MN 03-05-02 . ඡන්නොවාද සූත්‍රය

§ 1. මා විසින් මෙසේ අසන ලදී.
එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර සමීපයෙහි කලන්දක නිවාප නම්වූ වෙළුවනාරාමයෙහි වැඩ වසනසේක, එකල්හි වනාහි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේද ආයුෂ්මත් මහා චුන්ද ස්ථවිරයන් වහන්සේද ආයුෂ්මත් ඡන්න ස්ථවිරයන්1306 වහන්සේද ගිජ්ඣකූට පර්වතයෙහි වාසය කෙරෙත්.

[1306: මේ සුත්‍රයේ සඳහන් වන චන්න හිමියන්, සිද්ධාර්ථ කුමරු අභිනිෂ්ක්‍රමණය කල කාලයේ මාලිගාවෙන් පිටව ආ, පසුව මහන වී බ්‍රහ්ම දණ්ඩය පැනවූ ස්වාමින් වහන්සේ නොවේ.]

§ 2 .එකල්හි ආයුෂ්මත් ඡන්න ස්ථවිරයන් වහන්සේ ගිලන්ව දින ගණනක් සිය ගුහාවෙන් පිටතට පවා නොගොස් හුන්නේය. ඒ දැනගත් ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ සවස් වේලෙහි පල සමවතින් නැගී සිටියේ, ආයුෂ්මත් මහා චුන්ද ස්ථවිරයන් වහන්සේ වෙත එළඹ, “ඇවැත් චුන්දය, අපි ආයුෂ්මත් ඡන්න වෙත ගොස් ඔහුගේ සුව දුක් විමසනු සුදුසුයයි” කීහ.

“ඇවැත්නි, එසේයයි’ කියා ආයුෂ්මත් මහා චුන්ද ස්ථවිරයන් ද ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ සමග ඡන්න ස්ථවිරයන් වහන්සේ හුන් තැනට ගොස් ආයුෂ්මත් ඡන්න ස්ථවිරයන් වහන්සේගෙන් මෙසේ සුව දුක් විචාළහ.
“ඇවැත්වූ ඡන්නය, තොපට වූ ශරීරාබාධයේ අඩුවක් දැනේද? වේදනාවේ අඩු වන බවක් නොපෙනේද? තව නොබෝ දිනකින්ම ඔබට සුවය ලැබෙන බව පෙනේදැයි ” ඇසූහ.

“ ශාරීපුත්‍රයනි , මට ඇති වේදනාව ඉවසිය නොහැක. දරා ගත නොහැක. මේ වේදනා අඩුවෙනවා නොව වැඩි වෙති. ශක්තිමත් මිනිසෙකු කඩුවකින් කොටා මගේ හිස දෙපලු කරන කලට දැනෙන වේදනාව සේ මගේ හිස තුල මහා කැක්කුම් වේදනාවෝ ඇති වේ. මගේ සෞඛ්‍ය නරක පැත්තටම යයි.
බලවත් මිනිහෙක් වර පටකින් මගේ හිස වෙලා තද කරන විට යම් බඳු වේදනාවක් ඇතිවේද එලෙසින්ම මගේ පුපුරනවා බඳු කැක්කුමක් ඇත.මගේ සෞඛ්‍ය නරක පැත්තටම යයි.
මස් වෙළෙන්දෙක් මැරූ ගවයෙකුගේ බඩ තියුණු පිහියකින් කපන්නාවූ විටෙක සේ වේදනාවක් මගේ කුසෙහි දැනේ. මගේ සෞඛ්‍ය නරක පැත්තටම යයි.
ශක්තිමත් මිනිසුන් දෙදෙනෙක් මා ඇදගෙන ගොස් දැවෙන අඟුරු වලක ලුවාක් මෙන් මගේ සියොලඟෙහිම දැඩි දාහයක් දැවීමක් වේ. මගේ සෞඛ්‍ය නරක පැත්තටම යයි.

මේ වේදනාව මට දරා ගන්නට නොහැක.
සාරිපුත්තයනි! තව දුරටත් ජීවිත් වන්නට මගේ ආසාවක් නැත. මට දැන් පිහියක් පාවිච්චිකර 1307 මේ සියල්ලෙන් ඉක්ම යාමට කාලය යි, මම සිතන්නෙමි” යි කීය.

[1307: පිහියක් පාවිචිචි කිරීමට කාලයයි” යන පදය තමන් සිය දිවි හානිකර ගන්නට යන්නෙමි’යි ව්‍යංගාර්ථයෙන් කීමකි. ]

“ ඡන්නයනි, ඔබ එසේ නොකරන්න. දිවි තොර කර නොගණීවා. ආයුෂ්මත් ඡන්න බොහෝ කලක් අප හා ජීවත් වේවාය’යි අප ප්‍රාර්ථනා කරමු. ඔබ වහන්සේට සුදුසු ආහාර පාන අඩුවක් වේනම් මා පිණ්ඩපාත කොට ඒ ඔබට සපයා දෙමි. ඔබට අවශ්‍ය බෙහෙත් , ඖශධ අඩුනම් මම ඔබට ඒ කෙසේ හෝ ලබා දෙන්නෙමි. ඔබට ආවතේව කරන්නට කෙනෙකු නැතිනම් මම ඔබට රිසි පරිදි ආවතේව කරමි. ආයුෂ්මත් චන්නයන් වහන්සේ ජීවිතය නසා ගැන්මේ අදහස ඉවත දමත්වා. ඔබ වහන්සේ බොහෝ කලක් ජීවත් වේවා” යි සාරිපුත්ත ස්වාමින් වහන්සේ කීහ.

“ ශාරීපුත්‍රයන් වහන්ස, මට ආහාර පානයන්හි අඩුවක් නැත. මට අවශ්‍යවන බෙහෙත් නැත්තේද නොවෙයි. මට සුදුසුවූ උපස්ථායකයෙක් නැත්තේද නොවෙයි. ශාරීපුත්‍රයන් වහන්ස, මා විසින් ශාස්තෲන්වහන්සේ බොහෝ කලක් ගෞරවයෙන්ම සේවනය කරනලදී. කිසි කලෙක අගෞරව නොකෙලෙමි. සාරිපුත්‍රයන් වහන්ස මා පිහිය පාවිච්චි කරන්නේ , මාගේ ශාස්තෘන් වහන්සේට අගෞරය පිණිස නම් නොවන බව, ඔබ වහන්සේ දරත්වා!1308

[1308:- මේ වාක්‍ය වලින් ආයුෂ්මත් චන්න භික්ෂුන් වහන්සේ තමන් ශ්‍රමණ ඵලයේ අභිමතය සාධනය කරගත් බව, නොහොත් තමන් අර්හත් ඵල ලාභියෙකු බව දක්වයි. මේ කීම සාරිපුත්ත ස්වාමින් වහන්සේ පිළිගත් බව හෝ නොපිලිගත්බවක් අටුවාව නොකියයි. නමුත් සුත්‍ර අවසානයේදී භාග්‍යවතුන් වහන්සේගෙන් මෙය අසන නිසා මේ අවස්ථාවේ මෙම කීම ගැන සැක කල බව සිතිය හැක.]

§ 3 . එවිට ආයුෂ්මත් සාරිපුත්ත ස්වාමින් වහන්සේ මෙසේ කීහ.
“ඇවැත් ඡන්නය,
ඇසය,
ඇසෙහි උපදින විඤ්ඤාණයය ,
ඇසෙහි උපදින විඤ්ඤාණයෙන් දැනගන්නා ධර්මයන්ය,
යන දේ , මෙය මාගේය, මේ මම වෙමි, මාගේ ආත්මයයි දක්නෙහිද,?

ඇවැත්වූ ඡන්නය,
කණය,
කණෙහි උපදින ශ්‍රොත විඤ්ඤාණයය,
ශ්‍රෝත විඤ්ඤාණයෙන් දැනගත් ධර්මයන්ය.
යන මොවුන්) මෙය මාගේය මෙතෙම මම වෙමි. මෙතෙම මාගේ ආත්මයයි දක්නෙහිද?

ඇවැත්වූ ඡන්නය,
නාසයය ,
නාසයෙහි උපදින විඤ්ඤාණයය ,
නාසය පිළිබඳවූ විඤ්ඤාණයෙන් දැනගන්නා ධර්මයන්ය,
යන මේවා , මාගේය, මේ මම වෙමි. මේ මාගේ ආත්මයයි දක්නෙහිද,

ඇවැත්වූ ඡන්නය, දිවය,
දිවෙහි උපදින විඤ්ඤාණයය,
දිව පිළිබඳවූ විඤ්ඤාණයෙන් දැනගන්නා ධර්මයන්ය,
යන මේවා, මේ මාගේය. මේ මම විඳිමි . මේ මාගේ ආත්මයයි දක්නෙහිද,

ඇවැත්වූ ඡන්නය
කයය,
කයෙහි උපදින විඤ්ඤාණයය ,
කය පිළිබඳවූ විඤ්ඤාණයෙන් දැනගන්නා ධර්මයන්ය,
යන මේවා, මාගේය, මේ මම විඳින්නේ වෙමි. මේ මාගේ ආත්මයයි දක්නෙහිද,

ඇවැත්වූ ඡන්නය,
මනොවිඤ්ඤාණයය ,
මනො විඤ්ඤාණයෙන් දැනගන්නා ධර්මයන්ය,
යන මේවා මාගේය, මම දැනගතිමි. මේ මාගේ ආත්මයයි, දක්නෙහිදැයි?”
ඇසුවේය.

§ 4. “ආයුෂ්මත්වූ ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්ස,
ඇසය, ඇස පිළිබඳවූ විඤ්ඤාණය ඇස පිළිබඳ විඤ්ඤාණයෙන් දැනගන්නා ධර්මයන්ය,
යන මේවා මාගේ නොවෙයි. මේ දකින්නා මම නොවෙමි. මේ මාගේ ආත්මයයි නොදක්නෙමි.
ආයුෂ්මත්වූ ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්ස,
කණය, කණ පිළිබඳවූ ශ්‍රොත විඤ්ඤාණය, කණ පිළිබඳවූ ශ්‍රොත විඤ්ඤාණයෙන් දැනගත් ධර්මයන්ය පිළිබඳ විඤ්ඤාණයෙන් දැනගන්නා ධර්මයන්ය යන මේවා මාගේ නොවෙයි. මේ අසන්නා මම නොවෙමි. මේ මාගේ ආත්මයයි නොදක්නෙමි. .
ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්ස
නාසය, නාසය පිළිබඳවූ විඥානය නාසය පිළිබඳවූ විඤ්ඤාණයෙන් දතයුතු පිළිබඳ විඤ්ඤාණයෙන් දැනගන්නා ධර්මයන්ය යන මේවා මාගේ නොවෙයි. මේ විඳිනනා මම නොවෙමි. මේ මාගේ ආත්මයයි නොදක්නෙමි.
ආයුෂ්මත්වූ ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්ස,
දිවය දිව පිළිබඳවූ විඥානය දිව පිළිබඳ වූ විඤ්ඤාණයෙන් දතයුතු ධර්මයන්ය පිළිබඳ විඤ්ඤාණයෙන් දැනගන්නා ධර්මයන්ය යන මේවා මාගේ නොවෙයි. මේ විඳීන්නා මම නොවෙමි. මේ මාගේ ආත්මයයි නොදක්නෙමි.
ආයුෂ්මත්වූ ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්ස, කයය කය පිළිබඳවූ විඤ්ඤාණය කය පිළිබඳවූ විඤ්ඤාණයෙන් පිළිබඳ විඤ්ඤාණයෙන් දැනගන්නා ධර්මයන්ය යන මේවා මාගේ නොවෙයි. මේ විඳින්නා මම නොවෙමි. මේ මාගේ ආත්මයයි නොදක්නෙමි.
ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන්වහන්ස, මනසය මනස පිළිබඳවූ විඥානය මනස පිළිබඳ විඥානයෙන් දතයුතුවූ ධර්මයන්ය, පිළිබඳ විඤ්ඤාණයෙන් දැනගන්නා ධර්මයන්ය යන මේවා මාගේ නොවෙයි. මේ දකින්නා මම නොවෙමි. මේ මාගේ ආත්මයයි නොදක්නෙමි. කීයේය.

§5 . “ආයුෂ්මත්වූ ඡන්නයෙනි, ඇසෙහි ඇස පිළිබඳවූ විඥානයෙහි, ඇස පිළිබඳවූ විඥානයෙන් දතයුතු ධර්මයන් කෙරෙහි ඇති කුමක් දැක, කුමක් දැන, ඇසය, ඇස පිළිබඳවූ විඥානය, ඇස පිළිබඳවූ විඥානයෙන් දැනගත් ධර්මයන්ය යන මේවා මාගේ නොවෙයි. මේ දකින්නා මම නොවෙමි. මේ මාගේ ආත්මය නොවේයයි ඔබ දක්නෙහිද,

ආයුෂ්මත්වූ ඡන්න ස්ථවිරයෙනි, කණෙහිද කණ පිළිබඳවූ විඥානයෙහිද, …..
නාසයෙහිද, නාසය පිළිබඳවූ විඥානයෙහිද, ඝාන විඤ්ඤාණයෙන් දත් ධර්මයන්හිද ,
දිවෙහිද, දිව පිළිබඳවූ විඥානයෙහිද, දිව පිළිබඳවූ, විඤ්ඤාණයෙන් දත්..
කයෙහිද කය පිළිබඳවූ විඥානයෙහිද, කය පිළිබඳවූ විඤ්ඤාණයෙන් දත් ..
මනසෙහිද, මනස පිළිබඳවූ විඥානයෙහිද, මනස පිළිබඳ විඥානයෙන් දත්. ධර්මයන්හි , කුමක් දැක, කුමක් දැන මනසය, මනස පිළිබඳවූ විඥානය, මනස පිළිබඳවූ විඥානයෙන් දතයුතු ධර්මයන්ය, යන මෙය මාගේ නොවෙයි. මෙතෙම මම නොවෙමි. මෙතෙම මාගේ ආත්මය නොවේයයි දක්නෙහිදැයි,” ඇසීය.

§ 6. ශාරීපුත්‍රයන් වහන්ස,
ඇසෙහි නිරෝධයද,
ඇස පිළිබඳවූ චක්කු විඥානයෙහි නිරෝධයද,
ඇස පිළිබඳවූ විඥානයෙන් දැනගන්නා ධර්මයන්හි නිරෝධය, නිරුද්ධවීම දැක, නිරුද්ධවීම දැන ඇසය ඇස පිළිබඳවූ විඥානය ඇස පිළිබඳවූ විඥානයෙන් දතයුතුවූ ධර්මයන්ය යන මෙය මාගේ නොවෙයි, මෙතෙම මම නොවෙමි. මෙතෙම මාගේ ආත්මය නොවේයයි දකිමි.

ශාරීපුත්‍රයන්වහන්ස, කණෙහිද, කණ පිළිබඳවූ විඥානයෙහිද……….
නාසයෙහිද, නාසය පිළිබඳවූ විඥානයෙහිද,…………
දිවෙහිද දිව පිළිබඳවූ විඥානයෙහිද………
කයෙහිද, කය පිළිබඳවූ විඥානයෙහිද,……
මනසෙහිද, මනස පිළිබඳවූ විඥානයෙහිද මනස පිළිබඳවූ විඥානයෙන් දතයුතු ධර්මයන් කෙරෙහිද නිරුද්ධවීම දැක, නිරුද්ධවීම දැන මනසය මනස පිළිබඳවූ විඥානය මනස පිළිබඳවූ විඥානයෙන් දතයුතු වූ ධර්මයන් යන මෙය මාගේ නොවෙයි. මෙතෙම මම නොවෙමි. මෙතෙම මාගේ ආත්මය නොවේයයි දකිමියි” කීයේය.

§ 7. මෙසේ කීකල්හි ආයුෂ්මත් මහා චුන්ද ස්ථවිරයන්, ඡන්න ස්ථවිරයන්ට මෙසේ කීයේය.
“ආයුෂ්මත් ඡන්න ස්ථවිරයෙනි, ඒ එසේ හෙයින් භාග්‍යවතුන්වහන්සේගේ අපට කල මේ දේශනය නිතර මෙනෙහි කටයුතුයි.

තෘෂ්ණාව හා අත්ත දෘෂ්ටීන් නිසා. කම්පාවීම (නිස්සිතස්සය) ඇත්තේය.
තෘෂ්ණාව හා ඒ දෘෂ්ටීය හල විට කම්පාවීමක් නැත.
කම්පාවීමක් නැතිවිට කෙලෙසුන්ගේ සංසිඳීමවෙයි.
සංසිඳීම වූ කල්හි ඇලීම නැතිවෙයි,
ඇලීම නැතිකල්හි ප්‍රතිසන්ධි වශයෙන් ඊමද චුතවීම් වශයෙන් යාමද නොවේ.
යාම්ඊම් නැති කල්හි චුතවීම හා උත්පත්තිය නොවේ,
චුතවීම හා උත්පත්තිය නැතිවිට විමුක්තිය වේ.
මෙය දුක්ඛයාගේ කෙළවර වීමය” කියායි.

[1310: මේ චේදය අටුවාව ආශ්‍රයෙන් පැහැදිලි කළහොත්, ආසාව කැමැත්ත, කාමය නිසාත්, තමා ඇතිකරගන්නා තමා ඉන්නවාය, මම මෙහිය යන දිට්ඨිය නිසාත් සත්වයා යලි යලිත් උපදියි. සසරේ ගමන් කරයි. නොනවතියි. ආසාව , රාගය සහ මමායනය ඇති දිට්ඨිය දුරු කලවිට යලි භවයක්, ඉපදීමක් නොවේ. එසේ දුක්ඛ ප්‍රහාණය වේ. ]

§ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන්වහන්සේද ආයුෂ්මත් මහා චුන්ද ස්ථවිරයන් වහන්සේද ආයුෂ්මත් ඡන්න ස්ථවිරයන්වහන්සේට මෙසේ අවවාදකොට, හුනස්නෙන් නැගිට ආපසු වැඩියාහ. උන්වහන්සේ ලා ඉක්ම ගොසෝ නොබෝ වෙලාවකින් , චන්න ස්වාමින්වහන්සේ පිහියක් ගෙන සිය ගෙල සිඳ ගත්තේය. 1311

[1311:- අටුවාව කියන්නේ , සිය ගෙල සිඳ ගත් මොහොතේ, ඔහු තුල මරණ බිය ඇතිවූ බවත්, එවිට තමා තවම අරහත් බව පසක් නොකළ බවත් දැනගත් චන්න ස්වාමින් වහන්සේ යලි විදර්ශනා වඩා අවසන් හුස්ම හෙලන්නට පෙර අරහත් බව සාක්ෂාත් කල බැව්ය. සුත්‍රයේ නොවන මේ කාරණය මෙසේ අටුවාවේ ලියා ඇත්තේ , අනාගතයේදී සංඝයා සිය දිවි තොර කර ගැනීම වලකන අටියෙන් බව මම සිතමි.]

§ ඉක්බිති ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන්වහන්සේ වෙත එළඹ භාග්‍යවතුන්වහන්සේට වැඳ එකත්පස්ව හිඳ භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැලකෙළේය.
“ස්වාමීනි, ආයුෂ්මත් ඡන්නයන් විසින් ආයුධයකින් ගෙල සිඳ ගෙන දිවි තොරකරගන්නා ලදී. උන්වහන්සේගේ ගතිය කවරීද? පරලොව කවරේදැයි” ඇසූහ.

“ශාරීපුත්‍රය, ඡන්න භික්ෂුව විසින් තොප ඉදිරියෙහිදීම නැවත උත්පත්තියක් නැතියි ප්‍රකාශ කරනලද්දේ නොවේද?”1312

[1312:- අටුවාවේ දැක්වෙන පරිදි සිය අරහත් භාවය සැරියුත් හිමියනට ප්‍රකාශ කරත්දී චන්ද හිමියන් පෘතග්ජන යෙකැයි කීම, අසත්‍යයක් බව මෙයින් ඔප්පු වේ. පසුකාලීනව ලියා ඇතුල් කල මෙබඳු මත, සුත්‍රවල වැරදි ඇති බවත් ඒ වැරදි නිවරැදි කරන්නට තමන් මෙසේ ලිවිය යුතු බවටත් අටුවාචාරීන් වහන්සේලාතුල වූ විස්වාසය බව පෙනේ. රහත්බව ලැබූ උතුමෙක් දිවි හානි කරගන්නේ අමනාපයෙන්, පටිඝයෙන් නොව , තමනට විඳින්නට වන මහා ශාරික දුක් වේදනාව කෙලවර කර ගැනීමේ අදහසින් බව පෙනේ.]

“ස්වාමීනි, පුබ්බජ්ජිර නම් වජ්ජිග්‍රාමයක් ඇත්තේය. එහි ආයුෂ්මත් ඡන්නයන්ට මිත්‍රවූ කුලගෙවල්, ඉතා කුළුපඟ දායකයන් ඉන්නා කුලගෙවල්, තමනට රිසි පිරිකර සඳහා එළඹිය හැකි කුල ගෙවල් ඇත්තේයයි” මම දැන සිටියෙමි ‘යි ආයුෂ්මත් සැරියුත් ස්වාමින් වහන්සේ කීයේය.

“ සැබව ශාරීපුත්‍රය, ඡන්න භික්ෂුහුගේ මිත්‍රවූ කුලයෝ, යහළු කුළුපඟ කුලයෝ, පිරිකර පිණිස එළඹිය හැකි කුලයෝ වෙත්මය. ශාරීපුත්‍රය, සිය ජීවිතය රිසි කෙනෙක්, ඒ පිණිස එසේ එළඹීම සුදුසුය. යමෙක් මේ කය හැර ලා අන්‍යවූ කයක් ගනීද, ඔහු එසේ එළඹිය යුත්තෙකැයි මම කියමි. ඡන්න භික්ෂුවට එසේ අලුත් කයකට ඕනෑකමක් නොවීය. ඡන්න භික්ෂුව යලි උපත නැති කල කෙනෙක. ඔහු නැවත උත්පත්තියක් නොගෙනම ආයුධයෙන් දිවි නැති කෙළේය.” භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළේය.

සතුටුසිත් ඇත්තාවූ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන්වහන්සේ භාග්‍යවතුන්වහන්සේගේ වචනය සතුටින් පිළිගත්තේ ය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.