MN 03-03-09. බාල පණ්ඩිත සූත්‍රය

සුත්‍රයේ පාළි සජ්ජායනය අසන්න ඉහල ත්‍රිකෝණ ලකුණ ඔබන්න

මේ සම්මා සම්බුද්ධ සාසනයේ අරමුණ සංසාර විමුක්තිය නොහොත් නිර්වාණය ප්‍රත්‍යක්ෂ කර ගැනීමම වේ. භාග්‍යවතුන් වහන්සේ සිය බුද්ධ කෘත්‍යයේ යෙදී ගතකල සතලිස් පස් වස පුරාම මේ අභිලාශය ඉෂ්ඨ කරගන්නට දෙවි මිනිසුන්ට අනේක ලෙස උපදෙස් දී ඇත. සියලු මනුෂ්‍යයන් ඒ සඳහා ඇවැසි පුර්ව සුදුසුකම් නොහොත් පාරමී ලබා උපන්නවුන් නොවන නිසා ධර්මය අසන සැවොම මේ අරමුණ ඉටුකර නොගනී. ඒ නිසා එවැනි පාරමී අල්ප ජනයා ට මේ සංසාරයේ ඇති භයානක බව පෙන්නාදී, අයහපත් මතු භවයකින් මුදවා ගන්නට, සතර අපායේ දුක් විඳීමෙන් වලකා සුගතියක මතු භවය සකසා ගන්නට මේ බාල පණ්ඩිත සුත්‍රය දේශනා කල බව පෙනේ.

අකුසල්වලින් ඇතිවන ආදීනව, මේ ජීවිතයේදීම මිනිසකු තුන් ආකාරයකින් ලබන සැටි ද, මේ අකුසල් නිසා සතර අපායවල උපත සිදු වන සැටි ද, ඒ සතර අපායන්හි දරුණු විපාක ගැනද පංච සීලය ආරක්ෂා කර ගැනීමෙන් තිරිසන් අපාය, ප්‍රේත අපාය, මහා නිරය ආදියෙහි නොවැටී සිටිය හැකි බවද මෙහි කියැවේ.

පුජ්‍ය අපරැක්කේ සුමංගල හිමි කල සුත්‍ර විවරණය

§ 1 .මා විසින් මෙසේ අසනලදී.
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වාසය කරණසේක. එකල්හි දිනක් භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’ කියා භික්ෂූන් ඇමතූසේක. ඒ භික්ෂූහු ‘පින්වතුන් වහන්සැ’ යි කියා භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.

බාලයා

§ 2. “මහණෙනි,
බාලයාගේ බාල ලක්ෂණ,
බාලයාය”යි හැඳිනීමට කරුණු,
බාලයාගේ චරිත ගුණාංග තුනකි.
ඒ තුන කවරේද යත්..

මහණෙනි,
බාලයා නපුර කරන්නට සිතන්නෙකි.
නපුරු කථා, නපුරු දෙඩීම් කියන්නෙකි
නපුරු දේම කරන්නෙකි.

මහණෙනි, ඉදින් බාලයා එසේ නපුරු සිතුවිලි නොසිතන්නේ නම් නපුරු ලෙස වචන නොකියන්නේ නම්, නපුරු ක්‍රියා නොකරන්නේ නම් , මේ අසත්පුරුෂයෙකැයි, මේ බාලයෙකැයි පණ්ඩිතයෝ කෙසේ දැනගන්නද?

මහණෙනි, බාලයා නපුර කරන්නට සිතන්නෙකි.
නපුරු කථා, දෙඩීම් ඇත්තෙකි.
නපුරු දේම කරන්නෙකි ,
එහෙයින් ඔහු අසත් පුරුෂයා බාලයෙකැයි පණ්ඩිතයෝ දැනගනිත්.

මේ භවයේදී ම

§ 3 . මහණෙනි, බාලයා මේ ආත්ම භවයෙහිම තෙවැදෑරුම්වූ, දුක් දොම්නස් විඳී.

(i) සමාජයෙන් අපහාස ගර්හා

මහණෙනි, බාලයා සභාවක ඉන්නේද , වීථියෙක මිනිසුන් මිනිසුන් කතාකරමින් යද්දී එතන හුන්නේද, නගර චතුරශ්‍රයේ හෝ ජනයා එක්ව කතා කරනා අන් තැනක ඉන්නේද, රටේ තොටේ වැරදි වැඩ, අකුසල් කරන මිනිසුන් ගේ දෝෂයන් ගැන ඒ මිනිසුන් කතා කරනවා අසන්නට ලැබෙයි. මහණෙනි, ඉදින් බාලයා

  • ප්‍රාණඝාත කරන්නේ ද,
  • නුදුන් දෙය ගන්නේ ද,
  • කාමයෙහි වරදවා හැසිරෙන්නේ ද,
  • බොරු කියන්නේ ද,
  • ප්‍රමාදයට හේතුවන , මත් වතුර, මත් කුඩු ගන්නේද ,

මහණෙනි. එහිදී බාලයාහට මෙසේ අදහස් වෙයි
‘මේ මිනිස්සු මාද මේ අකුසල් කරන බව දන්නවානම් මා ගැනත් මෙලෙසම නරක නපුරු මිනිසෙකි යැයි අපහාස කරනු ඇත. ඒ වරද ස්වභාවයෝ මා තුළද ඇත. ’ කියායි. මහණෙනි, බාලයා මේ භවයෙහිම මේ පළමු දුක දොම්නස විඳී.

(ii) රජයෙන් දඬුවම්

§ 4. මහණෙනි, අපරාධකල සොරකු , රජුන් විසින් අල්වා ගත පසු නන් වැදෑරුම් කම්කටුලු කරවනු බාලයා දකී.

කසවලින් තළවනු ලබන්නවුන්ද, වේවැල් වලින් තලවනු ලබන්නවුන්ද, සතර රියන් දිග දණ්ඩෙන් අත කපනු ලබන්නවුන්ද, පා කපනු ලබන්නවුන්ද, අත් පා දෙකම කපනු ලබන්නවුන්ද, කණ කපනු ලබන්නවුන්ද, නාසය කපනු ලබන්නවුන්ද, කන් නාසා දෙකම කපනු ලබන්නවුන්ද, “බිලංගථාලික” නම් කර්මය කරනු ලබන්නවුන්ද, “සඩ්ඛමුණ්ඩික” නම් කර්මය කරන්නවුන්ද, “රාහුමුඛ” නම් කර්මය කරනු ලබන්නවුන්ද, “ජෝතිමාලික” නම් කර්මය කරනු ලබන්නවුන්ද, “හත්ථපජ්ජොතික” නම් කර්මය කරනු ලබන්නවුන්ද, “ඒරකවත්තික” නම් කර්මය කරනු ලබන්නවුන්ද, “චීරකවාසික” නම් කර්මය කරනු ලබන්නවුන්ද, “ඒණෙය්‍යක” නම් කර්මය කරනු ලබන්නවුන්ද, “බලිසමංසික” නම් කර්මය කරනු ලබන්නවුන්ද, “කහා පණක” නම් කර්මය කරනු ලබන්නවුන්ද, “ඛාරා පතච්ඡික” නම් කර්මය කරනු ලබන්නවුන්ද, “සලිඝ පරිවත්තික” නම් කර්මය කරනු ලබන්නවුන්ද, “පලාල පිට්ඨික” නම් කර්මය කරනු ලබන්නවුන්ද, උණුකරනලද තෙල් ඉසිනු ලබන්නවුන්ද, බඩගින්නෙන් පීඩිත සුනඛයන් ලවා කවන්නවුන්ද, පණපිටින් හුල හිඳුවනු ලබන්නවුන්ද, කඩුවෙන් හිස සිඳිනු ලබන්නවුන්ද, දකී. 1198

[1198:- බුද්ධ කාලින භාරතයේ දුන් දඬුවම් විස්තරයක් පහත දක්වා ඇත. අටුවාවේ මේ සවිස්තරාත්මක ලෙස විස්තර වෙයි. ….  
 කසවලින් තලවත්, වේවැල්වලින් තලවත්, දෙකට පැලු (දෙරියන් පමණ) අඬුවලින් තළවත්, අත්ද කපත්, පයද කපත්, අත් පා සියල්ලමත් කපත්, කණත් කපත්, නාසයත් කපත්, කන් නාසාත් කපත්, බිලංගථාග්‍රික (ඉස්කබල ගලවා මොළය උතුරවමින් කරන) නම් වධය කරත්, සංඛමුණ්ඩික (හිසේ කෙස් හා සම ගලවා බොරළු ලා උලා සුදු කිරීම) නම් වධය දෙති, රාහු මුඛ (අඩුවෙන් කට අරවා එහි තුළ ගිනි දැල්වීම) නම් වධය දෙත්, ජෝතිමාලික (ශරීරය තෙල් ගැන්වූ රෙදිවලින් වෙලා ගිනි දැල්වීම) නම් වධය දෙත්, හත්ථ පජ්ජොතික (අත්දෙකේ තෙල් රෙදි වෙලා ගිනි දැල්වීම) නම් වධය දෙත්, එරකවත්තික (බෙල්ලෙහි පටන් ඇස්වටය දක්වා හම ගලවා ඔහු ලවා පෑගවීම) නම් වධය දෙත්, චීරක වාසික (බෙල්ලෙහි පටන් තුනටිය දක්වා සම ගලවා තබා එතනින් පටන්ගෙන ඇස්වටය දක්වා සම ගලවා තැබීම) නම් වධය දෙත්, එණෙය්‍යක (දෙදන දෙවැලමිටිවල යවුල් ගසා වටකොට ගිනිතැබීම) නම් වධය දෙත්, බලිස මංසික (දෙපැත්තෙන් තුඩු ඇති බිලියෙන් ගසා මස් කැඩීම) නම් වධය දෙත්, කහාපණක (කහවනු සේ මස් කැපීම) නම් වධය දෙත්, ඛාරා පතච්ඡික (සිරුර සිදුරුකොට කාරම් දිය ඉසීම) නම් වධය දෙත්, පළිඝ පරිවත්තික (ඇලයකින් බිම හොවා කණෙහි යවුල් ගසා පය ගෙන කරකැවීම) නම් වධය දෙත්, පලාල පිඨික (සම නොබිඳෙන සේ ඇට මස් තළා පිදුරු වැටියක් සේ ඇකිලීම) නම් වධය දෙත්, රත්වූ තෙල් ඉසිත්, බල්ලන් ලවා කවත්, ජීවිතය තිබියදීම උලෙහි ඉඳුවත්, කඩුවෙන් හිස් සිඳිත්]

§ 3. “මහණෙනි, එහිදී බාලයා මෙසේ සිතයි.
‘යම් පාප කර්මයන් හේතුකොටගෙන රජවරු අපරාධකල සොරුන් අල්වාගෙන මේ අයුරු නන්වැදෑරුම් කම්කටුලු කරවත්ද, , ඒ පාපධර්ම මා කෙරෙහිද ඇත්තේය. මමද ඒ අධර්මයන් කරන කෙනෙකි.

§ “රජවරු මා එසේ කරන බව දන්නවා නම්, මාත් අල්වාගෙණ, නානා ප්‍රකාර කම්කටුලු කරවන්නහුය. කසවලින් තළවන්නාහුය. ……. කඩුවෙන් හිස ගසා මරා දමන්නේය.’
මහණෙනි, බාලයා මේ ආත්මභාවයෙහි මේ දෙවෙනි දුක් දොම්නසද විඳියි.

ස්වයං වික්ශෝප

§ 5. “මහණෙනි, මෙසේ අධර්මයන් අකුසලයන් කරන්නාවූ බාලයා , බාලයා තමා තනිව ඉන්නා විට ඔහු විසින් පෙර කයින් කරණ ලද්දාවූද නපුරු ක්‍රියා ද, නපුරු වචනයෙන් අනුනට ගහට ගෙන දුන්න වූ අවස්ථාද, අනුනට නපුර පිණිස තමන් සිතන ලද්දාවූද, යම් ලාමක අකුසල ධර්මයෝ ඔහුගේ සිතට, ඔහුගේ මතකයට එති. ඒ මතකයන් ඔහු වසා සිටිත්. එල්බ සිටිත්.

මහණෙනි, යම් පර්වත කූටයක සෙවනැල්ල සවස් කාලයෙහි පොළොව මත පැතිර යයිද, අධිකව පැතිර පවතීද, මහණෙනි, එපරිද්දෙන්ම පුටුවෙහි හුන්, ඇඳෙහි සයනය කළ, බිම හෝනා, මේ බාලයා විසින් පූර්වයෙහි කල කායික දුශ්චරිත, වාක් දුශ්චරිත, මනෝ දුශ්චරිත ඔහු වෙත එළඹ සිටිත්. එල්බ සිටිත්. විශේෂයෙන් එල්බ සිටිත්. මහණෙනි, එහිදී බාලයාට මෙසේ අදහස් වෙයි.

‘මා විසින් යහපතක් නොකරණ ලදී. කුසලයක් නොකරණලදී. සසර භය දුරු කරන්නට යමක් නොකරණලදී. පාපයන්ම කලෙමි. රෞද්‍රකම් කලෙමි. නරකක්ම කරණලදී. එසේ වූ මා මිය පරලොව ගිය විට මේ නපුරු කම් කළවුන් යන දුර්ගතියකම ඉපදීම සිදිවන්නේයැයි, හෙතෙම ශෝක කරයි. ක්ලාන්ත වෙයි. වැළපෙයි. ළෙහි අත්ගසා හඬයි. මුළාවට පැමිණෙයි. 1199

[1199:- මේ සිදුවීම මරණ මංචකයේදී සිදුවන බව මේ සුත්‍රයේ සඳහන් නොවුනත්, බොහෝ අනෙක් සුත්‍රවල එසේ මරණයට ආසන්න වුවිට තමන් ජීවිතය පුරා කල නොහොඳ නරක සියල්ල චිත්‍රපටයක් මෙන් තමන්ට පෙනෙන්නට වන බව ඒ අනුව ගති නිමිත්ත, එනම් මතු භවය නිර්ණය වන බවත් සඳහන් වේ.]

මහණෙනි, බාලයා මේ ආත්මභාවයෙහි මේ තුන්වන දුක්ඛය , දොම්නස විඳියි.

අපා දුක්

§ 6. “මහණෙනි, බාලයා කයින් දුශ්චරිතකොට වචනයෙන් දුශ්චරිතකොට, සිතින් දුශ්චරිතකොට, කාය භේදයෙන්, මරණින් මතු, කිසි සැපක් නැති, නපුරු දුක් ඇති, අතරක් නැතිව දුක් දෙන නරකයෙහි උපදී. මහණෙනි, යමක් “ඒකාන්තයෙන් අනිෂ්ටය, ඒකාන්තයෙන් අයහපත්ය, මනාප නොවන්නේයයි” කියන්නේ නම්, මේ නිරය බඳු අනෙකක් නැත.

§ 7. “එසේ කීකල්හි එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, මට උපමාවන්ගෙන් දැක්විය හැකිදැයි” ඇසීය. භාග්‍යවතුන් වහන්සේ “මහණ, හැකියයි” වදාළසේක. 1200

§ 8. “මහණ, රාජ පුරුෂයන් යම් අපරාධකල සොරකු අල්වා ගෙනවුත්, රජුට පමුණුවා
‘ දෙවයන්වහන්ස, මේ ඒ අපරාධ සිදුකල හොරාය. මොහුට නිසි දඬුවම පමුණුවනු මැනවැ”යි දක්වන්නාහුය.’ රජ කියන්නේ ‘මේ පුරුෂයාට උදය කාලයෙහි අඩයටි සියයකින් අනිව්” යි කියන්නේය.
රාජ පුරුෂයෝද ඔහුට අඩයටි සියයකින් පෙරවරු කාලයෙහි අනින්නාහුය.

ඉක්බිති රජතුමා දවල් කාලයෙහි විමසන්නේ
‘පින්වත, ඒ පුරුෂයා කෙසේදැයි අසන්නේය.’
‘දෙවයන් වහන්ස, ඔහු තවම ජීවත් වේයයි’ කියන්නාහුය.
රජ එවිට මෙසේ කියන්නේය.
’ ඒ පුරුෂයාට දවල් කාලයෙහිත් අඩයටි සියයකින් අනිව්’ යයි කියන්නේය.
ඔහුට දවල් කාලයෙහිදීත් අඩයටි සියයකින් අනින්නාහුය.

ඉක්බිති රජතුමා සවස් කාලයෙහි විමසන්නේ
‘එම්බල පුරුෂය, ඒ චෞරයා දැන් කෙසේ දැයි’ අසන්නේය.
‘දෙවයන් වහන්ස, එසේම ජීවත් වේයයි’ කියන්නාහුය.
රජතුමා ඔහුට ‘සවස් කාලයෙහි ඒ පුරුෂයාට අඩයටි සියයකින් අනිව්යයි’ කියන්නේය.
රාජ පුරුෂයන් සවස් කාලයෙහිත් ඔහුට අඩයටි සියයෙන් අනින්නාහුය.

මහණෙනි, ඔබ කුමක් සිතන්නෙහිද?
අඩයටි තුන්සියයකින් ඇනුම් කෑ ඒ පුරුෂයා ඒ හේතුවෙන් මහා දුකක් දොම්නසක් විඳින්නේද?”

“ස්වාමීනි, එක් අඩයටියකින් අනිනු ලබන්නාවූ පුරුසයෙක් තෙම ඒ හේතුවෙන් මහා දුකක් වේදනාවක් විඳින්නේය අඩයටි තුන්සියයකින් අනිනු ලබන කල්හි කියනුම කවරේද?”

§ 9. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මිටක් පමණ කුඩා ගලක් අතට ගෙණ භික්ෂූන් ඇමතූ සේක.
“මහණෙනි, කුමක් සිතන්නහුද? මා මිටට ගත් මේ ගල හා හිමවත් පර්වතය යන දෙක අතුරෙන් කවරක් ඉතා විශාල දැයි” ඇසූහ.

“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් අතට ගන්නා ලද මේ ගල ඉතා කුඩාය, හිමවත් පර්වතරාජයා හා සමානකොට බලනවිට ගණනකටවත් නො පැමිණෙයි. සියක් වැනි, දහස් වැනි, ලක්ෂයක් වැනි, කොටසටවත් නොපැමිණෙයි. බලන්නෙකුට සමාන කිරීමේ පමණටත් නොපැමිණෙයි.” යි කීහ.

“මහණෙනි, එපරිද්දෙන්ම ඒ පුරුෂයා අඩයටි තුන්සියයකින් අනිනු ලැබූ හේතුවෙන් යම් දුකක් විඳීනම් එය නිරයකට සමාන කොට බලනවිට ගණනකටවත් ගත නොහැක. සියක්වැනි, දහස්වැනි, ලක්ෂයක් වැනි කොටසකටත් නොපැමිණෙයි. බලන්නෙකුට සමාන කිරීමේ පමණටවත් නොපැමිණෙයි.”

§ 10. “මහණෙනි, නිරයපාලයෝ මොහුට පඤ්චවිධ දණ්ඩනය නම් වධය දෙත්.

(එනම්,) රත්වූ යහුලකින් දකුනතට අනිත්. රත්වූ යහුලක් දෙවෙනි අතෙහිද අනිත්. රත්වූ යහුලක් පාදයෙහි අනිත්. රත්වූ යහුලක් දෙවෙනි පාදයෙහිද අනිත්. තවත් රත්වූ යහුලක් ළය මැද ට අනියි. ඔහු එහි තියුණුවූ, දැඩිවූ දුක්ඛ වේදනාවක් විඳී. යම්තාක්කල් ඒ පාප කර්මය කෙළවර නොවේද, ඒතාක් ඔහු කලුරිය නොකෙරෙයි.

§ 11. “මහණෙනි, නිරයපාලයෝ ඔහු බිම බාවා කෙටේරිවලින් සසිත්. ඒ මිනිසා එහි දුක්වූ කටුකවූ වේදනා විඳී. ඒ පාප කර්මය නොගෙවේනතාක් ඔහු නොමැරෙන්නේය.

§ 12. “මහණෙනි, නිරයපාලයෝ ඔහු පා උඩුකුරු කොට, හිස යටිකුරුකොට තබා, වෑවලින් සසිත්. හෙතෙම එහි තියුණුවූ, කටුකවූ, දුක් වේදනාවන් විඳි. යම්තාක් කල් ඒ පාපකර්මය කෙළවර නොවේද, ඒ තාක්කල් ඔහු කලුරිය නොකෙරෙයි.

§ 13 . “මහණෙනි, නිරයපාලයෝ ඔහු රථයක බැඳ ඒ රථය ඔහුවත් බිම දිගේ ඇදගෙන, ගිනිගෙන ඇවිලෙන්නාවූ, අතිශයින් දිලියෙන්නාවූ, ගිනිදැල් සහිතවූ පොළොවෙහි ඉදිරියටද ගමන් කරවත්. පස්සටද ගමන් කරවත්. ඔහු එහි තියුණුවූ, කටුකවූ, දුක් වේදනාවක් විඳී. යම්තාක්කල් මේ පාපකර්මය කෙළවර නොවේද, ඒ තාක්කල් ඔහු කළුරිය නොකෙරෙයි.

§ 14 .“මහණෙනි, නිරයපාලයෝ ගිනිගෙන ඇවිලෙන්නාවූ, අතිශයින් ගිනිගෙන දිලිසෙන්නාවූ, ගිනිදැල් සහිතවූ, අඟුරු පර්වතයකට ඔහු නැංවීමද බැස්වීමද කරත්. ඔහු එහි දුක්වූ, තියුණුවූ කටුකවූ වේදනාවන් විඳියි. යම්තාක් ඒ පාපකර්මය කෙළවර නොවේද, ඒ තාක් ඔහු කළුරිය නොකෙරෙයි.

§ 15 . මහණෙනි, නිරයපාලයෝ ඔහු පා උඩුකුරුකොට, හිස යටිකුරුකොට ගෙන, ගිනිගෙන ඇවිලෙන්නාවූ, අතිශයින් දිලිසෙන්නාවූ, ගිනිදැල් සහිතවූ, තැවීම ඇති කල්දේරමක බහාලත්. ඔහු එහි පෙණ නගිමින් පැසෙයි. ඔහු එහි පෙණ නැගීම් සහිතව පැසෙන්නේ වරක් උඩට යෙයි. වරක් යටට යයි. වරක් සරසටද යයි. ඔහු එහි දුක්වූ, තියුණුවූ, කටුකවූ වේදනා විඳියි. යම්තාක් ඒ පාපකර්මය කෙළවර නොවේද, ඒතාක් ඔහු මිය නොයයි.

§ 16 . මහණෙනි, නිරය පාලයෝ ඔහු අට මහා නිරයෙහි දමත්. මහණෙනි, ඒ අට මහා නිරය නම් කල නිරයේ ,

“කොන් සතරක් ඇත්තේය, දොරටු සතරක් ඇත්තේය, කොටස් වශයෙන් බෙදන ලද්දේය, කොටස් වශයෙන් ප්‍රමාණ කරන ලද්දේය, යකඩ පවුරකින් වට කරන ලද්දේය, යකඩ පියනකින් වසන ලද්දේය.”
“ඒ මහා නිරයෙහි බිම යකඩයෙන්ම නිමකරන ලදී. මුළු බිම්ම දැල්වෙන ගින්නෙන් යුක්තය. සියලු කල්හි හාත්පස යොදුන් සියයක් ගින්න පැතිර සිටී.

§ 17. “මහණෙනි, මම නොයෙක් ක්‍රමයෙන් නිරය පිළිබඳ විස්තර කථාව කියන්නෙමි. මහණෙනි, වර්ෂ සියයක් දහසක් කියන්නේ වී නමුත් ඒ කීමෙන් නිරය දුක කියා කෙළවර කරන්නට පහසු නොවේ.

අට මහා නිරය

§ 18. සත්වයා බොහෝ සෙයින් දුක් විඳින අපායේ ප්‍රධාන නිරයවල් අටකි. සංජීව, කාලසූත්‍ර, සංඝාත, රෞරව, මහා රෞරව, තාප, ප්‍රතාප, අවීචි යනුවෙනි. තවත් ඔසුපත් නිරයවල් හෙවත් උස්සද නිරයවල් 128කි. මේ අනුව නිරය 136කි. මේ අටමහ නරකය ගැන අටුවාවල සඳහන් තොරතුරු දැක්වේ.

§19 –සංජීව නරකය :

අටමහ නරකයන්ගෙන් ප්‍රථම නරකය යි. මෙහි උපන් නිරිසතා යමපල්ලන් විසින් කපන කොටන කල්හි ද කර්ම බලය නිසා ජීවිතය තොර නොවන හෙයින් සංජීව නම නරකයට යෙදී ඇත්තේ ය. චාතුම්මහාරාජිකයේ සම්පූර්ණ ආයුෂ මෙහි එක දවසකි. මිනිස් ලොව වර්ෂ ගණනින් අනූ ලක්ෂයක් අවුරුදු මේ නරකයට එක් දිනකි. එබඳු දින 30ක් මසකි. මාස 12ක් අවුරුද්දකි. එබඳු මිනිස් ලොව වර්ෂ ගණනින් අවුරුදු කෝටි එක්ලක්ෂ සැට දෙදහසක් වන්නේ ය. මිනිස් ලොව උපන් කල බෝ රුක් කපා අතු කඩා දැමුවෝ ද, බණ පොත් සිඳ බිඳ දැම්මෝ ද, පොත් ගුල් නැසුවෝ ද, තුනුරුවන්ට කරන අපහාස, සත්පුරුෂයින් පීඩාවට පත් කිරීම හා පස්පව්, දස අකුසල් මේ නිරයේ උපතට හේතු වේ. මෙහි කකිය කකිය නටන ලෝ දියෙන් ද බුර බුරා නගින ගිනිදැල්වලින් ද යමපල්ලන්ගේ ඉතා සියුම් වූ කඩු තෝමර ආදී මුවහත් ආයුධවලින් ද පීඩා ලබමින් කර්මය ගෙවෙන තෙක් නොමැරී දුක් විඳිති. කර්මය ගෙවුන දා කලුරිය කරති. ගව් දෙගව් උස ඇති සිරුරු දරමින් දරුණු දුක් විඳිති.

§ 20 –කාලසූත්‍ර නිරය :

අටමහ නරකවලින් දෙවෙනි නරකය යි. මෙහි උපන් නිරිසතාගේ ද සිරුර ගව්දෙගව් පමණ උස් වෙයි. සියුම් ආයුධ වලින් යමපල්ලෝ නිරිසතාගේ ඇඟ මස් ලියති. ගිනිගෙන දිලිසෙන යපොළොවෙහි හොවා ඇඟමස් සසිති. ඉරති. කර්මවේගය තිබෙනතාක් නොමැරී දුක් විඳිමින් ජීවත් වන නිරිසතා මහ දුකින් හඬ හඬා ඈත මෑත දුව පැන ඇවිදී. තාවතිංසයේ සම්පූර්ණ ආයුෂ මෙහි එක දවසකි. මිනිස් ලෝ ගණනින් අවරුදු තුන්කෝටි සැට ලක්ෂයක් මේ අපායට එක් දිනකි. එබඳු මාස වර්ෂ ආදියෙන් මෙහි පරමායු වර්ෂ දහසකි. මිනිස් වර්ෂ ගණනින් පරමායු අවුරුදු දොළොස් ලක්ෂ අනූදහස් අට කෝටියක් වේ. මිනිස් ලෝ උපන් කල දාගැබ් බින්දෝ ද, දා කරඬු මැකුවෝ ද, ධාතු සහිත පෙති පිළිම සිඳ බිඳ දැමුවෝ ද, සිල්වත් ගුණවතුන් මැරුවෝ ද පූජනීය වස්තු විනාශ කරන, පූජනීය ස්ථාන කෙලෙසන, ගරු කළ යුතු අයට හිරිහැර කරන අයත්, පස්පව් දස අකුසල් සිදු කරන අයත් මේ නිරයට වැටේ. මේ අපායෙහි ඉපිද කර්මය ගෙවෙනතාක් මහ දුක් විඳිමින් කල් යවති. කර්මය ගෙවුන දා චුත වෙති.

§ 21-සංඝාත නිරය :

මෙහි උපදින නිරි සතුන්ගේ ශරීරවලින් අඩක් කටිය දක්වා යට ගිනිගෙන දිලිසෙන යපොළොවෙහි ගැලී සිටී. එසේ සිටි නිරිසතුන් බුර බුරා නගින ගිනිදැල්වලින් දැවෙද්දී නැගෙනහිර දිශාවෙහි සිට ගිනිගත් විශාල යකඩ පර්වතයක් හෙණ හඬ නංවමින් පෙරලීගෙන අවුත් නිරිසතාගේ ශරීරය ද පොඩි කරමින් බටහිර බිත්තියෙහි වැදී නවතී. නැවත උතුරු දිගින් පෙරලී එන යකඩ පර්වතය නිරිසතුන්ට පීඩා කරමින් දකුණු බිත්තියෙහි හැපී නවතී. මෙසේ උතුරු, දකුණු, නැගෙනහිර, බටහිර, උඩ, යට යන සදිසාවෙන් පෙරළී එන යකඩ පර්වතවලට පොඩි වෙමින් ඝාතනය වෙමින් කර්මවේගය තිබෙනතාක් පීඩා ලබමින් කල් යවත්.

අහිංසක ගුණවත් ස්ත්‍රී පුරුෂයන්ට තලා පෙලා හිරිහැර කළෝ ද, සම්මත කුලවතුන්ට අවනම්බු කොට ඔවුන් තනතුරුවලින් පහ කළාහු ද, උකුණන් ඉනිකුණන් බින්දෝ ද, උගුල් අටවා සතුන් මැරුවෝ ද සත්ව ඝාතන, සත්ව හිංසාව, දූෂණ වංචා කරන අයත් පස්පව් දස අකුසල් කරන අයත් මේ නිරයට වැටේ. මිනිස් ලොව තුදුස්කෙළ සතළිස් ලක්ෂයක් අවුරුදු මෙහි දිවා රාත්‍රී එක දවසයි. එම දින මාස, වර්ෂ ගණනින් අපාය වර්ෂ දෙදහස් පරමායු වෙති. මිනිස් ලෝ ගණනින් එක්ප්‍රකෝටි තුන්ලක්ෂ සැට අටදාහක් පරමායු බව දක්වයි. යාම දිව්‍ය ලෝකයේ සම්පූර්ණ ආයුෂ මෙහි එක දවසකට සමාන වේ.

§ 22 –රෞරව නිරය :

ගිනිගෙන දිලිසෙන පොළොවෙහි බුර බුරා නගින ගිනිදැල්වලින් රුක් සිදුරු තුළ ගින්නක් මෙන් ඇතුළත දැවෙමින් මෙහි දුක් විඳින නිරිසත්තු කර්ම බලයෙන් නොමැරී ජීවත් වෙති. මව්පියන් තළා පෙළා හිංසා කළාහු ද සහලේ ඥාතීන්ට පීඩා කළාහු ද අපවාද කළාහු ද පස්පව් දස අකුසල් කළ අය මෙහි ඉපිද දුක් විඳිති. මිනිස් ලෝ ගණනින් සත්පණස් කෝටි හැට ලක්ෂයක් අවුරුදු එක් දිවා රාත්‍රියක් වන මේ අපායෙහි එබඳු මාස වර්ෂ ගණනින් පරමායු වර්ෂ සාර දහසෙකි. මිනිස් ලෝ ගණනින් පරමායු වර්ෂ අටප්‍රකෝටි විසිනව ලක්ෂ සූසාළිස් දහසකි. තුසිත දිව්‍ය ලෝකයේ සම්පූර්ණ ආයුෂ මෙහි එක දවසකට සමාන වේ.

§ 23.- මහා රෞරව නිරය :

නිම්මාණරති දිව්‍ය ලෝකයේ සම්පූර්ණ ආයුෂ මෙහි එක දවසකට සමාන වේ. මිනිස් ලෝ ගණනින් අවුරුදු දෙසීය තිස්කෙළ හතලිස් ලක්ෂයක් එක් දිවා රාත්‍රියක් වන මේ නරකයේ එබඳු මාස වර්ෂ ගණනින් පරමායු අටදහස් වසරකි. මිනිස් ලෝ ගණනින් හැටහය ප්‍රකෝටි පන්තිස් ලක්ෂ දෙපණස් දහස් ප්‍රමාණ වර්ෂ ගණනක් පරමායු වෙයි. ඉතා බියකරු ගිනිදැල්වලින් වෙලි වෙලී මහ දුක් විඳින නිරිසත්තු අපායෙහි වූ මහා ඝෝර වූ දුක්ඛයන්ගෙන් පීඩා ලබති. පන්සිල් දසසිල් ආදී උසස් සීල ගුණයන් ආරක්ෂා කරන සිල්වත් ගුණවතුන්ට නින්දා අපහාස කළෝ ද අර්යෝපවාද කළෝ ද පස්පව් දස අකුසල් කළ අය මෙහි ඉපදී කර්මය ගෙවෙනතාක් දැඩි දුකින් තැවේ.

§ 24. –තාප නිරය :

මිනිස් ලොව වසන කල රජ බල, නිල බල, රාජකාරී බල ආදී යම් යම් තත්ත්වයේ වගකීම් බල දරමින් ද සතර අගතියෙන් ද ක්‍රියාකොට, හිමියන් අහිමියන් කොට, අහිමියන් හිමියන් කොට, බොරු නඩු පටලවා වැඩිපුර දඩමුඩ ගස්වා මහජනයාට වධ කළාහු ද පස්පව් දස අකුසල් කළ අය මේ නරකයේ උපදිති. ගිනිගෙන දිලිසෙන යහුලින් ඇමිනී සෙලවෙනු නොහැකිව මහ දුක් විඳිති. මිනිස් ලෝ වර්ෂ ගණනින් නවසිය විසිඑක්කෝටි සැට ලක්ෂයක් අවුරුදු මේ අපායට එක් දිනයකි. එනම් පරනිම්මිතවසවත්තී දිව්‍ය ලෝකයේ සම්පූර්ණ ආයුෂ මෙහි එක දවසකට සමාන වේ. එබඳු දින මාස වර්ෂ ගණනින් පරමායු වර්ෂ සොළොස් දහසකි. මිනිස් ගණනින් පරමායු වර්ෂ පන්දහස් සත් සිය දහහතර ප්‍රකෝටි අසූසාර ලක්ෂ දසදහස් කෝටියක් පමණ වේ.

§ 25.- ප්‍රතාප නිරය :

බොරු සාක්ෂි කීවෝ ද, එයට අනුබල දුන්නෝ ද, බොරු අගති නඩු විනිශ්චය කළෝ ද, අනුන්ගේ දේපල ප්‍රයෝගයෙන් හා බලහත්කාරයෙන් තමන්ට හිමි කර ගත්තෝ ද පස්පව් දස අකුසල් කළ අය මේ දරුණු දුක් ඇති අපායෙහි ඉපිද දුක් විඳිති. මෙහි විශේෂයෙන් ගිනිගෙන දිලෙන යකඩ පර්වත තැන් තැන්වල ඇත. යමපල්ලන් විසින් නිරිසත්තු පර්වත මුදුනට නංවනු ලැබෙත්. එකල ක්‍ෂාරාවාත නම් මහා වාතයක් කර්ම බලයෙන් හමාවිත් නිරිසතා බිම හෙළයි. බිම වැටෙන නිරිසතා පා උඩුකුරුව හිස යටිකුරුව වැටෙන්නේ බිම සිටුවා ඇති යහුල්මත වැටී එහි ඇමිණේ. මෙහි පරමායු කොතෙක් ද? දෙගව් උස ඇති, දෙගව් වට ගලක් අවුරුදු සියයකට වරක් පිස දමනු ලැබීමෙන් ගෙවී ගොස් ඒ ගල බිම හා සම බවට යෑමට යම්තාක් කල් ගතවේ ද මෙහි පරමායු ඒ තාක් කල් බව දක්වා ඇත. අර්ධ අන්තඃ කල්පයක් බව ද කියයි. එනම් පරමායුෂ දහයේ සිට අසංඛෙය්‍ය දක්වා මිනිසාගේ ආයුෂ වැඩීමට ගතවන කාලය යි. ඒ තාක් නිරයේ දුක් විඳිය යුතු ය.

§ 26 – අවීචිය :

අටවෙනි නිරය අවීචිය යි. මෙය සෙසු මහ නරක හතට වඩා දුක් උපදවන ස්වභාවයෙන් යුක්ත ය. කල්පයේ මුල් භාගයේ ඇතිවන භයානක ගින්නක් මෙන් අපායේ නැගෙනහිරින් පටන් ගන්නා ගිනිසිළු බුර බුරා නගමින් සළාදි දී ගොස් බටහිර බිත්තියේ හැපෙයි. බටහිරින් පටන් ගන්නා ගිනිදැල් බුර බුරා නගිමින් නැගෙනහිර බිත්තිය දක්වා හැපීගොස් ආපසු එයි. උතුරු දකුණු දෙදිශාවෙන් පටන් ගන්නා ගිනි ද මෙසේ බුර බුරා නැග නැග දිවෙයි. සුවාසූ දහසක් යොදුන් ගැඹුරැති මහ සයුරේ ජලස්කන්ධය එකවිට ගෙන අවීචියෙහි ගිනියම් වූ යකබල පිට බහාලුවොත් යකබලකට දැමූ තණ අග පිණි බිඳක් මෙන් දවා පියන තරම් තද ගිනි ඇත්තේ ය. මෙතරම් දරුණු වූ ගින්නෙන් නිරිසතා නොමැරී දුක් විඳිමින් කල් යවන්නේ කර්ම වේගය නිසා ය.

මාතෘඝාතක, පිතෘඝාතක, අරහන්තක ඝාතක, ලෝහිතුත්පාදක, සංඝභේදක යන පඤ්චානන්තර්ය කර්ම කළෝ ද බෝසත් ගුණ දරණ උතුමන්ට පීඩා කළෝ ද, දාගැබ් මහ බෝ සිඳ බිඳ දැමුවෝ ද, තෙරුවන් සතු දෙය සොරා ගත්තෝ ද, දරුණු ලෙස සුරා පානය හා ස්ත්‍රී දූෂණ කළෝ ද, සිල්වතුන් භේද කළෝ ද යන අපරාධ කළ අය, පස්පව් දස අකුසල් කළ අය මෙහි ඉපිද මහ දුක් විඳිති. තපස් දම් රකිනා සීල සංයමයෙන් යුතු අයටත්, සුපේෂල භික්ෂූන්ටත් පරුෂ වචනයෙන් බණින අයත් මේ නිරයේ උඩුකුරු පා ඇතිව, යටිකුරු හිස ඇතිව වැටේ. උතුමන්ට බණින පව්කාරයෝ කෑලිවලට කැපූ මත්ස්‍යයන් මෙන් අවුරුදු අසංඛෙය්‍ය ගණනක් මෙහි පැසේ. මෙහි පරමායු අන්තඃ කල්පයකි. මිනිසුන්ගේ පරමායු වර්ෂ දහයේ සිට අසංඛෙය්‍ය දක්වා වැඩි වී නැවත දස වර්ෂය දක්වා පිරිහීමට ගතවන කාලය අන්තඃ කල්පයකි. පාපය ගෙවෙන තෙක් නැවත නැවත ඉපදී දුක් විඳිති.

අවීචියෙහි උපන් දෙව්දත් භවකීල නම් වූ දුක අනුභව කරයි. දෙව්දත් තෙර යොදුන් සියයක් උස් වූ සිරුරක් දරයි. දෙපාවල කෙණ්ඩා දක්වා යට යපොළොවෙහි ගැලී ඇත. දෙඅත් මැණික් කටුව දක්වා දෙපස ලෝහමය බිත්තියෙහි ද හිස බැමතෙක් උඩපියස්සෙහි ද ගැලී ඇත්තේ ය. අධෝභාගයෙන් යවුලක් පිවිස සිරුර විනිවිද ගෙනගොස් උඩ ලෝහමය පියස්සෙහි ඇමිනී ඇත. පෙරදිග බිත්තියෙන් යවුලක් පැන නැගී ලය විනිවිද ගොස් අපරදිග බිත්තියෙහි ඇනී ඇත. උතුරු බිත්තියෙන් නික්මුනු යවුල ඉල ඇට විනිවිද ගොස් දකුණුදිග බිත්තියට වැදී ඇත. සෙසු නිරිසතුන්ගෙන් වෙන් ව වෙනම කොටසක මෙසේ දෙව්දත් නිරිසතා භවකීලය නම් වූ මේ දරුණු දුක විඳිමින් සිටී.

යාව න තං පාපකම්මං බ්‍යන්තී හෝති න ච තාව කාලංකරෝති
යනුවෙන් දේවදූත සූත්‍රයෙහි වදාරා ඇත්තේ ද පාපකර්මය ගෙවී නොතිබෙන තාක් සත්වයා නොමැරී දුක් විඳින බවයි.

අග්ගිජාලාහි දුක්ඛේහි – සත්තේහි ච නිරන්තරං
විචී න දිස්සතේ යස්ස – අවීචීති පවුච්චති

යනුවෙන් දුක් විඳින සතුන්ගේ ද දුක්ඛ වේදනාවන්ගෙන් ද ගිනිදැල්වලින් ද අතරක්, සැනසීමක් මේ අපායෙහි නොමැති හෙයින් මේ අපාය අවීචි නම් වීයයි දක්වා ඇත්තේ ය.

පෙරදිගින් පටන්ගත් ගිනිදැල් අපරදිග දක්වා විහිද ගොස් අපරදිග ප්‍රාකාරයෙහි හැපී යොදුන් සියයක් තැන් පිටතට විනිවිද යයි. සෙසු දිශාවන්හි ද එසේමැයි. මෙසේ නිරය තුළ ගිනිදැල් බුර බුරා සළාදිදී මහා ශබ්ද පතුරුවමින් නිරය පිටතට සියයක් යොදුන් තැන් පැතිර සිටි. අවීචියට මහා නිරය යයි ද දේශනා කර ඇත.

චතුක්කණ්ණෝ චතුද්වාරෝ – විභත්තෝ භාගසෝ මිතෝ
අයෝපාකාරපරියන්තෝ – අයසා පටිකුජ්ජිතෝ
තස්ස අයෝමයා භූමි – ජලිතා තේජසායුතා
සමන්තා යෝජනසතං – ඵරිත්වා තිට්ඨති සබ්බදා
(දේවදූත සූත්‍රය – ම.නි. 3)

කොණ් සතරක් ද දොරවල් සතරක් ද ඇති මහා නරකයෙහි ඇතුළ කොටස්වලට බෙදී ඇත්තේ ය. ඇතුළත සියක් යොදුනක් දිග පළල ඇත්තේ ය. යකඩ ප්‍රාකාරයකින් වටවී ඇති අතර එබඳු පියනකින් වැසී ඇත්තේ ය. බිම යකඩ භූමිය ම ය. මේ සියල්ල ගිනිගෙන දිලිසෙන්නේ ය. යොදුන් සියයක් ඈතට තේජස් පැතිරෙන්නේ ය. යොදුන් සියයක් ඈත සිටියහුගේ දෙඇස් පුපුරා හැලෙන තරම් රස්නයක් ඇති බව දේශිතයි.

§ 27. තව ද හුණ තලයක පුරාලූ යහුණු සෙයින් අවීචියේ පැහෙන සතුන්ගේ ද ගණනක් නැත. එහෙත් ඔවුනොවුන්ගේ ගමන් යෑමට / දිවීමට එයින් බාධාවක් නැත. යන්නවුන්ට සිටගත් අයගෙන් ද සිටින අයට දුවන්නවුන්ගෙන් ද බාධාවක් නැත. මෙසේ සත්වයින්ගෙන් අතරක් නැති හෙයින් මහා නරකය අවීචිය නම් විය.

මේ අටමහ නරකයන්ගෙන් එක් නිරයක් වටා තවත් නිරයවල් 16ක් ඇත. ඒ නිරයවල් පොදුවේ උස්සද නිරයවල් ලෙස හැඳින්වේ. ඔසුපත් නිරය යයි ද කියත්. මේ අනුව උස්සද නිරය 128ක් වේ. අටමහ නරකයන් සහිතව නිරය 136 කි. මේ 136ක් නිරයවල් මේ මහා පෘථිවිය හා සම්බන්ධ ය. ලෝකාන්තරික නිරය සක්වළින් එහා ය.

තිරිසන් අපාය

§ 28 .“මහණෙනි, තණකොළ කන තිරිසන්ගත සත්වයෝ වන්නාහ. ඔව්හු තෙත්වූ තණද, වියලි තණද, දත්වලින් උළා කති. මහණෙනි, තණ කන තිරිසන්ගත සත්තු කවරහුද?

අශ්වයෝද, ගවයන්ද, කොටළුවෝද, එළුවෝද, මුවෝද යනාදී සතුන් වෙති. එයින් අන්‍ය තණ බුදින තිරිසන් සත්වයෝද වෙති.

මහණෙනි, බාලයා රස තෘෂ්ණාවෙන්, දිව පිනවන රසයට ගිජු වී, රස ඇති කෑම අනුභව කිරීම සඳහා නොයෙක් අකුසල කොට කාය භේදයෙන් මරණින් මතු තණ අනුභව කරන සත්වයන්ගේ භවයකට පැමිණෙයි.

§ 29 .“මහණෙනි, අඳුරෙහි උපදින, අඳුරෙහි දිරන, අඳුරෙහි මැරෙණ, තිරිසන් සත්වයෝ වෙති.
අඳුරෙහි උපදින, අඳුරෙහි දිරණ, අඳුරෙහි මැරෙණ, තිරිසන්ගත සත්වයෝ කවරහුද?

ලොකු පණුවෝද කුඩා පණුවෝද, ගැඩවිල්ලුද වෙති.
එයින් අන්‍යවූ අඳුරෙහි උපදින, අඳුරෙහි දිරණ, අඳුරෙහි මැරෙණ තිරිසන්ගත සත්තුද වෙති.

මහණෙනි, රස තෘෂ්ණාවෙන්, දිව පිනවන රසයට ගිජු වී, රස ඇති කෑම අනුභව කිරීම සඳහා නොයෙක් අකුසල කොට කාය භේදයෙන් මරණින් මතු , මේ අඳුරෙහි උපදින , අඳුරෙහි දිරන , අඳුරෙහි මැරෙන, සත්වයන්ගේ භවයක උපදී.

§ 30 .“මහණෙනි, අසූචි අනුභවකරන තිරිසන් සත්වයෝ ඇත. ඔව්හු දුරදීම අසූචි ගන්ධය ආඝ්‍රාණයකොට දුව එති. මෙහි අනුභව කරන්නෙමු, මෙහි අනුභව කරන්නෙමු කියා මහත් කෑදර බවෙන් දිව එති.

බමුණෝ යාග ගන්ධයෙන් දැනීමෙන් මෙහි යාගය අනුභව කරන්නෙමු, මෙහි දානය අනුභව කරන්නෙමුයි දුවත්ද, මහණෙනි, එපරිද්දෙන්ම අසූචි අනුභව කරන තිරිසන් සත්වයෝ වෙති. ඔව්හු දුරදීම අසූචි ගඳ ආඝ්‍රාණය කොට ඒ කන්නට දුව එත්.

මෙහිදී කන්නෙමු, මෙහිදී කන්නෙමු කියායි. මහණෙනි, අසූචි අනුභව කරන තිරිසන්ගත සත්වයෝ කවරහුද?

කුකුලන් හා ඌරෝද, බල්ලන් හා සිවල්ලුද යන මොවුහු වෙති. එයින් අන්‍ය වූ අසූචි අනුභව කරන අන්‍ය සත්වයෝද වෙති. මහණෙනි, රස තෘෂ්ණාවෙන්, දිව පිනවන රසයට ගිජු වී, රස ඇති කෑම අනුභව කිරීම සඳහා නොයෙක් අකුසල කොට කාය භේදයෙන් මරණින් මතු අසූචි අනුභව කරන සත්වයන්ගෙන් එක් භවයකට පැමිණෙයි.

§ 31 . “මහණෙනි, දියෙහි උපදින, දියෙහි දිරණ, දියෙහි මැරෙණ, තිරිසන් සත්වයෝ වෙති.
දියෙහි උපදින, දියෙහි දිරණ, දියෙහි මැරෙණ, තිරිසන් සත්වයෝ කවරහුද?

මත්ස්‍යයෝද, කැසුබුවෝද, කිඹුල්ලුද වෙති. එයින් අන්‍යවූ දියෙහි උපදින, දියෙහි දිරණ, දියෙහි මැරෙණ තිරිසන් ගත ප්‍රාණීහුද වෙති.

මහණෙනි, රස තෘෂ්ණාවෙන්, දිව පිනවන රසයට ගිජු වී, රස ඇති කෑම අනුභව කිරීම සඳහා නොයෙක් අකුසල කොට කාය භේදයෙන් මරණින් මතු දියෙහි උපදින, දියෙහි දිරණ, දියෙහි මැරෙණ සත්ව භවයක ඉපදෙයි. .

§ 32 .“මහණෙනි, අසූචියෙහි උපදින, අසූචියෙහි දිරණ, අසූචියෙහි මැරෙණ, තිරිසන්ගත ප්‍රාණීහු ඇත්තාහ.
මහණෙනි, අසූචියෙහි උපදින, අසූචියෙහි දිරණ, අසූචියෙහි මැරෙණ තිරිසන්ගත ප්‍රාණීහු කවරහුද?

මහණෙනි, සමහර සත්වයෝ කුණු මස්වල උපදිත්, කුණුමස්වල දිරත්, කුණුමස්වල මැරෙත්, කුණු කුණපයෙහි උපදිත්, කුණු කුණපයෙහි දිරත්, කුණු කුණපයෙහි මැරෙත්, කුණු වූ ආහාරවල කෑම වල උපදිත්, එහිම දිරත්, එහිම මැරෙත්, ගවර වලෙහි උපදිත්, ගවර වලෙහි දිරත්, ගවර වලෙහි මැරෙත්, අපිරිසිදු දිය රැස්වන තැනක උපදිත්, අපිරිසිදු දිය රැස්වෙන තැනක දිරත්, අපිරිසිදු දිය රැස්වෙන තැනක මැරෙත්, එයින් අන්‍යවූ අසූචියෙහි උපදින, අසූචියෙහි දිරණ, අසූචියෙහි මැරෙණ තිරිසන්ගත ප්‍රාණීහුද වෙති.

මහණෙනි, මහණෙනි, රස තෘෂ්ණාවෙන්, දිව පිනවන රසයට ගිජු වී, රස ඇති කෑම අනුභව කිරීම සඳහා නොයෙක් අකුසල කොට කාය භේදයෙන් මරණින් මතු , බාලයා අසූචියෙහි උපදින , අසූචියෙහි දිරන, අසූචියෙහි මැරෙන , සතුන්ගේ භවයකට ට පැමිණෙයි.

§ 33 . “මහණෙනි, මම නොයෙක් ක්‍රමයෙන් තිරිසන් යෝනියේ විස්තර කියන්නෙම්ද, මහණෙනි, තිරිසන්ගත සත්වයින්ගේ දුක මෙතෙකැයි කීමෙන් මුදුන් අවසාන කරන්නට පහසු නොවෙයි.

§ 34 .“මහණෙනි, යම් විටෙක ගොවියෙක් සතු නගුලක, එක සිදුරක් ඇති විය ගස, ගංවතුරක් නිසා, මහමුහුදට ගසාගන යන්නේය.

ඒ වියදණ්ඩ දකුණට හමන වාතයෙන් අපරදිගට ගසාගෙන යන්නේය. අපරදිග වාතයෙන් පෙර දිගට ගසා ගෙනයන්නේය. උතුරුදිග වාතයෙන් දකුණු දිගට ගසා ගෙනයන්නේය. දකුණු දිග වාතයෙන් උතුරු දිගට ගසා ගෙන යන්නේය.
ඒ මුහුදෙහි එක ඇසක් කණ කැස්බෙක් වසන්නේය. ඌ වර්ෂ සියයක්, වර්ෂ දහසක්, වර්ෂ ලක්ෂයක් ඇවෑමෙන් එක් වරක් පමණක් උඩට එන්නේය.

මහණෙනි, ඒ කැස්බාවා මේ එක් සිදුරක් ඇති වියදණ්ඩෙහි ඇති එකම වූ සිදුර තුලින් අහස දකින්නට, ඊට බෙල්ල ඇතුල් කරන්නට හැකි සම්භාවිතාව කුමක් යයි සිතන්නේද ?”

“ස්වාමීනි, ඉදින් ඒකාන්තයෙන් එසේ සිදුවීමට ඉතා කලාතුරකින් වත් සිදුවෙයි කීම අසීරුය. ඉතා දිගු බොහෝ කාලයක් ඇවෑමෙන් කිසියම් කලෙක සිදුවන්නකි.”

“මහණෙනි, ඒ කණකැස්බා මේ එක් සිදුරක් ඇති වියදඬු සිදුරෙහි බෙල්ල ඇතුල් කරන්නේ නම් එය කවදා හෝ සිදුවන්නකි. මහණෙනි, නිබඳ දුක් ඇති සතර අපායට වන් බාලයා, ඉන් මිදී මිනිසත් බව ලැබීම ඊටත් වඩා අතිශයින් දුර්ලභයයි මම කියමි.
ඊට හේතු කවරේද?

මහණෙනි, ධර්මයට අනුව හැසිරීම කල නොහැකි, යහපත් ලෙස හැසිරීම නොහැකි, කුසල ක්‍රියාවක් කල නොහැකි , පින්කිරීමක් නැති , මේ තිරිසන් අපායෙන් මිදීම සිතා ගන්නට අසීරුය. තිරිසන් අපායේ වැටුනො එකිනෙකා කා ගනිති. දුබලයන් අනික් සතුන් ගේ ගොදුරු බවට පත් වෙති.

§ 35 . මහණෙනි, ඉදින් බාලයා කල්ප ගණනක් තිරිසන් අපායේ දුක් විඳ, කිසියම් කලෙක යලි මිනිසත් බවට පැමිණේද, එකල්හි ඔහු ගේ ඉපදීම සැඬොල් කුලය හෝ වැදි කුලය හෝ කුලුපොතු කුලය හෝ රථකාර කුලය හෝ රදා කුලය හෝ යන යම් නීච කුලයක වෙයි. එබඳු නීච කුලයක උපන්නෙකු ආහාර මද දුකින් බඩගින්න නිවාගැනීමට අපහසුව නොයෙක් විෂම ක්‍රියා කරයි.

හෙතෙමේද දුර්වර්ණද වෙයි. යකකුමෙන් දැකීමට අප්‍රිය රුපයක් ඇත්තෙක් වෙයි. මිටි වෙයි. බොහෝ ආබාධ ඇත්තෙක් වෙයි. කණෙක් හෝ කොරෙක් හෝ කුදෙක් හෝ පිලෙක් හෝ වෙයි. ආහාර පැන් රෙදි යානා මල් ගඳ විලවුන් විසීමට තැනක් සහ පහන් දල්වන උපකරන නොලබන්නෙක් වෙයි.

ඔහු නැවත කයින් දුශ්චරිත කෙරෙයි. වචනයෙන් දුශ්චරිත කරයි. සිතින් දුශ්චරිත කරයි.. හෙතෙම කයින් දුශ්චරිත කොට, වචනයෙන් දුශ්චරිත කොට, සිතින් දුශ්චරිතකොට කාය භේදයෙන් මරණින් මතු සැපයෙන් පහවූ නරක ගති ඇති, අතරක් නැති දුක් ඇති නරකයෙහි නැවත උපදී.

§ 36. “මහණෙනි, සූදු අන්තුවෙකු යම්සේ පළමු ඔට්ටුවෙන් සිය ධනය, පැරදී යලි සිය පුත්‍රයා ඔට්දටුවට අල්ලා සුදු කරන්නේ එයද පැරදී, යලි ඒ නැවත දිණමි’යි සිතා සිය භාර්‍ය්‍යාවද ඔට්ටුවට අල්ලා සුදු කෙල සියල්ල නැති කර ගන්නේය. පසුව තමාත් බන්ධනයට අසුවන්නේය.,

මහණෙනි, ඒ සූදුකාරයාගේ පළමු පරාජයෙන්ම පුත්‍රයාගේ නැතිවීමද, භාර්‍ය්‍යාවගේ නැතිවීමද, පසුව තමනුත් බැඳීමද යන සියලු වස්තුව නැතිවීමද, යන ඒ පැරදීම බාලයාගේ මේ සසර ලබන පැරදීම හා සසඳන විට සුළු කාරණයකි.

යම්හෙයකින් ඒ බාලයා කයින් දුශ්චරිත කොට, වචනයෙන් දුශ්චරිත කොට, සිතින් දුශ්චරිත කොට, කාය භේදයෙන් මරණින් මතු සැපයෙන් පහවූ නපුරුගති ඇති අතරක් නැති, දුක් ඇති නරකයෙහි උපදී නම් මෙය ඊටත් වඩා ඉතා මහත් පැරදීමකි. 1201

[1201:- අකුසල කිරීමෙන් යම් අපා දුකකට පත්වන බාලයා කියන්නට බැරි තරම් දිගු කලක් ඒ දුක් විඳ කවදා හෝ මිනිසත් බවක් ලදත්, දුගී දුප්පත් කුලයක දිළිඳුව ඉපදී, ඒ දිළිඳු කම නිසා නැවත අකුසල් කොට යලි අපාගත වේ. ඔහු මෙසේ අනන්ත කාලයක් දුක් වේදනාම විඳින නිසාය.]

මහණෙනි, මේ නම් බාලයාගේ බාල ක්‍රියා නිසා ඔහුට සදහටම හිමි වන්නාවූ ඉරණම වෙයි.

පණ්ඩිතයා

§ 37. “මහණෙනි, පණ්ඩිතයාගේ
පණ්ඩිත ලක්ෂණ,
පණ්ඩිත නිමිති.
පණ්ඩිත චරිත

කියා තුනක් වෙති.
ඒ තුන කවරහුද?

මහණෙනි, පණ්ඩිතයා බුද්ධිමත්ව සිතන්නේක්, පිරිසිදු ලෙස කතා කරන්නෙක්, යහපත් ක්‍රියා කරන්නෙක් වෙයි. මහණෙනි, පණ්ඩිතයා බුද්ධිමත්ව නොසිතන්නේ නම්, පිරිසිදු ලෙස කතා නොකරන්නේ නම්, යහපත් ක්‍රියා නොකරන්නේ නම්, කුමකින් ඔහු පණ්ඩිතයායයි දැනගන්නාහුද?

§ 38. මහණෙනි, මිනිසෙක් බුද්ධිමත්ව සිතන්නේක්ද , පිරිසිදු ලෙස කතා කරන්නෙක්ද , යහපත් ක්‍රියා කරන්නෙක් ද නම් ඔහු පණ්ඩිතයායයි ලෝකයා දැනගනිත්. මහණෙනි, පණ්ඩිතයා මේ ආත්මභාවයෙහිදීම තෙවැදෑරුම් සැප සහගත සොම්නසක් විඳියි.

මහණෙනි,

මහණෙනි, පණ්ඩිතයා සභාවක ඉන්නේද , වීථියෙක මිනිසුන් මිනිසුන් කතාකරමින් යද්දී එතන හුන්නේද, නගර චතුරශ්‍රයේ හෝ ජනයා එක්ව කතා කරනා අන් තැනක ඉන්නේද, රටේ තොටේ හොඳ වැඩ කරන , කුසල් කරන මිනිසුන් ගේ ගුණයන් ගැන ඒ මිනිසුන් කතා කරනවා අසන්නට ලැබෙයි. මහණෙනි, ඉදින් පණ්ඩිතයා තමන්ද ඒ ගුණ ඇති සත් පුරුෂයන් සේම

  • පර පන නොනසන බව ද.
  • නුදුන් දෙය නො ගන්නා බව ද,
  • කාමයෙහි වරදවා නොහැසිරෙන බව ද,
  • බොරු නොකියන බව ද,
  • ප්‍රමාදයට හේතුවන , මත් වතුර, මත් කුඩු නොගන්නා බවද , දකියි.

මහණෙනි. එහිදී පණ්ඩිතයා හට මෙසේ අදහස් වෙයි
‘මේ මිනිස්සු මා මේ අකුසල් නොකරන බව දන්නවානම් මා ගැනත් මෙලෙසම සත් පුරුෂ මිනිසෙකි යැයි කතා කරනු ඇත. ඒ ගුණ ස්වභාවයෝ මා තුළද ඇත. ’ කියායි.

මහණෙනි, පණ්ඩිතයා මේ භවයෙහිම මේ පළමු දුක සොම්නස සතුට විඳී.

§ 39 “මහණෙනි, නැවතද අනෙකක් කියමි. පණ්ඩිතයා රජවරුන් අපරාධකල සොරුන් අල්වාගෙණ නන්වැදෑරුම් කම්කටුලු කරවනු ලබන්නවුන් දකී.

“මහණෙනි, එහිදී පණ්ඩිතයාහට මෙසේ අදහස් වෙයි. ‘මේ පාප කර්මයක් හේතුකොටගෙණ සොරු රජුන්ගෙන් මෙසේ අප්‍රමාන වධ දඬුවම් ලබති. මා ඒ අකුසල කර්ම, අයහපත් කාය කර්ම නොකරන නිසා මා මෙවන් දඬුවම් නොලබන්නෙමි. ඒ නිසා පණ්ඩිතයා මේ ආත්මභාවයෙහි මේ දෙවෙනි සැපයවූ සොම්නස විඳී.”

§ 40 “මහණෙනි, නැවතද අනෙකක් කියමි.

මෙසේ ධර්මහි හැසිරෙන්නාවූ කුසලයන් කරන්නාවූ පණ්ඩිතයා, තමා තනිව ඉන්නා විට ඔහු විසින් පෙර කයින් කරණ ලද්දාවූද යහපත් ක්‍රියා ද, යහපත් වචනයෙන් අනුනට සතුට ගෙන දුන්න වූ අවස්ථාද, අනුනට යහපත කරනු පිණිස තමන් සිතන ලද්දාවූද, කුසල ධර්මයෝ ඔහුගේ සිතට, ඔහුගේ මතකයට එති. ඒ මතකයන් ඔහු වසා සිටිත්. එල්බ සිටිත්.

මහණෙනි, යම් පර්වත කූටයක සෙවනැල්ල සවස් කාලයෙහි පොළොව මත පැතිර යයිද, අධිකව පැතිර පවතීද, මහණෙනි, එපරිද්දෙන්ම පුටුවෙහි හුන්, ඇඳෙහි සයනය කළ, බිම හෝනා, මේ පණ්ඩිතයා විසින් පූර්වයෙහි කල කායික සුචරිත, වාක් සුචරිත, මනෝ සුචරිත, ඔහු වෙත එළඹ සිටිත්. එල්බ සිටිත්. විශේෂයෙන් එල්බ සිටිත්. මහණෙනි, එහිදී පණ්ඩිතයාට මෙසේ අදහස් වෙයි.

මා විසින් යහපතක්ම කරණ ලදී. අකුසලයක් නොකරණලදී. සසර භය දුරු කරන්නට බොහෝ දේ කරණලදී. පාපයන් නොකලෙමි. රෞද්‍රකම් නොකලෙමි. යහපත් දේම කරණලදී. එසේ වූ මා මිය පරලොව ගිය විට මේ නපුරු කම් කළවුන් යන දුර්ගතියක මගේ ඉපදීම සිදු නොවන්නේයැ“යි, හෙතෙම සතුටට පත්වෙයි.

මහණෙනි, පණ්ඩිත යා මේ ආත්මයෙහි මේ තුන්වන සැපයවූ සොම්නස විඳියි.

§ 42 . “මහණෙනි, පණ්ඩිතයා කයින් සුචරිතයෙහි හැසිර, වචනයෙන් සුචරිතයෙහි හැසිර, සිතින් සුචරිතයෙහි හැසිර, කාය භේදයෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ග ලෝකයෙහි උපදියි.

මහණෙනි, යමක් ඒකාන්තයෙන් ඉෂ්ටය. ඒකාන්තයෙන් යහපත්ය. ඒකාන්තයෙන් මනාපයයි කියන්නේ නම්, මහණෙනි, මේ සිදුවීම ඒකාන්තයෙන් ඉෂ්ටය. ඒකාන්තයෙන් මනාපයයි ස්වර්ග කිය යුතුය. ස්වර්ගය සැපය දැක්වීමට උපමාවකුදු පහසු නොවේ.”

එසේ වදාළකල්හි එක් භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේට උපමාවක් කළ හැකිද, යන මෙය සැළකෙළේය. “මහණ, හැකියයි” භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

සක්විති සැප 1202

[1202:- චක්‍රවර්ති රජුන් ගැන මේ සඳහන්වන කාරනා පසු කාලීනව ඇතුල් කල බව බොහෝ දෙනා කියන්නේ, සක්විති රජුන් ගැන ජෛන හා බ්‍රාහ්මණ ආගම්වලත් ඇති නිසාත්, ඊට පෙර සිටම භාරත ජන කතාවල සතර ආකාර වූ සක්විති රජුන් ගැන සඳහන් වන නිසාත්ය. මුළු පෘතුවියම පාලනකරන චක්‍රවර්ති රජු ගැන පමනක් ථෙරවාද ත්‍රිපිටකයේ සමහර සුත්‍රවල කියවුණත් තවත් දොළොස් ආකාරයක සක්විති රජුන් ගැන ජෛන ආගමේ කියැවේ. මේ වා හුදු කථා රසය පිණිස මිස අල්ප හෝ අධ්යතිමික අභිවෘද්ධියකට හේතු නොවේ. විශේෂයෙන්ම ඔහුගේ සප්ත රත්නයන් ගැන කතාන්දර හා සෘද්ධි සතර ගැන කතාද ප්‍රබන්ධිත ඒවා ලෙස සැලකීම වටී ]

සප්ත රත්න

§  43 . “මහණ, ලෝකයේ මිනිසුන් සිතන ආකාරයට සක්විති රජු ලෝකයේ ඉහල සැප සම්පත් ලබන මනුෂ්‍යයාය. සක්විති රජ රත්න සතකින් හා ඍද්ධි සතරකින්ද යුක්තවූ හේතුවෙන් මහා සැපක් සොම්නසක් විඳින්නේය.

කවර රත්න සතකින්ද?

මහණෙනි, අභිෂේක කරණ ලද පසළොස්වක් පොහෝදා හිස සහිතව නෑවාවූ පෙහෙවස්වූ පහ මතුවට නැඟුණු, ක්ෂත්‍රිය රජුට දහස් ගණන් අර ඇති, නේමි සහිත, නැබ සහිත, සියලු ආකාරයෙන් හාත්පසින් පිරුණු චක්‍රරත්නය පහළවේ. එය දැක කිරීට අභිෂේක කරණ ලද ක්ෂත්‍රිය රජ, අස්නෙන් නැගිට වමතින් කෙණ්ඩිය ගෙණ, ‘පින්වත් චක්‍රරත්නය ගමන් කෙරේවා පින්වත් චක්‍රරත්නය දිනවායි, චක්‍රරත්නයට දකුණතින්, පැන් වත්කරයි. ඉක්බිති මහණෙනි, ඒ චක්‍රරත්නය පෙරදිගට ගමන්කරයි. සක්විති රජතෙම සිව්රඟ සෙනගද සමග අනුව ගමන්කරයි. මහණෙනි, යම් පෙදෙසක චක්‍රරත්නය පිහිටාද, එපෙදෙසෙහි සිව්රඟ සෙනගත් සමග විසීමට පැමිණෙයි.

“මහණෙනි, පෙරදිග යම් ප්‍රති විරුද්ධ රජවරු වෙත්ද, ඔව්හු සක්විති රජහු වෙත පැමිණ, ‘මහරජතුමනි, එනු මැනවි. මහරජතුමනි, යහපත් පැමිණීමකි. මහරජ තුමනි, ඔබ වහන්සේ අපට රජ වේවා. මහ රජතුමනි, අපට අනුශාසනා කරනු මැනවැයි’ කීයන්නෝය. සක්විති රජ එවිට මෙසේ කීයයි. ‘පරපණ නොනැසිය යුතුයි. නොදුන් දෙය නොගත යුතුයි. කාමයන්හි වරදවා නොහැසිරිය යුතුයි. බොරු නොකිය යුතුයි. මත්පැන් නොපිය යුතුයි. තෙපි මා යටතේ මේ ධර්ම පිළිපදිමින් රාජ්‍ය කරව්.” කියායි. මහණෙනි, පෙරදිග යම් විරුද්ධ රජවරු වෙත්ද, ඔව්හු සක්විති රජු අනුගමනය කරන්නෝ වෙත්.

“ඉක්බිති මහණෙනි, ඒ චක්‍රරත්නය පෙරදිග මුහුදෙහි ගැළී මතුවී දකුණුදිගට ගමන් කරයි. සක්විති රජතෙම සිව්රඟ සෙනග සමග අනුවයයි. මහණෙනි, යම් පෙදෙසක චක්‍රරත්නය පිහිටාද එපෙදෙසෙහි සිව්රඟ සෙනගත් සමග එහි පැමිණෙයි. මහණෙනි, දකුණුදිග යම් විරුද්ධ රජවරුවෙත්ද, ඔව්හු සක්විති රජහු වෙත එළඹ මෙසේ ……

“ඉක්බිති මහණෙනි, ඒ චක්‍ර රත්නය දකුණුදිග මුහුදෙහි ගැළී, මතුවී අපරදිග ගමන් කරයි………උතුරුදිගට ගමන් …..රජ එවිට මෙසේ කීයයි. ‘පරපණ නොනැසිය යුතුයි. නොදුන් දෙය නොගත යුතුයි. කාමයන්හි වරදවා නොහැසිරිය යුතුයි. බොරු නොකිය යුතුයි. මත්පැන් නොපිය යුතුයි. තෙපි මා යටතේ මේ ධර්ම පිළිපදිමින් රාජ්‍ය කරව්.” කියායි. මහණෙනි, සිව් දිග යම් විරුද්ධ රජවරු වෙත්ද, ඔව්හු සක්විති රජු අනුගමනය කරන්නෝ වෙත්.

“ ඉක්බිති මහණෙනි, ඒ චක්‍රරත්නය මුහුද කෙළවරකොට ඇති පොළොව දිනා, එම රාජධානියට පැමිණ, සක්විති රජුගේ අන්තඃපුරයෙහි දොරටුව හොබවමින් සක්විති රජුගේ අන්තඃපුරය ද්වාරයෙහි කඩ ඇණය ගසන ලද්දක් මෙන් සිටී. මහණෙනි, සක්විති රජුට මෙබඳු චක්‍රරත්නයක් පහළවෙයි.

§. “මහණෙනි, නැවතද අනෙකක් කියමි. සක්විති රජුට හස්ති රත්නය පහළ වෙයි. සියල්ල සුදු සත් තැනක් බිම පිහිටි, ඍද්ධි ඇති, අහසින් යන, උපෝසථ නම් ඇත් රජෙකි. ඔහු දැක සක්විති රජුගේ සිත පහදී. පින්වත්නි, මේ ඇත් යානය ඉදින් හික්මුණු බවට පැමිණෙන්නේ නම් ඒකාන්තයෙන් යහපත්ය. මහණෙනි, එකල්හි ඒ හස්ති රත්නය බොහෝ කලක් හික්මවන ලද යහපත් ආජානීය හස්තිරාජයෙක් යම්සේද එමෙන්ම හික්මී පැමිණෙයි. මහණෙනි, පෙර වූ දෙයක් නම් සක්විති රජතෙම ඒ හස්ති රත්නය විමසනු පිණිස පෙරවරු ඇතු පිට නැගී, මුහුද කෙළවරකොට ඇති, පොළොවෙහි හැසිර එම රාජධානියට අවුත් උදය ආහාර ගත්තේය. මහණෙනි, සක්විති රජුට මෙබඳු හස්ති රත්නයක් පහළවෙයි.

§ 39. “මහණෙනි, නැවතද අනෙකක් කියමි. සක්විති රජුට අශ්ව රත්නයක් පහළවෙයි.

කෙබඳු අශ්ව රත්නයක්ද සියල්ල සුදු, කවුඩෙක් මෙන් කලුපැහැ හිසක් ඇති, ‘මුඤ්ජ” නම් තෘණ විශේෂය වැනි කෙහෙ ඇති, ඍද්ධි ඇති, අහසින් යන, වළාහක නම් අස් රජෙකි. ඌ දැක සක්විති රජුගේ සිත පහදී.


පින්වත්නි, ඉදින් මේ අශ්වයානය හික්මෙන්නේ නම් ඒකාන්තයෙන් යහපත්ය, මහණෙනි, එකල්හි ඒ අශ්වරත්නය බොහෝ කල් හික්මවන ලද යහපත් ආජානීය අශ්වයෙක් මෙන් හික්මුණු බවට පැමිණෙයි.

මහණෙනි, සක්විති රජ ඒ, අශ්වරත්නය විමසීම සඳහා පෙරවරු කාලයෙහි අසුපිට නැගී මුහුද කෙළවර කොට ඇති පොළොවෙහි හැසිර එම රාජධානියට පැමිණ උදය ආහාර කෘත්‍ය කෙළේය. මහණෙනි, සක්විති රජුට මෙබඳු අශ්ව රත්නයක් පහළවෙයි.

§ 40. “මහණෙනි, නැවතද අනෙකක් කියමි. සක්විති රජුට මාණික්‍ය රත්නයක් පහළවෙයි.

එය යහපත්වූ, ජාතිමත්වූ, අටහුලස් ඇති, මොනවට පිරියම් කරණලද, වෛඪූර්‍ය්‍ය මාණික්‍යයෙක් වෙයි.

මහණෙනි, ඒ මාණික්‍යයාගේ ආලෝකය හාත්පස යොදුනක් පැතිර පවතී. මහණෙනි, පෙර වූ දෙයක් නම් සක්විති රජතෙම ඒ මැණික විමසීම සඳහා සිවුරඟ සෙනඟ සන්නද්ධ කොට, මැණික කොඩි මුදුනට නංවා රාත්‍රි අඳුරෙහි ගියේය

. මහණෙනි, හාත්පස යම් ගම් වූවාහුද ඒ ගම් මැණික් එලියෙන් දවල්යයි හඟිමින් කර්මාන්ත කළහ. මහණෙනි, සක්විති රජුට මෙබඳු මිණි රුවනෙක් පහළ වෙයි.

§ 41 “මහණෙනි, නැවතද අනෙකක් කියමි. සක්විති රජුට ස්ත්‍රී රත්නයක් පහළ වෙයි.

ඒ ස්ත්‍රී රත්නය විශිෂ්ට රූ ඇත්තේය. දැකුම් කලුය, ප්‍රසාද ජනකය, උතුම් වර්ණ සෞන්දර්‍යයෙන් යුක්තය, ඉතා දිග නොවෙයි, ඉතා කොටත් නොවෙයි, ඉතා කෙට්ටුත් නොවෙයි, ඉතා මහතත් නොවෙයි, ඉතා කලුත් නොවෙයි, ඉතා සුදුත් නොවෙයි, මිනිස් වර්ණය ඉක්මවූවා වෙයි, දිව්‍ය වර්ණයට නොපැමිණියාය.

මහණෙනි, ඒ ස්ත්‍රී රත්නයාගේ මෙබඳු කාය ස්පර්ශයක් වෙයි, කපු පුලුන්වල ස්පර්ශය මෙනි, මහණෙනි, ඒ ස්ත්‍රී රත්නයේ ශරීරය සීත කාලයෙහි උෂ්ණවේ, උෂ්ණ කාලයෙහි සීතවේ, මහණෙනි, ඒ ස්ත්‍රී රත්නයාගේ කයින් සඳුන් සුවඳ හමයි, මුවෙන් උපුල් මල් සුවඳ හමයි,

මහණෙනි, සක්විති රජුගේ ඒ ස්ත්‍රී රත්නය හැමට කලින් පුබුදින්නී වෙයි, හැමට පසුව නිදන්නී වෙයි කීකරුකම දක්වන්නීය, මනාපසේ හැසිරෙන්නීය, ප්‍රිය තෙපුල් කියන්නීය, මහණෙනි, ඒ ස්ත්‍රී රත්නය වනාහි සක්විති රජ සිතින්වත්, ඉක්මවා නොහැසිරෙයි, කයින් කොයින් ඉක්මවයිද, මහණෙනි, සක්විති රජුට මෙබඳු ස්ත්‍රී රත්නයක් පහළවෙයි.

§ 42. “මහණෙනි, නැවතද අනෙකක් කියමි.

සක්විති රජුට ගෘහපති රත්නයක් පහළවෙයි. යම් හෙයකින් සස්වාමිකවූ හෝ අස්වාමික නිධාන දකීද, එබඳු කර්ම විපාකයෙන් උපන් දිව්‍ය චක්ෂුසක් ඔහුට පහළවෙයි, හෙතෙම සක්විති රජුවෙත එළඹ මෙසේ කීය. ‘දෙවයන් වහන්ස, ඔබ වහන්සේ මන්දොත්සාහි වනුමැනවි, මම ඔබ වහන්සේට ධනයෙන් කටයුතුදෙය ධනයෙන් කරන්නෙමි, කියායි.

මහණෙනි, පෙර සක්විති රජතෙම එම ගෘහපති රත්නය විමසන්නේ නැව් නැග ගඟ මැද ගඟේ සැඩ පහරට බැසගෙණ ගෘහපති රත්නයට මෙය කීය. ‘ගෘහපතිය, මට හිරණ්‍ය ස්වර්ණයෙන් ප්‍රයෝජනය.’ ‘මහරජ එසේ වීනම් නැව එක ඉවුරකට පැමිණේවා’ ‘ගෘහපතිය, මට මෙහිදී හිරණ්‍ය ස්වර්ණයෙන් ප්‍රයෝජනය. ‘මහණෙනි, එකල්හි ඒ ගෘහපති රත්නය දෑතින් ජලය මැඩ, හිරණ්‍ය ස්වර්ණයෙන් පිරුණු නිදන් සැළියක් උඩට ගෙන සක්විති රජුට මෙසේ කීය

. ‘මහරජතුමනි, මෙපමණකින් ප්‍රමාණද? මහරජතුමනි, මෙපමණකින් කරණ ලදද? මහරජතුමනි, මෙපමණකින් පුදන ලදද? ‘සක්විති රජතෙම මෙසේ කීය.’ ගෘහපතිය, මෙපමණකින් ප්‍රමාණය. මෙපමණකින් කරණලදී. ගෘහපතිය, මෙපමණකින් පුදන ලදී.’ මහණෙනි, සක්විති රජුට මෙබඳු ගෘහපති රත්නයක් පහළවෙයි.

§ 43 “මහණෙනි, නැවතද අනෙකක් කියමි. සක්විති රජුට පුත්‍ රරත්නයක් පහළවෙයි.

කෙබඳු පුත්‍රරත්නයක්ද යත්, පණ්ඩිතවූ, ව්‍යක්තවූ, බුද්ධි ඇති, උපස්ථාන කටයුතු, සක්විති රජුට උපස්ථාන කරවන්නට, අස්කළ යුත්තන් අස්කරන්නට, ඒ ඒ තනතුරෙහි තබන්නට, සුදුස්සන් තබවන්නට, ශක්තිමත් පුත්‍රරත්නයකි.

හෙතෙම සක්විති රජු වෙත එළඹ මෙසේ කීය. ‘දෙවයිනි, ඔබවහන්සේ මන්දොත්සාහී වනු මැනවි. මම අනුශාසනය කරන්නෙමි. මහණෙනි, සක්විති රජුට මෙබඳු පුත්‍රරත්නයක් පහළවෙයි.

“මහණෙනි, සක්විති රජ මේ සප්ත රත්නයෙන් යුක්තවූයේ වෙයි.
ඍද්ධි සතරකින්ද යුක්තවූයේ වෙයි.
§ 44 කවර ඍද්ධි සතරකින්ද යත්?

  • “මහණෙනි, සක්විති රජ විශිෂ්ට රූ ඇත්තේය. දැකුම්කලුය. ප්‍රසාද ජනකය. අන් මිනිසුන්ට වඩා අතිශයින්ම උතුම් වර්ණ සෞන්දර්‍ය්‍යයෙන් යුක්තය. මහණෙනි, සක්විති රජ මේ පළමුවෙනි ඍද්ධියෙන් යුක්තය.
  • “මහණෙනි, නැවත අනෙකක් කියමි. සක්විති රජ දීර්ඝායුෂ ඇත්තේ වෙයි. අන් මිනිසුන්හට වඩා බොහෝ කල් ජීවත්ව සිටින්නේය. මහණෙනි, සක්විති රජ මේ දෙවෙනි ඍද්ධියෙන් යුක්තය.
  • “මහණෙනි, නැවත අනෙකක් කියමි. සක්විති රජට රෝග පීඩා නැත්තේය. අන් මිනිසුන්ට වඩා අතිශයින් ඉතා සිහිල් නොවූ, ඉතා උෂ්ණ නොවූ, සමව ආහාර පැසෙන ගින්නෙන් යුක්තය. මහණෙනි, සක්විති රජත මේ තුන්වෙනි ඍද්ධියෙන් යුක්තය.
  • “මහණෙනි, නැවතද අනෙකක් කියමි. සක්විති රජ බමුණු ගෘහපතියනට ප්‍රිය මනාපය, මහණෙනි, පුතුන්හට පියෙකු මෙන් ප්‍රියය, මනාපය,

§ 45. මහණෙනි, පෙර වූවක් කියමි.
සිව්රඟ සෙනඟ විසින් සක්විති රජතෙම උයන් බිමට පමුණුවනු ලැබීය. මහණෙනි, එකල්හි බමුණු ගැහැවියෝ සක්විති රජුවෙත එළඹ මෙසේ කීවාහුය.
‘දෙවයන් වහන්ස, අපි, ඔබවහන්සේ දැක ගන්නට ඉතා කැමැත්තෙන් ඉන්නා බැවින්, අපට බොහෝ වෙලාවක් පෙනෙන සේ ඔබේ රථය සෙමින් පදවන සේ රතාචරින්ට කියනු මැනව.

. ‘මහණෙනි, සක්විති රජ තම රියැදුරු ඇමතීය. ‘රියැදුර, යම්සේ බමුණු ගෘහපතියෝ බෝකල් මා දකින්නාහුද, එසේ හෙමිහිට රිය ගමන් කරව,’ කියායි.

මහණෙනි, සක්විති රජතෙම මේ සතරවැනි ඍද්ධියෙන් යුක්තය.

මහණෙනි, සක්විති රජතෙම මේ ඍද්ධි සතරින් යුක්තය.

මහණෙනි, තවද සක්විති රජතෙම මේ සත් වැදෑරුම් රත්නයෙන් හා සතර ඍද්ධියෙන් යුක්තවූයේ ඒ හේතුවෙන් සැප සොම්නස විඳින්නේ නම් ඒ කුමකැයි හඟින්නෙහිද?”

“ස්වාමීන්වහන්ස, එකම රත්නයෙන් යුක්තවූ කෙනෙකුද ඒ හේතුවෙන් සැප සොම්නස විඳින්නේය. සප්ත රත්නයෙනුත් චතුර්විධ ඍද්ධියෙනුත් යුක්තවූයේ කියනුම කවරේද?”

§ 47. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මිටක් පමණ ගලක් ගෙණ භික්ෂූන් අමතා වදාළසේක. “මහණෙනි, මා විසින් ගන්නාලද ස්වල්ප මාත්‍ර මිටක් පමණ යම් මේ ගලක් වේද, යම් මේ හිමවත් පර්වතරාජයෙක් වේද, කවරක් ඉතා මහත්යයි හඟනෙහිද?”

“ස්වාමීන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් ගන්නා ලද ස්වල්ප මාත්‍ර මිටක් පමණ ගල හිමවත් පර්වතරාජයාහට සමකොට බලනවිට ඉතා ස්වල්පය. ගණනකටද නොපැමිණෙයි. කලභාගයකටවත් නොපැමිණෙයි. සමානත්වයටද නොපැමිණෙයි.”

“මහණෙනි, එපරිද්දෙන්ම සක්විති රජ සප්තවිධ රත්නයෙන්ද, සතර ඍද්ධියෙන්ද යුක්තවූයේ ඒ හේතුවෙන් යම් සැපවූ සොම්නසක් විඳීද, ඒ සැපය දිව්‍ය සැපයට සමකොට බලනවිට ගණනකටද නොපැමිණෙයි. කලභාගයකටද නොපැමිණෙයි. සමානත්වයටද නොපැමිණෙයි.

§ 48. මහණෙනි, මේ පණ්ඩිතයා ඉදින් කිසියම් කලෙක දීර්ඝ කාලයක් ඇවෑමෙන් යලි මිනිසත් බවට පැමිණේද, ක්ෂත්‍රිය මහාසාර කුලයක් හෝ බ්‍රාහ්මණ මහාසාර කුලයක් හෝ ගෘහපති මහාසාර කුලයක් හෝ යන යම් උසස් කුලයෝ වෙත්ද, එබඳු පිරුණු මහත් ධන ඇති, බොහෝ රන් රිදී ඇති, බොහෝ වස්තු ඇති, බොහෝ ධන ධාන්‍ය ඇති කුලයක උපදී.

හෙතෙමේද විශිෂ්ට රූ ඇතිව උපදනේය., දැකුම්කලු ව උපදනේය, ප්‍රසාදජනකව උපදනේය, උතුම් ජවි වර්ණයෙන් යුක්තව උපදනේය. අහර, පැන්, වස්ත්‍ර, යාන, මල් ගඳ විලවුන්, සයන, වාසභූමි, පහන් ලබන්නෙය. ඒ නිසා ඔහු යලි කයින් සුචරිත කරයි. වචනයෙන් සුචරිත කෙරෙයි. සිතින් සුචරිත කෙරෙයි. හෙතෙම කයින් සුචරිතකොට, වචනයෙන් සුචරිත කොට, සිතින් සුචරිතකොට, කාය භේදයෙන් මරණින් මතු යලිත් වරක් යහපත් ගති ඇති ස්වර්ගලෝකයට පැමිණෙයි.

§ 49. මහණෙනි, සූදුකාරයෙක් පළමු දිනීමෙන් මහත් වස්තු රාශියක් ලබන්නේද, ඒ සූදුකාරයා යම් හෙයකින් පළමු ජයගැනීමෙන්ම මහත් වස්තු රාශියක් ලබන්නේ නම් ඒ දිනීම ස්වල්ප මාත්‍ර වූවකි.

මන්දයත් ඒ පණ්ඩිතයා කයින් සුචරිතකොට, වචනයෙන් සුචරිත කොට, සිතින් සුචරිත කොට කාය භේදයෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ග ලෝකයෙහි ඉපදීම1205 , ඒ සුදුවෙන් ආනන්ද කහවනු දිනීමට වඩා ශ්‍රේෂ්ටය. ඊට වඩා ඉතා අති මහත්ය. මහණෙනි, මෙය සියල්ලෙන් පිරුණු පණ්ඩිත භූමියයි.”

[1205: ත්‍රිවිධ සුචරිත කාර්ම කරන පණ්ඩිතයා ඒ නිසා දිවය ලෝකයක ඉපිදෙන්නේය. නැවත කවදා හෝ යලි මනුෂ්‍ය භාවය ලබන්නේ නම්, ධනවත්, කුලවත්, මහාසාර පවුලකම උපදනේය. එසේ ඉපිද යස ඉසුරින් ආට්‍යය ජීවිතයක් සතුටින් ගෙවන්නේ යලි ඉමහත් කුසල් කරන්නට සමත් වන්නේය. ඒ අනුසසින් යලි දිව්‍යය සැප ලන්නට දිව ලොව උපදනේය. සසර නිමකොට නිවන් සාක්ෂ්‍ය කරන තුරු මෙසේ සපයෙන්ම සසර වසන්නේය.]

භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රය වදාළසේක. ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව සතුටින් පිළිගත්තාහුය.

One thought on “MN 03-03-09. බාල පණ්ඩිත සූත්‍රය

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.