
§ 1. මා විසින් මෙසේ අසනලදී.
එක් කලෙක්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවී නොබෝ කල්හි රජගහනුවර කලන්දක නිවාපනම්වූ වෙළුවනාරාමයෙහි1031 වාසය කරති.
[1031:- ශ්‍රී බුද්ධ ශරීරය ආදාහනයෙන් පසු ධාතුන් රජදරුවන්ට බෙදාදී පළමුවන ධර්ම සංගායනාවට සහභාගිවීම සඳහා ආයුෂ්මත් ආනන්ද ස්වාමින්වහන්සේ රජගහ නුවරට වැඩම කල බව අටුවාව කියයි.]
§ 2. එකල්හි වේදෙහි පුත්‍රවූ මගධ රටට අධිපතිවූ අජාත ශතෘ රජ තෙම පජ්ජොත රජ සිය රජයට විරුද්ධව යුද වදිතැයි සැකයෙන් රජගහ නුවර නොයෙක් ආරක්ෂක ඉදිකිරීම් කරවමින් නගරය ප්‍රතිසංස්කරණය කරවයි. 1032
[1032:- පජෝත රජු මගධයෙහි රජකළ බිම්බිසාර රජුගේ මිත්‍රයෙකි. බිම්බිසාරගේ පුත් අජාත සත්තු ඔහුව මරා රජවූ නිසා පජෝත රජු සිය මිතුරාගේ ඝාතනය සිදුකල අජාසත් ට පහර දෙන්නට සැරසෙතැයි අජාසත් සැක කල බව අටුවාව කියයි.]
§ 3 . ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් උදය කාලයෙහි හැඳ පොරවා පාත්‍ර සිව්රු ගෙණ රජගහ නුවරට පිඩු පිණිස වැඩියේය. එකල්හි රජගහ නුවර පිඩුපිණිස හැසිරීමට තවම කල්වැඩිය කියා සිතු ආනන්ද ස්ථවිරයන්ට . ගොපක මොග්ගල්ලාන නම් බ්‍රාහ්මණයාගේ කර්මාන්තය (වැඩපොල) ට ගොස්, එහි ඉන්නෙම් නම් හොඳය’යි අදහස්විය.
§ 4. ‘ඉක්බිති ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් ගොපක මොග්ගල්ලාන බ්‍රාහ්මණයාගේ වැඩපොල වෙත, පැමිණියේය. දුර එන්නාවූ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ දැක
” පින්වත් ආනන්ද ස්ථවිරයන් මෙහි එත්වා, පින්වත් ආනන්ද ස්ථවිරයන් වහන්සේගේ පැමිණීම යහපත්ය. පින්වත් ආනන්ද ස්ථවිරයන් බොහෝ කලකින් මෙහි පැමිණියේය. පින්වතුන් වහන්සේ මෙහි වැඩ හිඳිනු මැනව. මේ ආසනය පනවනලදැයි” කීය.
ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් ද පනවන ලද ආසනයෙහි වැඩ උන්නේය. ගෝපක මොග්ගල්ලාන ද, එක් මිටි ආසනයක් ගෙණ එක් පසක උන්නේය. එක්පසක උන්නාවූ ගෝපක මොග්ගල්ලාන ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේගෙන් මෙසේ ඇසීය.
ශාසනයේ නායකත්වය
§ 5. “ස්වාමිනි ආනන්දයන් වහන්ස. සෑම අතින්ම බුදු රජාණන් වහන්සේගේ අර්හත් සම්‍යක්සම්බුද්ධ ගුණ ඇති අන් එකදු ස්වාමින්වහන්සේ කෙනෙකු දැන් සාසනයේ ඉන්නේද?”යි ඇසීය.
“බ්‍රාහ්මණය, ඒ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ සතු ධර්මයන්ගෙන් යුක්තවූ අන් එක භික්ෂුවකුත් නැත්තේමය. බ්‍රාහ්මණය, ඒ භාග්‍යවතුන් වහන්සේ නූපන් මාර්ගය උපදවා දුන්නෙකි. නොතිබු මාර්ගයක් සාදා දුන්න්නෙකි. කලින් නොදත් මාර්ගය කියා දුන්නෙකි. උන් වහන්සේ මාර්ගය දන්නෙක. මාර්ගයෙහි දක්ෂයෙක, පසුව එන්නාවූ ඒ ධර්මයෙන් යුක්තවූ මාර්ගයට අනුව ගමන් කරන්නාවූ ශ්‍රාවකයෝ මෙකල වාසය කෙරෙත්යයි” කීය.
§ 6. ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේත් මොග්ගල්ලාන බ්‍රාහ්මණයාත් අතර පැවති මේ කථාව නිම කරන්නට පෙර , මගධ මහාමාත්‍යවූ වස්සකාර නම් බ්‍රාහ්මණ ඇමති, මේ රජගහ නුවර කෙරෙන කර්මාන්තයන් පරීක්ෂාකර බලමින් යන්නේ, ගෝපක මොග්ගල්ලාන බ්‍රාහ්මණයාගේ වැඩපොලටද එවේලේ පැමිණියේය. පැමිණ ආයුෂ්මත් ආනන්ද ස්ථවීරයන් වහන්සේ දැක සතුටු විය යුතුවූ, සිහිකටයුතුවූ, කථාකොට නිමවා එකත් පසක හිඳ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේගෙන් මෙසේ ඇසීය. “භවත් ආනන්ද ස්ථවිරයන් වහන්ස, දැන් ඔබලා කිනම් කථාවකින් යුක්තව හුන්නාහුද? නුඹ වහන්සේ හා ගෝපක මොග්ගල්ලාන බ්‍රාහ්මණ තුමා අතර කිනම් කථාවක් කොට නිම කරණ ලද්දීදැයි” ඇසීය.
“බ්‍රාහ්මණය, මාගෙන් ගොපක මොග්ගල්ලාන බ්‍රාහ්මණතුමා මේ ප්‍රශ්නය ඇසීය. ‘භවත් ආනන්ද ස්ථවිරයන් වහන්ස, සෑම අතින්ම බුදු රජාණන් වහන්සේගේ අර්හත් සම්‍යක්සම්බුද්ධ ගුණ ඇති අන් එකදු ස්වාමින්වහන්සේ කෙනෙකු දැන් සාසනයේ ඉන්නේද?”යි ඇසීය
“බ්‍රාහ්මණය, මෙසේ ඇසු කල්හි මම ගෝපක මොග්ගල්ලානට මෙසේ කීවෙමි. “බ්‍රාහ්මණය, ඒ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ සතු ධර්මයන්ගෙන් යුක්තවූ අන් එක භික්ෂුවකුත් නැත්තේමය. බ්‍රාහ්මණය, ඒ භාග්‍යවතුන් වහන්සේ නූපන් මාර්ගය උපදවා දුන්නෙකි. නොතිබු මාර්ගයක් සාදා දුන්න්නෙකි. කලින් නොදත් මාර්ගය කියා දුන්නෙකි. උන් වහන්සේ මාර්ගය දන්නෙක. මාර්ගයෙහි දක්ෂයෙක, පසුව එන්නාවූ ඒ ධර්මයෙන් යුක්තවූ මාර්ගයට අනුව ගමන් කරන්නාවූ ශ්‍රාවකයෝ මෙකල වාසය කෙරෙත්යයි” කීවෙමි. අපේ ඒ කථාව එසේ කෙරෙද්දී ඔබතුමා මෙහි ආවේය.” කීය.
§ 7. “භවත් ආනන්ද ස්ථවිරයන් වහන්ස, බුදු රජාණන්වහන්සේ පිරිනිවීමට පෙර, මගෙන් පසු මේ අසුවල් භික්ෂුන් වහන්සේ තොපට පිළිසරණ වන්නේයයි නම් කරනලද , දැන් ඔබ වහන්සේලා විසින් අනුගමනය කරන්නාවූ යම් භික්ෂූ නමකුත් ඇත්තේද?” යැයි වස්සකාර ඇමති ඇසීය.
‘බ්‍රාහ්මණය, මොහු තොපට මාගේ ඇවෑමෙන් පිළිසරණ වන්නේය’යි, සියල්ල දන්නාවූ, සියල්ල දක්නාවූ අර්හත් සම්‍යක් සම්බුද්ධවූ භාග්‍යවතුන් වහන්සේ විසින් නම් කරන ලද්දාවූ, දැන් අප අනුගමනය කරන්නාවූ, එබඳුවූ එක භික්ෂුවකුත් නැත්තේ මැයි.”
§ 8. “භවත් ආනන්ද ස්ථවිරයන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේගේ ඇවෑමෙන් මෙතෙම අපට පිළිසරණ වන්නේයයි සංඝයා විසින් තෝරා ගත්තාවූ, සම්මත කරණ ලද්දාවූ, මහා ස්ථවිර භික්ෂූන් විසින් අනුමත කරන ලද්දාවූ, නුඹවහන්සේලා විසින් අනුගමනය කරන්නාවූ එක භික්ෂුවක්වත් ඇත්දැයි,” ඇසූයේය.
“බ්‍රාහ්මණය, මෙතෙම අපට පිළිසරණ වන්නේයයි සංඝයා විසින් තෝරා ගත්තාවූ, සම්මත කරණ ලද්දාවූ, මහා ස්ථවිර භික්ෂූන් විසින් අනුමත කරන ලද්දාවූ, නුඹවහන්සේලා විසින් අනුගමනය කරන්නාවූ එක් භික්ෂුවක් නැත්තේමය.”
§ 9 . “භවත් ආනන්ද ස්ථවිරයන් වහන්ස, මෙසේ ඔබ වහන්සේලාට අවවාද උපදේස දීමට පිළිසරණ වීමට කිසි කෙනෙක් නැති කල්හි සංඝයා කෙසේ නම් එකතුව සමගියෙන් වසන්නේද?”
“බ්‍රාහ්මණය අපි පිළිසරණ නැත්තෝ නොවෙමු. බ්‍රාහ්මණය, අපි පිළිසරණ ඇත්තෝ වෙමු. අපි ධර්මය පිළිසරණ කොට ඉන්නෙමුයි,” කීය.
§ 10. “භවත් ආනන්ද ස්ථවිරයන් වහන්ස, බුදු රජාණන්වහන්සේ පිරිනිවීමට පෙර, මගෙන් පසු මේ අසුවල් භික්ෂුන් වහන්සේ තොපට පිළිසරණ වන්නේයයි නම් කරනලද , දැන් ඔබ වහන්සේලා විසින් අනුගමනය කරන්නාවූ යම් භික්ෂූ නමකුත් ඇත්තේද? ඇසු විට එසේ භාග්‍යවතුන් වහන්සේ විසින් නම් කරනලද භික්ෂූවකුත් නැතැයි” කීයෙහිය.
‘භවත් ආනන්ද ස්ථවිරයන් වහන්ස, මෙතෙම අපට පිළිසරණ වන්නේයයි සංඝයා විසින් තෝරා ගත්තාවූ, සම්මත කරණ ලද්දාවූ, මහා ස්ථවිර භික්ෂූන් විසින් අනුමත කරන ලද්දාවූ, නුඹවහන්සේලා විසින් අනුගමනය කරන්නාවූ එක භික්ෂුවක්වත් ඇත්දැයි ඇසු විට ‘බ්‍රාහ්මණය, ජෙෂ්ට භික්ෂූන් විසින් අනුමත කරන ලද්දාවූ, ඔබලා විසින් අනුගමනය කරන්නාවූ එක් භික්ෂුවක් නැත්තේය.” කීයෙහිය.
‘භවත් ආනන්ද ස්ථවිරයන් වහන්ස, අවවාද උපදේස දීමට පිළිසරණ වීමට කිසි කෙනෙක් නැති කල්හි සංඝයා කෙසේ නම් එකතුව සමගියෙන් වසන්නේද,’ ඇසු විට ‘බ්‍රාහ්මණය. අපි පිළිසරණ නැත්තෝ නොවෙමු. බ්‍රාහ්මණය, අපි පිළිසරණ ඇත්තෝ වෙමු. ධර්මය පිළිසරණ කොට ඇත්තෝ වෙමුයි.’ කීයෙහිය. භවත් ආනන්ද ස්ථවිරයන් වහන්ස, මේ කීමේ අර්ථය කෙසේ දත යුත්තේදැයි” ඇසීය.
“බ්‍රාහ්මණය, සර්වඥතා ඥානයෙන් සියල්ල දන්නාවූ බුදු ඇසින් සියල්ල දක්නාවූ අර්හත්වූ සම්‍යක් සම්බුද්ධවූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් භික්ෂුන්ට පණවන ලද ශික්ෂා ප්‍රතිපත්ති මාලාවක් අඩංගු වූ ප්‍රාතිමොක්ෂයක් ඇත්තේය.

එක ගමක් ඇසුරුකොට වාසය කරන්නාවූ සියළු භික්ෂුන් පොහොය දිනයෙහි එක් ස්ථානයකට රැස් වෙමු. යම්තාක් භික්ෂුහු මුද, ඒ සියල්ලෝ එක තැනකට රැස්වෙමු. එසේ රැස්ව ප්‍රාතිමෝක්ෂය පාඩම් ඇති භික්ෂුන් ලවා ප්‍රතිමොක්ෂය සජ්ජායනා කරවා ගනිමු. එසේ කරත්දී යම් භික්ෂුවක අතින් යම් ඇවතක් වී ඇත්නම් , ශික්ෂාපද කඩකිරීමක් වී ඇත්නම්, එය අපි ධර්මයේ දැක්වූ පරිද්දෙන්, අනුශාසනාවවූ පරිද්දෙන් කරවමු. එසේ කරවන්නේ යම් එක භික්ෂුවක් නොව ධර්මයම ය, යයි” කීය. 1034
[1034:- මෙහි ගැබ්ව ඇති සිද්ධාන්තය නම් මේ විනය නීති එක් භික්ෂුවකගේ හෝ සමුහයකගේ අදහසට, මතයට අනුව නොව බුදුන් වහන්සේ වදාරණ ලද ධර්මය හා විනය නීති අනුව සියළු භික්ෂුන් ක්‍රියා කිරීමය. දීඝ නිකායේ මහා පරිනිබ්බාන සුත්‍රයේ දී සඳහන්ව ඇති පරිදි භාග්‍යවතුන් වහන්සේ විසින්ම මේ බව දේසනා කර ඇත.]
§ 11. “භවත් ආනන්ද ස්ථවිරයන් වහන්ස, නුඹවහන්සේලා මේ කාලයෙහි සත්කාර කරන්නාවූද, ගෞරව කරන්නාවූද, බුහුමන් කරන්නාවූද, පුදන්නාවූද, සත්කාර සම්මාන කොට ගෞරව කොට, ඇසුරු කරගෙන වාසය කරන්නා වූ , එක භික්ෂූවකුත් හෝ ඉන්නේද ?”
“ එසේය බ්‍රාහ්මණය, අපි සත්කාර කරන්නාවූද, ගෞරව කරන්නාවූද, බුහුමන් කරන්නාවූද, පුදන්නාවූද, සත්කාර සම්මාන කොට ගෞරව කොට, ඇසුරු කරගෙන වාසය කරන්නා වූ , එක භික්ෂූවක් ඉන්නේය..”
§ 12. “භවත් ආනන්ද ස්ථවිරයන් වහන්ස, තොපට මාගේ ඇවෑමෙන් පිළිසරණ වන්නේ මොහුයයි භවත් ගෞතමයන් වහන්සේ විසින් නම් කරන ලද, නුඹ වහන්සේලා විසින් අනුගමනය කරන්නාවූ භික්ෂුවකුත් ඇත්තේදැයි’ ඇසු විට ‘ නැත්තේයයි’ කීයෙහිය.
භාග්‍යවතුන් වහන්සේගේ ඇවෑමෙන් මෙතෙම අපට පිළිසරණ වන්නේයයි සංඝයා විසින් තෝරා ගත්තාවූ, සම්මත කරණ ලද්දාවූ, මහා ස්ථවිර භික්ෂූන් විසින් අනුමත කරන ලද්දාවූ, නුඹ වහන්සේලා විසින් අනුගමනය කරන්නාවූ එක භික්ෂුවක්වත් ඇත්දැයි,” ඇසූවිට “බ්‍රාහ්මණය, ……..සංඝයා විසින් තෝරා ගත්තාවූ, සම්මත කරණ ලද්දාවූ, මහා ස්ථවිර භික්ෂූන් විසින් අනුමත කරන ලද්දාවූ, ..එක් භික්ෂුවක් නැත්තේය.” යි කීවේය.
“නුඹවහන්සේලා , සත්කාර කරන්නාවූද, ගෞරව කරන්නාවූද, බුහුමන් කරන්නාවූද, පුදන්නාවූද, සත්කාර සම්මාන කොට ගෞරව කොට, ඇසුරු කරගෙන වාසය කරන්නා වූ , එක භික්ෂූවකුත් හෝ ඉන්නේද?”යි ඇසු විට ‘බ්‍රාහ්මණය, ….. එබඳු එක භික්ෂුවක් ඇත්තේයයි, කීයෙහිය.’
භවත් ආනන්ද ස්ථවිරයන් වහන්ස, මේ කීමේ අර්ථය කෙසේ දත යුත්තේදැයි” ඇසීය.
දස ප්‍රසාදනීය ධර්ම
§ 13 . “බ්‍රාහ්මණය, සර්වඥතා ඥානයෙන් සියල්ල දන්නාවූ, බුදු ඇසින් සියල්ල දක්නාවූ අර්හත්වූ සම්‍යක් සම්බුද්ධවූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රකාශ කරණලද පැහැදිය යුතු ධර්ම දසයක් (දස ප්‍රසාදනීය ධර්මයක්) ඇත්තේය. අප සංඝයා අතර යම් භික්ෂුන් වහන්සේ නමක් මේ දස ප්‍රසාදනීය ධර්මයන් ගෙන් යුතු වේද, අප ඒ භික්ෂුන් වහන්සේට සත්කාර කරන්නෙමු , ගෞරව කරන්නෙමු, බුහුමන් කරන්නෙමු, පුදන්නෙමු, සත්කාර සම්මාන කොට ගෞරව කොට, ඇසුරු කරන්නෙමු.
. ඒ කවර ධර්මයෝද යත්:-
§ 14 (i) සීලවන්ත වීම
“බ්‍රාහ්මණය, මේ ශාසනයෙහි භික්ෂුව සිල්වත් වේද, ප්‍රාතිමොක්ෂ සංවරයෙන් සංවරව, ආචාරයෙන් හා ගොචරයෙන් යුක්තව සුළු වරදෙහි පවා බිය ඇත්තෙක් ව, සියලු කල්හි , ශික්ෂා පදයන්හි සමාදන්ව හික්මෙයිද,
§ 15 .(ii). බහුශෘත වීම :
බොහෝකොට ධර්මය අසන ලද්දෙක්ව, ඇසූ ධර්මය දරන්නෙක්ව , අසනලද ධර්මයෙන් හික්මෙන්නේද, මුල යහපත්වූද, මැද යහපත්වූද, කෙළවර යහපත්වූද, අර්ථ සහිතවූද, ව්‍යඤ්ජන සහිතවූද, මේ ධර්මයෝ අනුවම සියල්ලෙන් සම්පූර්ණවූ පිරිසිදුවූ බ්‍රහ්මචර්‍ය්‍යාවේ හැසිරෙත්ද, ඒ ඇසු, දැරූ ධර්මයෝ විමසමින්, තමන්ම ඒ ධර්මයන් ප්‍රඥාවෙන් අවබෝධ කර ගනීද,
§ 16 .(iii) “චීවරය, පිණ්ඩපාතය, සෙනාසනය, ගිලනුන්ට ප්‍රත්‍යවූ බෙහෙත් පිරිකරය යන ප්‍රත්‍යයන් ලද පමනට , ලද අයුරින් සතුටුවී පරිභෝජනය කරන්නේද,
§ 17 . (iv) අසීරුවක් අපහසුවක් නැතිව තමා රිසි විටෙක, සැප විහරණ ඇත්තාවූ සතර ධ්‍යානයන් කැමැති පරිදි ලබන්නේද,
§ 18 .(v).“අනෙක ප්‍රකාරවූ ඍද්ධි දක්වන්නට සමත්වෙයිද,1035
එකෙක්ද වී, බොහෝදෙනෙක් වෙත්. බොහෝදෙනෙක් වී එකෙක් වෙයි. ප්‍රකට බවට, මුවහ වීමට, බිත්තියෙන් පිටතට, ප්‍රාකාරයෙන් පිටතට, පර්වතයෙන් පිටතට, නොගැටෙමින් අහසෙහි මෙන් ගමන් කරයි. පොළොවෙහිද මතුවීම ගිලීම දියෙහි මෙන් කරයි දියෙහිද දිය බිඳීමක් නැතිව පොළොවෙහි මෙන් ගමන් කරයි. අහසෙහිද පියාපත් ඇති පක්ෂියකු මෙන් පර්‍ය්‍යංක බැඳ ගමන් කරයි. මෙසේ මහත් ඍද්ධි ඇති මෙසේ මහත් ආනුභාව ඇති මේ චන්ද්‍ර සූර්‍ය්‍යයන්ද අතින් අල්වයි, පිරිමදියි, බ්‍රහ්ම ලෝකය දක්වාද කයින් වසඟයෙහි පවත්වයිද,
[1035: මේ විවාදාත්මක කාරණයකි. භාග්‍යවතුන් වහන්සේ විසින් ඍද්ධි පෑම බොහෝ විටෙක පහත් කොට සැලකීම ගැන සුත්‍රවල සඳහන් වේ. සමහර තැනක ඍද්ධි පෑම නොකරන ලෙස සංඝයාට කියා ඇති බව පෙනේ. එනිසා මේ ඍද්ධි පිලිබඳ කතා පසු කාලින එක කිරීම් ලෙස සැලකීම වටී.]
§ 19 .(vi). ‘පිරිසිදුවූ මිනිස් ඇසීම ඉක්ම පවත්නාවූ දිව්‍යවූ ශ්‍රොත්‍ර ඥානයෙන් දිව්‍යවූද, මනුෂ්‍යවූද, දුරවූද, ලඟවූද, ශබ්ද අසයිද,
§ 20 .(vii). “අන්‍ය පුද්ගලයන්ගේ සිත තමන්ගේ සිතින් පිරිසිඳ දනිමින් .
- රාග සහිතවූ හෝ සිත රාග සහිතවූ සරාග සිතයයි දැනගනියිද .
- රාගය නැති කල සිත හෝ රාගය නැති වීතරාගී සිතයයි දැනගනියිද.
- දෝසය සහිතවූ සිත දෝස සහිතවූ සද්වේශ සිතයයි දැනගනියිද.
- දෝසය පහ කල සිත වීතදෝස සිතයයි දැනගනියිද.
- මෝහ සහිතවූ සිත සමෝහ සිතයයි දැනගනියිද.
- මෝහය නැති සිත හෝ මෝහය පහකළ සිත, වීතමෝහ සිතයයි දැනගනියිද.
- හැකුළුණාවූ සිත හෝ හැකුළුණු සිතය සංඛිත්යිත චිත්තය’යි දැන ගනියිද.
- විසිර ගියාවූ සිත හෝ විසිර ගියාවූ සිතයයි දැනගනියිද.
- මහද්ගතවූ සිත හෝ මහද්ගත සිතයයි දැනගනියිද.
- මහද්ගත නොවූ සිත හෝ මහද්ගත නොවූ සිතයයි දැනගනියිද.
- උත්තර සහිතවූ සිත හෝ උත්තර සහිත සිතයයි දැනගනියිද.
- නිරුත්තරවූ සිත හෝ නිරුත්තර සිතයයි දැනගනියිද.
- එකඟවූ සිත හෝ එකඟවූ සිතයයි දැනගනියිද,
- එකඟ නොවූ සිත හෝ එකඟ නොවූ සිතයයි දැනගනියිද.
- මිදුනාවූ සිත හෝ මිදුනාවූ සිතයයි දැනගනියිද.
- නොමිදුනාවූ සිත හෝ නොමිදුනාවූ සිතයයි දැනගනියිද,
§ 21 (viii). “නොයෙක් ආකාරවූ පෙරවිසූ ස්කන්ධ පිළිවෙළ සිහි කරන්නට සමත් වේද, කෙසේදයත්?
- එක ජාතියක්ද, ජාති දෙකක්ද, ජාති තුනක්ද ජාති සතරක්ද, ජාති පහක්ද, ජාති දශයක්ද, ජාති විස්සක්ද ජාති තිසක්ද, ජාති සතළිසක්ද, ජාති පණසක්ද, ජාති සියයක්ද, ජාති දහසක්ද, ජාති ලක්ෂයක්ද, නොයෙක් සංවර්ත කල්පයන්ද, නොයෙක් විවර්ත කල්පයන්ද, නොයෙක් සංවර්ත විවර්ත කල්පයන්ද,
- අසුවල් තැන්හි මෙනම් ඇත්තෙක් මෙබඳු ගොත්‍ර ඇත්තෙක් මෙබඳු වර්ණ ඇත්තෙක් මෙබඳු ආහාරය ඇත්තෙක් මෙබඳු සුව දුක් විඳින්නෙක් මෙබඳු ආයුෂ කෙළවර කොට ඇත්තෙක් වීමි.
- මම එයින් චුතවී අසුවල් තන්හි ඉපදුනෙමි. එහිදු මෙනම් ඇත්තෙක් මෙබඳු ගොත්‍ර ඇත්තෙක් මෙබඳු වර්ණ ඇත්තෙක් මෙබඳු ආහාර ඇත්තෙක්, මෙබඳු සුව දුක් විඳින්නෙක් වීමි. මෙබඳු ආයුෂය කෙළවර කොට ඇත්තෙක් වීමි. මම එයින් චුතවූයේ මෙහි උපන්නේ වෙමියි
- මෙසේ ආකාර සහිතවූ කොටස් සහිතවූ, නොයෙක් ආකාරවූ, පෙර විසීම් සිහි කරයිද,
§ 22 .(ix) “පිරිසිදුවූ මිනිස් ඇස ඉක්ම පවත්නාවූ දිව්‍යවූ ඇසින් චුත වන්නාවූද, උපදින්නාවූද, හීනවූද, ප්‍රණීතවූද, යහපත් කුලවල උපදින්වුනාද, හීන කුලවල උපදින්වුනාද , සුගතිවල උපදින්නවුද, නරකයෙහි උපදින්නා වූද, සත්වයන් දකියිද. කම්වූ පරිද්දෙන් පරලොව ගියාවූ සත්වයන් දැනගනියිද,
§ 23. (x). “ආශ්‍රවයන් ක්ෂය කිරීමෙන් ආශ්‍රව රහිතවූ අර්හත් ඵල සමාධියටද අර්හත්ඵල ප්‍රඥාවටද මේ ආත්මයෙහිම තම විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂ කොට පැමිණ වාසය කරයිද,
“බ්‍රාහ්මණය, සර්වඥතා ඥානයෙන් සියල්ල දන්නාවූ බුදු ඇසින් සියල්ල දක්නාවූ අර්හත්වූ සම්‍යක් සම්බුද්ධවූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රකාශ කරණ ලද්දාවූ මේ පැහැදිය යුතුවූ, ප්‍රසාදනීය ධර්ම දසය වෙත්.
යම් භික්ෂුන් වහන්සේ කෙරෙහි කෙරෙහි මේ ධර්ම දසය ඇත්තාහුද, අප ඒ භික්ෂුන් වහන්සේට අපි සත්කාර කරන්නෙමු , ගෞරව කරන්නෙමු, බුහුමන් කරන්නෙමු, පුදන්නෙමු, සත්කාර සම්මාන කොට ගෞරව කොට, ඇසුරු කරන්නෙමු.”යි කීය.
§ 24. මෙසේ කී කල්හි වස්සකාර , මහාමාත්‍යතුමා තමන් හා සිටි උපනන්ද නම් සේනාපතියාට කථාකෙළේය.
“සේනාපතිය, ඔබ කුමක් හඟින්නෙහිද?
“ඉදින් මේ පින්වත්හු මෙසේ සත්කාර කළයුත්තෙකුට සත්කාර කරද්ද? ගෞරව කළයුත්තාට ගෞරව කරද්ද? බුහුමන් කළ යුත්තාට බුහුමන් කරද්ද? පිදිය යුත්තාට පුදත්ද? ඒකාන්තයෙන් මේ පින්වත්හු, සත්කාර කළයුත්තාටම සත්කාර කෙරෙත්. ගෞරව කළයුත්තාටම ගෞරව කෙරෙත්. බුහුමන් කළ යුත්තාටම බුහුමන් කෙරෙත්. පිදිය යුත්තාටම පුදත්. “යි කීය.
“එසේය මහමැතිතුමනි, මේ පින්වත්හු මේබඳු තැනැත්තාට සත්කාර නොකරන්නාහු නම්, ගෞරව නොකරන්නාහු නම්, බුහුමන් නොකරන්නාහු නම් නොපුදන්නාහු නම් කවරෙකුට ඒ පින්වත්හු සත්කාර කරන්නාහුද? ගෞරව කරන්නාහුද, බුහුමන් කරන්නාහුද, පුදන්නාහුද, සත්කාර කොට, ගෞරව කොට, ඇසුරු කොටගෙණ වාසය කරන්නහුදැයි” උපනන්ද සේනාපති කීය.
§ 25. “ඉක්බිති මගධ මහාමාත්‍යවූ වස්සකාර බ්‍රාහ්මණතුමා ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේගෙන් “භවත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ මේ කාලයෙහි කොහි වාසය කරන්නේදැයි” ඇසීය.
“බ්‍රාහ්මණය, මම මෙකල්හි වෙළුවනාරාමයෙහි වාසය කරමියි” කීයේය.
“භවත් ආනන්ද ස්ථවිරයන් වහන්ස, ඔබ වහන්සේ වෙළුවනාරාමය ඔබ වහන්සේට කැමැතිද? ශබ්ද ඝෝසා නැති , ජනයා බොහෝ නොගැවසෙන භාවනා වෙහි යෙදීමට සුදුසු තැනක්දැයි” ඇසීය.
“ එසේය. බ්‍රාහ්මණය, තොප වැනි රාජ්‍ය පාලකයන් මනාව ආරක්සා කරන නිසා, අඩු පාඩු සකස් කරන නිසා ඒකාන්තයෙන්ම, වෙළුවනාරාමය සිත් අලවන්නේය. ඝොෂා නැති, ජනයා බොහෝ විට නොගැවසෙන , සංඝයාගේ හුදෙකලාවට, විවේකයට, භාවනාවට යෝග්‍ය වූයේද වෙයි.”
“භවත් ආනන්ද ස්ථවිරයන් වහන්ස, එසේය භාවනාවෙහි යෙදී ධ්‍යාන සුවයෙන් ඉන්නට රිසි බොහෝ සංඝයා වහන්සේලා වේළුවනාරාමයේ වසන්නට සතුටු වෙති.
භවත් ආනන්ද ස්ථවිරයන් වහන්ස, එක් කලෙක භවත් ගෞතමයන් වහන්සේ විසාලා මහනුවර මහවනයෙහිවූ කූටාගාර ශාලාවෙහි වැඩ විසුහ. භවත් ආනන්ද ස්ථවිරයන් වහන්ස, එකල්හි මමද දිනක් එහි ගියෙමි. එහිදී භවත් ගෞතමයන්වහන්සේ නොයෙක් ආකාරයෙන් ධ්‍යානය පිළිබඳ දේශනා කළහ. භවත් ගෞතමයන් වහන්සේ සියලුම ආකාරයේ භාවනා වර්ණනා කළසේකැයි” කීයේය.
§ 26. “බ්‍රාහ්මණය, භාග්‍යවතුන් වහන්සේ සියලු ආකාරයේ භාවනා වර්ණනා නොකළහ. භාග්‍යවතුන් වහන්සේ සියලු ආකාරයේ භාවනා ගර්හාද නොකෙළේය.
බ්‍රාහ්මණය, භාග්‍යවතුන් වහන්සේ කෙබඳුවූ භාවනා වර්ණනා නොකෙළේද?
බ්‍රාහ්මණය,
මේ ලෝකයෙහි ඇතැමෙක් කාම රාගයෙන් මඩනාලද සිතින් යුක්තව කාමයන්ගේ ග්‍රහණයට පත්ව වාසය කරයි. උපන්නාවූ කාම රාගයාගේ දුරු කිරීමද, තත්වූ පරිද්දෙන් නොදනියි. හෙතෙම කාම රාගය දුරු කර නොගෙන භාවනාවෙහි යෙදෙයි.
මේ ලෝකයෙහි ඇතැමෙක්ම සිතෙහි අසන්තොෂය, අසහනය දුරු කර ගන්නේ නැතිව ව්‍යාපාදයෙන් මඩනා ලද සිතින් යුතුව භාවනාවෙහි යෙදෙයි.
මේ ලෝකයෙහි ඇතැමෙක් ථීන මිද්ධයෙන් මඩනාලද සිත ඉන් මුදවා ගන්නේ නැතිවම සිතෙහි අලස කම තිබියදීම භාවනාවෙහි යෙදෙයි.
මේ ලෝකයෙහි ඇතැමෙක් උද්ධච්ච කුක්කුච්චයෙන් මඩනාලද සිත ඉන් මුදවා ගන්නේ නැතිවම සිතෙහි නොසංසුන් බව ඇතිවිට භාවනාවෙහි යෙදෙයි.
මේ ලෝකයෙහි ඇතැමෙක් විචිකිච්ඡාවෙන් මඩනාලද සිත ඉන් මුදවා ගන්නේ නැතිවම සිතෙහි සැක ඇතිවිට භාවනාවෙහි යෙදෙයි.
බ්‍රහ්මණය, භාග්‍යවතුන් වහන්සේ මෙබඳුවූ භාවනා වර්ණනා නොකෙළේය
. . .
§ 27. “බ්‍රාහ්මණය, භාග්‍යවතුන් වහන්සේ කෙබඳුවූ භාවනා වර්ණනා කෙළේද?
බ්‍රාහ්මණය, යම් භික්ෂුවක් පංච විද කාමයන්ගෙන් සිත නිදහස් කරගෙන අකුසල ධර්මයන් ගෙන් සිත මුදාගෙන, වෙන්ව විතර්ක සහිතවූ විචාර සහිතවූ විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයිද,
විතර්ක විචාරයන්ගේ සංසිඳීමෙන් තම චිත්තයේ ඒකාග්‍ර බව ඇති විතර්ක රහිතවූ විචාර රහිතවූ සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ද්විතීය ධ්‍යානයට පැමිණ වාසය කරයිද,
ප්‍රීතියද නොඇල්මෙන් වන උපෙක්ෂව සහිතව, සතිය සහ සම්පජන්නය සහිත නුවණ ඇතිව , වාසය කරයි. සැපයද කයින් විඳියිද, ඒ තෘතීය ධ්‍යානයට පැමිණ වාසය කරයිද,
සැපය හා දුක්ඛය යන දෙකම දුරු කිරීමෙන්ද, පළමුවම සොම්නස් දොම්නස් දෙකම නැසීමෙන් දුක් නැත්තාවූද, සැප නැත්තාවූද, උපෙක්ෂා ස්මෘති දෙදෙනාගේ පිරිසිදුබැව් ඇති චතුර්ථ ධ්‍යානයට පැමිණ වාසය කරයිද,
බ්‍රාහ්මණය, භාග්‍යවතුන් වහන්සේ මෙබඳුවූ ඵලයන් ලබන්නාවූ භාවනාව වර්ණනා කළ සේකැයි” කීයේය.
§ 28. “භවත් ආනන්ද ස්ථවිරයන් වහන්ස, භවත් ගෞතමයන් වහන්සේ ගැරහිය යුතුවූ භාවනාව ගැරහූ සේක. පැසසිය යුතු භාවනාව පැසසූ සේක. “
භවත් ආනන්ද ස්ථවිරයන් වහන්ස, දැන් අපි යන්නෙමු. අපි බොහෝ වැඩපල ඇත්තෝ බොහෝ කටයුතු ඇත්තෝ වෙමුයි” යි වස්සකාර මහ ඇමති කීය.
“බ්‍රාහ්මණය, නුඹ ඊට කල් දනුවයි.” කීයේය.
ඉක්බිති මගධ මහාමාත්‍යවූ වස්සකාර බ්‍රාහ්මණ තුමා ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේගේ කීම සතුටින් පිළිගෙණ අනුමෝදන්ව හුනස්නෙන් නැගිට පිටව ගියේය.
§ 29. ඉක්බිති ගෝපක මොග්ගල්ලාන බ්‍රාහ්මණ තුමා, ආයුෂ්මත් ආනන්දස්ථවිරයන් වහන්සේට මෙසේ කීයේය.
“අපි භවත් ආනන්ද ස්ථවිරයන් වහන්සේගෙන් ඇසු, ප්‍රශ්නයට පිළිතුරක් ඔබ වහන්සේ අපට ප්‍රකාශ නොකෙළේයයි” කීය.

“බ්‍රාහ්මණය,
භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ යම් ධර්මයන්ගෙන් යුක්තවූවා හුද, ඒ ධර්මවලින් සියලු ආකාරයෙන් යුක්තවූ, එකදු භික්ෂුවකුත් නැත්තේය.
බ්‍රාහ්මණය, භාග්‍යවතුන් වහන්සේ වනාහි නූපන් මාර්ගය උපදවන්නෙකි. නොහටගත් මාර්ගය හට ගන්වන්නෙකි. නොකියන ලද මාර්ගය කියන්නෙකි, මාර්ගය දන්නේය. මාර්ගයෙහි දක්ෂයෙකි.
මෙකල ශ්‍රාවකයෝ භාග්‍යවතුන් වහන්සේ විසින් උගන්වා වදාළ ඒ ධර්ම මාර්ගය අනුව ගමන් කරන්නෝ වෙත්ය’යි බ්‍රාහ්මණය, තොපට අප කීවමෝ නොවෙමුද?” යි වදාළ සේක.
