MN 03-05-03 පුන්නොවාද සුත්‍රය

§ 1. මා විසින් මෙසේ අසන ලදී.
එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම්වූ අනේපිඩු මහසිටුහුගේ ආරාමයෙහි වැඩ වසන සේක. එකල්හි ආයුෂ්මත්වූ පුණ්ණ ස්ථවිරයන් සවස් වේලෙහි ඵලසමවතින් නැගීසිටියේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේය. එළඹ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පස්ව හිඳ භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැලකෙළේය.

§ 2. “ස්වාමීන් භාග්‍යවතුන් වහන්ස, මට හුදෙකලාව සිට, අප්‍රමාදීව, වීර්ය වඩමින් ප්‍රතිපත්ති පිරීමට, බ්‍රහ්ම චරියාවේ හැසිරීම පිණිස උදව් වෙන යම් කමටහනක් කෙටියෙන් දේශනා කරන සේක්වා” යි කීහ.

“පුණ්ණ, එසේ නම් අසව, හොඳින් දරා ගෙන මෙනෙහි කරව, කියන්නෙමි”යි වදාළේය.
“එසේය, ස්වාමීන් වහන්සැ”යි පුණ්ණ ස්ථවිරයන් පිළිතුරු දුන්නේය.
භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.

§3. “පුණ්ණය, ඇසින් දකින්නා වූ, ඉෂ්ටවූ, කාන්තවූ, මනාපවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම්සැප ගෙනදෙන්නාවූ ඇලුම් කරන්නාවූ රූපයෝ වෙති, ඉදින් මහණතෙම එයට සතුටුවේද, එය හොඳය හොඳයයි කියාද, එයට බැසගෙන සිටීද, එයට සතුටු වන්නාවූ, එය හොඳය හොඳයයි කියන්නාවූ, එයට බැසගෙන සිටින්නාවූ, ඔහුට ආශාව උපදියි. පුණ්ණය, ආශාව හටගැණීමෙන් දුක් හටගැණීම වේයයි කියමි…….
කනින් ඇසෙන්නාවූ ඉෂ්ටවූ, කාන්තවූ,…… ශබ්දයෝ වෙති.
“නාසයෙන් දැනෙන්නාවූ , ඉෂ්ටවූ,…….. ඝන්ධයෝ වෙති.
“දිවෙන් දැනෙන්නාවූ , ඉෂ්ටවූ, කාන්තවූ, මනාපවූ,… රස වෙති.
“කයින් දතයුතුවූ, ඉෂ්ටවූ, කාන්තවූ,…….ස්පර්ශයෝ වෙති. ඉදින් මහණතෙම එයට සතුටුවේද, එය හොඳය හොඳයයි කියාද, එයට බැසගෙන සිටීද, එයට සතුටු වන්නාවූ, එය හොඳය හොඳයයි කියන්නාවූ, අදහසට බැසගෙන සිටින්නාවූ, ඔහුට ආශාව උපදියි. පුණ්ණය, ආශාව හටගැණීමෙන් දුක් හටගැණීම වේයයි කියමි.1316

[1316:- අභිනන්දති, අභිවඩති, අජ්ජෝසායතිට්ඨති යනුවෙන් දැක්වෙන මේ නන්දිය නොහොත් කැමැත්ත ඉතා සියුම්ව විමසා බැලිය යුතු වේ. යම් අරමුණක් ප්‍රිය වශයෙන් ගෙන එහි සතුට විඳීම , ඒ සතුටෙහි ගිලී නැවත නැවත එය පැතීම, සෙවීම, ඒ සැපය ගැන රාගය දැඩිව දරා ගැනීම ලෙස සරලව දැක්විය හැක. නන්දිය යන රාග ධර්මය චතුරාර්ය සත්යයන්හි පළමු දෙකොටස වන දුක සහ දුකට හේතුව මේ පංච ඉන්ද්‍රියයන් හරහා ඇතිවෙන සැටි මේ කෙටි කමටහනෙන් දැක්වෙන බව අටුවාව දක්වයි. ]


§4. “ පුන්නය ඉදින් භික්ෂුව මේ අරමුණු පසිඳුරන්ගෙන් ගෙන ඒවායින්, නන්දියට පත් නොවේ නම්, ඒ අරමුණෙන් සුඛ වේදනා ලැබ ආනන්දයට පත් නොවන්නේ නම්, ඒ සැපක්ය, සුඛයක්ය, ඉතා අගනේය,යි නොසිතන්නේනම් 1317 , එයට බැසගෙන නොසිටීද, එයට සතුටු නොවන්නාවූ, එය හොඳය හොඳයයි නොකියන්නාවූ, එයට බැසගෙන නොසිටින්නාවූ ඔහුගේ ආශාව නිරුද්ධවේ. පුණ්ණ ආශාව නිරුද්ධවීමෙන් දුක් නිරුද්ධවීම වේයයි කියමි. .

[1317: අනභිනන්දති, අනභිවඩති, අන්ජෝසාය තිට්ඨති ලෙස මේ පියවර තුන පාලියෙන් දැක්වේ. පළමු පියවරේ සිත රඳවාගත් භික්ෂුව කිසිසේත්ම ඉතිරි පියවර දෙකට නොයන නිසා, “අනභිනන්දති” යන මුල් පියවරෙහි ඇති වැදගත් කම අවධාරණය කල යුතුය. හමුවන අරමුණ (පංච ඉන්ද්‍රියයන්ගෙන් ගන්න වූ රුප, ශබ්ධ, ඝන්ධ, රස, ස්පර්ශ, අරමුණු) වල රස තෘෂ්ණාව ඇතිවන ලෙස නොදැකීම, යෝනිසෝ මනසිකාරයෙන් දැකීම, ධර්මය හැදෑරීමේ පරමාර්ථය වේ. ඒ දැකීම අනභිනන්දතිය යි.]

§ 5. “පුණ්ණ, මා විසින් තොපට කල මේ කෙටි අවවාදය තොපට බ්‍රහ්මචරියාවේ හැසිරීම පිණිස තරම් වෙයි මා දනිමි. ඉදින් පුන්නය, කුමන තැනකට ගොස් , පිළිවෙත් පිරීමට තොප අදහස් කරන්නේද?”

“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මම සුනාපරන්ත1318 , ජනපදයට ගොස් එහි වාසය කරන්නට අදහස් කර න්නෙමි.”

[1318:- පුන්න භික්ෂුන්වහන්සේ සුනාපරන්තයේ වැසියෙක් ලෙස අටුවාව දක්වයි. ඒ නිසාම ඔහු ආපසු සුනාපරන්තයට ගොස් කමටහන් වැඩීමට අදහස්කලාය සිතිය හැක. සුනාපරන්තය, සුප්පාරක නම්, වරාය සහිත වෙළඳ නුවර අගනුවර කොටගත්, අපරාන්තය නමින් දැක්වෙන දේශය ලෙස බොහෝ අය විශ්වාස කරයි. මෙහි වැසියන් රළු. සැඩ, පරුෂ ය බවද, අන්‍ය ආගමිකයන්, අන්‍ය ජාතිකයන් ගැන විරිද්ධවාදීව හැසිරෙන මිනිසුන් හුන් බවද සඳහන් වේ.]

“පුණ්ණයෙනි, සුනාපරන්ත වැසි මිනිස්සු රළුය.නපුරුය. ඉදින් තොපට ඒ මිනිස්සු එහිදී බණින්නට පටන්ගත හොත් ආක්‍රොෂ කරන්නට වුව හොත් පුණ්ණය, එහිදී නුඹ කෙසේ සිත සන්සුන්ව තබාගන්නේද? එකල්හි තොපි කුමක් කරන්නහු ද?” එවිට පුණ්ණතෙරුන් වහන්සේ කියන්නේ :
“ස්වාමීනි, මේ මිනිස්සු යහපත් මිනිස්සු ය. මොවුහු මට බනින නමුත් අතින් පයින් නො තලති”යි සිතමි.

තථාගතයන් වහන්සේ එවිට මෙසේ ඇසු සේක,
“පුණ්ණයෙනි, ඉදින් ඒ මිනිස්සු තොපට අතින් පයින් තලන්නේ නම් එකල්හි තොපි කුමක් කරන්නාහු ද?” “ස්වාමීනි, මේ මිනිස්සු යහපත් මිනිස්සු ය, මොවුහු අතින් පයින් තලන නමුත් මට ගල් නො ගසති.”යි සිතන්නෙමි.

“පුණ්ණයෙනි, ඉදින් සුනාපරන්ත වැසියෝ තොපට ගල් ගසන්නාහු නම් එකල්හි කුමක් කරන්නාහු ද?”
“ස්වාමීනි, මොවුහු යහපත් මිනිස්සු ය, මට ගල් ගසන්නාහු නුමුත් පොලුවලින් නො ගසති”යි සිතන්නෙමි.

“පුණ්ණයෙනි, ඉදින් තොපට සුනාපරන්ත වැසියෝ පොලුවලින් ගසත් නම් එකල්හි කුමක් කරන්නහු ද?”
“ස්වාමීනි, මේ සුනාපරන්ත වැසියෝ යහපත් මිනිස්සු ය. මොවුහු පොලුවලින් ගසන්නාහු මුත් ආවුධවලින් පහර නොදෙත්ය”යි සිතන්නෙමි.

“පුණ්ණයෙනි, ඉදින් සුනාපරන්ත වැසියෝ තොපට ආවුධවලින් පහර දෙත් නම් එකල්හි කුමක් කරන්නහු ද?” “ස්වාමීනි, සුනාපරන්ත වැසියෝ යහපත් මිනිස්සු ය. මොවුහු ආවුධයෙන් පහර දෙන නුමුත් මා නො මරති”යි සිතමි.

“පුණ්ණයෙනි, ඉදින් සුනාපරන්තයෝ තොප තියුණු වූ ආවුධවලින් ඇණ කොටා තොප මරන්නහු නම් එකල්හි කුමක් කරන්නහු ද?”
“ස්වාමීනි, ඉදින් සුනාපරන්තයෝ මා මරත් නම්, එකල්හි ශරීරය කෙරෙහි හා ජීවිතය කෙරෙහි කළකිරුණා වූ ඇතැම්හු දිවි නසවා ගනු පිණිස වධකයන් සොයා යන්නාහ.1319 මම නො සොයා ම වධකයන් ලදිමි”යි සිතන්නෙමි.

[1319:- පුන්න ස්වාමින්වහන්සේ මේ සඳහන් කරන්නේ, සංයුත්ත නිකායේ සඳහන්, භාග්‍යවතුන් වහන්සේ ගේ කයේ අසුබය දක්වන කමටහන් දේසනාව අසා සිරුර ගැන කලකිරී සොරුන්ට අත්ලස් ගෙවා ඔවුන් ලවා සිය මරණය සිදුකරගත් සිද්ධිය ය.]

§ 6 “ සාදු ! සාදු!! පුණ්ණ, ඉතා යහපති.
පුණ්ණ, නුඹගේ මේ ඉන්ද්‍රිය දමනය හා සංසිඳීමෙන් යුක්ත උපේක්ඛාව ඉතා යහපති. මේ ගුණ නිසා සුනාපරන්ත දනව්වෙහි වාසය කරන්ට හැකිවන්නෙහිමය. පුණ්ණ, දැන් නුඹ ගේ අදහස් පරිදි පිටව යා හැකිය” යි වදාළේය.

§ 7. එවිට ආයුෂ්මත් පුණ්ණ ස්ථවිරයන්, භාග්‍යවතුන් වහන්සේගේ වචනය සතුටින් පිළිගෙණ අනුමෝදන්ව හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේට වැඳ, ප්‍රදක්ෂිණා කොට සෙනස්න තැන්පත් කොට තබා පාත්‍ර සිව්රු ගෙණ සුනාපරන්ත ජනපදය බලා පිටත්ව ගියේය..

§ 8. පිළිවෙළින් චාරිකා කරන්නේ පුන්න ස්ථවිරයන් සුනාපරන්ත ජනපදයට ගියේය. එහිදී තමාද පිළිවෙත් පුරන්නේ ආයුෂ්මත් පුණ්ණ ස්ථවිරයන් වහන්සේ ඒ වස්කාලය තුළම පන්සියයක් පමණ සුනාපරන්ත වාසි හිහි පුරුෂයන්ද ගිහි ස්ත්‍රීන්ද උපාසක උපාසිකා භාවයට පත් කළහ.

§ 9 ඒ වස්කාලය තුළම උන්වහන්සේ කාලක්‍රියා කල බව ආරන්චිවූ විට බොහෝ භික්ෂු පිරිසක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත් පස්ව හිද මෙසේ සැල කළාහුය. “ස්වාමිනි භාග්‍යවතුන් වහන්ස!, ඔබ වහන්සේ විසින් කෙටි කමටහන් අනුසාසනා කොට සුනාපරන්ත දේශයේ වස් වසන්නට අවසර දුන්, පුන්න කුල පුත්‍රයා, එහිදී කලුරිය කල බව දැන ගතිමු.

. “ඔහුගේ ගතිය කුමක්ද? පරලොව කුමක්ද?” යි ඇසුහ.

“මහණෙනි පුණ්ණ නම් කුලපුත්‍රයා පණ්ඩිතය. දීර්ඝ විස්තර අසා මා වෙහෙස නොකොට ධර්මානුධර්ම ප්‍රතිපත්තියට පිළිපන්නේය. මහණෙනි, පුණ්ණ නම් කුලපුත්‍රයා , පිරිනිවියේය “යි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. සතුටු සිත් ඇත්තාවූ ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ වචනය සතුටින් පිළිගත්තාහුය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.