MN 03-03-04. බක්කුල සූත්‍රය

මේ සුත්‍රය බුද්ධ පරිනිර්වාණයෙන් සිය වසකට පසු සිදුකල සංගායනාවේදී සුත්‍ර පිටකයට ඇතුල් කල බව අටුවාව කියයි. බක්කුල රහතුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පා අසුවසරක් ජීවත්ව සිටි සේක. මේ සුත්‍රයේ සඳහන්වන්නේ බක්කුල රහතුන් වහන්සේගේ ගිහිකල මිතුරෙකු හා කල කතාබහකි. මෙහි සංසාර විමුක්තිය පිණිස උපදේශ නැති නිසාත් බොහෝ විට අපදාන පාලියට ඇතුල් කලානම් හොඳය යන අදහස බොහෝ දෙනා දරති. බක්කුල මහා රහතුන් වහන්සේ විසින් රකින ලද දුෂ්කර ධුතාංග සීලයන් ගැන මේ සුත්‍රයේ සඳහන් වන කාරනා මේ සාසනයේ පැවිදි බව ලැබූ හා මතුවට පැවිදිවන්නාවූ සියලු භික්ෂු සංඝයා වහන්සේලාට උත්තේජනයක් ලෙස, ආදර්ශයක් ලෙස ගැනීම සඳහාම මෙසේ පිටකයට ඇතුළු කිරීමට හේතු වන්නට ඇත.

පුජ්‍ය මීතලාවේ විනීත නායක ස්වාම්න්වහන්සේ කල සුත්‍ර විවරණය

§ 1. මා විසින් මෙසේ අසන ලදී.
එක් සමයෙක්හි ආයුෂ්මත් බක්කුල රහත් උත්තමයන් වහන්සේ රජගහ නුවර සමීපයෙහිවූ, කලන්දක නිවාප නම්වූ වෙලුවනාරාමයෙහි වැඩ වෙසෙයි.

§ 2. එකල්හි, ආයුෂ්මත් බක්කුල ස්වාමින්වහන්සේගේ පැරණි ගිහි යහලුවෙක්වූ අචේල කාශ්‍යප නම් නිඝන්ට ශ්‍රාවකයෙක් ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන් වෙත පැමිණ ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන් සමග සතුටුවිය යුතු සිහිකටයුතු කථා කොට නිමවා, එක් පැත්තක හුන්නේය. එක් පැත්තක හුන්නාවූ අචේල කාශ්‍යප ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන් ගෙන් මෙසේ ඇසීය.

§ 3. “ඇවැත්, බක්කුලය, ඔබ මහණවී කොපමණ කල් වෙහිද?”
“ඇවැත්නි, මම පැවිදිව අවුරුදු අසූවකි.”

“ඇවැත් බක්කුලය, මේ අසූ හවුරුදු කාලයෙහි ඔබ විසින් කීවරක් මෙවුන්දම් සෙවුනා ලදද?” 1168
“ඇවැත්, කාශ්‍යපය, මගෙන් එම ප්‍රශ්නය එසේ නොඇසිය යුතුයි. ඇවැත් කාශ්‍යපය, මගෙන් මෙසේ ඇසිය යුතුය. කෙසේද? ‘ඇවැත් බක්කුලය, මේ අසූ හවුරුදු කාලයෙහි ඔබට කී වරක් කාම සංඥාව පහළ වූයේදැයි ඇසිය හැකිය.”

[1168:- බොහෝ ශ්‍රමණ සාසන භාරතයේ වූ බවත් එම ශ්‍රමනයන්ගෙන් සමහරක් ලිංගික සංවාසය කාමය දුරු කිරීමේ එක උපක්‍රමයක් යයි විශ්වාසයෙන් එසේ කල බවද කියැ වේ. බුද්ධ සාසනය ගැන නොදත් නිරුවත් කාශ්‍යප විසින් මේ ප්‍රශ්නය ඇසුවේ බක්කුල ස්වාමින්වහන්සේට අපහාස කරන්නට නොව ඔහුගේ නොදත් බව නිසාය.]

“ඇවැත්, බක්කුලය, මේ අසූ වයස් කාලය තුළ කී වරක් ඔබට කාම සංඥාව උපන්නේද?”
“ඇවැත්, කාශ්‍යපය, මා මේ සාසනයේ පැවිදිව අවුරුදු අසුවක් වන්නේය. ඒ කාලය මසිත තුළ කාම සංඥාවක් උපන් බවක් නොදනිමි.”

“යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිරතෙම වස් අසූවක් කාලය තුළ කාම සංඥාවක් උපන් බවක් නොදනී නම් ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ මෙයද ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්මයකැයි අපි දරමු.”

§ 4-5 “ඇවැත්නි, මා මේ සාසනයේ පැවිදිව අවුරුදු අසුවක් වන්නේය. මේ කාලය තුල මසිත, ව්‍යාපාද සංඥාවක් විහිංසා සංඥාවක් උපන් බවක්ද මම නොදනිමි.”
“යම් හෙයකින් අසූවයස් ඇති ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම ඒ කාලය තුළ යම් ව්‍යාපාද සංඥාවක් විහිංසා සංඥාවක් උපන් බවක් නොදනී නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්මයෙකැයි අපි දරමු.”

§ 6.“ඇවැත්නි, මා මේ සාසනයේ පැවිදිව අවුරුදු අසුවක් වන්නේය. මේ කාලය තුල මසිත කාම විතර්කයක් උපන් බවක් නොදනිමි.”
“යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිරතෙම වස් අසූවකින් යම් කාම විතර්කයක් උපන් බවක් නොදනී නම් මෙයද ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්මයෙකැයි අපි දරමු.”

§ 7-8 “ඇවැත්නි, මා මේ සාසනයේ පැවිදිව අවුරුදු අසුවක් වන්නේය. මේ කාලය තුල මසිත ව්‍යාපාද විතර්කයක් විහිංසා විතර්කයක් උපන් බවක් නොදනිමි.,
“යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිරතෙම වස් අසූවකින් යම් ව්‍යාපාද විතර්කයක් විහිංසා විතර්කයක් උපන් බවක් නොදනී නම් මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්මයකැයි අපි දරමු.”

§ 9- “ඇවැත්නි, පැවිදිව අසූ වර්ෂයක්වූ මා විසින් ගෘහපතියෙක් පිදු චීවරයක් ඉසුලු බවක් නොම දනිමි.” 1169
“යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිරතෙම වස් අසූවකින් යම් ගෘහපතියෙක් පිදු ගෘහපති චීවරයක් නොදැරී නම් මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්මයකැයි අපි දරමු.”

[1169:-මේ චේදය හා ඉන් පසු සඳහන්වන්නේ බක්කුල රහතුන්වහන්සේ සමාදන්ව පවත්වාගන ආ ධුතාංග සීල පටිපදාවය]

§ 10.“ඇවැත්නි, පැවිදිව අසූ වයස් ඇති මා විසින් ආයුධයකින් සිවුරක් කැපූ බවක් නොදනිමි.”
“යම්හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිරතෙම වස් අසූවකින් ආයුධයකින් සිවුරක් කැපූ බවක් නොදනී නම් මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්මයකැයි අපි දරමු.

§ 11. “ඇවැත්නි, පැවිදිව අසූ වයස් ඇති මා විසින් ඉදිකටුවෙකින් සිවුරක් මැහූ බවක් නොම දනිමි.”
“යම්හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිරතෙම වස් අසූවකින් ඉදිකටුවෙකින් සිවුරක් මැහූ බවක් නොදනී නම් මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්මයකැයි අපි දරමු.”

§ 12.“ඇවැත්නි, පැවිදිව අසූ වයස්වූ මා විසින් පඬුවලින් සිවුරක් පෙවූ බවක් නොදනිමි.”
“යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිරතෙම වස් අසූවකින් පඬුවලින් සිවුරක් පෙවූ බවක් නොදනී නම් මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්මයකැයි අපි දරමු.”

§ 13. “ඇවැත්නි, පැවිදිව අසූ වයස් ඇති මම කඨින සිවුරක් මැහූ බවක් නොදනිමි.”
“යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිරතෙම වස් අසූවකින් කඨින සිවුරක් මැහූ බවක් නොදනී නම් මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්මයකැයි අපි දරමු.”

§ 14.“ඇවැත්නි, පැවිදිව අසූ වයස් ඇති මම සමාන බ්‍රහ්මචර්‍ය්‍යාව ඇත්තවුන්ගේ චීවර කර්මයෙහි යෙදුන බවක් නොම දනිමි”
“යම්හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිරතෙම වස් අසූවකින් සමාන බ්‍රහ්මචර්‍ය්‍යාව ඇත්තවුන්ගේ චීවර කර්මයෙහි යෙදුනු බවක් නොදනී නම් මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්මයකැයි අපි දරමු.

§ 16 “ඇවැත්නි, පැවිදිව අසූවයස්වූ මා විසින් දාන ආරාධනයක් ඉවසූ බවක් නොම දනිමි.”
“යම්හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිරතෙම වස් අසූවකින් දාන ආරාධනයක් ඉවසූ බවක් නොදනී නම් මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්මයකැයි අපි දරමු.’

§ 17 “ඇවැත්නි, පැවිදිව අසූ වයස්වූ මට මෙබඳු සිතක් උපන් බවක් නොදනිමි. ‘කිසිවෙක් මට ආරාධනය කරන්නේ නම් ඉතා යෙහෙකැයි’ කියායි.”
“යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිරතෙම අසූවසකින් කිසිවෙක් මට දාන ආරාධනයක් කරන්නේ නම් යහපතැයි සිතක් උපන් බවක් නොදනී නම් මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්මයකැයි අපි දරමු.”

§ 18.“ඇවැත්නි, පැවිදිව අසූ වයස් ඇති මම ගෙයක් තුළ හුන් බවක් නොම දනිමි.”
“යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිරතෙම අසූ වසකින් ගෙයක් තුළ හුන් බවක් නොදනී නම් ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ මෙයද ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්මයකැයි අපි දරමු.”

§ 19.“ඇවැත්නි, පැවිදිව අසූ වයස්වූ මට ගෙයක් තුල පිදු දනක් අනුභව කළ බවක් නොදනිමි.”
“යම් හෙයකින් අසූ වයස් ඇති ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම ගෙයක් තුල පිදු දනක් අනුභව කළ බවක් නොදනී නම් මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්මයකැයි අපි දරමු.”

§ 20.“ඇවැත්නි, පැවිදිව අසූ වයස්වූ මට ස්ත්‍රියක් දැක, කුඩා සලකුණු වශයෙන් ස්ත්‍රියකගේ නිමිති ගත් බවක් නොම දනිමි.”
“යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිරතෙම ස්ත්‍රියක් දැක, අසූ වසකින් කුඩා සලකුණු වශයෙන් නිමිති ගත් බවක් නොදනී නම් මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්මයකැයි අපි දරමු.”

§ 21. “ඇවැත්නි, පැවිදිව අසූ වයස් ඇති මම ස්ත්‍රියකට යටත් පිරිසෙයින් සතර පද ගාථාවකින් වත් දහම් දෙසූ බවක් නොදනිමි.”
“යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිරතෙම ස්ත්‍රියකට යටත්පිරිසෙයින් සතර පද ගාථාවකින්වත් දහම් දෙසූ බවක් නොදනී නම් මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්මයකැයි අපි දරමු.”

§ 22 .“ඇවැත්නි, පැවිදිවූ අසූ වයස් ඇති මා විසින් භික්ඛුණී ආශ්‍රමයකට ගිය බවක් නොදනිමි.
“යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිරතෙම අසූ වසකින් භික්ෂුණී ආශ්‍රමයකට ගිය බවක් නොදනී නම් මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්මයකැයි අපි දරමු.”

§ 23.“ඇවැත්නි, පැවිදිව අසූ වයස් ඇති මම භික්ෂුණියකට දහම් දෙසූ බවක් නොදනිමි.
“යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිරතෙමේ පැවිදිව අසූ වයස්වද භික්ෂුණියකට දහම් දෙසූ බවක් නොදනී නම් මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චර්‍ය්‍ය අද්භුත ධර්මයකැයි අපි දරමු.”

§ 24. “ඇවැත්නි, පැවිදිව අසූවයස්වූ මම හික්මෙන්නියකට (සික්ඛා මානාවකට) දහම් දෙසූ බවක් නොදනිමි.”
“යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිරතෙම අසූ වසෙකින් හික්මෙන්නියකට දහම් දෙසූ බවක් නොදනී නම් මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චර්‍ය්‍ය, අද්භූත ධර්මයකැයි අපි දරමු.”

§ 25.“ඇවැත්නි, පැවිදිව අසූවයස්වූ මම සාමණේරියකට දහම් දෙසූ බවක් නොදනිමි.”
“යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිරතෙම අසූ වසකින් සාමණේරියකට දහම් දෙසූ බවක් නොදනී නම් මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්මයකැයි අපි දරමු.”

§ 26 .“ඇවැත්නි, පැවිදිව අසූවයස්වූ මම (කෙනෙකු) පැවිදි කළ බවක් නොදනිමි.”
“යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිරතෙම අසූ වසකින් (කෙනෙකු) පැවිදි කළ බවක් නොදනී නම් මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චර්‍ය්‍ය, අද්භූත ධර්මයකැයි අපි දරමු.”

§ 27. “ඇවැත්නි, පැවිදිව අසූවයස්වූ මා විසින් (කෙනෙකු) උපසම්පදා කළ බවක් නොදනිමි.”
“යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිරතෙම අසූ වසකින් (කෙනෙකු) උපසම්පදා කළ බවක් නොදනී නම් මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චර්‍ය්‍ය, අද්භූත ධර්මයකැයි අපි දරමු.”

§ 28 . “ඇවැත්නි, පැවිදිව අසූවයස්වූ මම (කෙනකුට) නිසදුන් දුන් බවක් නොදනිමි.”
“යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිරතෙම අසූ වසකින් (කෙනකුට) නිසදුන් බවක් නොදනියි නම් මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චර්‍ය්‍ය, අද්භූත ධර්මයකැයි අපි දරමු.”

§ 29 .“ඇවැත්නි, පැවිදිව අසූ වයස්වූ මම සාමණේරයකු ලවා උපස්ථාන කරවාගත් බවක් නොදනිමි.”
“යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිරතෙම අසූ වසකින් සාමණෙරයකු ලවා උපස්ථාන කරවාගත් බවක් නොදනියි නම් මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්මයකැයි අපි දරමු.”

§ 30. “ඇවැත්නි, පැවිදිව අසූවයස් ඇති මම ගිනිහල් ගෙයි නෑ බවක් නොදනිමි.”
“යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිරතෙම අසූ වසකින් ගිනිහල් ගෙයි නෑ බවක් නොදනියි නම් මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්මයෙකැයි අපි දරමු.”

§ 31.“ඇවැත්නි, පැවිදිව අසූවයස් ඇති මම ඇඟ ගානා සුනු ගා නෑ බවක් නොදනිමි.”
“යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිරතෙම අසූවසකින් ඇඟ ගානා සුණු ගා නෑ බවක් නොදනියි නම් මෙයද බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චර්‍ය්‍ය, අද්භූත ධර්මයකැයි අපි දරමු.”

§ 32. “ඇවැත්නි, පැවිදිව අසූවයස් ඇති මම සමාන බ්‍රහ්මචර්‍ය්‍යාව ඇත්තවුන් අත් පා මෙහෙවරෙහි යෙදූ බවක් නොදනිමි.”
“යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම අසූ වසකින් සමාන බඹසර ඇත්තවුන් අත් පා මෙහෙවරෙහි යෙදූ බවක් නොදනී නම් මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්මයකැයි අපි දරමු.”

§ 33. ඇවැත්නි, පැවිදිව අසූවයස්වූ මට අන්තිම වසයෙන් දෙනකගෙන් එක් කිරිබින්දුවක් දෝනා කලක් පමණවත් ආබාධයක් උපන් බවක් නොදනිමි.”
“යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිරතෙම අසූ වසකින් අන්තිම වශයෙන් දෙනකගෙන් එක් කිරි බින්දුවක් දෝනා කලක් පමණ ආබාධයක් ඇතිවූ බවක් නොදනියි නම් මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චර්‍ය්‍ය, අද්භූත ධර්මයකැයි අපි දරමු.

§ 34. “ඇවැත්නි, අසූ වයස් ඇති මම අන්තිම වශයෙන් අරළු කැබැල්ලක් පමණවත් බෙහෙතක් පරිහරණය කළ බවක් නොදනිමි.”
“යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම අසූ වසකින් අන්තිම වශයෙන් අරළු කැබැල්ලක් පමණවත් බෙහෙතක් පරිහරණය කළ බවක් නොදනී නම් මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චර්‍ය්‍ය, අද්භූත ධර්මයකැයි අපි දරමු.”

§ 35. “ඇවැත්නි, පැවිදිව අසූවයස්වූ මම පූවරුවක නිදා ගත් බවක් නොදනිමි.”
යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිරතෙම අසූ වසකින් පූවරුවක නිදා ගත් බවක් නොදනියි නම් මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චර්‍ය්‍ය, අද්භූත ධර්මයකැයි අපි දරමු.

§ 36. “ඇවැත්නි, පැවිදිව අසූවයස් ඇති මම නිදන ඇඳක, සයනය කළ බවක් නොදනිමි.”
“යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිරතෙම අසූවසකින් දැවයෙන් කල නිදන ඇඳක, සයනය කළ බවක් නොදනීනම් මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චර්‍ය්‍ය, අද්භූත ධර්මයකැයි අපිදරමු.”

§ 37. “ඇවැත්නි, පැවිදිව අසූවයස් ඇති මම ග්‍රාමාන්ත සේනාසනයක වස් වුසූ බවක් නොදනිමි.”
“යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිරතෙම අසූ වසකින් ග්‍රාමාන්ත සේනාසනයක වස්වැසූ බවක් නොදනී නම් මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චර්‍ය්‍ය, අද්භූත ධර්මයකැයි අපි දරමු.”

§ 38. ඇවැත්නි, මම කෙලෙස් සහිතව සත්දවසක් පමණක් රටවැසියාගේ පිණ්ඩපාතය අනුභව කෙළෙමි. ඉක්බිති අටවෙනිදා අර්හත්වය පහළවිය.” 1170

[1170:- පැවිදිව සත් දිනක් පමණක් පෘතග්ජන භුමියේ හුන් බක්කුල ස්වාමින්වහන්සේ මහණවී සත්වෙනි දින සව් කෙලෙසුන් නසා පටිසම්භිධා සහිත රහත් බව සාක්ෂාත් කළේයැයි අටුවාව කියයි.]


“යම්හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිරතෙම කෙලෙස් සහිතව රටවැසියාගේ පිණ්ඩපාතය සත්දවසක්ම අනුභව කෙළේ නම් අටවෙනිදා අර්හත්වය පහළවීනම් මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්මයකැයි අපි දරමු.

§ 39. අචෙල කාශ්‍යප තෙම “ඇවැත්නි, බක්කුලය, මම මේ ශාසනයෙහි පැවිදිබව ලබන්නෙමි. උපසම්පදාව ලබන්නෙමියි” කීය.

“අචෙල කාශ්‍යපතෙම මේ ශාසනයෙහි පැවිදි බව ලැබීය, 1171 උපසම්පදාවද ලැබීය.

[1171: බක්කුල ස්වාමින්වහන්සේ සිය ධුතාංග සීලය බිඳෙන බැවින් සිය මිතුරාට උපසම්පදාව තමන් වහන්සේ නොදී අන් භික්ෂුන්වහන්සේ කෙනෙක් ලවා පැවිදි කරවූ බව අටුවාව කියයි.]

ආයුෂ්මත් කාශ්‍යපතෙමේ උපසපන්වී නොබෝ කලකින්ම හුදකලාවූයේ ජනයාගෙන් වෙන්වූයේ පමානොවූයේ කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇත්තේ දුරුකරනලද කාය ජීවිත ආශා ඇතිව වාසයකරන්නේ නොබෝකලකින්ම කුලපුත්‍රයෝ යමක් පිණිස මනාකොට ගිහිගෙයින් නික්ම අනගාරික ශාසනයෙහි පැවිදිවෙත්ද, බ්‍රහ්මචර්‍ය්‍යය කෙළවර කොට ඇති, ඒ උතුම් අර්හත්වය මේ ආත්මභාවයෙහිම තෙමේම විශේෂ නුවණින් දැන ප්‍රත්‍යක්ෂකොට, ඊට පැමිණ වාසය කළේය.

උත්පත්තිය ක්ෂය විය. බ්‍රහ්මචරියාවෙහි හැසිර නිමවන ලදී. කළයුත්ත කරන ලදී. මෙයින් පසු කළයුතු අනෙකක් නැතැයි දැනගත්තේය. ආයුෂ්මත් කාශ්‍යපතෙම රහතුන්ගෙන් එක් කෙනෙක් විය.

§ 40. “ඉක්බිති ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන් පසු කලෙක යතුර ගෙන විහාරයෙන් විහාරයට ගොස් “ආයුෂ්මත්වරුනි, පැමිණෙව්, ආයුෂ්මත්වරුනි, පැමිණෙව්, අද මාගේ පිරිනිවීම වන්නේයයි” කීය.1172
“යම්හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිරතෙම යතුර ගෙන විහාරයෙන් විහාරයට ගොස් ආයුෂ්මත්වරුනි, පැමිණෙව් ආයුෂ්මත්වරුනි, පැමිණෙව්, අද මාගේ පිරිනිවීම වන්නේයයි කීයේද, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්මයකැයි අපි දරමු.”

“ඉක්බිති ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන් සංඝයා මැද හිඳගෙනම පිරිනිවීයේය.1172

“යම්හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිරතෙම සංඝයා මැද හිඳගෙනම පිරිනිවියේද, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්මයකැයි අපි දරමු.”

[1172:-සිය මුළු සාසන ජීවිතයේදීම කිසි කෙනෙකුට බරක් නොවී ජීවිතය ගෙවූ බක්කුල ස්වාමින් වහන්සේ සිය පිරිනිවීමෙන් පසුද සිය සිරුර ආදාහන කරන්නට අනුන් වෙහෙසීම වලකන්නෙමැයි , තේජෝ කසිනයට සම වැදී පිරිනිවන් පා වදාළ සේක. පිරිනිවන් පා සුළු මොහොතකින් ශ්‍රී ශරීරය ඉබේම දැවී ධාතු පමණක් ඉතිරිවිය.]

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.