MN 02-05-02 සේල සුත්‍රය.

WARNING
බුද්ධ කාලින භාරත සමාජයේ කිඳාබැස තිබු ආගම බ්‍රාහ්මණ ආගමය. මහා බ්‍රහ්මයා ලෝකය මැවීය. මිනිසාගේ සියළු අවශ්‍යතා ඔහු ලබා දෙන්නේය. ඔහුගේ ඉගැන්වීම මිස අන් ඇදහීමක් විය නොහැක යැයි බ්‍රාහ්මණයන්ගේ ඉගැන්වීම සියල් සමස්ත භාරතයම පිලිගත්තෝය. ඔවුන් ගෙන ආ කුල වාදය සමාජ සම්මතය විය. මේ අතරට ආ සිද්ධාර්ථ ගෞතම නම් ශ්‍රමණයෙකු තමා බුදු වීයැ’යි ප්‍රකාශ කිරීම සමාජයේ දැඩි මත භේදයට කාරණයක් විය. භවත් ගෞතමයන් ගේ දර්ශනය, ඉගැන්වීම කෙසේ වෙතත්, ඔහුගේ ශාරීරික ලක්ෂණ වලින් ඔහු ශ්‍රේෂ්ඨයයි ඔප්පු කරන්නට, ශරීරයේ තිස් දෙකක් අසාමාන්‍ය ලක්ෂණ ගැන බ්‍රාහ්මණ වේදයේ ඇති කාරනා ගෙන භාග්‍යවතුන් වහන්සේ ට ඒ ලක්ෂණ තිබුණාය කීම , සමහර බෞද්ධයන් එදා කල බව විස්වාස කල හැක.

එනමුත් මේ ලක්ෂණ ප්‍රදර්ශනය කරමින් බුදුන් වහන්සේ සිය බුද්ධත්වය ඔප්පු කළායැයි කියා ලියා ඇති සුත්‍ර පසුකාලීනව, කල නිබන්ධන සේ සැලකීම වඩා සුදුසුය. විශේෂයෙන්ම සිය දිව එලියට ඇද එහි දිග දැක්වීමට දෙකන් දිව ගෑවා ය, රහස්‍යන්ගය කොපුවෙන් ඉවතට ගෙන මිනිසුන්ට පෙනෙන ලෙස සෘද්ධියක් පෑවේය වැනි කථා කිසිසේත් ඇදහිය නොහැක. මේ සුත්රයේත්, ලක්ඛණ සුත්රයේත්, බ්‍රහ්මායු සුත්රයේත් දක්වා ඇති මේ කාරනා කිසිදු ආකාරයෙන් බුද්ධ භාෂිත ලෙස ගැනීම නොවටී. මේ සුත්‍රය කියවීමෙන්, ඇසීමෙන් ඔබ ලබන ධර්ම ඥානයක් නැත. හුදු මේ සුත්‍ර ගොන්න සම්පුර්න කිරීම පිණිස මෙය ඇතුලත් කලෙමි.

අපවත්වී වදාළ බෝපිටියේ ඥානාවාස නායක ස්වාමින්වහන්සේ කල සුත්‍ර විවරණය

§ 1. මා විසින් මෙසේ අසන ලදී.
එක්සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ එක් දහස් දෙසිය පනහක් පමණ මහත් භික්ෂු සංඝයා සමග අඩ්ගුත්තර ජනපදයෙහි චාරිකාවෙහි හැසිරෙනසේක් “ආපණ” නම්වූ අඩ්ගුත්තර නියම් ගමෙහි නවාතැන් ගෙන වැඩහුන් සේක.

§ 2. ඒ ගමෙහි කේණිය නම් ජටිල පුජක තුමකු විසීය. ඔහු අංගුත්තර ජනපදයේ ධනවත් , බලවත්, රජුගෙන් පිදුම් ලත්, ප්‍රසිද්ධ පුජකයෙකි. මෙසේ ශාක්‍යපුත්‍රවූ ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ ශාක්‍ය කුලයෙන් නික්ම පැවිදිව එක්දහස් දෙසියපනහක් පමණ මහත් භික්ෂු සංඝයා සමග අඩ්ගුත්තර ජනපදයෙහි චාරිකා කරන සේක් ආපණ නම් නියම් ගමට පැමිණි සේකැයි’ ඔහු ඇසීය.

ඒ භාග්‍යවත් ගෞතමයන් වහන්සේගේ යහපත්වූ කීර්ති ඝෝෂාවක් මෙසේ පැන නැංගේය.

  • ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණිනුදු අර්හත්හ. සම්‍යක් සම්බුද්ධයහ, විද්‍යාචරණ සම්පන්නයහ, සුගතයහ, ලොකවිදූහ, නිරුත්තරවූ පුරිෂ දම්මසාරථිහ, දෙවි මිනිසුන්ට ශාස්තෘහ, බුද්ධයහ, භාග්‍යවත්හ, යනුයි.
  • උන්වහන්සේ දෙවියන් සහිතවූ, මරුන් සහිතවූ, බ්‍රහ්මයන් සහිතවූ, මහණ බමුණන් සහිතවූ, මිනිසුන් සහිතවූ, සත්ව වර්ගයා ඇතුළු මේ ලෝකය තමන් වහන්සේම මනාව දැන අවබෝධ කොට ප්‍රකාශ කරණසේක.
  • උන්වහන්සේ මුල මැද අග යන තුන් තන්හි යහපත්වූ අර්ථ සහිතවූ, (ව්‍යඤ්ජන සහිතවූ) දස වැදෑරුම් අක්ෂර සම්පත්තියෙන් යුක්තවූ සියලු ආකාරයෙන් සම්පූර්ණවූ ධර්මය දේශනා කරණ සේක.
  • පිරිසිදුවූ ශාසන බ්‍රහ්මචර්යය ප්‍රකාශ කරණසේක.
  • එබඳුවූ රහතුන්ගේ දැකීමක්වේ නම් ඒ යහපත්මැයි කියායි.

§ 3 . ඉක්බිති කේණිය ජටිල තුමා භාග්‍යවතුන් වහන්සේ හමුවෙමිය සිතා උන්වහන්සේ වැඩ හුන් තැනට එළඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය යුතු වූත් සිහිකටයුතු වූත් කථාකොට නිමවා එක් පැත්තක හුන්නේය.

එසේ තමන් වහන්සේ දකින්නට පැමිණියාවූ කේණිය ජටිල තුමා සහ පිරිසට භාග්‍යවතුන් වහන්සේ දැහැමි කථාවෙන් කුසල් දහම් විස්තර කළසේක. කුසල් දහම්හි සමාදන් කරවූසේක. නැවත නැවත උත්සාහවත් කරවූසේක. සතුටු කරවූසේක. ඉක්බිති කේණිය ජටිලයා භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්ම කථාවෙන් කුසල් දහම් විස්තර කරන ලද්දේ, කුසල ධර්මයන්හි සමාදන් කරවන ලද්දේ, නැවත නැවත උත්සාහවත් කරවන ලද්දේ, සතුටු කරවන ලද්දේය.

කේණිය ජටිල පුජක තුමා මේ තමන් ඇසු ධර්මය, ගැන මහත්සේ පැහැද භාග්‍යවතුන් වහන්සේ හා සංඝයා වහන්ටසේලාට පසුදා දැන් පිරිනමනු කැමැතිව මෙසේ කීය.

“භවත් ගෞතමයන් වහන්ස! භික්ෂු සංඝයා සමග හෙට මාගේ දානය ඉවසා වදාරණ සේක්වා”.
මෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ කේණිය ජටිල පුජකයාට මෙසේ කීහ.
“කේණියය, භික්ෂු සංඝයා පිරිස බොහෝය.
කේණිය නුඹ , බමුණන් ගේ පුජක කෙනෙකි. මේ මහා පිරිකට දන් දීම පහසු නොවේ.” යි කී සේක.

කේණිය ජටිල තෙමේ දෙවනුවත් භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීයේය.
“භවත් ගෞතමයන් වහන්ස, භික්ෂුසංඝයා කොපමණ වෙත්ද?”
“කේණිය භික්ෂූහු එක් දහස් දෙසිය පනහක් පමණ වෙත්.
මේ මහා පිරිකට දන් දීම පහසු නොවේ.” යි කී සේක.

“තෙවනුවත් කේණිය , ජටිලයා භාග්‍යවතුන් වහන්සේට මෙසේ කියා දානයට ආරාධනා කළේය.
“භවත් ගෞතමයන් වහන්ස, භික්ෂූහු එක්දහස්දෙසිය පනහකට දානය පිළියෙළ කරමි. ඔබ වහන්සේ සියලු සංඝයා වහන්සේ සමග හෙට මාගේ දානය ඉවසා වදාරන සේක්වා” කීය.

භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්ද වීමෙන් ඒ ආරාධනාව ඉවසා වදාළසේක.

§ 4. සිය දාන ආරාධනාව භාග්‍යවතුන් වහන්සේ පිළිගත් බව දත්, කේණිය ජටිල තුමා තමාගේ අසපුව වෙත ගොස් සිය මිතුරු ඇමතියන්ටද සහලේ නෑයන්ටද, කථා කොට මෙසේ කීය.
“පින්වත් මිතුරනි, ඥාතීනි!. මා විසින් ශ්‍රමණ ගෞතමයන් වහන්සේ භික්ෂු සංඝයා සමග සෙට දවස දානය පිණිස ආරාධනා කලෙමි. නුඹලාත් මේ පුජාව පිණිස සහභාගිවනු කමත්තේනම් සුදුස්සක් කරත්වා ” යි කීහ.
“එසේය. ස්වාමීනි”යි කේණිය ජටිලයන්ගේ ගේ මිත්‍රයන් සහ නෑයෝ පිළිතුරුදී වහා ඒ දාන උත්සවයට ඇවැසි නොයෙක් දේ කළහ. සමහරු උදුන් සෑදුහ, සමහරු දර පැලුහ. සමහරු භාජන සේදුහ. සමහරු දිය බඳුන් පිහිටවුහ. සමහරු අසුන් පැනවුහ.. කේණිය ජටිලයා තමාම මණ්ඩල මාලය (පැවිලියන මණ්ඩපය) පිළියෙළ කලේය.

§5 . එසමයෙහි, සේල යැයි නම් ඇති, බ්‍රාහ්මණ ආචාර්යකෙනෙක් මේ ආපන ගමෙහිම විසීය. කේණිය පුජක තුමාට ඉතා හිතවත්, ප්‍රසිද්ධ බ්‍රාහ්මණයෙක් වූ ඔහු, නාම නිඝණ්ඩු, ක්‍රියා, කල්ප විකල්ප, ශික්ෂා නිරුක්ති යන ප්‍රභේදයන් ඇති, ඉතිහාසය පස්වැනි කොට ඇති වෙදත්‍රයයේ කෙළවරට ගියාවූ කෙනෙකි. පද හා ව්‍යාකරණ හදාරන්නාවූ, විතණ්ඩ ශාස්ත්‍රයේත්, මහාපුරුෂ ලක්ෂණ ශාස්ත්‍රයේත්, අති දක්ෂවූ කෙනෙක. තුන් සියයක් පමණ බ්‍රාහ්මණ මානවකයන්ට ඔහු ශිල්ප හදාරවයි.

§6 . එදින මේ සේල බ්‍රාහ්මණයා තුන්සියයක් මානවකයන් පිරිවරණ ලදුව පා ගමනින් සක්මන් කරනුයේ කේණිය ජටිලයාගේ ආශ්‍රමය දෙසට පැමිණියේය. කේණිය ජටිලයාගේ පිරිස් උඳුන් හාරනුද, සමහර ජටිලයන් දර පලනුද, සමහර ජටිලයන් බඳුන් සෝදනුද, සමහර ජටිලයන් උදකමනි පිහිටුවනුද, සමහර ජටිලයන් අසුන් පනවනුද, තමාම මණ්ඩලමාලය පිළියෙළ කරන්නාවූ කේණිය ජටිලයාද “සේල” බමුණා දුටුවේය. දැක කේණිය ජටිලයාගෙන් මෙසේ ඇසීය.

§ 7 .“කිමෙක්ද? පින්වත් කේණිය, පවුලේ යම් ආවාහයක් හෝ වන්නේද, විවාහයක් හෝ වන්නේද, මහා යාගයක් පිළියෙල කරන්නේද, බල සේනාවන් සමග සේනිය බිම්බිසාර රජ සෙට දවස බත් පිණිස මෙහි පැමිණෙන්නේ’යයි පවරණ ලද්දේද?” කියා ඇසීය.

§ 8 . “භවත් සේලය, නැත. මෙහි ආවාහයක් , විවාහයකුදු නොවන්නේය. බිම්බිසාර රජද නොඑන්නේය. අප මහා දානයක් පිළියෙල කරන්නෙමු. ශාක්‍යපුත්‍ර වූ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ශාක්‍යකුලයෙන් නික්ම පැවිදිව අඩ්ගුත්තර ජනපදයෙහි චාරිකා කරන අතර එක්දහස් දෙසිය පනහක් භික්ෂූ සංඝයා සමග ආපණ ගමට පැමිණි සේක. ඒ භවත් ගෞතමයන් ගැන යහපත්වූ කීර්ති ඝෝෂාව මෙසේ පැනනැංගේය. මෙකරුණිනුදු ඒ භාග්‍යවතුන් වහන්සේ අර්හත්හ, සම්‍යක් සම්බුද්ධයහ, විද්‍යාචරණ සම්පන්යහ, සුගතයහ, ලොකවිදූහ, නිරුත්තරවූ පුරුෂදම්මසාරථිහ, දෙවිමිනිසුන්ට අනුශාසකයහ, බුද්ධයහ, භාග්‍යවත්හ, උන්වහන්සේට භික්ෂුසංඝයා සමග සෙට දානය සඳහා මා විසින් ආරාධනා කරන ලද්දෙමි.”

§ 9. ඒ ඇසු සේල බ්‍රාහ්මණ ආචාරිතුමා විමතියට පත්ව මෙසේ තෙවරක්ම ඇසීය.

“භවත් කේණිය, බුද්ධයයි කීවෙහිද?”
“භවත් සේලය බුද්ධයයි කිවෙමි”.

“භවiiකේණිය, බුද්ධයයි කීයෙහිද?”
“භවත් සේලය, බුද්ධයයි කිවෙමි”,

“භවත් කේණිය බුද්ධයයි කීවෙහිද?”
“භවත් සේලය බුද්ධයයි කිවෙමි.”

§ 10. එසේ තෙවරම “බුද්ධ” යන වචනය ඇසු සේල බමුණාට මෙසේ අදහස් විය.
‘ලෝකයෙහි බුද්ධ යන ශබ්දය ඇසීමද දුර්ලභය. අපගේ වේද මන්ත්‍රයන්හි දෙතිස් මහාපුරිස් ලකුණු ගැන ඉගැන්වීම බොහෝ අතීතයේ සිට පැවැත ආවේය. ඒ දෙතිස් මහා පුරිස ලක්ෂණයන්ගෙන් යුක්තවූ මහා පුරුෂයාහට ගති දෙකෙක්ම වෙති. අනිකෙක් නැත.

(i) .ඉදින් ඔහු ගිහිගෙයි වසයි නම් ධාර්මිකවූ ධර්මරාජයානන්වූ චාතුර්දීපයට අධිපතිවූ දිනන සුලුවූ ජනපදයන්හි ස්ථිතිප්‍රාන්තවූ සත්රුවනින් සමන්විතවූ සක්විති රජවෙයි. මේ ඔවුන්ගේ සත්රුවන්හු වෙත්. කවරහුයත්? චක්‍ර රත්නය, හස්ති රත්නය, අශ්ව රත්නය, මාණික්‍ය රත්නය, ස්ත්‍රි රත්නය, ගෘහපති රත්නය, සත්වැනි වූ පරිනායක රත්නයද යන මේවායි. ශූරවූ දිව්‍ය පුත්‍රයන්ට සමානවූ ශරීර ඇත්තාවූ පරසතුරු සේනාවන් මඩින්නාවූ, දහසකටත් අධිකවූ පුත්‍රයෝ ඒ සක්විති රජුට වෙත්. හෙතෙම සයුර කෙළවර කොට ඇති මේ මහා පොළොව යුධකිරීම් නැතිව ධර්මයෙන් දිනා අධිපතිව වෙසෙයි.

(ii). ඉදින් හෙතෙම ගිහිගෙන් නික්ම අනගාරිය ශාසනයෙහි පැවිදිවෙයිනම් ලෝකයෙහි දුරුකළ රාගාදිය ඇත්තාවූ, අර්හත්වූ, සම්‍යක් සම්බුද්ධ වෙයි.

§. 11. “පින්වත් කේණිය, දැන් ඒ අර්හත්වූ, සම්‍යක් සම්බුද්ධවූ භවත් ගෞතමයන් වහන්සේ දැන් කොතැන්හි වාසය කෙරෙත්ද?” යි ඇසීය.

මෙසේ කී කල්හි කේණිය ජටිලයා දකුණු අත දිගු කොට සේල බමුණාට මෙසේ පෙන්වීය.
“භවත් සේලය, මේ ඈත පෙනෙන නිල්වන් වන රොද ඇති වනයේහිය”. කීය.

§. 12.  එකල්හි සේල බමුණා තුන් සියයක් මානවකයන් සමග භාග්‍යවතුන් වහන්සේ වැඩ හුන් වන ලැහැබට ගීයේය. එසේ යන ගමන් සේල බමුණා ඒ මානවකයන්ට මෙසේ කීය.
“භවත්හු පයින් පය තබා කලබල නොකොට ශබ්ද නොකොට එත්වා. ඒ භාග්‍යවතුන් වහන්සේලා වනයේ තනිව හැසිරෙන සිංහයන් මෙන් වෙති. මම ශ්‍රමණ ගෞතමයන් වහන්සේ සමග කථා කරන අතර පින්වත්හු මාගේ කථාව අතරින් කථා නොහෙලත්වා. භවත්හු මා කථාව කෙළවර කරන තුරු ඉවසත්වා”.

§ 13. ඉක්බිති, සේල බමුණා භාග්‍යවතුන් වහන්සේ වැඩ හුන් තැනට එළඹියේය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටුවිය යුතුවූත්, සිහිකටයුතුවූත්, කථාව කොට නිමවා එකත් පසෙක උන්නේය.

එකත් පසෙක උන්නාවූ සේල බ්‍රාහ්මණයා, භාග්‍යවතුන් වහන්සේගේ කයෙහි දෙතිස් මහා (පුරුෂ ලක්ෂණ) සෙවීය. සේල බ්‍රාහ්මණ තෙමේ පුරුෂ ලකුණු දෙකක් හැර භාග්‍යවතුන් වහන්සේගේ කයෙහි සියලු දෙතිස් මහා පුරුෂ ලක්ෂණ දුටුවේය.

කොපුවකින් වැසුනු ලිංගය ඇති බව (කොසොහිත වත්ථගුයහතා) හා
පළල් දිවක් ඇති බව (පහුත ජිවහතා) යන ලක්ෂණ දෙක
නොදැක සැක කරයි, තීරණයකට නොබසී, (ඔහුගේ සිත) නොපහදී.

එකල භාග්‍යවතුන් වහන්සේට මෙසේ සිතක් පහළවිය.
‘මේ සේල බ්‍රාහ්මණයා කොපුවකින් වැසුනු ලිංගය ඇතිබව (කොසොහිත වත්ථගුයහතාව) හා පළල් දිවක් ඇතිබව (පහුතජිවහතා) යන ලක්ෂණ ද්වය හැර සෙසු මහා (පුරුෂ ලක්ෂණ) දැක ඒ නිසා සැක කරයි. තීරණයකට නොබසී. නොපහදී”.

§ 14. එවිට භාග්‍යවතුන් වහන්සේ සිය , කොපුවකින් වැසුනු (කොසොහිත) ලිංගය වත්ථගුයහය බමුණාට පෙනෙන සේ , ඍද්ධි විශේෂයක් කළසේක. **

අනතුරුව භාග්‍යවතුන් වහන්සේ දිව බැහැර කොට දෙකන් සිදුරු ස්පර්ශ කළසේක. නැවත නැවත ස්පර්ශ කළසේක. දෙනාසා සිදුරු ස්පර්ශ කළසේක. නැවත නැවත ස්පර්ශ කළසේක. නළල් තලය සම්පූර්ණයෙන් දිවෙන් වැසූසේක.**

[** මේ වැනි දෙයක් සර්වඥවූ අනුත්තරවූ, බුදුන් වහන්සේ කලායටි කීම හා එසේ කළා යයි ඇදහීම කෙතරම් නීචද පහත්ද කියා ඔබම තීරණය කරත්වා.]

§ 15 . එකල සේල බ්‍රාහ්මණයාට මෙබඳු සිතක්විය.
‘ශ්‍රමණ ගෞතමයන් වහන්සේ පරිපූර්ණ දෙතිස් මහ පුරිස් ලකුණින් යුක්තයහ. ඒ සියල්ල උන්වහන්සේගේ ඇත්තේය. අසම්පූර්ණයෙන් නොවේ. ඔහු බුදුවූයෙක්ද නොවූයෙක් දැයි මම නොදනිමි. එහෙත් අපේ වෘද්ධ මහලු ආචාර්ය ප්‍රාචාර්ය බ්‍රාහ්මණන් කියා ඇති පරිදි, “ඒ අර්හත්වූ සම්මා සම්බුදුවරයෝ, ඔවුහු ස්වකීය වූ ගුණ කියනු ලබන කල්හි තමන්ගේ ඥාණ ප්‍රකාශ කරත්. මම ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ ඉදිරියෙහි සුදුසු වූ ගාථාවලින් උන්වහන්සේට ස්තුති කරන්නේ නම් යෙහෙකි.’
එසේ සිතා සේල බමුණා භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියෙහි මෙසේ ගාථාවලින් ස්තුති කළේය.

§ 16 . සේල බ්‍රාහ්මණයා:

[1] “ඉතා රුචි වූ (ලක්ෂණයන්ගෙන්) පිරුණු කයක් ඇත්තාවූ,
(ශරීරය ඇති) මනාව ඉපදුනාවූ, දැකුමට ප්‍රියවූ, වීර්යය ඇත්තාවූ,
භාග්‍යවතුන් වහන්සේ රන්වන් වූසේක.
සුදුවූ දත් ඇති සේක.

[2] “මනාව ඉපදුනාවූ, මනුෂ්‍යයෙකුට පිහිටිය වියයුතු
යම් (පුරුෂ) ලක්ෂණයෝ වෙත්ද,
ඒ සියලු ලක්ෂණයෝ නුඹ වහන්සේගේ ශරීරයෙහිදී
මහා පුරුෂ ලක්ෂණයෝ වෙත්.

[3] “ප්‍රසන්නවූ නේත්‍ර ඇති
උසට ගැලපෙන මහතින් (ආරොහ පරිනාහ සම්පත්තියෙන්) යුක්තවූ
බ්‍රහ්ම කයකට බඳු සෘජුවූ බබලන ප්‍රතාපවත් ශරීරයක් ඇති
නුඹ වහන්සේ ශ්‍රමණ සංඝයා මැද සූර්යයා මෙන් බබලන සේක.

[4] “යහපත් දැකුම් ඇති, රන්වන් සිවියක් ඇති,
උතුම්වූ වර්ණයෙන් සම්පූර්ණවූ, ශ්‍රමණයන් වහන්ස,
නුඹ වහන්සේට මේ ශ්‍රමණ භාවයෙන් කවර ප්‍රයෝජනද?

[5] “උතුම් වූ රථ ඇති සිව්දිගට අධිපතිවූ
රටවල් දිනන සුලුවූ දඹදිවට ඊශ්වරවූ
සක්විති රජවීමට සුදුසු වූයේය.

[6] “නුඹවහන්සේ ක්ෂත්‍රිය වංශිකයන්ගේ රාජ්‍යයෙහි යෙදුනාහු වෙත්වා.
ගෞතමයන් වහන්ස රජුනට පූජ්‍යවූ සක්විති රජෙක්ව
මිනිසුන්ට අධිපතිව රාජ්‍යය කරනු මැනව.”

§ 17. “භාග්‍යවතුන් වහන්සේ
[7]“සෙලය, මම ධර්මරාජන්වූ නිරුත්තරවූ රජවෙමි.
අණමැඩ පැවැත්විය නොහැකිවූ ධර්ම (ආඥා) චක්‍රය පවත්වමි.”

§ 18. “සේලය බ්‍රාහ්මණ ,
[8]“ගෞතමයන් වහන්ස, ධර්මරාජවූ නිරුත්තරවූ සම්‍යක් සම්බුද්ධ තෙමේ දැනගත්තෙහිය.
ධර්මයෙන් (ආඥා) චක්‍රය පවත්වමියි වදාළෙහිය.

[9] “පින්වතුන් වහන්සේගේ ශ්‍රාවක වූ අවවාදය අනුව හික්මුනාවූ සෙනෙවියා කවරෙක්ද?
නුඹ වහන්සේ විසින් පවත්වන ලද මේ ධර්මචක්‍රය කවරෙක් අනුව පවත්වයිද?”

§ 19. “(භාගවතුන් වහන්සේ)
[10]“සේලය, මා විසින් පවත්වන ලද නිරුත්තරවූ ධර්මචක්‍රය
තථාගතයනට අනුව උපන්නාවූ (අනුජාතවූ)
සැරියුත් තෙමේ අනුව පවත්වයි.

[11] “දතයුතු සියල්ල දැනගන්නා ලදී.
වැඩිය යුතු සියල්ල වඩනලදී.
මා විසින් අත්හැරිය යුත්ත අත්හරින ලදී.
බමුණ, එහෙයින් මම බුද්ධවෙමි.”

[12] “බ්‍රාහ්මණය, මා කෙරෙහි සැක දුරුකරව.
ශ්‍රද්ධාවෙහි ස්ථිරව පිහිටුව. (ශ්‍රද්ධාවෙන් බැස ගනුව.)
නිතර සම්බුදුවරයන්ගේ දැක්ම දුර්ලභ වෙයි.

[13]. “ඒකාන්තයෙන් ලෝකයෙහි යම් කෙනෙකුන්ගේ නිරතුරු පහලවීම දුර්ලභ වේද?
බ්‍රාහ්මණය, ඒ මමය. මම රාගාදි උල් ඉදුරු නිරුත්තරවූ සම්‍යක් සම්බුද්ධ වෙමි.

[14]. “කාමාදී මරසෙනග විසින් නොමැඩියහැකිවූ,
අසමවූ ශ්‍රේෂ්ඨවූ, නිර්භයවූ, මම සියලු ස්කන්ධ මාරාදි පස්මරුන් වසග කොට සතුටු වෙමි.

[15]. “පින්වත්නි, බුදුරජාණන් වහන්සේ යම් දෙයක් දේශනා කරන සේක්ද, මෙය අසව්. රාගාදී කෙලෙස් උල් උදුරා දැමූ මහා වීරයන් වහන්සේ වනයෙහි සිංහයෙකු මෙන් නාදකරන සේක”.

§ 20. “සේල බ්‍රාහ්මණ
[16]කාමාදි මරසෙනග විසින් නොමැඩිය හැකිවූ,
අසමවූ ශ්‍රේෂ්ඨවූ බුදුපියානන් වහන්සේ දැක
පහත් ජාති ඇත්තාවූද කවරෙක් නොපැහැදෙන්නේද?

[ 17]“යමෙක් මා අනුව යාමට කැමතිනම් ඒවා,
යමෙක් අකැමැති නම් යේවා’.
මම මෙහි බුදුරජාණන් වහන්සේ සමීපයෙහි පැවිදිවන්නෙමි.

§ 21. සිසු පිරිස
“ඉදින් පින්වතුන් වහන්සේට මේ සම්මාසම්බුද්ධ ශාසනය රුචි කෙරේද?
අපිත් බුදුරජාණන් වහන්සේ ලඟ පැවිදි වන්නෙමු.

§ 22. සේල බ්‍රාහ්මණ
“මේ තෙසියක් බමුණෝ
ඇඳිලි බැඳගත්තාහු ඉල්ලත්
‘භාග්‍යවතුන් වහන්ස, නුඹවහන්සේ ළඟ
බ්‍රහ්මචර්යාවෙහි හැසිරෙන්නෙමු”.

§ 23. (භාග්‍යවතුන් වහන්සේ)
“සේලය, තමා විසින්ම දත යුතුවූ, මාර්ගය අනතුරුව විපාක දෙන හෙයින් අකාලිකවූ, බ්‍රහ්මචර්යාව මනාකොට දේශනා කරණ ලදී. යම් ශාසනයෙක්හි අප්‍රමාදව හික්මෙන්නහුට පැවිදි බව නොසිස්ය යනුයි.

§ 24. පිරිවර සහිතවූ, සේල බමුණා භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි පැවිද්ද ලැබීය. උපසම්පදාව ලැබීය.

§ 25 . ඉක්බිති කේණිය ජටිලයා ඒ රැය ඉක්මුනු පසු සිය ආශ්‍රමයෙහි ප්‍රණීතවූ ඛාදනීයවූ භොජනීයවූ සියල්ල පිළියෙල කරවා භාග්‍යවතුන් වහන්සේට දානය සඳහා කාලය දැන්වීය.
“භවත් ගෞතමයන් වහන්ස, සුදුසු කාලයයි. දානය පිළියෙල කොට නිමවන ලදී.”

එකල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරුයෙහි හැඳ පෙරවා පාත්‍ර සිවුරු ගෙන කේණිය ජලටිලයාගේ ආශ්‍රමය වෙත පැමිණියේය. පැමිණ පැනවූ අස්නෙහි භික්ෂු සංඝා සමග වැඩ උන්සේක. කේණිය ජටිලයා බුද්ධ ප්‍රමුඛ භික්ෂු සංඝයා ප්‍රණීතවූ, කෑ යුතුවූ, අනුභව කළ යුතුවූ, ආහාර පාන වර්ගවලින් සියතින් සැතපවීය, පැවරීය, ඉක්බිති කේණිය ජටිලයා වැළඳුවාවූ, පාත්‍රයෙන් බැහැර කරන ලද අත ඇත්තාවූ, භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණ එක්තරා මිටි අස්නක් ගෙන, එක් පැත්තෙක හුන්නේය.

එක් පැත්තෙක එසේ හිඳ උන්නාවූ, කේණිය ජටිලයාට භාග්‍යවතුන් වහන්සේ මේ ගාථාවලින් අනුමෝදනාව කළ සේක.

§ 26
[1] “යාගයට ගින්න ප්‍රධානය,
ඡන්දයට ‘සාවිත්තී’ ඡන්දය ප්‍රධානය,
මිනිසුන්ට රජතුමා ප්‍රධානය,
නදීන්ට සාගරය ප්‍රධානය.

[2] “තාරකාවනට චන්ද්‍රයා ප්‍රධානය,
තවන්නවුනට සූර්යයා ප්‍රධානය,
පින්කිරීමට කැමැතිවන්නවුනට හා දන්දෙන්නවුනට
ඒකාන්තයෙන් සංඝයා ප්‍රධානය” යනුයි.

§ 27. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සේණිය ජටිලයාට මේ ගාථාවලින් අනුමෝදනාව කොට ආසනයෙන් නැගිට වැඩි සේක.

එකල ආයුෂ්මත් සේල භික්ෂූන් වහන්සේ පිරිවර සහිතව වෙන්වූයේ අප්‍රමාදව කෙලෙස් තවන වීර්ය ඇතිව වාසය කරන සේක් නොබෝ කලකින්ම යමක් සඳහා කුල පුත්‍රයෝ මනාකොටම ගිහිගෙන් නික්ම පැවිදි වෙත්ද, ඒ නිරුත්තරවූ බ්‍රහ්මචර්යාව කෙළවර කොට ඇති මේ ආත්මයෙහිම තෙමේ අභිඥාවන් ප්‍රත්‍යක්ෂකොට දැන ඊට පැමිණ වාසය කළ සේක. ඉපදීම නැති කෙළේය. බ්‍රහ්මචරියාවෙහි හැසිර නිමවන ලදී. කළ යුතු සියල්ල කරන ලදී. මේ ආත්මයෙහි කළ යුතු අනිකක් නැතැයි දැනගත්තේය. ආයුෂ්මත් සේල භික්ෂූන් වහන්සේ පිරිස සහිතව රහතුන් අතුරෙන් කෙණෙක් වූහ.

§ 28 . ඉන්පසු ආයුෂ්මත් සේල භික්ෂූන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වැඩ හුන් තැනට පැමිණ, සිවුර එකාංසකොට ඇදිලි බැඳ වැඳ භාග්‍යවතුන් වහන්සේට ගාථාවලින් මෙසේ කීහ.

[1] “භාග්‍යවත්වූ බුදුරජාණන් වහන්ස,
අපි මෙයින් අට දිනකට පෙර ඔබ සරණ ගියෙමු.
ඒ සරණගෙන සත්රැයකින් අපි නිවුනෝ වමු.
නුඹවහන්සේගේ ශාසනයෙහි දැමුනෝ වෙමු.

[2] “නුඹවහන්සේ බුද්ධය, නුඹවහන්සේ ශාස්තෘහ,
පස්මරුන් මැඩපැවැත්වූ මුනි වරයානෝය.
නුඹවහන්සේ රාගාදි අනුශය සියල්ලන් නසා ඔබ එතරවූසේක,
මේ සත්වප්‍රජාව එතර කරවන සේක.

[3] “නුඹවහන්සේ නැවත ඉපදීමට හේතුව ඉක්මවන ලදහ.
කාමාදි ආශ්‍රවයෝ බිඳදමන ලදහ.
කාමාදී උපාදානයන් නැතිව භිය සහ භයංකර අරමුණු (භයභෙරවයන්),
නැති කළේ සිංහයෙකු මෙන් වාසය කරන සේක.

[4] “මේ තුන්සියයක් භික්ෂූහු ඇඳිලි බැඳගෙන සිටිත්.
වීරයන් වහන්ස, පාදයන් දිගුකරනු මැනව.
අප භික්ෂූහු ශාස්තෲන් වහන්සේට වඳින්නෙමු.”

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.