MN 03-03-07 අනුරුද්ධ සුත්‍රය

දෙආකාරයකින් ලබන චේතෝ විමුක්තිය නොහොත් චිත්ත පාරිශුද්ධත්වය ගැන මෙම සුත්‍රයෙහි විස්තර වේ. “අප්පමාන චේතෝ විමුක්තිය” හා “මහග්ගත චේතෝ විමුක්තිය” යන දෙකය . අප්පමාන චේතෝ විමුක්තිය පිණිස සය දිසාවටම සතර බ්‍රහ්ම විහරණය නොහොත් මෙත්තා, කරුණා, මුදිතා උපේක්ඛා වැඩිය යුතුවේ. මහග්ගත චේතෝ විමුක්තිය පිණිස කසිණ භාවනාව ධ්‍යාන සිත් තෙක් දියුණු කල යුතු වේ. මේ පිළිබඳව මහා වේදල්ල සුත්‍රයේදී විසාක උපාසක හට ධම්මදින්නා රහත් තෙරණිය දුන් තේරුම් කිරීම මේ සුත්‍රය හා සැසදේ . මේ දෙආකාර චේතෝ විමුක්තින් සඳහා සතර බ්‍රහ්ම විහාර පිලිබඳ මනා දැනුමක් මෙන්ම පරිචයක්ද ඉතා අවශ්‍ය වේ. කසිනයන් වැඩීම ගැනද පරිචයක් ලැබිය යුතුවේ.
මේ සුත්‍රය හොඳින් අධ්‍යනය කිරීමේදී මෙහි භාග්‍යවතුන් වහන්සේ ගේ අභිමතය වූ සංසාර විමුක්තිය නොහොත් චතුරාර්ය සත්‍යය අවබෝධ කරගැනීමට උපදෙස් මේ සුත්‍රයේ නැති බව හා අභිධර්මවාදීන් ගේ කාරනා සිඳලා දැක්වීමේ ශාස්ත්‍රීය අභිමතයක් ඇති බවද පෙනෙන නිසා , මේ සුත්‍රය බොහෝ විට “අභිධර්ම පිටකය” ක් ලෙස ත්‍රිපිටකය ට එකතු කල කාලයේ සුත්‍ර පිටකයට එක් කල, පසු කාලින ගොනු කිරීමක් බව විශ්ලේෂකයන් අදහස් කරයි.

කසිණ ගැන කියවන්න
සතර බ්‍රහ්ම විහාර

§1. මා විසින් මෙසේ අසන ලදී.
එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ ජේතවන නම් අනේපිඬු මහසිටුහුගේ අරමෙහි වැඩ වාසය කරණසේක.

§2. එකල්හි ‘පඤ්චකංග’ නම් වඩු ශිල්පියා එක් පුරුෂයෙකුට කථාකළේය. “පින්වත් පුරුෂය, නුඹ මෙහි එව. ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ වැඩ ඉන්නා තැනට යව. ගොස්, මගේ වචනයෙන් ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන්ගේ පාදයන් සිරසින් වඳුව. මෙසේද කියව, ‘ස්වාමීනි, ‘පඤ්චකංග’ ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන්ගේ පා සිරසින් වඳියි. මෙසේත් කියයි. ස්වාමීනි, ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ හෙට පඤ්චකංග නම් වඩුවාගේ නිවසේ දාන ය පිණිස වදින සේක්වා. ස්වාමීනි, ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ කල් ඇතිව වඩිනු මැනවි. පඤ්චකංග වඩුතෙම රජ්ජුරුවන්ගේ මන්දිරයේ කරන්නට බාර ගත පිළිබඳ බොහෝ වැඩ ඇත්තේය. බොහෝ කටයුතු ඇත්තේය’ කියායි.
ඒ පුරුෂයාද “ස්වාමීනි, එසේයයි” කියා පඤ්චකංග වඩුවාට උත්තර දී ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ වැඩ හුන් තැනට පැමිණියේය. පැමිණ, ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ වැඳ, තමාට කියූ ආකාරයටම දාන ආරාධනාව කළේය. ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන වහන්සේ නිශ්ශබ්ද භාවයෙන් ඒ ආරාධනාව ඉවසුවේය.

§ 3. ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් ඒ රාත්‍රිය ඉක්මීමෙන් පෙරවරු කාලයෙහි හැඳ පාසිවුරු ගෙන පඤ්චකංග වඩුවාගේ නිවසට ගියේය. ගොස්, පනවන ලද අසුනෙහි හුන්නේය. ඉක්බිති පඤ්චකංග ද, ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් ප්‍රණීත ඛාද්‍ය භොද්‍යයෙන් අනුරුද්ධ ස්වාමින් වහන්සේ සියතින් වැළඳවීය. ඉක්බිති පඤ්චකංග ගෘහපතියා, ස්ථවිරයන් වහන්සේ වළඳා අවසන්ව, පාත්‍රයෙන් අත ඉවතට ගත් කල්හි එක් පහත් ආසනයක් ගෙන එක් පැත්තක හිඳ මෙසේ ඇසීය.

§ 4. “ස්වාමීනි, මේ ශාසනයෙහි සමහර ජේෂ්ඨ ස්ථවිර භික්ෂූහු ,
‘ගෘහපතිය, අප්‍රමාණ සමාධිය වඩව”යි මට කියා ඇත.
‘ස්වාමීනි, ඇතැම් ස්ථවිර භික්ෂූහු ‘ගෘහපතිය, මහග්ගත සමාධිය වඩව”යි, මට කීවාහුය.
“ස්වාමීනි, මේ අප්පමාණ චේතෝ විමුක්තිය හා මේ මහග්ගත චේතෝ විමුක්තිය, යන දෙකෙහි වෙනස් වෙනස් අර්ථ ඇත්තාහුද, වෙනස් වෙනස් ව්‍යඤ්ජන ඇත්තාහුද, නැතහොත් සමාන අර්ථ ඇත්තාහුද, ව්‍යංජනයෙන් පමණක් වෙනස්ද?” 1180

[1180: චුල වේදල්ල සුත්‍රයේ ධම්ම දින්නා රහත් තෙරනියද මේ ප්‍රශ්නය විසඳා දක්වා ඇත. සතර බ්‍රහ්ම විහාර වැඩීම , අප්පමාන චේතෝ විමුක්තිය ලෙසද, කසින ආලෝකය පතුරමින් සිය අවබෝධයෙන් තැනක්, ගමක්, රාජ්‍යයක්, රටක් ලෝකයක් ආලෝක කිරීම මහග්ගත චේතෝ විමුක්තිය ලෙසද දැක්වේ.]

§ 5 “ගෘහපතිය, ඇතැම් තෙරුන් වහන්සේලා අප්පමාණ සමාධිය වඩවයි කීවාහුද, ඇතැම් තෙරුන් වහන්සේලා මහග්ගත සමාධිය වඩවයි කීවාහුද මෙහිදී මෙයින් තොපට කුමක් වැටහේද? .”

“ස්වාමීනි, මට මෙසේ අදහස් වෙයි. මේ අප්‍රමාණ චේතෝ විමුක්තිය ද මහග්ගත චේතෝ විමුක්තියද නම් දෙකකින් කීවද ඒ එකම චිත්ත විමුක්තිය යයි මට සිතෙයි. ”

§ 6 . “ගෘහපතිය, අප්‍රමාණ චේතෝ විමුක්තිය ද මහග්ගත චේතෝ විමුක්තියද එකක් නොව දෙකකි. ඒ ධර්ම අර්ථ වශයෙන් වෙනස් බවද , ව්‍යංජන වශයෙන් වෙනස් බවද මේ ආකාරයෙන් දතයුතුය.

§7. “ගෘහපතිය, අප්පමාන චේතෝ විමුක්තිය කුමක්ද ?

ගෘහපතිය, මේ ශාසනයෙහි භික්ෂුවක් මෛත්‍රීය වඩමින් ඒ දියුණු කල මෛත්‍රී චේතනාව එක් දිශාවකට පතුරුවා වාසය කෙරෙයිද. එසේ දෙවෙනි දිසාවකට ද, එසේ තුන්වෙනි දිසාවකටද, එසේ සතරවැනි දිසාවකටද, මෙසේ උඩ යට සරස සෑම දිසාවටම පතුරමින් සියලු ලෝකයා කෙරෙහි මෛත්‍රී සහගත සිතින් මහත්වූ, මහග්ගතවූ, අප්‍රමාණ, අවෛර සංඛ්‍යාත අව්‍යාපාද සිතින් පතුරුවා වාසය කරයිද

“කරුණා සහගත සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කෙරෙයිද, එසේ දෙවෙනි දිසාවද, එසේ තුන්වෙනි දිසාවද, එසේ සතරවැනි දිශාවද, මෙසේ උඩ යට සරස සෑම තන්හි හැම තැන පැතිර පවත්නා බැවින් සියල්ල ඇත්තක් වශයෙන් සියලු ලෝකය කරුණා සහගත සිතින් මහත්වූ, මහග්ගතවූ, අප්‍රමාණ, අවෛර සංඛ්‍යාත අව්‍යාපාද සිතින් පතුරුවා වාසය කරයිද,

“මුදිතා සහගත සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කෙරෙයිද, එසේ දෙවෙනි දිසාවද, එසේ තුන්වෙනි දිසාවද, එසේ සතරවැනි දිසාවද, මෙසේ උඩ යට සරස සැමතන්හි හැමතැන පැතිර පවත්නා බැවින් සියල්ල ඇත්තක් වශයෙන් සියලු ලෝකය මුදිත සිතින් මහත්වූ, මහග්ගතවූ, අප්‍රමාණ, අවෛර සංඛ්‍යාත අව්‍යාපාද සිතින් පතුරුවා වාසය කරයිද,

“උපෙක්ෂා සහගත සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කෙරෙයිද, එසේ දෙවෙනි දිසාවද, එසේ තුන්වෙනි දිසාවද, එසේ සතරවැනි දිසාවද, මෙසේ උඩ යට සරස සැමතන්හි හැමතැන පැතිර පවත්නා බැවින් සියල්ල ඇත්තක් වශයෙන් සියලු ලෝකය උපේක්ඛ සහගත සිතින් මහත්වූ, මහග්ගතවූ, අප්‍රමාණ, අවෛර සංඛ්‍යාත අව්‍යාපාද සිතින් පතුරුවා වාසය කරයිද. ගෘහපතිය, මේ කියන ලද්ද අප්පමාන චේතෝ විමුක්තිය යි.

§ 8. “ගෘහපතිය, මහග්ගත සමාධිය කවරේද?

ගෘහපතිය, මේ සස්නෙහි භික්ෂුවක් එක් රුක්මුලක හිඳ කසින භාවනා වඩන්නේ ඒ රුක් මුල අවට කසින ආලෝකය පතුරුවා සිටීද, ඒ මහග්ගත චේතෝ විමුක්තිය වේ. ඒ භික්ෂුව තමා අවට ඇති රුක් දෙකක තුනක පමණ භුමිය පුරා කැසින ආලෝකය පතුරුවයිද, මෙයද මහග්ගත සමාධියයි කියනු ලැබේ.

‘ගෘහපතිය, මේ භික්ෂුව එක් ගමක පමණ භුමිය පුරා කසින ආලෝකය පතුරුවා සිටීද, ඒ මහග්ගත චේතෝ විමුක්තිය වේ. ඒ භික්ෂුව එසේ ගම දෙකක් භුමිය පුරා, ගම තුනක භුමිය පුරා සිය කසිණ ආලෝකය පතුරුවා වාසය කරයිද, ගෘහපතිය, මෙයද මහග්ගත සමාධියයි කියනු ලැබේ.

“ගෘහපතිය, මේ භික්ෂුව යම්තාක් ගම් දෙකක් හෝ තුනක් පමණ තැන් කසිණ නිමිත්තෙන් පතුරුවා වාසය කෙරේද, ගෘහපතිය, මෙයද මහග්ගත සමාධියයි කියනු ලැබේ.

“ගෘහපතිය, මේ භික්ෂුව එක් ප්‍රාන්ත රාජ්‍යයක් පමණ භුමියෙහි කසිණ නිමිත්තෙන් පතුරුවා වාසය කෙරේද, ගෘහපතිය, මෙයද මහග්ගත සමාධියයි කියනුලැබේ. ගෘහපතිය, මේ භික්ෂුව ප්‍රාන්ත රාජ්‍ය දෙකක් තුනක් පමණ තැන් කසිණ නිමිත්ත පතුරුවා වාසය කෙරේද, ගෘහපතිය, මෙයද මහග්ගත සමාධියයයි කියනු ලැබේ.

“ගෘහපතිය, මේ සස්නෙහි භික්ෂුව යම්තාක් මුහුද කෙළවර කොට ඇති සමස්ත පොළොව සහිත මහා ද්වීපය පුරා සිය කසිණ නිමිත්ත පතුරුවා වාසය කෙරේද, ගෘහපතිය, මෙයද මහග්ගත සමාධියයයි කියනු ලැබේ. ගෘහපතිය, යම්සේ මේ ධර්මයෝ නානාර්ථද නානා ව්‍යඤ්ජනද එය මේ ආකාරයෙන් දතයුතුයි.

READ MORE

§ 9 “ගෘහපතිය, මෙසේ මහග්ගත විමුක්ති චිත්තය වඩන භික්ෂුවගේ මතු භවයන් නොහොත් ඉපදීම් සතර ආකාරයෙකි.1182
ඒ සතර කවරහුද?

[1182 : මහග්ගත චේතෝ විමුක්තිය වදන භික්ෂුවගේ මතු භවය නිර්ණය කෙරෙන විස්තරය මෙහි වේ.]

(a) ගෘහපතිය, යම් භික්ෂුවක් ස්වල්ප ප්‍රභා රශ්මිය ඇති කසින ආලෝකය පතුරුවා වාසය කෙරේද, හෙතෙම කාය භෙදයෙන්, මරණින් මත්තෙහි පරිත්තාභ දෙවියන් අතර පහල වෙයි..

(b). ගෘහපතිය, යම් භික්ෂුවක් අප්‍රමාණ ප්‍රභා රශ්මි පතුරුවා වාසය කෙරේද, හෙතෙම ශරීරයාගේ භේදයෙන් මරණින් මත්තෙහි අප්පමාණාභ දෙවියන් අතර පහල වෙයි..

(c). ගෘහපතිය, යම්ක් භික්ෂුවක් පිරිසිදු කසිණ ආලෝකය රශ්මිය නැත්තේ ඒ සම්පුර්ණ යෙන් පිරිසිදු නොවූ කසින ආලෝකය පතුරමින් වාසය කෙරේද, හෙතෙම ශරීරයාගේ භේදයෙන් මරණින් මතු සංකිලිට්ඨාභ දෙවියන් අතර පහල වෙයි..

(d). ගෘහපතිය, මේ ශාසනයෙහි ඇතැමෙක් පිරිසුදු රශ්මිය ඇත්තේ , ප්‍රභාශ්වර කසිණ ආලෝකය පතුරුවා වාසය කෙරේද, හෙතෙම ශරීරයාගේ භේදයෙන් මරණින් මතු පරිසුද්ධාභ දෙවියන් අතර පහල වෙයි..

ගෘහපතිය, මේ ආලෝක කසිණය වදන භික්ෂුවගේ භවයන් සතර වෙති. 1183.

[1183: අටුවාව මේ ගැන මෙසේ දක්වයි. පරිත්තාභ දෙවියන් හා සන්කිට්ට්හාභ දෙවියන් ය කියා වෙනම දේව හොට්ටාස දෙකක් නැත.මේ අප්පමනාභ දේව කොට්ටාසය තුලම ඇති අනු කාණ්ඩ දෙකකි. පරිත්තාභ දේව ලෝකයේ පහළවන භික්ෂුව දෙවන ධ්‍යාන ඵලය ලබා කසින භාවනාවෙහි පරිචය ලද්දෝය. භික්ශුව ලත් ධ්‍යානයේ ශක්තිය හා කසින ආලෝකයේ ප්‍රභාව ඔහුගේ මතු දේව භාවය නිර්ණය කරයි.]

§ 10. “ගෘහපතිය, යම් විටෙක ඒ දෙවියන් එකට රැස්වන්නාවූ අවස්ථාවෙක් වෙයිද, එකල ඒ දෙවියන්ගේ වර්ණයේ වෙනසක් පෙනෙයි. ඔවුනගේ ප්‍රභාවේ දේව රශ්මියේ වෙනසක් නොපෙනෙයි.

ඒ කෙසේද යත්, ගෘහපතිය, යමෙක් වෙනස් වෙනස් තරමේ පහන් සිළු සහිත පහන් ගණනාවක් කාමරයක් තුල දල්වයිද, ඒ පහන් වල ආලෝකයේ වෙනසක් දක්නට නොහැක. නමුත් ඒ ඒ පහනේ දැල්ලේ ප්‍රමාණයේ වෙනස දැක්ක හැක.

ගෘහපතිය, එපරිද්දෙන් ඒ ඒ දෙවියන් එකට රැස්වන අවස්ථාවක, ඒ දෙවියන්ගේ වර්ණයේ වෙනසක් පෙනේ. ආලෝකයේ , ප්‍රභාවේ වෙනසක් නොපෙනේ.

දැල්ලේ ප්‍රමාණය වෙනස් මිස එලියේ වෙනසක් නැත.

§ 11.  ගෘහපතිය, දෙවියන් ඒ සභාවෙන් විසිර යන අවස්තාවෙහිදීද ඔවුන්ගේ වර්ණයේ, වෙනසක් පෙනේ. ආලෝකයේ වෙනසක්ද පෙනේ. ගෘහපතිය, යම්සේ පුරුෂයෙක් ඒ බොහෝ තෙල් පහන් ඒ ගෙයින් බැහැර කරන්නේද, එයින් බැහැර කරණ ප්‍රදීපයන්ගේ ගිනිසිළුවලද වෙනසක් පෙනේ. ආලෝකයේද වෙනසක් පෙනෙන්නේමය.

“ගෘහපතිය, එපරිද්දෙන්ම ඒ දෙවියන් සභාවෙන් නික්ම යන විට ඔවුන්ගේ වර්ණයේද වෙනසක් පෙනේ. ආලෝකයේද වෙනසක් පෙනෙන්නේය.

§ 12 . ගෘහපතිය, ඒ දෙවියන්ට අපගේ මේ දේව භවය නිත්‍යය කියා හෝ ස්ථිරය කියා හෝ සදාකාලිකය කියා හෝ අදහස් ඇති නොවෙයි. ඒනමුත් ඒ දෙවියෝ ඔවුනගේ දේව ලෝකයේ ඇති උයන් ආදි යම් යම් තැනක වෙසෙත්ද, ඒ දෙවියෝ ඒ ඒ තැන කෙරෙහි ඇළුම් ඇතිව වෙසෙති, ඒ භවයෙහි ඇලෙති. 1184

[1184. තත්‍ර තත්‍රාභි නන්දති. අභි නන්දති – අභි වඩති,- අජෝ සය තිට්ඨති ]

කෙසේද යත්, ගෘහපතිය, යම්සේ කදකින් හෝ පැසැකින් ගෙන යනු ලබන්නාවූ මැස්සන්ට අපගේ මේ ස්ථානය නිත්‍යය කියා හෝ ස්ථිරය කියා හෝ සදාකාලිකය කියා හෝ අදහසක් නැතත්, යම් තැනක ඒ මැස්සෝ වෙත්ද, ඒ ඒ තැන උන් ඇලෙති.

ගෘහපතිය, එපරිද්දෙන්ම ඒ දෙවියන්ට අපගේ මේ ස්ථානය නිත්‍යය කියා හෝ ස්ථිරය කියා හෝ සදාකාලිකය කියා හෝ අදහස් නොවෙයි. යි. ඒ නමුත් යම් යම් තැනක ඒ දෙවියෝ වෙසෙත්ද, ඒ දෙවියෝ ඒ ඒ තැනට ඇලෙති.”

§ 13 . අනුරුද්ධ ස්වාමින් වහන්සේ මෙසේ ප්‍රකාශ කළ කල්හි ආයුෂ්මත් සභිය කච්චායන නම් ස්ථවිරයන් ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන්ට මෙසේ සැලකළේය.

“ස්වාමීනි, අනුරුද්ධයන් වහන්ස , මැනවි. මෙහිදී මවිසින් තවත් ඇසිය යුත්තක් ඇත.
ස්වාමීනි, යම් දෙවියෝ ආලෝක ඇත්තාහු වෙත්ද, ඒ සියල්ලෝ ස්වල්ප ආලෝකය ඇත්තාහුද, නැතහොත් ඇතැම් දෙවියෝ අප්‍රමාණවූ ආලෝකය ඇත්තාහු වෙත්ද? ඇතැම්හු අල්ප ආලෝක ඇත්තෝ වේද ” කියායි.

§ 14 “ඇවැත්නි, කච්චායනය, ඒ දේව භවය ලබන්නට හේතු වූ කර්මයන්ගේ මහත් බව හෝ අල්ප බව අනුව ඇතැම් දෙවියෝ ස්වල්ප ආලෝක ඇත්තාහු වෙති., ඇතැම් දෙවියෝ අප්‍රමාණවූ ආලෝක ඇත්තාහු වෙති.

“ස්වාමීනි, අනුරුද්ධ ස්ථවිරයන් වහන්ස, එකම දිව්‍ය නිකායක උපන් දේවතාවන් අතුරෙන් සමහර දේවතාවන් ස්වල්ප ආලෝක ඇත්තවුන් වීමටත්, මෙහි සමහර දේවතාවන් අප්‍රමාණවූ ආලෝක ඇත්තවුන් වීමටත් හේතු කවරේද?

“ඇවැත්නි, කච්චායනය, එසේවී නම් මා යමක් ඔබගෙන්ම විචාරන්නෙමි. යම්සේ නුඹට වැටහෙන ආකාරයට ප්‍රකාශ කළ මැනව.

ඇවැත්. කච්චායනය, යම් භික්ෂුවක් එක් රුක්මුලක් පමණ තැනක කසිණ නිමිත්ත පතුරුවා වාසය කෙරේද , අනෙක් භික්ෂුවක් රුක්මුල් දෙකක් හෝ තුනක් පමණ තැන කසිණ නිමිත්ත පතුරුවා වාසය කෙරේද, මේ චිත්ත භාවනා දෙක අතුරෙන් කිනම් චිත්ත භාවනාවක් උසස් යැයි ඔබ සිතන්නේද ?

“ස්වාමීනි, රුක්මුල් දෙකක් තුනක් පමණ තැන් කසිණ නිමිත්ත පතුරුවා වාසය කරණ භික්ෂුවගේ චිත්ත භාවනාව එක රුක් මුලක පමණ තැන කසින ආලෝකය පතුරන භික්ෂුවගේ චිත්ත භාවනාවට වඩා වැඩි ය.”

“ඇවැත්නි, කච්චායනය, යම් භික්ෂුවක් එසේ රුක්මුල් දෙකක් හෝ තුනක් පමණ තැන කසිණ නිමිත්ත පතුරුවා වාසය කෙරේද , අනෙක් භික්ෂුවක් එක් ගමක් පමණ තැන් කසිණ නිමිත්ත පතුරුවා, වාසය කෙරේ නම් ඒ කුමකැයි සිතන්නෙහිද?
මේ චිත්ත භාවනා දෙක අතුරෙන් කවර චිත්ත භාවනාවක් ඉතා උසස්ද?

“ස්වාමීනි, යම් භික්ෂුවක් එක් ගමක් පමණ තැන කසිණ නිමිත්ත පතුරුවා වාසය කෙරේ නම් මෙය, මේ චිත්ත භාවනා දෙක අතුරෙන් ඉතා උසස්ය.

“ඇවැත්නි, කච්චායනය, යම් භික්ෂුවක් එක් ගමක් පමණ තැන කසිණ නිමිත්ත පතුරුවා, වාසය කෙරේ ද , අනෙක් භික්ෂුවක් , ගම් දෙකක් හෝ තුනක් පමණ තැන් කසිණ නිමිත්ත පතුරුවා වාසය කෙරේ නම් මේ කුමකැයි හඟින්නෙහිද? මේ චිත්ත භාවනා දෙක අතුරෙන් කිනම් චිත්ත භාවනාවක් ඉතා උසස්ද?

“ස්වාමීනි, යම් භික්ෂූවක් ගම් දෙකක් හෝ තුනක් පමණ තැන කසිණ නිමිත්ත පතුරුවා වාසය කෙරේ නම් මේ චිත්ත භාවනා දෙක අතුරෙන් මෙය, ඉතා උසස්ය.

“ඇවැත්නි, කච්චායනය, මේ භික්ෂුවක් ගම් දෙකක් හෝ තුනක් පමණ තැන කසිණ නිමිත්ත පතුරුවා වාසය කෙරේ නම්, අනෙක් භික්ෂුවක් එක් ප්‍රාන්ත රාජ්‍යයක් පමණ භුමියේ කසිණ නිමිත්ත පතුරුවා වාසය කෙරේ නම් ඒ කුමකැයි හඟින්නෙහිද? මේ චිත්ත භාවනා දෙක අතුරෙන් කවර චිත්ත භාවනාවක් ඉතා උසස්ද?

“ස්වාමීනි, යම් මේ භික්ෂුවක් ප්‍රාන්ත රාජ්‍යයක් පමණ තැන කසිණ නිමිත්ත පතුරුවා වාසය කෙරේද, මේ චිත්ත භාවනා දෙක අතුරෙන් මෙය ඉතා උසස්ය.

“ඇවැත්නි, කච්චායනය, ඒ කුමකැයි හඟින්නෙහිද? යම් භික්ෂුවක් එක් ප්‍රාන්ත රාජ්‍යයක් පමණ තැන කසිණ නිමිත්ත පතුරුවා වාසය කෙරේද, අනෙක් භික්ෂුවක් දෙතුන් ප්‍රාන්ත රාජ්‍යයන් පමණ තැන කසිණ නිමිත්ත පතුරුවා වාසය කෙරේද, මේ චිත්ත භාවනා දෙක අතුරෙන් කවර චිත්ත භාවනාවක් ඉතා උසස්ද?

“ස්වාමීනි, යම් මේ භික්ෂුවක් යම්තාක් දෙතුන් මහාරාජ්‍යයක් පමණ තැන කසිණ නිමිත්ත පතුරුවා වාසය කෙරේ නම් මෙය මේ චිත්ත භාවනා දෙක අතුරෙන් ඉතා උසස්ය.

“ඇවැත්නි, කච්චායනය, ඒ කුමකැයි හඟින්නෙහිද? යම් භික්ෂුවක් දෙතුන් ප්‍රාන්ත රාජ්‍යයක් පමණ තැන් කසිණ නිමිත්ත පතුරුවා වාසය කෙරේද, අනෙක් භික්ෂුවක් යම්තාක් මුහුද කෙළවරකොට ඇති පොළොව පමණ තැන කසිණ නිමිත්ත පතුරුවා වාසය කෙරේද, මේ චිත්ත භාවනා දෙක අතුරෙන් කිනම් චිත්ත භාවනාවක් ඉතා උසස්ද? “

“ස්වාමීනි, යම් මේ භික්ෂුවක් යම්තාක් මුහුද කෙළවරකොට ඇති පොළොව පමණ තැන කසිණ නිමිත්ත පතුරුවා වාසය කෙරේ නම් මෙය මේ චිත්ත භාවනා දෙක අතුරෙන් ඉතා උසස්ය.

“ඇවැත්නි, කච්චායනය, යම්හෙයකින් එකම දිව්‍ය යෝනියක උපන් මේ දේවතාවන් අතුරෙන් ඇතැම් දෙවියෝ ස්වල්ප ආලෝක ඇත්තාහුද ඇතැම් දෙවියෝ අප්‍රමාණ ආලෝක ඇත්තාහුද මේ ඊට හේතුවය, මේ ප්‍රත්‍යයය ”

§ 15 . “ස්වාමීනි, අනුරුද්ධ ස්ථවිරයන් වහන්ස, මැනවි. මෙහිදී මා විසින් තවත් ඇසිය යුත්තක් ඇත.
“ස්වාමීනි, ඒ පරිත්තාභ දෙවියෝ අතර සියල්ලෝ අපිරිසිදු ආලෝක ඇත්තාහුද, ඒ සියල්ලෝ අපිරිසිදු ආලෝක ඇත්තාහුද? නැතහොත් සමහර දෙවියෝ පිරිසිදු ආලෝක ඇත්තාහු වෙත්ද?

“ඇවැත්නි, කච්චායනය, භවයට හේතුවූ ඒ ඒ කරුණු වශයෙන් මෙහි ඇතැම් දෙවියෝ අපිරිසිදු ආලෝක ඇත්තෝ වෙති. ඇතැම් දෙවියෝ පිරිසිදු ආලෝක ඇත්තෝ වෙති.

§ 16 . “ස්වාමීනි, අනුරුද්ධ ස්ථවිරයන් වහන්ස, යම්හෙයකින් එකම දිව්‍යයෝනියක උපන් ඒ දෙවියන් අතුරෙන් මෙහි සමහර පරිත්තාභ දෙවියෝ අපිරිසිදු ආලෝක ඇත්තාහු වෙත්ද, මෙහි සමහර දෙවියෝ පිරිසිදු ආලෝක ඇත්තාහු වෙත්ද ඊට හේතු කවරේද? ප්‍රත්‍යය කවරේද?

“ඇවැත්නි, කච්චායනය, එසේ වීනම් ඔබට උපමාවක් දක්වන්නෙමි. මේ ලෝකයෙහි ඇතැම් නුවණැති පුරුෂයෙක් උපමාවෙන්ද දේශනා කරන ධර්මයාගේ අර්ථ දැනගනී.

ඇවැත්නි, කච්චායනය, දැල්වෙන්නාවූ තෙල් පහනේ තෙල් යම්සේ අපිරිසුදුද, වැටියත් අපිරිසුදුද, තෙලුත් අපිරිසුදු බැවින් වැටියත් අපිරිසුදු බැවින් ඒ එළිය ඉතා අඳුරක් මෙන් දැල්වෙයි.

ඇවැත්නි, කච්චායනය, එපරිද්දෙන්ම මේ ලෝකයෙහි ඇතැම් භික්ෂුවක් පිරිසුදු නොවූ කසින ආලෝකය පතුරුවා වාසය කෙරේද,
ඔහුගේ කයේ අලස භාවයද හොඳහැටි සංසිඳුනේ නොවෙයි.
ථීනමිද්ධයද උදුරා නොදමන ලද්දේ වෙයි.
උද්ධච්චකුක්කුච්චයද මනාකොට නොහික්මවන ලද්දේ වෙයි.
හෙතෙම කයේ අලස භාවය නොසංසිඳුවන ලද බැවින්ද, ථිනමිද්ධය උදුරා නොදමන ලද බැවින්ද, උද්ධච්චකුක්කුච්චය නොහික්මවන ලද බැවින් ද අඳුරුවූවක් මෙන් අරමුණ බලයි. හෙතෙම කායයාගේ භේදයෙන් මරණින් මතු සංකිලිට්ඨාභ දෙවියන් අතර පහල වෙයි.

“ඇවැත්නි, කච්චායනය, තෙල් පහනේ තෙල් පිරිසුදුද, වැටියත් පිරිසුදුද, ඒ පහනේ ආලෝකය තෙල් පිරිසුදු බැවින් වැටිය පිරිසුදු බැවින් අඳුරක් නැතිව දැල් වෙයි.

ඇවැත්නි, කච්චායනය, එපරිද්දෙන්ම මේ ලෝකයෙහි ඇතැම් මහණෙක් පිරිසුදු ආලෝකය ඇත්තේයයි කසිණ නිමිත්ත පතුරුවා වාසය කෙරේද
ඔහුගේ කයේ අලස භාවයද සංසිඳුවන ලද්දේ වෙයි.
ථීනමිද්ධයත් උදුරාදමන ලද්දේ වෙයි.
උද්ධච්චකුක්කුච්චය හික්මවන ලද්දේ වෙයි.
හෙතෙම කයේ අලස භාවය සංසිඳුවන ලද බැවින්ද, ථිනමිද්ධය උදුරා දමන ලද බැවින්ද, උද්ධච්චකුක්කුච්චය හික්මවන ලද බැවින්ද, අන්ධවූවෙක් මෙන් අරමුණ නොබලයි. හෙතෙම කායයාගේ භේදයෙන් මරණින් මතු පරිසුද්ධාභ දෙවියන් හා එක්වීමට පැමිණෙයි..

“ඇවැත්නි, කච්චායනය, යම්හෙයකින් එකම දිව්‍ය නිකායෙහි උපන් ඒ දෙවියන් අතුරෙන් ඇතැම් දෙවියෝ අපිරිසුදු ආලෝක ඇත්තාහු වෙත්ද, ඇතැම් දෙවියෝ පිරිසුදු ආලෝක ඇත්තාහු වෙත්ද, මෙය ඊට හේතුවයි. මෙය ඊට ප්‍රත්‍යයයි.

§ 17 . එසේ කීකල්හි ආයුෂ්මත් සභිය කච්චායන භික්ෂුන් ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන්ට මෙසේ කීය.

“ස්වාමීනි, අනුරුද්ධ ස්ථවිරයන් වහන්ස, යහපති.
ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ “මා විසින් මෙසේ අසනලදී” කියා හෝ “මෙසේ වීමට ඉඩ ඇත ” යයි කියා හෝ නොකීහ. එහෙත් ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ ඒ දේවතාවෝ මෙසේද වෙත්, ඒ දේවතාවෝ මෙසේද වෙත් යනුවෙන් ස්ථිරවම කියන්නාහ.

ස්වාමීනි, ඒ කාරණය ගැන මට මෙසේ සිතෙයි. ඒකාන්තයෙන් ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ ඒ දේවතාවන් හා පෙර කලෙක ඇසුරක් වී ඇතැයි ද, ඔවුන් සමග කථා කරන ලදහයිද සාකච්ඡා කළහයිද කියායි. “1185

[1185:- සභිය භික්ෂුවගේ මේ ප්‍රකාශය නුසුදුසු හා ග්‍රාම්‍ය එකක් බව සඳහන්වන්නේ, තවත් කෙනෙකුගේ අධ්‍යාත්මික වර්ධනය ගැන වෙනත් කෙනෙකු විසින් ඇසීම නොසුදුසු නිසාය. ආයුෂ්මත් අනුරුද්ධ රහතුන් වහන්සේ පෙර භවයන් තුන් සියයකදීම ගිහි ගේ හැර මහණව පාරමී දම් පුරමින් සිට මේ අනුරුද්ධ භවයට පෙර බ්‍රහ්ම ලෝකයක බොහෝ කලක් හුන් බව අටුවාව කියයි.]

“ඇවැත් කච්චායනය, ඒකාන්තයෙන් ඔබ විසින් නොකියයුතු වචනයක් කියන ලදී. එහෙත් ඔබට මම මෙසේ ප්‍රකාශ කරන්නෙමි. ඇවැත්නි, කච්චායනය, මා විසින් බොහෝ කාලයක් මුලුල්ලෙහි ඒ දෙවියන් සමඟ එකට වසන ලද විරූය. කථා කරන ලද්දේය. සාකච්ඡා කරන ලද්දේය .”

§ 18. එසේ කීකල්හි ආයුෂ්මත් සභිය කච්චායනයන් , පඤ්චකංග නම් වඩුවාට මෙසේ කීය.

” වඞ්ඪකිය තොපට ඉමහත් ලාභයක් විය. වඞ්ඪකිය, තොපට යහපත් ලාභයක් විය. තොපගේ යම් සැකයක් වීනම් ඒ සැකයද දුරු කළාහුය. අපිද යම් මේ ධර්ම ක්‍රමයක් ඇසීමට ලැබීමු” යනුයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.