MN 02-04-06 අංගුලිමාල සූත්‍රය

අංගුලිමාල සුත්‍රය තරම් ප්‍රසිද්ධ සුත්‍රයක් ත්‍රිපිටකයේම නැති තරම්ය. ත්‍රාසජනක කතාවක් ලෙසද, බුදුන් වහන්සේ ගේ නිර්භිතබව දක්වන කතාවක් ලෙසද මේ කතාව බොහෝ විට යොදා ගැනේ. මේ කතාව ගෙන එන වටිනාම කාරණය නම්, දහස් ගනන් මිනිසුන් මැරූ කෘර මිනිමරුවෙකුට පවා නිර්වාන සුවය ලබන්නට සාසන මාර්ගය ඇරී ඇති බවය. බොහෝ විට තමන් අතින් වුන වැරදි අඩු පද්දු මතක් අරමින් ජනයා, තමන් බුදු මග යාමට තරම් නොවන පව් කාරයෙක් යයි, ධර්මයෙන් ඉවත් වෙති. මේ කතාවේ පළමු ආදර්ශය නම්, කුමන තරමේ අකුසලයක් පෙර කලත්, ඒ ගැන ලත නොවී, නව පිළිවෙතක් පුරමි’යි විමුක්ති මාර්ගයේ යා හැකි බවය.

§ 1. මා විසින් මෙසේ අසනලදී.
එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි ජේතවන නම්වූ අනේපිඩු මහ සිටුහුගේ ආරාමයෙහි වැඩ වසන සේක.

§ 2. එකල්හි පසේනදි කොසොල් රජහුගේ ජනපදයෙහි , මිනිසුන් මරණ, ඉතා රෞද්‍රවූ, ලේ තැවරුණු අත් ඇත්තාවූ කිසිදු සත්ව කරුණාවක් නැත්තා වූ අඩ්ගුලිමාල නම් සොරෙක් ගැන කතා පැතිරුණි. ඔහුට බියේ මිනිසුන් ගම්, නියම් ගම් හැර ගියේල. ජනපද වැසියෝ ඒ ජනපදය හැර ගියේල. ඔහු විසින් මරණ මිනිසුන්ගේ ඇඟිලි කපා මාලාවක් සේ සිය ගෙල වටා පැළඳ ඉන්නේල. 820.

[820:- අංගුලිමාල යන නම මිනිසුන් ඔහුට කීයේ එසේ ඇඟිලි කපා මාලයක් ලෙස ගෙල පැළඳ සිටි නිසාය. ඔහු පසේනදී කෝසල රජුගේ ඇමතියෙක්වූ භග්ගව නම් බ්‍රාහ්මණයාගේ පුතකුබවත්, ඔහු ඉපදුනදා රජ මැදුරේ ආයුධ ගබඩාවෙහි සියලු ආයුධ දිලිසෙන්නට ගත් බව දුටු රජු සාස්තරකරුවන් කැඳවා ඊට හේතුව ඇසුවිට ඉතා භයානක මිනීමරුවෙකු මේ රටේ අද ඉපදුන නිසා එසේ වූ බව කීහ. එසේ වුයේ තම පුතා නිසා බව දුටු බග්ගව බමුණා ඒ බව රජුට දන්වා කුමක් කරන්නමෝදැයි ඇසීය. අනාවැකිය හරිවීම හෝ බොරුවීම තමන් විසින් දරුවා හදන ආකාරයට වන නිසා, හොඳින් රැක බලා ගෙන දරුවා හදන්නට රජු උපදෙස් දුන්නේය. දරුවාව “අහිංසක” යයි නම් කලේද ඔහුට ඒ නමින් අමතනවිට යම් හිංසක බවක් ඔහු තුල වේ නම් ඒ නැති වේ යැයි බමුණු දෙමහල්ලෝ සිතු නිසාය. තක්සලා නුවර දිසා පාමොක් ආචාර්යයන් වෙත ශිල්ප ඉගෙනුමට ඔහු තරුන වියේදී යැවුහ. ඔහුගේ යහපත් හා දක්ෂ පැවතුම් නිසා ගුරුවරයාගේ ප්‍රියතම ශිෂ්‍යයා ලෙස ඔහුට සැලකුම් ලැබිණ. එයින් ඊර්ෂ්‍යාවට පත් අනෙක් ශිෂ්‍යයන් බොරු කේලම් කියා ගුරු සිත ඔහු කෙරෙහි දුෂ්‍ය කළේය. ඔහු විනාස කරන්නට උපක්‍රමයක් ලෙස, ගුරුවරයා, ගුරු පඬුරු පිණිස දහසක් මිනිසුන් මරා එක ඇඟිල්ල බැගින් ගෙන එන ලෙස කීයේය. අහිංසක එවිට ජාලිනි නම් වනයට ගොස් ඒ පාරේ යන එන මිනිසුන් මරමින් ඇඟිල්ල බැගින් කපා මාලයක් ලෙස ගල පැළඳගත්තේය. මේ සුත්‍ය ර ආරම්භ වන්නේ ඔහුගේ මාලයේ ඇඟිලි 999ක් වූ අවස්ථාවේ බවත්, ඉතිරි ඇඟිල්ල පිණිස මනුෂ්‍යයෙක් මරන්නට ඔහු සුදානමින් සිටියේය. ඔහු අල්ලා මරන්නට රජු සේනාවක් එවන්නේයයි දැනගත් අහිංසකගේ මව ඔහුට අනතුර දන්වන්නට ඔහු සොයා ඒ වන මාර්ගයට පිවිසිණ. එදින කරුණා සමාපත්තියෙන් ලොව බල භාග්‍යවතුන් වහන්සේ , රහත්වීමට පවා පාරමිතා ඇති මේ මනුෂ්‍යයා, මාතෘ ඝාතන පාපය කළහොත් ආනන්තරිය කර්මය නිසා නිරයෙන් ගැලවෙන්නේ නැතිබව දැක මව හමුවන්නට පෙර භාග්‍යවතුන් වහන්සේ ඔහු ඉදිරියට වැඩියේය.

කතාවේ හැටියට ඉතා ඥානවන්ත ගුණ යහපත් දරුඑකු මිනි මරන්නට පටන්ගත්තේ කෙසේදැයි විමතියක් වේ. ගුරුවරයා කී නිසා මිනි මරන්නට තරම් ඔහු අඥාන යයි සිතිය නොහැක. බොහෝවිට ඔහුට අනෙක් ශිෂ්‍යයන් සිදු කල අකටයුත්ත, එනම් නිර්දෝෂී ඔහු නරක දුදනෙකු ලෙස ඔප්පු කිරීමට කේලාම් කීම, ඒ කතා, ආචාර්යවරයා පිළිගැනීම ආදී සිදුවීම් නිසා, ඔහු මහත් මනුෂ්‍ය ප්‍රජාව කෙරෙහිම ක්‍රෝධයෙන් ඉන්නට ඇත.]

§ 3. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පෙරවරු කාලයෙහි හැඳ පොරවා පා සිවුරු ගෙණ සැවැත් නුවරට පිඬු පිණිස හැසිර සවස් කාලයෙහි පිණ්ඩපාතයෙන් පසු අඩ්ගුලිමාල සොරා ඉන්නා වන ප්‍රදේශය දෙසට වූ දීර්ඝ මාර්ගයෙහි වැඩියහ. ඒ මග දෙපස දකින දකින මිනිසුන් එසේ අංගුලිමාල ඉන්නා දෙසට වඩිනා භාග්‍යවතුන් වහන්සේ දැක භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීහ.

“ශ්‍රමණයන් වහන්ස, මේ මාර්ගයෙහි නොගිය මැනව. ශ්‍රමණයන් වහන්ස, මේ මාර්ගයෙහි , අඩ්ගුලිමාල නම් සොරෙක් සිටී . ඔහු පාරේ යන එන මිනිසුන් මරයි. දැනට දහස් ගණනක් මිනිසුන් ඔහු විසින් මරා ඇත. තනිව මේ මග යාමට බියේ පුරුෂයෝ දස දෙනෙක්, පුරුෂයෝ විසි දෙනෙක්, පුරුෂයෝ තිස් දෙනෙක්, පුරුෂයෝ හතලිස්, දෙනෙක්, පුරුෂයෝ පනස් දෙනෙක්, ලෙස රන්චූ රන්චූ ගැසී ගමන් කලත්. ඔව්හු සියල්ලෝ මේ අඩ්ගුලිමාල සොරුගේ අතින් විනාශයට පත් වුහ,’යි කීවාහුය. මෙසේ කිහිප තැනකදීම මිනිසුන් මෙසේ ගමන වලක්වන්නට උත්සාහ කලද, භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්දව වැඩියහ.

[821: ලංකාවේදී ග්‍රන්තාරුඩ කල මජ්ජිම නිකායේ සඳහන් වන ආකාරයට මේ සිද්ධිය මෙතැන් සිට දැක්වේ. ටිබෙට් හා සියමයේ ද චීන භාෂාවෙන් ඇති මජ්ජිම ආගමේද මේ සිද්ධිය දැක්වෙන්නේ සෘද්ධි ප්‍රාතිහාර්ය වලින් තොරවය. ඒවායේ සඳහන් වන්නේ, කාණ්ඩ වශයෙන් මිනිසු යන මේ මාර්ගයේ මා ගැන කිසි බියක් නැතිව එන ශ්‍රමණයා මරමියි ඔහු දිව ආබවත්, ඔහුට් බිය නොවී කරුණාවෙන් ඔහු ඇමතු භාග්‍යවතුන් වහන්සේ ගේ විලාසය නිසාම ඔහු දනින් වැටී තමාට මෙසේ වුයේ මේ ආකාරයට යැයි භාග්‍යවතුන්ට විස්තර කල බවත්, ඒ සියල්ල අසා සිට ඔහු මහන වන්නට කැමති යයි කී විට ඔහු කටුව පයින්ම ජේතවනාරාමයට ආ බවත්ය. ඒ ඉංග්‍රීසි පිටපත මෙහිදී බාගත කරගන්න.]

§ 4. අඩ්ගුලිමාල දුරදීම වඩින්නාවූ භාග්‍යවතුන් වහන්සේ දුටුයේය. දැක ‘ ඒකාන්තයෙන් ආශ්චර්යයකි. පුදුමයකි. මේ මගෙහි පුරුෂයෝ දස දෙනෙක්, පුරුෂයෝ විසි දෙනෙක්, පුරුෂයෝ තිස් දෙනෙක්, පුරුෂයෝ හතළිස් දෙනෙක්, පුරුෂයෝ පනස් දෙනෙක්, ආදී ලෙස එකතුවී ගමන් කරත්. එනමුත් ඒ සියල්ලෝ මාගේ අතට අසුවුහ. නමුත්, මේ ශ්‍රමණයා තනිවම මාගේ අඩවියට එන්නේය. ඔහුව මරමියි සිතා, සිය කඩුව අමෝරා ගෙන භාග්‍යවතුන් වහන්සේ පසුපස ලුහු බැන්දේය.

§ 5 . එවිට ඒ බව දත් භාග්‍යවතුන් වහන්සේ එක් ඍද්ධියක් අධිෂ්ඨාන කොට කොතරම් වේගයෙන් දිවුවත් අන්ගුලිමාලට තමන් වහන්සේ වෙත ලංවිය නොහැකි වේවා’යි ඍද්ධියක් දැක්වූහ. එකල්හි අඩ්ගුලිමාල සොරා මේ ශ්‍රමණයා අල්ලා ගනිමියි අදහසින් ඉතා වේගයෙන් දිව ආවත්, ප්‍රකෘති ගමනේ යෙදෙන භාග්‍යවතුන් වහන්සේ වෙත ලන්වන්නට නොහැකිවිය. 822

[822: ඉර්ධි ප්‍රාතිහාර්ය සිත දියුණුකළ මහණ බමුණන්ට කල හැකි අන්‍ය මිනිසුන් විමතියට පත් කරවන දෙය. භාග්‍යවතුන් වහන්සේ විසින් ඍද්ධි පෑම ගැන තහනම් පනවා තිබුණි. එනමුත්, සිය බුද්ධකාලය තුලදී අතලොස්ස්වක් අවස්තාවලදී භාග්‍යවතුන් වහන්සේ ඍද්ධි පාවිච්චි කොට අසීරු මිනිසුන් හා නොමිනිසුන් දමනය කර ඇත.. වැඩිපුර කියවන්න ]

වේගයෙන් දුවන හස්තියෙකු, වේගයෙන් දුවන අශවයෙකුට වැඩි වේගයෙන් දිවිය හැකි මට මේ ප්‍රකෘති ගමනින් යන්නාවූ මේ ශ්‍රමණයා කරා සියලු ශක්තියෙන් දුවතත් පැමිණෙන්ට නොහැකි විය. මෙය කෙබඳු විශ්මයක්ද? අශ්චර්යයක්ද? ’යි , සිතුණේය.

ඔහු දිවීම නවතා ඉදිරියෙන් වඩිනා භාග්‍යවතුනට හඬගා , “ශ්‍රමණය සිටුව, ශ්‍රමණය සිටුව”යි කීයේය. ඒ ඇසු භාග්යවතුන් වහන්සේ “අඩ්ගුලිමාලය, මම සිටියෙමි. ඔබද සිටුවයි” වදාළේය.

§ 6 .එවිට අඩ්ගුලිමාලට මෙබඳු අදහසක් විය. ‘මේ ශ්‍රමණයෝ සත්‍ය වචන කියන්නෝය . අසත්‍යවූ දේ නොකියන්නාහ. එසේ වුවත් මේ ශ්‍රමණයා තමන් යමින්ම “අඩ්ගුලිමාලය මම සිටියෙමි. ඔබද සිටුවයි” කියන්නේය. එහි තේරුම මම මේ ශ්‍රමණයාගෙන් අසන්නෙම් යි, සිතා මෙසේ ගාථාවකින් ඇසීය..

[1] “ශ්‍රමණය! ගමනේ යෙදෙමින්ම , ‘මම සිටියෙමි’යි ඔබ කියන්නෙහිය,
නොදුවන මම දුවන්නේයැයි, නොසිටියේ’යයි කියන්නෙහිය.
ශ්‍රමණය, ‘කෙසේනම් ඔබ සිටියෙහිද, කෙසේ නම් මම නොසිටියේද’ .

[2] “අඩ්ගුලිමාලය, මම හැම කල්හි සියලු සතුන් පෙලීමෙන් වැලකුනෙමි.
ඔබ සතුනට හිංසා කිරීම්හි නොනැවතුනේය.
එහෙයින් මම සිටියේ වෙමි.
නුඹ නොසිටියේයයි” (වදාළේය.)

[3] “දෙවි බඹුන් පිදුම් ලද මහාඉර්ෂිවූ මේ ශ්‍රමණයන් වහන්සේ
ඒකාන්තයෙන් මට කරුණාවෙන් මේ මහ වනයට පැමිණියහ.
මම කෙසේ හෝ නුඹ වහන්සේගේ ධර්මයෙන්
යුක්තවූ ගාථාවක් අසා අකුසලය දුරු කරන්නෙමි.” 823

[823 :- මේ පළමු ගාතාව ඇසු විට, තමා ඉදිරියේ මේ ඉන්නේ, බුදුන් වහන්සේ බව අංගුලිමාල දැනගත්තේය. මේ වනයට මේ උතුමා වැඩියේ අන් කිසිවක් පිණිස නොව තමාට යහපතක් කරන්නට බවද ඔහුට අවබෝධ විය.]

[4] මෙසේ කියා අඩ්ගුලිමාල කඩුවද, ආයුධද,
ප්‍රපාතයක ගැඹුරුව සෑරී ගිය මහ වළකට දැමූයේය.
සුගතයන් වහන්සේගේ ශ්‍රීපාදයන් සිප වැන්දේය.
එසේ වඳිමින් උන්වහන්සේගෙන් ප්‍රවුජ්‍යාවද ඉල්වූයේය.

[5] දෙවියන් සහිත ලෝකයාහට ශාස්තෘවූ මහා කාරුණික සර්වඥයන් වහන්සේ
ඔහුට “ මහණ මෙහි එවයි” එකල්හි වදාළේය. 823B
ඔහු මේ වචනයෙන් අංගුලිමාල භික්ෂු භාවයට පත් වූයේය.

[823B :- ඒහි භික්ඛු භාවයෙන් පැවිදි කිරීම යනු :- භාග්‍යවතුන් වහන්සේ විසින්, කෙස් රවුළු සහිත ගිහියෙකුට, “එව භික්ෂුව! ” කියා කිවූ සැනින් ඔහුගේ කෙස් රැවුළු ගිහි ඇඳුම් අන්තර්ධාන වී ඔහු කෙස් මුඩු කොට රැවුල මුඩු කොට සිවුරු හැඳි සැට වයස් වූ මහා රහතන් කෙනෙක් ගේ රුපය ලබා , සාසන ප්‍රව්ජ්යාව ලැබීම යයි සාසනාවතරණය කියයි. මේ සාසනය විජ්ජා පෙන්නන එකක නොවන බව නිතර දෙසනා කල භාග්‍යවතුන් වහන්සේ මෙසේ කලායයි සිතීම අන්ධ භක්තිය නිසා පොත්වල ලියවුන හැම බොරුවම විස්වාස කිරීමක් යයි සිතමි.]

§ 7. . ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පසු පසින් යන ආයුෂ්මත් අඩ්ගුලිමාල ස්ථවිරයන් සමග සැවැත් නුවර ජේතවන නම් අනේපිඬු මහසිටුහුගේ ආරාමයට වැඩියහ.

§ 8 .එකල්හි පසේනදී කොසොල් රජහුගේ මාලිගා දොරටුයෙහි මහජන සමූහයා රැස්ව “දෙවයන් වහන්ස, නුඹවහන්සේගේ රටෙහි රෞද්‍රවූ ඉතා සැඩ පරුෂ, අඩ්ගුලිමාල නම් මිනීමරුවෙක් වෙයි. හෙතෙම මිනිසුන් මර මරා ඇඟිලි මාලාවක් දරයි. දේවයන් වහන්සේ ඔහු වලක්වන සේක්වායි.” මහත්වූ ඝොෂා කළහ..

§ 9 . එකල්හි පසේනදී කොසොල් රජ පන්සියයක් පමණ අශ්වාරෝහක හමුදාවක් සමග දවල් කාලයෙහි සැවැත් නුවරින් නික්ම අංගුලිමාල අල්ලාගන්නට යන්නේ, ඊට පෙර භාග්‍යවතුන් වැඳ ආශිර්වාද ලබන්නෙමි’යි සිතා ජේතවනාරාමය වෙත පැමිණියේය.

පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක්පසක හුන්නේය. එක්පසක හුන්නාවූ පසේනදී කොසොල් රජුගෙන් භාග්‍යවතුන් වහන්සේ මෙසේ ඇසීය.
“කිමෙක්ද මහරජ? තොප මේ යුධ සේනා සමග යන්නේ, මගධ රටට අධිපතිවූ බිම්බිසාර මහරජ ඔබ හා යුදයට පැමිනෙන්නේද? නැතිනම් විසාලා මහනුවර ලිච්ඡවි රජ දරුවෝ යුදයට එන්නේද ? නැතිනම් අන් සතුරු රජ කෙනෙක් යුදයට එන්නේ දැයි ඇසූහ.”

§ 10 . “ස්වාමීනි , බිම්බිසාර රජ, ලිච්ඡවි රජදරුවෝ හෝ අන් රජ කෙනෙක් මා හා සටනට නොඑන්නොය. . ස්වාමීන්වහන්ස, මාගේ ජනපදයෙහි මිනිමරමින් විනාස කරන අඩ්ගුලිමාල නම් සොරෙක් ඇත. ඔහු විසින් බොහෝ රටවැසියන් මරණ ලද්දේය. ඔහුට බියේ මිනිසුන් මේ ප්‍රාන්තයෙන් පලා යන්නෝය. ඔහුව අල්ලා ගන්නට මම මේ සේනාවක් සමග යන්නෙමි.” කීය.

§ 11 . “යහපති මහරජ, ඒ අන්ගුලිමාල නම් සොරා යම් ලෙසකින්, හිසකේ රැවුල් කපා කසාවත් හැඳ ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදිව, සතුන් මැරීමෙන් වැලකුනාවූ සොරකම් කිරීමෙන් වැලකුනාවූ, බොරු කීමෙන් වැලකුනාවූ, එක්වේලක් පමණක් අනුභව කරන්නාවූ, බ්‍රහ්මචාර්යාවෙහි හැසිරෙන සිල්වත්වූ යහපත් ස්වභාව ඇත්තාවූ ශ්‍රමණයෙකු ලෙස ඔබට දකින්නට ලැබුනොත්, ඔබ ඔහු කෙරේ කෙසේ පිළිපදින්නේදැයි” ඇසූහ.

“ස්වාමීන් වහන්ස, එසේ ශ්‍රමණයෙක් වේ නම් අපි ඔහුට වන්දනා කරමු .දැක හුනස්නෙන් නැගිටීම හෝ ආසන පැනවීම් හෝ කරමු . තවද උන්වහන්සේට චීවර, පිණ්ඩපාත, සයනාසනය, ගිලන්පස, බෙහෙත් පිරිකර යන මෙයින් පුජා කරම්හ. උන්වහන්සේට ධාර්මිකවූ ආරක්ෂාව හෝ පිළියෙල කරම්හ. ස්වාමීන් වහන්ස, දුස්සීලවූ ලාමක ස්වභාව ඇත්තාවූ මෙවන් චෞරයෙකු කෙසේ නම් සීල ගුණ පුරන ශ්‍රමණ යෙකු වන්නේදැයි?” ඇසීය.

§ 12. “එම වෙලාවේ ආයුෂ්මත්වූ අඩ්ගුලිමාල ස්ථවිරයන් භාග්‍යවතුන් වහන්සේට නුදුරින් බිම හිඳ ගෙන සිටියේය. එවිට භාග්‍යවතුන් වහන්සේ දකුණුඅත අංගුලිමාල තෙරණුවන් දෙසට දිගුකොට කොසොල් රජහට පෙන්වා ‘මහරජ, මේ ඉන්නේ අඩ්ගුලිමාලයයි” වදාළේය.

එවිට පසේනදී කොසොල් රජහට බියක් ඇති වූයේය. තැති ගැන්මක් වූයේය. ලොමුඩැහැගැන්මද වූයේය. ඒ දත් භාග්‍යවතුන් වහන්සේ
“මහරජ, බිය නොවෙව, මහරජ බිය නොවෙව. තොපට මොහුගෙන් භයක් අනතුරක් නැතැයි” වදාළේය. මේ ඉන්නේ තමන් අල්ලාගන්නට යන මිනීමරු අංගුලිමාල යයි අවිස්වාසයෙන් ඒ සනාත කර ගන්නට පසේනදී කොසොල් රජ ආයුෂ්මත් අඩ්ගුලිමාල ස්ථවිරයන් වහන්සේ හුන් තැනට පැමිණ “ස්වාමීනි, ආර්යයන් වහන්සේ අඩ්ගුලිමාල නම් ස්ථවිරදැයි” ඇසීය.
‘මහරජ, එසේයයි,” ප්‍රකාශ කෙළේය.
“ස්වාමීනි ආර්යන් වහන්සේගේ පියා කෙබඳු ගොත්‍ර ඇත්තීදැයි මව් තොමෝ කෙබඳු ගොත්‍ර ඇත්තීදැයි” ඇසීය.
“මහරජ මාගේ පියා ගර්ග ගොත්‍රයේය ? මගේ මව් තුමිය මන්තානී නම් බැමිණියයි” ප්‍රකාශ කෙළේය.
‘ස්වාමීනි, ගර්ගමන්තානීපුත්ත ස්වාමින්වහන්ස!824 ශාසනයෙහි සිත් අලවා වාසය කෙරෙත්වා. මම ඔබ වහන්සේට චීවර, පිණ්ඩපාත, සේ නාසන, ගිලන්පස, බෙහෙත් පිරිකර ආදිය පුජා කරන්නෙමි.”යි කීයේය.

[824: අංගුලිමාල නම සොරෙකුට යෙදුවක් නිසා ඒ නමින් නොව එවකට භාරත සමාජයේ සම්මත ආකාරයට මා පියන්ගේ නම් යොදා, (සාරි බැමිනියයේ පුතු සාරිපුත්ත නමින් ඇමතු සේ,) ආමන්ත්‍රණය කල බව පෙනේ.]

§ 13 . “එසමයෙහි ආයුෂ්මත් අංගුලිමාල ස්ථවිරයන් වහන්සේ ආරණ්‍යකාංගයද, පිණ්ඩපාතිකාංගයද, පංශුකූලිකාංගයද, තෙචීචරිකාංගයද සහිත ධුතාංග සීලය රකින්නාහ. 825

[825: මහන වී ඉතාම කෙටි කලකින් නොහොත් පසු දා හෝ දින කිහිපයකින් ‘පසු මේ සිද්ධිය වනවිට අංගුලිමාල තෙරුන් ධුතංග ශීලයන් වඩනා බව කිසිසේත් ඇදහිය නොහැක. ටිබෙට් හා චීන ආගමේ මේ බවක් සඳහන් නොවේ. ලංකාවේදී ග්‍රන්තාරුඩ කරනවිට , අංගුලිමාල තෙරනුවනට වැඩි ගෞරවයක් දෙනු පිණිස මේ ලෙස අතිශයෝක්තීන් යෙදු බව පෙනේ.]

එවිට ආයුෂ්මත් අංගුලිමාල ස්ථවිරයන පසේනදී කොසොල් රජහට “මහරජ, කම්නැත. මා හට තුන්සිවුර සම්පූර්ණයයි” කීයේය.

ඉක්බිත්තෙන් පසේනදී කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේ වැඩ හුන් තැනට පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත්පසක හිඳ මෙසේ කීය.

“ස්වාමීනි, ආශ්චර්ය, පුදුමය, භාග්‍යවතුන් වහන්සේ දමනය කළ නොහැක්කවුන් දමනය කරන්නෙක, නොසංසුන් සත්වයන් සංසිඳුවන්නෙක, කෙලෙස් නිවීම නොකළාවූ සත්වයන්ගේ කෙලෙස් ගිනි නිවන්නෙක, ස්වාමීන් වහන්ස, අපට යමෙක් දඬුවලින්ද, ආයුධ වලින්ද දමනය කරන්ට නොහැකි වෙමුද, ඒ පුද්ගලයන් පවා භාග්‍යවතුන් වහන්සේ විසින් දණ්ඩෙන් තොරව, ආයුධයෙන් තොරව, දමනය කරණ ලද්දේය. ස්වාමීන් වහන්ස, අපි බොහෝ කටයුතු ඇත්තම්හ. බොහෝ වැඩපල ඇත්තම්හ. එබැවින් දැන් අපි යම්හ”යි කීයේය.

මහරජ, නුඹ සුදුසු පරිදි කරවයි” අවසර දී වදාළේය.
ඉක්බිත්තෙන් පසෙනදී කොසොල් රජ හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේට වැඳ පැදකුණුකොට ආපසු රජ මැදුරට ගියේය.

§ 14 . “ඉක්බිති යම් දිනෙක ආයුෂ්මත් අංගුලිමාල ස්ථවිරයන්වහන්සේ පෙරවරු වේලෙහි හැඳපොරවා පාත්‍ර සිවුරුගෙණ සැවැත්නුවරට පිඩුපිණිස වැඩියහ. ගෙපිළිවෙලින් පිඬු පිණිස යන්නේ දාරක ප්‍රසුතියට පත් මවක නිවසක් තුල සිට මහත් හඬින් විලාප දෙමින් හඬනු ඇසීය. 826 ඒ මන්දැයි දැනගත් ස්ථවිරයන් වහන්සේ දැඩි සේ සංවේගයට පත් විය. “අහෝ මේ සත්වයන් මොන තරම් දුක් සහිතව ජීවත්වන්නේදැයි සිතුවේය.

[826: ටීකාවේ සඳහන්වන ආකාරයට “මුල්හාගබ්බ” යන කුස තුල දරුවා වැරදි ලෙස හැරවී සිටීම නිසා ප්‍රසුතිය සිදුනොවී එම සිරවීම නිසා මවට දැඩි වේදනා ගෙන දෙන ස්වභාවයක් නිසා මවත් දරුවාත් දෙදෙනාම නැසෙන දරුණු සිද්ධියක් බව දැක්වේ.]

පිණ්ඩපාතයෙන් පසු ආයුෂ්මත් අංගුලිමාල ස්ථවිරයන් වහන්සේ සැවැත් නුවර පිඬු පිණිස හැසිර දහවල් ආහාරයෙන් පසු භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ වැඳ එක් පසක හිඳ
“ස්වාමීන් වහන්ස, මම පෙරවරුවෙහි ගෙපිළිවෙළින් පිඬු පිණිස යන්නෙම් සරසට සිටි දරු ගැබක් ඇති උවදුරු සහිත දරු ගැබක් ඇති එක්තරා ස්ත්‍රියක් වේදනාවෙන් හඬනු ඇසීමි. ඒ අසා ‘ අහෝ , ඒකාන්තයෙන් සත්වයෝ දුකම වින්දින්නොය. සත්වයෝ කෙලෙසෙන්නාහුය,’ යන සිතක් පහළවූයේයයි” කීය.

§ 15. “අංගුලිමාලය, එසේ නම් නුඹ ආපසු සැවැත් නුවර ට ගොස් , පැමිණ ඒ ස්ත්‍රියට “නැගණිය, මම යම් විටෙක පටන් මේ ජාතියෙහි උපන්නෙම්ද, එතැන් පටන් දැන දැන සතෙකු ජීවිතයෙන් තොර නොකෙළේමි. ඒ සත්‍ය වචනය කරණ කොටගෙණ තිට සැපක් වේවා. දරු ගැබටද සැපක්වේවායි’ කියවයි” වදාළේය.

“ස්වාමීන් වහන්ස, මා විසින් දැන දැන බොහෝ මිනිසුන් මරා දමන ලද්දාහ. ස්වාමීන් වහන්ස, එහෙයින් මාගේ ඒ කීම ඒකාන්තයෙන් බොරු කීමක් වන්නේයයි, කීයේය”

“අංගුලිමාලය, එසේ වීනම් නුඹ , ” නැගණිය, මම යම් විටෙක පටන් ආර්යවූ ජාතියෙහි උපන්නේවෙම්ද, (එතැන් පටන්) දැන දැන සතෙකු ජීවිතයෙන් තොර කළ බව නොදනිමි. ඒ සත්‍ය වචනය හේතු කොට ගෙණ තිට සැපවේවා, දරු ගැබටද සැපවේවායි, ඒ ස්ත්‍රියට කියවයි” වදාළසේක.

“එසේය, පින්වතුන් වහන්සැයි” කීයා ආයුෂ්මත් අංගුලිමාල ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට වැඳ අවසර ගෙන සැවත් නුවරට ගොස් ඒ ස්ත්‍රියට
“නැගණිය, මම යම් තැනක පටන් ආර්යවූ ජාතියෙහි උපන්නේ වෙම්ද, (එතැන් පටන්) දැන දැන සතෙකු ජීවිතයෙන් තොර කළ බව නොදනිමි. ඒ සත්‍ය වචනය හේතු කොට ගෙණ තිට සැපවේවා. දරු ගැබටද සැපවේවායි”, කීයා සත්‍ය ක්‍රියා කළේය. ඒ වහාම ඒ ස්ත්‍රිය නිරුපද්රිතව දරුවා ප්‍රසුත කලාය. 827

[827: දාරක ප්‍රසුතියට සුදානම් වන මව් වරුන් සඳහා අදත් භික්ෂුන් වහන්සේලා අංගුලිමාල පිරිත සජ්ජායනය කරන බව දැකිය හැක. සත්‍යක්‍රියාව කරන්නේ සජ්ජායනා කරන භික්ෂුවගේ සීලය ගැන නොව අංගුලිමාල ස්ථවිරයන් වහන්සේ මහන වූදා සිට සත්ව ඝාතනය නොකළ බව සත්‍ය නම් …..යහපත් දරු උපතක් වේවා කියාය. ඒ කෙතරම් අදාලදැයි ඔබම තීරණය කිරීම වටී.]

§ 16. “වැඩි කල් නොගොස්ම අංගුලිමාල ස්ථවිරයන් වහන්සේ හුදෙකලා විවේකව අප්‍රමාද කෙලෙස් තවන වීර්ය ඇතිව හරණලද ආත්මාලය ඇතිව ප්‍රතිපදාවේ හැසිරෙන්නේ නොබෝ කලකින්ම ඒ උතුම් රහත් බව මේ ආත්මයෙහිම තෙමේ විශේෂ ඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂ කොට ඊට පැමිණ වාසය කෙළේය. ජාතිය විනාශ කරණ ලද්දීය. මාර්ග බ්‍රහ්මචර්යාව වැස නිම වන ලද්දේය. සතර මාර්ගයෙන් කටයුත්ත කරණ ලද්දේය. මෙයින් පසු කළ යුත්තක් නැත්තේයයි දැනගත්තේය. ආයුෂ්මත් අංගුලිමාල ස්ථවිරයන් වහන්සේ රහතන්ගෙන් එක්තරා කෙනෙක් වූහ.

§ 17 . “’පසු කාලයේ දිනක අංගුලිමාල ස්ථවිරයන් වහන්සේ පෙරවරු වේලෙහි හැඳ පොරවා පාසිවුරුගෙණ සැවැත්නුවරට පිඬු පිණිස පැමිණියේය. එකල්හි යම් පුරුෂයකු , අන් දිසාවකට ගසනලද ගලක් ආයුෂ්මත්වූ අංගුලිමාල ස්ථවිරයන්ගේ ශරීරයෙහි වදීන්නේය. අන් දිසාවකට ගසනලද්දාවූ පොල්ලක් අංගුලිමාල ස්ථවිරයන්ගේ ශරීරයෙහි වදින්නේය. අන්දිසාවකට ගසන ලද්දාවූ කැට කැබලිති ආයුෂ්මත්වූ අංගුලිමාල ස්ථවිරයන්ගේ ශරීරයෙහි වදින්නේය.

ඉක්බිත්තෙන් අංගුලිමාල ස්ථවිරයන් වහන්සේ ‘තුවාල වී ලේ ගලන්නාවූ හිසින් යුතුව , ඉරුණු සිව්රු ඇතිව, බිඳුනාවූ පාත්‍රයෙන් යුක්තව ජේතවනාරාමයට වඩිනු දුටු භාග්‍යවතුන් වහන්සේ ඔහු දැක ආයුෂ්මත් අංගුලිමාල ස්ථවිරයන්ට “බ්‍රාහ්මණය, ඉවසව, බ්‍රාහ්මණය, ඉවසව, තොප කළාවූ කර්මයන් සඳහා අ වුරුදු සිය දහස් ගණන් නරකයෙහි පැසෙන්නට ඉඩ තිබුනාවූ ඒ කාර්ම විපාක දැන් නුඹ මෙසේ ඉතා සුළු ව මේ ආත්මයෙහිම විඳින්නෙහියයි” වදාළහ

“ ඉක්බිත්තෙන් ආයුෂ්මත් අංගුලිමාල ස්ථවිරයන් වහන්සේ රහසිගතවූයේ සිත එකඟ කිරීමට පැමිණියේ නිවන් සුව විඳින්නේ ඒ වෙලාවෙහි මේ ප්‍රීති වාක්‍යය ප්‍රකාශ කෙළේය.

[1] “යමෙක් පළමුව ප්‍රමාද වී පසුව ද උවද ප්‍රමාද නොවේද, ඒ පුද්ගලයා වළාකුලෙන් මිදුනාවූ සඳමෙන් මේ ලෝකය බබුළුවයි.

[2] යමකු කරණ ලද්දාවූ අකුසල කර්මය කුසල කර්මයෙන් වැසේද, ඒ පුද්ගලයා වළාකුළෙන් මිදුනාවූ චන්ද්‍රයා මෙන් මේ ලෝකයේ බබලයි.

[3] යම් තරුණ භික්ෂුවක්, සර්වඥ ශාසනයෙහි වීර්යයෙන් යුක්තව වාසය කෙරේද, හෙතෙම වලාකුලින් මිදුනාවූ චන්ද්‍රයා මෙන් මේ ලෝකය බබලයි.

[4] මාගේ සතුරෝ වනාහි ධර්මයෙන් යුක්තව කථාව අසත්වා. මාගේ සතුරෝ වනාහි සර්වඥ ශාසනයෙහි වීර්යයෙන් යුක්ත වෙත්වා. සත්පුරුෂවූ යම් මිනිස් කෙනෙක් ධර්මය හැර ගණිත්ද, මාගේ සතුරෝ වනාහි එබඳු සත්වයන් භජනය කෙරෙත්වා.

[5] මාගේ සතුරෝ වනාහි ඉවසීම ප්‍රකාශ කරන්නාවූ මෛත්‍රියට ප්‍රශංසා කරන්නවුන්ගේ ධර්මය සුදුසු කාලයෙහි අසත්වා ඒ ධර්මයටද අනුව කටයුතු කෙරෙත්වා.

[6] හෙතෙම ඒකාන්තයෙන් මට හිංසා නොකරන්නෙක් වේවා. අන්කිසිවෙකුටත් (හිංසා නොකෙරේවා) උතුම්වූ නිවණට පැමිණ කෙලෙස් සහිත සත්වයන් හා කෙලෙස් රහිතවූ සත්වයන්ද රක්නේය.

[7] දිය ගෙනයන්නෝ වනාහි ජලය පමුණුවත්. හී වඩුවෝ ඊ දඬු නමා ඇදහරිත්. වඩුවෝ දැව දඬු සැස ඇදහරිත්, නුවණැත්තෝ තමා දමනය කරත්.

[8] සමහර කෙනෙක් දණ්ඩෙන්ද, හෙන්ඩුවෙන්ද, කස සැමිටියෙන්ද දමනය කරත්. තාදී (අෂ්ටලොක ධර්මයෙන් කම්පානොවන) ගුණයෙන් යුක්තවූ සර්වඥයන් වහන්සේ විසින් දණ්ඩක් නැතිව ආයුධයක් නැතිව මම දමනය කරණ ලද්දේවෙමි.

[9] පෙර සත්ව හිංසා කරන්නාවූ මට අහිංසකයයි නමක්වූයේය. අද මම (අහිංසකය යන) සත්‍යවූ නම ඇත්තේ වෙමි. කිසිවකුටත් හිංසාවක් නොකරමි. පෙර මම අංගුලිමාලයයි ප්‍රසිද්ධවූ සොරෙක් වූයෙමි. කාමාදී මහ වතුරෙන් ගසාගෙණ යනු ලබන්නේ බුදුන් සරණ කොට ගියෙමි.

[10] පෙර අංගුලිමාලයයි ප්‍රසිද්ධවූ ලේ තැවරුණු අත් ඇත්තෙක් වීමි. (ඔහුගේ) සරණයාම බලව (ඔහු විසින්) භව ආශාව නැති කරනලදී.

[11] දුර්ගතිවලට පමුණුවන්නාවූ බොහෝ එබඳු අකුසල කර්ම කොට මාර්ග කුසල විපාකයට පැමිණෙන ලද්දේ නය නැත්තෙක්ව ආහාර වළඳමි.

[12] අඥානවූ බාලජනයෝ ප්‍රමාදයෙහි යෙදී වාසය කරත්. නුවණැත්තේ උතුම් ධනයක් මෙන් අප්‍රමාද රක්ෂා කරයි.

[13] ප්‍රමාදයෙහි නොයෙදෙව්. පස්කම් සැපයෙහි ඇල්මට නොපැමිණෙව්. අප්‍රමාදව නුවණින් බලන තැනැත්තේ වනාහි මහත්වූ සැපයට පැමිණේ.

[14] ‘මාගේ යම් පැමිණීමක් ඇද්ද එය ලාමක පැමිණීමක් මම පැවිදි වන්නෙමි යන නොවන්නේය’. යම් වචනයක් කියන ලදද එය අයහපත් කීමක් නොවන්නේය. බුදුවරයන් වහන්සේලා විසින් බෙදා වදාළ ධර්මයන් අතුරෙහි ඒ ධර්මයට පැමිණියෙමි. යම් ධර්මයක් උත්තමද

[15] මාගේ යම් පැමිණීමක් ඇද්ද, එය ලාමකවූ පැමිණීමක් මා විසින් යම් වචනයක් කියනලදද එය නොවේ. ත්‍රිවිද්‍යාවන්ට පිළිවෙළින් පැමිණියෙමි. අයහපත් වචනයක් නොවේ. බුදුරජාණන් වහන්සේගේ අනුශාසනය කරණලදියි”. ප්‍රකාශ කෙළේය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.