MN 03-04-09. අරණ විභංග සූත්‍රය

පාළි සුත්‍ර සජ්ජායනය ඉහල අඩංගු වේ

මනුෂ්‍යයා නිරන්තරයෙන්ම විවිධ මත, විවිධ අදහස් උපදවා ගනියි. ඒ මත දැඩිව අල්ලාගෙන ඒවා පමණක් සත්‍යය. අනික් අයගේ මත, අනෙක් අදහස්, මත, වෙනත් විශ්වාස වැරදිය කියා වාද විවාද, කෝළාහල ආරවුල් වලට පැටලේ. මේ මත, ආගම ගැන, රට ගැන, ලෝකය ගැන හෝ ඉර හඳ යට ඇති ඕනෑම විෂයයක් ගැන වෙන්නට පිළිවන. අර්බුදය ඇතිවන්නේ කතාවෙනි. කෙනෙක් සිය මතය ප්‍රකාශ කරන්නේ හෝ අනෙකාගේ මතයට ප්‍රතික්‍රියා දක්වන්නේ වචනයෙනි. කඩුවට වඩා දිව අන්තරාය කරන්නේය කියා කියමනක් ඇත. අනෙකාගේ සිත නොතැලෙන සේ, අර්බුද ඇති නොවන සේ කතා කල යුතු ආකාරය මෙම සුත්‍රයේ කියැවේ.

භාග්‍යවතුන් වහන්සේ දේසනා කල මේ උපදෙස් මාලාව මුළු මහත් මනුෂ්‍ය සමාජයටම සිත් තැවුල් තොරව, ගැටුම් වලින් තොරව ජීවත්වන්නට සුදුසු පිළිවෙත් මාලාවක් වන්නේය. අර්බුද, ගැටීම්, අමනාප නැතිව ජීවත්වන්නට මේ උපදෙස් පිළිපැදීමෙන් පිළිවන.

§1. මා විසින් මෙසේ අසන ලදී.
එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම්වූ අනේපිඩු මහසිටුහු කර දුන් ආරාමයෙහි වැඩ වසන සේක. එකල්හි දිනක් භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට ‘මහණෙනි,’ කියා ආමන්ත්‍රණය කළසේක. “පින්වතුන් වහන්සැයි,” ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.

§ 2. “මහණෙනි, තොපට අරණ විභංගය1256 දේශනා කරන්නෙමි. එය අසව්. හොඳින් මෙනෙහි කරව්, කියන්නෙමි” යනුයි. “එසේය, ස්වාමීනි” යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.

භාග්‍යවතුන් වහන්සේ මෙම අරණ විභංග සුත්‍රය වදාළසේක.

[1256:- අරණ: යන යෙදුම මෙහිදී යොදා ඇත්තේ ආරණ්‍යය නොහොත් මහණුන් වැඩ ඉන්නා ස්ථානය ලෙස නොවන බව පළමුවම අවබෝධ කලයුතුය. අටුවාව කියන්නේ “අරණ” යන පදය ක්ලේශයන් හැඳින්වීමට යොදා ඇති බවය. බොහෝ වියතුන් ඒ මතයට එකඟ නොවන්නේ සුත්‍රයේ ඇති කාරණා ඒ කෙලෙස් යන අර්ථයට අනුව ගැලපෙන්නේ නැති නිසාය. මෙහි හරි අර්ථය සොයාගන්නට “රණ” යන්නෙහි තේරුම සෙවිය යුතුය. අරණ යනු රණ නැති බවය. “රණ” යන පදය කලහය, යුද්ධය ලෙස ගතයුතුය. සිංහල නාමාවලියේ ඇති “රණසිංහ, රණතුංග” යන නම් යුදයට ගිය සිංහයෙකු මෙන් නිර්භය, යුදයෙදී හී තලයක් සේ ඉදිරියටම යන යන අර්ථ ගනී. “රණ” යනු යුද්ධ හෝ කළහ ලෙස එසේ ගත් කල “අ-රණ ” යනු කලහයට විරුද්ධ යන අර්ථය දෙයි. මේ සුත්‍රයේ භාග්‍යවතුන් වහන්සේ දක්වන්නේ , කළහ විවාද වලින් තොරව සිටිය ඉන්නට , උපදේස මාලාවකි.]

§ 3 .මහණෙනි!

.1. “පෘථග්ජනයන් සේ සිත පවත්වමින්, ලාමකවූ, ග්‍රාම්‍යවූ, අනාර්යවූ , අනාර්‍ය්‍යවූ, අවැඩ පිණිස පවත්නාවූ, හීන වූ පස්කම් සැපයෙහි ගිජු නොවිය යුතුය..

2. තමනට දුක් ගෙන දෙන්නාවූ , අනාර්‍ය්‍යවූ, අවැඩ පිණිස පමණක් පවත්නාවූ තමනට දුක් හා වෙහෙස දෙන අත්ථකිලමතානු යෝගයෙහි නොයෙදිය යුතුය.

.3. මේ අන්ත දෙකටම නොගොස්, නුවණැස ඇති කරන්නාවූ, ප්‍රඥාව ඇති කරන්නාවූ, තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරණ ලද්දාවූ, මධ්‍යම ප්‍රතිපදාවම අනුගමනය කල යුතුය.

.4. ඒ ප්‍රතිපදාව නුඹලාගේ සංසිඳීම පිණිසද , විශිෂ්ට ඥානය ඇතිකරදීම පිණිස, යථා අවබෝධය පිණිසද , නිර්වාණය සාක්ෂාත් කිරීම පිණිසද පවතියි.

[1257:- කාම සුඛල්ලිකානු යෝගය සහ අත්තකිලමතානු යෝගය ගැන බුදු රජාණන් වහන්සේ සිය පළමු ධර්ම දේශනාව වන ‘ධම්ම චක්කපවත්තන සුත්‍රය” හි ආරම්හක පාඨය ලෙස දැක්වූ මේ චේදය චතුරාර්‍ය සත්‍යය ඉගැන්වීමට පෙර සිදුකල පුර්විකාවක් වැන්න.]

5. මහණෙනි! තොප කුමන ප්‍රතිපදාවක් අනුගමනය කලයුතුද, කුමන ප්‍රතිපදාවක් අත් හල යුතුද , සේවනය නොකළ යුතුද යන්න දැන ගත යුතුය.

6. පස් දොරින් ලබන කාම අරමුණු නිමිති ලෙස ගෙන ඇතිවන සැපය හා භාවනාවෙන් ලබන ධ්‍යානයන් නිසා වන අභ්‍යන්තර සැපය යන දෙකෙහි වෙනස දැන ඒ අතරෙන් උතුම් සැපය පමණක් තමන් තුලින්ම අභ්‍යන්තරයෙන් විඳිය යුතුය.

7. කතාවේදී අසන්නා පහත් කොට හෝ උසස් කොට කතා නොකල යුතුය.

8. අදාළ පුද්ගලයා නැති තැන ඔහු ගැන වූ අප්‍රසිද්ධ සිදුවීම් ගැන නොකිය යුතුය. සාකච්චාවට නොගත යුතුය. “

9. අදාළ පුද්ගලයා ඇති තැන ඔහුගේ අප්‍රසිද්ධ සිදුවීම් ගැන නොකිය යුතුය. සාකච්චාවට නොගත යුතුය. ” .

10. ඉක්මනින් ඉක්මනින්, වේගයෙන් කතා නොකළ යුතුය. සාමාන්‍ය වේගයෙන් කතා කලයුතුය.

11 තමාගේ කථා ව්‍යවහාරය තරයේ නොගන්න. ඒ ඒ පළාතේ කථා ව්‍යවහාරය නොඉක්මවන්න, ඒ පළාතේ යොදන වචන වෙනස් මුත් තේරුම වැටහෙන පරිදි කතා කරන්න ” .

මේ අරණ විභංගයේ උද්දේසය වේ..
මේ අයුරින් පැවතීමෙන් අර්බුද , වාද විවාද, කෝලහාල නැති වේ.

§ 4. මහණෙනි!

. “පෘථග්ජනයන් සේ සිත පවත්වමින්, ලාමකවූ, ග්‍රාම්‍යවූ, අනාර්‍ය්‍යවූ, අවැඩ පිණිස පවත්නාවූ, හීන වූ පස්කම් සැපයෙහි ගිජු නොවිය යුතුය,

…..යැයි මවිසින් කියන ලදී.

මෙය කුමක් සඳහා කියන ලදද?

§ 4.1 . පංච කාමයන්ට ඇලී ජීවත්වීමෙන් නිරතුවම අසන්තෘප්තව, අසහනයෙන් හා ආතතියෙන් යුත් මනසින් , දුකින් වෙහෙසින් අසහනයෙන් හිඳී. ඒ කාමයන් නිසා විඳිනා සැපය හීන ය. ලාමක ය, ග්‍රාම්‍යය ය, පෘථග්ජනයන්ටම අයත් ය, අනාර්‍ය්‍යය ය අවැඩ පිණිස වන්නේය. විනාශය පිණිසම වන්නේය. 1258 කාමයන් හි සැප ඇතැයි, සන්තෝෂයක් ඇතැයි යන විශ්වාසය දුරු කිරීමෙන් කාමයෙන් වෙන්වීම, දුකින් , අසන්තෘප්ත අසහනයෙන් වෙන් වීමට මගය.

[1258: කාමයන්ට නො ඇලීම ගැන ඉතා විස්තර වශයෙන් බොහෝ සුත්රයන්හි ඉගැන්වේ. කාමයන් හි සැපයක් ඇති බව නිසැකය. ඒ සැපය ජීවිතයේ පරමාර්ථය ලෙස සැලකීම අඥානයාගේ සිරිතයි. කාමයන්හි සැපය ප්‍රතික්ෂේප කළහොත් මෙලොව ජීවත්වන්නට ද නොහැක. ඥාණවන්තයා කාමයන්හි ආස්වාදය හා ආදීනවය යන දෙකම හඳුනාගෙන, පමණ දැන , ලෝකය පරිහරණය කරයි. සසර විමුක්තියක් පතන ශ්‍රාවකයා ලෝකය පරිහරණය කලයුත්තේ මේ ආස්වාදවලින් මුලාව එහි ගැලී නොව, මී ජීවිතය විමුක්ති මාර්ගයේ යාමට බව සිත් හි රඳවාගෙන ය.]

පුජ්‍ය හේන්පිටගෙදර ඥාණසීහ මහා ස්වාමින්වහන්සේ කාම සුත්‍රය ගැන කල දේසනාව අසන්න.

§ 4.2 . “විමුක්තිය පතා කයට දුක් පීඩා දෙන අත්තකිලමතානු යෝග1259 වල යෙදෙන්නාද දුකම ලබයි. කිසිදු සැපයක් නැති , මේ පිළිවෙත් කයේ හා සිතේ දුක පිණිස පමණක් ම හේතු වෙයි. විනාශය පිණිස හේතු වෙයි. දැඩි වෙහෙස සහිත වෙයි. දැවීම් සහිත වෙයි. තමනට දැඩි වෙහෙස (කිල) සහිත වේ.. දැවීම් සහිතවූ, වරදවා පිළිපැදීම වේ. දුක්වූ, අනාර්‍ය්‍යවූ, අවැඩ ගෙණ දෙන්නාවූ, ශරීරයට දුක් දෙන පිළිවෙත යහපත් ප්‍රතිපදාව නොවේ.

[1259: එදා මෙන්ම අදත් ඉන්දියාවේ සමහර ආගම් , ඇදහීම් වල ශරීරයට දුක් දීම, කාම සැපයන්ගෙන් වෙන් වීමට විමුක්තියට මග ලෙස ඉගැන්වේ. සිද්ධාර්ථ තවුසානන්ද සය වසරකම මේ කටුක ප්‍රතිපත්ති වල යෙදී ඒවායේ නිෂ්ඵල බව තමන්ම වටහා ගත්තේය. මේ සටහන ඒ තවුසන්ගේ ප්‍රතිපදාව අනර්ථබව දක්වනු සඳහා පමණක් නොව, භාවනා කරන්නට ගොස් කයට සිතට නොදැරිය හැකි දුක් වෙහෙස ගෙන දෙන පිළිවෙත්හි යෙදෙන බෞද්ධයන්ටද ‘කෙරෙන අනතුරු හැඟවීමකි.]

. “ලාමකවූ, ග්‍රාම්‍යවූ, පෘථග්ජනයන් අයත්වූ, අනාර්‍ය්‍යවූ, අවැඩ ගෙණ දෙන්නාවූ, ශරීරයට දුක් දෙන පිළිවෙතෙහි නොයෙදෙන්න’ යයි මේ සඳහා කියනලදී.

§ 4.3 . මේ අන්ත දෙකට නොඑළඹ ප්‍රඥා චක්ෂුසය ඇති කරන්නාවූ, නුවණ ඇති කරන්නාවූ, තථාගතයන් වහන්සේ විසින්ම අවබෝධ කොට අනුදැන වදාලාවූ, ‘මධ්‍යම ප්‍රතිපදාව’ අනුගමනය කිරීම, සංසිඳීම පිණිස, විශිෂ්ට ඥානය පිණිස, අවබෝධය පිණිස, නිර්වාණය පිණිස පවතීයයි කුමක් සඳහා කියන ලදද?

මේ මධ්‍යම ප්‍රතිපදාව නම් ආර්‍ය්‍ය අෂ්ටාඩ්ගික මාර්ගය ම වේ.
[ආර්ය අශ්ටන්ගික මාර්ගය දේශනා අසන්නට CLIK THIS LINK ]

එනම්
සම්‍යක් දෘෂ්ටිය,
සම්‍යක් සංකල්පය,
සම්‍යක් වචනය,
සම්‍යක් කර්මාන්තය
සම්‍යක් ආජීවය,
සම්‍යක් ව්‍යායාමය, (Not Effort) Renounciation
සම්‍යක් ස්මෘතිය,
සම්‍යක් සමාධිය
( Not Concentration, Stilness)

යන මෙම කාරණා අටෙන් යුක්ත මාර්ගය වේ.

අන්ත දෙකට නොපැමිණ තථාගතයන් වහන්සේ විසින් මනාව අවබෝධ කළාවූ ප්‍රඥා චක්ෂුස ඇති කරන්නාවූ, නුවණ ඇති කරන්නාවූ, මධ්‍යම ප්‍රතිපදාව භික්ෂුවකගේ සංසිඳීම පිණිස, විශිෂ්ට ඥානය පිණිස, අවබෝධ කිරීම පිණිස, නිර්වාණය පිණිස පවති යැයි මේ සඳහා කියනලදී.

§ 5.1 කතාවෙන් පහත හෙලීම හා උසස් කිරීම

මහණෙනි!
තොප කෙසේ අසන්නා පහත් කොට කතා නොකල යුතුද ?
කෙසේ අසන්නා උසස් කොට කතා නො කල යුතුද?
කියා දැන ගත යුතුය.

යයි, මවිසින් කියනලදී. කුමක් සඳහා මෙසේ කියන ලද්දේ ද ?

§ 5.1.1. .මහණෙනි,
දේසනා කිරීමේදී , කතා කිරීමේදී අසන්නා කෙසේ නම් පහත් කොට කතා කිරීමක් වන්නේද? අසන්නා කෙසේ නම් උසස් කොට කතා කිරීමක් වන්නේද?

යම් ධර්මයක් දේසනා කිරීමේදී මෙසේ කීවායයි සිතන්න.

Ex. i :-“පංච කාමයන්ට කැමතිව කාම සුඛයන්ට ගිජුව, ලාමකවූ, ග්‍රාම්‍යවූ, අනාර්යවූ , අනාර්‍ය්‍යවූ, අවැඩ පිණිස පවත්නාවූ, හීන වූ පස්කම් සැපයෙහි ගිජු සියල්ලෝම දුකට වෙහෙසට පත් වෙන්නෝය. පහත් වූ හීන වූ වැරදි පාරේ යන්නෝය.
කියා කියන්නේ නම් එය අසනවුන්ගෙන් කොටසක් පහත් කොට කතා කිරීමක් වන්නේය.

ඒ කියූ කාරණය සත්‍යයක් වුවද ඉදිරිපත් කල ආකාරය නොසුදුසුය. මෙසේ කීමෙන් සිත් බිඳීම් හා අර්බුද මතු වන්නේය.,

යම් කෙනෙක් දුක්වූ, අනාර්‍ය්‍යවූ, අවැඩ ගෙණ දෙන්නාවූ, ශරීරයට දුක් දෙන පිළිවෙතෙහි නොයෙදෙන්නාහුද, ඒ සියල්ලෝ දුක් නැත්තාහු, විනාශ නැත්තාහු, වෙහෙසීම් නැත්තාහු, දැවීම් නැත්තාහු, මනාව පිළිපන්නාහු ය” යි කියන්නේ නම්.
එම ප්‍රකාශයෙන් ඇතැමුන් ඉහලට ඔසවා, උසස් කොට කරන කථාවක් වෙයි..

Ex. ii :- “යම් කෙනෙකුන්ගේ භව තෘෂ්ණාව ප්‍රහීණ නොවූයේද, ඒ සියල්ලෝ දුක් සහිත වූවෝය , විනාශයට යන්නෝය. වෙහෙසට පමණක් පත් වන්නෝය. දැවීම් සහිත වන්නෝය, වැරදි ප්‍රතිපත්ති වලට පිළිපන්නාහුය”යි කියයි, නම්
අසන්නවුන්ගෙන් සමහරුන් පහත් කොට කථා කිරීමක් වෙයි.

“යම් කෙනෙකු විභව සංයොජනය ප්‍රහීණ කලේද, ඒ සියල්ලෝ දුක් නැත්තාහු, විනාශ නැත්තාහු, වෙහෙසීම් නැත්තාහු, දැවීම් නැත්තාහු, මනාව පිළිපන්නාහු ය” යි කියන්නේ නම්.
එම ප්‍රකාශයෙන් ඇතැමුන් ඉහලට ඔසවා, උසස් කොට කරන කථාවක් වෙයි..

මහණෙනි, මෙසේ කතා කිරීමෙන්ද ශ්‍රාවකයා , පහත හෙලීමද වෙයි. උසස් කොට තැබීමද වෙයි. එසේ කතා කිරීම ධර්ම යට නුසුදුසු වෙයි.

§ 5.1.2. . “මහණෙනි, අසන්නා පහත් ද නොකොට, උසස්ද නොකොට කතා කරන්නට හැක්කේ කෙසේද ?, ධර්මානුකුලව කෙසේ කතා කරන්නට හැකිද?

Ex. i :- “පංච කාමයන්ට කැමතිව කාම සුඛයන්ට ගිජුව, ලාමකවූ, ග්‍රාම්‍යවූ, අනාර්යවූ , අනාර්‍ය්‍යවූ, අවැඩ පිණිස පවත්නාවූ, හීන වූ පස්කම් සැපයෙහි ගිජු සියල්ලෝම දුකට වෙහෙසට පත් වෙන්නෝය. පහත් වූ හීන වූ වැරදි පාරේ යන්නෝය.” යැයි නොකියා

ඒ කතාව අර්බුද මතු නොවන සේ කියන්නට හැක්කේ., පුද්ගලවාදය ඉවත් කොට
මේ කාමයන් හි ඇලීම දුකට හා අනර්ථයට හේතු වන්නේය. ඒවායින් මිදීම දුකින් දුරු වීමට හේතු වන්නේය.

ආදී ලෙස අසන්නවුන්ගෙන් කිසිවෙකු පහත් කිරීමක් නොවන සේ, කිසිවෙකු උසස් කිරීමක් නොවන සේ කථා කිරීමෙන්ය. එසේ කතා කිරීම ධර්මානුකුලව කතාකිරීමක් වන්නේය..

යම් කෙනෙක් දුක්වූ, අනාර්‍ය්‍යවූ, අවැඩ ගෙණ දෙන්නාවූ, ශරීරයට දුක් දෙන පිළිවෙතෙහි නොයෙදෙන්නාහුද, ඒ සියල්ලෝ දුක් නැත්තාහුය, විනාශ නැත්තාහුය, වෙහෙසීම් නැත්තාහුය, දැවීම් නැත්තාහුය, මනාව පිළිවෙතෙහි පිළිපන්නාහු ය” යි කියන්නේ නැතිව
කම් සැපෙහි නොයෙදීම දුක් නැති, විනාශ නැති, වෙහෙස නැති, දැවීම් නැති, යහපත් ප්‍රතිපදාව ය” යි, කීම
කිසිවෙකු උසස් කිරීමක් නොවන සේ කථා කිරීමය . එසේ කතා කිරීම ධර්මානුකුලය.

Ex. ii :- “යම් කෙනෙක් දුක්වූ, අනාර්‍ය්‍යවූ, අවැඩ ගෙණ දෙන්නාවූ, ශරීරයට දුක් දෙන පිළිවෙතෙහි යෙදෙන්නාහු වෙත්ද, ඒ සියල්ලෝ දුක් සහිතවූ, විනාශ සහිතවූ, වෙහෙස සහිතවූ දැවීම් සහිතවූ, වරදවා පිළිපන්නෝය“යි නොකියා
මේ අත්තකිලමථානුයොගයෙහි යෙදීම දුක් සහිත වේ. විනාශ සහිත වේ. වෙහෙස සහිත වේ. දැවිලි සහිත වේ. වරදවා ගත් පිළිපැදීම වේය” යි, කීම කිසිවෙකු පහත් කිරීමක් නොවන සේ, කථා කිරීමෙන්ය. එසේ කතා කිරීම ධර්මානුකුලව කතාකිරීමක් වන්නේය.. .

. “යම් කෙනෙක් දුක්වූ, අනාර්‍ය්‍යවූ, අවැඩ ගෙණ දෙන්නාවූ, ශරීරයට දුක් දෙන පිළිවෙතෙහි නොයෙදෙන්නාහුද, ඒ සියල්ලෝ දුක් නැත්තාහුය, විනාශ නැත්තාහුය, වෙහෙසීම් නැත්තාහුය, දැවීම් නැත්තාහුය, මනාව පිළිවෙතෙහි පිළිපන්නාහු ය” යි නොකියා .
තමාහට දුකම ගෙන දෙන අත්ත කිලමතානු යෝගයන්හි නොයෙදීම. දුක් නැති, විනාශයක් නැති, වෙහෙසක් නැති, දැවිලි නැති, යහපත් පිළිවෙත වේ”යයි කීම කිසිවෙකු උසස් කිරීමක් නොවන කථා කිරීමය . එසේ කතා කිරීම ධර්මානුකුලය

Ex. iii :- “යම් කෙනෙකුන්ගේ භව තෘෂ්ණාව ප්‍රහීණ නොවූයේද, ඒ සියල්ලෝ දුක් සහිත වූවෝය , විනාශයට යන්නෝය. වෙහෙසට පමණක් පත් වන්නෝය. දැවීම් සහිත වන්නෝය, වැරදි ප්‍රතිපත්ති වලට පිළිපන්නාහුය”යි නොකියා,..
භව සංයොජනය ප්‍රහීණ නොවූ කල්හි භවය ප්‍රහීණ නොවේය” යි, කීම කිසිවෙකු පහත් කිරීමක් නොවන සේ, කථා කිරීමෙන්ය. එසේ කතා කිරීම ධර්මානුකුලව කතාකිරීමක් වන්නේය.. .

. “යම් කෙනෙකුන්ගේ භවසංයොජනය ප්‍රහීණ වූයේද, ඒ සියල්ලෝ දුක් නැත්තෝය , විනාශ නැත්තෝය, වෙහෙස නැත්තෝය, දැවිලි නැත්තෝය, යහපත් පිළිවෙතට පැමිණියෝය” යි නොකියා,…
භව සංයොජනය ප්‍රහීණවූ කල්හි භවය ප්‍රහීණ වේය” යි කීම
කිසිවෙකු උසස් කිරීමක් නොවන සේ කථා කිරීමය . එසේ කතා කිරීම ධර්මානුකුලය.

“මහණෙනි, මෙසේ කතා කිරීමෙන් අසන්නා පහත් කිරීමක් හෝ උසස් කිරීමක් සිදු නොවෙයි. එසේ කතා කිරීම ධර්මයට අනුකුල වෙයි.

“ කෙසේ අසන්නා පහත් කොට කතා නොකල යුතුද ?
කෙසේ අසන්නා උසස් කොට කතා නො කල යුතුද?
දැන ගත යුතුය.” කියා මවිසින් ප්‍රකාශ කලේ මේ සඳහාය.

[1160:-බුද්ධ පරිනිර්වාණයට සුළුවෙලාවකට පෙර භාග්‍යවතුන් වහන්සේ හමුවීමට ආ ආජීවක සුබද්‍ර මෙසේ ඇසීය. ” භවත් ගෞතමයාණනි, බොහෝ අන්‍ය ශාස්තෘවරු තමන් විමුක්තිය ලද්දෝය. අනුන්ද ඒ මගට පත් කරන්නෙමු’යි කියති, ඔවුන් ගෙන් කව්රුන් එසේ විමුක්තියට පත් වූවෝද? කවරෙක් එසේ නොවුවේයෙදැ”යි ඇසීය.
එවිට භාග්‍යවතුන් වහන්සේ දුන් පිළිතුර මේ සඳහන් කල උස්සාදන අපසාදන වලින් තොරව කතා කිරීමට අපුරු නිදසුනකි. භාග්‍යවතුන් වහන්සේ සුභද්‍ර පිරිවැඩියාට මෙසේ දේශනා කළේය.
සුභද්‍රය, ඔවුන් කවරෙක් බුදු වීද නොවීද යන්න තිබේවා. යම් ධර්ම විනයෙක්හි වනාහි උතුම් අෂ්ටාංගික මාර්ගය නොලැබෙන්නේ වේද, ඒ ධර්ම විනයෙහි ශ්‍රමණයෙකුදු නොලැබෙන්නේය. ඒ ධර්මවිනයෙහි දෙවෙනි ශ්‍රමණ තෙමේද නොලැබෙන්නේය. ඒ ධර්මවිනයෙහි තුන් වෙනි ශ්‍රමණ තෙමේද නොලැබෙන්නේය. ඒ ධර්ම විනයෙහි සතරවෙනි ශ්‍රමණ තෙමේද නොලැබෙන්නේය. සුභද්‍රය, යම් ධර්ම විනයෙක්හි වනාහි උතුම් අෂ්ටාංගික මාර්ගය ඇත්තේ වේද ඒ ධර්ම විනයෙහි ශ්‍රමණ තෙමේද ඇත්තේ වෙයි. ඒ ධර්ම විනයෙහි දෙවෙනි ශ්‍රමණ තෙමේද ඇත්තේ වෙයි. ඒ ධර්ම විනයෙහි තුන්වෙනි ශ්‍රමණ තෙමේද ඇත්තේ වෙයි. ඒ ධර්ම විනයෙහි සතරවෙනි ශ්‍රමණ තෙමේද ඇත්තේ වෙයි. සුභද්‍රය, මාගේ මේ ධර්ම විනයෙහි උතුම් අෂ්ටාංගික මාර්ගය ඇත්තේය…” යනුවෙන් ධර්ම දේශනා කල සේක

පස් දොරින් ලබන කාම අරමුණු නිමිති ලෙස ගෙන ඇතිවන සැපය හා භාවනාවෙන් ලබන ධ්‍යානයන් නිසා වන අභ්‍යන්තර සැපය යන දෙකෙහි වෙනස දැන ඒ අතරෙන් උතුම් සැපය පමණක් තමන් තුලින්ම අභ්‍යන්තරයෙන් විඳිය යුතුය

... යි, මවිසින් කියන ලදී.
මෙය කුමක් සඳහා කියන ලදද?

§ 6.1 කාම සැපය

මහණෙනි, කාම ගුණ පසක් වෙත්.
කවර පසක්ද යත්?

  • ඇසින් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මනාපවූ ප්‍රිය ස්වභාව ඇත්තාවූ කාමය පිණිස පවත්නාවූ, ඇල්ම කරන්නාවූ රූපයෝ වෙත්.
  • කණින් දත යුතුවූ, ඉෂ්ටවූ, කාන්තවූ, මනාපවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමය පිණිස පවත්නාවූ, ඇළුම් කටයුතුවූ, ශබ්දයෝ වෙත්.“
  • නාසයෙන් දතයුතුවූ, ගන්ධයෝ ඉෂ්ටවූ, කාන්තවූ, මනාපවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමය පිණිස පවත්නාවූ, ඇලුම් කටයුතුවූ ගන්ධයෝ වෙත්.
  • ‘දිවෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කාන්තවූ, මනාපවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමය පිණිස පවත්නාවූ, ඇලුම් කටයුතුවූ රසයෝ වෙත්.
  • “කයින් දතයුතුවූ, ඉෂ්ටවූ, කැමැතිවන්නාවූ මන වඩන්නාවූ ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම්සැප එලවන්නාවූ, ඇලුම් කටයුතුවූ ස්පර්ශයෝ වෙත්.

    මහණෙනි, මේවා පඤ්ච කාම ගුණයෝ වෙත්.

“මහණෙනි, මේ පස්කම් ගුණයන් නිසා යම් සැපයක් සොම්නසක් උපදීද, මේ සැපය සේවනය නොකටයුතු, නොවැඩියයුතු, බහුල ලෙස නොසෙවිය යුතු කාමයන්ගේ සැපයයිද, ඒ සැපය අසුචි වැනි සැපයකැයිද , පෘථග්ජන සැපයකැයිද, අනාර්‍ය්‍ය සැපයකැයිද කියනු ලැබේ. මේ කම්සැපයට භයවිය යුතුයයි මම කියමි.

§ 6.2 . ධ්‍යාන සැපය

§ “මහණෙනි,
මේ ශාසනයෙහි භික්ෂුවක්

  • සිත කාම අරමුණු වලින් මිදී ඒවායින් නිදහස් ව .- (විවිච්චේව කාමෙහි )
  • භාවනා අරමුණෙහි සිත එකඟ කරගෙන ඉතිරි නීවරණ සතර වන ව්‍යාපාදය, උද්දච්චය, කුක්කුච්චය, ථිනමිද්ධය යන සතරින්ද මිදුන විට (විවිච්චෙව අකුසලෙහි )
  • විතක්ක , විචාර සහිත (සවිතක්කන් සවිචාරන්)
  • විවේකය ලබයි. (විවෙකජන් )
  • සිතෙහි ප්‍රීතිය සහ කයෙහි සැපය සහිත (පීති සුඛං)
    පළමුවන ධ්‍යානයට පැමිණ වාසය කරයිද,

විතක්ක විචාර නැතිව භික්ෂුවගේ සිත අරමුණෙහි ම පිහිටයිද , (අවිතක්කං, අවිචාරං) නීවරණ සංසිදී මෙන් චිත්ත ඒකාග්‍රතාවය ලබයිද . ගම් (සමාධිජං)බලවත් වූ එකඟ බවක් සිතෙහි ඇති වේද . ( චිත්ත එකාග්‍ර බව)එයින් අධ්යාත්මයෙහිම ප්‍රසාදය ඇති වෙයිද.
(ප්‍රසාදය ඇති විඳීම)
මේ සමාධිය තුලින්උපන් සැපයත් ප්‍රීතියත් ඉතා ප්‍රබල ලෙස ඇති වන . (පීති සුඛං) ද්විතීයධ්‍යානයට පැමිණ වාසය කරයිද .

  • භික්ෂුව පීතිය කෙරෙහි ඇති කැමැත්ත අත් හරින්නට වෙයිද .
  • ආදීනවය දැක ප්‍රීතිය කෙරෙහි කලකිරුණු භික්ෂුව ප්‍රීතියේ නොඇලෙයිද.
  • භික්ෂුව මෙසේ සිතෙහි පීතිය සන්සින්දුවීමෙන් සිත උපේක්ෂාවට පත්වේද.
  • එනමුත් කය සැපයක් විඳියිද.
  • සතියෙන් යුක්තව ඔහු උපේක්ශා සහගත සැප විහරණය කයෙන් විඳියිද . මෙසේ භික්ෂුව තුන්වන ධ්‍යානය තුලින් සැපයක් ලබයිද . ( පීතියාච විරාගා උපේක්කොච විහරති සතොච සම්පජානෝ සුඛංච කායෙන පටිසංවේදෙති)

ප්‍රීතිය ඉක්මවීමෙන් උපෙක්ෂා ඇත්තේ වාසය කෙරෙයිද . සිහියෙන් යුක්තවූයේද , කයින් සැප විඳියිද . යම් ධ්‍යානයක් උපෙක්ෂා ඇත්තේ, සිහියෙන් යුක්තවූයේ, සැප විහරණ ඇත්තේයයි ආර්‍ය්‍යයෝ කියත්ද, ඒ තුන්වන ධ්‍යානයට පැමිණ වාසය කෙරෙයිද .

සැපය මේ උපේක්ෂාව නිසා ඇති සැපයද රළුය කියා ඒ රළුබව දකින ඔහු ඒ තුන්වන ධ්‍යානයේ වූ ඒ  සැපයද අත් හරිමින් සියළු වින්දනයන්ගෙන් සිත මුදා ගෙන සතරවන ධ්‍යානය ලබයිද .

මේ එක්ක එක් ධ්‍යානයන් හිදී භික්ෂුව ක්‍රම ක්‍රමයෙන් උසස් වන්නාවූ අති ශ්‍රේෂ්ඨ වූ සැපයන් අත් විඳියි, මේ ධ්‍යාන සැපයන් භික්ෂුව තමා තුලින්ම අත් විඳියි. ,

මෙය සේවනය කටයුතු, වැඩියයුතු, බහුල වශයෙන් කළයුතු, කාමයෙන් වෙන්වූ සැපයයිද,
විවේකයෙන් සපිරුණු සැපයයිද,
සන්සින්දීම් සහිත සැපය යයිද,
සම්බොධි සැපයයිද කිවහැකි සැපයක්ය ද .
මේ සැපයට නොබිය විය යුතුයයි කියමි. 1260
මේ සැපය විඳිය යුතු වන්නේය. නිතර නිතර විඳිය යුතු වන්නේය. වර්ධනය කරගත යුතු වන්නේය. මේ සැපයට බිය නොවිය යුතුය.

[1260:- සතුටින් සිටීම නොහොත් සැපය මේ සාසනයේ තහනම් කර නැත. භාග්‍යවතුන් වහන්සේ දේසනා කලේ ඉහලම සතුට හා සැපය තෝරාගෙන ඉන් සතුටුවන ලෙසයි. මේ ප්‍රතිපදාවේ යෙදෙන භික්ෂුවකට ධ්යානයන්හි ලබන සැපය තරම් ඊට කිට්ටු කරන්නට තරම්වත් හැකි අන් සැපයක් නැත. නිර්වාණාවබෝධය පිණිස ධ්‍යානයන් අනවශ්‍යයැයි කියනා භික්ෂුන්ද අද සිටිති. ධ්‍යානයන් නොලබා මාර්ගඵල ලැබුවෙක් ගැන අසන්නට නොලැබෙන තරම්ය.]

පස් දොරින් ලබන කාම අරමුණු නිමිති ලෙස ගෙන ඇතිවන සැපය හා භාවනාවෙන් ලබන ධ්‍යානයන් නිසා වන අභ්‍යන්තර සැපය යන දෙකෙහි වෙනස දැන ඒ අතරෙන් උතුම් සැපය අවබෝධ කරගෙන ඉන් උතුම් සැපය පමණක් තමන් තුලින්ම අභ්‍යන්තරයෙන් විඳිය යුතුය’ යි මේ සඳහා කියන ලදී.

[1261: රහෝවාද යන වචනයේ වචනාර්ථය රහස් කතාව යන්නය. සම්මුඛ ඛීන වාද යන්නෙහි අර්ථය මුහුණ ටම කීමය. මේ වචන දෙක යොදා ඇත්තේ හුදු වචනාර්තය හැඟවීම පිණිස නොවන බව වටහා ගත යුතුය.]

§අදාළ පුද්ගලයා නැති තැන ඔහුගේ අප්‍රසිද්ධ සිදුවීම් ගැන නොකිය යුතුය. සාකච්චාවට නොගත යුතුය. “

... යි, මවිසින් කියන ලදී. .

එය කුමක් සඳහා කියන ලදද?

  • මහණෙනි,
    යම් සිදුවීමක්, අදහසක් තොරතුරක් ගැන කතා කරන්නේ නම් “ඒ කියනා අප්‍රසිද්ධ සිද්ධිය, කිසිදා සිදු නොවූවක්ය, බොරුවක්ය, වරදවා තේරුම්ගැනීමකි. ඒ ගැන කරන කතාව ඵලයක් නැති, නිෂ්ඵල කතාවකි. කිසිවෙකුට යහපතක් නොසලසන කතාවකි” කියා දන්නේද, ඒ කාරණය අදාළ අය නැති තැනකදී පවා කතා නොකළ යුතුය.
  • යම් අප්‍රසිද්ධ සිද්ධියක්, සිදු වූවක්ය, එය සත්‍යය, එනමුත් ඒ ගැන කතාව , ඵලයක් නැති, නිෂ්ඵල කතාවකි , අවැඩ පිනිස අනර්ථය පිණිස වන්නේය, කියා දන්නේද, ඒ කාරණය අදාළ අය නැති තැනක පවා කතා නොකළ යුතුය.
  • යම් අප්‍රසිද්ධ සිද්ධියක්, සිදු වූවක්ය, සත්‍යය, එනමුත් ඒ ගැන කීම වැඩ පිනිස, යහපත පිණිස, අර්ථය පිණිස වන්නේය, කියා දන්නේද, ඒ කාරණය අදාළ අය නැති තැනක වුවද සුදුසු වෙලාවක කතා කළ හැකිය.

අදාළ පුද්ගලයා නැති තැන අප්‍රසිද්ධ සිදුවීම් ගැන නොකිය යුතුය. සාකච්චාවට නොගත යුතුය. ” යි කියා කියන ලද නම් මෙය සඳහා කියන ලදී..

අදාළ පුද්ගලයා ඉදිරියේදී පවා කෙනෙකුගේ අප්‍රසිද්ධ සිදුවීම් ගැන නොකිය යුතුය. සාකච්චාවට නොගත යුතුය. “

... යි, මවිසින් කියන ලදී.
එය කුමක් සඳහා කියන ලදද?

  • මහණෙනි,
    යම් සිදුවීමක්, අදහසක් තොරතුරක් ගැන කතා කරන්නේ නම් “ඒ කියනා අප්‍රසිද්ධ සිද්ධිය, කිසිදා සිදු නොවූවක්ය, බොරුවක්ය, වරදවා තේරුම්ගැනීමකි. ඒ ගැන කරන කතාව ඵලයක් නැති, නිෂ්ඵල කතාවකි. කිසිවෙකුට යහපතක් නොසලසන කතාවකි” කියා දන්නේද, ඒ කාරණය අදාළ අය ඉදිරියේදී පවා කතා නොකළ යුතුය. සාකච්චාවට නොගත යුතුය.
  • යම් අප්‍රසිද්ධ සිද්ධියක්, සිදු වූවක්ය, එය සත්‍යය, එනමුත් ඒ ගැන කතාව , ඵලයක් නැති, නිෂ්ඵල කතාවකි , අවැඩ පිනිස අනර්ථය පිණිස වන්නේය, කියා දන්නේද, ඒ කාරණය අදාළ අය ඉන්නා තැනක පවා කතා නොකළ යුතුය. සාකච්චාවට නොගත යුතුය.
  • යම් අප්‍රසිද්ධ සිද්ධියක්, සිදු වූවක්ය, සත්‍යය, ඒ ගැන කීම යහපත පිනිස, අසන්නාගෙ වර්ධනය පිණිස , අර්ථය පිණිස වන්නේය, කියා දන්නේද, ඒ කාරණය අදාළ අය ඉදිරියේ සුදුසු වෙලාවක කතා කළ හැකිය.

අදාළ පුද්ගලයා ඉදිරියේදී පවා (සම්මුඛ ඛීන වාද) අප්‍රසිද්ධ සිදුවීම් ගැන නොකිය යුතුය. “යි කියා කියන ලද නම් මෙය සඳහා කියන ලදී..

§ 9. “මහණෙනි,

ඉක්මනින් ඉක්මනින්, වේගයෙන් කතා නොකළ යුතුය.
සාමාන්‍ය වේගයෙන් කතා කලයුතුය

……”යි දේසනා කලෙමි.
මෙය කුමක් සඳහා කියන ලදද?

  • ඉක්මනින් ඉක්මනින්, වේගයෙන් කතා කරන්නාට , වැඩි වෙලා නොගොස්ම මහන්සිය දැනේ. සිරුර වෙහෙස වේ. සිතද පීඩාවෙයි. ස්වරයද බිඳෙයි. උගුරද බැරැන්ඩි වෙයි.
  • ඉක්මනින් වේගයෙන් කරන කතාව පැහැදිලි නැත. තේරුම් ගන්නට අපහසු වෙයි. අසන්නාට අමිහිරි වෙයි.
  • සාමාන්‍ය වේගයෙන් කතා කරන විට , දේශකයාට කායික අපහසුවක් නොවේ. වෙහෙසක් නොවේ. සිත ද නොපැටලේ. වචන නොපැටලේ.
  • අසන්නාට හොඳින් තේරුම් ගත හැකි වේ. මිහිරි වේ. අසන්නට ප්‍රිය වේ. ,

ඉක්මනින් ඉක්මනින්, වේගයෙන් කතා නොකළ යුතුය. සාමාන්‍ය වේගයෙන් කතා කලයුතුය” යි , යි කියා කියන ලද නම් මෙය සඳහා කියන ලදී..

§ 10. මහණෙනි,

“තමාගේ කථා ව්‍යවහාරය තරයේ නොගන්න. ඒ ඒ පළාතේ කථා ව්‍යවහාරය නොඉක්මවන්න, ඒ පළාතේ යොදන වචන වෙනස් මුත් තේරුම වැටහෙන පරිදි කතා කරන්න

…..යි මවිසින් කියන ලදී.
මෙය කුමක් සඳහා කියන ලදද?

§ 10. 1. මහණෙනි,
කෙසේ නම් කථා ව්‍යවහාර තරයේ ගන්නේද ජනපද ව්‍යවහාර ඉක්මවන්නේද?

මහණෙනි,

ඇතැම් පළාත්වල, ජනපදවල මිනිස්සු එක්තරා භාණ්ඩයකට තලිය යයි කියත්,
ඇතැම් පළාත්වල පාත්‍රය යි කියත්.
ඇතැම් පළාත්වල විත්තය යි කියත්,
සරාව යයි කියත්,
ඇතැම් පළාත්වල ධාරොපය යි කියත්,
පොණ යි කියත්.
පිසීලයි කියත්.

මෙසේ ඒ ඒ පළාත්වල යම් යම් පරිද්දෙන් නමක් ව්‍යවහාර කරද්ද, ඒ ඒ නම් තදින් අල්වාගෙන මේ නම ම සත්‍යයි අනික් නම් වැරදි යැයි ව්‍යවහාර කරයි.

මහණෙනි, මෙසේ තමාගේ කථා ව්‍යවහාරය දැඩිකොට අල්වා ගැනීමද, ලෝක ව්‍යවහාරය ඉක්මවා යාම වේ. මෙය අර්බුද ආරවුල් ඇති කරයි.

§ 10. 2. “මහණෙනි,
කෙසේ කථා ව්‍යවහාරය තරයේ නොගනීද? ලෝක ව්‍යවහාරය ඉක්මවා නොයාද,?

“මහණෙනි,
ඇතැම් පළාත්වල මිනිස්සු එක්තරා භාණ්ඩයකට තලිය යයි කියත්, ඇතැම් පළාත්වල පාත්‍රයයි කියත්. ඇතැම් පළාත්වල විත්තයයි කියත්, සරාව යයි කියත්, ඇතැම් පළාත්වල ධාරොපයයි කියත්, පොණ යයි කියත්. පිසීලයයි කියත්.

මෙසේ යම් යම් පළාත්වල හඳුනත්ද, ආයුෂ්මත්නි, මෙම නම මේ දෙය සඳහා ව්‍යවහාර කෙරෙත් යයි, දැන ඒ පළාතේදී ඒ භාණ්ඩය සඳහා ඒ ඒ නම ව්‍යවහාර කෙරේ නම්, යි ඒ තමන් දන්නා නම අල්ලා නොගැනීම වෙයි.

මහණෙනි, මෙසේ කථා ව්‍යවහාරය තදින් අල්වා නොගැනීමද, ලෝක ව්‍යවහාරය නොඉක්මවීමද වේ. මේ ආරවුල් අර්බුද ඇති නොවන්නට හේතු වේ.

කථා ව්‍යවහාරය තදින් අල්වා නොගන්න ය. ලෝක ව්‍යවහාරය නො ඉක්මවන්න” යයි මෙසේ මවිසින් කියන ලදද, මෙය මේ සඳහා කියන ලදී.

§ 11.1 පංච කාමයන්ට ඇලී ජීවත්වීමෙන් නිරතුවම අසන්තෘප්තව, අසහනයෙන් හා ආතතියෙන් යුත් මනසින් , දුකින් වෙහෙසින් අසහනයෙන් හිඳී. ඒ කාමයන් නිසා විඳිනා සැපය හීන ය. ලාමක ය, ග්‍රාම්‍යය ය, පෘථග්ජනයන්ටම අයත් ය, අනාර්‍ය්‍යය ය අවැඩ පිණිස වන්නේය. විනාශය පිණිසම වන්නේය. එය වැරදි මාර්ගයය. එ නිසා සිත් තැවුල් අර්බුද ඇතිවීම සිදු වන්නේය. එය සරණ (අර්බුද ඇතිකරන) ධර්මයක්ය.

§ 11.2. කාමයන් හි සැප ඇතැයි, සන්තෝෂයක් ඇතැයි යන මිත්‍යා විශ්වාසය දුරු කොට එහි ආදීනව දැන කාමයෙන් වෙන්වීම, දුකින් , අසන්තෘප්ත අසහනයෙන් වෙන් වීමට මගය. එය හරි මගය. ඒ නිසා අර්බුද ආරවුල් නැති වෙන්නේය. ඒ අරණ ධර්මයක්ය

§ 11.3. විමුක්තිය පතා කයට දුක් පීඩා දෙන අත්තකිලමතානු යෝග වල යෙදෙන්නාද දුකම ලබයි. කිසිදු සැපයක් නැති , මේ පිළිවෙත් කයේ හා සිතේ දුක පිණිස පමණක් ම හේතු වෙයි. විනාශය පිණිස හේතු වෙයි. දැඩි වෙහෙස සහිත වෙයි. දැවීම් සහිත වෙයි. තමනට දැඩි වෙහෙස (කිල) සහිත වේ. දැවීම් සහිතවූ, වරදවා පිළිපැදීම වේ. දුක්වූ, අනාර්‍ය්‍යවූ, අවැඩ ගෙණ දෙන්නාවූ, ශරීරයට දුක් දෙන පිළිවෙත යහපත් ප්‍රතිපදාව නොවේ. එය වැරදි මාර්ගයය. එ නිසා සිත් තැවුල් අර්බුද ඇතිවීම සිදු වන්නේය. එය සරණ (අර්බුද ඇතිකරන) ධර්මයක්ය.. “

§ 11.4. මේ අන්ත දෙකට නොඑළඹ ප්‍රඥා චක්ෂුසය ඇති කරන්නාවූ, නුවණ ඇති කරන්නාවූ, තථාගතයන් වහන්සේ විසින්ම අවබෝධ කොට අනුදැන වදාලාවූ, ‘මධ්‍යම ප්‍රතිපදාව’ අනුගමනය කිරීම, සංසිඳීම පිණිස, විශිෂ්ට ඥානය පිණිස, අවබෝධය පිණිස, නිර්වාණය පිණිස පවතී. ඒ නිසා අර්බුද ආරවුල් නැති වෙන්නේය. ඒ අරණ ධර්මයක්ය

§ 11.5 .“දේසනා කිරීමේදී , කතා කිරීමේදී අසන්නා පහත් කොට කතා කිරීම හෝ අසන්නා උසස් කොට කතා කිරීම නුසුදුසුය. ඒ අර්බුද ආරවුල් ඇතිවීමට හේතු වන්නේය. එය වැරදි මාර්ගයය. එ නිසා සිත් තැවුල් අර්බුද ඇතිවීම සිදු වන්නේය. එය සරණ (අර්බුද ඇතිකරන) ධර්මයක්ය.

§11.6 , එසේ පුද්ගල වාදයෙන් තොරව ක්‍රියාව ගැන පමණක් කීම, ප්‍රතිපලය, ආදීනවය ගැන කීම ධර්මානුකුලය. එය යහපත් පිළිවෙතවේ. එහෙයින් මේ පිළිවෙත කෙලෙස් රහිතවේ. ඒ නිසා අර්බුද ආරවුල් නැති වෙන්නේය. ඒ අරණ ධර්මයක්ය

§11.7 . .‘මහණෙනි, පස් දොරින් ලබන කාම අරමුණු නිමිති ලෙස ගෙන ඇතිවන සැපය හා භාවනාවෙන් ලබන ධ්‍යානයන් නිසා වන අභ්‍යන්තර සැපය යන දෙකෙහි වෙනස දැන ඒ අතරෙන් උතුම් සැපය වන ධ්‍යාන සැපය පමණක් තමන් තුලින්ම අභ්‍යන්තරයෙන් විඳිම , දුක් නැත්තාවූ විනාශ නැත්තාවූ වෙහෙස නැත්තාවූ දැවීම් නැත්තාවූ යහපත් පිළිවෙත වේ. එහෙයින් මේ පිළිවෙත කෙලෙස් රහිතවේ. ඒ නිසා අර්බුද ආරවුල් නැති වෙන්නේය. ඒ අරණ ධර්මයක්ය

§ 11. 8. යම් සිදුවීමක්, අදහසක් තොරතුරක් ගැන කතා කරන්නේ නම් “ඒ කියනා අප්‍රසිද්ධ සිද්ධිය, කිසිදා සිදු නොවූවක්ය, බොරුවක්ය, වරදවා තේරුම්ගැනීමකි. ඒ ගැන කරන කතාව ඵලයක් නැති, නිෂ්ඵල කතාවකි. කිසිවෙකුට යහපතක් නොසලසන කතාවකි” කියා දන්නේද, ඒ කාරණය අදාළ අය නැති තැනකදී පවා කතා නොකළ යුතුය. එසේ කිරීම දුක් සහිතවූ විනාශ සහිතවූ වෙහෙස සහිතවූ දැවීම් සහිතවූ වැරදි පිළිවෙතවේ. එහෙයින් මේ ධර්මය කෙලෙස් සහිතය. ඒ අර්බුද ආරවුල් ඇතිවීමට හේතු වන්නේය. එය වැරදි මාර්ගයය. එය සරණ (අර්බුද ඇතිකරන) ධර්මයක්ය.

§ 11. 9, මහණෙනි, යම් අප්‍රසිද්ධ සිද්ධියක්, සිදු වූවක්ය, එය සත්‍යය, එනමුත් ඒ ගැන කතාව , ඵලයක් නැති, නිෂ්ඵල කතාවකි , අවැඩ පිනිස අනර්ථය පිණිස වන්නේය, කියා දන්නේද, ඒ කාරණය අදාළ අය නැති තැනක පවා කතා නොකළ යුතුය. එසේ කිරීම දුක් සහිතවූ විනාශ සහිතවූ වෙහෙස සහිතවූ දැවීම් සහිතවූ වැරදි පිළිවෙතවේ. එහෙයින් මේ ධර්මයය කෙලෙස් සහිතවේ. එය වැරදි මාර්ගයය. එ නිසා සිත් තැවුල් අර්බුද ඇතිවීම සිදු වන්නේය. එය සරණ (අර්බුද ඇතිකරන) ධර්මයක්ය.

§ 11.10 . මහණෙනි, යම් අප්‍රසිද්ධ සිද්ධියක්, සිදු වූවක්ය, සත්‍යය, එනමුත් ඒ ගැන කීම වැඩ පිනිස, යහපත පිණිස, අර්ථය පිණිස වන්නේය, කියා දන්නේද, ඒ කාරණය අදාළ අය නැති තැනක වුවද සුදුසු වෙලාවක කතා කිරීම දුක් නැත්තාවූ විනාශයක් නැත්තාවූ වෙහෙස නැත්තාවූ දැවීම් නැත්තාවූ යහපත් පිළිවෙතවේ. එහෙයින් එසේ කිරීම කෙලෙස් රහිතවේ. ඒ නිසා අර්බුද ආරවුල් නැති වෙන්නේය. ඒ අරණ ධර්මයක්ය

§ 11.11. මහණෙනි, යම් සිදුවීමක්, අදහසක් තොරතුරක් ගැන කතා කරන්නේ නම් “ඒ කියනා අප්‍රසිද්ධ සිද්ධිය, කිසිදා සිදු නොවූවක්ය, බොරුවක්ය, වරදවා තේරුම්ගැනීමකි. ඒ ගැන කරන කතාව ඵලයක් නැති, නිෂ්ඵල කතාවකි. කිසිවෙකුට යහපතක් නොසලසන කතාවකි” කියා දන්නේද, ඒ කාරණය අදාළ අය ඉදිරියේදී පවා කතා නොකළ යුතුය. සාකච්චාවට නොගත යුතුය. , මේ ගැන කතා කිරීම දුක් සහිතවූ විනාශ සහිතවූ වෙහෙස සහිතවූ දැවීම් සහිතවූ වැරදි පිළිවෙතවේ. එහෙයින් එසේ කතා කිරීම කෙලෙස් සහිතවේ. එය වැරදි මාර්ගයය. එ නිසා සිත් තැවුල් අර්බුද ඇතිවීම සිදු වන්නේය. එය සරණ (අර්බුද ඇතිකරන) ධර්මයක්ය.

§ 11.12 . “මහණෙනි, යම් අප්‍රසිද්ධ සිද්ධියක්, සිදු වූවක්ය, එය සත්‍යය, එනමුත් ඒ ගැන කතාව , ඵලයක් නැති, නිෂ්ඵල කතාවකි , අවැඩ පිනිස අනර්ථය පිණිස වන්නේය, කියා දන්නේද, ඒ කාරණය අදාළ අය ඉන්නා තැනක පවා කතා නොකළ යුතුය. සාකච්චාවට නොගත යුතුය. එසේ කිරීම දුක් සහිතවූ විනාශ සහිතවූ වෙහෙස සහිතවූ දැවීම් සහිතවූ වැරදි පිළිවෙතවේ. එහෙයින් මේ ධර්මය කෙලෙස් සහිතවේ. එය වැරදි මාර්ගයය. එ නිසා සිත් තැවුල් අර්බුද ඇතිවීම සිදු වන්නේය. එය සරණ (අර්බුද ඇතිකරන) ධර්මයක්ය.


§ 11.13. “මහණෙනි, යම් අප්‍රසිද්ධ සිද්ධියක්, සිදු වූවක්ය, සත්‍යය, ඒ ගැන කීම යහපත පිනිස, අසන්නාගෙ වර්ධනය පිණිස , අර්ථය පිණිස වන්නේය, කියා දන්නේද, ඒ කාරණය අදාළ අය ඉදිරියේ සුදුසු වෙලාවක කතා කළ හැකිය එසේ කීම දුක් නැත්තාවූ විනාශ නැත්තාවූ වෙහෙස නැත්තාවූ දැවීම් නැත්තාවූ යහපත් පිළිවෙතවේ. එහෙයින් එසේ කතා කිරීම කෙලෙස් රහිතවේ. ඒ නිසා අර්බුද ආරවුල් නැති වෙන්නේය. ඒ අරණ ධර්මයක්ය

§ 11.14. මහණෙනි, ඉක්මනින් ඉක්මනින්, වේගයෙන් කතා නොකළ යුතුය.
සාමාන්‍ය වේගයෙන් කතා කලයුතුය.
එසේ වේගයෙන් කතා කිරීමෙන් හරි අර්ථය නොකියවෙන්නේය. එසේ හෙයින් අසන්නා තුල සැක හා රිසි නොවීම වන්නේය. එය වෙහෙසීම් සහිතවූ දැවීම් සහිතවූ වැරදි පිළිවෙත වේ. එහෙයින් එසේ කතා කිරීම කෙලෙස් සහිතවේ. එය වැරදි මාර්ගයය. එ නිසා සිත් තැවුල් අර්බුද ඇතිවීම සිදු වන්නේය. එය (අර්බුද ඇතිකරන) සරණ ධර්මයක්ය.

§ 11.15 . මහණෙනි, සාමාන්‍ය වේගයෙන් කතා කලයුතුය . එසේ සාමාන්‍ය වේගයෙන් කතා කිරීමෙන් හරි අර්ථය කියවෙන්නේය. එසේ හෙයින් අසන්නා තුල සැක ඇති නොවී අවබෝධය සිදු වන්නේය. එය වෙහෙසීම් රහිතවූ දැවීම් තොර නිවැරදි පිළිවෙත වේ. එහෙයින් එසේ කතා කිරීම කෙලෙස් රහිතවේ. ඒ නිසා අර්බුද ආරවුල් නැති වෙන්නේය. ඒ අරණ ධර්මයක්ය

§11.16. “මහණෙනි, තමාගේ කථා ව්‍යවහාර තරයේ අල්ලා ගන්නේද , ඊට වෙනස්ව ඇති ජනපද ව්‍යවහාර නොසලකා තමාගේ වචන වලින් කතා කරයි ද , එසේ කිරීම දුක් සහිතවූ විනාශ සහිතවූ වෙහෙසීම් සහිතවූ දැවීම් සහිතවූ වැරදි පිළිවෙත වේ. එහෙයින් එසේ කතා කිරීම කෙලෙස් සහිතවේ. එය වැරදි මාර්ගයය. එ නිසා සිත් තැවුල් අර්බුද ඇතිවීම සිදු වන්නේය. එය සරණ (අර්බුද ඇතිකරන) ධර්මයක්ය.

§11.17 . “මහණෙනි, තමාගේ කථා ව්‍යවහාර තරයේ නොගන්නේද , ඊට වෙනස්ව ඇති ජනපද ව්‍යවහාර අනුව කතාකරන්නේද , එසේ කිරීම දුක් නැත්තාවූ විනාශ නැත්තාවූ වෙහෙස නැත්තාවූ දැවීම් නැත්තාවූ යහපත් පිළිවෙත වේ. එහෙයින් මේ එසේ කතා කිරීම කෙලෙස් රහිතවේ. ඒ නිසා අර්බුද ආරවුල් නැති වෙන්නේය. ඒ අරණ ධර්මයක්ය

§ 14.. “මහණෙනි, එහෙයින් මෙසේ කෙලෙස් සහිතවූ ධර්මයන්ද දැන ගන්නෙමු. කෙලෙස් රහිතවූ ධර්මයද දැන ගන්නෙමු. කෙලෙස් සහිතවූ ධර්මයද දැන කෙලෙස් රහිතවූ ධර්මයද දැන කෙලෙස් රහිත අරණ ප්‍රතිපදාවෙහි පිළිපදින්නෙමු”යි, තොප විසින් හික්මිය යුතුයි. වදාළේය.

මහණෙනි, සුභූති කුලපුත්‍රයා1263 කෙලෙස් රහිත ප්‍රතිපදාවට පිළිපන්නෙකැ’යි , භාග්‍යවතුන් වහන්සේ වදාළේය.

[1263:- සුභූති කුල පුත්‍රයා, යනු සුදත්ත නොහොත් අනාථ පිණ්ඩික සිටුතුමාගේ බාල සොහොයුරාය. ජේතවන ආරාමය පුජා කල දින ඔහු සසුන් ගත විය. පසු කලෙක භාග්‍යවතුන් වහන්සේ, ඔහු අරණ විහාරි භික්ෂුන් (අර්බුද නැතිව වසනා භික්ෂුන්) අතරෙන් මුල් තැන තබා වදාළ සේක.]

භාග්‍යවතුන් වහන්සේ මෙසේ අරණ විභංග සුත්‍රයේ විභංගයද දේශනා කොට වදාළසේක. සතුටු සිත් ඇත්තාවූ ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගත්තාහුය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.