AN 05-06-01 .  නීවරණ වර්‍ගය

AN 05-06-01-01. නීවරණ සූත්‍රය

§ 1. එක් කාලයෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවනයෙහි අනේපි්ඩු සිටුහුගේ අරමෙහි වාසය කරණ සේක.

එකල්හි දිනක් භාග්‍යවතුන් වහන්සේ, “මහණෙනි” යි කියා භික්‍ෂූන් ආමන්ත්‍රණය කළ සේක. “පින්වතුන් වහන්ස” කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.

§ 2. “මහණෙනි, කුශල් මග අවුරන්නාවූ, සිත මැඩගෙන හටගන්නාවූ, ප්‍රඥාව දුර්වල කරන්නාවූ, නීවරණ පසක් වෙත්.
“කවර පසක්ද යත්?

  • “කාමච්චන්දය ““කුශල් මග අවුරන්නාවූ, සිත මැඩගෙන හටගන්නාවූ, ප්‍රඥාව දුර්වල කරන්නාවූ, නීවරණයක්වේ.
  • ව්‍යාපාදය, කුශල් මග අවුරන්නාවූ, සිත මැඩගෙන හටගන්නාවූ, ප්‍රඥාව දුර්වල කරන්නාවූ, නීවරණය වේ.
  • ථීන-ම්ද්‍ධය, කුශල් මග අවුරන්නාවූ, සිත මැඩගෙන හටගන්නාවූ, ප්‍රඥාව දුර්වල කරන්නාවූ, නීවරණය වේ.
  • “උද්‍ධච්ච- කුක්කුච්චය කුශල් මග අවුරන්නාවූ, සිත මැඩගෙන හටගන්නාවූ, ප්‍රඥාව දුර්වල කරන්නාවූ, නීවරණය වේ.
  • “විචිකිච්ඡාව කුශල් මග අවුරන්නාවූ, සිත මැඩගෙන හටගන්නාවූ, ප්‍රඥාව දුර්වල කරන්නාවූ, නීවරණය වේ.

“මහණෙනි, කුශල් මග අවුරන්නාවූ, සිත මැඩගෙන හටගන්නාවූ, ප්‍රඥාව දුර්වල කරන්නාවූ, නීවරණ පස එසේ වෙත්.

§ 3, “මහණෙනි, යම් භික්‍ෂුවක් කුශල් මග අවුරන්නාවූ, සිත මැඩගෙන හටගන්නාවූ, ප්‍රඥාව දුර්වල කරන්නාවූ, මේ නීවරණ පස දුරු නොකොට, බල නැත්තාවූ දුර්වල ප්‍රඥාවෙන් ඉන්නේ නම් ඔහු කිසිදා ස්වාර්ථ සාධනය කරගන්නට අසමත් වන්නේය. අනුනට යහපතක් ලඟා කරවන්නටද අසමත් වන්නේය. ඔහු කිසිදා ආර්යය භාවයට සුදුසු ඤාණ දර්‍ශන විශේෂයක් ප්‍රත්‍යක්‍ෂ කරන්නේය. කියන්නේ නම් එය සිදුවිය හැක්කක් නොවේ.

“මහණෙනි, යම්සේ උස්පර්‍වතයෙන් පටන් ගන්නාවූ ඉතා දිගු දුරක් ගලන්නාවූ බොහෝ ගමන් කරන්නාවූ, වේගයෙන්ව බැස යන්නාවූ, හැරගෙන යායුත්ත හැරගෙන යන්නාවූ, ගඞ්ගාවක් වේද, ඒ ගඞ්ගාවේ ජලය පාලනය කරනා නිලධාරියෙක් වගේ පුරුෂයෙක් දෙපසින් ජල මාර්‍ග දොරටු විවෘත කරන්නේද, මහණෙනි, මෙසේ වනාහි ගඟ මැද ඒ දිය පහර වික්‍ෂිප්තවූයේ, විසිර ගියේ, විශේෂයෙන් ගැනීම් ඇත්තේ, දුර ගමන් කිරීම නොවන්නේද, ගෙන යා යුත් ගෙන නොයන්නේද,

“මහණෙනි, මෙපරිද්දෙන්ම ඒ භික්‍ෂුතෙම ඒකාන්තයෙන් කුශල් මග අවුරන්නාවූ, සිත මැඩගෙන හටගන්නාවූ, ප්‍රඥාව දුර්වල කරන්නාවූ, මේ නීවරණ පස දුරු නොකොට බල නැත්තාවූ, දුර්වලවූ ප්‍රඥාවෙන් තමාගේ අර්ථය හෝ දන්නේය. අනිකාගේ අර්ථය හෝ දන්නේය. උභයාර්ථය හෝ දන්නේය. මනුෂ්‍ය ධර්‍මයෙන් මත්තෙහිවූ, ආර්‍ය්‍ය භාවයට සුදුසුවූ, ඥාන දර්‍ශන විශේෂයක් ප්‍රත්‍යක්‍ෂ කරන්නේය යන මේ කාරණය විද්‍යමාන නොවේ.

“මහණෙනි, ඒ භික්‍ෂු තෙම ඒකාන්තයෙන් කුශල් මග අව්රන්නාවූ, සිත මැඩගෙන හට ගන්නාවූ, ප්‍රඥාව දුර්වල කරන්නාවූ, මේ පඤ්ච නීවරණයන් දුරුකොට, බලවත්වූ ප්‍රඥාවෙන් තමාගේ අර්ථය හෝ දන්නේය. අනිකාගේ අර්ථය හෝ දන්නේය. දෙදෙනාගේ අර්ථය හෝ දන්නේය. මනුෂ්‍ය ධර්‍මයෙන් මත්තෙහිවූ, ආර්‍ය්‍ය භාවයට සුදුසු ඥාන දර්‍ශන විශේෂයක් හෝ ප්‍රත්‍යක්‍ෂ කරන්නේය යන මේ කාරණය විද්‍යමාන වේ.“

මහණෙනි, යම්සේ පර්‍වතයෙන් හටගන්නාවූ දුර ගමන් කරන්නාවූ, වහා බැස යන්නාවූ, හැරගෙන යායුත්ත හැරගෙන යන්නාවූ, ගඞ්ගාවක් වේද,“

ඒ ගඞ්ගාවගේ දෙපස පුරුෂයෙක් තෙම ජල මාර්‍ග දොරටු වසන්නේද, මහණෙනි, මෙසේ වනාහි ගඟ මැද ඒ සැඩ පහර වික්‍ෂිප්ත නුවූයේ, නොවිසුරුනේ, විශේෂයෙන් අල්වා නොගන්නා ලද්දේ, දුර ගමන් කරන්නේත්, වහා බස්නා දිය පහර ඇත්තේත්, ගෙන යායුත්ත ගෙන යන්නේත් වන්නේද, මෙපරිද්දෙන්ම ඒ භික්‍ෂුතෙම ඒකාන්තයෙන් කුශල් මග අවුරන්නාවූ, සිත මැඩගෙන හටගන්නාවූ, ප්‍රඥාව දුර්වල කරන්නාවූ, මේ පඤ්ච නීවරණයන් දුරුකොට බලවත්වූ ප්‍රඥාවෙන් තමාගේ අර්ථය හෝ දන්නේය. අනුන්ගේ අර්ථය හෝ දන්නේය. උභයාර්ථය හෝ දන්නේය. මනුෂ්‍ය ධර්‍මයෙන් මත්තෙහිවූ, ආර්‍ය්‍ය භාවය කරන්ට සමර්ත්‍ථවූ, ඥාන දර්‍ශන විශේෂයක් හෝ ප්‍රත්‍යක්‍ෂ කරන්නේය යන මේ කාරණය විද්‍යමාන වේ”

AN 05-06-01-02. අකුශල රාසි සූත්‍රය

“මහණෙනි, අකුශල රාශියයි කියනු ලබන්නේ මේ පඤ්ච නීවරණයන් මනාකොට කියනු ලබන්නෙක් කියන්නේය. මහණෙනි, යම් මේ පඤ්ච නීවරණයෝ වෙද්ද, මෙය සම්පූර්‍ණම අකුශල රාශිය වේ.“

කවර පසක්ද යත්?
කාමච්ඡන්‍ද නීවරණය, ව්‍යාපාද නීවරණය, ථීනම්ද්‍ධ නීවරණය, උද්‍ධච්චකුක්කුච්ච නීවරණය, විචිකිච්ඡා නීවරණය යන පසයි.“

මහණෙනි, අකුශල රාශියයි කියනු ලබන්නේ මේ පඤ්ච නීවරණයන් මනාකොට කියනු ලබන්නෙක් කියන්නේය. මහණෙනි, යම් මේ පඤ්ච නීවරණයෝ වෙද්ද, මෙය සම්පූර්‍ණම අකුශල රාශිය වේ.

AN 05-06-01-03. දුක්ඛවිහාර සූත්‍රය..

“මහණෙනි, වීර්‍ය්‍ය කරණ භික්‍ෂුහුගේ අඞ්ගයෝ මේ පසක් වෙත්.“
කවර පසක්ද යත්?

මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුව තෙම ශ්‍රද්‍ධාව ඇත්තේ වේ,

මහණෙනි, ශ්‍රද්‍ධා ධනය කවරේද?

මහණෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම ශ්‍රද්‍ධා ඇත්තේ වේද, ඒ භාග්‍යවත්තෙම මේ කාරණයෙන්ද අර්හත් සම්‍යක් සම්බුද්‍ධය, විජ්ජාචරණ සම්පන්නය, සුගතය, ලෝකවිදූය, උතුම්වූ පුරුෂයන් හික්මවීමේ රියැදුරෙක, දෙවි මිනිසුන්ට ශාස්තෲය, චතුස්සත්‍යාවබෝධ කෙළේය, භාග්‍යවත්යයි තථාගතයන්ගේ බෝධිය අදහාද, මහණෙනි, මෙය ශ්‍රද්‍ධා ධනයයි කියනු ලැබේ

අදහාද. නීරෝග වූයේ නිදුක් වූයේ, ඉතා සිහිල් නුවූ, ඉතා උනුසුම් නුවූ, මධ්‍යමවූ, වීර්‍ය්‍ය කිරීමට සුදුසුවූ, සමව පැසවීම් ඇති, ග්‍රහණියෙන් හෙවත් කර්‍මජ තේජෝ ධාතුවෙන් යුක්තවූයේ වේද, ප්‍රයෝග රහිත වූයේ, මායා නැත්තේ, ‘වූ පරිදි’ තමා ශාස්තෲන් වහන්සේ කෙරෙහි හෝ නුවණැති සබ්‍රම්සරුන් කෙරෙහි හෝ ප්‍රකාශ කරන්නේ වේද, අතුශල ධර්‍මයන්ගේ දුරුකිරීම පිණිසද, ශක්ති ඇත්තේ, දෘඪ වීර්‍ය්‍යය ඇත්තේ, කුශල ධර්‍මයන්හි බහා නොතබන ලද බර ඇත්තේ, පටන්ගන්නා ලද වීර්‍ය්‍යය ඇතිව වාසය කෙරේද, ආර්‍ය්‍යවූ, කෙළෙසුන් බිඳින්නාවූ, මනාකොට දුක් නැතිකිරීම පිණිස පවත්නාවූ, ඇතිවීම නැතිවීම දැනගන්නා පිණිස පවත්නාවූ, නුවණින් යුක්තවූයේ, ප්‍රඥාව ඇත්තේ වේද, යන පසයි.“මහණෙනි, වීර්‍ය්‍ය කරණ භික්‍ෂුහුගේ අඞ්ගයෝ මේ පසක් වෙත්.

AN 05-06-01-04. පමානාසමය සූත්‍රය

“මහණෙනි, වීර්‍ය්‍ය කිරීමට නුසුදුසු මේ කාල පසක් වෙත්.“
කවර පසක්ද යත්,

මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුතෙම ජරාවෙන් මඩනා ලද්දේ, දිරූයේ වේද, මහණෙනි, වීර්‍ය්‍ය කිරීමට මේ පළමුවන නුසුදුසු කාලය වේ. නැවත අනිකක්ද කියමි. මහණෙනි, භික්‍ෂු තෙම හටගත් ව්‍යාධි ඇත්තේ, ව්‍යාධියෙන් පෙළුනේ වේද, මහණෙනි, මේ වීර්‍ය්‍ය කිරීමට දෙවෙනි නුසුදුසු කාලය වේ.

නැවත අනිකක්ද කියමි. මහණෙනි, දුර්ලභ ශෂ්‍ය ඇති, දුර්ලභවූ ආහාර ඇති, දුර්භික්‍ෂයක් වේද, සිඟා හැසිරීමෙන්, ලද දෙයින් යැපෙන්ට පහසු නොවේද, මහණෙනි, මේ තුන්වන වීර්‍ය්‍ය කිරීමට නුසුදුසු කාලය වේ.

නැවත අනිකක්ද කියමි. වනයෙහි කැළඹීම් ඇති භයක් වේද, රථ වලට නැංගාවූ දනව් වැස්සෝ ඔබ මොබ යෙද්ද, මහණෙනි, මේ සතරවන වීර්‍ය්‍ය කිරීමට නුසුදුසු කාලය වේ.

නැවත අනිකක්ද කියමි. මහණෙනි, සංඝ තෙම බිඳුනේ වේද, මහණෙනි, සංඝයා බිඳුනු කල්හි වනාහි ඔවුනොවුන්ට ආක්‍රොෂ කරන්නාහුද වෙත්. ඔවුනොවුන්ට පරිභව කරන්නාහුද වෙත්. ඔවුනොවුන් හාත්පස දුරු කරන්නාහුද වෙත්. ඔවුනොවුන් හැර දමන්නාහුද වෙත්. එහි ප්‍රසන්න නොවූවෝද, නොපහදිත්. ප්‍රසන්නවූද සමහරුන්ගේ අන් පරිදිවීම වේ. මහණෙනි, මේ පස්වන වීර්‍ය්‍ය කිරීමට නුසුදුසු කාලය වේ.“

මහණෙනි, වීර්‍ය්‍ය කිරීමට නුසුදුසු මේ කාල පසක් වෙත්.“

මහණෙනි, වීර්‍ය්‍ය කිරීමට මේ සුදුසු කාල පසක් වෙත්.“
කවර පසක්ද යත්?

මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුතෙම යෞවන වූයේ, බාල වූයේ, කළු හිස කෙස් ඇත්තේ, සොඳුරුවූ, යෞවනවූ, ප්‍රථම වයසින් යුක්ත වූයේ, තරුණ වූයේ වේද, මහණෙනි, මේ පළමුවන වීර්‍ය්‍ය කිරීමට සුදුසු කාලය වේ.

නැවත අනිකක්ද කියමි. මහණෙනි, භික්‍ෂු තෙම නිදුක් වූයේ, ඉතා සිහිල් නොවූ, ඉතා උෂ්ණ නොවූ, මධ්‍යමවූ, වීර්‍ය්‍ය කිරීමට සුදුසුවූ, සමව පැසවීම් ඇත්තාවූ, ග්‍රහණයෙන් හෙවත් කර්‍මජ තේජෝ ධාතුවෙන් යුක්ත වූයේ නීරෝග වේද, මහණෙනි, මේ දෙවන වීර්‍ය්‍ය කිරීමට සුදුසු කාලය වේ.

නැවත අනිකක්ද කියමි. මහණෙනි, යහපත් ශෂ්‍ය ඇති, සුලභ ආහාර ඇති, සිඟා හැසිරීමෙන්, ලද දෙයින් යැපෙන්ට පහසුවූ සුභික්‍ෂයක් වේද, මහණෙනි, මේ තුන්වන වීර්‍ය්‍ය කිරීමට සුදුසු කාලය වේ.

නැවත අනිකක්ද කියමි. මහණෙනි, මිනිස්සු සමගි වූවාහු, සතුටු වන්නාහු, විවාද නොකරන්නාහු, කිරි හා දිය මෙන් එක් වූවාහු, ඔවුනොවුන් ප්‍රියවූ ඇස්වලින් බලන්නාහු වාසය කෙරෙද්ද, මහණෙනි, මේ සතරවන වීර්‍ය්‍ය කිරීමට සුදුසු කාලය වේ.

නැවත අනිකක්ද කියමි. මහණෙනි, සංඝ තෙම සමගි වූයේ, සතුටු වන්නේ, විවාද නොකරන්නේ, එකට උදෙසීම් ඇත්තේ, පහසුවෙන් වාසය කෙරේද, මහණෙනි, සංඝයා වනාහි සමගි කල්හි ඔවුනොවුන්ට නොම ආක්‍රොෂ කෙරෙත්. ඔවුනොවුන්ට පරිභව නොකෙරෙත්. ඔවුනොවුන් හාත් පසින් දුරු නොකෙරෙත්. ඔවුනොවුන් හැර දමන්නාහු නොවෙත්. එහි ප්‍රසන්න නොවූවාහුද පහදිත්. ප්‍රසන්න වූවන්ගේ බහුල භාවය වේ. මහණෙනි, මේ පස්වන වීර්‍ය්‍ය කිරීමට සුදුසු කාලය වේ.

AN 05-06-01-05. සාමන්තපාස සූත්‍රය

එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවනයෙහි අනේපි්ඩු සිටුහුගේ අරමෙහි වාසය කරණ සේක. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ, “මහණෙනි” යි කියා භික්‍ෂූන් ආමන්ත්‍රණය කළ සේක. “පින්වතුන් වහන්ස” කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.“

එකල්හි වනාහි සැවැත් නුවර, මව හා පුත්‍රවූ භික්‍ෂුවක්ද, භික්‍ෂුණියක්ද, යන දෙදෙනෙක් වස් වැසීමට පැමිණියාහුය. ඔවුහු, ඔවුනොවුන් නිතර දකිනු කැමති වූවාහුය. මවද, පුත්‍රයා නිතර දකිනු කැමැත්තී විය. පුත්‍ර තෙමේද, මව නිතර දකිනු කැමැත්තේ විය. ඔවුන්ගේ නිතර දැකීමෙන් සංසර්‍ගය වූයේය. සංසර්‍ගය ඇති කල්හි විශ්වාසය වූයේය. විශ්වාසය ඇති කල්හි බැස ගැනීම වූයේය. බැසගත් සිත් ඇත්තාවූ ඔවුහු ශික්‍ෂාව හැර නොදමා, දුර්‍වල බව ප්‍රකාශ නොකොට, මෛථුන ධර්‍මය ප්‍රතිසේවනය කළාහුය.“

එකල්හි බොහෝවූ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට එළඹියාහුය. ඵළඹ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පස්ව උන්නාහු මෙපුවත භාග්‍යවතුන් වෙත දැන්වුහ.

“මහණෙනි, කිමෙක්ද? ඒ හිස් පුරුෂ තෙම මව පුතු කෙරෙහි නොඇලෙයි. පුතා හෝ මව කෙරෙහි නොඇලේයයි හඟීද?“

මහණෙනි, යමක් මෙසේ ඇළුම් කරන්නේද, මෙසේ කැමති වන්නේද, මෙසේ මත් කරන්නේද, මෙසේ බැඳ ගන්නේද, මෙසේ මුසපත් කරන්නේද, උතුම්වූ නිවණ ලැබීමට මෙසේ අනතුරු කරන්නේද,“

එබඳුවූ අන් එක රූපයකුදු මම සර්‍වඥතාඥානයෙන් නොදකිමි. මහණෙනි, එනම් ස්ත්‍රී රූපයයි. මහණෙනි, ස්ත්‍රී රූපයෙහි“සත්ත්‍වයෝ ඇළුනාහු, ගැටුනාහු, ගිජුවූවාහු, මුසපත්වූවාහු, ඇතුළත් වූවාහු වෙද්ද,“
ඔවුහු බොහෝ ස්ත්‍රී රූපයාගේ වසඟයට ගියාහු ශොක කරත්.“

මහණෙනි, මම අන් එක ශබ්දයකුත් සර්‍වඥතා ඥානයෙන් නොදකිමි. මහණෙනි, එනම් ස්ත්‍රී ශබ්දයයි. මහණෙනි, ස්ත්‍රී ශබ්දයෙහි, ඔවුහු බොහෝ ස්ත්‍රී ශබ්දයාගේ වසඟයට ගියාහු ශොක කරත්.“

එක ගන්‍ධයකුත් සර්‍වඥතා ඥානයෙන් නොදකිමි. මහණෙනි, එනම් ස්ත්‍රී ගත්‍ධයයි. මහණෙනි, ස්ත්‍රී ගන්‍ධයෙහි, ඔවුහු බොහෝ ස්ත්‍රී ගන්‍ධයාගේ වසඟයට ගියාහු ශොක කරත්.“

එක රසයකුත් සර්‍වඥතා ඥානයෙන් නොදකිමි. මහණෙනි, එනම් ස්ත්‍රී රසයයි. මහණෙනි, ස්ත්‍රී රසයෙහි, ඔවුහු බොහෝ ස්ත්‍රී රසයාගේ වසඟයට ගියාහු ශොක කරත්.“

එක ස්පර්‍ශයකුත් සර්‍වඥතා ඥානයෙන් නොදකිමි. මහණෙනි, එනම් ස්ත්‍රී ස්පර්‍ශයයි. මහණෙනි, ස්ත්‍රී ස්පර්‍ශයෙහි, ඔවුහු බොහෝ ස්ත්‍රී ස්පර්‍ශයාගේ වසඟයට ගියාහු ශොක කරත්.“

මහණෙනි, යමක් මෙසේ ඇළුම් කරන්නේද, මෙසේ කැමති වන්නේද, මෙසේ මත් කරන්නේද, මෙසේ බැඳ ගන්නේද, මෙසේ මුසපත් කරන්නේද, උතුම්වූ නිවණ ලැබීමට මෙසේ අනතුරු කරන්නේද,“

මහණෙනි, එනම් සත්‍රීන් පිළිබඳ ස්පර්‍ශය මහණෙනි, සත්‍රීන් පිළිබඳ ස්පර්‍ශ කළ යුත්තෙහි සත්ත්‍වයෝ ඇළුනාහු, ගැටුනාහු, ගිජුවූවාහු, මුසපත්වූවාහු, ඇතුළත් වූවාහු වෙද්ද, ඒ ස්ත්‍රීන්ගේ ස්පර්‍ශ කළ යුත්තට වසඟවූවාහු බොහෝ කලක් ශොක කෙරෙත්.“

මහණෙනි, ස්ත්‍රී තොමෝ යන්නීද, පුරුෂයාගේ සිත හාත්පස මැඩගෙන සිටියි. සිටියාද, හුන්නීද, ශයනය කරන්නීද, සිනාසෙන්නීද, කථා කරන්නීද, ගායනා කරන්නීද, හඬන්නීද, ඉදිමුණු තැනැත්තීද, මළ තැනැත්තීද පුරුෂයාගේ සිත හාත්පස මැඩගෙන සිටියි.

මහණෙනි, මනාකොට කියන්නේ, ‘මාරයාගේ හාත්පස මළපුඩුවය’ යි යමෙකුත් කියන්නේද, ස්ත්‍රියම මාරයාගේ හාත්පස මළපුඩුවයයි මනාකොට කියන්නෙක් එය කියන්නේය” යි වදාළ සේක.“

කඩු ගත් අත් ඇත්තෙකු සමගද කථා කරන්නේය. අමනුෂ්‍යයෙකු සමගද කථා කරන්නේය. යමෙකු විසින් දෂ්ට කරණ ලද්දේ ජීවත් නොවේද? එබඳු සර්‍පයෙකුටද ලංවන්නේය.“

එකළාවූයේ එකළාවූ මාගමක් (ස්ත්‍රියක්) සමග නොම කථා කරන්නේය. ඔවුහු මුළා සිහි ඇත්තහු බැලීමෙන්ද, සිනාවෙන්ද බැඳ ගනිත්.“

තවද, නපුරුකොට හැඳීමෙන්ද, මිහිරි කථාවෙන්ද බැඳගණිත්. ඉදිමුනාවූද, මළාවූද මේ ජන තෙම ලංවීමට නුසුදු වේ.“සිත්කළුවූ රූපය, ශබ්දය, ගන්‍ධය, රසය, ස්පර්‍ශය යන මේ පස්කම් ගුණයෝම ස්ත්‍රී රූපයෙහි දක්නා ලැබෙත්.“

කාම තෘෂ්ණා නමැති සැඩ පහරින් ගසාගෙන යන්නාවූ, කාමයන් පිරිසිඳ නොදන්නාවූ, ඔවුන්ගේ කාලය ගතිය සංසාරයෙහි පෙරටු කරණ ලද්දාහු වෙත්.“

යම් කෙනෙකුන් කාමයන් පිරිසිඳ දැන, කොයිනුත් බියක් නැත්තාහු හැසිරෙද්ද, යම්කෙනෙක් ආශ්‍රවයන් නැසීමට පැමිණියාහුද, ඔවුහු ඒකාන්තයෙන් ලෝකයෙහි පරතෙරට ගියාහු හෙවත් නිවණට පැමිණියාහු වෙත්ය” යි වදාළ සේක.

AN 05-06-01-06. උපජඣායුපසඞ්කමන සූත්‍රය.

ඉක්බිති එක්තරා භික්‍ෂුවක් තෙම ස්වකීය උපාධ්‍යායයන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ ස්වකීය උපාධ්‍යායයන් වහන්සේට මෙය සැළ කෙළේය.“

ස්වාමීනි, දැන් මාගේ ශරීරය හටගත් බර බැව් ඇත්තේද, දිශාවන්ද මට නොවැටහෙත්. ධර්‍මයෝද මට නොවැටහෙත්. ථීනම්ද්‍ධ නීවරණයද මාගේ සිත මැඩගෙණ සිටියි. නො ඇළුනේද, බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිරෙමි. මට ධර්‍මයන්හි සැකයද ඇත්තේය” යි.

“එකල්හි ඒ භික්‍ෂු තෙම ඒ සද්‍ධිවිහාරික භික්‍ෂුව කැඳවාගෙන භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පස්ව හුන්නේය. එකත්පස්ව හුන්නාවූම ඒ භික්‍ෂු තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකෙළේය.“

ස්වාමීනි, මේ භික්‍ෂු තෙම මෙසේ කීයේය. ‘ස්වාමීනි, දැන් මාගේ ශරීරය හටගත් බර බැව් ඇත්තේද, දිශාවන්ද මට නොවැටහෙත්. ධර්‍මයෝද මට නොවැටහෙත්. ථීනම්ද්‍ධ නීවරණයද මාගේ සිත මැඩගෙණ සිටියි. නො ඇළුනේද, බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිරෙමි. මට ධර්‍මයන්හි සැකයද ඇත්තේය’ යි.“

මහණෙනි, මෙසේ වනාහි මෙය වේ. ඉන්‍ද්‍රියයන්හි නොරක්නා ලද දොරටු ඇත්තාවූ, භොජනයෙහි පමණ නොදන්නාවූ, නිදි වර්ජිත කිරීමෙහි නොයෙදෙන්නාවූ, කුශල ධර්‍මයන් නොබලන්නාවූ, පූර්‍ව රාත්‍රි, අපර රාත්‍රි දෙක්හි සත්තිස් බෝධි පාක්‍ෂික ධර්‍මයන්ගේ භාවනාවෙහි යෙදීමෙන් යුක්ත නොව වාසය කරන්නහුගේ,“

කය හටගත් බර බව ඇත්තේද වේ. දිශාවෝද ඔහුට නොවැටහෙත්. ධර්‍මයෝද ඔහුට නොවැටහෙත්. ථීනම්ද්‍ධ නීවරණයද මොහුගේ සිත මැඩගෙන සිටියි. නොඇළුනේද, බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිරෙයි. මොහුට ධර්‍මයන්හි සැකද වේ.“

මහණ, එහෙයින් මේ ශාසනයෙහි තොප විසින් මෙසේ හික්මිය යුතුයි. ඉන්‍ද්‍රියයන්හි රක්නා ලද දොරටු ඇත්තෙක් වන්නෙමි. භොජනයෙහි පමණ දන්නෙක්ව, නිදි වර්ජිත කිරීමෙහි යෙදුනෙක්ව, කුශල ධර්‍මයන් බලන්නෙක්ව, පූර්‍ව රාත්‍රි, අපර රාත්‍රි දෙක්හි බෝධි පාක්‍ෂික ධර්‍ම භාවනාවෙහි යෙදීමෙන් යුක්තව වාසය කරන්නෙමියි, මහණ, මෙසේ වනාහි තොප විසින් හික්මිය යුතුය” යි වදාළ සේක.“

ඉක්බිති, ආයුෂ්මත් භික්‍ෂු තෙම, භාග්‍යවතුන් වහන්සේ විසින් මේ අවවාදයෙන් අවවාද කරණ ලද්දේ, හුනස්නෙන් නැගිට, භාග්‍යවතුන් වහන්සේ වැඳ, පැදකුණු කොට ගියේය.“

ඉක්බිති, ආයුෂ්මත් භික්‍ෂු තෙම, හුදකලාවූයේ, වෙන්වූයේ, අප්‍රමත්තවූයේ, කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇත්තේ, කාය ජීවිත නිරපෙක්‍ෂව වාසය කරන්නේ, නොබෝ කලකින්ම කුලපුත්‍රයෝ යමක් සඳහා වහාම ගිහිගෙන් නික්ම අනගාරික සංඛ්‍යාත ශාසනයෙහි පැවිදිවෙත්ද, බ්‍රහ්මචර්‍ය්‍යය අවසන්කොට ඇති නිරුත්තර ඒ අර්‍හත්වය තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂකොට පැමිණ වාසය කරයි.“

උත්පත්තිය ක්‍ෂයවිය. බඹසර වැස නිමවන ලදී. කටයුතු කරණ ලදී. මින් මතු අන් යමක් නැතැයි දැනගත්තේය. ආයුෂ්මත් භික්‍ෂු තෙම රහතන් වහන්සේලාගෙන් කෙනෙක් වූයේය.”

“ඉක්බිති ඒ භික්‍ෂු තෙම රහත් බවට පැමිණියේ ස්වකීය උපාධ්‍යාය තෙම යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, ස්වකීය උපාධ්‍යායයන් වහන්සේට මෙය සැළ කෙළේය.“

ස්වාමීනි, දැන් මාගේ ශරීරය හටගත් බර බැව් ඇත්තේ නොවේමය. දිශාවෝද මට වැටහෙත්, පැමිණ සිටිත්, ධර්‍මයෝද මට වැටහෙත්, ථීනම්ද්‍ධ නීවරණයද මාගේ සිත මැඩගෙන නොසිටියි. ඇළුනේද, බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිරෙමි. මට ධර්‍මයන්හි සැකයක්ද නැත්තේය” යි.“

එකල්හි ඒ භික්‍ෂු තෙම ඒ සද්‍ධිවිහාරික භික්‍ෂුව කැඳවාගෙන භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පස්ව හුන්නේය. එකත්පස්ව හුන්නාවූම ඒ භික්‍ෂු තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකෙළේය.“ස්වාමීනි, මේ භික්‍ෂු තෙම මෙසේ කීය.”

“මහණ, මෙසේ වනාහි එය වේ. ඉන්‍ද්‍රියයන්හි රක්නා ලද දොරටු ඇති. භොජනයෙහි පමණ දන්නාවූ, නිදි දුරු කිරීමෙහි යෙදුනාවූ, කුශල ධර්‍මයන් බලන්නාවූ, පූර්‍ව රාත්‍රි, අපර රාත්‍රි දෙක්හි බෝධි පාක්‍ෂික ධර්‍ම භාවනාවෙහි යෙදීමෙන් යුක්තව වාසය කරන්නහුගේ ශරීරය තෙම හටගත් බර බැව් ඇත්තේය යන යමක් නොවේද, දිශාවෝද මොහුට වැටහෙත්, ධර්‍මයෝද මොහුට වැටහෙත්, ථීනම්ද්‍ධ නීවරණයද මොහුගේ සිත මැඩගෙන නොසිටියි. ඇළුනේද, බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිරෙයි. මොහුට ධර්‍මයන්හි සැකයක්ද නොවෙයි“

මහණ, එහෙයින් මේ ශාසනයෙහි තොප විසින් මෙසේ හික්මිය යුතුයි. ඉන්‍ද්‍රියයන්හි රක්නා ලද දොරටු ඇත්තෙක් වන්නෙමි. භොජනයෙහි පමණ දන්නෙක්ව, නිදි වර්ජිත කිරීමෙහි යෙදුනෙක්ව, කුශල ධර්‍මයන් බලන්නෙක්ව, පූර්‍ව රාත්‍රි, අපර රාත්‍රි දෙක්හි බෝධි පාක්‍ෂික ධර්‍ම භාවනාවෙහි යෙදීමෙන් යුක්තව වාසය කරන්නෙමියි, මහණ, මෙසේ වනාහි තොප විසින් හික්මිය යුතුය” යි වදාළ සේක.

SN 05-02-04-07. අභිණ්හපච්චවෙක්ඛන සූත්‍රය

භාවය:

§1. ආනන්ද ස්ථවිර නම් වූ මා විසින් මෙසේ අසන ලදී..
එක් සමයෙක්හි ශ්‍රී සද්ධර්මවර චක්‍රවර්ථති ස්වාමි වූ අපගේ භාග්‍යවත් අර්හත් සම්‍යසම්බුද්ධ සර්වඥ රාජෝත්තමයානන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ ජේතවන නම්වූ අනේ පිඬු මහ සිටුහුගේ ආරාමයෙහි වැඩ වාසය කරන සේක. එසමයෙහි දිනක් භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’ යි භික්ෂුන් අමතා වදාළ සේක. ඒ භික්ෂුහු  ‘පින්වතුන් වහන්සැ’ යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වුහ. භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය වදාළ සේක.

§2.  මහණෙනි, ස්ත්‍රියක් විසින් හෝ පුරුෂයෙකු විසින් හෝ ගිහියෙකු විසින් හෝ පැවිද්දෙකු විසින් හෝ මේ කාරණයෝ පස් දෙනෙක් නිතර නුවනින් මෙනෙහි කට යුත්තාහ. කවර පස් දෙනෙක් ද? යත්:-

මම දිරණ ස්වභාව ඇත්තේ වෙමි. ජරාව නොඉක්මවුයේ වෙමි. ජරාව ඇතුලතම හැසිරෙමි. යි ස්ත්‍රියක විසින් හෝ පුරුෂයෙකු වීසින් හෝ ගිහියෙකු විසින් හෝ පැවිද්දෙකු විසින් හෝ නිතර නුවනින් සැලකිය යුත්තේය. 

“මම රෝගය ස්වභාව කොට ඇත්තේ වෙමි. රෝගය නොඉක්මවුයේ වෙමි. රෝගය තුලම හැසිරෙමි.යි  ස්ත්‍රියක් විසින් හෝ පුරුෂයෙකු විසින් හෝ ගිහියෙකු විසින් හෝ පැවිද්දෙකු විසින් හෝ නිතර නුවනින් සැලකිය යුත්තේය.  
“මරණය ස්වභාව කොට  ඇත්තේ වෙමි. මරණය. නොඉක්මවුයේ වෙමි. මරණය. ඇතුලතම හැසිරෙමි.” යි ස්ත්‍රියක විසින් හෝ පුරුෂයෙකු වීසින් හෝ ගිහියෙකු විසින් හෝ පැවිද්දෙකු විසින් හෝ නිතර නුවනින් සැලකිය යුත්තේය.

 “ප්‍රිය වූ මන වඩන්නාවූ සියලුම වස්තුන්ගෙන් මාගේ වෙන්වීම වේ” යැයි ස්ත්‍රියක් විසින් හෝ පුරුෂයෙකු විසින් හෝ ගිහියෙකු විසින් හෝ පැවිද්දෙකු විසින් හෝ නිතර නුවනින් සැලකිය යුත්තේය  

“මම කර්මය  ස්වභාව කොට  ඇත්තේ වෙමි. කරමය. දායාද කොට ඇත්තේ  වෙමි. කාරණා කොට ඇත්තේ වෙමි. කරමය  ඥාති කොට ඇත්තේ වෙමි. කරමය  පිළිසරණ කොට ඇත්තේ වෙමි.  කුශල හෝ අකුශල වූ යම්  කරමයක් කරන්නෙම් ද එයට දායාද වන්නෙමි. ඒ කර්මය විසින් දෙන ලද විපාකය පිලිගන්නෙක් වන්නෙමි” යි  ස්ත්‍රියක විසින් හෝ පුරුෂයෙකු වීසින් හෝ ගිහියෙකු විසින් හෝ පැවිද්දෙකු විසින් හෝ නිතර නුවනින් සැලකිය යුත්තේය.

§3.  මහණෙනි, කවර කාරණයක් නිසා දිරීම ස්වභාව කොට ඇත්තේ වෙමි, ජරාව නොඉක්මවුයේ වෙමි යි ස්ත්‍රියක් විසින් හෝ පුරුෂයෙකු විසින් හෝ ගිහියෙකු විසින් හෝ පැවිද්දෙකු විසින් හෝ නිතර නුවනින් සැලකිය යුත්තේද? 

යම් මදයකින් මත වූ සත්වයෝ කයින් දුශ්චරිත කෙරෙත් ද, වචනයෙන්  දුශ්චරිත කෙරෙත් ද,.  සිතින් දුශ්චරිත කෙරෙත් ද, මහණෙනි , සත්වයන්ගේ යොවුන් කාලයෙහි එබඳු වූ තරුණ මදයෙක් ඇත්තේය. ඒ කාරණය නිතර නුවනින් සලකන්නාවූ ඔහුගේ තරුණ භාවයෙහි යම් තරුණ මදයෙක් ඇද්ද එය සර්වප්‍රකාරයෙන් හෝ ප්‍රහීන වෙයි. මහණෙනි මේ කාරණය නිසා දිරීම ස්වභාවකොට ඇත්තේ වෙමි.  ජරාව නොඉක්මවුයේ වෙමි’යි යි  ස්ත්‍රියක විසින් හෝ පුරුෂයෙකු වීසින් හෝ ගිහියෙකු විසින් හෝ පැවිද්දෙකු විසින් හෝ නිතර නුවනින් සැලකිය යුත්තේය.

ජරාව:-

ජරාව වනාහි දෙවදෑරුම් වෙයි.
එනම්: ක්ෂණික ජරාව ද,  දත් වැටීම ය, හිසකේ පැසීමය, ඇඟ සම රැලි වැටීමය යන ආදීන් සලකන ලද රූපා රූපධර්ම පරම්පරාවෙහි එක් භාවයෙක් හි ඇතුළත් ස්කන්ධයන් ගේ පුරාණ භාවය යි කියන ලද ප්‍රකට ජරාව් ද යන මේ දෙක යි. ඒ ප්‍රකට ජරා තොමෝ එක් භවයෙක් හි ඇතුළත් වූ ස්කන්ධයන්ගේ පුරාණ භාවය ලක්ෂණ කොට ඇත්තීය. මරණයට එළඹීම කෘත්‍ය කොට ඇත්තීය.තරන භාවය පිළිඹඳ විනාශය වැටහීම් කොට ඇත්තීය. සංස්කාර  දුක්ඛභාවයෙන්ද දුකටඇති කාරණ  භාවයෙන් ද දුක් වන්නීය. අඟපසඟ ලිහිල් බවය., ඉන්ද්‍රිය යන්ගේ විකාරය, විරූප බවය, තරුණබව නැසීම ය, බල බැසීමානසංගමය, සිහි නුවණ නැසීමය , අනුන් විසින් බරිබව කිරීමය යන ආදී නොයෙක් ප්‍රත්‍ය ඇති කායික චෛතසික දුක්ඛයෙක් උපදී ද ජරා තොමෝ ඒ දුකට කාරණ වන්නීය. කීයේ මැ නො :- ජරාව හේතු වේද එහෙයින් ජරාව දුකැයි

“අද්ගාන සිතිළිභාවා- ඉන්ද්‍රියානං විකාර තෝ,
යෝබ්බනස්ස විනාසෙන - බලස්ස උප ඝාත තෝ,
විප්පවාසෝ සතා දීනං - පුත්ත දාරෙහි අත්ත නො,
අප්ප්සාද නියතො වේව - භියෝ බාලත්ත පත්තියා,
පප්පෝති දුක්ඛං යං මච්චෝ - කායිකං  මානසං තථා,
 සබ්බමෙතං ජරා හේතු - යස්මා තස්මා ජරා දුක්හාති.”

හස්ත පාදාදී අවයන්ගේ ලිහිල් බැවින්ද චක්ෂුරාදී ඉන්ද්‍රියයන්ගේ විකාර භාවයෙන්ද, තරුණ භාවයාගේ විනාශයෙන් ද , තමාගේ අඹුදරුවන් විසිනුදු අවඥා කරණු ලබන බවට යෝග්‍ය හෙයින්ද, කැවීම් පෙවීම් ආදිය පවා අන්‍යයන් විසින් කටයුතු වන බැවින් ඉතා ළදරු බවට පැමිණීම වන හෙයින් ද සත්ව තෙමේ ශාරීරික වුද එසේම මානසික වූ ද යම් දුකකට පැමිණේ නම් මේ සියළු දුකට යම් හෙයකින් ජරාව හේතු වේද එහෙයින්  ජරාව දුකැයි භාග්‍යවතුන් වහන්සේ  වදාළ සේක.

යොබ්බන මදය:- 


“තත්ථ කතමෝ යොබ්බන මදෝ ? 
යොබ්බනං පටිච්ච මදෝ මජ්ජනා මජ්ජි තත්තං මානෝ මඥඥනා මඥඥඉ  තත්තං උන්නති උන්තාමො ධජෝ සම්පගගාහෝ කේතු කම්‍යතා චිත්තස්ස, අයං වුච්චති යොබ්බන මදෝ.”

යොබ්බන  මදය නම් තමාගේ තරුණභාවය නිසා උපන් මානයෙන් මත් වීමයි. ඇතැම් විට පුර්ව ජන්මයෙහි කරණ ලද පුණ්‍යකර්මයන්ගේ විපාක හේතුවෙන් ලැබූ සර්වාංගසම්පුර්ණ තරුණ භාවය ඇත්තෝ ස්වකීය තරුණ භාවයෙන් උදම් වී සෙස්සවුන් හෙලා දකිමින් “අපි රුවැත්තෝ වමු, අපි බලැස්සෝ වමු, අපි ජවැත්තෝ වමු , මේ සෙස්සෝ නිකම් දිරාගිය සිරුරු ඇත්තෝ වෙත්” යැයි තමන් උසස් කෙරෙමින් සෙස්සවුන් පහත් කොට සලකමින් පව් සිදු කර ගනිති. සියල්ලවුන්ගේ තරුණ භාවය පිලිබඳ අවසානය ජරාව බව මොහොතක් වත් නොසිතති. දැන් ජරා ජීර්ණව සිටින සියල්ලෝ මා පෙර තමන් මෙන්ම රුව ඇතිව බල ඇතිව විසු බව මෙනෙහි නොකෙරෙති. තරුණ භාවය මෙන්ම ජරාවද කාටත් සාධාරණ යැයි සලකතොත් තරුණ මදයෙන් මත වී කාය දුශ්චරිතාදී අකුසල් නොකෙරෙත් මය.

 §4.  මහණෙනි කවර කාරණයක් නිසා රෝගය ස්වභාවකොට ඇත්තේ වෙමි., රෝගය නොඉක්මවුයේ වෙමි’යි ස්ත්‍රියක විසින් හෝ පුරුෂයෙකු වීසින් හෝ ගිහියෙකු විසින් හෝ පැවිද්දෙකු විසින් හෝ නිතර නුවනින් සැලකිය යුත්තේද? 

යම් මදයකින් මත් වූ සත්වයෝ කයින් දුශ්චරිත කෙරෙත් ද, වචනයෙන්  දුශ්චරිත කෙරෙත් ද,.  සිතින් දුශ්චරිත කෙරෙත් ද, මහණෙනි , සත්වයන්ගේ නිරෝග කාලයෙහි එබඳු වූ ආරෝග්‍යය මදයෙක් ඇත්තේය. ඒ කාරණය නිතර නුවනින් සලකන්නාවූ ඔහුගේ නිරෝග  කාලයෙහි  යම් ආරෝග්‍ය මදයෙක් ඇද්ද එය සර්වප්‍රකාරයෙන් හෝ ප්‍රහීන  හෝ වෙයි. තුනී හෝ වෙයි.

මහණෙනි මේ කාරණය නිසා රෝගය  ස්වභාවකොට ඇත්තේ වෙමි.  රෝගය නොඉක්මවුයේ වෙමි’යි යි  ස්ත්‍රියක විසින් හෝ පුරුෂයෙකු වීසින් හෝ ගිහියෙකු විසින් හෝ පැවිද්දෙකු විසින් හෝ නිතර නුවනින් සැලකිය යුත්තේය

ව්‍යාධිය:-

ව්‍යාධි නම් නන් වැදෑරුම් රෝගයෝයි. එක් ක්‍රමයෙකින් සලකන කලැ රෝගාබාධයන්ට වඩා භය ජනක අන් කිසිවක් නැතැයි කියා යුතුය. බාල කාලයෙහි හෝ වේවා- තරුණ කාලයෙහි හෝ වේවා යමකු නපුරු රෝගාබාධයකට භාජන වුවහොත් ඇතැම් විට එය ඔහුගේ මුළු ජීවිත කාලයම නිෂ්ඵල වීමට හේතු වන්නේය. මෙලෝ පරලෝ දෙකෙ හි සියළු සැපතින් පිරිහීමට කාරණා වන්නේය. මනුෂ්‍යයෙකුට කොතරම් මිහිරි ආහාර පාන වර්ග ඇතත් , කොතරම් අගනා වස්ත්රාභරණ ආදිය ඇතත්,  කොතරම් සුව පහසු ගෙන දෙන යාන වාහන ආදිය ඇතත්, කොතරම් විශාල දෙතුන් මහලින් යුත් ප්රාසාධිය ඇතත් රෝගියෙක් වේ නම් ඕ හට ඒ සියල්ලෙන් කවර ප්‍රයෝජනයෙක්ද? එහෙයින් රෝගාබාධයන්ගෙන් වෙන්ව සිටීම වැනි භාග්‍යයක් වෙන නැත්තේය. එහෙයින් සියළු ලාභයෝ නීරෝගභාවය පරම කොට ඇත්තාහ. ආරෝග්‍යා පරමා ලාභා. යි බුදු රජාණන් වහන්සේ වදාළහ.

එහෙත් වර්ෂ දෙදහසකටත් වැඩි කාලයකැ පටන් එකී ශ්‍රේෂ්ඨ ධර්මය ගුරු තන්හි තබා සලකන, එයට වඩා උසස් ධර්මයක් ලොවැ වෙන නැතැයි උදන් අනන, එකී නිර්මල ධර්මය නිර්මලත්වයෙන් ලැබූ අප හා අපේ රට ද ලොවැ අන් හමාරටකට වඩා භාග්‍ය සම්පන්න යැයි උදාරත්වයෙන් ප්‍රකාශ කරන බෞද්ධයන් ගෙන් යුත් ලක්දිවැ මිනිසුන් අතුරෙන් සියයට කී දෙනෙක් නිරෝග භාවයෙහි අගය වටහා ගෙන සිටිත් දැයි සලකන කවරකු හට වුවද බලවත් ශෝකයක් පහල වනු නිසැකය.කුඩා කාලයේ පටන් නොයෙක් රෝගයන්ට භාජන වූ මනුෂ්‍ය ජාතියක් යම් රටෙකැ වෙසේ නම් ඒ රට අතිශයින්ම පරිහානියට පත් වූ අභාග්‍යවත් එකක් විය යුතු බව වෙසෙසින් කිව මනා නොවේ.  රටෙකැදියුණුව ඒ රටෙ සුඛිත බාල පරම්පරාව කෙරෙහි රඳා පවත්නා බව සත්‍යයෙකි. හැම පාඨශාලාවකැම ශිෂ්‍යයන්ට වහ වහා ඒ පිලිබඳ නියම තත්වය පහදා දීමට දැන් කාලය පැමිණ තිබේ. පාඨශාලාවක් පාඨශාලාවක් පාසා ගොස් තත්වඥ ගිහි පැවිදි භවතුන් විසින් ආචාර්ය ශිෂ්‍ය දෙපක්ෂය ඉදිරියෙහි කථා පැවැත්වීමෙන් කරුණු පහදා දීම අතිශයයෙන් යෝග්‍යය යැයි මට වැටහී තිබේ.

එහෙයින් නොබෝදා  මම ගම් වැසි බාල දරුවන් හා ඔවුන්ගේ මවු පියන්ද ආචාර්‍ය වරයන් ද මේ කරුණෙහි උද්‍යෝගවත් කිරීම පිණිස කථා පන්තියක් පැවැත්වීමට ආරම්භ කොට පාඨශාලා කිහිපයකට ගියෙමි. එහි රැස්ව සිටි බාල දරුවන්ගේ ස්වභාවය දුටු මට ඇතිවුය්ර් නො ඉවසිය හැකි තරම් බලවත් චිත්ත පීඩාවකි. ඔවුනතුරෙන් සමහරු වැරි ගිය මුහුණින් යුත් ප්‍රේත පැටවුන් වන්නෝය. සමහරු පාණ්ඩු  රෝගයෙන් පීඩිත වූ ලේ වතුර  බවට පත් වූ සුදු මැලි මුහුණු ඇත්තෝය. සමහරු ඉදිරියට නෙරා ගිය බඩ  හා ඇට සැකිලි බවට පත් සිරුරු ඇති යක් පැටවුන් වැන්නෝය. එක් පාසලකට පැමිණ සිටි සැටක් පමණ ශිෂ්‍ය යන් අතුරෙන් ඇඟේ ලේ ඇති ප්‍රාණවත් භාවය ක්  දැක්වූ ශිෂ්‍යයෝ   පස් දෙනෙක් වත් නො වුහ. ඔවුන් තුල උනන්දු ගතියක්, එඩිතර බවක් , ක්‍රියා ශුරත්වයක්, අනලස භාවයක් ඇත්තෙම නැත. එහි කවර පුදුමයෙක් ද? අභ්‍යන්තරයෙහි පාන්ඩුව, අග්නි මාන්ද්‍යා ය (බඩගිනි අඩු කම) ආදී රෝග ඇති කලැ පිටින් කාර්යක්‍ෂම භාවයක් කෙසේ පෙන්විය හැකි ද?

එබන්දක් වැඩි තරුණ වයසට පත් වූ කලැ ඔවුන්ගෙන් සිදු විය හැකි ජාතික දියුණුව කවරේද? ආගමික දියුණුව කවරේද? ඔවුන්ගේ දරු පරපුර කෙබඳු දුර්වල තත්වයකට පැමිණේද? යන මේ ආදී කාරණයන් කෙරෙහි රටෙ අභිවෘද්ධිය පතන්නවුන් ගේ සිත් යොමු කිරීමට මේ ඉතා යෝග්‍ය කාලයකි. දරුවන් රෝගී ස්වභාවයෙන් මුදා සුඛිතයන් කිරීමට ඔවුන්ගේ මව් පියන් හා ආචාර්‍යවරයන්ගේ මහත් සැලකිල්ල ඇතිවිය යුතුය. ඒ  දෙපක්‍ෂ යෙ සහයෝගයද අවශ්‍යය. එහෙත් පිටිසර ගම්වැසි මව් පියන් අතුරෙන් සියයට අනු පස් දෙනෙකුන් ගෙන්සිය දරුවන් සුඛිත කිරීමට අවශ්‍ය කිසි යුතු කමක් සිදු නොවන බව කිව යුතුය. දැන් ඔවුන්ගෙන් සිදුවන ස්වල්ප මාතර හෝ යුතු කමෙක් වෙ නම් එය එමෙන් ලක්ෂ ගුණයෙකින් දියුණු විය යුතු ය. පාඨශාලාචාර්යවරයබ්  ගෙන් ඒ පිලිබඳ ප්‍රමාණවත් මෙහෙයක් සිදුවන බව ප්‍රකටය. ළමයින්ට පිරිසිදු වාතය හා පිරිසිදු ජලය අවශ්‍ය බව, දිනපතා හිස පීරා ශුද්ධකොට ගත යුතු බව, ප්‍රමාණය නොඉක්මවා  දිනපතා ව්‍යායාම කටයුතු බව යන ආදී ඔවුන්ගේ සනීපය ආරක්ෂා කර ගැනීමට නිතර වුවමනා කාරණයන් හි ඔවුන් යෙදවීමට ආචාර්‍යවරයෝ උත්සාහ කෙරෙති. එයට බෙහෙවින් බාධා කරන්නෝ අඥාන  මවුපියෝය. ළමයෙකු පාසලෙහි ආචාර්‍යවරයන් ඇසුරු කරමින් ගත කරන්නේ පැය කිහිපයෙකි. වැඩි වෙලාවක් ගත කරන්නේ මවුපියන් ගේ ආශ්‍රය ඇතිවය. එහෙයින් ඔවුන් සුඛිත කිරීමට මවු පියන් උත්සාහ නොකරතොත් ආචාර්යවරයන්ගේ  ව්‍යායාමය බොහෝ සෙයින් නිරර්ථක වන්නේය. විශේෂයින්ම ආචාර්යවරයන් පාසැලේ දී ස්වකීය ශිෂ්‍යයන්ගේ සුඛිත භාවය ආරක්ෂා කර ගැනීමට වුවමනා උවදෙස් දුන් කල්හි ඒ උවදෙස් අනුව ඔවුන් පිලිපදවීම මවුපියන් විසින් කට යුතුය. එහෙත් බොහෝ මවුපියන්ගෙන් ඒ යුතුකම සිදු නොවන බව මට ප්‍රත්‍යක්ෂ වූ වාර බොහෝය.

ගෙතුලට පිරිසිදු වාතය ලබා ගැනීම පිණිස ගෙයි කවුළු හැර දමා නිදාගත යුතු යැයි ගුරුවරයන් කොතෙක් අවවාද කලත් එයට පටහැනිව ක්‍රියා කරන මවුපියන් කී දෙනෙක් පිටිසර ගම් බදව  සිටිද්ද?

§2. 

ස්ත්‍රිය විසින් හෝ පුරුෂයා විසින් හෝ ගෘහස්ථයා විසින් හෝ ප්‍රව්‍රජිතයා විසින් හෝ නිතර සිහි කටයුතුවූ මේ කරුණු පසක් වෙත්.“කවර පසක්ද යත්,“

ජරාව ස්වභාව කොට ඇත්තේ වෙමි. ජරාව නොඉක්මවූයේයයි ස්ත්‍රිය විසින් හෝ පුරුෂයා විසින් හෝ ගෘහස්ථයා විසින් හෝ ප්‍රව්‍රජිතයා විසින් හෝ නිතර සිහි කටයුතුයි.“

ව්‍යාධිය ස්වභාවකොට ඇත්තේ වෙමි. ව්‍යාධිය නොඉක්මවූයේයයි ස්ත්‍රිය විසින් හෝ පුරුෂයා විසින් හෝ ගෘහස්ථයා විසින් හෝ ප්‍රව්‍රජිතයා විසින් හෝ නිතර සිහි කටයුතුයි.“

මරණය ස්වභාවකොට ඇත්තේ වෙමි. මරණය නොඉක්මවූයේයයි ස්ත්‍රිය විසින් හෝ පුරුෂයා විසින් හෝ ගෘහස්ථයා විසින් හෝ ප්‍රව්‍රජිතයා විසින් හෝ නිතර සිහි කටයුතුයි.“

මාගේ සියලු ප්‍රිය මනාපවූවන් කෙරෙන් නොයෙක් ස්වභාව වෙන්වීම ඇත්තේ යැයි ස්ත්‍රිය විසින් හෝ පුරුෂයා විසින් හෝ ගෘහස්ථයා විසින් හෝ ප්‍රව්‍රජිතයා විසින් හෝ නිතර සිහි කටයුතුයි.“

කර්‍මය ස්වකීයකොට ඇත්තේ වෙමි. කර්‍මය දායාදකොට ඇත්තේ වෙමියි, කර්‍මය උත්පත්ති කාරණකොට ඇත්තේ වෙමියි, කර්‍මය නෑකොට ඇත්තේ වෙමියි, කර්‍මය පිළිසරණකොට ඇත්තේ වෙමියි, යහපත්වූ හෝ ලාමකවූ හෝ යම් කර්‍මයක් කරන්නෙම්ද, එයට උරුමක්කාරයෙක් වන්නෙමියි ස්ත්‍රිය විසින් හෝ පුරුෂයා විසින් හෝ ගෘහස්ථයා විසින් හෝ ප්‍රව්‍රජිතයා විසින් හෝ නිතර සිහි කටයුතුයි.“

මහණෙනි, කවර කරුණක් නිසා ජරාව ස්වභාවකොට ඇත්තේ වෙමියි, ජරාව නොඉක්මවූයේයයි, ස්ත්‍රිය විසින් හෝ පුරුෂයා විසින් හෝ ගෘහස්ථයා විසින් හෝ ප්‍රව්‍රජිතයා විසින් හෝ නිතර සිහි කටයුතුද?“

මහණෙනි, යම් මදයකින් මත්වූවාහු, කයින් දුශචරිත කෙරෙද්ද, වචනයෙන් දුශචරිත කෙරෙද්ද, සිතින් දුශචරිත කෙරෙද්ද, සත්ත්‍වයන්ගේ යෞවන බැව්හි එබඳු යෞවන මදයෙක් ඇත්තේය.“

ඒ කරුණ නිතර සිහි කරන්නාවූ ඔහුගේ යෞවනයෙහි යම් යෞවන මදයක් වේද, එය සියලු ආකාරයෙන් හෝ ප්‍රහීන වේ. හීන වූවක්හු වේ. මහණෙනි, මේ කරුණ නිසා ජරාව ස්වභාව කොට ඇත්තේ වෙමි. ජරාව නොඉක්මවූයේයයි, ස්ත්‍රිය විසින් හෝ පුරුෂයා විසින් හෝ ගෘහස්ථයා විසින් හෝ ප්‍රව්‍රජිතයා විසින් හෝ නිතර සිහි කටයුතුයි.“මහණෙනි, කිනම් කරුණක් නිසා ව්‍යාධිය ස්වභාව කොට ඇත්තේ වෙමියි, ව්‍යාධිය නොඉක්මවූයේයයි ස්ත්‍රිය විසින් හෝ පුරුෂයා විසින් හෝ ගෘහස්ථයා විසින් හෝ ප්‍රව්‍රජිතයා විසින් හෝ නිතර සිහි කටයුතුද?“

මහණෙනි, යම්බඳුවූ මදයකින් මත්වූවාහු, කයින් දුසිරිත හැසිරෙද්ද, වචනයෙන් දුසිරිත හැසිරෙද්ද, සිතින් දුසිරිත හැසිරෙද්ද, සත්ත්‍වයන්ගේ නීරෝගභාවයෙහි එබඳුවූ ආරොග්‍ය මදයෙක් ඇත්තේය. ඒ කරුණ නිතර සිහි කරන්නාවූ ඔහුගේ නීරෝග භාවයෙහි යම් ආරෝග්‍ය මදයක් වේද, හෙතෙම සියලු ආකාරයෙන් ප්‍රහීන හෝ වේ. තුනී වූවක් හෝ වේ. මහණෙනි, මේ ප්‍රයෝජනය සළකා ව්‍යාධිය ස්වභාව කොට ඇත්තේ වෙමි. ව්‍යාධිය නොඉක්මවූයේයයි ස්ත්‍රිය විසින් හෝ පුරුෂයා විසින් හෝ ගෘහස්ථයා විසින් හෝ ප්‍රව්‍රජිතයා විසින් හෝ නිතර සිහි කටයුතුයි.“

මහණෙනි, කිනම් කරුණක් නිසා මරණය ස්වභාව කොට ඇත්තේ වෙමියි, මරණය නොඉක්මවූයේයයි ස්ත්‍රිය විසින් හෝ පුරුෂයා විසින් හෝ ගෘහස්ථයා විසින් හෝ ප්‍රව්‍රජිතයා විසින් හෝ නිතර සිහි කටයුතුද?“

මහණෙනි, යම්බඳුවූ මදයකින් මත්වූවාහු, කයින් දුසිරිත හැසිරෙද්ද, වචනයෙන් දුසිරිත හැසිරෙද්ද, සිතින් දුසිරිත හැසිරෙද්ද, සත්ත්‍වයන්ගේ ජීවිතයෙහි එබඳු ජීවිත මදයෙක් ඇත්තේය. ඒ කරුණ නිතර සිහි කරන්නාවූ ඔහුගේ ජීවිතයෙහි එබඳු ජීවිත මදයෙක් වේද, හෙතෙම සියලු ආකාරයෙන් ප්‍රහීන හෝ වේ. තුනී වූවක් හෝ වේ. මහණෙනි, මේ ප්‍රයෝජනය සළකා මරණය ස්වභාව කොට ඇත්තේ වෙමි. මරණය නොඉක්මවූයේයයි ස්ත්‍රිය විසින් හෝ පුරුෂයා විසින් හෝ ගෘහස්ථයා විසින් හෝ ප්‍රව්‍රජිතයා විසින් හෝ නිතර සිහි කටයුතුයි.“

මහණෙනි, කිනම් කරුණක් නිසා මාගේ සියලු ප්‍රිය මනාපයන් කෙරෙන් නොයෙක් ස්වභාව ඇත්තේ වෙන්වීම වේයයි ස්ත්‍රිය විසින් හෝ පුරුෂයා විසින් හෝ ගෘහස්ථයා විසින් හෝ ප්‍රව්‍රජිතයා විසින් හෝ නිතර සිහි කටයුතුද?“

මහණෙනි, යම්බඳු ඇල්මකිනු ඇළුනාහු කයින් දුසිරිත හැසිරෙද්ද, වචනයෙන් දුසිරිත හැසිරෙද්ද, සිතින් දුසිරිත හැසිරෙද්ද, සත්ත්‍වයන්ගේ ප්‍රියවූවන් කෙරෙහි කාමාශාවෙන් ඇල්මක් ඇත්තේය. ඒ කාරණය නිතර සිහි කරන්නාවූ ඔහුගේ ප්‍රියවූවන් කෙරහි යම් ඡන්‍දයක්, ඇල්මක් වේද, හෙතෙම සියලු ආකාරයෙන් හෝ ප්‍රහීණ වේ. තුනීවූවක් හෝ වේ. මහණෙනි, මේ කරුණ නිසා මාගේ සියලු ප්‍රිය මනාපයන් කෙරෙන් නොයෙක් ස්වභාව ඇත්තේ වෙන්වීම වේයයි ස්ත්‍රිය විසින් හෝ පුරුෂයා විසින් හෝ ගෘහස්ථයා විසින් හෝ ප්‍රව්‍රජිතයා විසින් හෝ නිතර සිහි කටයුතුයි.“

මහණෙනි, කිනම් කරුණක් නිසා කර්‍මය ස්වකීයකොට ඇත්තේ වෙමියි, කර්‍මය දායාදකොට ඇත්තේ වෙමියි, කර්මය උත්පත්ති කාරණාකොට ඇත්තේ වෙමියි, කර්‍මය නෑකොට ඇත්තේ වෙමියි, කර්‍මය පිළිසරණකොට ඇත්තේ වෙමියි, යහපත්වූ හෝ, ලාමකවූ හෝ, යම් කර්මයක් කරන්නෙම්ද, එයට උරුම ඇත්තෙක් වන්මේයි ස්ත්‍රිය විසින් හෝ පුරුෂයා විසින් හෝ ගෘහස්ථයා විසින් හෝ ප්‍රව්‍රජිතයා විසින් හෝ නිතර සිහි කටයුතුද?“

මහණෙනි, සත්ත්‍වයන්ගේ කාය දුශ්චරිතයද, වාක් දුශ්චරිතයද, මනො දුශ්චරිතයද ඇත්තේය. ඒ කරුණ නිතර සිහි කරන්නාවූ ඔහුගේ සියලු ආකාරයෙන් හෝ එය ප්‍රහීණ වේ. තුනීවීම හෝ වේ. මහණෙනි, මේ කරුණ නිසා කර්මය ස්වකීයකොට ඇත්තේ, කර්මය දායාදකොට ඇත්තේ, කර්මය උත්පත්ති කාරණාකොට ඇත්තේ, කර්මය නෑයන්කොට ඇත්තේ, කර්මය පිළිකරණකොට ඇත්තේ වෙමි. යහපත්වූ හෝ ලාමකවූ හෝ යම් කර්මයක් කරන්නෙම්ද, එයට උරුම ඇත්තෙක් වන්නෙමියි ස්ත්‍රිය විසින් හෝ පුරුෂයා විසින් හෝ ගෘහස්ථයා විසින් හෝ ප්‍රව්‍රජිතයා විසින් හෝ නිතර සිහි කටයුතුයි.“

මහණෙනි, ඒ මේ ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ වනාහි මෙසේ සළකයි.“එකළාවූ මම ම ජරාව ස්වභාවකොට ඇත්තේ, ජරාව ආගමනය නොඉක්මවූයේ නොවෙමි. වැලිදු යම්තාක් සත්ත්‍වයන්ගේ ගමනය, චුතිය, උත්පත්තිය වේද, ඒතාක් සියලු සත්ත්‍වයෝ ජරාව ස්වභාවකොට ඇත්තාහු, ජරාව නොඉක්මවූවාහුයයි,“

ඒ කරුණ නිතර සිහි කරන්නාවූ, ඔහුට ලෝකොත්තර මාර්‍ගය හටගනියි. හෙතෙම ඒ මාර්‍ගය සේවනය කරයි. භාවනා කරයි. බහුල වශයෙන් කරයි. ඒ මාර්ගය සේවනය කරන්නාවූ, වඩන්නාවූ, බහුල කරන්නාවූ, ඔහුගේ සංයෝජනයෝ ප්‍රහීන වෙත්. සප්තවිධ අනුශය ධර්මයෝ කෙළවර වූවාහු වෙත්.“

එකළාවූ මම ම ව්‍යාධිය ස්වභාවකොට ඇත්තේ, ව්‍යාධිය නොඉක්මවූයේ නොවෙමි. වැලිදු යම්තාක් සත්ත්‍වයන්ගේ ආගමනය, ගමනය, චුතවීම, ඉපදීම වේද, ඒතාක් සියලු සත්ත්‍වයෝ ව්‍යාධිය ස්වභාවකොට ඇත්තාහු, ව්‍යාධිය නොඉක්මවූවාහුයයි,“

ඒ කරුණ නිතර සිහි කරන්නාවූ, ඔහුට ලෝකොත්තර මාර්‍ගය හටගනියි. හෙතෙම ඒ මාර්‍ගය සේවනය කරයි. භාවනා කරයි. බහුල වශයෙන් කරයි. ඒ මාර්ගය සේවනය කරන්නාවූ, වඩන්නාවූ, බහුල කරන්නාවූ, ඔහුගේ සංයෝජනයෝ ප්‍රහීන වෙත්. සප්තවිධ අනුශය ධර්මයෝ කෙළවර වූවාහු වෙත්.“

එකළාවූ මම ම මරණය ස්වභාවකොට ඇත්තේ, මරණය නොඉක්මවූයේ නොවෙමි. වැළිදු යම්තාක් සත්ත්‍වයන්ගේ ආගමනය, ගමනය, චුතිය, උත්පත්තිය වේද, ඒතාක් සියලු සත්ත්‍වයෝ මරණය ස්වභාවකොට ඇත්තාහු, මරණය නොඉක්මවූවාහුයයි,“

ඒ කරුණ නිතර සිහි කරන්නාවූ, ඔහුට ලෝකොත්තර මාර්‍ගය හටගනියි. හෙතෙම ඒ මාර්‍ගය සේවනය කරයි. භාවනා කරයි. බහුල වශයෙන් කරයි. ඒ මාර්ගය සේවනය කරන්නාවූ, වඩන්නාවූ, බහුල කරන්නාවූ, ඔහුගේ සංයෝජනයෝ ප්‍රහීන වෙත්. සප්තවිධ අනුශය ධර්මයෝ කෙළවර වූවාහු වෙත්.“

එකළාවූ මාගේම සියලුම ප්‍රියවූ, මනාප වූවන්ගෙන් නොයෙක් ස්වභාව ඇත්තේ, වෙන්වීම නොවේ. වැළිදු යම්තාක් සත්ත්‍වයන්ගේ ආගමනය, ගමනය, චුතිය, උත්පත්තිය වේද, ඒතාක් සියලු සත්ත්‍වයෝ ප්‍රියවූ මනාපවූවන්ගෙන් වෙනස් ස්වභාව ඇත්තේ වෙන්වීම ඇත්තාහුයයි“

ඒ කරුණ නිතර සිහි කරන්නාවූ, ඔහුට ලෝකොත්තර මාර්‍ගය හටගනියි. හෙතෙම ඒ මාර්‍ගය සේවනය කරයි. භාවනා කරයි. බහුල වශයෙන් කරයි. ඒ මාර්ගය සේවනය කරන්නාවූ, වඩන්නාවූ, බහුල කරන්නාවූ, ඔහුගේ සංයෝජනයෝ ප්‍රහීන වෙත්. සප්තවිධ අනුශය ධර්මයෝ කෙළවර වූවාහු වෙත්.“

එකළාවූ මම ම කර්මය ස්වකීයකොට ඇත්තේ, කර්මය දායාදකොට ඇත්තේ, කර්මය යෝනිකොට ඇත්තේ, කර්මය බන්ධුකොට ඇත්තේ, කර්මය පිළිසරණකොට ඇත්තේ නොවමියි. යහපත්වූ හෝ ලාමකවූ හෝ කර්මයක් කරන්නෙම්ද, එයට උරුම ඇත්තෙක් නොවන්නෙමි. වැළිදු යම්තාක් සත්ත්‍වයන්ගේ ආගමනය, ගමනය, චුතිය, උත්පත්තිය වේද, ඒතාක් සියලු සත්ත්‍වයෝ කර්මය ස්වකීයකොට ඇත්තාහු, කර්මය උරුමකොට ඇත්තාහු, කර්මය උත්පත්ති කාරණාකොට ඇත්තාහු, කර්මය නෑයන්කොට ඇත්තාහු, කර්මය පිළිසරණකොට ඇත්තාහු වෙත්. යහපත්වූ හෝ ලාමකවූ හෝ යම් කර්මයක් කරන්නාහුද, එයට උරුම ඇත්තෝ වන්නාහුයයි,“

ඒ කරුණ නිතර සිහි කරන්නාවූ, ඔහුට ලෝකොත්තර මාර්‍ගය හටගනියි. හෙතෙම ඒ මාර්‍ගය සේවනය කරයි. භාවනා කරයි. බහුල වශයෙන් කරයි. ඒ මාර්ගය සේවනය කරන්නාවූ, වඩන්නාවූ, බහුල කරන්නාවූ, ඔහුගේ සංයෝජනයෝ ප්‍රහීන වෙත්. සප්තවිධ අනුශය ධර්මයෝ කෙළවර වූවාහු වෙත්.

(1) “ව්‍යාධිවූ ස්වභාවකොට ඇත්තාවූ, ජරාව ස්වභාවකොට ඇත්තාවූ, තවද මරණය ස්වභාවකොට ඇත්තාවූ, පෘතග්ජනයෝ ධර්මයෝ යම්සේ වූවාහුද, එසේ ඇත්තාහුම පිළිකුල් කෙරෙත්.

(2) මෙබඳු ස්වභාව ඇත්තාවූ සත්ත්‍වයන් කෙරෙහි මමද මෙය පිළිකුල් කරන්නෙම් නම්, මෙසේ වාසය කරන්නාවූ මට මෙය සුදුසු නොවන්නේය.

(3) ඒ මම මෙසේ වාසය කරන්නෙම්, ක්ලේශ රහිතවූ ධර්‍මය දැන නීරෝග භාවයෙහිද, යෞවන භාවයෙහිද, ජීවත් වීමෙහිද, යම් මද කෙනෙක් වෙද්ද,

(4) ප්‍රව්‍රජ්‍යාව නිර්‍භය වශයෙන් දැක, ඒ සියලු මදයන් මැඩපවත්වමි. නිවණ දක්නාවූ ඒ මට උත්සාහයක් වූයේය.

(5) “මේ කාලයෙහි කාමයන් සේවනය කරන්ට මම සුදුස්සෙක් නොවෙමි. මාර්‍ග බ්‍රහ්මචර්‍ය්‍යාව පිහිටකොට ඇත්තේ, ප්‍රව්‍රජ්‍යාවෙන් නොනවතින්නෙක් වන්නෙමියි වදාළේය”

AN 05-06-01-08. ලිච්ඡවිකුමාර සූත්‍රය

. “එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ විසල් නුවර මහ වනයෙහිවූ කූටාගාර ශාලාවෙහි වැඩ වසන සේක. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ පෙරවරු වේලෙහි හැඳ පෙරවා, පා සිවුරු ගෙන විසල් නුවරට පිඬු පිණිස පිවිසි සේක. විසල් නුවර පිඬු පිණිස හැසිර පසු බත් කාලයෙහි පිණ්ඩපාතයෙන් වැළකුණේ, මහ වනයට ඇතුල්ව,“එක්තරා රුක් මුලෙක්හි දිවා විහරණයෙන් වැඩහුන් සේක.

එතල්හි වනාහි බොහෝවූ ලිච්ඡවි කුමාරයෝ ඊයෙන් සාදන ලද දුනු ගෙණ, සුනඛ සමූහයා විසින් පිරිවරණ ලද්දාහු, මහ වනයෙහි ඔබ මොබ සක්මන් කරන්නාහු, ඔබ මොබ හැසිරෙන්නාහු, එක්තරා රුක් මුලෙක්හි දිවා විහරණයෙන් වැඩ හුන්නාවූ භාග්‍යවතුන් වහන්සේ දුටුවාහුය. දැක, ඊවලින් සරසන ලද දුනු බහා තබා, සුනඛ සමූහයා එක් පැත්තකට යවා, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියාහුය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, නිශ්ශබ්ද වූවාහු, නිශ්ශබ්ද වූහ. (ඇඳිලි බැන්දාහු භාග්‍යවතුන් වහන්සේ ඇසුරු කරත්.)“

එතල්හි වනාහි මහානාම නම් ලිච්ඡවි තෙම මහ වනයෙහි පා ගමනින් ඔබ මොබ සක්මන් කරන්නේ, ඔබ මොබ හැසිරෙන්නේ, නිශ්ශබ්දවූ, ඇඳිලි බැන්දාවූ, භාග්‍යවතුන් වහන්සේ ඇසුරු කරන්නාවූ, ඒ ලිච්ඡවි කුමාරයන් දුටුවේය. දැක භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පස්ව හුන්නේය. එකත්පස්ව උන්නාවූම මහානාම නම් ලිච්ඡවි තෙම ප්‍රීති වාක්‍ය පැවැත්වූයේය. ‘වජ්ජිහු වැඩෙන්නාහුය, වජ්ජිහු වැඩෙන්නාහුය” යි.

“මහානාමය, කුමකට වනාහි නුඹ, ‘වජ්ජිහු වැඩෙන්නාහුය, වජ්ජිහු වැඩෙන්නාහුය’ යි. මෙසේ කියන්නෙහිද?” “ස්වාමීනි, මේ ලිච්ඡවි කුමරුවෝ චණ්ඩයෝය, ඵරුෂයෝය, උඩඟු වූවෝය. යම් ඒ කුලයන්හි යැපිය යුතු වූවන් යවනු ලබත්ද, උක්ය කියා හෝ, ඩෙබරය කියා හෝ, කැවුම්ය කියා හෝ, අග්ගලාය කියා හෝ, සක්ඛලිකාය කියා හෝ ඒවා උදුරාගෙන කත්. කුල ස්ත්‍රීන්ගේද, කුල කුමරියන්ගේද, පස්සෙන් ගොස් පයින් ගසත්. දැන් ඒ මොව්හු නිශ්ශබ්ද වූහ. නිශ්ශබ්ද වූවාහු, ඇඳිලි බැන්දාහු, භාග්‍යවතුන් වහන්සේ ඇසුරු කරත්.”

“මහානාමය, යම් කිසි කුල පුත්‍රයෙකුගේ ධර්‍ම පසක් විද්‍යමාන වෙද්ද, ඉදින් මස්තකයෙහි අභිෂෙක කරණ ලද ක්‍ෂත්‍රියවූ රජෙකුගේ හෝ, ඉදින් පියා විසින් දෙන ලද රට අනුභව කරන්නෙකුගේ හෝ, ඉදින් සේනාවට අධිපතිවූ සෙනෙවියෙකුගේ හෝ, ඉදින් ගමට අධිපති ගම් දෙටුවෙකුගේ හෝ, ඉදින් සමූහයාට අධිපති ගම් ප්‍රධානියෙකුගේ හෝ යි. යම් කෙනෙක් හෝ කුලයන්හි වෙන් වෙන්ව අධිපති බව කරවද්ද, වැඩීමට කැමති විය යුත්තීය. පිරිහීම් නොකැමැති විය යුතුයි.
කවර පසක්ද යත්?

“මහානාමය, මේ ලෝකයෙහි කුලපුත්‍ර තෙම බාහු බලයෙන් රැස් කරණ ලද ඩහදිය වැගිරීම් ඇති, ධාර්මිකවූ, දැහැමින් ලබන ලද්දාවූ, නැගී සිට උත්සාහයෙන් ලබන ලද සම්පත් වලින්“මව්පියන්ට සත්කාර කෙරේද,“ගරු කෙරේද, බුහුමන් කෙරේද, පුදාද, සත්කාර කරණ ලද, ගරු කරණ ලද, බුහුමන් කරණ ලද, පුදන ලද,“මව්පියෝ, ඔහුට යහපත් සිතින්, ‘බොහෝ කල් ජීවත් වෙව. දීර්‍ඝායුෂයක් රක්‍ෂා කරව’ යිද අනුග්‍රහ කෙරෙත්. මහානාමය, මව්පියන්ගේ අනුග්‍රහ ඇත්තාවූ කුලපුත්‍රයාගේ වැඩීමම කැමැති විය යුතුයි, පිරිහීම නොකැමැති විය යුතුයි.“

නැවත අනිකක්ද කියමි. මහානාමය, මේ ලෝකයෙහි කුලපුත්‍ර තෙම බාහු බලයෙන් රැස් කරණ ලද ඩහදිය වැගිරීම් ඇති, ධාර්මිකවූ, දැහැමින් ලබන ලද්දාවූ, නැගී සිට උත්සාහයෙන් ලබන ලද සම්පත් වලින් අඹුදරුවන් හා දැසි දස් කම්කරු පුරුෂයන්ට සත්කාර කෙරේද, ගරු කෙරේද, බුහුමන් කෙරේද, පුදාද, සත්කාර කරණ ලද, ගරු කරණ ලද, බුහුමන් කරණ ලද, පුදන ලද, අඹුදරු දැසි දස් කම්කරු පුරුෂයෝ, ඔහුට යහපත්වූ සිතින්, ‘බොහෝ කල් ජීවත් වෙව. දීර්‍ඝායුෂයක් පාලනය කරව’ යි අනුග්‍රහ කරත්. මහානාමය, අඹුදරු දැසි දස් කම්කරු පුරුෂයන් විසින් අනුකම්පා කරණ ලද කුලපුත්‍රයාගේ වැඩීමට කැමති විය යුතුයි, පිරිහීම නොකැමැති විය යුතුයි.“

මහානාමය, මේ ලෝකයෙහි කුලපුත්‍ර තෙම බාහු බලයෙන් රැස් කරණ ලද ඩහදිය වැගිරීම් ඇති, ධාර්මිකවූ, දැහැමින් ලබන ලද්දාවූ, නැගී සිට උත්සාහයෙන් ලබන ලද සම්පත් වලින් තමන්ගේ කුඹුරු කර්‍මාන්තවලට අනතුරු ඉඩම් හිමියන්ට සත්කාර කෙරේද, ගරු කෙරේද, බුහුමන් කෙරේද, පුදාද, සත්කාර කරණ ලද, ගරු කරණ ලද, බුහුමන් කරණ ලද, පුදන ලද, තමන්ගේ කුඹුරු කර්‍මාන්තයට සමීප ඉඩම් මනින විකුණන හිමියෝ ඔහුට යහපත් සිතින්, ‘බොහෝ කල් ජීවත් වෙව. දීර්‍ඝායුෂය පාලනය කරව’ යි අනුග්‍රහ කරවත්. මහානාමය, තමන්ගේ කුඹුරු කර්‍මාන්තයට සමීප ඉඩම් මනින විකුණන්නවුන් විසින් අනුකම්පා කරණ ලද කුලපුත්‍රයාගේ වැඩීමම කැමති විය යුතුයි, පිරිහීම නොකැමැති විය යුතුයි.“

නැවතද අනිකක් කියමි. මහානාමය, මේ ලෝකයෙහි කුලපුත්‍ර තෙම බාහු බලයෙන් රැස් කරණ ලද ඩහදිය වැගිරීම් ඇති, ධාර්මිකවූ, දැහැමින් ලබන ලද්දාවූ, නැගී සිට උත්සාහයෙන් ලබන ලද සම්පත් වලින් යම් ඒ පූජා පිළිගන්නාවූ දෙවි කෙනෙක් වෙද්ද, ඔවුන්ට සත්කාර කෙරේද, ගරු කෙරේද, බුහුමන් කෙරේද, පුදාද, සත්කාර කරණ ලද, ගරු කරණ ලද, බුහුමන් කරණ ලද, පුදන ලද, පූජා පිළිගන්නාවූ දෙවියෝ යහපත් සිතින්, ‘බොහෝ කලක් ජීවත් වෙව. දීර්‍ඝායුෂය පාලනය කරව’ යි ඔහුට අනුග්‍රහ කෙරෙත්. මහානාමය, දේවතාවන් විසින් අනුග්‍රහ කරණ ලද කුලපුත්‍රයාගේ වැඩීමම කැමති විය යුතුයි, පිරිහීම නොකැමැති විය යුතුයි.“

නැවතද අනිකක් කියමි. මහානාමය, මේ ලෝකයෙහි කුලපුත්‍ර තෙම බාහු බලයෙන් රැස් කරණ ලද ඩහදිය වැගිරීම් ඇති, ධාර්මිකවූ, දැහැමින් ලබන ලද්දාවූ, නැගී සිට උත්සාහයෙන් ලබන ලද සම්පත් වලින් ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට සත්කාර කෙරේද, ගරු කෙරේද, බුහුමන් කෙරේද, පුදාද, සත්කාර කරණ ලද, ගරු කරණ ලද, බුහුමන් කරණ ලද, පුදන ලද, ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඔහුට යහපත් සිතින්, ‘බොහෝ කලක් ජීවත් වෙව. දීර්‍ඝායුෂය පාලනය කරව’ යි අනුග්‍රහ කෙරෙත්. මහානාමය, ශ්‍රමණ බ්‍රාහ්මණයන් විසින් අනුකම්පා කරණ ලද්දාවූ කුලපුත්‍රයාගේ වැඩීමම කැමති විය යුතුයි, පිරිහීම නොකැමැති විය යුතුයයි.“

මහානාමය, යම් කිසි කුල පුත්‍රයෙකුගේ ධර්‍ම පසක් විද්‍යමාන වෙද්ද, ඉදින් මස්තකයෙහි අභිෂෙක කරණ ලද ක්‍ෂත්‍රියවූ රජෙකුගේ හෝ, ඉදින් පියා විසින් දෙන ලද රට අනුභව කරන්නෙකුගේ හෝ, ඉදින් සේනාවට අධිපතිවූ සෙනෙවියෙකුගේ හෝ, ඉදින් ගමට අධිපති ගම් දෙටුවෙකුගේ හෝ, ඉදින් සමූහයාට අධිපති ගම් ප්‍රධානියෙකුගේ හෝ යි. යම් කෙනෙක් හෝ කුලයන්හි වෙන් වෙන්ව අධිපති බව කරවද්ද, වැඩීමට කැමති විය යුත්තීය. පිරිහීම් නොකැමැති විය යුතුයි.

(1) “හැම කල්හි මව්පියන්ගේ කටයුතු කරන්නාවූ, අඹුදරුවන්ට හිතවූ, කුලපුත්‍ර තෙම, ඇතුළත ජනයාටද, මොහුට අනුව ජීවත් වන්නාවූ යම් කෙනෙක් වෙත් නම් ඔවුන්ටද වැඩ පිණිස පිළිපදියි.

(2) “වචන දන්නාවූ, සිල්වත්වූ හෙතෙම පෙර පරලොව ගියාවූ නෑයන්ටද, මෙලොව ජීවත් වන්නවුන්ටද, යන දෙගොල්ලන්ටම වැඩ පිණිස පිළිපන්නේ වෙයි.

(3) “දැහැමින් ගිහිගෙයි වාසය කරන්නාවූ පණ්ඩිත තෙම ශුමණ බ්‍රාහ්මණයන්ටද, දෙවතාවන්ටද සතුට උපදවන්නේ වෙයි.

(4) “හෙතෙම යහපත්කොට පිදිය යුත්තෙක්, පැසසිය යුත්තෙක් වේ. මෙලොවදීම ඔහුට ප්‍රශංසා කරත්. පරලොව ස්වර්‍ගයෙහිද සතුටු වේය” යි වදාළ සේක.

AN 05-06-01-09. බුඩ්ඪ පබ්බජිත සූත්‍රය.

මහණෙනි, කරුණු පසකින් යුක්තවූ මහළුව පැවිදිවූ තැනැත්තේ දුර්ලභ වේ.
කවර පසකින්ද යත්,“

මහණෙනි, සියුම් කාරණා දන්නාවූ වෘද්‍ධ ප්‍රවෘජිත තෙම දුර්ලභ වේ.
ශ්‍රමණ කල්පයෙන් යුක්තවූයේ දුර්ලභ වේ.
බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තේ දුර්ලභ වේ.
ධර්මකථික වූයේ දුර්ලභ වේ.
විනයධර වූයේ දුර්ලභ වේ.“

මහණෙනි, කරුණු පසකින් යුක්තවූ මහළුව පැවිදිවූ තැනැත්තේ දුර්ලභ වේ.

AN 05-06-01-10. දුතිය බුඩ්ඪ පබ්බජිත සූත්‍රය.

“මහණෙනි, කරුණු පසකින් යුක්තවූ මහළුව පැවිදිවූ තැනැත්තේ දුර්ලභ වේ.
කවර පසකින්ද යත්,“

මහණෙනි, කීකරුවූ මහළුව පැවිදිවූ තැනැත්තේ දුර්ලභ වේ..
මනාකොට ගන්නා ලද ගැනීම් ඇත්තේ දුර්ලභ වේ.
පැදකුණු කිරීමෙන් අවවාද ගන්නේ දුර්ලභ වේ.
ධර්මකථික වූයේ දුර්ලභ වේ.
විනයධර වූයේ දුර්ලභ වේ.“

මහණෙනි, කරුණු පසකින් යුක්තවූ මහළුව පැවිදිවූ තැනැත්තේ දුර්ලභ වේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.