MN 02-04-09 ධම්මචෙතිය සූත්‍රය

ත්‍රිවිධ රත්නය කෙරෙහි ශ්‍රද්ධාව මේ ධර්ම මාර්ගයේ යන්නාට උත්තේජනයකි. පහසුවකි. පසේනදී කෝසල රජතුමා තමන් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ඇති ඉමහත් ප්‍රසාදයට හේතු වශයෙන් කියා පෑ කාරනා දහයක් මේ සුත්‍රයේ සඳහන් වේ. මේ කාරනා දහය තුල සංඝයාගේ සංඝ සාමග්‍රිය, ප්‍රස්සන්න වූ කල් පැවැත්ම ආදී කාරනාද කියැවේ. කෝසල රජුගේ මේ අන්තිම හමුවීමද භාග්‍යවතුන් වහන්සේගේ ජීවිතයේ අන්තිම වසරේදී සිදුවිය. මේ කාරනා මෙසේ නැවත භික්ෂුන්ට දේශනා කලේ එය මතු කාලයේදී පවා මහත් ප්‍රයෝජන ඇති නිසාය. මේ කියවා ප්‍රයෝජන ලබත්වා.

පුජ්‍ය අක්මීමන ධට්මපාල හිමි කුලියාපිටියේ අස්සද්දුම විහාරයේදී කල සුත්‍ර විවරණය

§ 1 .මා විසින් මෙසේ අසනලදී එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ ශාක්‍යජනපදයෙහි මෙකලුපනම් නියම් ගම වැඩ වෙසෙති. එකල්හි පසෙනදි කොසොල්රජ කිසියම් කටයුත්තක් සඳහා නාගරක නම් නියම් ගමට පැමිණියේය.. සිය කාර්යයෙන් පසු කොසොල් රජ, ඔහු සමග පැමිණි දීඝකාරායණ835 නම් සිය සේනාපතියාට කථාකළේය.

[835:- දීඝ කාරයන, පසේනදී කෝසල රජුගේ හමුදාපති ය. පසේ නදී කෝසල රජුගේ යටත් ප්‍රාන්තයක් වූ මල්ල දේශයේ ප්‍රාන්ත නායක වූ බන්දුල දීඝ කාරයන්ගේ මාමණ්ඩිකෙනෙකු විය. ඊර්ෂ්‍යා කාර කීලම් කියන්නවුන්ගේ බස් පිළිගෙන පසේනදී කෝසල රජු බන්දුල මහා ඇමතිද ඔහුගේ පුතුන් දෙතිසද සමුල ඝාතනය කළේය. දීඝ කාරයන මේ නිසා රජු කෙරෙහි වෛරයෙන් සිටියේ හැකි විටක පළිගන්නටය. පසේනදී කෝසල රජුගේ පුතු විදු ධබ්බ ට රජකම ලබා දෙන්නට ඔහු කුමන්ත්‍රණය කල බව අටුවාව කියයි.]

“මිත්‍ර කාරායණය , උයන් සිරි දකිනු පිණිස උයනට යාමට කැමැත්තෙමි. සුදුසු යානාවන් පිළියෙල කරව.

“දෙවයන් වහන්ස, එසේයයි” දීඝකාරායණතෙම පසෙනදි කොසොල් රජහට උත්තරදී, යහපත් යහපත් යානාවන් පිළියෙලකොට පසෙනදි කොසොල් රජහට “දෙවයන් වහන්ස, යහපත් යහපත් යානා පිළියෙල කරන ලදහ. ඔබ වහන්සේ යමක් අදහස් කෙරේනම් දැන් ඊට කාලයයි දැන්වීය. එවිට පසෙනදි කොසොල් රජ පිළියෙළ කල යානාවකට නැග මහත් රාජානුභාවයෙන් නගරයෙන් පිටත්ව උයන වෙත ගියේය. යානාවෙන් යා හැකි තැන දක්වා ගොස් යානාවෙන් බැස පයින්ම උයනට ඇතුල්විය.

§ 4 . උයනෙහි ඇවිද යන්නාවූ පසෙනදි කොසොල් රජ , උයනේ ඇති නිශ්ශබ්දතාව නිසා සතුටු සිත් ඇත්තේ, උයනේ සුවිසල් වෘක්ෂයන්ගේ සෙවන ලැබෙන උයන් බිම් දැක, එබඳු වන රුප්පාවල වසන්නට කැමති, බුදු රජාණන් වහන්සේ සිහි විය. එවිට පසේනදී කොසොල් රජ දීඝකාරායණට කථා කෙළේය.
“යහළු කාරායණය දැකීමට ප්‍රිය, සිත් පහදවන, ශබ්ද රහිත, ඝොෂානැති මිනිස් වාසයෙන් පහවූ, මේ උයන මට භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුදු රජාණන් වහන්සේ සිහි ගන්වයි. යහලු කාරායණය, දැන් භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුදුන් කොහි වැඩ වෙසෙත්දැයි” ඇසීහ.

§ 5. “මහරජ, මෙකලුප නම් ශාක්‍යයන්ගේ නියම් ගමෙක් වෙයි. භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුදු රජාණන් වහන්සේ දැන් එහි වැඩ වෙසෙති”යි, කීය.
“යහලු කාරායණය, මෙකලුප නියම්ගම මෙහි සිට කෙතෙක් දුරෙහි දැයි” ඇසීය.
“මහරජ, වැඩි දුරෙහි නොවෙයි. තුන්යොදුනකි. [ හැතැප්ම 20ක් ] දැන් ගියොත් රෑ වීමට පෙර එහි යා හැකියයි” කීය.
“යහළු කාරායණය, එසේනම් යානාවන් පිළියෙල කරව. බුදුන් වහන්සේ දකිණ පිණිස අපි යමු”යි කීය.

§ 6 ඉක්බිති පසෙනදි කොසොල් රජ , එසේ පිළියෙළ කල යානාවෙහි නැග ශාක්‍යයන්ගේ මෙකලුප නියම් ගමට පැමිණ ආරාමය වෙත පැමිණියේය.

§ 7. එකල්හි බොහෝ භික්ෂූහු එළිමහනෙහි සක්මන් භාවනාවේ යෙදෙති. කොසොල් රජ ඒ භික්ෂූන් වෙත ගොස් “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ දැන් කොහි වෙසෙත්ද, අපි බුදුරජාණන් වහන්සේ දකිනු කැමැත්තෙමුයි” කීය.

§ 8. “මහරජ, අර පෙනෙන දොර වසා ඇති ආරණ්‍යයේ භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටී. නිශ්ශබ්දව එහි ගොස් සෙමින් පිලට ගොඩවී, ඔබ ආ බව දැන්වීමට උගුර පාදා කුඩා ශබ්දයක් කොට, අගුල අසලින් දොරට තට්ටු කරව. භාග්‍යවතුන් වහන්සේ ඔබට දොර අරිතියි” කීහ. ඉක්බිති පසෙනදි කොසොල් රජ සිය කඩුවද, නලල් පටද, එහිදීම දීඝකාරායණ හට දී “යහළු දීඝ කාරයනය, මා භගවත් බුදුන් වැඳ එනතුරු මෙහි සිටුව” යි කියා බුදු කුටිය වෙත ගියේය.

[837: බන්දුල අමාත්‍යවරයා හා ඔහුගේ පුතුන් තිස් දෙදෙනෙකු ඝාතන කරන්නට පෙර දිනද, කෝසල රජු භාග්‍යවතුන් වහන්සේ දකින්නට ගිය බව දැනගත් නිසා ඒ ඝාතනය පිණිස භාග්‍යවතුන් වහන්සේ යමක් රජුට කීවාදැයි දීඝ කාරයනට විය. සමහරවිට මා කෝසල රජුට පක්ෂපාත නැති බව බුදුන් වහන්සේ අද කිවහොත්, ඔහු මාද මරාවිය”යි ඔහු සිතු බව අටුවාව කියයි.]

§ 9. ඉක්බිති පසෙනදි රජ වසනලද දොර වෙත ගොස් සෙමින් පිලට නැග, තමන් ආ බව දක්වන්නට උගුර පාදා ශබ්යදයක් කොට අගුල සමීපයට තට්ටු කෙළේය. භාග්‍යවතුන් වහන්සේ දොර ඇරිවිට පසෙනදි කොසොල් රජ විහාරයට ඇතුල්ව භාග්‍යවතුන් වහන්සේගේ පා මත හිස තබා මුඛයෙන් පා සිඹීමට පටන් ගත්තේය. දෙඅතින් සිරි පා යුගල පිරිමදිමින් ‘ස්වාමීනි, මම පසෙනදි කොසොල් රජ වෙමි.” කියා සිය නමද කිවේය.

“මහරජ, නුඹ කුමක් නිසා මෙතරම් බලවත් ගෞරවයක් කෙරෙහිද, බුහුමන් කිරීමක් දක්වන්නෙහිදැයි” ඇසූහ.

§ 10 .”ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ සම්‍යක් සම්බුද්ධය,
ඔබ වහන්සේ විසින් වදාළ ධර්මය ස්වාක්ඛ්‍යාය (මනාකොට දේශනා කරන ලදී.)
ඔබ වහන්සේගේ ශ්‍රාවක සංඝයා සුපටිපන්නය (මනා කොට පිළිපදින ලද්දේය.) කියා
මෙසේ ඔබ වහන්සේ කෙරෙහි මා තුල පවත්නා අනු බුද්ධිය නිසාම මම එසේ කරමි’යි රජු කියා මෙසේද කීය.

“ස්වාමීනි, මම බොහෝ මහණ බමුණන් දැක ඇත්තෙමි. ඔවුහු සමහරෙක් දසවසක් පිලිවතෙහි හැසිරෙති. සමහරෙක් විසිවසක් බ්‍රහ්මචර්යාවෙහි හැසිරෙති, සමහරෙක් තිස්වසක් බ්‍රහ්මචර්යාවෙහි හැසිරෙති , සමහරෙක් හතළිස් වසක් බ්‍රහ්මචර්යාවෙහි හැසිරෙති. ඉන් පසු ඔවුහු යලි ගිහිව හොඳින් ඇඳ පැළඳ , සුවඳ විලවුන් ඇඟ ගල්වා, කෙස් රැවුල් කපා , පස්කම් සැප විඳිමින් ඉඳුරන් පිනවන්නාහ.

ස්වාමීනි, මම මේ ශාසනයෙහි පමණක්, මුළු ජීවිත කාලය පුරාම, සිය අන්තිම හුස්ම හෙලන තෙක් , සම්පූර්ණ පිරිසිදු බ්‍රහ්මචර්යාවෙහි හැසිරෙන ශ්‍රාවකයන් දකිමි. ස්වාමීනි, මම මේ ශාසනයෙන් පිට කිසිදු සාසනයක මෙසේ සම්පූර්ණවූද පිරිසිදුවුද , බ්‍රහ්මචරියාවක් නොදකිමි. ස්වාමීනි, මේද භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධය, ධර්මය භාග්‍යවතුන් වහන්සේ විසින් මොනවට දෙශිතය. සංඝයා සුප්‍රතිපන්නිය කියා භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මාගේ කාරණානුකූල වශයෙන් දැනීමට හේතුවක් වෙයි.

§ 11. “ස්වාමීනි, . රජවරු වෙනත් රජුන් සමග කලහ කෙරෙති. ක්ෂත්‍රියෝද, අනෙක් ක්ෂත්‍රියන් සමග කලහ කෙරෙති. බමුණෝ, අනෙක් බමුණන් සමග කළහ කෙරෙති. ගෘහපතියෝ, අනෙක් ගෘහපතියන් සමග කලහ කෙරෙති. මව් සිය පුතා සමග කලහ කෙරෙති. පුතා, සිය මව් සමග කලහ කෙරෙයි. පියා සිය පුතු සමග කලහ කෙරෙයි. පුතාද සිය පියා සමග කලහ කෙරෙයි. සොහොයුරා, සොහොයුරා සමග කලහ කෙරෙයි. සොහොයුරා, සොහොයුරිය සමග කලහ කෙරෙයි. සොහොයුරී, සොහොයුරා සමග කලහ කෙරෙයි. මිත්‍රයා සිය මිත්‍රයා සමග කලහ කෙරෙයි. 838

[838:- MN 13 දුක්ඛක්ඛන්ද සුත්‍රයේ 11 වන 7 (i) චේදයේ දැක්වූ පරිදි මෙසේ එකිනෙකා කළහ කරන්නේ ..” කාමය හේතු කොට කාමය මුල් කරුණ කොට, කාමය කරණකොට, ගෙන කාමය නිසා”ය.]

එසේ නමුත් ස්වාමීනි, මේ සස්නෙහි භික්ෂූන් ඉතා සමගිව, සතුටින් යුතුව, එකිනෙකා කෙරෙහි අන්‍යොන්‍ය ගෞරවයෙන්, එකිනෙකා කෙරෙහි සුහදව, වාද විවාද දෝෂාරෝපණ, කලහ නැතිව, කිරිත් වතුරත් මෙන් එක්ව, ඔවුනොවුන් ප්‍රිය මුහුණින් දකිමින් වෙසෙති.

ස්වාමීනි, මම මේ ශාසනයෙන් පිට මෙලෙස සමගිව සතුටින් ඉන්නා පිරිසක් නොදකිමි. ස්වාමීනි, මේද භාග්‍යවතුන් වහන්සේ සම්‍යක් සම්බුද්ධය, භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය මනාව දේශිතය, සංඝයා සුපටිපන්නය කියා භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මාගේ විශ්වාසයට එක කාරණයක් වේ, .

§ 12. ස්වාමීනි, අනිකක් කියමි. මම ආරාමයෙන් ආරාමයට උයනෙන් උයනට පිළිවෙළින් ගීයෙමි. එසේ යන එන මම දකින්නේ දැකීමට අප්‍රසන්නවූ, වැහැරුණ ගතින් යුතු, පඬු පැහැති සමින් හා නහර ඉල්පුන ශරීර ඇති, ඉතා අවලක්ෂණ වූ, දුටු කෙනෙක්හ නැවත ඔවුන්ට දෙස බලන්ගනට නොසිතන, කාලකන්නි පෙනුමක් ඇති ශ්‍රමණ බ්‍රාහ්මණයන්ය. ඔවුන් දකිනා මට සිතුනේ, “ඇත්තෙන්ම මේ ශ්‍රමණ බමුණන් ඉතා අසන්තෝෂයෙන්, දොම්නසින් මේ පිළිවෙත් පුරන්නේය, නැතිනම් ඔවුන් කල යම් දුෂ්ඨ ක්‍රියාවක් නිසා මෙසී විඳවන්නේය.” කියාය.

මම ඔවුන්ගෙන් සමහරවිට ඒ ගැන මෙසේ ඇසීමි. “ස්වාමිනි, මිනිසුන්ට දකින්නට අප්‍රිය රුපයක් ඇතිව, ඔබ ඔය තරම් කෘෂව, අසෝභන ස්වභාවඇත්තේ මක් නිසාද?” කියා ඇසීමි.
” මහරජ! මේ අපේ පරම්පරාවෙන් එන ලෙඩක් නිසාය.” කියා ඔවුන් කීහ.

“ එනමුත් ස්වාමීනි, මම මේ ශාසනයෙහි ප්‍රතිපත්ති පුරන භික්ෂුන් සැම කෙනෙකුම ඉතා ප්‍රිය, ප්‍රසන්න පෙනුමෙන් යුක්ත වුවෝය. පිරිසිදු පැහැපත් රුපයෙන් හා සිනහ පිරුණු මුහුණින් යුතු වූ වෝය. මිනිසුන්ගේ දාන යෙන් යැපුනද කිසි දොම්නස් බවක් මේ සංඝයාගේ නොදකිමි. වනයේ නිදහසේ හැසිරෙන මුවන්සේ පහසුවෙන් හා සතුටින් ඉන්නෝය. . දකින්නන්ට සතුටු සිත් ඇති කරන්නෝය. 839

[839:- මෙය ලංකාවේ භික්ෂුන් වහන්සේලාගේ දැඩි අවධානය යොමු විය යුතු කාරනාවකි. අප දන්නා බොහෝ බටහිර භික්ෂුන් මහණවන්නට තෝරාගන්නේ තායිලන්තයය. බුරුමය හෝ ලංකාව නොවේ. ඒ මන්ද කියා ඇසු විට ඔවුන් කීවේ තායිලන්තයේ සංඝයාගේ මුහුණුවල ප්‍රීතිමත් ස්වභාවය සහිත මුහුණ ඔවුන් කොතරම් සතුටින් ඉන්නේදැයි පෙන්වන නිසාත්, ලංකාවේ භික්ෂුන් මුහුණු බේරී කරගෙන මහා බරක් ඔසවාගන යන්නාක් සේ දුක් මුහුණින් යුතු නිසා තමන් මහණ වන්නේ, දුක දුරු කර ගන්නට නිසා සතුටින් ඉන්නා භික්ෂුන් හා එක්වීමට තමන් තීරණය කල බවය. දුක්ඛ සත්‍ය මේ සාසනයේ පදනමක් වුවත්, තමන් දුකින් ඉන්නා බව පෙන්වීම පිණිස සිනහ නොවී දුක් මුහුණින් සිටීම, භික්ෂුව දුක්ඛ සත්‍ය අවබෝධ කරගත් බවට ලකුණක් නොවේ.]

§ “ස්වාමීනි, මේද භාග්‍යවතුන් වහන්සේ සම්‍යක් සම්බුද්ධය, භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය මනාව ප්‍රකාශ කරණ ලද්දේ සංඝතෙමේ සුප්‍රතිපන්නය කියා භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මාගේ කාරණානු කූල දැකීමක් වෙයි.

§ 13. “ස්වාමීනි, නැවත අනිකක්ද කියමි.
“මේ මරා දැමිය යුත්තෙක. මේ රටින් පන්න දැමිය යුතු එකෙක, මේ දඩ මුදලක් නියම කල යුත්තෙක ලෙස මේ රටේ වැසියන්ට දණ්ඩන නියම කරන්නට බල තල ඇති මම, කෝසල රාජ්‍යයේ ඔටුණු පැළඳි මහා රජ වෙමි. එනමුත් මා රාජ්‍ය මන්ත්‍රණ සභාවේ යම් කතාවක් කරන විට මගේ යටත් මත්රිවරු ඇමතිවරු, ශබ්ද කරති, වෙන වෙන කතා කරති. මා කතා කරද්දී ගෞරවයෙන් නිශ්ශබ්දව නොඅසති. ” ශබ්ද නොකොට සිටුවා. මගේ කතාවට බාධා නොකරව!”යි කීවද ඔවුන් මට බාධා කරමින් අතුරු කතා දොඩයි.

“ස්වාමීනි. මේ සාසනයේ භික්ෂුන් සිය ගණනකට, දහස් ගණනකට ඔබ වහන්සේ ධර්මය දෙසනා කරන විට එක භික්ෂුවක් වත් අඩු තරමින් උගුර පාදන ශබ්දයක් වත් නොකොට, ඔබ වහන්සේගේ දෙසනාවට සවන් දෙයි. වරක ඔබ වහන්සේ සිය ගණනක් භික්ෂුන් වහන්සේලාට දේසනාවක් කරත්දී , එක භික්ෂුවක් උගුර පෑදීය. ඒ ළඟ සිටි අනෙක් භික්ෂුවක් කතා නොකොට දනින් ඇන ඔහුට, ” ශබ්ද නොකරව ආයුෂ්මතුනි, අපේ ශාස්තෘන් වහන්සේ අපහට ධර්මය දේශනා කරන්නාහුය, බාධා නොකරව”යි, හැඟවීය.

“ස්වාමීනි, එහිදී මට මෙසේ සිතුනි. ‘ ඒකාන්තයෙන්ම ආශ්චර්ය! ඒකාන්තයෙන්ම විශ්මිතය ! මෙතරම් විශාල සමාගමක් ආයුධයෙන් හෝ ආඥාවෙන් නොව කිසිදු බලපෑමකින් තොරව තමන්ම මෙසේ ඔබවහන්සේට ගෞරවයෙන් හික්මී සිටිනු දැකීම විශ්මිතය.

ස්වාමීනි, මේ ශාසනයෙන් පිට මෙසේ හික්මුණු අන් පිරිසක් නොදකිමි.

“භාග්‍යවතුන් වහන්ස, මේද භාග්‍යවතුන් වහන්සේ සම්‍යක් සම්බුද්ධය, භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය මනාව දේශිතය, සංඝයා සුපටිපන්නය කියා භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මාගේ විශ්වාසයට එක කාරණයක් වේ, .

§ 14. “ස්වාමීනි, නැවත අනිකක්ද කියමි.
සමහර ක්ෂත්‍රිය පණ්ඩිතයෝ , තමන් ඇති කරගත් නොයෙක් මත වාද ඇත්තෝය, අනුන් දරන මත වාද , ඈත තැබූ අශ්ව ලෝමයකට ඊයෙන් විද පලන්නට සමත් දක්ෂකම් ඇති දුනු වායන්සේ සේ නුවණ පණ්ඩිතකම් ඇති ඔවුන් ශ්‍රමණ භවත් ගෞතමයන් අසවල් ගමට හෝ නියම් ගමට හෝ පැමිණෙන්නේයයි අසන ඔවුහු අපි ශ්‍රමණ ගෞතමයන් කරා පැමිණ මේ ප්‍රශ්නය අසමු. මෙසේ අසනලද ශ්‍රමණ ගෞතමයන් මෙසේ විසඳන්නේය. එවිට අපි ඔහුගේ කීම මෙසේ නිෂ්ප්‍රභා කොට අපේ වාදය ගොඩ නගන්නෙමියි. ප්‍රශ්න පිළියෙල කරත්. එසේ පිළියෙළ වී ඔබ වහන්ශ්‍සේ හා වාදය පිණිස ඔබවහන්සේ වෙත පැමිණෙති. එසේ එන ඒ ක්ෂත්‍රිය පණ්ඩිතයන් ට ඔබ වහන්සේ ධර්මය දෙසනා කොට එහි අවබෝධ කරවත්. සමාදන් කරවයි. සිත් තියුණු කරවත්. පහදවත්. ධර්ම කථාවෙන් කරුණු දක්වනලද සමාදන් කරවනලද සිත් තියුණු කරනලද පහදවනලද ඔව්හු ඔබ වහන්සේගෙන් ප්‍රශ්න නො අසත්. වාද නැගීමක් කෙසේ කරත්ද? ඒකාන්තයෙන් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක බවට පැමිණෙත්.

ස්වාමීනි, මේද භාග්‍යවතුන් වහන්සේ සම්‍යක් සම්බුද්ධය, භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය මනාව දේශිතය, සංඝයා සුපටිපන්නය කියා භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මාගේ විශ්වාසයට එක කාරණයක් වේ, .

§ 15, ““ස්වාමීනි, නැවත අනිකක්ද කියමි.
සමහර බ්‍රාහ්මණ පණ්ඩිතයෝ……

§ 16 , ““ස්වාමීනි, නැවත අනිකක්ද කියමි.
සමහර ගෘහපති පණ්ඩිතයෝ……

§ 17 , ““ස්වාමීනි, නැවත අනිකක්ද කියමි.
සමහර පණ්ඩිත ශ්‍රමණ යන්…..
…ඔවුන්ට ඔබ වහන්සේ ධර්මය දෙසනා කොට එහි අවබෝධ කරවත්. සමාදන් කරවයි. සිත් තියුණු කරවත්. පහදවත්. ධර්ම කථාවෙන් කරුණු දක්වනලද සමාදන් කරවනලද සිත් තියුණු කරනලද පහදවනලද ඔව්හු ඔබ වහන්සේගෙන් ප්‍රශ්න නො අසත්. වාද නැගීමක් කෙසේ කරත්ද? ඒකාන්තයෙන් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක බවට පැමිණෙත්. එසේ මේ සාසනයේ ශ්රාවක වන ඔවුන් ඔබ වහන්සේගේ උපදෙස් ලබා, පුහුණුව ලබා, ඒ ඒ ආරණ්‍යවලට, වන සෙනසුන්වළ ට ගොස්, හුදෙකලාව , වීර්ය වඩමින්, විමුක්තිය සාධනය කර ගන්නේය. එසේ ස්වයං අර්ථ සාධනය කරගත් ඔවුන් මෙසේ කියන්නේය.

” අපි නිෂ්කාරණයේ නැසෙන්නට ගියෙමු. වැනසෙන්නට ගියෙමු. පෙරදී බ්‍රාහ්මණයන් කවුන්දයි නොදැන අපි බ්‍රාහ්මණයෝයයි කියා ගත්තෙමු. ශ්‍රමනභාවය කුමක්දැයි නොදැන අපි ශ්‍රමණයෝයැයි කියා ගතිමු. රහතුන් කවුරුන්දැයි නොදැන අපි රහතුන් යැයි කියා ගතිමු. නමුත් අපි දැන් නියම ශ්‍රමනයන් වමු. ශ්‍රමණ ඵල ලැබුවන් වමු ” කියායි.

ස්වාමීනි, මේද භාග්‍යවතුන් වහන්සේ සම්‍යක් සම්බුද්ධය, භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය මනාව දේශිතය, සංඝයා සුපටිපන්නය කියා භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මාගේ විශ්වාසයට එක කාරණයක් වේ, . .

§ 18. “ස්වාමීනි, අන් කරුණක්ද කියමි.

ඉසිදත්තය, පුරාණය 841 යන මගේ සෙනෙවියන් දෙදෙන මාගේ බතින් යැපෙන මාගේ යානාවෙන් ගමන් යන එන අය වෙති. ඔවුන් රැකියා කොට වැටුප් ලබන්නේ මා නිසාය. ඔවුන් ට යම් කීර්තියක් ඇති වූයේනම් ඒ මා නිසාය. ඒ නමුත් ඔවුන් මට දක්වන ගෞරවයට වඩා සිය දහස් වරක් වූ ගෞරවයක් භක්තියක් ඔබ වහන්සේට දක්වයි.

“ස්වාමීනි, මම වරක් සෙනා සන්නද්ධව මේ ඉසිදත්ත, පුරාණ දෙදෙනා ද සමග යම් මෙහෙයුමකට පිට ගමකට ගියෙමු. එක රැයෙක ඉඩ කඩ අඩු කුඩා නවාතැන් පොලක එක කාමරයක අප තිදෙනාටම ඉන්නට සිදුවිය. එදා රාත්‍රී ධර්ම සාකච්චා කරමින් බොහෝ වෙලා සිට ඔවුන් දෙදෙනා , භාග්‍යවතුන් වහන්සේ මේ දිසාවේ ඉන්නේයැයි කියා ඔබ වහන්සේ හුන් දිසාවට හිස යොමු කොට මා නිදනා දෙසට පා යොමුකොට නින්දට ගියේය. ස්වාමීනි, ඒ කාරණය පිළිබදව මට මේ අදහස විය.

‘විශ්මිතය , ආශ්චර්යය. මේ ඉසිදත්ත පුරාණ දෙදෙන මාගේ බතින් යැපෙන මාගේ යානාවෙන් ගමන් කරන්නෝය. ඔවුන්ගේ ජීවිකා වෘත්තිය දුන්නේද, යසසට පැමිණවූයේද, මමය. එතකුදු වුවත් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මෙන් ගෞරව ආදර භක්තියෙක් මා කෙරෙහි නැත. ඒකාන්තයෙන් මේ ආයුෂ්මත්හු ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයෙහි ඵල විඳින්නෝ විය යුතුය ” කියාය.

[841: පුරාන හා ඉසිදත්ත යන දෙදෙනා සකෘදාගාමි ඵල ලබා සිටි බව අංගුත්තර නිකායේ චක්ක නිපාතයේ මිගසාල සුත්‍රයේ සඳහන් වේ.]

ස්වාමීනි, මේද භාග්‍යවතුන් වහන්සේ සම්‍යක් සම්බුද්ධය, භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය මනාව දේශිතය, සංඝයා සුපටිපන්නය කියා භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මාගේ විශ්වාසයට එක කාරණයක් වේ, . .

§ 19 “ස්වාමීනි, නැවත අනිකක් කියමි.

භාග්‍යවතුන් වහන්සේද ක්ෂත්‍රිය වෙති. මමද ක්ෂත්‍රිය වෙමි. භාග්‍යවතුන් වහන්සේද කොසොල් රට උපන්නෙකි. මමද කොසොල් රට උපන්නෙක් වෙමි. භාග්‍යවතුන් වහන්සේ අසූවයස් ඇත්තේ වෙත්. මමද අසූවයස් ඇත්තේවෙමි. ස්වාමීනි යම් හෙයකින් භාග්‍යවතුන් වහන්සේත් ක්ෂත්‍රිය වෙත්ද, මමත් ක්ෂත්‍රිය වෙම්ද, භාග්‍යවතුන් වහන්සේත් කොසොල් රට උපනෙක් වෙත්ද, මමත් කොසොල් රට උපන්නෙක් වෙම්ද, භාග්‍යවතුන් වහන්සේත් අසූවස් ඇත්තේ වෙත්ද මමත් අසූවයස් ඇත්තේ වෙම්ද-

ස්වාමීනි මේ කරුණෙන්ද මම භාග්‍යවතුන් වහන්සේට උසස්ම ගෞරවය කිරීමට, බුහුමන් දක්වන්ට සුදුසු වෙමි.

§ 20. “ස්වාමීනි, එසේනම් දැන් අපි පිටව යමු. අපි බොහෝ කටයුතු ඇත්තෝ වමු. කෘත්‍ය බහුල කොට ඇත්තෝ වෙමු”යි කීය.
“මහරජ, ඔබට රිසි ලෙස යා හැකිය ” ,යි වදාළහ.

ඉක්බිති පසෙනදී කොසොල් රජ ආසනයෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට පිටව ගියේය. කොසොල් රජ ගිය නොබෝ වේලාවකින් භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට කථා කළහ. 843

[843:- කෝසල රජතුමා ආරන්යයෙන් පිටව යන විට දීඝකාරන සෙනෙවියා රජුගේ කිරීටය හා කඩුවද රැගෙන ආපසු මාලිගාවට ගොස් රාජ කුමරු විදුධාභයන් රජු ලෙස පත්කරවා ගෙන සිටි බවත් රජුට නුවරට ඇතුලු විය නොහැකිව, මෙම අර්බුදය සමථයක් කරගන්නට සිය බෑණනුවන් වූ අජාසත් රජුගේ උපකාරය ගන්නන්නට එහි යන්නෙමියි, රජගහ නුවර දෙසට ආ බවත්, රජගහ නුවර දොරටුද වසා තිබුණු නිසා පිටත අම්බලමක රෑ පහන් කරත්දී මිය ගිය බවත්, අටුවාවේ සඳහන් වේ. ]

§ 21. “මහණෙනි, පසෙනදි කොසොල් රජ ධර්මයට තමන්ගේ ගෞරවය ඇත්තේ කුමන කාරනා නිසාදැයි බොහෝ ගෞරව වචනයෙන් ධර්මයට චේතියක් කළේය. මහණෙනි ධර්ම ගරුක වචනයන් උගනිව්. මහණෙනි, ධර්මගරුක වචනයන් අනුව හැසිරෙව්.. මහණෙනි, ධර්මගරුක වචනයන් සිත්හි දරව් . මහණෙනි, මේ සාසනයේ පිළිවෙත් පුරන්නාට ධර්මය සෑයක් ලෙස ගරු කිරීමෙන් මහත් ප්‍රයෝජන වෙති.” යි වදාළහ. 844

[844: බුද්ධ ධම්ම සංඝ යන තිවිධ රතනයෙන් එකකට ගරු බුහුමන් කිරීම අන් දෙකටත් ගරු බුහුමන් කිරීමක් වේ.]

භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය වදාළහ.
භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට සතුටුවූහ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.