SN 03-01-08 ඛජ්ජනීය වර්ගය

SN 03-01-08-01. අස්සාද සූත්‍රය

SN 03-01-08-02. සමුදය සූත්‍රය

SN 03-01-08-03. අරහන්ත සූත්‍රය

SN 03-01-08-04. අරහන්ත සූත්‍රය

SN 03-01-08-05. අරහන්ත සූත්‍රය

SN 03-01-08-06. සීහො සූත්‍රය

SN 03-01-08-07. ඛජ්ජනීය   සූත්‍රය

SN 03-01-08-08. පිණ්ඩොල සූත්‍රය

SN 03-01-08-09. පාරිලෙය්‍යක සූත්‍රය

SN 03-01-08-10. පුණ්ණමානි සූත්‍රය

SN 03-01-08-01. අස්සාද සූත්‍රය

§ 1. මා විසින් මෙසේ අසනලදී.
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී දිනෙක භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’ යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.

§ 2. “මහණෙනි, අශ්‍රැතවත් පුථුජ්ජනයා

රූපයේ ආශ්වාදයද (රසවිඳීම), ආදීනවයද(දෝෂයද), නිස්සරණයද තත්වූ පරිදි නොදනියි,
වේදනාවේ ආශ්වාදයද, ආදීනවයද, නිස්සරණයද, තත්වූ පරිදි නොදනියි.
“සංඥාවේ ආශ්වාදයද, ආදීනවයද, නිස්සරණයද තත්වූ පරිදි නොදනියි.
සංස්කාරයන්ගේ ආශ්වාදයද, ආදීනවයද, නිස්සරණයද තත්වූ පරිදි නොදනියි.
විඥානයේ ආශ්වාදයද, ආදීනවයද, නිස්සරණයද තත්වූ පරිදි නොදනියි.

§ 4. “මහණෙනි, ශ්‍රැතවත් ආර්යශ්‍රාවකයා රූපයේ ආශ්වාදයද, ආදීනවයද, නිස්සරණයද තත්වූපරිදි දනියි. වේදනාවගේ ආශ්වාදයද, ආදීනවයද, නිස්සරණයද, තත්වූ පරිදි දනියි. සංඥාවගේ ආශ්වාදයද, ආදීනවයද, නිස්සරණයද තත්වූ පරිදි දනියි සංස්කාරයන්ගේ ආශ්වාදයද, ආදීනවයද, නිස්සරණයද තත්වූ පරිදි දනියි. විඤ්ඤාණයාගේ ආශ්වාදයද, ආදීනවයද, නිස්සරණයද තත්වූ පරිදි දනියි” වදාළේය.

(පළමුවෙනි අස්සාද සූත්‍රය නිමි.)

SN 03-01-08-02. සමුදය සූත්‍රය

§ 1. මා විසින් මෙසේ අසන ලදී.
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.

§2. “මහණෙනි, අශ්‍රැතවත් පුථුජ්ජනතෙමේ රූපයාගේ හටගැනීමද, විනාශයද, ආශ්වාදයද, ආදීනවයද, නිස්සරණයද, තත්වූ පරිදි නොදනියි. වේදනාවගේ හටගැනීමද, විනාශයද, ආශ්වාදයද, ආදීනවයද, නිස්සරණයද තත්වූ පරිදි නොදනියි. සංඥාවගේ හටගැනීමද, විනාශයද, ආශ්වාදයද, ආදීනවයද, නිස්සරණයද තත්වූ පරිදි නොදනියි. සංස්කාරයන්ගේ හටගැනීමද, විනාශයද, ආශ්වාදයද, ආදීනවයද, නිස්සරණයද තත්වූ පරිදි නොදනියි. විඥානයාගේ හටගැනීමද, විනාශයද, ආශ්වාදයද, ආදීනවයද, නිස්සරණයද, තත්වූ පරිදි නොදනියි.’

§ 3. “මහණෙනි, ශ්‍රැතවත් ආර්යශ්‍රාවකතෙමේ රූපයාගේ හටගැනීමද, විනාශයද, ආශ්වාදයද, ආදීනවයද, නිස්සරණයද තත්වූ පරිදි දනියි. වේදනාවගේ හටගැනීමද, විනාශයද, ආශ්වාදයද, ආදීනවයද, නිස්සරණයද තත්වූ පරිදි දනියි. සංඥාවගේ හටගැනීමද, විනාශයද, ආශ්වාදයද, ආදීනවයද, නිස්සරණයද තත්වූ පරිදි දනියි. සංස්කාරයන්ගේ හටගැනීමද, විනාශයද, ආශ්වාදයද, ආදීනවයද, නිස්සරණයද තත්වූ පරිදි දනියි. විඥානයාගේ හටගැනීමද, විනාශයද, ආශ්වාදයද, ආදීනවයද, නිස්සරණයද තත්වූ පරිදි දනීයයි” වදාළේය.

{දෙවෙනි සමුදය සූත්‍රය නිමි.)

SN 03-01-08-03. අරහන්ත සූත්‍රය

§ 1. මා විසින් මෙසේ අසනලදී.
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.

§ 2. “මහණෙනි, ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා
රූපයාගේ හටගැණීමද, විනාශයද, ආස්වාදයද, ආදීනවයද, නිස්සරණයද තත්වූපරිදි දනියි.
වේදනාවගේ හටගැණීමද, විනාශයද, ආස්වාදයද, ආදීනවයද, නිස්සරණයද, තත්වූපරිදි දනියි.
සංඥාවගේ හටගැණීමද, විනාශයද, ආස්වාදයද, ආදීනවයද, නිස්සරණයද තත්වූපරිදි දනියි.
සංස්කාරයන්ගේ හටගැණීමද, විනාශයද, ආස්වාදයද, ආදීනවයද, නිස්සරණයද, තත්වූ පරිදි දනියි.
විඤ්ඤාණයාගේ හටගැණීමද, විනාශයද, ආස්වාදයද, ආදීනවයද, නිස්සරණයද තත්වූපරිදි දනියි, යනුයි.

(තුන්වෙනි අරහන්ත සූත්‍රය නිමි.)

SN 03-01-08-04 . අරහන්ත සූත්‍රය

§ 1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරනසේක.

§ 2. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක.
‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.
(එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.

“මහණෙනි, රූපය අනිත්‍යය. යමක් අනිත්‍යද එය දුකය. යමක් දුකද එය අනාත්මය. යමක් අනාත්මද ‘එය මාගේ නොවෙයි. ඒ මම නොවෙමි. ඒ මාගේ ආත්මය නොවෙයි.’ මෙසේ මෙය තත්වූ පරිදි සම්‍යක් ප්‍රඥාවෙන් දත යුතුයි.

. “වේදනාව අනිත්‍යය, යමක් අනිත්‍යද එය දුකය. යමක් දුකද එය අනාත්මය. යමක් අනාත්මද ‘එය මාගේ නොවෙයි. ඒ මම නොවෙමි. ඒ මාගේ ආත්මය නොවෙයි.’ මෙසේ මෙය තත්වූ පරිදි සම්‍යක් ප්‍රඥාවෙන් දතයුතුයි. “

සංඥාව අනිත්‍යය. යමක් අනිත්‍යද එය දුකය යමක් දුකද එය අනාත්මය. යමක් අනාත්මද ‘එය මාගේ නොවෙයි. ඒ මම නොවෙමි. ඒ මාගේ ආත්මය නොවෙයි.’ මෙසේ මෙය තත්වූ පරිදි සම්‍යක් ප්‍රඥාවෙන් දතයුතුයි.

“සංස්කාරයෝ අනිත්‍යය. යමක් අනිත්‍යද එය දුකය. යමක් දුකද එය අනාත්මය. යමක් අනාත්මද ‘එය මාගේ නොවෙයි. ඒ මම නොවෙමි. ඒ මාගේ ආත්මය නොවෙයි.’ කියා මෙසේ මෙය තත්වූ පරිදි සම්‍යක් ප්‍රඥාවෙන් දතයුතුයි.

“විඤ්ඤාණය අනිත්‍යය. යමක් අනිත්‍යද එය දුකය. යමක් දුකද එය අනාත්මය. යමක් අනාත්මද ‘එය මාගේ නොවෙයි. ඒ මම නොවෙමි ඒ මාගේ ආත්මය නොවෙයි.’ කියා මෙසේ මෙය තත්වූ පරිදි සම්‍යක් ප්‍රඥාවෙන් දතයුතුයි.’

§ 3. “මහණෙනි, මෙසේ දක්නාවූ, ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවක තෙමේ රූපයෙහිද කලකිරෙයි. වේදනාවෙහිද කලකිරෙයි. සංඥාවෙහිද කලකිරෙයි. සංස්කාරයන්හිද කලකිරෙයි. විඤ්ඤාණයෙහිද කලකිරෙයි.
කලකිරුනේ නොඇලෙයි.
නොඇලීමෙන් මිදෙයි.
මිදුනු කල්හි මිදුනේයයි ඤාණය ඇති වෙයි.
ජාතිය ක්ෂයවිය. බ්‍රහ්මචර්යාවෙහි හැසිර නිමවන ලදී.
කටයුතුකොට නිමවන ලද්දේය. මේ ආත්මභාවය පිණිස කළයුතු අනිකක් නැත්තේයයි දනියි.

§ 4. “මහණෙනි, ලෝකයෙහි යම් පමණ සත්වයන් වාසය කරන ස්ථාන වෙත්ද, යම් පමණ භවාශ්‍රව වෙත්ද, යම් මේ රහත්හු වෙත්ද, ඒ රහත්හුම ලෝකයෙහි අග්‍ර වෙත්. ශ්‍රේෂ්ඨ වෙත්”යි භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළේය.

මෙය වදාරා සුගතයන් වහන්සේ නැවතත් මෙසේද වදාළේය.

(1) “රහත්හු ඒකාන්තයෙන් සැප ඇත්තෝය. ඔවුන්ට තෘෂ්ණාව නැත. (නව වැදෑරුම්) මානය සිඳින ලදී. මෝහය නමැති දැල පලා දමන ලදී.

(2) “ඔව්හු තෘෂ්ණාව නැති බවට පැමිණියහ. ඔවුන්ගේ සිත පිරිසිදුය. ලෝකයෙහි නොඇලුණාවූ ආශ්‍රව රහිතවූ ඔව්හු ශ්‍රේෂ්ඨවූහ.

(3) “පඤ්චස්කන්ධයන් පිරිසිඳ දැන (සද්ධා, හිරි, ඔතප්ප, බාහුසච්ච විරිය, සති, සඤ්ඤා යන මේ) සත් ධර්මය ගෝචරකොට ඇත්තාවූ සත්වැදෑරුම් බෞද්ධාංග රත්නයෙන් සමන්විතවූ, ත්‍රිවිධ ශික්ෂාවෙහි හික්මුණාවූ, ප්‍රශංසාවට සුදුසුවූ සත්පුරුෂවූ, බුදුරජාණන් වහන්සේගේ ඖරෂපුත්‍රවූ ඒ මහාවීරයෝ දුරු කළ භය ඇතිව හැසිරෙත්.

(4) “දස අංගයකින් සමන්විතවූ, මහා නාගවූ, සමාධියෙන් යුත් සිත් ඇති ඔව්හු ලෝකයෙහි ශ්‍රේෂ්ඨයෝ වෙති. ඔවුන්ට තෘෂ්ණාව නැත්තේය.

(5) “අර්හත්ඵල ඥානය ලැබුවාවූ, ඔවුන්ගේ මේ අන්තිම ආත්මයයි. බ්‍රහ්මචරියාවගේ සාරයවූ යම් රහත් ඵලයක් වේද ඒ පිණිස සෙවිය යුතු අන්ප්‍රත්‍යයක් නැතැයි ප්‍රත්‍යක්ෂ වශයෙන් දැනගත්තාහු වෙත්.

(6) “ඔව්හු ත්‍රිවිධ මානයන්හි කම්පා නොවෙත්. පුනරුත්පත්තියෙන් මිදුණාහ. දන්තභූමියයයි නම්ලද රහත්ඵලයට පැමිණියාවූ ඔව්හු ලෝකයෙහි දිනුවාහු නම් වෙති.

(7) “අතීතවූද, වර්තමානවූද, අනාගතවූද, ස්කන්ධයන් කෙරෙහි ඔවුනට නන්දි සංඛ්‍යාත ඇල්මක් නැත. ඔව්හු ලෝකයෙහි බුදුවරයෝ අති උත්තමයහයි සිංහනාද කරත්.”

(හතරවෙනි අරහන්ත සූත්‍රය නිමි.)

SN 03-01-08-05 . අරහන්ත සූත්‍රය

§ 1. මා විසින් මෙසේ අසන ලදී.
එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරනසේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.
(එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

  • “මහණෙනි, රූපය අනිත්‍යයි, යමක් අනිත්‍ය නම් එය දුකය. යමක් දුක නම් එය අනාත්මය. යමක් අනාත්ම නම් ‘එය මාගේ නොවේය. එය මම නොවෙමි. එය මාගේ ආත්මය නොවෙයි.’ මෙසේ මේ තත්වූ පරිදි සම්‍යක් ප්‍රඥාවෙන් දත යුතුයි.
  • “වේදනාව අනිත්‍යයි, යමක් අනිත්‍ය නම් එය දුකය. යමක් දුක නම් එය අනාත්මය. යමක් අනාත්ම නම් ‘එය මාගේ නොවේය. එය මම නොවෙමි. එය මාගේ ආත්මය නොවෙයි.’ මෙසේ මෙය තත්වූ පරිදි සම්‍යක් ප්‍රඥාවෙන් දත යුතුයි.
  • “සංඥාව අනිත්‍යයි, යමක් අනිත්‍ය නම් එය දුකය. යමක් දුක නම් එය අනාත්මය. යමක් අනාත්ම නම් ‘එය මාගේ නොවේය. එය මම නොවෙමි. එය මාගේ ආත්මය නොවෙයි.’ මෙසේ මෙය තත්වූ පරිදි සම්‍යක් ප්‍රඥාවෙන් දත යුතුයි.
  • “සංස්කාරයෝ අනිත්‍යයි, යමක් අනිත්‍ය නම් එය දුකය. යමක් දුක නම් එය අනාත්මය. යමක් අනාත්ම නම් ‘එය මාගේ නොවේය. එය මම නොවෙමි. එය මාගේ ආත්මය නොවෙයි.’ මෙසේ මෙය තත්වූ පරිදි සම්‍යක් ප්‍රඥාවෙන් දත යුතුයි.
  • “විඥානය අනිත්‍යය, යමක් අනිත්‍ය නම් එය දුකය. යමක් දුකනම් එය අනාත්මය. යමක් අනාත්ම නම් ‘එය මාගේ නොවෙයි. එය මම නොවෙමි. එය මාගේ ආත්මය නොවෙයි.’ මෙසේ මෙය තත්වූ පරිදි සම්‍යක් ප්‍රඥාවෙන් දතයුතුයි.

“මහණෙනි, මෙසේ දන්නාවූ ආර්යශ්‍රාවකයා රූපය කෙරෙහිද කලකිරෙයි. වේදනාව කෙරෙහිද කලකිරෙයි. සංඥාව කෙරෙහිද කලකිරෙයි. සංස්කාරයන් කෙරෙහිද කලකිරෙයි. විඥානය කෙරෙහිද කලකිරෙයි. කලකිරුනේ නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුනු කල්හි මිදුනේය යන නුවණ පහළවෙයි. ඉපදීම ක්ෂයවිය. බ්‍රහ්මචර්යාවෙහි වැස නිමවන ලද්දේය. කටයුතුකොට නිමවන ලද්දේය. මේ ආත්මභාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දනී.

“මහණෙනි, සත්වාවාසයෝ යම් පමණ වෙත්ද, භවාශ්‍ර යම් පමණ වෙත්ද, යම් ඒ රහත්වූ වෙත්ද, ඔව්හු ලෝකයෙහි අග්‍රවෙති. ශ්‍රේෂ්ඨ වෙතියි” වදාළේය.

(පස්වෙනි අරහන්ත සූත්‍රය නිමි.)

SN 03-01-08-06. සීහො සූත්‍රය

§ 1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනියි’ කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. එවිට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළේය.

§ 2. “මහණෙනි, මෘගයන්ට රජවූ සිංහතෙම සවස් කාලයෙහි ස්වකීය වාසස්ථානයෙන් නික්මෙයි. නික්මී ඇඟ කිලිපොලයි. ඇඟ කිලිපොවා හාත්පස සිව්දිග බලයි. හාත්පස සිවුදිග බලා තුන්වරක් සිංහනාද කරයි. තුන්වරක් සිංහනාද කොට ගොදුරු පිණිස නික්මෙයි.

§ 3. “මහණෙනි, නාදකරන්නාවූ මෘගයන්ට රජවූ සිංහයාගේ නාදය යම්කිසි තිරිසන්ගත ප්‍රාණීහු අසත්ද, ඔව්හු බෙහෙවින් බියටද, තැති ගැණීමටද, සංවේගයටද පැමිණෙත්. බිලවල වාසය කරන සත්වයෝ බිලවලට පිවිසෙත්. ජලයෙහි වසන සත්වයෝ එහිවූ වාසස්ථානලට පිවිසෙත්. වනයෙහි වසන සත්වයෝ එහි වාසස්ථානවලට පිවිසෙත්. පක්ෂීහු අහසට නැගෙත්.

§ 4. “මහණෙනි, ගම් නියම්ගම් රාජධානිවල දැඩිවූ වරපට වලින් බඳනාලද රජහුගේ යම් ඒ හස්ථිහු වෙත්ද, ඔව්හුද ඒ බන්ධනයන් සිඳගෙන බිඳගෙන මලමුත්‍ර හෙලමින් ඒ මේ අත පලායත්.

§ 5. “මහණෙනි, තිරිසන්ගත සතුන් අතුරෙහි මෘගයන්ට රජවූ සිංහතෙමේ මෙසේ මහත් ඍද්ධි ඇත්තේද, මෙසේ මහේශාක්‍යවූයේද, මෙසේ මහත් ආනුභාව ඇත්තෙක්ද වෙයි.

. “මහණෙනි, එපරිද්දෙන්ම වනාහි අර්හත්වූ අෂ්ට විද්‍යා පසළොස් චරණ ධර්මයන්ගෙන් යුක්තවූ, යහපත් ගති ඇත්තාවූ, සියලු ලෝකයන් දත්තාවූ, අති උතුම්වූ පුරිසදම්ම සාරථිවූ දෙවි මිනිසුන්ට ශාස්තෲවූ චතුස්සත්‍යයාවබෝධකළාවූ භාග්‍යවත්වූ තථාගතයන් වහන්සේ යම් කලෙක්හි ලොව උපදීද, ඒ භාග්‍යවත්තෙමේ

  • ‘මේ රූපය වෙයි. මේ රූපයාගේ හේතුව වෙයි. මේ රූප නිරෝධයයි.
  • ‘මේ වේදනාව වෙයි, මේ වේදනාවේ හේතුව වෙයි, මේ වේදනාවේ නිරෝධයයි.
  • ‘මේ සංඥාව වෙයි, මේ සංඥාවේ හේතුව වෙයි, මේ සංඥාවේ නිරෝධයයි.
  • ‘මේ සංස්කාරයෝය. මේ සංස්කාරයන්ගේ හේතුවය, මේ සංස්කාරයන්ගේ නිරෝධයයි.
  • ‘මේ විඥානයය, මේ විඥානයාගේ හේතුවය, මේ විඥාන නිරෝධයයි’ දහම් දෙසයි.

§ 6. “මහණෙනි, දීර්ඝායුෂ ඇති වර්ණවත්වූ, සැප බහුලවූ, උසස් විමානවල වාසය කරන්නාවූ යම් ඒ දෙවියෙක් වෙත්ද, ඔව්හුද තථාගතයන් වහන්සේගේ ධර්මදේශනාව අසා
‘පින්වත්නි, අපි වනාහි අනිත්‍යවූවාහුම නිත්‍යයයි සිතුවෙමු.
‘පින්වත්නි, අපි වනාහි අස්ථිරවූවාහුම ස්ථිරයයි සිතුවෙමු.
‘පින්වත්නි, අපි වනාහි අසදාකාලිකවූවාහුම සදාකාලික යයි සිතුවෙමු.
‘පින්වත්නි, අපි වනාහි අනිත්‍යවූ අස්ථිරවූ සදාකාලික නොවූ පඤ්චස්කන්ධයෙන් යුක්තවූවෝ වෙමුයයි.
බොහෝසේ බියට තැති ගැනීමට සංවේගයට පැමිණෙත්.

§ 7. “මහණෙනි, මෙසේ තථාගතයන් දෙවියන් සහිත ලෝකයා අතරෙහි මෙසේ මහත් ඍද්ධි ඇත්තේ මෙසේ මහේශාක්‍යවූයේ මෙසේ මහත් ආනුභාව ඇත්තේ වෙයි. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළේය. ශාස්තෲවූ සුගතයන් වහන්සේ මෙය වදාරා නැවත මෙසේ වදාළේය.

§ 8. “දෙවියන් සහිත ලෝකයාගේ ශාස්තෲවූ අප්‍රති පුද්ගලවූ බුදුරජතෙමේ පඤ්චස්කන්ධයද, පඤ්චස්කන්ධයාගේ හේතුවද හටගැන්මද, පඤ්චස්කන්ධ නිරෝධයද, දුක් සංසිඳීමට පමුණුවන්නාවූ, ආර්ය අෂ්ටාංගික මාර්ගයද දැන ධර්මචක්‍රය පැවැත්වීමද,
“එකල දීර්ඝායුෂ්කවූ වර්ණවත්වූ යසස් ඇත්තාවූ යම් ඒ දෙවියෝවූවාහුද, ඔව්හු කෙලෙසුන්ගෙන් මිදුනාවූ ගුණයෙන් යුක්තවූ රහතුන් වහන්සේගේ දේශනාව අසා ‘පින්වත්නි, පඤ්චස්කන්ධය නොයික්ම සිටියාවූ අපි වනාහි අනිත්‍යයම්හයි’ අවශෙෂ සිවුපාවුන් සිංහයාට යම්සේද එමෙන් භයපත්වූවාහු තැති ගැනීමට පැමිණියාහු වෙති.”

(හයවෙනි සීහො සූත්‍රය නිමි.)

SN 03-01-08-07. ඛජ්ජනීය   සූත්‍රය

§ 1. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

§ 2. “මහණෙනි, පෙර විසූ උත්පත්ති පිළිවෙළ සිහිකරන්නාවූ යම්කිසි ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ නොයෙක් පෙර විසූ උත්පත්ති පිළිවෙළ සිහිකරද්ද, ඒ සියලුදෙනා, උපාදානස්කන්ධ පස හෝ එයින් එක්තරා ස්කන්ධයක් හෝ සිහිකරත්.

§ 3. “මහණෙනි, ‘අතීතකාලයෙහි මම මෙබඳු රූප ඇත්තෙක් වීමියි’ සිහිකරන තැනැත්තේ රූපයම සිහිකරයි. ‘අතීත කාලයෙහි මෙබඳු වේදනා ඇත්තෙක් වීමියි’, මහණෙනි, මෙසේ හෝ සිහිකරන තැනැත්තේ වේදනාවම සිහිකරයි. අතීත කාලයෙහි මෙබඳු සංඥා ඇත්තෙක් වීමියි’, මහණෙනි, මෙසේ හෝ සිහිකරන තැනැත්තේ සංඥාවම සිහිකරයි. ‘අතීත කාලයෙහි මෙබඳු සංස්කාර ඇත්තෙක් වීමියි’, මහණෙනි, මෙසේ හෝ සිහිකරන තැනැත්තේ සංස්කාරයන්ම සිහිකරයි. ‘අතීත කාලයෙහි මෙබඳු විඥාන ඇත්තෙක් වීමියි’, මහණෙනි, මෙසේ හෝ සිහිකරන තැනැත්තේ විඥානයම සිහිකරයි.

§ 4. “මහණෙනි, රූපය කුමකැයි කියව්ද? මහණෙනි, විකාරයට හෙවත් වෙනස්වීමට පැමිණෙනුයි එහෙයින් රූපයයි කියනු ලැබේ. කුමකින් වෙනසට පැමිණෙයිද? සීතයෙන්ද වෙනසට පැමිණෙයි. උෂ්ණයෙන්ද වෙනසට පැමිණෙයි. බඩගින්නෙන්ද වෙනසට පැමිණෙයි. පිපාසයෙන්ද වෙනසට පැමිණෙයි, ඩැහැ ලේ බොන ඇටමැසි, විද ලේබොන මදුරුවා, අව් සුලං සර්පාදී දීර්ඝ ජාතික සතුන්ගේ ස්පර්ශයෙන්ද, වෙනසට පැමිණෙයි. මහණෙනි, වෙනසට පැමිණෙනුයි එහෙයින් වනාහි රූපයයි කියනු ලැබේ.

§ 5. “මහණෙනි, වේදනාව කුමකැයි කියව්ද? මහණෙනි විඳිනුයි. එහෙයින් වනාහි වේදනාවයයි කියනු ලැබේ. කුමක් විඳීද? සැපද විඳියි. දුකද විඳියි. අදුක්ඛම සුඛයද, (උපෙක්ෂාව) විඳියි. මහණෙනි, විඳිනුයි එහෙයින් වනාහි වේදනාවයයි කියනු ලැබේ.

§ 6. “මහණෙනි, සංඥාව කුමකැයි කියව්ද? මහණෙනි, හඳුනනුයි එහෙයින් වනාහි සංඥාවයයි කියනු ලැබේ. කුමක් හඳුනාද? නිල්වූ දේ නිල්යයිද, හඳුනයි. කසාවන් දෙය කසාවන් යයිද හඳුනයි. ලෙහෙවන් දෙය ලේවන්යයිද හඳුනයි. සුදු දෙය සුදුයයිද හඳුනයි. මහණෙනි, හඳුනයි හඳුනයිනුයි සංඥාවයයි කියනු ලැබේ.

§ 7. “මහණෙනි, කුමක් වනාහි සංස්කාරයන්යයි කියව්ද? මහණෙනි, හේතු ප්‍රත්‍යයන් විසින් නිපදවන ලද දේ පිළියෙල කරත්. එහෙයින් සංස්කාරයයි කියනු ලැබෙත්. කිනම් හේතු ප්‍රත්‍යයන් විසින් නිපදවන ලද්දක් පිළියෙල කරද්ද? හේතු ප්‍රත්‍යයන් විසින් නිපදවන ලද රූපය රූපයවීම පිණිස පිළියෙළ කරත්. සංඛතවූ වේදනාව වේදනාව වීම පිණිස පිළියෙළ කරත්. සංඛතවූ සංඥාව සංඥාව වීම පිණිස පිළියෙල කරත්. සංඛතවූ සංස්කාරයන් සංස්කාරවීම පිණිස පිළියෙල කරත්. සංඛතවූ විඥානය විඥානයවීම පිණිස පිළියෙල කරත්. මහණෙනි, සංඛතය (හේතු ප්‍රත්‍යයන් විසින් නිපදවන ලද දේ) පිළියෙල කරන හෙයින් සංස්කාරයෝයයි කියනු ලැබෙත්.

§ 8. “මහණෙනි, කුමක් විඥානයයි කියව්ද? මහණෙනි, විශේෂයෙන් දැනගනියි. එහෙයින් විඥානයයි කියනු ලැබේ. කුමක් දැනගනීද? ඇඹුල් රසද, විශේෂයෙන් දනී. තිත්ත රසද විශේෂයෙන් දනී කුළුරසද විශේෂයෙන් දනී. මිහිරි රසද විශේෂයෙන් දනී. කර රසද විශේෂයෙන් දනී. මිශ්‍ර රසද විශේෂයෙන් දනී. ලුණු රසද විශේෂයෙන් දනී දිය රසද විශේෂයෙන් දනී. මහණෙනි, මෙසේ වනාහි අරමුණ විශේෂයෙන් දැනගන්නා හෙයින් විඥානයයි කියනු ලැබේ.

§ 9. “මහණෙනි! එහිදී ඇසූ පිරූ තැන් ඇති ආර්යශ්‍රාවක තෙමේ මෙසේ සලකයි. ‘මම වනාහි දැන් රූපය නිසා පෙළෙමි. දැන් මම වනාහි පවත්නා රූපය නිසා යම් සේ පීඩාවට පැමිණෙම්ද, එපරිද්දෙන්ම මම අතීත කාලයෙහිද, රූපය නිසා පීඩාවට පැමිණියෙමි. මම වනාහි අනාගත රූපය කෙරෙහිද, කැමති වන්නෙම් නම් දැන් වර්තමාන රූපය නිසා යම්සේ පීඩාවට පැමිණෙම්ද, එපරිද්දෙන්ම මම අනාගත රූපය නිසාද පීඩාවට පැමිණෙන්නෙමියි’ කියායි, හෙතෙමේ මෙසේ සලකා අතීත රූපය කෙරෙහි බලාපොරොත්තු රහිත වෙයි. අනාගත රූපය (ගැන) නොකැමැති වෙයි. පවත්නා රූපයෙහි කළකිරීම පිණිසද, නොඇලීම පිණිසද, නැති කිරීම පිණිසද පිළිපන්නේ වෙයි.

§ 10. “මම වනාහි දැන් වේදනාවෙන් පීඩා විඳිමි. යම්සේ දැන් පවත්නා වේදනාවෙන් පෙළෙම්ද, අතීතයෙහිද මම මෙපරිදිම වේදනාවෙන් පෙළුනෙමි. මම වනාහි අනාගත වේදනාව කැමති වන්නෙම් නම් යම් සේ දැන් පවත්නා වේදනාවෙන් පෙළෙම්ද, එපරිදි මම අනාගත කාලීන වේදනාවෙන් පීඩා විඳින්නෙමියි’ කියා හෙතෙමේ මෙසේ සලකා අතීත වේදනාව කෙරෙහි බලාපොරොත්තු රහිත වෙයි. අනාගත වේදනාව (ගැන) නොකැමැති වෙයි. පවත්නා වේදනාව කෙරෙහි කළකිරීමටද, නොඇලීමටද, නැතිකිරීමටද පිළිපන්නේ වෙයි.

§ 11. “මම වනාහි දැන් සංඥාවෙන් පීඩා විඳිමි. යම්සේ දැන් පවත්නා සංඥාවෙන් පෙළෙම්ද, අතීතයෙහිද මම මෙපරිදිම සංඥාවෙන් පෙළුනෙමි. මම වනාහි අනාගත සංඥාව කැමති වන්නෙම් නම් යම් සේ දැන් පවත්නා සංඥාවෙන් පෙළෙම්ද, එපරිදි මම අනාගත කාලීන සංඥාවෙන් පීඩා විඳින්නෙමියි’ කියා හෙතෙම මෙසේ සලකා අතීත සංඥාව කෙරෙහි බලාපොරොත්තු රහිත වෙයි. අනාගත සංඥාව (ගැන) නොකැමැති වෙයි. පවත්නා සංඥාව කෙරෙහි කළකිරීමටද, නොඇලීමටද, නැති කිරීමටද පිළිපන්නේ වෙයි.

§ 12. “මම වනාහි දැන් සංස්කාරයන් නිසා පීඩා විඳිමි. දැන් (මම) සංස්කාරයන් නිසා යම් සේ පෙළෙම්ද එපරිද්දෙන්ම මම අතීත සංස්කාරයන් නිසා පෙළුනෙමි. මම වනාහි අනාගත සංස්කාරයන් කෙරෙහි සතුටු වන්නෙම් නම්, යම්සේ දැන් පවත්නා සංස්කාරයන් නිසා පීඩා විඳිම්ද, එපරිද්දෙන්ම මම අනාගත සංස්කාරයන් නිසා පීඩා විඳින්නෙමියි’ කියා හෙතෙම මෙසේ සලකා අතීත සංස්කාරයන් කෙරෙහි බලාපොරොත්තු රහිත වෙයි. අනාගත සංස්කාරයන් කෙරෙහිද සතුටු නොවෙයි. පවත්නා සංස්කාරයන්හි කළකිරිම පිණිසද, නොඇලීම පිණිසද, නැතිකිරීම පිණිසද, පිළිපන්නේ වෙයි.

§ 13. ‘මම වනාහි දැන් විඥානය නිසා පෙළෙමි. දැන් වනාහි පවත්නා විඥානය නිසා යම් සේ පෙළෙම්ද, එසේම මම අතීත විඥානය නිසාද පීඩාවට පැමිණියෙමි. මම අනාගත විඥානය ගැන සතුටුවන්නෙම් නම් දැන් පවත්නා විඥානය නිසා යම් සේ පෙළෙම්ද එපරිද්දෙන්ම මම අනාගත විඥානය නිසාද පීඩාවට පැමිණෙන්නෙමි’ කියායි.

‘හෙතෙම මෙසේ සලකා අතීත විඥානය කෙරෙහි බලාපොරොත්තු රහිත වෙයි. අනාගත විඥානයෙහි නො කැමැති වෙයි. පවත්නා විඥානයෙහි කළකිරීම පිණිසද නොඇලීම පිණිසද, නැතිකිරීම පිණිසද පිළිපන්නේ වෙයි.

§ 14. “මහණෙනි, නුඹලා කුමකැයි සිතන්නහුද,
රූපය නිත්‍යය හෝ වෙයිද? අනිත්‍ය හෝ වෙයිද?”
“ස්වාමීනි අනිත්‍යයි.”
“යමක් අනිත්‍යයනම් එය දුක් හෝ වෙයිද, සැප හෝ වෙයිද?”
“ස්වාමීනි දුකය,”
“යමක් අනිත්‍යයද, දුක් ද පෙරලෙනසුලුද, ‘මෙය මාගේය. මෙය මම වෙමි. මෙය මාගේ ආත්මයයි’ දැකීමට සුදුසුවේද?”
“ස්වාමීනි, එය නොවේමය.”

“මහණෙනි, නුඹලා කුමකැයි සිතන්නහුද?
වේදනාව නිත්‍යය හෝ වෙයිද, අනිත්‍ය හෝ වෙයිද?
සංඥාව නිත්‍යය හෝ වෙයිද, අනිත්‍ය හෝ වෙයිද?”
සංස්කාරයෝ නිත්‍යය හෝ වෙයිද, අනිත්‍ය හෝ වෙයිද?”
විඥානය නිත්‍යය හෝ වෙයිද, අනිත්‍යය හෝ වෙයිද?”
“ස්වාමීනි අනිත්‍යයි.”
“යමක් අනිත්‍යයනම් එය දුක් හෝ වෙයිද, සැප හෝ වෙයිද?”
“ස්වාමීනි දුකය,”
“යමක් අනිත්‍යයද, දුක් ද පෙරලෙනසුලුද, ‘මෙය මාගේය. මෙය මම වෙමි. මෙය මාගේ ආත්මයයි’ දැකීමට සුදුසුවේද?”
“ස්වාමීනි, එය නොවේමය.”

§ 15 “මහණෙනි, එහෙයින් මේ ශාසනයෙහි (භික්ෂුව විසින්) අධ්‍යාත්මිකවූ හෝ බාහිරවූ හෝ ගොරෝසුවූ හෝ සියුම් වූ හෝ හීනවූ හෝ උතුම්වූ හෝ දුරවූ හෝ සමීපවූ හෝ අතීතවූද, අනාගතවූද, දැන් පවත්නාවූද, යම්කිසි රූපයක් වේද,…….
වේදනා වෙත්ද, ……
සංඥාවෝ වෙත්ද…….,
සංස්කාරයෝ වෙත්ද…..
විඥානයක් වෙත්ද….., ඒ සියලු රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥානයෝ ‘ මාගේ නොවේය. මම නොවෙමි. මාගේ ආත්මය නොවෙයි’ කියා මෙසේ මෙය තත්වූ පරිද්දෙන් මනා නුවණින් දත යුතුයි.

§ 16. “මහණෙනි, මේ ආර්යශ්‍රාවකයා (සසර පැවැත්ම) විනාශ කරන්නේයයි කියනු ලැබේ. රැස් නොකරන්නේය, දුරුකරන්නේය. අල්වා නොගන්නේය, විසුරුවා හරින්නේය, එකතු නොකරන්නේය, නිවන්නේය, නොදල්වන්නේයයි කියනු ලැබේ.

“කුමක් විනාශ කරයිද, රැස් නොකරයිද?
රූපය විනාශ කරයි. රැස් නොකරයි.
වේදනාව විනාශ කරයි, රැස්නොකරයි.
සංඥාව විනාශ කරයි, රැස් නොකරයි.
සංස්කාරයන් විනාශකරයි, රැස් නොකරයි.
විඥානය විනාශ කරයි, රැස්නොකරයි.

කුමක් දුරුකරයිද,
අල්වානොගනීද?
එකතු නොකරයිද?
විසුරුවා හරියිද?
නිවයි ද? නොදල්වයිද?
….. .රූපය , වේදනාව. සංඥාව, සංස්කාරයන්. විඥානය දුරුකරයි, අල්වානොගනී. එකතු නොකරයි. විසුරුවා හරියි. නිවයි. නොදල්වයි.

§ 17. “මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රැතවත් ආර්යශ්‍රාවකයා රූපයෙහිද කලකිරෙයි. වේදනාවෙහිද කලකිරෙයි. සංඥාවෙහිද කලකිරෙයි. සංස්කාරයන් කෙරෙහිද කලකිරෙයි. විඥානය කෙරෙහිද කලකිරෙයි. කලකිරුනේ නොඇලෙයි. නොඇලීමෙන් (කෙළෙසුන් කෙරෙන්) මිදෙයි. මිදුනු කල්හි මිදුනෙමියි යන නුවණ පහළවෙයි. ජාතිය ක්ෂයවිය. බ්‍රහ්මචර්යාවෙහි වැස නිමවන ලද්දේය. කටයුතුකොට නිමවන ලද්දේය. මේ ආත්මභාවයෙහි කෙලෙසුන් දුරුකරනු පිණිස කළයුතු අනිකක් නැත්තේයයි” දනියි.

§18. “මහණෙනි, මේ භික්ෂුතෙමේ රැස් කරන්නේ නොවේ. විනාශ කරන්නේද නොවේයයි කියනු ලැබේ. විනාශ කොට සිටියේ වෙයි. දුරුකරන්නේද නොවෙයි. අල්වා ගන්නේද නොවෙයි. දුරුකොට සිටියේ වෙයි. විසුරුවන්නේද නොවෙයි. එකතු කරන්නේද නොවෙයි. විසුරුවා සිටියේ වෙයි. නිවන්නේද නොවෙයි. දල්වන්නේද නොවෙයි. නිවා සිටියේ වෙයි යනුයි.

“කුමක් රැස් නොකරන්නේද, කුමක් විනාශ නොකරන්නේද, කුමක් විනාශකොට සිටියේද? රූපය “වේදනාව “සංඥාව“සංස්කාරයන් “විඥානය රැස් නොකරයි. විනාශ කරයි.

§ 19. “මහණෙනි, මෙසේ කෙළෙසුන් කෙරෙන් මිදුනු සිත් ඇති භික්ෂුව ශක්‍රයා සහිතවූ බ්‍රහ්මයා සහිතවූ ප්‍රජාපතී සහිතවූ දෙවියෝ පවා දුරදීම නමස්කාර කරත්.
කෙසේ කියමින්ද යත්.
“නුඹවහන්සේ යමක් (යම් ආර්යවංස ප්‍රතිපදාවක්) සඳහා සිතන්නෙහිද, යමකට කැමති වන්නෙහිද, එය අපි නොදනිමු. පුරුෂ ශ්‍රේෂ්ඨයන් වහන්ස, ඔබට නමස්කාර වේවා. පුරුෂොත්තමයන් වහන්ස, ඔබට නමස්කාරවේවා” කියායි.

හත්වෙනි ඛජ්ජන සූත්‍රය නිමි.

SN 03-01-08-08. පිණ්ඩොල සූත්‍රය

පුජ්‍ය නිකපිටියේ ඉන්දසාර හිමි කල සුත්‍ර විවරණ

§ 1. මා විසින් මෙසේ අසන ලදී.
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයෙහි කිඹුල්වත්පුර සමීපයෙහිවූ න්‍යග්‍රොධාරාමයෙහි වැඩ වාසය කරති.

§2. එකල්හි භාග්‍යවතුන් වහන්සේ කිසියම් කරුණක් සඳහා භික්ෂු සංඝයා බැහැර කරවා පෙරවරු කාලයෙහි හැඳ පොරවා පාත්‍ර සිවුරු ගෙන කිඹුල්වත් නුවරට පිඬු පිණිස පිවිසියේය. කපිලවස්තු නගරයෙහි පිඬු පිණිස හැසිර බතින් පසු පිණ්ඩපාතයෙන් වැලකුණේ මහාවනය යම්තැනෙක්හිද දහවල් වාසය සඳහා එහි වැඩියේය.

§ 3. මහවනයට වැඩ (එක්තරා) බෙලිගසක් මුල දහවල් කල්ගත කිරීම පිණිස වැඩ හුන්නේය. හුදකලාව විවේකිව වැඩහුන්නාවූ භාග්‍යවතුන් වහන්සේට සිත පිළිබඳ මෙබඳු අදහසක් පහළවූයේය. ‘මා විසින් භික්ෂු සංඝයා බැහැර කරන ලදී. මේ ශාසනයට අලුත පැමිණියාවූ පැවිදිව නොබෝ කල් ඇති නවක භික්ෂුහු මේ භික්ෂු සංඝයා අතර ඇත්තාහ. මා නොදක්නාවූ ඔවුන්ගේ සිත් පෙරළීමක් වන්නේය. මැලවීමක් වන්නේය. මව නොදක්නාවූ තරුණ වසු පැටවෙකුගේ සිත යම්සේ පෙරළීමක් වන්නේද, මැලවීමක් වන්නේද, එපරිද්දෙන්ම මේ ශාසනයට අලුත පැමිණියාවූ පැවිදිව නොබෝ කල් ගියාවූ නවක භික්ෂූහු මේ භික්ෂූන් අතර ඇත්තාහ.

§ 4. “මා නොදක්නාවූ ඒ භික්ෂූන්ගේ සිත් පෙරළීමක් වන්නේය. මැලවීමක් වන්නේය. ජලය නොලබන්නාවූ තරුණ බීජයන් (ලපටි පැලෑටි) ගේ යම්සේ පෙරළීමක් වන්නේද, මැලවීමක් වන්නේද, එපරිද්දෙන්ම මේ ශාසනයට අලුත පැමිණියාවූ නවක භික්ෂූහු මේ භික්ෂු සංඝයා අතර ඇත්තාහ. මා නොදක්නාවූ ඔවුන්ගේ සිත් පෙරළීමක් වන්නේය. මැලවීමක් වන්නේය. මා විසින් පෙර යම්සේ භික්ෂු සංඝයාට අවවාද කරන ලද්දේද, මම වනාහි දැනුදු එපරිද්දෙන්ම භික්ෂු සංඝයාට අවවාද කරන්නෙම් නම් ඉතා මැනවි’ කියායි.

§ 5. එකල්හි සහම්පතී බ්‍රහ්මතෙමේ භාග්‍යවතුන් වහන්සේගේ සිත තම සිතින් දැන ශක්තිමත් පුරුෂයෙක් හකුලන ලද අත දිගු කරන්නේ හෝ දිගු කරන ලද අත හකුලන්නේ හෝ යම්සේ නම්, එලෙසම බඹලෙව්හි අතුරුදන්වූයේ භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියෙහි පහළවූයේය.

§ 6. අනතුරුව සහම්පතී බ්‍රහ්මතෙමේ උතුරු සළුව එකාංශකොට පොරවා භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙක්හි නම් එහි පැමිණ, භාග්‍යවතුන් වහන්සේට ඇඳිලිබැඳ නමස්කාරකොට, භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය සැලකෙළේය. “භාග්‍යවතුන් වහන්ස, එය එසේමය. සුගතයන් වහන්ස, එය එසේමය.

§ 7. “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් භික්ෂු සංඝ තෙමේ පහකරන ලද්දේය. මේ ශාසනයට අලුත පැමිණියාවූ පැවිදිව නොබෝකල් ඇත්තාවූ නවක භික්ෂූහු ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ නොදක්නාවූ ඔවුන්ගේ සිත් පෙරළීමක් වන්නේය. මැලවීමක් වන්නේය. මව නොදක්නාවූ කිරිබොන වසුපැටවකුගේ සිත යම්සේ පෙරළෙන්නේද, යම්සේ මැලවෙන්නේද, එපරිද්දෙන්ම මේ ශාසනයට අලුත පැමිණියාවූ පැවිදිව නොබෝකල් ඇත්තාවූ නවක භික්ෂූහු මේ භික්ෂූන් අතර ඇත්තාහ.

§ 8. “භාග්‍යවතුන් වහන්සේ නොදක්නාවූ ඒ භික්ෂූන්ගේ සිත් පෙරළීමක් වන්නේය. මැලවීමක් වන්නේය. ජලය නොලබන්නාවූ ලපටි බීජයෝ යම්සේ වෙනස් වන්නේද, යම්සේ මැලවෙන්නේද, එපරිද්දෙන්ම මේ සස්නට අලුත පැමිණියාවූ පැවිදිව නොබෝකල් ඇත්තාවූ නවක භික්ෂූහු මෙහි ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ දැකීමට නොලබන්නාවූ ඔවුන්ගේ සිත් පෙරළෙන්නේය. මැලවෙන්නේය.

§ 9. “ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයා (කෙරෙහි) සතුටුවන සේක්වා. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයාට අවවාද කරන සේක්වා. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් පෙර භික්ෂු සංඝයාට යම්සේ අවවාද කරන ලද්දේද, දැනුදු වනාහි එපරිද්දෙන්ම භික්ෂු සංඝයාට අවවාද කරන සේක්වා”කියායි. භාග්‍යවතුන් වහන්සේ (බඹහුගේ අයදුම) තුෂ්ණීම් භාවයෙන් ඉවසා වදාළේය. එවිට සහම්පතී බ්‍රහ්මතෙමේ භාග්‍යවතුන් වහන්සේගේ ඉවසීම දැන, භාග්‍යවතුන් වහන්සේට වැඳ, ගෞරව දක්වා එහිම අතුරුදහන් වූයේය.

§ 10. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සවස් කාලයෙහි ඵල සමවතින් නැගී සිටියේ න්‍යග්‍රොධාරාමය යම්තැනෙක්හිද එහි වැඩියේය. වැඩ පනවන ලද අසුනෙහි වැඩ හුන්නේය. භාග්‍යවතුන් වහන්සේ වනාහි එහි වැඩහිඳ ඒ භික්ෂූහු බියපත් ස්වභාවයෙන් භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැන්හි තනි තනිව හෝ දෙදෙනා බැගින් හෝ පැමිණෙන්නාහුද, එබඳුවූ ඍද්ධියක් කෙළේය. ඒ භික්ෂූහු පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක්පසෙක හුන්නාහුය. එක්පසෙක හුන්නාවූ ඒ භික්ෂූන්ට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළේය.

“මහණෙනි ජීවිකාවන් අතරෙන් යම් මේ පිඬු සිඟා ජීවත්වීමක් වේද, මෙය ඉතා හීනය. මහණෙනි, පාත්‍රයක් අතින් ගෙන පිඬු සිඟා ඇවිදීමක් වේද, මෙය ලෙව්හි නින්දා කටයුත්තෙක. මහණෙනි, අර්ථය කැමති වන්නාවූ කුලපුත්‍රයෝ අර්ථ පිණිස එයද කරති, (භික්ෂූහු) රජ අණ නොතකා සිර ගෙයින් පැන ගොස් පැවිදිවූවෝ නොවෙති. සොරුන්ගෙන් වන මරණයෙන් මිදී පැවිදිවූවෝ නොවෙති. ණය නිසා පැවිදි වූවෝ නොවෙති. රජ සොර ආදී බිය නිසා පැවිදිවූවෝ නොවෙති. අඹුදරුවන් පෝෂණය කිරීමෙහි නොසමත්ව පැවිදිවූවෝ නොවෙති. එතකුදුවුවත් ජාතිය (ඉපදීම) ජරා මරණයෙන් සෝකයන්ගෙන් ළෙහි අත් ගසා හැඬීම් වැළපීම්වලින් දුක්වලින් දොම්නස්වලින් දැඩි ආයාසවලින් යුක්තය. මේ සියලු දුක් සමූහයාගේ කෙළවර කිරීමක් දක්නහු නම් ඉතා මැනවයි කියායි.

§ “මහණෙනි, මේ කුලපුත්‍රතෙමේ මෙසේ පැවිදිවූයේ වෙයි. හෙතෙමේ ලෝභය බහුලකොට ඇත්තේවේද, කාමයන්හි තියුණු රාගය ඇත්තේවේද, කිපුණු සිත් ඇත්තේවේද, ද්වේෂයෙන් දූෂිත සිත් ඇත්තේ වේද, මුළාවූ සිහි ඇත්තේ වේද, යහපත් නුවණ නැත්තේ වේද, විසිරගිය සිත් ඇත්තේ වේද, අසංවරවූ සිත් ඇත්තේ වේද?

§ “මහණෙනි, දෙකොණ ගිනි ගත් මැද අසූචි තැවරුණ සොහොන් පෙනෙල්ල යම්සේ ගමෙහි දර පිණිස ප්‍රයෝජන නොවෙයිද, වනයෙහි දර පිණිස ප්‍රයෝජන නොවෙයිද, මහණෙනි, ගිහි සැපයෙන්ද, පිරිහුණාවූ ශ්‍රමණ අර්ථය ද සම්පූර්ණ නොකරන්නාවූ මේ පුද්ගලයාට ඊට බඳු උපමා ඇත්තේයයි මම කියමි.
“මහණෙනි, කාම කල්පනාය, ව්‍යාපාද කල්පනාය, විහිංසා කල්පනායයි මේ අකුසල් විතර්කයෝ තුනකි.

§ “මහණෙනි, මේ අකුසල විතර්කයෝ වනාහි කොතැන්හි ඉතිරි නොවී නිරුද්ධ වෙත්ද, සතර සතිපට්ඨානයෙහි මනාකොට පිහිටි සිතින් යුක්තව වාසය කරන්නහුට හෝ විදර්ශනා සමාධිය වඩන්නාහුට හෝ වෙත්.

§ මහණෙනි, යම් මේ විදර්ශනා සමාධියක් වේද එය වැඩීමට සුදුසුමය. මහණෙනි, වඩනා ලද්දාවූ බහුලකොට කරන ලද්දාවූ විදර්ශනා සමාධිය මහත්ඵල ඇත්තේ වෙයි. මහානිසංස ඇත්තේ වෙයි.

§ “මහණෙනි, භවදිට්ඨිය, විභව දිට්ඨියයි මේ දෘෂ්ටි දෙකකි.

මහණෙනි, එහි ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා මෙසේ සලකයි. යමක් මම දැඩි වශයෙන් ගනු ලබන්නේ නිදොස් වන්නෙම්ද, ලොව එබඳු කිසිවක් ඇත්තේ දෝ හෝයි කියායි. හෙතෙමේ මෙසේ දනියි. ‘යමක් මම දැඩි වශයෙන් ගනු ලබන්නේ නිදොස් වන්නෙම්ද, ලොව එබඳු කිසිවක් නැත්තේය.’ කියායි. හෙතෙම මෙසේ දනියි. ‘මම දැඩි වශයෙන් ගන්නෙම් නම් රූපයම දැඩිකොට ගන්නෙමි. දැඩිවශයෙන් ගන්නෙම් නම් වේදනාව දැඩිකොට ගන්නෙමි. දැඩිවශයෙන් ගන්නෙම් නම් සංඥාව දැඩිකොට ගන්නෙමි. දැඩිවශයෙන් ගන්නෙම් නම් සංස්කාර දැඩිකොට ගන්නෙමි. දැඩිවශයෙන් ගන්නෙම් නම් විඥානයන්ම දැඩිකොට ගන්නෙමි.’ ඒ මාගේ දැඩිකොට ගැනීම හේතුකොට ගෙන (කර්ම) භවය ඇතිවේ. භවය හේතුකොට ගෙන ජාතිය වෙයි. ජාතිය හේතුකොට ගෙන භවප්‍රත්‍යයෙන් උත්පත්තිය වෙයි. ජරාමරණ, ශෝක, පරිදේව, දුක් දොම්නස්, දැඩි ආයාසයෝ හටගන්නාහුය. මෙසේ සැපයෙන් අමිශ්‍ර දුක් සමූහයාගේ හටගැනීම වන්නේය.

“මහණෙනි, කුමකැයි සිතන්නහුද? රූපය නිත්‍ය හෝ වෙයිද? අනිත්‍ය හෝ වෙයිද?”
“ස්වාමීනි, අනිත්‍යය.”
යමක් අනිත්‍ය නම් එය දුක් වෙයිද, සැප වෙයිද?”
“ස්වාමීනි, දුකය.”
“යමක් අනිත්‍ය නම් දුක නම් වෙනස්වන ස්වභාව නම් ‘එය මාගේය. එය මම වෙමි. එය මාගේ ආත්මයයි’ කියා දැකීමට සුදුසුවේද?”
“ස්වාමීනි, සුදුසු නොවේ.”

මහණෙනි, කුමකැයි සිතන්නහුද?
වේදනාව, සග්නාව, සංස්කාර, විඥාන යන කිසිවක් නිත්‍ය හෝ වෙයිද? අනිත්‍ය හෝ වෙයිද?”
“ස්වාමීනි, අනිත්‍යය.”
යමක් අනිත්‍ය නම් එය දුක් වෙයිද, සැප වෙයිද?”
“ස්වාමීනි, දුකය.”
“යමක් අනිත්‍ය නම් දුක නම් වෙනස්වන ස්වභාව නම් ‘එය මාගේය. එය මම වෙමි. එය මාගේ ආත්මයයි’ කියා දැකීමට සුදුසුවේද?”
“ස්වාමීනි, සුදුසු නොවේ.”

“අතීතවූද, අනාගතවූද, වර්තමානවූද, අධ්‍යාත්මිකවූද, බාහිරවූද, ගොරෝසුවූද, සියුම්වූද, හීනවූද, උතුම්වූද, දුරවූද, සමීපවූද, යම්කිසි විඥානයක් වේද, ඒ සියලු රූප, වේදනා, සංඥා, සංස්කාරයෝ, විඥානයෝ ‘ මාගේ නොවේ, මම නොවෙමි. මාගේ ආත්මය නොවේය’යි කියා මෙසේ මෙය තත්වූ පරිද්දෙන් යහපත් ප්‍රඥාවෙන් දත යුතුයි.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රැතවත් ආර්යශ්‍රාවකයා රූපය කෙරෙහි කලකිරෙයි. වේදනාව කෙරෙහිද කලකිරෙයි. සංඥාව කෙරෙහිද කලකිරෙයි. සංස්කාරයන් කෙරෙහිද කලකිරෙයි. විඥානය කෙරෙහිද කලකිරෙයි. කලකිරුණේ නො ඇලෙයි. නො ඇලීමෙන් මිදෙයි. මිදුනු කල්හි මිදුනේය යන ඥානය පහළවෙයි. ජාතිය ක්ෂයවිය. බ්‍රහ්මචර්යාව වැස නිමවන ලද්දේය. කටයුත්ත කොට නිමවන ලද්දේය මේ ආත්ම භාවය සඳහා කළයුතු අනිකක් නැතැයි” කියා වදාළේය.

(අටවෙනි පිණ්ඩොල සූත්‍රය නිමි.)

SN 03-01-08-09. පාරිලෙය්‍යක සූත්‍රය

§ 1. මා විසින් මෙසේ අසන ලදී.
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කොසඹෑ නුවර ඝොෂිතාරාමයෙහි වැඩ වාසය කරණ සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පෙරවරු සමයෙහි හැඳ පොරවා පාත්‍ර සිවුරුගෙන කොසඹෑ නුවරට පිඬු පිණිස වැඩිසේක. කොසඹෑ නුවර පිඬු පිණිස හැසිර පසුබත් වේලෙහි පිණ්ඩපාතයෙන් පසු තමන් වහන්සේම සෙනාසනය හකුළා තබා පාත්‍ර සිවුරුගෙන උපස්ථායකයන්ට කථා නොකොට භික්ෂු සංඝයාට නොදන්වා තනිව දෙවැන්නෙක් නැතිව චාරිකාවෙහි වැඩියහ.

§ 2. ඉක්බිති එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේ වැඩි නොබෝ වේලාවකින් ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වෙත ගොස් මෙසේ කීවේය.
“ඇවැත්, ආනන්ද ස්ථවිරයන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේම සෙනාසනය හකුලා පාත්‍ර සිවුරු ගෙන උපස්ථායකයන්ට කථා නොකොට භික්ෂු සංඝයාට නොදන්වා තනිව දෙවැන්නෙක් නැතිව චාරිකාවෙහි වැඩියහ.”

§ “ඇවැත්නි, යම් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේම සෙනාසනය හකුලා පාත්‍ර සිවුරු ගෙන උපස්ථායකයන්ට කථා නොකොට භික්ෂු සංඝයාට නොදන්වා තනිව දෙවැන්නෙක් නැතිව චාරිකාවෙහි වඩිත්ද, එකල්හි භාග්‍යවතුන් වහන්සේ තනිව වාසයකිරීමට කැමති වෙති. එකල්හි කිසිවෙකු විසිනුත් භාග්‍යවතුන් වහන්සේ පසුපසින් යායුත්තේ නොවේය.”

§ ඉක්බිති, භාග්‍යවතුන් වහන්සේ පිළිවෙලින් චාරිකාවෙහි හැසිරෙන්නේ, පාරිලෙය්‍යක වනය යම් තැනකද, එතැනට පැමිණිසේක. එකල්හි වනාහි, භාග්‍යවතුන් වහන්සේ “භද්දසාල” නම් වූ සල්ගසමුල පාරිලෙය්‍යක වනයෙහි වාසය කරණ සේක.

§ එකල්හි, බොහෝ භික්ෂූහු ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් යම් තැනකද, එතැනට පැමිණියහ. පැමිණ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් සමග සතුටු වූහ. සතුටුවිය යුතු වූද, සිහි කටයුතු වූද, කථා අවසන් කොට එකත්පසක හුන්නාහුය. එකත්පසක හුන්නාවූ භික්ෂූහු ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේට මෙසේ කීහ.

§ “ඇවැත් ආනන්දයෙනි, භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙන් බොහෝ කාලයකින් ධර්ම කථාවක් නො අසන ලදී. ඇවැත් ආනන්දයෙනි. භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙන් ධර්ම කථාවක් අසනු කැමැත්තෙමු” යනුයි.

§ ඉක්බිති, ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ ඒ භික්ෂුන් සමග පාරිලෙය්‍යක වනයෙහි භද්දසාල නම්වූ සල්ගස් මුල යම් තැනකද, භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එක්පසක හුන්නේය. එක්පසක හුන්නාවූ ඒ භික්ෂූන්හට භාග්‍යවතුන් වහන්සේ ධර්ම කථාවකින් (කරුණු) දැක්වූහ. එහි සමාදන් කරවූහ. සිත් තියුණු කරවූහ. පැහැද වූහ.

§ එසමයෙහි වනාහි එක්තරා භික්ෂුවක්හට මෙවැනි අදහසක් ඇතිවිය. ‘කෙසේ දන්නාවූ කෙසේ දක්නාවූ පුද්ගලයාට අනතුරුව ආශ්‍රවයන්ගේ ක්ෂයවීම වේදැයි’ යනුයි. ඉක්බිති, භාග්‍යවතුන් වහන්සේ, තමන් වහන්සේගේ සිතින් ඒ භික්ෂුවගේ සිත දැන, භික්ෂූන්ට කථාකළ සේක.

“මහණෙනි, මා විසින් ධර්මය පරීක්ෂාකොට දේශනා කරණ ලදී. සතර සති පට්ඨානයෝ පරීක්ෂාකොට දේශනා කරණ ලදහ. සතර සම්‍යක් ප්‍රධානයෝ පරීක්ෂාකොට දේශනා කරණ ලදහ. සතර ඍද්ධිපාදයෝ පරීක්ෂාකොට දේශනා කරණ ලදහ. පඤ්ච ඉන්ද්‍රියයෝ පරීක්ෂාකොට දේශනා කරණ ලදහ. පංච බලයෝ පරීක්ෂාකොට දේශනා කරණ ලදහ. සත් බොධ්‍යාඩ්ග ධර්මයෝ පරීක්ෂාකොට දේශනා කරණ ලදහ. ආර්ය අෂ්ටාංගික මාර්ගය පරීක්ෂාකොට දේශනා කරණ ලදී.

“මහණෙනි, මෙසේ මා විසින් ධර්මය පරීක්ෂාකොට දේශනා කරණ ලදී.”
“මහණෙනි, මෙසේ මා විසින් ධර්මය පරීක්ෂාකොට දේශනාකොට ඇති කල්හි මේ ශාසනයෙහි එක් භික්ෂුවක්හට “මෙවැනි අදහසක් ඇතිවිය. කෙසේ දන්නාවූ කෙසේ දක්නාවූ පුද්ගලයාහට අනතුරුව ආශ්‍රවයන්ගේ (කෙලෙසුන්ගේ) ක්ෂයවීම වේද යනුයි.

“මහණෙනි, කෙසේ දන්නාවූ කෙසේ දක්නාවූ පුද්ගලයාහට අනතුරුව ආශ්‍රවයන්ගේ ක්ෂයවීම වේද?

මහණෙනි මේ ශාසනයෙහි බොහෝ ඇසූ පිරූ තැන් නැති ආර්යයන් නොදක්නාවූ ආර්ය ධර්මයෙහි දක්ෂ නොවූ ආර්ය ධර්මයෙහි නොහික්මුනාවූ සත්පුරුෂයන් නොදක්නාවූ සත්පුරුෂ ධර්මයෙහි දක්ෂ නොවූ සත්පුරුෂ ධර්මයෙහි නොහික්මුනාවූ පෘථග්ජන තෙමේ රූපය ආත්මය වශයෙන් දකියි.

“මහණෙනි, ඒ දැකීම සංස්කාර නම් වේ. ඒ සංස්කාරය කුමක් නිදානකොට කුමක් උත්පත්තිකොට කුමක් ජාතිකොට කුමක් ප්‍රභවකොට ඇත්තේද? මහණෙනි, අවිද්‍යා ස්පර්ශයෙන් හටගත් වේදනාවෙන් ස්පර්ශ කරන ලද බොහෝ ඇසූ පිරූ තැන් නැති පෘථග්ජනයාහට උපන් තෘෂ්ණාවක් වෙයිද, ඒ සංස්කාරතෙමේ එයින් හටගත්තේය.

“මහණෙනි, මෙසේ ඒ සංස්කාරද අනිත්‍යය. ප්‍රත්‍යයෙන් කරන ලදී. ප්‍රත්‍යයෙන් හටගත්තේය. ඒ තණ්හාව අනිත්‍යය. ප්‍රත්‍යයෙන් කරනලදී. ප්‍රත්‍යයෙන් හටගත්තේය. ඒ වේදනාව අනිත්‍යය. ප්‍රත්‍යයෙන් කරනලදී. ප්‍රත්‍යයෙන් හටගත්තේය. ඒ ස්පර්ශය අනිත්‍යය. ප්‍රත්‍යයෙන් කරනලදී. ප්‍රත්‍යයෙන් හටගත්තේය. ඒ අවිජ්ජාව අනිත්‍යය. ප්‍රත්‍යයෙන් කරනලදී. ප්‍රත්‍යයෙන් හටගත්තේය. මහණෙනි, මෙසේ දන්නාවූ මෙසේ දක්නාවූ පුද්ගලයාට අනතුරුව ආශ්‍රවයන්ගේ ක්ෂයවීම වන්නේය.

“රූපය ආත්ම වශයෙන් නොගන්නේද, එසේ ද වුවත් තමා රූපවත්යයි දක්නේය. මහණෙනි, ඒ දැකීම සංස්කාර නම් වේ. ඒ සංස්කාර කුමක් නිදානකොට, කුමක් උත්පත්තිකොට, කුමක් ජාතිකොට, කුමක් ප්‍රභවකොට, ඇත්තේද?

“මහණෙනි, ඒ සංස්කාරය අවිද්‍යා ස්පර්ශයෙන් හටගත් වේදනාවෙන් ස්පර්ශකරන ලද බොහෝ ඇසූ පිරූ තැන් නැති පෘථග්ජනයාහට උපන් තෘෂ්ණාවක්වෙයිද, ඒ සංස්කාරය එයින් හටගත්තේය. මහණෙනි, ඒ සංස්කාරයද අනිත්‍යය. ප්‍රත්‍යයෙන් කරනලදී. ප්‍රත්‍යයෙන් හටගත්තේය. ඒ තණ්හාව අනිත්‍යය. ප්‍රත්‍යයෙන් කරනලදී. ප්‍රත්‍යයෙන් හටගත්තේය. ඒ වේදනාව අනිත්‍යය ප්‍රත්‍යයෙන් කරනලදී. ප්‍රත්‍යයෙන් හටගත්තේය. ඒ ස්පර්ශය අනිත්‍යය. ප්‍රත්‍යයෙන් කරනලදී. ප්‍රත්‍යයෙන් හටගත්තේය. ඒ අවිජ්ජාව අනිත්‍යය. ප්‍රත්‍යයෙන් කරනලදී. ප්‍රත්‍යයෙන් හටගත්තේය.
“මහණෙනි, මෙසේ දන්නාවූ, මෙසේ දක්නාවූ පුද්ගලයාහට අනතුරුව ආශ්‍රවයන්ගේ ක්ෂයවීම වෙයි.

“රූපය තමා වශයෙන් නොදක්නේද, තමා රූපවත්යයි නොදක්නේද, එසේ වුවත් රූපය තමා කෙරෙහි ඇත්තේයයි දකියි.

“මහණෙනි, ඒ දැකීම සංස්කාර නම්වේ. ඒ සංස්කාරය කුමක් නිදානකොට කුමක් උත්පත්තිකොට කුමක් ජාතිකොට කුමක් ප්‍රභවකොට ඇත්තේද? මහණෙනි, අවිද්‍යා ස්පර්ශයෙන් හටගත් වේදනාවෙන් ස්පර්ශ කරණ ලද බොහෝ ඇසූ පිරූ තැන් නැති පෘථග්ජනයාහට උපන් තෘෂ්ණාවක් වෙයිද, එයින් ඒ සංස්කාරය හටගත්තේ වෙයි.

“මහණෙනි, ඒ සංස්කාරයද අනිත්‍යයි. ප්‍රත්‍යයෙන් කරන ලදී. ප්‍රත්‍යයෙන් උපන්නේය. ඒ තෘෂ්ණාවද අනිත්‍යයි. ප්‍රත්‍යයෙන් කරන ලදී. ප්‍රත්‍යයෙන් උපන්නේය. ඒ වේදනාවද අනිත්‍යයි. ප්‍රත්‍යයෙන් කරනලදී. ප්‍රත්‍යයෙන් උපන්නේය. ඒ ස්පර්ශයද අනිත්‍යයි. ප්‍රත්‍යයෙන් කරනලදී. ප්‍රත්‍යයෙන් උපන්නේය. ඒ අවිද්‍යාවද අනිත්‍යයි. ප්‍රත්‍යයෙන් කරන ලදී. ප්‍රත්‍යයෙන් උපන්නේය. මහණෙනි, මෙසේ දන්නාවූ මෙසේ දක්නාවූ පුද්ගලයාහට ආශ්‍රවයන්ගේ ක්ෂයවීම වෙයි.

“රූපය තමා වශයෙන් නොදක්නේද, තමා රූපවත් යයි හෝ නොදක්නේද, රූපය තමා කෙරෙහි ඇතැයි නොදක්නේද, එසේද වුවත් රූපයෙහි තමා ඇතැයි දකියි. ඒ දැකීම සංස්කාර නම් වේ. ඒ සංස්කාර කුමක් නිදානකොට කුමක් උත්පත්තිකොට කුමක් ජාතිකොට කුමක් ප්‍රභවකොට ඇත්තේද?

“මහණෙනි, අවිද්‍යා ස්පර්ශයෙන් හටගත් වේදනාවෙන් ස්පර්ශ කරන ලද බොහෝ ඇසූ පිරූ තැන් නැති පෘථග්ජනයාහට උපන් තෘෂ්ණාවක් වෙයිද, එයින් හටගත්තේය.

“මහණෙනි, ඒ සංස්කාරයද, අනිත්‍යය. ප්‍රත්‍යයෙන් කරනලදී. ප්‍රත්‍යයෙන් උපන්නේය. ඒ තෘෂ්ණාව අනිත්‍යයි. ප්‍රත්‍යයෙන් කරන ලදී. ප්‍රත්‍යයෙන් උපන්නේය. ඒ වේදනාව අනිත්‍යය. ප්‍රත්‍යයෙන් කරන ලදී. ප්‍රත්‍යයෙන් උපන්නේය. ඒ ස්පර්ශය අනිත්‍යය. ප්‍රත්‍යයෙන් කරන ලදී. ප්‍රත්‍යයෙන් උපන්නේය. ඒ අවිද්‍යාව අනිත්‍යයි. ප්‍රත්‍යයෙන් කරන ලදී. ප්‍රත්‍යයෙන් උපන්නේය.

“මහණෙනි, මෙසේ දන්නාවූ, මෙසේ දක්නාවූ පුද්ගලයා හට අනතුරුව ආශ්‍රවයන්ගේ ක්ෂයවීම වෙයි.

“රූපය තමා වශයෙන් නොදක්නේද තමා රූපවත්යයි නොදක්නේද, රූපය තමා කෙරෙහි ඇතැයි හෝ නොදක්නේද, රූපයෙහි තමා ඇතැයි හෝ නොදක්නේද එසේද වුවත් වේදනාව තමා වශයෙන් දකියි. තමා වේදනාවත්යයි දකියි. වේදනාව තමා කෙරෙහි හෝ ඇතැයි දනියි. තමා වේදනායෙහි ඇතැයි දකියි. තමා සංඥාවයයි දකියි. තමා සංඥාවත්යයි කියා හෝ දකියි. සංඥාව කෙරෙහි තමා ඇතැයි කියා හෝ දකියි. තමා කෙරෙහි සංඥාව ඇතැයි කියා හෝ දකියි.

“එසේද වුවත් තමා සංස්කාරයයි දකියි. සංස්කාර තමා කෙරෙහි ඇතැයි හෝ දකියි. තමා සංස්කාර කෙරෙහි ඇතැයි හෝ දකියි. තමා විඤ්ඤාණය වසයෙන් දකියි. තමා විඤ්ඤාණවත්යයි හෝ දකියි. තමා කෙරෙහි විඤ්ඤාණය ඇතැයි හෝ දකියි.

“මහණෙනි, යම් ඒ දැකීමක් වෙයිද ඒ සංස්කාර නම්වේ. ඒ සංස්කාරය තෙමේ කුමක් නිදානකොට කුමක් උත්පත්ති කොට කුමක් ජාතිකොට කුමක් ප්‍රභවකොට ඇත්තේද?

“මහණෙනි, අවිද්‍යා ස්පර්ශයෙන් හටගත් වේදනාවෙන් ස්පර්ශ කරන ලද බොහෝ ඇසූ පිරූ තැන් නැති පෘථග්ජනයාහට උපන් තෘෂ්ණාවක් වෙයිද, එයින් ඒ සංස්කාරය හටගත්තේ වෙයි. මහණෙනි, මෙසේ ඒ සංස්කාරද අනිත්‍යයි. ප්‍රත්‍යයෙන් කරන ලදී. ප්‍රත්‍යයෙන් හටගත්තේය. ඒ තෘෂ්ණාවද අනිත්‍යයි. ප්‍රත්‍යයෙන් කරනලදී. ප්‍රත්‍යයෙන් හටගත්තේය. ඒ වේදනාවද අනිත්‍යයි. ප්‍රත්‍යයෙන් කරනලදී. ප්‍රත්‍යයෙන් හටගත්තේය. ඒ ස්පර්ශයද අනිත්‍යයි. ප්‍රත්‍යයෙන් කරනලදී. ප්‍රත්‍යයෙන් හටගත්තේය. ඒ අවිද්‍යාවද අනිත්‍යයි. ප්‍රත්‍යයන් විසින් කරන ලදහ. ප්‍රත්‍යයන්ගෙන් හටගන්නා ලදහ. මහණෙනි, මෙසේ දන්නාවූ මෙසේ දක්නාවූ පුද්ගලයාහට මාර්ගයට අනතුරුව ආශ්‍රවයන් ක්ෂයකරන්නාවූ අර්හත් ඵලය වෙයි.

“රූපය තමා වශයෙන් නොදකියි. තමා රූපවත්යයි හෝ නොදකියි. රූපය තමා කෙරෙහි ඇතැයි නොදකියි. රූපයෙහි තමා ඇතැයි නොදකියි. වේදනාව තමා වශයෙන් නොදකියි. තමා වේදනාවත්යයි හෝ නොදකියි. වේදනාව තමා කෙරෙහි ඇතැයි හෝ නොදකියි. වේදනාවෙහි තමා ඇතැයි හෝ නොදකියි.

“සංඥාව තමා වශයෙන් නොදකියි. තමා සංඥාවත්යයි හෝ නොදකියි. සංඥාව තමා කෙරෙහි ඇතැයි හෝ නොදකියි. සංඥාවෙහි තමා ඇතැයි හෝ නොදකියි.

“සංස්කාර තමා වශයෙන් නොදකියි. තමා සංස්කාරවත් යයි හෝ නොදකියි. සංස්කාර තමා කෙරෙහිවූ ඇතැයි හෝ නොදකියි. සංස්කාරයෙහි තමා ඇතැයි හෝ නොදකියි.

“විඤ්ඤාණය තමා වශයෙන් නොදකියි. තමා විඤ්ඤාණවත්යයි හෝ නොදකියි. විඤ්ඤාණය තමා කෙරෙහි ඇතැයි හෝ නොදකියි. විඤ්ඤාණයෙහි තමා ඇතැයි හෝ නොදකියි.

“එසේද වුවත් මෙවැනි දෘෂ්ටි ඇත්තේ වෙයි. ‘එය ආත්මයයි. එය ලෝකයයි පරලොව එය වන්නෙමි. නිත්‍යයි. ඒකාන්තයි. සාස්වතයි. නොපෙරලෙන ස්වභාව ඇත්තේය’ කියායි.

“මහණෙනි, යම් ඒ සාස්වත දෘෂ්ටියක් වේද, ඒ සංස්කාර නම් වේ. ඒ සංස්කාරය වනාහි කුමක් හේතුකොට ඇත්තේද, කුමක් හටගැනීම කොට ඇත්තේද, කුමක් ඉපදීම කොට ඇත්තේද, කුමක් ප්‍රභව කොට ඇත්තේද? අවිද්‍යා ස්පර්ශයෙන් හටගත් වේදනාවෙන් ස්පර්ශ කරනලද අශ්‍රැතවත් පෘථග්ජනයාට උපන් තෘෂ්ණාවක් වෙයිද, ඒ සංස්කාරය එයින් හටගත්තේ වෙයි. සංස්කාරය වනාහි අනිත්‍යයි. ප්‍රත්‍යයෙන් කරණ ලදී. ප්‍රත්‍යයෙන් හටගත්තේය. ඒ තෘෂ්ණාවද, අනිත්‍යයි. ප්‍රත්‍යයෙන් කරනලදී. ප්‍රත්‍යයෙන් හටගත්තේය. ඒ වේදනාවද අනිත්‍යයි. ප්‍රත්‍යයෙන් කරනලදී. ප්‍රත්‍යයෙන් හටගත්තේය. ඒ ස්පර්ශයද අනිතයි. ප්‍රත්‍යයෙන් කරනලදී. ප්‍රත්‍යයෙන් හටගත්තේය. ඒ අවිද්‍යාවද අනිත්‍යයයි. ප්‍රත්‍යයෙන් සකස්කරන ලදී. ප්‍රත්‍යයෙන් හටගත්තාහුය. මහණෙනි, මෙසේ දන්නාහට මෙසේ දක්නාහට මාර්ගයට අනතුරුව ආශ්‍රවයන් ක්ෂය කරන අර්හත් ඵලය ඇතිවෙයි.

“රූපය තමා වශයෙන් නොදකියි. තමා රූපවත්යයි නොදකියි. රූපය තමා කෙරෙහි ඇතැයි නොදකියි. තමා රූපයෙහි ඇතැයි නොදකියි.

“වේදනාව තමා වශයෙන් ඇතැයි නොදකියි. තමා වේදනාවත්යයි නොදකියි. වේදනාව තමා කෙරෙහි ඇතැයි නොදකියි. තමා වේදනාවෙහි ඇතැයි නොදකියි.

“සංඥාව තමා වශයෙන් නොදකියි. තමා සංඥාවත්යයි නොදකියි. සංඥාව තමා කෙරෙහි ඇතැයි නොදකියි. තමා සංඥාවෙහි ඇතැයි නොදකියි.
“සංස්කාර තමා වශයෙන් නොදකියි. තමා සංස්කාරවත්යයි නොදකියි. තමා කෙරෙහි සංස්කාර ඇතැයි නොදකියි. තමා සංස්කාරයෙහි ඇතැයි නොදකියි.
“විඤ්ඤාණය තමා වශයෙන් නොදකියි. තමා විඤ්ඤාණවත්යයි නොදකියි. විඤ්ඤාණය තමා කෙරෙහි ඇතැයි නොදකියි. තමා විඤ්ඤාණයෙහි ඇතැයි නොදකියි.
මෙවැනි දෘෂ්ටි ඇත්තේද නොවෙයි. ‘එය ආත්මයය. එය ලෝකයය. එය පරලොව වන්නෙමි. නිත්‍යය, ඒකාන්තය, සාස්වතය. නොපෙරලෙන ස්වභාවය’ කියායි. එසේද වුවත් මෙවැනි දෘෂ්ටි ඇත්තේවෙයි. ‘ඉදින් මම නොවන්නෙම් නම් මාගේ දෙයක්ද නොවන්නේය. ඉදින් මම පරලොව නොවන්නෙම් නම් පරලොවද මාගේ දෙයක් නොවන්නේය’ කියායි.
“මහණෙනි, යම් ඒ උච්ඡේද දෘෂ්ටියක් වේද, ඒ සංස්කාර නම් වේ . ඒ සංස්කාරය කුමක් නිදානකොට, කුමක් උත්පත්තිකොට, කුමක් ප්‍රභවකොට ඇත්තේද?

“මහණෙනි, අවිද්‍යා ස්පර්ශයෙන් හටගත් වේදනාවෙන් ස්පර්ශ කරණ ලද බොහෝ ඇසූ පිරූ තැන් නැති පෘථග්ජනයාහට උපන් තෘෂ්ණාවක් වෙයිද, එයින් ඒ සංස්කාරය හටගත්තේ වෙයි.

“මහණෙනි, මෙසේ ඒ සංස්කාරද අනිත්‍යය. ප්‍රත්‍යයන් විසින් කරණ ලදී. ප්‍රත්‍යයන්ගෙන් හටගත්තේය. ඒ තෘෂ්ණාවද අනිත්‍යය. ප්‍රත්‍යයන් විසින් කරනලදද, ප්‍රත්‍යයන්ගෙන් හටගන්නාහුය. ඒ වේදනාවද අනිත්‍යය, ප්‍රත්‍යයන් විසින් කරනලදද, ප්‍රත්‍යයන්ගෙන් හටගන්නාහුය.

ඒ ස්පර්ශයද අනිත්‍යය. ප්‍රත්‍යයන් විසින් කරනලදද, ප්‍රත්‍යයන්ගෙන් හටගන්නාහුය. ඒ අවිද්‍යාවද අනිත්‍යයහ. ප්‍රත්‍යයන් විසින් කරණ ලදහ. ප්‍රත්‍යයන්ගෙන් හටගත්තාහුය. මහණෙනි, මෙසේ දන්නාහට මෙසේ දක්නාහට මාර්ගයට අනතුරුව ආශ්‍රවයන් ක්ෂය කරන්නාවූ අර්හත්ඵලය වෙයි.

  • “රූපය ආත්ම වශයෙන් නොදකියි. තමා රූපවත්යයි නොදකියි. රූපය තමා කෙරෙහි ඇතැයි හෝ නොදකියි. තමා රූපය කෙරෙහි ඇතැයි හෝ නොදකියි.
  • “වේදනාව ආත්ම වශයෙන් නොදකියි. තමා වේදනාවත්යයි නොදකියි. වේදනාව තමා කෙරෙහි ඇතැයි නොදකියි. තමා වේදනාව කෙරෙහි ඇතැයි හෝ නොදකියි.
  • “සංඥාව ආත්ම වශයෙන් නොදකියි. තමා සංඥාවත්යයි නොදකියි. සංඥාව තමා කෙරෙහි ඇතැයි නොදකියි. තමා සංඥාව කෙරෙහි ඇතැයි හෝ නොදකියි.
  • “සංස්කාර ආත්ම වශයෙන් නොදකියි. තමා සංස්කාරවත්යයි නොදකියි. සංස්කාර තමා කෙරෙහි ඇතැයි නොදකියි. තමා සංස්කාර කෙරෙහි ඇතැයි හෝ නොදකියි.
  • “විඤ්ඤාණය ආත්ම වශයෙන් නොදකියි. තමා විඤ්ඤාණවත්යයි නොදකියි. විඤ්ඤාණය තමා කෙරෙහි ඇතැයි නොදකියි. තමා විඤ්ඤාණය කෙරෙහි ඇතැයි හෝ නොදකියි.

“මෙවැනි දෘෂ්ටි ඇත්තේද නොවෙයි. ‘එය ආත්මයය. එය ලෝකයය. එය පරලොව වන්නේය. නිත්‍යය, ඒකාන්තය. සාස්තවය, නොපෙරලෙන ස්වභාවය’ කියායි. එසේද වුවත් මෙවැනි දෘෂ්ටි ඇත්තේද නොවෙයි.

“ඉදින් මම නොවෙයි නම් මගේ දෙයක්ද නොවේ. ඉදින් මම පරලොව නොවන්නෙමි නම් මගේ දෙයක්ද නොවන්නේය’ කියායි. එසේදවුවත් සද්ධර්මයෙහි සැක ඇත්තේ විචිකිච්ඡා ඇත්තේ නිෂ්ටාවට නොපැමිණියේ වෙයි.

“මහණෙනි, සද්ධර්මයෙහි යම් ඒ සැකයක් විචිකිච්ඡාවක් නිෂ්ටාවට නොපැමිණීමක් වේද, ඒ සංස්කාර නම්වේ. ඒ සංස්කාරය කුමක් නිදානකොට ඇත්තේද, කුමක් උත්පත්ති කොට කුමක් ජාතිකොට කුමක් ප්‍රභවකොට ඇත්තේද?

“මහණෙනි, අවිද්‍යා ස්පර්ශයෙන් හටගත් වේදනාවෙන් ස්පර්ශ කරණ ලද බොහෝ ඇසූ පිරූ තැන් නැති පෘථග්ජනයාහට උපන් තෘෂ්ණාවක් වෙයිද, එයින් ඒ සංස්කාරය හටගත්තේ වෙයි.

“මහණෙනි, ඒ සංස්කාරද අනිත්‍යයය. ප්‍රත්‍යයන් විසින් කරණලදද, ප්‍රත්‍යයන්ගෙන් හටගත්තාහුය. තණ්හාව අනිත්‍යයය. ප්‍රත්‍යයන් විසින් කරණලදද ප්‍රත්‍යයන්ගෙන් හටගන්නාහුය. ඒ වේදනාවද, අනිත්‍යයය. ප්‍රත්‍යයන් විසින් කරණලදද ප්‍රත්‍යයන්ගෙන් හටගන්නාහුය. ඒ ස්පර්ශයද, අනිත්‍යයය. ප්‍රත්‍යයන් විසින් කරණලදද ප්‍රත්‍යයන්ගෙන් හටගත්තාහුය. ඒ අවිද්‍යාවද අනිත්‍යය. ප්‍රත්‍යයන් විසින් කරණලදද, ප්‍රත්‍යයන්ගෙන් හටගත්තාහුය.

“මහණෙනි, මෙසේ දක්නහුට මෙසේ දන්නහුට මාර්ගයට අනතුරුව ආශ්‍රවයන් ක්ෂය කරන්නාවූ අර්හත් ඵලය වෙයි.”

(නවවෙනි පාරිලෙය්‍යක සූත්‍රය නිමි.)

SN 03-01-08-10. පුණ්ණමානි සූත්‍රය

§ 1. මා විසින් මෙසේ අසන ලදී.
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ පූර්වාරාමයෙහි මිගාරමාතු නම් ප්‍රාසාදයෙහි මහත් භික්ෂු සංඝයා සමග වාසය කළසේක. එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ පිරුණු සඳ ඇති එදවස පුණු පොහොය ඇති රාත්‍රියෙහි භික්ෂු සංඝයා පිරිවරා එලිමහනෙහි වැඩසිටියහ.

§ 2. එවිට එක්තරා භික්ෂුවක් ආසනයෙන් නැගිට සිව්ර ඒකාංශකොට පොරවා භාග්‍යවතුන් වහන්සේ දෙසට ඇඳිලිබැඳ වැඳ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය.
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඉදින් මට ප්‍රශ්නයක් ඇසීම පිණිස අවසර දෙන්නේ නම් ,
භාග්‍යවතුන් වහන්සේගෙන් මම ප්‍රශ්නයක් අසමි” කියායි.
“මහණ, එසේනම් නුඹ ඔය ආසනයෙහි හිඳම යමක් ඇසීමට කැමැත්තෙහිද, එය අසව.”
ඒ භික්ෂුව “එසේය. ස්වාමීනි!”යි භාග්‍යවතුන් වහන්සේට උත්තර දී තම ආසනයෙහි ඉඳ, භාග්‍යවතුන් වහන්සේට මෙය කීය.

§ 3. “ස්වාමීනි, මේවා පඤ්චොපාදානස්කන්ධයෝ නොවෙත්ද?
කවරහුදයත්?
රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සඤ්ඤා උපාදානස්කන්ධය, සංස්කාර උපාදානස්කන්ධය, විඤ්ඤාණ උපාදානස්කන්ධය” යනුයි.

“මහණ, මොවුහු පඤ්චොපාදානස්කන්ධයෝයි.
කෙසේදයත්? රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සඤ්ඤා උපාදානස්කන්ධය, සංස්කාර උපාදානස්කන්ධය, විඤ්ඤාණ උපාදානස්කන්ධය” යනුයි.
ඒ භික්ෂුව “යහපත. ස්වාමීනි’යි භාග්‍යවතුන් වහන්සේගේ වචනයට සතුටුව, අනුමෝදන්ව, භාග්‍යවතුන් වහන්සේගෙන් මතු ප්‍රශ්නයක් ඇසීය.

§ 4. “ස්වාමීනි මේ පඤ්චොපාදානස්කන්ධයෝ කුමක් මුල්කොට පවත්නාහුද?”
“මහණ, මේ පඤ්චොපාදානස්කන්ධයෝ ආශාව මුල්කොට පවත්නාහ.”
ඒ භික්ෂුව “ස්වාමීනි, යහපතැ”යි භාග්‍යවතුන් වහන්සේගේ වචනයට සතුටුව, අනුමෝදන්ව, භාග්‍යවතුන් වහන්සේගෙන් මතු ප්‍රශ්නයක් ඇසීය.

§ 5. “ස්වාමීනි, ඒ පඤ්චොපාදානස්කන්ධයෝම උපාදානය වෙයිද, නොහොත් පඤ්ච උපාදානස්කන්ධයන් නොව අන්‍ය වූවක් උපාදානය වෙයිද?”
“මහණ, ඒ පඤ්චොපාදානස්කන්ධයෝ උපාදානය නොවේ.
පඤ්චොපාදානස්කන්ධයෙන් අන් තැනෙක්හිද උපාදාන නොවේ.
එසේ වුවද, ඒ පඤ්ච උපාදානස්කන්ධයන් කෙරෙහි යම් ඇලීමක් වෙයිද, ඒ ඇලීම එහි උපාදානය වේ.
ඒ භික්ෂුව “යහපත, ස්වාමීනි”යි භාග්‍යවතුන් වහන්සේගේ වචනයට සතුටුව, අනුමෝදනාව, භාග්‍යවතුන් වහන්සේගෙන් මතුද ප්‍රශ්නයක් ඇසීය.

§ 6. “ස්වාමීනි, පඤ්ච උපාදානස්කන්ධයන් කෙරෙහි පවත්නා ආශාවේ වෙනසක් ඇත්තේද?” යනුයි.

“මහණ, ඇතැයි” භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.
“මහණ මේ ලෝකයෙහි ඇතැමෙකුට මෙසේ අදහස් වෙයි.
‘අනාගත කාලයෙහි මෙබඳු රූපය ඇත්තෙක් වන්නෙම්වා
අනාගත කාලයෙහි මෙබඳු වේදනා ඇත්තෙක් වන්නෙම්වා.
අනාගත කාලයෙහි මෙබඳු සඤ්ඤා ඇත්තෙක් වන්නෙම්වා.
අනාගත කාලයෙහි මෙබඳු සංස්කාර ඇත්තෙක් වන්නෙම්වා.
අනාගත කාලයෙහි මෙබඳු විඤ්ඤාණ ඇත්තෙක් වන්නෙම්වා.
මහණ, පඤ්ච උපාදානස්කන්ධයන් පවත්නා ආශාවේ මෙසේ වෙනස් බව වන්නේය” යනුයි.

“යහපත ස්වාමීනි”යි ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේගේ වචනයට සතුටුව, අනුමෝදන්ව භාග්‍යවතුන් වහන්සේගෙන් මතු ප්‍රශ්නයක් ඇසීය.

§ 7. “ස්වාමීනි, කිනම් අර්ථයකින් ස්කන්ධයන්ට ස්කන්ධ යන ව්‍යවහාරය වන්නේද?

  • “මහණ, යම්කිසි අතීතවූ හෝ අනාගතවූ හෝ වර්තමානවූ හෝ අධ්‍යාත්මිකවූ හෝ බාහිරවූ හෝ ගොරෝසුවූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ උතුම්වූ හෝ දුරවූ හෝ සමීපවූ හෝ යම්කිසි රූපයක් වේද, මේ රූපස්කන්ධයයි කියනු ලැබේ.
  • “අතීතවූද, අනාගතවූද, වර්තමානවූද, අධ්‍යාත්මිකවූද, බාහිරවූද, ගොරෝසුවූද, සියුම්වූද, හීනවූද, උතුම්වූද, දුරවූද, සමීපවූද, යම්කිසි වේදනාවක් වෙයිද මෙය වේදනා ස්කන්ධයයි කියනු ලැබේ.
  • “අතීතවූද, අනාගතවූද, වර්තමානවූද, අධ්‍යාත්මිකවූද, බාහිරවූද, ගොරෝසුවූද, සියුම්වූද හීනවූද උතුම්වූද, දුරවූද, සමීපවූද, යම්කිසි සංඥාවක් වෙයිද මෙය සංඥා ස්කන්ධයයි කියනු ලැබේ.
  • “අතීතවූද, අනාගතවූද, වර්තමානවූද, අධ්‍යාත්මිකවූද, බාහිරවූද, ගොරෝසුවූද, සියුම්වූද, හීනවූද, උතුම්වූද, දුරවූද, සමීපවූද යම්කිසි සංස්කාරයෝ වෙත්ද, මෙය සංස්කාර ස්කන්ධයයි කියනු ලැබේ.
  • “අතීතවූද, අනාගතවූද, වර්තමානවූද, අධ්‍යාත්මිකවූද, බාහිරවූද, ගොරෝසුවූද, සියුම්වූද, හීනවූද, උතුම්වූද දුරවූද, සමීපවූද යම්කිසි විඤ්ඤාණයක් වේද මේ විඤ්ඤාණස්කන්ධයයි කියනු ලැබේ.

මහණ, මෙතෙකින් ස්කන්ධයන්ගේ ස්කන්ධ යන ව්‍යවහාරය වේ.

ඒ භික්ෂුව “යහපත, ස්වාමීනි”යි භාග්‍යවතුන් වහන්සේගේ වචනයට සතුටුව, අනුමෝදන්ව භාග්‍යවතුන් වහන්සේගෙන් මතු ප්‍රශ්නයක් ඇසීය.

§ 8. “ස්වාමීනි,
රූපස්කන්ධයාගේ පැනවීම පිණිස, හේතුව කවරේද? ප්‍රත්‍යය කවරේද?
වේදනා ස්කන්ධයාගේ පැනවීම පිණිස හේතුව කවරේද? ප්‍රත්‍යය කවරේද?
සංඥාස්කන්ධයාගේ පැනවීම පිණිස හේතුව කවරේද? ප්‍රත්‍යය කවරේද?
සංස්කාර ස්කන්ධයාගේ පැනවීම පිණිස හේතුව කවරේද? ප්‍රත්‍යය කවරේද?
විඤ්ඤාණ ස්කන්ධයාගේ පැනවීම පිණිස හේතුව කවරේද? ප්‍රත්‍යය කවරේද?

“මහණ,

  • රූපස්කන්ධයාගේ පැනවීම පිණිස, සතර මහා භූතයෝ හේතුවය. සතර මහාභූතයෝ ප්‍රත්‍යය.
  • වේදනා ස්කන්ධයාගේ පැනවීම පිණිස ස්පර්ශය හේතුවය. ස්පර්ශය ප්‍රත්‍යයයි.
  • සංඥාස්කන්ධයාගේ පැනවීම පිණිස ස්පර්ශය හේතුවය. ස්පර්ශය ප්‍රත්‍යයයි.
  • සංස්කාර ස්කන්ධයාගේ පැනවීම පිණිස ස්පර්ශය හේතුවයි. ස්පර්ශය ප්‍රත්‍යයයි.
  • විඤ්ඤාණස්කන්ධයාගේ පැනවීම පිණිස නාමරූප හේතුවයි. නාමරූප ප්‍රත්‍යයයි.

ඒ භික්ෂුව “යහපත, ස්වාමීනි”යි භාග්‍යවතුන් වහන්සේගේ වචනයට සතුටුව, අනුමෝදනාව භාග්‍යවතුන් වහන්සේගෙන් මතු ප්‍රශ්නයක් ඇසීය.

§ 9. “ස්වාමීනි, සක්කායදිට්ඨිය කෙසේ නම් වන්නේද?

“මහණ, මේ ලෝකයෙහි ආර්යයන් නුදුටු ආර්යධර්මයෙහි අදක්ෂ, ආර්ය ධර්මයෙහි නොහික්මුණු, සත්පුරුෂයන් නුදුටු, සත්පුරුෂ ධර්මයෙහි අදක්ෂ, සත්පුරුෂ ධර්මයෙහි නොහික්මුණු පෘථග්ජන අශ්‍රැතවත් භික්ෂුව

  • රූපය තමා වශයෙන් දකියි. රූපය ඇතියකු හෝ තමා වශයෙන් දකියි. රූපය තමා කෙරෙහි ඇතැයි හෝ දකියි රූපයෙහි තමා ඇතැයි හෝ දකියි.
  • “වේදනාව තමා වශයෙන් දකියි. වේදනාව ඇතියකු හෝ තමා වශයෙන් දකියි. වේදනාව තමා කෙරෙහි ඇතැයි හෝ දකියි. වේදනාවෙහි තමා ඇතැයි හෝ දකියි.
  • “සංඥාව තමා වශයෙන් දකියි. සංඥාව ඇතියකු හෝ තමා වශයෙන් දකියි. සංඥාව තමා කෙරෙහි ඇතැයි හෝ දකියි. සංඥාවෙහි තමා ඇතැයි හෝ දකියි.
  • “සංස්කාරයන් තමා වශයෙන් දකියි. සංස්කාර ඇතියකු හෝ තමා වශයෙන් දකියි. සංස්කාර තමා කෙරෙහි ඇතැයි හෝ දකියි. සංස්කාරයන්හි තමා ඇතැයි හෝ දකියි.
  • “විඤ්ඤාණය තමා වශයෙන් දකියි. තමා විඤ්ඤාණය ඇත්තෙකැයි දකියි තමා කෙරෙහි විඤ්ඤාණය ඇතැයි හෝ දකියි. විඤ්ඤාණය කෙරෙහි තමා ඇතැයි හෝ දකියි.
    මහණ, මෙසේ සක්කාය දිට්ඨිය වේ යයි වදාළේය.

ඒ භික්ෂුව “යහපත ස්වාමීනි”යි භාග්‍යවතුන් වහන්සේගේ වචනයට සතුටුව, අනුමෝදන්ව භාග්‍යවතුන් වහන්සේගෙන් මතු ප්‍රශ්නයක් ඇසීය.

§ 10. “ස්වාමීනි, කෙසේ සක්කාය දිට්ඨිය න ඇති වන්නේද?”

“මහණ මේ ශාසනයෙහි ආර්යයන් දුටු, ආර්යධර්මයෙහි දක්ෂ, ආර්ය ධර්මයෙහි හික්මුණු, සත්පුරුෂයන් දුටු, සත්පුරුෂ ධර්මයෙහි දක්ෂ සත්පුරුෂ ධර්මයෙහි හික්මුණු, ශ්‍රැතවත් ආර්යය ශ්‍රාවකයා…

  • රූපය තමා වශයෙන් නොදකියි. තමා රූපය ඇත්තෙකැයි හෝ නොදකියි. රූපය තමා කෙරෙහි ඇතැයි හෝ නොදකියි. රූපය කෙරෙහි තමා ඇතැයි හෝ නොදකියි.
  • “වේදනාව තමා වශයෙන් නොදකියි. තමා වේදනාව ඇත්තෙකැයි හෝ නොදකියි, වේදනාව තමා කෙරෙහි ඇතැයි හෝ නොදකියි. තමා වේදනාව කෙරෙහි ඇතැයි හෝ නොදකියි.
  • “සංඥාව තමා වශයෙන් නොදකියි තමා සංඥාව ඇත්තෙකැයි හෝ නොදකියි. සංඥාව තමා කෙරෙහි ඇතැයි හෝ නොදකියි. තමා සංඥාව කෙරෙහි ඇතැයි හෝ නොදකියි.
  • “සංස්කාරයන් තමා වශයෙන් නොදකියි. තමා සංස්කාර ඇත්තෙකැයි හෝ නොදකියි. සංස්කාර තමා කෙරෙහි ඇතැයි හෝ නොදකියි. තමා සංස්කාර කෙරෙහි ඇතැයි හෝ නොදකියි.
  • “විඤ්ඤාණය තමා වශයෙන් නොදකියි. තමා විඤ්ඤාණය ඇත්තෙකැයි හෝ නොදකියි. විඤ්ඤාණය තමා කෙරෙහි ඇතැයි හෝ නොදකියි. තමා විඤ්ඤාණය කෙරෙහි ඇතැයි හෝ නොදකියි.
    මහණ, මෙසේ සක්කායදිට්ඨිය නොවේයයි” වදාළේය.

ඒ භික්ෂුව “යහපත ස්වාමීනි”යි භාග්‍යවතුන් වහන්සේගේ වචනයට සතුටුව, අනුමෝදන්ව භාග්‍යවතුන් වහන්සේගෙන් මතු ප්‍රශ්නයක් ඇසීය.

§ 11. “ස්වාමීනි,

රූපයාගේ ආශ්වාදය කවරේද? ආදීනවය කවරේද? නිස්සරණය කුමක්ද?”
වේදනාවගේ ආශ්වාදය කවරේද? ආදීනවය කවරේද? නිස්සරණය කුමක්ද?
සංඥාවගේ ආශ්වාදය කවරේද? ආදීනවය කවරේද? නිස්සරණය කුමක්ද?
සංස්කාරයාගේ ආශ්වාදය කවරේද? ආදීනවය කවරේද? නිස්සරණය කුමක්ද?
විඤ්ඤාණයාගේ ආශ්වාදය කවරේද? ආදීනවය කවරේද? නිස්සරණය කුමක්ද?

  • “මහණ, රූපයක් නිසා යම් සැපයක් සොම්නසක් උපදියිද, ඒ රූපයාගේ ආශ්වාදයයි. යම් රූපයක් අනිත්‍යද දුකද, වෙනස්වන ස්වභාවයෙන් යුක්තද, මේ රූපයාගේ ආදීනවයයි. රූපයෙහි යම් ආශාව දුරු කිරීමක්, ආශාව පහකිරීමක් වෙයිද, මෙය රූපයාගේ නිස්සරණයයි.
  • “වේදනාව නිසා යම් සැපයක් සොම්නසක් උපදියිද, මේ වේදනාවගේ ආශ්වාදයයි යම් වේදනාවක් අනිත්‍යයද, දුකද, වෙනස්වන ස්වභාවයෙන් යුක්තද, මේ වේදනාවගේ ආදීනවයයි. වේදනාවගේ යම් ආශාව දුරුකිරීමක්, ආශාව පහකිරීමක් වෙයිද, මේ වේදනාවගේ නිස්සරණයයි.
  • “සංඥාව නිසා යම් සැපයක්, සොම්නසක් උපදියිද, මේ සංඥාවගේ ආශ්වාදයයි. යම් සංඥාවක් අනිත්‍යයද, දුකද, වෙනස්වන ස්වභාවයෙන් යුක්තද, මේ සංඥාවගේ ආදීනවයයි. සංඥාවගේ යම් ආශාව දුරු කිරීමක්, ආශාව පහකිරීමක් වෙයිද, මේ සංඥාවගේ නිස්සරණයයි.
  • “සංස්කාරය නිසා යම් සැපයක් සොම්නසක් උපදියිද, මේ සංස්කාරයන්ගේ ආශ්වාදයයි. යම් ඒ සංස්කාරයෝ අනිත්‍ය වෙත්ද, දුක් වෙත්ද, වෙනස්වන ස්වභාවයෙන් යුක්ත වෙත්ද, මේ සංස්කාරයන්ගේ ආදීනවයයි. සංස්කාරයන්ගේ යම් ආශාව දුරු කිරීමක්, ආශාව පහකිරීමක් වෙයිද, මේ සංස්කාරයන්ගේ නිස්සරණයයි.
  • විඤ්ඤාණය නිසා යම් සැපයක් යම් සොම්නසක් උපදියිද, මේ විඤ්ඤාණයාගේ ආශ්වාදයයි යම් විඤ්ඤාණයක් අනිත්‍යද, දුකද, වෙනස්වන ස්වභාවයෙන් යුක්තද, මේ විඤ්ඤාණයාගේ ආදීනවයයි. විඤ්ඤාණයෙහි යම් ආශාව දුරු කිරීමක්, ආශාව පහකිරීමක් වෙයිද මේ විඤ්ඤාණයාගේ නිස්සරණයයි” වදාළේය.

ඒ භික්ෂුව ‘යහපත ස්වාමීනි’යි භාග්‍යවතුන්වහන්සේගේ වචනයට ඉතා සතුටුව, අනුමෝදන්ව භාග්‍යවතුන් වහන්සේගෙන් මතු ප්‍රශ්නයක් ඇසීය.

§ 12. “ස්වාමීනි, කෙසේ දන්නහුට, කෙසේ දක්නහුට, මේ ‘විඤ්ඤාණය සහිත සිරුරෙහිද, බාහිරද, සියලු ආරම්මණයන්හිද මමය, මාගේයයි” ගැනීම මානානුසය යන මොව්හු නොවෙත්ද?

  • “මහණකු අතීතවූද, අනාගතවූද, වර්තමානවූද, අධ්‍යාත්මිකවූද, බාහිරවූද, ගොරෝසුවූද, සියුම්වූද, හීනවූද, උතුම්වූද, දුරවූද, ලඟවූද, යම්කිසි රූපයක් වේද, ඒ සියලු රූපය ‘මෙය මගේ නොවෙයි. එය මම නොවෙමි එය මගේ ආත්මය නොවේයයි’ මෙසේ තත්වූ පරිද්දෙන්, මනා නුවණින් දකියිද,
  • “අතීතවූද, අනාගතවූද, වර්තමානවූද, අධ්‍යාත්මිකවූද, බාහිරවූද, ගොරෝසුවූද, සියුම්වූද, හීනවූද, උතුම්වූද, දුරවූද, ලඟවූද, යම්කිසි වේදනාවක් වේද, ඒ සියලු වේදනාව ‘මෙය මගේ නොවෙයි. එය මම නොවෙමි. එය මගේ ආත්මය නොවේයයි’ මෙසේ තත්වූ පරිද්දෙන්, මනා නුවණින් දකියිද,
  • “අතීතවූද, අනාගතවූද, වර්තමානවූද, අධ්‍යාත්මිකවූද, බාහිරවූද, ගොරෝසුවූද, සියුම්වූද, හීනවූද, උතුම්වූද, දුරවූද, ලඟවූද, යම්කිසි සංඥාවක් වේද, ඒ සියලු සංඥාව ‘මෙය මගේ නොවෙයි. එය මම නොවෙමි. එය මගේ ආත්මය නොවේයයි’ මෙසේ තත්වූ පරිද්දෙන්, මනා නුවණින් දකියිද,
  • “අතීතවූද, අනාගතවූද, වර්තමානවූද, අධ්‍යාත්මිකවූද, බාහිරවූද, ගොරෝසුවූද, සියුම්වූද, හීනවූද, උතුම්වූද, දුරවූද, ලඟවූද, යම්කිසි සංස්කාරයක් වේද, ඒ සියලු සංස්කාර ‘මෙය මගේ නොවෙයි. එය මම නොවෙමි. එය මාගේ ආත්මය නොවේයයි’ මෙසේ තත්වූ පරිද්දෙන්, මනා නුවණින් දකියිද,
  • “අතීතවූද, අනාගතවූද, වර්තමානවූද, අධ්‍යාත්මිකවූද, බාහිරවූද, ගොරෝසුවූද, සියුම්වූද, හීනවූද, උතුම්වූද, දුරවූද, ලඟවූද, යම්කිසි විඤ්ඤාණයක් වෙයිද, ඒ සියලු විඤ්ඤාණය මෙය මගේ නොවෙයි. එය මම නොවෙමි එය මාගේ ආත්මය නොවේයයි’ තත්වූ පරිද්දෙන් මනා නුවණින්, දකියිද, මහණ මෙසේ දන්නහුට, මෙසේ දක්නහුට, මේ සවිඤ්ඤාණක සිරුරෙහිද බාහිරවූ සියලු ආරම්මණයන්හිද, ‘මමය, මගේයයි’ ගැනීම සහ මානානුසය යන මේවා ඇති නොවෙත්යයි” වදාළේය.

එසමයෙහි එක්තරා භික්ෂුවකට සිතෙහි මෙවැනි අදහසක් ඇතිවිය.
‘ස්වාමීනි, මෙසේ රූපය අනාත්ම නම්, වේදනාව අනාත්ම නම්, සංඥාව අනාත්ම නම්, සංස්කාරයෝ අනාත්ම නම්, විඤ්ඤාණය අනාත්ම නම්, අනාත්මය විසින් කරනලද කර්මයෝ කෙසේ තමා කරා පැමිණෙත්ද?

එකල්හි භාග්‍යවතුන් වහන්සේ ඔහුගේ සිත පිළිබඳ විතර්කය තම සිතින් දැන භික්ෂූන්ට ඇමතූසේක.
“මහණෙනි, මේ ශාසනයෙහි එක්තරා අඥානවූ අවිද්‍යාවෙන් යුත් හිස් පුරුෂයෙක් තෘෂ්ණාවෙන් මඩිනලද සිතින්… “පින්වත, මෙසේ වනාහි රූපය අනාත්ම නම්. වේදනාව අනාත්ම නම්, සංඥාව අනාත්ම නම්, සංස්කාරයෝ අනාත්ම නම්, විඤ්ඤාණය අනාත්ම නම් අනාත්මය විසින් කරනලද කර්මයෝ කෙසේ නම් තමා කරා පැමිණෙත්දැයි ශාස්තෘ ශාසනය ඉක්මවිය යුතුයයි හඟින්නේය. ඊට කරුණු ඇත්තේය.

“මහණෙනි, මා විසින් තෙපි ඒ ඒ තන්හි, ඒ ඒ ධර්මයන්හි, අසනලදුව හික්මවන ලද්දාහුය. මහණෙනි, එය කුමකැයි සිතව්ද?

“රූපය නිත්‍යද? අනිත්‍යද?” –
“ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් අනිත්‍ය නම් එය දුක් හෝ සැප හෝ වේද?” –
“ස්වාමීනි, දුකෙකි.”
“යමක් අනිත්‍යද, දුකද, වෙනස්වන ස්වභාවයෙන් යුක්තද? ‘එය මගේය. එය මම වෙමි. එය මගේ ආත්මයයි’ ගැනීමට සුදුසුද? –
“ස්වාමීනි, එය එසේ නොවන්නේමය.”

“වේදනාව නිත්‍යද? අනිත්‍යද?……
“සංඥාව නිත්‍යද? අනිත්‍යද?”……
“සංස්කාරය නිත්‍යද? අනිත්‍යද?” …………..
“විඥාණය නිත්‍යද? අනිත්‍යද?” –
“ස්වාමීනි, අනිත්‍යය.” “යමක් අනිත්‍ය නම් එය දුක් හෝ සැප හෝ වේද?” –
“ස්වාමීනි, දුකෙකි.” “යමක් වනාහි අනිත්‍යද, දුකද, වෙනස්වන ස්වභාවයෙන් යුක්තද? ‘එය මගේය. එය මම වෙමි. එය මගේ ආත්මයයි’ ගැනීමට සුදුසුද?” – ‘
ස්වාමීනි එය එසේ නොවන්නේමය.

  • “මහණෙනි, එසේ හෙයින් අතීතවූද, අනාගතවූද, වර්තමානවූද, අධ්‍යාත්මිකවූද, බාහිරවූද, ගොරෝසුවූද, සියුම්වූද, හීනවූද, උතුම්වූද, දුරවූද, ලඟවූද, යම්කිසි රූපයක් ඒ සියලු රූප, “මෙය මගේ නොවෙයි. එය මම නොවෙමි. එය මාගේ ආත්මය නොවේයයි’ මෙය මෙසේ තත්වූ පරිද්දෙන් මනා නුවණින් දතයුතුයි.
  • “අතීතවූද, අනාගතවූද, වර්තමානවූද, අධ්‍යාත්මිකවූද, බාහිරවූද, ගොරෝසුවූද, සියුම්වූද, හීනවූද, උතුම්වූද, දුරවූද, ලඟවූද යම්කිසි වේදනාවක් වේද, ඒ සියලු වේදනා ‘මෙය මගේ නොවෙයි. එය මම නොවෙමි. එය මගේ ආත්මය නොවේයයි මෙය මෙසේ තත්වූ පරිද්දෙන් මනා නුවණින් දතයුතුයි.
  • “අතීතවූද, අනාගතවූද, වර්තමානවූද, අධ්‍යාත්මිකවූද, බාහිරවූද, ගොරෝසුවූද, සියුම්වූද, හීනවූද, උතුම්වූද, දුරවූද, ලඟවූද යම්කිසි සංඥාවක් වේද, ඒ සියලු සංඥා ‘මෙය මගේ නොවෙයි. එය මම නොවෙමි එය මගේ ආත්මය නොවේයයි’ මෙය මෙසේ තත්වූ පරිද්දෙන් මනා නුවණින් දතයුතුයි.
  • “අතීතවූද, අනාගතවූද, වර්තමානවූද, අධ්‍යාත්මිකවූද, බාහිරවූද, ගොරෝසුවූද, සියුම්වූද, හීනවූද, උතුම්වූද, දුරවූද, ලඟවූද යම්කිසි සංස්කාරයක් වේද, ඒ සියලු සංස්කාර ‘මෙය මගේ නොවෙයි. එය මම නොවෙමි. එය මාගේ ආත්මය නොවේයයි’ මෙය මෙසේ තත්වූ පරිද්දෙන් මනා නුවණින් දතයුතුයි.
  • “අතීතවූද අනාගතවූද, වර්තමානවූද, අධ්‍යාත්මිකවූද, බාහිරවූද ගොරෝසුවූද, සියුම්වූද, හීනවූද, උතුම්වූද, දුරවූද, ලඟවූද යම්කිසි විඤ්ඤාණයක් වේද, ඒ සියලු විඤ්ඤාණ ‘මෙය මගේ නොවෙයි. එය මම නොවෙමි එය මාගේ ආත්මය නොවේයයි’ මෙය මෙසේ තත්වූ පරිද්දෙන් මනා නුවණින් දතයුතුයි.

“මහණෙනි, මෙසේ දක්නාවූ, ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකතෙමේ රූපයෙහිද කලකිරෙයි.
වේදනාවෙහිද කලකිරෙයි.
සංඥාවෙහිද කලකිරෙයි.
සංස්කාරයෙහිද කලකිරෙයි.
විඤ්ඤාණයෙහිද කලකිරෙයි.
කලකිරීමෙන් (මාර්ගයට පැමිණීමෙන්) නොඇලීමෙන් (ඵලයට පැමිණීමෙන්) මිදෙයි.
මිදුනු කල්හි මිදුනේයයි නුවණ (පහල) වෙයි.
ජාතිය කෙළවර විය. බ්‍රහ්මචර්යාවෙහි හැසිර නිමවනලදී. කළයුත්ත කරන ලදී. මේ භවය පිණිස අනික් කළයුතු කිසිවක් නැතැයි දැනගනී” යනුයි.

(දහවෙනි පුණ්ණමානී සූත්‍රය නිමි.)

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.