MN 02-05-10. සඩ්ගාරව සූත්‍රය

භාග්‍යවතුන් වහන්සේ විමුක්ති මාර්ගය සොයා ගිය දුෂ්කර ගමන නැවත වරක් ආවර්ජනා කෙරෙන මේ සුත්‍ර ධර්මයේ සිතට ගන්නට බොහෝ ආදර්ශ ඇත. ගේ දොර වතු පිටි ධන සම්පත් අඹු දරුවන් මා පිය නෑයන් හා අන් කාම සම්පත් අත් හැර සිව්රු පොරවා කය මහනකලත්, ඒ කාම අරමුණු කෙරෙහි ආසාව කැමැත්ත නම් ක්ලේශ අත් නොහරිනතාක් සැබෑ නෛෂ්ක්රමනය සිදු නොවන බව මෙහි දැක්වේ. කය නොව සිත මහනකිරීම ප්‍රධාන බව දරත්වා.

පුජනීය මාන්කඩවල සුදස්සන හිමි කල සුත්‍ර විවරණය අසන්න

§1. මා විසින් මෙසේ අසනලදී.
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කෝසල ජනපදයෙහි මහත්වූ භික්ෂු සඩ්ඝයා සමග චාරිකාවෙහි හැසිරෙයි. එසමයෙහි මණ්ඩල කප්ප නම් ගමෙහි වාසය කරන ධනඤ්ජානී නම් බ්‍රාහ්මණ ස්ත්‍රිය බුදුන් කෙරෙහිද, ධර්මය කෙරෙහිද, සඩ්ඝයා කෙරෙහිද, බොහෝ භක්ත්‍යාදරයෙන් යුක්ත උපාසිකාවක්ය. ඇය නිබඳවම බුදුන් දහම් සඟුන් සිහිකරන්නී වරක් ගමනක් යත්දී පය පැටලී වැටෙන්නට යත්දී යලි නොවැටී සිටින්නට පය ඔසවා තබා, ” නමෝ තස්ස භගවතෝඅරහතෝ සම්මා සම්බුද්ධස්ස !” යි තුන්වරක් බුද්ධ වන්දනා ගාථාව හඬ නගා කීවාය.

§ 2. ඒ වෙලාවේ ඒ මගෙහි ගමන් කරමින් සිටි සඩ්ගාරව නම් තරුණයාට 917 මේ ඇසුනී . මේ මානවකයා, නිඝණ්ඩු ශාස්ත්‍රය, කෙටුභ ශාස්ත්‍රය, ශික්ෂා, නිරුක්ති, යන ප්‍රභේදයන් ඇති ඉතිහාසය පස්වැනි කොට ඇති වෙදත්‍රයයේ කෙළවරට ගියාවූ පද හා ව්‍යාකරණ හදාරන්නාවූ, ලොකායත ශාස්ත්‍රයේත් මහා පුරුෂ ලක්ෂණ ශාස්ත්‍රයේත් සම්පූර්ණ පරිචයට පැමිණි, බ්‍රාහ්මණ ධර්ම හදාළ බ්‍රාහ්මණයෙකි. ධනන්ජානි බැමිණිය බුදු රජානන්වහන්සේට වන්දනා කරන ගාථාවක් කියනු අසා ඔහු කෝපයට පත් විය.

[917:- ධනන්ජානි බ්‍රාහ්මණ කාන්තාව, සෝතාපන්න ශ්‍රාවිකාවක් බවත්, මේ සංගාරව මානවකයා ඇයගේ ස්වාමිපුරුෂයාගේ සොහොයුරා බවත් අටුවාව කියයි.]

ඔහු ධනඤ්ජානි බැමිණියට මෙසේ කීය. “මේ තරම් ගුණවත් පුජනීය බ්‍රාහ්මණයන් සිටිද්දී මුඩු ශ්‍රමණයෙකුට වන්දනා කරන නුඹ පිරිහුනීය. විනාශයට පැමිණියාය. කුමක් නිසා ඒ මුඩු ශ්‍රමණයාගේ ගුණ කියයිද ” යනුයි.

“මලනුවනි, නුඹ භාග්‍යවත්හුගේ සීලයත් ප්‍රඥාවත් ගැන නොදන්නෙහිය. ඉදින් , ඒ භාග්‍යවතුන් වහන්සේගේ සීලයත්, ප්‍රඥාවත්, දන්නෙහි නම්, නුඹ ඒ භාග්‍යවතුන් වහන්සේට, නින්දා කරනු තබා එසේ කරන්නට සිතන්නේවත් නැත.”

“එසේ නම් පින්වතිය, යම් කලෙක ශ්‍රමණ ගෞතමයෝ, මණ්ඩල කප්ප ගමට පැමිණෙත්ද, එකල මට කියව”යි කීය.
“ එසේය දරුව, මා නුඹට කියන්නෙමි” යි ධානඤ්ජානි බැමිණිය සඩ්ගාරව මානවකයාට පිළිතුරු දිනි.

§ 4. පසු කලෙක භාග්‍යවතුන් වහන්සේ පිළිවෙළින් චාරිකාවෙහි හැසිරෙන සේක් මණ්ඩල කප්ප ගමටද, පැමිණියහ. භාග්‍යවතුන් වහන්සේ මණ්ඩල කප්ප ගමෙහි තොදය්‍ය බ්‍රාහ්මණයාගේ අඹ වනයෙහි වාසය කරන සේක. භාග්‍යවතුන් වහන්සේ, මණ්ඩල කප්ප ගමට පැමිණ තොදෙය්‍ය බමුණන්ගේ අඹ වනයෙහි වසන සේකැයි ධානඤ්ජානි බැමිණිය ඇසීය. එකල්හි ධානඤ්ජානි බැමිණිය සඩ්ගාරව මානවකයා වෙත පැමිණ මෙසේ කීය.

“දරුව, ඒ භාග්‍යවතුන් වහන්සේ මේ මණ්ඩල කප්ප ගමට පැමිණ මණ්ඩල කප්ප ගමෙහි තොදෙය්‍ය බ්‍රාහ්මණයාගේ අඹ වනයෙහි වාසය කරන සේක. දරුව, ඒ භාග්‍යවතුන් වහන්සේ දකින්නට කැමැත්තේ නම් ඊට දැන් කාලයයි” කීය.

“එසේය, පින්වතියයි” පිළිතුරු දී සංගාරව මානවකයා තොදෙය්‍ය බ්‍රාහ්මණයාගේ අඹ වනය වෙත ගොස් භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වියයුතුවූත්, සිහිකටවූත් කථා කොට නිමවා එක් පසෙක හිඳ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය.

§ 6, “භවත් ගෞතමයන් වහන්ස, මේ ආත්මයෙහිම අධ්‍යාත්මික පුර්ණත්වය ලබාගෙන දැනීමේ කෙළවර කොට, නිවන් පැමිණියාහුයයි, කියන ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ සිටිත්.918

[918: “දිට්ඨධම්මාභිඥඥාවොසානපාරමිපපතතානං ආදීබ්‍රහ්මචරියං පටිජානාති ” අපි බ්‍රහ්මචරියා මාර්ගය ඇති කරන්නන්ය, මිනිසුන් පුර්න භාවයට පත් කිරීමේ ප්‍රතිපත්තිය හා ක්‍රමය තමන් සකස් කළේය, මේ ජීවිතය කෙසේ ඇතිවුයේදැයි වටහාගෙන අපි පුර්නබවට පත් වීමු . නිර්වානය යයි කියනා ඒ සම්පුර්ණත්වයට යන ප්‍රතිපත්තිය අපි දන්නෙමු” යි කියති.]

“භවත් ගෞතමයන් වහන්ස, ඔවුන් අතුරෙන් භවත් ගෞතමයන් වහන්සේ කවර තැනක ඉන්නේද?”

§ 7. “භාරද්වාජය, දැනීම කෙළවරට ගොස් නිවනට පැමිණියාහුයයි, බ්‍රහ්මචර්යාවේ නිර්මාපකයායි කියන ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ නානත්වයක් වෙනස් කම් මම දකිමි.

(a) භාරද්වාජය, තමන්ට පෙර සිටි ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගෙන් පැවත ආ යම් ධර්මයක්, ඉගැන්වීමක්, පටිපදාවක් විශ්වාස කරමින් ඉගෙන, ඒ ඉගැන්වීම විමුක්තිය ලබා දෙන්නේයැයි ඇති ශ්‍රද්ධාව නොහොත් විශ්වාසය නිසා, තමන් විමුක්තිය ලද්දෙම්යැයි, විමුක්ති මාර්ගය උගැන්වමැයි කියන ත්‍රිවේද වාගීශ්වර ආදී ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඇත. 919

[919:-අද පවත්නා බොහෝ ආගම් මෙසේ පෙර සිට ආ නිසා පරම්පරාවම මේ ධර්මය ඇදහු නිසා මෙයම පමණක් විස්වාස කරන අයගේ ඇදහීම් වේ. ලංකාවේ ඇති බුද්ධාගමද එසේම බව කනගාටුවෙන් වුවත් කිව යුතුවේ. අභිධර්ම පිටකය , විසුද්ධි මාර්ගය, ආදී පරිබාහිර දේ කර ගසාගෙන අභිධර්ම විශාරද කියාගන්නන් විනා පටිපදාවේ යෙදී විමුක්ති මාර්ගයට බට කෙනෙක් සොයාගන්නට නොහැකි තරම්ය.]

(b) සම්පුර්ණයෙන්ම ශ්‍රද්ධාව නොහොත් භක්තිය, විශ්වාසය මුල් කරගෙන, පාදක කරගෙන, තම ධර්මය, පටිපදාව විමුක්තිය ගෙන දෙන්නේය අදහන, විතර්ක විමංසා920 මගින් ඒ ඔප්පු කරන්නට සමත් තමන් විමුක්තිය ලද්දෙම්යැයි, විමුක්ති මාර්ගය උගැන්වමැයි කියන ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඇත.

[920: සද්ධා මත්තකෙන – ශ්‍රද්ධාව මත පමණක් රඳා සිටින මේ කාණ්ඩය ගැන කියද්දී තක්කි, වීමංසි දෙක මත වූ ශ්‍රද්ධාව යයි සඳහන්වීම ප්‍රශ්න සහගත වන්නේ චංකි සුත්‍රයේදී තක්කි සහ විමන්සි දෙක තනි තනිව ගෙන ශ්‍රද්ධාව වෙනම ගෙන දක්වා ඇති නිසාය. පෙර ඇදහීම් විශ්වාස කිරීම හුදු ශ්‍රද්ධාව මත පිහිටා කරන බව පමණක් කීම වඩා සුදුසු බව සිතමි.- බෝධි ස්ථවිර]

(c) මින් පෙර කිසිවෙකු නොකියූ , කිසිදා නො ඇසු ධර්මයක් (පුබ්බේ අනනුස්සුතෙසු ) තමන්ම ස්වකීය උත්සාහයෙන් අවබෝධ කරගෙන921 විමුක්ති සාධනය කරගත්, ඒ විමුක්ති පටිපදාව දේශනා කරණ ශ්‍රමණ බ්‍රාහ්මණයන්ද වෙත්.

[921:- සමන් යෙව ධම්මංඅභිඥඥාය : පදයෙන් තමන් වහන්සේම ප්‍රත්‍යක්ෂ කොට අවබෝධකරගත් බව දැක්වේ.]

§ 8 . “භාරද්වාජය, මම එවැනි කෙනෙක් වෙමි. පෙර නොඇසූ ධර්මයන් තමන්ම ප්‍රත්‍යක්ෂව දැන සම්පුර්ණවම අවබෝධකරගත් බව කියා නිර්වාන අවබෝධයට පත් වූවෙමි යයි යමෙක් කියන්නේ නම් ඒ මම ම වෙමි. ඒ අවබෝධය කෙසේ ලැබූ වේදැයි කිවහොත්,:-

§ 9. “භාරද්වාජය, බුද්ධත්වයට පත්වූවන්නට පෙර, මගේ බෝසත් කාලයේදී මට මෙබඳු අදහසක් විය. ගිහිගෙයි විසීම අවහිර සහිතය, කෙලෙස් රජස් උපදින මාර්ගයයි. ශ්‍රමණ ජීවිතය, අවකාශය මෙන් නිදහස්ය. ගිහිගෙයි වසන්නකුට, සියලු ආකාරයෙන් පිරිසිදුවු, සියලු ආකාරයෙන් සම්පූර්ණවූ, ලියවන ලද සකක් බදුවූ, නොකිලිටි වූ මේ බ්‍රහ්මචර්යාවෙහි හැසිරීම පහසු නොවෙයි. මම හිසකේ රැවුලු කපා, කසාවත් හැඳ, ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වන්නෙම් නම් ඉතා යෙහෙකැයි කියාය.922

[922: මේ සුත්‍රයේද, අරිය පරියේසන සුත්‍රයේද, සච්චක සුත්‍රයේද, තවත් සුත්‍ර කිහිපයකම බෝධිසත්වයන්ගේ අභිනිෂ්ක්‍රමණය ගැන සඳහන් වේ. සිද්ධාර්ථ කුමරු දෙමාපියන්ට, යසෝදරාවට සොරෙන්, සියල්ලන් නිදත්දී, කන්ථක අසු පිට නැගී කිඹුල්වත් නුවරින් පැන ගිය බවක් ඒ කිසි තැනක සඳහන් නොවේ. මෙසේ සුත්‍ර ධර්මය විකෘති කර ඇත්තේ ජනයාගේ ශ්‍රද්ධාව වැඩි කිරීම පිණිස විය හැක. ඒ ප්‍රයත්නය අනිත් පැත්තට පෙරලී බෝධිසත්වයන් අඹු දරුවන්ට නොකියා හොරෙන් පැන ගියේය කියන්නට අන්‍යාගමිකයෝ මේ පාවිච්චියට ගනී.]

§ 10. භාරද්වාජය, මම එයින් ටික කලකට පසු තරුණ වයසේදීම, හිසකෙස් කළු පහන් තිබියදීම, භද්‍ර යෞවන වයසෙහිදීම, මනා තරුණ භාවයෙන් යුක්තව සිටියදීම, මවුපියන් නොකැමතිව අඬත්දී, හිසකෙස් දැළිරැවුල් කපාහැර කසා වත් හැඳ ගෙන ගිහිගෙන් නික්ම අනගාරිකව පැවිදිවීමි.

§ 11. මෙසේ පැවිදිවූ මම කුසල් කුමක් දැයි විමුක්ති මාර්ගය කුමක්දැයි සොයමින්, නිරුත්තරවූ උතුම් විමුක්තිය සොයමින් ආචාර්යයෙකු සොයන්නේ, කාලාම ගොත්‍ර නාමය ඇති ආළාර තවුස්තුමා ගැන අසා ඔහු වෙත ගොස් මෙසේ කීයෙමි.
“ඇවැත්නි කාලාමයෙනි, මම මේ සස්නෙහි උතුම් හැසිරීමෙහි හා ඔබේ ධර්මය පිළිපැදීමට කැමැත්තෙමි’යි යනුයි.

භාරද්වාජය, මෙසේ කී කල්හි ආළාර කාලාම තවුසන් මට මෙසේ කීයේය.
“යම් නුවණැති පුරුෂයෙක් නොබෝ කලකින් ස්වකීය ආචාර්යවරයාගේ ධර්මය දැන තමාගේම අත්දැකීමෙන් ඒ ධර්මය ප්‍රත්‍යක්ෂ කොට වාසය කරන්නේද මේ ධර්මය එබඳුය. එහෙයින් ආයුෂ්මත් හුද එසේ වාසය කෙරේවා”යි යනුවෙනි.

“භාරද්වාජය, මම නොබෝ කලකින්ම ඔවුන්ගේ ධර්මය අසා ඉගෙන ගත්තෙමි. භාරද්වාජය,, මම ඔහු කියූ දෙයට පිළිතුරු දීමට තොල් සෙලවූ පමණින්, පාඩම් කරගත් පිළිතුරු දුන් පමණින් නොව උගත් ධර්මය මගේම අත් දැකීමෙන් හා වටහා ගැනීමෙන් ඒ ධර්මය, ඒ ඉගැන්වීම දනිමි, දකිමියිද කියමි. මා පමණක් නොව අන්‍යයෝද එසේ ප්‍රකාශ කරති. ඉදින් භාරද්වාජය, ආළාර කාලාම තවුසන් මේ ධර්මය හුදෙක් ඇදහීම් පමණකින් ප්‍රකාශ නොකොට තම විශිෂ්ට ඥානයෙන්ම ප්‍රත්‍යක්ෂ කොට දැන වාසය කරති යි මට සිත් විය.

ඉක්බිති භාරද්වාජය, මම ආළාරකාලාමයන් වෙත ගොස් මෙසේ ඇසීමි. ‘ඇවැත්නි, කාලාමයෙනි, කෙසේ නම්, කුමන ආකාරයකින් මේ ධර්මය දැන ප්‍රත්‍යක්ෂ කොට ඊට එළඹ වසමි යැයි ඔබතුමා ප්‍රකාශ කෙරේදැ’යි කියාය. භාරද්වාජය, මෙසේ කී කල්හි ආළාරකාලාම තවුසන්   ආකිඤ්චඤ්ඤායතනය ට302 එළැඹෙන සැටි මට කීයේය.

[302 :- අටුවාව: සමාධි භාවනාවෙහි හත්වන ප්‍රතිඵලය වන නේවසඥා තෙක් නොව සතරවන අරුපි ධ්‍යානය තෙක් වුවත් සිත් වැඩීම අධ්‍යාත්මික හැසිරීමෙහි ලැබිය හැකි විශාල දියුණුවකි. එනමුත් ඒ සමාධි චිත්තය පමණක් විමුක්තිය (නිර්වාණය) පිණිස ප්‍රමාණවත් නොවේ. නෙවසඥාව තෙක් වැඩු සිත් ඇත්තෙක් මරණයෙන් මතු කල්ප 60,000ක් ආයුෂ ඇති නෙවසඥා තලයෙහි පහල වෙයි. නමුත් ඒ ඉතා දිගු ආයුෂය ගෙවීමෙන් පසු නැවත පහත තලයක උපතක් ලබයි. නෙවසඥා තලයෙහි උපත් ලදුවත් මාරයාගේ උගුලෙන් නොගැලවුන බව දත යුතුය.]

භාරද්වාජය, මට මේ අදහස පහළ විය. “ආළාරකාලාම තවුසන්ට පමණක් නොව මටද ශ්‍රද්ධාව ඇත්තේ වෙයි. වීර්ය ඇත්තේ වෙයි. මටද සතිය ඇත්තේය. මටද සමාධිය ඇත්තේය. මටද ප්‍රඥාව ඇත්තේය.303 ආළාරකාලාම තවුසන් යම් ධර්මයක් ප්‍රත්‍යක්ෂකොට දැන වාසය කරමි, යි කියයි නම්, ඒ ධර්මය ප්‍රත්‍යක්ෂකොට දැනගන්නට මමද වීර්ය කරන්නෙම් ” කියායි.

[303: පංච ඉන්ද්‍රියයන් තුලින් ඇති වන පංච බල මෙසේ දක්වා ඇතත් , තවම බෝධිසත්වයෙකුවූ සිද්ධාරථ තවුසාගේ මේ ගුණ තිබුනේය කීම විශ්වාස කල නොහැක. ආර්ය තත්වයෙදී පමණක් ඇතිවන මේ පංච බලයන් මෙහි ඇත්තේ මුල් සුත්‍ර දේශනාව සංස්කරණය කොට බව මේ සුත්‍රයේ චීන පිටපත කියවීමෙන් දැක්ක හැක. චීන මජ්ජිම ආගමේ සඳහා වන්නේ ශ්‍රද්ධාව වීර්ය පමණකි. ]

“භාරද්වාජය, මම නොබෝ කලකින් ඒ ධර්මය උගෙනගත් පරිදිම වඩා, මම, ම දැන ප්‍රත්‍යක්ෂකොට ඊට පැමිණ වාසය කෙළෙමි. භාරද්වාජය, ඉක්බිති මම ආළාර කාලාම තවුසන් වෙත ගොස්, ‘ඇවැත්නි, කාලාමයෙනි, මේ ධර්මය ඔබ උගැන්වූ පරිදි, මම මෙසේ වඩා, මෙසේ ප්‍රත්‍යක්ෂ කොට ගත්තෙමි.” යි විස්තර කලෙමි .

එවිට එතුමා මට මෙසේ ප්‍රසංසා කළේය.
“ඉතාමත් අගනේය. මිතුර ඉතාමත් අගනේය. මම ද විමුක්ති සුව විඳින්නේ ඔබ විඳිනා ලෙසමය. මා වටහා ගත් ධර්මය එපරිද්දෙන්ම ඔබද වටහා ගෙන ඇත. ඔබ වටහා ගත් ලෙසම මාද වටහා ගත්තේ වෙමි. ඔබ වැනි සබ්‍රහ්මචාරීන් අප අතර විසීම අපට මහත් ලාභයකි. මම යම්බඳුද, ඔබත් එබඳුය. ඔබ යම්බඳුද, මාත් එබඳුය. ඇවැත්නි, එනු මැනව. මා හා එක්ව මේ අපේ අනෙක් ශ්‍රමණයන්ද විමුක්ති මාර්ගයට පමුණුවමු” යි කීහ.

“භාරද්වාජය, මෙසේ මාගේ ආචාර්යවූ ආළාරකාලාම තවුසන් ඔහුගේ ශිෂ්‍යයාවූ මා, ඔහු හා සම සම තන්හි තැබීය. පිදිය හැකි උසස්ම පූජායෙන් මා පිදීය.

භාරද්වාජය, මට මෙසේ සිත්විය. මා ආලාර කාලාමයන් ගෙන් උගත්  ධර්මය, කාමයන් කෙරෙහි කලකිරීම පිණිස, නොඇල්ම පිණිස, කෙලෙස් නැති කිරීම පිණිස, කෙලෙස් සංසිඳීම පිණිස, විශෙෂයෙන් දැනගැනීම පිණිස, අවබොධය පිණිස, නිවන් පිණිස නොපවතියි. ආකිඤ්චඤ්ඤායතන බඹලොව ඉපදීම පිණිස පමණක් පවතියි. මාර පාසයෙන් නිත්‍ය ගැලවීමෙන් තොර වූ එම ධර්මය ප්‍රමාණවත් නොවේයයි සලකා ඒ ධර්මයෙහි පමණක් නොසැහිමෙන් , මම එතුමා කෙරෙන් ඉවත්ව ගියෙමි.

§ 12 . “භාරද්වාජය, නැවතත් මම කුසල් කුමක්දැයි සොයමින්, නිරුත්තරවූ උතුම් නිර්වාණය සොයමින් ආචාර්යවරයකු සොයන්නේ උද්දක රාම පුත්ත304 තවුසන් ගැන අසා ඔහු සොයා ගියෙමි. ගොස් මෙසේ කීයෙමි.
“ඇවැත්නි, මමද මේ ධර්මයෙහි හැසිරෙන්ට කැමැත්තෙමි’යි කීයෙමි.
“භාරද්වාජය, මෙසේ කී කල්හි උද්දකරාම පුත්ත තවුසන් මට මෙසේ කීයේය.
‘යම් නුවණැත්තාවූ පුරුෂයෙක් වැඩි කල්නො නොයවා ස්වකීය ආචාර්යවරයාගේ ධර්මය තමාම දැන ප්‍රත්‍යක්ෂකොට වාසය කරන්නේද මේ ධර්මය එබඳුය එහෙයින් ආයුෂ්මතුන් මෙහි වැඩ සිට, මේ පිළිවෙත් පුරත්වා . මේ ධර්ම මාර්ගයේ ප්‍රතිපත්ති පුරත්වා. “යි කියායි.

[304 :  උද්ද තවුසන් හා රාම යනුවෙන් හැඳින්වෙන්නේ දෙදෙනෙක් නොව එක් තාපස තුමෙක් යයි ගරු ඥාණමෝලි ස්වාමින්වහන්සේ සහ හෝනර් යන පරිවර්තකයන් සලකු බව පෙනේ. ඒ සාවද්ය බවත් උද්දක නමින් මෙසේ හැඳින්වෙන තවුස්තුමා පෙර විසු රාම තවුසන්ගේ ඥාති පුත්‍රයෙක් නොව හෝ බොහෝවිට අනුප්‍රාප්තික ශිෂ්‍ය තවුසෙකු බව “රාම පුත්ත” වචනයෙන් දැක්වෙන බව පුජ්‍ය බෝධි ස්වාමින් වහන්සේ දක්වයි. රාම පුත්ත ලෙස උද්දකට පෙර නමක්, යෙදු බවත් සිද්ධාර්ථ ගෞතමයන්ගේ උපතට පෙර රාම තාපසයන් මෙලොව හැර ගිය බවත්, උද්දක තවුසන්ගේ ධ්‍යාන දියුණුව ගැන වැඩි විස්තරයක් සඳහන් නොවෙතත් සිද්ධාර්ථ තවුසන් ඔහු කෙරෙන් නික්ම යන තෙක්ම උද්දක තවුසන් සතරවන ධ්‍යානයට එළඹීමට සමත් වූ බවක් නොදැක්වෙන බවද පුජනිය බෝධි හිමියන් දක්වයි]

“භාරද්වාජය, මම නොබෝ කලකින් ඔවුන්ගේ ධර්මය අසා ඉගෙන ගත්තෙමි. භාරද්වාජය, මම ඔහු කියූ දෙයට පිළිතුරු දීමට තොල් සෙලවූ පමණින්, පාඩම් කරගත් පිළිතුරු දුන් පමණින් නොව උගත් ධර්මය මගේම අත් දැකීමෙන් හා වටහා ගැනීමෙන් ඒ ධර්මය, ඒ ඉගැන්වීම දනිමි, දකිමියිද කියමි. මා පමණක් නොව අන්‍යයෝද එසේ ප්‍රකාශ කරති. ඉදින් භාරද්වාජය, උද්දක තවුසන් මේ ධර්මය හුදෙක් ඇදහීම් පමණකින් ප්‍රකාශ නොකොට තම විශිෂ්ට ඥානයෙන්ම ප්‍රත්‍යක්ෂ කොට දැන වාසය කරති යි මට සිත් විය. ඉක්බිති භාරද්වාජය, මම උද්දක තවුසන් වෙත ගොස් මෙසේ ඇසීමි.

‘ඇවැත්නි, රාම පුත්‍රයෙනි, කෙසේ නම්, කුමන ආකාරයකින් මේ ධර්මය දැන ප්‍රත්‍යක්ෂ කොට ඊට එළඹ වසමි’ යැයි ඔබතුමා ප්‍රකාශ කෙරේදැ’යි කියාය. භාරද්වාජය, මෙසේ කී කල්හි උද්දකරාම පුත්ත තවුසන් නෙවසඤ්ඤා-නාසඤ්ඤායතනය දක්වා සිත පැවැත්වීම කෙසේ කලයුතු දැයි මට ඉගැන්වූයේය. .

භාරද්වාජය, මට මේ අදහස පහළ විය. උද්දකරාම පුත්ත තවුසන් හට පමණක් නොව මටද ශ්‍රද්ධාව ඇත්තේ වෙයි. වීර්ය ඇත්තේ වෙයි. මටද සතිය ඇත්තේය. මටද සමාධිය ඇත්තේය. මටද ප්‍රඥාව ඇත්තේය.303 උද්දකරාම පුත්ත තවුසන් යම් ධර්මයක් ප්‍රත්‍යක්ෂකොට දැන වාසය කරමියි කියයි නම් ඒ ධර්මය ප්‍රත්‍යක්ෂකොට දැනගන්නට මමද වීර්ය කරන්නෙම් නම් හොඳය කියායි.

“භාරද්වාජය, මම නොබෝ කලකින් ඒ ධර්මය උගෙනගත් පරිදිම වඩා, මම ම දැන ප්‍රත්‍යක්ෂකොට ඊට පැමිණ වාසය කෙළෙමි. භාරද්වාජය, ඉක්බිති මම උද්දකරාම පුත්ත තවුසන් වෙත ගොස්, ‘ඇවැත්නි, රාමපුත්තයෙනි, මේ ධර්මය ඔබ උගැන්වූ පරිදි, මම මෙසේ වඩා, මෙසේ නෙවසඤ්ඤා-නාසඤ්ඤායතනය ප්‍රත්‍යක්ෂ කොට ගත්තෙමි.” යි විස්තර කලෙම්.

“ඉතාමත් අගනේය. මිතුර ඉතාමත් අගනේය. මගේ ශාස්තෘ රාම යන්ද විමුක්ති සුව වින්දේ ඔබ විඳිනා ලෙසමය. එතුමා වටහා ගත් ධර්මය එපරිද්දෙන්ම ඔබද වටහා ගෙන ඇත. ඔබ වටහා ගත ලෙසම එතුමා වටහා ගත්තේය. ඔබ වැනි සබ්‍රහ්මචාරීන් අප අතර විසීම අපට මහත් ලාභයකි. මගේ ගුරු දෙවි යම්බඳුද ඔබත් එබඳුය. ඔබ යම්බඳුද එතුමාත් එබඳුය. ඇවැත්නි, එනු මැනව. ඔබ තුමා මටත් මේ අනෙක් ශ්‍රමණයන් විමුක්ති මාර්ගයට පමුණුවමු” යි කීහ.

“භාරද්වාජය, මෙසේ මාගේ ආචාර්යවූ උද්දකරාම පුත්ත තවුසන්, ඔහුගේ ශිෂ්‍යයාවූ මා ඔහුගේ ගුරු තන්හි තැබීය. පිදිය හැකි උසස්ම පූජායෙන් මා පිදීය.


“භාරද්වාජය, මට මෙසේ සිත්විය. මේ ධර්මය, කලකිරීම පිණිස, කාමයන්හි නොඇල්ම පිණිස, කෙලෙස් නැති කිරීම පිණිස, කෙලෙස් සංසිඳීම පිණිස, විශෙෂයෙන් දැනගැනීම පිණිස, අවබොධය පිණිස, නිවන් පිණිස නොපවතියි.305 නෙවසඥා නාසඥා බඹලොව ඉපදීම පිණිස පමණක් පවතියි. මාර පාසයෙන් නිත්‍ය ගැලවීමෙන් තොර වූ එම ධර්මය ප්‍රමාණවත් නොවේයයි සලකා ඒ ධර්මයෙහි පමණක් සැහිමට නොපැමිණි හෙයින් , මම එතුමා කෙරෙන් ඉවත්ව ගියෙමි.

[305:- මේ ධර්මය ” නායං ධම්මෝ, නිබ්බිදාය, න විරාගය, න නිරෝධාය, න උපසමාය, න භීඥඥාය, න සම්බෝධාය, න නිබ්බානාය,….” ලෙස ථෙරවාද ත්‍රිපිටකයේ සඳහන් වෙතත්, තවමත් ආර්යත්වයට නොපත් සිදුහත් තවුසන් තවමත් නිර්වාණයේ ස්වාභාවය ගැන දැන නොසිටි නිසා, නිර්වාණය සොයන්නෙකු නිසා එහි ස්වභාවය නොදන්නා සිදුහත් තවුසා නිර්වාණයේ මේ ගුණ , උද්දක ගේ සාසනයේ නැති නිසා ඉන් ඉවත්වුනාය කීම සාවද්‍යය.]

§ 13. “භාරද්වාජය, මම කුසල් කුමක්දැයි සොයමින්,306 අනුත්තරවූ නිර්වාණය සොයමින් මගධරට පිළිවෙළින් සැරිසරා උරුවල් දනව්වෙහි සේනානි නම් නියම්ගම දෙසට ගියෙමි. එහි ගලායන ගඟක් මායිම් කොට සුදු වැලි තලා ඇත්තාවූද යහපත් තොටවල් ඇත්තාවූද පහසුවෙන් පිඩු පිණිස හැසිරිය හැකි ගම් ඇත්තාවූද ප්‍රසාදය එළවන්නාවූ සිත් සතුටුකරන්නාවූ වන ලැහැබක් ඇති බිම් පෙදෙසක් දිටිමි. භාරද්වාජය, මට මෙසේ සිත් විය. ඒකාන්තයෙන් බිම් පෙදෙස සිත්කලුය, වනලැහැබ ප්‍රසාදය එළවන්නේය, දිය ගලා බස්නා සුදු වැලිතලා ඇති මනා තොටු ඇති ගඟද සිත් කලුය. හාත්පස ගොදුරු ගමද වෙයි. වීර්ය කරන කුලපුත්‍රයෙකුට වීර්ය කිරීම පිණිස මේ ස්ථානය සුදුසුයයි කියායි.

[306:- බෝසතුන් වහන්සේ ආලාර කාලාම හා උද්දක රාමපුත්ත තවුසන්ගෙන් නේවසඥා හා නෙවසඥා -නාසඥා තෙක් සිත් වැඩීම ඉගෙන, දුෂ්කර අත්තකිලමතානු පටිපදාවෙහි යෙදී මරණාසන්න ස්වාභායට කය පෙලූ ආකාරයත්, ඉන් පසුව මධ්‍යම ප්‍රතිපදාව මග වේයැයි ගෙන සම්මා සම්බුධත්වයට පත් වූ ආකාරයත් , අරිය පරියේසන සුත්‍රයේද, මහා සච්චක සුත්‍රයේද තවත් සුත්‍ර කිහිපයකද ඒ ලෙසම සඳහන් වෙයි.]

§ 14 “භාරද්වාජය, මට ආශ්චර්‍ය්‍යවූ, පෙර නොඇසු විරූ උපමා තුනක් සිහියට ආවේය.

§14. (i) “භාරද්වාජය, පොත්තේ කිරි සහිතවූ, අමු, එමෙන්ම දියෙන් ගත්, තෙත්වූ දිඹුල් ලී කැබැල්ලක් ගෙන යම් පුරුෂයෙක් ගිනිගානා දණ්ඩක් ගෙන එකට උලා ගිනි නිපදවන්නෙමියි ගින්දර ඇතිකරන්නෙමියි, කියන්නේය. භාරද්වාජය, ඒ පුරුෂයා ජලයෙහි බහාලන ලද ඒ කිරිසහිත අමු දිඹුල් ලී කැබෙල්ල ගිනි ගානා දණ්ඩෙන් මැදීමෙන් ගින්දර උපදවන්නේද? ගිනි පහළ කරන්නේද?”

“භවත් ගෞතමයෙනි, එය සිදු නොවන්නේය.
ඊට හේතු කවරේදයත්:-
භවත් ගෞතමයෙනි, දිඹුල් ලී කඩ අමුය, කිරි සහිතය, එපමණක් නොව ජලයෙහිද බහා ලන ලද්දේය. තෙතය. එහෙයිනි , ඒ ලීයෙන් ගිනි උපදවනු කැමැති ඒ පුරුෂයා වෙහෙසට පැමිණීම පමණක් සිදුවන්නේය.”

“සැබව “භාරද්වාජය, එපරිද්දෙන්ම ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ කයින් වස්තු කාමයන්ගෙන් වෙන්ව වාසය නොකරත්ද,307 (physically not separated), කාම වස්තු කෙරෙහි ඔවුන්ගේ යම් කැමැත්තක්, ඇල්මක් වේද, කාම ආසාවක් වේද, කාම මුර්ඡාවක් වේද, කාම පිපාසයක් වේද, කාම දැවිල්ලක් වේද, ඒ ක්ලේශ කාමය තමා තුල නැති නොවූයේද, මැඩපවත්වන නොකලේද , ඒ පින්වත් මහණ බමුණෝ උපක්‍රමයෙන් හටගත්තාවූ, දුක්වූ, තියුණුවූ, කටුකවූ වේදනාවන් විඳිත්. ඔවුහු ආර්‍ය්‍ය මාර්ගඥාන දර්ශනයටද, නිරුත්තරවූ අවබොධයටද සමත් නොවේය.

“භාරද්වාජය, ආශ්චර්‍ය්‍යවූ පෙර නොඇසුවිරූ මේ පළමුවන උපමාව මට වැටහුණි.

[307:- අවුපකට්ඨා විහරන්ති යන පදය “කායෙන” සමග යෙදීමෙන් මේ ශ්‍රමනයන් ශාරීරිකව තවමත් ගිහි ගෙහි ඉන්නා බවක් හැඟවේ. ශ්‍රමණ වෙස් ගැනීම ගේ දොර අඹු දරුවන් හැර යාම ලෙස ගැනෙන විට ඔවුන් භෞතිකව, ශාරීරිකව ගිහි සම්පතින් ඈත් ව ඉන්නා බව කියැවේ.

§ 15 .(ii) “භාරද්වාජය, ආශ්චර්‍ය්‍යවූ පෙර නොඇසුවිරූ දෙවෙනි උපමාවක්ද මට වැටහිණි. භාරද්වාජය, පොත්තේ කිරි සහිතවූ, අමු, වියලි බිම තිබුනාවූ, අමු දිඹුල් ලී කැබැල්ලක් ගෙන යම් පුරුෂයෙක් ගිනිගානා දණ්ඩක් ගෙන එකට උලා ගිනි නිපදවන්නෙමියි ගින්දර ඇතිකරන්නෙමියි, කියන්නේය. භාරද්වාජය, ඒ පුරුෂයා ඒ කිරිසහිත අමු දිඹුල් ලී කැබෙල්ල ගිනි ගානා දණ්ඩෙන් මැදීමෙන් ගිනි නිපදවන්නේද? ගිනි පහළ කරන්නේද?”

“භවත් ගෞතමයෙනි, එය සිදු නොවන්නේය.
ඊට හේතු කවරේද යත්:-
භවත් ගෞතමයෙනි, ඒ ලී කඩ ජලයෙන් බැහැර කර ගොඩබිමෙහි දමා තිබුණත් කිරි සහිතය. අමුය එහෙයිනි. ඒ පුරුෂයා වෙහෙසට පත්වීම පමණක් නම් සිදුවන්නේය.”

“භාරද්වාජය, එපරිද්දෙන්ම යම්කිසි ශ්‍රමණයකු හෝ බ්‍රාහ්මණයකු හෝ කයින් කාමයන් ගෙන් වෙන්ව වාසය කරත්ද, එහෙත් කාම වස්තු කෙරෙහි ඔවුන්ගේ සිත්වල ඇල්මක් ඉතිරි වේද, කාම ආශාවක් වේද, කාම මුර්ඡාවක් වේද, කාම පිපාසයක් වේද, කාම දැවිල්ලක් වේද, එය අභ්‍යන්තරයෙහි මනාව නැති නොකළේද, මැඩ නොපවත්වන ලද්දේ වේද, ඒ පින්වත් මහණ බමුණෝ උපක්‍රමයෙන් හටගත්තාවූ, දුක්වූ තියුණුවූ, කටුකවූ වේදනාවන් විඳිත්. ඔවුහු ආර්‍ය්‍යඥාන දර්ශනයටද, නිරුත්තර අවබොධයටද අසමත් වෙති..

“භාරද්වාජය, මේ මට වැටහුනු ආශ්චර්ය වූ , පෙර නොඇසුවාවූ දෙවෙනි උපමාවයි.

§ 16 . “භාරද්වාජය, පුදුමවූ පෙර නොඇසුවාවූ තුන් වෙනිවූ උපමාවක්ද මට වැටහුනේය.
භාරද්වාජය, වියලුනාවූ, පොත්තේ වූ කිරි සිඳුනාවූ, වතුරෙහි නොව ගොඩබිමෙහි තිබුණු වියලි දරලීයක් වේ. පුරුෂයෙක් ගිනිගානා දණ්ඩ ගෙන ගිනි උපදවන්නෙමි. ගින්න ඇති කරන්නෙමියි කියා ඒ පුරුෂයා වියලුනාවූ කිරි සිඳුනාවූ, ගොඩ තිබු ඒ ලීය ඒ ගිනි ගානා දණ්ඩ ගෙන මැදීමෙන් ගිනි උපදවන්නේද? ගින්න ඇති කරන්නේද?”

“භවත් ගෞතමයෙනි, එසේය.
ඊට හේතු කවරේද?
භවත් ගෞතමයෙනි, ඒ ලීය වියලුන එකකි., කිරි සිඳුනේවෙයි, වතුරෙහි නොව ගොඩ තිබුන ලද්දේත් වෙයි.”

“භාරද්වාජය, එපරිද්දෙන්ම ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ භෞතිකව, කාම වස්තුන් ගෙන් වෙන්ව වාසය කරත්ද, ඔවුන්ගේ සිත්වල කාමවස්තූන් කෙරෙහි ඇල්මක් නොවේද, කාම ආසාවක් නොවේද, කාම මුර්ඡාවක් නොවේද, කාම දැවිල්ලක් නොවේද, තිබු කාමය, ආශාව අධ්‍යාත්මයෙහි , එනම් සන්තානයෙහි ප්‍රහීන කලේද, මුලින්ම මැඩ පැවත් වූයේද, ඒ පින්වත් මහණ බමුණෝ උපක්‍රමයෙන් හටගත්තාවූ, තියුණුවූ, කටුකවූ, වෙදනාවන් නොවිඳිත්. ඔවුහු මාර්ග ඥාන දර්ශනය පිණිස, නිරුත්තරවූ අවබොධය පිණිස සමත් වෙති.

“භාරද්වාජය, ආශ්චර්‍ය්‍යවූ පෙර නොඇසු විරූ මේ උපමාතුන මට වැටහුනාහුය.

§ 17. “භාරද්වාජය, එවිට මට මෙසේ කරන්නට සිතුනි .
යම් කෙලෙස් සිතක් එන්නේ නම් , කෙසේ හෝ මම මට යටි දත් පෙළෙහි උඩු දත් පෙළ තදකරගෙන (දත් මිටි කාගෙන,) දිව උඩුතල්ලෙහි තද කරගෙන, කුසල් සිතින්, ඒ මතුවන අකුසල් සිත යටපත් කරන්නෙම් නම්, පෙළන්නෙම් නම් යෙහෙක’ කියායි.

“භාරද්වාජය, මම දත්මිටිකාගෙන දිව උඩුතල්ලෙහි තදකරගෙන, කුසල් සිතින් අකුසල් සිත යටපත් කරමි, පෙළමි, තවමි. අග්ගිවෙස්සනය, එසේ කුසල් සිතින් අකුසල් සිත යටපත් කරන්නාවූ, පෙළන්නාවූ, තවන්නාවූ මාගේ කිහිලිවලින් ඩාදිය වැගිරෙන්නේය.

“භාරද්වාජය, යම් බලවත් පුරුෂයෙක් විසින් ඉතා දුර්වල පුරුෂයෙකු හිසින් හෝ අල්වාගෙන, බෙල්ලෙන් හෝ අල්වාගෙන තදකරන්නේද, පෙළන්නේද, තවන්නේද, භාරද්වාජය, එපරිද්දෙන්ම දත්මිටිකාගෙන, දිව උඩු තල්ලෙහි තදකරගෙන කුසල් සිතින් අකුසල් සිත යටපත් කරන්නාවූ, පෙළන්නාවූ, තවන්නාවූ මාගේ කිහිලිවලින් ඩාදිය වැගිරෙන්නට විය.

“භාරද්වාජය, මා විසින් නොහැකුළුණු වීර්‍ය්‍යය පටන්ගන්නා ලද්දෙමි . සතිය පිහිටවුවෙමි. අසතිය දුරු කලෙමි. එසේ පධාන වීර්‍ය්‍යයෙන් මඬන ලද්දාවූ මාගේ ශරීරය දැවෙන්නට විය. නොසන්සිඳුනේ විය.

§ 18. . “භාරද්වාජය, එවිට මට මෙසේ කරන්නට සිතුනි.
මම ආශ්වාස කිරීම් රහිත භාවනාව වඩන්නෙම් නම් යෙහෙක කියාය. 387

[387: අද පවා හින්දු භක්තිකයන් ප්‍රාණයාම් ලෙස කරන අස්ශ්වාස ප්‍රශ්වාසය පාලනය කිරීමේ භාවනාවේ උච්චතම අවස්තාව හුස්ම නොගෙන කෙරෙන භාවනාවය. නාසයෙන් හුස්ම නොගන්නා විට, මුඛයෙන් හුස්ම ගැනේ. එයද වසා ගත විට කන් සිදුරු වලින් හුස්ම ඇති වේ. එයද වැසූ විට මේ අති දුෂ්කර ප්‍රාණ යාමය සිදු කරන්නේයැයි කියති.]

“භාරද්වාජය, මම කටින්ද, නාසයෙන්ද ආශ්වාස ප්‍රශ්වාස නොකොට නතර කලෙමි. වැළැක්වූයෙමි. භාරද්වාජය, කටින්ද, නාසයෙන්ද ආශ්වාස වැළැක්වූ කල්හි කන් සිදුරුවලින් පිටවන වාතයෙහි අධික ශබ්දය ඇතිවෙයි. මයිනහමක් පිඹින කල්හි යම්සේ අධික ශබ්දයක් ඇතිවේද, එපරිද්දෙන්ම භාරද්වාජය, මාගේ මුඛයෙන්ද, නාසයෙන්ද, ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූ කල්හි කන් සිදුර වලින් පිටවන වාතයෙහි අධික ශබ්දය ඇතිවෙයි.

භාරද්වාජය, මා විසින් පධාන වීර්යය පටන් ගන්නා ලදී. සතිය නොපිරිහි එළඹ සිටියේය. එහෙයින්ම අසතිය හෝ මුළාවීමක් නොවීය. පධාන වීර්යය වඩන්නාවූ මාගේ ශරීරය දැවෙන්නට වෙයි. නොසන්සිඳුනේ වෙයි. භාරද්වාජය, මට මෙසේ ආශ්වාස ප්‍රශ්වාස වලක්වත්දී උපදින්නා වූ වේදනාව නිසා ඉතා දැඩි කායික පීඩාවන් විය.

§ 19. “භාරද්වාජය, එවිට මට මෙසේ කරන්නට සිතුනි.
‘ මම තව දුරටත් ආශ්වාස රහිත භාවනාව ම වඩන්නෙම් කියායි.

භාරද්වාජය, මම මුඛයෙන්ද, නාසයෙන්ද, පමණක් නොව කණින්ද වන ආශ්වාස ප්‍රශ්වාසය. වැළැක්වූයෙමි.

භාරද්වාජය, මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද, ආශ්වාස ප්‍රාශ්වාස වැළැක්වූ කල්හි හිසෙහි අධික වේදනාව ඇති වෙයි. භාරද්වාජය, බලවත් පුරුෂයෙක් දැඩි වරපට බැම්මකින් මගේ හිස වෙළා වරපට තද කරයි ද, එපරිද්දෙන්ම භාරද්වාජය, මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද, ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූ කල්හි මගේ හිසෙහි මහා වේදනාවක් ඇති විය.

භාරද්වාජය, මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද, ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූ කල්හි අධික වාතය හිස්මුදුන පලන්නාක් මෙන් වෙයි. භාරද්වාජය යම්සේ බලවත් පුරුෂයෙක් තියුණු කඩුවකින් හිස් මුදුන විදින්නේද, එපරිද්දෙන්ම භාරද්වාජය, මගේ මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූ, කල්හි අධික වාතය හිස් මුදුන පලන්නාසේ වෙයි

උපදින්නා වූ වේදනාව නිසා ඉතා දැඩි කායික පීඩාවන් විය. එනමුත් භාරද්වාජය,, සතිය නොපිරිහි එළඹ සිටියේය. එහෙයින්ම අසතිය හෝ මුළාවීමක් නොවීය.”

§ 20. “භාරද්වාජය, එවිට මට මෙසේ සිතුනි.
‘ මම තව දුරටත් ආශ්වාස රහිත භාවනාව ම වඩන්නෙම් කියායි.

භාරද්වාජය, මම මුඛයෙන්ද, නාසයෙන්ද, පමණක් නොව කණින්ද වන ආශ්වාස ප්‍රශ්වාසය. වැළැක්වූයෙමි. භාරද්වාජය, මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද, ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූ කල්හි අධිකවූ වාතයෝ කුස සිඳිත්.

“භාරද්වාජය, දක්ෂවූ ගවයන් මරන්නෙක් හෝ ගවයන් මරන්නෙකුගේ අතවැසියෙක් හෝ ගෙරින් කපන තියුණු ආයුධයකින් බඩ කපන්නේ යම්සේද, එපරිද්දෙන්ම මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූ කල්හි අධික වාතය උදරය කපන්නාසේ වෙයි.

භාරද්වාජය, මා විසින් පධාන වීර්යය පටන් ගන්නා ලදී. සතිය නොපිරිහි එළඹ සිටියේය. එහෙයින්ම අසතිය හෝ මුළාවීමක් නොවීය. පධාන වීර්යය වඩන්නාවූ මාගේ ශරීරය දැවෙන්නට වෙයි. නොසන්සිඳුනේ වෙයි. භාරද්වාජය, මට මෙසේ ආශ්වාස ප්‍රශ්වාස වලක්වත්දී උපදින්නා වූ වේදනාව නිසා ඉතා දැඩි කායික පීඩාවන් විය.

“භාරද්වාජය, මා විසින් නොහැකුළුණු වීර්යය පටන් ගන්නා ලද්දේමය, එනමුත් සතිය නොපිරිහි එළඹ සිටියේය. එහෙයින්ම අසතිය හෝ මුළාවීමක් නොවීය.

භාරද්වාජය, මට මෙසේ කල්පනා විය. මම ආශ්වාස රහිත ධ්‍යානයම තව දුරටත් වඩන්නෙම් නම් යෙහෙක කියායි.

භාරද්වාජය, මම මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූයෙමි. එසේ කල විට ශරීරයෙහි අධික දැවිල්ලක් විය. භාරද්වාජය, බලවත් පුරුෂයෝ දෙදෙනෙක් දුර්වල පුරුෂයෙකු අත්දෙකෙන් අල්ලා ගෙන අඟුරු වළකට අල්ලා ගින්නෙන් තවන්නාහුද, භාරද්වාජය, එපරිද්දෙන්ම මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූ කල්හි මගේ ශරීරයේ අධික දැවිල්ලක් විය.
භාරද්වාජය, මා විසින් පධාන වීර්යය පටන්ගන්නා ලදී.. සතිය නොපිරිහී එළඹ සිටියේය.. පධාන වීර්යයෙන් භාවනා කරන්නාවූ මාගේ ශරීරය දැවෙන්නා සේ විය. නොසංසිඳුනේය..

§21 “එකල්හි සමහර දේවතාවෝ මා දැක මෙසේ කීහ. ‘ශ්‍රමණ ගෞතමයන් කළුරිය කළේය’ කියායි.. ඇතැම් දේවතා කෙනෙක් මෙසේ කීහ. ‘ශ්‍රමණ ගෞතමයන් තවම තෙම කළුරිය කර නැත. එහෙත් තව නොබෝ වෙලාවකින් කළුරිය කරන්නේය’ කියායි. ඇතැම් දේවතා කෙනෙක් ‘ශ්‍රමණ ගෞතමයන් කලුරිය කළේත් නැත.. කලුරිය කරන්නේත් නැත . ශ්‍රමණ ගෞතමයන් රහත් වීය.. රහතුන්ගේ පැවැත්ම මෙසේය ’යි කීහ.

§22 . “භාරද්වාජය, එවිට මට මෙසේ සිතුනි.
“මම මුළුමනින් ආහාර නොගෙන සිටින්නේ නම් ඉතා යෙහෙක’ කියායි.

“භාරද්වාජය, එවිට දේවතාවෝ මා වෙත පැමිණ මෙසේ කීහ. ‘නිදුකාණෙනි, ඔබ මුළුමනින් ආහාර නොගෙන සිටින්නට නොසිතුව මැනවි. යම් හෙයකින් ඔබ මුළුමනින් ආහාර නොගෙන සිටිය හොත් අපි ඔබගේ ලෝම සිදුරුවලින් දිව්‍ය ඕජස් ශරීරගත කරන්නෙමු. ඔබ එයින් යැපෙන්නෙහිය.’ කීහ.

” භාරද්වාජය එවිට මට මෙසේ කල්පනා විය. ‘මම මුළුමනින් නිරාහාරව සිටීමට අදිටන් කලෙමි. එහෙත් මේ දේවතාවෝ මාගේ ලොම් සිදුරුවලින් දිව්‍ය ඕජස ගිල්වන්නාහු නම් එයින් මම යැපෙන්නෙමි. එය මාගේ පටිපදාවෙහි කරන වංචාවක් , මුසාවක් වන්නේය’. කියායි.
භාරද්වාජය, මම ඒ දෙවියන් වැළැක්වූයෙමි. “දිව්‍යය ආහාර රෝම සිදුරුවලින් මගේ කයට ඇතුළු කිරීම වුවමනා නැතැ”යි කීයෙමි.

§23 භාරද්වාජය, මට මේ සිත පහළ විය.
‘ මම පතක් පමණවූ, මුං තැම්බූ දිය හෝ කොල්ලු තැම්බූ දිය හෝ කඩල තැම්බූ දිය හෝ කලතණ තැම්බූ දිය හෝ බඳු ඉතා ස්වල්පවූ ආහාරයක් වළඳන්නෙම් නම් යෙහෙකි’ කියායි.

“භාරද්වාජය, පතක් පමණවූ, මුංතැම්බු දිය හෝ කොල්ලු තැම්බූ දිය හෝ කඩල තැම්බූ දිය හෝ කලතණ තැම්බූ දිය හෝ ඉතා ස්වල්ප වශයෙන් ආහාරය ලෙස වැළඳුවෙමි.

භාරද්වාජය, එසේ ඉතා ස්වල්ප වශයෙන් ආහාර ගන්නාවූ විට මාගේ ශරීරය ඉතා කෙට්ටු විය . අසූ වසක් ගිය වැලක පුරුක් හෝ කලුවැල් නම් වැලක පුරුක් හෝ යම්සේද මාගේ අඟපසඟ ඒ නිරාහාර භාවය නිසාම කෘෂ විය. ඔටු පියවර යම්සේ මැද ගැඹුරුවේද, එපරිද්දෙන්ම ඒ නිරාහාර භාවයෙන් මාගේ තට්ටමේ නිසීදන මාංසය , මැදින් ගැඹුරු විය. රැහැනක ඇවුණු දැව වැටිය යම්සේ අතරතුර උස් මිටි වේද, එපරිද්දෙන් ඒ නිරාහාර භාවයෙන් මාගේ කොඳු ඇට පෙල උස් මිටිවෙයි. යම්සේ දිරූ ශාලාවක පරාල උඩු යටි වශයෙන් නැමුනාහු වෙද්ද, එපරිද්දෙන් මාගේ ඉළඇට උඩුයටි වශයෙන් නැමුනාහු වෙත්. ගැඹුරුවූ ළිඳෙක දියයට පෙණෙන තරු ගැඹුරට ගියාහු යට බැස්සාහු දක්නා ලැබෙත්ද, එපරිද්දෙන්ම ඒ ස්වල්ප ආහාරය නිසා මාගේ ඇස්වල නෙත් තරු වල ගැඹුරට ගියාහු යට බැස්සාහු දක්නා ලැබෙත්.තිත්ත ලබු ගෙඩියක් අමුවෙන් කපන ලදුව අව්වෙන් සුළඟින් වියලී හැකුලුනේද, මැලවුනේද එපරිද්දෙන්ම ආහාර මද වීම නිසා මාගේ හිසේ සම හැකුලුණේය. මැලවුනේය .

“භාරද්වාජය, මම බඬේ සම අතගාන විට, පිට කටුවම අතගාන්නෙමි. පිට කටුව අල්වමියි බඬේ සම අල්ලමි. භාරද්වාජය, ආහාරය මද වීම නිසා මාගේ බඬේ සම කොඳු ඇටයෙහි ඇලුනේය. මම වර්චස් හෝ මුත්‍ර හෝ කරන්නෙමි’යි, හුන්නේ සරීර දුර්වලත්වය නිසා එහිම යටිකුරුව වැටුනෙමි. මම මේ ශරීරය අස්වසමියි අතින් ශරීරාවයව පිරිමදිමි. භාරද්වාජය, එසේ ශරීරයේ අවයව අත ගානවිට, ආහාර නැතිව මුල්කුණුවූ ලොම් ශරීරයෙන් ගිලිහී වැටෙත්.

§ 24. “භාරද්වාජය, සමහර මිනිස්සු මා දැක . ‘ශ්‍රමණ ගෞතමයන් කලුය.’ ඇතැම්හු . ‘ශ්‍රමණ ගෞතමයන් කලු නොවෙයි දුඹුරු පාටය.’ කීහ. ඇතැම්හු . ‘ශ්‍රමණ ගෞතමයන කලුත් නොවෙයි,දුඹුරු පාටත් නොවෙයි, ශ්‍රමණ ගෞතමයන් රන් වන් සම ඇත්තෙ කැයි කීහ..’ භාරද්වාජය, මෙසේ කීමට තරමටම මාගේ පිරිසිදුවූ ශරීරවර්ණය ආහාර මද කමින් දුර්වර්ණ විය.

§25 .භාරද්වාජය, මට මෙසේ සිතුනේය.
අතීතයෙහි යම්කිසි ශ්‍රමණයකු හෝ බ්‍රාහ්මණයකු හෝ තම ශ්‍රමණ පටිපදාව පුරමින්, තම වෘතය පුරමින් , තමා හට උපන්නාවූ, දුක්වූ, තියුණුවූ, කටුකවූ වේදනා වින්දාහු නම් ඒ විඳි දුක් වේදනා මේ තරම්ම වෙයි. මීට වඩා වැඩිනම් නොවෙයි.
අනාගත කාලයෙහි යම් කිසි ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ තම ශ්‍රමණ පටිපදාව පුරමින්, තම වෘතය පුරමින් , දුක්වූ තියුණුවූ, කටුකවූ වේදනා විඳින්නේ නම් ඒ මේ තරම්ම වෙයි. මීට වඩා වැඩි නොවෙයි.

මේ වර්තමාන කාලයෙහි යම් ශ්‍රමණයකු හෝ බ්‍රාහ්මණයකු හෝ තම ශ්‍රමණ පටිපදාව පුරමින්, තම වෘතය පුරමින් , උපදීන්නාවූ දුක්වූ, තියුණූවූ වේදනාවන් විඳිත් නම් ඒ මේ තරම්ම වෙයි. මීට වඩා වැඩි නොවෙයි.

මම මේ කටුකවූ, දුෂ්කර ක්‍රියාවෙන්, මේ වෘතයෙන් , මනුෂ්‍ය ධර්මයට වැඩිවූ ආර්යභාවය ඇති කිරීමට සමර්ථවූ ඥානදර්ශන විශේෂයක් ලබන්නේයයි නොසිතමි. එසේ වූ මට මාර්ගාවබොධය පිණිස අන්‍ය මාර්ගයෙක් ඇත්තේදැයි කල්පනා විය.

§ 31 . “භාරද්වාජය, එවිට මට මේ අදහස ඇති විය.
‘මගේ පියවූ ශුද්‍ධොදන ශාක්‍ය රාජයාගේ වප්මගුල් දිනයෙහි සිහිල්වූ දඹ රුක් සෙවනෙහි මා හුන් විට, මම කාමයන් ගෙන් වෙන්ව අකුසල ධර්මයන්ගෙන් වෙන්ව විතර්ක සහිතවූ විචාර සහිතවූ විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කළබව මතක් විය. 388

[388:- ආලාර කාලාම තවුසා හා උද්දක රාමපුත්ත තවුසන් වෙතින් නේවසඥ නාසඥා තෙක් ධ්‍යාන වැඩු නිසා ප්‍රථම ධ්‍යානය වැඩීමේ සිට යලි ධ්‍යාන වඩන්නට සිහි වී යයි කීම සැක සහිතය. සමාධියෙහි ඉහල ඵල ලෙස නෙවසඥ- නාසඥා ලැබූ සිද්ධාර්ථ තවුසාණෝ ඒ මාර්ගයේම ඉහලට ධ්‍යාන වන්නට ඇත.]

ඒ මාර්ගය, මාර්ග ඥාන අවබෝධය පිණිස වන්නේයි’ මට අදහස් විය. ඒ මාර්ගය මාර්ග ඥාන අවබෝධය පිණිස වන්නේයි’ මට අදහස් විය. භාරද්වාජය, සත්‍ය අවබෝධය පිණිස මේ මාර්ගයමයැ:යි සතිය අනුව පැවති විඤ්ඤාණය පහළවිය. භාරද්වාජය, මට මෙසේ සිතුනි . ‘කාමයන්ගෙන් වෙන්වූ අකුසල ධර්මයන්ගෙන් වෙන්වූ යම් ඒ සැපයක්වේද, මම ඒ සැපයට භය නොවෙමියි’ කියාය.

“භාරද්වාජය, මට මේ කල්පනාව ඇති විය. ‘මෙතරම් දුර්වලවූ ශරීරයකින් යුක්තව ඒ ප්‍රථමධ්‍යාන සැපය ලබන්නට බැරිය. මම බත් හා කොම පිඩු ආදි ඖදාරික ආහාරයක් ගන්නෙම්නම් හොඳය’ කියාය
“භාරද්වාජය, මම බත්, කොමපිඩුයැයි කියන ඔළාරික ආහාරයක් ගත්තෙමි.

භාරද්වාජය, ඒ කාලයෙහි ‘ශ්‍රමණ ගෞතමයන් යම් ලොවුතුරා දහමක් ලැබුයේ නම් එය අපටද කියන්නේය’ යන අදහසින් තවුසන් පස් දෙනෙක් මට උපස්ථාන කරමින් සිටියහ. භාරද්වාජය, මම ආහාර වර්ජනය නිම කොට බත් හා කොමපිඩු ආහාර ගන්නට පටන් ගත් කල්හි ඒ තවුසන් ශ්‍රමණ ගෞතමයන් පටිපදාවෙන් පිරිහුනේය. ප්‍රත්‍යය ලෝබයට එළඹුනේය.. රසයෙහි ගිජුව ප්‍රණීත පිණ්ඩපාතාදිය වැළඳීමට හැරුණේය. වීර්යය කිරීමෙන් පිරුහුණේයැ’යි කියා කලකිරී බැහැර ගියාහුය.

§ 32. “භාරද්වාජය,
මම ඕලාරික ආහාරගෙන ශරීර ශක්තිය ලැබ කාමයන්ගෙන් වෙන්වම අකුශල ධර්මයන්ගෙන් වෙන්වම විතර්ක සහිතවූ විචාර සහිතවූ විවේකයෙන් හටගත් ප්‍රීති සැපය ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කෙළෙමි.

“භාරද්වාජය, විතක්ක විචාර සංසිඳීමෙන් අභ්‍යන්තර පැහැදීම ඇති හිතේ එකග බව ඇති, විතර්ක රහිතවූ, විචාර රහිතවූ සමාධියෙන් හටගත් ප්‍රීති සැපය ඇති ද්විතීය ධ්‍යානයට පැමිණ වාසය කෙළෙමි.

භාරද්වාජය,, ප්‍රීතිය ඉක්මවීමෙන් උපෙක්ෂා ඇත්තේ වාසය කෙළෙමි. සිහියෙන් හා මනා නුවණින් යුක්තවූයේ කයින්ද සැපය වින්දෙමි. යමක් උපෙක්ෂා ඇත්තේ සිහියෙන් යුක්තවූයේ, සැප විහරණ ඇත්තේයැයි ආර්යයෝ කියත්ද, ඒ තුන්වැනි ධ්‍යානයට පැමිණ වාසය කෙළෙමි.

භාරද්වාජය, සැපය නැති කිරීමෙන්, දුක නැති කිරීමෙන් කල් ඇතිවම සොම්නස් දොම්නස් දෙක අතුරුදන් කිරීමෙන්, දුක් නැත්තාවූ, සැප නැත්තාවූ, උපෙක්ෂාවෙන් හටගත් සිහිය පිළිබඳ පිරිසිදු බව ඇති සතරවැනි ධ්‍යානයට පැමිණ වාසය කෙළෙමි.

§ 33. මම මෙසේ හිත සමාධියෙන් එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, පිරිසිදු හෙයින්ම දීප්තිමත්වූ කල්හි අඩ්ගන (රාගාදී කෙලෙස්) රහිතවූ කල්හි, පහවූ උවදුරු ඇති කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට සුදුසුව සිටි කල්හි, සිත ස්ථිරවූ කල්හි පෙර ජාති දැනීමේ ඤාණය පිණිස සිත නැමූයෙමි.

මම නොයෙක් ආකාරවූ පූර්වෙ නිවාස, නොහොත් පෙර උපන් ජාති, සිහි කලෙමි,
එනම් එක් ජාතියක්ද, ජාති දෙකක්ද, ජාති තුනක්ද ජාති සතරක්ද, ජාති පහක්ද, ජාති දශයක්ද, ජාති විස්සක්ද, ජාති තිසක්ද, ජාති සතළිසක්ද, ජාති පණසක්ද, ජාති සියයක්ද, ජාති දහසක්ද, ජාති ලක්ෂයක්ද, නොයෙක් සංවර්ත (විනාශවන) කල්පයන්ද, නොයෙක් විවර්ත (හැදෙන) කල්පයන්ද, නොයෙක් සංවර්ත විවර්ත කල්පයන්ද, අසුවල් තැන උපන්නෙමි.

එහිදී මේ නම් ඇත්තේ වීමි, මෙබඳු ගොත්‍ර ඇත්තේ වීමි. මෙබඳු වර්ණ ඇත්තේ වීමි. මෙබඳු ආහාර ඇත්තේ වීමි. මෙබඳු දුක් සැප වින්දෙමි. ඒ මම එයින් චුතව අසුවල් තැන උපන්නෙමි. එතැන්හිද මෙසේ නම් ඇත්තේ වීමි. මෙබඳු ගොත්‍ර ඇත්තේ වීමි. මෙබඳු ශරීර වර්ණ ඇත්තේ වීමි. මෙබඳු ආහාර ඇත්තේ වීමි. මෙබඳු සැප දුක් වින්දේ වීමි. මෙබඳු ආයුෂ ඇත්තේ වීමි. ඒ මම එතැනින් චුතව මෙහි උපන්නෙමි’යි මෙසේ ආකාර සහිතවූ දැක්වීම් සහිතවූ, නොයෙක් ආකාරවූ, පෙර විසූ කඳ පිළිවෙළ සිහි කලෙමි,

මම මෙසේ හිත සමාධියෙන් එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි අංගන (රාගාදී කෙලෙස්) රහිතවූ කල්හි, පහවූ උවදුරු ඇති කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට සුදුසුව සිටි කල්හි සිත ස්ථිරවූ කල්හි පෙර ජාති දැනීමේ ඤාණය පිණිස සිත නැමුයෙමි.

“භාරද්වාජය,, මා විසින් රාත්‍රියේ පළමුවෙනි යාමයෙහි මේ පළමුවන විද්‍යාව නොහොත්, පෙර විසූ තැන් දන්නා නුවණ, ලබන ලදී. එය වැසි තිබු අවිද්‍යාව නසන ලදී. විද්‍යාව උපන්නීය. මෝහ අඳුර නසන ලද්දෙමි . ආලෝකය උපන්නේය. අප්‍රමාදව කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තව වාසය කරන්නෙකු යමක් ලැබිය යුතු නම් එය එසේවිය.

§ 34 .“ මම මෙසේ හිත සමාධියෙන් එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, අංගණ රහිතවූ කල්හි, කෙලෙස් පහව ගිය කල්හි, සිත මෘදුවූ කල්හි, කටයුත්තට සුදුසුව සිටි කල්හි, සිත ස්ථිරවූ කල්හි, කම්පා නොවන බවට පැමිණි කල්හි සත්ත්වයන්ගේ චුති උත්පත්ති දෙක දැකීම පිණිස සිත නැමීමි.

මම පිරිසිදුවූ, මිනිස් බව ඉක්මවා සිටි දිවඇසින්, චුත වන්නාවූද, උපදින්නාවූද, ලාමකවූද, ප්‍රණීතවූද, මනා වර්ණ ඇත්තාවූද, මනා වර්ණ නැත්තාවූද, යහපත් ගති ඇත්තාවූද, අයහපත් ගති ඇත්තාවූද, කර්මය පරිදි මියගියාවූ, සත්වයන් දකිමි.

“ඒකාන්තයෙන් මේ පින්වත් සත්වයෝ කාය දුශ්චරිතයෙන් යුක්ත වූවාහු, වාක් දුශ්චරිතයෙන් යුක්ත වූවාහු, මනොදුශ්චරිතයෙන් යුක්ත වූවාහු, ආර්‍ය්‍යයන්ට දොස් කීවාහු, මිථ්‍යාදෘෂ්ටි ගත්තාහු, මිථ්‍යාදෘෂ්ටි ක්‍රියා අනුමත කළාහුය. එහෙයින් ඔවුහු කය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ, නපුරු ගති ඇති, යටිකුරුව වැටෙන, නරකයෙහි උපන්නාහුයයිද, මේ පින්වත් සත්වයෝ වනාහි කාය සුචරිතයෙන් යුක්ත වූවාහු, වාක් සුචරිතයෙන් යුක්ත වූවාහු, මනො සුචරිතයෙන් යුක්ත වූවාහු, ආර්‍ය්‍යයන්ට දොස් නොකීවාහු සම්‍යක්දෘෂ්ටි ඇත්තාහු සම්‍යක්දෘෂ්ටි කර්ම සමාදන් වූවාහුය. එහෙයින් ඔවුහු කය බිඳීමෙන් මරණින් මතු ස්වර්ග ලොකයෙහි උපන්නාහුයයි මෙසේ පිරිසිදුවූ, මිනිස් ඇස ඉක්මවා සිටි දිවැසින්, චුත වන්නාවූද, උපදින්නාවූද, ලාමක වූද, ප්‍රණීතවූද, මනා වර්ණ ඇත්තාවූද, මනා වර්ණ නැත්තාවූද, යහපත් ගති ඇත්තාවූද, අයහපත් ගති ඇත්තාවූද කර්මය පරිදි මියගියාවූ සත්වයන් දනිමි.

“භාරද්වාජය, මා විසින් රාත්‍රියෙහි මැද යාමයෙහි මේ දෙවන විද්‍යාව (චුතවීම්, ඉපදීම් දක්නා චුතුපපාත ඥානය) ලබන ලදී. එය වැසි තිබු අවිද්‍යාව නැසුවෙමි. විද්‍යාව උපන්නීය. මෝහ අඳුර නසන ලද්දේය. ආලොකය උපන්නේය. අප්‍රමාදව, කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තව වාසය කරන්නෙකුට යම්සේ සිදුවිය යුතු නම් එසේ වීය.

§ 35-39 .“භාරද්වාජය, මම මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කෙලෙස් රහිතවූ කල්හි, කෙලෙස් පහව ගිය කල්හි, සිත මෘදුවූ කල්හි, කටයුත්තට සුදුසුව සිටි කල්හි, සිත ස්ථිරවූ කල්හි, කම්පා නොවන බවට පැමිණි කල්හි, ආශ්‍රව ක්ෂය ඥානය (කෙලෙස් නැති කරන නුවණ) පිණිස සිත නැමුයෙමි.

මම, මෙය දුකය’යි තතුසේ දත්තෙමි.
මේ දුක් ඉපදීමට හේතුවය’යි තතුසේ දත්තෙමි.
‘මේ දුක නැති කිරීමේ මාර්ග’යයි. තතුසේ දත්තෙමි.
මේ දුක නැති කිරීම තතුසේ දත්තෙමි.
‘මොහු ආශ්‍රවයෝය’යි තතුසේ දැනගතිමි.
‘මේ ආශ්‍රවයන්ගේ හටගැන්මය’යි තතුසේ දැනගතිමි.
‘මේ ‘ආශ්‍රවයන්ගේ නැතිකිරීමය’යයි තතුසේ දැනගතිමි. ‘
මේ ආශ්‍රවයන් නැතිකිරීමේ මාර්ගය’යි තතුසේ දැන ගතිමි.

§ 40. මෙසේ දන්නාවූ මෙසේ දක්නාවූ ඒ මාගේ සිත කාමාශ්‍රවයන්ගෙන් මිදුනේය. භවාශ්‍රවයන් ගෙන්ද මිදුනේය. අවිද්‍යාශ්‍රවයන්ගෙන්ද මිදුනේය. මිදුන කල්හි මිදුනේයයි දැනීම පහළවිය. උත්පත්තිය කෙළවර විය. මාර්ග බ්‍රහ්මචර්යාව වැස නිමවන ලදී. කළයුත්ත කරන ලදී. කළයුතු අනිකක් නැත්තේයයි දැනගතිමි.

§ 41. “භාරද්වාජය, රාත්‍රියෙහි අන්තිම යාමයෙහි මේ තුන්වෙනිවිද්‍යාව (ආශ්‍රවක්ෂයකරඥාන නම්වූ අර්හත් මාර්ගය) මා විසින් ලබනලදී. (එය වසන) අවිද්‍යාව නසනලදි. විද්‍යාව උපන්නේය. අප්‍රමාදව, කෙලෙස් තවන වීර්යයෙන් යුක්තව වාසය කරන්නෙකුට යම්සේ සිදුවිය යුතු නම් එසේ විය”

§ 42 . මෙසේ කීකල්හි සඩ්ගාරව මානවකයා භාග්‍යවතුන් වහන්සේට මෙසේ ප්‍රසංසා කළේය.
“අර්හත් සම්‍යක්සම්බුදු කෙනෙකුගේ වීර්ය යම්සේද භවත් ගෞතමයන් වහන්සේගේ වීර්ය එසේය. නොනවත්වා කල මහා වීර්යයක් විය. භවත් ගෞතමයන් වහන්සේගේ වීර්යය, උත්තම පුරුෂයන්ගේ වීර්යයක් වීයයි” කීය.

එසේ කියා මෙසේද ඇසීය.
“භවත් ගෞතමයන් වහන්ස, දෙවියෝ ඇත්තේද?
“භාරද්වාජය, මා දෙවියන් ඇති බව දන්නේය”.

“භවත් ගෞතමයන් වහන්ස, දෙවියන් ඇත්දැයි ඇසු විට , ‘භාරද්වාජය, මා විසින් දෙවියන් ඇති බව දන්නේය”. කීයෙහිය’. භවත් ගෞතමයන් වහන්ස, මෙසේ කීම හිස්වූ බොරු කථාවක් නො වන්නේ ද?”

“භාරද්වාජය, දෙවියෝ ඇද්දැයි ඇසු විට , දෙවියෝ ඇතැයි යමෙක් කියන්නේ නම් එය ඔහු අසා ඇති දෙයක් සමාජය විස්වාස කරන දෙයක් කීමක් විය හැක. මා විසින් “දෙවියන් ඇති බව දන්නේය” කීවේ මා දෙවියන් ඉන්නාබව දැක ඔවුන් හා කතාබස් කොට ප්‍රත්‍යක්‍ෂයෙන්ම ඒ බව දන්නා නිසාය. , එකල්හි නුවණැති පුරුෂයා විසින් දෙවියෝ ඇතැයි ඒකාන්තයෙන් විනිශ්චයට පැමිණිය යුතුයි”

‘භවත් ගෞතමයන් වහන්සේ පළමුකොටම මට එසේ නොකීයේ මන්ද?”
“භාරද්වාජය, දෙවියෝ ඇත යනු ලෝකයෙහි ඉතා ප්‍රකට වශයෙන් ලෝකයේ සම්මතව පවත්නා දෙයකියි වදාළේය”.

§ 43. මෙසේ වදාළ කල්හි සංගාරව මානවකයා භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීවේය.

“භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපති, භවත් ගෞතමයන් වහන්ස, යම්සේ යටිකුරු කරන ලද්දක් උඩුකුරු කරන්නේද, වැසූ දෙයක් වැසුම් අරින්නේ ද, මං මුළා වූවෙකුට මාර්ගය කියන්නේ ද, ඇස් ඇත්තෝ රූපයන් දකිත්වායි අඳුරෙහි තෙල් පහනක් හෝ දරන්නේ ද, එපරිද්දෙන් භවත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් අයුරින් ධර්මය ප්‍රකාශ කරන ලදී.

මම භවත් ගෞතමයන් ද ධර්මය ද සඩ්ඝයා ද සරණ යමි. භවත් ගෞතමයන් වහන්සේ අද පටන් මා දිවිහිම්ව සරණගිය උපාසකයකු කොට දරණසේක්වා’

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.