KN 05-04- අට්ඨක වග්ගය

1.     කාම  සුත්‍රය

සත්වයා යම් කාමවස්තුවකට කැමැත්තේද, ඒ වස්තුකාමය කැමතිවන ඔහුට ඒ ලැබේ නම් හෙතෙම ඒ කාමවස්තුව ලැබ ඒකාන්තයෙන් සතුටු සිත් ඇතිවේ.

“රූපාදි වස්තුකාමයන් කැමතිවන්නාවූ හටගත් කාමයන්හි කැමැත්ත ඇත්තාවූ ඒ පුද්ගලයන්ගේ ඒ රූපාදී වස්තු කාමයෝ යම් විටෙක පිරිහෙත්ද, නැති වෙත්ද , හෙතෙම හුලකින් විදුනාලද කලක් මෙන් තැවීමට, දුකට පැමිණේ. යමෙක් (වස්තුකාම ක්ලේශ) කාමයන් පාදයෙන් සර්පයෙකුගේ හිස මෙන් දුරුකෙරේද, හෙතෙම (අපායාදී) ලෝකයෙහි මේ තෘෂ්ණාව සිහි ඇතිව ඉක්ම වන්නේය.

“ මනුෂ්‍යයෙක්, කුඹුරකට හෝ හේනකට හෝ මිල මුදලට හෝ හරකුන් අශ්වයන් හෝ දාස පුරුෂයන් හෝ ස්ත්‍රීන් හෝ නෑයන් හෝ සෙසු බොහෝ රූපාදී කාමවස්තූන් හෝ ආශාකරන්නේද, ඒ ක්ලේශයෝ ඒ පුද්ගලයා මැඩපවත්වයි. උපද්‍රව ඒ පුද්ගලයා මඩිත්. බිඳුනු නැවක් තුලට ජලය උනන්නාක් මෙන් දුක ඔහු අනුව එයි.

“එහෙයින් ප්‍රඥාවන්ත යා හැමකල්හි සතියෙන් යුතුව වස්තු කාමයන් දුරුකරන්නේය. නිවනට (පරතෙරට) යනු කැමැත්තේ ක්ලේශ කාමයන් ප්‍රහීනකොට නැවෙහි දිය ඉසින්නාක් සේ පිළිවෙත් පුරා කාමාදී සතර මහ වතුර එතර කරන්නේය.

2.     ගුහට්ටක  සුත්‍රය.

§ .1 “සත්වයා ගුහාවෙහි බොහෝ සෙයින් වැසී සිටියේය. යන්නෙහි “සත්ව යන්න කියන ලද්දේමය, යළිදු “ගුහා” පළමුකොට කියයුතුය ගුහායයි ශරීරයට කියනු ලැබේ. ගුහා යනු හෝ දෙහ යනු හෝ සන්දෙහ, නාව, රථ, ධජ, වම්මික (තුඹස) නගර, නීඩ, (කූඩුව) කුටී, ගණ්ඩ, කුම්ම, නාග යනු හෝ ශරීරයට මේ විශේෂ වචනයෝයි.”

සත්වයා ගුහාවෙහි යනු ගුහාවෙහි ඇළුණේය විශේෂයෙන් ඇළුණේ ලග්නවූයේ යනුයි. මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරණ ලදී.

“රාධය රූපයෙහි
(ii) යම් ආශාවක් යම් රාගයක් යම් බැඳීමක් යම් තෘෂ්ණාවක් සිතින් උපාදානවශයෙන් තදින් බැසගැන්මක් ඇද්ද, එහි ඇළුනේනුයි එහි විශේෂයෙන් ඇළුනේනුයි “සත්වයා’ යයි කියනු ලැබේ
(iii) රාධය වේදනාවෙහි යම් බැඳීමක් යම් තෘෂ්ණාවක් සිතින් උපාදානවශයෙන් තදින් බැසගැන්මක් ඇද්ද, එහි ඇළුනේනුයි එහි විශේෂයෙන් ඇළුනේනුයි “සත්වයා’ යයි කියනු ලැබේ.
(iii) සංඥාවෙහි යම් බැඳීමක් යම් තෘෂ්ණාවක් සිතින් උපාදානවශයෙන් තදින් බැසගැන්මක් ඇද්ද, එහි ඇළුනේනුයි එහි විශේෂයෙන් ඇළුනේනුයි “සත්වයා’ යයි කියනු ලැබේ.
(iv) රාධය සංස්කාරයන්හි යම් බැඳීමක් යම් තෘෂ්ණාවක් සිතින් උපාදානවශයෙන් තදින් බැසගැන්මක් ඇද්ද, එහි ඇළුනේනුයි එහි විශේෂයෙන් ඇළුනේනුයි “සත්වයා’ යයි කියනු ලැබේ
(v) විඤ්ඤානයෙහි යම් බැඳීමක් යම් තෘෂ්ණාවක් සිතින් උපාදානවශයෙන් තදින් බැසගැන්මක් ඇද්ද, එහි ඇළුනේනුයි එහි විශේෂයෙන් ඇළුනේනුයි “සත්වයා’ යයි කියනු ලැබේ .

§ 2. සත්ව යනු ඇලීමට විශේෂ වචනයකි. “සත්වයා ගුහාවෙහි බොහෝ සෙයින් වැසී සිටියේ” යනු බොහෝ ක්ලෙශයන්ගෙන් වැසුනු, රාගයෙන් වැසුන ද්වේෂයෙන් මෝහයෙන් ක්‍රෝධයෙන් බද්ධ වෛරයෙන් ගුණමකුකමින් එකට එක කිරීමෙන් ඊර්ෂ්‍යාවෙන් මසුරුකමින් රැවටිල්ලෙන් කෛරාටික කමින් තද කමින් එකට එක කිරීමෙන් මානයෙන් අතිමානයෙන් මදයෙන් ප්‍රමාදයෙන් සියලු ක්ලෙශයන්ගෙන් සියලු දුශ්චරිතයන්ගෙන් සියලු විඩාවන්ගෙන් සියලු පරිදාහයන්ගෙන් සියලු සන්තාපයන්ගෙන් සියලු අකුශල ක්‍රියාවන්ගෙන් වැසුනේ යටවූයේ ආවරණවූයේ යටි කුරුවූයේ යනුයි.

§ 3. මෝහයෙහි දැඩිව සිටින්නාවූ සත්වයා” යන්නෙහි සිටින්නාවූ මිනිසා” යනු සිටින්නාවූ මිනිසා ඇළුනේ රාග වශයෙන් සිටියි. ද්වේෂයට පැමිණියේ ද්වේෂවශයෙන් සිටියි. මුළාවූයේ මෝහ වශයෙන් සිටියි. එකට බැඳුනේ මාන වශයෙන් සිටියි. පරාමර්ශනය කරණ ලද්දේ දෘෂ්ටි වශයෙන් සිටියි. සිත කැළඹීමට ගියේ උද්ධච්ච වශයෙන් සිටියි. නීවරණයකට නොපැමිණියේ සැක වශයෙන් සිටියි. උත්සාහවත්වූයේ අනුශය (සිතිවිලි) වශයෙන් සිටියි.

§ 4 භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලදී.
මහණෙනි, ඇසින් (ii) හැඳිනගනු ලබන්නාවූ ඉෂ්ටවූ, කාන්තවූ, මනවඩන්නාවූ, ප්‍රිය රූපවූ, කාමයෙන් යුක්තවූ, ඇලෙන්නාවූ (iii) රූපයෝ ඇත්තාහ. (iv) ඉදින් භික්ෂුව එහි සතුටුවෙයි. එය ප්‍රකාශ කරයි. බලවත් ඇල්මෙන් සිටියි.

§ 5 මහණෙනි, කණින් (24 (ii) යෙදිය යුතුයි.) ශබ්දයෝ ඇත්තාහ. (24 (iv) යෙදිය යුතුයි).

§ 6. නාසයෙන් (24 (ii) යෙදිය යුතුයි.) ගන්ධයෝ ඇත්තාහ. (24 (iv) යෙදිය යුතුයි.)

§ 7 දිවින් (24 (ii) යෙදිය යුතුයි.) රසයෝ ඇත්තාහ. (24 (iv) යෙදිය යුතුයි.)

§ 8 කයින් (24 (ii) යෙදිය යුතුයි.) ස්පර්ශයෝ ඇත්තාහ. (24 (iv) යෙදිය යුතුයි.)

§. 9 සිතින් (24 (ii) යෙදිය යුතුයි.) ධර්මයෝ ඇත්තාහ. (24 (iv) යෙදිය යුතුයි.)

§ 10. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාරණ ලදී
“මහණෙනි,
(i) රූපයෙන්
(ii) ඇතිවන විඤ්ඤානය සිටිනු ලබන්නේ සිටියි.
(iii) රූපාරම්මණය රූප ප්‍රතිෂ්ඨාව
(iv) ප්‍රීතියෙන් සේවනය කිරීම අභිවෘද්ධියට වැඩීමට විශාලත්වයට පැමිණෙයි.

§ 11. වේදනාවෙන් (30 (ii) යෙදිය යුතුයි.) වේදනාරම්මනය වේදනා ප්‍රතිෂ්ඨාව (30 (iv) යෙදිය යුතුයි).

§ 12 සංඥාවෙන් (30 (ii) යෙදිය යුතුයි) සංඥාරම්මනය සංඥා ප්‍රතිෂ්ඨාව (30 (iv) යෙදිය යුතුයි).

§ 13. සංස්කාරයෙන් (30 (ii) යෙදිය යුතුයි.) සංස්කාරම්මනය සංස්කාර ප්‍රතිෂ්ඨාව (30 (iv) යෙදිය යුතුයි.)

§ 14. විඤ්ඤානයෙන් (30 (ii) යෙදිය යුතුයි) විඤ්ඤානාරම්මනය විඤ්ඤාන ප්‍රතිෂ්ඨාව (30 (iv) යෙදිය යුතුයි)

§15. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලදී. මහණෙනි, ඉදින් කබලීකාර (පිඩු වශයෙන් අනුභව කරණ) ආහාරයෙහි රාගයක් ඇද්ද, බැඳීමක් ඇද්ද, තෘෂ්ණාවක් ඇද්ද එහි පිහිටි විඤ්ඤානය වැඩීමට ගියේවෙයි. යම්තැනෙක්හි පිහිටියාවූ විඤ්ඤානය වැඩුනේද එහි නාම රූපයන්ගේ පැවැත්ම ඇතිවේ යම්තැනක නාම රූපයන්ගේ පැවැත්ම වේද එහි සංස්කාරයන්ගේ අභිවෘද්ධිය ඇතිවේ. යම්තැනෙක සංස්කාරයන්ගේ අභිවෘද්ධිය ඇතිවේද එහි මතු නැවත ඉපදීම ඇතිවේ. යම් තැනෙක ඉපදීම ඇතිවේද එහි මත්තෙහි ජාති, ජරා, මරණවේද යම්තැනෙක මත්තෙහි ජාති, ජරා, මරණ වේද, මහණෙනි, එය ශොක සහිත, කෙලෙස් සහිත, තැන්පත් ශොක (උපායාස) සහිත වේයයි කියමි. “මහණෙනි, ඉදින් ඵස්සාහාරයෙහිද මනො සඤ්චෙතනාහාරයෙහිද, විඤ්ඤානාහාරයෙහිද ඇල්මක් ඇද්ද, බැඳීමක් ඇද්ද, තෘෂ්ණාවක් ඇද්ද, එහි විඤ්ඤානය පිහිටියේය. අභිවෘද්ධියට ගියේය. යම්තැනෙක ඒ විඤ්ඤානය පිහිටියේද වැඩීමට ගියේද එහි සිතේ කයේ බැසගැන්ම ඇතිවේ. යම්තැනක සිතේ කයේ බැසගැන්ම වේද එහි ක්‍රියාවන්ගේ වැඩීම සිදුවේ. යම්තැනෙක ක්‍රියාවන්ගේ අභිවෘද්ධිය වේද, එහි යලිදු පුනර්භවයෙහි ඉපදීම ඇතිවේ. යම්තැනක පුනර්භවයෙහි ඉපදීම ඇතිවේද, එහි යලිදු ජාති, ජරා, මරණ ඇතිවේ. යම්තැනක ජාති ජරා මරණ ඇතිවේද, මහණෙනි, එය ශොක සහිතවූ කෙලෙස් රජස් සහිතවූ උපායාස සහිතවූ තැනයයි කියමි.

§ 35 “දැඩිව මොහනයෙහි” යන තන්හි “මොහනා” යයි පඤ්චකාම ගුණයන්ට කියයි. ඇසින් (24 (ii) යෙදිය යුතුයි) රූපයෝද ඇත්තාහ කණින් (24 (ii) යෙදිය යුතුයි.) ශබ්දයෝද ඇත්තාහ. නාසයෙන් (24 (ii) යෙදිය යුතුයි) ගන්ධයෝද ඇත්තාහ. දිවෙන් (24 (ii) යෙදිය යුතුයි) රසයෝද ඇත්තාහ කයින් (24 (ii) යෙදිය යුතුයි) ස්පර්ශයෝද ඇත්තාහ. පඤ්චකාම ගුණයෝ කවර කරුණකින් මොහනයයි කියද්ද, බොහෝසෙයින් දෙවියෝද මිනිස්සුද පඤ්චකාම ගුණයන්හි මුලාවෙන් විශේෂයෙන් මුලාවෙත්. මුලාවූවෝ අවිද්‍යාවෙන් අන්ධ කරණලද්දෝ ආවරණය කරණලද්දෝ වසන ලද්දෝ වෙති ඒ කාරණයෙන් මොහනා (මුළා කරන්නී) යයි පඤ්චකාම ගුණයන් කියති “මොහනයෙහි දැඩිව” යනු මුලාවීමෙහි ඈළුණු පැටලුණු බැසගත් ගිලුණාවූ යනුයි.

§ 36 “විවේකයෙන් දුරුවූ එබඳුවූ හෙතෙම” යන්නෙහි “විවේක” යනු කාය විවේක චිත්ත විවේක උපධි විවේක යන තුනයි. කාය විවේකය කවරේද, මේ ශාසනයෙහි මහණතෙම අරණ්‍ය, වෘක්ෂමූල, පර්වත කඳු බෑවුම්, සොහොන්, කැලෑබද ස්ථාන, අභ්‍යවකාශ පිදුරු බිසි යන විවේක සෙනසුන් භජනය කරයි. කයින්ද විවේකව වසයි. හෙතෙම තනිව ගමන් කරයි. තනිව සිටියි. තනිව වැඩ හිඳියි. තනිව සයනය කරයි තනිව ගමට පිඩු පිණිස හැසිරෙයි. තනිව ආපසු එයි. තනිව රහසිගතව වැඩහිඳියි. තනිව සක්මනට බසියි. තනිව හැසිරෙයි. වාසය කරයි. ඉරියව් පවත්වයි පාලනය කරයි. යැපෙයි මේ කාය විවේකයයි.

§ 37 චිත්ත විවේකය කවරේද? ප්‍රථම ධ්‍යානයට සමවැදුනහුට නීවරණයන්ගෙන් සිත මිදුනේවෙයි. ද්විතීය ධ්‍යානයට සමවැදුනහුට විතර්ක විචාරයන්ගෙන් සිත විවේක වෙයි. තෘතීය ධ්‍යානයට සමවැදුනහුට ප්‍රීතියෙන් සිත විවේක වෙයි. චතුර්ථධ්‍යානයට සමවැදුනහුට සුඛ දුක්ඛයන්ගෙන් විවේකවූයේ වෙයි.

§ ආකාසානඤ්චායතනට සමවැදුනහුට රූප සඤ්ඤාවෙන් පටිඝ (ක්‍රොධ) සඤ්ඤාවෙන් නානත්ත සඤ්ඤාවෙන් සිත විවේක වූයේ වෙයි. විඤ්ඤානඤ්චායතනයට සමවැදුනහුට ආකාසානඤ්චායතනයෙන් සිත විවේක වූයේ වෙයි. ආකිඤ්චායතනයට සමවැදුනහුට විඤ්ඤානඤ්චායතන සංඥාවෙන් සිත විවේකවූයේ වෙයි. නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට සමවැදුනහුට ආකිඤ්ඤායතන සංඤ්ඤා වෙන් සිත විවේකවූයේ වෙයි සෝවාන්වූවහුට සක්කායදිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස දිට්ඨානුසය විචිකිච්ඡානුසය හා එයට හේතුවූ ක්ලෙශයන්ගෙන් සිත විවේකවූයේ වෙයි සකෘදාගාමි වූවහුට ඕලාරිකවූ කාමරාග සඤ්ඤොජනයෝද පවිස සඤඤොජනයෝද ඕලාරික කාමරාගනුසයයෝද පටිඝානුසයයෝද එයට හේතුවූ කෙලෙස්වලින්ද සිත විවේකවෙයි. රහත්වූ ඔහුට රූපරාග අරූපරාග මාන උද්ධච්ච අවිජ්ජා මානානුසය භවරාගානුසය අවිජ්ජානුසය යන මෙයින්ද එයට හේතුවූ කෙලෙස් වලින්ද පිටත සියලු නිමිතිවලින්ද සිත විවේක වූයේවෙයි. මේ චිත්ත විවේකයයි.

§ 38 උපධි විවේකය කවරේද? ක්ලෙශයෝද ස්කන්ධයෝද, අභිසංස්කාරයෝද උපධියයි කියත්. අමෘතවූ නිර්වාණයට උපධි විවේකයයි කියයි. යමෙක් සියලු සංස්කාරයන් සංසිඳවූයේ සියලු කෙළෙස් නැතිකළේද තෘෂ්ණා ක්ෂයවූයේද නොඇලීම් ඇතිවූයේද බැඳුම් නැතිවූයේද එය නිවණයි. මේ උපධි විවේකයයි නෛෂ්කාම්‍යයෙහි ඇළුනාවුන්ට ශරීරාශා ඈත්කළවුන්ට කාය විවේකයද පිරිසිදු සිත් ඇත්තන්ට අතිශය පීරිසිදු බවට පැමිණියවුන්ට චිත්ත විවේකයද සංස්කාරයන්ගෙන් මිදුන පුද්ගලයින්ට කෙලෙස් නැතියවුන්ට උපධි විවේකයදවේ.

§ 39 “විවේකයෙන් දුරෙහිමය, යන්නෙහි මෙසේ ගුහාවෙහි ඇළුන මෙසේ බොහෝ කෙලෙස්වලින් වැසුන මෙසේ මුළාව දැඩිවගත් යම් ඒ කෙනෙක් වේද, හෙතෙම කාය විවේකයෙන්ද දුරය. උපධි විවේකයෙන්ද දුරය. ඈතය, ලඟනොවේ. සමීපයෙහි නොවේ. අසල නොවේ. අනාසන්නයෙහිය.

§ 40 “එබඳුවූ” යනු එබඳුවූ එසේ සිටියාවූ එබඳු ප්‍රකාරවූ යම් ඒ කෙනෙක් කෙළෙස් දැඩිව ගත්තේද, හෙතෙම විවේකයෙන් දුරවේ.

§ 41 “කාමයෝ ලෝකයෙහි පහසුවෙන් දුරලිය නොහැකිමය, යන්නෙහි කාමයෝ නම් ප්‍රකට වශයෙන් කාමයෝ දෙකොටසකි. (මෙහි (1) 1 (ii) සහ 2 (i) ඡේදය යෙදිය යුතුයි) “ලෝකයෙහි යනු අපාය ලෝකයෙහි මනුෂ්‍යලෝකයෙහි දිව්‍ය ලෝකයෙහි ස්කන්ධලෝකයෙහි ධාතුලෝකයෙහි ආයත ලෝකයෙහි යනුයි

§ 42 “කාමයෝ” නම් ලොව පහසුවෙන් හැරිය හැක්කෝ නොවෙත්මය. යනු ලෝකයෙහි කාමයෝ දුකසේ දුරු කටයුතුය. දුකසේ අත්හැරිය යුතුය දුකසේ පරිත්‍යාග කටයුතුය. දුකසේ සංසිඳ විය යුතුය.

§ 1 “ආශාව නිදානකොට භව සැපයෙහි ඇළුනේ” යන්නෙහි ‘ආශාව’, යනු තෘෂ්ණාවයි. යම් රාගයක් ඇද්ද ඇලීමක් ඇද්ද යම් ලංවීමක් ඇද්ද යම් රැහැනක් ඇද්ද යම් නන්දිරාගයක් ඇද්ද යම් බලවත් රාගයක් ඇද්ද යම් ආශාවක් ඇද්ද බැසගැන්මක් ගිජුවීමක් මඩක් ඇද්ද එජා මායා ජනිකා සංජනිකා සංජනනී සිබ්බනි ජාලිනී සරිතා විසත්තිකා යන නම්වලින් හඳුන්වන තෘෂ්ණාවක් ඇද්ද මෙහි (1-3) 3 (ii) ඡේදය යෙදිය යුතුයි)

§ 2 “ආශාව නිදානකොට” යනු ආශාව මුල හේතුවෙන් ආශා හේතුවෙන් ආශාප්‍රත්‍යයෙන් ආශාකාරණයෙන් ආශාප්‍රභවයෙන්

§ 3 “භවසැපයෙහි බැඳුනේ” යනු සුඛවේදනාව එක් භව සැපයකි සුඛවේදනාවද ඉෂ්ට වස්තුවද භවසැප දෙකකි. තරුණභාවය, ආරොග්‍යය ජීවිතයද භවසැප තුනකි. ලාභය, කීර්තිය, ප්‍රශංසාව, සැපය භවසැප සතරකි.

මනවඩන රූපයෝ
මනවඩන ශබ්දයෝ
මනවඩන ගන්ධයෝ
මනවඩන රසයෝ
මනවඩන ස්පර්ශයෝ භවසැප පසකි

(i) චක්ෂු සම්පත්තිය
(ii) ශ්‍රොත සම්පත්තිය
(iii) ඝ්‍රාණ සම්පත්තිය
(iv) ජිහ්වා සම්පත්තිය
(v). කාමසම්පත්තිය
(vi). මනොසම්පත්තිය
යන භවසැප සයකි.

§ 4 “භවසැපයෙහි බැඳුනේ” යනු ඉෂ්ට වස්තුවෙහි සැප වේදනාවෙන් ඇළුනේ බැඳුනේ යනුයි. තරුණකමෙහි බැඳුනේ නිරෝගිකමෙහි බැඳුනේ ජීවිතයෙහි බැඳුනේ ලාභයෙහි බැඳුනේ කීර්තියෙහි බැඳුනේ ප්‍රශංසාවෙහි බැඳුනේ සැපයෙහි බැඳුනේ මනවඩන රූපයන්හි බැඳුනේ ශබ්දයෙහි ගන්ධයෙහි, රසයෙහි මනවඩන්නාවූ ස්පර්ශයෙහි (ii) චක්ෂු සම්පත්තියෙහි (යෙහි යන්න එකතුකර 3 (ii) ඡේදය යෙදිය යුතුයි.) ලැගුනේ, බැඳුනේ, ගැටුනේ’ වෙළුනේ යනුයි ඔව්හු අමාරුවෙන් මිදිය යුතුය. අනික් මිදීමක් නැත යනු ඒ භවසාත වස්තු හෝ (iii) දුකසේ මිදිය යුතුය. මෙයින් සත්වයෝ හෝ (iii) දුකසේ මිදිය යුතුය. කෙසේ ඒ භවසාත වස්තු දුකසේ මිදිය යුතුද? සැප වේදනාවෝ දුකසේ මිදිය යුතුද (iv) ඉෂ්ට වස්තු, තරුණ භාවය, ආරොග්‍යය, ජීවිතය ලාභය, කීර්තිය, ප්‍රශංසාව, සැපත, මනවඩන රූපයෝ, ශබ්දයෝ, ගන්ධයෝ, රසයෝ, ස්පර්ශයෝ (v) (මෙහි 4 (ii) ඡේදය යෙදිය යුතුයි) දුකසේ මිදිය යුතුය. දුකසේ හැරදැමිය යුතුය. දුකසේ තරණය කටයුතුය. දුකසේ ඉක්මවිය යුතුය දුකසේ නැවැත්විය යුතුය. මෙසේ ඒ භවසාත වස්තූහු දුකසේ මිදිය යුතුය. කෙසේ සත්වයෝ මෙයින් මිදිය යුතුද? සැප වේදනාවෙන් (මෙහි 4 (iv) ඡේදය යෙදිය යුතුයි) දුකසේ මිදිය යුතුය. දුකසේ උදුරා දැමිය යුතුය. දුකසේ උපුටා දැමිය යුතුය දුකසේ හැරදැමිය යුතුය. දුකසේ තරණය කටයුතුය. දුකසේ සංසිඳවිය යුතුය. දුකසේ නැවැත්විය යුතුය. මෙසේ සත්වයෝ මෙයින් දුකසේ මිදිය යුතු බැවින් “දුකසේ මිදිය යුත්තෝ” නම්වේ.

§ 5 “අනිකෙකු මිදීමක් නැත්තේමය.” යනු ඔවුහු තුමූම මඩෙහි එරුණාහු අන්‍යයා ගොඩගන්නට නොහැකිවෙත්. භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේමය. “චුන්දය ඒකාන්තයෙන් හෙතෙම මඩෙහි එරුනේ මඩෙහි එරුන අන්‍යයා ගොඩගනියි, යන මේ කාරණය නොසිදුවෙයි. චුන්දය ඒකාන්තයෙන් හෙතෙම තමා නොදැමුනේ විනීත නොවූයේ නොනිවුනේ අන්‍යයා දමනය කරයිද හික්මවයිද නිවීමට පත්කරයිද යන මේ කාරණය නොසිදුවේ. මෙසේද අන්‍යයන් මිදීමට නොහැකිය.

§ මිදිය හැකි අන් කිසිවෙක් නැද්ද, ඔවුහු ඉදින් මුදවන්නාහුය. (ඒ කවරහුද) ස්වකීය උත්සාහයෙන් ස්වකීය බලයෙන් ස්වකීය වීර්‍ය්‍යයෙන් ස්වකීය පරාක්‍රමයෙන් ස්වකීය පුරුෂධෛර්‍ය්‍යයෙන් ස්වකීය පුරුෂ බලයෙන් තමා සම්‍යක් ප්‍රතිපදාවට අනුලෝම ප්‍රතිපදාවට, ධර්මානුධර්ම ප්‍රතිපදාවට පිළිපන්නාහු මුදන්නාහුය යනුයි” මෙසේද අනෙක් මුදන්නෝ නොවෙත්මය. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණලදී.

§. “ධොතකය මම ලෝකයෙහි කිසිම සැකකරන්නකු මිදීම පිණිස තැත්නොකරමි. ශ්‍රේෂ්ඨවූ ධර්මය මනාකොට දැනගනු ලබන්නාවූ තෝ මේ ඔඝය මෙසේ තරණය කෙළෙහිය. මෙසේද අන්‍යයා මිදවීමට නොහැකියයි” භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී.

§ 6 “තමා කළ පාපය තමා කිලුටු කරයි. තමා නොකළ පාපය තමාම පිරිසිදු කරයි. ශුද්ධිය හා අශුද්ධිය වෙන වෙනම ඔවුනොවුන් පිරිසිදු කරන්නේය. අනිකෙක් අනිකකු පිරිසිදු කරන්නේ නොවේ. මෙසේද අන්‍යයා මිදවියහැකි නොවේ.” භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේමය. “බ්‍රාහ්මණය, මෙපරිදිම වනාහි නිර්වාණය පවතීමය. නිර්වාණගාමී මාර්ගය පවතියි. සමාදන් කරවන්නාවූ මම සිටිමි. එසේ නමුදු මා විසින් මෙසේ අවවාද කරණු ලබන, අනුශාසනා කරණු ලබන, මාගේ ඇතැම් ශ්‍රාවකයෝ ඒකාන්ත කෙළවරවූ නිර්වාණය බලාපොරොත්තු වෙත්. ඇතැම් කෙනෙක් බලාපොරොත්තු නොවෙත්. බ්‍රාහ්මණය, මෙහිලා මම කුමක් කෙරෙම්ද, බ්‍රාහ්මණය තථාගතතෙම මාර්ගය ප්‍රකාශ කරන්නායි. බුදුරජතෙම මාර්ගය කියයි. තමා පිළිපදින්නාහු මිදෙත්. මෙසේද අන්‍යයා මිදවීමට නොහැකිය.

“පෙර හෝ පසුව හෝ පතන්නේ” යන මෙහි පසුව යනු අනාගතයට කියයි. පෙර යයි අතීතයට කියයි. නැවතද අතීතය අනුව අනාගතයද වර්තමානයද “පසු” නම් අනාගතය අනුව අතීතයද වර්තමානයද “පෙර” නම් වේ. කෙසේ අනාගතය අපෙක්ෂා කෙරේද, අතීතයෙහි මෙබඳු රූපයක් වීමියි එහි (නන්දිය) ආශාව ඇති වෙයි. මෙබඳු වේදනාව වීමි. මෙබඳු සංඥාව වීමි. මෙබඳු සංඛාරය වීමි. මෙබඳු විඤ්ඤානය වීමි’යි එහි ආශාව ඇතිවෙයි. මෙසේද අතීතය අපෙක්ෂා කරයි. යලිදු හෝ මෙසේ අතීතයෙහි මාගේ චක්ෂුස විය. මෙසේ රූපයයි එහි විඤ්ඤානය ඡන්දරාග ප්‍රතිබද්ධවූයේ වෙයි. විඤ්ඤානයාගේ ඡන්දරාගයෙන් බැඳුන බැවින් එය බලාපොරොත්තු වෙයි. එය බලාපොරොත්තු වන්නේ මෙසේද අතීතය අපෙක්ෂා කරයි. යලිදු හෝ මෙසේ මාගේ ශ්‍රොතය (කණ) අතීතයෙහි විය මෙසේ ඝ්‍රාණය (නාසය) මෙසේ ජිව්හාව අතීතයෙහි විය මෙසේ රසය මෙසේ ස්පර්ශය අතීතයෙහි විය. මෙසේ මනස විය මෙසේ ධර්මයෝ අතීත කාලයෙහි විය. එහි විඤ්ඤානය ඡන්දරාග ප්‍රතිබද්ධවූයේ වෙයි. එය බලාපොරොත්තුවෙයි. මෙසේද බලාපොරොත්තු වන්නේ අතීතය අපෙක්ෂා කරයි. යලිදු පෙර ස්ත්‍රියක් සමග සිනහවූ කථාකළ ක්‍රීඩාකළ යම් දෙයක් ඇත්ද ඒවා ආශ්වාදය කරයි. එය බලාපොරොත්තු වෙයි. එයින්ද ප්‍රීතියට පැමිණෙයි. මෙසේද අතීතය බලාපොරොත්තු වෙයි. කෙසේ අනාගතය බලාපොරොත්තු වේද? අනාගත කාලයෙහි මෙබඳු රූපයක් වන්නේයයි එහි ආශාව ඇතිවෙයි. මෙසේ වේදනාවක් මෙසේ සංඥාවක් මෙසේ සංස්කාරයන් මෙසේ විඤ්ඤානයන් අනාගතයෙහි වන්නේයයි එහි ආශාව ඇතිකරයි. මෙසේද අනාගතය බලාපොරොත්තු වෙයි. යලිදු හෝ මෙසේ මාගේ චක්ෂුස අනාගතයෙහි වන්නේය. මෙසේ රූපයෝයයි නොලැබූදේ ලැබීම පිණිස සිත පිහිටුවයි. සිත පිහිටවූ බැවින් එය සතුටු වෙයි. මෙසේද අනාගතය බලාපොරොත්තුවෙයි. යලිදු මාගේ ශ්‍රොතය අනාගතයෙහි වන්නේය. මෙසේ ශබ්දයෝ, මෙසේ ගන්ධයෝ, මෙසේ දිව, මෙසේ රසය, මෙසේ කය, මෙසේ ස්පර්ශය, මෙසේ සිත මෙසේ ධර්මයෝ අනාගතයෙහි වන්නේයයි නොලැබූ දෙය ලැබීම පිණිස සිත පිහිටුවයි. සිතින් ප්‍රාර්ථනා කළ බැවින් ඒ ගැන සතුටු වෙයි. එසේ සතුටු වන්නේ මෙසේද අනාගතය බලාපොරොත්තු වෙයි. යලිදු හෝ මම මේ ශීලයෙන් හෝ ව්‍රතයෙන් හෝ තපසින් හෝ බඹසරින් හෝ දෙවියෙක් හෝ වන්නෙමි. දෙවියන්ගෙන් අන්කෙනෙකු හෝයි නොලැබූ දේ ලැබීම පිණිස සිත පිහිටුවයි. සිතින් බලාපොරොත්තුවූ බැවින් ඒ ගැන සතුටු වෙයි. ඒ ගැන සතුටුවන්නේ මෙසේද අනාගතය අපෙක්ෂා කෙරෙයි.

§ 7 “මේ කාමයන් ගැන පෙරටුව කථාකරන්නාවූ” යනු මේ කාමයන් යනු පවත්නා කාලයෙහි පඤ්චකාම ගුණයන් කැමතිවන්නාවූ පිළිගන්නාවූ පවත්නාවූ ආශා කරන්නාවූ ඒ ගැන කථාකරන්නාවූ ඉල්වන්නාවූ යනුයි.

§ 1 (i) “කාමයෙහි ගිජුවූ යෙදුනාවූ මුළාවූ” යනු ප්‍රකට වශයෙන් කාමයෝ දෙකොටසක් වෙති. වස්තු කාමයෝද ක්ලේශ කාමයෝද යනුයි. (මෙහි (1) 2 (ii) සහ 3 (i) ඡේද යෙදිය යුතුයි) මොවුහු වස්තුකාම යයි කියත්. මොවුහු ක්ලේශ කාම යයි කියත්.
(ii) “ගිජුය” යනු තෘෂ්ණාවට කියයි. යම් රාගයක් ඇල්මක් (මෙහි (3) 3 ඡේදයේ යම් ළංවීමක් යන තැන සිට අගට යෙදිය යුතුයි) අභිධ්‍යාවක් ලෝභයක් අකුශල මූලයක් වේද, (එයයි) ක්ලේශ කාමයෙන් වස්තුකාමයන්හි ඇළුනාවූ ගිජුවූ වෙළුනාවූ මුසපත්වූ බැසගත්තාවූ එල්බුනාවූ යනුයි.

“යෙදුනේ” යනු යමෙක් තුමූ කාමයන් සොයත්ද, උත්සාහයෙන් සොයත්ද විමසා සොයත්ද, (ii) එය චරිත කොට ඇති එය බහුලකොට ඇති එය ගරුකොට ඇති එයට නැඹුරු වූ එයට බරවූ මහත්සේ බරවූ එහි ඇළුනාවූ එය අධිපතිකොට ඇත්තාවූ (යනුයි) ඔවුහුද කාමයෙහි ඇළුනෝවෙත්. (iv) යමෙක් තෘෂ්ණාවශයෙන් රූපයන් සොයද්ද, උත්සාහයෙන් සොයද්ද, විමසා සොයද්ද, ශබ්දයන් ගන්ධයන් රසයන් ස්පර්ශයන් සොයත්ද, එය චරිතකොට ඇත්තාවූ (මෙහි මේ ඡේදයේ (iii) යෙදියයුතුයි.) ඔවුහුද කාමයෙහි ඇළුනෝ වෙත්. යමෙක් තුමූ තෘෂ්ණා වශයෙන් රූපයන් ලබත්ද (මෙහි මේ ඡේදයේ (iv) “සොයද්ද” වෙනුවට “ලබද්ද” කියාද “ඇළුනේ” වෙනුවට ‘යෙදුනාහුද’ කියා වෙනස්කර යෙදිය යුතුයි.) ස්පර්ශයන් ලබද්ද එය චරිතකොට ඇති එය අධිපතිකොට, ඇත්තාවූ ඔවුහුද කාමයෙහි යෙදුනාහු වෙත්. යම්සේ කෝලාහල කරන්නා කෝලාහලයෙහි යෙදුනේ වෙයි. වැඩ කරන්නා වැඩෙහි යෙදුනේ වෙයි ගොදුරු සොයන්නා ගොදුරු සෙවීමෙහි යෙදුනේ වෙයි. ධ්‍යානයට සමවැදෙන්නා ධ්‍යානයෙහි යෙදුනේ වෙයි. මෙසේම යමෙක් කාමයන් සොයද්ද, උත්සාහයෙන් සොයද්ද, විමසීම් වශයෙන් සොයද්ද එය චරිතකොට ඇත්තාවූ එය බහුලකොට ඇත්තාවූ එය ගරුකොට ඇත්තාවූ එයට නැඹුරුවූ එයට බරවූ එයට විශේෂයෙන් බරවූ එහි ඇළුනාවූ එය අධිපති කොට ඇති (කෙනෙක් වෙද්ද) ඔවුහුද කාමයෙහි යෙදුනෝ වෙති. යමෙක් තෘෂ්ණා වශයෙන් රූපයන් ලබද්ද (මෙහි මේ ඡේදයෙහි “සොයද්ද” වෙනුවට “පරිභොග කරද්ද” කියා වෙනස්කර (iv) යෙදිය යුතුයි.) යමෙක් තෘෂ්ණා වශයෙන් රූපයන් පරිභොග කරද්ද ශබ්දයන්, ගන්ධයන්, රසයන්, ස්පර්ශයන් පරිභොග කරද්ද එය චරිතකොට ඇත්තාවූ එය බහුලකොට ඇත්තාවූ එය ගරුකොට ඇත්තාවූ එයට නැඹුරුවූ එයට බරවූ එයට විශේෂයෙන් බරවූ එහි ඇළුනාවූ එය අධිපතිකොට ඇති ඔවුහුද කාමයෙහි යෙදුනාහුවෙති.

§ 2 “ඉතා මුළාවූවෝ” යනු බොහෝ සෙයින් දිව්‍ය මනුෂ්‍යයෝ පඤ්චකාම ගුණයන්හි මුලාවෙත්. ප්‍රකර්ෂයෙන් මුලාවෙත්. බොහෝ සෙයින් මුලාවෙත්. අවිද්‍යාවෙන් අන්ධ කරණ ලද්දාහු ආවරණය කරණ ලද්දාහු වසනලද්දාහු ප්‍රතිච්ඡන්න කරණලද්දාහු වෙත්.

§ 3 ‘විෂමාචාරයේ පිවිසි ඒ මසුරෝ (අවදානියයෝ) යන්නෙහි “මසුරෝ” (අවදානිය) යනු අපායට යේනුයි. අවදානිය නම්වේ. බුදුවරයන්ගේ බුද්ධ ශ්‍රාවකයන්ගේ වචනය මාර්ගය දෙශනය අනුශාසනය නොගනිත් නුයි “අවදානිය” නමි. එසේ අවදානිය වූවෝ අපායට කෙසේ යෙද්ද, නරකයට යති. තිරිසන් යොනියට යති. ප්‍රෙතවිෂයට යති. මෙසේ අපායට යේනුයි අවදානිය නම්වේ. කෙසේ මසුරාට අවදානිය යයි කියද්ද, මසුරුකම් පසක් වෙති ආවාස මච්ඡරිය, කුලමච්ඡරිය ලාභ මච්ඡරිය, වණ්ණ මච්ඡරිය, ධම්මමච්ඡරිය යනුයි යමෙකු මෙබඳු මසුරුකමක් මසුරුවීමක් මසුරුබවක් තද ලෝභයක්, තදබන්ධනයක් සිතින් ගන්නාලද්දේ, මෙය මසුරුකමයයි කියනුලැබේ. නැවතද ස්කන්ධ මාත්සර්‍ය්‍යයද ධාතු මාත්සර්‍ය්‍යයද ආයතන මාත්සර්‍ය්‍යයද, ගනීද මෙයද මසුරුකම යයි කියනු ලැබේ. මේ මසුරුකමින් අපාය මාර්ගය ප්‍රකාශ කරවමින් යෙදුන ජනයෝ ප්‍රමාදවූවෝ වෙති. මෙසේ මසුරාට අවදානියයි කියනු ලැබේ. කෙසේ බුදුවරුන්ගේ බුද්ධශ්‍රාවකයන්ගේ වචන යහපත් මාර්ග දේශනාව අනුශාසනය නොඅදහද්ද නොඅසද්ද කණ නොනමද්ද, ඒ පිළිබඳ සිත නොයොදද්ද වැරදි හැඟීමෙන් මුහුණ අන්මගක යොදවද්ද මෙසේ බුදුවරුන්ගේ බුද්ධශ්‍රාවකයන්ගේ යහපත් මාර්ගය දෙශනය අනුශාසනය නොගනිත් නුයි අවදානිය නම්වේ.

§ 4 “විෂමාචාරයේ පිවිසි ඔවුහු” යන මෙහි විෂම යනු විෂමවූ කාය කර්මයෙහි ඇළුණු විෂමවූ වචී කර්මයෙහි ඇළුණු විෂමවූ මනඃකර්මයෙහි ඇළුණු විෂමවූ ප්‍රාණඝාතයෙහි විෂමවූ අදත්තාදානයෙහි විෂමවූ කාමමිත්ථ්‍යාචාරයෙහි විෂමවූ මුසාවාදයෙහි විෂමවූ පිසුණාවාචයෙහි ඇළුනු විෂමවූ ඵරුෂ වචනයෙහි විෂමවූ සම්ඵප්‍රලාපයෙහි ඇළුනු විෂමවූ අභිධ්‍යාවෙහි ඇළුනු විෂමවූ ව්‍යාපාදයෙහි විෂමවූ මිථ්‍යාදෘෂ්ටියෙහි විෂමවූ සංස්කාරයන්හි විෂමවූ පංචකාම ගුණයන්හි විෂමවූ පංච නීවරණයන්හි ඇළුනු බැඳුනු පිහිටි එල්බගත් පැමිණි බැසගත්තේනුයි විෂම දෙයෙහි ඇළුනානම් වේ.

§ 5 “දුකට පත්වූවාහු වැලපෙත්” යන්නෙහි “දුකට පත් වූවාහු” යනු දුකට පැමිණි දුකට සම්ප්‍රාප්තවූ මාර වසඟයට පැමිණි, මරණප්‍රාප්ත, මරණයට උපගතවූ (සත්වයෝ) යනුයි” “ පරිදෙවයන්ති” යනු හඬ දෙත්. එක්ව හඬ දෙත්. ශොක වෙත් ක්ලාන්ත වෙත්. වැළපෙත්. පපුවට අත ගසා හඬත් මුලා බවට පැමිණෙත්. “මින් මළාහු කුමක් වන්නමෝද” යනු මෙයින් චුතව කවරකු වන්නෙමුද, නිරිසත්තු වන්නෙමුද, තිරිසන්නු වන්නෙමුද, ප්‍රෙතයෝ වන්නෙමුද මනුෂ්‍යයෝ වන්නෙමුද දෙවියෝ වන්නමුද රූපී (බ්‍රහ්මයෝ) වන්නෙමුද අරූපී (බ්‍රහ්මයෝ) වන්නෙමුද සඤ්ඤී (අරූපීහු) වන්නෙමුද අසඤ්ඤිහු (සිත නැති) වන්නෙමුද නෙවසඤ්ඤි නාසඤ්ඤි වන්නෙමුද, අපි අනාගත කාලයෙහි වන්නෙමුද අනාගත කාලයෙහි කවරකු හෝ වන්නෙමුද, අනාගත කාලයෙහි කෙසේ හෝ වන්නෙමුද අපි අනාගත කාලයෙහි කවරෙකුවී කෙසේ වන්නෙමුද සැකයට පැමිණියාහු විමතියට පැමිණියාහු විනිශ්චයට නොබැස කථා කරත්. සාකච්ඡා කරත්. ශොක කරත්. ක්ලාන්ත වෙත්. වැළපෙත් පපුවට දෙඅත් ගසා හඬත්. මුලා බවට පැමිණෙත්.

1 (i) “එහෙයින් සත්වතෙම මෙහිම හික්මෙන්නේ” යන්නෙහි “එහෙයින්” යනු එහෙයින් ඒ කාරණයෙන් ඒ හේතුවෙන් ඒ ප්‍රත්‍යයෙන් එය නිදාන කොට කාමයන්හි මේ ආදීනව දකිනු ලබන්නේ එහෙයින් හික්මෙව් යනුහි හික්මීම් තුනකි. අධිශීල ශික්ෂා අධිචිත්ත ශික්ෂා අධිපඤ්ඤා ශික්ෂා යනුයි. (ii) අධිශීල ශික්ෂාව කවරීද? මේ ශාසනයෙහි භික්ෂුව සිල් ඇත්තේ වේද ප්‍රාතිමොක්ෂ සංවරයෙන් සංවෘතවූයේ වෙසේද ආචාරයෙන් හා ගොචරයෙන් යුක්තවූයේ ස්වල්ප වරදෙහි භය දක්නා සුළුව ශික්ෂාපදයන් සමාදන්ව හික්මේද, කුඩා ශීලස්කන්ධය මහත්වූ ශීලස්කන්ධය ශීල ප්‍රතිෂ්ඨාව ප්‍රථම හික්මීම සංයමය, සංවරය, කුශල ධර්මයන්ගේ පැමිණීමෙන් මිදීම යනුයි. මේ අධිශීල ශික්ෂාවයි. අධිචිත්තශික්ෂාව කවරීද, මේ ශාසනයෙහි මහණතෙම (iii) කාමයන්ගෙන් වෙන්ව අකුශල ධර්මයන්ගෙන් වෙන්ව විතර්ක සහිතවූ විචාර සහිතවූ විවේකයෙන් උපන් ප්‍රීති සැපය ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි. (iv) විතර්ක විචාරයන්ගේ සංසිඳීමෙන් අධ්‍යාත්මයෙහි පැහැදීම ඇති චිත්තයාගේ එකඟත්වයෙන් හටගත් විතර්ක රහිත විචාර රහිත සමාධියෙන් උපන් ප්‍රීති සැපය ඇති ද්විතීයධ්‍යානයට පැමිණ වාසය කරයි. (v) ප්‍රීතියගේ වෙන්වීමෙන් උපෙක්ෂාවෙන් යුක්තව වාසය කරයි. සිහි ඇත්තේ මනා දැනීම් ඇත්තේ සැපයද කයින් විඳියි. ආර්‍ය්‍යයෝ යම් ඒ ධ්‍යානයකට උපෙක්ෂා ඇත්තේ සිහි ඇත්තේ සැප විහරණයෙන් යුක්තවූයේ යයි කියද්ද, ඒ තෘතීය ධ්‍යානයට පැමිණ වාසය කරයි. (vi) සුඛයාගේ ප්‍රහානයෙන්ද දුක්ඛයාගේ ප්‍රහාණයෙන්ද සොම්නස් දොම්නස් නැති කිරීමට පෙර දුක නොවූ සැප නොවූ, මැදහත්කම හා සිහියේ පිරිසිදුකමින් යුත් චතුර්ථධ්‍යානයට පැමිණ වාසය කරයි. මේ අධි චිත්ත ශික්ෂා නමි.

2 අධිප්‍රඥා ශික්ෂාව කවරීද? මේ ශාසනයෙහි මහණතෙම උදයත්ථ ගාමීනී (ඇතිව නැතිවීම තේරුම් ගන්නා) ප්‍රඥාවෙන් යුක්තවූයේ දුක් කෙළවර කරන්නාවූ ආර්‍ය්‍යවූ ප්‍රඥාවෙන් යුක්තවූයේ ප්‍රඥාවත් වේද හෙතෙම මේ දුකයයි තත්වූ පරිද්දෙන් දනියි. මේ දුකට හේතුව යයි තත්වූ පරිද්දෙන් දනියි. මේ දුක්ඛ නිරෝධයයි තත්වූ පරිද්දෙන් දනියි. මේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව යයි තත්වූ පරිද්දෙන් දනියි. මේ අධිපඤ්ඤා ශික්ෂාවයි, මේ තුන් ශික්ෂාවන් ආවර්ජනා කරන්නේ හික්මෙන්නේය. දැනගන්නේ හික්මෙන්නේය. දකින්නේ හික්මෙන්නේය. සිහි කරන්නේ හික්මෙන්නේය. සිත පිහිටු වන්නේ හික්මෙන්නේය. ශ්‍රද්ධාවෙන් ස්ථිර ලෙස ඇලෙන්නේ හික්මෙන්නේය. වීර්‍ය්‍යය දැඩිව ගන්නේ හික්මෙන්නේය. සිහිය පිහිටුවන්නේ හික්මෙන්නේය. සිත තැන්පත් කරන්නේ හික්මෙන්නේය. ප්‍රඥාවෙන් දැනගන්නේ හික්මෙන්නේය. විශිෂ්ට ඥානයෙන් දැනගතයුත්ත දැනගන්නේ හික්මෙන්නේය. සම්පූර්ණයෙන් දැනගතයුත්ත දැනගන්නේ හික්මෙන්නේය දුරුකට යුත්ත දුරු කරන්නේ හික්මෙන්නේය. වැඩිය යුත්ත වඩන්නේ හික්මෙන්නේය. ප්‍රත්‍යක්ෂ කළයුත්ත ප්‍රත්‍යක්ෂ කරන්නේ හික්මෙන්නේය. හැසිරෙන්නේය. මනාකොට හැසිරෙන්නේය. සමාදන්ව වසන්නේය. “මෙහි” යනු මේ දෘෂ්ටියෙන් මේ ක්ෂාන්තියෙන් මේ රුචියෙන් මේ ග්‍රහණයෙන් මේ ධර්මයෙහි මේ විනයෙහි මේ ධර්ම විනයෙහි මේ උතුම් වචනයෙහි මේ බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි මේ ශාස්තෘ ශාසනයෙහි මේ ආත්ම භාවයෙහි මේ මනුෂ්‍ය ලෝකයෙහි එහෙයින් මෙහි යයි කියයි. ජන්තු යනු සත්වයා මනුෂ්‍යයා (මෙහි (1) 7 (ii) ඡේදය යෙදිය යුතුයි) එහෙයින් සත්වතෙමේ මෙහිම හික්මෙන්නේය.

3 “ලොව යම්කිසිවක් විෂමය කියා දන්නේ” යන්නෙහි සියල්ලෙන් සියල්ල සර්වප්‍රකාරයෙන් සියල්ල ශෙෂ නොකොට අවශෙෂ නොකොට වටකොට ගත් යන මේ වචනයයි.

4 “විෂමය කියා දන්නේ” යන්නෙහි, විෂමවූ කාය කර්මය විෂමයයි දන්නේය. විෂමවූ වචී කර්මය විෂමයයි දන්නේය වෂමවූ මනඃ කර්මය විෂමයයි දන්නේය. විෂමවූ ප්‍රාණඝාතය විෂමයයි දන්නේය. විෂමවූ අදින්නාදානය විෂම යයි දන්නේය විෂමවූ කාම මිථ්‍යාචාරය විෂමයයි දන්නේය. විෂමවූ මුසාවාදය විෂමයයි දන්නේය විෂමවූ කේලම විෂම යයි දන්නේය. විෂමවූ ඵරුෂ වචනය විෂමයයි දන්නේය. විෂමවූ හිස් වචන කීම විෂමයයි දන්නේය. විෂමවූ අභිධ්‍යාව විෂමයයි දන්නේය. විෂමවූ ව්‍යාපාදය විෂමයයි දන්නේය. විෂමවූ මිථ්‍යාදෘෂ්ටිය විෂමයයි දන්නේය විෂමවූ සංස්කාරය විෂමයයි දන්නේය විෂමවූ පංච කාම ගුණයෝ විෂමයයි දන්නේය. විශේෂයෙන් දන්නේය. උසස් ලෙස දන්නේය. අවබෝධ කරන්නේය. ‘ලොවේ’ යනු අපාය ලෝකයෙහි මනුෂ්‍ය ලෝකයෙහි, දිව්‍ය ලෝකයෙහි, ස්කන්ධ ලෝකයෙහි, ධාතු ලෝකයෙහි ආයතන ලෝකයෙහි යනුයි ලොව යම් කිසිවක් විෂමය කියා දන්නේ” යන්නට විස්තරය නිමියේය.

5 “එහි හේතුවෙන් විෂමව නොහැසිරෙන්නේය.” යනු විෂමවූ කාය කර්ම හේතුවෙන් විෂමව නොහැසිරෙන්නේය. විෂමවූ වචී කර්ම හේතුවෙන් විෂමව නොහැසිරෙන්නේය. විෂමවූ චෙතනා හේතුවෙන් විෂමව නොහැසිරෙන්නේය. විෂමවූ ප්‍රාර්ථනා හේතුවෙන් විෂමව නොහැසිරෙන්නේය. සමාදන්ව නොසිටින්නේය “නුවණැත්තෝ වනාහි ජීවිතය අල්පයයි කීහු” යන්නෙහි ජීවිතය යනු ආයු පැවැත්මයි යැපීම, පැවතීම, ජීවිතය ජිවිතින්ද්‍රිය පාලනයයි, නැවතද කරුණු දෙකකින් ජීවිතය අල්පය ස්වල්ප කාලයක් පවත්නා බැවින් ජීවිතය ස්වල්පයි ස්වභාවයෙන් ටික කලක් පවත්නා බැවින් ජීවිතය ස්වල්පයි. ස්වල්ප කලක් පවත්නා බැවින් ජීවිතය ස්වල්පවූයේ කෙසේද, අතීත චිත්ත ක්ෂණයෙහි ජීවත්විය. ජීවත් නොවෙයි ජීවත් නොවන්නේය. අනාගත චිත්තක්ෂණයෙහි ජීවත් වන්නේය. ජීවත් නොවෙයි ජීවත් නොවූයේය පවත්නා කල චිත්තක්ෂණයෙහි ජීවත් වෙයි ජීවත් නොවූයේය ජීවත් නොවන්නේය.

6 “ජීවිතයද ආත්මභාවයද හුදෙක් සැප දුක්ද එක චිත්තක්ෂණයකින් පමණක් යුක්තය කෙටි වශයෙන් කාලය පවත්නේය.”

7 “යම් දෙවි කෙනෙක් සුළු කල්ප අසූදහසක් සිටිත්. ඔවුහුද චිත්තක්ෂණ දෙකකින් යුතුව ජීවත් නොවෙත්.”

“මේ ලෝකයෙහි මරණයට පත්වන්නහුගේ යම් නිරුද්ධවූ පංචස්කන්ධයක් ඇද්ද, සිටින්නහුගේ හෝ පංචස්කන්ධයක් ඇද්ද, නූපන්නහුගේ ස්කන්ධයක් ඇද්ද, සියල්ලම සමාන බවට පැමිණියේය.”

8 “නූපන්නහු විසින් නූපදිනා ලද්දේවේ. පවත්නා කාලයෙහි ජීවත් නොවේ. ලෝකයෙහි චිත්තභංගයෙන් මැරුණේවේ. පරමාර්ථ වශයෙන් මේ පැනවීමයි.

“යම්සේ ආශාවෙන් නැමුනාහු භවයට බරවූවෝ වෙති. සළායතන ප්‍රත්‍යයෙන් නොසිදුණ චිත්ත ධාරාවෝ පවතිත්. භවයෙහි සිත තැත්පන් නොකළෝ චිත්තභංගත්වය ඇත්තෝ වෙති. (ඔවුන්ට ශරීර පුඤ්ජයක් (ගොඩක්) අනාගතයෙහි නැත. ඉදිකටු අග අබ ඇටය මෙන් උපන්නෝම සිටිත්.

“හේතු ප්‍රත්‍ය ධර්මයන්ගෙන් උපනුන්ගේද භංගත්වය ඔවුන්ගේ ඉදිරියෙහිමවේ. අතීතය හා මිශ්‍ර නොවූ විනාශවන සුළු ධර්මයෝ පවතිත්.

9 (“ඒ චිත්ත පරම්පරාව) නොපෙණී මෙන්ම එත් භංගවූවෝ නොපෙණීමට යෙති. අහසෙහි විදුලියමෙන් උපදිත් විනාශවෙත්.”

මෙසේ ස්වල්ප කාලයක් පවත්නා බැවින් ජීවිතය අල්පය, කෙසේ ස්වභාවයෙන් අල්ප බැවින් ජීවිතය ස්වල්පද ජීවිතය ආශ්වාසය හා සම්බන්ධයෙන් යුක්තවූයේය. ප්‍රශ්වාසය හා සම්බන්ධයෙන් යුක්තවූයේය. ආශ්වාස ප්‍රශ්වාස දෙක හා සම්බන්ධයෙන් යුක්තවූයේය. මහාභූතයන් හා සම්බන්ධයෙන් යුක්තවූයේය. කැබලිකොට කඩා කන ආහාරය හා සම්බන්ධයෙන් යුක්තවූයේය. උෂ්ණය හා සම්බන්ධයෙන් යුක්තවූයේය. විඤ්ඤානය හා සම්බන්ධයෙන් යුක්තවූයේය. මොවුන්ගේ මුලද දුර්වලය මොවුන්ගේ පූර්ව හේතුවද දුර්වලය. මොවුනට ඇතිවන භූමියද දුර්වලය. මොවුන්ගේ සම්ප්‍රයෝගයෝද දුර්වලය. මොවුන් හා එකට උපන්නෝද දුර්වලයෝය. යම් යොදවන්නියක් වේද එයද දුර්වලය. මොවුහු නිත්‍යයෙන් ඔවුනොවුන් දුර්වලය මොවුහු ඔවුනොවුන් අස්ථිරත්වයෙන් යුක්තවූවෝය. මොවුහු ඔවුනොවුන් හෙලත්, ඔවුනොවුන්ගේ වනාහි ආරක්ෂාවක් නැත. මොවුහු ඔවුනොවුන් නොතබත්. යමෙක් උපදවන්නේද හෙතෙම විද්‍යාමාන නොවේ.

10 “කවරකු විසින් හෝ කිසිවෙක් හෝ නොපිරිහෙයි. මේ සියල්ලෝම අන්තැනක උපදින්නේය. යම් කෙනෙක් මුලින් උපන්නෝද ඔවුහු උත්පත්තිය පිහිටකොට ඇත්තාහු මුලින්ම මළෝය පෙරවූවෝද පසුවූවෝද කිසිකලකත් ඔවුනොවුන් නොමැඩූහ.”

මෙසේ ස්වභාවයෙන් ස්වල්ප බැවින් ජීවිතය ස්වල්පය නැවතද චාතුර්මහාරාජික දෙවියන්ගේ ජීවිතය සමාන කළ කල්හි මිනිසුන්ගේ ජීවිතය අල්පය, කුඩාය ටිකය, ස්වල්පය මදය කලක් නොපවත්නේය, චිරස්ථායී නොවේ. තවුතිසා දෙවියන්ගේ යාම දෙවියන්ගේ තුසිත දෙවියන්ගේ නිර්මාණ රතී දෙවියන්ගේ පරනිර්මිත වසවර්තී දෙවියන්ගේ බ්‍රහ්ම කායික දෙවියන්ගේ ජීවිතය සමාන කළ කල්හි මිනිසුන්ගේ ජීවිතය අල්පය, කුඩාය, ටිකය, ස්වල්පය, මදය, කලක් නොපවත්නේය. චිරස්ථායී නොවේ. භාග්‍යවතුන් වහන්සේ විසින්ද දේශනා කරණ ලදදේය.

11 “මහණෙනි, මිනිසුන්ගේ මේ ජීවිතය ස්වල්පය. පරලොවට යන සුලුය මෙය දැන අවබෝධ කට යුතුය. කුසල් කටයුතුය බඹසරහැසිරිය යුතුය. උපන්නහුට නො මැරීමක් නැත. මහණෙනි, යමෙක් බොහෝකල් ජීවත් වේද, අවුරුදු සියයකට අඩුය, ස්වල්පයක් වැඩිය හෝ වෙයි.”

“මිනිසුන්ගේ ආයුෂ ස්වල්පය. යහපත් පුරුෂතෙම එය පිළිකුල් කරන්නේය. හිස ගිනිගත්තහු මෙන් හැසිරෙන්නේය. මරුවාගේ (මරණයේ) නොඊමක් නැත.

“රෑ දාවල් ඉක්මෙත්, ජීවිතය විනාශ කරණු ලැබේ. ගංගාවන්ගේ ජලය යටි ගඟට යන්නාක්මෙන් මිනිසුන්ගේ ආයුෂය ගෙවේ”

12 “නුවණැත්තේ මේ ජීවිතය අල්පයයි” කීහු යන්නෙහි ධෛර්‍ය්‍ය ඇත්තේනුයි ධීර නමි. උත්සාහ ඇත්තේනුයි ධීර නම් ප්‍රඥා ඇත්තේහුයි ධීර නමි. ප්‍රඥාවට ධීර යයි කියනු ලැබේ. යම් ප්‍රඥාවක් දැනීම පරීක්ෂණය (ii) විශේෂ දැනීම ධර්මය පරීක්ෂාවෙන් දැනීම සලකා බැලීම වෙනස දැනීම වැටහීමෙන් දැනීම පාණ්ඩිත්‍යය දක්ෂකම නිපුණත්වය විභවත්වය චින්තාව මන්තාව සොයාබැලීම ප්‍රඥාව ඥානය මගපෙන්වීම විදර්ශනාව මනා දැනීම සිහි කරවීමේ ප්‍රඥාව ප්‍රඥෙන්ද්‍රිය ප්‍රඥාබලය ප්‍රඥා ආයුධය ප්‍රඥා ප්‍රාසාදය ප්‍රඥා ආලෝකය ප්‍රඥා අවභාසය ප්‍රඥා පහන ප්‍රඥා රතනය (iii) නුමුළාව ධම්ම වීචය නම් සම්‍යග්දෘෂ්ටිය යන ඒ ප්‍රඥාවෙන් යුක්ත බැවින් ධිර යයි කියයි. නැවතද ස්කන්ධයෙහි නුවණැති, ධාතූන්හි නුවණැති, ආයතනයන්හි නුවණැති, ප්‍රතීත්‍ය සමුත්පාදයෙහි නුවණැති, සති පට්ඨානයෙහි නුවණැති, සම්‍යක් ප්‍රධානයෙහි නුවණැති, ඍද්ධි පාදයෙහි නුවණැති ඉන්ද්‍රියයන්හි නුවණැති, බොධ්‍යංගයන්හි නුවණැති, මාර්ගයන්හි නුවණැති, ඵලයන්හි නුවණැති, නිර්වාණයෙහි නුවණැති ඒ නුවණැත්තෝ මෙසේ කීහ. මිනිසුන්ගේ ජීවිතය ස්වල්පය. ජීවිතය මදය. ටිකය. ටික කාලයෙකි. ඈත නොයන සුළුය. ජීවිතය චිරස්ථායි නොවේ. මෙසේ කීහ. මෙසේ කියත්. මෙසේ කථා කරත්. මෙසේ ප්‍රකාශ කරත් මෙසේ ව්‍යවහාර කරත්.

“ලෝකයෙහි සැලෙනවුන් දකින්නෙමි.” යන්නෙහි “දකින්නෙමි.” යනු මසැසින්ද බලන්නෙමි දිවැසින්ද බලන්නෙමි. පැණැසින්ද බලන්නෙමි. බුදු ඇසින්ද බලන්නෙමි. සියල්ල දක්නා ඇසින්ද බලන්නෙමි. දකිමි බලමි මනාකොට පරීක්ෂා කරමි. ‘ලොවේ’ යනු අපාය ලෝකයෙහි මනුෂ්‍ය ලෝකයෙහි දිව්‍ය ලෝකයෙහි ස්කන්ධ ලෝකයෙහි ධාතුලෝකයෙහි ආයතනලෝකයෙහි යනුයි ‘සැලෙන’ යනු තෘෂ්ණා කම්පනයෙන් කම්පනය වන්නාවූ දෘෂ්ටි කම්පනයෙන් ක්ලෙශ කම්පනයෙන් ප්‍රයොග කම්පනයෙන් විපාක කම්පනයෙන් දුශ්චරිත කම්පනයෙන් රත්වූ රාගයෙන් දූෂ්‍යවූ ද්වේෂයෙන් එකට බැඳුනාවූ මානයෙන් දෘෂ්ටි පරාමර්ශයෙන් උද්ධච්චයෙන් වික්ෂොපගතව කම්පනය වන්නාවූ ක්ලෙශයන්ගෙන් උත්සාහවත්ව කම්පනය වන්නාවූ විචිකිච්ඡාවෙන් අවිනිශ්චිතව කම්පනය වන්නාවූ අනුසයන්ගෙන් උත්සාහවත්ව කම්පනය වන්නාවූ ලාභයෙන් කම්පනය වන්නාවූ අලාභයෙන් කීර්තියෙන් අපකීර්තියෙන් ප්‍රශංසාවෙන් කම්පනය වන්නාවූ නින්දාවෙන් සැපතින් ඉපදීමෙන් ජරාවෙන් ව්‍යාධියෙන් මරණයෙන් ශොක පරිදෙව දුක්ඛ දොමනස්ස උපායාසයන්ගෙන් නිරය දුකින් කම්පනය වන්නාවූ තිරිසන් යොනික දුකින් ප්‍රෙත විෂයික දුකින් මානුෂික දුකින් ගර්භයට ඇතුළුවීමේ දුකින් ගර්භයෙහි සිටීමේ දුකින් ගර්භයෙන් නැගිටීමේ දුකින් උපන්නහුට බැඳීම් ආදියෙන් ඇතිවන උපන්නහුට අනුන් ගෙන් සිදුවන දුකින් ආත්මොපක්‍රම දුක්ඛයෙන් පරොපක්‍රම දුක්ඛයෙන් දුක්ඛ දුක්ඛයෙන් සංස්කාර දුකින් විපරිණාම දුකින් ඇස්රොගයෙන් මෙහි (4) 4 (iii) ඡේදය යෙදිය යුතුයි) මවුගේ මරණයෙන් ඇතිවන දුකින් පියාගේ මරණයෙන් සහෝදරයාගේ මරණයෙන් සහෝදරියගේ මරණයෙන් පුත්‍රයාගේ මරණයෙන් දුවගේ මරණයෙන් ඥාති ව්‍යසන දුකින් භොගව්‍යසන දුකින් රොග ව්‍යසන දුකින් ශීල ව්‍යසන දුකින් දෘෂ්ටි ව්‍යසන දුකින් කම්පනය වන්නාවූ චලනය වන්නාවූ විශේෂයෙන් කම්පනය වන්නාවූ වෙවුලන්නාවූ (සත්වයන්) දකිමි. බලමි පරීක්ෂාකොට නිරීක්ෂණය කරමි යනුයි. භවයන්හි තෘෂ්ණාවෙන් මැඩෙන මේ ප්‍රජාව යන්නෙහි පජායනු සත්වයන්ට නමෙකි. තෘෂ්ණා යනු රූප තෘෂ්ණා ශබ්ද තෘෂ්ණා ගන්ධ තෘෂ්ණා රස තෘෂ්ණා ස්පර්ශ තෘෂ්ණා ධර්ම තෘෂ්ණා භව තෘෂ්ණා විභව තෘෂ්ණා තෘෂ්ණාව අනුව ගියාවූ තාෂ්ණාවට බැසගත්තාවූ තෘෂ්ණාවට පැමිණියාවූ තෘෂ්ණාව මතුවෙහි වැටුනාවූ මැඩුනාවූ වටකොට ගත්තාවූ අල්පවූ ස්වල්පවූ (මනුෂ්‍යයෝ) යනුයි.

13 “මරුගේ කටෙහි හඬත්” යනු මාර මුඛයෙහි මරණ මුඛයෙහි මරණය පැමිණියේ මාරයා පැමිණියේ මරණ ප්‍රාපතවූයේ මරණය පැමිණියේ, කථාකරත්, එකතුව දොඩත්, ක්ලාන්තවෙත්, හඬා වැළපෙත්, පපුව මත අත තබා හඬත්, සිහිමුළා බවට පැමිණෙත්, (යනුයි)

14 “භවාභවයන්හි පහ නොකළ තෘෂ්ණා “ඇත්තෝ” යන්නෙහි “තෘෂ්ණා” යනු රූප තෘෂ්ණා ශබ්ද තෘෂ්ණා ගන්ධ තෘෂ්ණා රස තෘෂ්ණා ස්පර්ශ තෘෂ්ණා ධර්ම තෘෂ්ණා (යනුයි.) භවාභවයන්හි යනු කර්මභවයෙහි පුනර්භවයෙහි රූප භවයෙහි, කර්ම භවයෙහි රූපභවයෙහි පුනර්භවයෙහි අරූප භවයෙහි, කර්ම භවයෙහි අරූප භවයෙහි පුනර්භවයෙහි නැවත නැවත භවයෙහි නැවත, ගති නැවත නැවත උත්පත්තියෙහි නැවත නැවත ප්‍රතිසන්ධියෙහි නැවත නැවත ආත්මභවයෙහි යනුයි.

15 “භවා භවයන්හි” යනු කාමභවයෙහි රූපභවයෙහි අරූපභවයෙහි යනුයි. පහත් මනුෂ්‍යයෝ මරුගේ කටෙහි හඬත්” යනුවෙන්, හීනවූ මනුෂ්‍යයෝ නම් ලාමකවූ කාය කර්මයෙන් යුක්තවූ ලාමකවූ වාග් කර්මයෙන් ලාමකවූ මනො කර්මයෙන් ලාමකවූ ප්‍රාණඝාතයෙන් අදත්තා දානයෙන් කාමමිථ්‍යාචාරයෙන් මුසාවාදයෙන් කේලාම් බසින් ඵරුෂ බසින් සම්ඵප්‍රලාපයෙන් හීනවූ අභිධ්‍යාවෙන් ව්‍යාපාදයෙන් මිථ්‍යාදෘෂ්ටියෙන් සංස්කාරයන්ගෙන් හීනවූ පංචකාම ගුණයන්ගෙන් හීනවූ පංචනීවරණයන්ගෙන් හීනවූ චෙතනාවෙන් හීනවූ ප්‍රාර්ථනාවෙන් හීනවූ සිත පිහිටුවා ගැන්මෙන් යුක්තවූයේනුයි හීනවූ නිහීනවූ ලාමකවූ ඇති වීමෙහි නොහළ තෘෂ්ණාව ඇති පහව නොගිය තෘෂ්ණා ඇති වමාරා නොදැමූ තෘෂ්ණාව ඇති නොමිදුන තෘෂ්ණාව ඇති ප්‍රහීන නොවූ තෘෂ්ණාව ඇති නොසන් සිඳුනාවූ තෘෂ්ණාව ඇති (යනුයි).

1 “බලව්, මමත්වය ඇති දෙයෙහි සැලෙනවුන්” යන්නෙහි මමත්ව දෙකකි. තෘෂ්ණා මමත්වයද, දෘෂ්ටි මමත්වයද යනුයි

(ii) තෘෂ්ණා මමත්වය කවරේද? යම්තාක් තෘෂ්ණාවෙන් සීමාකරණලද ඉලක්ක කරණලද වටකරණ ලද හාත්පසින් සීමාකරණලද මෙය මාගේය. මෙපමණ මාගේය. මෙපමණකින් මාගේය රූපයෝ, ශබ්දයෝ, ගන්ධයෝ, රසයෝ ස්පර්ශයෝ ඇතිරිලි පොරෝනය, දාසි දාසයෝ, එළු, බැටළුවෝ ඌරු කුකුල්ලු, ඇත්, ගව, අශ්ව, වෙළඹහු කෙත්වත් හිරණ්‍ය ස්වර්ණ ගම් නියම්ගම් රාජධානි රටවල් ජනපද කොටුගුල් ගබඩා මාගේය. හුදෙක් මහා පෘථිවියද, තෘෂ්ණා වශයෙන් මමායනය කරයි. යම්තාක් එක්සිය අටක් තෘෂ්ණාවට අයත්ද (ඒ සියල්ල) මේ තෘෂ්ණා මමත්වයයි (iii) දෘෂ්ටි මමත්වය කෙසේද? විංශති වස්තුකවූ සත්කාය දෘෂ්ටිය දශවස්තුක මිථ්‍යාදෘෂ්ටිය, දශ වස්තුක අන්තග්‍රාහික දෘෂ්ටිය යම් එබඳු දෘෂ්ටි ඇද්ද, දෘෂ්ටි වශයෙන් ගත් දෘෂ්ටි කාන්තාරය, දෘෂ්ටිකණ්ඨකය, දෘෂ්ටිකම්පනය දෘෂ්ටි සංයොජනය, ග්‍රහණය, ප්‍රතිග්‍රහණය, ඇතුළුවීම පරාමර්ශය, වැරදි මාර්ගය, මිථ්‍යා මාර්ගය, බොරුබව නිර්වායතනය, වැරදිගැන්ම, විපර්‍ය්‍යාස ග්‍රහනය, මිථ්‍යා ග්‍රහනය, වැරදි දේ නිවැරදියයි ගැන්ම යම් පමණ දෙසැට දෘෂ්ටි ගත්තෝ වෙත්ද මේ දෘෂ්ටි මමත්වයයි.

2 “මගේයයි ගත්, කම්පාවන්නවුන් බලවු” යන්නෙහි මමය මාගේයයි ගන්නා ලද වස්තුවෙහි නොබිඳේය යන හැඟීමෙන් කම්පාවෙත් බිඳෙද්දීද කම්පා වෙත්. බිඳුනකල්හිද මමය මාගේ යයි ගන්නාලද වස්තුව වෙනස්වූ කල්හිද කම්පා වෙත්. විශේෂයෙන් කම්පාවෙත්. සැලෙත් වෙවුලත් මනා කොට වෙවුලත් මෙසේ කම්පාවන්නවුන් විශේෂයෙන් කම්පාවන්නවුන් සැලෙනවුන් වෙවුලන්නවුන් බලව් දකිව්. සිතව් පරීක්ෂාකරව්.

3 “දිය නැති ගලායාම් නැති තැන මසකු මෙන්” යනු අල්පවූ දිය ඇති මඳක් දිය ඇති දියකෙළවර සිටින මත්ස්‍යයා කවුඩන් විසින් හෝ ගිජුලිහිනියන් විසින් හෝ කොකුන් විසින් හෝ අන් කිසි සතුන් විසින් හෝ කනු ලබන්නාහු පෙරලනු ලබන්නාහු ඩැහැගනු ලබන්නාහු කම්පා වෙත්. විශේෂයෙන් කම්පා වෙත්. වෙවුලත්. සැලෙත්. එපරිද්දෙන්ම සත්වයෝ මමය මාගේයයි ගන්නාලද වස්තුව සිඳීයන කල්හි (බිඳී යන) කම්පාවෙත්. සිඳුනකල්හිද වෙවුලත්. මමය මාගේ යයි ගන්නාලද වස්තුව වෙනස්වේ යයි සැකයෙන්ද වෙනස්වන කල්හිද, වෙනස්වූ කල්හිද කම්පා වෙත. වෙවුලත්.

4 “මෙසේද දැක මගේ යැයි නොගෙන හැසිරෙන්නේ” යනු මේ ආදීනව දැක සමසේ සිතා තීරණයකොට පැහැදිලි කොට විස්තරකොට මමත්වය ඇති වස්තූන්හි, “මගේ යැයි නොගෙන හැසිරෙන්නේ” යන්නෙහි මගේ යැයි ගැනීමේ මමත්ව දෙකකි. තෘෂ්ණා මමත්වයද දෘෂ්ටිමමත්වයද යන දෙකයි. (මෙහි 1 (ii) යෙදිය යුතුයි.) මේ දෘෂ්ටි මමත්වයයි තෘෂ්ණා මමත්වය හැර දෘෂ්ටි මමත්වය බහා තබා ඇස් මමය මාගේයයි නොගන්නේ කණ මමය මාගේ යයි නොගන්නේ නාසය මමය මාගේයයි නොගන්නේ දිව මමය මාගේයයි නොගන්නේ ශරීරය මමය මාගේයයි නොගන්නේ මනස මමය මාගේයයි නොගන්නේ රූපයන් ශබ්දයන්, ගන්ධයන්, රසයන් ස්පර්ශයන් ධර්මයන් කුලය, ගණය, ආවාසය, ලාභය, කීර්තිය, ප්‍රශංසාව, සිවුරු, පිණ්ඩාහාර, සෙනසුන්, ගිලන්පස බෙහෙත් පිරිකර, කාම ධාතු, රූපධාතු අරූපධාතු, කාමභව, රූපභව, අරූපභව සංඥාභව, අසංඥාභව, නෙවසංඥානාසංඥාභව, එකවොකාරභව, චතුවොකාරභව පඤ්චවොකාරභව, අතීත අනාගත වර්තමානයන්හි ඇසූ දුටු (නාසය දිව සිරුර යන මෙකී දෙයින් දැනගත් දෙය) යන දතයුතු ධර්මයන්හි මමත්වය හරනේ නොගන්නේ පරාමර්ශය නොකරන්නේ සදොරින් ඇතුල් නොකරන්නේ හැසිරෙන්නේය. වසන්නේය. පවත්නේය. පාලනය කරන්නේය. යැපෙන්නේය.

5 “භවයන්හි ඇල්ම නොකරන්නේ” යන්නෙහි භවයන්හි යනු කාම භවයෙහි, රූපභවයෙහි, අරූප භවයෙහි “ඇල්ම” යනු තෘෂ්ණාවට කියනු ලැබේ. යම් රාගයක් ඇල්මක් බලවත් ඇල්ම දැඩි ලෝභය, ලෝභය අකුශල මූලය, භවයන්හි ඇල්ම නොකරන්නේ යනු ආශාව, ප්‍රේමය, රාගය, ඉවසීම, නොකරන්නේ නූපදවන්නේ යනුයි.

1 “දෙකොණෙහි ඇල්ම දුරලන්නේ” යන්නෙහි “කොණ” යනු කොන් දෙකකි ස්පර්ශය එක් කොනෙකි. ස්පර්ශය ඇතිවීමේ හේතුව දෙවෙනි කොනය (අන්තය) යි. අතීතය එක් අන්තයකි. අනාගතය දෙවන අන්තයයි. සුඛ වේදනාව එක් අන්තයකි. දුක්ඛ වේදනාව දෙවන අන්තයයි. නාමය එක් අන්තයකි රූපය දෙවන අන්තයයි. සවැදෑරුම් අධ්‍යාත්මික ආයතනයෝ එක් අන්තයකි. සවැදෑරුම් බාහිර ආයතනයෝ දෙවන අන්තයයි. ආත්මදෘෂ්ටිය එක් අන්තයකි ආත්මදෘෂ්ටිය ඇතිවීමේ හේතුව දෙවන අන්තයයි. “ඡන්දය” යනු යමෙක් කාමයන්හි කාමාශාව (මෙහි 1, 3 ඡේදයේ “කාම රාගය ඇත්තේද” යන තැන් සිට යොදාගත යුතුයි.)

“දෙකොණෙහි ඇල්ම දුරලන්නේ” යනු අන්ත දෙකෙහි ආශාව දුරුකරන්නේය. අත්හරින්නේය නූපදනා බවට පමුණුවන්නේය.

2 “ස්පර්ශය පිරිසිඳ දැන ගිජුනොවූයේ” යන්නෙහි ස්පර්ශය යනු (ii) චක්ෂු ස්පර්ශය, ශ්‍රොත ස්පර්ශය, ඝ්‍රාණස්පර්ශය ජිව්හා ස්පර්ශය, කාය ස්පර්ශය, මනස්පර්ශය, අධිවචන ස්පර්ශය, පටිඝස්පර්ශය, සුඛවෙදනීය ස්පර්ශය, දුක්ඛ වෙදනීය ස්පර්ශය අදුඃඛමසුඛ වෙදනීය ස්පර්ශය, කුශලස්පර්ශය, අකුශල ස්පර්ශය අව්‍යාකෘත ස්පර්ශය, කාමාවචර ස්පර්ශය, රූපාවචර ස්පර්ශය, අරූපාවචර ස්පර්ශය, සූන්‍යතා ස්පර්ශය, අනිමිත්ත ස්පර්ශය, අප්පණිහිතස්පර්ශය, ලෞකික ස්පර්ශය ලොකොත්තර ස්පර්ශය, අතීතස්පර්ශය, අනාගත ස්පර්ශය, පවත්නා කාලයෙහි ස්පර්ශය, මෙබඳුවූ ස්පර්ශය ස්පර්ශකරණලද බැවින් මෙය ස්පර්ශයයි කියනුලැබේ.

3 “ස්පර්ශය පිරිසිඳ දැන” යනු දැනීම් තුනින් මනාකොට දැන ඥාත නම් දැනීමෙන් තීරණ නම් දැනීමෙන් පහාන නම් දැනීමෙන් දැන යනුයි. (iii) ඥාත නම් දැනීම කවරේද? මේ චක්ෂු ස්පර්ශය (මෙහි 2 (ii) ඡේදය යෙදිය යුතුයි.) මේ දැන් පවත්නා කාලයයි ස්පර්ශය දනීද, මේ ඥාත නම් දැනීමයි.

4 තීරණ පරිඥාව (දැනීම) කවරීද? මෙසේ දැනීමකොට දැනීම තීරණය කරයි. (ii) අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් රොග වශයෙන් ගණ්ඩ වශයෙන් හුලක් වශයෙන් උවදුරු වශයෙන් උපද්‍රව වශයෙන් භය වශයෙන් හිරිහැර වශයෙන් කම්පනය වශයෙන් වහා නැසීම් වශයෙන්, අස්ථිර වශයෙන් ආරක්ෂා රහිත වශයෙන් හිස් වශයෙන් ශූන්‍යවශයෙන් අනාත්ම වශයෙන් ආදීනව වශයෙන් ආසාර වශයෙන් උවදුරුවලට මුල් වශයෙන් විභව වශයෙන් ආශ්‍රව වශයෙන් මාරාමිෂ (මරුට ගොදුරු) වශයෙන් ජාති ධර්ම වශයෙන් ජරා ධර්ම වශයෙන් ව්‍යාධි ධර්ම වශයෙන්, මරණ ධර්ම වශයෙන් සොක පරිදෙව දුක්ඛ දොමනස්ස උපායාශ වශයෙන් කිළුටු කරණ ධර්ම වශයෙන්, ආදීනව වශයෙන්, නිශ්ශරණ වශයෙන්, තීරණ කරයි. (ii) මේ තීරණය ප්‍රඥාවයි.

5 ප්‍රහාණ පරිඥාව කවරීද? මෙසේ තීරණයකොට ස්පර්ශයෙහි ඡන්දරාගය දුරු කරයි. සංසිඳවයි. නොපැමිණෙනබවට පමුණුවයි. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණලදී. “මහණෙනි, ස්පර්ශයන්හි යම් ඡන්දරාගයක් ඇද්ද එය දුරු කරව්. මෙසේ ඒ ස්පර්ශය දුරුවූයේ වෙයි. මුල සිඳින ලද්දේ අග සිඳි තල්ගසක් මෙන් කරණලද්දේ නොඉපදීම බවට ගියේ නැවත නූපදින තත්වයට පමුණුවන ලද්දේ (යනුයි) මේ ප්‍රහාන පරිඥාවයි.

6 “ස්පර්ශය පිරිසිඳ දැන” යනු ස්පර්ශය මේ තුන් පරීඥාවෙන් දැනීමෙන් මනාකොට දැන “ගිජුකමක් නැත්තේ” යන්නෙහි ගිජු යයි තෘෂ්ණාවට කියනු ලැබේ යම් රාගයක් ඇද්ද, ඇලීමක් ඇද්ද, (මෙහි (1-3) 3 ඡේදයේ “යම් ලංවීමක් තැන් සිට ඡේදය අවසානය දක්වා යෙදිය යුතුයි.) තද ලෝභයක් ඇද්ද ලෝභයක්, අකුශල මූලයක් ඇද්ද යමෙකුට මේ ගිජුකම ප්‍රහීනවූයේ මුලිනුපුටාදැමූයේ සංසිඳුනේ ඉපදීමට සුදුසු නොවූයේ ඥාන ගින්නෙන් දැවූයේ හෙතෙම ගිජු නොවූයේයයි කියනු ලැබේ. (ii) හෙතෙම රූපයෙහි ගිජු නොවූයේ ශබ්දයෙහි ගිජු නොවූයේ ගන්ධයෙහි ගිජු නොවූයේ රසයෙහි ගිජුනොවූයේ ස්පර්ශයෙහි ගිජු නොවූයේ කුලයෙහි ගණයෙහි ආවාසයෙහි ලාභයෙහි කීර්තියෙහි ප්‍රශංසායෙහි සුඛයෙහි චීවරයෙහි පිණ්ඩපාතයෙහි සේනාසනයෙහි ගිලන්පස බෙහෙත් පිරිකරෙහි කාම ධාතුයෙහි රූප ධාතුයෙහි අරූප ධාතුයෙහි කාමභාවයෙහි, රූප භවයෙහි අරූප භවයෙහි සංඥා භවයෙහි අසංඥා භවයෙහි නෙවසඤ්ඤා නාසඤ්ඤා භවයෙහි එකවොකාර භවයෙහි චතුවොකාර භවයෙහි පංචවොකාර භවයෙහි, අතීතයෙහි, අනාගතයෙහි පවත්නා කාලයෙහි (ii) 2 ඇසූ දුටු දැනගත්, දැනගතයුතු ධර්මයන්හි ගිජු නොවූයේ නොගැටුනේ නොමුලාවූයේ නොබැස ගත්තේ හළ ගිජුකම ඇත්තේ පහව ගිය ගිජුකම ඇත්තේ වමාරා දැමූ ගිජුකම ඇත්තේ, මිදුන ගිජුකම ඇත්තේ පහව ගිය රාග ඇත්තේ අත්හළ රාග ඇත්තේ වමාළ රාග ඇත්තේ මිදුන රාග ඇත්තේ ප්‍රහීන රාග ඇත්තේ පහකළ රාග ඇත්තේ නිශ්චයට පැමිණියේ නිවුනේ සිහිල්වූයේ සැප විඳින්නේ බ්‍රහ්මවූ ආත්මභාවයෙන් වාසය කරයි.

7 “යමකින් තමා ගරහන්නේද, එය නොකරන්නේ” යන්නෙහි “යම්” යනු යම් යන අර්ථයයි. තමාට නින්දාකරන්නේ යනු කරුණු දෙකකින් තමාට නින්දාකරයි. කරණලද බැවින්ද නොකරණ ලද බැවින් ද යනුයි. කෙසේ කරණලද බැවින්ද නොකරණ ලද බැවින්ද තමාට නින්දා කෙරේද, මවිසින් කාය දුශ්චරිතය කරණලදී. මාවිසින් කාය සුචරිතය නොකරණ ලදීයයි තමාට නින්දා කරයි. මාවිසින් වාග් දුශ්චරිතය කරණ ලදී. මවිසින් වාග් සුචරිතය නොකරණ ලදීයයි තමාට නින්දා කරයි. මවිසින් ප්‍රාණඝාතය කරණලදී. මවිසින් ප්‍රාණඝාතය අත් නොහරින ලදීයයි තමාට නින්දා කරයි. මවිසින් අදත්තාදානය කරණලදී මාවිසින් අදත්තාදානය අත් නොහරින ලදීයයි තමාට නින්දා කරයි. මවිසින් කාම මිථ්‍යාචාරය කරණලදී. මවිසින් කාම මිථ්‍යාචාරය අත් නොහරින ලදීයයි තමාට නින්දා කරයි මවිසින් මුසාවාදය කරණලදී. මවිසින් මුසාවාදය නොකරණ ලදීයයි තමාට නින්දා කරයි. මවිසින් පිසුණු බස් කීම කරණලදී. මවිසින් පිසුණු බස් කීමෙන් වැලැක්ම නොකරණලදීයයි තමාට නින්දා කරයි. මවිසින් නපුරු වචන කීම කරණලදී. මවිසින් නපුරු වචන කීමෙන් වැලැක්ම නොකරණ ලදීයයි තමාට නින්දා කරයි. මවිසින් හිස් වචන කීම කරණලදී. මවිසින් හිස් වචන කීමෙන් වැලැක්ම නොකරණ ලදීයයි තමාට නින්දා කරයි. මවිසින් දැඩි ලෝභය කරණලදී මවිසින් දැඩි ලෝභයෙන් වැලැක්ම නොකරණ ලදීයයි තමාට නින්දා කරයි මවිසින් ව්‍යාපාදය කරණලදී. මවිසින් අව්‍යාපාදය නොකරණ ලදීයයි තමාට නින්දා කරයි. මවිසින් වැරදි ඇදහීම කරණලදී. මවිසින් නිවැරදි ඇදහීම නොකරණ ලදීයයි තමාට නින්දා කරයි. මෙසේ කරණලද බැවින්ද නොකරණලද බැවින්ද තමාට නින්දා කරයි. යලිදු හෝ ශීලයන් සම්පූර්ණ නොකෙළෙමියි, ඉන්ද්‍රියයන්හි නොවසන ලද දොරවල් ඇත්තේවීමියි, භොජනයෙහි ප්‍රමාණය නොදත්තේවීමියි. නිදි වර්ජිත කිරීමෙහි නොයෙදුනෙමියි. සිහි නුවණින් යුක්ත නොවීමියි මවිසින් සතර සතිපට්ඨාන භාවිතා නොකරණ ලදීයයි තමාට නින්දා කරයි. මවිසින් සතර සම්‍යක් ප්‍රධාන භාවිතා නොකරණ ලදීයයි තමාට නින්දා කරයි. මවිසින් සතර ඍද්ධි පාදයෝ නොවඩන ලදහයි තමාට නින්දා කරයි. මවිසින් පඤ්චෙන්ද්‍රියයෝ නොවඩනලදහයි තමාට නින්දා කරයි. මවිසින් පංච බලයෝ නොවඩන ලදහයි තමාට නින්දා කරයි. මවිසින් සප්තබොධ්‍යංගයෝ නොවඩන ලදහයි තමාට නින්දා කරයි. මවිසින් ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය නොවඩන ලදහයි තමාට නින්දා කරයි. දුක මවිසින් නොදන්නා ලදැයි මාගේ දුක්ඛසමුදය ප්‍රහීන නොවූයේ යයි තමාට නින්දා කරයි. මාර්ගය මවිසින් නොවඩන ලදීයයි තමාට නින්දා කරයි. නිරෝධය මවිසින් ප්‍රත්‍යක්ෂ නොකරණ ලද්දේ යයි තමාට නින්දා කරයි. මෙසේ කරණ ලද බැවින්ද නොකරණ ලද බැවින්ද තමාට නින්දා කරයි. මෙසේ තමාට නින්දා කටයුතු වැඩ නොකරනු ලබන්නේ නූපදවනු ලබන්නේ යමක් තමාට නින්දා වේනම් එය නොකරණු ලබන්නේ (වෙසෙයි) නුවණැත්තේ ඇසූ දුටුවෙහි නොඇලේ යන්නෙහි ඇලීම යනු ඇලිම් දෙකකි. තෘෂ්ණාවෙහි ඇලීමද දෘෂ්ටියෙහි ඇලීමද යනුයි. (මෙහි (2-6) 1 (ii) (iii) ඡේදය යෙදිය යුතුයි.) නුවණැත්තේ යනු නුවණ ඇත්තේ පණ්ඩිතවූයේ ප්‍රඥා ඇත්තේ ඥාන ඇත්තේ ප්‍රඥා ඇත්තේ බුද්ධි ඇත්තේ යනුයි. නුවණැත්තේ තෘෂ්ණාවෙහි ඇලීම දුරුකොට දෘෂ්ටියෙහි ඇලීම සංසිඳුවා දුටු දෙයෙහි නොඇලෙයි. ඇසූ දෙයෙහි නොඇලෙයි. මුතයෙහි නොඇලෙයි. දතයුතු දෙයෙහි නොඇලෙයි. නොඇළුනේ විශේෂයෙන් නොඇළුනේ නික්මුනේ මිදුනේ මුලා නොවූයේ සීමා නොකරණ ලද සිතින් වාසය කෙරෙයි යනුයි.

8 “හැඟීම පිරිසිඳ දැන වතුරු එතර කරන්නේ” යන්නෙහි “හැඟීම” නම් කාම සංඥා, ව්‍යාපාද සංඥා, විහිංසා සංඥා නෛෂ්ක්‍රම්‍ය සංඥා අව්‍යාපාද සංඥා, අවිහිංසා සංඥා, රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, ස්පර්ශ සංඥා, ධර්ම සංඥා, යම්බඳුවූ එවැනි සංඥාවලින් හැඳිනීම හඳුනන ලදබව, මේ සංඥායයි කියනු ලැබේ.

9 “හැඟීම පිරිසිඳ දැන” යනු සංඥාව දැනීම තුනින් දැන ඤාත පරිඤ්ඤා, තීරණ පරිඤ්ඤා, පහාන පරිඤ්ඤා, යන තුනෙනි, ඤාත පරිඤ්ඤාව කවරේද, මේ කාම සංඥාවය මේ ව්‍යාපාද සංඥාවය, මේ විහිංසා සංඥාවය, මේ නෛෂ්ක්‍රම්‍ය සංඥාවය, මේ අව්‍යාපාද සංඥාවය, මේ අවිහිංසා සංඥාවය. මේ රූප සංඥාවය, මේ ශබ්ද සංඥාවය, මේ ගන්ධ සංඥාවය, මේ රස සංඥාවය මේ ස්පර්ශ සංඥාවය මේ ධර්ම සංඥාවයයි. සංඥාව දනීද දකීද මේ ඤාත පරිඤ්ඤා නමි. තීරණ පරිඤ්ඤාව කවරීද, මෙසේ දැනීමකොට (මෙහි (2-7) 4 (ii) ඡේදය යෙදිය යුතුයි.) ඇතිවීම් වශයෙන් විනාශයට යාම් වශයෙන් ආශ්වාද වශයෙන් ආදීනව වශයෙන් නිශ්ශරණ වශයෙන් තීරණය කරයි. මේ තීරණ පරිඤ්ඤා නම්වේ. පහාන පරිඤ්ඤාව කවරීද, මෙසේ දැන මෙසේ තීරණයකොට දුරු කරයි. සංසිඳවයි. නූපදනා බවට පමුණුවයි. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය දේශනා කරණලදී. “මහණෙනි, සංඥාවෙහි යම් ඡන්ද රාගයක් ඇද්ද, එය දුරු කරව්. මෙසේ ඒ සංඥාව ප්‍රහීණවූයේ වන්නේය. සිඳින ලද මුල් ඇත්තේ මුලින් උපුටන ලද තල් ගසක් මෙන් වූවා, යලි ඇති නොවන බවට ගියා නැවත නූපදින බවට පැමිණියේය.” (යනුයි.) මේ ප්‍රහාණ පරිඤ්ඤාවයි. “සංඥාව පිරිසිඳ දැන මේ පරිඤ්ඤා තුනීන් මනාකොට දැන “වතුරු එතර කරන්නේ” යනු කාමොඝය, භවොඝය, දිට්ඨොඝය, අවිජ්ජොඝය, තරණය කරන්නේය, පිහිනන්නේය ඉක්මවන්නේය. ඈත් කරන්නේය (යනුයි.)

10 “මුනි තෙමේ අයිතිකම්වලින් ඇලී ගියේ නොවේ.” යන්නෙහි පරිග්‍රහයෝ (අල්ලා ගන්නෝ) තෘෂ්ණා පරිග්‍රහයද දෘෂ්ටි පරිග්‍රහයද යන දෙකයි (2-6 1 (ii) (iii) ඡේද යෙදිය යුතුයි) “මුනි” යනු “මොන” යයි ඥානයට කියනු ලැබේ. යම් ප්‍රඥාවක් දැනීම පරීක්ෂණ (මෙහි (2-4) 12 (ii) ඡේද යෙදිය යුතුයි) නුමුලාවූයේ ධර්මය දැනීම් ඇත්තේ සම්‍යක්දෘෂ්ටි ඇත්තේද ඒ ඥානයෙන් යුක්තවූ “මුනි” හෙවත් ඥානයෙන් යුක්තයයි කියනු ලැබේ. මොනෙය්‍ය තුනකි. කාය මොනෙය්‍යය, වචී මොනෙය්‍යය මනො මොනෙය්‍යය යන තුනයි.

11 කාය මොනෙය්‍යය කවරේද? ත්‍රි විධවූ කාය දුශ්චරිතයන්ගේ ප්‍රහාණය කාය මොනෙය්‍ය නමි. ත්‍රිවිධවූ කාය සුචරිතය කාය මොනෙය්‍ය නමි. කායා රම්මණයෙහි ඥානය කාය මොනෙය්‍ය නමි. කය පිරිසිඳ දැනුම කාය මොනෙය්‍ය නමි. පරිඤ්ඤා සහගතවූ මාර්ගය කාය මොනෙය්‍ය නමි. කායයෙහි ඡන්දරාගයාගේ ප්‍රහානය කාය මොනෙය්‍ය නමි. මේ කාය මොනෙය්‍යයයි.

12 වචී මොනෙය්‍යය කවරේද? චතුර්විධවූ වාග් දුශ්චරිතයන්ගේ ප්‍රහාණය “වචී” මොනෙය්‍ය නමි. මනො මොනෙය්‍ය කවරේද? ත්‍රීවිධවූ මනො දුශ්චරිතයන්ගේ ප්‍රහාණය මනො මොනෙය්‍ය නම් වේ. ත්‍රිවිධවූ මනො සුචරිතය මනො මොනෙය්‍ය නමි. චිත්තාරම්මණයෙහි ඥානය මනො මොනෙය්‍ය නමි. චිත්තපරිඤ්ඤාව මනො මොනෙය්‍ය නමි. පරිඤ්ඤාසහගතවූ මාර්ගය මනො මොනෙය්‍ය නමි. සිතෙහි ඡන්ද රාගයාගේ ප්‍රහාණය මනො මොනෙය්‍ය නමි. චිත්තසංස්කාර නිරෝධය ඇති සඤ්ඤාවෙදයිත නිරෝධ සමාපත්තිය මනො මොනෙය්‍ය නමි. මේ මනො මොනෙය්‍යයයි

13 “ආශ්‍රව රහිතවූ කාය මුනි නම්වූද වාචා මුනි නම් වූද මනොමුනි නම්වූද නුවණින් යුක්තවූ මුනිවරයා සියල්ල ප්‍රහාණය කරණ ලදයයි කීහ.”

“ආශ්‍රව රහිතවූ කායමුනි නම්වූද වාචාමුනි නම්වූද නුවණින් යුක්තවූ මුනිවරයා පාපයෝ ප්‍රහාණය කරණ ලද්දේයයි කීහ”

මේ තුන් මොනෙය්‍ය ධර්මයන්ගෙන් යුක්තවූ මුනිවරු සයදෙනෙක් වෙති. අගාර මුනිහුය අනගාර මුනිහුය සෙඛ මුනිහුය අසෙඛ මුනිහුය ප්‍රත්‍යෙක මුනිහුය මුනි මුනිහුය යන සය නමවෙති. අගාර මුනීහු කවරහුද? නිවන දැක්කාවූ ශාසනය හැඳිනගත්තාවූ යම් ඒ අගාරික කෙනෙක් (ගිහි ගෙයි වසන්නෝ) වෙද්ද, ඔවුහු අගාර මුනිහු වෙති. අනගාරික මුනිහු කවරහුද? දක්නා ලද නිවන ඇති දන්නා ලද ශාසනය ඇති යම් ඒ පැවිද්දෝ වෙද්ද ඔව්හු අනගාරික මුනීහු වෙති. සප්ත ශෛක්ෂයෝ සෙඛමුනීහු වෙති. රහතුන් වහන්සේලා අශෛක්ෂමුනිහු වෙති. පසේබුදුවරු ප්‍රත්‍යෙක මුනීහු වෙති. තථාගතවූ අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේලා මුනි මුනියයි කියනු ලැබෙත්.

14 “ඥානය රහිතවූයේ මුලාවන ස්වභාව ඇති තැනැත්තේ නිශ්ශබ්දවීමෙන් මුනි නම් නොවේ යම් නුවණැත්තෙක් උතුම් දෙය තරාදිය මෙන් දැඩිව ගෙන පාපයන් දුරුකෙරේද එහෙයින් ඒ නුවණැත්තේ “මුනි” නම්වේ. යමෙක් දෙලොවම නුවණින් දකීද එහෙයින් මුනියයි කියනු ලැබේ.

යමෙක් සියලු ලෝකයෙහි ආධ්‍යාත්මිකවූද බාහ්‍යවූද අයහපත්වූද යහපත්වූද ධර්මය දැන දෙවිමිනිසුන් විසින් පුදන ලද්දේ තෘෂ්ණා ජාලය ඉක්මවූයේ වේද, හෙතෙම “මුනි” නම් වේ.

15 “ඇලීම යන්නෙහි ඇලීම් දෙකකි. තෘෂ්ණාලෙපයද දෘෂ්ටිලෙපයද යන දෙකයි. මුනිතෙමේ තෘෂ්ණාලෙපය දුරුකොට දෘෂ්ටිලෙපය සංසිඳවා දැඩිව ගන්නා වස්තූන්හි නොඇලෙයි. නොඑරෙයි. තදින් නොඇලෙයි. නොඇළුනේ නොඑරුනේ තදින් නොඇළුනේ නික්මුනේ සීමානොකරණ ලද සිතින් වාසය කරයි.

16 “ඉදිරූ හුල් ඇත්තේ නොපමාව හැසිරෙන්නේ” යන්නෙහි “සල්ල” නම් සල්ලයෝ (හුල්) සතෙකි රාග සල්ලය, ද්වේෂසල්ලය, මොහසල්ලය, මාන සල්ලය, දෘෂ්ටිසල්ලය ශෝක සල්ලය, දුශ්චරිත සල්ලය යනුයි. යමෙකුට සල්ලයෝ (හුල්) ප්‍රහීණවූයේද විනාශ කළේද සංසිඳුනේද ඉපදීමට අයොග්‍ය කළේද ඥානය නමැති ගින්නෙන් දැවූයේද හෙතෙම (උදුරා දැමූ හුල් ඇත්තේ යයි) කියනු ලැබේ. හෙතෙම මනාකොට උපුටන ලද හුල් ඇත්තේ අත්හරින ලද හුල් ඇත්තේ වමාරණ ලද හුල් ඇත්තේ මුදන ලද හුල් ඇත්තේ ප්‍රහීණ කරණ ලද හුල් ඇත්තේ නිවුනේ සිහිල්වූයේ බ්‍රහ්මභූතවූ කයකින් තෙමේ සුවවිඳිමින් වාසය කරයි යනුයි. ‘හැසිරෙත්’ යනු හැසිරෙන්නේ වාසය කරන්නේ පාලනය කරන්නේ යනුයි.

17 “නොපමාවූයේ යනු (ii) කුශල ධර්මයන්හි සකස් කොට කරණ ලද නිරන්තරයෙන් කරණ ලද හීනනොවූ ධෛර්‍ය්‍යය ඇති පිහිටි උත්සාහ ඇති බහා නොතබන ලද කැමැත්ත ඇති බහා නොතබන ලද වීර්‍ය්‍යය ඇති කෙසේ මම නොපුරණ ලද ශීලස්කන්ධය පුරන්නෙම්ද, පුරණලද හෝ ශීලස්කන්ධය ඒ ඒ තන්හි නුවණින් අනුග්‍රහ කරන්නෙම් දැයි කුශල ධර්මයන්හි කැමැත්තද ව්‍යායාමද උත්සාහයද පසු නොබැසීමද සිහියද මනා ප්‍රඥාවද අධිෂ්ඨානයද අප්‍රමාදයෙහි යෙදීමද “නොපමා” නමි. (iii) කෙසේ මම නොපුරණ ලද සමාධිස්කන්ධය පුරන්නෙම්ද පුරණ ලද සමාධිස්කන්ධය ඒ ඒ තන්හි නුවණින් අනුග්‍රහ කරන්නෙම්ද (iv) කූශල ධර්මයන්හි (මෙහි (ii) යෙදිය යුතුයි) කෙසේ මම නොපුරණ ලද ප්‍රඥාස්කන්ධය නොපුරණ ලද විමුක්ති ස්කන්ධය නොපුරණ ලද විමුක්තිඥාන දර්ශනස්කන්ධය (මෙහි (iii) යෙදිය යුතුයි) ඒ ඒ තන්හිදී නුවණින් අනුග්‍රහ කරන්නෙම් දැයි යමෙක් එහි කැමැත්තද ව්‍යායාමයද උත්සාහයද පසු නොබැසීමද සිහියද මනා ප්‍රඥාවද අධිෂ්ඨානයද කුශලධර්මයන්හි අප්‍රමාදයෙහි යෙදීමද (යනුයි)

18 “මෙලොවක් පරලොවක් නොපතයි” යන්නෙහි ස්වකීය ආත්මභාවය මේ ලෝකයෙහි බලාපොරොත්තු නොවෙයි. අන්‍ය ආත්මභාවයක් පරලොව බලාපොරොත්තු නොවෙයි. ස්වකීය රූපවූ වේදනා සංඥා සංස්කාර විඥානයන් බලාපොරොත්තු නොවෙයි. අන්‍යරූපවූ වේදනා සඤ්ඤා සංස්කාරයන් පරලොව බලාපොරොත්තු නොවෙයි. ෂඞ්විධවූ ආධ්‍යාත්මික ආයතනයන් මෙලොව බලාපොරොත්තු නොවෙයි. ෂඞ්විධවූ බාහිර ආයතනයන් පරලොව බලාපොරොත්තු නොවෙයි. මෙලොව මනුෂ්‍යලෝකය බලාපොරොත්තු නොවෙයි. පරලොව දිව්‍යලෝකය බලාපොරොත්තු නොවෙයි. මෙලොව කාමධාතුවද බලාපොරොත්තු නොවෙයි. පරලොව රූප ධාතුවද අරූප ධාතුවද බලාපොරොත්තු නොවෙයි. මෙලොව කාම ධාතුවද රූප ධාතුවද බලාපොරොත්තු නොවෙයි පරලොව ද රූප ධාතුව බලාපොරොත්තු නොවෙයි. නැවත ගතිය හෝ උත්පත්තිය හෝ ප්‍රතිසන්ධිය හෝ භවය හෝ සංසාරය හෝ (වට්ටය) හෝ බලාපොරොත්තු නොවෙයි. කැමති නොවෙයි. නොඉවසයි ප්‍රාර්ථනා නොකරයි. බලාපොත්තු නොවෙයි.


3.     දුට්ඨාක  සුත්‍රය
4.     සුධාට්ඨාක  සුත්‍රය
5.     පරමට්ටක  සුත්‍රය
6.     ජරා  සුත්‍රය
7.     තිස්ස මෙත්තෙය්ය  සුත්‍රය
8.     පැසුර  සුත්‍රය
9.     මාගන්දිය  සුත්‍රය
10.   පුරා භේධ  සුත්‍රය

11. කලහවිවාද සූත්‍රය

§ 1. “කලහයෝද විවාදයෝද කොහින් හටගන්නෝද, වැළපීම, දුක්වීමද මසුරුකමද මාන අතිමානද කේලාම් වචනද කොයින් හටගන්නෝද, සියලු ඉතිරි ක්ලේශධර්ම කොයින්ද, ඒ කරුණු වදාළහොත් මැනවි.”

§ 2. “කලහයෝද, විවාදයෝද, වැළපීම හා ශොකද මසුරුකම්ද පණ ඇති නැති ප්‍රියවූවස්තු නිසා පහළවූවාහුය. මාන අතිමානයෝද, කේලාම් වචනද ප්‍රිය වස්තූන් නිසා උපන්නාහුය. කලහයෝද, විවාදයෝද, මසුරුකමෙහි යුක්ත වෙති. විවාද කරුණු අතර කේලාම් වචනද ප්‍රියවස්තූන් නිසා පහළවූවාහුය.

§ 3. “ලෝකයෙහි යම් ලෝභයක් පවතිත්ද, ප්‍රිය වස්තූන් අතර කොයින් හටගනිත්ද, යම් කෙනෙක් සත්වයාට පරලොව පිණිස වේද, ඒ ආශාවද සම්පූර්ණවීමද කොයින් හටගැනේද,
“ලෝකයෙහි යම් ලෝභයක් පවතිත්ද ලෝකයෙහි (ඒ) ප්‍රියවස්තූහු කාමච්ඡන්දාදිය නිදන්කොට ඇත්තාහුය. තවද යම් ධර්ම කෙනෙක් සත්වයාට පරලොව පිණිස වේද, ඒ ආශාවද සම්පූර්ණවීමද මෙය නිදන්කොට ඇත්තාහ.”

§ 4 .“ලොව ඡන්දය කුමක් නිදානකොට ඇත්තේද, තවද (තෘෂ්ණාදෘෂ්ටි සංඛ්‍යාත) විනිශ්චය කොතැනින් උපන්නාහුද, ක්‍රෝධය, බොරුකීම, සැකයයයි බුදුන් විසින් වදාරණලද යම් අකුශල ධර්මකෙනෙක් ඇද්ද, ඒ ධර්මයෝ කුමක් ප්‍රභවකොට ඇත්තාහුද?”

§ 5. “සත්වලෝකයෙහි සැපයයිද දුකයයිද යමක් කියත්ද, ඒ සැප දුක් වේදනා නිසා කැමැත්ත ඇතිවේ. ලෝකයෙහි සත්වතෙම රූපයන්හි විනාශයද, උත්පත්තියද දැක (තෘෂ්ණා දෘෂ්ටි) විනිශ්චයද කරන්නේය.

§ 6. “ක්‍රෝධයද බොරුකීමද, සැකයද තවද මේ ලෝභාදී ධර්මයෝද (ඉෂ්ටානිෂ්ට) දෙකම ඇති කල්හි පහළවෙත්. සැකයෙන් යුත් පුද්ගලතෙමේ නුවණ ලැබීම පිණිස හික්මෙන්නේය. බුදුන් විසින් දැන අනිත්‍යාදී ධර්ම ප්‍රකාශ කරණලදී.”

§ 7. “සැප වේදනාවද දුක් වේදනාවද කුමක් මුල්කොට ගෙන උපදනාහුද? මේ වේදනා කවරක් නැතිකල්හි නොවෙත්ද, තවද විනාශයද, උත්පත්තියද යන යම් මේ අර්ථයක් වේද යමක් නිදන්කොට ඇත්ද? මට මේ කාරණය කියනු මැනවි.”

§ 8. “සැප වේදනාවද, දුක් වේදනාවද ස්පර්ශය මුල්කොට ගෙන උපදනේය. මේ ධර්මයෝ වනාහි ස්පර්ශය නැතිකල්හි නොවෙත්. තවද විනාශයද, ඉපදීමද යන යම් මේ කරුණක් වේද, මෙයින් (ස්පර්ශාදිය නිසා) පහළවේ යන මේ කරුණ ඔබට කියමි.”

§ 9. “ලොව ස්පර්ශයතෙමේ කවරක් මුල කාරණකොට පහළවේද, තවද අල්ලාගැනීම් කවරකින් පහළවූවහුද, කවරක් නැතිකල්හි (තෘෂ්ණාදෘෂ්ටි) මමත්වය නැත්තේද, කවරක් ඉක්ම ගියකල්හි ස්පර්ශය ස්පර්ශ නොකෙරේද?”

§ 10. “නාමයද, රූපයද නිසා ස්පර්ශය වෙයි. අල්ලාගැනීම් කැමැත්ත මුල්කොට ඇත්තේය. ආශා නම් තෘෂ්ණාව නැතිකල්හි මමත්වය නැත. රූපය ඉක්මගිය කල්හි ස්පර්ශයෝ ස්පර්ශ නොකෙරෙත්.”

§ 11. “කෙසේ පිළිපදින්නහුට රූපාලම්බනය නොවේද, තවද සැප හෝ දුක හෝ කෙසේ නොවේද, යම්සේ රූපාලම්බන සැපය නොවේද එසේ මට කියන්න. එය දනිමි යයි මට සිතෙක් වූයේය.”

§ 12 “රූපය නොවන තැනැත්තා ප්‍රකෘති සංඥා ඇත්තෙක්ද නොවෙයි විකෘති සංඥා ඇත්තෙක්ද නොවේ තවද සංඥා ඇත්තෙක්ද නොවෙයි. අරූපධ්‍යාන ලාභියෙක්ද නොවෙයි. මෙසේ (අරූප මාර්ගයට) පිළිපන්නහුට රූපය නොවන්නේය. (යම්හෙයකින් තෘෂ්ණාමාන දෘෂ්ටි) ප්‍රමාදයෝ රූපසංඥාව මුල්කොට ඇත්තාහ.”

§ 13. “යමක් ඔබගෙන් ඇසුමූද එය අපට කීයෙහිය. දැන් අන්කරුණක් ඔබගෙන් විචාරමි. එය කියනුමැනවි. මේ ලෝකයෙහි පණ්ඩිතවූ ඇතැම් කෙනෙක් මෙය සත්වයාගේ ශ්‍රේෂ්ඨ භූමියයයි කියත්.”

§ 14 . “මෙලොව පණ්ඩිතවූ ඇතැම් මහණ බමුණු කෙනෙක් මෙහිදී සත්වයාගේ ශ්‍රේෂ්ඨ ශුද්ධිය කියත්. ඔවුන් අතරෙහි වනාහි ඇතැම් කෙනෙක් අනුපාදිශෙෂයෙහි දක්ෂවූ වාද ඇතියෝව උච්ඡෙද වාදය (මරණයෙන් ඉවරවීම) කියත්.

§ 15. “මොවුහු ආශ්‍රිතයෝයයි දැන ප්‍රාඥවූ ඒ බුද්ධ මුනි තෙම ආශ්‍රයයන්ද දැන මිදුණේ විරුද්ධවාදයට නොපැමිණෙන්නේය. ධීරතෙම නැවත නැවත නොම පැමිණෙන්නේය.”

12.  චුල වියුහ  සුත්‍රය 

§1. “බොහෝ දෙනා  තම තමාගේ දෘෂ්ඨියේ එල්ලී  සිටින්නාහුය. තමන් විශ්වාසකරන අදහස්  දැඩිසේ ගෙන මෙයම ඇත්ත යයි  වලහා කියත්. මෙසේ දෘෂ්ඨීන් පරාමාසකොට ගත් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ (ස්වලබ්ධිය) දැඩිකොට අල්වාගෙන එහිම වසයි. ගෙයක්  හිමි කෙනෙක් සිය නිවසේ කෙසේ සුවසේ රිසි අයුරු වෙසෙත්ද, එලෙසම මෙසේ ඇවැත් බහුල අය ඒ ඒ ඇවැත්වලම අදහා වසයි. කෙලෙස් ඇති අය ඒ ඒ කෙලෙස්ම තුල බැස වසයි. දෙතිසක් මිත්‍යා දෘෂ්ටීන් ගෙන් තමන් අල්වාගත් යම් දෘෂ්ඨියම පරාමාස කොටගෙන,  අභිනිවාස කොටගෙන වාද කරති. තමන්ගේ ඒ අවබෝධයම  අනෙකෙකුට ඇත්නම්  ඔහු ධර්මය දන්නේයැයි අවබෝධකලේයයි කියයි. යමෙක්  මෙසේවූ තමාගේ දෘෂ්ඨිය සත්‍යයැයි  දනිත්නම් ඒ අය   ධර්මය දත්තේ යැයි ඔහු කියයි., යමෙක් ඔහුගේ මතය නොපිලිගනීනම් ඒ අය අනුවනයෝය , බාලයෝය යැයි  ඔහු ගර්හා කරන්නේය.

§ 2 . “ තමාගේ දිෂ්ඨිය  ප්‍රතික්ෂේප කරන අය හා වාද විවාද කරති. දොස් නගති. බැන වදිති. දබර කරති. කළහ කරති. නුඹලා මේ ධර්ම විනය නොදන්නාහුය. අපන්ඩිතය. බාලය. හීනය. නිහීනය. අඥානය, කියමින් ගරහති.  නුඹලාගේ කුමන වාදයක් සත්‍යාද? පරිපුර්නද? විද්යාමානද? විපරීත නොවේද? කියා සෙස්සන්ගේ මතයන් අවඥාවට ලක් කරයි. 

 § 3. “ ඉදින් අන්‍යයාගේ ධර්මය නොදන්නා නොපිළිගන්නා පුද්ගලයා බාලයෙක්, නුවණින් අඩු නිහීනයෙක් වන්නේ නම්  සියලුම මහණ බඹුනන්  බාලයෝය.  නුවණින් අඩු නිහීනයනය. මන්දයත් මේ සියලු මහණ  බඹුනන්  වෙන් වෙන්  දෘෂ්ඨි ගෙන ඉන්නා බැවිනි. 

අනුන්ගේ දර්ශනය ප්‍රතිපදාව නොදන්නේ අනුමෝදන් නොවන්නේ නම් ඉතා ලාමක නුවණ ඇත්තෝය. තම තමාගේ ඇදහීමෙහි ගැලී වසන මේ සියල්ලෝම බාලයෝය. අල්ප වූ ප්‍රඥාවක් වත් නැත්තෝය. 

§ 4. “ඉදින් ස්වකීය ලබ්ධියෙන් අතිශයින් පිරිසිදුවූවාහු වෙත්ද, සිය  නුවණ යොදා තමාගේ දර්ශනය විමසා බලන්නෝ වෙත්ද, සිය  බුද්ධිය යොදා දර්ශනය පිසිසිදු කරගන්නේ වේද ඒ  මහණ බමුණන්  කිසිවෙකුත් පිරිහුණු ප්‍රඥා ඇත්තේ නොවේ. , ඔවුන්ගේ දෘෂ්ටියද  එසේ සමාප්ත වන්නීය. සිය දෘෂ්ඨිය හරියාකාරව නොදන්නාවූ, නොපිලිපදින්නාවූ, කෙලෙස් සහිත ප්‍රතිපදාවේ ඉන්නාවූ මහණ බමුණන් වේ නම් ඔවුන් බාලයෝය. මෙසේ සිය දෘෂ්ඨිය පිරිසිදුකරගන්නා මහණ බමුණන් එම දෘෂ්ටියම අභිනිවේස  කරගනී.

§ 5. “බාලයන්   දෙදෙනෙක් ඔවුනොවුන්ට  යමක් කියත්ද, මම මෙය සත්‍යයයි නොකියමි. තම තමා තුල  පිළිගත්තාවූ  දැකීම සත්‍යය  ලෙස අල්ලාගත්තෝමය. එහෙයින්ම අන්‍යයා බාලයයිද කියත්.

§ 6.“ඇතැම් කෙනෙක් යමක් ඇත්ත’යයි කියත්ද, අනෙකා ඒ  හිස්වූ බොරුවකැයි කියත්. මෙසේත් දැඩිවගෙන විවාද කෙරෙත්ද, කවර කරුණකින් ශ්‍රමණවරු එක් සත්‍යයක් නොකියත්ද, එමතුදු සත්‍යය  එකක්ම වන්නේය. දෙවන සත්‍යයක් නැත. යම් සත්‍යයක් දනිමින් සත්වයන්  විවාද නොකරන්නේය. ඒ මහණ බමුණෝ නොයෙක් සත්‍යයන් තුමූම කියත්. ඒකරුණෙන් මහණ බමුණෝ එක් සත්‍යයක් නොකියත්.

§ 7. “විරුද්ධවාදීවූ දක්ෂ වාද ඇතියෝ නොයෙක් සත්‍යයන් කවර හෙයින් කියත්ද, නානාප්‍රකාරවූ බොහෝවූ සත්‍යයෝ අසනලද්දෝද, නොහොත් ඔහු තර්කමාත්‍රය අනුවයෙද්ද.

§ 8. “(සත්ව) ලෝකයෙහි සංඥා මාත්‍රයෙන් නිත්‍යයයි ගන්නාලද ග්‍රහණයන් තබා නානාවිධවූ බොහෝ සත්‍යයෝ නැත්මැයි. තර්කයද දෘෂ්ටීන්හිලා කල්පනාකොට සත්‍යය බොරුයයි ධර්ම දෙකක් කියත්.

§ 9. “දක්නාලද්දද, අසනලද්දද, සිතින් දන්නාලද්දද සිල් හා වත් පැවතුම්ද යන මොවුන්ද ඇසුරුකොට පහත් ලෙස දක්නේ, දෘෂ්ටි විනිශ්චයෙහි සිත හටගත් සතුටු ඇති පාපතෙම අන්‍යයා බාලයෙකැයිද කියන්නේය.

§ 10.  “යම් කරුණකින් අනුන් හීනයෙකැයි දක්නේද ඒ කරුණෙන්ම තමා පණ්ඩිතයෙකැයි කියන්නේය. තෙමේම පණ්ඩිතයයි කියන්නාවූ හෙතෙම තමහට ගරහන්නේය. එයම කියන්නේය.

§ 11. “ඒ පුද්ගලයා  දෙසැටක් දෘෂ්ටියෙන් පිරුණේ (දෘෂ්ටි) මානයෙන් මත්වූයේ, පිරීමේ මානය ඇත්තේ තෙමේම තම සිතින් රජවූයේවේ. ඒ ඔහුගේ  දෘෂ්ටිය ඔහුට එපරිද්දෙන්ම සම්පූර්ණවූයේ වේ.

§ 12.  “ඉදින් යමෙක් අනුන්ගේ වචනයෙන්ම නිහීනයෙක් වේනම් තමාත් ඒ හා සමගම ලාමක ප්‍රඥා ඇත්තෙක් වන්නේයි. තවද ඔහු වේදයේ (සතර මාර්ගයන්ගේ) පරතෙරට පැමිණියේ නුවණැත්තේවේ. ශ්‍රමණයන් කෙරෙහි කිසි බාලයෙක් නැත්තේය.

§ 13. “යම්කෙනෙක් මෙයින් වෙනස්වූ  අන්‍ය දෘෂ්ටියක් කියත්ද, අසම්පූර්ණවූ ඔව්හු පිරිසිදුවීමේ මාර්ගය වරදවා ගත්තාහුවෙති. තවද මෙසේ තීර්ථකයෝ බොහෝ දෘෂ්ටීන්ගේ වශයෙන් අශුද්ධිය කියත්ද, යම්හෙයකින් ඔව්හු ස්වකීය දෘෂ්ටි රාගයෙන් ඇලුණාහුද එහෙයිනි,

§ 14. “මෙසේ බෙහෙවින් බැසගත් ස්වකීය මාර්ගයෙහි දැඩිව ප්‍රකාශකරන තීර්ථකයෝ මෙහිම ශුද්ධියවේයයි කියත්. අන්‍ය ධර්මයන්හි වෙසෙත්. ශුද්ධිය නොකියත්.

§ 15. “තවද ස්වකීය (දෘෂ්ටි) මාර්ගයෙහිම දැඩිකොට කියන්නේ මෙහි බාලයායයි අන්‍යවූ කවරක්හු දක්නේද? අනුන් අශුද්ධි ධර්මය ඇති බාලයන්කොට කියන්නාවූ හෙතෙමේම කොලාහල ඇතිකරවන්නේය.

§ 16.“ඒ පුද්ගලයා  තීන්දු කිරීමෙහි සිට තමාම ප්‍රමාණ කොට මතුමත්තෙහි ලෝකයා කෙරෙහි කලහයට පැමිණෙන්නේය. නුවණැති අය සියලු තීන්දු (දෙසැට දෘෂ්ටීන්) හැර අන්‍යයන් හා කළහ නොකරන්නේය.


13.  මහා ව්‍යුහ  සුත්‍රය .

§ 1. “යම්කිසි මේ දෘෂ්ටි ගැනීම්” යන්නෙහි ‘යම්කිසි’ යනු සියල්ලෙන් සියල්ල සර්වප්‍රකාරයෙන් සර්වප්‍රකාරය ඉතිරි නොකොට හාත්පසින් වටකොට ගන්නා වචනයයි. “දෘෂ්ටි ගැනීම්” යනු දෘෂ්ටිය ගැනීම ඇති ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඇත්තාහ. ඔවුහු දෙසැට දෘෂ්ටීන් අතුරෙන් එක් එක්තරා දෘෂ්ටියක් ගෙන ඉගෙණ පරාමර්ශ කොට බැසගෙන ස්වකීය ස්වකීය දෘෂ්ටියෙන් වසත්. යම්සේ ගිහියෝ ගේවල වසත්ද, ඇවැත් ඇත්තෝ ඇවතෙහි වසත්ද, කෙලෙස් ඇත්තෝ කෙලෙස්හි වසත්ද, මෙපරිද්දෙන්ම ඇතැම් ((12-1) 1 (ii) ඡේදය යෙදිය යුතුයි) වසත් යනුයි.

§ 2 “මෙයම සත්‍යයයයිද වාද කරත්” යනු ලෝකය ශාස්වතය මෙයම සත්‍යය, අනික් වාද හිස්යයි කියත්. ප්‍රකාශ කරත්, ව්‍යවහාර කරත්. ලෝකය අශාස්වතය ((3 5) 1 (ii) ඡේදය යෙදිය යුතුයි) සත්වයා මරණින් මතු නොමවෙයි, නොම නොවෙයි. මෙයම සත්‍යය අනික් වාද හිස්යයි කියත්, ප්‍රකාශ කරත්, ව්‍යවහාර කරත් යනුයි.

§ 3 “ඒ සියල්ලෝම නින්දාවට පැමිණෙත්” යනු සියලුම ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයෝම නින්දාවට පැමිණෙත්. ගර්හාවටම පැමිණෙත් අපකීර්තියටම පැමිණෙත්. සියල්ලන්ට නින්දාවම වෙත්. ගර්හාවම වෙත්. අපකීර්තියම වෙත් යනුයි.

§ 4 “(i) නැවත එහි ප්‍රශංසාවද ලබයි” යනු එහි ස්වකීය දෘෂ්ටියෙහි ස්වකීය කැමැත්තෙහි, ස්වකීය රුචියෙහි, ස්වකීය ලබ්ධියෙහි ප්‍රශංසාව, ස්තුතිය, කීර්තිය, වර්ණනාව ලබත් පැමිණෙත්, විඳිත් යනුයි.

1 “මෙය අල්පය සංසිඳීම පිණිස ප්‍රමාණවත් නොවේ” යන්නෙහි මෙය අල්පය යනු මෙය ස්වල්පය, මෙය ලාමකය. මෙය ටිකය. මෙය කුඩාය යනුයි සංසිඳීම පිණිස ප්‍රමාණවත් නොවේ
(ii) යනු රාගයාගේ සංසිඳීමපිණිස ද්වේෂයාගේ සංසිඳීම පිණිස ක්‍රෝධයාගේ බද්ධවෛරයාගේ ගුණමකුකමේ එකට එක කිරීමේ ඊෂ්‍ය_ාවේ මසුරුකමේ රැවටිල්ලේ කෛරාටික කමේ තදගතියේ කළදේට වඩා කිරීමේ මානයේ අතිමානයේ මදයේ ප්‍රමාදයේ සියලු කෙලෙස්වල සියලු දුසිරිත්වල සියලු පීඩාවල සියලු දැවිලිවල සියලු තැවීම්වල සියලු අකුසල් රැස් කිරීම්වල සංසිඳීම පිණිස බැහැර කිරීම පිණිස නිර්වාණය පිණිස මෙය ප්‍රමාණ නොවේ යනුයි.

§ 2 “විවාදයාගේ ඵල දෙකක් කියමි” යනු දෘෂ්ටි කලහයේ දෘෂ්ටි ඩබරයේ දෘෂ්ටි විග්‍රහයේ දෘෂ්ටි වාදයේ දෘෂ්ටි ආරාවුල් ඵල දෙකක් වෙත්. ජය පරාජය වෙයි. ලාභාලාභ වෙයි. කීර්ති අපකීර්ති වෙයි. නින්දා ප්‍රශංසා වෙයි. සුවදුක් වෙයි සොම්නස් දොම්නස් වෙයි. ඉෂ්ටානිෂ්ට වෙයි. අනුකූල බව හා කෝපය වෙයි. හැපීම් ගැටීම් වෙයි. අනුරොධය හා විරොධය වෙයි. යලිදු හෝ ඒ කර්මය නරක දුකට හේතු වෙයි. තිරිසන් යෝනි දුකට හේතු වෙයි. ප්‍රේත දුකට හේතු වේයයි කියමි. දේශනා කරමි පණවමි. විවෘත කරමි. බෙදමි. ප්‍රකට කරමි. ප්‍රකාශ කරමි යනුයි.

§ 3 “මෙයද දැක විවාද නොකරව්” යන්නෙහි මෙයද දැක යනු මේ ආදීනවය දැක බලා සමකොට තීරණය කොට ප්‍රකට කොට දෘෂ්ටි කලහයන්හි දෘෂ්ටි විවාදයන්හි මෙයද දැක “විවාද නොකරව්” යනු කලහ නොකරන්නේය. විවාද නොකරන්නේය. විග්‍රහ නොකරන්නේය සංසිඳ වන්නේය අභාවයට පමුණුවන්නේය. කලහයෙන් විග්‍රහයෙන් විවාදයෙන් ඩබරයෙන් දුරුවන්නේය. වෙන්වන්නේය දුරුවුනේය සීමා නොකරණ ලද සිතින් වාසය කරන්නේය යනුයි. අවිවාද භූමියවූ නිර්වාණය බලන්නේ යනු අවිවාද භූමිය යනු අමෘතවූ නිර්වාණයට කියයි. ඒ සියලු සංස්කාරයන් සංසිඳවූ සියලු කෙලෙස් බැහැරකළ තෘෂ්ණාව නැතිකළ රාගය නැතිකළ නිරෝධ නම්වූ නිර්වාණයයි. මේ අවිවාද භූමිය ආරක්ෂා තැන වශයෙන් පිහිට ඇති තැන වශයෙන් භය නැති තැන වශයෙන් ච්‍යුත නොවන තැන වශයෙන් අමෘත තැන වශයෙන් නිර්වාණය වශයෙන් බලන්නේ දකින්නේ සිතන්නේ විශේෂයෙන් බලන්නේ යනුයි.

§ 1 “යම්කිසි මේ පෘථග්ජනයන්ගේ සම්මුතියක් හෙවත් දෘෂ්ටියක් ඇද්ද” යන්නෙහි යම්කිසි යනු සියල්ලෙන් සියල්ල සර්වප්‍රකාරයෙන් සර්වප්‍රකාරය නිරවශෙෂ කොට වටකොට ගන්නා වචනයයි. “සම්මුතිහු” යනු දෙසැට දෘෂ්ටි ගැනීම සම්මුතීහුයි. පෘථග්ජනයන් විසින් ඇතිකරණ ලද යනු ඔවුන් විසින් උපදවන ලද සම්මුතීහු යනුයි. “බොහෝ නොයෙක් ජනයන් විසින් ඇතිකරණ ලද සම්මුතීහුයි යනුයි. “නුවණැත්තේ මේ සම්මුතීන්ට නොපැමිණෙයි.” නොගනියි. පරාමර්ශ නොකරයි. ඇතුළු නොවෙයි. යනුයි.

§ 2 “පැමිණීම් නැති හෙතෙම කිම පැමිණෙන්නේද” යනු පැමිණීම් යනු පැමිණීම් දෙකකි. තෘෂ්ණාවට පැමිණීම්ද දෘෂ්ටියට පැමිණීම්ද යනුයි. ((2-6) 1 (ii) (iii) “මමත්වය” වෙනුවට පැමිණීම කියා වෙනස්කර යොදාගත යුතුයි) ඔහුගේ තෘෂ්ණාවට පැමිණීම ප්‍රහීණය, දෘෂ්ටියට පැමිණීම සංසිඳුනේය. පැමිණීම් නැති පුද්ගලතෙම කිම රූපය වෙත (ii) පැමිණෙන්නේද ගන්නේද පරාමර්ශ කරන්නේද (iii) කිම වේදනාව වෙත කිම සඤ්ඤාව වෙත කිම සංස්කාරයන් වෙත කිම විඤ්ඤානය වෙත කිම ගතිය වෙත කිම උත්පත්තිය වෙත කිම ප්‍රතිසන්ධිය වෙත කිම භවය වෙත කිම සංසාර වෙත කිම වට්ටය (-සසර වැට) වෙත පැමිණෙන්නේද, ගන්නේද, පරාමර්ශ කරන්නේද යනුයි.

§ 3 “දුටු දෙයෙහිද ඇසූ දෙයෙහිද රුචිය නොකරන්නේ” යනු දැකීමෙහි හෝ දැකීමේ ශුද්ධියෙහි හෝ ඇසීමේ හෝ ඇසීමේ ශුද්ධියෙහි හෝ මුතයෙන් හෝ මුත ශුද්ධියෙහි හෝ රුචි නොකරන්නේ කැමැත්ත නොකරන්නේ ප්‍රෙමය නොකරන්නේ රාගය නොකරන්නේ නූපදවන්නේ ඇති නොකරන්නේ යනුයි.

§ 1 “ශීලය උතුම් කොට ඇති සඤ්ඤමයෙන් ශුද්ධිය කියත්.” යනු සීලය උතුම්කොට ඇති වැදගත් ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඇත්තාහ. ඔවුහු සීල මාත්‍රයෙන්, නොඉක්මවීම් මාත්‍රයෙන් ශුද්ධි මාත්‍රයෙන් විශුද්ධි වාදත්‍රයෙන් පාරිශුද්ධි මාත්‍රයෙන් මිදීම විමුක්තිය කියත්. ප්‍රකාශ කරත්. ව්‍යවහාර කරත් යනුයි. චණ්ඩිකා පුත්‍ර නම් ශ්‍රමණතෙම මෙසේ කියයි, ථපතිය, ධර්ම සතරකින් යුක්තවූ පුරිස පුද්ගලයා කුසලයෙන් යුත් උතුම් කුසල් ඇති උතුම් පැමිණීමට පැමිණි නොපැරදවිය හැකි ශ්‍රමණයායයි මම කියමි. කවර සතරකින්ද, ථපතිය, මෙහි කයින් පව්කම් නොකෙරේද, පවිටු වචන නොකියාද, පවිටු කල්පනා කල්පනා නොකරයිද, ලාමක දිවි පැවැත්ම නොකරයිද, ථපතිය, මේ ධර්ම සතරින් යුත් පුරිස පුද්ගලයා කුශලයෙන් යුත්, උතුම් කුසල් ඇති, උතුම් පැමිණීමට පැමිණි නොපැරදවිය හැකි පුද්ගලයායයි කියමි” මෙපරිද්දෙන්ම සීලය උතුම් කොට ගත් වාද ඇති ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඇත්තාහ. ඔවුහු ශීල මාත්‍රයෙන් හික්මීම් මාත්‍රයෙන් සංවර මාත්‍රයෙන් නොඉක්මවීම් මාත්‍රයෙන් ශුද්ධිය විශුද්ධිය පාරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය කියත්. ප්‍රකාශ කරත්. ව්‍යවහාර කරත් යනුයි.

§. 2 “ව්‍රතය සමාදන්ව එයට පැමිණියාහු” යනු ව්‍රතය යනු හස්ති ව්‍රතය හෝ අශ්ව ව්‍රතය හෝ ගව ව්‍රතය හෝ ශුනක ව්‍රතය හෝ කාක ව්‍රතය හෝ වාසුදෙව ව්‍රතය හෝ බල දෙව ව්‍රතය හෝ පූර්ණභද්‍ර ව්‍රතය හෝ මණිභද්‍ර ව්‍රතය හෝ අග්නිව්‍රතය හෝ නාග ව්‍රතය හෝ සුප ර්‍ණව්‍රතය හෝ යක්ෂ ව්‍රතය හෝ අසුර ව්‍රතය හෝ ගාන්ධර්ව ව්‍රතය හෝ මහාරාජ ව්‍රතය හෝ චන්ද්‍ර ව්‍රතය හෝ ආර්‍ය්‍ය ව්‍රතය හෝ ඉන්ද්‍ර ව්‍රතය හෝ බ්‍රහ්ම ව්‍රතය හෝ දෙව ව්‍රතය හෝ දිශා ව්‍රතය හෝ ගෙන සමාදන්ව පරාමර්ශ කොට බැසගෙන සිටියාහු පිහිටියාහු ඇලුනාහු පැමිණියාහු ගැලුනාහු යනුයි.

§ 3 “මෙහිම හික්මෙමූ. ඉක්බිති ඔහුගේ ශුද්ධිය වේ” යන්නෙහි “මෙහි” යනු ස්වකීය දෘෂ්ටියෙහි ස්වකීය කැමැත්තෙහි, ස්වකීය රුචියෙහි, ස්වකීය ලබ්ධියෙහි, “හික්මෙමු” යනු හික්මෙමු හැසිරෙමු සමාදන්ව සිටිමු “ඉක්බිති ඔහුගේ ශුද්ධිය” යනු ශුද්ධිය විශුද්ධිය පාරිශුද්ධිය, මුක්තිය විමුක්තිය පරිමුක්තිය යනුයි.

§ 4 “භවයට පැමිණියාහු කුසලවාද කියන්නෝ වෙත්” යන්නෙහි භවයට පැමිණියාහු යනු භවයට බැස ගත්තාහු පැමිණියාහු ඇලුනාහු යනුයි. කුසල වාදයෝ යනු ස්වකීය ලබ්ධියෙහි දක්ෂවාදයෝ පණ්ඩිත වාදයෝ ස්ථිරවාදයෝ න්‍යාය වාදයෝ, හේතුවාදයෝ, ලක්ෂණ වාදයෝ, කාරණ වාදයෝ ස්ථාන වාදයෝ යනුයි.

§ 1 “ඉදින් ශීලයෙන් හා ව්‍රතයෙන් ච්‍යුතවූයේ වේද” යනු කරුණු දෙකකින් ශීලයෙන්ද ව්‍රතයෙන්ද ච්‍යුතවූයේ, වෙයි අන්‍යවාද සිඳීමට හෝ ච්‍යුතවෙයි. නොහැකි වන බැවින් හෝ ච්‍යුත වෙයි. කෙසේ පරවාද සිඳීම පිණිස ච්‍යුත වේද, අන්‍යවාද සිඳියි කෙසේද, ඒ ශාස්තෘන් වහන්සේ සර්වඥ නොවේ. ධර්මය ස්වාක්ඛාත නොවේ. ගණයා සුපිළිපන් නොවේ. දෘෂ්ටිය යහපත් නොවේ.

§ මෙහි ශුද්ධියක් හෝ විශුද්ධියක් හෝ පාරිශුද්ධියක් හෝ මුක්තියක් හෝ විමුක්තියක් හෝ පරිමුක්තියක් හෝ නැත. මෙහි ශුද්ධියක් හෝ විශේෂ ශුද්ධියක් හෝ මිදීමක් හෝ නැත. හීනය නිහීනය ලාමකය මෙසේ අන්‍යවාද සිඳියි, මෙසේ සිඳින්නේ ශාස්තෘවරයාගෙන් වෙන්වෙයි. ධර්මයෙන් වෙන්වෙයි, ගණයාගෙන් වෙන්වෙයි. දෘෂ්ටියෙන් වෙන් වෙයි. ප්‍රතිපදාවෙන් වෙන් වෙයි, මාර්ගයෙන් වෙන් වෙයි, මෙසේ අන්‍යවාද සිඳීම පිණිස වෙන්වෙයි, කෙසේ නොහැකිවන බැවින් වෙන්වේද, ශීලය රැකීමට නොහැකි බැවින් ශීලයෙන් වෙන්වෙයි, ව්‍රතය ගැනීමට නොහැකි බැවින් ව්‍රතයෙන් වෙන්වෙයි, ශීලව්‍රතදෙක රැකීමට නොහැකිවන බැවින් ශීලව්‍රතදෙකින් වෙන්වෙයි. මෙසේ නොහැකි බැවින් වෙන් වෙයි යනුයි.

§ 2 “කර්මය වරදවා හෙතෙම කම්පාවෙයි” යන්නෙහි හෙතෙම කම්පා වෙයි යනු ශීලය හෝ ව්‍රතය හෝ ශීල ව්‍රත දෙකම හෝ මා විසින් වරද්දන ලදී. මා විසින් දූෂිත කරණ ලදී. මා විසින් ගිලිහීම කරණ ලදී. නොදැනීමෙන් මම වැරැද්දුවේ වෙමියි කම්පා වෙයි, වෙවුලයි, විශේෂයෙන් කම්පා වෙයි යනුයි කර්මය වරදවා යනු පූණ්‍යාභි සංස්කාරය හෝ අපුණ්‍යාභි සංස්කාරය හෝ ආනෙඤ්ජාභි සංස්කාරය හෝ මාවිසින් වරද්දන ලදී. මාවිසින් ගිලිහීම කරන ලදී. මා විසින් දූෂිත කරණ ලදී. මම නොදැනීමෙන් වැරැද්දු වෙමියි කම්පාවෙයි යනුයි.

§ 3 “හෙතෙම ශුද්ධිය ගැන කථාකරයි, බලාපොරොත්තු වෙයි” යනු හෙතෙම ශීලය ගැන කථාකරයි. ව්‍රතය ගැන කථා කරයි, ශීලව්‍රත දෙක ගැන කථා කරයි. “ශුද්ධිය ප්‍රාර්ථනා කරයි. යනු ශීල ශුද්ධිය හෝ ප්‍රාර්ථනා කරයි, ව්‍රත ශුද්ධිය හෝ ප්‍රාර්ථනා කරයි.

§ 4 “ගෙයින් නික්මුනේ ශාස්තෘවරයා නැවතුනේය” යනු යම්සේ පුරුෂතෙම ගෙයින් නික්මුනේ ශාස්තෘවරයා සමග වසන්නේ ශාස්තෘවරයා නැවතුනේ වෙයි ඔහු හෝ ශාස්තෘවරයා ලුහු බඳියි සිය ගෙදරට හෝ ආපසු එයි, එපරිද්දෙන්ම දෘෂ්ටිය ගත්තේය කියා හෝ ශාස්තෘවරයා ගනියි. අන්‍ය ශාස්තෘවරයකු හෝ ගනියි. ඒ ධර්මය හෝ ගනියි. අන්‍ය ධර්මයක් හෝ ගනියි ඒ ගණයා හෝ ගනියි. වෙනින් ගණයක් හෝ ගනියි. ඒ දෘෂ්ටිය හෝ ගනියි. අනික් දෘෂ්ටියක් හෝ ගනියි. ඒ ප්‍රතිපදාව හෝ ගනියි. අන්‍ය ප්‍රතිපදාවක් හෝ ගනියි. අනික් මාර්ගයක් හෝ ගනියි. පරාමර්ශ කරයි. බැස ගනියි යනුයි.

§ § 1 “ශීලය හෝ ව්‍රතය හෝ සියල්ල දුරුකොට” යනු සියලු ශීල ශුද්ධින් දුරුකොට හැර, බැහැරකොට සංසිඳුවා නූපදනා බවට පමුණුවා සියලු ව්‍රත ශුද්ධින් හැර, දුරුකොට බැහැර කොට සංසිඳුවා නූපදනාබවට පමුණුවා සියලු ශීලව්‍රත ශුද්ධින් හැර දුරුකොට බැහැරකොට සංසිඳුවා නූපදනා බවට පමුණුවා යනුයි

§ 2 “වැරදි නිවැරදි මේ කර්මයද” යනු වැරදි කර්මය තෘෂ්ණා වූ තෘෂ්ණ විපාකය ඇත්තේයයී කියයි. වැරදි නැති කර්මය සුදුවු සුදු විපාක ඇත්තේයයි කියයි. වැරදි ඇති කර්මයද වැරදි නැති කර්මයද දුරුකොට බැහැරකොට, හැර, සංසිඳුවා නූපදනා බවට පමුණුවා යනුයි. ශුද්ධිය අශුද්ධිය ප්‍රාර්ථනා නොකරන්නේ යන්නෙහි අශුද්ධිය යනු අශුද්ධිය ප්‍රාර්ථනාකරත්. අකුශල ධර්මයන් ප්‍රාර්ථනා කරත්. ශුද්ධිය යනු ශුද්ධිය ප්‍රාර්ථනා කරත්. පඤ්චකාම ගුණයන් ප්‍රාර්ථනා කරත් ශුද්ධිය ප්‍රාර්ථනා කරත්. අකුශල ධර්මයන් ප්‍රාර්ථනා කරත්. පඤ්චකාම ගුණය ප්‍රාර්ථනා කරත්. ශුද්ධිය ප්‍රාර්ථනාකරත්. දෙසැට දෘෂ්ටි ගැනීම ප්‍රාර්ථනාකරත්. අශුද්ධිය ප්‍රාර්ථනාකරත්. ගැනීම් ප්‍රාර්ථනා කරත්. අකුශලයන් ප්‍රාර්ථනා කරත්. පඤ්චකාම ගුණයන් ප්‍රාර්ථනා කරත්. දෙසැට දෘෂ්ටි ගැනීම් ප්‍රාර්ථනාකරත් ත්‍රෛධාතුක අකුශල ධර්මයන් ප්‍රාර්ථනා කරත්, අකුශල ධර්මයන් ප්‍රාර්ථනා කරත්, පඤ්චකාම ගුණයන් ප්‍රාර්ථනාකරත්, දෙසැට දෘෂ්ටි ගැනීම් ප්‍රාර්ථනා කරත් ත්‍රෛධාතුක කුශල ධර්මයන් ප්‍රාර්ථනා කරත්. ශුද්ධිය ප්‍රාර්ථනා කරත්. පෘථග්ජන කල්‍යාණකයෝ ස්ථිර බැසගැන්ම ප්‍රාර්ථනා කරත්. ශෛක්ෂයෝ අග්‍ර ධර්මයවූ අර්හත්වය ප්‍රාර්ථනාකරත්. අර්හත්වය ලැබූ කල්හි රහතුන් වහන්සේ අකුශල ධර්මයන් ප්‍රාර්ථනා නොකරත්. පඤ්චකාම ගුණයන් ප්‍රාර්ථනා නොකරත්, දෙසැට දෘෂ්ටි ගැණීම් ප්‍රාර්ථනා නොකරත්. ත්‍රෛධාතුක කුශල ධර්මයන් ප්‍රාර්ථනා නොකරත්. ස්ථිරවූ බැසගැන්ම ප්‍රාර්ථනා නොකරත්. අග්‍රධර්යමවූ අර්හත්වය ප්‍රාර්ථනා නොකරත්. ප්‍රාර්ථනා ඉක්මවූ රහතුන් වහන්සේ වැඩීමද පිරිහීමද, නැවැත්වූයේ වෙයි. උන්වහන්සේ වැස නිමවූයේ පුරුදුකළ චරණ ධර්ම (හැසිරීම්) ඇත්තේ තරණය කළ ජාති ජරා මරණ සංසාරයන් ඇත්තේ උන්වහන්සේගේ නැවත ඉපදීමක් නැත.

§ 3 වෙන්වූයේ ශාන්තිය නොගෙන හැසිරෙන්නේය. යන්නෙහි වෙන්වූයේ යනු ශුද්ධියෙන්ද අශුද්ධියෙන්ද ඈත්වූයේය වෙන්වූයේය. නික්මුණේය මිදුණේය. සීමානොකරණ ලද සිතින් වාසයකරයි. හැසිරෙන්නේය යනු හැසිරෙන්නේය. වසන්නේය. ඉරියව් පවත්වන්නේය පාලනය කරන්නේය. යැපෙන්නේය වෙන්ව වසන්නේය යනුයි. ශාන්තිය නොගෙන යන්නෙහි ශාන්තියයි දෙසැට දෘෂ්ටීන්ට කියත්. දෘෂ්ටි ශාන්තීන් නොගන්නාහු පරාමර්ශ ඇතුල්නොවන්නාහු යනුයි. § 1 පිළිකුල්වූ එය ඇසුරුකොට යනු තපස පිළිකුල් කරණ වාදය ඇති ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඇත්තාහ. තපස පිළිකුල් කිරීම සාරකොටඇති, තපස පිළිකුල් කිරීමෙහි යෙදුණ ඇලුණ පැමිණි ගැලුණ යනුයි. “යලිදු දිට්ඨ සුතමුතයන් හෝ යනූ ඇසූදෙය හෝ දුටු දෙයෙහි ශුද්ධිය හෝ ඇසූ දෙය හෝ ඇසූ දෙයෙහි ශුද්ධිය හෝ මුතය හෝ මුතශුද්ධිය හෝ නිසා පරාමර්ශකොටගෙන බැසගෙන ඇලි යනූයි. § 2 “උද්ධංසර වාද ඇත්තෝ ශුද්ධිය කියත්” යනු උද්ධංසර නම් වාදය ඇති ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඇත්තාහ. ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයන් ගේ උද්ධංසර වාදය කවරේද? ඒකාන්ත ශුද්ධිය කියන සංසාර ශුද්ධිය කියන අකිරිය දෘෂ්ටිය කියන ශ්‍රමණ බ්‍රාහ්මණයෝ වෙති. මේ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ උද්ධංසර වාදය ඇත්තෝ වෙති ඔවුහු සංසාරයෙහි ශුද්ධිය විශුද්ධිය පාරිශුද්ධිය, මුක්තිය, විමුක්තිය, පරිමුක්තිය, කියත්. ප්‍රකාශකරත්. ව්‍යවහාර කරත් යනුයි. § 3 “භවයෙන් භවයෙහි නොහරණලද තෘෂ්ණා ඇත්තේ යන්නෙහි තෘෂ්ණා නම් රූප තෘෂ්ණා ශබ්ද තෘෂ්ණා, ගන්ධ තෘෂ්ණා රශ තෘෂ්ණා, ස්පර්ශ තෘෂ්ණා ධර්ම තෘෂ්ණා යනුයි. භවයෙන් භවයෙහි යනු භවයෙන් භවයෙහි කර්ම භවයෙහි පුනර්භවයෙහි කාම භවයෙහි පුනර්භවයෙහි රූපයෙහි කර්ම භවයෙහි රූපභවයෙහි නැවත නැවත භවයෙහි නැවත නැවත ගතියෙහි නැවත නැවත උත්පත්තියෙහි නැවත නැවත ප්‍රතිසන්ධියෙහි නැවත නැවත ආත්ම භාවයන් පහළවීමෙහි, නොහළ තෘෂ්ණාඇත්තේ දුරුනොකළ තෘෂ්ණා ඇත්තේ හැරනොදැමූ තෘෂ්ණා ඇත්තේ වමාරා නොදැමූ තෘෂ්ණා ඇත්තේ නොමිදූ තෘෂ්ණා ඇත්තේ බහා නොතැබූ තෘෂ්ණා ඇත්තේ යනුයි. § 1 බලාපොරොත්තු වන්නහුට තෘෂ්ණාව ඇතිවෙත්” යනු ප්‍රාර්ථනාවට තෘෂ්ණාව යයි කියයි. යම් රාගයක් ඇද්ද ඇලීමක් ඇද්ද ((1-3) 4 ඡේදයේ යම් ‘ලංවීමක් ඇද්ද’ යන තැන සිට යෙදිය යුතුයි) අභිධ්‍යාවක් ඇද්ද ලෝභයක් ඇද්ද අකුශල මූලයක් ඇද්ද එයයි. “බලාපොරොත්තුවන්නහුට” යනු ප්‍රාර්ථනා කරන්නහුට කැමති වන්නහුට බාරගන්නහුට විශේෂයෙන් ආශා ඇති කරන්නහුට යනුයි. § 2 “කල්පනා කළ වස්තුවෙහි කම්පාවීම” යන්නෙහි කල්පනා යනු කල්පනා දෙකක්. එනම්, තෘෂ්ණා කල්පනාවද දෘෂ්ටි කල්පනාවද යනුයි ((2-7) 1 (ii) “මමත්වය” වෙනුවට “කල්පනාව” කියා යෙදිය යුතුයි) කල්පනා කරන වස්තුවෙහි වෙවිලීමද යන්නෙහි කම්පාවීමද යනු ඒ වස්තුව සිඳේය යන සැකයෙන්ද කම්පා වෙයි. සිඳෙද්දීද කම්පාවෙයි. සිඳුන කල්හිද කම්පාවෙයි. කල්පනා කළ වස්තුව වෙනස්වේය යන සැකයෙන්ද කම්පා වෙත්. වෙනස්වන කල්හිද කම්පා වෙත්. වෙනස්වූ කල්හිද කම්පා වෙත්. විශේෂයෙන් කම්පාවෙත් යනුයි. § 3 “මෙහි යම් රහත් කෙනෙකුට චුතියද උත්පත්තියද නැත්තේය” යනු යම් කෙනෙකුට යනු අර්හත් ක්ෂීණාශ්‍රවයන් වහන්සේට යනුයි. යමෙකුට ගමනද ආගමනයද ගමනාගමනයද කාලයද ගතියද භවයෙන් භවයද චුතියද උත්පත්තියද ඇතිවීමද බිඳීමද ජාතියද ජරාවද මරණයද නැද්ද විද්‍යමාන නොවේද ප්‍රහීණද සිඳුනේද, ශාන්තද ඉපදීමට අයොග්‍යද ඥානය නමැති ගින්නෙන් දැවුනේද යනුයි. §4 “හෙතෙම කුමකින් කම්පා වන්නේද? තෘෂ්ණාව ඇති කරන්නේද? යනු හෙතෙම කවර රාගයකින් කම්පා වන්නේද, කවර ද්වේෂයකින් කම්පාවන්නේද, කවර මෝහයකින් කම්පාවන්නේද, කවර මානයකින් කම්පාවන්නේද, කවර දෘෂ්ටියකින් කම්පාවන්නේද, කවර සිතේ නොසන්සුන් කමකින් කම්පාවන්නේද කවර විචිකිච්ඡාවකින් කම්පාවන්නේද කවර අනුශයන්ගෙන් කම්පාවන්නේද රාග ඇත්තේය කියා හෝ ද්වේෂ ඇත්තේය කියා හෝ මෝහ ඇත්තේය කියා හෝ බැඳුනේය කියා හෝ පරාමර්ශ කළේය කියා හෝ වික්ෂෙපයට ගියේය කියා හෝ අනිටු බවට ගියේය කියා හෝ උත්සාහවත්බවට ගියේය කියා හෝ කුමකින් කම්පා වන්නේද ඒ රැස්කිරීම් ප්‍රහිණය රැස් කිරීම් ප්‍රහීණ බැවින් තිරිසන් යොනිකයෙකැයි කියා හෝ ප්‍රේතගතිකයෙකැයි කියා හෝ මිනිසෙකැයි කියා හෝ දෙවියෙකැයි කියා හෝ රූපීයෙකැයි කියා හෝ අරූපියෙකැයි කියා හෝ සඤ්ඤියෙකැයි කියා හෝ අසඤ්ඤියෙකැයි කියා හෝ නෙවසඤ්ඤි නාසඤ්ඤියෙකැයි කියා හෝ කීමට එබඳු හේතුවක් නැත, ප්‍රත්‍යයක් නැත. කාරණයක් නැත. යමකින් කම්පා වන්නේද වෙවුලන්නේද විශේෂයෙන් කම්පාවන්නේද එබඳු හේතුවක් නැත. හෙතෙම කුමකින් කම්පා වන්නේද, “කොහි තෘෂ්ණාව ඇති කරන්නේද” යනු කොහි හෝ තෘෂ්ණාව ඇති කරන්නේද කුමක තෘෂ්ණාව ඇති කරන්නේද යනුයි.

1 “ඇතැම් කෙනෙක් යම් ධර්මයක් උත්තමයයි කියද්ද” යනු යම් ධර්මයක් දෘෂ්ටියක් ප්‍රතිපදාවක් ඇතැම් මාර්ගයක් ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ මෙය උතුම්ය, අග්‍රය, ශ්‍රේෂ්ඨය, ප්‍රමුඛයය මෙසේ කියත්. මෙසේ ව්‍යවහාර කරත්. ප්‍රකට කරත් යනුයි.

2 “අනිකෙක් මෙයම හීනයයි කියත්” යනු මේ ධර්මයම දෘෂ්ටියම ප්‍රතිපදාවම මාර්ගයම ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ මෙය හීනය වෙයි. නිහීනය මෙය ලාමකය මෙය කුඩා යයි කියත්. මෙසේ කියත්. මෙසේ ප්‍රකට කරත්. මෙසේ ව්‍යවහාර කරත් යනුයි.

3 “මොවුනතුරෙන් සත්‍යවූ වාදය කුමක්ද?” යනු මේ ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ කවර වාදයක් සත්‍යද නොවැසුනේද, ස්වභාව පරිදිද විපරීත නොවූයේද යනුයි.

4 “මේ සියල්ලෝම දක්ෂ වාද ඇත්තෝයි” යනු මේ සියලුම ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ස්වකීය ලබ්ධියෙහි දක්ෂ වාද ඇත්තෝ වෙති. පණ්ඩිත වාද ඇත්තෝ වෙත්. ස්ථිරවාද ඇත්තෝ වෙත්. න්‍යාය වාද ඇත්තෝ වෙත් හේතුව ද ඇත්තෝ වෙත්. ලක්ෂණ වාද ඇත්තෝ වෙත්. කාරණවාද ඇත්තෝ වෙත් ස්ථානවාද ඇත්තෝ වෙත් යනුයි.

1 “ස්වකීය ධර්මය පරිපූර්ණයයි කියත්” යනු ස්වකීය ධර්මය දෘෂ්ටිය ප්‍රතිපදාව මාර්ගය ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ මෙය හීනය, මෙය නිහීනය, මෙය යහපත්ය, මෙය ලාමකය, මෙය කුඩායයි මෙසේ කියත්.

2 “මෙසේ ගෙන වාද කරත්” යනු මෙය ගෙන, උගෙන, පරාමර්ශකොට බැසගෙන වාද කරත් කලහ කරත්. ඩබර කරත්. විග්‍රහ කරත්. විවාද කරත්. කලබල කරත්. ඉදින් ඔබ මේ ධර්ම විනය නොදන්නෙහිය. ((9-8) 1 (ii) ඡේදය යෙදිය යුතුයි.) ඉදින් හැකිනම් අවුල හරුව යනුයි.

3 “ස්වකීය ස්වකිය සම්මුතිය සත්‍යයයී කියත්” යනු ලෝකය ශාස්වතය, මෙයම සත්‍යය අනික්වාද හිස්යයි ස්වකීය ස්වකීය සම්මුතිය සත්‍යයයි කියත්, ලෝකය අශාස්වතය ((3-6) 1 (ii) ඡේදය යෙදිය යුතුයි) සත්වයා මරණින් මතු නොම වෙයි. නොම නොවෙයි, මෙයම සත්‍යය අනික් වාද හිස්යයි ස්වකීය ස්වකිය සත්‍යයයි කියත්.

1 “අන්‍යයාට නින්දා කිරීමෙන් හීනයෙක් වෙයි” යනු ඉදින් අන්‍යයාට නින්දා කිරීමේ කාරණයෙන් අන්‍යයා පහත්කොට කථාකිරීමේ කාරණයෙන් ගර්හා කිරීමේ කාරණයෙන් අන්‍යයාට උපවාද කිරීමේ කාරණයෙන් අතිශයින් අඥානයෙක් වෙයි හීනයෙක් වෙයි, නිහීනයෙක් වෙයි, පහත් පුද්ගලයෙක් වෙයි, ස්වල්ප පුද්ගලයෙක් වෙයි.

2 “ධර්මයන්හි කිසියම් විශේෂයක් නොවන්නේය” යනු ධර්මයන්ගෙන් කිසිවක් අග්‍රනොවේ, ශ්‍රේෂ්ඨ නොවේ, ප්‍රමුඛ නොවේ, උත්තම නොවේ, ඉතා උතුම් නොවේ, යනුයි.

3 “බොහෝ හීන වශයෙන් අන්‍යයාට ධර්මය කියත් යයි” හීන වශයෙන් නිහීන වශයෙන් පහත් වශයෙන් ලාමක වශයෙන් ස්වල්ප වශයෙන් බොහෝවූද බොහෝ දෙනාට ධර්මය කියත්, උපවාද කරත්, නින්දා කරත්, ගර්හා කරත්, හීන වශයෙන් නිහීන වශයෙන් පහත් වශයෙන් ලාමක වශයෙන් ස්වල්ප වශයෙන් එක් පුද්ගලයෙක්ද බොහෝ දෙනාට ධර්මය කියයි උපවාද කරයි. නින්දා කරයි, ගර්හා කරයි, හීන වශයෙන්ද නිහීන වශයෙන් පහත් වශයෙන් ලාමක වශයෙන් ස්වල්ප වශයෙන් එක් පුද්ගලයෙක් එක් පුද්ගලයෙකුට ධර්මය කියයි උපවාද කරයි නින්දා කරයි ගර්හා කරයි යනුයි.

4 “ස්වකීය දෘෂ්ටියෙහි දැඩිව ගෙන” යනු ධර්මය ස්වකීය මාර්ගයයි දෘෂ්ටිය ස්වකීය මඟයයි, ප්‍රතිපදාව ස්වකීය මඟය, මාර්ගය ස්වකීය පාරය ස්වකීය දෘෂ්ටියෙන් දැඩිවාද ඇතිව ස්ථිරවාද ඇති බලවත් වාද ඇති ස්ථිරවාද ඇති යනුයි,.

1 “සද්ධර්ම පූජාවද වනාහි එසේමය” යනු සද්ධර්ම පූජාව කුමක්ද ස්වකීය ශාස්තෘවරයාට සත්කාර කරයි. ගරුකරයි. බහුමාන කරයි, පුදයි, මේ ශාස්තෘවරයාය, සර්වඥය යනුවෙනි, මේ සද්ධර්ම පූජාවයයි ස්වකීය ධර්මයට ස්වකීය ගණයාට ස්වකීය දෘෂ්ටියට ස්වකීය මාර්ගයට සත්කාර කරයි. ගරු කරයි බහුමාන කරයි. පුදයි. මේ මාර්ගය නෛර්‍ය්‍යානිකය යනුවෙනි, මේ සද්ධර්ම පූජාවයි, “සද්ධර්ම පූජාවද එසේම යනු සද්ධර්ම පූජාවද එසේම ඇත්තේය. වූපරිදිය. ඇති තත්වයේය. විපරීත නොවූයේය යනුයි.

2 “ස්වකීය දෘෂ්ටීන්ට යම්සේ ප්‍රශංසා කෙරෙද්ද” යනු ධර්මය ස්වකීය මාර්ගයයි දෘෂ්ටිය ස්වකීය මාර්ගයයි ප්‍රතිපදාව ස්වකීය මාර්ගය මාර්ගය ස්වකීය පාර කියා ස්වකීය දෘෂ්ටීන්ට ප්‍රශංසා කරත්, ස්තුති කරත්, ගුණ ඝොෂාව කරත්, වර්ණනා කරත්, යනුයි.

3 “සියලුම වාදයෝ සත්‍ය හෝ වන්නාහු නම්” යනු සියලුම වාදයෝ සත්‍යය වූවාහු නම් නොවැසුනාහු වූවාහු නම් අවිපරීතවූවාහු නම් යනුයි.

4 “ඔවුන්ගේ ශුද්ධියද ඔවුන් තුළමය” යනු ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ ශුද්ධිය විශුද්ධිය පාරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය ඔවුන් තුළ යනුයි.

1 “බ්‍රාහ්මණයාට අනුන් විසින් මග පෙන්වීමක් නැත” යන්නෙහි ‘නැත’ යනු ප්‍රතික්ෂෙපයයි. බ්‍රාහ්මණ යනු ධර්ම සතක් දුරු කිරීමෙන් බ්‍රාහ්මණ නමි. (3-4) 1 එනම් යන තැන සිට යෙදිය යුතුයි.) අසිතයයිද තාදීයයිද කියනු ලැබේ “බ්‍රාහ්මණයාට රහතුන් වහන්සේට අනුන් මඟ පෙන්වීමක් නැත” යනු බ්‍රාහ්මණයාට පරනෙය්‍යතාවයයි කියන කාගේවත් මගපෙන්වීමක් නැත (ii) බ්‍රාහ්මණ තෙමේ අනුන් පමුණුවන්නෙක් නොවේ. බ්‍රාහ්මණයා අනුන්ගේ පිහිට සොයන්නෙක් නොවේ අනුන්ට අයත් දේ ගන්නෙක් නොවේ. නොමුලා සිතින් මනා නුවණින් සිහිය පිහිටුවා දනියි බලයි සියලු සංස්කාරයෝ අනිත්‍යයයි (iii) බ්‍රාහ්මණයාට අනුන් දැක්වීමක් නැත (මෙහි (ii) යොදාගත යුතුයි.) සියලු සංස්කාරයෝ දුක්යයි බ්‍රාහ්මණයාට අනුන් දැන්වීමක් නැත. සියලු ධර්මයෝ අනාත්මයයි බ්‍රාහ්මණයාට අනුන් දැන්වීමක් නැත. හේතුවකින් උපන් යම්කිසි ධර්ම ඇත්නම් ඒ සියල්ල නැතිවීම පිණිස පවත්නේයයි බ්‍රාහ්මණයාට අනුන් දැන්වීමක් නැත. බ්‍රාහ්මණතෙමේ අනුන් පමුණුවන්නෙක් නොවේ. බ්‍රාහ්මණයා අනුන්ගේ පිහිට සොයන්නෙක් නොවේ. අනුන්ට අයත් දේ දන්නෙක් නොවේ. නුමුලා සිතින් මනානුවණින් සිහිය පිහිටුවා දනියි බලයි.

2 “දෙසැට දෘෂ්ටි ධර්මයන් විනිශ්චයකොට දැන ධර්මය මනාව ගන්නාලදී” යන්නෙහි ධර්මයන්හි යනු දෙසැට දෘෂ්ටි ගැනීම්වල විනිශ්චය දැන යනු නිශ්චයකොට විනිශ්චයකොට සොයා සමකොට බලා තීරණයකොට ප්‍රකටකොට සීමාකොට ගැනීමක් කොටස්කොට ගැනීමක් උතුම්කොට ගැනීමක් උසස්කොට ගැනීමක් කැටිකොට ගැනීමක් මෙය සත්‍යය වූපරිදිය අවිපරීතයයි ගන්නා ලද්දක් ස්පර්ශ කරණ ලද්දක් බැසගන්නා ලද්දක් ඇලෙන ලද්දක් නැත. විද්‍යමාන නොවෙයි නොලැබෙයි ප්‍රහීණය මුලින් සින්දේය ශාන්තය සන්සිඳුනේය ඉපදීමට අයොග්‍යය ඥානය නැමති ගින්නෙන් දැවුනේය යනුයි. එහෙයින් විවාදයෝ ඉක්මුනෝය යන්නෙහි එහෙයින් යනු ඒ කාරණයෙන් ඒ හේතුවෙන් ඒ ප්‍රත්‍යයෙන් ඒ නිදානයෙන් දෘෂ්ටි කලහයෝ දෘෂ්ටි විවාදයෝ දෘෂ්ටි කොලාහලයෝ ඉක්මවුනේය, වෙන් කෙරුණෝය යනුයි.

3 “අනික් ධර්මයක් ශ්‍රේෂ්ඨ වශයෙන් නොදකියි” යනු අනික් ශස්තෘවරයකු ධර්මය ගණය දෘෂ්ටිය ප්‍රතිපදාවය මාර්ගයක් සතිපට්ඨානයන් හැර සම්‍යක් ප්‍රධානයන් හැර ඍද්ධි පාදයන් හැර ඉන්ද්‍රියයන් හැර බායන් හැර බොධ්‍යංගයන් හැර ආර්‍ය්‍යඅෂ්ටාංගික මාර්ගය හැර අග්‍රවූ ශ්‍රේෂ්ඨවූ ප්‍රමුඛවූ උත්තමවූ ප්‍රවරවූ ධර්මයක් නොදකියි නොලබයි යනුයි.

1 “එසේම මෙය දනිමි දකිමි” යන්නෙහි දනිමි යනු අනුන්ගේ සිත් දැනීමේ නුවණින් දනිමි. පෙර විසූ කඳ පිළිවෙල දැනීමේ නුවණින් හෝ දනිමි, දකිමි යනු මසැසින් හෝ දකිමි. දිවැසින් හෝ දකිමි එසේම එය යනු එය ඇත්තය වූ පරිදිය, අවිපරීතය යනුයි.

2 “ඇතැම් කෙනෙක් දෘෂ්ටියෙන් ශුද්ධිය බලාපොරොත්තු වෙත්.” යනු ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ දෘෂ්ටියෙන් ශුද්ධිය, විශුද්ධිය, පාරිශුද්ධිය, මුක්තිය, විමුක්තිය, පරිමුක්තිය, බලාපොරොත්තු වෙත්. ලෝකය ශාස්වතය, සත්වයා මරණින් මතු නොමවෙයි. නොම නොවෙයි. මෙයම සත්‍යය අනික් අදහස් හිස්යයි දෘෂ්ටියෙන් ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ශුද්ධිය, විශුද්ධිය, පාරිශුද්ධිය, මුක්තිය විමුක්තිය පරිමුක්තිය, බලාපොරොත්තුවෙත් යනුයි.

3 “ඔහුගේ ඒ දර්ශනයෙන් කුමක්ද,” යනු ඔහුගේ ඒ දර්ශනයෙන් කුමක් කරණ ලද්දේද, දුක්ඛයාගේ දැනීම නැත්තේය. දුක්ඛ සමුදයාගේ ප්‍රහාණය නැත්තේය. මාර්ග භාවනාව නැත්තේය. ඵල ප්‍රත්‍යක්ෂ කිරීම නැත්තේය. රාගයාගේ සමුච්ඡෙද ප්‍රහාණය නැත්තේය. ද්වේෂයාගේ සමුච්ඡෙද ප්‍රහාණය නැත්තේය. මෝහයාගේ සමුච්ඡෙද ප්‍රහාණය නැත්තේය. ක්ලේශයන්ගේ සමුච්ඡෙද ප්‍රහාණය නැත්තේය. සංසාර වෘත්තයාගේ සිඳීම නැත්තේය, යනුයි.

4 “ශුද්ධිය ඉක්මවා අනිකක් කියත්” යනු තීර්ථකයෝ ශුද්ධි මාර්ගය, විශුද්ධි මාර්ගය, පිරිසිදු මාර්ගය ඉක්මවා සතිපට්ඨානයන්ගෙන් හැර සම්‍යක් ප්‍රධානයන්ගෙන් හැර ඍද්ධි පාදයන්ගෙන් හැර ඉන්ද්‍රියයන්ගෙන් හැර බලයන්ගෙන් හැර බොධ්‍යංගයන්ගෙන් හැර ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගයෙන් හැර ශුද්ධිය, විශුද්ධිය පාරිශුද්ධිය මුක්තිය, විමුක්තිය, පරිමුක්තිය කියත්.. ව්‍යවහාර කරත්. මෙසේද ඉක්මවා අනිකකින් ශුද්ධි කියත්, යනුයි යලිදු හෝ බුදුවරුද, බුද්ධ ශ්‍රාවකයෝද පසේ බුදුවරුද ඒ තීර්ථකයන්ගේ අශුද්ධි මාර්ගය, අපිරිසිදු මාර්ගය, ඉක්මවා සතර සතිපට්ඨානයන්ගෙන් සතර සම්‍යක් ප්‍රධානයන්ගෙන්, සතර ඍද්ධි පාදයන්ගෙන්, පඤ්චෙන්ද්‍රියයන්ගෙන් පඤ්ච බලයන්ගෙන් සප්ත බොධ්‍යංගයන්ගෙන් ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගයෙන් ශුද්ධිය විශුද්ධිය පාරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය කියත්. ප්‍රකාශ කරත්. ව්‍යවහාර කරත්, යනුයි.

1 “දකින්නාවූ මිනිසා නාම රූපය දකියි” යනු දකින්නාවූ මිනිසා අනුන්ගේ සිත් දැනීමේ නුවණින් හෝ දකින්නේ පෙර විසූ කඳ පිළිවෙල සිහි කිරීමේ නුවණින් හෝ දකින්නේ මසැසින් හෝ දකින්නේ දිවැසින් හෝ දකින්නේ නිත්‍ය වශයෙන් සුඛ වශයෙන් ආත්ම වශයෙන් නාම රූපයම දකියි. ඒ ධර්මයන්ගේ ඇතිවීම හෝ අස්තංගමය හෝ ආශ්වාදය හෝ ආදීනවය හෝ නික්මීම හෝ නොදකියි.

2 “දැක ඒවාම දැනගනියි,” යන්නෙහි අනුන්ගේ සිත් දැනීමේ නුවණින් දැක හෝ පෙරවිසූ කඳ පිළිවෙල දන්නා නුවණින් හෝ දැක මසැසින් හෝ දැක, දිවැසින් හෝ දැක, නාම රූපයම දැක නිත්‍ය වශයෙන් සුඛ වශයෙන් ආත්ම වශයෙන් දකියි. ඒ ධර්මයන්ගේ ඇතිවීම හෝ අස්තංගමය හෝ ආශ්වාදය හෝ ආදීනවය හෝ නික්මීම හෝ දනියි. “කාමය ස්වල්ප වශයෙන් හෝ බොහෝ වශයෙන් බලන්නේ” යනු කාමය බහුල වශයෙන් හෝ බලන්නේ ස්වල්පවූ නාම රූපය හෝ නිත්‍ය වශයෙන් සුඛ වශයෙන් ආත්ම වශයෙන් බලයි, යනුයි.

3 “එයින් ශුද්ධිය දක්ෂයෝ නොකියත්” යන්නෙහි දක්ෂයෝ යනු යම් ඒ ස්කන්ධ දක්ෂයෝ ධාතු දක්ෂයෝ ආයතන දක්ෂයෝ පටිච්ච සමුප්පාද දක්ෂයෝ සතිපට්ඨාන දක්ෂයෝ සම්‍යක් ප්‍රධාන දක්ෂයෝ ඍද්ධිපාද දක්ෂයෝ ඉන්ද්‍රිය දක්ෂයෝ බල දක්ෂයෝ බොධ්‍යංග දක්ෂයෝ මාර්ග දක්ෂයෝ ඵල දක්ෂයෝ නිර්වාණ දක්ෂයෝ යනුයි. ඒ දක්ෂයෝ අනුන්ගේ සිත් දැනීමේ නුවණින් හෝ පෙරවිසූ කඳ පිළිවෙල දැකීමේ නුවණින් හෝ මසැසින් හෝ දිවැසින් හෝ නාම රූප දැකීමෙන් ශුද්ධිය විශුද්ධිය පාරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය නොකියත්, ප්‍රකාශ නොකරත්, ව්‍යවහාර නොකරත්, යනුයි.

4 “මෙයම සත්‍යයයි” සිතූ වැරදි ධර්මය ගත් තැනැත්තේ පහසුවෙන් හික්මවීමට නොහැකිය. මේ ලෝකය ශාස්වතය, මෙයම සත්‍යය අනික් ධර්ම හිස්යයි මෙයම සත්‍යයයි ධර්මය ගත් තැනැත්තේ කියයි. ලෝකය අශාස්වතය ((3-6) 1 (ii) ඡේදය යෙදිය යුතුයි.) සත්වයා මරණින් මතු නොමවෙයි. නොම නොවෙයි. මෙය සත්‍යය අනික් ධර්ම හිස්යයි මෙයම සත්‍යය යයි ධර්ම ගත් තැනැත්තේ කියයි. පහසුවෙන් හික්මවිය නොහැකිය යනු මෙයම සත්‍යයයයි ධර්ම ගත් තැනැත්තේ හික්මවීමට දුෂ්කරය, පැනවීම දුෂ්කරය, බැලීම දුෂ්කරය, පැහැදවීම දුෂ්කරය, යනුයි.

5 “තබනලද දෘෂ්ටිය ඉදිරිපත් කරමින්” යනු පිළියෙල කළ තැබූ දෘෂ්ටීය ඉදිරිපත් කරමින් හැසිරෙයි. දාෂ්ටිය ද්වජයක් කොට දෘෂ්ටිය කොඩියක් මෙන් පෙරටුකොට දෘෂ්ටිය අධිපති කොට දෘෂ්ටියන් පිරිවරා හැසිරෙයි. යනුයි

6 “යමක ඇළුනේ එහි යහපත කියන්නේ” යන්නෙහි යමක ඇළුනේ යනු යම් ශාස්තෘවරයකු ධර්මයක ගණයා කෙරෙහි ප්‍රතිපදාවක මාර්ගයක ඇළුනේ යනුයි. “එහි” යනු ස්වකීය දෘෂ්ටියෙහි, ස්වකීය කැමැත්තෙහි ස්වකීය රුචියෙහි, ස්වකීය ලබ්ධියෙහි, යහපත කියන්නේ යනු යහපත් වාද ඇති පිරිසිදු වාද ඇත්තේ, පණ්ඩිත වාද ඇත්තේ, ස්ථිර වාද ඇත්තේ, න්‍යාය වාද ඇත්තේ හේතු වාද ඇත්තේ ලක්ෂණ වාද ඇත්තේ කාරණ වාද ඇත්තේ ස්ථාන වාද ඇත්තේ යනුයි.

7 “හෙතෙම එහි ශුද්ධිය වාද ඇත්තේ එසේ දක්නේ” යනු ශුද්ධ වාද ඇත්තේ විශුද්ධ වාද ඇත්තේ ඉතා පිරිසිදු වාද ඇත්තේ යනුයි. යලිදු හෝ ශුද්ධිය දක්නේ විශුද්ධිය දක්නේ පාරිශුද්ධිය දක්නේ ඉතා පිරිසිදු බව දක්නේනුයි ශුද්ධි වාද ඇත්තේ නමි. “එහි” යනු ස්වකීය දෘෂ්ටියෙහි ස්වකීය කැමැත්තෙහි, ස්වකීය රුචියෙහි, ස්වකීය ලබ්ධියෙහි සත්‍යයයි වූ පරිදියයි ඇති පරිදියයි අවීපරීතයයි දැක්කේය. බැලුවේය. අවබෝධ කළේය. යනුයි.

1 “බ්‍රාහ්මණතෙම විමසීමෙන් (දැන) මිථ්‍යා කල්පනා වලට නොපැමිණෙයි” යන්නෙහි “නො” යනු ප්‍රතික්ෂෙප යයි ‘බ්‍රාහ්මණ’ යනු ධර්ම සතක් බැහැර කළ බැවින් බ්‍රාහ්මණ නමි. (3-4) 1 ඡේදයේ එනම්:- යන තැන සිට යෙදිය යුතුයි) ඒ බ්‍රාහ්මණතෙමේ තෘෂ්ණා නැත්තේ කෙළෙස් දුරු කෙළේ යයි කියනු ලැබේ. “මිථ්‍යාකල්පනා” යන්නෙහි සුදුසුකම් දෙකකි. තෘෂ්ණාවට සුදුසුකමද දෘෂ්ටියට සුදුසුකමද යනුයි. (2-6) 1 (ii) (iii) ඡේද මමත්වය වෙනුවට ‘සුදුසුකමය’යි වෙනස් කර යෙදිය යුතුයි.) විමසීම යනු ඥානයට කියයි. යම් ප්‍රඥාවක් දැනීම ඇති කරවයිද ((2-4) 12 (ii) ඡේදය යෙදිය යුතුයි) අමෝහය ධම්ම විචය සම්‍යක් දෘෂ්ටියයි කියයි.

2 “බ්‍රාහ්මණතෙම විමසීමෙන් (මිථ්‍යා) කල්පනා වලට නොපැමිණෙයි” යනු බ්‍රාහ්මණතෙම නුවණින් දැන සමකොට බලා තීරණයකොට ප්‍රකටකොට සියලු සංස්කාරයෝ අනිත්‍යයයි සියලු සංස්කාරයෝ දුක්යයි සියලු ධර්මයෝ අනාත්මයයි යම්කිසි හේතුවකින් හටගත් ධර්මයක් ඇද්ද ඒ සියල්ල නැතිවීම පිණිස පවත්නේයයි නුවණින් දැන සමකොට බලා තීරණයකොට ප්‍රකටකොට තෘෂ්ණ සුදුසු බවට හෝ දෘෂ්ටි සුදුසු බවට හෝ නොපැමිණෙයි. නොගනියි, පරාමර්ශ නොකරයි, ඇතුල් නොවෙයි යනූයි.

3 “දෘෂ්ටිය සාරවශයෙන් නොගන්නේ ඥානයෙන් බන්ධනය නොකරන්නේ වෙයි” යනු ඔහුගේ දෙසැට දෘෂ්ටි ගැනීම් දුරුවූයේය. මුලින් සින්ඳේය. සංසිඳුනේය. ඉපදීමට අයොග්‍ය විය. ඥානය නමැති ගින්නෙන් දැවුනේය යනුයි. හෙතෙම දෘෂ්ටියෙන් නොයයි නොපමුණුවයි පා නොවෙයි. රැස් නොකරයි. ඒ දෘෂ්ටිය ගැනීම සාර වශයෙන් නොගනියි. ආපසු නොගනියි එබැවින් දෘෂ්ටිය සාරවශයෙන් නොගන්නෙනමි.“ඥානයෙන් බන්ධනය නොකරන්නේ වෙයි” යනු අෂ්ට සමාපත්ති ඥානයෙන් හෝ පඤ්චාභිඥා ඥානයෙන් හෝ මිථ්‍යා ඥානයෙන් හෝ තෘෂ්ණා බන්ධනය හෝ දෘෂ්ටි බන්ධනය හෝ නොකරයි නූපදවයි යනුයි.

4 “හෙතෙම පෘථග්ජනයන් විසින් ඇතිකරණ ලද සම්මුතීහු දැන” යන්නෙහි දැන යනු දැන සමකොට බලා තීරණයකොට ප්‍රකටකොට සියලු සංස්කාරයෝ අනිත්‍යයයි සියලු සංස්කාරයෝ දුක්ඛයයි, සියලු ධර්මයෝ අනාත්මයයි යම්කිසි හේතුවකින් උපන් ධර්මයක් ඇත්නම් ඒ සියල්ල නැතිවීමට පැමිණෙත්යයි දැන සමකොටබලා තීරණයකොට හෙතෙම දැන යනුයි. “සම්මුතිහු” යනු දෙසැට දෘෂ්ටි ගැනීම් ඇති සම්මුතිහුයි පෘථග්ජනයන් විසින් ඇතිකරණ ලද යනු පෘථග්ජනයන් විසින් උපදවන ලද ඒ සම්මුතීහුයි බොහෝ ජනයන් විසින් උපදවන ලද ඒ සම්මුතිහුයි.

5 “අන්‍යයෝ ගනිත්, රහතුන්වහන්සේ මධ්‍යස්ථව බලයි” යනු අන්‍යයෝ තෘෂ්ණා වශයෙන් හෝ දෘෂ්ටි වශයෙන් හෝ ගනිත්, පරාමර්ශ කරත්, ඇතුළු වෙත්, රහතුන් වහන්සේ මධ්‍යස්ථව බලයි. නොගනියි පරාමර්ශ නොකරයි යනුයි.

1 “මේ ලෝකයෙහි මුනිතෙම ගැටළු බැහැරකොට” යන්නෙහි ගැටළු නම් සතර ගැටළුයි “අභිධ්‍යා” කාය ග්‍රන්ථය “ව්‍යාපාද” කාය ග්‍රන්ථය, “සීලබ්බත පරාමාස” කාය ග්‍රන්ථය මෙයම සත්‍යයයයි බැස ගැන්මේ කාය ග්‍රන්ථය යනුයි. තමන්ගේ දෘෂ්ටියෙහි ඇලීම ඇති විෂම ලෝභය නම් කාය ග්‍රන්ථය වේ. අන්‍ය වාදයන්හි වෛරයවූ නොසතුටුවූ ව්‍යාපාද නම් කාය ග්‍රන්ථය වේ. තමන්ගේ සීලය හෝ ව්‍රතය හෝ සීලව්‍රත දෙකම හෝ පරාමර්ශ කරයි. ඒ සීලබ්බත පරාමාශ කාය ග්‍රන්ථය වේ. තමන්ගේ දෘෂ්ටිය මෙයම සත්‍ය යයි දැඩිව බැස ගැනීම මෙය සත්‍යයයි බැස ගැන්මේ කාය ග්‍රන්ථයයි “බැහැරකොට” යනු ග්‍රන්ථයන් දුරුකොට අත්හැර යනුයි. යලිදු හෝ ගැටගසන ලද බඳින ලද එකට එකතු කරණ ලද බන්ධනයන් තලාහැර දුරුකොට යනුයි. යම්සේ මිනිසුන් උසුලායන වාහනයක් හෝ රථයක් හෝ කරත්තයක් හෝ අශ්වවාහනයක් හෝ කඩා බිඳ දමයිද එපරිද්දෙන්ම ග්‍රන්ථයන් දුරුකොට ලිහා හැර යනුයි. යලිදු හෝ ගැටගැසූ බැඳුන ඇළුන ලැගුන බන්ධනයන් තලාහැර ලිහා හැර යනුයි. “මුනි” යනු මොනයයි ඥානයට කියයි. ((2-8) (10) මුනි යන තැන සිට 14 ඡේදය අවසානය දක්වා යොදාගත යුතුයි.) තෘෂ්ණා ජාලය ඉක්මවා සිටියේද හෙතෙම මුනිනමි. “මෙහි” යනු මේ දෘෂ්ටියෙහි මේ කැමැත්තෙහි මේ රුචියෙහි මේ මනුෂ්‍ය ලෝකයෙහි යනුයි.

2 “විවාදය ඇතිවූ කල්හි කොටස්කොට හැසිරෙන්නේ නොවේ” යනු විවාදය ඇතිවූ කල්හි හටගත් කල්හි පහලවූ කල්හි ඡන්දයෙන් අගතියට යන්නවුන් අතරෙහි ද්වේෂයෙන් අගතියට යන්නවුන් අතරෙහි භයෙන් අගතියට යන්නවුන් අතරෙහි මෝහයෙන් අගතියට යන්නවුන් අතරෙහි ඡන්දයෙන් අගතියට නොයයි. ද්වේෂයෙන් අගතියට නොයයි. මෝහයෙන් අගතියට නොයයි. මාන වශයෙන් නොයයි, දෘෂ්ටිවශයෙන් නොයයි සිතේ නොසන්සුන්කම වශයෙන් නොයයි. විචිකිච්ඡා වශයෙන් නොයයි. අනුසය වශයෙන් නොයයි. වර්ගවූ ධර්මයන්ගෙන් නොයයි, පා නොවෙයි. එක්තැන් නොකරයි. යනුයි.

3 “අශාන්තවූවන් අතරෙහි ශාන්තවූ හෙතෙම උපෙක්ෂා ඇත්තේවේ” යන්නෙහි “ශාන්තවූ” යනු රාගය සංසිඳුන බැවින් ශාන්තනමි. ද්වේෂය සංසිඳුන බැවින් ශාන්ත නමි මෝහය සන්සිඳුන බැවින් ශාන්ත නමි. ((3-4) (i) ඡේදය යොදාගත යුතුයි) සියලු අකුශල රැස් කිරීම් වලින් ශාන්තවූ බැවින් සන්සිඳුන බැවින්, නිවාදැමූ බැවින් පහවූ බැවින් ශාන්තවූයේ නිවුනේනුයි ශාන්ත නමි. “ශාන්ත නොවූවන් අතරෙහි යනු ශාන්ත නොවූවන් අතරෙහි උපශාන්ත නොවූවන් අතරෙහි නොනිවා දැමූවන් අතරෙහි නොසන් සිඳුනවුන් අතරෙහි යනුයි.

4 “හෙතෙම උපෙක්ෂා ඇත්තේවේ” යනු රහතුන් වහන්සේ අංග සයක් ඇති උපෙක්ෂාවෙන් යුක්ත සේක. ඇසින් රූපයක් දැක (ii) සන්තොෂ සිත් ඇත්තේ නොවෙයි. අසන්තොෂ සිත් ඇත්තේද නොවෙයි. සිහි ඇත්තේ මනා නුවණින් යුක්තවූයේ වාසය කරයි. (iii) කණින් ශබ්දයක් අසා (මෙහි (ii) යොදාගත යුතුයි) මනාව දැමුනේ සිත දියුණු කළේ කාලය බලාපොරොත්තු වෙයි.

5 “අන්‍යයෝ තෘෂ්ණා දෘෂ්ටිගනිත් උන්වහන්සේ නොගන්නාසේක” යනු අන්‍යයෝ තෘෂ්ණා වශයෙන් දෘෂ්ටි වශයෙන් ගනිද්දී පරාමර්ශ කරද්දී ඇතුළු වෙද්දී රහතුන් වහන්සේ මධ්‍යස්ථ වෙයි. නොගනියි. පරාමර්ශ නොකරයි. ඇතුල් නොවෙයි, යනුයි.

1 “පෙරවූ පව් දුරුකොට, දැන් නොකරන්නේ” යන්නෙහි අතීත රූප, වේදනා සඤ්ඤා සංඛාර විඤ්ඤාණයෝ පෙරවූ පව් යයි කියත්, අතීත සංස්කාරයන් නිසා යම් කෙලෙස් උපදින්නාහුද ඒ කෙලෙස්හැර දුරුකොට පරිත්‍යාග කොට නූපදනා බවට පමුණුවා යනුයි දැන් පවත්නා කල රූප වේදනා සංඥා, සංස්කාර විඤ්ඤානයෝ කියත්. පවත්නාකල සංස්කාරයන් නිසා කැමැත්ත නොකරන්නේ ප්‍රේමය නොකරන්නේ ඇලීම නොකරන්නේ නූපදවන්නේ ඇතිනොකරන්නේ යනුයි.

2 “ඡන්දයෙන් අගතියට නොයන්නේ බැසගත් මිථ්‍යා වාද ඇත්තේ නොවේ” යනු ඡන්දයෙන් අගතියට නොයයි, ද්වේෂයෙන් අගතියට නොයයි, මෝහයෙන් අගතියට නොයයි, භයෙන් අගතියට නොයයි, රාග වශයෙන් නොයයි. ද්වේෂ වශයෙන් නොයයි. මෝහ වශයෙන් නොයයි. මාන වශයෙන් නොයයි. දෘෂ්ටි වශයෙන් නොයයි. සිතේ නොසන්සුන් බව වශයෙන් නොයයි, විචිකිච්ඡා වශයෙන් නොයයි. අනුසය (අප්‍රකට කෙලෙස්) වශයෙන් නොයයි. වර්ගවූ ධර්මයන්ගෙන් නොයයි. නොපමුණුවයි, පා නොවෙයි, එකතු නොකරයි, යනුයි. “බැසගත් මිථ්‍යාවාද ඇත්තේ නොවේ” යනු ලෝකය ශාස්වතය මෙයම සත්‍යය අනික් වාද හිස්යයි ශාස්වතවාදී නොවූයේ ((3-6) (ii) ඡේදය යෙදිය යුතුයි) සත්වයා මරණින් මතු නොමවෙයි, නොම නොවෙයි, මෙයම සත්‍යය අනික් වාද හිස්යයි බැසගත් වාද ඇත්තේ නොවූයේ යනුයි.

3 “ඒ පණ්ඩිත තෙම දෘෂ්ටිගැණීම් වලින් වෙන්වූයේ” යනු ඔහුගේ දෙසැට දෘෂ්ටි ගැණීම් ප්‍රහීන වූයේය, මුලින් සිඳුනේය, ශාන්තය, ඉපදීමට අයොග්‍යවූයේය, ඥානය නමැති ගින්නෙන් දැවුනේය, හෙතෙම දෘෂ්ටිගැණීම් වලින් වෙන් වූයේ සීමා නොකරණ ලද සිතින් වාසය කරයි “ඒ පණ්ඩිත තෙම” යනු නුවණැත්තේ බුද්ධි ඇත්තේ ඥාන ඇත්තේ යනුයි.

4 “තමාට නොගරහන්නේ ලෝකයෙහි නොඇලෙයි’ යන්නෙහි ලෙපයෝ (ඇලීම්) නම් ඇලීම් දෙකකි. තෘෂ්ණාවෙහි ඇලීම හා දෘෂ්ටියෙහි ඇලීමද යනුයි. ((2-6) 1 (ii) (iii) ඡේද “මමත්වය” වෙනුවට “ඇලීම” යයි, වෙනස්කර යොදාගත යුතුයි) ඔහුගේ තෘෂ්ණා ඇලීම ප්‍රහීණය, දෘෂ්ටි ඇලීම සංසිඳුනේය තෘෂ්ණා ඇලීම ප්‍රහීණවූ බැවින් දෘෂ්ටි ඇලීම සංසිඳුන බැවින් නොඇලුනාවූ හෙතෙම අපාය ලෝකයෙහි නොඇලෙයි. මනුෂ්‍ය ලෝකයෙහි නොඇලෙයි. දිව්‍ය ලෝකයෙහි නො ඇලෙයි ස්කන්ධ ලෝකයෙහි නොඇලෙයි ධාතු ලෝකයෙහි නොඇලෙයි. ආයතන ලෝකයෙහි නොඇලෙයි. නොඇළුනේ නික්මුනේ, අත්හළේ වෙන්වූයේ සීමා නොකරණ ලද සිතින් වාසය කරයි.

6 “තමාට නොගරහන්නේ” යනු කරුණු දෙකකින් තමාට ගරහයි. කරණ ලද බැවින්ද නොකරණ ලද බැවින්ද යනුයි. ((2-7) (7) යලිදු හෝ යන තැනට පමණක් යොදා ගත යුතුයි.) යලිදු හෝ ශීලයන් නොපිරුයේයයි තමාට ගරහයි. ඉන්ද්‍රියයන්හි නොවසන ලද දොරවල් ඇත්තේයයි භොජනයෙහි ප්‍රමාණය නොදන්නේයයි, නිදි දුරුකිරීමෙහි නොයෙදුනේයයි, සිහි නුවණින් යුක්ත නුවූයේයයි, මවිසින් සතර සතිපට්ඨාන නොවඩන ලද්දේයයි, මවිසින් සතර සම්‍යක් ප්‍රධාන නොවඩන ලද්දේයයි, මවිසින් සතර ඍද්ධිපාද නොවඩන ලද්දේයයි මවිසින් පඤ්චෙන්ද්‍රියයන් නොවඩන ලද්දේයයි, මවිසින් පඤ්චබලයන් නොවඩන ලද්දේයයි, මවිසින් සප්ත බොධ්‍යංගයන් නොවඩන ලද්දේයයි මවිසින් ආර්‍ය්‍යඅෂ්ටාංගික මාර්ගය නොවඩන ලද්දේයයි, මවිසින් දුක්ඛ සත්‍යය මනාව නොදන්නා ලද්දේයයි, මවිසින් දුක් ඇතිවීමේ හේතුව ප්‍රහීණ නොකළේයයි, මවිසින් මාර්ගය නොවඩන ලද්දේයයි නිර්වාණය මවිසින් ප්‍රත්‍යක්ෂ නොකරණ ලද්දේයයි තමාට නින්දා කරයි මෙසේ කරණ ලද බැවින්ද නොකරණ ලද බැවින්ද තමාට ගරහයි මෙසේ තමාට නින්දා කරන්නාවූ මේ කර්මයන් නොකරනු ලබන්නේ නූපදවනු ලබන්නේ ඇතිනොකරවනු ලබන්නේ නුයි තමාට නින්දා කරන්නේ නොවේ.

1 “හෙතෙම යම්කිසි ඇසූ දුටු සිතූ දෙය වශයෙන් ගත් සියලු ධර්මයන්හි කෙලෙස් සේනා බැහැර කළේ” යන්නෙහි සේනායයි මාර සේනාවට කියයි, කාය දුශ්චරිතය මාරසේනාවකි, වාග් දුශ්චරිතය මාර සේනාවකි, මනො දුශ්චරිතය මාරසේනාවකි. රාගය, ද්වේෂය, මෝහය, ක්‍රෝධය, බද්ධ වෛරය, ගුණමකුකම, උතුමන් හා සමව සිතීම, ඊෂ්‍ය_ාව, මසුරුකම, රැවටිල්ල, කෛරාටිකකම, තදගතිය, එකට එක කිරීම, මානය අතිමානය මදය ප්‍රමාදය සියලු කෙලෙස්, සියලු දුශ්චරිත සියලු දාහ සියලු පරිදාහ සියලු තැවීම් සියලු අකුසල් රැස්කිරීම් මාරසේනාවෝ වෙති.

2 “මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී. කාමයෝ ඔබගේ පළමු සේනාවයි, දෙවෙනි සේනාව අරති (කුශල ධර්මයන්හි නොඇලීම) යයි කියයි. බඩගින්න හා පිපාසය තුන්වෙනි සේනාවයයි කියයි. තෘෂ්ණාව සතරවන සේනාවයයි කියයි. කයේ හා සිතේ මැලිකම පස්වන සේනාව යයි කියයි. භයවන සුළු ගතිය සවැනි සේනාවයයි කියයි. තාගේ සත්වන සේනාව විචිකිච්ඡාවයයි කියයි. ගුණමකුකම හා තද ගතිය තාගේ අටවන සේනාවයි. ලාභය ස්තුතිය, සත් කාරය, හා වැරදිසේ ලත් ප්‍රසිද්ධියක් ඇද්ද, යමෙක් තමා උසස් කොට අනුන්ට අවමන් කෙරේද, මාරය පාපයට පමුණවන්නාවූ තාගේ මේ සේනාවෝ වෙති. නිවටයා (ඒ මාරයා) නොදිනයි. දිනුවේම සැපත ලබයි යනුයි.

යම් තැනක පටන් සතර ආර්‍ය්‍ය මාර්ගයන්ගෙන් සියලු මාර සේනාවෝද සියලු විරුද්ධ සේනාවවූ කෙලෙස්ද දිනන ලදී. පරදවන ලදී. බිඳින ලදී පිටුපාන ලදී. හෙතෙම කෙලෙස් සේනා දුරුකරණ ලද්දේයයි කියයි. හෙතෙම දුටු දෙයෙහි කෙලෙස් සේනාව දුරුකළේ, ඇසූ දෙයෙහි කෙලෙස් සේනාව දුරුකළේ වෙයි. ඇසූ දෙයෙහි, දුටු දෙයෙහි මුතයෙහි (ඉන්ද්‍රිය තුනකින් දැනගත් දෙයෙහි) කෙලෙස් සේනාව දුරුකළේය යනුයි.

3 “ඒ මුනිතෙම තැබූ බර ඇත්තේ, විශේෂයෙන් මිදුනේ වෙයි.” යන්නෙහි බර යනු, බර තුනකි එනම් ස්කනධ භාර, ක්ලේශභාර, අභිසංස්කාර භාර යනුයි. ස්කන්ධ භාරය කවරේද? ප්‍රතිසන්ධියෙහි රූපය, වේදනාව, සංඥාව, සංස්කාරය, විඤ්ඤාණය යනුයි, මේ ස්කන්ධ භාරයයි, ක්ලේශ භාරය කවරේද? රාගය, ද්වේෂය, මෝහය (6-10) 1 ඡේදයේ මෝහය යන තැන සිට සියලු තැවීම් යන තැනට යොදාගත යුතුයි.)

සියලු අකුශල රැස්කිරීම් යනුයි. මේ ක්ලෙශ භාරයයි. අභිසංස්කාර භාරය කවරේද? පුණ්‍යාභිසංස්කාරය අපුණ්‍යාභි සංස්කාරය අනෙඤ්ජාභිසංස්කාරයයි. මේ අභිසංස්කාර භාරයයි. යම් තැනකින් ස්කන්ධ භාරයද, ක්ලේශ භාරයද, අභිසංස්කාර භාරයද ප්‍රහීණවූවාහුද, මුලින් සිඳිනලද තල් ගසක්මෙන් කරණලද්දේද, අමරණත්වයට පමුණුවන ලද්දේද, නැවත නූපදනාබවට පමුණුවන ලද්දේවේද, හෙතෙම තැබූ බර ඇත්තේයයි කියයි මනාව තැබූ බර ඇත්තේ සංසිඳුන බර ඇත්තේයයි කියයි.

4 “මුනි” යනු මොනයයි ඥානයට කියයි. යම් ප්‍රඥාවක් දැනීමෙන් යුක්තද විචය, පවිචය, සල්ලක්ඛන, උපලක්ඛන, පච්චුපලක්ඛන, පණ්ඩිච්ච, කොසල්ල, නෙපුඤ්ඤ, වෙදව්‍ය, චින්තා, උපපරික්ඛා, භූරි, මෙධා, පරිණායිකා, විපස්සනා, සම්පජඤ්ඤ, පතොද, පඤ්ඤා, පඤ්ඤින්ද්‍රිය, පඤ්ඤාබල, පඤ්ඤා සත්ථ, පඤ්ඤාපාසාද, පඤ්ඤා ආලෝක පඤ්ඤාඔභාස, පඤ්ඤා පජ්ජොත, පඤ්ඤාරතන, අමොහ, ධම්මවිචය, සම්මා දිට්ඨියයි කියද්ද ඒ ඥානයෙන් යුක්තවූයේ මුනිනමි. (2-8) 10 “නොමුලාවූයේ” යන තැන සිට 14 ඡේදය අවසානයට යොදගත යුතුයි.)

5 “වෙන්වූයේ” යනු මුනිහුගේ රාගයෙන් සිත මිදුනේය. වෙන්වූයේය. ද්වේෂයෙන් සිත මිදුනේය. වෙන්වූයේය. මෝහයෙන් සිත මිඳුනේය. වෙන්වූයේය. (6-10) (1) සිත මිදුනේය යන්න යොදා මෝහය යන තැන සිට සියලු තැවීම් යන තැනට යොදාගත යුතුයි.) සියලු අකුසල් රැස්කිරීම්වලින් සිත මිදුනේය. වෙන්වූයේය. යනුයි.

6 “ඇති නොකරයි. නොඇලෙයි. බලාපොරොත්තු නොවෙයි. (මෙසේ භාග්‍යවතුන් වහන්සේ වදාළහ. යන්නෙහි ඇති කිරීම් යනු ඇතිකිරීම් දෙකකි (මෙහි (2-6) 1 (ii) (iii) මමත්වය යනු ඇතිකිරීම යයි වෙනස්කොට යොදාගත යුතුයි.) ඔහුගේ තෘෂ්ණාව ඇතිකිරීම ප්‍රහීණය. දෘෂ්ටිය ඇතිකිරීම සංසිඳුනේය. තෘෂ්ණාව ඇතිකිරීම ප්‍රහීණවූ බැවින් දෘෂ්ටිය ඇති කිරීම සංසිඳුන බැවින් තෘෂ්ණාව ඇති කිරීම හෝ දෘෂ්ටිය ඇති කිරීම නොකරයී. නූපදවයි. පහළ නොකරයි.

7 “නොඇලුනේ” යනු සියලු බාල පෘථග්ජනයෝ ඇලෙති. කල්‍යාණ පෘථග්ජනයා පටන් සියලු ශෛක්ෂ්‍යයෝ නොපැමිණි දේට පැමිණීම පිණිස නොලත් අධිගමයන් ලැබීම පිණිස ප්‍රත්‍යක්ෂ නොකළ දේ ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස ඇලෙත්. රහතුන් වහන්සේ දුරුවූයේ වෙන්වූයේ නොඇලුනේ නික්මුනේ සීමා නොකළ සිතින් වාසය කරති.

8 “ප්‍රාර්ථනා නොකරයි” යනු තෘෂ්ණාව ප්‍රාර්ථනාව යයි කියයි. යම් ඇලීමක් ඇද්ද, විශේෂයෙන් ඇලීමක් ඇද්ද, අභිධ්‍යාවක් ඇද්ද, ලෝභයක් ඇද්ද අකුශල මූලයක් ඇද්ද එයයී. යමෙකුගේ මේ ප්‍රාර්ථනාවවූ තෘෂ්ණාව ප්‍රහීණද මුලින් සිඳුනේද, සන්සිඳුනේද, ඉපදීමට අයොග්‍යවූයේද ඥානය නමැති ගින්නෙන් දැවුනේද, හෙතෙම ප්‍රාර්ථනා නැත්තෙකැයි කියයි.

9 “භාග්‍යවතුන් වහන්සේ,” යනු ගෞරව වචනයකි. (මෙහි (7-2) 1 රාගය බිඳ දැමූ බැවින් යන තැන සිට යොදා ගතයුතුයී.)


14.  තුවටක  සුත්‍රය
15.   අත්ත දණ්ඩ  සුත්‍රය
16.   ශාරිපුත්‍ර  සුත්‍රය

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.