමාදන්ව වාසය කරන්නෙමුයි මෙසේ හික්මිය යුතුයි. මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතුය” යි වදාළ සේක.
AN 03-01-07. සාවජ්ජ කම්ම සූත්‍රය
සූත්‍ර–
“මහණෙනි, ධර්ම තුනකින් යුත් පුද්ගලයා බාලයායයි දත යුතුයි. කවර තුනකින්ද?
“වරද සහිත කාය කර්‍මයෙන්ද, වරද සහිත වාක් කර්‍මයෙන්ද, වරද සහිත මනො කර්‍මයෙන්ද වෙයි. මහණෙනි, මේ කරුණු තුනෙන් යුත් පුද්ගලයා බාලයායයි දත යුතුයි.
“මහණෙනි, කරුණු තුනකින් යුත් පුද්ගලයා පණ්ඩිතයායයි දත යුතුයි. කවර තුනකින්ද ? නිරවද්‍ය කාය කර්‍මයෙන්ද, නිරවද්‍ය වාක් කර්‍මයෙන්ද, නරවද්‍ය මනො කර්‍මයෙන්ද වෙයි. මහණෙනි, මේ කරුණු තුනෙන් යුත් පුද්ගලයා පණ්ඩිතයායයි දත යුතු.
“මහණෙනි, එහෙයින් ධර්‍ම තුනකින් යුක්තවූ පුද්ගලයා බාලයායයි දත යුත්තේද, ඒ ධර්‍ම තුන දුරුකොට යම් ධර්‍ම තුනකින් යුක්තවූ පුද්ගලයා පණ්ඩිතයායයි දත යුත්තේද, ඒ ධර්‍ම තුන සමාදන්ව වාසය කරන්නෙමුයි මෙසේ හික්මිය යුතුයි. මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතුය” යි වදාළ සේක.
AN 03-01-08. සව්‍යාපජ්ඣ කම්ම
–8. සව්‍යාපජ්ඣ කම්ම සූත්‍රය–
“මහණෙනි, ධර්ම තුනකින් යුත් පුද්ගලයා බාලයායයි දත යුතුයි. කවර තුනකින්ද?
“අපරාධ සහිත කාය කර්‍මයෙන්ද, අපරාධ සහිත වාක් කර්‍මයෙන්ද, අපරාධ සහිත මනො කර්‍මයෙන්ද වෙයි. මහණෙනි, මේ කරුණු තුනෙන් යුත් පුද්ගලයා බාලයායයි දත යුතුයි.
“මහණෙනි, කරුණු තුනකින් යුත් පුද්ගලයා පණ්ඩිතයායයි දත යුතුයි. කවර තුනකින්ද ? නිරපරාධ කාය කර්‍මයෙන්ද, නිරපරාධ වාක් කර්‍මයෙන්ද, නිරපරාධ මනො කර්‍මයෙන්ද වෙයි. මහණෙනි, මේ කරුණු තුනෙන් යුත් පුද්ගලයා පණ්ඩිතයායයි දත යුතුය.
“මහණෙනි, එහෙයින් ධර්‍ම තුනකින් යුක්තවූ පුද්ගලයා බාලයායයි දත යුත්තේද, ඒ ධර්‍ම තුන දුරුකොට යම් ධර්‍ම තුනකින් යුක්තවූ පුද්ගලයා පණ්ඩිතයායයි දත යුත්තේද, ඒ ධර්‍ම තුන සමාදන්ව වාසය කරන්නෙමුයි මෙසේ හික්මිය යුතුයි. මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතුය” යි වදාළ සේක.
AN 03-01-09. ඛතත්ත සූත්‍රය
සූත්‍රය–
“මහණෙනි, බාලවූ, අදක්‍ෂවූ, අසත්පුරුෂවූ බාල තෙමේ, නසාගත්, විනාශ කරගත් ආත්මය පරිහරණය කරයි. නුවණැත්තන් විසින් කියයුත්තෙක්, චෝදනා කටයුත්තෙක් වෙයි. බොහෝ අකුසල්ද රැස්කරයි. කවර තුනකින්ද?
“කාය දුශ්චරිතයෙන්ද, වාක් දුශ්චරිතයෙන්ද, මනො දුශ්චරිතයෙන්ද වෙයි. මහණෙනි, මේ ධර්ම තුනෙන් යුත් අදක්‍ෂ අසත්පුරුෂ බාල තෙම නසාගත්, විනාස කරගත් ආත්මයක් පරිහරණය කරයි. නුවනැත්තන් විසින් කියයුත්තෙක්ද, චෝදනා කටයුත්තෙක්ද වෙයි. බොහෝ අකුසල්ද රැස්කරයි.
“මහණෙනි, ධර්ම තුනකින් යුත් දක්‍ෂවූ, සත්පුරුෂවූ පණ්ඩිත තෙමේ, නොනසනලද, විනාශ නොකරණලද ආත්මයක් පරිහරණය කරයි. කවර තුනකින්ද යත්, කාය සුචරිතයෙන්ද, වාක් සුචරිතයෙන්ද, මනො සුචරිතයෙන්ද වෙයි. මහණෙනි, මේ ධර්ම තුනෙන් යුත් දක්‍ෂවූ සත්පුරුෂවූ පණ්ඩිත තෙමේ නොනසනලද, විනාශ නොකරණලද ආත්මයක් පරිහරණය කරයි. නුවණැත්තන් විසින් නොකියයුත්තෙක්, චෝදනා නොකළ යුත්තෙක් වෙයි. බොහෝ කුසල්ද රැස්කරයි.”
AN 03-01-10 . මලප්පහාණ සූත්‍රය
-10. —
“මහණෙනි, ධර්ම තුනකින් යුත් පුද්ගලයා මල තුනක් දුරු නොකොට, ගෙන එන ලද්දක් දැමුවාක් මෙන් නිරයෙහි උපදියි. කවර තුනකින්ද?
“දුශ්ශීලවූයේ වෙයිද, දුශ්ශීලබව නම් මලය පහ නොකරණ ලද්දේ වේද, ඊෂ්‍යා කරන්නෙක් වෙයිද, ඊෂ්‍යා මලය පහනොකරණලද්දේ වෙයිද, මසුරෙක් වෙයිද, මසුරු මල දුරු නොකරණලද්දේ වෙයිද, මහණෙනි, මේ ධර්ම තුනෙන් යුත් පුද්ගලයා මේ තුන් මලයන් දුරුනොකොට ගෙන එන ලද්දක් දැමුවාක් මෙන් නිරයෙහි උපදියි.
“මහණෙනි, ධර්ම තුනකින් යුත් පුද්ගලයා තුන් මලයන් දුරුකොට, ගෙන එන ලද්දක් දැමුවාක් මෙන් ස්වර්‍ගයෙහි උපදියි. කවර තුනකින්ද? සිල්වතෙක් වෙයිද, දුශ්ශීලභාව මලය පහ කරණ ලද්දේ වෙයිද, ඊෂ්‍යා නොකරන්නේ වෙයිද, ඊෂ්‍යා මලය පහකරණලද්දේ වෙයිද, මසුරෙක් නොවෙයිද, මසුරු මල කරණලද්දේ වෙයිද, මහණෙනි, මේ ධර්ම තුනෙන් යුත් පුද්ගලයා ගෙන එන ලද්දක් දැමුවාක් මෙන් ස්වර්‍ගයෙහි උපදියි.”