SN 04-10 අව්‍යාකත සංයුත්තය

SN 04-10-01. ඛෙම සූත්‍රය
SN 04-10-02. අනුරාධ සූත්‍රය
SN 04-10-03. පඨම සාරිපුත්ත කොට්ඨික සුත්ත / උපගත සූත්‍රය
SN 04-10-04. දුතිය සාරිපුත්ත කොට්ඨිකසුත්තං  / සමුදය සූත්‍රය
SN 04-10-05. තතිය සාරිපුත්ත කොට්ඨිකසුත්ත / පේම සූත්‍රය
SN 04-10-06. චතුත්ථ සාරිපුත්ත කොට්ඨික සුත්ත / ආරාම සූත්‍රය.
SN 04-10-07. මොග්ගල්ලාන සුත්ත / ආයතන සූත්‍රය
SN 04-10-08. වච්ඡ ගොත්ත සුත්තං /. ඛන්ධ සූත්‍රය
SN 04-10-09. කුතූහල සාලා සුත්තං  /. කුතුහලසාලා සූත්‍රය
SN 04-10-10. ආනන්ද සුත්තං/ අත්ථත්ත සූත්‍රය
SN 04-10-11. සභිය කච්චාන සුත්ත / සභිය සූත්‍රය

SN 04-10-01. ඛෙම සූත්‍රය

§ 1. මා විසින් මෙසේ අසන ලදී.
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවනයෙහි අනේපිඬු මහ සිටාණන් විසින් කරවනලද ආරාමයෙහි වාසය කරන සේක.

§ 2. එකල්හි ඛෙමා භික්ෂුණිය කොසොල් ජනපදයෙහි ඇවිදින්නී සැවැත් නුවරටද, සාකෙත නුවරටද අතර තොරණවත්ථු නම් ස්ථානයෙහි වාසයට පැමිණියාය එකල්හි පසේනදී කොසොල් රජතෙමේ සාකෙතනුවරින් සැවැත්නුවරට යන්නේ සැවැත් නුවරටද, සාකෙතනුවරටද අතර පිහිටි තොරණවත්ථුවෙහි එක් රැයක් විසීමට පැමිණියේය.

§ 3. එකල්හි පසේනදීකොසොල් රජතෙමේ එක්තරා පුරුෂයෙකුට කතාකළේය. කථාකොට “එම්බල පුරුෂය, යව ඔබ අද මට (පයුරු පාසනය කිරීමට) සේවනය කිරීමට සුදුසුවූ ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ දනුවයි” කීයේය. ඒ පුරුෂතෙම “එසේය දේවයන් වහන්සැයි” පසෙනදී කොසොල් රජුට උත්තරදී තොරණවත්ථුව මුළුල්ලෙහි පිළිවෙළින් ඇවිදින්නේ පසේනදී කොසොල් රජුහට පයුරුපාසනය කිරීමට (සේවනය කිරීමට) සුදුසු ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ නුදුටුයේය.

ඒ පුරුෂ තොරණ වත්ථුවෙහි වාසයට පැමිණි ඛෙමා භික්ෂුණිය දුටුයේය. දැක පසේනදී කොසොල් රජතෙම යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ පසේනදී කොසොල්රජුට “දේවයන් වහන්සේට සේවනය කිරීමට සුදුසුවූ ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ තොරණවත්ථුවෙහි නැතැයි” කීයේය. “දේවයන් වහන්ස, ඒ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේගේ ශ්‍රාවිකාවක්වූ ඛෙමා නම් භික්ෂුණියක් ඇත්තේය. පණ්ඩිතය ව්‍යක්තය, නුවණැත්තිය, බහුශ්‍රැතය, විසිතුරු කථා ඇත්තීය. යහපත් වැටහෙණ නුවණ ඇත්තීයයි ඒ ආර්යාවගේ මෙබඳු යහපත් කීර්ති ශබ්දයක් පැනනැංගේය. දේවයන් වහන්සේ ඈ ආශ්‍රය කරණ සේක්වායි” කීය.

§ ඉක්බිති පසේනදී කොසොල් රජතෙම ඛෙමා භික්ෂුණිය යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ ඛෙමා භික්ෂුණිය වැඳ එක් පසෙක හුන්නේය. එක් පසෙක හුන් පසේනදී කොසොල් රජතෙමේ ඛෙමා භික්ෂුණියට “ආර්යාවෙනි’ කිමෙක්ද තථාගතයන් මරණින්මතු වේදැයි” ඇසීය. –
“මහරජ, තථාගතයන් වහන්සේ මරණින්මතු වේයයි භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය ප්‍රකාශ නොකරන ලදී.”

“ආර්යාවෙනි, කිමෙක්ද, තථාගතයන් වහන්සේ මරණින් මතු නොවේද?” –
“මහරජ, තථාගතයන් වහන්සේ මරණින් මතු නොවේයයි භාග්‍යවතුන් වහන්සේ විසින් මෙයද නොවදාරණ ලදී.”

“කිමෙක්ද ආර්යාවෙනි, තථාගතයන් වහන්සේ මරණින් මතු වේද නොවේද?”
“මහරජ, තථාගතයන් වහන්සේ මරණින් මතු වෙයිද නොවෙයිද කියා භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය නොවදාරණ ලදී.”

“ආර්යාවෙනි, කිමෙක්ද? තථාගතයන් වහන්සේ මරණින් මතු නොවෙයිද නොවන්නේ නොවෙයිද?”
“මහරජ තථාගතයන් වහන්සේ මරණින් මතු නොවෙයි නොවන්නේ නොවෙයි කියා භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රකාශ නොකරණ ලදී.”

“ආර්යාවෙනි, කිමෙක්ද තථාගතයන් වහන්සේ මරණින් මතු වේදැයි විචාරණ ලද්දේ ‘මහරජ තථාගතයන් වහන්සේ මරණින් මතු වේයයි මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රකාශ නොකරන ලද්දේයයි’ කීයෙහිය.

“කිමෙක්ද? ආර්යයන් වහන්ස, තථාගතයන් වහන්ස මරණින් මතු නොවේදැයි මෙසේ විචාරණ ලද්දේ.
” මහරජ තථාගතයන් වහන්සේ මරණින් මතු නොවේයයි මෙයද භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රකාශ නොකරන ලද්දේයයි කීයෙහිය.

“කිමෙක්ද? ආර්යාවෙනි, තථාගතයන්වහන්සේ මරණින් මතු වෙයිද නොවෙයිදැයි. මෙසේ අසන ලද්දේ
‘මහරජ භග්‍යවතුන් වහන්සේ විසින් මරණින් මතු වෙයිද නොවෙයි දැයි මෙයද තථාගතයන් වහන්සේ විසින් නොවදාරණ ලද්දේයයි’ කීයෙහිය.

“ආර්යාවෙනි, කිමෙක්ද? තථාගතයන්වහන්සේ මරණින් මතු නොවෙයිද, නොවන්නේ නෙවෙයිදැ”යි මෙසේ විචාරණ ලද්දේ,
‘මහරජ, තථාගතයන්වහන්සේ මරණින් මතු නොවෙයි නොවන්නේද නොවේයයි මෙයද භාග්‍යවතුන් වහන්සේ විසින් නොවදාරණ ලද්දේයයි” කීයෙහිය.

“ආර්යාවෙනි, යමක් නිසා එය භාග්‍යවතුන් වහන්සේ විසින් නොවදාරණ ලද්දේනම්, ඊට හේතු කවරේද? ඊට ප්‍රත්‍ය කවරේද?
“මහරජ, එසේනම් මෙහි තොපම විචාරන්නෙමි. යම්සේ තොපට වැටහේනම් එසේ එය ප්‍රකාශ කරන්නෙහිය. මහරජ, ඒ කුමකැයි හඟින්නෙහිද? තොපගේ ගණන් තබන්නෙක් හෝ (ඇඟිලි) මුද්‍රාවෙන් ගණන් කිරීමට දක්ෂයෙක් හෝ කොටස් ගණනින් ගණන් කිරීමට දක්ෂයෙක් හෝ වැලි මෙපමණයයි කියා හෝ මෙතෙක් වැලි සියයක්ය කියා හෝ මෙපමණ වැලි දහසක්ය කියා හෝ මෙපමණ වැලි ලක්ෂයක්ය කියා හෝ ගඟෙහි වැලි ගණන් කිරීමට සමර්ථවූ කිසිවෙක් ඇත්තේද?
“ආර්යාවෙනි, නැත.“

තොපගේ ගණන් කරන්නෙක් හෝ (ඇඟිලි) මුද්‍රාවෙන් ගණන් කරන්නෙක් හෝ කොටස් ගණනකින් ගණන් කරන්නෙක් හෝ මෙපමණ ජල ලාස්යයි කියා හෝ මෙපමණ ජල ලාස් සියයක්ය කියා හෝ මෙපමණ ජල ලාස් දහසක්ය කියා හෝ මෙපමණ ජල ලාස් ලක්ෂයක්ය කියා හෝ මහා සමුද්‍රයෙහි ජලය මනින්ට සමර්ථවූ කිසිවෙක් ඇත්තේද?”-
“ආර්යාවෙනි නැත.”

“ඊට හේතු කවරේද?”-
“ආර්යාවෙනි, සමුද්‍රය විශාලය ගැඹුරුය, අප්‍රමාණය, දැන ගැනීමට අපහසුය”

“මහරජ, ‘එසේම යම් රූපයක් කරනකොටගෙන තථාගතයන් වහන්සේ සත්වයකු වශයෙන් පෙනේද, ඒ රූපය තථාගතයන් වහන්සේ විසින් පහ කරන ලදී. මුල් සිඳින ලදී. කරටිය සිඳි තල් ගසක්මෙන් කරන ලදී. අභාවයට යවන ලදී. මතු නූපදින තත්වයට කරන ලදී. මහරජ රූප සංඛ්‍යාවෙන් මිදුනාවූ තථාගතයන් වහන්සේ ගැඹුරුය, අප්‍රමාණය, දැනගැනීමට අපහසුය. ඒ හෙයින් තථාගතයන් වහන්සේ මරණින් මතුවේයයි කීමටද නුසුදුසුය. තථාගතයන් වහන්සේ මරණින් මතු නොවේයයි කීමටද නුසුදුසුය තථාගතයන් වහන්සේ මරණින් මතු වේයයිද නොවේයයිද කීමට නුසුදුසුය. තථාගතයන් වහන්සේ මරණින් මතු නොවෙයි. නොවන්නේ නොවෙයි කියා කියා කීමටද නුසුදුසුයි.

“මහරජ, එසේම යම් වේදනාවක් කරණකොට ගෙන තථාගතයන් වහන්සේ සත්වයකු වශයෙන් පෙනේද, ඒ වේදනාව තථාගතයන් වහන්සේ විසින් පහකරන ලදී. මුල් සිඳිනලදී. කරටිය සිඳි තල් ගසක්මෙන් කරන ලදී. අභාවයට යවන ලදී. මතු නූපදින තත්ත්වයට කරන ලදී. මහරජ, වේදනා සංඛ්‍යාවෙන් මිදුනාවූ තථාතයන් වහන්සේ ගැඹුරුය, අප්‍රමාණය, දැනගැනීමට අපහසුය. ඒ හෙයින් තථාගතයන් වහන්සේ ‘මරණින්මතු වේයයි කීමටද නුදුසුය. තථාගතයන් වහන්සේ මරණින්මතු නොවේයයි කීමටද නුසුදුසුය. තථාගතයන් වහන්සේ මරණින් මතු වේයයිද, නොවේයයිද කීමට නුසුදුසුය තථාගතයන් වහන්සේ මරණින් මතු නොවෙයි. නොවන්නේ නොවෙයි කියා කීමටද නුසුදුසුයි.

“මහරජ, එසේම යම් සංඥාවක් කරණකොට ගෙන තථාගතයන්වහන්සේ සත්වයකු වශයෙන් පෙනේද, ඒ සංඥාව තථාගතයන් වහන්සේ විසින් පහකරන ලදී. මුල් සිඳින ලදී. කරටිය සිඳින ලද තල් ගසක් මෙන් කරන ලදී. අභාවයට යවන ලදී. මතු නූපදින තත්ත්වයට කරන ලදී. මහරජ, සංඥා සංඛ්‍යාවෙන් මිදුනාවූ තථාගතයන් වහන්සේ ගැඹුරුය, අප්‍රමාණය, දැනගැනීමට අපහසුය. ඒ හෙයින් තථාගතයන් වහන්සේ මරණින් මතු වේයයි කීමටද නුසුදුසුය තථාගතයන් වහන්සේ මරණින් මතු නොවේයයි කීමටද නුසුදුසුය. තථාගතයන් වහන්සේ මරණින් මතු වේයයිද නොවේයයිද කීමටද නුසුදුසුය. තථාගතයන් වහන්සේ මරණින් මතු නොවෙයි. නොවන්නේ නොවෙයි කියා කීමටද නුසුදුසුයි.

“මහරජ, එසේම යම් සංස්කාරයක් කරනකොට ගෙන තථාගතයන් වහන්සේ සත්වයකු වශයෙන් පෙනේද, ඒ සංස්කාරය තථාගතයන් වහන්සේ විසින් පහකරන ලදී. මුල් සිඳින ලදී. කරටිය සිඳින ලද තල් ගසක් මෙන් කරන ලදී. අභාවයට යවන ලදී. මතු නූපදින තත්වයට කරන ලදී. මහරජ, සංස්කාර සංඛ්‍යාවෙන් මිදුනාවූ තථාගතයන් වහන්සේ ගැඹුරුය, අප්‍රමාණය, දැනගැනීමට අපහසුය. ඒ හෙයින් තථාගතයන් වහන්සේ ‘මරණින් මතු වේයයි කීමටද නුසුදුසුය. තථාගතයන් වහන්සේ මරණින් මතු නොවේයයි කීමටද නුසුදුසුය. තථාගතයන් වහන්සේ මරණින් මතු වේයයිද,නොවේයයිද කීමට නුසුදුසුය. තථාගතයන් වහන්සේ මරණින් මතු නොවෙයි’ නොවන්නේ නොවෙයි කියා කීමටද නුසුදුසුය.

“මහරජ, එසේම යම් විඤ්ඤාණයක් කරනකොට ගෙන තථාගතයන් වහන්සේ සත්වයකු වශයෙන් පෙනේද, ඒ විඤ්ඤාණය තථාගතයන් වහන්සේ විසින් පහකරන ලදී. මුල් සිඳින ලදී. කරටිය සිඳින ලද තල් ගසක් මෙන් කරනලදී. මතු නූපදින තත්වයට කරන ලදී. මහරජ, විඤ්ඤාණය සංඛ්‍යාවෙන් මිදුනාවූ තථාගතයන් වහන්සේ ගැඹුරුය, අප්‍රමාණය, දැන ගැනීමට අපහසුය. ඒ හෙයින් තථාගතයන් වහන්සේ ‘මරණින් මතු වේයයි කීමටද නුසුදුසුය. තථාගතයන් වහන්සේ මරණින් මතු නොවේයයි කීමටද නුසුදුසුය. තථාගතයන් වහන්සේ මරණින් මතු වේයයිද නොවේයයිද කීමට නුසුදුසුය. තථාගතයන් වහන්සේ මරණින් මතු නොවෙයි. නොවන්නේ නොවෙයි කීමටද නුසුදුසුයි.

ඉක්බිති පසේනදී කොසොල් රජතෙම ඛෙමා භික්ෂුණිගේ වචනයට සතුටුව අනුමෝදන්ව හුන් අස්නෙන් නැගිට ඛෙමා භික්ෂුණිය වැඳ ගරුකොට ගියේය.“

ඉක්බිති පසෙනදී කොසොල්රජ පසු කලෙක භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එක්පසෙක හුන්නේය. එක් පසෙක හුන් පසෙනදී කොසොල් රජතෙම භාග්‍යවතුන් වහන්සේගෙන්
‘ස්වාමීනි, කිමෙක්ද? තථාගතයන් වහන්සේ මරණින් මතු වන්නේදැයි” ඇසීය.

“මහරජ, තථාගත තෙමේ මරණින් මතු වේයයි මෙය මා විසින් ප්‍රකාශ නොකරන ලදී.”

“ස්වාමීනි, කිමෙක්ද? තථාගතයන් වහන්සේ මරණින් මතු නොවෙත්ද?”
“මහරජ, තථාගත තෙමේ මරණින් මතු නොවේයයිද මා විසින් ප්‍රකාශ නොකරනලදී.”

“ස්වාමීනි, කිමෙක්ද? තථාගතයන් වහන්සේ මරණින් මතු වන්නේත් නොවෙත්ද, නොවන්නේත් නොවෙත්ද?”
“මහරජ, තථාගතයන් වහන්සේ මරණින් මතු වන්නේත් නොවෙත්, නොවන්නේත් නොවෙත් කියාද මා විසින් ප්‍රකාශ නොකරන ලදී.”

“ස්වාමීනි, කිමෙක්ද? ‘තථාගතයන් වහන්සේ මරණින් මතු වේදැයි’ මෙසේ විචාරණ ලද්දේ
‘මහරජ, මා විසින් තථාගත තෙමේ මෙසේ මරණින් මතු වන්නේය යන මෙයද මා විසින් නොවදාරණ ලද්දේයයි’ කීයෙහිය.

“ස්වාමීනි, කිමෙක්ද? තථාගතයන් වහන්සේ මරණින් මතු නොවෙත්දැයි මෙසේ විචාරණ ලද්දේ,
‘මහරජ, මා විසින් තථාගතතෙම මරණින් මතු නොවන්නේය යන මෙයද මා විසින් නොවදාරණ ලද්දේයයි’ කීයෙහිය.

“ස්වාමීනි, කිමෙක්ද? තථාගතයන් වහන්සේ මරණින් මතු නොවෙයිද නොවන්නේ නොවෙයිදැයි මෙසේ විචාරණ ලද්දේ,
‘මහරජ, තථාගතයන් වහන්සේ මරණින් මතු නොවෙයි නොවන්නේද නොවේමයි මෙයද මා විසින් නොවදාරණ ලද්දේයයි’ කීයෙහිය.

“යමක් නිසා එය භාග්‍යවතුන් වහන්සේ විසින් නොවදාරණ ලද්දේද? ඊට හේතු කවරේද? ඊට ප්‍රත්‍ය කවරේද?”
“මහරජ, එසේවීනම් මෙහි තොපම විචාරමි. යම්සේ තොපට යම්සේ වැටහේනම් එසේ එය ප්‍රකාශ කරන්නෙහිය. මහරජ, ඒ කුමකැයි හඟින්නේද? යමෙක් ගංගාවෙහි මෙතෙක් වැලියයි කියා හෝ මෙතෙක් වැලි සියයක්ය කියා මෙපමණ වැලි දහසක්ය කියා හෝ මෙපමණ වැලි ලක්ෂයක්ය කියා හෝ ගඟෙහි වැලි ගණන් කිරීමට සමර්ථ තොපගේ කිසියම් ගණකයෙක් හෝ ඇඟිලි මුද්‍රිකාවෙන් ගණින්නෙක් හෝ කොටස් වශයෙන් ගණන්කරන්නෙක් හෝ වේද?
“ස්වාමීනි, නැත.”

“තොපගේ ගණන් කරන්නෙක් හෝ (ඇඟිලි) මුද්‍රාවෙන් ගණන් කරන්නෙක් හෝ කොටස් ගණනකින් ගණන් කරන්නෙක් හෝ මහා සමුද්‍රයෙහි ජලය මෙපමණ ජල ලාස් ගණනක්ය කියා හෝ මෙපමණ ජල ලාස් සියයක්ය කියා හෝ මෙපමණ ජල ලාස් දහසක්ය කියා හෝ මෙපමණ ජල ලාස් ලක්ෂයක්ය කියා හෝ ප්‍රමාණ කරන්නට සමර්ථ වේද?
“ස්වාමීනි, නැත.”

“ඊට හේතු කවරේද?”
“ස්වාමීනි. සමුද්‍රය විශාලය, ගැඹුරුය, අප්‍රමාණය, බැසගැන්මට නොහැක.”

“මහරජ, ‘එසේම යම් රූපයක් කරණකොටගෙන තථාගතයන් වහන්සේ සත්වයකු වශයෙන් පෙනේද, ඒ රූපය තථාගතයන් වහන්සේ විසින් පහ කරන ලදී, මුල් සිඳින ලදී. කරටිය සිඳි තල් ගසක්මෙන් කරන ලදී. අභාවයට යවන ලදී. මතු නූපදින තත්ත්වයට කරන ලදී. මහරජ රූප සංඛ්‍යාවෙන් මිදුණාවූ තථාගතයන් වහන්සේ සමුද්‍රය මෙන් ගැඹුරුය, අප්‍රමාණය, දැනගැනීමට අපහසුය. ඒ හෙයින් තථාගතයන් වහන්සේ ‘මරණින් මතුවේයයි කීමටද නුසුදුසුය. තථාගතයන් වහන්සේ මරණින් මතු නොවේයයි කීමටද නුසුදුසුය. තථාගතයන් වහන්සේ මරණින් මතු වේයයිද නොවේයයිද කීමට නුසුදුසුය. තථාගතයන් වහන්සේ මරණින් මතු නොවෙයි, නොවන්නේ නොවෙයි කියා කීමටද නුසුදුසුයි.

“මහරජ, එසේම යම් වේදනාවක් කරණකොට ගෙන තථාගතයන් වහන්සේ සත්වයකු වශයෙන් පෙනේද, ඒ වේදනාව තථාගතයන් වහන්සේ විසින් පහකරන ලදී. මුල් සිඳිනලදී. කරටිය සිඳි තල් ගසක්මෙන් කරන ලදී. අභාවයට යවන ලදී. මතු නූපදින තත්ත්වයට කරන ලදී. මහරජ, වේදනා සංඛ්‍යාවෙන් මිදුණාවූ තථාගතන් වහන්සේ සමුද්‍රය මෙන් ගැඹුරුය, අප්‍රමාණය, දැනගැනීමට අපහසුය. ඒ හෙයින් තථාගතයන් වහන්සේ ‘මරණින්මතු වේයයි කීමටද නුසුදුසුය. තථාගතයන් වහන්සේ මරණින් මතු නොවේයයි කීමටද නුසුදුසුය. තථාගතයන් වහන්සේ මරණින් මතු වේයයිද, නොවේයයිද කීමට නුසුදුසුය. තථාගතයන් වහන්සේ මරණින් මතු නොවෙයි. නොවන්නේ නොවෙයි කියා කීමටද නුසුදුසුයි.

“මහරජ, එසේම යම් සංඥාවක් කරණකොට ගෙන තථාගතයන් වහන්සේ සත්වයකු වශයෙන් පෙනේද, ඒ සංඥාව තථාගතයන් වහන්සේ විසින් පහකරන ලදී. මුල් සිඳින ලදී. කරටිය සිඳින ලද තල් ගසක් මෙන් කරන ලදී. අභාවයට යවන ලදී. මතු නූපදින තත්ත්වයට කරන ලදී. මහරජ, සංඥා සංඛ්‍යාවෙන් මිදුණාවූ තථාගතයන් වහන්සේ සමුද්‍රය මෙන් ගැඹුරුය, අප්‍රමාණය, දැනගැනීමට අපහසුය. ඒ හෙයින් තථාගතයන් වහන්සේ මරණින් මතු වේයයි කීමටද නුසුදුසුය. තථාගතයන් වහන්සේ මරණින් මතු නොවේයයි කීමටද නුසුදුසුය. තථාගතයන් වහන්සේ මරණින් මතු වේයයිද නොවේයයිද කීමටද නුසුදුසුය. තථාගතයන් වහන්සේ මරණින් මතු නොවෙයි. නොවන්නේ නෙවෙයි කියා කීමටද නුසුදුසුයි.

“මහරජ, එසේම යම් සංස්කාරයක් කරණකොට ගෙන තථාගතයන් වහන්සේ සත්වයකු වශයෙන් පෙනේද, ඒ සංස්කාරය තථාගතයන් වහන්සේ විසින් පහකරන ලදී. මුල් සිඳින ලදී. කරටිය සිඳින ලද තල් ගසක් මෙන් කරන ලදී. අභාවයට යවන ලදී. මතු නූපදින තත්වයට කරන ලදී. මහරජ, සංස්කාර සංඛ්‍යාවෙන් මිදුනාවූ තථාගතයන් වහන්සේ සමුද්‍රය මෙන් ගැඹුරුය, අප්‍රමාණය, දැනගැනීමට අපහසුය. ඒ හෙයින් තථාගතයන් වහන්සේ ‘මරණින් මතු වේයයි කීමටද නුසුදුසුය. තථාගතයන් වහන්සේ මරණින් මතු නොවේයයි කීමටද නුසුදුසුය. තථාගතයන් වහන්සේ මරණින් මතු වේයයිද නොවේයයිද කීමට නුසුදුසුය. තථාගතයන් වහන්සේ මරණින් මතු නොවෙයි. නොවන්නේ නොවෙයි කියා කීමටද, නුසුදුසුය.

“මහරජ, එසේම යම් විඤ්ඤාණයක් කරණකොට ගෙන තථාගතයන් වහන්සේ සත්වයකු වශයෙන් පෙනේද, ඒ විඤ්ඤාණය තථාගතයන් වහන්සේ විසින් පහකරන ලදී. මුල් සිඳින ලදී. කරටිය සිඳිනලද තල් ගක් මෙන් කරනලදී. මතු නූපදින තත්ත්වයට කරන ලදී. මහරජ, විඤ්ඤාණ සංඛ්‍යාවෙන් මිදුණාවූ තථාගතයන් වහන්සේ සමුද්‍රය මෙන් ගැඹුරුය, අප්‍රාණය, දැනගැනීමට අපහසුය. ඒ හෙයින් තථාගතයන් වහන්සේ මරණින් මතු වේයයි කීමටද නුසුදුසුය. තථාගතයන් වහන්සේ මරණින් මතු නොවේයයි කීමටද නුසුදුසුය. තථාගතයන් වහන්සේ මරණින් මතු වේයයිද නොවේයයිද කීමට නුසුදුසුය. තථාගතයන් වහන්සේ මරණින් මතු නොවෙයි නොවන්නේ නොවෙයි කීමටද නුසුදුසුයි.”

“ස්වාමීනි, ආශ්චර්යය ස්වාමීනි, අද්භූතය යම් හෙයකින් ශාස්තෲන් වහන්සේගේද, ශ්‍රාවිකාවගේද දේශනාවෙහි අර්ථයෙන් අර්ථයද, ව්‍යංජනයෙන් ව්‍යංජනයද, වචනයෙන් වචනයද, සංසන්දනය වෙයි. සමවෙයි.

ස්වාමීනි, මම එක් අවස්ථාවක ඛෙමා භික්ෂුණිය කරා පැමිණ මේ කරුණ ප්‍රශ්න කෙළෙමි. මට ඒ ආර්යාතොමෝද භාග්‍යවතුන් වහන්සේ යම්සේද, මේ පදයන්ගෙන් මේ ව්‍යංජනයන්ගෙන් මේ කාරණය ප්‍රකාශ කළාය. ස්වාමීනි, ආශ්චර්යයි. ස්වාමීනි, අද්භූතයි. ශාස්තෲන් වහන්සේගේද, ශ්‍රාවිකාවන්ගේද දේශනාවෙහි අර්ථයෙන් අර්ථයද ව්‍යංජනයෙන් ව්‍යංජනයද, වචනයෙන් වචනයද සංසන්දනය වන්නේය. සමවන්නේය.

“ස්වාමීනි, දැන් අපි යන්නෙමු. අපි බොහෝ වැඩ ඇත්තෝවෙමු. බොහෝ කටයුතු ඇත්තෝ වෙමුයි” කීය.
“මහරජ, දැන් ඔබ ඊට කාලය දනුවයි” වදාළසේක.

ඉක්බිති පසෙනදී කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේගේ වචනයට සතුටුව අනුමෝදන්ව හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේට වැඳ ගරුකොට ගියේය.

SN 04-10-02. අනුරාධ සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී.
එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ විශාලා මහනුවර මහා වනයෙහි කූටාගාර ශාලාවෙහි වැඩ සිටින සේක. එකල්හි වනාහි ආයුෂ්මත් අනුරාධ ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේට නුදුරුවූ වනකුටියක වාසය කරයි. ඉක්බිති බොහෝ අන්‍යතීර්ථක පරිබ්‍රාජකයෝ ආයුෂ්මත් අනුරාධ ස්ථවිරයන් වහන්සේ යම්තැනකද එතැනට පැමිණියාහුය. පැමිණ ආයුෂ්මත් අනුරාධ ස්ථවිරයන් වහන්සේ සමග සතුටු වූවාහුය. සතුටුවිය යුතුවූ සිහිකටයුතුවූ කථාව කොට නිමවා එක් පසෙක හුන්නාහුය. එක්පසෙක හුන් ඒ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ ආයුෂ්මත් අනුරාධ තෙරුන්ගෙන් ඇවැත් අනුරාධයෙනි, උත්තම පුරුෂවූ පරම පුරුෂවූ ශ්‍රේෂ්ඨ පැමිණීමට පැමිණියාවූ යම් ඒ තථාගත කෙනෙක් වේද, ඔහු තථාගතතෙමේ මරණින් මතු වේයයි කියා හෝ තථාගත තෙමේ මරණින් මතු නොවේයයි කියා හෝ තථාගත තෙමේ මරණින් මතු වන්නේද වෙයි නොවන්නේද වෙයි කියා හෝ තථාගත තෙමේ මරණින් මතු නොවෙයි, නොවන්නේද නොවෙයි කියා හෝ මේ සතර කාරණයන්හි පණවන්නාහුදැයි” ඇසූහ.“ඇවැත්නි, යම් ඒ උත්තම පුරුෂවූ ශ්‍රේෂ්ඨ පුරුෂවූ ශ්‍රේෂ්ඨ පැමිණීමට පැමිණියාවූ යම් ඒ තථාගත කෙනෙක් වේද ඔහු තථාගතයන් වහන්සේ මරණින් මතු වේයයි කියා හෝ තථාගත තෙමේ මරණින් මතු නොවෙයි කියා හෝ තථාගත තෙමේ මරණින් මතු වන්නේද වෙයි. නොවන්නේද වෙයි කියා හේ තථාගත තෙමේ මරණින් මතු නොවෙයි, නොවන්නේද නොවෙයි කියා හේ මේ කරුණු සතරින් වෙන්වම පණවන්නාහුයයි” ආයුෂ්මත් අනුරාධ ස්ථවිරතෙම කීහ.මෙසේ කීකල්හි අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ ආයුෂ්මත් අනුරාධ තෙරුන්ට මේ භික්ෂුව නවකයෙක් වන්නේය. පැවිදිවී වැඩිකල් නැත්තේය. තෙරකෙනෙක් වේවා බාලයෙක, අව්‍යක්තයෙකැයි” කීවාහුය. එකල්හි ඒ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ ආයුෂ්මත් අනුරාධ තෙරුන්ට අලුත් වාදයෙන්ද බාලවාදයෙන්ද අවමන් කොට හුනස්නෙන් නැඟිට ගියාහුය.ඉක්බිති ඒ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන් ගිය නොබෝ වේලාවකින් ආයුෂ්මත් අනුරාධ තෙරුන්ට මෙසේ සිත්විය. “ඉදින් ඒ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ මගෙන් මත්තෙහි අසන්නාහු නම් කෙසේ ප්‍රකාශ කළ කල්හි ඒ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන්ට භාග්‍යවතුන් වහන්සේ වදාරණ ලද්දක් කියන්නේ වෙම්ද, භාග්‍යවතුන් වහන්සේ බොරුවෙන් චොදනා නොකෙරෙම්ද, ධර්මයට අනුකූල ධර්මයක් ප්‍රකාශ කරන්නෙම්ද කිසියම් කරුණු සහිත වාදාරොපණයක් ගැරහිය යුතු බවට නොපැමිණෙන්නේදැයි’ මේ සිතවිය.ඉක්බිති ආයුෂ්මත් අනුරාධ ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එක් පසෙක හුන්නේය. එක්පසෙක හුන් ආයුෂ්මත් අනුරාධ ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේගෙන් ‘ස්වාමීනි, මෙහි මම භාග්‍යවතුන් වහන්සේට නුදුරු ආරණ්‍ය කුටියෙහි වාසය කරමි. ස්වාමීනි, එකල්හි බොහෝ අන්‍යතීර්ථක පරිබ්‍රාජකයෝ මා යම් තැනෙක්හිද එතැනට පැමිණියාහුය. පැමිණ, මා සමග සතුටු වූවාහුය. සතුටු විය යුතු සිහි කටයුතු කථාව කොට නිමවා එක්පසෙක සිටියාහුය.“ස්වාමීනි, එක්පසෙක සිටි අන්‍යතීර්ථක පරිබ්‍රාජකයෝ මට ‘ඇවැත් අනුරාධය, උතුම් පුරුෂවූ ශ්‍රේෂ්ඨ පුරුෂවූ උතුම් බවට පැමිණියාවූ යම් තථාගත කෙනෙක් වේද, ඔහු තථාගත තෙමේ මරණින් මතුවෙයි කියා හෝ තථාගතතෙමේ මරණින් මතු නොවෙයි කියා හෝ තථාගතතෙමේ මරණින් මතු වන්නේය කියා හෝ නොවන්නේය කියා හෝ තථාගතතෙමේ මරණින් මතු නොවෙයි. නොවන්නේද නොවෙයි කියා හෝ තථාගතයන් වහන්සේ පණවන්නාහුදැයි” ඇසූහ.“ස්වාමීනි, මෙසේ අසන ලද මම ඒ අන්‍යතීර්ථක පරිබ්‍රාජකයන්ට ඇවැත්නි, උත්තම පුරුෂවූ ශ්‍රේෂ්ඨ පුරුෂවූ උතුම් තැනට පැමිණියාවූ යම් ඒ තථාගත කෙනෙක් වේද, ඔහු තථාගතතෙමේ මරණින් මතුවෙයි කියා හෝ තථාගතතෙමේ මරණින් මතු නොවෙයි කියා හෝ තථාගතතෙමේ මරණින් මතු වන්නේය කියා හෝ නොවෙයි කියා හෝ තථාගතතෙමේ මරණින් මතු නොවෙයි. නොවන්නේද නොවෙයි කියා හෝ මේ සතර කාරණයන් තථාගතයන් වහන්සේ නොපණවත් යයි කීයෙමි.“ස්වාමීනි, මෙසේ කීකල්හි අන්‍යතීර්ථක පරිබ්‍රාජකයෝ ‘මේ භික්ෂුව නවකයෙක් වන්නේය. පැවිදිවූ නොබෝකල් ඇත්තේය. තෙර කෙනෙක් හෝ වේවා, බාලයෙක අව්‍යක්තයෙකැයි’ කීවාහුය. ස්වාමීනි, ඉක්බිති ඒ අන්‍යතීර්ථක පරිබ්‍රාජකයෝ මට නවක වාදයෙන්ද, බාලවාදයෙන්ද අගෞරව කොට හුනස්නෙන් නැගිට ගියාහුය.“ස්වාමීනි, ඒ අන්‍යතීර්ථක පරිබ්‍රාජකයන් ගිය නොබෝ වේලාවකින් මට ‘ඒ අන්‍යතීර්ථක පරිබ්‍රාජකයෝ ඉදින් මගෙන් මත්තෙහි ප්‍රශ්න විචාරන්නහු නම් ඒ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන්ට කෙසේ ප්‍රකාශ කළ කල්හි භාග්‍යවතුන් වහන්සේ විසින් කියන ලද්දක් කියන්නෙම් වෙම්ද, භාග්‍යවතුන් වහන්සේට බොරුවෙන් චොදනා නොකරන්නෙම්ද, ධර්මයට අනුකූල ධර්මයක් ප්‍රකාශකරන්නෙම්ද, කිසියම් කරුණු සහිත වාදයක් ගැරහිය යුතු බවට නොපැමිණෙන්නේදැයි’ මෙසේ සිත්විය.“අනුරාධය, ඒ කුමකැයි හඟින්නෙහිද? රූපය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” – “ස්වාමීනි, අනිත්‍යය.”“යමක් අනිත්‍යනම් එය දුකද සැපද?” – “ස්වාමීනි, දුකය.”“යමක් වනාහි අනිත්‍යයද දුකද පෙරලෙන සුළුද, මේ මාගේය, මේ මම වෙමි. මේ මගේ ආත්මයයි. දැකීමට සුදුසුද?” – “ස්වාමීනි, නැත.”“වේදනාව නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” – “ස්වාමීනි, අනිත්‍යය.”“යමක් අනිත්‍ය නම් එය දුකද, සැපද?” – “ස්වාමීනි, දුකය.”“යමක් වනාහි අනිත්‍යද, දුකද පෙරලෙනසුළුද, මේ මාගේය, මේ මම වෙමි, මේ මාගේ ආත්මයයි. දැකීම සුදුසුද?” – “ස්වාමීනි, නැත.”“සංඥාව නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” – “ස්වාමීනි, අනිත්‍යය.”“යමක් අනිත්‍ය නම් එය දුකද, සැපද?” – “ස්වාමීනි, දුකය.”“යමක් වනාහි අනිත්‍යද, දුකද පෙරලෙනසුළුද, මේ මාගේය,මේ මම වෙමි, මේ මාගේ ආත්මයයි. දැකීම සුදුසුද?” – “ස්වාමීනි, නැත.”“සංස්කාර නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” – “ස්වාමීනි, අනිත්‍යය.”“යමක් අනිත්‍යනම් එය දුකද, සැපද?” – “ස්වාමීනි, දුකය.”“යමක් වනාහි අනිත්‍යද, දුකද, පෙරලෙනසුළුද, මේ මාගේය, මේ මම වෙමි, මේ මාගේ ආත්මයයි දැකීම සුදුසුද?” – “ස්වාමීනි, නැත.”“විඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” – “ස්වාමීනි, අනිත්‍යය.”“යමක් අනිත්‍ය නම් එය දුකද, සැපද?” – “ස්වාමීනි, දුකය.”“යමක් වනාහි අනිත්‍යද, දුකද, පෙරලෙනසුළුද, මේ මාගේය. මේ මම වෙමි. මේ මාගේ ආත්මයයි. දැකීම සුදුසුද?” – “ ස්වාමීනි, නැත.”“අනුරාධය, එසේ නම් මෙහි අතීතවූද, අනාගත වූද, වර්තමානවූද අධ්‍යාත්මවූ හෝ බාහිරවූ හෝ ඕලාරිකවූ හෝ සුඛුමවූ හෝ හීනවූ හෝ ප්‍රණීතවූ හෝ දුරවූ හෝ ආසන්නවූ හෝ යම්කිසි රූපයක් වේද, ඒ සියළු රූපය මෙය මගේ නොවේ. මේ මම නොවෙමි. මේ මගේ ආත්මය නොවේ. මෙසේ මෙය තත්වූ පරිද්දෙන් සම්‍යක් ප්‍රඥාවෙන් දත යුත්තාහ.“අතීතවුද, අනාගතවූද, වර්තමානවූද, අධ්‍යාත්මිකවූ හෝ බාහිරවූ හෝ ඕලාරිකවූ හෝ සුඛුමවූ හෝ හීනවූ හෝ ප්‍රණීතවූ හෝ දුරවූ හෝ ආසන්නවූ හෝ යම්කිසි වේදනාවක් වේද, ඒ සියළු වේදනාව මෙය මගේ නොවේ. මේ මම නොවෙමි. මේ මගේ ආත්මය නොවේ. මෙසේ මෙය තත්වූ පරිද්දෙන් සම්‍යක් ප්‍රඥාවෙන් දතයුත්තාහ.“අතීතවූද, අනාගතවුද, වර්තමානවූද අධ්‍යාත්මිකවූ හෝ බාහිරවූ හෝ ඕලාරිකවූ හෝ සුඛුමවූ හෝ හීනවූ හෝ ප්‍රණීතවූ හෝ දුරවූ හෝ ආසන්නවූ හෝ යම්කිසි සංඥාවක් වේද, ඒ සියළු සංඥාව මෙය මගේ නොවේ. මේ මම නොවෙමි. මේ මගේ ආත්මය නොවේ මෙසේ මෙය තත්වූ පරිද්දෙන් සම්‍යක් ප්‍රඥාවෙන් දත යුත්තාහ.“අතීතවූද, අනාගතවුද, වර්තමානවූද අධ්‍යාත්මිකවූ හෝ බාහිරවූ හෝ ඕලාරිකවූ හෝ සුඛුමවූ හෝ හීනවූ හෝ දුරවූ හෝ ආසන්නවූ හෝ යම්කිසි සංස්කාරයක් වේද, ඒ සියළු සංස්කාර මෙය මගේ නොවේ. මේ මම නොවෙමි. මේ මගේ ආත්මය නොවේ. මෙසේ මෙය තත්වූ පරිද්දෙන් සම්‍යක් ප්‍රඥාවෙන් දත යුත්තාහ.“අතීතවූද, අනාගතවූද, වර්තමානවූද, අධ්‍යාත්මිකවූ හෝ බාහිරවූ හෝ ඕලාරිකවූ හෝ සියම්වූ හෝ ලාමකවූ හෝ ප්‍රණීතවූ හෝ දුරවූ හෝ සමීපවූ හෝ යම්කිසි විඤ්ඤාණයක් වේද, ඒ විඤ්ඤාණය මෙය මගේ නොවේ. මේ මම නොවෙමි. මෙය මගේ ආත්මය නොවේයයි තත්වූ පරිද්දෙන් සම්‍යක් ප්‍රඥාවෙන් දත යුතුයි.

“අනුරාධය, මෙසේ දක්නාවූ ආර්යශ්‍රාවකතෙම රූපයෙහිද, කලකිරෙයි. වේදනාවෙහිද කලකිරෙයි. සංඥාවෙහිද කලකිරෙයි. සංස්කාරයෙහිද කලකිරෙයි. විඤ්ඤාණයෙහිද කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි නොඇලීමෙන් මිදෙයි. මිදුන කල්හි මිදුනේය යන ඥානය වේ. ඉපදීම ක්ෂයවිය. බඹසර වැස නිමවන ලදී. කළයුත්ත කරන ලදී. මින්මතු අනික් භවයක් නැතැයි දනී.“අනුරාධ, ඒ කුමකැයි හඟින්නෙහිද? රූපය තථාගත තෙමේයයි දක්නෙහිද?” – “නැත, ස්වාමීනි.”“වේදනාව තථාගත තෙමේයයි දක්නෙහිද?” – “නැත. ස්වාමීනි.”“සංඥාව තථාගත තෙමේයයි දක්නෙහිද?” – නැත, ස්වාමීනි.”

“සංස්කාර තථාගත තෙමේයයි දක්නෙහිද?” –
“නැත, ස්වාමීනි.”

“විඤ්ඤාණය තථාගතතෙමේයයි දක්නෙහිද?” –
“නැත, ස්වාමීනි.”

“අනුරාධය, ඒ කුමකැයි හඟින්නෙහිද? තථාගත තෙමේ රූපයෙහි ඇතැයි දක්නෙහිද?” –
“නැත, ස්වාමීනි.”

“තථාගත තෙමේ රූපයෙන් පිට ඇතැයි දක්නෙහිද?” –
“නැත, ස්වාමීනි.”

“තථාගතතෙමේ වේදනාවෙහි ඇතැයි දක්නෙහිද?” –
“නැත, ස්වාමීනි.”

“තථාගතතෙමේ වේදනාවෙන් පිට ඇතැයි දක්නෙහිද?” –
“නැත, ස්වාමීනි.”

“තථාගතතෙමේ සංඥාවෙහි ඇතැයි දක්නෙහිද?” –
“නැත, ස්වාමීනි’

“තථාගතතෙමේ සංඥාවෙන් පිට ඇතැයි දක්නෙහිද?” –
නැත, ස්වාමීනි.”

“තථාගතතෙමේ සංස්කාරයන්හි ඇතැයි දක්නෙහිද?” –
“නැත, ස්වාමීනි.”

“තථාගතතෙමේ සංස්කාරයෙන් පිට ඇතැයි දක්නෙහිද?” – “නැත, ස්වාමීනි.”“තථාගතතෙමේ විඤ්ඤාණයෙහි ඇතැයි දක්නෙහිද?” –
“නැත, ස්වාමීනි.”

“තථාගත තෙමේ විඤ්ඤාණයෙන් පිට ඇතැයි දක්නෙහිද?” –
“නැත, ස්වාමීනි.”
“අනුරාධය, ඒ කුමකැයි හඟින්නේද? රූපය, වේදනාව, සංඥාව, සංස්කාරය, විඤ්ඤාණය, තථාගත තෙමේ යයි දක්නෙහිද?” –
“නැත, ස්වාමීනි.”

“අනුරාධය. ඒ කුමකැයි හඟින්නෙහිද?
රූපය නොවන වේදනාව නොවන, සංඥාව නොවන, සංස්කාරයන් නොවන, විඤ්ඤාණය නොවන, යමෙක් තථාගත තෙමේයයි දක්නෙහිද?” –
“නැත, ස්වාමීනි.”

“අනුරාධය, තොප විසින් මේ ආත්මයෙහි සත්‍ය වශයෙන් ස්ථිර වශයෙන් තථාගතයකු නොලබන කල්හි ඇවැත්නි, උත්තම පුරුෂවූ ශ්‍රේෂ්ඨ පුරුෂවූ උතුම් බවට පැමිණියාවූ යම් ඒ තථාගත කෙනෙක් වේද, ඔහු තථාගතතෙමේ මරණින් මතු වේයයි කියා හෝ තථාගතතෙමේ මරණින් මතු නොවේ යයි කියා හෝ තථාගතතෙමේ මරණින් මතු වන්නේද වෙයි නොවන්නේද වෙයි කියා හෝ තථාගතතෙමේ මරණින් මතු නොවෙයි නොවන්නේද නොවෙයි කියා හෝ මේ සතර කාරණයන්හි තථාගතයන් වහන්සේ පණවත් කියා ප්‍රකාශ කරන්ට සුදුසුද?” –
“නැත, ස්වාමීනි.”
“අනුරාධය, යහපත. අනුරාධය, මම මීට පෙරද දැන්ද දුකද පණවමි. දුකෙහි නිරෝධයන්ද පණවමියි’ වදාළේය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.