MN 03-04-11 සච්ච විභංග සුත්‍රය.

සත්වයා උපන් වේලෙහි සිට සැප සොයයි. එසේ සැප සොයන්නේ ඔහු ඉන්නේ සැපයෙන් නොවන නිසාය. “දුක්ඛය” කියා බෞද්ධාගමේ දක්වා ඇත්තේ මේ අසන්තෘප්ත, සැප නැති කමය. සැප සොයන මනුෂ්‍යයා පංච ඉන්ද්‍රියන්ට ගෝචරවන අරමුණු නිසා දුක නැති වේයැයි සිතා ලෝකයේ අරමුණු හා බැඳෙයි. ඒ අරමුණු උපාදානය කර ගනියි. එයින් සැප නොලැබෙන බවත්, දුක වැඩි වන බවත් දකින්නට ඔහු අසමත් වන්නේ අවිවේක බව හා මෝහය නිසාමය.
භාග්‍යවතුන් වහන්සේ මේ මනුෂ්‍ය ප්‍රජාව නිදුක් කරනු පිණිස මේ සැප නැති බවට එනම් දුකක් ඇති බවද, ඒ දුක ඉබේ හටගත්තක් නොව හේතුවක් නිසා ඇති වූ බවද, ඒ දුක නැති කර ගන්නට හැකි බවද, ඒ සැප ලබන විමුක්තිය දෙසට යන්නට ප්‍රතිපත්තියක් ඇති බවද දෙසනා කරන ලදී. චතුරාර්‍ය සත්‍ය ලෙස අප දන්නා මේ සත්‍යය ගැන මේ සච්ච විභංග සුත්‍රයෙන් විස්තර වේ. භාග්‍යවතුන් වහන්සේ සංක්ෂිප්ත ලෙස කල දේසනාවක් දම් සෙනෙවි සැරියුත් ස්වාමින් වහන්සේ මේ සුත්‍රයෙන් විවරණය කරන ලදී.

පාළි සුත්‍ර සජ්ජායනය -අති පුජ්‍ය නාඋයනේ අරියධම්ම මහා ස්වාමින් වහන්සේ විසින්

§ 1. මා විසින් මෙසේ අසනලදී.
එක් කලෙක්හි, භාග්‍යවතුන් වහන්සේ බරණැස් නුවර සමීපයෙහි මිගදාය නම්වූ ඉසිපතනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට “මහණෙනි, කියා ආමන්ත්‍රණය කළ සේක.
“පින්වතුන් වහන්සැයි,” ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

§ 2. “මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ තථාගතයන් වහන්සේ විසින් බරණැස්නුවර සමීපයෙහිවූ මිගදායෙහිදී ශ්‍රමණයෙකු විසින් හෝ බ්‍රාහ්මණයෙකු විසින් හෝ දෙවියකු විසින් හෝ මාරයකු විසින් හෝ බ්‍රහ්මයෙකු විසින් හෝ ලෝකයෙහි කිසිවෙකු විසිනුත් නොනැවැත්විය හැකි නිරුත්තරවූ ධර්ම චක්‍රය ලොව දස දෙසට කරකවන ලදී.

එම ධර්ම චක්‍රය නම්, චතුර්ය විධ ආර්ය සත්‍යයන් හැඳින්වීමය; එම සතර විධ සත්‍යයන් කීමය, දෙසීමය, පැනවීමය, පිහිටුවීමය, ප්‍රකාශ කිරීමය, විභාග කිරීමය, ප්‍රකට කිරීමය, යනුයි)

§ 3. කවර චතුරාර්‍ය්‍ය සත්‍යයන්ගේද?

  • දුක්ඛය නම් ආර්‍ය්‍ය සත්‍යය ප්‍රකාශ කීරීමය,
    දේසනා කිරීමය, පැනවීමය, පිහිටුවීමය, විවරණ කිරීමය, විග්‍රහ කිරීමය, බොහෝ සේ ප්‍රකට කිරීමය,
  • දුක්ඛ සමුදය නම් ආර්‍ය්‍ය සත්‍යය ප්‍රකාශ කීරීමය,
  • දේසනා කිරීමය, පැනවීමය, පිහිටුවීමය, විවරණ කිරීමය, විග්‍රහ කිරීමය, බොහෝ සේ ප්‍රකට කිරීමය,
  • දුක්ඛ නිරෝධය නම් ආර්‍ය්‍ය සත්‍යය ප්‍රකාශ කීරීමය,
  • දේසනා කිරීමය, පැනවීමය, පිහිටුවීමය, විවරණ කිරීමය, විග්‍රහ කිරීමය, බොහෝ සේ ප්‍රකට කිරීමය,
  • දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාව නම් ආර්‍ය්‍ය සත්‍යය ප්‍රකාශ කීරීමය,
  • දේසනා කිරීමය, පැනවීමය, පිහිටුවීමය, විවරණ කිරීමය, විග්‍රහ කිරීමය, බොහෝ සේ ප්‍රකට කිරීමය,
    යන සතරයි.

[ආවික්ඛනා. දේසනා, පඥපනා, පටටපනා, විවරණා , විභජනා, උත්තානිකම්මන්ති ලෙස ඇති පාලි පාටයෙන් දැක්වෙන්නේ කීමය, දෙසීමය, පැනවීමය, පිහිටුවීමය, ප්‍රකාශ කිරීමය, විභාග කිරීමය, ප්‍රකට කිරීමය, යනුවෙන් ගන්නා ලදී.]

§ 4. මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ තථාගතයන් වහන්සේ විසින් බරණැස් සමීපයෙහිවූ මිගදායෙහිදී මහණෙකු විසින් හෝ බමුණෙකු විසින් හෝ දෙවියකු විසින් හෝ මාරයෙකු විසින් හෝ බඹෙකු විසින් හෝ ලොව කිසිකෙනෙකු විසිනුත් නැවැත්විය නොහැකි නිරුත්තරවූ ධර්ම චක්‍රය පවත්වන ලදී. එනම්, මේ සතර ආර්‍ය්‍ය සත්‍යයන් කීමය, දෙසීමය, පැනවීමය, පිහිටුවීමය, ප්‍රකාශ කිරීමය, විභාග කිරීමට, ප්‍රකට කිරීමය.

§ 5 . “මහණෙනි, ශාරීපුත්‍රයන් හා මොග්ගල්ලායනයන් සේවනය කරව්. මහණෙනි, ශාරීපුත්‍ර මොග්ගල්ලානයන් භජනය කරව්. පණ්ඩිතවූ ඒ භික්ෂූහු දෙනම, සබ්‍රහ්මචාරි (එක්ව පටිපදාවේ හැසිරෙන) භික්ෂුන්ට ආධාර අනුග්‍රහ කරන්නාහුය.

මහණෙනි, ශාරීපුත්‍රයන් තොප වැදූ මව මෙනි. , මොග්ගල්ලානයන් කිරි මව වැනිය. උපන් දරුවාට මව සහ කිරි මව උපකාර වන්නා සේ මේ ශ්‍රාවක දෙනම සාසනයට උපන්, ඇතුළු වූ තොපට අනුග්‍රහ කරන්නේය.

මහණෙනි, ශාරීපුත්‍රයන් අද උපන්නා වූ දරුවා කිරෙන් පෝෂ්‍යය කරන්නාවූ මවක් සේ ශ්‍රාවකයන් සෝවාන් ඵලයෙහි හික්මවයි. මොග්ගල්ලානයන් ඔවුන් ඉහළ ඵලයන්හි හික්මවයි. 1289

[1289:- සාරිපුත්‍ර ස්වාමින්වහන්සේ සෝවාන් ඵලය තෙක් සිය ශිෂ්‍යයන් මෙහෙයවා ඉන් පසු ඔවුන්ට තමන්ගේම උත්සාහයෙන් රහත් බව පසක් කර ගන්නට දී අලුතින් ශිෂ්‍යයන් පරපුරක් පිළිගෙන ඔවුන්ද සෝවාන් තත්වයට පත් කරවයි. මොග්ගල්ලාන ස්වාමින් වහන්සේ සිය ශිෂ්‍යයන් අරහත් ඵල ලබන තෙක්ම එකසේ කමටහන් අනුග්‍රහ කෙරෙති.]

§ 6 . මහණෙනි, ශාරීපුත්‍රයන් චතුරාර්‍ය්‍ය සත්‍යයන් විස්තර වශයෙන් කියන්ට දේශනා කරන්ට පනවන්ට පිහිටුවන්ට විචරණය කරන්ට විභාග කරන්ට ප්‍රකට කරන්ට සමර්ථවේ”යයි. වදාළේය.

භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාරා හුනස්නෙන් නැගිට විහාරයට වැඩිසේක.

§ 7 ,ඉන් නොබෝ වෙලාවකින් ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන්වහන්සේ භික්ෂූන්ට “ඇවැත් මහණෙනියි” ආමන්ත්‍රණය කළ සේක.
“ඇවැත්නි,” කියා ඒ භික්ෂූහු ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන්ට උත්තර දුන්හ. ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මෙය ප්‍රකාශ කෙළේය.

§ 8. “ඇවැත්නි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ තථාගතයන් වහන්සේ බරණැස්නුවර මිගදායයෙහි දී මහණෙකු විසින් හෝ බමුණෙකු විසින් හෝ දෙවියකු විසින් හෝ මාරයකු විසින් හෝ බඹෙකු විසින් හෝ ලොව කිසිවෙකු විසින් හෝ නැවැත්විය නොහැකි නිරුත්තරවූ ධර්මචක්‍රය පවත්වන ලදී.

එනම්, මේ චතුරාර්‍ය්‍ය සත්‍යයන්
ප්‍රකාශ කීරීමය,
දේසනා කිරීමය,
පැනවීමය,
පිහිටුවීමය,
විවරණ කිරීමය,
විග්‍රහ කිරීමය,
බොහෝ සේ ප්‍රකට කිරීමය,

§ 9 . කවර සතරක්ද ?

  • දුක්ඛය නම් ආර්‍ය්‍ය සත්‍යය ප්‍රකාශ කීරීමය, දේසනා කිරීමය, පැනවීමය, පිහිටුවීමය, විවරණ කිරීමය, විග්‍රහ කිරීමය, බොහෝ සේ ප්‍රකට කිරීමය,
  • දුක්ඛ සමුදය නම් දුක්ඛය ඇති වීමට හේතු යන ආර්‍ය්‍ය සත්‍යය ප්‍රකාශ කීරීමය,
  • දේසනා කිරීමය, පැනවීමය, පිහිටුවීමය, විවරණ කිරීමය, විග්‍රහ කිරීමය, බොහෝ සේ ප්‍රකට කිරීමය,
  • දුක්ඛ නිරෝධ නම් ඒ දුක්ඛය නැති කිරීම යන ආර්‍ය්‍ය සත්‍යය ප්‍රකාශ කීරීමය, දේසනා කිරීමය, පැනවීමය, පිහිටුවීමය, විවරණ කිරීමය, විග්‍රහ කිරීමය, බොහෝ සේ ප්‍රකට කිරීමය,
  • දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාව නම් ඒ දුක නැති කරනා මාර්ගය, ක්‍රමය ප්‍රකාශ කීරීමය,
  • දේසනා කිරීමය, පැනවීමය, පිහිටුවීමය, විවරණ කිරීමය, විග්‍රහ කිරීමය, බොහෝ සේ ප්‍රකට කිරීමය,
    යනුයි.

§ 10. “ඇවැත්නි, දුක්ඛ ආර්‍ය්‍ය සත්‍යය කවරේද?

ඉපදීම දුකක්වේ.
දිරීමද දුක්වේ.
මරණය ද දුක්වේ.
සෝක කිරීමය, වැලපීමය, කායික දුකය, දොම්නසය, දැඩි වෙහෙසය යන මේවාද දුක් වෙත්.
කැමැති දේ නොලැබේද, එයද දුක් වේ
.
කොටින්, පස්වැදෑරුම් උපාදාන ස්කන්ධයෝ දුක් වෙත්. මේ

[1290: භාග්‍යවතුන් වහන්සේ විසින් මේ සුත්‍රයේද, සතිපට්ඨාන සුත්‍රයේද, තවත් බොහෝ සුත්‍ර වලදීද මෙසේ දුක්ඛ සත්‍ය හඳුන්වා දී ඇත. පසු කාලීනව රචිත අභිධර්ම පිටකයේ සච්චවග්ගයෙදී මේ කාරණා වලට ඉහලින් යම් යම් කාරණා ඇතුල් කොට ඇත. ඒ අනුව යන අභිධර්ම විශාරද දේශකයාණන් අද මේ ඉහත දැක්වූ කාරණා දුක බවත් දුක්ඛ ආර්ය සත්‍ය යනු ඒ නොවන බවත් ආර්ය සත්‍ය වන්නේ උපාදාන යන් විදර්ශනා කල පසු බවත් කියනු අසන්නට හැක LINK.]

§ 11. “ඇවැත්නි, ඉපදීම නම් කවරීද, 1291

ඒ ඒ සත්වයන්ගේ ඒ ඒ සත්ව වර්ගයෙහි යම් ප්‍රතිසන්ධියක්, කළලයක විඥානයේ හටගැනීමක්, පිළිසිඳීමක්, පහළවීමක්, ස්කන්ධයන්ගේ පහළවීමක්, ආයතනයන්ගේ ප්‍රතිලාභයක් වේද, ඇවැත්නි, මෙය ජාතියයි කියනු ලැබේ. ඉපදීමයයි කියනු ලැබේ. මේ ප්‍රසුත කිරීම ලෙස වරදවා නොගත යුතුය.

[1291:- ඉපදීම යනුවෙන් කියැවෙන්නේ මේ භවයේ ඇති වූ ඉපදීම නොව නැවත සිදුවන ඊළඟ ඉපදීම් නොහොත් පුනර්භවය ලෙස ගත යුතුය. මන්දයත් සිදුවූ මේ උපතේ දුක විඳ අවසන් ව ඇති බැවිනි.මේ ඉපදීම ලෙස මිනිස් හා තිරිසන් භවයන්හිද, පහලවීම, දේව, බ්‍රහ්ම, ප්‍රේත භවයන් හිද, ස්කන්ධයන්ගේ ප්‍රතිලාභය නිරයේද ආදී ලෙස නොයෙක් නමින් හඳුන් වා ඇත.]

§ 12 .“ඇවැත්නි, ජරාව කවරීද?

ඒ ඒ සත්වයන් ඒ ඒ සත්ව වර්ගයෙහි ඉපිද කල් ගත වීමෙන් ඒ ඒ ශරීරවල ඇතිවන ජරා ස්වභාවය, දිරූ ස්වභාවය , නොනවත්නා දිරණ ස්වභාවය, කැඩෙන ස්වභාවය, පැසෙන ස්වභාවය,


සම රැලි වැටුනු ස්වභාවය, කෙස් සුදුවන ස්වභාවය, කෙස් හැලෙන ස්වභාවය, දත් දිරා ගිලිහී යන ස්වභාවය, ඇසෙහි පෙනීම අඩුවෙමින් යන ස්වභාවය, කනෙහි ඇසීම අඩුවෙමින් යන ස්වභාවය, අනෙක් ඉන්ද්‍රියයන් ගේ ක්‍රියාත්මකවීම අඩුවන ස්වභාවය, දෑත් දෙපා වලංගු නැති ස්වභාවය, මතකය අඩුවීමේ ස්වභාවය,
ආයුෂය පිරිහීම, ඉන්ද්‍රියන්ගේ මේරීම වේද, ඇවැත්නි, මෙය ජරාවයයි කියනු ලැබේ.

§ 13 “ඇවැත්නි, මරණය කවරේද?

ඒ ඒ සත්ව වර්ගයෙහි උපන් සත්වයා ආයුෂ නිමවීමෙන් හෝ රෝගා බාධයක් නිසා හෝ හදිසි අනපේක්ෂිත අනතුරක් නිසා හෝ, මියයයිද, චුතවීම වේද, චුතවන බව සිදුවේද, බිඳීමක් වේද, අතුරුදන්වේද , මරණයට පත් වේද, කළුරිය කරයිද , ස්කන්ධයන්ගේ බිඳීම සිදුවේද, ශරීරය හැර යාද, ඇවැත්නි, මේ “මරණය”යි කියනු ලැබේ.

§ 14. “ඇවැත්නි, ශෝක කිරීම නම් කවරේද?

ඇවැත්නි, තමනට හෝ තමන්ගේ කෙනෙකුට යම් විනාශයක් ව්‍යාසනයක් නිසා සත්වයාගේ සිත්හි එක්තරා එක්තරා දුක් ස්වභාවයක් වෙයි. ඇතුළත යම්, ශෝකයක්, තැවීමක්, තැවීම් ඇතිබවක්, ඇතුළත තැවීමක්, ඇතුළත අතිශයින් තැවීමක් වේද, ඇවැත්නි, මේ ශෝකයයි කියනු ලැබේ.

§ 15. “ඇවැත්නි, පරිදේවය නොහොත් වැළපීම කවරේද,

ඇවැත්නි,
ව්‍යාසනයකට පත් වූ විට, විනාශයකින් සිත් කැළඹුන විට සිතට එන දැඩි දුක් ස්වභාවය නිසා සත්වයා ට යම් ආදෙවයක්, පරිදෙවයක්, හැඬීමක්, වැළපීමක්, හැඬීම ඇති බවක්, වැළපෙන ස්වභාවයක් වේද, ඇවැත්නි, මේ වැළපීමයයි, කියනු ලැබේ.

§ 16. “ඇවැත්නි, කායික දුක නම් කවරේද?

ඇවැත්නි,
කයෙහි හටගන්නාවූ ශාරීරික දුකක්,
කයෙහි හටගන්නාවූ ආබාධයක් නිසා ඇති දුක් වේදනාවක්, නොසැපයක්, කයේ යමක් වැදීමෙන් හටගන්නාවූ දුකක් නොසැපයක්, විඳ ගැනීමක් වේද, ඇවැත්නි, මේ කායික දුකයයි කියනු ලැබේ

.

§ 17. “ඇවැත්නි, දෝමනස්ස නම් දොම්නස කවරේද?

ඇවැත්නි,
සිතෙහි හටගන්නාවූ අභ්‍යන්තර වූ සියුම් දුක, සිතෙහි හටගන්නාවූ අසතුට, දුක්වූ විඳ ගැනීමක් වේද, මනො සම්ඵස්සයෙන් හට ගන්නාවූ දුකක්, සැප නොවූ විඳගැනීමක් වේද, ඇවැත්නි, මෙය දොම්නසයයි කියනු ලැබේ.

§ “ඇවැත්නි, උපායාසය නොහොත් එපාවීම කලකිරීම යනු කවරේද?

ඇවැත්නි,
යම් වීනාශයකට පත්වූ විට ඔහුට ඇතිවෙන චිත්ත ස්වභාවය, දුක් ස්වභාවය, යම් වෙහෙසක්, දැඩිවූ ශෝකයක්, වෙහෙසට පැමිණි බවක්, ලොව කෙරෙහි, තමන් කෙරෙහි මහා කලකිරීමක් බඳු , එපාවීමක් බඳු ස්වභාවයකි. ඒ උපායාසයයි කියනු ලැබේ

.

§ 19. “ඇවැත්නි, කැමතිවූ යමක් නොලබාද එයද දුක් වේ, යනුවෙන් කුමක් අදහස් වේද?


ඇවැත්නි, ඉපදීම ස්වභාවකොට ඇත්තාවූ සත්වයන්ට මෙබඳු සිතක් පහළවේ.
‘අපි ඉපදීම ස්වභාව කොට ඇත්තාහු නොවෙයි නම්, ඒකාන්තයෙන් අපට යලි ඉපදීම නොපැමිණෙන්නේ නම් යහපතැයි’ කියායි.

මේ කැමැත්තෙන් හා ප්‍රාර්ථනාවෙන් සිදු නොවන්නකි. යලි උපතක් නොවේවා!” යි පැතුවද යලි සසරෙහි කිසියම් භවයක ඉපිදීම නැවැත්විය නොහැක. මෙයද කැමති යමක් නොලබා නම්, එයද දුක්වේ. යන ධර්මයට අඩන්ගු වුවකි.

ඇවැත්නි, දිරීම ස්වභාව කොට ඇති සත්වයන්ට තමන් ගේ දිරීම දැක මෙබඳු කැමැත්තක් ඇතිවේ.
‘අපි දිරීම ස්වභාවකොට ඇත්තාහු නොවේ නම්, ඒකාන්තයෙන් අප දිරීමට පත් නොවන්නේ නම් ඉතා හොඳය’ කියායි.

මේ කැමැත්තෙන් හා ප්‍රාර්ථනාවෙන් සිදු නොවන්නකි. මෙයද “කැමති යමක් නොලබා නම්, එයද දුක්වේ” යන ධර්මයට අඩන්ගු වුවකි.

ඇවැත්නි, ව්‍යාධිය ස්වභාවකොට ඇති සත්වයන්ට මෙබඳු කැමැත්තක් පහළවේ.
‘අපි ව්‍යාධිය ස්වභාවකොට ඇත්තාහු නොවන්නෙමු නම්, ඒකාන්තයෙන් අප ව්‍යාධියට පත් නොවන්නේ නම් , හොඳය’ කියායි. මේ කැමැත්තෙන් හා ප්‍රාර්ථනාවෙන් සිදු නොවන්නකි. මෙයද “කැමති යමක් නොලබා නම්, එයද දුක්වේ” යන ධර්මයට අඩන්ගු වුවකි

“ඇවැත්නි, මරණය ස්වභාවකොට ඇති සත්වයන්ට මෙබඳු කැමැත්තක් පහළවේ.
‘අපි මරණය ස්වභාවකොට නොවන්නෙමු නම්, ඒකාන්තයෙන් අපට මරණය නොපැමිණෙන්නේ නම් ඉතා හොඳය’ කියායි.
මේ කැමැත්තෙන් හා ප්‍රාර්ථනාවෙන් සිදු නොවන්නකි. මෙයද “කැමති යමක් නොලබා නම්, එයද දුක්වේ” යන ධර්මයට අඩන්ගු වුවකි

“ඇවැත්නි, ඇතුළත තැවීමය, වැළපීමය, කායික දුකය, චෛතසික දුකය, දැඩිවූ ආයාසය යන මොවුන් ස්වභාව කොට ඇති සත්වයන්ට මෙබඳු කැමැත්තක් උපදියි.
‘අපට ඇතුළත තැවීමය, විලාප කීමය, කායික දුකය, චෛතසික දුකය, දැඩිවූ ආයාසය යන මේ ස්වභාව නැත්තේ නම්, අපට ඒකාන්තයෙන් ශොක, පරිදෙව, දුක්, දොම්නස් යන මේවා ඇති නොවන්නේ නම් යහපති, කියායි.

මේ කැමැත්තෙන් හා ප්‍රාර්ථනාවෙන් සිදු නොවන්නකි. මෙයද “කැමති යමක් නොලබා නම්, එයද දුක්වේ” යන ධර්මයට අඩන්ගු වුවකි

අතිපුජ්‍ය බලන්ගොඩ ආනන්ද මෛත්‍රිය මහනායක ස්වාමින් වහන්සේ

§ 20. “ඇවැත්නි, සැකෙවින් පඤ්ච උපාදාන ස්කන්ධයෝ දුක් වෙති, ” යි භාග්‍යවතුන් වහන්සේ දේසනා කල සේක.
පඤ්ච උපාදාන ස්කන්ධයෝ යනු කවරහුද,

එනම් රූප උපාදාන ස්කන්ධය
වේදනා උපාදාන ස්කන්ධය,
සංඥො උපාදාන ස්කන්ධය,
සංස්කාර උපාදාන ස්කන්ධය,
විඥාන උපාදාන ස්කන්ධය යන මේවායි.

ඇවැත්නි, මේ නිසා සැකෙවින් පඤ්චොපාදාන ස්කන්ධයෝ දුක් වෙත්යයි කියන ලද්දේය. .

“ඇවැත්නි, මේ දුඃඛාර්‍ය්‍යසත්‍යයයි කියනු ලැබේ.

§ 21. “ඇවැත්නි, දුක්ඛසමුදය නම් ආර්‍ය්‍යසත්‍යය කවරේද?

නැවත භවය ගෙණදෙන්නාවූ (පොනෝ භවිකා)
සතුටුවීමයයි කියනලද ඇල්මෙන් යුක්තවූ (නන්දිරාග සහගතා)
ඒ ඒ තන්හි ඇළුම් කරන්නාවූ (තත්‍රතත්‍රා භි නන්දනී.)
තෘෂ්ණාව. වෙයි.

එනම්,
කාම තන්හාවය ,
භව තන්හාවය,
විභව තන්හාවය,
යන මේවායි. LINK

ඇවැත්නි, මේ දුක්ඛසමුදය ආර්‍ය්‍යසත්‍යයයි කියනු ලැබේ.

§ 22. “ඇවැත්නි, දුක්ඛ නිරෝධ ආර්‍ය්‍යසත්‍යය කවරේද?

ඒ තෘෂ්ණාවගේම ශෙෂ රහිතව (ඉතිරිවීමක් නැතිව) නොඇලීමෙන් යම් නිරෝධයක්, ත්‍යාගයක්, දුරලීමක්, මිදීමක්, ඇළුම් රහිත බවක් වේද, ඇවැත්නි, මෙය දුක්ඛනිරෝධ නම් ආර්‍ය්‍යසත්‍යයයි කියනු ලැබේ.

§ 23. “ඇවැත්නි, දුක් නිරුද්ධකිරීම පිණිස ගමන් කරන්නාවූ ප්‍රතිපදාව නම් ආර්‍ය්‍යසත්‍යය කවරේද?

මේ ආර්‍ය්‍ය අෂ්ටාඩ්ගික මාර්ගය මැයි. එනම්, සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් ස්මෘතිය, සම්‍යක් සමාධිය යනු මේවායි.

පුජනීය නාඋයනේ අරියධම්ම මහා ස්වාමින්වහන්සේ කල දේසනාව

§ 24. “ඇවැත්නි, සම්මා දිට්ඨිය යනු කුමක්ද ?
ඇවැත්නි,
දුක්ඛ සත්‍යය දැනීම ,
දුක්ඛ සමුදය සත්‍යය දැනීම,
දුක්ඛ නිරෝධ සත්‍යයෙහි දැනීම,
දුක් නිරුද්ධ කිරීම පිණිස පිළිපදින්නාවූ මාර්ග සත්‍යය දැනීම ,
ඇවැත්නි, මේ සම්‍යක් දෘෂ්ටියයි කියනු ලැබේ.

§ 25. “ඇවැත්නි, සම්මා සංකප්ප නොහොත් සම්‍යක් සංකල්පය නම් කවරීද?

  • කාමයන්ගෙන් සිත බැහැර කිරීමෙහි නෛෂ්කර්ම සංකල්පනාවය.
  • ක්‍රොධ නොකිරීම පිළිබඳ අව්සං‍යාපාද සංකල්පනාවය,
  • හිංසා නොකිරීම පිළිබඳ අවිහිංසා සංකල්පනාවය යන
    මේවාය.

ඇවැත්නි, මේ සම්‍යක් සංකල්පයයි කියනු ලැබේ.

§ 26. “ඇවැත්නි, සම්‍යක් වචනය කවරේද?

  • බොරු කීමෙන් වැළකීමය,
  • කේලාම් කීමෙන් වැළකීමය,
  • රළු වචන කීමෙන් වැළකීමය,
  • හිස් කථාවෙන් වැළකීමය යන
    මේ වායි

ඇවැත්නි, මේ සම්‍යක් වචනයයි කියනු ලැබේ.

§ 27. “ඇවැත්නි, සම්‍යක් කර්මාන්තය නම් සම්මා කම්මන්තය කවරේද?

  • සතුන් මැරීමෙන් වැළකීමය,
  • සොරකම් කිරීමෙන් වැළකීමය,
  • කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකීමය
    යන මේ ආකාර කර්මාන්තයක යෙදීමය .

ඇවැත්නි, මේ සම්‍යක් කර්මාන්තයයි කියනු ලැබේ.

§ 28. “ඇවැත්නි, සම්‍යක් ආජීවය නම් කවරේද?

ඇවැත්නි,
යම් මනුෂ්‍යයෙකු වැරදි ජීවිකා වෘතිය හැර යහපත්වූ ජීවිකාවෙන් දිවි පැවැත්ම කෙරේද, ඇවැත්නි, මේ සම්‍යක් ආජීවයයි කියනු ලැබේ.

§ 29. “ඇවැත්නි, සම්‍යක් ව්‍යායාමය නම් කවරේද?

ඇවැත්නි,

  • යම් භික්ෂුවක් නූපන්නාවූ ලාමකවූ අකුශල ධර්මයන් ඉපදීම වලකනු පිණිස කැමැත්ත උපදවයි. ව්‍යායාම කරයි. වීර්‍ය්‍ය පටන්ගනියි. සිත දැඩිකර ගණියි, උත්සාහ කරයි.
  • උපන්නාවූ ලාමකවූ අකුසල ධර්මයන් දුරුකිරීම පිණිස කැමැත්ත උපදවයි. වෑයම් කරයි. වීර්‍ය්‍යය පටන්ගනියි. සිත දැඩිකර ගනියි. උත්සාහ කරයි.
  • නූපන්නාවූ කුසල ධර්මයන් ඉපදීම පිණිස කැමැත්ත උපදවයි. වෑයම් කරයි. වීර්‍ය්‍යය පටන්ගනියි. සිත දැඩිකර ගනියි. උත්සාහ කරයි.
  • උපන්නාවූ කුසල කර්මයන් පැවැත්ම පිණිස, මුළා නොවීම පිණිස, වැඩිවීම පිණිස, මහත්වීම පිණිස, භාවනාවෙන් සම්පූර්ණ කිරීම පිණිස ආලය උපදවයි වෑයම් කරයි. වීර්‍ය්‍යය පටන්ගනියි. සිත දැඩිකර ගනියි. උත්සාහ කරයි.

ඇවැත්නි, මේ සම්‍යක් ව්‍යායාමයයි කියනු ලැබේ.

§ 30. “ඇවැත්නි, සම්‍යක් ස්මෘතිය නම් කවරේද?

ඇවැත්නි,

  • භික්ෂුවක් කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇතිව , මනා සතියෙන් යුක්තව, මනාවූ දැනුමින් , ලෝකයෙහි ලෝභය හා දොෂය දුරුකොට සියළු කයෙහි කය අනුව බලමින් වාසය කරයි.
  • වේදනාවන්හි වේදනාවන් අනුව බලන්නේ, කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇත්තේ, මනා දැනුම් ඇත්තේ, සිහි ඇත්තේ, ස්කන්ධ ලෝකයෙහි ලෝභය හා දොෂය දුරු කොට වාසය කරයි.
  • සිතෙහි සිත අනුව බලන්නේ කෙළෙස් තවන වීර්‍ය්‍යය ඇත්තේ, මනා දැනුම් ඇත්තේ, සිහි ඇත්තේ, ලෝකයෙහි ලෝභය හා දොෂය දුරුකොට වාසය කරයි. කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇත්තේ, මනා දැනුම් ඇත්තේ, සිහි ඇත්තේ, ලෝකයෙහි ලෝභය හා දොෂය දුරුකොට ධර්මයන්හි ධර්මය අනුව දකිමින් වාසය කරයි.

ඇවැත්නි, මෙය සම්‍යක් ස්මෘතියයි කියනු ලැබේ.

§ 31. “ඇවැත්නි, සම්‍යක් සමාධිය නම් කවරේද?


ඇවැත්නි,

  • භික්ෂුවක් කාමයන්ගෙන් වෙන්ව අකුශල ධර්මයන්ගෙන් වෙන්ව විතර්ක සහිතවූ, විචාර සහිතවූ, විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වාසය කරයි.
  • විතර්ක විචාරයන්ගේ සංසිඳීමෙන් අධ්‍යාත්මයෙහි පැහැදීම ඇති සිත පිළිබඳ එකඟ බැව් ඇත්තාවූ, විතර්ක සහිතවූ, විචාර රහිතවූ, සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ද්විතීයධ්‍යානයට පැමිණ වාසය කරයි.
  • ප්‍රීතිය ඉක්මවීමෙන් උපෙක්ෂා ඇත්තේ වාසය කෙරෙයි. සිහියෙන් යුක්තවූයේ, කයින් සැප විඳියි. යම් ධ්‍යානයක් උපෙක්ෂා ඇත්තේ, සිහියෙන් යුක්තවූයේ, සැප විහරණය ඇත්තේයයි ආර්‍ය්‍යයෝ කියත්ද ඒ තෘතීයධ්‍යානයට පැමිණ වාසය කරයි.
  • සැපය නැතිකිරීමෙන් දුක් නැති කිරීමෙන් කල් ඇතිවම සොම්නස් දොම්නස් දෙක අතුරුදන් කිරීමෙන් දුක් නැත්තාවූද, සැප නැත්තාවූද උපෙක්ෂාවෙන් හටගත් සිහිය පිළිබඳ පිරිසිදු බැව් ඇති චතුර්ථධ්‍යානයට පැමිණ වාසය කරයි.

ඇවැත්නි, මේ සම්‍යක් සමාධියයි කියනු ලැබේ.

ඇවැත්නි, මේ දුක් නිරුද්ධකිරීම පිණිස ගමන් කරන්නාවූ මාර්ගය නම්, ආර්‍ය්‍යසත්‍යය යි කියනු ලැබේ.

§ 32. “ඇවැත්නි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ තථාගතයන් වහන්සේ විසින් බරණැස් නුවර මිගදාය නම්වූ ඉසිපතනාරාමයෙහි මහණෙකු විසින් හෝ බමුණෙකු විසින් හෝ දෙවියකු විසින් හෝ මරුවෙකු විසින් හෝ බඹෙකු විසින් හෝ ලෝ කිසිවෙකු විසිනුත් නො නැවැත්විය හැකි නිරුත්තරවූ ධර්මචක්‍රය පවත්වනලදී.

එනම්, මේ සිව්වැදෑරුම්වූ ආර්‍ය්‍ය සත්‍යයන් ප්‍රකාශ කීරීමය,
දේසනා කිරීමය, පැනවීමය, පිහිටුවීමය, විවරණ කිරීමය, විග්‍රහ කිරීමය, බොහෝ සේ ප්‍රකට කිරීමය, යනුයි.

ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිර ස්වාමින් වහන්සේ මෙසේ ප්‍රකාශ කෙළේය.

සතුටු සිත් ඇත්තාවූ ඒ භික්ෂූහු ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන්ගේ වචනය සතුටින් පිළිගත්තාහුයි.

එකළොස් වැනිවූ සච්චවිභංග සූත්‍රය නිමි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.