KN 03-01-උදාන 1. බොධි වර්ගය

1. පඨම බොධි සූත්‍රය 2. දුතිය බොධි සූත්‍රය 3. තතිය බොධි සූත්‍රය 4. (අජපාල) නිග්‍රොධ සූත්‍රය 5. මහාථෙර සූත්‍රය 6. මහාකස්සප සූත්‍රය 7. අජපාලක (යක්ඛ) සූත්‍රය 8. සංගාමජි සූත්‍රය 9. ජටිල සූත්‍රය 10. බාහිය සූත්‍රය

KN 03-01-01. පඨම බොධි සූත්‍රය

§ [1] මා විසින් මෙසේ අසනලදී. එක්කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ බුද්ධත්වයට පැමිණ පළමුවෙන්ම නෙරංජරා ගඟ අද්දර බෝගස මුල වාසය කරණ සේක. භාග්‍යවතුන්වහන්සේ ඒ කාලයෙහි සත් දවසක් නිවන් රසය විඳිමින් එකම ආසනයකින් හුන්සේක.

§ [2] ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ සත් දවස ඇවෑමෙන් ඒ සිත එකඟ කිරීමෙන් නැගිට රාත්‍රියෙහි පළමුවැනි යාමයෙහි හේතු ප්‍රත්‍යය ධර්මය අනුපිළිවෙළින් (මෙනෙහි කළ සේක).

§ [3] “මෙසේ මෙය ඇතිකල්හි මෙසේවේ. මෙය ඇතිවීමෙන් මෙය උපදී එනම්:-නොදැනීම, ඇතිබව හේතු කොටගෙන සංස්කාර (කර්ම) වන්නේය. සංස්කාර ඇති බැවින් විඥානය (විපාකසිත) වන්නේය. විඥානය ඇති බැවින් නාමරූප (පංචස්කන්ධය) වන්නේය. නාමරූප ඇති බැවින් ආයතන සය වන්නේය. ආයතන සය ඇති බැවින් විපාක ස්පර්ශ චෛතසිකයවේ. ස්පර්ශය ඇති බැවින් වේදනාව ඇති වන්නේය. වේදනා ඇති බැවින් තෘෂ්ණාව ඇතිවන්නේය. තෘෂ්ණාව ඇති බැවින් දැඩිවගැන්ම ඇති වන්නේය. දැඩිව ගැන්ම ඇති බැවින් භවය (කර්මද ස්කන්ධද) වන්නේය. භවය ඇති බැවින් උත්පත්තිය වන්නේය. උත්පත්තිය ඇති බැවින් ජරාව, මරණය, ශෝකය, වැළපීම, කයට දුක්, සිතට දුක් දැඩිවෙහෙස යන මොව්හු පහළවෙත්. මෙසේ මේ සියළු දුක් රැස පහළවීම වේයයි” මෙනෙහි කළ සේක.

§ [4] ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය දැන ඒ අවස්ථාවෙහි මේ ප්‍රීතිවාක්‍යය පහළ කළ සේක.

“කෙලෙස් තවන වීර්යය ඇති ධ්‍යාන කරණ යොගියාට යම් වේලාවක සත්තිස්බෝධිපාක්‍ෂික ධර්මයෝ පහළ වෙත්ද? එකෙණෙහි හේතු ප්‍රත්‍යයෙන් හටගත් දුක් රාශිය දනීද එහෙයින් ඔහුගේ සියළු සැකයෝ දුරුවෙත්.”

KN 03-01-02. දුතිය බොධි සූත්‍රය


§ 1. මා විසින් මෙසේ අසනලදී. එක්කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ බුද්ධත්වයට පැමිණ පළමුවෙන්ම නෙරංජරා ගඟ අද්දර බෝගස මුල වාසය කරණ සේක. භාග්‍යවතුන්වහන්සේ ඒ කාලයෙහි සත් දවසක් නිවන් රසය විඳිමින් එකම ආසනයකින් හුන්සේක.

§ 2. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ සත් දවස ඇවෑමෙන් ඒ සිත එකඟ කිරීමෙන් නැඟිට රාත්‍රියෙහි මධ්‍යම යාමයෙහි හේතු ප්‍රත්‍යය ධර්මය අග සිට මුලට (මෙනෙහි කළ සේක.)

§ 3. මෙසේ මෙය නැති කල්හි මෙය නොවේ. මෙය නිරුද්ධවීමෙන් මෙය නිරුද්ධවේ. එනම් “නොදැනීම නැති බව හේතුකොට ගෙන සංස්කාර (කර්ම) නොවන්නේය. සංස්කාර (කර්ම) නැති බව හේතුකොටගෙන විඥාන විපාක සිත් නොවන්නේය. විඥානය නැතිබව හේතුකොට ගෙන නාමරූප (පංචස්කන්ධය) නොවන්නේය. නාමරූප නැතිබව හේතුකොටගෙන ආයතන සය නොවන්නේය. ආයතන සය නැතිබව හේතුකොටගෙන විපාක ස්පර්ශය නොවන්නේය. විපාක ස්පර්ශය නැතිබව හේතුකොටගෙන වේදනාව නොවන්නේය. වේදනාව නැතිබව හේතුකොටගෙන තෘෂ්ණාව නොවන්නේය. තෘෂ්ණාව නැතිබව හේතුකොටගෙන දැඩිව ගැන්ම නොවන්නේය. දැඩිව ගැන්ම නැතිබව හේතුකොටගෙන භව (කර්මද) ස්කන්ධද නොවන්නේය. භවය නැති බව හේතුකොට ගෙන උත්පත්තිය නොවන්නෙය. උත්පත්තිය නැතිබව හේතුකොටගෙන ජරාව, මරණය, ශෝකය, වැලපීම, කයට දුක්, සිතට දුක්, දැඩි වෙහෙස යන මොව්හු නොවෙත්. මෙසේ මේ සියළු දුක් රැස් නොවීම වේ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැන ඒ වේලාවෙහි මේ ප්‍රීති වාක්‍යය පහළ කළ සේක.

§ 4. “කෙලෙස් තවන වීර්යය ඇති ධ්‍යාන කරණ පව් දුරු කළ යොගීහට බොධිපාක්‍ෂික ධර්ම පහළ වන කල අවිද්‍යාදී හේතුන්ගෙන් ගෙවීමට කරුණුවූ නිවන ප්‍රත්‍යක්‍ෂ කරණ බැවින් ඔහුගේ සියලු සැකයෝ දුරුවෙත්.”

KN 03-01-03. තතිය බොධි සූත්‍රය

§ 1. මා විසින් මෙසේ අසනලදී. එක්කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ බුද්ධත්වයට පැමිණ පළමුවෙන්ම නෙරංජරා ගඟ අද්දර බෝගස මුල වාසය කරණ සේක. භාග්‍යවතුන්වහන්සේ ඒ කාලයෙහි සත් දවසක් නිවන් රසය විඳිමින් එකම ආසනයකින් හුන්සේක.

§ 2. එසමයෙහි වනාහි භාග්‍යවතුන් වහන්සේ නිවන් සුව විඳිමින් සත් දිනක් එකම පළඟින් වැඩසිටියේ වෙයි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ සත්දින ඇවෑමෙන් ඒ සමාධියෙන් නැගිට රාත්‍රි අන්තිම යාමයෙහි ප්‍රතීත්‍ය සමුත්පාදය මුල සිට අග තෙක්ද මනාකොට සිහිකළ සේක.

§ 3. “මෙසේ මෙය ඇති කල්හි මෙය වෙයි. මෙය ඉපදීමෙන් මෙය උපදයි. මෙය නැති කල්හි මෙය නොවෙයි. මෙය නැතිකිරීමෙන් මෙය නැතිවෙයි. යම් ඒ නොදැනීම් හේතුවෙන් සංස්කාර වන්නේය. සංස්කාර හේතුවෙන් විඥානය වන්නේය. විඥාන හේතුවෙන් නාම රූප වන්නේය. නාමරූප හේතුවෙන් ආයතන සය ඇති වන්නේය. ආයතන සය හේතුවෙන් ස්පර්ශ වන්නේය. ස්පර්ශ හේතුවෙන් වේදනා වන්නේය. වේදනා හේතුවෙන් තෘෂ්ණාව වන්නේය. තෘෂ්ණා හේතුවෙන් උපාදාන වන්නේය. උපාදාන හේතුවෙන් භව වන්නේය. භව හේතුවෙන් ජාති වන්නේය. ජාති හේතුවෙන් ජරා, මරණද, ශෝක, වැළපීම්, කායික දුක්, දොම්නස් වන්නේය. මෙසේ ඒ සියලු දුක් රාශියේ ඇතිවීම වෙයි.

§ 4. නොදැනීම ඉතිරි නොකළ නැතිකිරීමෙන් සංස්කාරයන්ගේ නැති කිරීම වන්නේය. සංස්කාරයන්ගේ නැති කිරීමෙන් විඥානය නැති කිරීම වන්නේය. විඥානය නැති කිරීමෙන් නාමරූප නැතිකිරීම වන්නේය. නාමරූප නැතිකිරීමෙන් ආයතන සය නැතිකිරීම වන්නේය. ආයතන සය නැති කිරීමෙන් ස්පර්ශය නැති කිරීම වන්නේය. ස්පර්ශය නැති කිරීමෙන් වේදනාව නැතිකිරීම වන්නේය. වේදනාව නැතිකිරීමෙන් තෘෂ්ණාව නැතිකිරීම වන්නේය. තෘෂ්ණාව නැතිකිරීමෙන් දැඩිව අල්වාගැනීම නැතිකිරීම වන්නේය. දැඩිව අල්වා ගැනීම නැතිකිරීමෙන් භවය නැති කිරීම වන්නේය.

§ 5. භවය නැතිකිරීමෙන් ජාතිය (ඉපදීම) නැතිකිරීම වන්නේය. ජාතිය (ඉපදීම) නැතිකිරීමෙන් ජරා, මරණද, ශෝක, වැළපීම්, කායික දුක්, දොම්නස් නැතිකිරීම් නැතිවෙත්. මෙසේ මේ සියලු දුක් රාශියේ නැතිවීමවෙයි.

§ “ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය දැන ඒ වේලාවෙහි මේ ප්‍රීති වාක්‍යය ප්‍රකාශ කළ සේක.

“කෙළෙස් තවන වීර්යය ඇති පවු පිටමංකළ යොගී තෙමේ තමහට බොධිපාක්‍ෂීය ධර්ම පහළ වන කෙනෙහිම අඳුර දුර ගසා අහස බබුලුවන හිරුමෙන් සියලු මර සෙනඟ බිඳහරිමින් සිටී.”

KN 03-01-04. (අජපාල) නිග්‍රොධ සූත්‍රය

§ 1. මා විසින් මෙසේ අසනලදී. එක්කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ බුද්ධත්වයට පැමිණ පළමුවෙන්ම නෙරංජරා ගඟ අද්දර බෝගස මුල වාසය කරණ සේක. භාග්‍යවතුන්වහන්සේ ඒ කාලයෙහි සත් දවසක් නිවන් රසය විඳිමින් එකම ආසනයකින් හුන්සේක.

§ 2. එසමයෙහි වනාහි භාග්‍යවතුන් වහන්සේ නිවන් සුව විඳිමින් සත් දිනක් එකම පළඟින් වැඩ සිටියේ වෙයි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ සත් දින ඇවෑමෙන් ඒ සමාධියෙන් නැගිටි සේක. ඉක්බිති එක්තරා අනුන්ට නින්දා කරන ගති ඇති බ්‍රාහ්මණයෙක් භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැන්හි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටු විය යුතු සිහිකටයුතු කථාව කොට නිමවා එකත් පසෙක සිටියේය. එකත් පසෙක සිටියාවූ ඒ බ්‍රාහ්මණතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීවේය. “භගවත් ගෞතමයන් වහන්ස කරුණු කීයකින් බ්‍රාහ්මණයෙක් වේද? කෙනෙකු බමුණකු කරණ ධර්මයෝ කවරහුද?” යනුවෙනි.

§ 3. ඉක්බිති භාග්‍යවතුන්වහන්සේ මේ කාරණය දැන ඒ වේලාවෙහි මේ ප්‍රීතිවාක්‍යය ප්‍රකාශ කළසේක. ‘පවු දුරුකළ මානාහංකාරයෙන් අනුන් හෙලා නොදක්නා කෙලෙස් කසට නැති, කෙලෙසුන් කෙරෙන් සිත රැකගත්, සතර මග නුවණින් නිවන් කරා පැමිණි මාර්ග බ්‍රහ්මචර්යය වැසනිමවූ යමෙක් වේද, හේ සැබෑ බ්‍රාහ්මණයා නම් වේ. ලොව කිසි අරමුණකුත් රාගාදී වශයෙන් නොගන්නා හෙතෙම තමා බමුණෙකැයි කියානම් ඒ කරුණු සහිතය.”

KN 03-01-05. මහාථෙර සූත්‍රය

§ [1] මේ සූත්‍රය මෙසේ අසන ලදී.
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර අසල අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයයෙහි වැඩවසන සේක.

§ [2] එකල්හි වනාහි ඇවැත්වූ සැරියුත් තෙරුන් වහන්සේද ඇවැත්වූ මහ මුගලන් තෙරුන් වහන්සේද ඇවැත්වූ මහා කාස්සප තෙරුන් වහන්සේද, ඇවැත්වූ මහා කච්චායන තෙරුන් වහන්සේද ඇවැත්වූ මහා කොට්ඨිත තෙරුන් වහන්සේද ඇවැත්වූ මහා කප්පින තෙරුන් වහන්සේද, ඇවැත්වූ මහා චුන්‍ද තෙරුන් වහන්සේද, ඇවැත්වූ අනුරුද්ධ තෙරුන් වහන්සේද, ඇවැත්වූ රේවත තෙරුන් වහන්සේද, ඇවැත්වූ නන්‍ද තෙරුන් වහන්සේද, ඇවැත්වූ ආනන්‍ද තෙරුන් වහන්සේද, භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැන්හි පැමිණියහ.

§ [3] භාග්‍යවතුන් වහන්සේ එන්නාවූ ඒ තෙරුන් වහන්සේලා දුරදීම දැකී සේක්මය. දැක භික්‍ෂූන් ඇමතු සේක. “මහණෙනි, බ්‍රාහ්මණවූ ඔවුහු එන්නාහ. මහණෙනි, බ්‍රාහ්මණවූ ඔවුහු එන්නාහ” යනුවෙනි. මෙසේ වදාළ කල්හි එක්තරා බ්‍රාහ්මණ ජාතික භික්‍ෂු නමක් භාග්‍යවතුන් වහන්සේට මෙය කීවේය. “ස්වාමීනි, කරුණු කීයකින් බ්‍රාහ්මණයෙක් වේද, කෙනෙකු බමුණකු කරණ ධර්මයෝ කවරහුද?” යනුවෙනි.

§ [4] ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය දැන ඒ වේලාවෙහි මේ ප්‍රීති වාක්‍යය ප්‍රකාශ කළ සේක. “යමෙක් තුමූ හැම කල්හි සිහි ඇත්තාහු ලාමක අකුශල ධර්මයන් බැහැර කොට හැසිරෙද්ද, නැති කළ භව බැඳුම් ඇති ආර්‍ය්‍ය සත්‍යය අවබෝධ කළ ඔවුහුම ලෝකයෙහි බ්‍රාහ්මණයෝ වෙති.”

KN 03-01-06. මහාකස්සප සූත්‍රය

§ [1] මේ සූත්‍රය මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර සමීපයෙහි ලෙහෙනුන්ට අහාර දුන් වේළුවනාරාමයෙහි වැඩ වසන සේක.

§ [2] එකල්හි වනාහි ඇවැත්වූ මහකසුප් තෙරුන් වහන්සේ හටගත් ආබාධ ඇත්තේ දුක්වූයේ දැඩි ගිලන් බැව් ඇත්තේ පිප්ඵලී ගුහාවෙහි වාසය කරයි. ඉක්බිති ඇවැත්වූ මහකසුප් තෙරුන් වහන්සේ පසු කාලයක ඒ ආබාධයෙන් නැගිට්ටේය. ඒ ආබාධයෙන් නැගිටි ඇවැත්වූ මහකසුප් තෙරුන් වහන්සේට මේ අදහස විය. ‘මම රජගහ නුවර පිඬු පිණිස හැසිරෙන්නෙම් නම් යෙහෙක,’ යනුවෙනි.

§ [3] එකල්හි වනාහි පන්සියයක් දේවතාවෝ ඇවැත්වූ මහකසුප් තෙරුන් වහන්සේට පිණ්ඩපාතය දීම ලැබීමට උද්‍යෝගවත් වූහ. ඉක්බිති ඇවැත්වූ මහකසුප් තෙරුන් වහන්සේ ඒ පන්සියයක් දෙවියන් බැහැර කොට පෙරවරු කාලයෙහි හැඳ පොරවා පාත්‍ර සිවුරු ගෙන රජගහ නුවර දිළින්දන්ගේ විථිය, ඉතා දුප්පතුන්ගේ වීථිය, රෙදි වියන්නන්ගේ වීථිය යම් තැනකද එහි පිඬු පිණිස හැසුරුන සේක. රජගහ නුවර දිළින්දන්ගේ වීථිය, ඉතා දුප්පතුන්ගේ වීථිය, රෙදිවියන්නන්ගේ වීථිය යම් තැනකද එහි පිඬු පිණිස හැසිරෙන ඇවැත්වූ මහකසුප් තෙරුන් භාග්‍යවතුන් වහන්සේ දැකි සේක.

§ [4] ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය දැන ඒ වේලාවෙහි මේ ප්‍රීති වාක්‍යය ප්‍රකාශ කළ සේක. “අන්‍යයන් පොෂණය නොකරන්නාවූ ආර්යය සත්‍යය දත් දැමුන, සාරයෙහි පිහිටි, නැතිකළ කෙලෙස් ඇති, වමාරා දැමූ කෝපය ඇති, ඔහු මම බ්‍රාහ්මණයා යයි කියමි.”

KN 03-01-07. අජපාලක (යක්ඛ) සූත්‍රය

§ 1. “මේ සූත්‍රය මෙසේ අසන ලදී. එක්සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ පාටලී නුවර අජ කලාපක චෛත්‍යස්ථානයෙහි අජ කලාපක නම් යක්‍ෂයාගේ භවනයෙහි වැඩ වසනසේක.

§ 2. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ රෑ අඳුරු කළුවරෙහි එළිමහන් තැනක වැඩ සිටියේ වෙයි. වැසි පොදද එක දෙක වැටෙයි. ඉක්බිති අජ කලාපක යක්‍ෂතෙම භාග්‍යවතුන් වහන්සේට බිය, තැති ගැන්ම, ලොමු ඩැහැගැන්ම, උපදවනු කැමැත්තේ භාග්‍යවතුන් වහන්සේට නුදුරෙහි “අක්කුලය, පක්කුලය, අක්කුල, පක්කුලය”යි තුන් වරක් ශබ්ද නැගීය, “ශ්‍රමණය මේ පිසාචයෙක්යයි” (තමා ගැනම) කීයේය.

§ 3. “ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය දැන ඒ වේලාවෙහි මේ ප්‍රීති වාක්‍යය ප්‍රකාශ කළසේක. “යම් කලෙක බ්‍රාහ්මණතෙම ස්වකීය ධර්මයන්හි පරතෙරට ගියේ වේද එකල්හි මේ “පිසාචයාද, පක්කුල හඬද” ඉක්ම පවතියි.’ යනුයි.

KN 03-01-08. සංගාමජි සූත්‍රය

§ [1] මේ සූත්‍රය මෙසේ අසන ලදී.
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර අසල අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයයෙහි වැඩවසන සේක.

§ [2] ඒ කාලයෙහි ආයුෂ්මත් සංගාමජි තෙමේ භාග්‍යවතුන් වහන්සේ දැකීමට සැවැත් නුවරට පැමිණියේය. ආයුෂ්මත් සංගාමජිගේ පෙර භාර්යාව ‘සංගාමජි ආර්යයතෙමේ සැවැත් නුවරට පැමිණියේයයි’ ඇසුවාය. ඕතොමෝ දරුවා රැගෙන ජේතවනයට ගියාය. ඒ කාලයෙහි ආයුෂ්මත් සංගාමජිතෙමේ එක්තරා ගසක් යට දවල් කාලයෙහි සිටියේ විය. ඉක්බිති ආයුෂ්මත් සංගාමජිගේ පෙර භාර්යාව ආයුෂ්මත් සංගාමජි යම් තැනෙක්හිද එහි පැමිණියාය. පැමිණ
(ii) ආයුෂ්මත් සංගාමජිට, “ශ්‍රමණය, පොඩි දරුවෙකු ඇත්තෙමි. මා පොෂ්‍ය කරවයි” කීවාය. මෙසේ කී කල්හි ආයුෂ්මත් සංගාමජි තෙමේ නිශ්ශබ්ද විය.
(iii) දෙවනුවත් ආයුෂ්මත් සංගාමජිගේ පෙර භාර්යාව ආයුෂ්මත් සංගාමජිට, “ශ්‍රමණය, පොඩි දරුවෙකු ඇත්තෙමි. මා පොෂ්‍ය කරවයි” කීවාය. මෙසේ කී කල්හි ආයුෂ්මත් සංගාමජි තෙමේ නිශ්ශබ්ද විය. දෙවනුවත් අයුෂ්මත් සංගාමජිතෙමේ නිශ්ශබ්ද විය. තුන්වෙනුවත් ආයුෂ්මත් සංගාමජිගේ පෙර භාර්යාව (මෙහි 2 (ii) යෙදිය යුතුයි) තුන්වෙනුවත් ආයුෂ්මත් සංගාමජිතෙමේ නිශ්ශබ්ද විය.

§ [3] ඉක්බිති ආයුෂ්මත් සංගාමජිගේ පෙර භාර්යාව ඒ දරුවා ආයුෂ්මත් සංගාමජි ඉදිරියෙහි “ශ්‍රමණය මේ තෙම තොපගේ පුත්‍රයාය, ඔහු පොෂ්‍ය කරවයි” දමාගියාය. ඉක්බිති ආයුෂ්මත් සංගාමජිතෙමේ ඒ දරුවා නොබැලීය. කථා නොකෙළේය. ඉක්බිති අයුෂ්මත් සංගාමජිගේ පෙර භාර්යාව නුදුරක් ගොස් බලන්නී ආයුෂ්මත් සංගාමජි ඒ දරුවා නොබලන්නාහු කථා නොකරන්නාහු දැක්කාය. දැක මේ ශ්‍රමණ තෙමේ පුත්‍රයාගේ ප්‍රයෝජන නැත්තෙකැයි’ ඈට මේ සිත විය. එතැනින් හැරී ඇවිත් දරුවා ගෙන ගියාය.

§ [4] භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් සංගාමජිගේ පෙර භාර්යාවගේ මෙබඳු විපර්යාසය මිනිස් ඇස ඉක්මවා සිටි දිවැසින් දුටු සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැන ඒ වෙලාවෙහි මේ ප්‍රීති වාක්‍යය ප්‍රකාශ කළසේක. “එන තැනැත්තියට සතුටු නොවෙයි. යන තැනැත්තියට ශොක නොකරයි. ඇලීමෙන් සංගාමජි මිදුනේය. මම ඔහුට බමුණායයි කියමි.”

KN 03-01-09. ජටිල සූත්‍රය

§ 1. මා විසින් මෙසේ අසන ලදී. එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ ගයාවෙහි ගයාව ඉස්මත්තෙහි වාසය කරණ සේක.

§ 2. ඒ කාලයෙහි බොහෝ ජටිලයෝ හිම වැටෙන කාලයෙහි නවන් මැදින් දෙමස අතරෙහිවූ දවස් අටෙහි සීතලවූ හිම වැටෙන රාත්‍රීන්හි ගයා (තොටුපලෙහි (දියෙහි) මෙයින් පිරිසිදු බව වේයයි මතුවීමද කිමිදීමද මතුවීම කිමිදීමද කරත්. වතුරද ඉසිත් ගිනිද පුදත්.

§ 3. භාග්‍යවතුන් වහන්සේ හිමවැටෙන කාලයෙහි නවම් මැදින් දෙමස අතරෙහිවූ දවස් අටෙහි සීතලවූ හිම වැටෙන රාත්‍රීන්හි ගයා තොටුපලෙහි (දියෙහි) මෙයින් පිරිසිදු බව වේයයි මතුවීමද කිමිදීමද මතුවීම කිමිදීම කරන්නාවූද, වතුර ඉසින්නාවූද ගිනි පුදන්නාවූද, ඒ බොහෝ ජටිලයන් දුටු සේක්මය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැන ඒ වේලාවෙහි මේ ප්‍රීතිවාක්‍යය ප්‍රකාශ කළසේක.

§ 4. “මෙහි බොහෝ දෙනා නාති. ජලයෙන් පිරිසිදු වූවෙක් නොවේ. යමෙකු කෙරෙහි සත්‍යයද ධර්මයද ඇත්නම් හෙතෙම හෙතෙම පිරිසුදුය. හෙතෙම බ්‍රාහ්මණද වේ.”

KN 03-01-10. බාහිය සූත්‍රය

§ 1. මේ සූත්‍රය මෙසේ අසන ලදී.
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර අසල අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයයෙහි වැඩවසන සේක.

§ 2. “ඒ කාලයෙහි බාහිය දාරුචීරිය සුප්පාරක තොටෙහි මුහුදු වෙරළහි වාසය කරයි. අසල් වැසි ගම් වැසියන් විසින් සත්කාර කරණ ලද්දේ ගරු කරණ ලද්දේ, බුහුමන් කරණ ලද්දේ, පුදන ලද්දේ, ගෞරව කරන ලද්දේ සිවුරු පිඬු සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර ලබමින් කල් ගෙවිය. එසේ විවේකයට ගියාවූ හෝ හුදෙකලාවේ ඉන්නාවූ බාහිය දාරුචිරියට “ලෝකයෙහි රහත්වූ හෝ රහත් මාර්ගයට බැස්ස යම් කෙනෙක් ඇත්ද, ඔවුන් අතරින් මමත් කෙනෙක්මියි” සිතට අදහසක් ඇතිවිය.

§ 3. “එවිට බාහිය දාරුචීරියට හිතවත්, ඔහුගේ යහපත කැමති පැරණි සහලේ නෑ දෙවතාවෙක් බාහිය දාරුචීරියගේ සිත තම සිතින් දැන, බාහිය දාරුචීරිය වෙත පැමිණියේය. පැමිණ, බාහිය දාරුචීරියට “බාහිය ඔබ රහත්වී නැත. රහත් මාර්ගයට පැමිණවත් නැත. යමකින් ඔබ රහත් කෙනෙකු හෝ රහත් මගට පිළිපන් කෙනෙකු වන්නේද ඒ පිළිපැදීමද ඔබට නැතැයි” කීයේය.

§ 4. “දෙවතාව, එසේ වීනම් ලෝකයෙහි කවරෙක් රහත්ද රහත් මගට පිළිපන්නේදැයි” ඇසීය.
“බාහිය උතුරු ජනපදයන්හි, සැවැත් නම් නුවරක් ඇත්තේය. එහි අර්හත්වූ සම්‍යක් සම්බුද්ධවූ භාග්‍යවතුන් වහන්සේ රහත්වූයේය. අන්‍යයන් රහත් බව පිණිසද බණ කියයි.”

§ 5. ඉක්බිති බාහිය දාරුචීරිය ඒ දෙවතාවා විසින් යොදවන ලද්දේ එකෙනෙහිම සුප්පාරක ජනපදයෙන් පිටත් වූයේය. සියලු තන්හි එක් රැයක් පමණක් විසීමෙන් යම් තැනක සැවත් නුවර අනේපිඩු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි භාග්‍යවතුන් වහන්සේ වාසය කරණ සේක්ද එහි පැමිණියේය.

§ 6. ඒ කාලයෙහි බොහෝ භික්‍ෂූහු එළිමහනෙහි සක්මන් කරත්, ඉක්බිති බාහිය දාරුචීරිය තෙමේ ඒ භික්‍ෂූන් වෙත පැමිණ ඒ භික්‍ෂූන් වෙතින්
“ස්වාමීනි අර්හත් සම්‍යක් සම්බුද්ධ භාග්‍යවතුන් වහන්සේ දැන් කොහි වසන සේක්ද? අපි අර්හත් සම්‍යක් සම්බුද්ධවූ ඒ භාග්‍යවතුන් වහන්සේ දකිනු කැමැත්තෝ වෙමුයි” ඇසුවේය.
“බාහිය, භාග්‍යවතුන් වහන්සේ පිඬු පිණිස ඇතුල්ගමට වැඩි සේක.”

§ 7. “ඉක්බිති බාහිය දාරුචීරිය වහා ජේතවනයෙන් නික්ම සැවැත් නුවරට ඇතුල්වී සැවැත් නුවර පිඬු පිණිස හැසිරෙන පැහැදීම ඇති කරණ, පැහැදිය යුතු සන්සුන් ඉඳුරන් ඇති තැන්පත් සිත් ඇති, උතුම් ආත්ම දමනයට චිත්ත දමනයට පැමිණි, දැමුණු, රැකුණු, ඉන්‍ද්‍රිය සංවරයට පැමිණි උත්තමයාවූ භාග්‍යවතුන් වහන්සේ දුටුවේය. දැක භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේගේ සිරි පාමුල හිස තබා වැඳ භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, යමක් මට බොහෝකලක් හිත සැප පිණිස වන්නේද, මට භාග්‍යවතුන් වහන්සේ ඒ ධර්මය දෙසන සේක්වා, සුගතයන් වහන්සේ මට ඒ ධර්මය දෙසනසේක්වායි’ කීයේය.

§ 8. “මෙසේ කීකල්හි භාග්‍යවතුන් වහන්සේ බාහිය දාරුචීරියට “බාහිය! මේ ධර්ම දෙසනයට නොකල්ය. පිඬු පිණිස ඇතුළු ගමට පිවිසියෙමියි” වදාළසේක.
දෙවනුවත් බාහිය දාරුචීරිය භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේගේ ජීවිතයට අනතුරක් හෝ මගේ ජීවිතයට අනතුරක් හෝ වේද, මෙය සිතාගත නොහැක්කකි. ස්වාමීනි, යමක් මට බොහෝ කලක් හිත සැප පිණිස වන්නේද, මට භාග්‍යවතුන් වහන්සේ ධර්මය දෙසන සේක්වා. සුගතයන් වහන්සේ මට ධර්මය දෙසනසේක්වා.”

§ 9. දෙවනුවත් භාග්‍යවතුන් වහන්සේ බාහිය දාරුචීරිය තවුසාට “බාහිය, මේ නොකල්ය. පිඬු පිණිස ඇතුළුගමට පිවිසියෙමියි” වදාළසේක.
තුන්වෙනුවත් බාහිය දාරුචීරිය තවුසා භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේගේ ජීවිතයට අනතුරක් හෝ මගේ ජීවිතයට අනතුරක් හෝ නොවීම සිතාගත නොහැක්කකි. ස්වාමීනි, යමක් මට බොහෝකලක් හිත සැප පිණිස වන්නේද, මට භාග්‍යවතුන් වහන්සේ ධර්මය දෙසන සේක්වා.”

‘දිට්ඨෙ දිට්ඨමත්තං භවිස්සති, සුතෙ සුතමත්තං භවිස්සති, මුතෙ මුතමත්තං භවිස්සති, විඤ්ඤාතෙ විඤ්ඤාතමත්තං භවිස්සතී’ති. එවඤ්හි තෙ, බාහිය, සික්ඛිතබ්බං. යතො ඛො තෙ, බාහිය, දිට්ඨෙ දිට්ඨමත්තං භවිස්සති, සුතෙ සුතමත්තං භවිස්සති, මුතෙ මුතමත්තං භවිස්සති, විඤ්ඤාතෙ විඤ්ඤාතමත්තං භවිස්සති, තතො ත්වං, බාහිය, න තෙන; යතො ත්වං, බාහිය, න තෙන තතො ත්වං, බාහිය, න තත්ථ ; යතො ත්වං, බාහිය, න තත්ථ, තතො ත්වං, බාහිය, නෙවිධ න හුරං න උභයමන්තරෙන. එසෙවන්තො දුක්ඛස්සා

§ 10. “බාහිය, එසේ නම් අසව ! බාහිය තොප මෙසේ හික්මීය යුතුය. බාහිය තොපට යම්කිසිවක් දක්නා ලද්දෙහි ඒ දැකීම් මාත්‍රයක් ය පමණක් දනුව. ඇසූ දෙයෙහි ඇත්තේ ඇසූ මාත්‍රයක් ය පමණක් දනුව., ස්පර්ශයෙහි මාත්‍රයක් ය පමණක් දනුව. වන්නේද, දක්නා ලද්දෙහි දැනීම් මාත්‍රය වන්නේද, එහෙයින් බාහිය, නුඹ ඉන් නොවේ. යම්හෙයකින් බාහිය, නුඹ ඉන් නොවේද, එහෙයින් බාහිය, ඔබ එහි නොවේ. යම්හෙයකින් බාහිය, ඔබ එහි නොවේද, එහෙයින් බාහිය, ඔබ මෙහි මෙලොව නොමවේ. පරලොව නොවේ. මෙලොව පරලොව දෙක අතරෙහි නොවේ. දුකේ අවසානය මෙයමයි.”

ඉක්බිති බාහිය දාරුචීරියට භාග්‍යවතුන් වහන්සේගේ මේ ලුහුඬින් කළ ධර්ම දේශනාවෙන් එකෙණෙහිම කිසි ධර්මයක් දැඩිකොට නොගෙන කෙලෙසුන්ගේ සිත මිදුනේය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ බාහිය දාරුචීරියම මේ ලුහුඬු අවවාදයෙන් අවවාද කොට වැඩිසේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ වැඩි ටික වේලාවකින් බාහිය දාරුචීරිය වසු පැටවෙක් ඇති දෙනක් ඇන ජීවිතය තොර කළාය.

§ 11. “ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර පිඩු පිණිස හැසිර පසුබත පිණ්ඩ පාතයෙන් වැලැක්කේ බොහෝ භික්‍ෂූන් සමග නුවරින් නික්ම කළුරිය කළ බාහිය දාරුචීරිය දුටුසේක. දැක භික්‍ෂූන් ඇමතූසේක. “මහණෙනි, බාහිය දාරුචීරියගේ ශරීරය ගනිව්. ඇඳක තබා බැහැර කොට දවව්. ඔහුට ථූපයක්ද කරව්. මහණෙනි තොපගේ සබ්‍රම්සර කෙනෙකු කළුරිය කළේය.”

§ 12. “ස්වාමීනි, එසේයයි” ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දී බාහිය දාරුචීරියගේ මළකද ඇඳක තබා බැහැරකොට දවා ඔහුට ථූපයක්ද කොට භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එහි පැමිණියාහුය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියාහුය. එකත් පසෙක සිටි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, බාහිය දාරුචීරියගේ ශරීරය දවන ලදී. ඔහුට ථූපයක්ද කරණ ලදී. ඔහුගේ ගතිය කවරේද? පරලොව කීමෙක්දැ”යි ඇසූහ.

§ 13. “මහණෙනි, බාහිය දාරුචීරිය පණ්ඩිතය. නව ලොකොත්තර ධර්මයට හා විදර්ශනා ඥානයට පැමිණියේය. ධර්මය වෙනුවෙන් මට වෙහෙස නොකළේය. මහණෙනි, බාහිය දාරුචීරිය පිරිනිවියේය.” ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කරුණු දැන ඒ වේලාවෙහි මේ ප්‍රීති වාක්‍යය ප්‍රකාශ කළසේක. “යම් නිවණක පොළොව ජලය ගින්දර වාතය යන සතර නොපිහිටාද, එහි තාරකාද නොබබලත්. හිරුද නොපෙනේ.”

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.