MN 03-01-01 දේවදහ සූත්‍රය

අද බොහෝ බෞද්ධයන් තමනට සිදුවන සියළු දුක් කරදර මේ අපේ පෙරකළ කර්මයන් නිසා සිදුවන විපාක යයි කියන්නට පුරුදු වී ඇත. භාග්‍යවතුන් වහන්සේ දේසනා කර ඇත්තේ යලි භවය ඇතිකිරීම පෙර කර්ම වලින් සිදුවන බව මිස අපට වන සියලු කරදර පෙර කල කර්ම නිසා වන ඒවා නොවන බවය. මේ සුත්‍රය එදා ජෛන ආගමේ සව්වන් අද බෞද්ධයන් කියන මතය ඉදිරිපත් කල විට භාග්‍යවතුන් වහන්සේ දුන් පිළිතුර සඳහන් කරයි. කර්ම විෂය අචින්ත්‍ය බව ද මතක තබාගන මුගලන් හිමියන් ගෙ ජීවිතය අවසන් වුයේ පෙර කල කර්මයක විපාකයක් ලෙස බවද සිහි කරගතහොත්, “සියලු දේ” වන්නේ පෙර කර්ම නිසා නොව සමහර වැදගත් සිදුවීම් පමණක් කර්ම ඵල ලෙස වන්නේ යැයි සිතීම වටී.

§ 1. මා විසින් මෙසේ අසනලදී.
එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයන්හි දෙවදහ නම්වූ ශාක්‍යයන් නියම් ගමෙහි වාසය කරති. එකල්හි දිනක් භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට ‘මහණෙනියි’ කථාකළහ. ‘පින්වතුන් වහන්සැයි’ ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළේය.

§2. “මහණෙනි, යමෙක් සැපක් හෝ දුකක් හෝ දුක් සැප දෙකින් තොරවූවක් හෝ විඳියිද, ඒ සියල්ල පෙරකළ කර්ම හේතුවෙන්ම විඳින්නාහුය’ යි න්කියන්නාවූ බ්‍රාහ්මණයන් හා ශ්‍රමනයන් සිටී 922 කෙනෙක් මේ ජීවිතයේ වින්දින්නාව්ය් සැපයක්, දුකක්, අන් යම් වින්දනයක් වේද ඒ සියලු විඳීම් පෙර භවයක කල කර්මයන්ගේ ඵලයන්ය කියා ඔවුන් අදහති,.

[922:-ජෛන ආහමේ සාස්තෘන් වූ මහා වීර තුමාගේ කර්මය ගැන වූ මතය සාවද්යබව පෙන්වන්නට මේ සුත්‍රය සහ සංයුක්ත නිකායේ 36-21 අංගුත්තර කිකායේ 3-61 ආදී සුත්‍රවලද කරුණු අඩංගු වේ. මේ භවය පෙර කල කර්ම නිසා සකස් වූ මුත් මේ භවය තුල ඔහු විඳින වේදනා පෙර කර්මවල ඵලයන් නොවන බව මේවායේ ඉගැන්වීම වේ.]

මෙසේ නරක ඵලයන් ලබන්නට හේතුවන පුරාණවූ කර්මයන් දැඩි තපසින්, හා අනෙක් අත්තකිලමතානු යෝග ආදී ක්‍රමයන්ගෙන් විඳ කෙළවර කිරීමෙන්ද, අළුත් කර්මයන් නොකිරීමෙන්ද, මත්තෙහි නැවත ඉපදීමක් නොවේ. මත්තෙහි ඉපදීම සුන් කිරීමෙන් කර්මයන්ගේ නැසීමවේ. කර්ම නැසීමෙන් දුක් නැසීම වේ.“

දුක් නැසීමෙන් වේදනා නැසීම වේ. වේදනා නැසීමෙන් සියළු දුක් දිරා යන්නේය, යන මෙබඳු වාද ඇත්තාවූ මෙබඳු දෘෂ්ටි ඇත්තාවූ, සමහර මහණ බමුණන් ශ්‍රමනයන් ඇත්තාහ.

§3. “මහණෙනි, නිගණ්ඨයෝ මෙබඳු වාද ඇත්තාහුය. මහණෙනි, මම මෙබඳු වාද ඇති නිගණ්ඨයන් පිරිසක් හමුව මෙසේ ඇසුවෙමි.

‘ඇවැත් නිගණ්ඨයිනි, යමෙක් සැපක් හෝ දුකක් හෝ දුක් සැප දෙකින් තොරවූවක් හෝ විඳියිද, ඒ සියල්ල පෙරකළ කර්ම හේතුවෙන්ම විඳින්නාහුය” යන මෙබඳු වාද, මෙබඳු දෘෂ්ටි ඇත්තාහුය යනු සැබෑදැයි ඇසුවෙමි.
මහණෙනි, මා එසේ ඇසු විට ඒ නිගණ්ඨයෝ ‘එසේයයි ප්‍රකාශ කළහ.’

§ 4.  එවිට මම ඔවුන්ගෙන් “ඇවැත් නිගණ්ඨයිනි, තෙපි මේ ජීවිතයට පෙර භවයක ජීවත්වූ බවක් දන්නේද? නොදන්නේදැයි’ ඇසුවෙමි.
‘ඇවැත්නි, පෙර භවයක ජීවත්වූ බවක් අපි නොදනිමුයයි’ කීහ.

‘ඇවැත් නිගණ්ඨයිනි තෙපි පෙර භවයක මේ, මේ, පාප කර්ම කෙළෙමුයයි දනිව්ද?” , ඇසුවෙමි.
‘ඇවැත්නි මේ, මේ, පාප කර්ම කෙළෙමුයයි අපි නොදනිමුයයි’ කීහ.

‘ඇවැත් නිගණ්ඨයිනි, ? තෙපි තොපට විඳින්නට නියම වූ මෙපමණවූ දුක් ඇත්තේය. කියා දන්නේද?, ඇසුවෙමි.
‘ඇවැත්නි, එය නොදනිමුයි’ කීහ.

‘ඇවැත් නිගණ්ඨයිනි, ? විඳිය යුතුවූ දුක් වලින්, මෙපමණවූ දුක් ප්‍රමාණයක් විඳ නිම කරන ලද්දේය. මෙපමණවූ දුක් ප්‍රමානයක් විඳීමට ඉතිරිව ඇත. ඒ විඳ නිම වූ විට සියලු දුක් විඳ නිමකරන ලද්දේ යයි දනිව්ද?’ ඇසුවෙමි,
‘ඇවැත්නි, එය නොදනිමුයි’ කීහ.

‘ඇවැත් නිගණ්ඨයිනි, තෙපි මේ ආත්මයෙහිම අකුශල ධර්මයන්ගේ දුරු කිරීම කෙසේ කරන්ත්නේදැයි දන්නේද?
කුශල ධර්මයන් කෙසේ වඩන්නේදයි දනිව්දැයි, ඇසුවෙමි.
‘ඇවැත්නි එයද අප නොදනිමුයි’ කීහ. .

§ 5 . ඇවැත් නිගණ්ඨයිනි, මෙසේ, තෙපි පෙර අපි ජීවත් වීමු යයිද නොදන්නාහුය. මින් පෙර ජීවිතයක් වූ හෝ නොවීමුයයි නොදන්නාහුය.
පෙර අපි පාපකර්ම කෙළෙමුයයිද නොදන්නහුය. නොකෙළෙමුයයිද නොදන්නාහුය.
මෙබඳුවූ මෙබඳුවූ පාපකර්ම කෙළෙමුයයිද නොදන්නාහුය.

ඒ කල පාප කර්ම නිසා මෙපමණවූ දුක් විඳීමට ඇත්තේදැයි නොදන්නේය.
ඉන් මෙපමණ දුක් විඳ නිම කරන ලද්දේය. ඉදිරියට විඳීමට මෙපමණවූ දුක් ඉතිරිව ඇත්තේය. මෙපමණවූ දුක් දිරවූ කල්හි සියලු දුක් නිම කරන ලද්දේ යයිද නොදන්නාහුය.

මේ ආත්මයෙහිම අකුශල ධර්මයන්ගේ දුරු කිරීමත් කුසල ධර්මයන්ගේ වැඩීමත් නොදන්නාහුය.

මෙසේ වූ කල්හි ආයුෂ්මත් නිගණ්ඨයනි, තොප මෙසේ පුද්ගලයෙක් විඳිනා සැපක් හෝ, දුකක් හෝ, දුක් නොවූ සැප නොවූවක් හෝ, විඳීයිද, ඒ සියල්ල පෙරකළ කර්ම හේතුවෙන්ම විඳින්නේය. පැරණිවූ කර්මයන් තපසින් කෙළවර කිරීමෙන් අලුත්වූ කර්මයන් නොකිරීමෙන් මත්තෙහි කර්ම හට නොගනී. මත්තෙහි හට නොගැණීමෙන් කර්මයන් නැසීම සිදු වේ. කර්මයන්ගේ නැසීමෙන් දුක් නැසීමවේ. දුක් නැසීමෙන් වේදනා නැසීමවේ. වේදනා නැසීමෙන් සියලු දුක් දිරායාම වන්නේ යයි ලෙස ප්‍රකාශ කිරීමට සුදුසු නොවන්නේය.

§ 6.  “ආයුෂ්මත් නිගණ්ඨයිනි, ඉදින් තෙපි පෙර තොප මෙවන් භවයක ජීවත් වීමුයයි දන්නාහුද,
පෙර අපි මෙවන් පාපකර්ම කෙළෙමුයයි දන්නාහුද,
ඒ පාප කර්ම නිසා මෙපමණ දුක් විඳිය යුතු වන්නේය යි දන්නාහුද,
ඉන්මෙ පමණවූ දුක් විඳ නිමවන ලද්දීය.
මෙපමණවූ දුක් විඳීමට ඉතිරිව ඇත්තේය.
තවත් වූ එම දුක් විඳ නිම්න ලද විට සියලු දුක් දිරවන ලද්දේ වන්නේයයි දන්නාහුද මේ ආත්මයෙහිම අකුසල ධර්මයන්ගේ දුරු කිරීම කෙසේ කරන්නේදැයි දන්නේද, කුසල ධර්මයන් කෙසේ වඩන්නේදයි දන්නේද ,
එසේ වූ විට ආයුෂ්මත් නිගණ්ඨයන් ගෙ මේ මතය ප්‍රකාශ කිරීමට සුදුසු වන්නේය’ .

§ 7. ‘ආයුෂ්මත් නිගණ්ඨයිනි,

මම උපමාවක් දෙසනා කරමි. යම් පුරුෂයෙක් විස පෙවූ හී තලයකින් විදුම් ලැබ ඉතා දැඩි දුක් වේදනා විදින්නේය. ඒ හුල ඇනීමේ වේදනාව හේතුකොටගෙණ දුක්වූ තියුණුවූ කටුකවූ වේදනාවක් විඳින්නේය.

ඔහුගේ අසල් වැස්සෝද, නෑයෝද ඔහුට ප්‍රතිකාර කරන්නට ශල්‍යකර්ම වෙදෙකු කැඳවන්නාහුය. ඒ ශල්‍ය වෛද්‍යවරයා තියුණු ආයුධයකින් ඔහුගේ වණ මුඛය කපන්නේය.

ඒ මිනිසා ශල්‍ය ආයුධයෙන් වණ මුඛය කැපීම හේතුකොට ගෙනද, දුක්වූ, තියුණුවූ, කටුකවූ, වේදනාවක් විඳින්නේය.

ශල්‍ය වෛද්‍යවරයා සැත් කටුවකින් ඔහුගේ හුල සොයන්නේය. හෙතෙම සැත් කටුවෙන් හුල සෙවීම හේතුකොට ගෙනද, තියුණුවූ කටුකවූ වේදනාවක් විඳින්නේය.

ශල්‍ය වෛද්‍යවරයා ඔහුගේ ඒ හුල ඇද දමන්නේය. හෙතෙම හුල ඇද දැමීම හේතුකොටගෙනද, දුක්වූ තියුණුවූද කටුකවූ වේදනාවක් විඳින්නේය.

ඒ ශල්‍ය වෛද්‍යවරයා ඔහුගේ වණ මුඛයෙහි බෙහෙත් සුණු දමන්නේය. හෙතෙම බෙහෙත් කුඩු වණ මුඛයෙහි දැමීම හේතුකොට ගෙනද දුක්වූ තියුණුවූ කටුකවූ වේදනාවක් විඳින්නේය. එසේ ප්‍රතිකාර ලද්දාවූ එම පුරුෂයා සුවයට පත්ව විදුම් ලද තැන අලුතින් සමක් වැඩී ඔහුට සම්පුර්න සුවය ලැබී පෙර සේම සිතු සිතු තැන ගොස් රිසි සේ ඉන්නා වූ ඔහු මෙසේ සිතයි.

මම කලකට පෙර විස කැවූ හී පහරක් ලැබ බොහෝ දුකට වේදනාවට පත් වී හුන්නෙමි. මගේ නෑයෝ ශල්‍ය වෛද්‍යවරයෙකු කැඳවා ගෙන වුත් මට ප්‍රතිකාර කළහ. ඒ වෛද්‍යවරයා මගේ වනය සැතකින් පිරිසිදු කරද්දී, හීය ගලවත් දී, බෙහෙත් ගල්වත් දී මම ඉතා දැඩි වේදනා වින්දෙමි. දුකට පත් වීමි. නමුත් දැන් මම සම්පුර්ණ සුවයට පත්ව ඉඳිමි. ඒ තුවාලය තිබු තැන පවා නොපෙනෙයි. මාද මට කැමති ලෙස ජීවත් වෙමි. යි’ කියායි.

§ 8. ඇවැත් නිගණ්ඨයිනි, එපරිද්දෙන්ම තෙපි පෙර තොප මෙවන් භවයක ජීවත් වීමුයයි දන්නේද ,
පෙර අපි මෙවන් පාපකර්ම කෙළෙමුයයි දන්නාහුද,
ඒ පාප කර්ම නිසා මෙපමණ දුක් විඳිය යුතු වන්නේය යි දන්නාහුද,
ඉන් මෙපමණවූ දුක් විඳ නිමවන ලදි යි දන්නේද,
මෙපමණවූ දුක් විඳීමට ඉතිරිව ඇත්තේය,යි දන්නේද, .
තවත් වූ එම දුක් විඳ නිම්න ලද විට සියලු දුක් දිරවන ලද්දේ වන්නේයයි දන්නාහුද,
මේ ආත්මයෙහිම අකුසල ධර්මයන්ගේ දුරු කිරීම කෙසේ කරන්නේදැයි දන්නේද, කුසල ධර්මයන් කෙසේ වඩන්නේදයි දන්නේද ,
එසේ වූ විට ආයුෂ්මත් නිගණ්ඨයන්ගෙ මේ මතය ප්‍රකාශ කිරීමට සුදුසු වේ.

§ 9. ‘ඇවැත් නිගණ්ඨයිනි, එපරිද්දෙන්ම තෙපි පෙර තොප මෙවන් භවයක ජීවත් වීමුයයි නොදන්නාහුද,
පෙර අපි මෙවන් පාපකර්ම කෙළෙමුයයි නොදන්නාහුද,
ඒ පාප කර්ම නිසා මෙපමණ දුක් විඳිය යුතු වන්නේය යි නොදන්නාහුද,
ඉන් මෙපමණවූ දුක් විඳ නිමවන ලදි යි නොදන්නේද,
මෙපමණවූ දුක් විඳීමට ඉතිරිව ඇත්තේය,යි නොදන්නේද, .
තවත් වූ එම දුක් විඳ නිම්න ලද විට සියලු දුක් දිරවන ලද්දේ වන්නේයයි නොදන්නාහුද,
මේ ආත්මයෙහිම අකුසල ධර්මයන්ගේ දුරු කිරීම කෙසේ කරන්නේදැයි නොදන්නේද, කුසල ධර්මයන් කෙසේ වඩන්නේදයි නොදන්නේද ,
එසේ වූ විට ආයුෂ්මත් නිගණ්ඨයන්ගෙ මේ මතය ප්‍රකාශ කිරීමට සුදුසු නොවේ.

§ 10. “මහණෙනි, මෙසේ කී කල්හි නිගණ්ඨයෝ මට මෙසේ කීවාහුය.
‘ඇවැත්නි, භවත් ගෞතමයනි ! අපේ ශාස්තෘ වූ, සර්වඥවූ, සියල්ල දක්නාවූ නිගණ්ඨනාථ පුත්‍රයන් වහන්සේ සියල්ල දක්නා ඥානය ඇති බව මෙසේ ප්‍රකාශ කරයි.

“ඇවිදින විටද, සිටින්නාවූ විටද, නිදන්නාවූ විටද, නිදි වර්ජිතව ඉන්නා විටද මගේ සර්වඥ ඥානය නොහොත්, සියල්ල නුවණින් දැකීම මා හට එළඹ සිටියේය”, කියා උන් වහන්සේ කියයි.

එසේ සර්වඥ වූ අපේ සාස්තෘ මහා වීර තුමා අපට මෙසේ කීය.
‘ඇවැත් නිගණ්ඨයිනි’. තොප විසින් පෙර කරණලද පාපකර්ම ඇත . එය මේ කටුකවූ දුෂ්කර වූ පැවැතුමෙන් හා තපසින් ගෙවා නිම කරව්.

දැන්, තොප කයින් සංවරවූවේ ද, වචනයෙන් සංවර වූවේ ද, සිතින් සංවර වූවේ ද, එය මත්තෙහි පාප කර්ම නොකිරීමවේ. මෙසේ පුරාණවූ කර්මයන් තපසින් කෙළවර කිරීමෙන් හා අලුත් කර්මයන් නොකිරීමෙන් මත්තෙහි කර්ම හට නොගැනේ. මත්තෙහි කර්ම හට නොගැනීමෙන් කර්මයන්ගේ නැසීමවේ.

කර්ම නැසීමෙන් දුක් නැසීම වේ. දුක් නැසීමෙන් වේදනා නැසීමවේ. වේදනා නැසීමෙන් සියලු දුක් ගෙවී යාම වන්නේය” කියායි.

එමනිසා, එම වාදය, එම දේසනය අප පිලි ගන්නෙමු. එය අපට රුචි වේ. අප එයට කැමති වේ. එයින්ද සතුටු සිත් ඇත්තෝවීමු’ය, යි ඔවුන් කීහ.

§ 11 . මහණෙනි, මෙසේ කීකල්හි මම ඒ නිගණ්ඨයන්ට මෙසේ කීවෙමි. 924.

[924:- පළමුව නුඹලා ශ්‍රද්ධාව මත පිහිටා ආචාර්ය වාදය පිළිගත්හ. දැන් නුඹලා වාචික පරම්පරාවෙන් එන ඉගැන්වීම ගැන කියයි.]

ඇවැත් නිගණ්ඨයිනි, මේ ආත්මයෙහිම දෙපරිද්දෙකින් විපාක ඇත්තාවූ, ධර්ම පසක් වෙත්.
කවර පසක්දයත්?

(a). අනුන්ගේ කීම් ඇදහීම, (සද්ධා)
(b). තමාගේ කැමැත්ත, (රුචි)
(c). කලින් ඇසු සිය ගුරු දේසනා (අනුස්සව)
(d). තර්කයට ගැලපෙන ආකාරයෙන් කල්පනා කිරිම, (ආකාර පරිවිතක්ක)
(e). මෙසේමයයි නිශ්චය කිරීම . (දිට්ඨි නිජ්ජනකන්ති.)
යන මේ පසයි

ඇවැත් නිගණ්ඨයිනි, මේ ධර්ම පස මේ ආත්මයෙහිම දෙපරිද්දකින් විපාක ඇත්තාවූ, ධර්ම පස වෙත්.

ඔවුන් අතුරෙන් ආයුෂ්මත් නිගණ්ඨයන්ගේ ශාස්තෘහු කෙරෙහි අතීතය පිළිබඳව ඇදහීම කුමක්ද? කැමැත්ත කුමක්ද? ඇසීම කුමක්ද? ආකාර කල්පනා කිරීම කුමක්ද? විනිශ්චය කුමක්දැයි අසමි’.

මහණෙනි, මෙසේ ඇසු මම නිගණ්ඨයන් කෙරෙන් කිසිම පිළිතුරක් නොඇසීමි.

§ 12. “මහණෙනි, නැවත නිගණ්ඨයන්ට මම මෙසේ කිවෙමි.

නිගණ්ඨයිනි, ඒ කුමකැයි හඟිව්ද?’
තොප දැඩිසේ වෙර යොදා , අසීරු වූ තපස් කර්මයක යෙදේද, එහි අසීරුබව නිසා , ඒ තපස නිසා හටගත්තාවූ, දැඩිවූ, දුක්වූ, තියුණුවූ කටුකවූ වේදනාවන් විඳින්නේ නොවේද? යම් විටෙක තොපගේ දෘඪවූ වෙහෙසකර වූ තපස අත් හලේ නම් එවිට තපස නිසා හටගත්තාවූ දැඩිවූ, දුක්වු, තියුණුවූ, කටුකවූ වේදනාවන් නොවිඳින්නාහු නොවේද?

‘ඇවැත්නි, අපගේ දැඩිවූ තපස , දැඩිවූ වීර්යය නිසා , අප හට දැඩිවූ, දුක්වූ, තියුණුවූ, කටුකවූ වේදනාවන් ඇතිවෙන්නේය. යම් ලෙසක අපගේ දැඩි තපස අත්වූ හලේද එකල්හි තපස නිසා හටගත්තාවූ දැඩිවූ දුක්වූ, තියුණුවූ, කටුකවූ, වේදනාවන් නොවිඳිමුයි’ ඔවුන් කීහ..

§ 13. ‘ඇවැත් නිගණ්ඨයිනි, මෙසේ වූ කල්හි තොපගේ දැඩිවූ තපස නිසා , දැඩිවූ වීර්යය නිසා , හටගත්තාවූ, දුක්වූ, තියුණුවූ, කටුකවූ වේදනාවන් විඳින්නා වූ තොප , ඒ සියල්ල පෙරකළ කර්ම හේතුවෙන් විඳින්නේය’යි කීම නොසුදුසු වේ. පෙර භවයේ කල කර්ම නිසා නොව තොපගේ කැමැත්තෙන්, ඕනෑකමින් කරන දැඩි තපස නිසාම තොප මෙසේ මහත් දුකට පත් වේ.’

§14. ‘ආයුෂ්මත් නිගණ්ඨයිනි, ඉදින් යම් විටෙක තොපගේ දැඩිවූ තපසද, දැඩිවූ වීර්යය ද, නිසා තපස නිසා හටගත්තාවූ දුක්වූ තියුණුවූ කටුකවූ වේදනාව නවතින්නේ නම් මේ තපස නිසා මා පෙර භවයේ කල සියලු පාපයන්ගේ කර්ම විපාකයන් දැන් අවසන් කර ඇත’ ය කියන්නට ඔබලා ට පිළිවන.

§15 . ආයුෂ්මත් නිගණ්ඨයිනි, යම් කලෙක තොපගේ දැඩි තපස්කම් නිසා, දැඩි වීර්යය නිසා, තොපට දැඩිවූ තපස නිසා හටගත්තාවූ තියුණුවූ කටුකවූ වේදනා විඳින්නහුය. යම් කලෙක්හි තොපගේ දැඩිවූ තපස නොකරන්නේද , දැඩිවූ වීර්යය නොයොදන්නේද , එවිට උග්‍ර තපස් කර්ම නිසා හටගත්තාවූ දුක්වූ තියුණුවූ කටුකවූ වේදනා නොවිඳින්නහුය. තෙපි තුමූම තම ප්‍රතිපදාව , හෙවත් දැඩි අත්තකිලමතානු යෝග නිසා හටගත්තාවූ දුක්වූ තියුණුවූ කටුකවූ වේදනාවන් විඳිනු ලබන්නාහුය. සත්‍යය නො දැනීමෙන්, මුලාවෙන් සත්වයෙක් යම් සැපක් හෝ දුකක් හෝ දුක්නොවූ සැප නොවූවක් හෝ විඳියිද ඒ සියල්ල පෙරකළ කර්ම හේතුවෙන් විඳින්නේය. මෙසේ පැරණිවූ කර්මයන් තපසින් කෙළවර වීමෙන් අළුත්වූ කර්මයන් නොකිරීමෙන් මත්තෙහි කර්ම හට නොගණී. මත්තෙහි කර්ම හට නොගැණීමෙන් කර්මයන්ගේ නැසීමවේ. කර්ම නැසීමෙන් දුක්නැසීමවේ. දුක් නැසීමෙන් වේදනා නැසීමවේ. වේදනා නැසීමෙන් සියළු දුක දිරවීම වන්නේයයි විපරිත වශයෙන් අදහන්නහුය’.

මහණෙනි, මෙසේ අසන්නාවූ මම නිගණ්ඨයන්ගේ කිසිම පිළිතුරක් නොඇසීමි.

§ 16. “මහණෙනි, නැවතද මම ඒ නිගණ්ඨයින්ට මෙසේ කීවෙමි.
‘ඇවැත් නිගණ්ඨයිනි, තොප මේ ගැන කුමක් සිතන්නාහුද ?
මේ ආත්මයෙහි දුක් විපාකදෙන යම් කර්මයක් වෙයිද එය තොප රකිනා අත්තකිලමතානු යෝග උපක්න්‍රමයේ හෝ වීර්යයෙන් සැප විපාක දෙන කර්මයක් බවට පෙරලීමට හැකිදැයි’ ඇසුවෙමි.
‘ඇවැත්නි, එසේ කර්ම ඵලය වෙනස් කල නොහැකිය’යි ඔවුන් කීහ..’

§ 17. ඇවැත්නි, මේ භවයේ දුක් විපාක දෙන කර්මයක් වේ නම්, තොපගේ තපස නිසා ඒ කර්ම විපාකය මතු භවයකදී විපාක දීමට පමුණුවන්නට ( දුක් විඳීම කල් දමන්නට) හැකියාවක් වේද? යි ඇසුවෙමි.’
‘ඇවැත්නි එසේ විපාකය කල් දැමිය නොහැකියයි’ ඔවුන් කීහ.

§ 18. ඇවැත් නිගණ්ඨයිනි, තොප මේ ගැන කුමක් සිතන්නාහුද ?
බොහෝ දුක් විපාක දෙන්නාවූ යම් කර්මයක් වෙයිද, එය දැඩි තපසින් හෝ වීර්යයෙන් හෝ අල්ප දුක් විපාක දෙන්නාවූ කර්මයක් වේවායි වෙනස් කල හැක්කේදැයි ඇසුවෙමි.’
‘ඇවැත්නි, එසේ කල නොහැක්කේයයි ඔවුන් කීහ..’‘

§ 19. ඇවැත්නි, මේ භවයේ දුක් විපාක දෙන කර්මයක් වේ නම්, තොපගේ තපස නිසා ඒ කර්ම විපාකය සැප විපාක දීමට පමුණුවන්නට හැකියාවක් වේද? යි ඇසුවෙමි.’
‘ඇවැත්නි එසේ විපාකය කල් දැමිය නොහැකියයි’ ඔවුන් කීහ

§ 20. ඇවැත්නි, අල්ප සැප විපාක දෙන්නාවූ යම් කර්මයක්, එය තොපගේ දැඩි තපසින් හෝ තොපගේ දැඩි වීර්යයෙන් හෝ බොහෝ සැප විපාක දෙන්නාවූ කර්මයක් වේවායි පතා එසේ ලැබිය හැක්කේ දැයි ඇසුවෙමි.’
‘ඇවැත්නි එසේ ලැබිය නොහැකියයි’ ඔවුන් කීහ..”

‘ඇවැත් නිගණ්ඨයිනි, තොප මේ ගැන කුමක් සිතන්නාහුද ?

‘කිසි විපාකයක් නොදෙන්නාවූ යම් කර්මයක් වෙයිද, එය තොපගේ තපසින් හෝ වීර්යයෙන් හෝ විපාක දෙන කර්මයක් කිරීමට හැකිදැයි ඇසුවෙමි.’
‘ඇවැත්නි, එසේ කල නොහැකියයි’ ඔවුන් කීහ..

§ 21 ‘ඇවැත් නිගණ්ඨයිනි, මෙසේ මේ භවයෙහි විඳිය යුතුවූ විපාක ඇති යම් කර්මයක් වෙයිද, එය තපසින් හෝ වීර්යයෙන් හෝ මතු භවයක දී විපාක විඳිය යුතු කර්මයක් බවට පත් කර ගන්නට නොහැකි බවද, මතු භවයකදී විපාක ලබන කර්මයක ඒ විපාකය තපසින් හා දැඩි වීර්යයෙන් මේ භවයේ විපාක දීමට සැලැස්වීමට නොහැකි බවද පෙනේ. දුක් විපාක දෙන කර්මයක් තපසින් හා දැඩි වීර්යයෙන් සැප විපාක දෙන කර්මයක් කරන්නට නොහැකි බව තොප පිලි ගනී.

මතු භවයකදී විපාක විඳිය යුතුවූ යම් කර්මයක් වෙයිද, එය මේ ආත්මයෙහි විපාක විඳිය යුතු කර්මයක් වේවායි පතා දැඩි තපසින් හෝ දැඩි වීර්යයෙන් උත්සාහ කලත් එය සිදු නොවන්නේය.

සැප විපාක විඳිය යුතුවූ යම් මේ කර්මයක් වෙයිද, උපක්‍රමයෙන් හෝ වීර්යයෙන් හෝ දුක් විපාක විඳිය යුතුකර්මයක් වේවායි උත්සාහ කලත් එය සිදු නොවන්නේය. ,

දුක් විපාක විඳිය යුතු යම් මේ කර්මයක් වේද එය උපක්‍රමයෙන් හෝ, වීර්යයෙන් හෝ, සැප විපාක විඳිය යුතු කර්මයක් වේවායි, උත්සාහ කලත් එය සිදු නොවන්නේය.

මේ භවයේදී විපාක විඳිය යුතුවූ යම් කර්මයක් වේද, එය දැඩි තපසින් හෝ දැඩි වීර්යයෙන් හෝ මතු භවයකදී විපාක විඳිය යුතු කර්මයක් වේවායි උත්සාහ කලත් මෙය සිදු නොවන්නේය.

මතු භවයකදී විපාක විඳිය යුතු යම් කර්මයක් වේද, එය දැඩි තපසින් හෝ දැඩි වීර්යයෙන් හෝ මේ භවයෙහි විපාක විඳිය යුතු කර්මයක් වේවායි උත්සාහ කලත් එය සිදු නොවන්නේය.

බොහෝ විපාක විඳිය යුතු යම් කර්මයක් වේද, එය දැඩි තපසින් හෝ දැඩි වීර්යයෙන් හෝඅල්පවූ විපාක විඳිය යුතු කර්මයක් වේවායි උත්සාහ කලත් එය සිදු නොවන්නේය.

ස්වල්පවූ විපාක විඳියයුතු යම් මේ කර්මයක් වේද, එය දැඩි තපසින් හෝ දැඩි වීර්යයෙන්හෝ බොහෝ විපාක විඳිය යුතු කර්මයක් වේවායි, උත්සාහ කලත් එය සිදු නොවන්නේය.

විපාක විඳිය යුතු යම් මේ කර්මයක් වේද එය දැඩි තපසින් හෝ දැඩි වීර්යයෙන්හෝ විපාක නොවිඳිය යුතු කර්මයක් වේවායි උත්සාහ කලත් එය සිදු නොවන්නේය.

විපාක නොවිඳිය යුතු යම් මේ කර්මයක් වේද එය දැඩි තපසින් හෝ දැඩි වීර්යයෙන්හෝ විපාක විඳිය යුතු කර්මයක් වේවායි, උත්සාහ කලත් එය සිදු නොවන්නේය.

මෙසේ ඇති කල්හි ආයුෂ්මත් නිගණ්ඨයන්ගේ ප්‍රතිපදාව නිෂ්ඵල එකකි. ඒ සඳහා ගන්නා වීර්යය නිෂ්ඵල වේ.’

“මහණෙනි,ඔවුනගේ තපසින් හා වීර්යයෙන් ඔවුන්ගේ අභිමතාර්ථය ඉටු නොවේ.

§ 22. මහණෙනි, නිගණ්ඨයෝ මෙබඳු වාද ඇත්තාහුය, මහණෙනි මෙබඳුවාද ඇත්තාවූ නිගණ්ඨයන්ගේ අපවාදයට හේතු වන වාද අනුවාද දහයක් වේ,

(i) ඉදින් පෙරකළ කර්ම හේතුවෙන් සැප දුක් විඳිත් නම් මහණෙනි, දැන් මෙබඳුවූ දුක්වූ තියුණුවූ කටුකවූ වේදනා විඳින්නාවූ නිගණ්ඨයෝ එකාන්තයෙන් පෙර භවයක ඉතා දරුණු අකුසළ කර්ම කරන්නට ඇත.

(ii) ඉඳින් මෙසේ විඳින සැප, දුක් වේදනා මැවුම්කාර දෙවියෙක් විසින් පමුණුවන්නේ නම්, මේ දැඩි දුක් දැන් විඳින නිඝන්ටයන් ගේ මැවුම්කාරයා ඉතා පවිටු දුෂ්ඨ දෙවියෙක් විය යුතුය. “

(iii) ඉදින් කෙනෙකු විඳින සුඛ, දුක්ඛ ආදී වේදනා ඉබේම , සිදුවේනම්, මේ නිඝන්ටයන් බොහෝ අවාසනාවන්ත අය නිසා මෙසේ මේ මහා දුකකට පැමිණ පැමිණ සිටින්නේය. 930

[930: සංඝතිභවහේතු යැයි කියනා මක්ඛලි ගෝසාල ඉගැන්වූ හේතුව. MN 60 අපන්නක සුත්රයේදී හා අහ්ගුත්තර නිකායේ තික නිපාතයේ තින්‍ථායතන සූත්‍රයේ ද භාග්‍යවතුන් වහන්සේ හේතුව සාවද්‍ය බව දේසනා කොට ඇත..]

(iv) සත්වයෝ සිය උපත සිදුවූ සය වැදෑරුම් ආකාරය හේතුකොට ගෙන සැප දුක් විඳින්නේ නම් මෙසේ දැන් දුකම විඳිනා නිඝන්ට පිරිස ඉතාම නරක, පවිටුවූ උපතක් ලබන පිරිසක් විය යුතුය. 931

[931: අභිජා හේතු ; පුරාණ කස්සපගේ සය වැදෑරුම් උප්පත්ති ගැන කල ඉගැන්වීම අංගුත්තර නිකායේ චලාභී සුත්‍රයේ දී විසඳා ඇත.]

(v) සැප දුක් ආදී වේදනා වලට හේතුව මේ භවයේදී කරනා කර්මයන් ඉතා නරක දුෂ්ඨ විපාක ඇති ඒවා විය යුතුය.

(vi) මහණෙනි, ඉදින් සත්වයෝ ඉහාත්මයෙහිවූ කල කර්ම නිසාම සැප දුක් විඳිත් නම් මහණෙනි, මෙ කල්හි මෙ බඳු දුක්වූ තියුණුවූ කටුක වූ වේදනා විඳින්නා වූ නිඝණ්ඨයෝ එකාන්තයෙන් ඉහාත්මයෙහි පවිටු වූ ජීවිතයන් ගෙවුවෝ විය යුතු වෙත්.“

(vii) මහණෙනි, ඉදින් සත්වයෝ ඊශ්වරාදීන්ගේ මැවීම් හේතුවෙන් සැප දුක් විඳිත් නම් දැන් මෙසේ දුක් විඳින්නාවූ නිඝන්ටයන් එයින්ද ගැරහිය යුතු වෙත්.

(viii) මහණෙනි, ඉදින් සත්වයෝ කිසිම හේතුවක් නැතිවම, අහෙතුවකම සැප දුක් විඳිත් නම් එයින්ද නිගණ්ඨයෝ ගැරහිය යුතු වෙත්.

(ix) මහණෙනි, ඉදින් සත්වයෝ සවැදෑරුම් උත්පත්ති හේතුවෙන් සැප දුක් විඳිත් නම් එයින්ද නිගණ්ඨයෝ ගැරහිය යුත්තාහු වෙත්.

(x) මහණෙනි, ඉදින් සත්වයෝ මේ ආත්මයෙහි තමන් යෙදෙන්නාවූ ප්‍රතිපදා හේතුවෙන් සැප දුක් විඳිත් නම් එයින්ද නිගණ්ඨයෝ ගැරහිය යුත්තෝ වෙත්.

එහෙයින් මහණෙනි, නිගණ්ඨයෝ මෙ බඳු වාද ඇත්තාහුය. මහණෙනි, මෙබඳු වාද ඇත්තාවූ නිගණ්ඨයන්ගේ වාදානුවාද දසය කරුණු සහිතව මෙසේ ගැරහිය යුතු වෙත්.

§ 23. මහණෙනි, කෙබඳු වූ ප්‍රතිපදාවක් සාර්ථක වේද?, කෙබඳු ව්‍යායාමයක් සඵලවේද? වීර්යයක් සඵලවේ ද?

මහණෙනි, මේ ශාසනයෙහි මහණකු ශාරීරික වධයෙන් තමන් නොපෙලා දුකින් පීඩිත නොවී පිළිවෙත් පුරයිද , ප්‍රීතිය ගෙනෙනා අරමුණු කෙරෙහි ද්වේශයෙන් ඒවා ඈත් නොකොට, ඒ ප්‍රීතිය ගෙන දෙන අරමුණුවල වසඟ වී එහි නොඇලී , ධාර්මිකවූ ප්‍රීතියක් සැනසීමක් ලෞකික අරමුණු වලින් ලබයි ද 932 හෙතෙම මෙසේ දැනගණියි. මෙසේ දුක් කෙලවර කරන්නට ප්‍රතිපත්ති පුරන මම මෙසේ කරන වීර්ය භේතුවෙන් දුකට හේතුවන ඒ ධර්මය මා කෙරෙන් දුරු වන්නේය. ඒ අරමුණු කෙරෙහි උපේක්ෂාවෙන් බලන මගේ ඒ දුක්ඛ උපාදානය නොහොත් මගේ දුකට හේතුවූ තෘෂ්ණාව දුරුවේයයි කියායි. 933

[932:- මේ භාග්‍යවතුන් වහන්සේ වදාළ මධ්‍යම ප්‍රතිපදාවේ මුලික සිද්ධාන්තය වේ. අරමුණු කෙරෙහි තෘෂ්ණාවෙන් නො බැදී , අරමුණු කෙරෙහි ද්වේශයෙන් ඒවා නැති කිරීමට තැත් නොකොට උපේක්ෂාවෙන් ලෝකයෙහි අරමුණු සේවනය කිරීම යි.]

[933:- දුකට හේතුව තෘෂ්ණාව ලෙස අටුවාව දක්වන්නේ පංච කාම අරමුණු දැක ඒවා අත්කර ගැනීමේ සිත් ඇතිවී ඉන් වන චිත්ත ස්වභාවයයි. මෙහි තෘෂ්ණාව දුරු කර ගැනීම් දෙආකාර ක්‍රම දක්වා ඇත. එනම්, 1: අරමුණු යෝනිසොමනිසිකාරයෙන් සලකමින් වීර්යයෙන් ඒ තෘෂ්ණාව දුරු කිරීම හා 2. උපේක්ෂා සහගත සිතින් අරමුණු හා නොබැදී නොගැටී අරමුණු ඇසුරු කිරීම ඒ දෙආකාරය වේ. මේ චේදයෙන් විශේෂයෙන් සුඛ පටිපදා කිප්පාබින්ඥා ලෙස දක්වන නිර්වාණගාමී ප්‍රතිපත්තිය මින් දැක්වෙන බව පෙනෙයි.]

වීර්ය කරන්නාගේ වීර්ය හේතුකොටගෙන දුකට හේතුවූ යම් තෘෂ්ණාවක දුරුකිරීමක් වෙයිද එහි මාර්ග වීර්යයෙන් වීර්ය කරන්නේය.‘

එහි උපෙක්ෂාව වඩයි. වීර්ය කරන්නාවූ ඒ පුද්ගලයාහට වීර්ය කිරීම හේතුකොටගෙන දුක් උපදවන හේතුව වන තෘෂ්ණාව දුරු වෙයි. මෙසේ ඔහුගේ දුක නිවී යන්නේය. මධ්‍යස්ථ සිතින් නොහොත් උපේක්ෂාවෙන් ඉන්නාවූ ඔහුගේ උපේක්ෂාව හේතුකොටගෙන දුක උපදවන හේතුව වන තෘෂ්ණාව දුරු වෙයි. මෙසේ ඔහු දුක දුරු කරගත්තේ වෙයි.

§ 24. “මහණෙනි, යම් පුරුෂයෙක් , එක්තරා ස්ත්‍රියක් කෙරෙහි බොහෝ ඇළුම් ඇත්තේ , ඈ පිළිබඳ සිත් ඇත්තේ, දැඩිවූ ආලය ඇත්තේ, දැඩිවූ බලාපොරොත්තු ඇත්තේවේද, හෙතෙම අන් පුරුෂයෙකු සමග එක් සිටින්නාවූ, එක්ව කථා කරන්නාවූ, එක්ව විහිළු තහළු කරන්නාවූ, එක්ව සිනාසෙන්නාවූ, ඒ ස්ත්‍රිය දක්නේය.

මහණෙනි, ඒ කුමකැයි හඟිව්ද? කිමෙක්ද? ඒ පුරුෂයා හට අන් පුරුෂයෙකු සමග එක් සිටින්නාවූ, එක්ව කථා කරන්නාවූ, එක්ව විහිළු තහළු කරන්නාවූ, එක්ව සිනාසෙන්නාවූ මේ ස්ත්‍රිය දැක, ඒ පුරුෂයාගේ සිතෙහි දොම්නස, ශෝකය, දුකය, දොම්නසය, උපායාස යන මේ ධර්මයෝ නො උපදින්නේද ?”
“ස්වාමීනි, එසේය, ඔහු දුකට දොම්නසට පත් වේ මය.”

“ඊට හේතු කවරේද?”
“ස්වාමීනි, ඒ පුරුෂයා එම ස්ත්‍රිය කෙරෙහි දැඩි ඇළුම් සහිත වූයේ, පිළිබඳ සිත් ඇත්තේ, දැඩි ආලය ඇත්තේ, දැඩි බලාපොරොත්තු ඇත්තේ වෙයි. එහෙයින් අන් පුරුෂයෙකු සමග එක් සිටින්නාවූ, එක්ව කථා කරන්නාවූ, එක්ව විහිළු තහළු කරන්නාවූ, එක්ව සිනාසෙන්නාවූ ඒ ස්ත්‍රිය දැක ශෝකය, පරිදෙවය, දුකය, දොම්නසය, උපායාසය යන මොහු තුල උපදිත්.”

§ 25. “මහණෙනි, ඉක්බිති ඒ පුරුෂයාට මෙබඳු සිතක් වන්නේය. මම මේ ස්ත්‍රියට ආලය කලෙමි. පිලිබඳ සිත් ඇත්තේ වීමු , දැඩි වූ බලාපොරොත්තු ඇත්තේ වූමි. ඒ නිසාම මට ඇය අන් පුරුෂයෙකු සමග එක් සිටින්නාවූ, එක්ව කථා කරන්නාවූ, එක්ව විහිළු තහළු කරන්නාවූ, එක්ව සිනාසෙන්නාවූ විට ඇයය දැක ශෝකය, පරිදෙවය, දුකය, දොම්නසය, උපායාසය ඉපදින .

‘මම මේ ස්ත්‍රිය කෙරෙහි මගේ යම් ඡන්ද රාගයක් (ඇල්මක්) වේද, එය දුරු කරන්නෙම් නම්, ඉතා යෙහෙකැයි’ කියා යි. හෙතෙම එසේ සිතා ඒ ස්ත්‍රිය කෙරෙහි වූ ඇල්ම දුරු කරන්නේය. හෙතෙම පසු කලෙක අන් පුරුෂයෙකු සමග එක් සිටින්නාවූ, එක්ව කථා කරන්නාවූ, එක්ව විහිළු තහළු කරන්නාවූ, එක්ව සිනාසෙන්නාවූ ඒ ස්ත්‍රිය දක්නේය.

මහණෙනි, ඒ කුමකැයි හඟිව්ද, කිම?
ඒ පුරුෂයාට අන් පුරුෂයෙකු සමග එක් සිටින්නාවූ, එක්ව කථා කරන්නාවූ, එක්ව විහිළු තහළු කරන්නාවූ, එක්ව සිනාසෙන්නාවූ, මේ ස්ත්‍රිය දැක ශෝකය, පරිදෙවය, දුකය, දොම්නසය, උපායාසය මොහු තුල උපදින්නාහුද?”
“ස්වාමීනි, මෙය නොවේමැයි,

“ඊට හේතු කවරේද?
ස්වාමීනි, මේ පුරුෂයා මේ ස්ත්‍රිය කෙරෙහි වූ ඇළුම් පහ කලේ වෙයි. එහෙයින් අන් පුරුෂයකු සමග සිටින්නාවූ, කථාකරන්නාවූ, මහ සිනාවෙන් සිනාසෙන්නාවූ, ඒ ස්ත්‍රීය දැක ශොක පරිදෙව දුක් දොම්නස් උපායාසයෝ ඔහු තුල නූපදිත්යයි” කීහ.

§ 26. “මහණෙනි, එපරිද්දෙන්ම භික්ෂුව දුකින් නොමඩනා ලද ඔහුගේ ජීවිතය තමන්ගේ කැමැත්තෙන්ම දුක් විඳිමින් දුකින් නොමඩියි. ධාර්මික වූ සැපයද, අත් නො හරියි. ඒ සැපයෙහි මුසපත් නොවෙයි. වීර්ය කරන්නාවූ ඔහු ‘මගේ වීර්ය කිරීම හේතු කොටගෙන දුකට හේතුවූ තෘෂ්ණාව දුරුවීම වෙයි. උපෙක්ෂාව වඩන්නාවූ මගේ උපෙක්ෂාව නිසා දුකට හේතුවූ තෘෂ්ණාව දුරුවීම වේයයි’ දැනගනී.

හෙතෙම වීර්ය කිරීම හේතුකොට ගෙන දුකට හේතුවූ තෘෂ්ණාව දුරු කරයිද, එසේ ඔහු වීර්ය වඩයි. උපෙක්ෂාව වැඩීම හේතුකොට ගෙන දුකට හේතුවූ තෘෂ්ණාවේ දුරුවීමක්වේ නම් හෙතෙම උපෙක්ෂා වඩයි. එසේ වීර්ය කරන්නාවූ ඔහුගේ ඒ දුක් උපදවන හේතුව වූ තෘෂ්ණාව දුරුවේ. එසේ ඔහුගේ දුක් කෙලවර වෙයි. උපෙක්ෂාව වඩන්නා වූ ඔහුට උපෙක්ෂාව වැඩීම හේතුකොටගෙන ඒ දුක් උපදවන හේතුවවූ තෘෂ්ණාව දුරුවීම සිදු වේ, එසේ ඔහුගේ දුක් නිරෝධය වන්නේ වෙයි.

§ 27. “මහණෙනි, නැවත අනිකක්ද කියමි. භික්ෂුවක් මෙසේ සලකයි. සැප කැමතිව සැපසේ වාසය කරන්නා වූ විට මාගේ අකුසල ධර්මයෝ වැඩෙත්. කුසල ධර්මයෝ පිරිහෙත්. ශරීරයට දුක් ඇතිවන ප්‍රතිපදාවක යෙදුනහොත් මාගේ අකුසල ධර්මයෝ පිරිහෙත්. කුසල ධර්මයෝ වැඩෙත්. ඒ නිසා මම ශරීරයට දුක් ඇති කරනසේ එවන් කිලමතානු යෝගයක යෙදෙන්නේ නම් ඉතා යෙහෙකි කියායි.

හෙතෙම ශරීරයට දුක් ඇති වන පිළිවෙතක යෙදෙයි. එසේ වීර්ය කරයි. ශරීරයට දුක් ඇති වනසේ වීර්ය කරන්නාවූ ඔහුගේ අකුසල ධර්මයෝ පිරිහෙත්. කුසල ධර්මයෝ වැඩෙත්. 934

[934: මේ චේදය තුලින් සමහරක් බෞද්ධ භික්ෂුන් ධුතාංග පිරීම ආදී දළදුෂ්කර වෘත පිරීම අනුමත කිරීමක් දකිත හැක. එනමුත් මේ දුෂ්කර ධුතාංග යන් පිරීමෙන් ක්ලේශ ප්‍රහානයක් හෝ කර්මඵල නිශේදයක් බලාපොරොත්තු නොවේ. මෙය දුක්ඛ පටිපදා දණ්ඩාභින්ඥාවෙන් නිර්වාණය සාක්ෂාත් කිරීමට බලාපොරොත්තුවන ශ්‍රාවකයන් ගෙ ප්‍රතිපත්තිය වේ.]

හෙතෙම පසු කාලයකදී මේ ශරීරයට දුක් ඇති වනසේ වීර්ය නොකරයි. ඊට හේතුව කවරේද? මහණෙනි, යමක් සඳහා ඒ භික්ෂුව ශරීරයට දුක්වනසේ වීර්ය කලේද, ඒ අර්ථය ඔහු සාධනය කරගෙන ඇති නිසාය. එහෙයින් පසු කාලයෙහි ශරීරයට දුක් දෙන සේ කරන වීර්ය ඔහු නොකරයි.

§ 28. “මහණෙනි, යම් හී වඩුවෙක් හීයක් තැනීමට, ගිනි දළු දෙකෙකින් තවාද, නැවත නැවත තවාද, හීයේ ඇද හරියිද කර්මන්‍ය කරයිද, මහණෙනි, යම් හෙයකින් වනාහී හී වඩුවා විසින් ඊය ගිනි පෙනෙලි දෙකකින් තවන ලද්දේද, බොහෝ සේ ගින්නෙන් තවන ලද්දේද, ඇද හරින ලද්දේද, සුනම්‍ය කරන ලද්දේද, ඒ හී වඩුවා ඉන් පසු නැවත ඒ ඊය ගින්නෙන් නොතවයි. යලි යලිත් ගින්නෙන් නොතවයි. යලි ඇද නොහරියි. කර්මන්‍ය නොකරයි.

ඊට හේතු කවරේද?
මහණෙනි, ඒ හී වඩුවා යමක් සඳහා ගිනි පෙණෙලි දෙකකින් ඊය තැවුවේද? ඇද හැරියේ ද, කර්මන්‍ය කලේද, ඒ අර්ථය ඔහු සම්පූර්ණ කර ගත්තේ වෙයි. එහෙයින් ඊ වඩුවා පසු කාලයෙහි නැවත ඒ ඊය ගින්නෙන් නොතවයි. යලි යලිත් ගින්නෙන් නොතවයි. යලි ඇද නොහරියි. කර්මන්‍ය නොකරයි.

§ 29 . මහණෙනි, එපරිද්දෙන්ම භික්ෂුව යමක් සඳහා ශරීරයට දුක්වනසේ වීර්ය කලේද, ඒ අර්ථය ඔහු සාධනය කරගෙන ඇති නිසා ඉන් පසු කාලයෙහි ශරීරයට දුක් දෙන සේ කරන වීර්ය ඔහු නොකරයි.
ඊට හේතු කවරේද?
මහණෙනි, ඒ භික්ෂුව යම් අර්ථයක් සඳහා ශරීරයට දුක් ඇති වනසේ වීර්‍ය්‍ය කලේද, ඒ අර්ථය ඔහුට සම්පූර්ණවූයේ නම් පසු කලෙක්හි ශරීරයට දුක් උපදිනසේ වීර්‍ය්‍ය නොකරයි. මහණෙනි, මෙසේ ඔහුගේ උපක්‍රමය ඵල සහිත වෙයි. උත්සාහය ඵල සහිත වෙයි.

§ 30. “මහණෙනි, නැවත අනිකක්ද කියමි. මේ ලෝකයෙහි අර්හත්වූ සම්‍යක් සම්බුද්ධවූ අෂ්ටවිද්‍යා පසලොස් චරණ ධර්මයන්ගෙන් යුක්තවූ ශොභන ගමන් ඇත්තාවූ ලෝකය දන්නාවූ නිරුත්තරවූ දමනය කළනොහැකි පුරුෂයන් දමනය කිරීමෙහි සාර්ථ වාහකයෙකු බඳුවූ දෙවිමිනිසුන්ට අනුශාසනා කරන්නාවූ චතුස්සත්‍යයන් අවබෝධකළාවූ රාගාදී කෙලෙසුන් විනාශ කළාවූ තථාගතයන් වහන්සේ නමක් පහල වෙත්.

ඒ තථාගතයන් දෙවියන් සහිතවූ මාරයන් සහිතවූ බ්‍රහ්මයන් සහිතවූ මහණ බමුණන් සහිතවූ දෙවිමිනිසුන් සහිතවූ සත්ව ප්‍රජාව සහිතවූ මේ ලෝකය විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂකොට දැන ගනියි. ඒ තථාගතයන් මුල යහපත්වූ මැද යහපත්වූ කෙළවර යහපත්වූ අර්ථ සහිතවූ ඛ්‍යඤ්ජන සහිතවූ සියල්ල සම්පූර්ණවූ ධර්මය දේශනා කරයි. පිරිසිදුවූ මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යාව ප්‍රකාශ කරයි.

§ 31. ඒ ධර්මය ගෘහපතියෙක් හෝ ගෘහපති පුත්‍රයෙක් හෝ යම් කුල පුත්‍රයෙක් අසයි. ඔහු ඒ ධර්මය අසා තථාගතයන් කෙරෙහි ශ්‍රද්ධාව ඇති කර ගනී. හෙතෙම ඒ ශ්‍රද්ධාවෙන් යුක්තවූයේ මෙසේ සලකයි. “ගිහිගෙයි විසීම අවහිරය. රාගාදී කෙලෙස් ඉපදීමට එය මාර්ගයයි. පැවිදිවීම අවකාශය මෙන් නිදහස් ස්ථානයයි. ගිහිගෙයි වසන්නහුට ඒකාන්තයෙන් සම්පූර්ණවූ ඒකාන්තයෙන් පිරිසිදුවූ ලියනලද සකක් වැනිවූ මේ සාසන බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිරෙන්ට පහසු නොවෙයි. මම හිසකේ රැවුල් කපා කසට වත් හැඳ ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වන්නෙම් නම් ඉතා යහපති කියායි.“

හෙතෙම පසු කලෙක්හි ස්වල්පවූ හෝ මහත්වූ හෝ වූ සිය සම්පත් රාශිය හෝ හැර ස්වල්පවූ හෝ මහත්වූ සිය නෑ පිරිවර හෝ හැරදමා, හිසකේ රැවුල් කපා කසට වස්ත්‍ර හැඳ ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වෙයි.

§ 32. මෙසේ පැවිදි වූ ඔහු භික්ෂූන්ගේ අධිශීල ශික්ෂාවට හා සමාන දිවි පැවැත්මට පැමිණියේ, ප්‍රාණ ඝාතය හැර ප්‍රාණ ඝාතයෙන් වැලකෙයි. අවි ආයුධ දඬු ආයුධ පාවිච්චිය අත්හලේ සියළු සතුන් කෙරෙහි අනුකම්පාවෙන් යුතු වෙයි.

අන් සතු දේ ගැනීමෙන් වැළකුණේ දුන්දෙය පමණක් ම ගන්නේය. සොර නොවූ පවිත්‍රවූ සිරිතින් වාසය කරයි.

අබ්‍රහ්මචර්‍ය්‍යාව හැර ශ්‍රේෂ්ඨවූ හැසුරුම් ඇත්තේ ග්‍රාම ධර්මයක්වූ මෛථූන සේවනයෙන් දුරු වූයේ වෙයි.

මුසාවාදය හැර බොරුකීමෙන් වැළකුණේ සත්‍යය පමණක්ම කියන්නේය.

සත්‍යයෙන් සත්‍යය ගැලපීම ඇත්තේ, ස්ථීර වචන ඇත්තේ, ඇදහිය යුතු වචනයෙන් ලෝකයා රවටන්නෙක් නොවේ. පිසුනු වචනය හැර කේලාම් කීමෙන් වැළකුණේ වෙයි. මෙතැනින් අසා මොවුන්ගේ බිඳීම පිණිස එතැන්හි නොකියන්නේ වෙයි. එතැනින් අසා ඔවුන්ගේ බිඳීම පිණිස මෙතන්හි නොකියන්නේ වෙයි.“

මෙසේ බිඳුනවුන් ගලපන්නේ හෝ, සමගි වූවන්ට අනුබල දෙන්නේ හෝ, සමගියට කැමැත්තේ, සමගියෙහි ඇළුනේ සමගියට සතුටු වන්නේ, සමගි කරන වචන කියන්නේ, වෙයි. ඵරුෂ වචනය හැර රළු බස් කීමෙන් වැළකුණේ වෙයි යම් ඒ වචනයක් නිදොස්ද, කණට සැපද, ප්‍රෙමණීයද, සිත සතුටු කරන්නේද, පුරවැසිභාවයට සුදුසුද, බොහෝ දෙනා කැමතිද, බොහෝ දෙනාගේ මනවඩන්නීද, එබඳු වචනය කියන්නේ වෙයි.

සම්ඵප්‍රලාපය හැර හිස්වූ කථා කීමෙන් වැළකුණේ වෙයි. කලට සුදුසු වචන ඇත්තේ, සත්‍යවූ වචන ඇත්තේ, අර්ථයෙන් යුත් වචන ඇත්තේ, ධර්මයෙන් යුත් වචන ඇත්තේ, විනය සම්බන්ධවූ වචන ඇත්තේ, සුදුසු කල්හි කරුණු දැක්වීම් සහිතවූ ප්‍රමාණවත්වූ, අර්ථයෙන් යුක්තවූ, නිධානයක් මෙන් සිතෙහි තැබිය යුතු වචන කියන්නේ වේ.

හෙතෙම තෘණ ගස්, වැල්, සිඳීම්, බිඳීම්, ආදියෙන් වැලකුණේ වෙයි. එක වේලක් පමණ ආහාර ගන්නේය.
රාත්‍රි භොජනයෙන් වැලකුණේය.
නොකල්හි වැලඳීමෙන් වැලකුණේයි.

නැටුම්, ගීකීම්, වීණා ආදිය වැයීම්, විසුළු දැකීම් යන මෙයින් වැලකුණේ වෙයි.
මල් ගඳ විලවුන් දැරීම එයින් සැරසීම අඩුතැන් පිරවීමෙන් අලංකාර කිරීම යන මෙයින් වැලකුණේ වෙයි.
උසසුන් මහ අස්නෙන් වැලකුණේ වෙයි.
රන්රිදී මසු කහවනු (මුදල්) පිළිගැන්මෙන් වැලකුණේ වෙයි.

අමු ධාන්‍ය වර්ග පිළිගැන්මෙන් වැලකුණේ වෙයි. අමු මස් වර්ග පිළිගැන්මෙන් වැලකුණේ වෙයි.
ස්ත්‍රීන් හා ළදැරියන් පිළිගැන්මෙන් වැලකුණේ වෙයි.
දාසීන් හා දාසයන් පිළිගැන්මෙන් වැලකුණේ වෙයි.
එළුවන් තිරෙළුවන් පිළිගැන්මෙන් වැලකුණේ වෙයි. කුකුළන් හූරන් පිළිගැන්මෙන් වැලකුණේ වෙයි. ඇතුන්, ගවයන්, අසුන්, වෙළඹුන් පිළිගැන්මෙන් වැලකුණේ වෙයි.
කෙත්, වතු, ඉඩම් පිළිගැන්මෙන් වැලකුණේ වෙයි.

දූත මෙහෙවරය, පණිවුඩ පණත්වල යෙදීමය යන මෙයින් වැලකුණේ වෙයි,
වෙළඳාම පිණිස ගණුදෙනු කිරීමෙන් වැලකුණේ වෙයි.
තරාදි ආදියෙන් වංචා කිරීමය,
රන් හා නොරන් මිශ්‍ර වංචා කිරීමය,
වී ආදිය මැනීමෙන් වංචා කිරීමය යන මෙයින් වැලකුණේ වෙයි,
අල්ලස් ගැනීමය, වංචා කිරීමය, උපායෙන් අනුන් රැවටීමය, කපටිකමය යන මෙයින් වැලකුණේ වෙයි.
සිඳීමය, මැරීමය, බැඳීමය, සැඟවී සිට වස්තු පැහැර ගැන්මය, ගම් පැහැරීමය, බලාත්කාරකම් කිරීමය යන මෙයින් වැලකුණේ වෙයි.

§ 33   .හෙතෙම කය පරිහරණයට සුදුසුවූ සිවුරෙන් හා කුස පරිහරණයට සුදුසු පිණ්ඩපාතයෙන් සතුටු වූයේ වෙයි. යම් යම් තැනෙක්හිම යයිද, අටපිරිකර හැර ගෙණම යයි. යම්සේ පියාපත් ඇති පක්ෂියෙක් යම් යම් තැනෙක්හිම පියාඹයිද, පියාපත් බර පමණක්ම දරමින් පියාඹයිද, එලෙසින්ම භික්ෂුව කය පරිහරණයට සුදුසුවූ සිවුරෙන් හා කුස පරිහරණයට සුදුසු පිණ්ඩපාතයෙන් සතුටු වෙයි. යම් යම් තැනෙක්හිම යේද පිරිකර හැරගෙණමයයි. හෙතෙම මේ ආර්‍ය්‍යවූ ශීල රාශියෙන් යුක්තවූයේ ආධ්‍යාත්මිකවූ නිරවද්‍ය වූ සුවය විඳියි.

§ 34. ඔහු ඇසින් රූපයක් දැක ඒ අරමුණ නිමිති වශයෙන් නොගන්නේය. කුඩා සලකුණු වශයෙන් නොගන්නේය. යම් හේතුවකින් මේ චක්ෂුරින්ද්‍රියෙහි අසංවරව වාසය කරන්නහුට විෂම ලෝභය හා දොම්නසය යන ලාමකවූ අකුසල ධර්මයෝ උපදිත්ද, ඔවුන්ගේ සංවරය පිණිස පිළිපදියි, චක්ෂුරීන්ද්‍රිය රකියි. චක්ෂුරින්ද්‍රියෙහි සංවරයට පැමිණෙයි,

කණින් ශබ්දය අසා තපසින් කෙළවර වීමෙන් අලුත්වූ කර්මයන් නොකිරීමෙන් මත්තෙහි නොහට ගැණීමවේ. මත්තෙහි නොහට ගැණීමෙන් කර්මයන්ගේ නැසීමවේ. කර්මයන් නැසීමෙන් දුක්නැසීමවේ. දුක් නැසීමෙන් වේදනා නැසීමවේ. වේදනානැසීමෙන් නාසයෙන් සුවඳ ආඝ්‍රාණය කොට නිමිති වශයෙන් නොගන්නේ, කුඩා සලකුණු වශයෙන් නොගන්නේ වෙයි. යම් හේතුවකින් මේ ශ්‍රොතෙන්ද්‍රියයෙහි අසංවරව වාසය කරන්නහුට විෂම ලෝභය හා දොම්නස යන ලාමකවූ අකුසල ධර්මයෝ අනුව වහනය වෙත්ද ඔවුන්ගේ සංවරය පිණිස පිළිපදියි ශ්‍රොතෙන්ද්‍රිය රකියි. ශ්‍රොතෙන්ද්‍රියයෙහි සංවරයට පැමිණෙයි.“

දිවෙන් රසය විඳ නිමිති වශයෙන් නොගන්නේ, කුඩා සලකුණු වශයෙන් නොගන්නේ වෙයි. යම් හේතුවකින් මේ ඝ්‍රාණෙන්ද්‍රියයෙහි අසංවරව වාසය කරන්නහුට විෂම ලෝභය හා දොම්නස යන ලාමකවූ අකුසල ධර්මයෝ වහනය වෙත්ද ඔවුන්ගේ සංවරය පිණිස පිළිපදියි. ඝ්‍රාණෙන්ද්‍රිය රකියි. ඝ්‍රාණෙන්ද්‍රියයෙහි සංවරයට පැමිණෙයි. කයින් ස්පර්ෂ කළයුත්ත ස්පර්ෂ කොට නිමිති වශයෙන් නොගන්නේ, කුඩා සලකුණු වශයෙන් නොගන්නේ වෙයි. යම් හේතුවකින් මේ ජිව්හේන්ද්‍රියයෙහි අසංවරව වාසය කරන්නහුට විෂම ලෝභය හා දොම්නස යන ලාමකවූ අකුසල ධර්මයෝ අනුව වහනය වෙත්ද, ඔවුන්ගේ සංවරය පිණිස පිළිපදියි. ජිව්හේන්ද්‍රිය රකියි. ජිව්හේන්ද්‍රියයෙහි සංවරයට පැමිණෙයි. සිතින් ධර්මය දැන නිමිති වශයෙන් නොගන්නේ කුඩා ලකුණු වශයෙන් නොගන්නේ වෙයි. යම් හේතුවකින් මේ මනීන්ද්‍රියෙහි අසංවරව වසන්නහුට විෂම ලෝභ දොම්නස් යන ලාමකවූ අකුශල ධර්මයෝ අනුව උපදිත්ද, ඔවුන්ගේ සංවරය පිණිස පිළිපදියි. මනින්ද්‍රිය රකියි, මනින්ද්‍රියෙහි සංවරයට පැමිණෙයි. හෙතෙම මේ ආර්‍ය්‍යවූ ඉන්ද්‍රිය සංවරයෙන් යුක්තවූයේ, ආධ්‍යාත්මිකවූ ආධ්‍යාත්මිකවූ සැපද විඳියි.“

§ 35 . ඔහු ඉදිරියට යෑමෙහි හැරී යෑමෙහි මනාව දැන එසේ ගමන් කරන්නේය. ඉදිරිය බැලීමෙහි, වටපිට බැලීමෙහි, මනාව දැන සතියෙන්ම ඒ කරන්නේ වෙයි.
අත් පා ඇකිලීමෙහිදී , දිගහැරීමෙහිදී මනාව දැන, සතියෙන්ම ඒ කරන්නේ වෙයි. සඟල සිවුර හා පාත්‍රා සිවුරු දැරීමෙහි මනාව දැන සතියෙන්ම ඒ කරන්නේ වෙයි. අනුභව කිරීමෙහිදී, පානය කිරීමෙහිදී , කඩා කෑමෙහි, රස විඳීමෙහි, මනාව දැන කරන්නේ වෙයි.
මළ මුත්‍ර කිරීමෙහි මනාව දැන කරන්නේ වෙයි.
යාමෙහි, සිටීමෙහි, හිඳීමෙහි, සයනයෙහි නිදි දුරුකිරීමෙහි, කථාවෙහි නිශ්ශබ්ද වීමෙහි මනාව දැන කරන්නේ වෙයි.

§ 36. මෙසේ මේ ආර්‍ය්‍යවූ ශීල රාශියෙන්ද යුක්තවූයේ, මේ ආර්‍ය්‍යවූ ඉන්ද්‍රිය සංවරයෙන්ද, යුක්තවූයේ, මේ ආර්‍ය්‍ය වූ සිහි නුවණ නොහොත් සතියෙන්ද සම්පජනන යන දෙකින් යුක්තවූයේ, මහා වනයය , රුක්මුලය පර්වතය, කඳුරැළිය, පර්වතගුහාය, සොහොනය, ඉතා දුරවන සෙනසුනය, හිස් තැනය, පිදුරුගොඩය, යන ආදී විවේක සෙනාසනයන් භජනය කරයි.“

§ 37 . ඔහු එක් වරක් පමණක් ආහාර ගන්නේ, පිණ්ඩපාතය හා දාන පරිභෝජනයෙන් පසුව, පර්‍ය්‍යංකය බැඳගෙණ ඍජුකොට කය පිහිටුවා සතිය ඉදිරිපත් කොට තබා හිඳගණියි.
හෙතෙම ස්කන්ධ ලෝකයෙහි අභිජ්ජාවයැ යි දන්නා විෂම ලෝභය දුරුකොට, විෂම ලෝභය පහව ගියාවූ, සිතින් යුක්තව වාසයකරයි.
විෂම ලෝභයෙන් සිත මුදා සිත පිරිසිදු කරයි. දොස යෙන් දූෂිතවූ සිත දුරුකොට ක්‍රොධ රහිත සිත් ඇත්තේ, සියළු සතුන් කෙරෙහි හිතානුකම්පා ඇත්තේ, වාසය කරයි. ව්‍යාපාද ප්‍රදොෂයෙන් සිත පිරිසිදු කරයි.“

ථීනමිද්ධය හැර , ථීනමිද්ධය නැත්තේ, ආලෝක සංඥා ඇත්තේ, සිහි නුවණ ඇත්තේ වාසය කරයි. ථීනමිද්ධයෙන් සිත පිරිසිදු කරයි. නොසන්සුන් බව හා පසුතැවීම හැර නොසන්සුන්නොවී ඇතුලත සංසුන් සිත් ඇතිව වාසය කරයි. උද්ධච්චකුක්කුච්චයෙන් සිත පිරිසිදු කරයි, සැකකිරීම හැර එතර කළාවූ සැක ඇත්තේ, කුශල ධර්මයන්හි සැක රහිතවූයේ වාසය කරයි, විචිකිච්ඡාවෙන් සිත පිරිසිදු කරයි.“

§ 38 . ඔහු මෙසේ චිත්තය කෙළෙසන , ප්‍රඥාව දුර්වලකරන, නීවරණ පස හැර ලා කාමයන්ගෙන් වෙන්වම අකුසල ධර්මයන්ගෙන් වෙන්වම විතර්ක සහිතවූ, විචාර සහිතවූ විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වාසය කරයි.

මහණෙනි, මෙසේද ඔහුගේ ප්‍රතිපදාව සඵල වූයේ වෙයි. වීර්‍ය්‍ය සඵලවූයේ වෙයි.

§ 39. මහණෙනි, නැවත අනිකක්ද කියමි. භික්ෂුව විතර්ක හා විචාරයන්ගේ සංසිඳීමෙන්, ඇතුළත පැහැදීම ඇත්තාවූ, චිත්තයාගේ එකඟ බැව් ඇත්තාවූ, විතර්ක රහිතවූ, විචාර රහිතවූ, සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ද්විතීය ධ්‍යානයට පැමිණ වාසය කරයි. මහණෙනි, මෙසේද ඔහුගේ පටිපදාව සඵලවූයේ වෙයි. වීර්‍ය්‍යය සඵල වූයේ වෙයි.“

§ 40 .මහණෙනි, නැවත අනිකක්ද කියමි. භික්ෂුව ප්‍රීතියද, නොඇල්මෙහිද උපෙක්ෂා ඇත්තේද, සතියෙන් හා සම්පජන්නයෙන් යුතුව, වාසය කරයි. සැපයද නාමකයින් විඳියි. ආර්‍ය්‍යයෝ යම් ධ්‍යානයක් උපෙක්ෂා ඇත්තේ, සිහි ඇත්තේ සැපවිහරණ ඇත්තේයයි කියත්ද, ඒ තෘතීයධ්‍යානයට පැමිණ වාසය කරයි. මහණෙනි, මෙසේද උපක්‍රමය සඵලවූයේ වෙයි. වීර්‍ය්‍යය කිරීම සඵලවූයේ වෙයි.“

§ 41 , මහණෙනි, නැවත අනිකක්ද කියමි.
භික්ෂුව සැපයද දුරු කිරීමෙන්, දුකද දුරු කිරීමෙන් පළමු කොටම සොම්නස්, දොම්නස්, දෙදෙනාගේ නැසීමෙන් දුක් නැත්තාවූ සැප නැත්තාවූ, උපෙක්ෂා ස්මෘති දෙදෙනාගේ පිරිසිදු බැව් ඇති චතුර්ථ ධ්‍යානයට පැමිණ වාසය කරයි.

මහණෙනි, මෙසේද පටිපදාව සඵලවූයේ වෙයි. වීර්‍ය්‍යය සඵලවූයේ වෙයි. හෙතෙම මෙසේ සිත එකඟවූ කල්හි පිරිසිදුවූ කල්හි නිර්මලවූ කල්හි, කෙලෙස් රහිතවූ කල්හි, පහවගිය උපක්ලේශ ඇති කල්හි, මෘදුවූ කල්හි, කර්මක්ෂමවූ කල්හි ස්ථීරවූ කල්හි කම්පා නොවන බවට පැමිණි කල්හි, පෙර විසූකඳ පිළිවෙල සිහිකරණ නුවණ පිණිස සිත එලවයි.

§ 42 . හෙතෙම නොයෙක් ප්‍රකාරවූ පෙරවිසූ කඳ පිළිවෙළ සිහි කරයි. එනම් ජාති එකක්ද, ජාති දෙකක්ද, ජාති තුනක්ද, ජාති හතරක්ද, ජාති පහක්ද, ජාති දසයක්ද, ජාති විස්සක්ද, ජාති තිහක්ද, ජාති හතලිහක්ද, ජාති පණහක්ද, ජාති සියයක්ද, ජාති දහසක්ද, ජාති ලක්ෂයක්ද, නොයෙක් සංවර්ත කල්පයන්ද, නොයෙක් විවර්ත කල්පයන්ද, නොයෙක් සංවර්ත විතර්ක කල්පයන්ද, අසවල් තන්හි මෙබඳු නම් ඇත්තෙක්, මෙබඳු ගොත්‍ර ඇත්තෙක්, මෙබඳු වර්ණ ඇත්තෙක් මෙබඳු ආහාර ඇත්තෙක් මෙබඳු සැපදුක් විඳින්නෙක්, මෙබඳු ආයුෂය කෙළවර කොට ඇත්තෙක් වීමි. ඒ මම එයින් චුතවූයේ අසවල් තන්හි ඉපදුනෙමි. එහිදු මෙබඳු නම් ඇත්තෙක්, මෙබඳු ගොත්‍ර ඇත්තෙක්, මෙබඳු වර්ණ ඇත්තෙක්, මෙබඳු ආහාර ඇත්තෙක්, මෙබඳු සැපදුක් විඳින්නෙක්, මෙබඳු ආයුෂය කෙළවර කොට ඇත්තෙක්, වීමි. ඒ මම එයින් චුතවූයේ මෙහි උපන්නේ වෙමියි. මෙසේ ආකාර සහිතවූ උදෙසීම් සහිතවූ අනෙක ප්‍රකාරවූ, පෙරවිසූ කඳ පිළිවෙල සිහි කරයි.

මහණෙනි, මෙසේද පටිපදාව සඵලවූයේ වෙයි. වීර්‍ය්‍යය සඵලවූයේ වෙයි. “

§ 43 .හෙතෙම මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, නිර්මලවූ කල්හි, කෙලෙස් රහිතවූ කල්හි, පහවගිය උපක්ලේශ ඇති කල්හි, මෘදුවූ කල්හි, කර්මක්ෂමවූ කල්හි, සිටි කල්හි කම්පා නොවන බවට පැමිණි කල්හි සත්වයන්ගේ චුත වීම හෝ ඉපදීම දැන ගැණීම පිණිස සිත එලවයි.

හෙතෙම දිව්‍යවූ, පිරිසිදුවූ, මිනිසැස ඉක්ම පැවැත්තාවූ ඇසින්, චුතවන්නාවූද උපදින්නාවූද, හීනවූ, ප්‍රණීතවූ, සුවර්ණවූ, දුර්වර්ණයවූ, යහපත් ගතිවලට ගියාවූද, අයහපත් ගතිවලට ගියාවූද, සත්වයන් දකියි. කම්වූ පරිද්දෙන් පරලොව ගියාවූ සත්වයන් දැන ගණියි. ඒකාන්තයෙන් මේ පින්වත් සත්වයෝ කාය දුශ්චරිතයෙන් යුක්තවූවාහුය. වාක් දුශ්චරිතයෙන් යුක්තවූවාහුය. මනො දුශ්චරිතයෙන් යුක්තවූවාහුය. ආර්‍ය්‍යයන්ට උපවාද කියන්නාහුය. මිථ්‍යා දෘෂ්ටි ඇත්තාහුය. මිථ්‍යා දෘෂ්ටීන්ගේ කර්ම සමාදන්වූවාහුය. ඔව්හු ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ දුකට පිළිසරණවූ විවසව පතිතවන්නාවූ නරකයෙහි උපන්නාහුය.

මේ පින්වත් සත්වයෝ වනාහී කාය සුචරිතයෙන් යුක්තවූවාහුය. වාග් සුචරිතයෙන් යුක්තවූවාහුය. මනො සුචරිතයෙන් යුක්තවූවාහුය. ආර්‍ය්‍යයන්ට උපවාද නොකියන්නාහුය. සම්‍යක් දෘෂ්ටි ඇත්තාහුය. සම්‍යක් දෘෂ්ටීන්ගේ කර්ම සමාදන්වූවාහුය. ඔව්හු ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇත්තාවූ, ස්වර්ගලෝකයෙහි උපන්නාහුයයි, මෙසේ දිව්‍යවූ, පිරිසිදුවූ, මිනිසැස ඉක්ම පැවැත්තාවූ, ඇසින් චුතවන්නාවූද, උපදින්නාවූද, හීනවූ ප්‍රණීතවූ, සුවර්ණවූ, දුර්වර්ණවූ, සුගතවූ දුර්ගතවූ සත්වයන් දකියි. කම්වූ පරිද්දෙන් පරලොවගියාවූ සත්වයන් දැනගණියි. මහණෙනි, මෙසේද උපක්‍රමය සඵලවූයේ වෙයි. වීර්‍ය්‍ය සඵලවේ.

§ 44 . හෙතෙම මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, නිර්මලවූ කල්හි, කෙලෙස් රහිතවූ කල්හි, පහව ගිය උපක්ලේශ ඇති කල්හි, මෘදුවූ කල්හි, කර්මක්ෂමවූ කල්හි, ස්ථිරවූ කල්හි, කම්පා නොවන බවට පැමිණි කල්හි, ආශ්‍රවයන්ගේ ක්ෂයවීම දැනගැණීම පිණිස සිත එලවයි.

හෙතෙම මෙය දුකය තත්වූ පරිද්දෙන් දැනගණියි. මේ දුක ඉපදීමට හේතුවයයි තත්වූ පරිද්දෙන් දැන ගණියි. මේ දුක් නැති කිරීමයයි තත්වූ පරිද්දෙන් දැන ගණියි. මේ දුක් නැති කිරීමට පිළිපදින්නාවූ මාර්ගයයි තත්වූ පරිද්දෙන් දැන ගණියි. මේ ආශ්‍රවයෝයයි තත්වූ පරිද්දෙන් දැන ගණියි. මේ ආශ්‍රවයන්ගේ ඇති වීමට හේතුවයයි තත්වූ පරිද්දෙන් දැන ගණියි. මේ ආශ්‍රවයන්ගේ නිරෝධයයි තත්වූ පරිද්දෙන් දැන ගණියි. මේ ආශ්‍රවයන් නිරුද්ධ කිරීමට පිළිපදින මාර්ගයයි තත්වූ පරිද්දෙන් දැන ගණියි.

§ 45 .මෙසේ දන්නාවූ මෙසේ දක්නාවූ, ඔහුගේ කාමාශ්‍රව කෙරෙන්ද, සිත මිදේ භවාශ්‍රව කෙරෙන්ද සිත මිදේ. අවිද්‍යාශ්‍රව කෙරෙන් සිතමිදේ. මිදුනු කල්හි මිදුනේය යන දැනීම වේ. ජාතිය ක්ෂය කරන ලද්දීය. බ්‍රහ්මචර්‍ය්‍යාව වැස නිමවන ලද්දේය, (සතරමගින්) කටයුතු දෙය කරන ලද්දේය. මේ ආත්මභාවය පිණිස අනිකක් නැතැයි දැනගණියි.

මහණෙනි, මෙසේද පිළිවෙත් පිරීම සඵලවූයේ වෙයි. වීර්‍ය්‍යය සඵලවූයේ වෙයි.“

§ 46 . මහණෙනි, තථාගතයන් මෙබඳු වාද ඇත්තේ වෙයි. මහණෙනි, මෙබඳු වාද ඇත්තාවූ තථාගතයන්ට කරුණු සහිතවූ පැසසිය යුතු කරුණු දසයක් පැමිණෙත්.

(i) මහණෙනි, ඉදින් පෙර කළ කර්ම හේතුවෙන් යමෙක් මේ භවයෙහි සැපදුක් විඳිත්නම් මහණෙනි, ඒකාන්තයෙන් තථාගතයන් මෙකල්හි මෙබඳුවූ ආශ්‍රව රහිතවූ, සැප විඳිමට පෙර භවයන්හිදී තථාගතයන් කල කුසල කිරීම නිසා විය යුතුය.

(ii) මහණෙනි, ඉදින් සත්වයෝ ඊශ්වරයෙකුගේ මැවීම් හේතුවෙන් සැපදුක් විඳත්නම් මහණෙනි, එකාන්තයෙන් තථාගතයන් මෙකල්හි මෙබඳු ආශ්‍රව රහිතවූ සැපවූ වේදනා විඳින්නේ තථාගතයන් ඉතා යහපත් සර්ව බලධාරියෙකු විසින් මවන ලද නිසා විය යුතුය.

(iii) මහණෙනි, ඉදින් සත්වයෝ කිසි හේතුවක් නැතිව ඉබේම සැපදුක් විඳිත්නම් මහණෙනි, එකාන්තයෙන් තථාගතයන්, මෙකල්හි මෙබඳුවූ ආශ්‍රව රහිතවූ සැපවූ වේදනා විඳින්නෙ තතාගතයන්ගේ මහා වාසනාවක් නිසා විය යුතුය.

(iv) මහණෙනි, ඉදින් සත්වයෝ සය වැදෑරුම් වූ ඉපදීම හේතුවෙන් සැපදුක් විඳිත් නම් මහණෙනි, එකාන්තයෙන් තථාගතයන්, මෙකල්හි මෙබඳුවූ ආශ්‍රව රහිතවූ සැප වේදනා විඳින්නෙ , මනා ඉපදීම් ඇත්තෙක් නිසා විය යුතුය.

(v) මහණෙනි, ඉදින් සත්වයෝ මේ ආත්මයෙහි සිය ප්‍රතිපදාව හේතුවෙන් සැපදුක් විඳිත්නම් මහණෙනි, එකාන්තයෙන් තථාගතයන් මෙකල්හි මෙබඳුවූ, ආශ්‍රව රහිතවූ, සැප , වේදනා විඳින්නෙ, තථාගතය ඉතා යහපත් පිළිවෙතක් අනුගමනය කල නිසා විය යුතුය.“

(vi) මහණෙනි, ඉදින් සත්වයෝ පෙර කළ යහ කර්ම හේතුවෙන් සැප විඳිත් නම් එයින් ද තථාගතයන් මේ සා සැප වේදනා විඳින්නේ පෙර කල මහා කුසල නිසා තථාගතයන් පැසසිය යුතු වේ. ඉදින් සත්වයෝ පෙර කළ කර්ම හේතුවෙන් සැප දුක් නො විඳිත් නම් එයින්ද, තථාගතයන් පැසසිය යුතුවේ.

(vii) මහණෙනි, ඉදින් සත්වයෝ ඊශ්වරයෙකුගේ මැවීම් හේතුවෙන් සැප දුක් නොවිඳිත් නම් එයින් තථාගතයන් පැසසිය යුතු වේ. ඉදින් සත්වයෝ ඊශ්වරයකුගේ මැවීම් හේතුවෙන් සැප දුක් නො විඳිත් නම් එයින් ද තථාගතයන් පැසසිය යුතු වේ.

(viii) මහණෙනි, ඉදින් සත්වයෝ අහේතුවෙන් සැප දුක් විඳිත් නම් එයින් ද තථාගත යන් පැසසිය යුතු වේ. ඉදින් සත්වයෝ හේතුවෙන් සැප දුක් නො විඳිත් නම් එයින් ද, තථාගත තෙම පැසසිය යුතු වේ.

(ix) මහණෙනි, ඉදින් සත්වයෝ සය වැදෑරුම් ඉපදීම් හේතුවෙන් සැප දුක් විඳිත් නම් එයින් තථාගතයන් පැසසිය යුතු වේ. ඉදින් සත්වයෝ ඉපදීම් හේතුවෙන් සැප දුක් නොවිඳිත් නම් එයින්ද, තථාගත තෙම පැසසිය යුතු වේ.

(x) මහණෙනි, ඉදින් සත්වයෝ මේ ආත්මයෙහි පටිපදාව හේතුවෙන් සැප දුක් විඳිත් නම් එයින් ද තථාගතයන් පැසසිය යුතුවේ. ඉදින් සත්වයෝ ඉහාත්මයෙහි උපක්‍රම හේතුවෙන් සැප දුක් නො විඳිත් නම් එයින් ද තථාගතයන් පැසසිය යුතු වේ.

මහණෙනි, තථාගතයන් මෙ බඳු වාද ඇත්තේ වෙයි මහණෙනි, මෙ බඳු වාද ඇත්තා වූ තථාගතයන්ට හේතු යුක්ති සහගත වූ මේ පැසසිය යුතු කරුණු දසය ඇත්තේය ” යනු වෙන් භාග්‍යවතුන් වහන්සේ වදාළේය.

මේ දේසනාව ඇසු ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ වචනය සතුටින් පිළිගත්තාහුය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.