MN 03-05-08 නගරවින්දෙය්‍ය සූත්‍රය.

මේ සුත්‍රයෙහි භාග්‍යවතුන් වහන්සේගේ නව අරහාදී ගුණයන් ගැන එදා දඹදිව පැතිරුණු කීර්ති ඝෝෂාව සඳහන් වන ආකාරය ඉතා ඕනෑකමින් කියවමින්, ඒ අනන්න බුදු ගුණ ගැන, මෙහි එක්කර ඇති, පුජනීය බලන්ගොඩ රාධ ස්වාමින්වහන්සේ කල දේශනාව භාවනා මනසිකාරයෙන් ශ්‍රවනය කිරීම ඔබට ඉතා සුවදායක සිතක් ඇති කරවන්නට සමත්වනු ඇත.

ශ්‍රමණයෙකු, නැතහොත් භික්ෂුන් වහන්සේ කෙනෙක් සැබැවින්ම පුජාවට වන්දනාවට සුදුසු අයෙක් දැයි සොයා ගන්නට භාග්‍යවතුන් වහන්සේ මේ සුත්‍රයේ දේසනාකර ඇත. කසාවතක් දැරූ පමණින්, පන්සලක විසු පමණින් ශ්‍රමණ බවට පත් වෙන්නේ නැති බව , රාග දෝස මෝහ දුරු කරන්නට , අඩු තරමින් උත්සාහ කරන්නේ වත් නැති නම් ඔවුන් පුජනීය නොවන බව මෙහි කියැවේ.

වනගතව හෝ හුදෙකලාව, ගිහියන්ගේ ආශ්‍රයෙන් වෙන්ව සුදුසු කලක් ආරණ්‍යක වසිමින් භාවනාවෙහි යෙදීමේ වැදගත්කම භාග්‍යවතුන් වහන්සේ සිය අවසාන කාලයේදී දේසනා කල බව මහා පරිනිබ්බාන සුත්‍රයේ දැක්වේ. සාසනයේ ඵලයක් ලබන්නට භික්ෂුවකට වනගත ජීවිතය තරම් ආධාරකාරී අන් තැනක් නොවේමැයි.

පුජ්‍ය පුහුල්වැල්ලේ සාරද ස්වාමින් වහන්සේ කල සුත්‍ර විවරණ දේසනාව

§ 1. මා විසින් මෙසේ අසනලදී.
එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ මහත් භික්ෂුසංඝයා සමග කොසොල් දනව්වෙහි චාරිකාවෙහි හැසිරෙන්නේ, වින්දෙය්‍ය නගරය නම් වූ කොසොල්රට වැස්සන්ගේ බමුණු නගරයට වැඩමවූ සේක.

§ 2. වින්දෙය්‍යක නගර වැසි බ්‍රාහ්මණ ගෘහපතීහු , “ශාක්‍යපුත්‍රවූ ශාක්‍ය කුලයෙන් නික්ම පැවිදිවූ ශ්‍රමණ භවත් ගෞතමයන් මහත්වූ භික්ෂු සංඝයා සමග කොසොල් දනව්වෙහි චාරිකාවෙහි හැසිරෙන්නේ වින්දෙය්‍ය නගරය ට පැමිණ සිටින්නේයැයි යන ප්‍රවුර්තිය ඇසුහ.

§ 2. ඒ භවත් ගෞතමයන් වහන්සේගේ මෙබඳුවූ යහපත් කීර්තිය ඒ නගරය පුරාද පැතිර ගොස් තිබුනේය.. කෙසේ වූ යහපත් කීර්ති ප්‍රසන්ශාවක් ද යත්:-

  • ඒ භාග්‍යවතුන් වහන්සේ අර්හත් ය.
  • ඒ භාග්‍යවතුන් වහන්සේ සම්‍යක් සම්බුද්ධ ය1300 .
  • අෂ්ට විද්‍යා පසළොස් චරණ ධර්මයන්ගෙන් යුක්ත හෙයින් විද්‍යාචරණ සම්පන්න නම් වන සේක.
  • යහපත් ගති ඇති හෙයින් සුගත නම් වන සේක.
  • සියලු ලොව දත් හෙයින් ලොකවිදූ නම් වන සේක.
  • උන් වහන්සේට වඩා උසස් අන් කෙනෙක් නැති හෙයින් නිරුත්තර නම් වන සේක.
  • කෙලෙස් දමනය කර ගන්නට රිසි මනුෂ්‍යයන් ලවා ඔවුන්ගේ කෙලෙස් දමනය කරණ හෙයින් පුරිසදම්ම සාරථි නම් වන සේක.
  • දෙවි මිනිසුන්ට අනුශාසනා කරණ හෙයින් ශාස්තෲ නම් වනසේක.
  • චතුරාර්‍ය්‍ය සත්‍ය ධර්මය අවබෝධ කළ හෙයින් බුද්ධ නම් වන සේක.
  • රාගාදිය නැසූ හෙයින් භාග්‍යවත් නම් වන සේක.
  • ඒ භාග්‍යවතුන් වහන්සේ දෙවියන් සහිතවූද, මාරයා සහිතවූද, බ්‍රහ්මයා සහිතවූද, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිතවූද, දෙවි මිනිසුන් සහිතවූද, මේ ලෝකය තමන් වහන්සේ විසින් විශේෂ ප්‍රඥාවෙන් දැන ප්‍රත්‍යක්ෂකොට ප්‍රකාශ කරන්නේය.
  • ඒ භාග්‍යවතුන් වහන්සේ මුල යහපත්වූද, මැද යහපත්වූද, කෙළවර යහපත්වූද, අර්ථ සහිතවූ, ව්‍යඤ්ජන සහිතවූ, හාත්පස සම්පූර්ණවූ ධර්මය දේශනා කරන්නේය. පිරිසිදුවූ බ්‍රාහ්මචර්‍ය්‍යාව ප්‍රකාශ කරන්නේය.

එබඳුවූ රහතුන්ගේ දැකීම යහපත් වන්නේය’ කියායි.

[1300:- සම්මා සම්බුද්ධ:- අඳුරෙහි ගිලුන ලෝකයට සුර්යයා ආලෝකය දෙන්නා සේ ස්වයං අවබෝධයෙන් වටහාගත සත්‍යය, විජ්ජා… සත්‍යය දැනගනෙම, පෙර ඉපද සිටින බව, පුනරුත්පත්තිය ගැන, කර්මයේ ක්‍රියා කාරී බව ගැන දැනීම ත්‍රිවිද්‍යාව ලෙසද ගැනේ. වැඩිදුර බුදුන් වහන්සේගේ අසාමාන්‍ය බුදු ගුණ කියවන්නට මේ LINK එක ඔබන්න. පහත ඇති රුපයේ clik කොට පුජනීය රාධ හිමියන් පැය දොළොසක් පුරා කල දේසනාව අසන්න. ]

§ 3. එසේ භාග්‍යවතුන් වහන්සේ සිය ප්‍රදේශයට පැමිණියේයැයි , උන් වහන්සේ ගෙ දර්ශනය පවා යහපත් වේ යැයි ඇසු, නගරවින්දෙය්‍යක ගම් වැසි බ්‍රාහ්මණ ගෘහපතීහු භාග්‍යවතුන් වහන්සේ වැඩ හුන් ස්ථානයට එළඹියහ.

එළඹ, ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පසක හුන්නාහුය. ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ හා සතුටු විය යුතුවූ, සිහි එලවිය යුතුවූ කථාව කොට නිමවා එකත්පසක හුන්නාහුය. ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ දෙසට , ඇඳිළිබැඳ වැඳ, එකත්පසක හුන්නාහුය. ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි නාම ගොත්‍රයන් හඟවා එකත්පසක හුන්නාහුය. ඇතැම් කෙනෙක් නිශ්ශබ්දව එකත්පසක හුන්නාහුය.

එසේ එකත්පසක හුන්නාවූ බ්‍රාහ්මණ ගෘහපතීන්ට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළේය.

§ 4. ‘ගෘහපතියෙනි, ඉදින් තොප අතින් යම් තීර්ථක පරිබ්‍රාජකයෙක් මෙබඳු ප්‍රශ්නයක් අසන්නේයැයි සිතව.

ගෘහපතියෙනි, කෙබඳුවූ ශ්‍රමණයන්ට, බ්‍රාහ්මණයන්ට සත්කාර නොකට යුත්තාහුද, ගරුකාර නොකට යුත්තාහුද, බුහුමන් නොකට යුත්තාහුද, නොපිදිය යුත්තාහුදැ’යි ? විචාරන්නේ යැයි සිතව.

ගෘහපතියෙනි, මෙසේ විචාරණ ලද්දේ නම් නුඹලා එයට ඥාණවන්තව පිළිතු දිය යුත්තේ මෙසේය.

. ‘යම් ශ්‍රමණයෙක් බ්‍රාහ්මණ කෙනෙක් ඇසින් දක්නා වූ රූපාරම්මණයන්හි කැමැත්ත , ආසාව පහ නොකළේද , සිතෙහි අසන්තොසය, (දෝෂය) පහ නොකළේද, මෝහය පහ නොකළේද, සිත නොසන්සුන්ව අසහනසීලිව ඇත්තේද, විටෙක තිදොර සංවරව හැසිරෙන මුත් විටෙක තිදොර සංවරයෙන් තොරව හැසිරෙයිද ,

මෙබඳුවූ ශ්‍රමණ බ්‍රාහ්මණයන් හට සත්කාර නොකට යුත්තාහුය. ගරු නොකට යුත්තාහුය. බුහුමන් නොකට යුත්තාහුය. නොපිදිය යුත්තාහුය.’

ඊට කාරණා කවරේද?

ගිහිව වසනා අපි ඇසින් දක්නා රූප ආරම්මණයන් කෙරෙහි කැමැත්ත, ආසාව පහ කරනට අසමත්ව වසමු. නිතොර අසතුටින්, අසන්තොසයෙන්, අසහනයෙන් යුතු සිතින් වසමු. ආසාව කැමැත්ත, කාමය ඇතිව රාග1301 සිතින්, අසතුටින්, වසමු.

ඒ කැමති දේ ලබන්නට නොහැකිව සිතෙහි අසන්තොසය ඇතිව වසමු. ඒ අසන්තොසය නිසා දෝස සිතින්, කලකිරීමේ, තරහවෙන් වසමු. පහ නොකරණ ලද ද්වේෂ ඇතිව වසමු. පහනොකරණ ලද මෝහ ඇතිව වසමු. . ඇතුළත නොසන්සුන් සිත් ඇතිව කයින්ද, වචනයෙන්ද, සිතින්ද, වසමු.

කලින් කල වෙනස්වන සිතින් සම විෂම චර්‍ය්‍යාවන්ගේ වශයෙන් විටෙක යහපත් ලෙසද විටෙක අයහපත් ලෙසද හැසිරෙන්නමු.

  • ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයන් රාග සිතින් ඉන්නේ නම්,
  • නොසන්සුන් , කලබල සිතින් ඉන්නේ නම්, සන්සුන් ගති නැත්තේ නම්,
  • සම විසම ලෙස පැවතුම් ඇත්තේ නම්

ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයන් ගේද අපගේ ද වෙනසක් නැත. එහෙයින් පින්වත්වූ ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ සත්කාර නොකටයුත්තාහුය. ගරු නොකටයුත්තාහුය. බුහුමන් නොකටයුත්තාහුය. නොපිදිය යුත්තාහුය.

[ 1301:- රාගය/ කාමය:- සිත අරමුණුවල ඇලෙනුයේ ලෝභය ඇතිවිටය. වානරයන් මරන්නන් එම වානරයන් මැරීම සඳහා ලෑල්ලකට ලාටු ගා තැන තැන දමති. වානරයන් ඒවා පිරික්සන්නට අත තබති. ඇලවෙති. පා තබති. ඇලවෙති. හිස තබති. ඇලවෙති දැන් වානරයන් පස් පොළකින් ඇලී සිටී. වැද්දෝ පැමිණ පහසුවෙන් වානරයන් අල්ලා ගෙන මරා කති. එමෙන්ම සත්ත්වයාද ලෝභය නිසා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන කාම වස්තුන්හි ඇස, කන, නාසය, දිව, ශරීරය යන පස් තැනින් ඇලි බැඳී තදබදව ගොස් මාර පාසයට අසුව අපමණ දුක් විඳින්නෝය.]

යම් ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් ශබ්දාරම්මණයන් කෙරෙහිද, ඝ්‍රාණ විඥෙය ගන්ධාරම්මණයන් කෙරෙහිද ජිහ්වා විඥෙය රසාරම්මණයන් කෙරෙහිද, කායවිඥෙය ස්පර්ශ ආරම්මණයන් කෙරෙහිද, සිතින් දැනගතයුතු ධර්මාරම්මණයන් කෙරෙහිද …

..ආසාව කැමැත්ත පහ නොකලේද, රාගය සිතෙහි ඇත්තේද , දෝසය1302 නොහොත්, අසහනය, අකමැත්ත, කලකිරීම්, පහ නොකළේද, මෝහය පහ නොකළේද , ඇතුළත නොසන්සුන් සිත් ඇතිව කයින්ද, වචනයෙන්ද, මනසින්ද, කලින්කල සම විසමයන්ගේ වශයෙන්1303 හැසිරෙත්ද, එබඳුවූ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ සත්කාර නොකළ යුත්තාහුය, ගරු නොකට යුත්තාහුය, බුහුමන් නොකට යුත්තාහුය, නොපිදිය යුත්තාහුය.

[ 1302:- දෝෂය :- දෝෂය යනු රූපාදී අරමුණු නිසා සිතෙහි පහළ වන සැඩ ස්වභාවය ය. එනම් අරමුණු නිසා සිතෙහි ඇතිවෙන දූෂිත භාවයයි. අරමුණ නිසා ඇතිවන අකමැත්ත, අසතුට, නොපිළිගැනීම, සිත කළඹයි. නොසන්සුන් කරයි. අන්කෙනෙකුගේ රුපය, කතාව, ගැන තමා තුල ඇතිවන අසන්තොසය, තරහව, ද්වේශය, කෝපය තෙක් දියුණු විය හැක. දෝසය යන පාළි වචනය පිණිස “ද්වේශය” යන සිංහල වචනය යෙදීම නුසුදුසු වන්නේ ඒ සිංහල වචනයේ අර්ථය “දෝස”යේ අර්ථයෙන් එක දියුණු වස්තාවක් නිසාය. “දෝෂය” ගස් බෙනයක වසන නයෙකුට උපමා කොට ඇත. ගස් සිදුරෙහි වසන නයෙකුට යමෙක් දඬු මුඟුරු කැට කැබලිති ආදී වූ යමකින් පහර දුන් විට එයින් බැහැරට එන නයා කෝපයෙන් පැන පැන දෂ්ඨ කරන්නේ ය. එම විෂ තුළින් ඔහු ජීවිතක්ෂයට පවා පත් වන්නේ ය. එබැවින් මේ සැඩ ගතිය යමෙකු තුළ පවතී නම් යකඩයෙන් උපන් මළ යකඩයම විනාශ කරන්නාසේ, දූෂිතවූ සිත් ඇත්තා ඒ දූෂිත භාවයෙන්ම විනාශයට පමුණුවන්නේ ය.]

[1303:- සම විසම වශයෙන් හැසිරීම්: ශ්‍රමණයෙකු හෝ භික්ෂුවක් රාග අරමුණක් දක්නට නැතිව වනයක වසන විට ඔහු තුල රාග අරමුණු කෙරෙහි ආසාවක්, රාගයක්, දැවීමක් නැත. ඔහුගේ සිත සම ය. ඔහු ගමට පිඬුපිණිස ආ විට ගැහැනියක් දැක ඔහුගේ සිත තුල රාගය උපදින විට ඔහු ගෙ සිත විසම වේ. සම – විසම ලෙස ගැනීම යනු වරෙක වික්ෂිපත් සිත ක් ඩ විටේම සන්සුන් ද්සිතක් ද පැවතීමයි.]

ඊට කාරණා කවරේද?

අපි සිතින් දැනගතයුතු ධර්ම ආරම්මණයන්හි රාගය පහ නොකළ මිනිසුන්ය. දෝෂය පහ කරන්නට අසමත් වුවෝ වෙමු. .

මෝහය1304 පහනොකළ අය වෙමු. ඇතුළත නොසන්සුන් සිත් ඇතිව කයින්ද, වචනයෙන්ද, මනසින්ද සම විසම චර්‍ය්‍යා වශයෙන් හැසිරෙමු.

අපගේ මේ සමවූ හැසිරීමද, මේ ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ හැසිරීමේද වෙනසක් නැත. එහෙයින් මේ මහණ බමුණෝ සත්කාර නොකට යුත්තාහුය, ගරු නොකටයුත්තාහුය, බුහුමන් නොකට යුත්තාහුය, නොපිදිය යුත්තාහුයි. ගෘහපතියෙනි, මෙසේ අසන ලද්දාවූ ඔබලා ඒ අන්‍ය තීර්ථක පරිබ්‍රාජිකයින්ට මෙසේ ප්‍රකාශ කල යුතුය.

[1304 :- මෝහය:-අරමුණුවල මුලා බවට පත් කරවන, අරමුණ තතු වසාලන ලක්ෂණය නම් මෝහයයි. ලෝකයේ අති පංච විධ වස්තු, විපරීත සිතින් ගෙන, විපල්සලායන් නිසා දුක් ගෙන දෙන දේ සැප ලෙසත්, අනිත්‍ය දේ නිත්‍ය ලෙසත්, අනාත්ම දේ ආත්ම ලෙස ගැනීමත් මෝහය. වේ. මහ අන්ධකාරයක සිටින්නෙකු ඇසට කිසිවක් නොපෙනෙන්නේ යම්සේද එසේම මෝහයෙන් අන්ධ වූ මිනිසාට මේ දේ හරිය, මේ දේ වැරදිය, මෙය කළ යුතු ය. මෙය නොකළ යුතු ය. මෙය පවය, මෙය පිනය, මෙය අකුසලය, මෙය කුසලය යනුවෙන් යුක්ති අයුක්ති විනිශ්චයෙහි යෙදීමේ හැකියාවක් නැත. මෙවැනි පුද්ගලයා දුකෙහි තතු නොදකී.]

එහෙයින් ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ සත්කාර නොකටයුත්තාහුය. ගරු නොකටයුත්තාහුය. බුහුමන් නොකටයුත්තාහුය. නොපිදිය යුත්තාහුය. යම් ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් ශ්‍රොතාවිඥෙය ශබ්දාරම්මණයන් කෙරෙහිද, ඝ්‍රාණ විඥෙය ගන්ධාරම්මණයන් කෙරෙහිද ජිහ්වා විඥෙය රසාරම්මණයන් කෙරෙහිද, කායවිඥෙය ස්පර්ශ ආරම්මණයන් කෙරෙහිද, සිතින් දැනගතයුතු ධර්මාරම්මණයන් කෙරෙහිද පහනොකරණලද රාග ඇත්තාහු, පහ නොකරණලද ද්වේෂ ඇත්තාහු, පහනොකරණලද මෝහ ඇත්තාහු, ඇතුළත නොසන්සුන් සිත් ඇත්තාහු කයින්ද, වචනයෙන්ද, මනසින්ද, කලින්කල සම විසමයන්ගේ වශයෙන් හැසිරෙත්ද, එබඳුවූ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ සත්කාර නොකළ යුත්තාහුය, ගරු නොකට යුත්තාහුය, බුහුමන් නොකට යුත්තාහුය, නොපිදිය යුත්තාහුය.

“ගෘහපතියෙනි, ඉදින් තොපගෙන් අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ මෙසේ අසන්නාහුද, “ගෘහපතියෙනි, කෙබඳුවූ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ සත්කාර කටයුත්තාහුද, ගරු කටයුත්තාහුද, බුහුමන් කටයුත්තාහුද, පිදිය යුත්තාහුද ?“කියායි.

ගෘහපතියෙනි, මෙසේ අසන ලද විට තොපි ඒ අන්‍යතීර්ථක පරිබ්‍රාජකයන්ට මෙසේ ප්‍රකාශ කල යුතුය.

  • යම් මහණ බමුණු කෙනෙක් ඇසින් දක්නා රූපාරම්මණයන් කෙරෙහි රාගය පහ කලේද,
  • අකමැත්ත , අමනාපය අසතුට දුරු කලේද,
  • කලබල සිත් , කැළඹුන සිත් නැතිව ඇතුළත සන්සුන් සිත් ඇත්තේද,
  • කයින්, වචනයින්, මනසින් සමචරියා වශයෙන් හැසිරෙද්ද,

ඒබඳු ශ්‍රමණ බ්‍රාහ්මණයෝ සත්කාර ලැබිය යුත්තෝය. ඔවුනට සත්කාර කටයුත්තාහුය, ගරු කටයුත්තාහුය, බුහුමන් කටයුත්තාහුය, පිදිය යුත්තාහුය.

ඊට හේතු කවරේද?

§ 6 . ආයුෂ්මත්නි,

  • ඒකාන්තයෙන් ඒ ආයුෂ්මත්හු, රාගය පහ කල ඇත්තාහු හෝ වෙත්, රාගය දුරු කිරීම පිණිස ප්‍රතිපදාවකට පිළිපන්නාහු හෝ වෙත්,
  • දෝෂය පහකරණ ලද ඇත්තාහු හෝ වෙත්, නැතිනම් දෝසය නැති කිරීම පිණිස පටිපදාවකට පිළිපන්නාහු හෝ වෙත්,
  • මෝහය පහ කල ඇත්තාහු හෝ වෙත්, මෝහය දුරු කිරීම පිණිස ප්‍රතිපදාවකට පිළිපන්නාහු හෝ වෙත්,
  • ඒ ආයුෂ්මත්හු සම චරියා වෙන් යුතුවුවෝ වෙති.

කියායි.

ගෘහපතියෙනි, එවිට ඒ අන්‍ය තීර්තක පරිබ්රාජකයින් මෙසේ අසන්නේය,

ගෘහපතිනි, ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයන් රාග දෝස මෝහ දුරු කල අය ය. නැතිනම් ඔවුන් ඒවා දුරු කරන මාර්ගයට පිළිපන් අය ය කියා නුඹලා කියන්නේ කවර කාරණා, කවර සාක්ෂි මතද?

” ගෘහපතිනි, එසේ අසන ලද විට , තොපි ඒ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන්ට මෙසේ ප්‍රකාශ කල යුතුය.

  • ඒ ආයුෂ්මත්හු වනයෙහි ග්‍රාමාන්තය ඉක්මවා වනගතවූ ග්‍රාමාන්ත සේනාසනයන් සේවනය කරත්.
  • දැක්ක විට සිත් ඇලවෙන, සිත් කළඹවන 1305 රූපයන් ඒ වනගත ග්‍රාම ශුන්‍ය අරණ්‍යයෙහි නැත්තේය.
  • ආශාවෙන් සිත් අලවන්නාවූ , කණින් දතයුතුවූ කන්කළු ශබ්දයෝ එහි නැත්තේය..
  • යම් සුවඳක් ආඝ්‍රාණය කොට සිත් අලවන්නාහුද, එබඳුවූ නාසයෙන් දතයුතුවූ සුගන්ධයෝ එහි නැත්තේය.
  • යම් රසයක් විඳ විඳ සිත් අලවන්නාහුද, එබඳුවූ දිවෙන් දතයුතුවූ රසයෝ එහි නැත්තේය.
  • යම් ස්පර්ශයක් ස්පර්ශ කොට සිත් අලවන්නාවූ කයින් දතයුතුවූ ස්පර්ශයෝ එහි නැත්තේය.

[1305:- පංච කාමයන්ගේ ශබ්ධ, ඝන්ධ, රස, ස්පර්ශ යන හතර ශ්‍රමනයයෙකුට විසාල හිරිහැරයක් බාධකයක් නොවේ. කම් සැප විඳින ගිහි පැවැත්ම හැර ලා ශ්‍රමණ බවට පත් වුයේ ඒ පස් කම් සැප වලින් වෙන්ව ඉන්නට හැකි බවට ඇති ආත්ම විස්වාසය නිසාමය.
එනමුත්, ශ්‍රමණයෙකු වූ පසු ඔහුට ඇතිවන ලොකුම බාධාව රුපයය. සැම රුපයක්ම නොව ගැහැණියකගේ රුපය ය. මෙහෙනියකට නම් පුරුෂයෙකුගේ රුපයය. .
මේ සුත්‍රයට සම වන චීන “මජ්ජිම ආගමෙහි” වන නගර වින්දෙය්ය සුත්‍රයේ, කාමය , රාගය වෙනුවට කෙලින්ම ස්ත්‍රී දර්ශනය ලෙස දක්වා ඇත.

ඔබද මාද දන්නා බොහෝ උගත්, සිල්වත්, පණ්ඩිත බෞද්ධ භික්ෂුන් වහන්සේලා එතෙර ද මෙතෙරද සිව්රු හැර ගියේ ගැහැණියකගේ රුපය නිසාමය. වනගතව ජීවත්වන ශ්‍රමණයා මේ බාධාව තාවකාලිකව හෝ මග හැර ගත්තේය. අධිගමයක් ලබා තමන් මේ බාධාව සිතින් දුරු කර ගන්නා තෙක් වනගතව හෝ ස්ත්‍රී සමාගමෙන්, පමණක් නොව දැකීමෙන් පවා වෙන්වීම බොහෝ ආචාරීන් වහන්සේලා සිය ශිෂ්‍ය භික්ෂුන්ට අනුදැන ඇත. ]

ඇවැත්නි, මේ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ රාග දෝස මූහ පහ කල උතුමෝය. නැතහොත් ඒ වා දුරු කිරීම පිණිස ප්‍රතිපදාවේ නියැලී ශ්‍ර්මනයෝය. මෙසේ වනගතව සමාජයෙන් වෙන්ව පිළිවෙත් පිරීම ම අපගේ කීමට හේතු වේ. සාක්ෂි වේ. කාරණා වේ. ,

ඒකාන්තයෙන් ඒ ආයුෂ්මත්හු

  • රාගය පහකල උත්තමයෝය. හෝ රාගය දුරුකිරීම පිණිස වන ප්‍රතිපත්තියට පිළිපන්න අය වෙති.
  • දෝෂය පහ කල උත්තමයෝය. හෝ දෝෂය දුරුකිරීම පිණිස වන ප්‍රතිපත්තියට පිළිපන්න අය වෙති
  • මෝහය පහ කල උත්තමයෝය. හෝ මෝහය දුරුකිරීම පිණිස වන ප්‍රතිපත්තියට පිළිපන්න අය වෙති’යි,
  • ඒ ආයුෂ්මත්හු සම චරියා වෙන් යුතුවුවෝ වෙති.

.

ගෘහපතියෙනි,
අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන්, මෙසේ තොපගෙන් අසන ලද්දාහු තොපි අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන්ට මෙසේ පිළිතුරු දීම සුදුසු යයි වදාළේය

§ 7. මෙසේ වදාළ කල්හි වින්දෙය්‍යක නගරයෙහි බ්‍රාහ්මණ ගෘහපතිහු භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීවෝය.

“භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපත, ඉතා යහපත භවත් ගෞතමයන් වහන්ස,

  • යටිකුරු කරණලද්දක් උඩුකුරු කරන්නේ යම්සේද
  • වසන ලද්දක් විවෘත කරන්නේ යම්සේද ,
  • මංමුලාවූවෙක්හට මග කියන්නේ යම්සේද ,
  • අන්ධකාරයෙහි ඇස් ඇත්තෝ රූප දකිත්වායි, තෙල් පහනක් දරන්නේ යම්සේද,

එපරිද්දෙන්ම භවත් ගෞතමයාණන් වහන්සේ විසින් නොයෙක් ආකාරයෙන් ධර්මය ප්‍රකාශ කර වදාරණ ලද්දේය.

අපි භාග්‍යවත්වූ ගෞතමයන් වහන්සේද, ධර්මයද, භික්ෂූ සංඝයාද සරණකොට යන්නෙමු භවත් ගෞතමයන් වහන්සේ අද පටන් දිවිහිමියෙන් සරණ ගියාවූ අපි උපාසකයන් කොට දරණ සේක්වායි” යනුයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.