MN 03-04-08. උද්දේස විභංග සූත්‍රය

පාළි සුත්‍ර සජ්ජායනය

සත්වයා සොයන්නේ සැපයමය. ඔහු දුකින් මිදීම පිණිසම සැප සොයයි. අශෘතවත් පෘථග්ජන මිනිසා පන්ච කාමයන් නිසා සැප විඳින්නෙමි යැයි පතා බාහිර අරමුණු අල්වාගෙන ඒවා යෙහි ඇති සුළු වූ ආශ්වාදයන් හි ඇලෙයි. විපල්ලාසවූ සිතින් මේ කාමයන් ඇසුරු කිරීමෙන් ඔහුගේ සිත , විඥාණය වික්ෂිප්ත වේ. දඩාවතේ යයි. මේ වැදගත් සුත්‍ර දෙසනාවේ මුලින්ම මේ උගුලින් ගැලවී ඉන්නට හැකි ආකාරය කියැවේ. සසුන්ගත වී භාවනාවෙහි යෙදෙන භික්ෂුන් වහන්සේලා මේ බාහිර අරමුණු වලින් වෙන්ව මේ උගුලින් ගැලවී ඉන්නට සමත් වුවත්, සිත සන්සුන් කරගෙන එක් එක් ධ්‍යාන මට්ටම් වලට යන විට ඒ ධ්‍යාන සැපයන් නිසා අභ්‍යන්තර අරමුණු ලෙස ඒවා නිසා ඇතිවන සැපයට බැඳෙන්නට ඉඩ කඩ ඇත. ඒ අන්තරාවෙන් ගැලවෙන්නටද මේ සුත්‍රයේ උපදෙස් දී ඇත.

සුත්‍ර විවරණය පළමු දේසනාව 1

§ 1. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි, භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම්වූ අනේපිඩු මහසිටුහුගේ ආරාමයෙහි වැඩ වසන සේක.

එකල්හි දිනෙක භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට “මහණෙනි” කියා ආමන්ත්‍රණය කළ සේක.
“පින්වතුන් වහන්සැයි” ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.
භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළේය.

§ 2. “මහණෙනි, නුඹලාට උද්දෙසයත් විභංගයත් (මාතෘකාවද විස්තරයද)1249 දේශනා කරන්නෙමි.
එය අසව්. යහපත්කොට මෙනෙහිකරව්. කියන්නෙමි” යනුයි.
“එසේය, ස්වාමීනි,” කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.

[1249: මෙහි පළමුව භික්ෂුන් අමතා තමන් වහන්සේ විසින් උද්දේසයද විභංගයද දේසනා කරන්නෙමැයි දේසනා කරමි ‘යි සඳහන් වුවත්, භාග්‍යවතුන් වහන්සේ උද්දේසය පමණක් දේසනා කොට ආපසු ගියේ මන්දැයි අටුවාවෙහි වත් විස්තර කර නැත. චීන මජ්ජිම ආගමෙහි භාග්‍යවතුන් වහන්සේ උද්දේසය හා විභංගය දේසනා කරන්නෙමි යැයි වෙනුවට ඇත්තේ ධර්මයක් දේසනා කරමි.’ කියා පමණකි. එහෙයින් සුත්‍රයේ භාග්‍යවතුන් වහන්සේ විසින් උද්දේසය ද මහා කච්චාන ස්වාමින්වහන්සේ විසින් නිද්දේසයද දේසනා කොට ඇති නිසා බොහෝවිට මේ පදය සංගීතිකාරක භික්ෂුන් වහන්සේලා විසින් ඇතුල් කරන්නට ඇතැයි සිතෙයි.]

§ 3 භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළේය.

‘අරමුණු පිළිබඳව භික්ෂුව මෙසේ පිලිපැදිය යුතුය.
බාහිර අරමුණු වලින් සිය විඥාණය , වික්ෂිප්ත නොවන ලෙසද , විසිරනොයන ලෙසද පැවතිය යුතුය. අභ්‍යන්තර ආරම්මණයන්හි නොඇලී පිරිසිඳ බලන්නහුගේ සිත පිටත අරමුණුවල වික්ෂිප්ත නොවී නොවිසිර පවත්නේද, ධ්‍යාන අරමුණෙහි පවා ඇලී නොපිහිටන්නේද, විඤ්ඤාණය තමා වශයෙන් නොගැනීම නිසා තැති නොගන්නේද, ඒ ආකාරයෙන් භික්ෂුව අරමුණ පිරිසිඳ බැලිය යුතුය.
මහණෙනි, සිත පිටත අරමුණුවල නොවිසිරීම ඇති විට , ධ්‍යාන අරමුණෙහි ඇලී නොසිටින විට , මමන් කාරය දුරු කොට ගත් විට , ඔබ තැති නොගන්නේය. එවිට මත්තෙහි ජාති, ජරා, මරණය දුක්ඛයන්ගේ යලි හටගැනීමක් නොවන්නේය’ .

§ 4 . භාග්‍යවතුන් වහන්සේ එසේ වදාරා හුන් අස්නෙන් නැගී සිට තමන් වහන්සේගේ කුටිය වෙත වැඩිය සේක.1249

§ 5 .එසේ  භාග්‍යවතුන් වහන්සේ වැඩමවා ගිය පසු ඒ භික්ෂූන්ට මෙසේ සිතුනී.
“ඇවැත්නි, මේ ධර්ම කාණ්ඩය  අපට භාග්‍යවතුන් වහන්සේ සංක්ෂෙප වශයෙන් වදාරා, විස්තර වශයෙන් අර්ථ විභාග නොකොට, හුනස්නෙන් නැගිට විහාරයට වැඩමවූ සේක.
භාග්‍යවතුන් වහන්සේ විසින් සංක්ෂෙප වශයෙන්, උදෙසීම පමණක් වදාළාවූ, විස්තර වශයෙන් අර්ථ විභාග නොකළාවූ මේ ධර්ම පරියාය, අර්ථ විස්තර වශයෙන් අපට දෙශනා කරන්නට කවරෙකු සමත්වේ ද?” කියායි.

එකල්හි  ඒ භික්ෂූන්ට මෙසේ සිත් විය . 
“ආයුෂ්මත් මහා කාත්‍යායන ස්ථවිරයන් වහන්සේ ශාස්තෘන් වහන්සේ විසින්ද වර්ණනා කරණ ලද්දේය. නුවණැති සබ්‍රහ්මචාරී භික්ෂූන් විසින්ද බුහුමන් කරණ ලද්දේ වෙයි. ආයුෂ්මත් මහා කාත්‍යායන ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ විසින් සංක්ෂෙපයෙන් උදෙසීම් මාත්‍රයක් වදාළාවූ විස්තර වශයෙන් අර්ථ විභාග නොකළාවූ මේ දෙශනාවෙහි අර්ථ විස්තර වශයෙන් දෙශනා කිරීමට සමර්ථ වන්නේය. අපි ආයුෂ්මත් මහා කාත්‍යායන ස්ථවිරයන් වහන්සේ වෙත ගොස් මේ  කාරණය විචාරන්නෙමු”යි කියායි

§ 6 . එවිට   ඒ භික්ෂූන් මහා කච්චාන ස්වාමින් වහන්සේ සොයා ගොස් භාග්‍යවතුන් වහන්සේ සිදු කල උද්දේස දේසනාව නැවත මතක් කොට ඒ දේසනාව විභංග වසයෙන් විස්තර කර දේසනා කරන මෙන් ඉල්ලා සිටියෝය. එකල්හි මහා කච්චාන මහා ස්ථවිරයන් වහන්සේ මෙසේ කීහ.

§ 7 “ඇවැත්නි, වහලකට ලී සොයා අරටු ඇති ගස් සොයන්නාවූ මිනිසෙක් තද අරටුව ඇති ගසක් වෙත ගොස්, එහි මුල අත්හැර, එහි කඳ අත්හැර, කොළ අතුවල අටුව සෙවිය යුතුය’යි සිතන ලෙස , ආයුෂ්මත්වරුන් විසින් ශාස්තෲන් වහන්සේ හමුවූ කල්හි ඒ භාග්‍යවතුන් වහන්සේ ගෙන් විස්තර වශයෙන් නොඅසා, මෙසේ මා වෙත අවුත් අපගෙන් මේ කාරණය ඇසිය යුතු යැයි සිතන්නාහුද?

ඇවැත්නි, අප භාග්‍යවතුන් වහන්සේ දතයුත්ත දන්නේය, දැක්කයුතු දෙය දක්නේය, ප්‍රඥා චක්ෂුසින් යුක්ත වූයේය, සම්‍යක් ඥානයෙන් යුක්ත වූයේය, ධර්මඥානයෙන් යුක්ත වූයේය, ශ්‍රෙෂ්ඨ වූයේය, චතුරාර්‍ය්‍ය සත්‍යය ප්‍රකාශ කරන්නේය, පවත්වන්නේය, අර්ථයට පමුණුවන්නේය, අමෘතය දෙන්නේය, ධර්මස්වාමි වූයේය, තථාගත වූයේය. මේ වනාහි ඒ භාග්‍යවතුන් වහන්සේ ගෙන්ම එය ඇසීමට සුදුසු කාලය විය. තොපට භාග්‍යවතුන් වහන්සේ යම් ආකාරයකින් ප්‍රකාශ කරන්නාහුද එපරිද්දෙන්ම එය දරාගනිව්ය” යි, කීය.

§ 8 . “ඇවැත් කාත්‍යායන ස්ථවිරයන් වහන්ස , ඒකාන්තයෙන් භාග්‍යවතුන් වහන්සේ දතයුත්ත දන්නේය. දැක්කයුත්ත දක්නේය. ප්‍රඥා චක්ෂුසින් යුක්තවූයේ, ඥාන චක්ෂුසින් යුක්තවූයේ, ධර්ම චක්ෂුසින් යුක්තවූයේ, ශ්‍රෙෂ්ඨවූයේ, දෙශනා කරන්නේය, පවත්වන්නේ, අර්ථය කරා පමුණුවන්නේ අමෘතය දෙන්නේ, ධර්මස්වාමී වූයේය, තථාගත වූයේය. භාග්‍යවතුන් වහන්සේ ගෙන්ම එය ඇසීමට කාලය විය. යම් හෙයකින් භාග්‍යවතුන් වහන්සේ අතින්ම මෙපවත් විචාරන්නෙමුද අපට භාග්‍යවතුන් වහන්සේ යම්සේ ප්‍රකාශ කරන්නේද, අපි එය එසේ දරාගන්නෙමු.

එතකුදු වුවත් මහා කාත්‍යායන ස්ථවිරයනි! ඔබ වහන්සේ ශාස්තෲන් වහන්සේ විසින්ද වර්ණනා කරණ ලද්දේය. නුවණැති සබ්‍රහ්මචාරී භික්ෂූන් විසින්ද බුහුමන් කරණ ලද්දේය. ආයුෂ්මත් මහා කාත්‍යායන ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ විසින් සංක්ෂෙපයෙන් වදාළාවූ මේ ධර්මය අර්ථ විස්තර වශයෙන් දේශනා කිරීමට සමර්ථ වන්නේය. ආයුෂ්මත් මහා කාත්‍යායන ස්වාමින් වහන්සේ මේ කාර්‍යය බරක් වශයෙන් නොසලකා අප කෙරෙහි අනුකම්පාවෙන් විස්තර කර දේශනා කරන සේක්වා”යි කීහ.

§ 9 . එවිට මහා කාත්‍යායන ස්ථවිරයන් වහන්සේ මෙසේ ප්‍රකාශ කෙළේය
ඇවැත්නි, එසේවී නම් අසව්. හොඳින් මෙනෙහි කරව්. කියන්නෙමි” යි කීහ.
“ඇවැත්නි, එසේයයි” ඒ භික්ෂූහු උත්තර දුන්හ.

§ 10 . ආයුෂ්මත් මහා කාත්‍යායන ස්ථවිරයන් වහන්සේ මෙය ප්‍රකාශ කළේය.

“ඇවැත්නි,
භාග්‍යවතුන් වහන්සේ ඔබට සංක්ෂිප්ත ලෙස උද්දෙසය ලෙස දේසනා කල ධර්මය මෙසේ විස්තර වශයෙන් දකිමි.

§ 10 . “ඇවැත්නි,
සිත නොහොත් වීඥාණය1248 බාහිර අරමුනු නිසා වික්ෂිප්ත වන්නේය. විසිරී යන්නේය.
විඥාණය බාහිර අරමුණු නිසා කෙසේ වික්ෂිප්ත1249 වේද. බාහිර අරමුණු නිසා කෙසේ විසිර යන්නේද? ,

  • ඇවැත්නි,
    (රූප නිමිත්තස්සසාද ගථිතං ; රූප නිමිත්තානි විනිබද්ධන්, රූප නිමිත්තස්සසාද සංයෝජන සංයුත්තන්) ඇසින් රූපයක් දැක ඒ රූප අරමුණ නිමිත්ත ලෙස ගෙන ඒ අනුව මනසිකාරය පවත්වන්නේද, සිත රූපාරමුණ රස විඳීන්නේද, ඒ රුපය අභිනන්දනය කරන්නේද, රූප අරමුණ තුල අජ්ජෝසාය තිට්ඨති’ කියන්නා සේ ගිලී යයිද, නැවත නැවත සිහි කරන්නේද එබඳු සිත වික්ෂිප්ත වන්නේය. සිත බාහිර, පිටත අරමුණුවල විසිර ගියේය, පැතිර ගියේයයි කියනු ලැබේ.
  • “කණින් ශබ්දයක් අසා, සිත ඒ ශබ්දය අනුව සිත ගමන් කරන්නේ ද, ඒ ශබ්දයට කැමති වන්නේද , ඒ ශබ්දය අභිනන්දනය කරන්නේද, ශබ්ද අරමුණ තුල අජ්ජෝසාය තිට්ඨති කියන්නා සේ ගිලී යයිද නැවත නැවත සිහි කරන්නේද එබඳු සිත පිටත ශබ්ද නිසා වික්ෂිප්ත වන්නේය, අරමුණ තුල විසිර ගියේය පැතිර ගියේයයි කියනු ලැබේ
  • “නැහැයෙන් සුවඳක් ආඝ්‍රාණය කොට, සිත ගන්ධ අරමුණ අනුව ගමන්කරන්නේද, ඒ සුවඳට රුචි වන්නේද, ඒ සුවඳ අභිනන්දනය කරන්නේද, සුවඳ අරමුණ තුල අජ්ජෝසාය තිට්ඨති කියන්නා සේ ගිලී යයිද නැවත නැවත ඒ සුවඳ සිහි කරන්නේද එබඳු සිත පිටත ඝන්ධ නිසා වික්ෂිප්ත වන්නේය. අරමුණුවල විසිර ගියේය, පැතිර ගියේයයි කියනු ලැබේ
  • “දිවෙන් රසයක් විඳ, සිත රසාරමුණු අනුව ගමන්කරන්නේද, ඒ රසයේ කැමැත්තක් ඇති කර ගනීද, ඒ රසය අභිනන්දනය කරන්නේද, රස අරමුණ තුල අජ්ජෝසාය තිට්ඨති කියන්නා සේ ගිලී යයිද නැවත නැවත ඒ රසය සිහි කරන්නේද එබඳු සිත රස අරමුණ හි කැමැත්තෙන් වික්ෂිප්ත වන්නේය, විසිර ගියේය පැතිර ගියේයයි කියනු ලැබේ
  • “කයින් යමක් ස්පර්ශකොට, සිත ප්‍රෂ්ටව්‍ය අරමුණ අනුව ගමන් කරන්නේ ද, ප්‍රෂ්ටව්‍ය අරමුණ ට කැමතිව ඒ ස්පර්ශයෙහි විඳීමෙහි බැඳුණාවූ, ප්‍රෂ්ටව්‍ය අරමුණ අභිනන්දනය කරන්නේද, පොට්ඨබ්බ අරමුණ තුල අජ්ජෝසාය තිට්ඨති කියන්නා සේ ගිලී යයිද නැවත නැවතඒ ස්පර්ශය සිහි කරන්නේද එබඳු සිත පිටත පොට්ඨබ්බ අරමුණ නිසා වික්ෂිප්ත වන්නේය, අරමුණෙහි හි විසිර ගියේය පැතිර ගියේයයි කියනු ලැබේ.
  • “සිතින් ධර්මාරමුණක් දැන, සිත අරමුණ අනුව ගමන් කරන්නේද, එම ධර්මාරම්මණයෙහි කැමති වේද, ඒ අරමුණෙහි විඳීමෙහි, බැඳේද, ඒ ධර්මාරම්මණය අභිනන්දනය කරන්නේද, ධර්මාරම්මණ අරමුණ තුල අජ්ජෝසාය තිට්ඨති කියන්නා ගිලී යයිද නැවත නැවත සිහි කරන්නේද එබඳු සිත පිටත ධර්මාරම්මණ ය නිසා වික්ෂිප්ත වන්නේය. අරමුනෙහි විසිර ගියේය පැතිර ගියේය’යි කියනු ලැබේ.

[1248:- මේ සුත්‍රයේදී සිත, චිත්තය යන පුරුදු පද වෙනුවට විඥාණය යන පදය යොදා ඇති බව සිහි කරමි. සිත යන සරල යෙදුම මෙහිදී මා භාවිතා කලේ අවබෝධයට පහසු වේයැයි සිතු නිසාය. පසිඳුරන් ගෙන් ලැබෙන අරමුණු වලට කැමැත්ත ඇති ව ඒ වින්දනය කරමින් “නන්දියති, අභිනන්දති, අජ්ජෝසායතිට්ඨති” යන තුන් පියවරෙන් දැක්වෙන ආකාරයට බාහිර ආරම්මනවලට බැඳේ ද එය බාහිර අරමුණෙහි බැදී ගියේය.’යි කියනු ලැබේ.]

[1249: වික්ෂිප්ත වන්නේය:- ලෙස කියන්නේ මෝහය නිසාය. ඇත්තටම දුක ගෙන දෙන දේ සැපය කියා ගන්නේය. අනිත්‍ය දෙය නිත්‍යය යි ගන්නේය. අනාත්ම දෙය ආත්මය ලෙස ගන්නේය. ඒ විපල්ලාසය ට සිත වික්ෂිප්ත වුවාය කියා අදහස් වෙයි.]

“ඇවැත්නි, මෙසේ සිත බාහිර අරමුණු නිසා විසිර ගියේයයි කියනු ලැබේ.

§ 11. “ඇවැත්නි, කෙසේ නම් විඥාණය /සිත බාහිර අරමුණු නිසා වික්ෂිප්ත නොකොට ඉන්නේද,
සිත අරමුණු නිසා විඥාණය විසිර නොයන ලෙස පවත්වන්නේද ?

  • ඇවැත්නි, ඇසින් රූපයක් දැක ඒ රූප අරමුණට තෘෂ්ණාව ඇති නොවන සේ ඒ දෙස යෝනිසෝ මනසිකාරයෙන් හා සතියෙන් බලන්න , ඒ රුපයද අනිත්‍ය බව , දුක් සහිත බව, අනාත්ම බව දකින්න, ඒ රූප අරමුණෙහි අනභි නන්දති, අනභිවඩති, නාජ්ජෝසය තිට්ඨති. ‘ කියන්නා සේ දකීන්න, නැවත නැවත සිහි නොකරන්න. එසේ පැවතී සිත බාහිර අරමුණ නිසා වික්ෂිප්ත නොවන්නේය. බාහිර අරමුණුවල විසිර නොයන්නේය. පැතිර නොයන්නේය‘.
  • “කණින් ශබ්දයක් අසා සිත ඒ ශබ්දය අරමුණක් ලෙස නොගන්න. ඇතිව, පැවත යලි නැතිවෙන සංසිද්ධියක් පමණක් ලෙස දකින්න. ඇසු , ඇසෙන ශබ්දය කන්කළු යැයි , අන් ශබ්දයනට වඩා මිහිරිය යි, හෝ අන් ශබ්දයනට වඩා රළු යයි, අමිහිරි යැයි මැනුම්නොගන්න. එබඳු සිත බාහිර ශබ්ද අරමුණ තුල විසිර නොයන්නේය, පැතිර නොයන්නේය.
  • “නැහැයෙන් සුවඳක් ආඝ්‍රාණයකොට සිත ඒ ගන්ධය අරමුණක් සේ නොගන්න. ඒ සුවඳත් ඇතිව, පැවත , නැතිවන දෙයක් බව දකින්න. ඒ සුවඳ අභිනන්දනය නොකරන්න, සුවඳ අරමුණ ලෙස අජ්ජෝසාය තිට්ඨති කියන්නා සේ ගිලී නොයන්යන. නැවත ඒ සුවඳ සිහි නොකරන්න. එබඳු සිත පිටත ඝන්ධ අරමුණු නිසා වික්ෂිප්ත නොවන්නේය. ඝන්ධ අරමුණෙ හි විසිර නොයන්නේය යයි කියනු ලැබේ
  • “දිවෙන් රසයක් විඳ සිත රසාරමුණු අනුව නොයොදන්න.. ඒ රසය එක් ආකාරයක් නොපවතින බව දකින්න. ඒ රසය නීරස වන බව දකින්න. නැවත සිහි කරන්නට තරම් එහි දෙයක් නැති බව දකින්න. එබඳු සිත පිටත රස අරමුණ හි විසිර නොගියේය පැතිර නොගීයේයයි කියනු ලැබේ
  • “කයින් ස්පර්ශයන් විඳ ඒ ප්‍රෂ්ටව්‍ය අරමුණක් ලෙස නොගන්න. ඒ පොට්ටබ්භය , වෙනස් වන බව දකින්න. ඒ නිසා වන කැමැත්ත සුළු මොහොතකින්ම අකමැත්ත වෙන බව දකින්න. එබඳු සිත පිටත පොට්ඨබ්බ අරමුණ හි විසිර නොගියේය, පැතිර නොගියේයයි කියනු ලැබේ.
  • “සිතින් ධර්මාරමුණක් දැන සිත ධර්මාරමුණ අනුව ගමන් කරන්නේද, එම ධර්මාරම්මණයද වෙනස් වන බව, අනිත්‍ය බව , නැතිවන බව දකින්න. එබඳු සිත පිටත ධර්මාරම්මණ අරමුණ නිසා වික්ෂිප්ත නොවන්නේය. අරමුනෙහි විසිර නොගියේය පැතිර නොගියේයයි කියනු ලැබේ.

“ඇවැත්නි, මෙසේ සිත බාහිර අරමුණු නිසා විසිර නොගියේයයි, වික්ෂිප්ත නොවේ යැයි කියනු ලැබේ.

§ 12 . “ඇවැත්නි, මෙසේ බාහිර අරමුණු නිසා සිත නොවිසුරුන විට, වික්ෂිප්ත නොවූ විට, භික්ෂුව සිය සිත භාවනා අරමුණෙහි යොදවයි. මෙසේ භාවනා අරමුණෙ යෙදවූ සිත දැන් කාම අරමුණුවලින් අකම්පිතය. ඔහු භාවනා අරමුණෙහි නැමී ක්‍රමයෙන් සමාධියට පත් වෙයි. චිත්ත එකාග්‍රතාවයට පත් වෙයි. දැන් ඒ නොසැලෙන සිත ක්‍රමයෙන් ධ්‍යාන තත්වයට පත්වේ..

සුත්‍ර විවරණය දෙවන දේසනාව -2

§  12 . “ඇවැත්නි, ධ්‍යානාරම්මණයෙහි සිත කෙසේ ඇලෙයි ද, [අජ්ජන්තන් සන්ටිතන්]

ඇවැත්නි, භාවනා අරමුණෙ පවත්වන සිත (සන්ටිත්තන් චිත්තං) දැන් ඒ

  • සිත කාම අරමුණු වලින් මිදී ඒවායින් නිදහස් ව ඇත.- (විවිච්චේව කාමෙහි )
  • භාවනා අරමුණෙහි සිත එකඟ කරන විට ඉතිරි නීවරණ සතර වන ව්‍යාපාදය, උද්දච්චය, කුක්කුච්චය, ථිනමිද්ධය යන සතරින්ද මිදුන විට (විවිච්චෙව අකුසලෙහි )
  • විතක්ක , විචාර සහිත (සවිතක්කන් සවිචාරන්)
  • විවේකය ලබයි. (විවෙකජන් )
  • සිතෙහි ප්‍රීතිය සහ කයෙහි සැපය සහිත (පීති සුඛං)
    පළමුවන ධ්‍යානයට පත් වේ.

මෙම අධ්‍යාත්මික මනෝ ස්වභාවය ඔහු සිතෙහි විවේකය තුලින් උපන් සැපයක් ඇති කරයි. කිසිදු කාම සැපයකට වඩා ඉහල මේ සැපය විඳින යෝගියාගේ සිත මේ සැපයට ඇලෙයි එහි ආශ්වාදයට කැමති වෙයි. සිත ඒ සැපයේ බැඳෙයි. ඒ සැපයේ සංයෝජනයට බැඳේ .
මේ විඥාණය අධ්‍යාත්මයේ සිරවීමය. පිහිටීම යනු ඒය.
ඒ සීමාවේ ඇල්ම නිසා ඉන් ඉදිරියට යන්නට භික්ෂුව අසමත් වේ. නොහැකි වේ. 

[1252:- සවිතක්කන්, සවිචාරන්, විවෙකජන් , පීති, සුඛං යන පස් විධ කාරණා පලමුවන ධ්‍යානයේදී ලැබේ. විතක්ක යනු අරමුණ ගැන මෙනෙහි කිරීමය, සවිචාරන් යනු නැවත නැවත මෙනෙහි කිරීමය, විවේකය යනු කාය විවේකය හා දැන් ලබන චිත්ත විවේකය නිසා වන වින්දනය ය. පීතිය යනු මේ විවේකය නිසා සිතෙ ඇතිවන ප්‍රසන්න ස්වාභාවයය. සුඛ නම් කයෙහි සැහැල්ලු බවක් දැනෙමින් ලැබෙන කයෙහි සැපය ය. පළමු ධ්‍යානයේදී නැතිවන කාරණා පහ නම් පංච නීවරණයෝ ය.]

§  13 . නැවත මහණෙනි, යම් ලෙසකින් භික්ෂුව ඒ අධ්‍යාත්මික සැපය අනිත්‍ය ලෙස අවබෝධකොට නැවත භාවනා අරමුණෙහි සිත යෙදීමෙන් ඔහු දෙවන ධ්‍යානයට පත් වෙයි.

  • විතක්ක විචාර නැතිව භික්ෂුවගේ සිත අරමුණෙහි ම පිහිටයි, (අවිතක්කං, අවිචාරං)
  • නීවරණ සංසිදී මෙන් චිත්ත ඒකාග්‍රතාවය ලබයි. ගම් (සමාධිජං)
  • බලවත් වූ එකඟ බවක් සිතෙහි ඇති වේ. ( චිත්ත එකාග්‍රබව)
  • එයින් අධ්යාත්මයෙහිම ප්‍රසාදය ඇති වෙ. (ප්‍රසාදය ඇති විඳීම)
  • මේ සමාධිය තුලින් උපන් සැපයත් ප්‍රීතියත් ඉතා ප්‍රබල ලෙස ඇති වේ . (පීති සුඛං)

[1253 :- අවිතක්කන්, අවිචාරන්, දැන් ඔහු සිය භාවනා අරමුණ මෙනෙහි කිරීම හා නැවත නැවත සිහියට නැංවීම කිරීමක් අවශ්‍ය නොවේ. මන්දයත් සිත ඒ භාවනා අරමුණෙහි හොඳින් පිහිටා ඇති නිසාය. එසේ ඔහු ගේ සමාධි අරමුණ අධ්‍යාත්මයට ලංවේ. සම්පසාදනය ඇති වෙ. යි. විවෙකජන් , මේ ප්‍රබල සමාධිය නිසා අධික චිත්ත විවේකයක් ඇති වෙයි. සමාධිය කොතරම් බලවත් ද යත් ඒ සමාධිය දැඩි පීති යක් ගෙන දෙයි.. .]

මේ සමාධිය නිසා විඳින සැපය කලින් පළමු ධ්‍යාන අවස්ථාවේ විවේක සුවය නිසා ලැබූ සැපයට වඩා ඉතා වැඩිය. මේ සැප වේදනාව අනුව ලබන වින්දනයේ ආස්වාදය තුල භික්ෂුවගේ විඥාණය පිහිටයි. සිත එහි ඇලෙයි එහි ආශ්වාදයට කැමතිව  බැඳෙයි. ඒ සැපයේ සංයෝජනයට බැඳේ . සිත අධ්‍යාත්මයේ පිහිටීම යනු එයය. සමාධියේ සැපය නිසා ඇතිවන මේ ධ්‍යාන ආරම්මනයේ සිත ඇලීම යන මෙයද ඉදිරියට යාමට ඇතිවන බාධාවකි. අජ්ජන්තන් චිත්ත සන්තිත්තන්- ඇවැත්නි, ධ්‍යානාරම්මණයෙහි සිත ඇලෙයි –  කියන්නේ එයටයි.

§  14  . භික්ෂුව නැවත මේ දෙවන ධ්‍යාන අවස්ථාවේ සමාධිය නිසා ලැබූ සැපය රළු බව , ගොරෝසු බව දැක ඒ කෙරෙහි නොඇලී භාවනා අරමුණෙහිම නියැලීමෙන්

  • භික්ෂුව පීතිය කෙරෙහි ඇති කැමැත්ත අත් හරින්නට වෙයි.
  • ආදීනවය දැක ප්‍රීතිය කෙරෙහි කලකිරුණු භික්ෂුව ප්‍රීතියේ නොඇලෙයි.
  • භික්ෂුව මෙසේ සිතෙහි පීතිය සන්සින්දුවීමෙන් සිත උපේක්ෂාවට පත්වේ.
  • එනමුත් කය සැපයක් විඳියි.
  • සතියෙන් යුක්තව ඔහු උපේක්ශා සහගත සැප විහරණය කයෙන් විඳියි. මෙසේ භික්ෂුව තුන්වන ධ්‍යානය ලබයි. ( පීතියාච විරාගා උපේක්කොච විහරති සතොච සම්පජානෝ සුඛංච කායෙන පටිසංවේදෙති)

මේ උපේක්ෂා සැපයේ ආස්වාදය තුල භික්ෂුවගේ විඥාණය පිහිටයි.
සිත එහි ඇලෙයි එහි ආශ්වාදයට කැමතිව  බැඳෙයි.
ඒ සැපයේ සංයෝජනයට බැඳේ . සිත අධ්‍යාත්මයේ පිහිටීම යනු එයය.

සිතෙහි ඇති උපේක්ෂා සැපය නිසා ඇතිවන මේ ධ්‍යාන ආරම්මනයේ සිත ඇලීම ද, භික්ෂුවට ඉදිරියට යාමට ඇතිවන බාධාවකි. අජ්ජන්තන් චිත්ත සන්තිත්තන් -ඇවැත්නි, ධ්‍යානාරම්මණයෙහි සිත ඇලෙයි කියන්නේ එයටයි.

§  15. මේ උපේක්ෂාව නිසා ඇති සැපයද රළුය කියා ඒ රළුබව දකින ඔහු ඒ තුන්වන ධ්‍යානයේ වූ ඒ  සැපයද අත් හරිමින් සියළු වින්දනයන්ගෙන් සිත මුදා ගෙන සතරවන ධ්‍යානය ලබයි.

  • මේ සතරවන ධ්‍යාන සිත සැපයද දුකද ප්‍රහාණය කරයි.
  • සොමනසා දොමනස් දෙකද ප්‍රහාණය කර
  • ප්‍රබල උපේක්ඛාව පමණක් ඉතිරි කර ගනී.
  • භික්ෂුව මෙසේ ප්‍රබල උපේක්ඛාව පමණක් ඇති සතරවන ධ්‍යානයට එළඹ වාසය කරයි.

මේ පිරිසිදු උපේක්ඛාව බබලයි. කෙලෙස් වලින් කිලිටියක් නැත. සොම්නසක් දොම්නසක් නැත. සැපයක් දුකක් නැත. .සියළු සැපයන් නිරුද්ධ කර ගෙන නිර්වාණය කෙරෙහි නැමීගත් මේ සිත කම්මනීය ය. නම්‍යශීලිය. දැන් මහණෙනි, මේ පාරිශුද්ධ උපේක්ඛාව සහගත වේදනාව තුල භික්ෂුව ගේ විඥාණය පිහිටයි.

ඒ උපේක්ෂා විඳීමේ ආස්වාදය තුන්වන ධ්‍යාන අවස්ථාවේ වූ උපේක්ඛාව නිසා විඳි සැපයට වඩා ඉතා වැඩිය. මේ සැප වේදනාව අනුව ලබන ප්‍රබල උපේක්ඛා සහගත වින්දනයේ ආස්වාදය තුල භික්ෂුවගේ විඥාණය පිහිටයි. සිත එහි ඇලෙයි එහි ආශ්වාදයට කැමතිව එහි  බැඳෙයි. ඒ සැපයේ සංයෝජනයට බැඳේ . සිත අධ්‍යාත්මයේ පිහිටීම යනු එයය. සමාධියේ සැපය නිසා ඇතිවන මේ ධ්‍යාන ආරම්මනයේ සිත ඇලීමද භික්ෂුවට ප්‍රතිපදාවේ ඉදිරියට යාමට ඇතිවන බාධාවකි. අජ්ජන්තන් චිත්තන් සන්තිත්තන්  -ඇවැත්නි, ධ්‍යානාරම්මණයෙහි සිත ඇලෙයි කියන්නේ එයටයි.

§  16 . “ඇවැත්නි, ධ්‍යානාරම්මණයෙහි කෙසේ නම් සිත නොඇලේ ද ?

” මහණෙනි, භික්ෂුව සියළු කාමයන්ගෙන් වෙන්වම අකුශල ධර්මයන්ගෙන් වෙන්ව විතර්ක සහිතවූ, විචාර සහිතවූ, විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වාසය කරයිද එවිට ඔහුගේ සිත ඒ විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය නිත්‍ය නොවන බව හා වෙනස්වන බව දැක විවේකයෙන් හටගත් ඒ චිත්ත ප්‍රීතියද ඇතිව තිබී නැතිව යන වේදනාවක් පමණක් බව විදර්ශනා කිරීමෙන් අනිත්‍ය ලෙස දැකීමෙන් ඒ අනුව ගමන් නොකරයි. , විවේකයෙන් හටගත් ප්‍රීතියෙහි හා සැපයෙහි නොබැඳේ. ඒ විවේක සැපය නිසා හටගත් පිතිය හා සැපයෙහි රස නොවිඳි. නොබැඳේ. ඒ භික්ෂුව ධ්‍යාන ආරම්මනයෙහි නොඇලේ.

§  17. “ඇවැත්නි, නැවතද, භික්ෂුව විතර්ක විචාරයන්ගේ සංසිඳීමෙන් තමා කෙරෙහි පැහැදීම ඇත්තාවූ සිත සම්බන්ධ එකඟ බැව් ඇති, විතර්ක රහිතවූ, විචාර රහිතවූ සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ද්විතීය ධ්‍යානයට පැමිණ වසත්දී, සිතේ සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැපය නිත්‍ය නොවන බව හා වෙනස්වන බව දැක ඒ හටගත් ඒ චිත්ත ප්‍රීතියද ඇතිව තිබී නැතිව යන වේදනාවක් පමණක් බව විදර්ශනා කිරීමෙන් අනිත්‍ය ලෙස දැකීමෙන් ඒ අනුව ගමන් නොකරයි. , විවේකයෙන් හටගත් ප්‍රීතියෙහි හා සැපයෙහි නොබැඳේ. ඒ විවේක සැපය නිසා හටගත් පිතිය හා සැපයෙහි රස නොවිඳි. නොබැඳේ. ඒ භික්ෂුව ධ්‍යාන ආරම්මනයෙහි නොඇලේ.

§  18 . “ඇවැත්නි, නැවතද භික්ෂුව ප්‍රීතියේ , නොඇල්මෙන් උපෙක්ෂා ඇත්තේ, සිහි නුවණ ඇත්තේ, උපෙක්ෂා සැපයද කයින් විඳිමින් වාසය කරයි.. තෘතීය ධ්‍යානයට පැමිණ වාසය කරත්දී , ඔහුගේ සිත ඒ උපෙක්ෂාව නිසා ඇති සැපය නිත්‍ය නොවන බව හා වෙනස්වන බව දැක ඒ අනුව ගමන් නොකරන්නේ ද, උපෙක්ෂා සැපයෙහි රස නොවිඳී ද , උපෙක්ෂා සැපයෙහි රසවිඳීමෙහි නොවෙළුණනේද, උපෙක්ෂා සැපයෙහි රස විඳීමෙහි රැහැණින් මිදුනේද, ඒ භික්ෂුවගේ විඥාණය අභ්‍යන්තර ආරම්මනයෙහි සිර නොවේ.

§  19. “ඇවැත්නි, නැවතද භික්ෂුව උපේක්ඛා සැපයද දුරු කිරීමෙන්, දුකද දුරු කිරීමෙන් පළමුකොටම සොම්නස්, දොම්නස් දෙක නැසීමෙන් නිදුක්වූ, නොසැපවූ, උපෙක්ෂා ස්මෘතීන්ගේ පිරිසිදු බැව් ඇති චතුර්ථ ධ්‍යානයට පැමිණ වාසය කරත්දී ඔහුගේ සිත දුක් නැතිවීම, සැප නැතිවීම අනුව ඇති සැපය ද නිත්‍ය නොවන බව හා වෙනස්වන බව දැක ඒ අනුව ගමන් නොකරන්නේද, උපාදාන කර නොගනීද නිදුක් නොසැප සිතෙහි ආස්වාදයෙහි රස නොවිඳීද , නිදුක් නොසැපයෙහි රස විඳීමෙහි නොවෙළුනේද , නිදුක් නොසැප රස විඳීමෙහි නොබැඳුනේද ඒ සිත විඥාණය අභ්‍යන්තර ආරම්මනයෙහි සිර නොවේ.

“ඇවැත්නි, ධ්‍යානාරම්මණයෙහි සිත නොඇලී සිටින්නේ එසේය

§ 20. “ඇවැත්නි, කෙසේ නම් අල්ලාගන්නට දෙයක් උපාදානයට දෙයක් නැති විට කම්පා වේද ?”

“ඇවැත්නි, මේ ලෝකයෙහි ඇසූපිරූ තැන් නැත්තාවූ පෘථග්ජන මිනිසා ආර්‍ය්‍යයන් නොදක්නේය, ආර්‍ය්‍ය ධර්මයෙහි දක්ෂ නුවූයේය, ආර්‍ය්‍ය ධර්මයෙහි නොහික්මුනේය, සත්පුරුෂයන් නොදක්නේය, සත්පුරුෂ ධර්මයෙහි අදක්ෂය, සත්පුරුෂ ධර්මයෙහි නොහික්මුනේය,

  • රූපය තමා වශයෙන් හෝ දකියි.
  • තමා රූපය වශයෙන් හෝ දකියි.
  • තමා නිසා රූපය ඇත්තේයයි කියා හෝ දකියි.
  • රූපය තුල තමා ඉන්නේයයි කියා හෝ දකියි.
පෘතග්ජනයා රූපය හා ආත්මය ගැන සිව් ආකාරයකින් සිතයි.



නමුත් ඔහුගේ රූපය වෙනස් වෙයි. අන් හැඩයක් පිළිවෙලක්, ආකාරයක් වෙයි.
රූපයෙහි වෙනස්වීමෙන් හා විකෘති වීමෙන් රූපයේ වෙනස්වීමට අනුව ඔහුගේ විඥාණයද වෙනස් වෙයි.
ආත්මය හා රුපය එකක් නම් එකක් අනෙක නිසා පවතියි නම් මරණයේදී රුපය සමගම ආත්මයද විනාශ වී යයි.
උච්චේද දෘෂ්ටිය ලෙස අප දන්නා මේ පළමු දෙආකාර දැකීම් එසේ මේ ජීවිතය මෙපමනකි’ය ගනියි. .
රූපයේ වෙනස්වීම නිසා හෝ මරණයෙන් සියල්ල නිමා වේ යැයි සිතනා විට නිත්‍ය ය යැයි බලා පොරොත්තු වූ සිතා වුන් ඔහුගේ විඥානය කම්පිත වේ.
අකුශල ධර්මයෝ ඔහුගේ කුසල් සිත විනාශ කරත්. කුසල් සිත විනාශවීමෙන් තෘෂ්ණා තැතිගැන්මෙන්ද භය තැති ගැන්මෙන්ද තැතිගැනීම් සහිත වෙයි. දුක් සහිත වෙයි. ආලය සහිත වෙයි.

මම’යයි ගතයුත්තක් නැති බව දැන ගත් කල්හි ඔහු තැති ගනියි. අල්ලා ගන්නට උපාදාන කරගන්නට කිසිත් ඉතිරි නොවන විට ඒ නිසා ඔහු පරිතස්සනාවට නොහොත් කම්පාවට පත් වේ.

“ඇවැත්නි, එසේම මේ පෘථග්ජන මිනිසා

  • තමා විඳිනා වේදනාව තමාගේ වශයෙන් දකියි. තමාගේ වේදනාවය විඳීම යයි ගනියි.
  • තමා වේදනාව ඇත්තකු තමාය කියා හෝ තමා කෙරෙහි වේදනාව ඇත්තේ යයි කියා හෝ
  • වේදනාවෙහි තමා ඇත්තේයයි කියා හෝ තමා කෙරෙහි වේදනාව ඇත්තේයයි කියා හෝ දකියි.

ඔහුගේ ඒ වේදනාව වෙනස් වෙයි. අන් පරිද්දෙකින් වෙයි. වේදනාව වෙනස් වීමෙන් හා අන්පරිදි වීමෙන් වේදනාවේ වෙනස්වීම අනුව ඔහුගේ සිතද වෙනස් වෙයි. වේදනාවන්ගේ වෙනස්වීමට අනුව වෙනස්වූ ඔහුගේ සිතින් හටගත් තෘෂ්ණා තැතිගැන්මවූ අකුශල ධර්මයෝ ඔහුගේ කුසල් සිත විනාශ කරත්. කුසල් සිත විනාශවීමෙන් තැතිගැනීම් සහිත වෙයි. දුක් සහිත වෙයි. ආලය සහිත වෙයි. මමයයි ගතයුත්තක් නැති කල්හි තැතිගනියි. අකුශල ධර්මයෝ ඔහුගේ කුසල් සිත විනාශ කරත්. කුසල් සිත විනාශවීමෙන් තෘෂ්ණා තැතිගැන්මෙන්ද භය තැති ගැන්මෙන්ද තැතිගැනීම් සහිත වෙයි. දුක් සහිත වෙයි. ආලය සහිත වෙයි.

මමයයි ගතයුත්තක් නැති බව දැන ගත් කල්හි ඔහු තැතිගනියි. අල්ලා ගන්නට උපාදාන කරගන්නට කිසිත් ඉතිරි නොවන විට ඒ නිසා ඔහු පරිතස්සනාවට නොහොත් කම්පාවට පත් වේ.

  • “සංඥාව තමා වශයෙන් දකියි.
  • තමා සංඥාව ඇත්තෙකු තමාය කියා හෝ
  • තමා කෙරෙහි සංඥාව ඇත්තේයයි කියා හෝ
  • සංඥාවෙහි තමා ඇත්තේයයි කියා හෝ දකියි.

ඔහුගේ ඒ සංඥාව වෙනස් වෙයි. අන් පරිද්දෙකින් වෙයි. සංඥාව වෙනස් වීමෙන් හා අන් පරිදි වීමෙන් සංඥාවේ වෙනස්වීම අනුව ඔහුගේ සිත වෙනස් වෙයි. සංඥාවන්ගේ වෙනස්වීමට අනුව වෙනස්වූ සිතින් හටගත් තෘෂ්ණා තැතිගැන්මවූ අකුශල ධර්මයෝ ඔහුගේ කුසල් සිත විනාශ කරත්. කුසල් සිත විනාශ වීමෙන් තැතිගැනීම් සහිත වෙයි. දුක් සහිත වෙයි. ආලය සහිත වෙයි.

මමයයි ගතයුත්තක් නැති බව දැන ගත් කල්හි ඔහු තැතිගනියි. අල්ලා ගන්නට උපාදාන කරගන්නට කිසිත් ඉතිරි නොවන විට ඒ නිසා ඔහු පරිතස්සනාවට නොහොත් කම්පාවට පත් වේ.

  • “සංස්කාරයන් තමා වශයෙන් දකියි.
  • තමා සංස්කාර ඇත්තකු තමායයි කියා හෝ
  • තමා කෙරෙහි සංස්කාර ඇත්තේ යයි කියා හෝ
  • සංස්කාරයෙහි තමා ඇත්තේයයි කියා හෝ දකියි.

ඔහුගේ ඒ සංස්කාර වෙනස් වෙයි. අන් පරිද්දෙකින් වෙයි. සංස්කාර වෙනස් වීමෙන් හා අන්පරිදි වීමෙන් සංස්කාරයන්ගේ වෙනස්වීම අනුව ඔහුගේ සිත වෙනස්වෙයි. සංස්කාරයන්ගේ වෙනස් වීමට අනුව වෙනස්වූ සිතින් හට ගත් තෘෂ්ණා තැතිගැන්මවූ අකුශල ධර්මයෝ ඔහුගේ කුසල් සිත විනාශ කරත්. කුසල් සිත විනාශ වීමෙන් තැතිගැනීම් සහිත වෙයි. දුක් සහිත වෙයි. ආලය සහිත වෙයි. මමයයි ගතයුත්තක් නැති බව දැන ගත් කල්හි ඔහු තැතිගනියි. අල්ලා ගන්නට උපාදාන කරගන්නට කිසිත් ඉතිරි නොවන විට ඒ නිසා ඔහු පරිතස්සනාවට නොහොත් කම්පාවට පත් වේ.

  • “විඤ්ඤාණය තමා වශයෙන් දකියි.
  • විඤ්ඤාණය ඇත්තකු තමායයි කියා හෝ ගනියි.
  • විඤ්ඤාණය කෙරෙහි තමා ඇත්තේයයි කියා හෝ දකියි.
  • තමා කෙරෙහි විඤ්ඤාණය ඇත්තේයයි කියා හෝ දකියි.

ඔහුගේ ඒ විඤ්ඤාණය වෙනස් වෙයි. අන් පරිද්දෙකින් වෙයි. ඔහුගේ විඤ්ඤාණය වෙනස් වීමෙන් හා අන්පරිදි වීමෙන් විඤ්ඤාණයාගේ වෙනස්වීම අනුව සිතද වෙනස් වේ. ඔහුගේ විඤ්ඤාණය වෙනස්වීම අනුව වෙනස්වූ සිතින් හටගත් තෘෂ්ණා තැතිගැනීම වන අකුසල ධර්මයෝ කුසල් සිත විනාශ කරත්. කුසල් සිත විනාශ වීමෙන් තැති ගැනීම් සහිත වෙයි. දුක් සහිත වෙයි. ආලය සහිත වෙයි.

මමයයි ගතයුත්තක් නැති බව දැන ගත් කල්හි ඔහු තැතිගනියි. අල්ලා ගන්නට උපාදාන කරගන්නට කිසිත් ඉතිරි නොවන විට ඒ නිසා ඔහු පරිතස්සනාවට නොහොත් කම්පාවට පත් වේ.

§ 21 . ඇවැත්නි, කෙසේ නම් මමය යි නොගැනීම නිසා තැති නොකොට පරිත්‍රාශ නොවේද? අකම්පිත වේද ?

ඇවැත්නි,
මේ ලෝකයෙහි ඇසූපිරූතැන් ඇති ආර්‍ය්‍යයන් දක්නාවූ ආර්‍ය්‍ය ධර්මයෙහි දක්ෂවූ, ආර්‍ය්‍ය ධර්මයෙහි හික්මුනාවූ සත්පුරුෂයන් දක්නාවූ සත්පුරුෂ ධර්මයෙහි දක්ෂවූ, සත්පුරුෂ ධර්මයෙහි හික්මුනාවූ, ආර්‍ය්‍ය ශ්‍රාවකයා…..

  • රූපය තමා වශයෙන් නොදකියි.
  • තමාගේ රූපය වශයෙන් හෝ නොදකියි.
  • තමා කෙරෙහි රූපය ඇත්තේයයි කියා හෝ නොදකියි.
  • රූපයෙහි තමා ඉන්නේය’යි කියා හෝ නොදකියි.

ඔහුගේ ඒ රූපය වෙනස් වේ. අන් පරිද්දෙකින් වෙයි. ඔහුගේ රූපය වෙනස් වීමෙන් අන්පරිදි වීමෙන් රූපය වෙනස්වීම අනුව සිත වෙනස් නොවේ. මේ රුපය සතර මහා භූත නිසා හටගත් එකක් බවත් එය තමාගේ නොවන බවත් ආර්ය ශ්‍රාවකයා දනී. රුපය අතීතයේ වේවා වර්තමානයේ වේවා අනාගතයේ වේවා, අබ්යන්තරයේ වේවා, බාහිර වේවා, සියුම් වේවා , විශාල වේවා සියලු රුප අනිත්‍ය බව ඔහු දකී

ඔහුගේ රූපය වෙනස්වීම නිසා වෙනස් වන සිතෙහි තැතිගැනීම හට නොගනී, ඒ නිසා අකම්පිත ඔහුගේ විඥානය තුල අකුශල ධර්මයෝ ඇතුළු නොවෙත්. කුසල් සිත විනාශ නොවීම නිසා කිසිදු තැති ගැනීමක්, කම්පාවක් ඇති නොවෙයි. දුකක් ඇති නොවෙයි. ආලය සහිත නොවෙයි. තමායයි ගැනීමට දෙයක් නැති නිසා තැති නොගනියි.

“ඇවැත්නි,
මේ ලෝකයෙහි ඇසූපිරූතැන් ඇති ආර්‍ය්‍ය ශ්‍රාවකයා..

  • වේදනාව තමාගේ වශයෙන් නොදකියි.
  • වේදනාව තමා විඳින කියා හෝ නොදකියි.
  • තමා කෙරෙහි වේදනාව ඇත්තේයයි කියා හෝ නොදකියි.
  • වේදනාවෙහි තමා ඉන්නේය’ යි කියා නොදකියි.

ඔහුගේ ඒ වේදනාව වෙනස් වෙයි. අන් පරිද්දෙකින් වෙයි. වේදනාව පෙරළීමෙන් අන් පරිදි වීමෙන් වේදනාව පෙරළීම අනුව ඔහුගේ සිත වෙනස් නොවේ.

ඔහුගේ වේදනාව පෙරළීම අනුව වෙනස් වන සිතෙහි තැතිගැනීම හට නොගනී, ඒ නිසා අකම්පිත ඔහුගේ විඥානය තුල අකුශල ධර්මයෝ ඇතුළු නොවෙත්. කුසල් සිත විනාශ නොවීම නිසා කිසිදු තැති ගැනීමක්, කම්පාවක් ඇති නොවෙයි. දුකක් ඇති නොවෙයි. ආලය සහිත නොවෙයි. තමායයි ගැනීමට දෙයක් නැති නිසා තැති නොගනියි.

“ඇවැත්නි,
මේ ලෝකයෙහි ඇසූපිරූතැන් ඇති ආර්‍ය්‍ය ශ්‍රාවකයා..

  • සංඥාව තමාගේ වශයෙන් නොදකියි.
  • සංඥා ඇත්තෙකු තමා කියා හෝ නොදකියි.
  • තමා කෙරෙහි සංඥාව ඇත්තේයයි කියා හෝ නොදකියි.
  • සංඥාවෙහි තමා ඉන්නේය ‘යි කියා නොදකියි.

ඔහුගේ ඒ සංඥාව වෙනස් වෙයි. අන් පරිද්දෙකින් වෙයි. සංඥාව පෙරළීමෙන් අන් පරිදි වීමෙන් සංඥාව පෙරළීම අනුව ඔහුගේ සිත වෙනස් නොවේ.

ඔහුගේ ඒ සංඥාව වෙනස් වෙයි. අන් පරිද්දෙකින් වෙයි. සංඥාව පෙරළීමෙන් අන් පරිදි වීමෙන් සංඥාව පෙරළීම අනුව ඔහුගේ සිත වෙනස් නොවේ.

ඔහුගේ සංඥාව පෙරළීම අනුව වෙනස් වන සිතෙහි තැතිගැනීම හට නොගනී, ඒ නිසා අකම්පිත ඔහුගේ විඥානය තුල අකුශල ධර්මයෝ ඇතුළු නොවෙත්. කුසල් සිත විනාශ නොවීම නිසා කිසිදු තැති ගැනීමක්, කම්පාවක් ඇති නොවෙයි. දුකක් ඇති නොවෙයි. ආලය සහිත නොවෙයි. තමායයි ගැනීමට දෙයක් නැති නිසා තැති නොගනියි.

“ඇවැත්නි,
මේ ලෝකයෙහි ඇසූපිරූතැන් ඇති ආර්‍ය්‍ය ශ්‍රාවකයා..

  • සංස්කාර තමාගේ වශයෙන් නොදකියි.
  • සංස්කාර ඇත්තෙකු තමා කියා හෝ නොදකියි.
  • තමා කෙරෙහි සංස්කාර ඇත්තේයයි කියා හෝ නොදකියි.
  • සංස්කාරයන්හි තමා ඉන්නේය’ යි කියා නොදකියි.

ඔහුගේ ඒ සංස්කාර වෙනස් වෙයි. අන් පරිද්දෙකින් වෙයි. සංස්කාර පෙරළීමෙන් අන් පරිදි වීමෙන් සංස්කාර පෙරළීම අනුව ඔහුගේ සිත වෙනස් නොවේ.

ඔහුගේ සංස්කාර පෙරළීම අනුව වෙනස් වන සිතෙහි තැතිගැනීම හට නොගනී, ඒ නිසා අකම්පිත ඔහුගේ විඥානය තුල අකුශල ධර්මයෝ ඇතුළු නොවෙත්. කුසල් සිත විනාශ නොවීම නිසා කිසිදු තැති ගැනීමක්, කම්පාවක් ඇති නොවෙයි. දුකක් ඇති නොවෙයි. ආලය සහිත නොවෙයි. තමායයි ගැනීමට දෙයක් නැති නිසා තැති නොගනියි.

“ඇවැත්නි,
මේ ලෝකයෙහි ඇසූපිරූතැන් ඇති ආර්‍ය්‍ය ශ්‍රාවකයා..

  • විඥානය තමාගේ වශයෙන් නොදකියි.
  • විඥානය ඇත්තෙකු තමා කියා හෝ නොදකියි.
  • තමා කෙරෙහි විඥානය ඇත්තේයයි කියා හෝ නොදකියි.
  • විඥානය වෙහි තමා ඉන්නේය’යි කියා නොදකියි.

ඔහුගේ ඒ විඥානය වෙනස් වෙයි. අන් පරිද්දෙකින් වෙයි. විඥානය පෙරළීමෙන් අන් පරිදි වීමෙන් විඥානය පෙරළීම අනුව ඔහුගේ සිත වෙනස් නොවේ.

ඔහුගේ විඥානය පෙරළීම අනුව වෙනස් වන සිතෙහි තැතිගැනීම හට නොගනී, ඒ නිසා අකම්පිත ඔහුගේ විඥානය තුල අකුශල ධර්මයෝ ඇතුළු නොවෙත්. කුසල් සිත විනාශ නොවීම නිසා කිසිදු තැති ගැනීමක්, කම්පාවක් ඇති නොවෙයි. දුකක් ඇති නොවෙයි. ආලය සහිත නොවෙයි. තමායයි ගැනීමට දෙයක් නැති නිසා තැති නොගනියි.

“ඇවැත්නි, මමයයි නොගැනීම නිසා තැති නොකොට පරිත්‍රාශ නොවේ.

“ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ අපට යම් උදෙසීමක් සැකෙවින් උදෙසා විස්තරයෙන් අර්ථය විභාග නොකොට හුනස්නෙන් නැගිට විහාරයට වැඩිසේක්ද, .

‘අරමුණු පිළිබඳව භික්ෂුව මෙසේ පිලිපැදිය යුතුය.
බාහිර අරමුණු වලින් සිය විඥාණය , වික්ෂිප්ත නොවන ලෙසද , විසිරනොයන ලෙසද පැවතිය යුතුය. අභ්‍යන්තර ආරම්මණයන්හි නොඇලී පිරිසිඳ බලන්නහුගේ සිත පිටත අරමුණුවල වික්ෂිප්ත නොවී නොවිසිර පවත්නේද, ධ්‍යාන අරමුණෙහි පවා ඇලී නොපිහිටන්නේද, විඤ්ඤාණය තමා වශයෙන් නොගැනීම නිසා තැති නොගන්නේද, ඒ ආකාරයෙන් භික්ෂුව අරමුණ පිරිසිඳ බැලිය යුතුය.
මහණෙනි, සිත පිටත අරමුණුවල නොවිසිරීම ඇති විට , ධ්‍යාන අරමුණෙහි ඇලී නොසිටින විට , මමන් කාරය දුරු කොට ගත් විට , ඔබ තැති නොගන්නේය. එවිට මත්තෙහි ජාති, ජරා, මරණය දුක්ඛයන්ගේ යලි හටගැනීමක් නොවන්නේය’ .

“ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසන ලද විස්තරයෙන් අර්ථය විභාග නොකරණ ලද මේ උද්දෙසයාගේ අර්ථය මෙසේ විස්තර වශයෙන් දනිමි. ආයුෂ්මත්නි, ඔබ කැමති නම් භාග්‍යවතුන් වහන්සේ වෙතම එළඹ මේ කාරණය අසව්. යම්සේ තොපට භාග්‍යවතුන් වහන්සේ ප්‍රකාශ කෙරේද එසේ එය දරා ගනිව්ය” කීය.

ඉක්බිති ඒ භික්ෂූහු ආයුෂ්මත් මහා කච්චායන ස්ථවිරයන්ගේ කීම සතුටින් පිළිගෙණ අනුමෝදන්ව හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේ වෙත ගොස් මේ සියලු විස්තරය භාග්‍යවතුන් වහන්සේට ප්‍රකාශ කළහ. ඒ අසා සිටි භාග්‍යවතුන් වහන්සේ මෙසේ දෙසනා කල සේක.

“මහණෙනි,
මහා කච්චායන ස්ථවිරයෝ, පණ්ඩිත භික්ෂුවක් වේ. මහණෙනි, මහාකච්චායන ස්ථවිරයෝ මහත් ප්‍රඥා ඇත්තෙක් වේ.

මහණෙනි,
තෙපි මාගෙන්ද ඉදින් මේ කාරණය ඇසුවහු නම්, මමද මේ කාරණය මහාකච්චායනයන් විසින් ප්‍රකාශ කරණ ලද සේම ප්‍රකාශ කරන්නෙමි. මේ ධර්මයේ අර්ථය මෙයම වේ. මෙසේම එය දරව් යයි” භාග්‍යවතුන් වහන්සේ වදාළේය

සතුටු සිත් ඇත්තාවූ ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ වචනය සතුටින් පිළිගත්තෝය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.