MN 03-02-04 . සෙවිතබ්බාසෙවිතබ්බ සූත්‍රය

පුජ්‍ය පිටිගල ගුණරතන ස්වාමින්වහන්සේ කල සුත්‍ර විවරණය 1 දේශනාව
පුජ්‍ය පිටිගල ගුණරතන ස්වාමින්වහන්සේ කල සුත්‍ර විවරණය 2 දේශනාව

§ 1. මා විසින් මෙසේ අසනලදී.1069
එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර අනේපිඬුසිටුහු විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩ වසනසේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි,’යි කියා භික්ෂූන්ට කථා කළසේක.
“ස්වාමීනි,’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.
භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.

[1069:-“සෙවිතබ්බාසෙවිතබ්බ” යනු සේවනය කලයුතු හා සේවනය නොකළයුතු .. ලෙස සිංහලට පරිවර්තනය කර ඇත. සේවනය යන්නේ අදහස ..ඒ ආකාරයයට පැවැත්විය යුතු, ඒ අනුව කල යුතු, ඒ ආකාරයට හැසිරිය යුතු ලෙස සැලකිය හැක.]

§ 2. “මහණෙනි, මම ඔබට සේවනය කළ යුතුවූද, සේවනය නොකළ යුතුවූද, ධර්ම ගැන දේශනා කරන්නෙමි. එය මැනවින් අසව්, මැනවින් මෙනෙහි කරව්. දේශනා කරන්නෙමි”යි කියායි.
“එසේය ස්වාමීනි”යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. 1070

[1070: භාග්‍යවතුන් වහන්සේ කල මේ පහත ඇති නිල් පාට චේදයේ දැක්වූ සාරාංශ ගත දේශනාව අසා හුන් සාරිපුත්ත මහා රහතුන් වහන්සේ “ස්වාමින් මේ මා ඒ කාරණය වටහා ගත ආකාරය යයි පවසමින් විස්තරාත්මකව මේ සුත්‍රය ඉදිරිපත් කරයි. ඒ අසන භාග්‍යවතුන් වහන්සේ ඒ අනුමත කරමින්. “එසේය සාරිපුත්‍රය, ඒ ….. දෙසනා කොට නැවත සැරියුත් හිමියන්ගේ විස්තර කිරීම සඳහන් කරයි. මේ පරිවර්තනයේදී එසේ දෙවනුව බුදුන් වහන්සේ සඳහන් කල චේදය නැවතත් සම්පුර්ණයෙන්ම නොලියා කෙටිලෙස දැක්වීමු.]

පළමු සුත්‍ර වාරය

§ 3. “මහණෙනි,

  1. මිනිසාගේ කායික පැවැත්ම සේවනය කළ යුතු පිළිවෙළය. සේවනය නොකළ යුතු පිළිවෙළය.’යි දෙයාකාරයකින් ඇති බව කියමි. කායික පැවැත්මේ මේ දෙආකාරය එකිනෙකට සහමුලින්ම වෙනස්ය, 1071
  2. වචන පාවිච්චියේදී නොහොත් කතා කිරීමේදී ද සේවනය කළ යුතු පිළිවෙළය., සේවනය නොකළ යුතු පිළිවෙළය.’යි දෙයාකාරයකින් කියමි. මේ දෙආකාරය එකිනෙකට සහමුලින්ම වෙනස්ය
  3. මහණෙනි, සිතීමේදීද සේවනය කළ යුතු පිළිවෙළය., සේවනය නොකළ යුතු පිළිවෙළය.’යි දෙයාකාරයකින් කියමි. මේ සිතන දෙආකාරය එකිනෙකට සහමුලින්ම වෙනස්ය.
  4. සිතේ ව්ත්තුපාදය1072 පැවැත්මද සේවනය කළ යුතු පිළිවෙළය., සේවනය නොකළ යුතු පිළිවෙළය.’යි දෙයාකාරයකින් කියමි. මේ සිතීමේ දෙආකාරය එකිනෙකට සහමුලින්ම වෙනස්ය
  5. මහණෙනි, මම සිතද සේවනය කළ යුත්තය, සේවනය, නොකල යුත්තයයි දෙයාකාරයකින් කියමි. ඒ සිතද සේවනය කළ යුත්ත අනිකකි, සේවනය නොකළ යුත්ත අනිකකියි, කියමි. මේ දෙආකාරය එකිනෙකට සහමුලින්ම වෙනස්ය.
  6. මහණෙනි, සංඥාවද සේවනය කළ යුත්තය, සේවනය නොකළ යුත්තයයි දෙයාකාරයකින් කියමි. ඒ සංඥාව පැවැත්වීමේ මේ දෙආකාරය එකිනෙකට සහමුලින්ම වෙනස්ය.
  7. මහණෙනි, මම දෘෂ්ටියද සේවනය කළයුත්තය සේවනය නොකළ යුත්තයයි දෙයාකාරයකින් කියමි. ඒ දෘෂ්ටිය ලැබීමේ මේ දෙආකාරය එකිනෙකට සහමුලින්ම වෙනස්ය.
  8. “මහණෙනි, යමෙකුගේ ස්වීයත්වය ඇතිකරගැනීමෙදීද, සේවනය කළ යුත්තය, සේවනය නොකළ යුත්තයයි දෙයාකාරයකින් කියමි. ඒ ස්වීයත්වය ඇතිකරගැනීම පිලිබඳ මේ දෙආකාරය එකිනෙකට සහමුලින්ම වෙනස්ය.

[1071:- “අඥමඥ” යන පාලි පදය “සහමුලින්ම” වෙනස්ය ලෙස දැක්වීමි. එකිනෙකට ප්‍රතිවිරුද්ධ ධර්මයන් සේද දැක්වීම වැරදි නොවේ.]

[1072:- චිත්තුපාදය යනු සිතන විට තම සිත කුමන ආකාරයට ඇති සිතිවිලි වෙත නැමේදැයි යන්නය. පහත ඇති වෙනි චේදය මේ විස්තර වශයෙන් දක්වයි.]

§ 4. මෙසේ දේශනා කළ කල්හි ආයුෂ්මත් ශාරිපුත්‍රයන් වහන්සේ මෙසේ ප්‍රකාශ කළේය.
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ සංක්ෂේපයෙන් දේශනා කරන ලද, විස්තර නොකරන ලද මේ ධර්මයේ අර්ථය මෙසේ විස්තර වශයෙන් මා දැනගතිමි”යි කියායි.

§ 5 . “මහණෙනි, කායික පැවැත්ම සේවනය කළ යුතු පිළිවෙළය. සේවනය නොකළ යුතු පිළිවෙළය.’යි දෙයාකාරයකින් ඇති බව කියමි. කායික පැවැත්මේ මේ දෙආකාරය එකිනෙකට සහමුලින්ම වෙනස්ය.” මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී. ”

ඒ කුමක් සඳහා මෙසේ ඔබ වහන්සේ දේශනා කරණ ලදද යත් ?

“ස්වාමීනි, යම් කාය සමාචාරයක් කරන්නාහට අකුශල ධර්මයෝ වැඩෙත්ද, කුශල ධර්මයෝ පිරිහෙත්ද, එබඳුවූ කායසමාචාරය සේවනය නොකළ යුතුයි. ස්වාමීනි, යම් කායසමාචාරයක් සේවනය කරන්නා තුල අකුශල ධර්මයෝ පිරිහෙත්ද, කුශල ධර්මයෝ වැඩෙත්ද, එබඳුවූ කාය සමාචාරය සේවනය කළ යුතුයි. ”

“ස්වාමීනි, කෙබඳුවූ කාය සමාචාරයක් සේවනය කරන්නා හට අකුශල ධර්මයෝද වැඩෙත්ද, කුශලධර්මයෝ පිරිහෙත්ද යත් ,

  • ස්වාමීනි, යමෙක් , ප්‍රාණීන් කෙරෙහි දයා රහිතව, ලේ තැවරුණු අතින් යුතුව, කෘර සිති යුතුව ප්‍රාණඝාත කරන්නේද, දඬු මුගුරු ගෙන සතුනට හිංසා පීඩා පමුනුවන්නේද
  • ගමෙහි වේවා අරණ්‍යයෙහි වේවා, අන්සතු දේ ගන්නේද, තමන්ට නොදුන්නාවූ දේ සොර සිතින් ගන්නේද, නුදුන් දෙය පරිභෝජනය කරන්නේද ,
  • මව විසින් රක්නා ලද, පියා විසින් රක්නා ලද, සොහොයුරන් විසින් රක්නා ලද, සොහොයුරියන් විසින් රක්නා ලද, ඥාතීන් විසින් රක්නා ලද, දැරියක්, විවාහයට පත්ව ඉන්නා වූ ස්ත්‍රියක්, කාන්තාවක්, විවා ගිවිසුම් ගෙන ඉන්නා වූ ස්ත්‍රියක් සමග අයතා කාම සෙවන වශයෙන් හැසිරී , කාම මිථ්‍යාචාරයෙහි යෙදෙත්ද, ස්වාමීනි, එබඳුවූ කායික පැවැත්ම සේවනය කරන්නාහට අකුශල ධර්මයෝ වැඩෙත්, කුශල ධර්මයෝ පිරිහෙත්.

“ස්වාමීනි, කෙබඳු කායික ක්‍රියා කරන්නාහට අකුශල ධර්මයෝ පිරිහෙත්ද, කුශල ධර්මයෝ වැඩෙත්ද?

  • ස්වාමීනි, යමෙක් ප්‍රාණඝාතය නොකරන්නේද, ප්‍රාණඝාතයෙන් වෙන්වූයේද, දඬු මුගුරු අවි ආයුධ පරිහරණය නොකරන්නේද, අන් සතුන් කෙරෙහි දයාවෙන් යුක්තවූයේද, සියළු ප්‍රාණීන් කෙරෙහි හිතානුකම්පා ඇතිව වාසය කෙරේද,
  • දුන් දෙය පමණක් ගන්නේද , නොදුන් දෙය ගැණීමෙන් වෙන්වූයේ ද, ගමෙහි හෝ වේවා අරණ්‍යයෙහි හෝ වේවා, අන්සතු වස්තුවක්, උපකරණයක් , සොරසිතින් නොගන්නේද,
  • ස්ත්‍රීන් කෙරෙහි , කාම සේවනය වශයෙන් හැසිරීමට නොයන්නේද , කාම මිථ්‍යාචාරයෙහි නොයෙදෙත්ද, .

ස්වාමීනි, මෙබඳුවූ කායික පැවැත්ම සේවනය ඇත්හතාට අකුශල ධර්මයෝ පිරිහෙත්. කුශල ධර්මයෝ වැඩෙත්.

එසේ හෙයින් ඔබ වහන්සේ “මහණෙනි, කායික පැවැත්ම සේවනය කළ යුතු පිළිවෙළය. සේවනය නොකළ යුතු පිළිවෙළය.’යි දෙයාකාරයකින් ඇති බව කියමි. කායික පැවැත්මේ මේ දෙආකාරය එකිනෙකට සහමුලින්ම වෙනස්ය.”යි වදාරණ ලදී”යි මේ සඳහා දේශනා කරන ලදී.

§ 6. “මහණෙනි, කතා කිරීමේදී ද සේවනය කළ යුතු පිළිවෙළය., සේවනය නොකළ යුතු පිළිවෙළය.’යි දෙයාකාරයකින් කියමි. මේ දෙආකාරය එකිනෙකට සහමුලින්ම වෙනස්ය“.යි ඔබ වහන්සේ දේශනා කල සේක.”

ඒ කුමක් සඳහා දේශනාකරන ලදද යත් ?”

“ස්වාමීනි, කුමන ආකාර වචන සේවනය කරන්නාහට අකුශල ධර්මයෝ වැඩෙත්ද, කුශල ධර්මයෝ පිරිහෙත්ද, එබඳුවූ වචනයේ පැවැත්ම සේවනය නොකළ යුතුය. ස්වාමීනි යම් වචන පැවැත්මක් සේවනය කරන්නාහට අකුශල ධර්මයෝ පිරිහෙත්ද, කුශල ධර්මයෝ වැඩෙත්ද, එබඳුවූ වචන පැවැත්ම සේවනය කළයුතුයි”.

“ස්වාමීනි, කෙබඳු ලෙස වචනය කතාව පාවිච්චි කරන්නහුට අකුශල ධර්මයෝ වැඩෙත්ද, කුශල ධර්මයෝ පිරිහෙත්ද යත්?

  • ස්වාමීනි, යමෙක් සභාවක , හෝ පිරිසක් මැද, නෑයන් මැද හෝ රජකුල මැද සිටියේද, උසාවියකට සාක්ෂි දෙනු පිණිස ආවේද , ‘පින්වත් පුරුෂය මෙහි එව. යමක් දන්නෙහිනම් එය කියව’යි, සාක්ෂ්‍ය අසන ලද්දාවූ විට, නොදන්නා දෙය, දනිමියි කියත්ද . දන්නා දෙය හෝ ‘නොදනිමි’යි කියත් ද . නොදැක්කා වූ දෙය දැක්කෙමි ’යි කියත් ද, . දක්නා ලද දෙය ‘නොදැක්කෙමි ’යි කියත් ද, මෙසේ තමා ට ලාභයක් පිණිස හෝ අන් කෙනෙකුට වාසියක් පිණිස, දැන දැන බොරු කියන්නේ ද,
  • එක්ව ඉන්නා පිරිසක් බිඳවීම පිණිස, අසමගි කිරීම පිණිස එතැනින් අසා මෙතැන දී කියන්නේද, මෙතන්හි අසා එතනට ගොස් කියන්නේද, මෙසේ සමගිවූවන් භේද කරන්නේද, භේදවූවන්ගේ භේදයට අනුබල දෙන්නේද , භේදයෙහි ඇළුනේද , භේදවූ අය දැක සතුටුවන්නේද , භේද කරන කතා කියන්නේද , මෙසේ කේලාම් බස් කියන්නෙක් වේද,
  • “යම් වචනයක් අනුන්ට ගැරහීම් වශයෙන් කියයිද, රළු, කර්කශ වූද අනුන්ගේ සිතට කටුක වූද, අනුන් සිත් කටු අත්තක මෙන් ඇමිණෙන සුළු බඳු කතා ඇත්තේ ද, ඇසුවන් අසන්තෝෂයට , අමනාපයට , කෝපයට පත්කරන අයුරින් කතා කරන්නේද , අනුන්ගේ සිත් අවුස්සන ඔවුනගේ සිත් කළඹන දේ කියන්නේද, ඵරුෂ වචන කියන්නේ ද ,
  • නොකල්හි කථා කරන්නේද , බොරු කියන්නේද , වැඩකට නැති හිස් බස් දොඩන්නේද , ධර්මයට නොගැලපෙන , විනයට නොගැලපෙන දේ කියන්නේද, සිත තබාගැනීමට නුසුදුසු දේ දොඩවන්නේද, නොකල්හි, සීමාවක් නැතිව, වැඩකට හේතු නොවන වචන , සම්ඵප්‍රලාප බස් ඇත්තේද,

“ස්වාමීනි, මෙබඳු වචන සේවනය කරන්නහුට අකුශල ධර්මයෝම වැඩෙත්. කුශල ධර්මයෝ පිරිහෙත්.

ස්වාමීනි, කෙබඳුවූ වචනයේ පැවැත්මක් සේවනය කරන්නහුගේ අකුශල ධර්මයෝ පිරිහෙත්ද, කුශල ධර්මයෝ වැඩෙත්ද යත්,..?

  • “ස්වාමීනි, යමෙක්, සභාවක , හෝ පිරිසක් මැද, නෑයන් මැද හෝ රජකුල මැද සිටියේද, උසාවියකට සාක්ෂි දෙනු පිණිස ආවේද , ‘පින්වත් පුරුෂය මෙහි එව. යමක් දන්නෙහිනම් එය කියව’යි, සාක්ෂ්‍ය අසන ලද්දාවූ විට, නොදන්නා දෙය, නොදනිමියි කියත්ද . දන්නා දෙය හෝ ‘දනිමි’යි කියත් ද . නොදැක්කා වූ දෙය නොදැක්කෙමි ’යි කියත් ද . දක්නා ලද දෙය ‘දැක්කෙමි ’යි කියත් ද, මෙසේ තමා ට ලාභයක් පිණිස හෝ අන් කෙනෙකුට වාසියක් පිණිස, බොරු නොකියන්නේ ද,
  • එක්ව ඉන්නා පිරිසක් බිඳවීම පිණිස, අසමගි කිරීම පිණිස එතැනින් අසා මෙහි නොකියන්නේද, මෙතන්හි අසා එතනට ගොස් නොකියන්නේද, මෙසේ සමගිවූවන් භේද නොකරන්නේද , භේදවූවන්ගේ භේදය නැති කොට එකමුතු කරන්නට උත්සාහ කරන්නේද, භේදවූ අය දැක දුක්වන්නේ ඔවුන් අතර මිත්‍රත්වය, සමගිය වැඩෙන වචන කියන්නේද ,
  • ඵරුෂ වචන නොකියන්නේ අනුනට ප්‍රිය වූ සතුට ඇති කරවන්නාවූ , කණට සුව එලවන , ප්‍රෙමය ඇති කරවන , සිත සතුටු කරවන , ශිෂ්ට වචන කියන්නේ ද, බොහෝ දෙනාගේ සිත් ඇදගන්නා වචන කියන්නේද, බොහෝ දෙනාගේ මනාපය වඩන වචන කියන්නේ වේද,

“ ස්වාමිනි, මෙබඳුවූ වචන සේවනය කරන්නහුගේ අකුශල ධර්මයෝ පිරිහෙත්. කුශල ධර්මයෝ වැඩෙත්. “

මහණෙනි, වචන පාවිච්චියේදී ද සේවනය කළ යුතු පිළිවෙළය., සේවනය නොකළ යුතු පිළිවෙළය.’යි දෙයාකාරයකින් කියමි. මේ දෙආකාරය එකිනෙකට සහමුලින්ම වෙනස්ය“.යි ඔබ වහන්සේ විසින් මේ සඳහා දේශනාකරන ලද බව මම දකිමි.

§ 7. ” මහණෙනි, සිතීමේදීද සේවනය කළ යුතු පිළිවෙළය., සේවනය නොකළ යුතු පිළිවෙළය.’යි දෙයාකාරයකින් කියමි. සිතන දෙආකාරය එකිනෙකට සහමුලින්ම වෙනස්ය. “යි ඔබ වහන්සේ විසින් දේශනා කරන ලදී.

මෙය කුමක් සඳහා දේශනා කරන ලදද යත් ?”

“ස්වාමීනි, යම් ආකාරවූ සිතිවිලි නිසා කෙනෙකුගේ අකුශල ධර්මයෝ වැඩෙත්ද, කුශල ධර්මයෝ පිරිහෙත්ද, එබඳුවූ මනෝ සමාචාරය සේවනය නොකළ යුතුය. එබඳුවූ සිතුවිලි නොසිතිය යුතුය. ස්වාමීනි, යම් මනෝසමාචාරයක් සේවනය කරන්නහුගේ, යම් ආකාර සිතිවිලි ඇති විට අකුශල ධර්මයෝ පිරිහෙත්ද, කුශල ධර්මයෝ වැඩෙත්ද, එබඳුවූ මනොසමාචාරය සේවනය කළයුතුය.”

“ස්වාමීනි කෙබඳුවූ මනොසමාචාරයක් සේවනය කරන්නහුගේ අකුශල ධර්මයෝ වැඩෙත්ද, කුසල ධර්මයෝ පිරිහෙත්ද, යත්.”

  • ‘ස්වාමීනි, ඇතැමෙක් අභිජ්ජාව යන, දැඩි විෂම ලෝභය1073 ඇත්තේ නම් , ඒ අන්සතු සම්පත මා සතුවන්නේ නම් ඉතා යෙහෙකැයි ආශා කරන්නේද, විපල්ලාසවූ සිතින් මේ කාම වස්තුන් මා සතු වුවද, අන් සතු උවද ඒ සියල්ල අනිත්‍ය, දුක්ඛ , අනාත්ම බව නොදැක මටත් මේ බඳු දේ ඇත්නම් හොඳය කියා සිතන්නේද.
  • දූෂ්‍යවූ අදහස් ඇතිව මා හට විරුද්ධවූ මේ මිනිසුන්, මා අකමැති මේ සත්වයන් නැසෙත්වා, වධයට පැමිණෙත්වා, සිඳෙත්වා, විනාශවෙත්වා, නොපවත්වෙත්වා”යි අනුන්ගේ විනාශය කැමති වන්නේවේද,

ස්වාමීනි, මෙබඳු මනො සමාචාරයක් සේවනය කරන්නහුගේ, මෙලෙස සිතන්නාගේ අකුශල ධර්මයෝ වැඩෙත්, කුශල ධර්මයෝ පිරිහෙත්.

[1073:- 1. අභිජ්ජාව : විෂම ලෝභය ලෙසින් බොහෝ විට හැඳින්වෙන උප ක්ලේශයයි. හමුවන රූපයක් (වර්ණ, ශබ්ධ, ඝන්ධ, රස, ස්පර්ශ රූපයක්) ගැන විපල්ලාසවූ සිතින් සිතා (එම රුපයේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම බව නොදැක) මේ රුපය මට ඇතිනම් හොඳය. මේ වගේ එකක් මා සතුවෙයි  නම් හොඳ යැයි ඇතිවෙන සිතිවිල්ල හෝ තමනට අප්‍රිය  රුපයක් හමුවේ නම් මෙය  නැත්නම් මට සුවයක් වේයැයි කරන සිතිවිල්ල (අනුන්ගේ දේ මට ඇත්නම් හොඳයයි ආශා කරන දැඩි ලොභය)

“ස්වාමීනි, කෙබඳුවූ මනො සමාචාරයක් සේවනය කරන්නාහට, කෙලෙස සිතන්නහුගේ අකුශල ධර්මයෝ පිරිහෙත්ද, කුශල ධර්මයෝ වැඩෙත්ද යත් ?”

ස්වාමීනි, මෙලෙව්හි ඇතැමෙක්

  • .ස්වාමීනි, යමෙක් සිත තුල අභිජ්ජාව යන, විෂම ලෝභය නැති නම් , ඒ අන්සතු සම්පත මා සතුවන්නේ නම් හොඳයැ”යි අන් සතු දෙයට ආශා නොකරන්නේය, මේ කාම වස්තුන් මා සතු වුවද, අන් සතු වූවද ඒ සියල්ල අනිත්‍ය, දුක්ඛ , අනාත්ම ය යි සිතා උපේක්ෂාවෙන් ඉන්නේද, “‘මේ බඳු වස්තු ඔහුට ඇත්තේ පෙර කල පින නිසාය. මට නැත්තේ මා එසේ පෙර දී පින් නොකළ නිසාය. ඒ නිසා මාද වහ වහා පින් කරන්නෙමි’යි කියා සිතන්නේද.
  • මෛත්‍රී අදහස් ඇතිව, මා හට විරුද්ධවූ මේ මිනිසුන්ද, සුවපත් වෙත්වා, සැපතට පැමිනෙත්වා, යි තමන් කැමති අකමැති බෙදීමකින් තොරව සියල්ලන්ගේ සුඛ විහරණය පතන්නේද, අනුන්ගේ සැපයට කැමති වන්නේ ද,

“ස්වාමීනි, මෙබඳුවූ මනොසමාචාරයන් සේවනය කරන්නහුගේ අකුශල ධර්මයෝ පිරිහෙත්, කුශල ධර්මයෝ වැඩෙත්. “

“මහණෙනි, මම මනොසමාචාරය සේවනය කළ යුත්තය සේවනය නොකළයුත්තය යයි දෙයාකාරයකින් කියමි. ඒ මනොසමාචාරයද සේවනය කළයුත්ත අනිකකි, සේවනය නොකළයුත්ත අනිකකියි කියමි“යි. ඔබ වහන්සේ විසින් දේශනා කරන ලද්දේ මේ සඳහාය.

§ 8. ” සිතේ ව්ත්තුපාදය1074 නොහොත් “සිතේ නැඹුරුව පැවැත්මද කළ යුතු පිළිවෙළය., සේවනය නොකළ යුතු පිළිවෙළය.’යි දෙයාකාරයකින් කියමි. මේ සිතීමේ දෙආකාරය එකිනෙකට සහමුලින්ම වෙනස්ය “යි ඔබ වහන්සේ විසින් දේශනා කරන ලදී.

[1074:- චිත්තෝත්පාද” යනු සිතිවිලි ඇතිකරගැනීමේ දී කෙනෙක් සිත මෙහෙයවන ආකාරය ය. සිතුවිලි ඉබේම ඇතිවෙනවා නොව මනුෂ්‍යයා ඊට පෙරදී කෙසේ සිත පුරුදු කල ආකාරයට ඇතිවෙන බව සැලකීම වටී. කුසල පුරුදු හොඳ දේ සිතන මිනිසෙක්ට අභිජාව, ද්වේශය, තරහව ඇතිවෙනවා අඩුය. ඉංග්‍රීසියෙන් inclination of mind ලෙස චිත්තෝත්පාද “සිතේ නැඹුරුව” කියා කිය හැකිය. §7 වන චේදයේ සඳහන් කල “මනෝ සමාචාර” නොහොත් “සිතීම්” සම්පුර්ණ කම්ම පථ එනම් විපාක පිණිස කර්ම සකස් වෙන ඒවා ලෙසත් මේ චිතොත්පාද, එතරම් බලගතු නොවෙන, තවමත් කර්ම පථ නොවෙන ධර්ම ලෙසත් අටුවාව දක්වයි.]

මෙය කුමක් සඳහා දේශනා කරන ලදද යත් ?”

“ස්වාමීනි, යම් සිතක පුරුද්ද (චිත්තෝත්පාද) නිසා ඔහුගේ සිතේ අකුශල ධර්මයෝ වැඩෙත්ද, කුශල ධර්මයෝ පිරිහෙත්ද, එබඳුවූ සිතිවිලි පුරුදු සේවනය නොකළයුතුය. ස්වාමීනි, යම් සිතක සිතන පුරුදු හෙවත් චිත්තොත්පාද සේවනය කරන්නහුගේ අකුශල ධර්මයෝ පිරිහෙත්ද, කුශල ධර්මයෝ වැඩෙත්ද එබඳුවූ සිතන පුරුදු සේවනය කළයුතුය.

“ස්වාමීනි, කෙබඳුවූ සිතීම් පුරුදු නම් චිත්තෝත්පාද සේවනය කරන්නහුගේ අකුශල ධර්මයෝ වැඩෙත්ද, කුශල ධර්මයෝ පිරිහෙත්ද යත් ?

  • ස්වාමීනි, ඇතැමෙක් විෂම ලෝභය ඇත්තේ අන් සතු දේ ගැන ආසාවෙන් කෑදරකමින් යුත් සිතින් වෙසේද,
  • ව්‍යාපාද සිත් ඇත්තේ අනුන්ට විනාසයක් නපුරක් වේවායි පතමින් ව්‍යාපාදයෙන් යුත් සිතින් වෙසේද, හිංසාකිරීම්ට කැමතිව හිංසා කරන සිතින් යුක්තව වෙසේද,

“ස්වාමිනි, එබඳුවූ සිතේ පුරුදු සේවනය කරන්නහුගේ අකුශල ධර්මයෝ වැඩෙත්. කුශල ධර්මයෝ පිරිහෙත්.

“ස්වාමීනි, කෙබඳුවූ සිතන පුරුදු චිත්තෝත්පාද, සේවනය කරන්නහුගේ අකුශල ධර්මයෝ පිරිහෙත්ද, කුශල ධර්මයෝ වැඩෙත්ද යත්”,

  • ස්වාමීනි, ඇතැමෙක් විෂම ලෝභ නැත්තේ, දැඩි ලෝභ නැති සිතින් වෙසෙයිද , අන් සතු දේ ගැන උපේක්ෂාවෙන් සිතයිද,
  • ව්‍යාපාද නැත්තේ, ව්‍යාපාද රහිත සිතින් වෙසෙයි. හිංසා කරන සිත් නැත්තේ හිංසා නොකරන සිතින් යුක්තව වෙසෙයිද .

“ස්වාමීනි, එබඳුවූ සිත් සේවනය කරන්නහුගේ අකුශල ධර්මයෝ පිරිහෙත්ද, කුශල ධර්මයෝ වැඩෙත්.”

“මහණෙනි, මම චිත්තෝත්පාද ද සේවනය කළ යුත්තය සේවනය නොකළ යුත්තය’යි දෙයාකාරයකින් කියමි. ඒ චිත්තෝත්පාද වශයෙන් ද සෙවනය කළයුත්ත අනිකකි. සෙවනය නොකළ යුත්ත අනිකකි’යී කියමි” යි ඔබ වහන්සේ විසින් මේ සඳහා දේශනා කරණ ලදී.

§ 9. “මහණෙනි, මම සංඥාවද සේවනය කළයුත්තය, සේවනය නොකළ යුත්තය යි දෙයාකාරයකින් කියමි. ඒ දෙආකාරය එකිනෙකට සහමුලින්ම වෙනස්ය. සෙවනය කළයුත්ත අනිකකි. සෙවනය නොකළයුත්ත අනිකකි’යි කියමි” යි ඔබ වහන්සේ විසින් දේශනා කරණ ලදී.

මෙය කුමක් සඳහා දේශනා කරන ලද්දේ ද යත් ,
“ස්වාමීනි, යම් සංඥාවක් සේවනය කරන්නහු ගේ අකුශල ධර්මයෝ වැඩෙත් ද, කුශල ධර්මයෝ පිරිහෙත් ද, එබඳුවූ සංඥාව සේවනය නොකළ යුතුය. ස්වාමීනි, යම් සංඥාවක් සේවනය කරන්නහුගේ අකුශල ධර්මයෝ පිරිහෙත්ද? කුශල ධර්මයෝ වැඩෙත්ද, එබඳුවූ සංඥාව සෙවනය කළ යුතුයි.

“ස්වාමීනි, කෙබඳුවූ සංඥාවක් සේවනය කරන්නහුගේ අකුශලධර්මයෝ වැඩෙත්ද, කුශලධර්මයෝ පිරිහෙත්ද යත්?”,

  • ස්වාමීනි, ඇතැමෙක් විෂම ලෝභය ඇත්තේ ලෝභ සහගත සංඥාවෙන් වෙසෙයිද අසහන
  • අසහන වූ, ව්‍යාපාද සිත් ඇතිව ව්‍යාපාද සහගත සංඥාවෙන් වෙසෙයිද,
  • අනුනට කයෙන් වචනයෙන් හිංසා කරන්නේ හිංසා සහගත සංඥාවෙන් වෙසෙයිද,

ස්වාමීනි, මෙබඳුවූ සංඥාව සේවනය කරන්නහුගේ අකුශල ධර්මයෝ වැඩෙත්. කුශලධර්මයෝ පිරිහෙත්.

“ස්වාමීනි, කෙබඳුවූ සංඥාවක් සේවනය කරන්නහුගේ අකුශල ධර්මයෝ පිරිහෙත්ද, කුශල ධර්මයෝ වැඩෙත්ද යත් ?

  • ස්වාමීනි, ඇතමෙක් අන් සතු දේ කෙරෙහි කෑදර බව නොහොත් විෂම ලෝභය නැතිව උපේක්ෂ සිතින් වසයිද
  • ව්‍යාපාද නැත්තේ ව්‍යාපාද නැති සංඥාවෙන්, අනුනට ව්යාසනයක් නපුරක් නොපතමින් වසයිද,
  • මෛත්‍රී සහගත සිතින් සියලු සත්වයනට යහපතක් වේවායි පතමින් වසයිද

ස්වාමීනි, මෙබඳුවූ සංඥාවන් සේවනය කරන්නහුගේ අකුශල ධර්මයෝ පිරිහෙත්. කුශලධර්මයෝ වැඩෙත්.

මහණෙනි, මම සංඥාවද සේවනය කළ යුත්තය සේවනය නොකළ යුත්තයයි දෙයාකාරයකින් කියමි. ඒ සංඥාවද සේවනය කළයුත්ත අනිකකි. සේවනය නොකළ යුත්ත අනිකකි”යි කියමි”යි ඔබ වහන්සේ විසින් මේ සඳහා දේශනාකරන ලදී.

§ 10 . “මහණෙනි, “දෘෂ්ටි සේවනය” ද, කළ යුත්තය සෙවනය නොකළ යුත්තයයි දෙයාකාරයකින් කියමි. දෙආකාරය එකිනෙකට සහමුලින්ම වෙනස්ය. දෘෂ්ටි සේවනය කළයුත්ත එකකි, සෙවනය නොකළ යුත්ත අනිකකි,යි කියමි”යි ඔබ වහන්සේ විසින් දේශනා කරණලදී.

මෙය කුමක් සඳහා දේශනා කරණ ලද ද යත් ?

“ස්වාමීනි, යම් දෘෂ්ටියක් සෙවනය කරන්නහු ගේ අකුශල ධර්මයෝ වැඩෙත්ද, කුශල ධර්මයෝ පිරිහෙත්ද, එබඳුවූ දෘෂ්ටිය සෙවනය නොකළ යුතුය. ස්වාමීනි, යම්බඳුවූ දෘෂ්ටියක් සෙවනය කරන්නහුගේ අකුශලයෝ පිරිහෙත්ද, කුශලධර්මයෝ වැඩෙත්ද, එබඳුවූ දෘෂ්ටිය සෙවනය කළ යුතුය.

“ස්වාමීනි, කෙබඳුවූ දෘෂ්ටියක් සේවනය කරන්නහුගේ අකුශල ධර්මයෝ වැඩෙත්ද, කුශල ධර්මයෝ පිරිහෙත්ද යත්?”,

  • ස්වාමීනි, ඇතමෙක් මෙබඳු දෘෂ්ටි ඇත්තේවේ. ‘
  • දෙන දානයෙහි , ත්‍යාගයෙහි ඵල නැත.
  • “කළ හොඳ නොහොඳ දෙක්හි ඵල විපාක නැත.
  • මරණින් පසු යලි ඉපදීමක් නැත.
  • මවට පියාට සැලකීමෙන් විපාක නැත.
  • චුතව උපදින ඕපපාතික සත්වයෝ නැත.
  • මෙලොව හා පරලොව තම නුවණින් දැන ප්‍රත්‍යක්ෂකොට ප්‍රකාශ කරන මහණ බමුණන් ලොව නැත’
    යනුවෙනි.

ස්වාමීනි, මෙබඳුවූ දෘෂ්ටි සේවනය කරන්නහුගේ අකුශල ධර්මයෝ වැඩෙත්. කුශල ධර්මයෝ පිරිහෙත්.

“ස්වාමීනි, කෙබඳුවූ දෘෂ්ටිය සේවනය කරන්නහුගේ අකුශලධර්මයෝ පිරිහෙත්ද, කුශලධර්මයෝ වැඩෙත්ද යත්?”,

  • ස්වාමීනි ඇතමෙක්, මෙබඳු දාෂ්ටි ඇත්තේවේ.
  • ‘දුන් දැයෙහි ඵල ඇත. “
  • කළ හොඳ නොහොඳ දෙක්හි ඵල විපාක ඇත.
  • නැවත පුනර්භවයක් ඇත.
  • මවට , පියාට සැලකීමෙන් හොඳ විපාක ඇත.
  • ඕපපාතිකව උපදින සත්වයෝ ඇත.
  • මෙලොව හා පරලොව තමා නුවණින් දැන ප්‍රත්‍යක්ෂ කොට ප්‍රකාශ කරන මහණ බමුණන් ලොව ඇත.’
    යනුවෙනි.

“ස්වාමීනි, මෙබඳු වූ දෘෂ්ටි සේවනය කරන්නහුගේ අකුශල ධර්මයෝ පිරිහෙත්. කුශල ධර්මයෝ වැඩෙත්.

මහණෙනි, මම දෘෂ්ටියද සේවනය කළ යුත්තය සෙවනය නොකළ යුත්තයයි දෙපරිදිකොට කියමි. ඒ දෘෂ්ටියද සෙවනය කළයුත්ත අනිකකි. සෙවනය නොකළයුත්ත අනිකක”යි කියමි” යි ඔබ වහන්සේ විසින් දේශනා කරන ලද්දේ මේ නිසාය.

§ 11 . මහණෙනි, ආත්මභාව ප්‍රතිලාභය1075 නොහොත් ස්වීයත්වය, පෞරුෂත්වය ලැබීමද දෙපරිදි යැයි කියමි. සේවනය කළ යුත්තද, සේවනය නොකළ යුත්තද කියායි. හෙද සේවනය කළයුතු ආත්මභාවය ලැබීම අනිකකි. සේවනය නොකළයුතු ආත්මභාවය ලැබීමද අනිකකි”යි ඔබ වහන්සේ විසින් දේශනා කරණ ලදී.

මෙය කුමක් නිසා දේශනා කරණ ලදද?”

[1075:- අත්තභාව පටිභා = ආත්මභාව ප්‍රතිලාභ (උත්පත්ති ලැබීම්) ලෙස දීඝ නිකායේ සංගීති සුත්‍රයේ මෙසේ දක්වා ඇත.
“ආත්මභාව ප්‍රතිලාභ සතරක් වෙත්.
a. ඇවැත්නි, යම් උත්පත්තියෙක්හි ආත්ම සඤ්චෙතනාව (තමාගේ මෙහෙයීම) කරණකොටගෙනම චුතවෙයිද, අනුන්ගේ මෙහෙයවීම හේතුකොටගෙන චුත නොවෙයිද, එබඳු උත්පත්තියක් ඇත.
b. ඇවැත්නි, යම් උත්පත්තියෙක්හි අනුන්ගේ මෙහෙයවීම නිසා චුතවන්නේද තමාගේ මෙහෙයීමෙන් චුතනොවන්නේද එබඳු උත්පත්තියක් ඇත්තේය.
c. ඇවැත්නි, යම් උත්පත්තියෙක්හි තමාගේ මෙහෙයීමත් අනුන්ගේ මෙහෙයවීමත් නිසා චුතවන්නේද එබඳු උත්පත්තියක් ඇත්තේය.
d.ඇවැත්නි, යම් උත්පත්තියෙක්හි තමාගේ මෙහෙයීමත් අනුන්ගේ මෙහෙයවීමත් නිසා චුතනොවන්නේද. එබඳු උත්පත්තියක් ඇත. (යන සතරයි)
DN 03-10 සංගීති සුත්‍රය ]

“ස්වාමීනි, යම් බඳුවූ ආත්මභාවය ලැබීමක් සේවනය කරන්නහුගේ අකුශල ධර්මයෝ වැඩෙත්ද? කුශල ධර්මයෝ පිරිහෙත්ද? එබඳුවූ, ආත්මභාවය ලැබීම සේවනය නොකළ යුතුයි. ස්වාමීනි, යම්බඳුවූ, ආත්මභාවය ලැබීමක් සේවනය කරන්නහුගේ අකුශල ධර්මයෝ පිරිහෙත්ද? කුශල ධර්මයෝ වැඩෙත්ද, එබඳුවූ ආත්මභාවය ලැබීම සේවනය කළ යුතුයි.

“ස්වාමීනි, කෙබඳුවූ ආත්මභාව ලැබීමක් ඇත්තහුගේ අකුශල ධර්මයෝ වැඩෙත්ද? කුශල ධර්මයෝ පිරිහෙත්ද යත් ?”

“ස්වාමීනි, දුක් සහිත ආත්මභාවය ලැබීම ඇත්තහුගේ උත්පත්තිය නොනිමි බැවින් අකුසල ධර්මයෝ වැඩෙත්, කුසල ධර්මයෝ පිරිහෙත්. ස්වාමීනි, කෙබඳුවූ ආත්මභාවය ලැබීමක් ඇත්තහුගේ අකුශල ධර්මයෝ පිරිහෙත්ද? කුශල ධර්මයෝ වැඩෙත්ද? ස්වාමීනි, දුක් රහිත ආත්මභාවය ලැබීම ඇත්තහුගේ උත්පත්තිය නිමි බැවින් අකුශල ධර්මයෝ පිරිහෙත්. කුශල ධර්මයෝ වැඩෙත්.” 1074

[1074:- අපරිනිට්ටිතභාවාය ‘ යන පදය මේ සුත්රයටම විශේෂ වුවකි. අටුවාව මේ විස්තර කරන්නට භාවනා අපරිනිට්ටිතභාවාය යන වෙනත් යෙදුමක් හා සැසඳීම කරයි. මේ භවයේදීම සිය ක්ලේශ ප්‍රහාණය සිදු කරගන්නට අසමත් සත්වයා මුළු ජීවිතය පුරාම අකුසල ධර්මයෝ වැඩෙත්. කුසල ධර්මයෝ පිරිහෙත්. දුක් විඳින්නාවූ භවයක හිමි කරුවෝ වෙති. භව තන්හාව නොහල සෝවාන්, සකෘදාගාමි, අනාගාමි උතුමන් පවා උත්පත්තිය නිමා නොකරන තාක්, එනම් අරහත් ඵලය සාක්ෂාත් කරන තෙක් දුක් සහිත ආත්මභාවම ලබන්නවුන් ය.]

“මහණෙනි, මම ආත්මභාවය ලැබීමද දෙපරිදි කොට කියමි. සේවනය කළයුත්තද, සේවනය නොකළ යුත්තද, යනුවෙනි. හෙද සේවනය කළ යුතු ආත්මභාවය ලැබීම අනිකකි. සේවනය නොකළ යුතු ආත්මභාවය ලැබීමද අනිකකියි, මෙසේ යමක් භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරණ ලදද? ඒ මේ සඳහා දේශනා කරණ ලදී.”

§ 12 . “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් සංක්ෂෙපයෙන් වදාරනලද විස්තර වශයෙන් අර්ථ නොබෙදන ලද මේ ධර්මයාගේ අර්ථය මම විස්තර වශයෙන් මෙසේ දනිමි”යි කීය.

පළමු පිලිගැන්ම හා අනුමැතිය

§ 13. “යහපත, යහපත ශාරිපුත්‍රය, මා විසින් සංක්ෂෙපයෙන් කියන ලද විස්තර වශයෙන් අර්ථ නොබෙදූ මේ ධර්මයේ අර්ථ විස්තර වශයෙන්ම තෙපි දන්නා අයුරු නිවැරදිය..

“ශාරිපුත්‍රය, මා විසින් සංක්ෂෙපයෙන් කියන ලද මෙහි අර්ථය මෙසේ විස්තර වශයෙන් දතයුතුය.

දෙවන විස්තර කිරීම

§ 14 .ශාරිපුත්‍රය,

  • චක්ඛුවිඤ්ඤාණයෙන් දැනගතයුතු රූපයද මම සේවනය කළ යුත්තය සේවනය නොකළ යුත්තයයි දෙයාකාරයකින් කියමි.
  • සොතවිඤ්ඤාණයෙන් දතයුතුවූ ශබ්දයද මම සේවනය කළ යුත්තය සේවනය නොකළ යුත්තය දෙයාකාරයකින් කියමි.
  • ඝාණවිඤ්ඤාණයෙන් දැනගතයුතු ගන්ධයද මම සේවනය කළයුත්තය සේවනය නොකළ යුත්ත යයි දෙපරිදිකොට කියමි.
  • ජිව්හා විඤ්ඤාණයෙන් දතයුතුවූ රසයද සේවනය කළ යුත්ත සේවනය නොකළ යුත්තයයි දෙයාකාරයකින් කියමි.
  • කායවිඥානයෙන් දැනගතයුතු ස්පර්ශයද මම සේවනය කළයුත්තය සේවනය නොකළ යුත්තයයි දෙපරිදි කොට කියමි.
  • මනොවිඥානයෙන් දැනගතයුතු ධර්මාරම්මණයද සේවනය කළයුත්තය සේවනය නොකළ යුත්තයයි දෙයාකාරයකින් කියමි.

මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්වාමින් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය.

“ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේ විසින් සංක්ෂෙපයෙන් වදාරණ ලද විස්තර වශයෙන්, අර්ථ නොබෙදන ලද මෙහි මෙසේ විස්තර වශයෙන් අර්ථය දනිමි.”

§ 24.‘ශාරිපුත්‍රය, මම චක්ඛු විඤ්ඤාණයෙන් දැනගතයුතු වූ රූපයද සේවනය කළ යුත්තය සේවනය නොකළ යුත්තයයි දෙයාකාරයකින් කියමියි ඔබ වහන්සේ විසින් වදාරණ ලදී.1075

[1075: පසිඳුරන් ගෙන් ලබන ආරම්මණ නිසාම අකුසල් ධර්මයෝ වැඩෙති. ඉන්ද්‍රිය සංවරය භාග්‍යවතුන් වහන්සේ දේශනා කලේ මේ පිණිසය . § 24 සිට § 29 දක්වා ඇත්තේ පස් ඉඳුරන්ගෙන් ලබන ආරම්මණ පරිහරණය කලයුතු හා නොකළ යුතු ආකාරයය.]

එය කුමක් සඳහා වදාරණ ලදද යත්?”,

“ස්වාමීනි, යම් චක්ඛු විඤ්ඤාණයෙන් දැනගතයුතු රූපයක් සෙවනය කරන්නහුට එසේ දැකීමෙන් අකුශල ධර්මයෝ වැඩෙත්ද, කුශල ධර්මයෝ පිරිහෙත්ද, මෙබඳුවූ චක්ඛු විඤ්ඤාණයෙන් දැනගතයුතු රූපය නොදැකිය යුතුයි.’

ස්වාමීනි, යම් චක්ඛු විඤ්ඤාණයෙන් දැනගතයුතු රූපයක් සෙවනය කරන්නහුට අකුශල ධර්මයෝ පිරිහෙත්ද, කුශල ධර්මයෝ වැඩෙත්ද, එබඳුවූ රූප දැකිය යුතුය”

ශාරිපුත්‍රය, චක්ඛු විඤ්ඤාණයෙන් දැනගතයුතු රූපයද සේවනය කළ යුත්තය සේවනය නොකළ යුත්තයයි දෙයාකාරයකින් කියමි‘යි ඔබ වහන්සේ විසින් වදාරණ ලදනම් එය මේ සඳහා වදාරණ ලදී.

§ 25 .“ශාරිපුත්‍රය, ශ්‍රොත විඥානයෙන් දැනගතයුතු ශබ්දයද දෙපරිදි කොට කියමි. සේවනය කළයුත්තද සේවනය නොකළ යුත්තද කියායි. මෙසේ ඔබ වහන්සේ විසින් වදාරණ ලදී.

මෙය කුමක් නිසා වදාරණ ලදද? යත්”

“ස්වාමීනි, යම් ශබ්දයක් අසන්නාට අකුශල ධර්මයෝ වැඩෙත්ද කුශල ධර්මයෝ පිරිහෙත්ද, එබඳුවූ ශබ්දයක් නොඇසිය යුතුයි.
“ස්වාමීනි, යම් ශබ්දයක් අසන්නහුට අකුශල ධර්මයෝ පිරිහෙත්ද, කුශල ධර්මයෝ වැඩෙත්ද, මෙබඳුවූ ශබ්දය ඇසිය යුතුයි.
ශාරිපුත්‍රය, සොත විඤ්ඤාණයෙන් දැනගතයුතු ශබ්දයද දෙපරිදිකොට කියමි සෙවිය යුත්තද නොසෙවිය යුත්තද කියා ඔබ වහන්සේ විසින් මේ සඳහා වදාරණ ලදී.”

§ 26.“ශාරිපුත්‍රය, මම ඝාණ විඤ්ඤාණයෙන් දැනගතයුතු ගන්ධයද දෙපරිදිකොට කියමි. සේවනය කළයුත්තද සේවනය නොකළ යුත්තද කියායි. මෙසේ ඔබ වහන්සේ විසින් වදාරණ ලදී.

මෙය කුමක් නිසා වදාරණ ලදද යත් ”

“ස්වාමීනි, යම් ඝන්ධයක් සේවනය කරන්නාට අකුශල ධර්මයෝ වැඩෙත්ද? කුශල ධර්මයෝ පිරිහෙත්ද එබඳුවූ, ඝාණ විඤ්ඤාණයෙන් දතයුතුවූ, ගන්ධයක් සේවනය නොකළ යුතුයි.
ස්වාමීනි, යම් ඝාණ ගන්ධයක් සේවනය කරන්නහුට අකුශල ධර්මයෝ පිරිහෙත්ද, කුශල ධර්මයෝ වැඩෙත්ද, එබඳුවූ ඝාණ විඤ්ඤාණයෙන් දතයුතුවූ, ගන්ධය සෙවිය යුතුයි.

ශාරිපුත්‍රය, ඝාණ විඤ්ඤාණයෙන් දතයුතු වූ, ගන්ධය දෙපරිදිකොට කියමි. සෙවිය යුත්තද නොසෙවිය යුත්තද කියායි. මෙසේ ඔබ වහන්සේ විසින් වදාරණ ලදද, එය මේ සඳහා වදාරණ ලදී.”

§ 27 .“ශාරිපුත්‍රය, ජිව්හා විඤ්ඤාණයෙන් දැනගතයුතු රසය……
§ 28.“ශාරිපුත්‍රය, කාය විඤ්ඤාණයෙන් දැනගතයුතු ස්පර්ශය ……
§ 29 .“ශාරිපුත්‍රය, මනො විඤ්ඤාණයෙන් දැනගතයුතු ධර්මය දෙපරිදි කොට කියමි. සිතිය යුත්තද නොසිතිය යුත්තද කියායි. මෙසේ මෙය ඔබ වහන්සේ විසින් වදාරණ ලදී.

මෙය කුමක් නිසා වදාරණ ලදද?”

“ස්වාමීනි, යම් මනො විඤ්ඤාණයෙන් දතයුතුවූ ධර්මයක් සිතන්නාට අකුශල ධර්මයෝ වැඩෙත්ද, කුශල ධර්මයෝ පිරිහෙත්ද, එබඳුවූ මනො විඤ්ඤාණයෙන් දතයුතුවූ ධර්මයන් නොසිතිය යුතුයි. ස්වාමීනි, යම් මනො විඤ්ඤාණයෙන් දතයුතුවූ ධර්මයක් සිතන්නාට අකුශල ධර්මයෝ පිරිහෙත්ද, කුශල ධර්මයෝ වැඩෙත්ද, එබඳුවූ මනො විඤ්ඤාණයෙන් දතයුතුවූ ධර්මය සේවනය කළයුතුයි.
ශාරිපුත්‍රය, මම මනො විඤ්ඤාණයෙන් දතයුතුවූ ධර්මය දෙපරිදිකොට කියමි. සෙවිය යුත්තද නොසෙවිය යුත්තද කියායි. මෙසේ ඔබ වහන්සේ විසින් ඒ සඳහා වදාරණ ලදී”

§ 30.“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් සංක්ෂේපයෙන් දෙසනලද විස්තර වශයෙන්ද නොබෙදනලද මෙහි අර්ථය මෙසේ විස්තර වශයෙන් දනිමි,” කියායි.

“යහපත, යහපත ශාරිපුත්‍රය, ශාරිපුත්‍රය, තොපි මා විසින් සංක්ෂෙපයෙන් කියනලද විස්තර වශයෙන් අර්ථ නොබෙදූ මෙහි අර්ථය විස්තර වශයෙන් දන්නහුය.

“ශාරිපුත්‍රය, මා විසින් සැකෙවින් කියනලද මෙහි විස්තර වශයෙන් අරුත් මෙසේ දතයුතුය.

තුන්වන විස්තර කිරීම1076

[1076:- මේ කොටසේහිදී භාග්‍යවතුන් වහන්සේ විසින් සංඝ සමාජය පිණිස වැදගත් කාරනා සියල්ලම කුසල සහ අකුසල වශයෙන් දෙකොටසට බෙදා දක්වයි. ආමිස පරිහරණයේදී සති සම්පජනයෙන් යුතුව මේ දෙආකාරයෙන් සේවනය කලයුතු ආකාරයට කිරීම භාග්‍යවතුන් වහන්සේ අනුමත කරයි.]

§ 39. “ශාරිපුත්‍රය,

  • චීවරයද, දෙපරිදියැයි කියමි. සේවනය කළයුත්තද සේවනය නොකළ යුත්තද කියායි.
  • “ශාරිපුත්‍රය, මම පිණ්ඩපාතයද දෙපරිදිකොට කියමි. සේවනය කළයුත්තද සේවනය නොකළ යුත්තද කියායි.
  • “ සේනාසනයද දෙපරිදිකොට කියමි. සේවනය කළයුත්තද සේවනය නොකළ යුත්තද කියායි.
  • “ ගමද දෙපරිදිකොට කියමි. සේවනය කළයුත්තද සේවනය නොකළ යුත්තද කියායි.
  • “නිගමයද, දෙපරිදිකොට කියමි. සේවනය කළයුත්තද, සේවනය නොකළයුත්තද කියායි.
  • “ නගරයද දෙපරිදිකොට කියමි. සේවනය කළයුත්තද සේවනය නොකළ යුත්තද කියායි.
  • “ ජනපදයද දෙපරිදිකොට කියමි. සේවනය කළ යුත්තද සේවනය නොකළ යුත්තද කියායි.
  • “පුද්ගලයන් ද සේවනය කළයුත්තය, සේවනය නොකළ යුත්තයයි දෙයාකාරයකින් කියමි.”

මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්වාමින්වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකෙළේය.

“ස්වාමීනි, මම භාග්‍යවතුන්වහන්සේ විසින් සැකෙවින් වදාළ විස්තර වශයෙන් නොබෙදූ මෙහි මෙසේ විස්තර වශයෙන් අදහස දනිමි.”

§ 40. “ශාරිපුත්‍රය, මම චීවරයද දෙපරිදිකොට කියමි. සේවනය කළයුත්තද, සේවනය නොකළයුත්තද කියායි. මෙසේ ඔබ වහන්සේ විසින් වදාරණ ලදී.

මෙය කුමක් නිසා වදාරණ ලදද?”

“ස්වාමීනි, යම්, චීවරයක් සේවනය කරන්නාට අකුශල ධර්මයෝ වැඩෙත්ද, කුශල ධර්මයෝ පිරිහෙත්ද, එබඳුවූ චීවරය සේවනය නොකළ යුතුයි.
“ස්වාමීනි, යම්, චීවරයක් සේවනය කරන්නාට අකුශල ධර්මයෝ පිරිහෙත්ද, කුශල ධර්මයෝ වැඩෙත්ද, එබඳුවූ චීවරය සේවනය කළයුතුයි.

“ශාරීපුත්‍රය, මම චීවරය දෙපරිදිකොට කියමි. සෙවිය යුත්තද නොසෙවිය යුත්තද කියායි.
මෙසේ ඔබ වහන්සේ විසින් වදාරණ ලදද? එය මේ සඳහා වදාරණලදී.

§ 41. “ශාරිපුත්‍රය, මම පිණ්ඩපාතයද දෙපරිදිකොට කියමි. සේවනය කළයුත්තද, සේවනය නොකළයුත්තද කියායි. මෙසේ මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී.

මෙය කුමක් නිසා වදාරණ ලදද?”

“ස්වාමීනි යම් පිණ්ඩපාතයක් සේවනය කරන්නාට අකුශල ධර්මයෝ වැඩෙත්ද, කුශල ධර්මයෝ පිරිහෙත්ද? එබඳුවූ, පිණ්ඩපාතය සේවනය නොකළ යුතුයි. ස්වාමීනි, යම් පිණ්ඩපාතයක් සේවනය කරන්නාට අකුශල ධර්මයෝ පිරිහෙත්ද, කුශල ධර්මයෝ වැඩෙත්ද, එබඳුවූ, පිණ්ඩපාතය සේවනය කළයුතුයි.”

ශාරිපුත්‍රය, මම පිණ්ඩපාතයද දෙපරිදිකොට කියමි. සෙවිය යුත්තද නොසෙවිය යුත්තද කියායි. මෙසේ ඔබ වහන්සේ විසින් මේ සඳහා වදාරණ ලදී.

§ 42. “ශාරිපුත්‍රය, සේනාසනයද දෙපරිදිකොට කියමි. සේවනය කළයුත්තද සේවනය නොකළයුත්තද කියායි. මෙසේ ඔබ වහන්සේ විසින් වදාරණලදී.

මෙය කුමක් නිසා වදාරණ ලදද?”

“ස්වාමීනි, යම් සේනාසනයක් සේවනය කරන්නාට අකුශල ධර්මයෝ වැඩෙත්ද, කුශල ධර්මයෝ පිරිහෙත්ද, එබඳුවූ, සේනාසනය සේවනය නොකළ යුතුයි. ස්වාමීනි, යම් බඳුවූ, සේනාසනයක් සේවනය කරන්නාට අකුශල ධර්මයෝ පිරිහෙත්ද, කුශල ධර්මයෝ වැඩෙත්ද, එබඳුවූ, සේනාසනය සේවනය කළයුතුයි”

ශාරිපුත්‍රය, සේනාසනයද දෙපරිදිකොට කියමි. සෙවිය යුත්තද නොසෙවිය යුත්තද කියායි. ඔබ වහන්සේ විසින් මේ සඳහා වදාරණලදී.

§ 43. “ශාරිපුත්‍රය, ගමද දෙපරිදිකොට කියමි. සේවනය කළයුත්තද, සේවනය නොකළයුත්තද කියායි. මෙසේ මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණලදී.
මෙය කුමක් නිසා වදාරණ ලදද?”

“ස්වාමීනි, යම්බඳුවූ, ගමක් සේවනය කරන්නාට අකුශල ධර්මයෝ වැඩෙත්ද, කුශල ධර්මයෝ පිරිහෙත්ද, එබඳුවූ, ගම සේවනය නොකළ යුතුයි.”

“ස්වාමීනි යම් ගමක් සේවනය කරන්නාට අකුශල ධර්මයෝ පිරිහෙත්ද කුශල ධර්මයෝ වැඩෙත්ද, එබඳුවූ ගම සේවනය කළයුතුයි.

” ශාරිපුත්‍රය, ගමද දෙපරිදිකොට කියමි. සෙවිය යුත්තද, නොසෙවිය යුත්තද කියා ඔබ වහන්සේ විසින් මේ සඳහා වදාරණලදී.

§ 44. “ශාරිපුත්‍රය, මම නිගමයද දෙපරිදිකොට කියමි. සේවනය කළයුත්තද, සේවනය නොකළයුත්තද කියා ඔබ වහන්සේ විසින් වදාරණ ලදි.
මෙය කුමක් නිසා වදාරණ ලදද?”

“ස්වාමීනි, යම් බඳුවූ නියම්ගමක් සේවනය කරන්නාට අකුශල ධර්මයෝ වැඩෙත්ද, කුශල ධර්මයෝ පිරිහෙත්ද, එබඳුවූ, නියම්ගම සේවනය නොකළ යුතුයි.”

“ස්වාමීනි යම් නියම්ගමක් සේවනය කරන්නාට අකුශල ධර්මයෝ පිරිහෙත්ද, කුශල ධර්මයෝ වැඩෙත්ද, එබඳුවූ, නියම්ගම සේවනය කළයුතුයි.”

ශාරිපුත්‍රය, මම නියම්ගමද දෙපරිදිකොට කියමි. සෙවියයුත්තද නොසෙවිය යුත්තද කියා ඔබ වහන්සේ විසින්මේ සඳහා වදාරණලදී.

§ 45. “ශාරිපුත්‍රය, මම නගරයද දෙපරිදිකොට කියමි. සේවනය කළයුත්තද, සේවනය නොකළ යුත්තද කියායි. මෙසේ ඔබ වහන්සේ විසින් වදාරණ ලදී.
මෙසේ කුමක් නිසා වදාරණ ලදද?”

“ස්වාමීනි, යම් , නගරයක් සේවනය කරන්නාට අකුශල ධර්මයෝ වැඩෙත්ද, කුශල ධර්මයෝ පිරිහෙත්ද, එබඳුවූ, නගරය සේවනය නොකළ යුතුයි. ස්වාමීනි, යම් බඳුවූ, නගරයක් සේවනය කරන්නාට අකුශල ධර්මයෝ පිරිහෙත්ද, කුශල ධර්මයෝ වැඩෙත්ද, එබඳුවූ, නගරය සේවනය කළයුතුයි.”

ශාරිපුත්‍රය, මම නගරයද දෙපරිදිකොට කියමි. සෙවියයුත්තද, නොසෙවිය යුත්තද කියායි. මෙසේ ඔබ වහන්සේ විසින් මේ සඳහා වදාරණ ලදී.

§ 46. “ශාරිපුත්‍රය, මම ජනපදයද දෙපරිදිකොට කියමි. සේවනය කළයුත්තද, සේවනය නොකළ යුත්තද කියායි. මෙසේ ඔබ වහන්සේ විසින් වදාරණ ලදී. මෙය කුමක් නිසා වදාරණ ලදද?”

“ස්වාමීනි යම්, ජනපදයක් සේවනය කරන්නාට අකුශල ධර්මයෝ වැඩෙත්ද? කුශල ධර්මයෝ පිරිහෙත්ද? එබඳුවූ, නගරය සේවනය නොකළ යුතුයි. ස්වාමීනිත යම්බඳුවූ, ජනපදයක් සේවනය කරන්නාට අකුශල ධර්මයෝ පිරිහෙත්ද, කුශල ධර්මයෝ වැඩෙත්ද, එබඳුවූ, ජනපදය සේවනය කළයුතුයි.”

“ශාරිපුත්‍රය ජනපදයද දෙපරිදිකොට කියමි. සෙවියයුත්තද, නොසෙවිය යුත්තද කියායි. මෙසේ ඔබ වහන්සේ විසින් මේ සඳහා වදාරණ ලදී.

§ 47. “ශාරිපුත්‍රය, පුද්ගලයාද දෙපරිදිකොට කියමි. සේවනය කළයුත්තද, සේවනය නොකළ යුත්තද කියායි. මෙසේ මෙය ඔබ වහන්සේ විසින් වදාරණ ලදී.

මෙය කුමක් නිසා වදාරණ ලදද?”

“ස්වාමීනි! යම් පුද්ගලයෙකු සේවනය කරන්නාට අකුශල ධර්මයෝ වැඩෙත්ද, කුශල ධර්මයෝ පිරිහෙත්ද, එබඳුවූ, පුද්ගලයා සේවනය නොකළ යුතුයි. ස්වාමීනි, යම් පුද්ගලයකු සේවනය කරන්නාට අකුශල ධර්මයෝ පිරිහෙත්ද, කුශල ධර්මයෝ වැඩෙත්ද, එබඳුවූ, පුද්ගලයා සේවනය කළයුතුයි.”

ශාරිපුත්‍රය, මම පුද්ගලයාද දෙපරිදිකොට කියමි. සෙවියයුත්තද නොසෙවිය යුත්තද කියායි. ඔබ වහන්සේ විසින් මේ සඳහා කියනලදී.”

‘ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් වදාළ විස්තර වශයෙන් අරුත් නොබෙදූ මෙහි මෙසේ විස්තර වශයෙන් අදහස් දනිමි.”

තුන්වන අනුමත කිරීම

“යහපත, යහපත ශාරිපුත්‍රය, ඔබ මා විසින් සැකෙවින් ප්‍රකාශකළ විස්තර වශයෙන් අර්ථ නොබෙදූ මෙහි අර්ථය විස්තර වශයෙන් දන්නෙහිය. (මෙතැන් සිට භාග්‍යවතුන් වහන්සේ විසින් , 40 සිට 47 දක්වා සැරියුත් හිමියන් කල විස්තරය නැවත දේශනා කලේ යයි සුත්‍රයේ සඳහන් වේ.)

“ශාරිපුත්‍රය, මා විසින් සැකෙවින් වදාළ විස්තර වශයෙන් අරුත් නොබෙදූ මෙහි විස්තර වශයෙන් අර්ථය මෙසේ දතයුතු.

“ශාරිපුත්‍රය, ඉදින් සියලු ක්ෂත්‍රියයෝ මා විසින් සැකෙවින් කී විස්තර වශයෙන් අර්ථ නොබෙදූ මෙහි අදහස විස්තර වශයෙන් දන්නාහුනම් ඒ සියළු ක්ෂත්‍රියයින්ට මෙය බොහෝ කාලයක් හිත සුව පිණිස වන්නේය.

“ශාරිපුත්‍රය, ඉදින් සියළු බ්‍රාහ්මණයෝ මා විසින් කෙටියෙන් කී, විස්තර වශයෙන් අර්ථය නොබෙදූ, මෙහි අදහස විස්තර වශයෙන් දන්නාහුනම් ඒ සියලු බ්‍රාහ්මණයින්ට මෙය බොහෝ කාලයක් හිත සුව පිණිස වන්නේය.

“ශාරිපුත්‍රය, ඉදින් සියලු වෛශ්‍යයෝ මා විසින් කෙටියෙන් කී, විස්තර වශයෙන් අර්ථය නොබෙදූ, මෙහි අදහස විස්තර වශයෙන් දන්නාහුනම් ඒ සියලු වෛශ්‍යයින්ට මෙය බොහෝ කාලයක් හිත සුව පිණිස වන්නේය.

“ශාරිපුත්‍රය, ඉදින් සියලු ක්ෂුද්‍රයෝ මා විසින් කෙටියෙන් කී, විස්තර වශයෙන් අර්ථය නොබෙදූ, මෙහි අදහස විස්තර වශයෙන් දන්නාහුනම් ඒ සියලු ක්ෂුද්‍රයින්ට මෙය බොහෝ කලක් හිතසුව පිණිස වන්නේය.

“ශාරිපුත්‍රය, ඉදින් දෙවියන් මරුන් බඹුන් මහණ බමුණන් සහිත ලෝකය දෙවිමිනිසුන් සහිත සත්වයෝ මා විසින් සැකෙවින් වදාළ විස්තර වශයෙන් අර්ථ නොබෙදූ මෙහි අදහස විස්තර වශයෙන් දන්නේ නම් දෙවියන් මරුන් බඹුන් මහණ බමුණන් සහිත ලෝකයට දෙවිමිනිසුන් සහිත ප්‍රජාවට බොහෝ කාලයක් හිත සුව පිණිස වන්නේය”යි වදාළේය.

භාග්‍යවතුන් වහන්සේ මෙය දේශනාකළ සේක.
සතුටුවූ ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන්වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ කථාවට බෙහෙවින් සතුටු වූහ

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.