MN 02-01-07. කුක්කුරවතිය සූත්‍රය

§ 1. මා විසින් මෙසේ අසන ලදී.
කොලිය ජනපදයෙහි ‘හළිද්ද වසන’ නම් කොලිය ජනපද වාසීන්ගේ නියම්ගමක් වේ. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ පිණ්ඩපාතය පිණිස  එම ගමට යාමට පහසු වනලෙස  ඊට ආසන්න තැනක වැඩ වෙසෙන සේක..

මතු භවය, ඊළඟ උපත කොතැනක වේද යන්න තීරණය වන්නේ කර්මය මගින්මය.

මේ සුත්‍රය කර්මය විපාක දෙන සිව් ආකාරයක් දක්වයි, චේතනාවම කර්මය වන බවට භාග්‍යවතුන් වහන්සේ සැකෙවින් වදාළ දෙසුම මෙහිදී එක එක කර්මයන් කරත්දී ඇතිවන සිත්වල ස්වභාවය අනුව උපත සකස් කිරීම පිණිස ඉදිරිපත්වන ආකාරය විස්තර කෙරේ.

කළු- සුදු ලෙස හෝ අඳුරු0 – දීප්තිමත් ලෙස ඇති සිතේ සවභාවයන් අනුව ඉදිරි භවය නිර්ණය වන ආකාරය මෙහිදී දැක්වේ. දිලෙන සිතකින් හොඳ හිතින් කරන කුසල් ඔබගේ ඉදිරි භවය යහපත් තැනක සිදු කරවයි.

§ 2. එකල්හි ගෝ ව්‍රතය  සමාදන්වූ (ගොනෙකු මෙන් හැසිරෙන සීලයක් ඇති) “පුණ්ණ” නම් කොලිය පුත්‍රයාද , සුනඛ ව්‍රතය සමාදන්වූ (බල්ලෙකු මෙන් හැසිරෙන සීලයක් ඇති) “සෙනිය” නම් අචෙලක ගෝත්‍රිකයෙක්ද,600 භාග්‍යවතුන් වහන්සේ ගෙන් යමක් දැන ගන්නට ඕනෑකමක් නිසා භාග්‍යවතුන් සොයා අවුත් උන්වහන්සේ වැඩ හුන් තැනට පැමිනියාහුය.

[600:- මේ ජීවිතයේ අස්ථිර බව කටුක බව සහ අනවරාග සංසාරයේ අවසන් නොවන ගමනක් ගමන් කරන්නට වන්නේ අපේ අකුසල නිසාය. ඒ අකුසල ගෙවා දැමීම නිවනට මගය කියන කාරණය නිසා බොහෝ මිනිසුන් ශ්‍රමණ බව ට පත් වුහ. මේ සිත සැපයට අසතුටට පත් වන්නට අකැමැතිය. ඒවා පසුපසම හඹා යයි. එයින් වලකා සිතට ඕනා දේ නොදී සිත අකමැති දේ කරන්නට දීමෙන්, ඒ අසීරු දේ කිරීම තුලින් විමුක්තිය සැලසෙයැයි සිතු අය අත්තකිලමතානු යෝගය විස්වාස කරන අය වුහ. ගොනෙකු ලෙස ජීවත්වීම මිනිසෙකුට කරන්නට අසීරු දෙයකි. බල්ලෙකු ලෙස ජීවිතය පැවැත්වීමද එසේම අසීරුය. ඒ අසීරු වෘත සමාදන් වී රැකීම දැඩි සීලයක් ලෙස එකල මෙන්ම අදත් බොහෝ අය සිතති. සමහර බෞද්ධ භික්ෂුන් පවා දියුණුකළ ධුතාංග රකිමින් මිනිසුන්ද තමන්වද රවටා ගැනිම අද ද දැක්ක හැක. ]

. එසේ පැමිණ, ගොනෙකු ගේ පැවතුම් ඇත්තාවූ “පුණ්ණ” නම් කොලිය පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පැත්තක හුන්නේය. බලු පැවතුම් ඇත්තාවූ “සේනිය” නම් ආවෙලකයා භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය යුතුවූ සිහිකටයුතුවූ කථා ( ආ ගිය කතා) කොට නිමවා බල්ලෙකු මෙන් බිම ලැග ගෙණ එකපැත්තක හුන්නේය.

ගව වෘතය සමාදන්ව ගවයෙක් සේ පැවතුම් පවත්වන  “පුණ්ණ”   කොලිය පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීයේය.

“ස්වාමීනි, මේ මගේ මිත්‍ර සේනිය , මේ දුෂ්කර කුක්කුර වෘතය ඉතා දැඩි වීර්යයෙන් යුතුව නියම පිළිවෙලටම බොහෝ කලක් තිස්සේ කරන්නේය. ඒ දුෂ්කර සීලය සමාදන්ව එහි හැසිරෙන්නේය. ඒ සීලය රක්නා, සේනිය බිම දමන ලද්දක් පමණක් කයි. භාග්‍යවතුන් වහන්ස  ඔහුගේ මතු ඉපැදුම,  ගතිය කවරීද? පරලොව උත්පත්තිය කවරේදැ”යි ඇසුවේය. 601

[601:- අද බොහෝ ආසියාතික රටවල මිනිසුන් බෞද්ධ භික්ෂුන් හමුවන්නට යන්නේ තමන් ගේ මලගිය නෑයන් මරණින් පසු දැන් කොහි ඉපිද ඇත්දැයි දැන ගන්නට හෝ, තමන් මරණයෙන් පසු කුමන උපතක් ලබයිදැයි දැන ගන්නට හෝ, මෙවර ලොතරැයි දිනුම මොන නොම්මරය දිනයි දැයි දෑන ගන්නටය. එදාද බොහෝ මිනිසුන් බුදුන් වහන්සේ හා පිළිවෙත් පුරමින් තවුස් දම් පුරන භික්ෂුන් හමුවන්නට ආවේ මෙබඳු ලාමක දේ ගැන අසන්නටය ]

බලු පැවතුම් ඇති සේනිය නම් අචෙලක මිතුරා දුෂ්කරක්‍රියා කරන්නේ බිම දමන ලද්දක් කයි. ඔහුගේ ඒ බලු පැවතුම බොහෝ කලක් සම්පූර්ණ කරණ ලද්දක්, සමාදන් වන ලද්දක් වෙයි. ඔහුගේ ගතිය කවරීද? පරලොව උත්පත්තිය කවරේදැ”යි ඇසුවේය.

“පුණ්ණය, මගෙන් මෙය නොවිචාරවයි, කියත් දී තොප එයම තෙවරක් අසන නිසා මම පිළිතුරු දෙමි.

§ 3 .පුණ්ණය, යමෙක් කුක්කුර වෘතය යැයි කියනා සුනඛයෙකුගේ පැවතුම් සමාදාන වී සම්පූර්ණයෙන්ම, , නිරතුරුවම ඒ වෘතය වඩයිද, කුක්කුර ශීලය සම්පූර්ණකොට නිරන්තරයෙන් ඒ වඩාද, සිය සිත බල්ලෙකුගේ සිතකට පරිවර්තනය කොට නිරන්තරයෙන් ඒ සිත වඩාද, බල්ලන්ගේ ආකාරයෙන් හැසිරෙමින්, සම්පූර්ණකොට නිරන්තරෙයන් ඒ පැවතුම් පවත්වාද, ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු ඔහු බල්ලන්ගේ සමාගමයටම පැමිණෙයි. නොහොත් බල්ලෙකු සේ උපතක් ලබයි.

ඉදින් ‘මම මේ සුනඛ ශීලයෙන් හා පැවතුමෙන් හා සුනඛ තපසින් මේ බ්‍රහ්මචර්‍ය්‍යාවෙන්, දෙවියෙක් වන්නෙමි. අසුවල් දෙව් ලොව උපදින්නෙමි ‘ යි කියා ඔහුගේ විශ්වාසයක් වේනම් ඒ විශ්වාසය මිත්‍යා දෘෂ්ඨියකි. මෙවන් මිථ්‍යා දෘෂ්ටියක් ඇත්තෙක් අනිවාර්ය යෙන්ම නරකය හෝ තිරිසන් යෝනිය යන ගති දෙකින් එක් ගතියක් ලබයි. පුණ්ණය, මෙසේ සම්පූර්ණ කරන්නාවූ බලු පැවතුම, කුක්කුර වෘතය බල්ලෙක් ලෙස උපතක් හිමි කරයි. “යි වදාළ සේක. 602

[602: මිච්චා දිට්ඨිය නිසා නොයෙක් අඥාන වෘත සමාදන්ව වෘත පිරීම, දේ ආකාරයකින් සැලකිය යුතුය. මේ නිවැරදිය මේ 3ව්රුථය මට මතු යහපත පිණිස වන්නේය යන විශ්වාසය ඇතිව ඒ වෘතය පිරීම ලෙස ලබන ප්‍රතිඵලය බොහෝ සෙයින්ම වඩා අයහපත්ය. එනම් බොහෝ කොට අපාගත වීම එසේ කල කෙනෙකුගේ ගතිය වේ. මේ වුමිච්චා දිට්ඨියෙන් තොරව යමෙක් මෙසේ වෘතය පුරන්නේ නම්, එනම් මතු සැපයක් ලැබෙය යන දැඩි විස්වාසයක් නැතිව ඒ වෘතය රකින්නට අපාගත වීමට වඩා තිරිසන් අපායේ ඉපදීම හේතු වනු ඇත. මතු විස්වාසයක් නැතිව මෙබඳු වෘත පුරණයක් කරන්නට මිනිසෙක් එළඹෙනු අතය් සිතීම උගහටය. ඒ නිසා බොහෝ මෙවන් වෘත පුරන්නන් අපාගත වේ යයි සිතිය හැක.]

§ 4 . මෙසේ වදාළ කල්හි බලු පැවතුම් පැවැත් වූ සෙනිය නම් අචෙලකයා කඳුලු වගුරමින් හැඬුයේය.. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පුණ්ණ කොලිය පුත්‍රයාට මෙසේ කීයේය. “පුණ්ණය ඒ ප්‍රශ්නය නොවිමසන ලෙස මා කීවේ මේ නිසාය. “

“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මම හඬන්නේ ඔබ වහන්සේ මෙසේ වදාළ නිසා නොවේ. ස්වාමීනි, එසේ වුවත් මම මේ කුක්කුර වෘතය බොහෝ කලක් පිරුවෙමි. , සමාදන් වුයෙමි.. ස්වාමීනි, මේ මා මිත්‍ර පුණ්ණ කොළිය පුත්‍රයාද ගෝ වෘතය සමාදන්ව බොහෝ කලක් බොහෝ අසීරුවෙන්ඒ ගවයෙක්සේ පැවතුම් පවත්වන ප්‍රතිපත්තිය පුරන ලද්දේය. ඔහුගේ ඒ ගෝ පැවතුම බොහෝ කලක් සම්පූර්ණ කරණ ලද්දක්, සමාදන්වන ලද්දක් වෙයි. ඔහුගේ ගතිය කවරීද? පරලොව උත්පත්තිය කවරේද?” යි ඇසීය.

§ 5.“සෙනිය, යමෙක් ගෝ වෘතය යි කියනා ගොනෙකු සේ පැවතීම නිරන්තරයෙන් වඩාද, ගොන් ශීලය නිරන්තරයෙන් වඩාද, ගොනෙකු සේ හැසිරේද, ගොනෙකු සිතන්නා සේ සිතයිද, වඩා ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු ගවයන් අතරම ඉපිදේ. ඉදින් , මම මේ ගෝ ශීලයෙන්, ගෝ ව්‍රතයෙන්, ගෝ තපසින්, ගෝ බ්‍රහ්මචර්‍ය්‍යයෙන් , දෙවියෙක් වන්නෙමි.” යි, ඔහුගේ ඇදහීමක් වේද, ඒ ඇදහීම, ඔහුගේ මිථ්‍යා දෘෂ්ටිය වේ. සෙනියය, මිථ්‍යා දෘෂ්ටිය ඇත්තහුට, නරකය හෝ තිරිසන් යෝනිය හෝ යන දෙක අතුරෙන් එක් ගතියක් හිමි වේ.”

§ 6 . මෙසේ වදාළ කල්හි ගෝ වෘතය පිරු පුණ්ණ නම් කොලිය පුත්‍රයාද කඳුළු වගුරමින් හැඬුයේය.

. එකල්හි .“ස්වාමීනි, මම හඬන්නේ ඔබ වහන්සේ මෙසේ වදාළ නිසා නොවේ. ස්වාමීනි, එසේ වුවත් මම මේ ගෝ වෘතය බොහෝ කලක් මනාසේ පිරුවෙමි. එහි සමාදන් වුයෙමි. ස්වාමිනි භාග්‍යවතුන් වහන්ස, මම ඔබ වහන්සේ ගැන මෙසේ විශ්වාස කරමි.
“මටත් මගේ මිත්‍ර සේනියටත්, අප දරනා මේ වැරදි සීලය අතහැර ගන්නට සුදුසු ධර්මයක් අපට දේශනා කරන සේක්වා!”
“එසේනම් පුන්න, හොඳින් අසව! මම දේශනා කරන්නෙමි”
“එසේය ස්වාමින් වහන්ස” යි පුන්න ප්‍රතිවදන් දුන්හ.
භාග්‍යවතුන් වහන්සේ මේ දේශනාව කල සේක.

§ 7 මා විසින් ප්‍රත්‍යක්‍ෂයෙන්ම දැක අවබෝධකළ [සච්ච කරෝති] කර්මයෝ සතරක් වෙති.

කවර සතරක්දයත්, පුණ්ණය,

  • කළු විපාක ඇති කළු කර්මයෝ ඇත්තේය.
  • සුදු විපාක දෙන සුදු කර්මයෝ ඇත්තේය.
  • සුදු හා කළු දෙආකාරම විපාක ඇති මිශ්‍ර කර්මයෝ ඇත්තේය.
  • කළුත් නොවූ, සුදුත් නොවූ, කළු හෝ සුදු විපාක නැති, කර්මක්ෂය කිරීම පිණිස පවතීන කර්ම ඇත්තේය.

§ 8 . “පුණ්ණය, කළු විපාක ඇති කළු කර්මයෝ කවරේද?

පුණ්ණය, ඇතැම් පුද්ගලයෙක් දුක් සහිතවූ කාය සංස්කාරය

(කාය ද්වාරයෙහි හටගන්නා දොළොස් අකුසල්) රැස්කරයිද, දුක් සහිතවූ වාක් සංස්කාර (වචනයෙන් පවත්නා දොළොස් අකුසල්) රැස්කරයිද, දුක් සහිතවූ මනො සංස්කාර (සිතෙහි හටගන්නා අකුසල් චෙතනාවන්) රැස්කරයිද, හෙතෙම දුක් සහිතවූ කාය සංස්කාරය රැස්කොට, දුක්සහිතවූ වාක් සංස්කාරය රැස්කොට, දුක් සහිතවූ මනො සංස්කාර රැස්කොට, දුක් විපාක ලැබෙන්නාවූ වූ ලෝකයක (එනම් නිරයේ, තිරිසන් අපායේ හෝප්‍රේත භවයක) උපදියි.602

[602:- සංඛ්යාපජ්ජන් කාය සංස්කාරන්, වචී සංස්කාරන්, මනෝ සංස්කාරන් ලෙස දක්වෙන අකුසල මුල තුනට එනම් රාග දෝස මෝහ යන වර්ග තුනෙන් එකකට අඩංගු වන ක්‍රියාවක් කිරීම, බිනීම, සිතීම .MN 01-01-09 සම්මා දිට්ඨි සුත්‍රයේ දැක්වෙන පරිදි ඇවැත්නි, ප්‍රාණ ඝාතය අකුසල්ය, අන් සතු දේ ගැනීම අකුසල්ය, කාමයන්හි වරදවා හැරීම අකුසල්ය, බොරුකීම අකුසල්ය, කේලාම් කීම් අකුසල්ය, ඵරුෂවචන කීම අකුසල්ය, (තමනට හෝ අනුනට වැඩක් නොවන) නිෂ්ඵල කථාව අකුසල්ය, අභිජ්ජාව (අනුන්ගේ දේ තමනට හිමි නම් යෙහෙකැයි සිතීම) අකුසල්ය, නොමනාප වන සිත (ව්‍යාපාදය) අකුසල්ය, වැරදි දෘෂ්ටිය ( චතුරාර්ය සත්‍ය නොදැක සන්සාර විමුක්තියක් ඇතය කියන මත)  අකුසල්ය, ඇවැත්නි, මේ සියල්ල  අකුසලයයි කියනු ලැබේ.]

දුක් සහිතවූ ලෝකයෙහි උපන්නාවූ ඔහු දුක් සහිතවූ විපාකයෝ ස්පර්ශ කරත්. හෙතෙම දුක් සහිතවූ විපාක ස්පර්ශකරන ලද්දේ, එකාන්තයෙන් දුක්වූ වේදනාවන් විඳියි. නිරයෙහි උපන් සත්වයෝ මෙනි. පුණ්ණය, මෙසේවූ කර්මය හේතුවෙන් සත්වයාගේ උත්පත්තිය වේ. යමක් ඔහු කරන්නේද කරයිද, දොඩයිද, සිතයිද ඒ ඔහුගේ කර්ම සන්ස්කාරයයි. ඒ කර්මයට අනුව ඔහු යලි උපදියි. 603 උපන්මොහු ස්පර්ශයෝ ස්පර්ශ කෙරෙත්. පුණ්ණය, මෙසේද මම සත්වයෝ කර්මය දායාද කොට ඇත්තාහුයයි කියමි. පුණ්ණය, මෙය කළු වූ කළු විපාක ඇත්තාවූ කර්මය යි කියනු ලැබේ.

[603: භූත භුතස්ස උප්පත්ති හෝති | සත්වයාගේ භවය, ජාතිය තීරණය වන්නේ ඒකාන්ත වශයෙන්ම ඔහුගේ කර්මයට අනුරූපවයි. මජ්ජිම නිකායේ MN 03-04-06 චුල කම්ම විභංග සුත්රයේ මේ කාරනය වඩාත් සවිස්තරව දක්වා ඇත.]

§ 9 . “පුණ්ණය, සුදු වූ සුදු විපාක ඇත්තාවූ කර්මයෝ කවරේද?

පුණ්ණය, ඇතැම් පුද්ගලයෙක් රාග දෝස මෝහ ආදී අකුසල් වලින් තොර සිතින්, නිදුක්වූ කාය සංස්කාර (දස කුසල කර්ම සහ සතර ධ්‍යානයන් වැඩීම ආදී) රැස්කරයිද, නිදුක්වූ වාක් සංස්කාර (වචනයෙන කරන කුසල්) රැස්කරයිද, නිදුක්වූ මනො සංස්කාර (මනොද්වාරයෙන් කුසල සිතිවිලි උපදයිද) රැස්කරයිද, හෙතෙම ඒ කුසල කර්ම හේතුවෙන් දුකින් තොරවූ භවයක උපදියි.

නිදුක්වූ ලෝකයක උපන්නාවූ ඔහු නිදුක්වූ ස්පර්ශයෝ ලබත්. නිදුක්වූ ස්පර්ශ ලද්දාවූ හෙතෙම, සුභකිණ්හ නම් දෙවියෝ මෙන්, දුකින් තොර එකාන්ත සැපවූ වේදනාවන් විඳියි. පුණ්ණය, මෙසේ තමන් කළාවූ කර්මයන් නිසාම සත්වයාගේ උත්පත්තියවේ. යමක් කරයිද එයින් උපදියි. උපන්නාවූ මොහු ස්පර්ශයෝ ස්පර්ශ කරත්. පුණ්ණය, මෙසේද, මම සත්වයෝ කර්මය දායාදකොට ඇත්තාහුයයි කියමි. පුණ්ණය, මෙය, සුදු වූ, සුදු විපාක ඇත්තාවූ කර්මයයි කියනු ලැබේ.

§ 10. “පුණ්ණය, කළුවූ හා සුදු වූ, විපාක ඇති කළු හා සුදු විපාක ඇති මිශ්‍ර කර්ම කවරේද?

පුණ්ණය, ඇතැම් පුද්ගලයෙක් අකුසල් සහිතවූද, කුසල් සහිත වුද සිතින් කාය සංස්කාරය රැස් කරයි, 607

[607: සමහර කර්මයන් වලට හේතු කුසල හා අකුසල දෙකම විය හැක. දරුවන්ගේ කුස ගින්න නිවීමට පාන් රාත්තල සොරකම් කිරීම වැනි ක්‍රියාවක් ගැන සිතුවොත් මේ කාරණය පසක් වේ. මේ කර්මවල සංකීර්ණත්වය එසේ වුවත්, අකුසල සිත මුල් වූ නිසා අකුසල ඵලද, කුසල සිත් මුල්ව කල ක්‍රියා පිණිස කුසල ඵලද ලැබේ යයි ගත හැක. අභිධර්මය ලිවූ පසු කාලින භික්ෂුන් මේ විය නොහැකිය. එක්කෝ කුසලය, එක්කෝ අකුසලය දෙකේ මිශ්‍රණයක් විය නොහැකිය කියමින් මේ බුද්ධ භාෂිතය බැහැර කිරීම කනගාටු දායකය.]

අකුසල් සහිතවූද, කුසල් සහිත වුද සිතින් වාක් සංස්කාර රැස් කරයිද, අකුසල් සහිතවූද, කුසල් සහිත වුද සිතින් මනො සංස්කාර රැස් කරයිද, හෙතෙම දුක් පිණිසවූ කාය සංස්කාරය රැස් කොට, දුක් සහිතවූ වාක් සංස්කාරය රැස් කොට, දුක් සහිතවූ මනො සංස්කාරය රැස්කොට දුක් සහිත භවයක් ලබයි. කුසල් සහිතව කල කර්මය නිසා ඊට අදාළ කර්ම ඵලයකින් දුක් සහිත ජාතියේද සුඛයක් විඳියි.

මනුෂ්‍යයෝද, ඇතැම් දෙවියෝද, ඇතැම් විමාන ප්‍රෙතයෝද එමෙනි. පුණ්ණය, මෙසේ මිශ්‍රව ඇතිවූ කර්මයෙන්ද සත්වයාගේ උත්පත්තිය වේ. යමක් කරයිද, එයින් උපදියි. උපන්නාවූ මොහු ස්පර්ශයෝ ස්පර්ශ කෙරෙත්.

පුණ්ණය, මෙසේ මම සත්වයෝ කර්මය දායාද කොට ඇත්තාහු යයි කියමි. පුණ්ණය, මෙය, සුදු හා කළු වූ විපාක ඇත්තාවූ සුදු හා කළු කර්මයයි කියනු ලැබේ.

§11. “පුණ්ණය, කර්මක්ෂය පිණිස පවතින, කලු නොවූ, සුදු නොවූ, විපාකද නැති කර්මය කවරේද?

පුණ්ණය, ඒ ත්‍රිවිධ කර්මයන් අතුරෙන් කළු විපාක ඇත්තාවූ යම් කර්මයක් වේද, එය දුරු කිරීම පිණිස යම් චෙතනාවක් වේද, සුදු විපාක ඇත්තාවූ යම් කර්මයකුත් ඇද්ද එය දුරු කිරීම පිණිස චෙතනාවක් වේද, කළු සහ සුදු විපාක ඇත්තාවූ යම් කර්මයක් ඇද්ද, එය දුරුකිරීම පිණිස යම් චෙතනාවක් වේද, පුණ්ණය, මෙය කළුද නොවූ සුදුද නොවූ, කළු සුදු විපාකද නැති කර්මය කර්මක්ෂය පිණිස පවතියි,608

පුණ්ණය, මේ කර්ම සතර මා විසින් විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂ කොට ප්‍රකාශ කරන ලද්දාහුය”යි වදාළේය.

[608: අරහත් ඵලයේ මුදුන් ඵලය සේ පවත්නා මාර්ග ඵලයකට පත් වූ සේක පුද්ගලයෙක් නිතොර මේ චේතනාවෙන් යුක්තව ක්‍රියාකරයි. අවසන අරහත් ඵලය සාක්ෂාත් කරන ආර්යයන්වහන්සේ කල කාර්ම වල කිසිදු විපාකයක් නොපිහිටයි.]

§ 12 . මෙසේ වදාළ කල්හි පුණ්ණ නම් කොළිය පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීයේය.

‘ස්වාමීනි, ඉතා යහපත, ස්වාමීනි, ඉතා යහපත. ස්වාමීනි, යම්සේ යටිකුරු කරන ලද්දක් උඩුකුරු කරන්නේද, වැසුමක් එලිදරවු කරන්නේද, මුළාවූවෙකුට මග කියන්නේද, ඇස් ඇත්තෝ රූප දකිත්වායි අඳුරෙහි තෙල් පහනක් දරන්නේද එලෙසින්ම භාග්‍යවතුන් වහන්සේ නොයෙක් ආකාරයෙන් ධර්මය දේශනා කරන ලද්දේය.

ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේද, ධර්මයද, සංඝයාද සරණ කොට ගනිමි. භාග්‍යවතුන් වහන්සේ මා අද පටන් දිවිහිමි කොට සරණ ගියාවූ උපාසකයෙකැයි මා දරණ සේක්වා”යි කීය.

§ 13 . බලු පැවතුම් ඇත්තාවූ සෙනිය නම් අචෙලක තෙම වනාහී භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. “ස්වාමීනි, ඉතා යහපත. ස්වාමීනි, ඉතා යහපත. ස්වාමීනි, යම්සේ යටිකුරු කොට තබන ලද්දක් උඩුකුරු කරන්නේ හෝ වේද, වසන ලද්දක් වැසුම් හරින්නේ, හෝ වේද, මංමුළා වූවෙකුට මග කියන්නේ හෝ වේද. අන්ධකාරයෙහි ඇස් ඇත්තෝ රූප දකිත්වායි තෙල්පහනක් දරන්නේ හෝ වේද එපරිද්දෙන්ම භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් ආකාරයෙන් ධර්මය දේශනා කරන ලදී.

ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේ සරණ කොට යමි. ධර්මයද භික්ෂු සංඝයාද සරණකොට යමි. ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි මහණ කම ලබන්නෙමි. උපසම්පදාවද ලබන්නෙමියි” කීයේය.

“සෙනියය, පෙර අන්‍ය තීර්ථකවූ යමෙක් මේ ශාසනයෙහි පැවිදි වීමට කැමති වේද, උපසම්පදාව කැමති වේද, හෙතෙම සාරමසක් පිරිවෙස් විසිය යුත්තේය . සාරමසක් ගතවීමෙන් සතුටු සිත් ඇති භික්ෂූහු භික්ෂු භාවය පිණිස පැවිදි කරත්. උපසම්පදා කරත්, එතකුදුවුවත් මට මෙහි පුද්ගලයන්ගේ වෙනස් බව ප්‍රකටය”යි වදාළේය.

“ස්වාමීනි, ඉදින් පෙර අන්‍යතීර්ථකවූවෝ මේ ශාසනයෙහි පැවිදි වීම කැමැත්තාහු උපසම්පදාව කැමැත්තාහු සාර මසක් පිරිවෙස් වෙසෙත් නම්, සාර මසක් ගතවීමෙන් සතුටු සිත් ඇත්තාවූ භික්ෂූහු භික්ෂු භාවය පිණිස පැවිදි කරත් නම්, උපසම්පදා කරත් නම්, මම සතර අවුරුද්දක් පිරිවෙස් වසන්නෙමි.
සතර අවුරුද්දක් ගතවීමෙන් සතුටු සිත් ඇති භික්ෂූහු භික්ෂුභාවය පිණිස මා පැවිදි කෙරෙත්වා, උපසම්පදා කෙරෙත්වා”යි කීයේය.

§ 15 . පෙර කුක්කුර වෘතය පිරු සේනිය නම් අචෙලකයන් භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි මහණකම ලැබූයේය. උපසම්පදාව ලැබුයේය. උපසම්පදාවූ නොබෝ කලකින් ආයුෂ්මත් සේනිය ස්ථවිරයන් හුදකලා වූයේ, වෙන්වූ වාසය ඇත්තේ, අප්‍රමාද වූයේ, කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇත්තේ, හරණලද ආත්මාලය ඇත්තේ, වාසය කරමින් නොබෝ කලකින්ම යමක් සඳහා ආචාර කුලපුත්‍රයෝ මනා කොට ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වෙද්ද, ඒ උතුම්වූ බ්‍රහ්මචර්‍ය්‍යය කෙළවර කොට ඇත්තාවූ අර්හත් ඵලයට, මේ ආත්මයෙහිම තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන අවබෝධ කොට පැමිණ වාසය කෙළේය.

ජාතිය ක්ෂය කරණ ලදී. මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යය වැස නිමවන ලදී. සතර මගින් කටයුතු දෙය කරන ලදී. මෙයින්පසු අනික් කළ යුත්තක් නැතැයි මනාව දැන ගත්තේය. ආයුෂ්මත් සෙනිය ස්ථවිර යන් වහන්සේ රහතන් ගෙන් එක් කෙනෙක් වූයේය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.