DN 01-011  කේවඩ්ඩ සූත්‍රය

අද පවා බොහෝ බෞද්ධයන් භාග්‍යවතුන් වහන්සේ මනුෂ්‍යයෙකු ලෙස සැලකීම උන්වහන්සේට කරන නින්දාවක්ය, එයින් තමන්ට අප්‍රමාන අකුසල් සිදුවෙය කියා විශ්වාස කරති. මනුෂ්‍ය භවයක් ලබා ඉපිද මනුෂ්‍යයකුට ලැබිය හැකි උත්තරීතරම මානසික සුවය ලබන මග ස්වයං ඥානයෙන් අවබෝධකළ ඒ උත්තමයා මිනිසුන් සිය මතයට අනුගත කරන්නට නොයෙකුත් සෘද්ධි ප්‍රාතිහාර්ය පෑවාය. උන් වහන්සේගේ ශරීරයෙන් සවනක් ආලෝක රැස් විහිදෙන්නේය. යනාදී මිත්‍යා කතා සුමංහල විලාසිනිය, ධම්මපදට්ට අට්ට කථා ආදී පසු කාලින නිබන්ධන වල ලියා ඇති නිසා, ඒවා විස්වාස කරන මිනිසුන්ට සැබෑ බුදු රජාණන් වහන්සේ කව්දැයි දැනගන්නට නොහැකිව ඇත. සෝ ධම්මං පස්සති! සෝ මං පස්සති! යි දෙසු පරිදි ධර්මය අවබෝධ කරගන්නට උත්සාහ නොකොට මේ බුදුන් වහන්සේ විජ්ජාකාරයෙකු, මායා පන්නෙකු ලෙස දැක්වීම ලංකාවේ සිදුවේයැයි සිතනු දුෂ්කරය. සෘද්ධි පෑම තහනම් කොට විනය නීතියක් පවා පැනවූ බව සැවොම දන්නා කරුණකි. මේ සුත්‍රයේ භාග්‍යවතුන් වහන්සේ විසින් තමන් සෘද්ධිය අසුචි සේ පිළිකුලෙන් සලකන බව සඳහන් කර ඇත. ධර්මය පහදවා දෙන්නට සෘද්ධි, ආදේසනා ප්‍රාතිහාර්ය නොව, අනුසාසනාවම සුදුසු බව මේ සුත්‍රයේ දැක්වේ. මිනිසුන්ට බන කියත්දී , කවි කතන්දර කියා , බුදුන්ගේ ගුණ ගැන කියා විමුක්ති මාර්ගයට යොමුකිරීම උකහටය. ඉඳුරන් සංවර කරගෙන යෝනිසෝ මනසිකාරයෙන් ලොව දැකීමෙන් ලෝභ දෝස මෝහ යන කෙලෙස් මුල් නැති කර හැකි බව ඉස්මතු කරන දෙසනාම කරත්වා.

මේ සුත්‍රය බොහෝවිට අලුතින් කාරනා එක් කර නිමවා ඇති එකක් බව අන්තිමට සඳහන් වන මහා බ්‍රහ්මයා ට ඇති දැනීම බුදු රජාණන්වහන්සේගේ දැනීමට වඩා බොහෝ අඩුය කියන්නට ගෙතු සක්වල සැරිසරන බෞද්ධ භික්ෂුවකගේ කතාවෙන් පෙනේ.

සුත්‍ර විවරණ දේසනාව – පළමු කොටස
සුත්‍ර විවරණ දේසනාව – දෙවන කොටස
කෙවට්ටගහපති පුත්ත වත්ථු

§ 1. “මා විසින් මෙසේ අසන ලදී.
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ නාලන්දා නුවර සමීපයේවූ පාවාරික සිටාණන්ගේ අඹවනයේ වාසය කරනසේක. එවිට කේවඩ්ඩ නම් ගෘහපතියෙක් භාග්‍යවතුන්වහන්සේ වෙත පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පැත්තක හිඳ භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය කීවේය.

§ 2. “ස්වාමීනි, මේ නාලන්දා නුවර ජනයා පොහොසත්ය, දියුණුය. බොහෝ ජනයා මෙහි ඉන්නේය. ඔව්හු භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි විශේෂයෙන්ම පැහැදුණාහුය. ස්වාමීනි, ඔබ වහන්සේ , මේ භික්ෂු සංඝයාට ඍද්ධි ප්‍රාතිහාර්යය පාන්නට කිවහොත්, එසේ පාන සෘද්ධි දැක තව බොහෝ නාලන්දාවේ වැසියෝ ඔබ වහන්සේ කෙරෙහිත්, මේ සාසනය කෙරෙහිත් පහදිනවා ඇත. එහෙයින් භික්ෂු සංඝයාට ඍද්ධි ප්‍රාතිහාර්යය පාන ලෙස අනුදැන වදාරන සේක්වා ” යි කීහ.

§ 3 .මෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ කේවඩ්ඩ ගෘහපතිට මෙසේ වදාළ සේක.

“කේවඩ්ඩය, සුදු වත් හඳනා ගිහි ශ්‍රාවකයන් පහදවා ගන්නට ඍද්ධි ප්‍රාතිහාර්යය පාන්න යැයි මම මේ සාසනයේ භික්ෂුන්ට කියා නැත. එසේ කියන්නේත් නැත. ” යි කී සේක.

දෙවනුවද, කේවඩ්ඩ ගෘහපතියා භාග්‍යවතුන් වහන්සේට මේ කාරණයම කීයේය.
“ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේ ගේ කීමට ගරු නොකරන්නෙක් නොවෙමි. එනමුත් මම නැවතද, මෙසේ කියමි. ස්වාමීනි, මේ නාලන්දා නුවර පොහොසත්ය, දියුණුය. බොහෝ ජනයා ඇත්තේය. මිනිසුන්ගෙන් ගැවසී ගත්තේය. භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි විශේෂයෙන් ඔව්හු පැහැදුණාහ. ස්වාමීනි, මේ භික්ෂු සංඝයාට ඍද්ධි ප්‍රාතිහාර්යය පාන්නට හැකි නම් බොහෝ නාලන්දා වැසියෝ බොහොසේ භාග්‍යවතුන්වහන්සේ කෙරෙහි විශේෂයෙන් පහදින්නාහ. එසේ හෙයින් ස්වාමිනි ඔබවහන්සේ ඍද්ධි ප්‍රාතිහාර්යය කරන්නට භික්ෂුවකට නියම කරණසේක්වා. ”

දෙවනුවද භාග්‍යවතුන් වහන්සේ, ” කේවඩ්ඩය , සුදු වත් හඳනා ගිහි ශ්‍රාවකයන් පහදවා ගන්නට ඍද්ධි ප්‍රාතිහාර්යය පාන්න යැයි මම මේ සාසනයේ භික්ෂුන්ට කියා නැත. එසේ කියන්නේත් නැත. ” යි කී සේක.

§ 4. තුන්වනුවද, කේවඩ්ඩ ගෘහපති පුත්‍ර භාග්‍යවතුන් වහන්සේට මේ කාරණයම කීයේය. “ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේ ගේ කීමට ගරු නොකරන්නේ නොවෙමි. එනමුත් මම නැවතද, මෙසේ කියමි. ස්වාමීනි, මේ නාලන්දා නුවර පොහොසත්ය, දියුණුය. බොහෝ ජනයා ඇත්තේය. මිනිසුන්ගෙන් ගැවසී ගත්තේය. භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි විශේෂයෙන් ඔව්හු පැහැදුණාහ. ස්වාමීනි, මේ භික්ෂු සංඝයාට ඍද්ධි ප්‍රාතිහාර්යය පාන්නට හැකි නම් බොහෝ නාලන්දා වැසියෝ බොහෝ සේ භාග්‍යවතුන්වහන්සේ කෙරෙහි විශේෂයෙන් පහදින්නාහ. එසේ හෙයින් ස්වාමිනි ඔබවහන්සේ ඍද්ධි ප්‍රාතිහාර්යය කරන්නට භික්ෂුන්ට නියම කරණසේක්වා” යි කීහ.

§ 5 .මෙසේ තුන් වන වරටත් කෙවඩ්ඩ ගෘහපති මේ ඉල්ලීම කල විට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ.

කේවඩ්ඩය, මා විසින් විශේෂ ඥානයෙන් දැන අවබෝධ කොට ප්‍රකාශ කරනලද ප්‍රාතිහාර්යයෝ තුන් ආකාර වෙත්. ඒ තුන මොනවාද යත්.

  • එනම් (ඍද්ධි) නොයෙක් මැවීම් ආදිය කිරීමේ ප්‍රාතිහාර්යය
  • (ආදේශනා) අනුන්ගේ සිත් දැකීමේ ප්‍රාතිහාර්යය
  • (අනුසාසනී) අනුශාසනා කිරීමේ ප්‍රාතිහාර්යය යන තුනයි.

ඉද්ධි පාටිහාරියං

§ 6 . කේවඩ්ඩය, ඍද්ධි ප්‍රාතිහාර්යය යනු කවරේද?

“කේවඩ්ඩය, සමහර ශ්‍රමණයෙක්, තවුසෙක් සිය සිත යම් ලෙසකින් වඩා ගත් පසු ඔහුට නොයෙක් අයුරු ඇති ඍද්ධි විධි දක්වන්නට හැකියාව ඇත. සමාධියෙන් සිත එකඟ කරගත් පසු ඔහුට …

  • තම ශරීරය බඳු බොහෝ ශරීර මවා පෙන්නීමට හැකියාව ඇත.
  • ඒ බොහෝ රූප යලි එක් රූපයක් බවට පෙන්නීමට හැකියාව ඇත.
  • විටෙක ඔහුව නොපෙනී යන්නටත් විටෙක නැවත තමන් පෙනීමටත් කල හැක.
  • බිත්ති, තාප්ප, කඳු ආදී ඕනෑම දෙයක් තුලින් ඒ හරහා යාමට හැක.
  • දියෙහි ගිලී යලි මතුවන්නා සේ මහා පොලොව තුලට කිඳා බසින්නටත්, නැවත මතුවන්නටත් හැක.
  • බිම ඇවිදින්නා සේ ජලය මත ඇවිද යන්නට හැක.
  • එරමිණිය ගොතාගත් සිරුරෙන් ඔහු කුරුල්ලෙකු පියඹා යන්නාසේ අහසේ ගමන් කරයි.
  • හිරු හා සඳු ඔහු සිය අත්වලින් අල්ලයි. 127
  • බ්‍රහ්ම ලෝකයට පවා ඔහුට යන්නට හැක.

[127: හිරු සඳු ඇල්ලීම වැනි දේ ගැන අටුවාව පවා කිසිවක් සඳහන් නොකරයි. මේ බොහෝ විට දෘෂ්ඨි මායා ලෙස මිනිසුන්ට දකින්නට හැකි “ඇස් බැන්දුම් ” ලෙස කියනා මවා පෑම් වෙන්නට ඇත.]

§ 7. මෙසේ නොයෙක් ඍද්ධි විධි වෙන් වෙන් කොට දක්වන්නාවූ ඔහු මහණෙක් නම් , මේ මහණා දැක ශ්‍රද්ධාව නැත්තාවූ නොපැහැදුනාවූ කෙනෙකුට ඔහුගේ මහා ආනුභාව දැක, “පින්වත, ඇත්තෙන්ම පුදුමය, පින්වත, ඇත්තෙන්ම ඉතා පුදුමය”යි කියන්නේය.

ශ්‍රද්ධා නැත්තාවූ නොපැහැදුනාවූ අය, ඒ ශ්‍රද්ධා ඇත්තාවූ පැහැදුන අයට මෙසේ කියන්නේය.
“පින්වත, ගන්ධාර රට බොහෝ ඍෂීහු අතර, ගන්ධාරී නම් විද්‍යාවක් ඇත්තීය. ඔවුන් අතරෙහි එකෙකු විසින් කරණ ලද ඒ විද්‍යාවද ‘ගන්ධාරී’ නම් වීය. ඒ විද්‍යාවෙන් සෘෂිවරු, තාපසවරු නොයෙක් අයුරු ඇති ඍද්ධි විධි වෙන් වෙන්ව කොට දක්වයි.

එකෙක්ව බොහෝසේ වෙයි. බොහෝසේ පෙනී යලි එකෙක් වෙයි. ප්‍රකට බවට, මුවහ බවට, අහසෙහි මෙන් බිත්තිය හරහට, පවුර හරහට, පර්වත හරහට නොහැපෙමින් යයි. අහසෙහි මෙන් පොළොවෙහි කිමිදීම් මතුවීම් කෙරෙයි. පොළොවෙහි මෙන් දියෙහි දිය නොබෙදා ගමන් කරයි. පක්ෂියකු මෙන් අහසෙහිද පර්යංකයෙන් හිඳගෙනම යයි. මේ මහත් ඍද්ධි ඇති මහත් ආනුභාව ඇති සඳ හිරු දෙදෙන අතගායි, පිරිමදියි, බඹලොව තෙක් ශරීරයෙන් වසඟ බව පවත්වයි” කියායි.

“කේවඩ්ඩය, ඒ ගැන ඔබ කුමක් සිතන්නෙහිද?
ශ්‍රද්ධා නැත්තාවූ නොපැහැදුනාවූ මිනිසුන්, ඒ ශ්‍රද්ධාවත් පැහැදුනාවූ තැනැත්තාට මෙසේ නොකියන්නේදැ”යි ඇසූසේක.
“ස්වාමීනි, කියන්නේයයි” කීයේය,

“කේවඩ්ඩය, මම ඍද්ධි ප්‍රාතිහාර්යයෙහි මේ දොෂ හොඳින් දන්නෙමි. ඍද්ධි ප්‍රාතිහාර්ය පාන්නට මම ලජ්ජා වෙමි. ඍද්ධි ප්‍රාතිහාර්ය පාන්නවුන් අසුචි මෙන් පිළිකුල් කරමි“යි වදාළේය. *

[“‘‘තං කිං මඤ්ඤසි, කෙවට්ට, අපි නු සො අස්සද්ධො අප්පසන්නො දිගුච්ජති තං සද්ධං පසන්නං එවං වදෙය්‍යා’’

මෙසේ සෘද්ධි පෑම ගැන අදහස් දැරූ භාග්‍යවතුන් වහන්සේ නෙයෙක් විට මිනිසුන් විමතියට පත් කරමින් සෘද්ධි පෙන්නු බව සුත්‍රවල දකින්නට නැතත්, පටිසම්භිධාමග්ග පාලිය ආදී පසු කාලින නොයෙක් වේනත් ලේඛනවල විස්තර කර ඇත්තේ හුදෙක් අඥාන ජනයා ට ශ්‍රද්ධාව බලෙන් පෙවීමට බව පෙනේ. ]

ආදෙසනා පාටිහාරියං- (TELEPATHI)

§ 8 කේවඩ්ඩය, ආදේශනා ප්‍රාතිහාර්යය යනු කවරේද?

““කේවඩ්ඩය, යම් භික්ෂූවකට පර චිත්ත විජානන ඥානය ඇත්තේනම් ඔහු අනුන්ගේ සිත දැන ගනීයි.

  • සිතේ ස්වභාවය දැක ඔහු සතුටින් ඉන්නේද, අසතුටින් ඉන්නේද යි දැන ගනියි.
  • හටගත් සතුට හෝ අසතුට දැන ඒ බව කියයි.
  • කෙනෙකු කල්පනා කරන ලද කරුණු දැන කියයි.
  • විමසා බලන ලද කරුණු දැන කියයි.
  • ඔබේ හිත මෙසේ කාම සිතිවිලි වලින් යුක්තවූයේ වෙයි.
  • ඔබේ හිත මේ ආකාරද වෙයි. ඔබේ හිත මේ මේ දෙයක් සිතමින් පවතීයයි කියයි.
  • මෙසේ අනුන්ගේ සිත දැන කියන්නාවූ, සිතෙහි හටගත් සතුට සහ අසතුට දැන කියන්නාවූ කල්පනා කරන ලද කරුණු දැන කියන්නාවූ විමසා බලන ලද කරුණු දැන කියන්නාවූ ඔබේ හිත මෙසේ කාම සිතිවිලි වලින් යුක්තවූයේයයිද, ඔබේ හිත මේ ආකාරයෙන් පැවතෙන්නේයයිද, ඔබේ හිත මෙසේ මේ මේ දෙයක් සිතමින් පවතීයයි කියන්නාවූද ඒ භික්ෂුවට ප්‍රසන්නවූ එක් මිනිසෙක් ඒ ගැන සතුටින් මෙසේ කියයි.

“අනුන්ගේ සිත් දැක ඒ සිතිවිලි කියනා භික්ෂුවක් මම දුටුයෙමි”යි ඒ ශ්‍රද්ධාවත් ප්‍රසන්නවූ තැනැත්තා ශ්‍රද්ධා නැත්තාවූ කෙනෙකුට භික්ෂුහුගේ මහත් ඍද්ධි ඇති බවද, මහා ආනුභාව ඇති බව කියන්නේය.

එවිට ශ්‍රද්ධාව නැති මිනිසා මෙසේ කියන්නේය.

“පින්වත, චින්තාමණි නම් විද්‍යාවක් ඇත. ඒ විද්‍යාවෙන් ඒ භික්ෂුව අනුන්ගේ සිත දැන එසේ කියයි. සිතේ හටගත් සතුට හෝ අසතුට දැන කියයි………… කියයි. “

කේවඩ්ඩය, ඒ ගැන ඔබ කුමක් සිතන්නෙහිද?
“ඒ ශ්‍රද්ධාව නැත්තාවූ නොපැහැදුනාවූ තැනැත්තා, ඒ ශ්‍රද්ධාව ඇත්තාවූ පැහැදුනාවූ තැනැත්තාට මෙසේ නොකියන්නේද?”
” ස්වාමීනි, කියන්නේයයි” කීයේය.

“කේවඩ්ඩය, මම ආදේශනා ප්‍රාතිහාර්යයෙහි මේ දොෂය ද හොඳින් දකින්නෙමි. ආදේශනා ප්‍රාතිහාර්යයෙන් මම ලජ්ජා වෙමි. අසුචියක් මෙන් පිළිකුල් කරමි.

අනුසාසනී පාටිහාරියං–

§ 9 . “කේවඩ්ඩය, (අනුශාසනී) අනුශාසනා කිරීමේ ප්‍රාතිහාර්යය කවරේද?

කේවඩ්ඩය, භික්ෂුවක් මෙසේ අනුශාසනා කෙරෙයි.
“මෙසේ කල්පනා කරව්, මෙසේ කල්පනා නොකරව්. මෙසේ මෙනෙහි කරව්, මෙසේ මෙනෙහි නොකරව්. මෙය දුරු කරව්, මීට පැමිණ වාසය කරව් කියයි”
මෙය කේවඩ්ඩය, අනුශාසනා ප්‍රාතිහාර්යයයි කියනු ලැබේ.

§ 10 .“කේවඩ්ඩය, අර්හත්වූ, සම්‍යක් සම්බුද්ධවූ, විදර්ශනාඥාන ආදී විද්‍යාඅට සීල සංවරය ආදී හසුරුවන ධර්ම පසළොස යන අෂ්ටවිද්‍යා පසළොස්චරණ ධර්මයන්ගෙන් යුක්තවූ, යහපත් ගති ඇත්තාවූ, සියලු ලෝකයන් දන්නාවූ, ශ්‍රේෂ්ඨවූ, හික්මවිය යුතු පුරුෂයන් දමනය කිරීමෙහි ඇදුරෙකු වැනිවූ, දෙවි මිනිසුන්ට ගුරුවරයෙක්වූ, (චතුරාර්‍ය්‍ය සත්‍ය) සත්‍යවූ උතුම් ධර්ම සතර අවබෝධකළාවූ, තථාගත කෙනෙක් මෙලොව උපදනාහ.

ඒ තථාගතයන් දෙවියන් සහිතවූ, මාරයන් සහිතවූ, බ්‍රහ්මයන් සහිතවූ, මහණ බමුණන් සහිතවූ, රජුන් හා මිනිසුන් සහිතවූ, සත්ව වර්ගයා ස්වකීය උසස් ඥානයෙන් දැන ධර්මය පැහැදිලි කොට ප්‍රකාශ කෙරේ. ඒ තථාගතයන් මුල යහපත්වූ, මැද යහපත්වූ, කෙළවර යහපත්වූ අර්ථ සහිතවූ, දස ආකාරයෙන් නියමවිදියට වචන ශබ්ද කරන්නාවූ (බ්‍යඤ්ජන සහිත) සියලු ලෙසින් සම්පූර්ණවූ, පිරිසිදුවූ සියලු ශාසන මාර්ග බ්‍රහ්මචර්යාව ගෙන හැර දක්වති.

§ 11. “ඒ ධර්මය ගෘහපතියෙක් හෝ ගෘහපති පුත්‍රයෙක් අසයි. ඔහු ඒ දහම අසා තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවෙන් යුක්තවූයේ මෙසේ සලකන්නේය. “ගෘහවාසය පීඩා සහිතය. රාගාදී කෙලෙස් සහිත තැනෙකි. මහණකම කිසි බාධාවක් නොමැති අවකාශය මෙන් නිදහස්ය. ගිහිගෙයි වසන්නහු විසින් සියලු ආකාරයෙන් සම්පූර්ණවූ සියලු ආකාරයෙන් පිරිසිදුවූ, ලියවූ හක්ගෙඩියක් වැනිවූ මෙම බ්‍රහ්මචරියාවෙහි හැසිරෙන්ට නොහැක්කේය. මම කෙස් දැළිරැවුලු කපාදමා සිවුරු හැඳ ගිහිගෙන් නික්ම සස්නෙහි මහණ වන්නෙම් නම් යහපතැ”යි කියායි.

“ඔහු පසු කාලයක ස්වල්පවූ හෝ බොහෝවූ හෝ සිය සම්පත් හැර දමා , ස්වල්පවූ හෝ බොහෝවූ නෑපිරිස් හැර දමා , කෙස් රැවුලු කපා දමා සිවුරු හැඳ ගිහිගෙන් නික්ම සස්නෙහි මහණවේ.

මෙසේ මහණවූ ඔහු පධාන සංවර සීලයෙන් යුක්ත වූයේ, යහපත් හැසිරීමෙන් හා නිවැරදි පැවැත්මෙන් යුක්ත වූයේ, ස්වල්පවූ මුත් අකුසලයන්හි විශේෂයෙන් භයදක්නා ගති ඇත්තෙකුව, යහපත්වූ කාය ක්‍රියා වචී ක්‍රියාවෙන් යුක්ත වෙයි., ශික්ෂාපද සමාදන්ව එහි මොනවට හික්මෙයි. පිරිසිදුවූ ජීවිත පැවතුම් ඇත්තේ වෙයි. ශීලයෙන් යුක්ත වූයේ වෙයි, ඉන්ද්‍රියයන්හි වැසූ දොරටු ඇත්තේ වෙයි, කෑමෙහි පමණ දන්නේ වෙයි. යහපත් සතියෙන් හා නුවණින් යුක්ත වූයේ වෙයි. සන්තෝෂයෙන් යුක්තවෙයි.

§ 12. කේවඩ්ඩය, භික්ෂුවක් කෙසේ නම් සීල සම්පන්න වේද?

  • ප්‍රාණවධය හැර ඉන් සම්පූර්ණයෙන් වැළැක්කේ, අවි ආයුධ දඬු මුගුරු නොගන්නේ , පව් කිරීමෙහි ලජ්ජා ඇත්තේ කරුණාවන්තවූයේ, සියලු ප්‍රාණීන් කෙරෙහි හිත අනුකම්පාව ඇතුව වාසය කෙරේ. මෙයද ඔහුගේ සීලයක්වේ.
  • නොදුන්දෙය ගැනීමෙන් වෙන්ව, එයින් සම්පූර්ණයෙන් වැළැක්කේ, දුන් දෙයක්ම පමණක් ගන්නේ, දුන් දෙයම කැමතිවන්නේ, සොර නොවූ පිරිසිදුවූ සිතින් යුක්තව වාසය කෙරේ. මෙයද ඔහුගේ සීලයෙකි.
  • අබ්‍රහ්මචර්‍ය්‍යාව හැර උතුම් පැවතුම් ඇත්තේ ස්ත්‍රී පුරුෂ සංසර්ගය නම්වූ ග්‍රාම ධර්මයෙන් වෙන්වූයේ බ්‍රහ්මචාරීවේ. මෙයද ඔහුගේ සීලයෙකි.
  • බොරු කීමෙන් දුරුව, ඉන් සම්පූර්ණයෙන් වැළැක්කේ, සැබෑ තෙපුල් කියන්නේ, සැබවින් සැබව ගළපන ගති ඇතුව ස්ථිර කථා ඇත්තේ, ඇදහිය යුතු වචන ඇත්තේ ලෝකයා අතර විරුද්ධ කථා ඇති නොකෙරේ. මෙයද ඔහුගේ සීලයෙකි.
  • පිසුණු බස් හැර දමන්නේ , ඉන් සම්පූර්ණයෙන් වැළැක්කේ, මෙතනින් අසා මොවුන් බිඳවීම පිණිස එතැන නොකියන ගති ඇත්තේද, එතැනින් අසා මොවුන් බිඳවීම පිණිස මෙතැන නොකියන ගති ඇත්තේද, මෙසේ භෙදවූවන් ගළපන්නේ සමගිවූවන්ගේ සමගිය තහවුරු කිරීමට අනුබලදෙන්නේ, සමගියෙහි ඇලුම් බහුලකොට ඇත්තේ, සමගිකම්හි ඇලුනේ, සමගිකම්හි සතුටුවන ගති ඇත්තේ සමගිය ඇති කරණ තෙපුල් කියන්නේය. මෙයද ඔහුගේ සීලයෙකි.
  • ඵරුෂ වචනය හැර ලා, ඉන් සම්පූර්ණයෙන් වැළැක්කේ යම් වචනයක් නිදොස් වේද, කනට සැපද, ප්‍රෙමණීයද, සතුටු කරයිද, යහපත්ද, බොහෝ දෙනාට ප්‍රියද, බොහෝ දෙනාගේ හිත් ප්‍රියකරන්නේද, එබඳු වචනම කියන්නේ වේ. මෙයද ඔහුගේ එක් සීලයෙකි.
  • හිස් ප්‍රලාප කථාවෙන් තොරව, ඉන් සම්පූර්ණයෙන් වැළැක්කේ. කාලයට සුදුසු කථා කරන්නේ, සිදුවූ තෙපුල්ම කියන්නේ, අර්ථයෙන් යුක්තවූ, ධර්මයෙන් යුක්ත විනය සම්බන්ධවූ තෙපුල් කියන්නේ, සුදුසු කල්හි උපමා හා කරුණු සහිතවූ, සීමාඇති, අර්ථයෙන් යුත්, නිධානයක් මෙන් සිතෙහි තැබිය යුතු වචන කියන්නේවේ. මෙසේ ඒ හිස් කථාවෙන් වැළැක්කේද දියුණුවට හේතුවන වචන කියන්නේද, මෙයද ඔහුගේ සීලයෙකි.

§ 13. යහපත් ආජීවයෙන් බැහැර වූ ජීවනෝපාය හා දළ ග්‍රාම්‍ය ක්‍රියාවන්ගෙන් ඔහු වැලකෙන්නේය.

  • “තණ, ගස්, වැල් සිඳීම් බිඳීම් ආදියෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ, දිනකට එක් වේලක් පමණක් වළඳන්නේ , රාත්‍රී ආහාරයෙන් හා අවේලේ කෑමෙන් සම්පූර්ණයෙන් වැළකෙන්නේය
  • නැටීම්, ගීකීම්, බෙර ආදිය වැයීම්, විසුලුදැකීම් යන මෙයින් සම්පූර්ණයෙන් වැළැක්කේය.
  • මල්, ගඳ සුවඳ විලවුන් පැළඳීම, ඉන් සැරසීම, අඩු තැන් පිරවීමෙන් අලංකාර කිරීම යන මෙයින් සම්පූර්ණයෙන් වැළකෙන්නේය.
  • උස් අසුන් මහ අසුන් යන මෙයින් වැළකෙන්නේය.
  • රන් රිදී මසුරන් පිළිගැන්මෙන් සම්පූර්ණයෙන් වැළකෙන්නේය.
  • අමුවූ ධාන්‍ය වර්ග පිළිගැන්මෙන් සම්පූර්ණයෙන් තොරවූයේ. අමුමස් පිළිගැන්මෙන් සම්පූර්ණයෙන් වැළකෙන්නේය.
  • ස්ත්‍රීන් හා ගෑනුලමයින් පිළිගැන්මෙන් සම්පූර්ණයෙන් තොරවූයේද වේ. වැඩකරුවන් වැඩකාරියන් පිළිගැන්මෙන් සම්පූර්ණයෙන්තොරවූයේ, එළුවන් හා තිරෙළුවන් පිළිගැනීමෙන් තොරවූයේ, කුකුළන්, හූරන්, ඇතුන්, ගවයන්, අසුන්, වෙළඹුන් කෙත්, වත්, යන මේ පිළිගැන්මෙන්ද, සම්පූර්ණයෙන් තොර වූයේය.
  • ගිහීන්ගේ දූත මෙහෙවරය, ගෙන්ගෙට යන මහත් මෙහෙවරය යන මෙවායින් සම්පූර්ණයෙන් වැළකෙන්නේය
  • ගනු දෙනු කිරීමය, තරාදි ආදියෙන් වඤ්චාකිරීමය, රන් හා තොරන් මිශ්‍ර වඤ්චාකිරීමය. වී ආදිය මැණීමෙන් වඤ්චා කිරීමය, හිමියන් අහිමි කිරීමාදිය සඳහා අල්ලස් ගැන්මය, උපායෙන් අනුන් රැවටීමය, යකඩ ආදී ලොහ රන් රිදීයයි අඟවා වඤ්චා කිරීමය, නොයෙක් ආකාරවූ කුටිල ප්‍රයොගය යන මෙයින් සම්පූර්ණයෙන් වැළකෙන්නේය.
  • කැපීමය. මැරීමය, බැඳීමය, සැඟවී සිට වස්තු පැහැරගැන්මය. ගම් නියම්ගම් ආදිය පැහැරීමය, බලාත්කාරකමින් අන් සතු වස්තු පැහැරගැන්මය, යන මෙවායින්ද සම්පූර්ණයෙන් වැළකෙන්නේය, මෙයද ඔහුගේ සීලයක් වේ.
  • § 14.
  • “සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා මූලබීජය, බන්ධබීජය, ඵලබීජය, දලුබීජය, පස්වැනිවූ බීජබීජය යන මේ ගස් ආදිය වැවීමෙහි යෙදී වාසය කරත්. මෙබඳුවූ බීජගාම භුතගාමයන් සිඳීම් බිඳීම් ආදියෙන් සම්පූර්ණයෙන් වැළැක්කේවේනම් මෙයද ඔහුගේ එක් සීලයක් වේ.
  • “එසේම සමහර මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන ලද කෑම කා ආහාර වර්ග දෙවෙනි දිනට තබා ප්‍රයෝජන ගැන්මය, බීම වර්ග දෙවෙනි දිනට තබා ප්‍රයෝජන ගැන්මය, නොඉටන ලද (අයිතියට නොගත්) සිවුරු ආදිය, යාන සංඛ්‍යාත වහන් දෙකකින් වැඩි සයන, සුගන්ධයන්, තල සහල් ආදිය තැන්පත් කොට තබා ප්‍රයෝජන ගැන්මයයි කියන ලද පසුවට තබා ප්‍රයෝජන ගැන්මෙහි යෙදී වාසය කරත්. මෙබඳුවූ සත්නිධිකාර පරිභොගයෙන් වැළකී වෙසේ. මෙයද ඔහුගේ සීලයකි.
  • “එසේම සමහර මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා නැටීමය, ගී කීමය, බෙර ආදිය වැයීමය, රඟමඬුලු සැරසීමය, වැඩක් නැති කථා ඇසීමය, කයිතාලම් හා අත්ලෙන් අත්ල ගැසීමය, මන්ත්‍ර පිරචීමෙන් මළමිණී නැංවීමය, සතරැස් හෝ කළ බෙර ගැසීමය, ශොභන චිත්‍ර විචිත්‍රය, සණදොවූන් කෙළිය, හුණගස් ඔසවා නැටීමය, මිනීඇට සෝදා තැබීමය, ඇතුන් හා පොරය, අශ්වයින් යොදා පොරය, මීවුන් හා පොරය, ගවයින් හා පොරය, එළුපොරය, මෙණ්ඩක එළුපොරය, කුකුළුපොරය, වටුපොරය, දඬු (පොලු) පොරය, තොරතුරු ඇනීමය, මල්ලව යුද්ධය, යුද්ධය, ඇත් අස් ආදිය දැකීමය යන විකාර දර්ශනයෙහි යෙදී වාසය කරත්. මෙසේ මෙබඳු විසුලු දැක්මෙන් සම්පූර්ණයෙන් වැළකෙන්නේය. මෙයද ඔහුගේ සීලයකි.
  • “එසේම සමහර මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන ලද කෑම කා දූ පෝරු ආදියෙහි කෙළීම්වූ ක්‍රීඩාවය, දශපද ක්‍රීඩාවය, දූ පෝරු ආදියෙහි මෙන් ආකාශයෙහි ක්‍රීඩාකිරීමය, බිම මණ්ඩල වශයෙන් සාදා පැන පැන ක්‍රීඩාකිරීමය, දූ කැට නොසොල්වා නියෙන් ගසා ක්‍රීඩා කිරීමය, දාදු කෙළීමය, සිං කෙළීමය, භිත්ති ආදියෙහි ඉරටමිටි ගසා ඇත් අස් ආදි රූප දක්වා කෙළීමය, පන්දු කෙළිමය, නලා පිඹීමය, ක්‍රීඩා නගුල් ගෙන සෙල්ලම් සීසෑමය, කරනම් ගැසීමය, තල්පත් ආදියෙන් කන්නන්ගුරුවා තනා ක්‍රීඩා කිරීමය, කොළ නැළියෙන් වැලි ආදිය මැන කෙළීමය, කුඩා රථයෙන් කෙළීමය, කුඩා දුන්නෙන් කෙළීමය, අහසෙහි හෝ පිටෙහි හෝ අකුරු ඇඳ කෙළීමය, සිතූ දේ කියවිම් කීම් ආදියෙන් කෙළීමය, ඒ ඒ දොෂ රූප දක්වා කෙළීමය, යන මෙබඳුවූ ප්‍රමාදයට කාරණාවූ දූ කෙළීමෙහි යෙදී වාසය කෙරෙත්. මෙසේ මෙබඳුවූ දූ කෙළියෙන් සම්පූර්ණයෙන් වැළකෙන්නේය. මෙයද ඔහුගේ සීලයකි.
  • “එසේම සමහර මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා දික්හඟලා පුටුය, පලස්ය, සතරඟුලෙන් දිග ලොම් ඇතිරිය, විසිතුරු එළුලොම් ඇතිරිය, එළුලොම් සුදුඇතිරිය, එළුලොමින් කළ ඉදිරියට නෙරූ මල් ඇති ඇතිරිය, සිංහාදි රූපයෙන් විසිතුරු එළුලොම් ඇතිරිය, එක් පිට ලොම් ඇති ඇතිරිය, දෙපිට ලොම් ඇති එළුලොම් ඇතිරිය, රත්රන් නූලෙන් කළ පට ඇතිරිලිය, එක්විට නැට්ටුක්කාරියන් දහසය දෙනෙක් නටනා එළුලොමින් කළාවූ මහඇතිරිය, ඇතුන් පිට අතුරණ ඇතිරිය, අසුන් පිට අතුරන ඇතිරිය, රථපිට අතුරණ ඇතිරිය, අඳුන්දිවි සමින් කළ ඇතිරිය, කෙසෙල් මුව සමින් කළ උතුම් ඇතිරිය, දෙපස තබනලද රතුපාට කොට්ට ඇති ආසනය යන මෙබඳු උස් අසුන් මහ අසුන් පාවිච්චි කෙරෙත්. මෙසේ මෙබඳුවූ උස් අසුන් මහ අසුන්හි හිඳීම් ආදියෙන් වළකියි. මෙයද ඔහුගේ සීලයකි.
  • “එසේම සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා ඇඟ ඉලීමය, පිරිමැදීමය, නෑවීමය, මැඩීමය, මූනබලන කන්නාඩි, අඳුන් තෙල් හා සුවඳ පාවිච්චිය, මූණේ ගානා සුවඳ කුඩු, මූණේ ගානා සුවඳ ද්‍රව්‍ය අත්වල බඳින ආභරණ යන මේ දේ දැරීම හා පැළඳීමය, රත්රන් නූල් ආදියෙන් කුඩුම්බි බැඳීමය, විසිතුරු දඬුගෙන හැසිරීමය. බෙහෙත් නල එල්වාගෙන ඇවිදීමය, කඩු විසිතුරු කුඩ ගෙනයෑම, විසිතුරු සෙරෙප්පු හෝ සපත්තු පයලා ඇවිදීමය, නලල්පට බැඳීමය, කොණ්ඩා මාණික්‍ය පැළඳීමය, අවන් දැරීමය දික්වූ හවලු ඇති සුදුරෙදි ඇඳීමයයි මෙසේවූ සැරසීම් හා අඩුතැන් පිරවීමෙහි නිතර නිතර යෙදෙත්. මෙබඳුවූ සැරසීම් අලංකාර කිරීම් ආදියෙහි යෙදීමෙන් සම්පූර්ණයෙන් වළකියි. මෙයද ඔහුගේ සීලයකි.
  • “එසේම ඇතැම් පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා රජුන් පිළිබඳ කථාය, සොරුන් පිළිබඳ කථාය, මහඇමතියන් පිළිබඳ කථාය. සෙනා පිළිබඳ කථාය, භය පිළිබඳ කථාය, යුද පිළිබඳ කථාය, ආහාර පිළිබඳ කථාය, පානවර්ග පිළිබඳ කථාය, ඇඳුම් පිළිබඳ කථාය, ඇඳන් පිළිබඳ කථාය, මාලා පිළිබඳ කථාය, ගන්ධද්‍රව්‍යයන් පිළිබඳ කථාය, නෑයන් පිළිබඳ කථාය, රථ පිළිබඳ කථාය, ගම් පිළිබඳ කථාය, නියම්ගම් පිළිබඳ කථාය, නුවර පිළිබඳ කථාය, දනව් පිළිබඳ කථාය, ස්ත්‍රීන් පිළිබඳ කථාය, පුරුෂයන් පිළිබඳ කථාය, ගෑනු දරුවන් පිරිමි දරුවන් පිළිබඳ කථාය, යොධයන් පිළිබඳ කථාය, වීථි පිළිබඳ කථාය, වතුර ගෙන යන දාසීන් හෝ වතුර ගෙන යන තැන් හෝ පිළිබඳ කථාය, මළ නෑයන් යන ආදීන් පිළිබඳ කථාය, මුහුද පිළිබඳ කථාය, භවාභව කථාය යන මෙබඳු පහත් කථාවෙහි යෙදී වෙසෙත්. මෙබඳුවූ පහත් කථාවෙන් සම්පූර්ණයෙන් වැළකෙන්නේය. මෙයද ඔහුගේ සීලයකි.
  • “එසේම සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා ‘ඔබ මේ ධර්මවිනය නොදන්නෙහිය, මම මේ ධර්මවිනය දනිමි’ ඔබ මේ ධර්මවිනය කුමකැයි දන්නෙහිද? ඔබ වරදවා පිළිපදින්නෙහිය, මම මනාකොට පිළිපදින්නේ වෙමි’ ‘මාගේ වචන යහපත්ය හෝ අර්ථසහිතය, ඔබගේ වචන අර්ථ රහිතය.’ ‘පළමු කියයුත්ත පසුව කීයෙහිය, පසුව කිය යුත්ත පළමුව කීයෙහිය. යමක් ඔබ බොහෝ කල් පුරුදු කරණ ලද නම් ඒ සියල්ල නිෂ්ඵලවිය. ඔබට වාදාරොපනය කරණලදී. නින්දා කරණ ලද්දෙහිය. වාදයෙන් මිදෙනු පිණිස ක්‍රියා කරව. ඉදින් හැක්කෙහි නම් වාදයෙන් ගැළවෙව’ යන ආදි දොෂාරොපණ කථාවෙහි යෙදී වෙසෙත්. මෙසේ මෙබඳු දොෂාරොපණ කථාවෙන් සම්පූර්ණයෙන් වැළකෙන්නේය. . මෙයද ඔහුගේ සීලයකි.
  • ‘එසේම සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා රජුන්ගේ, රජ මහ ඇමතියන්ගේ, ක්ෂත්‍රියයන්ගේ, බමුණන්ගේ, ගෘහපතියන්ගේ සහ කුමරුන්ගේද හසුන් ගෙණ, ‘මෙතනින් අසවල් තැනට යව. අසවල් තැනින් මෙහි එව, මෙය ගෙණ යව, එතැනින් අසවල් දෙයගෙණෙවයි දූතභාවයෙහි හා හසුන් ගෙණ යෑමෙහි යෙදී වෙසෙත්. මෙබඳු දූතභාවය, හසුන් ගෙනයෑම යන මෙයින් වැළකෙන්නේය. . මෙයද ඔහුගේ සීලයකි.
  • “ඒසේම සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා කුහකයෝද, සිව්පස උදෙසා කථා කරන්නෝද, නිමිති කියන්නෝද නොහොත් ලාභ සත්කාර සඳහන් කරවන්නෝද, පරලාභාදිය උදෙසා කියන්නෝද, ලාභයකින් ලාභයක් සොයන්නෝද වෙත්. මෙබඳුවූ කුහක වංචා ප්‍රයෝග ආදියෙන් වළකියිද මෙයද ඔහුගේ සීලයකි.”
  • “එසේම සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා සාමුද්‍රිකා ශාස්ත්‍රය, නිමිති ශාස්ත්‍රය, හෙනගැසීම ආදී මහ නිමිතිබලා කියන ශාස්ත්‍රය, ස්වප්න ශාස්ත්‍රය, ලක්ෂණ ශාස්ත්‍රය, මීයන්කැපූ වස්ත්‍රාදිය බලාකියනශාස්ත්‍රය ගිනිදෙවියා පිදීමය, දබ්බිහොමය, ථූස හොමය, තණ්ඩුල හොමය, කණ හොමය, සප්පි හොමය, තෙල හොමය, මුඛහොමය, ලේ හොමය, ශරීර විද්‍යා, වස්තුවිද්‍යා, නීති ශාස්ත්‍රය, සොහොනෙහි ශාන්ති කරන්නාවූ විද්‍යා, භූත විද්‍යා, නාග විද්‍යා, විෂ විද්‍යා, ගෝනුසු විද්‍යා, මී විද්‍යා, කුරුලු විද්‍යා, කපුටු විද්‍යා, ජීවිත කාලය කීම, ආයුධ වැළැක්වීම, තිරිසන් සතුන්ගේ ශබ්ද දැනීම වශයෙන් පැවති මන්ත්‍රය යන පහත් විද්‍යා හේතුකොට ගෙන වැරදි ජීවිතයෙන් ජීවිකා කෙරෙත්. මෙසේ මෙබඳු පහත් විද්‍යා හේතුවෙන් කරණ ලාමක ජීවිකාවෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ වේද මෙයද ඔහුගේ සීලයකි.
  • “එසේම, සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන ලද කෑම කා මණි ලක්ෂණය, වස්ත්‍ර ලක්ෂණය, දණ්ඩ ලක්ෂණය, කඩු ලක්ෂණය, දුනු ලක්ෂණය, ආයුධ ලක්ෂණය, ස්ත්‍රී ලක්ෂණය, පුරිස ලක්ෂණය, පිරිමිදරු ලක්ෂණය, ගෑනුදරු ලක්ෂණය, දාස ලක්ෂණය, දාසී ලක්ෂණය, ඇත් ලක්ෂණය, අශ්ව ලක්ෂණයත කැස්බෑ ලක්ෂණය, එළු ලක්ෂණය, මීහරක් ලක්ෂණය ගව ලක්ෂණය, ලොකු එළු ලක්ෂණය, කුකුළු ලක්ෂණය, වටු ලක්ෂණය, තලගොයි ලක්ෂණය, කර්ණිකා ලක්ෂණය, මුව ලක්ෂණයයි, මෙබඳු පහත් විද්‍යාවන් කරණකොට ගෙණ වැරදි ජීවිකාව කෙරෙත්. මෙසේවූ පහත් විද්‍යාවන් නිසා කරණ වැරදි ජීවිකාවෙන් සම්පූර්ණයෙන් වැළැක්කේද මෙයද ඔහුගේ සීලයකි.
  • “එසේම සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා අසවල් දිනට රජුන්ගේ බැහැරයෑම වන්නේය. අසවල් දින ඇතුළු නුවරට එන්නේය. අසවල් දින ඇතුළු නුවර රජුන් වෙත පැමිණීම වන්නේය. බැහැර රජුන්ගේ බැහැරට යෑම වන්නේය. බැහැර රජුන්ගේ ඇතුළු නුවරට ඊම වන්නේය. ඇතුළු නුවර රජුන්ගේ ආපසු යෑම වන්නේය. ඇතුළු නුවර රජුන්ට ජය වන්නේය. බැහැර රජුන්ගේ පරාජය වන්නේය. බැහැර රජුන්ගේ ජය වන්නේය. ඇතුළු නුවර රජුන්ගේ පරාජය වන්නේය. මෙසේ මොහුට ජය වන්නේය. මෙසේ පරාජය වන්නේයයි කියා මෙසේ පහත් විද්‍යා හේතුකොට ලාමක ජීවිකා කෙරෙත්. මෙබඳුවූ පහත් විද්‍යා හේතුවෙන් කරණ වැරදි ජිවිතයෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ නම් මෙයද ඔහුගේ සීලයක් වේ.
  • “එසේම සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දුන් කෑම කා චන්ද්‍රග්‍රහණය වන්නේය. සූර්යග්‍රහණය වන්නේය, තාරකා සමාගමය වන්නේය, සඳහිරු දෙදෙනාගේ නියම මාර්ග ගමන වන්නේය, සඳ හිරු දෙදෙනාගේ නොමග යෑම වන්නේය, තාරකාවන්ගේ මාර්ග ගමන වන්නේය. තාරකාවන්ගේ නොමග යෑම වන්නේය, උල්කාපාතය වන්නේය, දිසා දැවීම වන්නේය, පොළොව කම්පාව වන්නේය, අහස ගිගුරුම් වන්නේය, සඳ, හිරු, තාරකාවන්ගේ නැඟීම හා බැසීමද කෙළෙසීමද පිරිසිදු වීමද වන්නේය, චන්ද්‍ර ග්‍රහණය මෙබඳු විපාක ඇතිවන්නේය, සූර්යග්‍රහණය මෙබඳු විපාක ඇති වන්නේය, තාරකා සමාගමය මෙබඳු විපාක ඇතිවන්නේය, චන්ද්‍ර සූර්යයන්ගේ මාර්ගයෙහි ගමන මෙබඳු විපාක ඇති වන්නේය, ඔවුන්ගේ නොමග ගමන මෙබඳු විපාක ඇති වන්නේය, තාරකාවන්ගේ මාර්ගයෙහි ගමන මෙබඳු විපාක ඇතිවන්නේය, තාරකාවන්ගේ නොමග ගමන මෙබඳු විපාක ඇතිවන්නේය. උල්කාපාතය මෙබඳු විපාක ඇතිවන්නේය. දිගුන් දැවීම මෙබඳු විපාක ඇතිවන්නේය, භූමි කම්පාව මෙබඳු විපාක ඇතිවන්නේය, අහස් ගිගුම් මෙබඳු විපාක ඇති වන්නේය, සඳ, හිරු, තාරකාවන්ගේ නැගීම, බැසීම, කිලිටු වීම හා පිරිසිදුවීම මෙබඳු විපාක ඇතිවන්නේයයි කියා මෙසේ පහත් විද්‍යා හේතුවෙන් කරණ වැරදි ජීවිකාවෙන් ජීවිකා කෙරෙත්. මෙසේවූ පහත් විද්‍යා හේතුකොට ගෙණ කරණ ලාමක ජීවිකාවෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ නම් මෙයද ඔහුගේ සීලයකි.
  • “එසේම සමහර මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දුන් කෑම කා මනා වැසි ඇතිවන්නේය, මනා වැසි නැතිවන්නේය, යහපත් ආහාරපාන ඇතිවන්නේය, ආහාර පාන නැති වන්නේය, නිර්භය ඇතිවන්නේය, භය ඇතිවන්නේය, රොග ඇතිවන්නේය, නිරෝගී බව ඇතිවන්නේයයි කීමද, ඇඟිල්ල ඇල්ලීමය, ගණන්කිරීමය, කොටස්කර ගණන්කිරීමය, කාව්‍ය කිරීමය, ලෝකයට සිදුවන දේ ගැන ශාස්ත්‍ර ඉගෙණීමයයි මෙසේ පහත් විද්‍යාවන් කරණකොට වැරදි ජීවිකා කෙරෙත්. මෙසේවූ පහත් විද්‍යා හේතුවෙන් වන වැරදි ජීවිකාවෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ නම් මෙයද ඔහුගේ සීලයකි.
  • “එසේම සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දුන් කෑම කා ආවාහ කරවීමය, විවාහ කරවීමය, සමගිය පිළිබඳ කථාකිරීමය, වියොගය පිළිබඳ කථාකිරීමය, ධන රැස් කිරීමය, වියදම් කිරීමය, යහපත් ශ්‍රියාව ඇතිකිරීමය, දුර්ගර්භකරණය, ගර්භවිරොධි කරණය, දිව් තද කිරීමය, නූල්බැඳීමය, අත් පෙරළීම පිණිස මන්ත්‍ර ජප කිරීමය, ශබ්ද නොඇසීම පිණිස මන්ත්‍ර ජප කිරීමය, කැඩපත්හි දෙවතාරොපණයකොට ප්‍රශ්න ඇසීමය, ගෑනුදරුවන්ගේ ශරීරයෙහි දෙවතාරොපණය කොට ප්‍රශ්න ඇසීමය, දෙවදාසියගේ ශරීරයෙහි යකුන් ආරොපණය කොට ප්‍රශ්න ඇසීමය හිරු වැඳීමය, මහබඹුට උපස්ථාන හෝ වැඳුම් කිරීමය, කටින් ගිනිදැල් පිට කිරීමය, ශ්‍රී දෙවිය කැඳවීමයයි කියන මෙබඳු පහත් විද්‍යාවෙන් වැරදි ජීවිකා කෙරෙත්.
    මෙබඳුවූ පහත් විජ්ජාවෙන් කරණ වැරදි ජීවිකාවෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ නම් මෙයද ඔහුගේ සීලයකි.
  • “කේවඩ්ඩය, එසේම සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා ශාන්ති කර්ම කිරීමය, කාර්ය සමෘද්ධි කටයුතු කර්මය, මන්ත්‍ර කිරීමය, භුරිකර්මය, පණ්ඩකයා පුරුෂයකු කිරීමය, පුරුෂයා පණ්ඩකයකු කිරීමය, ගෙවල් සාදන බිම් මතුරා පිරිසිදු කිරීමය, ගෙට සුදුසු තැන බලිකම් විධානය, දියෙන් මූන සුද්ධ කිරීමය, නැහැවීමය, ගිනි පිදීමය, වමන කරවීමය, විරේක කරවීමය, උඩුකය විරේකය, යටිකය විරේකය, හිස විරේකය, කන්තෙලය, ඇස් බෙහෙත් ගැල්වීමය, නස්‍ය කිරීමය, අඳුන් ගෑමය, සිසිල් බෙහෙත් අඳුන් සෑදීමය, ආයුධ කටු ගසා කරන වෙදකමය, ශල්‍යකර්මය, ළදරුවන් පිළිබඳ වෙදකම්ය, මූලික බෙහෙත් දීමය, සැර බෙහෙත් දී පසුව එහි බල හැරීමය කියා හෝ මෙබඳු පහත් විද්‍යා කරණකොට වැරදි ජීවත්වීමෙන් ජීවිකා කෙරෙත්.
    මෙබඳුවූ වැරදි ජීවිකාවෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ නම් මෙයද ඔහුගේ සීලයකි.

§ 31. කේවඩ්ඩය, මෙසේ සීලසම්පන්නවූ භික්ෂුවහට බියට හේතුවන කාරනා කිසිවක් ඔහුගේ සීලසංවරය හේතුකොටගෙණ කිසිතැනකදී නොඋපදනේය.

කුමක් මෙන්ද යත්:- කේවඩ්ඩය, ක්ෂත්‍රියාභිෂෙකයෙන් කිරුළු පලන්, අභිෂෙක ලද්දාවූ, සතුරන් නැති කළාවූ ක්ෂත්‍රිය රජෙක් කිසිම සතුරෙකුගෙන් කිසි භයක් නොදක්නේද, එපරිද්දෙන්ම, කේවඩ්ඩය, සීලසම්පන්නවූ භික්ෂුව භය වවන්නට ඇති කාරණයන් අතුරෙන් එකකුදු සීලසංවරය හේතුකොට කිසි තැනකදී නොදක්නේය. ආර්යවූ (උතුම්වූ) මේ ශීල ගුණයෙන් යුක්තවූ ඒ භික්ෂුව, තමන් තුළ පිරිසිදුවූ (කායික හා චෛතසික) සැපය විඳියි. කේවඩ්ඩය, මෙසේ දැක්වූ ශීලයෙන් යුක්තවූ භික්ෂුව සීලසම්පන්න නම් වේ.

§ 32. කේවඩ්ඩය, භික්ෂුව සිය ඉන්ද්‍රියයන්හි දොරටු වැසූවේ, සතර ධ්‍යානයන් ප්‍රත්‍යක්ෂ කරගන්නේය. භික්ෂුව්ක් කෙසේ නම් ඉන්ද්‍රිය සංවරය ඇතිව ඉන්නේද ?

  • කේවඩ්ඩය, මේ සස්නෙහි භික්ෂුවක් ඇසින් රූපයක් දැක එහි අරමුණුවල නොඇලේ. එහි නොපෙළඹෙන්නේය. (ඇස්) චක්කු ඉන්ද්‍රියයෙහි අසංවරව වසන්නහුට දැඩි ආශාව හා කිපීම ආදී අකුශල ධර්මයෝ හිතට ඇතුල්වන්නේය, එබඳු දෙයින් වැළකීම පිණිස ඔහු පිළි පදී. ඔහු තමාගේ ඇස් ඉන්ද්‍රියය රකී. ඇස් ඉන්ද්‍රියයෙහි සංවරයට පැමිණේ.
  • කණින් ශබ්දයක් අසා එහි නොඇලේ. එහි නොපෙළඹෙන්නේය. කන් ඉන්ද්‍රියයෙහි අසංවරව වසන්නහුට දැඩි ආශාව හා කිපීමාදි අකුශල ධර්මයෝ හිතට ඇතුල්වන්නාහුද, එබඳු දෙයින් වැළකීම පිණිස ඔහු පිළිපදී. තමාගේ කන් ඉන්ද්‍රියය රකී. කන් ඉන්ද්‍රියයෙහි සංවරයට පැමිණේ. නාසයට ගඳ සුවඳ දැනී එහි නොඇලේ. එහි නොපෙළඹෙන්නේය. නාස් ඉන්ද්‍රියයෙහි අසංවරව වසන්නහුට දැඩි ආසාව හා කිපීමාදී අකූශල ධර්මයෝ හිතට ඇතුල්වන්නාහුද, එබඳු දෙයින් වැළකීම පිණිස ඔහු පිළිපදී.
  • තමාගේ නාස් ඉන්ද්‍රියය රකී. නාස් ඉන්ද්‍රියයෙහි සංවරයට පැමිණේ. දිවෙන් රසයක් විඳ එහි නොඇලේ. එහි නොපෙළඹෙන්නේය. දිව් ඉන්ද්‍රියයෙහි අසංවරව වසන්නහුට දැඩි ආශාව හා කිපීමාදී අකුශල ධර්මයෝ හිතට ඇතුල් වන්නාහුද, එබඳු දෙයින් වැළකීම පිණිස ඔහු පිළිපදී.
  • තමාගේ දිව් ඉන්ද්‍රියයෙහි සංවරයට පැමිණේ. කයින් ස්පර්ශයක් ස්පර්ශකොට එහි නොඇලේ. එහි නොපෙළඹෙන්නේය. ශරීර ඉන්ද්‍රියයෙහි අසංවරව වසන්නහුට දැඩි ආශාව හා කිපීම ආදී අකුශල ධර්මයෝ හිතට ඇතුල්වන්නාහුද එබඳු දෙයින් වැලකීම පිණිස ඔහු පිළිපදී. තමාගේ ශරීර ඉන්ද්‍රියය රකී.
  • ශරීර ඉන්ද්‍රියයෙහි සංවරයට පැමිණේ. සිතින් (ධර්මයක්) අරමුණක් දැන එහි නොඇලේ. එහි නොපෙළඹෙන්නේය.
  • සිත් ඉන්ද්‍රියයෙහි අසංවරව වසන්නහුට යමක් නිසා දැඩි ආසාව හා කෝපය ආදී අකුශල ධර්මයෝ හිතට ඇතුල්වන්නාහුද, එබඳු දෙයින් වැළකීම පිණිස ඔහු පිළිපදී. හෙතෙම සිත් ඉන්ද්‍රිය රකී. සිත් ඉන්ද්‍රියයෙහි සංවරයට පැමිණේ.

එබඳුවූ භික්ෂුව උතුම්වූ ශීලරාශියෙන් යුක්තවූයේ අභ්‍යන්තරයෙහි පිරිසිදුවූ අධිචිත්ත සැපය විඳියි. කේවඩ්ඩය, මෙසේවූ භික්ෂුව ඉන්ද්‍රියයන්හි වසන ලද දොරටු ඇත්තේ වේ

§ 33. “කේවඩ්ඩය, භික්ෂුව කෙසේ නම් සතියෙන් හා සම්පජන්නයේන් යුක්ත වේද?”

  • “කේවඩ්ඩය, භික්ෂුව ඉදිරියට යෑමෙහිද ආපසු යෑමෙහිද, සතියෙන් යුක්තව එසේ කරන බැව් දැන කරන්නේය.
  • ඉදිරිය බැලීමෙහිද, වටපිට බැලීමෙහිද සතියෙන් දැන බලන්නේය.
  • අත් පා හැකිලීමෙහිද, දිගු කිරීමෙහිද, මනා සතියෙන් දැන එසේ කරන්නේය.
  • දෙපට සිවුරය, පාත්‍රය, සිවුරුය යන මේ දේ දැරීමෙහිද මනා සතියෙන් දැන එසේ කරන්නේය.
  • අනුභව කිරීමය, පානය කිරීමය, වැළඳීමය, රස විඳීමය යන මෙහිද මනා සතියෙන් යෙදී එසේ කරන්නේය.
  • මල මූත්‍ර පහකිරීම් පවා සතියෙන් සලකා කරන්නේය.
  • යෑම්, සිටීම්, හිඳීම් සැතපීම්, නිදි තොරකිරීම්, කථාකිරීම්, නිශ්ශබ්දව සිටීම් යන මේ දේ මනා සතියෙන් දැන කරන්නේය.

කේවඩ්ඩය, මෙසේ කරන්නාවූ භික්ෂුව සතියෙන් යුක්තවූයේය. යහපත් නුවණින් යුක්ත වූයේද වෙයි.

§ 34 . “කේවඩ්ඩය, භික්ෂුවක් කෙසේ ලද පමණින් සතුටු වේද (සන්තුට්ඨිමත් වේද )?

“කේවඩ්ඩය, භික්ෂුව යන්තම් කය වැසීමට තරම්වූ සිවුරෙන්ද, ශරීරය පවත්වා ගන්නට ප්‍රමාණවූ ආහාරයෙන්ද සතුටු වේ. යම්සේ පක්ෂියෙක් යම් තැනෙක සිට පියාඹායේ නම් ඒ සියලුතැන සිය පියාපත් බර පමණක් දරමින් පියාඹා යේද, කේවඩ්ඩය, එපරිද්දෙන්ම භික්ෂුව සිය සිවුරු පමණක් රැගෙණ බැහැරයයි. කේවඩ්ඩය, මෙසේවූ භික්ෂුව සන්තොෂයෙන් යුක්ත වේ.

. “උතුම්වූ මේ සීලසමූහයෙන් යුක්තවූද, උතුම්වූ මේ ඉන්ද්‍රිය සංවරයෙන් යුක්තවූද, මේ උතුම්වූ සති සම්පජඤ්ඤයෙන් යුක්තවූද, මේ උතුම්වූ සන්තොෂයෙන් යුක්තවූද ඒ භික්ෂුව කැලයද, ගහක් මුලද, කඳු පළාත්ද, කඳුරැලි ගල්ගුහාවන් හෝ මහා මගද, සොහොන්ද, ඉතා දුරවූ කැලෑ වාසස්ථානද, බොහෝ ඉඩකඩ ඇති තැන් සහ තණ ගුහාද යන මේ ස්ථාන වල වාසය කෙරෙයි. ඔහු පිණ්ඩපාතයෙන් හා දානය ගැනීමෙන් පසු පර්යංකය බැඳ, (කකුල් අකුලුවා හිඳ) උඩු කය කෙලින් තබා භාවනා අරමුණට සිහිය එළවා හිඳී. 119

[119: පරිමුඛන් සතින් උපට්ටිපෙත්වා – සතියම පෙරමුනෙහි තබාගෙන යනු භාවනා අරමුණ පෙරමුව තබා ගැන්මය. ආන පානය වේවා, අන් යම් ආරම්මනයක් වේවා සතිය ඉන් බැහැර නොයා රැක ගැනීම ]

  • “ඔහු ලෝකයෙහි ඇති කාම අරමුනු කෙරෙහි ආසාව, කැමැත්ත පහකොට ලෝභ රහිත සිතින් යුක්තව වාසය කෙරේ.
  • ලෝභයෙන් සිත මුදා ඉන් සිත පිරිසිදු කෙරේ. සිත කෙලෙසන්නාවූ අසහනය පහකොට, කෝධයෙන් දුරුවූ සිත් ඇතිව, සියලු ප්‍රාණීන් කෙරෙහි හිතානුකම්පා ඇත්තේව වාසය කරයි. ක්‍රොධ දොෂයෙන් සිත පිරිසිදු කෙරේ.
  • කාය චිත්ත දෙකෙහිම අලස බව දුරුකොට කය-සිත පිළිබඳ පහවූ අලස බව නැත්තේ පිරිසිදු හැඟීම් ඇත්තේ, සතිය ඇත්තේ, යහපත් ප්‍රඥා ඇත්තෙක්ව වෙසේ. අලස බව දුරුකොට සිත පිරිසිදු කෙරේ. නොසන්සුන්කම හා පසුතැවීම දුරුකොට, සංසිඳුනු සිත් ඇතිව වාසය කෙරේ. ඇතුළත සංසිඳුනු සිත් ඇත්තේ, සිත විසිරයාම හා පසුතැවීමෙන් පිරිසිදු කෙරේ. විචිකිච්ඡාව (සැකය) දුරු කොට පහකළ විචිකිච්ඡා ඇත්තේ කුශලධර්ම විෂයෙහි සැක නැතිව වෙසේ. විචිකිච්ඡාවෙන් සිත පිරිසිදු කෙරේ.

§ 35 . “කේවඩ්ඩය, යම් පුරුෂයෙක් ණයක් ගෙණ කර්මාන්තයන්හි යොදන්නේද, ඔහුගේ කර්මාන්තය දියුණු වන්නේ නම් ඔහුගේ ඒ පරණ ණය මුදල් සියල්ලම ඔහු ගෙවන්නේය. ඔහුගේ අඹු දරුවන් ආරක්ෂාකරණ පිණිස වැඩි යමක් ඉතුරුවූයේ නම් ඕහට මෙබඳු අදහසක් ඇතිවේ. ‘මම පළමුවෙන් ණයක් ගෙණ කර්මාන්තයන්හි යෙදුවෙමි. මාගේ කර්මාන්තයෝ දියුණුවූහ. මම පැරණි ණය ගෙවූයෙමි. අඹු දරුවන් පොෂ්‍යකිරීම පිණිස අතිරේක මුදලක්ද මට ඉතිරිව ඇත්තේය’ කියායි. හෙතෙම තමන් ණය නැති බව සිහි කොටගෙණ බලවත් සතුටක් ලබන්නේය. සොම්නසට පැමිණෙන්නේය.

§ 36. කේවඩ්ඩය, යම් රොගයෙකින් පෙළෙන, ඉන් දුකට පත්වූ, දැඩි සේ ගිලන්වූ පුරුෂයෙක් වන්නේය., ඕහට ආහාර රුචි නොවන්නේය. , ඔහුගේ ශරීරයෙහි කිසි ශක්තියක් නැත්තේය. ඒ පුරුෂයා පසු කාලයක ඒ ආබාධයෙන් මිදෙන්නේ නම්, ඔහුට ආහාර රුචිය ඇතිවන්නේ නම්, ඔහුගේ ශරීර බලය ඇතිවන්නේ නම්, ඔහුට මෙසේ සිතෙයි. ‘මම පෙරදී රෝග ආබාධ ඇත්තාවූ, දුක් ඇති දැඩි ගිලන් බව ඇති කෙනෙක් වීමි. මට බත් රුචියද නොවීය, ශරීර බලයද නැතිවිය. මම පෙරවූ ඒ රෝග ආබාධයෙන් මිදුනෙමි. මට ආහාර රුචියද ඇත්තේය. කාය බලයද තිබේය’ කියායි. ඔහු ඒ කාරණය මුල්කොට බලවත් සතුටක් ලබන්නේය. සොම්නසටද පැමිණෙන්නේය.

§ 37. කේවඩ්ඩය, යම් පුරුෂයෙක් යම් වරදක් නිසා සිරගෙයි ලන ලද්දේ වේද, ඔහු පසු කලක පීඩා නැතුව සැපසේ ඒ සිරගෙයින් මිදෙන්නේය. ඔහුගේ නිදහස පිණිස කිසිත් වියදමක් නොවූයේය. ඔහුට මෙබඳු අදහසක් වන්නේය. එනම් “මම පෙර සිරගෙයි බැඳුනෙක් වූයෙමි. මම දැන් පීඩා රහිතව සැපසේ. ඒ සිරගෙයින් මිදුනෙමි. මගේ නිදහස පිණිස කිසි වියදමක්ද නොවූයේය’ කියායි. ඔහු සිරගෙයින් මිදීම නිමිති කොට බලවත් සතුටටද පැමිණෙන්නේය.

§ 38. කේවඩ්ඩය, සිය කැමැත්තෙන් යමක් කරන්ට නොහැකිවූ, අනුන්ට අයත්වූ තමා, කැමති ගමනක් ඒ වූ පරිදි යා නොහැකිවූ වහලෙක් වන්නේද, ඔහු පසු කලක ඒ දාස භාවයෙන් මිදෙන්නේ, තමාම තමාට අධිපතිකොට ඇත්තේ, අනුන්ට යටත් නොව තමාගෙන්ම යැපෙන්නේ. සිය අදහස් පරිදි ඒ ඒ තැන යා හැකි වන්නේද, ඔහුට මෙබඳු අදහසක් වන්නේය. එනම්, ‘මම පෙර තමා කැමති පරිදි යමක් කරන්ට නොහැකි, අනුන්ට යටත් මා අදහස් පරිදි කිසිතැනෙක යානොහැකි දාසයෙක්වීමි. ඒ මම දැන් ඒ දාස භාවයෙන් මිදුනෙක්මි. තමා අධිපතිකොට ඇත්තෙක් වීමි. අනුන්ට යටත්නූන කෙනෙක්වීමි. අනුන්ට යටත් නොව මා සපයාගත් දෙයින්ම යැපෙන්නෙම්, මා අදහස් පරිදි ඒ ඒ කැමැති තැනෙක යාහැක්කේද වෙමි’යි කියායි ඔහු ඒ දාසභාවයෙන් මිදීම හේතුකොට බලවත් සතුටක් ලබන්නේය එසේම සොම්නසට ද පැමිණෙන්නේය.

§ 39 .“කේවඩ්ඩය, යම් ධනවත් භොග සම්පත් ඇති පුරුෂයෙක්, ආහාර දුර්ලභවූ, භය සහිතවූ, දීර්ඝවූ කාන්තාර මාර්ගයකට පැමිණෙන්නේය. ඔහු කලකින් පසු ඒ කාන්තාර මාර්ගය ඉක්මවා එන්නේ සොර සතුරන්ගෙන් පීඩා නැති ගම්මානයකට සැපසේ ක්‍රමයෙන් පැමිණෙන්නේය. ඔහුට මෙබඳු අදහසක් ඇතිවේ. එනම්- ‘මම පෙර ධනවත් වූයෙම්, භොග සම්පත් සහිත වූයෙම්, දුර්ලභ භික්ෂා ඇති, භය සහිතවූ, දීර්ඝවූ කාන්තාර මාර්ගයක දුකසේ ආවෙමි. එසේවූ මම දැන් එම කාන්තාර මාර්ගය පසු කළෙමි. සැපවත්වූ භය රහිතවූ, ගමකට සැපසේ ක්‍රමයෙන් පැමණියෙමි’ යි කියායි. ඒ පුරුෂයා ඒ කාන්තාර මාර්ගය එතර කිරීම නිමිති කොට බලවත් සතුටක් ලබන්නේය. එසේම සොම්නසට පැමිණෙන්නේය.

§ 40 . කුසල් වළක්වන කරුණු පහ තමා කෙරෙහි දුරු නොවූ බව නුවණින් දකීන්නාවූ භික්ෂූවක්, ඒ ණයක් ගෙන ආපසු හෙවන්නට නොහැකිවන නය කරුවෙක් සේ, රෝගය සුව නොවූ රෝගියෙකු සේ, දාස බැවින් නොමිදුනු මිනිසෙකු සේ , සිර ගෙයින් නිදහස් නොකළ සිරකරුවකු සේ, කාන්තාරය තරණය නොකළ මගියෙකු සේ තමා අසරණ බව දකියි.

§ 41 . කේවඩ්ඩය, තමා තුල මේ නීවරණ පස දැන් දුරුව ගීය බව දකිනා භික්ෂුව, රෝගයෙන් සුව වූ රෝගියා සේ, ණය ගෙවා නිම කල මිනිසා සේ, රෝගය සුව කරගත් මිනිසා සේ, සිර ගෙයින් මිදුනු මිනිසා සේ, අනුන්ට යටත් නැති මිනිසා සේ , කාන්තාරය ඉක්මවා ගිය මගියා සේ, ප්‍රීතියෙන් පිරී යයි. ඔහුගේ සන්තානය අකම්පිත වේ. ඒ භික්ෂුවට සතුට උපදී. සතුටු වූවහුට ප්‍රීතිය උපදී. ප්‍රීතිසහගත සිත් ඇත්තහුගේ නාමකය (වේදනාදී ස්කන්ධ හතර) සංසිඳෙයි. සංසිඳුනු කය ඇති තැනැත්තේ කායික හා චෛතසික සැපය විඳියි. සැප ඇත්තහුගේ සිත, සමාධියට (එකඟ බවට) පැමිණෙයි. ඒ සමාධිය නිසා භික්ෂුවගේ සන්තානය වස්තු කාම, ක්ලෙශ කාමයන්ගෙන් වෙන් වෙයි., අකුශල ධර්මයන් කෙරෙන්ද වෙන් වෙයි. විතක්ක නොහොත්ය්, අරමුණට සිත පැමිණවීම සිදු නොවේ. , විචාර හෙවත් අරමුණෙහි නැවත නැවත යෙදී හැසිරීම සිදු නොවේ., භික්ෂුව මෙසේ සිත තැන්පත්වූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කෙලෙස් රහිතවූ කල්හි ක්ලෙශයන් පහවූ කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට සුදුසුව සිටි කල්හි, කම්පා නොවන බවට පැමිණි කල්හි, විදර්ශනා ඥානය ඉපදවීම පිණිස සිත එලවයි. ඒ සඳහා වෙසෙසින් සිත නමයි. ඔහු මෙසේ දැන ගනී. රෙදි සෝදන්නට සබන් කුඩු අනනා රෙදි ශෝධකයෙක් විසාල දිය බඳුනක සබන් අනා කලතා ලු විට එහි ලු සළුවක් හාත් පසින්ම, මුළුමනින්ම ඒ සබන් වලින් වැසේන්නසේ ඒ සබන් ස්පර්ශ කරන්නා සේ ඔහු මේ ප්‍රීතියෙන් වැසී ගනී. ගිලී යයි. ඔහුගේ සියළු අඟ පසඟයෝ විවේකයෙන් උපන් පීති සුඛයෙන් තෙත් වෙයි . එම භික්ෂුව සිතෙහි විවේකයෙන් උපන් ප්‍රීතිය හා සැපය ඇති, ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කෙරේ.
මෙසේ පළමුවන ධ්‍යානයටද පැමිණ වාසය කෙරේද, කේවඩ්ඩය, මෙයද අනුශාසනී ප්‍රාතිහාර්යයයි කියනු ලැබේ.

§ 43 . නැවත ද , කේවඩ්ඩය, කාමයන්ගෙන් වෙන්වූ සිත, සියලු අකුසල් ධර්මයෙන් මිදුන ඔහු සිත දැන් වීතක්ක, විචාරයන් ගෙන් මිදී., ඔහු සන්තානය නිසල වන්නේ ඒ නිසල බව නිසා උපන් පීති සුඛයෙන් පිරුණු දෙවෙනි ධ්‍යානයට පැමිණෙයි.

දිය උල්පත් වලින් දිය පිරෙන්නාවූ යම් පොකුණකට උතුරු දිසාවෙන් ගලන දිය පාරක් නැතත්, දකුණු දිසාවෙන් ගලන දිය පාරක් නැතත්, අන් කිසි දිසාවකින් ගලන දිය පාරක් නැතත්, ඒ පොකුණ තුලින්ම මතුවූ උල්පත් දිය නිසා පොකුණ පිරී යයි. පොකුණේ සියලු බිත්ති ජලයෙන් පෙගී යයි. සියලු අකුසල් ධර්මයෙන් මිදුන ඔහු සිත දැන් වීතක්ක, විචාරයන් ගෙන් මිදී., ඔහු සන්තානය නිසල වන්නේ ඒ නිසල බව නිසා උපන් පීති සුඛයෙන් ඔහුගේ සියොළඟ තෙමී සංතෘප්ත වේ. කේවඩ්ඩය, මේද අනුශාසනී ප්‍රාතිහාර්යයයි කියනු ලැබේ.

§ 25, “කේවඩ්ඩය,

ඔහු සිය විදර්ශනා නුවන යොමා මෙසේ දැන ගනියි. ‘මාගේ මේ ශරීරය දෙතිස් රූපයෙන් යුක්තය, ඒ සියලු රූපයෝ සතර මහාභූතයන්ගේ හේතුවෙන් හටගත්තේය. මව්පියන් නිසා හටගත්තේය. ආහාරයෙන් වඩනා ලද්දේය. අනිත්‍ය බවය, ඇඟ ඉලීමය, පිරිමැදීමය, බිඳීමය, විනාශය යන මේ දේ ස්වභාවකොට ඇත්තේය, මාගේයයි ගන්නා මේ විඤ්ඤාණය මේ ශරීරය ආශ්‍රය කෙරේ. එහිම බැඳුනේ වෙයි’ කියායි.

§ 25, “කේවඩ්ඩය,, යහපත්වූ පිරිසිදු ආකාරයෙන් හටගත්තාවූ , අටැස්වූ, ගල් ආදී දොස් බැහැර කිරීමෙන් හොඳ ලෙස සකස් කරණ ලද්දාවූ, නිර්මලවූ, විශේෂයෙන් ප්‍රසන්නවූ කැලැල් නැතිවූ, සියලු ආකාරයෙන් සම්පූර්ණවූ, වෛධූර්‍ය මැණිකක් වේද, එහි නිල්වූ හෝ කහපාටවූ හෝ රතුවූ හෝ සුදුවූ හෝ පඬුවන්වූ හෝ නූලක් අමුණන ලද්දේද ඒ මැණික පුරුෂයෙක් අතට ගෙණ මෙසේ සලකා බලන්නේය.

මේ වෛධූර්‍ය මැණික මනාසේ කාන්තිමත් හෙයින් යහපත්වේ. පිරිසිදු ආකාරයෙන් උපන්නේය. අටැස් ඇත්තේය, දොස් දුරුකිරීමෙන් මනාකොට සකස් කරණ ලද්දේය. නිර්මලය, විශේෂයෙන් ප්‍රසන්නය, කැලැල් නැත, සියලු ආකාරයෙන් සම්පූර්ණය. ඒ මැණිකෙහි මේ නීලවර්ණවූ හෝ කහපාටවූ හෝ රතුවූ හෝ සුදුවූ හෝ පඬුවන්වූ හෝ නූලක් අමුණන ලද්දේය’ කියායි.

“කේවඩ්ඩය, එපරිද්දෙන් යොගී භික්ෂුව මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කෙලෙස් රහිතවූ කල්හි, පහවූ ක්ලෙශයන් ඇතිවූ කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට සුදුසුව සිටි කල්හි, කම්පා නොවන බවට පැමිණි කල්හි, විදර්‍ශනාඥානය පිණිස සිත එලවා තබයි, ඒ සඳහා විශේෂයෙන් සිත නමයි.

ඒ භික්ෂුව මෙසේ දන්නේය, කෙසේද යත්, ‘මාගේ මේ ශරීරය නිර්මිත රූපය සතර මහා භූතයන්ගෙන් හටගත්තේය. මව්පියන් නිසා හටගත්තේය, ආහාරයෙන් වඩනා ලද්දේය. අනිත්‍ය බවය, ඉලීමය පිරීමැදීමය, බිඳීමය, විනාශය යන මේ ස්වභාවකොට ඇත්තේය. මේ විඤ්ඤාණය මේ ශරීරය ආශ්‍රය කෙළේ වෙයි. මෙහිම බැඳී සිටියේය’ කියායි.
මෙයද කේවඩ්ඩය, අනුශාසනී ප්‍රාතිහාර්යයයි කියනුලැබේ.

§ 26 . “ඔහු මෙසේ ධ්‍යානයෙන් සිත එකඟවූ කල්හි. පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි කෙලෙස් නැතිවූ කල්හි ක්ලෙශයන් පහවූ කල්හි. මෘදුවූ කල්හි, කටයුත්තට සුදුසුව සිටි කල්හි, නොසැලෙන බවට පැමිණි කල්හි, මනොමයවූ රූපයක් නිපදවීම පිණිස සිත එලවා තබයි, වෙසෙසින් නමයි. ඔහු ආකාරවත්වූ, මනොමයවූ (ධ්‍යාන සිතින් නිපදවනලද) ශරීරය හා අත පය ආදී අවයව ඇති, විකලනුවූ ඉඳුරන් ඇති, මේ ශරීරයෙන් අන්‍යවූ ශරීරයක් හොඳ ලෙස මවයි.

“කේවඩ්ඩය,, යම්සේ පුරුෂයෙක් මුදු තණ ගසින් තණ බඩය උදුරා ගන්නේද, මේ තණ ගසය, මේ තණබඩයය, තණගස අනිකෙක, තණබඩය අනිකෙක, තණ ගසින්ම තණබඩය ඇදගන්නා ලද්දේය, තනන ලද්දේය යන වැටහීම ඕහට පහළ වන්නේය.

“කේවඩ්ඩය, යම් පුරුෂයෙක් කඩුවක්, එහි කොපුවෙන් ඉවත් කරන්නේද ඔහුට මෙබඳු අදහසක් වන්නේය. මේ කඩුවය, මේ කොපුවය, කඩුව අනිකෙක, කොපුව අනිකෙක, කොපුවෙන් කඩුව ඉවත් කරණ ලද්දේය කියායි.

“කේවඩ්ඩය, යම් පුරුෂයෙක් සර්පයකු සැවයෙන් පහ කරන්නේද ඕහට මේ සර්පයාය, මේ සැවයය, සර්පයා එකෙකි, සැවය අනිකකි, සැවයෙන් සර්පයා වෙන්කරණ ලද්දේයයි වැටහීමක් ඇතිවන්නේය.

“කෙවඩ්ට්ය, එසේම භික්ෂුව (මෙසේ සිත සමාධිගතවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කාමය සිතෙහි නැති වූ වූ කල්හි, ක්ලෙශයන් පහවූ කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට යොග්‍යවූ කල්හි, හිත ස්ථිරවූ කල්හි, කම්පා නොවන බවට පැමිණි කල්හි) සිතින් උපදවන කය මැවීම පිණිස සිත ඉදිරිපත් කෙරෙයි, ඉදිරිපත්කොට ඊට නමයි. ඔහු මේ කයින් රූ ඇති, සිතින් මවනලද, සියලුශරීරය සහ අතපය ආදී අවයවඇති, නොපිරිහුණු ඉන්ද්‍රිය ඇති, වෙන කයක් මවයි.

කේවඩ්ඩය, මෙයද අනුශාසනී ප්‍රාතිහාර්යයයි කියනු ලැබේ.

§ 28. “ඔහු (මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කාමහිත් රහිතවූ කල්හි, ක්ලෙශයන් පහව ගිය කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට යොග්‍යවූ කල්හි, නැවතීමට පැමිණි කල්හි, කම්පා නොවන බවට පැමිණි කල්හි) ඍද්ධිවිධි පිණිස සිත ඉදිරිපත් කෙරෙයි. ඉදිරිපත්කොට නමයි. 128

“කේවඩ්ඩය, දක්ෂ කුඹල්කරුවෙක් යහපත්සේ පදම්කළ මැටියෙන් කැමති කැමති වලන් සැලි ආදි වර්ගයන් යම්සේ කරන්නේද, නිපදවන්නේද, කේවඩ්ඩය, දළ කැටයම් කරුවෙක් සකස්කළ දළයෙහි යම්සේ කැමති කැමති දළ කැටයම් වර්ගයක් කරන්නේද, නිපදවන්නේද, කේවඩ්ඩය, දක්ෂ රන්කරුවෙක් පදම්කළ රණින් කැමති කැමති රන් අබරණ ජාතීන් යම්සේ කරන්නේද, නිපදවන්නේද කේවඩ්ඩය, එසේම භික්ෂුව සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කාමහිත් රහිතවූ කල්හි, ක්ලෙශයන් පහවූ කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට යොග්‍යවූ කල්හි, හිත ස්ථිරවූ කල්හි, කම්පා නොවන බවට පැමිණි කල්හි, ඍද්ධි විධි පිණිස සිත ඉදිරිපත් කෙරෙයි, ඉදිරිපත්කොට නමයි.

ඔහු නොයෙක් ඍද්ධි විධි වෙන් වෙන් කොට දක්වයි. එකෙක්ව බොහෝ සේ වෙයි. බොහෝසේව එකෙක් වෙයි. ප්‍රකට බවට, මුවහ බවට, අහසෙහි මෙන් බිත්තිය හරහට, පවුර හරහට, පර්වත හරහට නොහැපෙමින් යෙයි. දියෙහි මෙන් පොළොවෙහි කිමිදීම් මතුවීම් කෙරෙයි. පොළොවෙහි මෙන් දියෙහි දිය නොබෙදා ගමන් කරයි. පක්ෂියකු මෙන් අහසෙහිද පර්යංකයෙන් හිඳගෙනම යෙයි. මේ මහත් ඍද්ධි ඇති, මහත් ආනුභාව ඇති, සඳ හිරු දෙදෙන අතගායී. පිරිමදියි. බඹලොව තෙක් ශරීරයෙන් වසඟබව කෙරෙයි.) මෙයද කෙවට්ටය අනුශාසනී ප්‍රාතිහාර්යයයි කියනු ලැබේ.

[128: මේ සෘද්ධි ගැන කල සඳහන 5 වන චේදය හා නොගැලපේ. භාග්‍යවතුන් වහන්සේ සිය භික්ෂු සංඝයාට නොකරන්න යයි දෙසනා කල සෘද්ධි පිණිස භික්ෂුව සිත මෙහෙයවයි යයි කීම පසු කාලින එක් කිරීමක් බව සලකනු වටී.]

§ 29. “ඔහු මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කාමහිත් රහිතවූ කල්හි, ක්ලේශයන් පහව ගිය කල්හි මෘදුවූ කල්හි, කටයුත්තට යොග්‍යවූ කල්හි, හිත ස්ථිරවූ කල්හි, කම්පා නොවන බවට පැමිණි කල්හි, දිව්‍ය කණ සම්බන්ධ ඥානය පිණිස සිත ඉදිරිපත් කෙරෙයි. ඉදිරිපත් කොට නමයි. ඒ භික්ෂුව පිරිසිදුවූ මිනිස් බව ඉක්මවූ, දිව්‍ය කණ සම්බන්ධ ඥානයෙන් දිව්‍යමයවූද, මනුෂ්‍යමයවූද, දුරෙහිවූද, සමිපයෙහිවූද, දෙයාකාර ශබ්දයන් අසයි.

“කේවඩ්ඩය, දික් මඟකට පැමිණි පුරුෂයෙක් බෙර හඬද, මිහිඟු බෙර හඬද, සක්, පණාබෙර, ගැටබෙර හඬද, අසත්දී , මේ බෙරයේ හඬයයිද, මේ මිහිඟු බෙරයේ හඬයයිද, මේ සක් බෙරයේ හඬ යැයි, මේ පණාබෙර, හඬයැයි, මේ ගැටබෙර හඬයයි පැහැදිලිව දැන ගන්නේද , කේවඩ්ඩය, එලෙසින්ම භික්ෂුව මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කාමසිත් රහිතවූ කල්හි, පහවූ ක්ලෙශයන් ඇති කල්හි, මෘදුවූ කල්හි, ස්ථිර බවට පැමිණි කල්හි, කම්පානොවන බවට පැමිණි කල්හි දිව්‍ය කණ සම්බන්ධ ඥානය පිණිස සිත ඉදිරිපත් කෙරෙයි, ඉදිරිපත්කොට නමයි. ඔහු මෙසේ පිරිසිදුවූ, මිනිස් කණ ඉක්මවූ දිව්‍ය කණ සම්බන්ධ ඥානයෙන් දිව්‍යමයවූද, මනුෂ්‍යමයවූද, දුරෙහිවූද, සමීපයෙහිවූද, දෙයාකාර ශබ්දයන් අසයි. මෙයද කෙවට්ටය, අනුශාසනී ප්‍රාතිහාර්යයයි කියනු ලැබේ.

§ 30 .‘ඔහු මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, සිතේ කාමයන් සිඳුණු කල්හි, ක්ලෙශයන් පහවූ කල්හි, සිත මෘදුවූ කල්හි, කටයුත්තට සුදුසුවූ කල්හි, ස්ථිර බවට පැමිණි කල්හි, කම්පා නොවන බවට පැමිණි කල්හි, පර සිත් දැනගන්නා ඤාණය පිණිස සිත ඉදිරිපත් කෙරෙයි. ඉදිරිපත් කොට නමයි.

“කේවඩ්ඩය, අලංකාර වී හැඩවෙන්නට සැරසෙන ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ ළමයෙක් හෝ තරුණයෙක් හෝ පිරිසිදු නොකිළිටි කැඩපතෙක හෝ පිරිසිදු දිය භාජනයෙක්හි හෝ තමාගේ මූනේ ශෝභාව පරීක්ෂා කරන්නේද, එවිට සිය මුහුණේ කැලල් සහිත නම් කැලල් සහිතයයි දැනගනියීද, කැලල් රහිත නම් කැලල් රහිතයයි දැනගනියිද. “කේවඩ්ඩය, එසේම භික්ෂුව මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කාමහිත් රහිත කල්හි, ක්ලෙශයන් පහව ගිය කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට යොග්‍යවූ කල්හි, සිත ස්ථිරවූ කල්හි කම්පානොවන බවට පැමිණි කල්හි, පරසිත් දැනගන්නා ඤාණය පිණිස සිත ඉදිරිපත් කෙරෙයි, ඉදිරිපත් කොට නමයි.

  • ඔහු අන්‍ය සත්වයන්ගේ, අන්‍ය පුද්ගලයන්ගේ සිත සිතින් පිරිසිඳ දනියි.
  • රාග සහිත සිත රාග සහිත සිතයයි දනියි.
  • රාගය පහවූ සිත රාගයෙන් තොරවූ සිතයයී දනියි.
  • දෝස සහිත සිත දොසසහිත සිතයයී දනියි.
  • දෝසය නැති සිත දොස රහිත සිතයයී දනියි
  • මෝහ සහිත සිත මෝහ සහිත සිතයයි දනියි,
  • මෝහය පහවූ සිත මෝහයෙන් තොරවූ සිතයයි දනියි.
  • හැකුලුණු සිත හැකුලුණු සිතයයි දනියි.
  • විසුරුණු සිත විසුරුණු සිතයයි දනියි.
  • මහත් බවට ගිය සිත, මහත් බවට ගිය සිතයයි දනියී.
  • මහත් බවට නොගිය සිත, මහත් බවට නොගිය සිතයයි දනියි.
  • කාම සහිත සිත, කාම සහිත සිතයයි දනියි.
  • ලෞකික හිත් අතුරෙන් උසස්ම සිත අනුත්තර සිතයයි දනියි.
  • සමාධිගතවූ සිත සමාධිගත සිතයයි දනියි.
  • සමාධිගතනොවූ සිත සමාධි ගත නොවූ සිතයයි දනියි.
  • ක්ලෙශයන්ගෙන් මිදුනු සිත, මිදුනු සිතයයි දනියි.
  • නොමිදුනු සිත නොමිදුනු සිතයයි දනියි.

§ 31 . “ඔහු සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කාම සිත් රහිතවූ කල්හි ක්ලෙශයන් පහව ගිය කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට යොග්‍යවූ කල්හි, සිත ස්ථිරවූ කල්හි, කම්පා නොවන බවට පැමිණි කල්හි, පෙර ජාති සිහිකිරීමේ ඥානය පිණිස සිත ඉදිරිපත් කෙරෙයි.

“කේවඩ්ඩය, පුරුෂයෙක් යම්සේ තම ගමින් අන් ගමකට යන්නේද, ඒ ගමිනුත් අන් ගමකට යන්නේද, ඒ ගමිනුත් තමන්ගේ ගමට එන්නේද. ‘මම සිය ගමින් අසවල් ගමට ගියෙමි. එහිදී මෙසේ සිටියෙමි. මෙසේ හුන්නෙමි. මෙසේ කථාකළෙමි. මෙසේ නිශ්ශබ්ද වීමි. එගමිනුදු අසවල් ගමට ගියෙමි. එහිද මෙසේ සිටියෙමි. මෙසේ හුන්නෙමි. මෙසේ කථාකෙළෙමි. මෙසේ නිශ්ශබ්ද වීමි. ඒ මම ඒ ගමින් සිය ගමට පැමිණියෙමි’යි හෙතෙම දන්නේය.

  • හේ තෙමේ නොයෙක් විධියේ පෙර විසීම් සිහිකෙරෙයි.
  • කෙසේද යත්, (එක් ජාතියක්ද, දෙ ජාතියක්ද, තුන් ජාතියක්ද, හතර ජාතියක්ද, පස් ජාතියක්ද, දස ජාතියක්ද, විසි ජාතියක්ද, තිස් ජාතියක්ද, සතළිස් ජාතියක්ද, පණස් ජාතියක්ද, සියක් ජාතියක්ද, දහස් ජාතියක්ද, සියක් දහස් ජාතියක්ද, නොයෙක් විනාශ වෙමින් පවතින කල්පයන්ද, නොයෙක් හැදෙමින් පවතින කල්පයන්ද, නොයෙක් විනාශවන හෝ හැදෙන කල්පයන්ද,
  • ‘අසුවල් තැන වීමි, මෙනම් ඇත්තෙමි, මේ ගොත්‍ර ඇත්තෙම්, මේ පාට ඇත්තෙම් මේ කෑම කෑවෙම්, මේ සැප දුක් වින්දෙම්, මේ ආයුෂ කෙළවර කොට ඇත්තෙම් වීමි.
  • මම එයින් චුතවූයෙම් අසවල් තැන උපන්නෙමිත එහිදු මෙනම් ඇත්තෙම්, මේ ගොත්‍ර ඇත්තෙම්, මේ පාට ඇත්තෙම්, මේ කෑම ගත්තෙමි , මේ සැප දුකුවින්දෙම්, මේ ආයුෂ කෙළවරකොට ඇත්තෙම් වීමි. ඒ මම එයින් චුතවූයෙම්, මෙහි උපන්නෙමි’ යි මෙසේ ආකාර සහිතව දැන්වීම් සහිතව, නොයෙක්විදියේ පෙර ජීවිත සිහි කෙරෙයි.

§ කේවඩ්ඩය, ඔහු (මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසුදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කාමහිත් රහිත කල්හි, ක්ලෙශයන් පහව ගිය කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට යොග්‍යවූ කල්හි හිත ස්ථිරවූ කල්හි, කම්පානොවන බවට පැමිණි කල්හි (සත්වයන් ගේ මරණින් පසු උත්පත්ති දැනගන්නා නුවණ පිණිස සිත ඉදිරිපත්කෙරෙයි. ඉදිරිපත්කොට නමයි.

කේවඩ්ඩය යම්සේ පාරේ හන්දියක ප්‍රාසාදයක් වේද, එහි ඇස් ඇති පුරුෂයෙක් සිටියේ ගෙට ඇතුල්වෙන ගෙයින් නික්මෙන, වීථියෙහි හැසිරෙන, පාර හන්දියේ හිඳින මනුෂ්‍යයන් දක්නේද, ඔහුට මෙසේ සිතෙයි. ‘මේ මිනිස්සු ගෙට ඇතුළුවෙති, මොවුහු නික්මෙති, මොවුහු වීථියෙහි හැසිරෙති, මොවුහු පාර හන්දියේ ඉඳිති’යි කියායි. කෙවට්ටය, එසේම භික්ෂුව මෙසේ සිත එකඟවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කාම හිත් රහිත කල්හි, ක්ලෙශයන් පහව ගිය කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට යොග්‍යවූ කල්හි, සිත ස්ථිරවූ කල්හි, කම්පා නොවන බවට පැමිණි කල්හි සත්වයන්ගේ චුති උත්පත්ති දැනගන්නා නුවණ පිණිස සිත ඉදිරිපත් කෙරෙයි, සිත ඉදිරිපත් කොට නමයි.

  • හේ මිනිස් ඇස ඉක්මවූ දිවඇසින් චුතවන උපදින සත්වයන් දකී.
  • පහත්වූද උසස්වූද ලක්ෂණවූද අවලක්ෂණවූද හොඳලොව ගියාවූද නරක ලොව ගියාවූද කර්මය ලෙස පැමිණි සත්වයන් දනී.
  • මේ පින්වත් සත්වයෝ කාය දුශ්චරිතයෙන් යුක්තය, වචි දුශ්චරිතයෙන් යුක්තය, මනෝ දුශ්චරිතයෙන් යුක්තය, උත්තමයින්ට බණින්නෝය, මිථ්‍යාදෘෂ්ටිකයෝය, මිථ්‍යාදෘෂ්ටිකර්ම සමාදන් වූවෝය. ඔවුහු ශරීරයෙන් වෙන්ව මරණින් මතු අපායවූ, දුර්ගතියවූ, දුකවූ, නිරයට පැමිණෙත්.
  • නැතහොත් ‘මේ පින්වත් සත්වයෝ කාය සුචරිතයෙන් යුක්තය, වචී සුචරිතයෙන් යුක්තය, මනෝ සුචරිතයෙන් යුක්තය, උත්තමයින්ට නොබනින්නෝය, සත්‍යය අදහන්නෝය, සත්‍යය ඇදහීම් සමාදන් වූවෝය. ශරීරයෙන් වෙන්ව මරණින් මතු යහපත් ගතියවූ, ස්වර්ගලෝකයට පැමිණියෝය’යි
  • මෙසේ පිරිසිදුවූ මිනිස් ඇස ඉක්මවූ දිව ඇසින් චුතවන උපදින සත්වයන් දකී. පහත්වූද උසස්වූද ලක්ෂණවූද අවලක්ෂණවූද සුගතියට පැමිණියාවූද දුර්ගතියට පැමිණියාවූද කර්මය ලෙස පැමිණි සත්වයන් දනී.

මෙයද, කෙවට්ටය අනුශාසනී ප්‍රාතිහාර්යයයි කියනු ලැබේ.

§ “කේවඩ්ඩය, යම්සේ පර්වත මුදුනක පිරිසිදු, සිත් සතුටු කරන නොකැළඹුනු, දියවිලක් වේද, එහි ඉවුරේ ඇස් ඇති පුරුෂයෙක් සිටියේ නැවතී තිබෙන්නාවූ සිප්පිබෙල්ලන් හා සක්බෙල්ලන්ද, කැටකැබිලිතිද, එහා මෙහා යන්නාවූ මසුන් රෑන්ද, දක්නේද, ඔහුට මෙසේ සිතෙන්නේය. ‘මේ දිය විල පිරිසිදුය, මනා සිත් ප්‍රිය කරන්නේය, නොකැළඹුනේය, එහි සිප්පි බෙල්ලන් හා සක්බෙල්ලන්ද, කැටකැබිලිතිද නැවතී තිබේ. මසුන් රෑන් හැසිරෙත්ය’කියායි.

කේවඩ්ඩය, එලෙසින් භික්ෂුව මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කාමසිත් රහිත කල්හි, ක්ලෙශයන් පහවගිය කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට යොග්‍යවූ කල්හි, හිත ස්ථිරවූ කල්හි, කම්පානොවන බවට පැමිණි කල්හි, බොහෝ කල් සිට එන ක්ලෙශයන් නැතිකිරීමේ ඥානය පිණිස සිත ඉදිරිපත් කෙරෙයි. ඉද්රිපත්කොට නමයි.

  • ඔහු මේ දුකයයි තතු ලෙස දැනගණී.
  • මේ දුක් ඉපදීමේ හේතුවයයි තතු ලෙස දැනගණී.
  • මේ දුක් නැතිකිරීමයයි තතු ලෙස දැනගණී,
  • මේ දුක් නැතිකිරීමේ මාර්ගයයි තතු ලෙස දැනගණී,
  • මේ කෙලෙස්යයි තතු ලෙස දැනගණී,
  • මේ කෙලෙස් හේතුයයි තතු ලෙස දැනගණී,
  • මේ කෙලෙස් නැතිකිරීමයයි තතු ලෙස දැන ගණී.
  • මේ කෙලෙස් නැතිකිරීමේ මාර්ගයයයි තතුලෙස දැනගණී
  • මෙසේ දන්නා ඔහුගේ සිත කාම ආශාවන් කෙරෙන්ද මිදේ, භවයට ඇති ආශාවන් කෙරෙන්ද මිදේ, මෝහය කෙරෙන්ද සිත මිදේ,
  • මිදුනු කල්හි මිදුනේය යන සිත වෙයි. ඉපදීම නැති විය, උතුම් හැසිරීමෙහි වසනලදී, කටයුත්ත කරණලදී, මෙයින් පසු කටයුතු අනිකක් නැතැයි’ දැනගණී.

කෙවට්ටය, මෙයද අනුශාසනී ප්‍රාතිහාර්යයයි කියනු ලැබේ.

§ 67. මේ ප්‍රාතිහාර්යය තුන මා විසින් තමන්ගේ විශේෂ ඥානයෙන් දැන අවබෝධකොට ප්‍රකාශකරණ ලද්දාහුය.

භූත නිරෝධෙසකභික්ඛු වත්ථු

§ . කේවඩ්ඩය පෙරවූ දෙයක් කියමි.
මේ භික්ෂු සංඝයා අතුරෙහිමවූ එක්තරා භික්ෂුවක්හට මෙවැනි අදහසක් පහළ වූයේය.
“පඨවිධාතු අපොධාතු තෙජොධාතු වායොධාතු යන මේ සතර මහාභූතයෝ කවර තැනෙක්හිදී, කුමකට පැමිණ කුමකට පැමිණ අවශේෂයක් ඉතිරි නොවී නැවත ඇති නොවන පරිදි විනාශ වන්නාහුදැ“යි කියාය.

කේවඩ්ඩය, එවිට ඒ භික්ෂුව සිත එකඟවූ කල දිව්‍ය ලෝකයට යන මාර්ගයයි කියන ලද ඍද්ධිවිධ ඥානය පහළවන්නේද එවැනි සමාධියකට සමවැදුනේය. කේවඩ්ඩය, එවිට ඒ භික්ෂුව චාතුර්මහාරාජික දෙවියෝ වෙත පැමිණියේය. පැමිණ චාතුර්මහාරාජික දෙවියන්ගෙන් මේ කාරණය ඇසුයේය.

“ඇවැත්නි, පඨවිධාතු අපොධාතු තෙජොධාතු වායොධාතු යන මේ සතර මහාභූතයෝ කවර තැනෙක්හිදී, කුමකට පැමිණ කුමකට පැමිණ අවශේෂයක් ඉතිරි නොවී නැවත ඇති නොවන පරිදි විනාශ වන්නාහුදැ, කියාය.’

“කේවඩ්ඩය, භික්ෂුව මෙසේ ඇසු කල චාතුර්මහාරාජික දෙවියෝ ඒ භික්ෂුවට මේසේ කීවෝය.
‘මහණ, පඨවිධාතු අපොධාතු තෙජොධාතු වායොධාතු යන මේ සතර මහාභූතයෝ යම්තැනක ඉතිරිනොවී නැවත නොපවතින අන්දමින් විනාශ වන්නාහුද යන මේ කාරණය අපිද නොදනිමු. අපට වඩා රූප සම්පත්තියෙන් හා ප්‍රඥා ආදී ගුණවලින් යුක්තවූද ශරීර වර්ණය පිරිවර ආදියෙන් ඉතා උතුම්වූද සතරවරම් රජකෙනෙක් ඇත්තාහුය. මේ කාරණය ඒ සතරවරම් මහරජහු දන්නාහුය. ” කියාය.

“එවිට ඒ භික්ෂුව සතර වරම් රජහුගෙන් ඇසු ….තාවතිංස දෙවිවරු දන්නාහුය. කියාය.

” තාවතිංස දෙවිවරු රජහුගෙන් ඇසු ….ශක්‍ර දෙවි රජු දන්නාහුය. කියාය.

“ශක්‍ර දෙවි රජුගෙන් ඇසු ….යාම දෙවිවරු දන්නාහුය. කියාය.

“යාම දෙවිවරුගෙන් ඇසු ….සුයාම දෙවිවරු දන්නාහුය. කියාය.

“සුයාම දෙවිවරුන් ගෙන් ඇසු ….තුසිත දෙවිවරු දන්නාහුය. කියාය.

“තුසිත දෙවිවරුන්ගෙන් ඇසු …සංතුසිත දෙවිවරු දන්නාහුය. කියාය.

.සංතුසිත දෙවිවරුන්ගෙන් ඇසු ….නිම්මානරති දෙවිවරු දන්නාහුය. කියාය.

නිම්මානරති දෙවිවරු න්ගෙන් ඇසු ….සුනිමිත්ත දෙවිවරු දන්නාහුය. කියාය.

.සුනිමිත්ත දෙවිවරුන් ගෙන් ඇසු ….පරනිම්මිත වසවත්ති දෙවිවරු දන්නාහුය. කියාය.

පරනිම්මිත වසවත්ති දෙවිවරුන්ගෙන් ඇසු …වසවත්ති දෙවිවරු දන්නාහුය. කියාය.

වසවත්ති දෙවිවරුගෙන් ඇසු ….බ්‍රහ්මයන් දන්නාහුය. කියාය.

§ බ්‍රහ්මයන්ගෙන් ඇසු ….මහා බ්‍රහ්මයා දන්නාහුය. කියාය.
.” ඇවැත්නි, ඒ මහාබ්‍රහ්මතෙම දැන් කොතනදැයි ඇසුවේය.
“මහණ, මහා බ්‍රහ්මයා යම් තැනකදැයි කියා හෝ මහා බ්‍රහ්මයා යම් ස්ථානයකදැයි කියා හෝ අපි නොදනිමු. මහණ, එසේද වුවත් යම් නිමිති ලකුණු දකින්ට ලැබෙත්ද, එලියක් හටගනීද, බැබලීමක් පහළවේද එකල මහා බ්‍රහ්මයා පහළවන්නේය. එලියක් හටගනීද බැබලීමක් පහළවේද යන මේ එක පූර්වලකුණක් මහා බ්‍රහ්මයාගේ පහළවීම ගැන ඇත්තේය.”

“කෙවට්ටය, එවිට ඒ බ්‍රහ්මතෙම ටික වේලාවකින්ම පහළවූයේය. කෙවට්ටය, එවිට ඒ භික්ෂුව මහාබ්‍රහ්මයා වෙත පැමිණ, බ්‍රහ්මයාගෙන් මේ කාරණය ඇසුවේය. “ඇවැත්නි, පඨවිධාතු අපොධාතු තෙජොධාතු වායොධාතු යන මේ සතර මහාභූතයෝ යම්තැනක ඉතිරිනොවී නැවත නොපවතින අන්දමින් විනාශ වන්නාහුද යි’ කියාය.

“කෙවට්ටය, මෙසේ ඇසූ කල මහාබ්‍රහ්මයා ඒ භික්ෂුවට මෙසේ කීයේය.
“මහණ, මම බ්‍රහ්මවෙමි, මහා බ්‍රහ්මවෙමි, සියල්ලන් මැඩපවත්වා සිටින්නාවූ ප්‍රධානයා වෙමි, අනුන් විසින් මැඩපැවැත්විය නොහැක්කෙක් වෙමි. ඒකාන්තයෙන් සියල්ල දක්නෙමි. සියලු ජනයා වසඟයෙහි පවත්වමි. ලොවට ප්‍රධාන දෙවියා වෙමි, ලෝකයට කර්තෘවෙමි, ලෝකය මවන්නෙක් වෙමි, ලෝකයට උත්තම වෙමි, සත්වයන් කොට්ඨාසවලට බෙදන්නෙක් වෙමි, පුරුදු කරනලද ධ්‍යාන ඇත්තෙමි, උපන්නාවූද උපදින්නාවූද සියලු සත්වයන්ට පියා වෙමි.”

“කෙවට්ටය, දෙවනුවද ඒ භික්ෂුව මහාබ්‍රහ්මයාට මේ කාරණය කීයේය.
‘ඇවැත්නි, මම ඔබගෙන් ඒ ගැන නොඇසීමි, ඔබ බ්‍රහ්මයෙක් ද, මහා බ්‍රහ්මයෙක්ද, සියල්ල මැඩපවත්වා සිටින ප්‍රධානියාද, අනුන් විසින් මැඩපැවැත්විය නොහැක්කෙක්වූයෙහිද, ඒකාන්තයෙන් සියල්ල දක්නෙක්ද, සියලු ජනයා වසඟයෙහි පවත් වන්නාද , ලොවට ප්‍රධාන දෙවියාද, ලෝකයට කර්තෘද, ලෝකය මවන්නෙක් වූයෙහිද, ලෝකයට උත්තම වූයෙහිද, සත්වයන් කොට්ඨාස වලට බෙදන්නෙක් වූයෙහිද, පුරුදු කරණ ලද ධ්‍යාන ඇත්තෙක් වූයෙහිද, උපන්නාවූද උපදින්නාවූද සියලු සත්වයන්ට පියා වූයෙහිදැයි’ කියා නොඇසීමි. ‘ඇවැත්නි, මම ඔබගෙන් මෙසේ ඇසුවෙමි.

‘ඇවැත්නි, “ඇවැත්නි, පඨවිධාතු අපොධාතු තෙජොධාතු වායොධාතු යන මේ සතර මහාභූතයෝ යම්තැනක ඉතිරිනොවී නැවත නොපවතින අන්දමින් විනාශ වන්නාහුද යි’ කියාය.

කෙවට්ටය, දෙවනුවද ඒ මහාබ්‍රහ්මයා භික්ෂුවට මෙසේ කියේය.
“මහණ, මම බ්‍රහ්මවෙමි, මහාබ්‍රහ්ම වෙමි, සියල්ලන් මැඩපවත්වා සිටින්නාවූ ප්‍රධානයා වෙමි, අනුන් විසින් මැඩපැවැත්විය නොහැක්කේ වෙමි, ඒකාන්තයෙන් සියල්ල දක්නෙමි, සියලු ජනයා වසඟයෙහි පවත්වමි, ලොවට ප්‍රධාන දෙවියා වෙමි, ලෝකයට කර්තෘ වෙමි, ලෝකය මවන්නෙක් වෙමි. ලෝකයට උත්තම වෙමි. සත්වයන් කොටස්වලට බෙදන්නෙක් වෙමි, පුරුදු කරණ ලද ධ්‍යාන ඇත්තෙමි. උපන්නාවූද උපදින්නාවූද සියලු සත්වයන්ට පියා වෙමි.”

කෙවට්ටය, තෙවනුවද ඒ භික්ෂුව ……ඇවැත්නි, මම ඔබගෙන් මෙසේ අසමි. ඇවැත්නි, පස්ධාතු දියධාතු ගිනිධාතු වායුධාතු යන මේ සතර මහා භූතයෝ කවර තැනක කුමකට පැමිණ කුමකට පැමිණි තැනැත්තාහට ඉතුරුනොවී නැවත නූපදින පරිදි විනාශ වන්නාහුදැයි කියාය.

§ “කෙවට්ටය, එවිට ඒ මහාබ්‍රහ්මතෙම ඒ භික්ෂුව අතින් අල්වාගෙන එක්පැත්තකට පමුණුවා, ඒ භික්ෂුවට මේ කාරණය කීයේය.
‘මහණ, මේ බ්‍රහ්මකායික දෙවියෝ මා ගැන මෙසේ දනිත්:
“මහාබ්‍රහ්මයා විසින් නොදක්නාලද කිසිවක් නැත්තේය. මහාබ්‍රහ්මයා විසින් අවබෝධ නොකරන ලද කිසිවකුත් නැත්තේයයි කියායි. එහෙයින් මම ඔවුන් ඉදිරියෙහි මේ කාරණය නොදන්නා බව ප්‍රකාශ නොකෙළෙමි. මහණ, පස්ධාතු දියධාතු ගිනිධාතු වායුධාතු යන සතර මහාභූතයෝ යම්තැනක ඉතුරුනොවී නැවත නූපදින පරිදි විනාශවන්නාහුද යන මේ කාරණය මමද නොදනිමි’ කියායි.

“මහණ, කුමන හේතුවකින් නුඹවහන්සේ භාග්‍යවතුන් වහන්සේ ඉක්මවා මේ ප්‍රශ්නය විසඳීම පිණිස බඹලොව දක්වා පිටත සෙවීමට පැමිණියෙහිද. මහණ, එබැවින් නුඹ වහන්සේ විසින් මේ කාරණය වරදවා කරණ ලද්දේය, අපරාධයක් කරණ ලද්දේය. මහණ, නුඹවහන්සේ වැඩිය මැනව. ඒ භාග්‍යවතුන් වහන්සේ වෙතට පැමිණ මේ ප්‍රශ්නය ඇසුව මැනව. යම් ආකාරයකින් භාග්‍යවතුන් වහන්සේ නුඹවහන්සේට ප්‍රකාශකරණසේක්ද එපරිද්දෙන් එය පිළිගත මැනවයි’ මහාබ්‍රහ්මයා කීයේය.

“කෙවට්ටය, එවිට ඒ භික්ෂුතෙම ශක්තිමත් පුරුෂයෙක් හකුළාගත් අතක් දිඟුකරන්නේ හෝ යම්සේද, දිඟුකළ අතක් හකුළන්නේ හෝ යම්සේද, ඒ ආකාරයෙන් බ්‍රහ්මලෝකයෙන් නොපෙනී ගොස් මාගේ ඉදිරියෙහි පහළවූයේය. කෙවට්ටය එවිට ඒ භික්ෂුතෙම වැඳ එකපැත්තක උන්නේය. කෙවට්ටය, එකපැත්තක උන්නාවූ ඒ භික්ෂුතෙම මා මෙසේ ප්‍රශ්නකළේය.”

“ස්වාමීනි (පස්ධාතු, දියධාතු, ගිනිධාතු, වායුධාතු යන මේ සතර මහාභූතයෝ කවර තැනෙක්හි කුමකට පැමිණ, කුමකට පැමිණි තැනැත්තාහට ඉතුරුනොවී නැවත නූපදින පරිදි විනාශවන්නාහුදැයි”) කියායි

තීර දස්සිස කුණුපමා

§ 85. “කෙවට්ටය, මෙසේ ඇසූ කල මම ඒ භික්ෂුවට මේසේ කීවෙමි.

“මහණ, පෙර පැවැති කරුණක් කියමි.
මුහුදෙහි යාත්‍රා කරන්නාවූ වෙළෙන්දෝ වෙරළ දකින ගති ඇති කවුඩු, උකුසු වැනි කුරුල්ලෙකු ගෙන නැවෙන් මුහුද තරණය කරත්ද, ඔව්හු වෙරළ නොදක්නාවූ බැවින් වෙරළ දකින ගති ඇති කුරුල්ලා මුදත්. ඒ කුරුල්ලා නැගෙනහිර දිසාවට යයි, දකුණු දිසාවට යයි, බස්නාහිර දිසාවට යයි, උතුරු දිසාවට යයි, උඩටද යයි, පහල දිසාවටද යයි. ඉදින් ඒ කුරුල්ලා හාත්පස වෙරළක් දක්නේද ඒ වෙරළ දෙසට යන්නේය. ඉදින් ඒ කුරුල්ලා හාත්පස වෙරළක් නොදක්නේ නම් ඒ නැවටම ආපසු එයි’

මහණ, එපරිද්දෙන්ම ඔබ බ්‍රහ්ම ලෝකය දක්වා සොයන්නේ මේ ප්‍රශ්නය විසඳන්නෙකු හමු නොවූයෙහිද එහෙයින් නැවත මා වෙතම හැරී ආයෙහිය. මහණ, ඒ ප්‍රශ්නය මෙසේ නොඇසිය යුතුයි. කෙසේද?
“ස්වාමීනි, පඨවිධාතු අපොධාතු තෙජොධාතු වායොධාතු යන මේ සතර මහාභූතයෝ කවර තැනෙක්හිදී, කුමකට පැමිණ කුමකට පැමිණ අවශේෂයක් ඉතිරි නොවී නැවත ඇති නොවන පරිදි විනාශ වන්නාහුදැ, කියා නොඇසිය යුතුය.’

මහණ මේ ප්‍රශ්නය ඇසිය යුත්තේ මෙසේය:-

කුමකට පැමිණ කුමක් හේතුකොටගෙන පස්, දිය, වතුර වායු යන සතර මහාභූතයෝ නොපිහිටත්ද හෙවන් පිහිටීම නොලබත්ද කවර තැනෙක්හි දීර්ඝවූ හෝ කොටවූ හෝ සියුම්වූ හෝ මහත්වූ හෝ ප්‍රියවූ හෝ අප්‍රියවූ හෝ (උපාදාය රූප රැස) මහාභූතයන් නිසා පවත්නා කුඩා රූපධාතු සමූහය නොපිහිටාද හෙවත් පිහිටීම නොලබාද කවර තැනක කුමකට පැමිණ නාමයත් රූපයත් (සිතත් කයත්) ඉතිරි නොවී නිරුද්ධවේද කියායි.

‘එහි විවරණය මෙසේ වෙයි.’

‘නුවණින් දැනගත යුතුවූ ඇසින් නොදැක්ක හැකිවූ ඉපදීම්, නැතිවීම කොන් නැති හැම පැත්තෙන්ම පැමිණිය හැකි තොටවල් ඇති මේ නිර්වාණ ධාතුවට පැමිණ පස්, දිය, ගිනි, වායු යන සතර මහාභූතයෝ පිහිටීම නොලබත්. මෙහි දීර්ඝවූ හෝ කොටවූ හෝ කුඩාවූ හෝ මහත්වූ හෝ ප්‍රියවූ හෝ අප්‍රියවූ හෝ මහාභූතයන් නිසා පවත්නා කුඩා රූපයෝ නොපිහිටත්. මෙහි නාම රූප දෙක ඉතිරි නොවී නිරුද්ධ වෙයි. විඤ්ඤාණ (සිත) නිරෝධයෙන් මේ නාමරූප රාශිය මේ නිර්වාණයට පැමිණ ඉතිරි නොවී නැවත නූපදින පරිදි නිරුද්ධ වෙයි.

භාග්‍යවතුන් වහන්සේ මේ ධර්මය වදාළසේක. සතුටු සිත් ඇති “කේවඩ්ඩ, ගෘහපති පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේගේ ධර්මදේශනාව සතුටින් පිළිගත්තේය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.