MN 02-04-05 . බොධිරාජ කුමාර සූත්‍රය.

පුජ්‍ය නාඋයනේ අරියධම්ම මහා ස්වාමින්වහන්සේ කල සුත්‍ර දේසනාව

බෝධිරාජ කුමාර සුත්‍රයේදී භාග්‍යවතුන් වහන්සේ සිය බෝධිසත්ව කාලය ගැන විස්තරයක් කරයි. ගිහි ගෙන් කලකිරී ශ්‍රමණ බවට පත් වූ දා සිට පළමුවන සද්ධර්ම දේසනාව පස්වග මහනුන්ට දේසනා කිරීම දක්වා සිදුවීම් මේ සුත්‍රයේද දක්වා ඇත්තේ අරිය පරියේසන සුත්‍රයේ සහ සච්චක සුත්‍රයේ දක්වා අති ආකාරයටමය. මේ සියලු විස්තර මෙහි අඩංගු කලේ පසු කාලීනව බව මේ සියලු විස්තර ඇසීමෙන් බෝධි රාජ කුමාරයාට ඇතිවන යහපතක් නොවෙන නිසා පැහැදිලිය.
කෙසේ වුවත් සතියෙන් මේ අසන කෙනෙකුට බුද්ධ චරිතය ඉගෙන ගැනීමේදී අපට ඉගැන්වූ බොහෝ අසත්‍යයන් හඳුනාගත හැක. මේ සුත්‍ර කිසිවක නොවදාළ සිදුහත් කුමරු ඇසල මස මහ රැයේ හොරෙන්ම මැදුරෙන් පලා යාම අභිනිෂ්ක්‍රමණය ලෙසද , සහම්පති නම් බ්‍රහ්ම රාජයෙක් බුදුන් වහන්සේට ධර්ම දේශනා කිරීම පටන් ගන්න යයි ආරාධනා කිරීම ආදී බොහෝ කාරනා පසු කාලීනව ඇතුලත් කල ඒවා බව හඳුනාගත හැක. ත්‍රිපිටකයේ කිසිදු තැනක නැති මේ ප්‍රබන්ධ කතන්දර , අභිධර්ම පිටකය බුද්ධ භාෂිතයක් ලෙස අද ලංකාවේ බෞධයන් ඇදහීම හා විසුද්ධි මාර්ගය ත්‍රිපිටකයට ඉහලින් පිලි ගැනීම වැනි අඥාන මතවාද නිසාම අඩු තරමින් සෝවාන් ඵලයටවත් පත් වන්නට ලාංකිකයෙකුට සිය වසරකට නුපුළුවන් විය. දහසක් දේශකයන් මග ඵල පිණිස ධර්මය දේශනා කරන්නේ තමන් ට කරගන්නට බැරි වුවක් අනුන් ලවා කරවීමට මෙනි.

§ 1. මා විසින් මෙසේ අසන ලදී.
එක් කාලයෙක භාග්‍යවතුන් වහන්සේ භග්ග නම් ජනපදයෙහි සුංසුමාර ගිර නම් නගරයට සමීප වූ මෘගදාය නම් භෙසකලා වනයෙහි වැඩ වෙසෙත්.

§2. එකල්හි බොධිරාජ කුමාරයා816 සිය වාසය පිණිස කොකනද නම් ප්‍රාසාදයක් කරවන ලදුව ඒ ප්‍රාසාදයට ගෙවැදීමේ උත්සවයක් නොහොත් පින්කමක් කොට එහිදී පළමු ආහාරය පුජා කිරීම පිණිස භාග්‍යවතුන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝයාට ආරාධනා කළේය.

[816: බෝධිරාජ කුමාරයා, කොසඹියෙහි උදේනි රජුගේ ජේෂ්ඨ පුත්‍රයා ය. ඔහුගේ අග බිසොව අවන්ති දේශයෙහි චාද පජ්ජෝත රජුගේ දියණිය ය. මේ දෙපලට දරු සම්පතක් නැතිව බොහෝ කලක් ගත ව තිබුණි. බුදුන් වහන්සේට දානයක් පුජාකොට දරු සම්පතක් ලබා ගන්නට හැකියි විස්වාසයක් ඔහුට වූ නිසා මට දරුවෙකු ලැබේනම් මේ පාවාඩය පාගා ඒ මතින් බුදුන් වහන්සේ මේ ගෘහයට වඩිවා’යි ප්‍රාර්ථනයෙන් බෝධිරාජ කුමරු ඇතුළුවන දොරට කෙලින් පාවාඩයක් එලා තිබුණි.]

[§ 3 සිට §  6 තෙක් ඇති දානයට ආරාධනා කිරීමේ විස්තරය අඩංගු නොකලෙමි.]

§ 7 . කුමාරයා භාග්‍යවතුන් වහන්සේට
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මට බොහෝ කාලයක් හිත පිණිස, වැඩ පිණිස, මේ පාවාඩය මතින් ගෙතුලට වඩින සේක්වායි” කීය. මෙසේ කී විට භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්ද වී පා නොඔසවා සිටිසේක. දෙවනුවද, බොධිරාජ කුමාරයා භාග්‍යවතුන් වහන්සේට
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මට බොහෝ කාලයක් හිත පිණිස වැඩ පිණිස මේ පාවාඩය මතින් ගෙතුලට වඩින සේක්වායි” කීය. දෙවනුවද භාග්‍යවතුන් වහන්සේ පා නොඔසවා සිටිසේක.
තෙවනුවත් බොධිරාජ කුමාරයා භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මට බොහෝ කාලයක් හිත පිණිස වැඩ පිණිස මේ පාවාඩය මතින් ගෙතුලට වඩින සේක්වායි” කීය.
තෙවනුවත් බොධිරාජ කුමාරයා භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මට බොහෝ කාලයක් හිත පිණිස වැඩ පිණිස වස්ත්‍ර පාගා වඩින සේක්වා, සුගතයන් වහන්සේ පාවඩය පාගා වඩින සේක්වායි” කීය. .

§ 8. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්දයන් දෙස බැලීය. අනතුරුව ආයුෂ්මත් ආනන්ද තෙරුන් වහන්සේ බොධිරාජ කුමරුට මෙසේ කීය.
“රාජ කුමාරයිනි, පාවාඩය ඉවත් කරව! භාග්‍යවතුන් වහන්සේ මෙම පාවාඩය 818 උඩින් නොවඩිත්” කීය.

[ 818:-මෙම සුත්‍රයේ #2 සිට #8 දක්වා ඇති කාරනා විනය පිටකයේද සඳහන් වේ. මේ සිද්ධිය මුල් කොට ගෙන විනය නීතියක් පැනවීම පසුව සිදු කෙරින. සුදු පාවඩයක් එලා ඒ මතින් භික්ෂුවක් වැඩමවීමෙන් ඒ දායකයාගේ සිතැඟි ඉෂ්ඨ වේ යයි ඇති මිත්‍යා විශ්වාසය නැති කිරීම පිණිස, එසේ එලු පාවාඩ මතින් නොවඩින ලෙස විනය නීතියක් පැනවිණ. නමුත් පසුව එය ලිහිල් කොට ගෙහි වසන්නවුනට සෙතක්, ශාන්තියක් වේවා’යි පතා පාවාඩය මත පා තැබීමට පමණක් භික්ෂුනට අවසර දෙනු ලැබිය.]

§ 9. .ඉක්බිති බොධිරාජ කුමාරයා පාවාඩය හකුළුවා ඉවත්කොට කොකනද ප්‍රාසාදයට භාග්‍යවතුන් වහන්සේ හා පරිවාර සංඝයා වහන්සේ වැඩමවිය. එවිට භාග්‍යවතුන් වහන්සේ පැනවූ අස්නෙහි භික්ෂු සංඝයා සමග වැඩ උන්හ. එවිට බොධිරාජ කුමාරයා ද බුදුන් ප්‍රධාන භික්ෂු සංඝයා ප්‍රණීතවූ ආහාර පානයෙන් සියතින්ම හොඳින් වැළඳවිය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ වළදා පාත්‍රයෙන් අත ඉවත් කළ කල්හි, බොධිරාජ කුමාරතෙම මිටි අස්නක් ගෙන එක් පසෙක ඉඳ ගත්තීය. එක් පසෙකහුන් බොධිරාජ කුමරයා භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය.

“ස්වාමීන් වහන්ස, මට මෙසේ අදහසෙක් වෙයි. ප්‍රීතිය සන්තොසය ලැබීමෙන්ම කෙනෙකු ප්‍රීතියට සන්තෝසයට පත් නොවේය. ප්‍රීතිය නොව දුක් වින්දීමෙන්ම ප්‍රීතිය ලැබිය හැක. සැපයට පැමිණිය හැක. දුකෙන් සැපයට පැමිණිය යුතුය” යන මෙබඳු අදහසක් මට පහළවිය යනුයි.

[819:- මේ ජෛන ආගමේ ඉගැන්වීමකි. මනුෂ්‍යයා සැප නොලබා දුක් විඳින්නෙ පෙර කල කර්මවල විපාක ලෙසය. පෙර කල කාර්ම වල දුක් විපාක වහ වහා අවසන් කිරීමට ඕනෑකමින් ම දුක් වින්දොත්, ඒ කාර්ම විපාක ද අවසන් වී. හොඳ විපාක ඇති කාර්ම විපාක පමණක් ඉතිරි වේ’ ය යනු මහාවීර ජෛන සාස්ත්රුවරයා ඉගැන්වීම විය.]

§ 10 “කුමාරයිනි, චතුස්සත්‍යාවබොධ කිරීමට පෙර , බෝධිසත්ව කාලයේදී මටත් ‘සැපයෙන් සැපයට පැමිණිය නොහැක. දුකෙන්ම සැපයට පැමිණිය යුතුය” යන, අදහස පහළවිය,

[බෝධිසත්ව කාලය යනු ගිහි ගෙයින් නික්ම වූදා සිට බුද්ධත්වය අවබෝධ කරගැන්ම දක්වා කාලය ලෙස සලකන්න.]

§ 11 . ගිහිගෙයි වසන්නකු හට සියලු ආකාරයෙන් පිරිසිදුවූ, මුළු සිතම යොදා, අන් සියලු ක්‍රියාවෙන් වෙන්ව, මේ බ්‍රහ්ම චර්යාවෙහි හැසිරීම පහසු නොවෙයි. මම හිසකේ දැළිරැවුලු කපා හැර, කසාවත් හැඳ, ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වන්නෙම් නම් ඉතා යෙහෙකැයි, කියා, මම තරුණ වයසේ දීම, හිසකෙස් දැළි රැවුල් කපාහැර කසාවත් හැඳගෙන ගිහිගෙන් නික්ම අනගාරිකව පැවිදිවීමි.’ 820

[820:- සුත්‍රයේ දැක්වෙන ආකාරයට 12 වන චේදයේ සිට බෝධිසත්ව ජීවිතයේ විස්තරයක් මෙහි අඩංගු වේ. මේ විස්තරය මේ ආකාරයටම අරිය පර්යේෂණ සුත්‍රයේද, සච්චක සුත්‍රයේද සඳහන් වේ. බෝධිරාජ කුමාරයාට මේ කාරණාවලින් ඉගෙනගන්නට කිසිවක් නොපෙනෙන නිසා මේ සියලු කාරනා මේ දෙසනාවට අඩංගු නොවූ බවත්, පසු කාලීනව අරිය පරියේසන සුත්‍රයේ අති මුළු විස්තරය මෙහි අඩංගු කරන්නට අති බවත්, බොහෝ පර්යේෂකයන් විශ්වාස කරයි. ඒ හැරෙන්නට යසෝදරාවට පුතා උපන් දා රෑම කිසිවෙකුට නොකියා, චන්න ඇමතියා සමග, කන්ථක ඇසු පිට නැගී රජ මැදුරෙන් පලා ගිය බවක් නේ සුත්‍ර සතරෙන් එකක වත් සඳහන් නොවෙයි. සතරවරම් දෙවියන් සිවුරු පුජා කල බවක්, හිස කෙස් කපා අහසට විසිකළ විට අහසේ රන්දුනු බවක් ද කොතනකවත් නැත. ]

§ 12. “මෙසේ පැවිදිවූ මම කුසල් කුමක්දැයි සොයන්නේ නිරුත්තර උතුම් නිර්වාණය සොයන්නේ ආළාරකාලාම නම් තවුසන් ගැන අසා එතුමා වෙත ගියෙමි. එතුමා වෙත ගොස්, මෙසේ කීවෙමි.
“ඇවැත්නි කාලාමයෙනි, ඔබගේ මේ ශාසනයෙහි බ්‍රහ්මචරියාවෙහි හැසිර විමුක්තිය ලබන්නට මම කැමැත්තෙමි’යි කීවෙමි’

කුමාරය, මම මෙසේ කී කල්හි ආළාරකාලාම තුමා මට මෙසේ කීවේය.
‘යම් නුවණ ඇති පුරුෂයෙක් සුළු කලකින් තමන්ගේ ආචාර්යයන්ගේ ධර්මය තමාම නුවණින් දැන අවබෝධ කොට ඊට පැමිණ වාසය කරන්නේද මේ ධර්මයද එබඳුය, එහෙයින් ආයුෂ්මතුන් මෙහි වාසය කෙරේවා’ කියායි.

“කුමාරය, මම ටික කලකින්ම ඔවුන්ගේ ධර්මය අසා මනාව ඉගෙන ගත්තෙමි. මම කට පාඩම් කිරීම් පමණක් නොව එතුමා ගේ දේසනා ප්‍රායෝගිකව යොදා භාවිතා කොට, ස්වල්ප කාලයකින්ම මම මෙය දනිමි’යි කියන ඤාණවාදය දත්තෙමි. එහි මා සිත ස්ථිරව පිහිටියේ යයි කියන. ථෙරවාදයද දනිමියිද දකිමියිද පිළිගනිමි. මා පමණක් නොව අන්‍යයෝද එසේ මා එම ධර්මය පිරිසිඳ අවබෝධ කරගත් බව දැනගත්හ.

ඉක්බිති, මම ආළාරකාලාමයන් වෙත ගොස් මෙසේ ඇසීමි. ‘ඇවැත්නි, කාලාමයෙනි, ඔබ කෙසේ නම්, කුමන ආකාරයකින් මේ ධර්මය දැන ප්‍රත්‍යක්ෂ කොට ඊට එළඹ වසමි යැයි ඔබතුමා ප්‍රකාශ කෙරේදැ’යි (කියාය). කුමාරයානනි මෙසේ කී කල්හි ආළාරකාලාම තවුසන්   ආකිඤ්චඤ්ඤායතනය ට302 එළැඹෙන සැටි මට ඉගැන්වීය .

[302:- ආකිඤ්චඤ්ඤායතන ධ්‍යානය වඩනු කැමති යෝගාවචර තෙමේ පස් ආකාරයකින් විඤ්ඤාණඤ්චායතනයෙහි නො පුරුදු බැවින් වසඟ බවට පැමිණ ‘මේ විඤ්ඤාණඤ්චායතනය සමීපයෙහි පවත්නා ආකාසානඤ්චායතන නමැති සතුරකු ඇත්තේ ය. ආකිඤ්චඤ්ඤායතනය සේ ශාන්ත ද නොවේය’ යි විඤ්ඤාණඤ්චායතනයෙහි ආදීනව දැක එහි කැමැත්ත සිඳපියා ආකිඤ්චඤ්ඤායතනය ශාන්ත සේ මෙනෙහි කොට ඒ විඤ්ඤාණඤ්චායතනයට අරමුණු වූ ආකාසානඤ්චායතන විඤ්ඤාණයා ගේ අභාවය, ශූන්‍යත්‍වය, විවික්තාකාරය මෙනෙහි කළ යුතු. ඒ විඤ්ඤාණය මෙනෙහි නොකොට “නැත” “නැතැයි” හෝ “ශුන්‍යය” “ශුන්‍යය” යි හෝ “විවික්තයැ” “විවික්තයැ” යි හෝ සිහි කළ යුතුය. නැවත නැවත මෙනෙහි කළ යුතුයි. එසේ මෙනෙහි කරන ඒ යෝගාවචරයාගේ සිතෙහි නීවරණයෝ පහවෙති. සිහිය පිහිටයි. උපචාර වශයෙන් සිත සමාධි වෙයි. හෙතෙම ඒ නිමිත්ත නැවත නැවත වඩන්නේ වෙයි. එකල ඕහට පෙර ආකාශයෙහි පහළ වූ විඤ්ඤාණඤ්චායතන ධ්‍යානය මෙන් ඒ විඤ්ඤාණඤ්චායතනයාගේ ශූන්‍ය භාව සංඛ්‍යාත අරමුණෙහි ආකිඤ්චඤ්ඤායතන ධ්‍යාන සිත පිහිටයි. මෙහි ද පෙර කී සේ මැයි.- විසුද්ධි මාර්ගය.]

කුමරුනි, මට මේ අදහස පහළ විය. ආළාරකාලාම තවුසන් හට පමණක් නොව මටද ශ්‍රද්ධාව ඇත්තේය. වීර්ය ඇත්තේය. මටද සතිය ඇත්තේය. මටද සමාධිය ඇත්තේය. මටද ප්‍රඥාව ඇත්තේය. ආළාරකාලාම තවුසන් යම් ධර්මයක් ප්‍රත්‍යක්ෂකොට දැන වාසය කරයි නම් ඒ ධර්මය ප්‍රත්‍යක්ෂකොට දැනගන්නට වීර්ය කරන්නෙම් නම් හොඳය” කියායි.

“කුමරුනි , මම නොබෝ කලකින් ඒ ධර්මය උගෙනගත් පරිදිම වඩා, මම, ම දැන ප්‍රත්‍යක්ෂකොට ඊට පැමිණ වාසය කෙළෙමි. කුමරුනි, ඉක්බිති මම ආළාරකාලාම තවුසන් වෙත ගොස්, ‘ඇවැත්නි, කාලාමයෙනි, මේ ධර්මය ඔබ උගැන්වූ පරිදි, මම මෙසේ වඩා, මෙසේ ප්‍රත්‍යක්ෂ කොට ගත්තෙමි.” යි විස්තර කලෙමි.

“ඉතාමත් අගනේය. මිතුර ඉතාමත් අගනේය. මම ද විමුක්ති සුව විඳින්නේ ඔබ විඳිනා ලෙසමය. මා වටහා ගත ධර්මය එපරිද්දෙන්ම ඔබද වටහා ගෙන ඇත. ඔබ වටහා ගත් ලෙසම මාද වටහා ගත්තේ වෙමි. ඔබ වැනි සබ්‍රහ්මචාරීන් අප අතර විසීම අපට මහත් ලාභයකි. මම යම්බඳුද, ඔබත් එබඳුය. ඔබ යම්බඳුද, මාත් එබඳුය. ඇවැත්නි, එනු මැනව. මා හා එක්ව මේ අපේ අනෙක් ශ්‍රමණයන් විමුක්ති මාර්ගයට පමුණුවමු” යි කීහ.
“කුමරුනි, මෙසේ මාගේ ආචාර්යවූ ආළාරකාලාම තවුසන් ඔහුගේ ශිෂ්‍යයාවූ මා, ඔහු හා සම සම තන්හි තැබීය. පිදිය හැකි උසස්ම පූජායෙන් මා පිදීය.

කුමරුනි, මට මෙසේ සිත්විය. මා ආලාර කාලාමයන් ගෙන් උගත්  ධර්මය, කාමයන් කෙරෙහි කලකිරීම පිණිස, නොඇල්ම පිණිස, කෙලෙස් නැති කිරීම පිණිස, කෙලෙස් සංසිඳීම පිණිස, විශෙෂයෙන් දැනගැනීම පිණිස, අවබොධය පිණිස, නිවන් පිණිස නොපවතියි. ආකිඤ්චඤ්ඤායතන බඹලොව ඉපදීම පිණිස පමණක් පවතියි. මාර පාසයෙන් නිත්‍ය ගැලවීමෙන් තොර වූ එම ධර්මය ප්‍රමාණවත් නොවේයයි සලකා ඒ ධර්මයෙහි පමණක් නොසැහිමෙන් , මම එතුමා කෙරෙන් ඉවත්ව ගියෙමි.

§ 13 . “කුමරුනි, නැවතත් මම විමුක්තිය කුමක්දැයි සොයමින්, නිරුත්තරවූ උතුම් නිර්වාණය සොයමින් ආචාර්යවරයකු සොයන්නේ උද්දක රාම පුත්ත303 තවුසන් ගැන අසා ඔහු සොයා ගියෙමි. ගොස් “ඇවැත්නි, මම මේ ධර්මයෙහි හැසිරෙන්ට කැමැත්තෙමි’යි කීයෙමි. “මහණෙනි, මෙසේ කී කල්හි උද්දකරාම පුත්ත තවුසන් මට මෙසේ කීයේය.
“‘යම් තැනක නුවණැත්තාවූ පුරුෂයෙක් තෙම නොබෝ කලකින් ස්වකීය ආචාර්යවරයාගේ ධර්මය තමාම දැන ප්‍රත්‍යක්ෂකොට වාසය කරන්නේද මේ ධර්මය තෙම එබඳුය එහෙයින් ආයුෂ්මත් තෙම වාසය කෙරේවා”යි කියායි.

[303:- මේ තාපසයාගේ නම “උද්දක” විය. ඔහු අනුගමනය කල ඉගැන්වූයේ බොහෝ කලකට පෙර අභාවප්‍රාප්ත වූ “රාම” නම් තාපසයා විසින් වඩා දියුණු කරගත් ධ්‍යාන මාර්ග ක්‍රමයකි. රාම සෘෂි වරයා ලබාගත් එම ඵලය නෙවසඥා නාසඥා යතනය තෙකි දියුණු වූ අරුපි ධ්‍යානයට සිත නංවන ක්‍රමා වේදයකි. ඔහුගේ ක්‍රමය පරම්පරාවෙන් පරම්පරාවට උගන්වා පවත්වාගෙන ගිය තවූසන් රාම පුත්ත ලෙස හැඳින්වේ. එනිසා මේ තවුසා “උද්දක රාමපුත්ත” ලෙස නම් වීය. ]

“කුමරුනි, මම නොබෝ කලකින් ඔවුන්ගේ ධර්මය අසා ඉගෙන ගත්තෙමි. මහණෙනි, මම ඔහු කියූ දෙයට පිළිතුරු දීමට තොල් සෙලවූ පමණින්, පාඩම් කරගත් පිළිතුරු දුන් පමණින් නොව උගත් ධර්මය මගේම අත් දැකීමෙන් හා වටහා ගැනීමෙන් ඒ ධර්මය, හා ඉගැන්වීම දනිමි, දකිමියිද කියමි. මා පමණක් නොව අන්‍යයෝද එසේ ප්‍රකාශ කරති. ඉදින් මහණෙනි, උද්දක තවුසන් මේ ධර්මය හුදෙක් ඇදහීම් පමණකින් ප්‍රකාශ නොකොට තම විශිෂ්ට ඥානයෙන්ම ප්‍රත්‍යක්ෂ කොට දැන වාසය කරති යි මට සිත් විය. ඉක්බිති මහණෙනි, මම උද්දක තවුසන් වෙත ගොස් මෙසේ ඇසීමි.

‘ඇවැත්නි, රාම පුත්‍රයෙනි, කෙසේ නම්, කුමන ආකාරයකින් මේ ධර්මය දැන ප්‍රත්‍යක්ෂ කොට ඊට එළඹ වසමි යැයි ඔබතුමා ප්‍රකාශ කෙරේදැ’යි (කියාය) මහණෙනි මෙසේ ඇසු කල්හි උද්දකරාම පුත්ත තවුසන් නෙවසඤ්ඤා-නාසඤ්ඤායතනය දක්වා සිත පැවැත්වීම ගැන මට ඉගැන්වූයේය.

. කුමරුනි, මට මේ අදහස පහළ විය. උද්දකරාම පුත්ත තවුසන් හට පමණක් නොව මටද ශ්‍රද්ධාව ඇත්තේ වෙයි. වීර්ය ඇත්තේ වෙයි. මටද සතිය ඇත්තේය. මටද සමාධිය ඇත්තේය. මටද ප්‍රඥාව ඇත්තේය. උද්දකරාම පුත්ත තවුසන් යම් ධර්මයක් ප්‍රත්‍යක්ෂකොට දැන වාසය කරමියි කියයි නම් ඒ ධර්මය ප්‍රත්‍යක්ෂකොට දැනගන්නට මමද වීර්ය කරන්නෙම් නම් හොඳය කියායි.

“කුමරුනි, මම නොබෝ කලකින් ඒ ධර්මය උගෙනගත් පරිදිම වඩා මාම දැන ප්‍රත්‍යක්ෂකොට ඊට පැමිණ වාසය කෙළෙමි. මහණෙනි, ඉක්බිති මම උද්දකරාම පුත්ත තවුසන් වෙත ගොස්, ‘ඇවැත්නි, රාමපුත්තයෙනි, මේ ධර්මය ඔබ උගැන්වූ පරිදි, මම මෙසේ වඩා, මෙසේ නෙවසඤ්ඤා-නාසඤ්ඤායතනය303 ප්‍රත්‍යක්ෂ කොට ගත්තෙමි.” යි විස්තර කලෙම්..

[303:- නේවසඤ්ඤානාසඤ්ඤායතනය ධ්‍යානය වඩනු කැමැති යෝගාවචර තෙමේ පස් ආකාරයකින් ආකිඤ්චඤ්ඤායතන සමාපත්තියෙහි වසී බවට පැමිණීමෙන් මේ ආකිඤ්චඤ්ඤායතන සමාපත්තියට ළංවූ විඤ්ඤාණඤ්චායතන නමැති පසමිතුරා ඇත්තේ ය. නේවසඤ්ඤා නාසඤ්ඤායතනය සංස්කාරයන් ගේ සියුම් බවට පැමිණීමෙන් විශේෂයෙන් සන්හුන්නා සේ සන්හුන් බවට පැමිණියේත් නොවේ. ඒ සන්හුන් බව නැති හෙයින් ම (රූපාදිස්කන්‍ධයෙහි) ප්‍ර‍ත්‍යයයෙන් යැපිය යුතු හෙයින් හා රෝගයට මුල් බැවින් ද රෝගයක් බඳුවේ. දුක් බැවින් හා රිදීම ඇති කරන හෙයින් ගඩක් (පොළක්) බඳු වේ. පීඩා උපදවන හෙයින් හුලක් බඳු වේ. මේ සියල්ල සංඥාව ඇති කල්හිම වන හෙයින් “සඤ්ඤා රොගො, සඤ්ඤා ගණ්ඩො, සඤ්ඤා සල්ලො”[1] යි සංඥාව රෝගයෙක; ගඩෙක; හුලෙකැ’යි වදාළහ. (මෙහි සංඥා නම් විඥානය ය)

(මෙහි වනාහි පඤ්චචෝකාර භවගත සංඥාව (විඥානය) අභිප්‍රේතය. ප්‍ර‍කට හෙයිනි. හුදෙක් එපමණක් නොව වේදනා චේතනාදිය ද සංග්‍ර‍හ වේ) මෙසේ ආකිඤ්චඤ්ඤායතනයෙහි දොස් දැක එහි ආසා දුරුකොට නේවසඤ්ඤා නාසඤ්ඤායතනයෙහි ආනිසංසද බලා එය ශාන්ත වශයෙන්, ප්‍ර‍ණීත වශයෙන්) මෙනෙහි කොට ප්‍ර‍ථමරූප්‍යවිඥානයා ගේ අභාවය අරමුණු කොට පැවැති ඒ ආකිඤ්චඤ්ඤායතන සමාපත්තිය ම “ශාන්තයැ ශාන්තයැ” යි නැවත නැවත මෙනෙහි කරන, ආවර්‍ජනා කරන, ප්‍ර‍ත්‍යවේක්‍ෂා කරන, තර්‍ක කරන, විතර්‍ක කරන, (එහිම සිත) නැවත නැවත පිහිටුවන ඒ යෝගවචරයා ගේ සිත්හි නීවරණයෝ පහවෙති. සිහිය පිහිටයි. උපචාරධ්‍යානයෙන් සිත එකඟ වේ. හෙතෙම ඒ ධ්‍යාන නිමිත්ත නැවත නැවත වඩයි. ඒ වඩන්නාහට විඤ්ඤාණාපගමයෙහි ආකිඤ්චඤ්ඤායතනය මෙන් ආකිඤ්චඤ්ඤායතනය යි කියන ලද සතර නාමස්කන්‍ධ සංඛ්‍යාත අරමුණෙහි නේවසඤ්ඤානාසඤ්ඤායතන ධ්‍යාන සිත අර්පණා වශයෙන් මනාව උපදී. (මෙහි අර්පණා ක්‍ර‍මය ද යට කී සේ දතයුතු)

මෙතෙකින් ඒ යෝගාවචර තෙම:- “සබ්බසො ආකිඤ්චඤ්ඤායතනං සමතික්කම්ම නේවසඤ්ඤා නාසඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති”[2] පෙරකී සේ සර්‍වප්‍ර‍කාරයෙන් ආකිඤ්චඤ්ඤායතන ධ්‍යානය ඉක්ම නේවසඤ්ඤා නාසඤ්ඤායතනයට පැමිණ වාසය කෙරේ.]

“ ඉතාමත් අගනේය. මිතුර ඉතාමත් අගනේය. මම ද විමුක්ති සුව විඳින්නේ ඔබ විඳිනා ලෙසමය. මා වටහා ගත ධර්මය එපරිද්දෙන්ම ඔබද වටහා ගෙන ඇත. ඔබ වටහා ගත ලෙසම මාද වටහා ගත්තේ වෙමි. ඔබ වැනි සබ්‍රහ්මචාරීන් අප අතර විසීම අපට මහත් ලාභයකි. මම යම්බඳුද ඔබත් එබඳුය. ඔබ යම්බඳුද මාත් එබඳුය. ඇවැත්නි, එනු මැනව. මා හා එක්ව මේ අපේ අනෙක් ශ්‍රමණයන් විමුක්ති මාර්ගයට පමුණුවමු” යි කීහ.
“කුමරුනි, මෙසේ මාගේ ආචාර්යවූ උද්දකරාම පුත්ත තවුසන් ඔහුගේ ශිෂ්‍යයාවූ මා ඔහු හා සම සම තන්හි තැබීය. පිදිය හැකි උසස්ම පූජායෙන් මා පිදීය.

“කුමරුනි, මට මෙසේ සිත්විය. මේ ධර්මය තෙම කලකිරීම පිණිස, කාමයන්හි නොඇල්ම පිණිස, කෙලෙස් නැති කිරීම පිණිස, කෙලෙස් සංසිඳීම පිණිස, විශෙෂයෙන් දැනගැනීම පිණිස, අවබොධය පිණිස, නිවන් පිණිස නොපවතියි. නෙවසඥා නාසඥා බඹලොව ඉපදීම පිණිස පමණක් පවතියි. මාර පාසයෙන් නිත්‍ය ගැලවීමෙන් තොර වූ එම ධර්මය ප්‍රමාණවත් නොවේයයි සලකා ඒ ධර්මයෙහි පමණක් නොසැහිමෙන් , මම එතුමා කෙරෙන් ඉවත්ව ගියෙමි

§ 14 . “කුමාරය මම විමුක්තිය කුමක්දැයි සොයමින්, නිරුත්තරවූ නිර්වාණය සොයමින්, මගධ ජනපදයෙහි පිළිවෙලින් ගමන් කරන්නේ උරුවෙල් දනව්වෙහි සේනානි නම් නියම්ගමට පැමිණියෙමි. එහි සුදුවැලි තලා ඇත්තාවූ, යහපත් තොටවල් ඇත්තාවූද, ගලායන ගඟ ඇත්තාවූද, අවට ගොදුරු ගම් ඇත්තාවූද, ප්‍රසාදය ඇති කරන්නාවූද, සිත් සතුටු කරන්නාවූද වනලැහැබක් ඇති බිම් පෙදෙසක් දැක මට මේ සිත පහළ විය.

ඒකාන්තයෙන් මෙම භූමි ප්‍රදෙශය සිත් අලවන්නේය. වනලැහැබ සතුට උපදවන්නේය. සුදු වැලිතලා ඇති හොඳ තොටුපලවල් ඇති ගංගාවද සිත් අලවන්නීය. හාත්පස ගොදුරු ගම්ද වෙයි. විමුක්තිය පතා වීර්යය කරන කුලපුත්‍රයෙකුට වීර්ය කිරීමට මෙය ඒකාන්තයෙන් සුදුසුයි.’ යනුයි. කුමාරය, මම මේ ස්ථානය වීර්ය කිරීමට සුදුසුයයි සිතා වීර්යය වැඩීම පිණිස 304 එහිම උන්නෙමි.

[304 :- MN 36 මහා සච්චක සුත්‍රයේ සඳහන් කර ඇති ආලාර කාලාම උද්දක රාමපුත්ත තවුසන් ගෙන් ධර්මය ඉගෙන ගැනීමේ තොරතුරු වල සිට දුෂ්කර ක්‍රියාවේ යෙදෙමින් දැඩි අත්තකිලමතානු යෝගයේ යෙදීම් සහ ආහාර නොගැනීම නිසා මරණයේ දොරටුවටම පත්වීම ආදී තොරතුරුද ඉන් පසු මජ්ජිම ප්‍රතිපදාවට එළඹ සම්බුද්ධත්වය අවබෝධාකිරීම වන තෙක් විස්තර මේ සුත්‍රයේද සඳහන් වේ.]

§ 15. “කුමාරය, මට පෙර නොඇසූ විරූ උපමා තුනක් වැටහුනහ.
රාජකුමාරය, නොවියලුනු, අමු දිඹුල් අතු කැබැල්ලක් දියෙහි වැටී, පෙගී ගියේ වේ. ගින්නක් අවුලනු රිසි මිනිසෙක් ඒ ලී දණ්ඩ දැක මම ගින්නක් අවුලමි’යි ඒ තෙත ලී දක්ඬ, තවත් ලීයක් සමග ඇතිල්ලීමෙන් ගින්නක් අවුළුවා ගන්නට ඔහුට හැකි වේද?”
“නැත ස්වාමිනි,”
” එසේ නොහැකි වන්නේ මන්ද?”,

භවත් ගෞතමයෙනි, දිඹුල් ලී කඩ අමුය, තෙතය, එපමණක් නොව ජලයෙහිද කලක් තිබී පොඟන ලද්දේය. එහෙයින් ගිනි උපදවනු රිසි ඒ පුරුෂයාට ඒ ලී දෙක ඇතිල්ලීමෙන් ගිනි පුපුරක් ගන්නට නොහැකි වන්නේය. ඔහුට ක්ලාන්තයටද, වෙහෙසට පැමිණීමද පමණක් සිදුවන්නේය.”

“කුමාරය, එපරිද්දෙන්ම යම් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් , වස්තු කාමයන්ගෙන් වෙන් නොවෙත්ද, කාම වස්තු කෙරෙහි යම් ඇල්මක් වේද, කාම ආසාවක් වේද, කාම මූර්ජාවක් වේද කාම පිපාසයක් වේද, කාම දැවිල්ලක් වේද, ඒ ක්ලේශ කාමය තමා තුල මනාව නැති නොවූයේද, මනාව මැඩපවත්වන ලද්දේ නොවේද, ඒ පින්වත් මහණ බමුණෝ උපක්‍රමයෙන් හටගත්තාවූ, දුක්වූ, තියුණුවූ, කටුකවූ, වේදනාවන් විඳිත්. ඔවුහු ආර්ය මාර්ග ඥාන දර්ශනයටද, නිරුත්තරවූ අවබෝධයටද නොපැමිණෙන්නෝමය කුමාරය, ආශ්චර්යවූ පෙර නොඇසුවිරූ මේ පළමු වන උපමාව මට වැටහුණි.

§ 16. “කුමාරය, අන්‍යවූ දෙවෙනි උපමාවක්ද මට වැටහිණි.
රාජකුමාරය යම්සේ කිරි සහිතවූ අමු (දිඹුල්) ලීයක් දියෙන් ඈත්කොට ගොඩවීමෙහි බහා තබන ලද්දේ වේද, ඉක්බිති පුරුෂයෙක් තම ගිනිගානා දණ්ඩ ගෙන ගිනි නිපදවන්නෙමි. ගින්න පහළ කරන්නෙමියි කියා එන්නේය. රාජකුමාරය, ඒ පුරුෂයා කිරි සහිතවූද, දියෙන්ගෙන ගොඩ තබන ලද්දාවූ, ඒ අමු ලීය ගිනිගානා දණේඩන් මැදීමෙන් ගිනි පුපුරක් උපදවන්නේද? ගින්දර ඇති කරන්නේද?”
“භවත් ගෞතමයෙනි, එය සිදු නොවන්නේය.
ඊට හේතු කවරේද යත්. භවත් ගෞතමයෙනි, ඒ ලී කඩ ජලයෙන් ගොඩට ගෙන වියලි බිමෙහි දමා තිබුණත් කිරි සහිතය. අමුය. තෙතය. එහෙයිනි. ඒ පුරුෂයා ක්ලාන්තයටද, වෙහෙසටද පත්වීම පමණක් සිදුවනවා මිස ගිනි පුපුරක් ඇති නොවන්නේය”

“කුමාරය, “එපරිද්දෙන්ම කිසියම් ශ්‍රමණයකු හෝ බ්‍රාහ්මණයකු හෝ කයින් කාමයන්ගෙන් වෙන්ව වාසය කරන්නේමුත් , එහෙත් කාම වස්තු කෙරෙහි ඔවුන්ගේ ඇල්ම දුරු නොකරයිද, සුළු හෝ කාම ආශාවක් සිතෙහි ශේෂ වේද, කාම මුර්ජාවක් වේද, කාම පිපාසයක් වේද, කාම දැවිල්ලක් වේද, එය සිය අභ්‍යන්තරයෙහි මනාව නැති නොවූයේ වේද, මැඩ නොපවත්වන ලද්දේ වේද, ඒ පින්වත් මහණ බමුණෝ උපක්‍රමයෙන් හටගත්තාවූ දුක්වූ, තියුණුවූ, කටුකවූ වේදනාවන් විඳිත්. ඔවුහු ආර්ය ඥාන දර්ශනයටද, නිරුත්තර අවබෝධයටද නොපැමිනේන්නොය..

[කාමය : කැමැත්ත යනු ඒ දේ නිසා ප්‍රීතියක් ඇති කර ගැනීමය. ඉන් උද්දාමයට පත්වීම පමණක් නොව ඊට පහලින් ඇති කිසියම්ම සතුටක් විඳින්නේ නම් ඒ කාම යයි. ]

“ඒ පින්වත් මහණ බමුණෝ උපක්‍රමයෙන් හටගත්තාවූ, දුක්වූ, තියුණුවූ, කටුකවූ, වේදනාවන් ඉදින් නොවිඳින්නාහුද, ඥාන දර්ශනය ලැබීමටද, නිරුත්තරවූ අවබෝධයටද නුසුදුස්සෝමය. රාජකුමාරය, මේ වනාහි මට වැටහුනු පුදුමවු, පෙර නොඇසුවාවූ දෙවෙනි උපමාවය.

§ 17 . “කුමාරය, පුදුමවූ පෙර නොඇසුවාවූ තුන්වෙනිවූ අන්‍ය උපමාවක්ද මට වැටහුනේය.

කුමාරය, වියලුනාවූ, කිරි සිඳුනාවූ, දියෙන් ගොඩට ගෙන ගොඩබිමෙහි තබන ලද වියලිගිය, දරලීයක් වේද, එකල්හි පුරුෂයෙක් ගිනිගානා දණ්ඩක් ගෙන ගිනි උපදවන්නෙමි. ගින්න ඇති කරන්නෙමියි කියා එන්නේය. රාජකුමාරය, ඒ පුරුෂයා වියලුනාවූ, කිරි සිඳුනාවූ, දියෙන් ඈත්කොට ගොඩ තබන ලද ඒ ලීය ඒ ගිනි ගානා දණ්ඩ ගෙන මැදීමෙන් ගිනි පුපුරක් උපදවන්නේද, ගින්නක් ඇති කරන්නේද?”

“භවත් ගෞතමයෙනි, එසේය.
ඊට හේතු කවරේද? භවත් ගෞතමයෙනි, ඒ ලීය වියලුනේ වෙයි, කිරි සිඳුනේ වෙයි, දියෙන් ගෙන ගොඩ තබන ලද්දේත් වෙයි.”

“කුමාරය, එපරිද්දෙන්ම ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ කයින් කාමයන්ගෙන් වෙන්ව වාසය කරත්ද, ඔවුන්ගේ කාමවස්තූන් කෙරෙහි කිසිදු ඇල්මක් නොවේද, කාම ආසාවක් නොවේද, කාම මූර්ජාවක් නොවේද, කාම දැවිල්ලක් නොවේද, සියලු කාම ආශාවන් අධ්‍යාත්මයෙහි (ඇතුලත) හොඳින් ප්‍රහීනවූයේ වේද, හොඳින් මැඩපැවතියේද, ඒ පින්වත් මහණ බමුණෝ තමන්ගේ බ්‍රහ්මචාරී ප්‍රතිපත්ති නිසා [ අඩුවෙන් ආහාර ගැනීම, අඩුවෙන් නිදා ගැනීම ආදී] ක්‍රියා නිසා හටගත්තාවූ, තියුණුවූ, කටුකවූ, වේදනාවන් නොවිඳිත්. ඔවුහු මාර්ග ඥාන දර්ශනය පිණිසවූ , නිරුන්තරවූ අවබෝධය ලබන්නෝමැයි.”
කුමාරය, ආශ්චර්යවූ, පෙර නොඇසූ විරූ මේ උපමා තුන මට වැටහුනාහුය.

§ 20 . “කුමාරය, මට මේ මෙසේ සිතුනි.
‘ මම යටි දත් පෙළෙහි උඩු දත් පෙළ තදකරගෙන , එනම් දත්මිටි කාගෙන. දිව උඩුතල්ලෙහි තද කරගෙන, කුසල් සිතින් අකුසල් සිත යටපත් කරන්නෙම් නම්, පෙළන්නෙම් නම් යෙහෙක’ කියායි.

කුමාරය, මම දත්මිටි කාගෙන දිව උඩුතල්ලෙහි තදකරගෙන, කුසල් සිතින් අකුසල් සිත යටපත් කරමි. පෙළමි, තවමි. කුමාරය, දත්මිටි කාගෙන දිව උඩුතල්ලෙහි තද කරගෙන කුසල් සිතින් අකුසල් සිත යටපත් කරන්නාවූ, පෙළන්නාවූ, තවන්නාවූ මාගේ කිහිලිවලින් ඩාදිය වැගිරෙන්නේය.

“කුමාරය, යම්සේ බලවත් පුරුෂයෙක් තමනට වඩා දුර්වල පුරුෂයෙකු බෙල්ලෙන් හෝ අල්වාගෙන තදකරන්නේද, පෙළන්නේද, තවන්නේද, රාජකුමාරය, එපරිද්දෙන්ම දත්මිටිකාගෙන, දිව උඩුතල්ලෙහි තදකරගෙන කුසල් සිතින් අකුසල් සිත යටපත් කරන්නාවූ, පෙළන්නාවූ, තවන්නාවූ ඒ මාගේ කිහිලිවලින් ඩාදිය වැගිරෙයි.

“කුමාරය, මා විසින් නොහැකුළුණු වීර්යය පටන්ගන්නා ලද්දේය. සතිය එළඹ සිටියාය. එහෙයින්ම නුමුළාවිය. ප්‍රධාන වීර්යයෙන් මඩනා, ලද්දාවුම මාගේ ශරීරය දාහ සහිත විය. නොසන්සිඳුනේ විය. කුමාරය, මට උපන්නාවූද මෙබඳුවූද, දුක්වේදනාව කුසල් සිත විනාශ නොකරයි.

§ 21 . “ කුමාරය, මට මේ සිත පහළ විය.
‘ මම ආශ්වාස කිරීම රහිත ධ්‍යාන වඩන්නෙම් නම් යෙහෙක’ කියාය.
කුමාරය, ඒ මම කටින්ද නාසයෙන්ද ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූයෙමි. රාජකුමාරය, කටින්ද, නාසයෙන්ද ආශ්වාස ප්‍රශ්වාස වැළක්වූ කල්හි කන් සිදුරුවලින් පිටවන වාතයෙහි අධික ගෝසා ශබ්දය ඇතිවිය. මයින හමක් පිඹින කල්හි යම්සේ අධික ශබ්දයක් ඇතිවේද, එපරිද්දෙන්ම කුමාරය, මාගේ මුඛයෙන්ද නාසයෙන්ද ආශ්වාස ප්‍රශ්වාස වැළක්වූ කල්හි කන් සිදුරුවලින් පිටවන වාතයෙහි අධික ගෝසා ශබ්දය ඇතිවිය.“

“කුමාරය, මා විසින් නොහැකුළුණු වීර්ය පටන්ගන්නා ලදී. සිහිය එළඹ සිටියාය (එහෙයින්ම) මුළා නොවීමි. ප්‍රධාන වීර්යයෙන් වීර්යය වඩන්නාවූ මාගේ ශරීරය දාහ සහිත විය. නොසන්සිඳුනේය. කුමාරය, මට උපන්නාවූ, මෙබඳුවූ, දුක්වේදනාවන් පවා මගේ කුසල් සිත විනාශ නොකලේය.“

“කුමාරය, මට මෙසේ කල්පනා විය.
‘ මම ආශ්වාස රහිත ධ්‍යානය හුස්මම නොගෙනම වඩන්නෙම් නම් යෙහෙක’ (කියායි)

“කුමාරය, මම මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද, ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූයෙමි.
” කුමාරය, මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද ආශ්වාස ප්‍රශ්වාස වැළක්වූ කල්හි අධික වාතය හිස්මුදුන පලන්නාක් මෙන් විය.
“කුමාරය, යම්සේ බලවත් පුරුෂයෙක් තියුණු කටුවකින් හිස්මුදුන විදින්නේද එපරිද්දෙන්ම , මගේ මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූ, කල්හි අධික වාතය හිස්මුදුන පලන්නාසේ විය.“

“කුමාරය, මා විසින් නොහැකුළුණු වීර්යය පටන්ගන්නා ලද්දේමි. සතිය පැවැත් වීමි . එහෙයින්ම මුළාවක් නොවීය. ප්‍රධාන වීර්යයෙන් වීර්යය වඩන්නාවූ මාගේ ශරීරය දාහ සහිත විය. නොසන්සිඳුනේය. කුමාරය, මට උපන්නාවූ, මෙබඳුවූ, දුක්වේදනාවන් පවා මගේ කුසල් සිත විනාශ නොකලේය.“

“කුමාරය, මට මෙසේ කල්පනා විය.
‘ මම ආශ්වාස රහිත ධ්‍යානයම යලි යලිත් වඩන්නේ නම් යෙහෙක’ කියාය..

§ 23. “කුමාරය, මම මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූයෙමි.
“කුමාරය, මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූ කල්හි හිසෙහි අධික වේදනාව ඇතිවෙයි.

“කුමාරය, යම්සේ බලවත් පුරුෂයෙක් දැඩි වරපට බැම්මකින් හිස වෙළයිද, එපරිද්දෙන්ම රාජකුමාරය, මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූ කල්හි මගේ හිසෙහි වේදනාව ඇති වෙයි.“

“කුමාරය, මා විසින් නොහැකුළුණු වීර්යය පටන්ගන්නා ලද්දේමය, සිහිය එළඹ සිටියාය. (එහෙයින්ම) මුළාව නොවීය. ප්‍රධාන වීර්යයෙන් වීර්යය වඩන්නාවූ මාගේ ශරීරය දාහ සහිත විය. නොසංසිඳුනේ වෙයි. කුමාරය, මට උපන්නාවූ මෙබඳුවූද, දුක් වේදනාවන් පවා මා තුල උපන් කුසල් සිත විනාශ නොකරයි.“

“කුමාරය, මට මෙසේ කල්පනා විය.
‘ මම ආශ්වාස රහිත ධ්‍යානයම වඩන්නේ නම් යෙහෙක’ (කියාය).

§  24. “කුමාරය, මම මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූයෙමි.
“කුමාරය, මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූ කල්හි අධිකවූ වාතයෝ කුස සිඳිත්.“රාජකුමාරය, දක්ෂවූ ගවයන් මරන්නෙක් හෝ ගවයන් මරන්නෙකුගේ අතවැසියෙක් හෝ ගෙරින් කපන තියුණු ආයුධයකින් බඩ කපන්නේ යම්සේද, එපරිද්දෙන්ම මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූ කල්හි අධික වාතය උදරය කපන්නාසේ වෙයි.“

“කුමාරය, මා විසින් නොහැකුළුණු වීර්යය පටන් ගන්නා ලද්දේමය, සිහිය එළඹ සිටියාය. (එහෙයින්ම) මුළාව නොවීය. ප්‍රධාන වීර්යයෙන් වීර්යය වඩන්නාවූ මාගේ ශරීරය දාහ සහිත විය. නොසන්සිඳුනේය. කුමාරය, මට උපන්නාවූ, මෙබඳුවූ, දුක්වේදනාවන් පවා මගේ කුසල් සිත විනාශ නොකලේය.“

“කුමාරය, මට මෙසේ කල්පනා විය. ‘ආශ්වාස රහිත ධ්‍යානය වඩන්නේ නම් යෙහෙක’ (කියාය).

§ 25. කුමාරය, මම මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද ආශ්වාස ප්‍රශ්වාස වැළැකුනෙමි. රාජකුමාරය, මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූ කල්හි ශරීරයෙහි අධික දැවිල්ලක් වෙයි. කුමාරය, යම්සේ බලවත් පුරුෂයෝ දෙදෙනෙක් දුර්වල පුරුෂයෙකු අත් දෙකෙන් අල්ලා ගෙන අඟුරු වළකට අල්ලා තවන්නාහුද, අතිශයින් තවන්නාහුද, කුමාරය, එපරිද්දෙන්ම මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූ කල්හි මගේ ශරීරයේ අධික දැවිල්ලක් දාහයක් විය.

“කුමාරය, මා විසින් වීර්යය පටන්ගන්නා ලද්දේමය සිහිය එළඹ සිටියාය. (එහෙයින්) මුළාව නොවීය. ප්‍රධාන වීර්යයෙන් වීර්ය කරන්නාවූ මාගේ ශරීරය දාහ සහිත වීර්යයෙන්ම විඩා සහිත වෙයි. නොසංසිඳුනේ වෙයි. රාජ කුමාරය, මට උපන්නාවූ මෙබඳුවූද දුක් වේදනාව කුසල් සිත විනාශ නොකරයි.

“එකල්හි දේවතාවෝ මා දැක මෙසේ කීහ. ‘ශ්‍රමණ ගෞතම තෙම කළුරිය කළේය’ (කියායි)
ඇතැම් දේවතා කෙනෙක් මෙසේ කීහ. ‘ශ්‍රමණ ගෞතමතෙම කළුරිය නොකෙළේය. එහෙත් කළුරිය කරන්නේය’ (කියායි.)
ඇතැම් දෙවතා කෙනෙක් ‘ශ්‍රමණ ගෞතම තෙම කලුරිය කළේත් නොවේ. කලුරිය කරන්නේත් නොවෙයි. ශ්‍රමණ ගෞතම තෙම රහත්ය. රහතුන්ගේ වාසය කිරීමකැ’යි කීහ.

§ 26. “රාජකුමාරය, මට මෙසේ කල්පනාවිය.
මම මුළුමනින් ආහාර යෙන් වැළකුණේ නම් ඉතා යෙහෙක’ කියායි.

“කුමාරය, එවිට දේවතාවෝ මාවෙත පැමිණ මෙසේ කීහ. ‘නිදුකාණෙනි, ඔබ මුළුමනින් ආහාර නොගෙන සිටින්නට නොසිතුව මැනවි, යම් හෙයකින් ඔබ මුළුමනින් ආහාර නොගෙන සිටිය හොත් අපි ඔබගේ ලෝම සිදුරුවලින් දිව්‍ය ඕජස් ශරීරගත කරන්නෙමු ඔබ එයින් යැපෙන්නෙහිය.’

“කුමාරය, මට මෙසේ කල්පනා විය.
මම මුළුමනින් නිරාහාරව සිටීමට සිතින් එකඟ වුනෙමි. එහෙත් මේ දේවතාවෝ මාගේ ලොම සිදුරුවලින් දිව්‍ය ඕජස ගිල්වන්නාහු නම් එයින් මම යැපෙන්නෙමි. එය මාගේ මුසාවක් වන්නේය. (කියායි.) කුමාරය, මම ඒ දෙවියන් වැළැක්වූයෙමි. වුවමනා නැතැයි කීයෙමි.“

§  27. “කුමාරය, එවිට මට මේ සිත පහළ විය.
‘ මම පතක්, පතක් පමණවූ මුංතැම්බු දිය හෝ කොල්ලු තැම්බූ දිය හෝ කඩල තැම්බූ දිය හෝ කලතණ තැම්බූ දිය හෝ ඉතා ස්වල්පවූ ආහාරයක් වළඳන්නෙම් නම් යෙහෙකි, කියායි.“

“කුමාරය, මම පතක්, පතක් පමණවූ, මුංතැම්බූ දිය හෝ කොල්ලු තැම්බූ දිය හෝ කඩල තැම්බූ දිය හෝ කලතණ තැම්බූ දිය හෝ ඉතා ස්වල්ප වශයෙන් ආහාරය වැළඳුවෙමි.

කුමාරය, එසේ මම පතක් පතක් පමණවූ මුං තැම්බූ දිය හෝ කොල්ලු තැම්බූ දිය හෝ කඩල තැම්බූ දිය හෝ කලතණ තැම්බූ දිය හෝ ඉතා ස්වල්ප වශයෙන් ආහාර ගන්නාවූ මාගේ ශරීරය ඉතා කෘෂ බවට පත් වීය.

අසූ වසක් ගිය වැලක පුරුක් හෝ, කලුවැල් නම් වැලක පුරුක් හෝ යම්සේද මාගේ ඇඟ පසඟ ඒ නිරාහාරභාවය නිසාම එබඳුවිය. වැල්ලෙහි ගිය ඔටුවකුගේ අඩි සලකුණ යම්සේ මැද ගැඹුරුවේද, එපරිද්දෙන්ම ඒ නිරාහාර භාවයෙන් මාගේ නිසීදන මාංසය (තට්ටම) මැදින් ගැඹුරු විය. රැහැණක ඇවුණු දැව වැටිය යම්සේ අතරතුර උස්මිටි වේද, එපරිද්දෙන් ඒ නිරාහාර භාවයෙන් මාගේ කොඳු ඇටය උස් මිටිවෙයි. යම්සේ දිරූ ශාලාවක පරාල උඩු යටි වශයෙන් නැමුනාහු වෙද්ද, එපරිද්දෙන් මාගේ ඉළඇට උඩුයටි වශයෙන් නැමුනාහු වෙත් ගැඹුරුවූ ළිඳෙක දියයට පෙණෙන තරු ගැඹුරට ගියාහු, යට බැස්සාහු දක්නා ලැබෙත්ද, එපරිද්දෙන්ම ඒ ස්වල්ප ආහාරය නිසා මාගේ ඇස්වල නෙත්තරු වල ගැඹුරට ගියාහු යට බැස්සාහු දක්නා ලැබෙත්. යම්සේ නම් තිත්ත ලබු ගෙඩියක් අමුවෙන් කපන ලද්දේ අව්සුළඟින් හැකුලුණේද මැලවුනේද එපරිද්දෙන්ම ඒ ස්වල්ප ආහාරය නිසා මගේ හිසේ සම හැකුලුණේ මැලවුනේ වෙයි.

§  28. “කුමාරය, මම බඬේ සම අතගාන්නෙමියි පිට කටුවම අතගාන්නෙමි. පිට කටුව අල්වමියි බඬේ සම අල්ලමි රාජකුමාරය, ඒ ස්වල්ප ආහාරය නිසා එපමණට මාගේ බඬේ සම කොඳු ඇටයෙහි ඇලුනේ වෙයි. ඒ මම වර්චස් හෝ මුත්‍ර හෝ කරන්නෙමියි හුන්නේ ඒ ස්වල්ප ආහාරය නිසාම එහිම යටිකුරුව වැටෙමි. මම මේ ශරීරය අස්වසමියි අතින් ශරීරාවයව පිරිමදිමි. කුමාරය, එසේ ශරීරයේ අවයව අතගානවිට, ඒ ස්වල්ප ආහාරය නිසාම මුල්කුණුවූ ලොම් ශරීරයෙන් ගිලිහි වැටෙත්.“

§  29 . ” කුමාරය, මිනිස්සු මා දැක මෙසේ කීවාහුය. ශ්‍රමණ ගෞතමතෙම කලුය.’ ඇතැම් මිනිස්සු මෙසේ කීවාහුය, ශ්‍රමණ ගෞතමතෙම කලු නොවෙයි පලාවන් පාටය’ ඇතැම් මනුෂ්‍යයෝ මෙසේ කීවාහුය. ‘ශ්‍රමණ ගෞතමතෙම කලුත් නොවෙයි, පලාවන් පාටත් නොවෙයි, ශ්‍රමණ ගෞතමතෙම රන්වන් සිවි ඇත්තේයි.’ කුමාරය, මෙසේ කීමට තරමටම මාගේ පිරිසිදුවූ හාත්පසින් බබලන්නාවූ ශරීරවර්ණය ඒ නිරාහාර භාවය නිසාම නැසුනේ වෙයි.

§ 30 . “කුමාරය, මට මෙසේ සිතුනේය.
අතීත කාලයෙහි යම් ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ තමන් විසින්ම කර ගත්තාවූ යම් දුක් විඳීමක් කර ගත්තේද, ඒ දුක් වේදනාව මේ දැන් මා විඳින වේදනාව මේ තරම්ම වෙයි. මට වඩා වැඩි නොවෙයි අනාගත කාලයෙහි යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ තමන්ගේ ඕනෑකමින්ම කරගන්නාවූ, දුක්වූ, තියුණුවූ, කටුකවූ වේදනාවන් විඳින්නාහු නම් ඒ මේ තරම්ම වෙයි. මීට වඩා වැඩි නොවෙයි. මේ වර්තමාන කාලයෙහි යම් කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ උපක්‍රමයෙන් උපන්නාවූ දුක්වූ, තියුණුවූ වේදනාවන් විඳිත් නම් ඒ මේ තරම්ම වෙයි. මීට වඩා වැඩි නොවෙයි. මම මේ කටුකවූ දුෂ්කර ක්‍රියාවෙන් මනුෂ්‍ය ධර්මයට වැඩිවූ ආර්ය භාවය ඇති කිරීමට සමර්ථවූ ඥානදර්ශන විශේෂයක් ලැබීමට අසමත් වෙමි. මේ අත්තකිලමතානු යෝගයෙන් විමුක්තියක් ලබා ගැන්ම සිදු නොවන්නේය. මාර්ගාවබොධය පිණිස අන්‍ය මාර්ගයෙක් ඇත්තේදැයි (කල්පනා විය.)

§  31. “කුමාරය, ඒ මට මේ අදහස ඇති විය.
මම, පියවූ ශුද්ධොදන ශාක්‍ය රාජයාගේ වප්මඟුල් දිනයෙහි සිහිල්වූ දඹරුක් සෙවනෙහි හුන්නේ කාමයන් ගෙන් වෙන්වම අකුසල ධර්මයන්ගෙන් වෙන්වම විතර්ක සහිතවූ විචාර සහිතවූ විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වාසය කළ බව මට සිහි විය. ඒ මාර්ගය මාර්ගඥාන අවබෝධය පිණිස වන්නේයි මට අදහස් විය. 389.

[389:- සිදුහත් කුමරු ලපටි වියේදී පිය රජු සී සෑම් උත්සවයකට ගිය අවස්ථාවේ අහසෙහි පලක් බැඳ සිටීමට තරම් සමත් චිත්ත සමාධියක් ලත් ආනා පාන සතිය වැඩීම ට නැවත උත්සාහ කිරීමට පටන් ගන්නෙමි යයි සිතා ගැන්ම ]

§  32. “කුමාරය, මට අවබෝධය පිණිස මේ මාර්ගයමයැයි සතිය අනුව පැවති විඤ්ඤාණය පහළවිය, කුමාරය, මට මේ අදහස ඇති විය. කාමයන්ගෙන් වෙන්වූ, අකුශල ධර්මයන්ගෙන් වෙන්වූ, යම් සැපයක්වේද, මම ඒ සැපයට භය නො වෙමිය.

“කුමාරය, මට මේ කල්පනාව ඇතිවිය.
කාමයන්ගෙන් වෙන්වූ අකුසල ධර්මයන්ගෙන් වෙන්වූ යම් සැපයක්වේද, මම ඒ සැපයට භය නොවෙමියි කියාය.

§  33. කුමාරය, මට මේ කල්පනාව ඇතිවිය. මෙ තරම් දුර්වලවූ ශරීරයකින් යුක්තව ඒ ප්‍රථමධ්‍යාන) සැපය ලබන්නට බැරිය. යම්හෙයකින් මම බත් හා කොමුපිඩු ආදී ඖදාරික ආහාරයක් ගන්නෙම් නම් හොඳය කියාය.“

“කුමාරය, මම බත්, කොමපිඩුයැයි කියන ඔලාරික ආහාරයක් ගත්තෙමි. කුමාරය, ඒ කාලයෙහි ‘ශ්‍රමණ ගෞතමයන් යම් ලොවුතුරා දහමක් අවබෝධ කලේ නම් එය අපට කියන්නේය’ යන අදහසින් ශ්‍රමනයන් පස්දෙනෙක් මට උපස්ථාන කරමින් සිටියහ. කුමාරය, මේ තවුසන් පස් දෙනා මා කෙරෙහි කලකිරුනහ. ආහාරයට කෑදරව මොහු උත්තරීතර බවට පත් වීමට කරන වෑයම අත් හලේ යයි ඔවුන් මා කෙරෙන් ඉවත්ව ගියහ.

§ 34 , “කුමාරය, මම මෙසේ ඕලාරික ආහාරගෙන ශරීර ශක්තිය ලැබ, කාමයන්ගෙන් වෙන්වම, අකුසල ධර්මයන්ගෙන් වෙන්වම, විතර්ක සහිතවූ විචාර සහිතවූ විවේකයෙන් හටගත් ප්‍රීති සැපය ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කෙළෙමි. කුමාරය, උපන්නාවූ මෙබඳුවූද සැප වේදනාව මගේ කුසල් සිත විනාශ නොකරයි.

§  35 .“විතර්කවිචාර සංසිඳීමෙන් අභ්‍යන්තර පැහැදීම ඇති හිතේ එකඟ බව ඇති, විතර්ක රහිතවූ, විචාර රහිතව, සමාධියෙන් හටගත් ප්‍රීති සැපය ඇති, ද්විතිය ධ්‍යානයට පැමිණ වාසය කෙළෙමි.

§  36. කුමාරය, උපන්නාවූ මෙබඳුවූද සැප වේදනාවද මගේ කුසල් සිත විනාශ නොකරයි, මැඩගෙන නොසිටියි. ප්‍රීතිය ඉක්මවීමෙන් උපෙක්ෂා ඇත්තේ වාසය කෙළෙමි. සිහියෙන් හා මනා නුවණින් යුක්තවූයේ කයින්ද සැපය වින්දෙමි. යමක් උපෙක්ෂා ඇත්තේ සිහියෙන් යුක්තවූයේ, සැප විහරණ ඇත්තේ යැයි ආර්යයෝ කියත්ද එ තුන්වැනි ධ්‍යානයට පැමිණ වාසය කෙළෙමි.

§  37. කුමාරය උපන්නාවූ මෙබඳුවූ සැප වේදනාවද මගේ කුසල් හිත විනාශ නොකරයි. සැපය නැති කිරීමෙන්, දුක නැති කිරීමෙන්, කල් ඇතිවීම සොම්නස් දොම්නස් දෙක අතුරුදන් කිරීමෙන්, දුක් නැත්තාවූ, සැප නැත්තාවූ, උපෙක්ෂාවෙන් හටගත් සිහිය පිළිබඳ පිරිසිදු බව ඇති සතර වැනි ධ්‍යානයට පැමිණ වාසය කෙළෙමි.

§  38. කුමාරය, උපන්නාවූ මෙබඳුවූ සැප වේදනාවද මගේ කුසල් හිත විනාශ නොකලේය.“

ඒ මම මෙසේ හිත සමාධියෙන් එකඟවූ කල්හි, පිරිසිදුවූකල්හි (පිරිසිදු හෙයින්ම) දීප්තිමත්වූ කල්හි අංගන (රාගාදී කෙළෙස්) රහිතවූ කල්හි, පහවූ උවදුරු ඇති කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට සුදුසුව සිටි කල්හි සිත ස්ථිරවූ කල්හි, පෙර ජාති දැනීමේ ඤාණය පිණිස සිත නැමූයෙමි.

මම නොයෙක් ආකාරවූ පූර්වෙනිවාසය (පෙර උපන් ජාති,) සිහිකලෙමි. එනම් එක් ජාතියක්ද, ජාති දෙකක්ද, ජාති තුනක්ද, ජාති සතරක්ද, ජාති පහක්ද, ජාති දහයක්ද, ජාති විස්සක්ද, ජාති තිසක්ද, ජාති සතළිසක්ද, ජාති පණසක්ද, ජාති සියයක්ද, ජාති දහසක්ද, ජාති ලක්ෂයක්ද, නොයෙක් සංවර්ත (විනාශ වන.) කල්පයන්ද, නොයෙක් විවර්තී (හැදෙන) කල්පයන්ද, නොයෙක් සංවර්තී විවර්තී කල්පයන්ද, අසුවල් තැන උපන්නෙමි, එහිදී මේ නම් ඇත්තෙවීමි, මෙබඳු ගෝත්‍ර ඇත්තේ වීමි. මෙබඳු වර්ණ ඇත්තේ වීමි. මෙබඳු ආහාර ඇත්තේ වීමි. මෙබඳු දුක් සැප වින්දෙමි. ඒ මම එයින් චුතව අසුවල් තැන උපන්නෙමි. එතැන්හිද මෙසේ නම් ඇත්තේ වීමි. මෙබඳු ගෝත්‍ර ඇත්තේ වීමි. මෙබඳු ශරීර වර්ණ ඇත්තේ වීමි. මෙබඳු ආහාර ඇත්තේ වීමි. මෙබඳු සැප දුක් වින්දේ වීමි. මෙබඳු ආයුෂ ඇත්තේ වීමි. ඒ මම එතැනින් චුතව මෙහි උපන්නෙමි’යි මෙසේ ආකාර සහිතවූ, දැක්වීම් සහිතවූ, නොයෙක් ආකාරවූ, පෙර විසූ කඳ පිළිවෙළ සිහි කලෙමි.

§  40.“කුමාරය, මා විසින් රාත්‍රියේ පළමුවෙනි යාමයෙහි මේ පළමුවන විද්‍යාව (පෙර විසූ තැන් දන්නා නුවණ) ලබන ලදී. (එය වසන) අවිද්‍යාව නසන ලදී. විද්‍යාව උපන්නීය. අඳුර (මෝහය) නසන ලද්දේය. අලෝකය උපන්නේය. අප්‍රමාදව කෙලෙස් තවන වීර්යයෙන් යුක්තව වාසය කරන්නෙකුට යම්සේ සිදුවිය යුතු නම් එසේ විය. රාජකුමාරය, උපන්නාවූ මෙබඳුවූ සැප වේදනාවද මගේ කුසල් හිත විනාශ නොකරයි.“ඒ

§  41.මම මෙසේ (හිත සමාධියෙන්) එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, (පිරිසිදු හෙයින් ) දීප්තිමත්වූ කල්හි, අංගණ (රාගාදි කෙලෙස්) රහිතවූ කල්හි, කෙලෙස් පහව ගිය කල්හි, සිත මෘදුවූ කල්හි, කටයුත්තට සුදුසුව සිටි කල්හි, සිත ස්ථිරවූ කල්හි, කම්පා නොවන බවට පැමිණි කල්හි සත්ත්වයන්ගේ චුති උත්පත්ති දෙක දැකීම පිණිස සිත නැමීමි. ඒ මම පිරිසිදුවූ, මිනිස් බව ඉක්මවා සිටි දිව ඇසින්, චුත වන්නාවූද, උපදින්නාවූද, ලාමකවූද, ප්‍රණීතවූද, මනා වර්ණ ඇත්තාවූද, මනා වර්ණ නැත්තාවූද, යහපත් ගති ඇත්තාවූද, අයහපත් ගති ඇත්තාවූද, කර්මය පරිදි මිය ගියාවූ සත්ත්වයන් දැක්කෙමි.

“ඒකාන්තයෙන් මේ පින්වත් සත්ත්වයෝ කාය දුශ්චරිතයෙන් යුක්ත වූවාහු, වාක් දුශ්චරිතයෙන් යුක්ත වූවාහු මනෝදුශ්චරිතයෙන් යුක්ත වූවාහු, ආර්යයන්ට දොස් කීවාහු, මිථ්‍යාදෘෂ්ටි ගත්තාහු, මිථ්‍යාදෘෂ්ටි ක්‍රියා අනුමත කළාහුය. (එහෙයින්) ඔවුහු කය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ, නපුරු ගති ඇති, යටිකුරුව වැටෙන, නරකයෙහි උපන්නාහුය. යි දැක්කෙමි,

මේ පින්වත් සත්වයෝ කාය සුචරිතනේ යුක්ත වූවාහු, වාක් සුචරිතයෙන් යුක්ත වූවාහු, මනො සුචරිතයෙන් යුක්ත වූවාහු, ආර්යන්ට දොස් නොකීවාහු, සම්‍යක්දෘෂ්ටි ඇත්තාහු, සම්‍යක්දෘෂ්ටි කර්ම සමාදන් වූවාහුය. (එහෙයින්) ඔවුහු කය බිඳීමෙන් මරණින් මතු ස්වර්ග ලෝකයෙහි උපන්නාහුයයි මෙසේ පිරිසිදුවූ, මිනිස් ඇස ඉක්මවා සිටි දිවැසින් චුත වන්නාවූද, උපදින්නාවූද, ලාමක වූද, ප්‍රණීතවූද, මනා වර්ණ ඇත්තාවූද, මනා වර්ණ නැත්තාවූද යහපත් ගති ඇත්තාවූද, අයහපත් ගති ඇත්තාවූද, කර්මය පරිදි මියගියාවූ සත්ත්වයන් දැක්කෙමි..

§ 42. “කුමාරය, මා විසින් රාත්‍රියෙහි මැද යාමෙහි මේ දෙවන විද්‍යාව (චුතවීම්, ඉපිදීම් දක්නා නුවණ) ලබනලදී. (එය වසන) අවිද්‍යාව නසන ලදී. විද්‍යාව උපන්නීය. අඳුර (මෝහය) නසන ලද්දේය. ආලෝකය උපන්නේය. අප්‍රමාදව කෙලෙස් තවන වීර්යයෙන් යුක්තව වාසය කරන්නෙකුට යම්සේ සිදුවිය යුතු නම් එසේ විය. රාජකුමාරය, උපන්නාවූ මෙබඳුවූද සැප වේදනාව මගේ කුසල් සිත විනාශ නොකරයි.“

මම මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි දීප්තිමත්වූ කල්හි, කෙලෙස් රහිතවූ කල්හි, කෙලෙස් පහව ගිය කල්හි, සිත මෘදුවූ කල්හි, කටයුත්තට සුදුසුව සිටි කල්හි, සිත ස්ථිරවූ කල්හි, කම්පා නොවන බවට පැමිණි කල්හි, ආශ්‍රව ක්ෂයකර ඥානය (කෙලෙස් නැති කරන නුවණ) පිණිස සිත නැමුයෙමි.

මම, මෙය දුකය’යි තතුසේ දත්තෙමි.
මේ දුක් ඉපදීමට හේතුවය’යි තතුසේ දත්තෙමි.
මේ ‘දුක් නැති කිරීමය’යි තතුසේ දත්තෙමි.
‘මේ දුක නැති කිරීමේ මාර්ග’ යයි තතුසේ දත්තෙමි.
‘මේවා ආශ්‍රවයෝය’යි තතුසේ දැනගතිමි.
මේ ආශ්‍රවයන්ගේ හටගැන්මය’යි තතුසේ දැනගතිමි.
‘මේ ආශ්‍රවයන්ගේ නැතිකිරීමය’යි තතුසේ දැනගතිමි.
‘මේ ආශ්‍රවයන් නැති කිරීමේ මාර්ගය’යි තතුසේ දැනගතිමි.

මෙසේ දන්නාවූ මෙසේ දක්නාවූ මාගේ සිත කාමාශ්‍රවයන්ගෙන් මිදුනේය. භවාශ්‍රවයන්ගෙන්ද මිදුනේය. අවිද්‍යාශ්‍රවයන්ගෙන්ද මිදුනේය. මිදුන කල්හි මිදුනේයයි, දැනීම පහළවිය. උත්පත්තිය කෙළවර විය. මාර්ග බ්‍රහ්මචර්යාව වැස නිමවන ලදී. කළයුත්ත කරන ලදී. කළයුතු අනිකක් නැත්තේයි දැනගතිමි.

“කුමාරය, රාත්‍රියෙහි අන්තිම යාමයෙහි මේ තුන්වෙනි විද්‍යාව (ආශ්‍රව ක්ෂය කර ඥානය නම්වූ අර්හත් මාර්ගය) මා විසින් ලබන ලදී. (එය වසන) අවිද්‍යාව නසන ලදී. විද්‍යාව උපන්නීය. අඳුර (මෝහය) නසන ලද්දේය. ආලෝකය උපන්නේය. අප්‍රමාදව, කෙලෙස් තවන වීර්යයෙන් යුක්තව වාසය කරන්නෙකුට යම්සේ සිදුවිය යුතු නම් එසේ විය. නැවත උපතකට නො පැමිණෙන්නේය.

.§ 43. එසේ ධර්මය අවබෝධකලා වූ මට මෙසේ අදහසක් ඇති විය. මා අවබෝධකලාවූ මේ ධර්මය පහසුවෙන් දත නොහැක්කේය. දැනගැන්මට නොහැක්කේය. තර්කයෙන් ඔප්පු කරගත නොහැක්කේය. මේ ධර්මය අසා දැනගන්නට පවා මහා ප්‍රඥාවක් අවශ්‍ය වේ. මෙලොව වසනා මිනිසුන් මෙන්ම දෙවියන්ද කාමයෙහි ගිලී ඇලී , එයින් මත්ව ඉන්නෝ වෙති. [අට්ඨියති, දිගුච්චති]

ඔවුනට හේතුවක් නිසා ඇති වන ඵලයක් නිසා මේ සසර පැවැත්ම වන බව ( පටිච්ච සමුප්පාදය) වටහා ගන්නට නොහැක. සංස්කාරයන් නිසා වන මේ පැවැත්ම සංස්කාරයන් නැවත්වීමෙන්ම නවතාගන්නට හැකි බව ඔවුන්ට ඒත්තු ගන්වන්නට නොහැක. මෙසේ වූ කල්හි ඔවුනට මේ ධර්මය වටහාදීමට උත්සාහකිරීමෙන් මා වෙහෙසට පත්වීම පමණක් සිදුවේ. එවිට මා හට ගාථා දෙකක් සිහි යට ආවේය.

බොහෝ හිරිහැර විඳ වටහා ගත ධර්මය ,
බොහෝ කල් දුකින් වටහා ගත් ධර්මය,
කාමයෙන් ඇස් අන්ධ අයට කෙසේ නම් වැටහේද?

ආසාවෙන් වැසුණු මනසින්
අඳුරෙහිම ඉන්නා දනෝ
ලොවේ පිළිවෙල ට විරුද්ධව යන ගමන
කෙසේ නම් යන්නටද

[307:- බොහෝ කල්ප ගණනක් පාරමිතා පුරා මෙසේ දුකසේ බුද්ධත්වය අවබෝධ කරගත්තේ තමන්ද දුකින් මිදී ලෝකයාද දුකින් මිදීම පිණිස නිසා මෙසේ ධර්මය දෙසනා කරන්නට උකටලී වීම වටහා ගන්නට අසීරු බව අටුවාව කියයි. එසේ වන්නට අනුමාන හේතු ලෙස අටුවාව දක්වන්නේ, බුද්ධත්වය ලබන තුරු ධර්මයේ ගැඹුරු බව ගාම්භීරත්වය නොදැනීමත්, ලෝකයා කොතරම් දුරට ආසාවේ තෘෂ්ණාවෙන් වෙලී ඉන්නවාද යන්න නොවැටහුණ නිසාත් බව අටුවාව කියයි. ඒ හැරෙන්නට සහම්පති බ්‍රහ්මයා පැමිණීමෙන් , බ්‍රාහ්මණ ආගම අදහන මිනිස්සු මේ ධර්මයට කැමැත්තක ඇති කර ගනිය කියා සිතක් ද ඇති වූ බව අටුවාවේ සඳහන් වේ. එය ඉතා බොළඳ තර්කයක් බවත්, මේ සහම්පති ගේ බ්‍රහ්ම ආරාධනය පාළි සුත්‍රයේ පමණක් අඩංගු වී චීන “මජ්ජිම ආගමේ” ඇති සුත්‍රයේ සඳහන් නොවීමෙන් පෙනේ.]

§ 44. එකල්හි කුමාරයා, සහම්පති බ්‍රහ්ම රාජයා මගේ සිතෙහි ඇතිවූ සිතුවිල්ල දැක මෙසේ සිතීය. “අහෝ ලෝකයා විනාශ වන්නේය. ලෝකයා පිරිහී යන්නේය. තථාගතයන් මේ සද්ධර්මය ලෝකයාට ඉගැන්වීමට මැලිවන්නේ නම් සියල්ලෝම වැනසී යන්නෝය. ” මෙසේ සිතා සහම්පති බ්‍රහ්ම රාජයා බ්‍රහ්ම ලෝකයෙන් අතුරුදහන්ව මා ඉදිරියට පැමිණ මෙසේ කීය. “භාග්‍යවතුන් වහන්ස! මේ ලෝකයාගේ යහපත පිණිස ධර්මය දේශනා කරන සේක්වා!. සම්පුර්ණයෙන්ම රජස්වලින් නෙත් නොවසුනු මිනිසුන් දෙවියන් සිටී. ඔබ වහන්සේ ධර්මය දේසනා කළහොත් ඔවුන් ඒ අවබෝධ කර ගන්නේය. ඔවුන්ට වැඩ පිණිස ධර්මය දේශනා කරන සේක්වා ” මෙසේ කියා තවත් ගාථා තුනකින් ධර්ම දෙසනා කිරීමට ආරාධනා කළේය.

“මගධ රට මෙතෙක් කල් දහම ලෙස අදහමම දෙසුනි,
කිලිටි මනසින් යුතුව දෙසු අදහම් නසා,
මාරයන් පරදන දහම දෙසනු මැන.

උස් කඳු මුදුන සිටින්නා සියලු දෙස දකින සේ,
සියල්ල දක්නා වූ භගවතුනි,
ධර්ම මැදුරට වඩිනු මැන.

සෝකයෙන් සිත් පිරුන සත්වයන් සිත් තුලට
ධර්මයේ සතුට බෙදන සේක්වා ,
වීරයන් වහන්ස ලොව පුරා සද්ධර්මය දෙසනා කොට
අඳුර දුරලන සේක්වා.

§ 45. මම සහම්පති බ්‍රහ්ම රාජයාගේ ආයාචනයට කන්දී බුද්ධ ඥානයෙන් ලෝකය දෙස බැලීමි. කෙලෙස් රජස් අඩු සත්වයන්ද මේ ලෝකයෙහි ඉන්නා බව දැක්කෙමි. ඉන්ද්‍රිය මොටවූ බොහෝ සත්වයන් අතර ඉන්ද්‍රිය දියුණු වූ සත්වයන්ද වූ බව දුටුවෙමි. අපහසුවෙන් තොරව ධර්මය වටහා ගත හැකි අයද ඉන්නා බව දිටිමි. පොකුණක දිය යට තවම නොපිපුණු නෙළුම් පොහොට්ටු මෙන්ම දියෙන් ඉහලට අවුත් , දිය නොගෑවී සිටිනා නෙළුම් වැනි කෙලෙස් වලින් අඩු සත්වයන් ද කෙලෙස් බර ලෝකයා අතර ඉන්නා සැටි දුටුවෙමි.

ඉදින් මම සහම්පති බ්‍රහ්මයාගේ ධර්ම ආරාධනය පිලි ගනිමි’යි ඔහුට මෙසේ කීමි. මාරයාගෙන් මිදී සුවපත් වෙන්නට කැමැත්තෝ සවන් යොමත්වා! ධර්ම ද්වාරය විවුර්ත කරමි. එසේ කී කල සිය ආරාධනාව භාග්‍යවතුන් වහන්සේ පිළිගත්තේ යැයි දැන ගත් සහම්පති බ්‍රහ්මයා , දක්ෂිණා වාර්තාව සිට මා වන්දනා කොට වහා පිටව ගියේය.

§46. එවිට මම මේ ධර්මය පහසුවෙන් අවබෝධ කර ගත හැක්කේ කවරෙකුටද, ඔහුට දෙසනා කරමි’යි සිතා එසේ ධර්මය අවබෝධ කල හැකි කෙනෙක් මතක් කලෙමි.

එවිට මට ආලාර කාලාම් තවුස් තුමා සිහි විය. ඔහු ඥාණවන්තය. ඔහු කෙලෙස් රජස් බොහෝ කොට දුරු කල කෙනෙකි. මම පළමුවෙන්ම ඔහුට ධර්මය දෙසනා කරන්නේ නම් යහපති’යි සිතීමි.

එවිට දේවතාවෙක් මා හට මෙසේ කීය. “නිදුකාණනි, ආලාර කාලාම තවුසා මෙයිට දින හතකට පෙර මිය ගියේය. එවිට මටද ආලාර කාලාම එසේ මිය ගිය පෙනින. ඔහුට වුයේ මහත් අලාභයකි. මේ ධර්මය ඔහු ඇසී නම් නිසැකවම ඔහු පහසුවෙන් අවබෝධ කර ගන්නේය.

§ 47. ඉන් පසු මම කාහට මේ ධර්මය දේසනා කරන්නේ දැයි නැවත සිතීමි.
උද්දක රාම පුත්ත තවුසාට මේ ධර්මය අසන්නට ලැබේ නම් ඔහු පහසුවෙන් වැටහෙන්නේය. ඔහු ඥාණවන්තය. ඔහු කෙලෙස් රජස් බොහෝ කොට දුරු කල කෙනෙකි. මම පළමුවෙන්ම ඔහුට ධර්මය දෙසනා කරන්නේ නම් යහපති’යි සිතීමි.

එවිට දේවතාවෙක් මා හට මෙසේ කීය. “නිදුකාණනි, උද්දක තවුසා පෙර දින මිය ගියේය. එවිට මටද රාම පුත්ත වූ උද්දක එසේ මිය ගිය පෙනින. ඔහුට වුයේ මහත් අලාභයකි. මේ ධර්මය ඔහු ඇසී නම් නිසැකවම ඔහු පහසුවෙන් අවබෝධ කර ගන්නේය. යි මට සිතුනි.

§ 48 . ඉන් පසු මම කාහට මේ ධර්මය දේසනා කරන්නේ දැයි නැවත සිතීමි. කවුරුන් අඩු කෙලෙස් ඇති ප්‍රඥා වන්ත වේද යි සිතීමි. එවිට මට මා තවුස් දම් පුරන කාලයේ ආවතේව කල තවුසන් පස් දෙනා සිහි විය.
මේ තවුසන් පස් දෙනාට ධර්මය දෙසනා කරන්නේ නම් යහපති’යි සිතා දැන් ඔවුන් කොතැනක සිටී දැයි නැනැසින් බැලීමි. ඔවුන් වාරානසි නුවරට නුදුරු ඉසිපතනයෙහි මිග දාය නම් උයන ඉන්නා බව දිටිමි.

§ 49. මම උරුවෙලාවෙහි කැමති කලක් සිට බරණැස් නුවර දෙසට චාරිකාවේ යාමට පිටත් වීමි. මා සම්බුද්ධත්වයට පත් බෝධිය සහ ගයා හිස අතර දී උපක නම් ආජීවකයෙකු මට හමු විය. ඔහු මට මෙසේ කීය. “මිත්‍රය, ඔබගේ ඉන්ද්‍රියයන් ප්‍රසන්නය. ඔබගේ චවි වර්ණය ප්‍රභාස්වරය. ඔබ කිනම් සාස්ත්රුකෙනෙකු යටතේ තවුස් දම් පුරන්නේදැයි ඇසීය.

එවිට මම උපකා ආජීවක හට මේ ගාථාවෙන් පිළිතුරු දිනිමි.

“මම තනිව සියල්ලෙන් නිදහස් වීමි.
තනිවම සියල්ලම දැන ගතිමි.
සියල්ලෙන් නිදහස් වීමි.
තෘස්නා බන්ධන සිඳ ලීමි.
එසේ තනිවම කල මා
කවරෙකු ගුරු කොට තබනෙම් ද?

මට ගුරුවරයෙක් නැත.
මා හා සම අනෙකෙක් ලොව නැත.
දෙවියන් බඹුන් සහිත මේ ලොව ,
මට සම කර හැකි කෙනෙක් නැත.

මේ ලොව සිඳලා දැන ගත්තා මමය.
අනුත්තර වූ ගුරුවරයා මමය.

සියළු දැවීම් හා ගිනි නිවාලූ
සම්මා සම්බුද්ධ නම් මම වෙමි,

මම දැන් කසි නුවරට යන්නෙමි.
ලෝභයෙන් හා මෝහයෙන් නෙත් අඳ වූ ලෝකයාට
ධර්ම චක්‍රය පවත්වන්නට ,
ලෝකයා මරුගෙන් ගලවාගන්නට
මම ධර්ම දේසනාවට යමි”

එවිට උපක ආජීවක මට මෙසේ කීය.

” ඔබ කියමන සැබෑ නම් ඔබ අනන්ත ජින වන්නේය” එවිට මා මෙසේ කීමි.
“කෙලෙස් මල සිඳලූ ම වැන්නෝ සැබැවින්ම ජයගත්තෝ වෙති” යි කීමි. එවිට හිස වනමින් ඔහු “එසේද විය හැක” කියා වෙනත මගකට හැරී වෙන්ව ගියේය. 310

310: මේ උපක නම් ආජිවකයා පසුව වැදී දුවක් හා පෙමින් වෙලී සිය ආජීවක දිවියන් වෙන්ව ග්ර්හස්ත ජීවියක් ගෙවන්නට වූ බවත්, එහිදී හාස්‍ය ජනක අවාසනාවන්ත සිදුවීම් නිසා කලකට පසු යලි ශ්‍රමණ වෙස් ගෙන භාග්‍යවතු සොයා ගොස් සසුන් ගතව අරහත් බව ලද සැටිත් කියවේ.]

§  50. එසේ ක්‍රම ක්‍රමයෙන් චාරිකාවේ වෙදෙමින් මම බරණැස් නුවර සමීපයෙහි වූ ඉසිපතනයෙහි මිගදාය උයනට සමීප වූ යෙමි. එහි සිටියා වූ පස් වග තවුසන් දුරදීම මා එහි එන බව දැක මෙසේ කතිකා කර ගත්හ. ”

“ඇවැත්නි, මේ ශ්‍රමණ ගෞතමයන් චීවරාදී ප්‍රත්‍ය බහුලකොට ඇති බවට පැමිණ වීර්ය කිරීමෙන් පිරිහී චීවරාදි ප්‍රත්‍ය බහුලභාවයට පෙරළී සිට එන්නේය. ඔහුට නොවැඳිය යුතුය. ඔහුට පෙර ගමන් නොකළ යුතුය, ඔහුගේ පාත්‍ර සිවුරු නොපිළිගත යුතුය. එහෙත් අස්නක් පැනවිය යුතුය. කැමතිනම් වාඩිවන්නේය.” කියායි.

“මහණෙනි, මා ළංවන්නට ළංවන්නට පස්වග මහණහු ස්වකීය කතිකාවෙහි සිටීමට අසමර්ථ වූහ. කෙනෙක් මට පෙරගමන් කොට පාත්‍ර සිවුරු පිළිගත්තාහුය. කෙනෙක් අසුන් පැනවූහ. කෙනෙක් පා සෝදන දිය තැබූහ. එතකුදු වුවත් මට ‘ගෞතම’ යන නමින්ද ‘ඇවැත්නි”යයි ද කථාකරති. 309

[309:- ඇවැත්නි, යනු සමාන තත්වයේ අය අමතන යෙදුමකි, මිතුර, mate, වැනි පදයකි]]

§ 51. මහණෙනි, එසේ කී කල්හි මම ඔවුනට මෙසේ කීයෙමි.
“මහණෙනි, තථාගතයන් හට නම කියමිනුත් ‘ඇවැත්නි, කියමිනුත් කථා නොකරව්.
“මහණෙනි, තථාගතයන් රහත්ය. සම්‍යක් සම්බුද්ධය. ධර්ම ශ්‍රවණයට කන් නමව්. නිර්වාණය අවබොධ කරන ලදී. මම අනුශාසනා කරමි. මම ධර්මය දෙශනා කරමි. අනුශාසනය පරිදි පිළිපදින්නාවූ කුලපුත්‍රයෝ යම් නිර්වාණයක් පිණිස මනාකොට ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වෙත්ද මාර්ග බ්‍රහ්මචර්යාව අවසාන කොට ඇති නිරුත්තරවූ ඒ නිර්වාණය මේ ආත්මයෙහිම තුමූ නුවණින් දැන, ප්‍රත්‍යක්ෂ කොට ඊට පැමිණ වාසය කරව්යයි”’ කීයෙමි. 

මහණෙනි, මෙසේ කී කල්හි පස්වග තවුසන්  මට මෙසේ කීවාහුය.
“ඇවැත්නි ගෞතමයෙනි, ඔබ දුෂ්කර ඉරියව් පැවැත්වීමෙනුත්, ඒ දුෂ්කර පිළිවෙත් පිරීමෙනුත් ඒ දුෂ්කර ක්‍රියාවෙනුත් මනුෂ්‍ය ධර්මයට වැඩිවූ ආර්ය භාවය ඇති කිරීමට සමර්ථ නුවණක් නොලැබුයෙහිය. දැන් සුඛෝපභෝගී ජීවිතයට පුරුදු වී , වීර්ය අත් හැර  කෙසේ නම් මනුෂ්‍ය ධර්මයන් අභිබැවූ උත්තරී ධර්මයන් 310 ලැබුවේද? “, කීහ.

[310:- උත්තරිය මනුස්ස ධර්ම යනු සාමාන්‍ය මනුෂ්‍යයෙකුට නැති සීලයන්ය, හැකියාවන්ය, මනෝ භාවයන්ය. ධ්‍යාන යන්ය. අභිඥා ආදී සහ විශේෂ ඥාණයන්ය.].

“මහණෙනි, මෙසේ කී කල්හි මම පස්වග තවුසන්ට මෙසේ කීයෙමි.
‘ තථාගතයන් සුඛෝපභෝගී පැවැත්මකට එළඹුණේවත්, වීර්යයෙන් පිරිහීමක් වුවේවත්  නොවේ,  තථාගතයන් අරහත්ය. සම්‍යක් සම්බුද්ධය. මරණය අභිබවා ගියෙමි. ධර්ම ශ්‍රවණයට කන් නමව්. නිර්වාණය අවබොධ කරන ලදී. මම අනුශාසනා කරමි. මම ධර්මය දෙශනාකරමි. අනුශාසනය පරිදි පිළිපදිමින් කුලපුත්‍රයෝ යම් නිර්වාණයක් පිණිස මනාකොට ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වෙත්ද මාර්ග බ්‍රහ්මචර්යාව කෙළවර කොට ඇති නිරුත්තරවූ ඒ නිර්වාණය මේ ආත්මයෙහි තුමූ නුවණින් දැන ප්‍රත්‍යක්ෂ කොට ඊට පැමිණ වාසය කරව්’ යි කීයෙමි.

“දෙවනුවත් පස්වග මහණහු මට මෙසේ කීහ.
“ඇවැත්නි ගෞතමයෙනි, ඔබ  දුෂ්කර ඉරියව් පැවැත්වීමෙනුත් ඒ දුෂ්කර පිළිවෙත් පිරීමෙනුත් මේ දුෂ්කර ක්‍රියාවෙනුත් මනුෂ්‍ය ධර්මයට වැඩිවූ ආර්යභාවය ඇතිකිරීමට සමර්ථ නුවණක් නොලැබූයෙහිය. දැන් ……… වැඩිවූ ආර්යභාවය ඇති කිරීමට සමර්ථ නුවණක් ලබන්නෙහි දැ”යි කීහ.

“මහණෙනි, මෙසේ කී කල්හි ම පස්වග ශ්‍රමණයන්ට මෙසේ කීයෙමි.
“මහණෙනි, ‘තථාගතයන් සුඛෝපභෝගී පැවැත්මකට එළඹුණේවත්, වීර්යයෙන් පිරිහීමක් වුවේ වත්  නොවේ,  තථාගතයන් අරහත්ය. සම්‍යක් සම්බුද්ධය. මරණය අභ්බවා ග්යෙමි. ධර්ම ශ්‍රවණයට කන් නමව්. නිර්වාණය අවබොධ කරන ලදී. මම අනුශාසනා කරමි. මම ධර්මය දෙශනාකරමි. අනුශාසනය පරිදි පිළිපදිමින් කුලපුත්‍රයෝ යම් නිර්වාණයක් පිණිස මනාකොට ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වෙත්ද මාර්ග බ්‍රහ්මචර්යාව කෙළවර කොට ඇති නිරුත්තරවූ ඒ නිර්වාණය මේ ආත්මයෙහි තුමූ නුවණින් දැන ප්‍රත්‍යක්ෂ කොට ඊට පැමිණ වාසය කරව්” යැයි කීයෙමි.

“තුන්වෙනුවද පස්වග භික්ෂූහු මට මෙසේකීහ. ඔබ  දුෂ්කර ඉරියව් පැවැත්වීමෙනුත් ඒ දුෂ්කර පිළිවෙත් පිරීමෙනුත් මේ දුෂ්කර ක්‍රියාවෙනුත් මනුෂ්‍ය ධර්මයට වැඩිවූ ආර්යභාවය ඇතිකිරීමට සමර්ථ නුවණක් නොලැබූයෙහිය. දැන් ……… වැඩිවූ ආර්යභාවය ඇති කිරීමට සමර්ථ නුවණක් ලබන්නෙහි දැ”යි කීහ.
“මහණෙනි, මෙසේ කී කල්හි ම පස්වග ශ්‍රමණයන්ට මෙසේ කීයෙමි

§ 52 “ශ්‍රමණයනි,  මා විසින් මීට පෙර මෙබන්දක් කියන ලදැයි දන්නහුද?”
“නැත ස්වාමීනි”,
‘මහණෙනි, තථාගතයන් සුඛෝපබෝගී පැවැත්මක් ප්‍රිය කරන්නෙක්  නොවේ. වීර්ය කිරීමෙන් පිරිහුනේ නොවේ. බාහුලික බවට වැටුනේ නොවේ. මහණෙනි, තථාගතයන් අරහත්ය, සම්‍යක් සම්බුද්ධය, ධර්ම ශ්‍රවණයට කන් නමව්, නිර්වාණය අවබෝධ කරන ලදී. මම අනුශාසනා කරමි. මම ධර්මය දෙශනාකරමි. අනුශාසනය පරිදි පිළිපදිමින් කුල පුත්‍රයෝ යම් නිර්වාණයක් පිණිස ශ්‍රද්ධාවෙන් ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවෙත්ද මාර්ග බ්‍රහ්මචර්යාව කෙළවර කොට ඇති නිරුත්තරවූ ඒ නිර්වාණය මේ ආත්මයෙහිම තුමූ නුවණින් දැන, ප්‍රත්‍යක්ෂ කොට ඊට පැමිණ වාසය කරව්යයි’ කීයෙමි.

§ 53. “ku, මා බුදුවූ බව පස්වග මහණුන්හට ඒත්තු ගන්වන්නට මම සමර්ථ වීමි. 311 මම භික්ෂූන් දෙනමකට අවවාද කරමි. භික්ෂූන් තුන් නමක් පිඬු පිණිස හැසිරෙත්. තුන් නම පිඬු පිණිස හැසිර යමක් ගෙනෙත්ද එයින් අපි සදෙන යැපෙමු. මහණෙනි, භික්ෂූන් තුන් නමකට අවවාද කරමි. භික්ෂූහු දෙනමක් පිඬු පිණිස හැසිරෙත්. භික්ෂූන් දෙනම පිඬු පිණිස හැසිර යමක් ගෙනෙත්ද එයින් අපි සදෙන යැපෙමු.

[[311: මේ අවස්තාවෙහිදී භාග්‍යවතුන් වහන්සේ සිය පළමු දේශනය “ධම්ම චක්ක පවත්තන සුත්‍රය” මේ පස් තවුසන්ට කළේය. තමන් අවබෝධකළ චතුරාර්ය සත්‍ය එහි අඩංගු විය.  සුත්‍ර දේශනාවෙහි අවසාන කොණ්ඩන්ඥ තවුසන්  පමණක් සෝවාන් ඵලයට පැමිණියේය.]

§ 54.   “මහණෙනි, ඉක්බිති මා විසින් මෙසේ අවවාද කරනු ලබන්නාවූ අනුශාසනා කරනු ලබන්නාවූ පස්වග භික්ෂූහු, ජාතිය ස්වභාවකොට ඇත්තාවූ ජාතිය ස්වභාවකොට ඇති දෙයෙහි දොෂය දැක, ජාතියක් නැති, අනුත්තරවූ සතරයෝගයන්ගෙන් මිදුනාවූ නිවණ සොයන්නාහු ජාතියක් නැති නිරුත්තරවූ සතර යොගයන් කෙරෙන් මිදුණාවූ නිවන් අවබොධ කළාහුය.

§ 55. me

  46. “එකල්හි රාජකුමාරය, මා විසින් මෙසේ අවවාද කරණ ලද අනුශාසනා කරණ ලද පස්වග මහණහු යම් අර්ථයක් පිණිස කුලපුත්‍රයෝ ගිහිගෙන් නික්ම යහපත්ව ශාසනයෙහි පැවිදි වෙත්ද, මාර්ග බ්‍රහ්මචර්යාව අවසන්කොට ඇති, ඒ උත්තම අර්හත්ඵලය ඉහතාත්මයෙහිම තෙමේ විශේෂ නුවණින් දැන ප්‍රත්‍යක්ෂකොට ඊට පැමිණ වාසය කළාහුයි” වදාළේය.

“මෙසේ වදාළ කල්හි බොධිරාජ කුමාරයා භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීහ.
“ස්වාමීනි කොපමණ කලකින් තථාගතයන් වහන්සේ විසින් හික්මවන්න්නාවූ භික්ෂුවක් යම් අර්ථයක් පිණිස කුලපුත්‍රයෝ ගිහිගෙන් නික්ම යහපත්වම ශාසනයෙහි පැවිදි වෙද්ද, මාර්ගබ්‍රහ්මචර්යාව කෙළවරකොට ඇති ඒ උත්තම සැපත මේ ආත්මයෙහි තෙමේ විශේෂ නුවණින් දැන ඊට පැමිණ වාසය කරද්දැයි’ ඇසී.

§  47. “එසේ නම්, රාජකුමාරය, මේ කාරණය තොපගෙන්ම අසමි. තොපට යම්සේ වැටහේ නම් එසේ කියව. රාජකුමාරය, ඔබ ඒ කුමකැයි සිතන්නෙහිද? ඔබ ඇතුන්පිට නගින හෙණ්ඩු ගන්න ශිල්පයෙහි දක්ෂවෙහිදැයි” ඇසීය.

“ස්වාමීන් වහන්ස, එසේය. ඇතුන්පිට නැගෙණ හෙණ්ඩු ගන්න ශිල්පයෙහි මම දක්ෂයෙක් වෙමි.”

“ඔබ කුමක් සිතන්නෙහිද?
බොධිරාජ කුමාරතෙම ඇතුන්පිට නගින හෙණ්ඩු ගන්න ශිල්පය දනියි. මම ඔහු වෙත ඇතුන්පිට නැගෙණ හෙණ්ඩු ගන්න ශිල්පය පුහුණු කරන්නෙමැයි මෙහි (කිසියම්) පුරුෂයෙක් පැමිණෙන්නේය.“

ඒ පුද්ගලතෙමේ ඇදහීම් නැත්තෙක් හෙවත් කියන දේ නොපිළිගන්නෙක් වෙයිද, ඇදහීමෙන් යමකට පැමිණිය යුතු නම් ඊට නොපැමිණෙන්නේද, හෙතෙම බොහෝ ආබාධ ඇත්තෙක් වෙයිද, නිරෝගී වූවෙකු විසින් යමකට පැමිණිය යුතු නම් ඊට නොපැමිණෙන්නේද, හෙතෙම කෛරාටික රැවටිලිකාරයෙක් වෙයිද, යමෙක් කෛරාටික නොවන රැවටිලිකාරයෙක් නොවන්නෙකු විසින් යමකට පැමිණිය යුතු නම් ඊට නොපැමිණෙන්නේද හෙතෙම කුසීතයෙක් වෙයිද, බලවත් වීර්ය ඇත්තෙකු විසින් යමකට පැමිණිය යුතු නම් ඊට නොපැමිණෙන්නේද, හෙතෙම නුවණැත්තෙක් වෙයිද, නුවණැත්තෙකු විසින් යමකට පැමිණිය යුතු නම් ඊට නොපැමිණෙන්නේද, රාජකුමාරය, ඒ කුමක් සිතන්නෙහිද? ඒ පුරුෂතෙම ඔබගෙන් ඇතුපිට නැගෙන හෙණ්ඩුව ගන්න ශිල්පය කිම ඉගෙනගන්නේද?”

“ස්වාමීන් වහන්ස, ඒ එක් කරුණකින්ද යුක්තවූ පුරුෂයා මා වෙතින් ඇතුපිට නැගෙන හෙණ්ඩුව ගන්නා ශිල්පය නොඋගනියි. කරුණු පසින්ම යුක්ත නම් කියනුම කිම?

§  48. “රාජකුමාරය, ඒ කුමකැයි සිතන්නෙහිද?
බොධිරාජ කුමාරයා ඇතුපිට නැගෙනා හෙණ්ඩු ගන්නා ශිල්පය දනියි. ‘මම ඔහු සමීපයෙහි ඇතුපිට නැගෙන හෙණ්ඩු ගන්නා ශිල්පය හික්මෙන්නෙමියි’ සිතා පුරුෂයෙක් එන්නේය.

හෙතෙම ඇදහීම ඇත්තෙක් වෙයිද, යමක් අදහන්නෙකු විසින් යමකට පැමිණිය යුතු නම් ඊට පැමිණෙන්නේද, හෙතෙම ආබාධ නැත්තෙක් වෙයිද, ආබාධ නැත්තෙකු විසින් යමකට පැමිණිය යුතු නම් ඊට පැමිණෙන්නෙක්වෙයිද, හෙතෙම කෛරාටිකයෙක් රැවටිලිකාරයෙක් නොවන්නේද, කෛරාටිකයෙක් නොවන අවංක පුද්ගලයෙකු විසින් යමකට පැමිණිය යුතු නම් ඊට පැමිණෙන්නේද හෙතෙම බලවත් වීර්ය ඇත්තෙක් වෙයිද, බලවත් වීර්ය ඇත්තෙකු විසින් යමකට පැමිණිය යුතුනම් ඊට පැමිණෙන්නේද, හෙතෙම නුවණ ඇත්තේ වෙයිද, නුවණැතියෙකු විසින් යමකට පැමිණිය යුතු නම් ඊට පැමිණෙන්නේද රාජකුමාරය, ඒ කුමකැයි සිතන්නෙහිද? ඒ පුරුෂතෙම ඇතුපිට නැගෙන හෙණ්ඩු ගන්නා ශිල්පය ඔබ වෙතින් කිම උගන්නේදැයි” ඇසී.

“ස්වාමීනි, මේ එක් කරුණකින් යුක්ත වූද පුරුෂයා ඇතුපිට නැගෙන හෙණ්ඩු ගන්නා ශිල්පය ඉගෙනගන්නේය. කරුණු පසින් යුත් කල කියනුම කවරේද?

“රාජකුමාරය, එපරිද්දෙන්ම වීර්ය කිරීම පිණිස පවත්නා අංග පසක් වෙති. රාජකුමාරය මේ සස්නෙහි ශ්‍රද්ධාවෙන් යුක්තවූයේ වෙයිද, ඒ භාග්‍යවතුන් වහන්සේ මේ කාරණයෙන්ද අරහත්ය. සම්‍යක් සම්බුද්ධය, විජ්ජාචරණසම්පන්නය, සුගතය, ලොකවිදූය, අනුත්තර පුරිස දම්මසාරථිය දෙවිමිනිසුන්ගේ ශාස්තෘය, චතුස්සත්‍ය අවබෝධ කෙළේය. භාග්‍යවත්යයි තථාගතයන් වහන්සේගේ බුදුබව අදහන්නේද?”

“වැඩිද නොවූ, අඩුද නොවූ, වීර්ය කිරීමට සුදුසු සමවූ ආහාර පැසවන ගින්නෙන් යුක්තවූ නිරෝගී ආබාධ නැති පුද්ගලයෙක් වෙයිද, ශාස්තෘන් වහන්සේ ඉදිරියෙහිද නුවණැතියෙක්ව මහණදම් පුරණ භික්ෂූන් ඉදිරියෙහිද තමා පිළිබඳ ඇතිතතු ප්‍රකාශ කරණ කපටිනොවූ අවංක පුද්ගලයෙක් වෙයිද, අකුශල ධර්මයන් පහකිරීම සඳහාද කුශල ධර්මයන් ඉපදවීම සඳහාද පටන්ගත් වීර්ය ඇත්තෙක්දැයි වීර්ය ඇත්තෙක් කුශල ධර්මයන්හි බර බහා නොතැබූ පුද්ගලයෙක් වන්නේද, ආර්යවූ ධර්මයන් විනිවිද දක්නාවූ මනා කොට දුක් කෙළවර කිරීමට පමුණුවන්නාවූ, ස්කන්ධයන්ගේ ඇතිවීම නැතිවීම දක්නාවූ, නුවණින් යුක්තවූ, ප්‍රඥාවෙන් යුක්තවූවෙක් වන්නේද,

“කුමාරය, මේ වනාහි වීර්ය වැඩීම පිණිස පවත්නා අංගපස වෙති.

§ 59. “කුමාරය, මේ වීර්යය වැඩීම පවත්නා අංගපසින් යුත් භික්ෂුව තථාගතයන් වහන්සේ වැනි හික්ම වන්නේත් ලබන්නේ යම් අර්ථයක් පිණිස කුල පුත්‍රයෝ ගිහිගෙන් නික්ම ශාසනයෙහි යහපත්ව පැවිදි වෙද්ද, මාර්ග බ්‍රහ්මචර්යාව කෙළවරකොට ඇති ඒ උත්තම අර්හත්ඵලය මේ ආත්මයෙහිම තෙමේ විශේෂ නුවණින් දැන ප්‍රත්‍යක්ෂ කොට සත්වසකින් එයට පැමිණ වාසය කරන්නේය.

“කුමාරය, සත්වස තිබෙත්වා, මේ වීර්ය වැඩීම පිණිස පවත්නාවූ අංග පසෙන් යුත් මහණ තථාගතයන් වහන්සේ වැනි හික්මවන්නෙක් ලබන්නේ යම් අර්ථයක් පිණිස කුල පුත්‍රයෝ ගිහිගෙන් නික්ම ශාසනයෙහි යහපත්ව පැවිදිවෙද්ද, මාර්ග බ්‍රහ්මචර්යාව කෙළවරකොට ඇති ඒ උතුම් අර්හත් ඵලය මේ ආත්මයෙහිම තෙමේ උසස් නුවණින් දැන ප්‍රත්‍යක්ෂ කොට සය වසකින් එයට පැමිණ වාසය කරන්නේය.

“කුමාරය, සයවසක් තිබේවා, මේ වීර්ය පිණිස පවත්නාවූ අංග පසෙන්යුත් භික්ෂුව, තථාගතයන් වහන්සේ වැනි හික්මවන්නෙක් ලබන්නේ යම් අර්ථයක් පිණිස කුලපුත්‍රයෝ ගිහිගෙන් නික්ම යහපත්ව ශාසනෙහි පැවිදි වෙද්ද, මාර්ග බ්‍රහ්මචර්යාව කෙළවර කොට ඇති ඒ උතුම් අර්හත් ඵලය, මේ ආත්මයෙහිම තෙමේ උසස් නුවණින් දැන ප්‍රත්‍යක්ෂ කොට පස්වසකින් එයට පැමිණ වාසය කරන්නේය.

“කුමාරය, පස්වසක් තිබේවා, මේ වීර්ය පිණිස පවත්නාවූ අංග පසෙන් යුත් භික්ෂුව, තථාගතයන් වහන්සේ වැනි හික්මවන්නෙක් ලබන්නේ, යම් අර්ථයක් පිණිස කුලපුත්‍රයෝ ගිහිගෙන් නික්ම ශාසනයෙහි යහපත්ව පැවිදි වෙද්ද, මාර්ග බ්‍රහ්මචර්යාව කෙළවර කොට ඇති, ඒ උතුම් අර්හත් ඵලය මේ ආත්මයෙහිම තෙමේ උසස් නුවණින් දැන ප්‍රත්‍යක්ෂ කොට සිව් වසකින් ඊට පැමිණ වාසය කරන්නේය.

“කුමාරය, සිව් වසක් තිබේවා, මේ වීර්ය පිණිස පවත්නාවූ අංග පසෙන් යුත් භික්ෂුව, තථාගතයන් වහන්සේ වැනි හික්මවන්නෙකු ලබන්නේ, යම් අර්ථයක් පිණිස කුලපුත්‍රයෝ ගිහිගෙන් නික්ම ශාසනයෙහි යහපත්ව පැවිදි වෙද්ද, මාර්ග බ්‍රහ්මචර්යාව කෙළවර කොට ඒ උතුම් අර්හත් ඵලය මේ ආත්මයෙහිම තෙමේ උසස් නුවණින් දැන ප්‍රත්‍යක්ෂකොට තුන්වසකින් ඊට පැමිණ වාසය කරන්නේය.

“කුමාරය, තුන්වසක් තිබේවා මේ වීර්ය පිණිස පවත්නාවූ අංග පසෙන් යුත් භික්ෂුව, තථාගතයන් වහන්සේ වැනි හික්මවන්නෙකු ලබන්නේ යම් අර්ථයක් පිණිස කුල පුත්‍රයෝ ගිහිගෙන් නික්ම ශාසනයෙහි යහපත්ව පැවිදි වෙත්ද මාර්ග බ්‍රහ්මචර්යාවේ කෙළවර කොට ඒ උතුම් අර්හත් ඵලය මේ ආත්මයෙහිම තෙමේ උසස් නුවණින් දැන ප්‍රත්‍යක්ෂ කොට දෙවසකින් ඊට පැමිණ වාසය කරන්නේය.

“කුමාරය, දෙවසක් තිබේවා. මේ වීර්ය පිණිස පවත්නාවූ අංග පසෙන් යුත් භික්ෂුව තථාගතයන් වහන්සේ වැනි හික්මවන්නෙකු ලබන්නේ යම් අර්ථයක් පිණිස කුල පුත්‍රයෝ ගිහිගෙන් නික්ම ශාසනයෙහි යහපත්ව පැවිදි වෙද්ද, බ්‍රහ්ම චර්යාව කෙළවර කොට ඒ උතුම් අර්හත් ඵලය මේ ආත්මයෙහිම තෙමේ උසස් නුවණින් දැන ප්‍රත්‍යක්ෂ කොට එක් වසකින් ඊට පැමිණ වාසය කරන්නේය.

“කුමාරය, එක් වසක් තිබේවා. මේ වීර්ය පිණිස පවත්නාවූ අංග පසින් යුත් භික්ෂුව, තථාගතයන් වහන්සේ වැනි හික්මවන්නෙකු ලබන්නේ යම් අර්ථයක් පිණිස ගිනිගෙන් නික්ම ශාසනයෙහි යහපත්ව පැවිදි වෙත්ද, බ්‍රහ්මචර්යාව කෙළවර කොට ඒ උතුම් අර්හත් ඵලය මේ ආත්මයෙහිදීම තෙමේ උසස් නුවණින් දැන ප්‍රත්‍යක්ෂ කොට සත්මසකින් ඊට පැමිණ වාසය කරන්නේය.

“කුමාරය, සත්මසක් තිබේවා. මේ වීර්යය පිණිස පවත්නාවූ අංග පසින් යුතු භික්ෂුව, තථාගතයන් වහන්සේ වැනි හික්ම වන්නෙකු ලබන්නේ, යම් අර්ථයක් පිණිස ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වෙද්ද, මාර්ග බ්‍රහ්මචර්යාව කෙළවර කොට ඇති ඒ උතුම් අර්හත් ඵලය මේ ආත්මයේදීම තෙමේ උසස් නුවණින් දැන ප්‍රත්‍යක්ෂ කොට සය මසකින් ඊට පැමිණ වාසය කරන්නේය.

“කුමාරය, සයමසක් තිබේවා. මේ වීර්යය පිණිස පවත්නාවූ අංග පසින් යුතු භික්ෂුව, තථාගතයන් වහන්සේ වැනි හික්මවන්නෙකු ලබන්නේ, යම් අර්ථයක් පිණිස කුල පුත්‍රයෝ ගිහිගෙන් නික්ම ශාසනයෙහි යහපත්ව පැවිදි වෙද්ද, මාර්ග බ්‍රහ්මචර්යාව කෙළවර කොට ඒ උතුම් අර්හත් ඵලය මේ ආත්මයේදීම තෙමේ උසස් නුවණින් දැන ප්‍රත්‍යක්ෂ කොට පස්මසකින් ඊට පැමිණ වාසය කරන්නේය.

“කුමාරය, පස්මසක් තිබේවා. මේ වීර්යය පිණිස පවත්නාවූ අංග පසින් යුතු භික්ෂුව, තථාගතයන් වහන්සේ වැනි හික්ම වන්නෙකු ලබන්නේ, යම් අර්ථයක් පිණිස කුලපුත්‍රයෝ ගිහිගෙන් නික්ම ශාසනයෙහි යහපත්ව පැවිදි වෙත්ද, මාර්ග බ්‍රහ්මචර්යාව කෙළවර කොට ඇති ඒ උතුම් අර්හත් ඵලය මේ ආත්මයේදීම තෙමේ උසස් නුවණින් දැන ප්‍රත්‍යක්ෂ කොට සාරමසකින් ඊට පැමිණ වාසය කරන්නේය.

“කුමාරය, සාරමසක් තිබේවා. මේ වීර්යය පිණිස පවත්නාවූ අංග පසින් යුතු භික්ෂුව, තථාගතයන් වහන්සේ වැනි හික්මවන්නෙකු ලබන්නේ, යම් අර්ථයක් පිණිස කුල පුත්‍රයෝ ගිහිගෙන් නික්ම ශාසනයෙහි හොඳින් පැවිදි වෙද්ද, මාර්ග බ්‍රහ්මචර්යාව කෙළවර කොට ඇති ඒ උතුම් අර්හත් ඵලය මේ ආත්මයේදීම තෙමේ උසස් නුවණින් දැන ප්‍රත්‍යක්ෂ කොට තුන් මසකින් ඊට පැමිණ වාසය කරන්නේය.

“කුමාරය, තුන්මසක් තිබේවා. මේ වීර්යය පිණිස පවත්නාවූ අංග පසින් යුතු භික්ෂුව, තථාගතයන් වහන්සේ වැනි හික්මවන්නෙක් ලබන්නේ, යම් අර්ථයක් පිණිස කුල පුත්‍රයෝ ගිහිගෙන් නික්ම ශාසනයෙහි යහපත්ව පැවිදි වෙද්ද, මාර්ග බ්‍රහ්මචර්යාව කෙළවර කොට ඒ උතුම් අර්හත් ඵලය මේ ආත්මයේදීම තෙමේ උසස් නුවණින් දැන ප්‍රත්‍යක්ෂ කොට දෙමසකින් ඊට පැමිණ වාසය කරන්නේය.

“කුමාරය, දෙමසක් තිබේවා. මේ වීර්යය පිණිසවූ අංග පසින් යුතු භික්ෂුව, තථාගතයන් වහන්සේ වැනි හික්මවන්නෙකු ලබන්නේ, යම් අර්ථයක් පිණිස කුල පුත්‍රයෝ ගිහිගෙන් නික්ම ශාසනයෙහි යහපත්ව පැවිදි වෙද්ද, මාර්ග බ්‍රහ්මචර්යාව කෙළවර කොට ඒ උතුම් අර්හත් ඵලය මේ ආත්මයේදීම තෙමේ උසස් නුවණින් දැන ප්‍රත්‍යක්ෂ කොට එක්මසකින් ඊට පැමිණ වාසය කරන්නේය.

“කුමාරය, එක්මසක් තිබේවා. මේ වීර්යය පිණිසවූ අංග පසින් යුතු භික්ෂුව, තථාගතයන් වහන්සේ වැනි හික්මවන්නෙක් ලබන්නේ, යම් අර්ථයක් සඳහා කුල පුත්‍රයෝ ගිහිගෙන් නික්ම ශාසනයෙහි යහපත්ව පැවිදි වෙද්ද, මාර්ග බ්‍රහ්මචර්යාව කෙළවර කොට ඒ උතුම් අර්හත් ඵලය මේ ආත්මයේදීම තෙමේ උසස් නුවණින් දැන ප්‍රත්‍යක්ෂ කොට අඩ මසකින් ඊට පැමිණ වාසය කරන්නේය.

“කුමාරය, අඩ මසක් තිබේවා. මේ වීර්යය පිණිස පවත්නාවූ අංග පසින් යුතු භික්ෂුව, තථාගතයන් වහන්සේ වැනි හික්මවන්නෙක් ලබන්නේ, යම් අර්ථයක් පිණිස කුල පුත්‍රයෝ ගිහිගෙන් නික්ම ශාසනයෙහි යහපත්ව පැවිදි වෙද්ද, මාර්ග බ්‍රහ්මචර්යාව කෙළවර කොට ඒ උතුම් අර්හත් ඵලය මේ ආත්මයේදීම තෙමේ උසස් නුවණින් දැන ප්‍රත්‍යක්ෂ කොට රෑ දාවල් සතකින් ඊට පැමිණ වාසය කරන්නේය.

“කුමාරය, රෑ දාවල් සතක් තිබේවා. මේ වීර්යය පිණිස පවත්නාවූ අංග පසින් යුතු භික්ෂුව, තථාගතයන් වහන්සේ වැනි හික්ම වන්නෙක් ලබන්නේ, යම් අර්ථයක් පිණිස ගිහිගෙන් නික්ම ශාසනයෙහි යහපත්ව පැවිදි වෙත්ද, බ්‍රහ්මචර්යාව කෙළවර කොට ඇති ඒ උතුම් අර්හත් ඵලය මේ ආත්මයේදීම තෙමේ උසස් නුවණින් දැන ප්‍රත්‍යක්ෂ කොට රෑ දාවල් සයකින් ඊට පැමිණ වාසය කරන්නේය.

 “කුමාරය, රෑ දාවල් සයක් තිබේවා. මේ වීර්යය පිණිසවූ අංග පසෙන් යුතු භික්ෂුව, තථාගතයන් වහන්සේ වැනි හික්මවන්නෙක් ලබන්නේ, යම් අර්ථයක් පිණිස කුල පුත්‍රයෝ ගිහිගෙන් නික්ම ශාසනයෙහි යහපත්ව පැවිදි වෙත්ද, බ්‍රහ්මචර්යාව කෙළවර කොට ඇති ඒ උතුම් අර්හත් ඵලය මේ ආත්මයේදීම තෙමේ උසස් නුවණින් දැන ප්‍රත්‍යක්ෂ කොට රෑ දාවල් පසකින් ඊට පැමිණ වාසය කරන්නේය.

 “කුමාරය, රෑ දාවල් පසක් තිබේවා. මේ වීර්යය පිණිසවූ අංග පසෙන් යුත් භික්ෂුව, තථාගතයන් වහන්සේ වැනි හික්මවන්නෙකු ලබන්නේ, යම් අර්ථයක් පිණිස කුල පුත්‍රයෝ ගිහිගෙන් නික්ම ශාසනයෙහි යහපත්ව පැවිදි වෙත්ද, මාර්ග බ්‍රහ්මචර්යාව කෙළවර කොට ඇති ඒ උතුම් අර්හත් ඵලය මේ ආත්මයේදීම තෙමේ උසස් නුවණින් දැන ප්‍රත්‍යක්ෂ කොට රෑ දාවල් සතරකින් ඊට පැමිණ වාසය කරන්නේය.“රාජකුමාරය, රෑ දාවල් සතරක් තිබේවා. මේ වීර්යය පිණිසවූ අංග පසෙන් යුත් භික්ෂුව, තථාගතයන් වහන්සේ වැනි හික්මවන්නෙක් ලබන්නේ, යම් අර්ථයක් පිණිස ගිහිගෙන් නික්ම ශාසනයෙහි යහපත්ව පැවිදි වෙත්ද, බ්‍රහ්මචර්යාව කෙළවර කොට ඇති ඒ උතුම් අර්හත් ඵලය මේ ආත්මයේදීම තෙමේ උසස් නුවණින් දැන ප්‍රත්‍යක්ෂ කොට රෑ දාවල් තුනකින් ඊට පැමිණ වාසය කරන්නේය.

§  59. “කුමාරය, රෑ දාවල් තුනක් තිබේවා. මේ වීර්යය පිණිස අංග පසෙන් යුත් භික්ෂුව, තථාගතයන් වහන්සේ වැනි හික්මවන්නෙකු ලබන්නේ, යම් අර්ථයක් පිණිස කුල පුත්‍රයෝ ගිහිගෙන් නික්ම ශාසනයෙහි යහපත්ව පැවිදි වෙත්ද, මාර්ග බ්‍රහ්ම චර්යාව කෙළවර කොට ඇති ඒ උතුම් අර්හත් ඵලය මේ ආත්මයේදීම තෙමේ උසස් නුවණින් දැන ප්‍රත්‍යක්ෂ කොට රෑ දාවල් දෙකකින් ඊට පැමිණ වාසය කරන්නේය.

“කුමාරය, රෑ දාවල් දෙකක් තිබේවා. මේ වීර්යය පිණිසවූ අංග පසෙන් යුත් භික්ෂුව, තථාගතයන් වහන්සේ වැනි හික්මවන්නෙකු ලබන්නේ, යම් අර්ථයක් පිණිස කුල පුත්‍රයෝ ගිහිගෙන් නික්ම ශාසනයෙහි යහපත්ව පැවිදි වෙත්ද, මාර්ග බ්‍රහ්ම චර්යාව කෙළවර කොට ඇති ඒ උතුම් අර්හත් ඵලය මේ ආත්මයේදීම තෙමේ උසස් නුවණින් දැන ප්‍රත්‍යක්ෂ කොට රෑ දාවලකින් ඊට පැමිණ වාසය කරන්නේය.

“කුමාරය, එක් රෑ දාවලක් තිබේවා. මේ වීර්යය පිණිස පවත්නාවූ අංග පසින් යුක්ත මහණ තෙමේ තථාගතයන් වැනිවූ හික්ම වන්නෙක් ලබන්නේ සවස අනුශාසනා කරණ ලද්දේ උදෑසන මාර්ගඵල අවබෝධ කරයි. උදෑසන අනුශාසනා කරණ ලද්දේ සවස මාර්ගඵල අවබෝධ කරන්නේයයි” (වදාළසේක)..

 “කුමාරය, රෑ දාවල් තුනක් තිබේවා. මේ වීර්යය පිණිස අංග පසෙන් යුත් භික්ෂුව, තථාගතයන් වහන්සේ වැනි හික්මවන්නෙකු ලබන්නේ, යම් අර්ථයක් පිණිස කුල පුත්‍රයෝ ගිහිගෙන් නික්ම ශාසනයෙහි යහපත්ව පැවිදි වෙත්ද, මාර්ග බ්‍රහ්ම චර්යාව කෙළවර කොට ඇති ඒ උතුම් අර්හත් ඵලය මේ ආත්මයේදීම තෙමේ උසස් නුවණින් දැන ප්‍රත්‍යක්ෂ කොට රෑ දාවල් දෙකකින් ඊට පැමිණ වාසය කරන්නේය.

“කුමාරය, රෑ දාවල් දෙකක් තිබේවා. මේ වීර්යය පිණිසවූ අංග පසෙන් යුත් භික්ෂුව, තථාගතයන් වහන්සේ වැනි හික්මවන්නෙකු ලබන්නේ, යම් අර්ථයක් පිණිස කුල පුත්‍රයෝ ගිහිගෙන් නික්ම ශාසනයෙහි යහපත්ව පැවිදි වෙත්ද, මාර්ග බ්‍රහ්ම චර්යාව කෙළවර කොට ඇති ඒ උතුම් අර්හත් ඵලය මේ ආත්මයේදීම තෙමේ උසස් නුවණින් දැන ප්‍රත්‍යක්ෂ කොට රෑ දාවලකින් ඊට පැමිණ වාසය කරන්නේය.“

“කුමාරය, එක් රෑ දාවලක් තිබේවා. මේ වීර්යය පිණිස පවත්නාවූ අංග පසින් යුක්ත මහණ තෙමේ තථාගතයන් වැනිවූ හික්ම වන්නෙක් ලබන්නේ සවස අනුශාසනා කරණ ලද්දේ උදෑසන මාර්ගඵල අවබෝධ කරයි. උදෑසන අනුශාසනා කරණ ලද්දේ සවස මාර්ගඵල අවබෝධ කරන්නේයයි” (වදාළසේක)..

§  60 . “මෙසේ වදාළ කල්හි බොධිරාජ කුමාරයා භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය.

“බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්ය ධර්මය ආශ්චර්යයි. යම් ධර්මයකින් සවස අනුශාසනා කරණ ලද්දේ උදය මාර්ගඵල අවබෝධ කෙරේද, උදය අනුශාසනා කරණ ලද්දේ සවස මාර්ගඵල අවබෝධ කෙරේද, ඒ ධර්මයාගේ යහපත් කොට දේශනා කරන ලද බව ආශ්චර්යයි. මෙසේ කී කල්හි තරුණ සඤ්ජිකා පුත්‍රතෙම බොධි රාජ කුමාරයට මෙසේ කීය.

§  61 .“ඒ කාරණය එසේමය. පින්වත් බොධිරාජ කුමාර තෙම, සර්වඥයන් වහන්සේ ආශ්චර්යයිද ධර්මය ආශ්චර්යයිද ධර්මයාගේ මනාකොට දෙසනලද බව ආශ්චර්යයිද, කියන්නෙහිය. එසේනම් ඒ භවත් ගෞතමයන් වහන්සේද ධර්මයද භික්ෂු සංඝයාද සරණකොට යවයි” (කීහ)

“යහළු සඤ්ජිකා පුත්‍රය, එසේ නොකියව, යහළු සඤ්ජිකා පුත්‍රය, එසේ නොකියව. යහළු සඤ්ජිකා පුත්‍රය එසේ නොකියව, යහලු සඤ්ජිකා පුත්‍රය, මෑනියන් හමුවෙන් මෙය අසනලදී. මෑනියන් හමුවෙන් මෙය අසා පිළිගන්නාලදී. යහලු සඤ්ජිකා පුත්‍රය. එක්සමයෙක භාග්‍යවතුන් වහන්සේ කොසඹෑනුවරෙහිවූ ඝොසිතාරාමයෙහි වැඩ වෙසෙත්. එකල්හි මාගේ මව් තොමෝ දරුගැබ් ඇත්තී, භාග්‍යවතුන් වහන්සේ යම් තෙනකද එහි පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එක් පසෙක උන්නාය. එක් පසෙක හුන් මාගේ මවු භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීවාය.

“ස්වාමීන් වහන්ස, මාගේ කුසෙහිවූ යම් මේ කුමාරයෙක් හෝ කුමාරිකාවක් හෝ වේද? හෙතෙම භාග්‍යවතුන් වහන්සේද ධර්මයද භික්ෂු සංඝයාද සරණයයි’ කියායි.

“භාග්‍යවතුන් වහන්සේ ඔහු අද පටන් දිවිහිමි කොට භාග්‍යවතුන් වහන්සේ සරණගිය උපාසකයෙකුසේ දරණ සේක්වා’ යනුයි.“

යහලු සඤ්ජිකා පුත්‍රය, එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ මේ භග්ගනින පදයෙහිම සුංසුමාරගිර නගරය සමීපයෙහිවූ මිගදාය නම් භෙසකලා වනයෙහි වැඩ වෙසෙත්. එකල්හි මාගේ කිරිමව් තොමෝ මා ඇකයෙන් උසුලාගෙණ (වඩාගෙණ) භාග්‍යවතුන් වහන්සේ යම් තෙනකද එහි ගොස් භාග්‍යවතුන් වහන්සේ වැඳ එක්පසෙක සිටියාහ.එක්පසෙක සිටියාවූ මාගේ කිරිමව් තොමෝ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීවාය. ‘ස්වාමීන් වහන්ස, මේ බොධිරාජ කුමාර තෙමේ භාග්‍යවතුන් වහන්සේ සරණයයි. ධර්මයද භික්ෂු සංඝයාද සරණයයි. භාග්‍යවතුන් වහන්සේ ඔහු අද පටන් දිව් හිමි කොට සරණගිය උපාසකයෙක් කොට දරණ සේක්වා’ (කියාය.)“

යහලු සඤ්ජිකා පුත්‍රය, ඒ මම තෙවනුවත් භාග්‍යවතුන් වහන්සේ සරණයෙමි. ධර්මයද භික්ෂු සංඝයාද සරණයමි. භාග්‍යවතුන් වහන්සේ අද පටන් දිවි හිමි කොට මා සරණ ගිය උපාසකයෙක් කොට දරණ සේක්වායි කීය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.