MN 03-04-04 ලොමසකඩ්ගිය භද්දෙකරත්ත සූත්‍රය

පාලි සුත්‍රය සජ්ජායනය කිරීම අසන්න

ලොමසකඩ්ගිය භද්දෙකරත්ත සූත්‍රය මජ්ජිම නිකායේ උපරි පන්නාසකයට එක්කොට ඇති භද්දෙක රත්ත සුත්‍ර සතරෙහි සතරවන නොහොත් අවසාන සුත්රයවේ, මේ සුත්‍ර සතරම නිධාන කතාවෙන් වෙනස්මුත් අන්තර්ගත ධර්මය එකම වෙයි.භද්දෙක රත්ත සුත්‍ර සතරේම ඇත්තේ එකම ඉගැන්වීමකි.

අතීතයේ වූ දෙ ගැන සිතා එහි සතුටින් නොබැදෙන්න.
අනාගතය ගැන මේ මේ ආකාරයෙන් සැප විඳිමි’යැයි තන්හා නොකරන්න
මේ දැන් පසිඳුරන් ලබන අරමුණු “දුක්ඛ, අනිච්ච, අනාත්ම ” ලෙස විදසුන් ඇසින් බලන්න ..
ඒ උපදෙස මෙසේ සැලකීම වටි.
අතීතයේදී රස විඳි පස් කම්කම් සැප ගැන අද සතුටින් ආසාවෙන් මෙනෙහි කිරීමෙන් එදා රැස් කල සංස්කාර ගොඩම යලි ඔබ උපදවා ගනියි. එදා කරගත් සංස්කාර රැස් කර හමාරය. ඒ ගැන දැන් කල හැක්කක් නැත. එහෙත් එදා ඇසු ගීත නැවත මතක් කරගෙන, එදා දුටු චිත්‍රපට අද නැවත මතක් කරමින් ඔබ අද ද එදා කල අනුවණ දෙය කර ගනියි. අනාගතය ගැනද එසේමය. තවම කර නොගත් සංස්කාර ගොඩ ගැසීමක් තවම නොආ අනාගතයක් ගැන මෙසේම කරගැනීම අනුවණ කමකි.
අද ඔබ ට හමුවන අරමුණු ගැන යෝනිසෝ මනසිකාරයෙන් බලා, ඒ අරමුණු දුක්ඛ, අනිච්ච , අනාත්ම ලෙස විදර්ශනා කිරීමෙන් එයින් වන සංකාර යහපත් ආකාරයකට හසුරුවාගන්නට ඔබ දක්ෂ විය යුතුය. එම විදර්ශනාව ජීවිතයේ කොටසක් කරගත යුතුය. අද ජීවත්වන්නා අතීතයේ සහ අනාගතයේ කල , කල යුතු දෙ ගැන සිතා සංකාර ගොඩ නැගීම නතර කල යුතුය.

පුජ්‍ය පුහුල්වැල්ලේ සාරද හිමි කල සුත්‍ර විවරණ දේසනාව

§ 1. මා විසින් මෙසේ අසන ලදී.
එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි ජේතවන නම්වූ අනේපිඩු මහසිටුහුගේ ආරාමයෙහි වැඩ වසන සේක.

§ 2. එකල්හි ආයුෂ්මත් “ලොමසකඩ්ගිය” ස්ථවිරයන් ශාක්‍ය ජනපදයන්හි කපිලවස්තු පුරයෙහිවූ නිග්‍රොධාරාමයෙහි වාසය කෙරෙයි. එකල්හි චන්දන නම් දිව්‍යපුත්‍රයා මධ්‍යම රාත්‍රියෙහි බබළන ශරීර වර්ණයෙන් යුක්තව මුළු නිග්‍රොධරාමය ආලෝක කොට ආයුෂ්මත් ලොමසකඩ්ගිය ස්ථවිර හුන් තැනට පැමිණ, ආයුෂ්මත් ලොමසකඩ්ගිය ස්ථවිරයන්ගෙන් මෙසේ ඇසීය.

“භික්ෂූන් වහන්ස, නුඹවහන්සේ භද්දෙකරත්ත නම්, ධර්මයෙහි උද්දේසය (මාතෘකාවද); විභංගයද (විස්තරයද) දන්නෙහිද?” යනුය.
“ඇවැත්නි, මම භද්දෙකරත්ත නම් ධර්මයෙහි මාතෘකාවද විස්තරයද නොදණිමි.
ඇවැත්නි, නුඹ ඒ විස්තරය දන්නෙහිද?
“භික්ෂූන්වහන්ස, මමද භද්දෙකරත්ත ධර්ම යෙහි මාතෘකාවද විස්තරයද නොදණිමි.
භික්ෂූන්වහන්ස, නුඹවහන්සේ භද්දෙකරත්ත නම් ගාථා දන්නෙහිද?
“ඇවැත්නි, මම භද්දෙකරත්ත නම් ගාථා නොදණිමි. ඇවැත්නි, නුඹ භද්දෙකරත්ත නම් ගාථා දන්නෙහිද?”
“භික්ෂූන්වහන්ස, මම වනාහි භද්දෙකරත්ත නම් ගාථා දණිමියි කීය.
“ඇවැත්නි, නුඹ කෙසේ නම් භද්දෙකරත්ත ගාථා දන්නෙහිදැ?”යි ඇසීය.

§ 3. “භික්ෂූන්වහන්ස, එක් කලෙක්හි භාග්‍යවතුන්වහන්සේ තව්තිසා දෙවියන් අතර පරසතු ගසමුල පඬැ’ඹුල් සලස්නෙහි (පාණ්ඩුකම්බල ශෛලාසනයෙහි) වැඩ වාසය කරණසේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ තව්තිසා වැසි දෙවියන්ට භද්දෙකරත්ත නම් ධර්මයෙහි උද්දෙසයද විභංගය ද මෙසේ වදාළසේක.

[1] “අතීතය ගැන සිතමින් ඒ මතකයන් මත සතුටු නොවන්න.
අනාගතය ගැන සිහින මවමින් ඒ බලාපොරොත්තු මත තුටු නොවන්න.
අතීතය වැළලී ගොස්ය. අනාගතය උපන්නේ නැත.

[2] “වර්තමානයෙහි යමක් වේද ,
එහි තිලක්ඛනය දකිමින් විදර්ශනා වඩන්න.
ඒ විදර්ශනාව රාගාදීන්ගෙන් විසිරී නොයන සේ
කුපිත නොකොට සතිය වඩන්න.

[3] “අදම කෙළෙස් තවන වීර්‍ය්‍යය වඩා පිළිවෙත් පුරන්න.
මරණය හෙට ඒ දැයි අද ඒ දැයි දන්නේ කවුද,
මරණය සමග කිසිවෙකුට කිසි ගිවිසුමක් නැත්තේය.

[4] “මෙසේ වසන්නාවූ කෙළෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තවූ,
රෑ දාවල් දෙක්හි අනලස්ව පිළිවෙත්හි පිළිපන්නාවූ භික්ෂුව ,
උත්තම රැයක් ගෙවූ භික්ෂුව යයි ශාන්තවූ බුද්ධ මුනින් වදාළේය.

“භික්ෂූන් වහන්ස, මම මෙසේ භද්දෙකරත්ත ගාථාවන් දරමි.
භික්ෂූන්වහන්ස, නුඹවහන්සේ භද්දෙකරත්ත ධර්මයේ මාතෘකාවද, විස්තරයද, ඉගෙණ පුරුදු කරනු මැනවි. භික්ෂූන්වහන්ස, නුඹවහන්සේ භද්දෙකරත්ත ධර්මයාගේ මාතෘකාවද විස්තරයද දරණු මැනවි.
භික්ෂූන් වහන්ස, භද්දෙකරත්ත ධර්මයේ මාතෘකාවද විස්තරයද අර්ථයෙන් යුක්තය.
එය මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යාවේ හැසිරෙන්නවුනට බොහෝ අර්ථය පිණිස වන්නේය”යි මෙසේ චන්දන දිව්‍යපුත්‍රයා කීයේය. මෙසේ කියා එහිම අතුරුදහන්වූයේය.

§ 5. “ඉක්බිති ආයුෂ්මත් ලොමසකඩ්ගිය ස්ථවිරයන් ඒ රාත්‍රිය ගෙවී ගිය පසු සේනාසනය තැන්පත්කොට පාත්‍රසිව්රු ගෙණ සැවැත් නුවරට පා ගමනින් ගොස් ජේතවනය ආරාමයේ වැඩ හුන් භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක් පසක හිඳ ආයුෂ්මත් ලොමසකඩ්ගිය ස්ථවිරයන් භාග්‍යවතුන් වහන්සේට ඒ සිද්ධිය සම්පුර්ණයෙන්ම කීයේය. එම දිව්‍ය පුත්‍රයා කිවූ සම්පුර්ණ කතාවද කීයේය. එසේ කියා මෙසේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ ආරාධනා කළේය.

“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මට භද්දෙකරත්ත ධර්මය උද්දේස වශයෙන්ද, විභංග වශයෙන්ද දේශනා කරන්නේ නම් මැනවැයි” කීය.

“මහණ, නුඹ ඒ දිව්‍යපුත්‍රයා කවරෙක්දැයි දන්නෙහිදැයි, භාග්‍යවතුන් වහන්සේ ඇසුහ.
“ස්වාමීනි, මම ඒ දිව්‍යපුත්‍රයා නොදනිමියි” කීය.
“මහණ, මේ චන්දන නම් දිව්‍යපුත්‍රයා ය .
මහණ, චන්දන දිව්‍යය පුත්‍රයා බොහෝ කැමැත්තෙන්, සිත් එකඟ කොට සියල්ල සිතට එලවා ගනිමි’යි යොමුකරණලද කන් ඇතිව ධර්මය අසයි.

“මහණ, එසේවී නම් අසව. යහපත්කොට මෙනෙහි කරව, කියන්නෙමියි” වදාළේය.
“එසේය, ස්වාමීන් වහන්සැයි,” ආයුෂ්මත් ලොමසකඩ්ගිය ස්ථවිරයන් භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්නේය.

§ 6. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළේය.

[1] “අතීතය ගැන සිතමින් ඒ මතකයන් මත සතුටු නොවන්න.
අනාගතය ගැන සිහින මවමින් ඒ බලාපොරොත්තු මත තුටු නොවන්න.
අතීතය වැළලී ගොස්ය. අනාගතය උපන්නේ නැත.

[2] “වර්තමානයෙහි යමක් වේද ,
එහි තිලක්ඛනය දකිමින් විදර්ශනා වඩන්න.
ඒ විදර්ශනාව රාගාදීන්ගෙන් විසිරී නොයන සේ
කුපිත නොකොට සතිය වඩන්න.

[3] “අදම කෙළෙස් තවන වීර්‍ය්‍යය වඩා පිළිවෙත් පුරන්න.
මරණය හෙට ඒ දැයි අද ඒ දැයි දන්නේ කවුද,
මරණය සමග කිසිවෙකුට කිසි ගිවිසුමක් නැත්තේය.

[4] “මෙසේ වසන්නාවූ කෙළෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තවූ,
රෑ දාවල් දෙක්හි අනලස්ව පිළිවෙත්හි පිළිපන්නාවූ භික්ෂුව ,
උත්තම රැයක් ගෙවූ භික්ෂුව යයි ශාන්තවූ බුද්ධ මුනින් වදාළේය.

§ 7. “මහණ, කෙසේ නම් ඉකුත්වූ අතීත වූ පඤ්චස්කන්ධය අනුව සිටීද,

  • ‘මම අතීත කාලයෙහි මෙබඳු රූපයක් ඇත්තෙක් වූයෙමියි, ඒ අතීත රූපය කෙරෙහි තෘෂ්ණාව පවත්වන්නේය.
  • “මම අතීත කාලයෙහි මෙබඳු විඳීම් ඇත්තේ වීමියි, ඒ අතීත වින්දනය කෙරෙහි තෘෂ්ණාව පවත්වන්නේය.
  • මම අතීත කාලයෙහි මෙබඳු සංඥා ඇත්තෙක් වීමියි ඒ අතීත සඥාව කෙරෙහි තෘෂ්ණාව පවත් වන්නේය.
  • මම අතීත කාලයෙහි මෙබඳු සංස්කාර ඇත්තෙක් වීමියි ඒ අතීත සංස්කාරයන් කෙරෙහි තෘෂ්ණාව පවත්වන්නේය.
  • මම අතීත කාලයෙහි මෙබඳු විඥාන ඇත්තෙක් වීමියි ඒ අතීත විඥානය කෙරෙහි තෘෂ්ණාව පවත්වන්නේය

ඇවැත්නි, මෙසේ අතීත ස්කන්ධයන් අනුව තෘෂ්නාව පවත්වන්නේය.

§ 8 . “මහණ, කෙසේ අතීත ස්කන්ධයන් අනුව සිත නොයවන්නේද?

  • ‘මම අතීත කාලයෙහි මෙබඳු රූප ඇත්තෙක් වීමියි ඒ අතීත රූපය කෙරෙහි තෘෂ්ණාව නොපවත්වන්නේය.
  • මම අතීත කාලයෙහි මෙබඳු වින්දනයන් ඇත්තෙක් වීමියි ඒ අතීත වින්දනය කෙරෙහි නොපවත්වන්නේය.
  • මම අතීත කාලයෙහි මෙබඳු සංඥා ඇත්තෙක් වීමියි, ඒ අතීත සඥාව කෙරෙහි තෘෂ්ණාව නොපවත්වන්නේය.
  • මම අතීත කාලයෙහි මෙබඳු සංස්කාර ඇත්තෙක් වීමියි ඒ අතීත සංස්කාරයන් කෙරෙහි තෘෂ්ණාව නොපවත්වන්නේය.
  • මම අතීත කාලයෙහි මෙබඳු විඥාන ඇත්තෙක් වීමියි ඒ අතීත විඥානය කෙරෙහි තෘෂ්ණාව නොපවත්වන්නේය.’

මහණ, මෙසේ අතීත ස්කන්ධයන් කෙරෙහි තෘෂ්ණාව නොපැවැත්විය යුතුය.

§ 9 . “මහණ, කෙසේ අනාගත ස්කන්ධයන් ප්‍රාර්ථනා කරන්නේද?

  • ‘අනාගත කාලයෙහි මම මෙබඳු රූප ඇත්තෙක් වන්නෙමියි, එහි තෘෂ්ණාව පවත්වන්නේය.
  • අනාගත කාලයෙහි මම මෙබඳු වින්දනයන් ලබන්නෙමි යි, එහි තෘෂ්ණාව පවත්නේය.
  • අනාගත කාලයෙහි මම මෙබඳු සංඥා ඇත්තෙක් වන්නෙමියි, එහි තෘෂ්ණාව පවත්වන්නේය.
  • අනාගත කාලයෙහි මම මෙබඳු සංස්කාර ඇත්තෙක් වන්නෙමියි, එහි තෘෂ්ණාව පවත්වන්නේය.
  • මම අනාගත කාලයෙහි මෙබඳු විඥානය ඇත්තෙක් වන්නෙමියි, එහි තෘෂ්ණාව පවත්වන්නේය. ‘

“මහණ, මෙසේ පුහුදුන් පුද්ගලයා අනාගත ස්කන්ධයන් ප්‍රාර්ථනා කරයි..

§ 10 . “මහණ, කෙසේ අනාගත ස්කන්ධයන් ප්‍රාර්ථනා නොකරන්නේද?

  • ‘අනාගත කාලයෙහි මෙබඳු රූපයක් ලබන්නෙමි’යයි එහි තෘෂ්ණාව නොපවත්වන්නේය.
  • අනාගත කාලයෙහි මම මෙබඳු වින්දන ලබන්නෙමි’යයි, එහි තෘෂ්ණාව නොපවත්නේය.
  • අනාගතයෙහි මම මෙබඳු සංඥා ඇත්තෙක් වන්නෙම්යයි, එහි තෘෂ්ණාව නොපවත්වන්නේය.
  • අනාගතයෙහි මෙබඳු සංස්කාර ඇත්තෙක් වන්නෙම්යයි එහි තෘෂ්ණාව නොපවත්වන්නේය.
  • අනාගත කාලයෙහි මම මෙබඳු විඥාන ඇත්තෙක් වන්නෙමියි එහි තෘෂ්ණාව නොපවත්වන්නේය.’

“ මහන, මෙසේ අනාගත පඤ්චස්කන්ධය බලාපොරොත්තු නොවිය යුතු වෙයි. “.

§ 11 . “මහණ, කෙසේ නම් ප්‍රත්‍යුත්පන්න ස්කන්ධයන්හි (තෘෂ්ණා දෘෂ්ටි වශයෙන්) ඇදගැණීම වේද,

මහණ, අශ්‍රැතවත් පෘථග්ජන මනුෂ්‍යයා ආර්‍ය්‍යයන් ගැන නොදන්නේ , ආර්‍ය්‍ය ධර්මයෙහි දක්ෂ නොවූයේ, ආර්‍ය්‍ය ධර්මයෙහි නොහික්මුනේ සත්පුරුෂයන් නොදක්නේ, සත්පුරුෂ ධර්මයෙහි අදක්ෂවූයේ සත්පුරුෂ ධර්මයෙහි නොහික්මුනේ

  • රූපය තමා වශයෙන් දක්නේය. තමා රූපය ඇත්තෙකැයි කියා දක්නේය. රූපය තමා කෙරෙහි ඇත්තේය කියා දක්නේය. තමා රූපය කෙරෙහි ඇත්තේය කියා හෝ දක්නේය.
  • වින්දනය නොහොත් විඳින්නා තමා වශයෙන් දකියි. තමා විඳිනා දේ මගේ වින්දනය යැයි කියා හෝ දකියි. වේදනාව තමා කෙරෙහි ඇත්තේයයි කියා හෝ දකී. තමා වේදනාව කෙරෙහි ඇත්තේයයි කියා හෝ දකී.
  • සංඥාව තමා වශයෙන් හෝ දකී. තමා සංඥාව ඇත්තෙකැයි කියා හෝ දකී. සංඥාව තමා කෙරෙහි ඇත්තේ යයි කියා හෝ දකී. තමා සංඥාව කෙරෙහි ඇත්තේයයි කියා හෝ දකී.
  • සංස්කාර තමා වශයෙන් හෝ දකී. තමා සංස්කාර ඇත්තෙකැයි කියා හෝ දකී. සංස්කාර තමා කෙරෙහි ඇත්තේයයි කියා හෝ දකී. තමා සංස්කාර කෙරෙහි ඇත්තේයයි කියා හෝ දකී.
  • විඥානය තමා වශයෙන් හෝ දකින්නේය. තමා විඥානය ඇත්තෙකැයි කියා හෝ දක්නේය. විඥානය තමා කෙරෙහි ඇත්තේය කියා හෝ දක්නේය. තමා විඥානය කෙරෙහි ඇත්තේය කියා හෝ දක්නේය.

§ 12 . “ඇවැත්නි, කෙසේ වර්තමාන ස්කන්ධයන් කෙරෙහි ඇදීම නොවේද,

“ඇවැත්නි, ආර්‍ය්‍යයන් දක්නා ස්වභාව ඇත්තාවූ, ආර්‍ය්‍ය ධර්මයෙහි දක්ෂවූ, ආර්‍ය්‍ය ධර්මයෙහි හික්මුනාවූ, සත්පුරුෂයන් දක්නා ස්වභාව ඇත්තාවූ, සත්පුරුෂ ධර්මයෙහි දක්ෂවූ, සත්පුරුෂ ධර්මයෙහි හික්මුනාවූ ඇසූපිරූතැන් ඇති ආර්‍ය්‍ය ශ්‍රාවකයා

  • රූපය තමා වශයෙන් හෝ නොදක්නේය. තමා රූපය ඇත්තෙකැයි කියා හෝ නොදක්නේය. රූපය තමා කෙරෙහි ඇත්තේය කියා හෝ නොදක්නේය.
  • වේදනාව තමා වශයෙන් හෝ නොදක්නේය. තමා වේදනාව ඇත්තෙකැයි කියා හෝ නොදකී. වේදනාව තමා කෙරෙහි ඇත්තේයයි කියා හෝ නොදකී. තමා වේදනාව කෙරෙහි ඇත්තේයයි කියා හෝ නොදකී.
  • සංඥාව තමා වශයෙන් හෝ නොදක්නේය. තමා සංඥාව ඇත්තෙකැයි කියා හෝ නොදකී. සංඥාව තමා කෙරෙහි ඇත්තේයයි කියා හෝ නොදකී. තමා සංඥාව කෙරෙහි ඇත්තේයයි කියා හෝ නොදකී.
  • සංස්කාර තමා වශයෙන් හෝ නොදක්නේය. තමා සංස්කාර ඇත්තෙකැයි කියා හෝ නොදකී. සංස්කාර තමා කෙරෙහි ඇත්තේයයි කියා හෝ නොදකී. තමා සංස්කාර කෙරෙහි ඇත්තේයයි කියා හෝ නොදකී.
  • විඥානය තමා වශයෙන් හෝ නොදක්නේය. තමා විඥානය ඇත්තෙකැයි කියා හෝ නොදක්නේය. විඤ්ඤාණය තමා කෙරෙහි ඇත්තේය කියා හෝ නොදක්නේය. තමා විඤ්ඤාණය කෙරෙහි ඇත්තේය කියා හෝ නොදක්නේය.

[1] “අතීතය ගැන සිතමින් ඒ මතකයන් මත සතුටු නොවන්න.
අනාගතය ගැන සිහින මවමින් ඒ බලාපොරොත්තු මත තුටු නොවන්න.
අතීතය වැළලී ගොස්ය. අනාගතය උපන්නේ නැත.

[2] “වර්තමානයෙහි යමක් වේද ,
එහි තිලක්ඛනය දකිමින් විදර්ශනා වඩන්න.
ඒ විදර්ශනාව රාගාදීන්ගෙන් විසිරී නොයන සේ
කුපිත නොකොට සතිය වඩන්න.

[3] “අදම කෙළෙස් තවන වීර්‍ය්‍යය වඩා පිළිවෙත් පුරන්න.
මරණය හෙට ඒ දැයි අද ඒ දැයි දන්නේ කවුද,
මරණය සමග කිසිවෙකුට කිසි ගිවිසුමක් නැත්තේය.

[4] “මෙසේ වසන්නාවූ කෙළෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තවූ,
රෑ දාවල් දෙක්හි අනලස්ව පිළිවෙත්හි පිළිපන්නාවූ භික්ෂුව ,
උත්තම රැයක් ගෙවූ භික්ෂුව යයි ශාන්තවූ බුද්ධ මුනින් වදාළේය.

සතුටු සිත් ඇත්තාවූ ආයුෂ්මත් ලොමසකඩ්ගිය ස්ථවිර භාග්‍යවතුන් වහන්සේගේ වචනය සතුටින් පිළිගත්තේයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.