MN 03-02-03 සත්පුරුෂ සුත්‍රය

පැවිද්දන් අතර අදද දකින්නට හැකි අසත්පුරුෂ ලක්ෂණ ගැන මේ සුත්‍රයේ සඳහන් වෙයි. මමඥතාව දුරු කිරීම බොහෝ ඈත අනාගතයේදී සිදු වුවත් අද අදම තමන්ගේ ප්‍රසිද්ධිය, ඉගෙනීම, ගරු සම්මාන, වත් පොහොසත්කම් ගැන ඇති මානය, ආඩම්බරය දුරු කරගෙන නිහතමානි, සත්පුරුෂයන් වීමට මේ සුත්‍ර විවරණය උපකාරී වේවා.

පුජ්‍ය කහගල සාරානන්ද හිමි කල සුත්‍ර විවරණය

§ 1. මා විසින් මෙසේ අසනලදී.
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැන් නුවර අනේපිඩු සිටුහු විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි” කියා භික්ෂූන්ට කථාකළසේක.
“ස්වාමීනි”යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.

§ 2. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. “මහණෙනි, තොපට සත්පුරුෂයෙකු ගේ ලක්ෂණද , අසත්පුරුෂයෙකුගේ ලක්ෂණ ද දේශනාකරන්නෙමි. එය අසව්, මැනවින් මෙනෙහි කරව්, දේශනා කරන්නෙමි”යි කියායි.
‘ස්වාමීනි, එසේයයි’ ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.

§ 3 . භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළේය.
“මහණෙනි, අසත්පුරුෂයෙකු ගේ ගති ස්වභාව කෙසේද?

මහණෙනි, අසත්පුරුෂයෙක් තමා උසස් කුලයකින් නික්ම පැවිදිවූයේ නම්, මෙසේ කල්පනා කරයි. “මම උසස් කුලයකින් නික්ම පැවිදිවූයෙමි . මේ අනික් භික්ෂූහු , මා මෙන් උසස් කුලයෙන් නික්ම පැවිදි වූවෝ නොවෙති.” ඔහු තම කුල 1063 පරපුරේ උසස්බව කුලවත්බව නිසා තමා ගිහි ගෙය හැර සිටිතත් , තමා අන් පැවිද්දන්ට වඩා උසස්කොට සලකයි. අනුන් පහත්කොට සලකයි. මහණෙනි, මෙය අසත්පුරුෂ මිනිසාගේ ලක්ෂණයකි.

[1063: කුල වාදය ඉතා බලවත් සේ සැලකු බුද්ධ කාලින සමාජයේ පැවිද්දන් පවා මේ අත් නොහල බව විවිධ අවස්ථාවල දැක්ක හැක.]

“මහණෙනි, සත්පුරුෂයා මෙසේ කල්පනා කරයි.
‘උසස්බව නිසා, කුලවත්බව නිසා, ලෝභය අඩුවීම සිදු නොවේ. දෝස ස්වභාවයෝ අඩු නොවේ. මෝහ ස්වභාවයෝ අඩු නොවේ1064.. ඉදින් උසස් කුලයෙකින් නික්ම පැවිදි නොවූ කෙනෙකු ධර්මය අනුව ප්‍රතිපත්තියේ යෙදෙන්නේ නම් , ආර්ය අෂ්ඨාංගික මාර්ගයට පිළිපන්නේ නම්, ධර්මයට අනුව හැසිරෙන්නේ නම්, ඒ භික්ෂූව ට ගරු කල යුතුය. ප්‍රසංසා කල යුතුවේ.” කියායි.
ඔහු ධර්ම ප්‍රතිපත්තියම පමණක් වැදගත් ලෙස දකිනා ඔහු තමා උසස්කොට නොසිතයි. අනුන් පහත්කොට නොසිතයි මහණෙනි, මෙය සත්පුරුෂයාගේ ලක්ෂණයකි.

§ 4. “තවද මහණෙනි, අසත්පුරුෂයා තමන්
“මහා මුදලි, හෝ රජ පරම්පරාවකින් පැවිද්දට ආ කෙනෙක් නිසා මෙසේ කල්පනා කරයි. මම මහා මුදලි රජ පරම්පරාවකින් නික්ම පැවිදි වූයේමි. මේ අනිත් පැවිද්දෝ මගේ පරම්පරාව බඳු උසස් පවුලකින් ආවෝ නොවෙති. ඔහු තම පරපුරේ උසස්බව නිසා තමා ගිහි ගෙය හැර සිටිතත් , තමා අන් පැවිද්දන්ට වඩා උසස්කොට සලකයි. අනුන් පහත්කොට සලකයි. මහණෙනි, මෙය අසත්පුරුෂ මිනිසාගේ ලක්ෂණයකි.

“මහණෙනි, සත්පුරුෂයා මෙසේ කල්පනා කරයි.
‘උසස්බව නිසා, ලෝභයේ අඩුවීම සිදු නොවේ. දෝස ස්වභාවයෝ අඩු නොවේ. මෝහ ස්වභාවයෝ අඩු නොවේ.. ඉදින් උසස් කුලයෙකින් නික්ම පැවිදි නොවූ කෙනෙකු ධර්මය අනුව ප්‍රතිපත්තියේ යෙදෙන්නේ නම් , ආර්ය අෂ්ඨාංගික මාර්ගයට පිළිපන්නේ නම්, ධර්මයට අනුව හැසිරෙන්නේ නම්, ඒ භික්ෂූව ට ගරු කල යුතුය. ප්‍රසංසා කල යුතුවේ.” කියායි.
ඔහු ධර්ම ප්‍රතිපත්තියම පමණක් වැදගත් ලෙස දකිනා ඔහු තමා උසස්කොට නොසිතයි. අනුන් පහත්කොට නොසිතයි මහණෙනි, මෙය සත්පුරුෂයාගේ ලක්ෂණයකි.

§ 5 . “තවද මහණෙනි, අසත්පුරුෂයා තමන්
“ධනවත් පවුලකින් නික්ම පැවිද්දට ආ කෙනෙක් නිසා මෙසේ කල්පනා කරයි. මම මහා ධනවත් පවුලකින් නික්ම පැවිදි වූයේමි. මේ අනිත් පැවිද්දෝ මගේ පවුල බඳු ධනවත් පවුලකින් ආවෝ නොවෙති.

ඔහු තම පවුලේ ධනවත් බව නිසා තමා ගිහි ගෙය හැර සිටිතත් , තමා අන් පැවිද්දන්ට වඩා උසස්කොට සලකයි. අනුන් පහත්කොට සලකයි. මහණෙනි, මෙය අසත්පුරුෂ මිනිසාගේ ලක්ෂණයකි.

“මහණෙනි, සත්පුරුෂයා මෙසේ කල්පනා කරයි.
‘ ධනවත් කම නිසා, ලෝභයේ අඩුවීම සිදු නොවේ. දෝස ස්වභාවයෝ අඩු නොවේ. මෝහ ස්වභාවයෝ අඩු නොවේ.. ඉදින් දුප්පත් පවුලකින් නික්ම පැවිදිවූ කෙනෙකු ධර්මය අනුව ප්‍රතිපත්තියේ යෙදෙන්නේ නම් , ආර්ය අෂ්ඨාංගික මාර්ගයට පිළිපන්නේ නම්, ධර්මයට අනුව හැසිරෙන්නේ නම්, ඒ භික්ෂූව ට ගරු කල යුතුය. ප්‍රසංසා කල යුතුවේ.” කියායි.
ඔහු ධර්ම ප්‍රතිපත්තියම පමණක් වැදගත් ලෙස දකිනා ඔහු තමා උසස්කොට නොසිතයි. අනුන් පහත්කොට නොසිතයි මහණෙනි, මෙය සත්පුරුෂයාගේ ලක්ෂණයකි.

§ 6 . “තවද මහණෙනි, අසත්පුරුෂයා තමන් ” (දේශපාලන වශයෙන්, හෝ ඥාති වර්ගයාගේ බලවත් කම නිසා) බලවන්ත පවුලකින් නික්ම පැවිද්දට ආ කෙනෙක් නිසා මෙසේ කල්පනා කරයි.
“මම මහා බලවත් පවුලකින් නික්ම පැවිදි වූයේමි. මේ අනිත් පැවිද්දෝ මගේ පවුල බඳු බලවත් පවුලකින් ආවෝ නොවෙති.”

ඔහු තම පවුලේ බලවත් බව නිසා තමා ගිහි ගෙය හැර සිටිතත් , තමා අන් පැවිද්දන්ට වඩා උසස්කොට සලකයි. අනුන් පහත්කොට සලකයි. මහණෙනි, මෙය අසත්පුරුෂ මිනිසාගේ ලක්ෂණයකි.

“මහණෙනි, සත්පුරුෂයා මෙසේ කල්පනා කරයි.
‘ බලවත් කම නිසා, ලෝභයේ අඩුවීම සිදු නොවේ. දෝස ස්වභාවයෝ අඩු නොවේ. මෝහ ස්වභාවයෝ අඩු නොවේ.. ඉදින් බලවත් නොවූ පවුලකින් නික්ම පැවිදිවූ කෙනෙකු ධර්මය අනුව ප්‍රතිපත්තියේ යෙදෙන්නේ නම් , ආර්ය අෂ්ඨාංගික මාර්ගයට පිළිපන්නේ නම්, ධර්මයට අනුව හැසිරෙන්නේ නම්, ඒ භික්ෂූව ට ගරු කල යුතුය. ප්‍රසංසා කල යුතුවේ.” කියායි.
ඔහු ධර්ම ප්‍රතිපත්තියම පමණක් වැදගත් ලෙස දකිනා ඔහු තමා උසස්කොට නොසිතයි. අනුන් පහත්කොට නොසිතයි මහණෙනි, මෙය සත්පුරුෂයාගේ ලක්ෂණයකි.

§ 7 . “තවද මහණෙනි, අසත්පුරුෂයා ප්‍රසිද්ධ කෙනෙක් වූයේනම්, බොහෝ පිරිවර ඇත්තේ නම්, මෙසේ කල්පනා කරයි. ‘මම බොහෝ ප්‍රසිද්ධ දේශකයෙක් , ධර්ම කතිකයෙක්, වෙමි. බොහෝ මිනිසුන් මට කැමති වෙති. මා යන යන තැන බොහෝ පිරිස් මා පිරිවරමින් එන්නේය. මේ අනික් භික්ෂූන්හට, මට මෙන් ප්‍රසිද්ධියක් නැත. මට මෙන් පිරිකර , සැලකුම් ලැබෙන්නේද නැත. මට මෙන් පිරිවරණ දායකයෝද නැත.”

මෙසේ තම ප්‍රසිද්ධ බව කරණකොට ගෙන තමා උසස්කොට සිතයි. අනුන් පහත්කොට සලකයි. මහණෙනි, මෙයද අසත් පුරුෂයාගේ ලක්ෂණයකි.

“මහණෙනි, සත්පුරුෂයකු මෙසේ කල්පනා කරයි.
‘ප්‍රසිද්ධ වීම, පිරිවර ඇතිවීම නිසා ලෝභ ස්වභාවයෝ අඩු නොවෙති. දෝෂ ස්වභාවයෝ අඩු නොවෙති.. මෝහ ස්වභාවයෝ අඩු නොවෙති.. ඉදින් අප්‍රකටවූද, පිරිවර නැත්තේ නමුදු, භික්ෂුවක් ධර්මය අනුව ප්‍රතිපත්තියේ යෙදෙන්නේ නම් , ආර්ය අෂ්ඨාංගික මාර්ගයට පිළිපන්නේ නම්, ධර්මයට අනුව හැසිරෙන්නේ නම්, ඒ භික්ෂූව ට ගරු කල යුතුය. ප්‍රසංසා කල යුතුවේ.” කියායි.
ධර්ම ප්‍රතිපත්තියම පමණක් වැදගත් ලෙස දකිනා ඔහු තමා උසස්කොට නොසිතයි. අනුන් පහත්කොට නොසිතයි. මහණෙනි, මහණෙනි, මෙයද සත්පුරුෂයාගේ ලක්ෂණයකි

§ 8. “තවද මහණෙනි, අසත්පුරුෂයා, තමා බොහෝ චීවර, පිණ්ඩපාත, සෙනාසන, ගිලානප්‍රත්‍යය යන සිව්පසය ලබන්නෙක් වේද, හෙතෙම මෙසේ කල්පනා කරයි.
‘මම බොහෝ චීවර, පිණ්ඩපාත, සේනාසන ගිලානප්‍රත්‍යය යන සිව්පසය ලබන්නෙමි. අනික් භික්ෂූහු එසේ චීවර, පිණ්ඩපාත, සෙනාසන, ගිලානප්‍රත්‍යය නොලබත්ය’ කියායි.

හෙතෙම ඒ සිව් පස ලාභය කරණ කොටගෙන තමා උසස්කොට සලකයි. අනුන් හෙළාදකියි. මහණෙනි, මෙයද අසත්පුරුෂයාගේ ලක්ෂණයකි.

“මහණෙනි, සත්පුරුෂයා මෙසේ කල්පනා කරයි. ‘සිව් පස ලාභය නිසා ලෝභ ස්වභාවයෝ අඩු නොවෙති. දෝෂ ස්වභාවයෝ අඩු නොවෙති.. මෝහ ස්වභාවයෝ අඩු නොවෙති.. ඉදින් අප්‍රකටවූද, පිරිවර නැත්තේ නමුදු, භික්ෂුවක් ධර්මය අනුව ප්‍රතිපත්තියේ යෙදෙන්නේ නම් , ආර්ය අෂ්ඨාංගික මාර්ගයට පිළිපන්නේ නම්, ධර්මයට අනුව හැසිරෙන්නේ නම්, ඒ භික්ෂූව ට ගරු කල යුතුය. ප්‍රසංසා කල යුතුවේ.” කියායි.
ධර්ම ප්‍රතිපත්තියම පමණක් වැදගත් ලෙස දකිනා ඔහු තමා ලබන ලාභයන් නිසා තමන් උසස්කොට නොසිතයි. අනුන් පහත්කොට නොසිතයි. මහණෙනි, මහණෙනි, මෙයද සත්පුරුෂ යාගේ ලක්ෂණයකි

§ 9 .“තවද මහණෙනි, අසත්පුරුෂයා බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තෙක් වේනම්, බොහෝ සේ උසස් අධ්‍යාපනය ලබා බොහෝ විභාග සමත්ව උපාධි, සහතික, සම්මාන, රාජකීය පණ්ඩිත, අභිධර්ම විශාරද, වාගීශ්වර, තනතුරු ලබා මෙසේ කල්පනා කරයි.
‘මම බොහෝ බහුශ්‍රැත භික්ෂුවක් වෙමි. මේ අන්‍ය භික්ෂූහු මා මෙන් එසේ බහුශ්‍රැත නොවෙතියි’ කියායි.
ඔහු ඒ බහුශ්‍රැත බැවින් තමා උසස්කොට සලකයි. අනුන් හෙළාදකියි.
මහණෙනි, මෙයද අසත්පුරුෂයාගේ ලක්ෂණයකි.

“මහණෙනි, සත්පුරුෂයා මෙසේ කල්පනා කරයි.
“බහුශ්‍රැත බව නිසා ලෝභ ස්වභාවයෝ අඩු නොවෙති. දෝෂ ස්වභාවයෝ අඩු නොවෙති. මෝහ ස්වභාවයෝ අඩු නොවෙති. ඉදින් බහුශ්‍රැත නොවූයේ නමුදු, තමා ධර්මය අනුව පිළිපදින්නේ, සුදුසු පිළිවෙතට පිළිපන්නේ, ධර්මය අනුව හැසිරෙන්නේ වේද, හෙතෙම ඒ භික්ෂූන් අතුරෙන් පිදිය යුතු වේ. හෙතෙම ඒ භික්ෂූන් අතුරෙන් ප්‍රශංසා කටයුතුවේ’ කියායි.

ධර්ම ප්‍රතිපත්තියම පමණක් වැදගත් ලෙස දකිනා ඔහු තමාගේ උගත් කම උසස්කොට නොසිතයි. අනුන් පහත්කොට නොසිතයි.
මහණෙනි, මහණෙනි, මෙයද සත්පුරුෂයාගේ ලක්ෂණයකි.

§ 10. “තවද මහණෙනි, අසත්පුරුෂයා විනයධරයෙක් වේ නම් , ඔහු මෙසේ කල්පනා කරයි.
‘මම විනයධරයෙක් වෙමි. මේ අන්‍ය භික්ෂූහු විනයධරයෝ නොවෙති’ කියාය. හෙතෙම ඒ විනයධර බැවින් තමා උසස් කොට සලකයි. අනුන් හෙළාදකියි. මහණෙනි, මෙයද අසත්පුරුෂයාගේ ලක්ෂණයකි. …….

§ 11. “තවද මහණෙනි, අසත්පුරුෂයා ප්‍රසිද්ධ ධර්ම දේශකයෙක් වේ නම් , ඔහු ……

§ 12. “තවද මහණෙනි, අසත්පුරුෂයා වන වාසී භික්ෂුවක් නම් ඔහු …..

§ 13. “තවද මහණෙනි, අසත්පුරුෂයා පාංශුකුලික සිව්රු පමණක් දරන්නෙක් වේ නම් , ඔහු ……

§ 14. “තවද මහණෙනි, අසත්පුරුෂයා පිණ්ඩපාතයෙන් පමණක් යපෙන්නෙක් වේ නම් , ඔහු….

§ 15. “තවද මහණෙනි, අසත්පුරුෂයා වෘක්ෂමුලික වාසි වේ නම් , ඔහු……

§ 16. “තවද මහණෙනි, අසත්පුරුෂයා සොහොන් බිමක වසන්නේ නම් , ඔහු……

§ 17. “තවද මහණෙනි, අසත්පුරුෂයා එළිමහනේ පමණක් වසන්නේ නම් , ඔහු……

§ 18. “තවද මහණෙනි, අසත්පුරුෂයා ඵලක් බැඳගෙන පමණක් සිටින්නේ නම් (නෙසජ්ජිකාංගය රකින්නේ නම්) , ඔහු……

§ 19 “තවද මහණෙනි, අසත්පුරුෂයා වෘක්ෂමුලික වාසි වේ නම් , ඔහු……

§ 20. “තවද මහණෙනි, අසත්පුරුෂයා එක ආහාරයක් පමණක් ගන්නේ නම් , ඔහු, ඒ …. බැවින් තමා උසස් කොට සලකයි. අනුන් හෙළාදකියි. මහණෙනි, මෙයද අසත්පුරුෂයාගේ ලක්ෂණයකි. …….

§ 21. “තවද මහණෙනි, අසත්පුරුෂයෙකු කාමයන්ගෙන් වෙන්ව විතර්ක සහිතවූ, විචාර සහිතවූ, විවේකයෙන් හටගත්තාවූ ප්‍රීතිසැපය ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වාසය කෙරෙයි ද,. ඔහු මෙසේ කල්පනා කරයි

‘මම ප්‍රථමධ්‍යාන සමාපත්තිය ලාභියෙක් වෙමි. මේ අනික් භික්ෂුහු ප්‍රථමධ්‍යාන සමාපත්ති ලාභීහු නොවෙත්ය’ කියායි. හෙතෙම ඒ තමා ලත් ප්‍රථම ධ්‍යාන සමාපත්තිය කරණකොටගෙන තමා උසස්කොට සලකයි. අනුන් හෙළාදකියි. මහණෙනි, මෙයද අසත්පුරුෂයාගේ ලක්ෂණයකි.

“මහණෙනි, සත්පුරුෂයා මෙසේ සිතයි.
‘මහණෙනි, ප්‍රථමධ්‍යාන සමාපත්තියෙනුදු තෘෂ්ණා රහිත වන බව භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලදී. යම් යම් ආකාරයකින් තෘෂ්ණාව දෘෂ්ටි වශයෙන් හඟිත්ද, එය එයින් අන් අයුරකින්ම වේ.’ 1064

[1064:- යං පස්සති න තං ඉච්ඡති, යඤ්ච න පස්සති තං කිරිච්ඡති;මඤ්ඤාමි චිරං චරිස්සති,
න හි තං ලච්ඡති යං ස ඉච්ඡති. යං ලභති න තෙන තුස්සති,
යඤ්ච පත්ථෙති ලද්ධං හීළෙති;ඉච්ඡා හි අනන්තගොචරා, විගතිච්ඡාන නමො කරොමසෙති. හි දක්වා ඇති ලෙස මමඥඥතාවය ඇති තාක් කල් සම්පුර්න වශයෙන් තෘෂ්ණාව දුරු කිරීම සිදු නොවේ. එය තමා තුලින් දකින සත් පුරුෂයා ඒ අවබෝධ කරගනී.]

එබැවින් ඔහු තෘෂ්ණා රහිත බව කරුණු කොට ඒ ප්‍රථමධ්‍යාන සමාපත්තියෙන් තමා උසස් කොට නොසිතයි. අනුන් පහත්කොට නොසලකයි. මහණෙනි, මෙයද සත්පුරුෂයාගේ ලක්ෂණයකි.

§ 22 “තවද මහණෙනි, අසත්පුරුෂයෙක් විතර්ක විචාරයන්ගේ සංසිඳුවීමෙන් සිත පහදවන්නාවූ සිත එකඟ කරන්නාවූ විතර්ක රහිතවූ විචාර රහිතවූ ද්විතීය ධ්‍යානයට පැමිණ වාසය කරයි. හෙතෙම මෙසේ කල්පනා කරයි.
‘මම ද්විතීය ධ්‍යාන ලාභියෙක් වෙමි. මේ අනික් භික්ෂූහු ද්විතීය ධ්‍යාන ලාභීහු නොවෙත්” කියායි.

ඔහු තමා විඳින ද්විතීය ධ්‍යාන සමාපත්තිය නිසා තමා උසස් කොට සලකයි. අනුන් පහත් කොට සලකයි. මහණෙනි, මෙයද අසත්පුරුෂයාගේ ලක්ෂණයකි.

“මහණෙනි, සත්පුරුෂයා මෙසේ සිතයි,
‘ද්විතීය ධ්‍යාන සමාපත්තියෙනුදු තෘෂ්ණා රහිත වන බව භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරනලදී, යම් යම් ආකාරයකින් තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් හඟිද්ද, එය එයින් අන් අයුරකින්ම වේ.’

එබැවින් ඔහු ඒ තෘෂ්ණා රහිත බව කරුණු කොට තමා උසස් කොට නො සිතයි. අනුන් පහත් කොට නොසිතයි. මහණෙනි, මෙයද සත්පුරුෂයාගේ ලක්ෂණයකි..

§ 23. “තවද මහණෙනි, අසත් පුරුෂයා ප්‍රීතියද දුරු කිරීමෙන් උපෙක්ෂාවෙන් යුක්තව වාසය කරයි. සිහි නුවණ දෙකින් යුක්තව කයින්ද සැපය විඳියි. යම් ධ්‍යානයක් උපේක්ෂාවෙන් යුක්ත වූයේ සිහියෙන් යුක්ත වූයෙන් සැපයෙන් යුක්තව වාසය කෙරේයයි, ආර්‍ය්‍යයෝ කියත්ද, ඒ තෘතීය ධ්‍යානයට පැමිණ වාසය කරයි.

ඔහු මෙසේ සිතයි. ‘මම තෘතීය ධ්‍යාන ලාභියෙක් වෙමි. මේ අනික් භික්ෂූහු තෘතීය ධ්‍යාන ලාභීහු නොවෙත්’ කියායි. ඔහු ඒ තෘතීය ධ්‍යාන සමාපත්තිය කරණ කොට ගෙන තමා උසස් කොට සලකයි. අනුන් පහත් කොට සලකයි. මහණෙනි, මෙයද අසත්පුරුෂයාගේ ලක්ෂණයකි.

“මහණෙනි, සත්පුරුෂයා මෙසේ සිතයි.
‘මහණෙනි, මේ තෘතීය ධ්‍යාන සමාපත්තියෙනුදු තෘෂ්ණා රහිතවන බව භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලදී. යම් යම් ආකාරයකින් තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් හඟිත්ද, එය එයින් අන්අයුරකින්ම වේ.’

ඔහු තෘෂ්ණා රහිත බව කරුණු කොට ඒ තෘතීය ධ්‍යාන සමාපත්තියෙන් තමා උසස් කොට නොසිතයි. අනුන් පහත් කොට නොසලකයි. මහණෙනි, මෙයද සත්පුරුෂයාගේ ලක්ෂණයකි..

§ 24 . “තවද මහණෙනි, අසත්පුරුෂයා සැපය දුරු කිරීමෙන්ද දුක්ඛය දුරුකිරීමෙන්ද පළමුවම සොම්නස් දොම්නස් දෙක දුරුකිරීමෙන්ද, සැපයද, නැති දුකද නැති උපෙක්ෂාවෙන් හටගත් පිරිසිදු සිහිය ඇති චතුර්ථධ්‍යානයට පැමිණ වාසය කරයි.

ඔහු මෙසේ සිතයි. ‘මම දැන් චතුර්ථ ධ්‍යාන ලාභියෙක් වෙමි. මේ අන්‍ය භික්ෂූහු චතුර්ථ ධ්‍යාන ලාභීහු නොවෙත්, කියායි.’

චතුර්ථධ්‍යාන සමාපත්තිය කරණ කොටගෙන තමා උසස්කොට සලකයි. අනුන් හෙළාදකියි.
මහණෙනි, මෙයද අසත්පුරුෂයාගේ ලක්ෂණයකි

‘මහණෙනි, සත්පුරුෂයා මෙසේ සිතයි. ‘චතුර්ථධ්‍යාන සමාපත්තියෙනුදු තෘෂ්ණා රහිත බව භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී. යම් යම් ආකාරයකින් තෘෂ්ණාදෘෂ්ටි වශයෙන් හඟිද්ද එය අනික් පරිද්දකින්ම වේය” යනුවෙනි.

ඔහු තෘෂ්ණා රහිත බවම කරුණුකොට ඒ චතුර්ථධ්‍යාන සමාපත්තිය කරණ කොට ගෙන තමන් උසස්කොට නොසලකයි අනුන් පහත්කොට නොසිතයි.
මහණෙනි, මෙයද සත්පුරුෂයාගේ ලක්ෂණයකි.

§ 25. “තවද මහණෙනි, අසත්පුරුෂයා සියලු ආකාරයෙන් රූප සංඥාවන්ගේ ඉක්මවීමෙන්, ගැටීම් සංඥාවන්ගේ දුරුකිරීමෙන්, නොයෙක්සංඥාවන්ගේ නොමෙනෙහි කිරීමෙන් ආකාශය අනන්තයයි භාවනාකොට ආකාසානඤ්චායතනයට පැමිණ වාසය කෙරෙයි.

ඔහු මෙසේ සිතයි, ‘මම දැන් ආකාසානඤ්චායතන සමාධි ලාභියෙක් වෙමි. මේ අනික් භික්ෂූහු ආකාසානඤ්චායතන සමාපත්තිලාභීහූ නොවෙත්ය’ කියායි.
ඔහු ඒ ආකාසානඤ්චායතන සමාපත්තිය කරණකොට තමන් උසස්කොට සිතයි. අනුන් හෙළා දකියි.
මහණෙනි, මෙයද අසත්පුරුෂයාගේ ලක්ෂණයකි

“මහණෙනි, සත්පුරුෂයා මෙසේ සිතයි. ‘ආකාසානඤ්චායතන සමාපත්තියෙනුදු තෘෂ්ණා රහිතබව භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණලදී. යම් යම් ආකාරයකින් තෘෂ්ණාදෘෂ්ටි වශයෙන් හඟිද්ද, එය එයින් අන් අයුරකින්ම වෙයි’ කියායි.

ඔහු තෘෂ්ණා රහිත බව කරුණුකොට එම ආකාසානඤ්චායතන සමාපත්තිය කරණ කොටගෙන තමා උසස්කොට නොසිතයි. අනුන් හෙළා නොදකියි.
මහණෙනි, මෙයද සත්පුරුෂයාගේ ලක්ෂණයකි.

§ 26. “තවද මහණෙනි, අසත්පුරුෂයා සියලු ආකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා විඤ්ඤාණය අනන්තය’යි විඤ්ඤාණඤ්චායතනයට පැමිණ වාසය කරයි.

ඔහු මෙසේ කල්පනා කරයි. ‘මම දැන් විඤ්ඤාණඤ්චායතන සමාපත්ති ලාභියෙක් වෙමි. මේ අනික් භික්ෂුහු විඤ්ඤාණඤ්චායතන සමාපත්ති ලාභීහු නොවෙති,’ කියායි.

ඔහු ඒ විඤ්ඤාණඤ්චායතන සමාපත්තිය කරණකොටගෙන තමන් උසස්කොට සිතයි. අනුන් හෙළාදකියි.
මහණෙනි, මෙයද අසත්පුරුෂයාගේ ලක්ෂණයකි

“මහණෙනි, සත්පුරුෂයා මෙසේ සිතයි.
‘විඤ්ඤාණඤ්චායතන සමාපත්තියෙනුදු තෘෂ්ණා රහිත බව භාග්‍යවතුන්වහන්සේ විසින් වදාරණ ලදී. යම් යම් ආකාරයකින් තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් හඟිද්ද, එය එයින් අන් අයුරකින්ම වේය’ කියායි.

ඔහු තෘෂ්ණා රහිත බවම කරුණු කොට එම විඤ්ඤාණඤ්චායතන සමාපත්තිය කරණකොට ගෙන තමා උසස්කොට නොසිතයි, අනුන් පහත්කොට නොසලකයි.
මහණෙනි, මෙයද සත්පුරුෂයාගේ ලක්ෂණයකි.

§ 27. “තවද මහණෙනි, අසත්පුරුෂයා සියළු ආකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා කිසිවක් නැතැයි භාවනා කොට ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වෙසෙයි.

ඔහු මෙසේ සිතයි.
‘මම දැන් ආකිඤ්චඤ්ඤායතන සමාපත්ති ලාභියෙක් වෙමි. මේ අනික් භික්ෂූහු ආකිඤ්චඤ්ඤායතන සමාපත්ති ලාභීහු නොවෙති’ කියායි.

ඔහු ආකිඤ්චඤ්ඤායතන සමාපත්තිය කරණකොටගෙන තමන් උසස් කොට සිතයි. අනුන් හෙළාදකියි.
මහණෙනි, මෙයද අසත්පුරුෂයාගේ ලක්ෂණයකි

“මහණෙනි, සත්පුරුෂයා මෙසේ සිතයි. ‘ආකිඤ්චඤ්ඤායතන සමාපත්තියෙනුදු තෘෂ්ණා රහිත බව භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණලදී. යම් යම් ආකාරයකින් තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් හඟිද්ද, එය අන් අයුරකින්ම වෙයි’ කියායි.

ඔහු තෘෂ්ණා රහිත බව කරුණුකොට එම ආකිඤ්චඤ්ඤායතන සමාපත්තිය කරණකොටගෙන තමා උසස්කොට නොසිතයි. අනුන් පහත්කොට නොසලකයි.
මහණෙනි, මෙයද සත්පුරුෂ ධර්මයකි.

§ 28. “තවද මහණෙනි, අසත්පුරුෂයා සියලු ආකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නෙවසඤ්ඤා නාසඤ්ඤායතනයට පැමිණ වෙසේ. හෙතෙම මෙසේ සිතයි.
‘මම දැන් නෙවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්ති ලාභියෙක් වෙමි. මේ අනික් භික්ෂූහු නෙවසඤ්ඤානා සඤ්ඤයතන සමාපත්තිලාභීහු නොවෙති’ කියායි.

ඔහු ඒ නෙවසඤ්ඤානාසඤ්ඤයතන සමාපත්තිය කරණකොටගෙන තමන් උසස්කොට සිතයි. අනුන් හෙළා දකියි.
මහණෙනි, මෙයද අසත්පුරුෂයාගේ ලක්ෂණයකි

“මහණෙනි, සත්පුරුෂයා මෙසේ සිතයි.
‘නෙවසඤ්ඤානාසඤ්ඤා සමාපත්තියෙනුදු තෘෂ්ණා රහිත බව භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණලදී. යම් යම් ආකාරයකින් තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් හඟිද්ද, එය එයින් අන් අයුරකින්ම වෙයි’ කියායි.

ඔහු තෘෂ්ණා රහිතබව කරුණුකොට එම නෙවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තිය කරණකොටගෙන තමා උසස්කොට නොසිතයි, අනුන් පහත්කොට නොසලකයි.
මහණෙනි, මෙයද සත්පුරුෂයාගේ ලක්ෂණයකි..

“තවද මහණෙනි, සත්පුරුෂයා මේ සියලු ආකාරයෙන් නෙවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා සඤ්ඤාවේදයික නිරෝධයට පැමිණ වෙසෙයි. නුවණින් දැක ආශ්‍රවයෝ ක්ෂය බවට පමුණුවත්. මහණෙනි, මේ භික්ෂුව කිසිවක් තණ්හා දිට්ඨි මාන වශයෙන් නොගනීයි. කිසි තැනෙක්හි තණ්හා දිට්ඨි මාන වශයෙන් නොසිතයි. කිසිවක් කරණ කොටගෙන තණ්හා දිට්ඨි මාන වශයෙන් නොසිතයි,” 1068

[1068:- න කිංචි මඥාති. න කුහින් චි මඥාති ]

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට සතුටුවූහ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.