MN 02-04-04 මාධුර සූත්‍රය

මනුෂ්‍යවර්ගයා නොයෙක් නොයෙක් මිමි වලින් බෙදා වෙන් කර ගන්නට ඈත අතීතයේ සිටම බලවතුන් හා පාලකයන් උත්සාහ කළහ. විශේෂයෙන්ම ජම්බුද්වීපයේ මේ කුල වාදී සංස්කෘතිය ඉතාමත් දුර අතීතයේ සිට පැවතෙන්නකි. අදද ඉන්දියාවේ රජය කුල වලට වෙන් කොට වැසියන් හා ක්‍රියා කරයි. රජයේ යම් රැකියා සඳහා ඒ ඒ කුලයට හිමි කෝටා ප්‍රමාණයක් අදද එම රජය නිවේදනය කරයි. CLICK
නමුත් මහාම ඛේදවාචකය නම් භාග්‍යවතුන් වහන්සේ ගේ ශ්‍රී සද්ධර්මය රකිනවාය කියන ශ්‍රී ලංකාවේ ද මේ කුල භේදය පැවතීම පමණක් නොව අපේ සංඝයා විසින්ද ඒ ඒ කුලයේ දරුවන් පමණක් තම නිකාය වල මහණ කිරීමට සීමා යෙදීමයි. සියම් නිකායේ කිසි පන්සලක අඩුය කියන කුලයක කෙනෙකුට පැවිද්ද ලබන්නට අදත් බැරිය. මේ ගැන අපවත් වී වදාළ වල්පොල රාහුල හිමියන් ලිවූ ලිපිය කියවන්න. CLICK HERE

084 කුල භේදය ගැන අරහත් මතය

පුජ්‍ය ඉහළගම අමිත හිමි කල සුත්‍ර විවරණය

§ 1. මා විසින් මෙසේ අසනලදී.
එක් කාලයක ආයුෂ්මත් මහා කාත්‍යායණ ස්ථවිරයන් වහන්සේ මධුරා නගරය සමීපයෙහිවූ ගුන්ද වනයෙහි වැඩ වාසය කරයි.

ශ්‍රමණ භවත් කාත්‍යායණ ස්ථවිරයන් වහන්සේ මධුරා නුවර සමීපයෙහිවූ ගුන්ද වනයෙහි වැඩ වාසය කරතියි මධුරාවෙහි රජවූ අවන්ති පුත්‍ර රජුට අසන්නට ලැබිණි. .
“ඒ පින්වත් කාත්‍යායණ ස්ථවිරයන් වහන්සේ මහා පණ්ඩිතයෙක, අසාමාන්‍ය දක්ෂයෙක, ගැඹුරු නුවණ ඇත්තෙක, බොහෝ ඇසූ පිරූතැන් ඇත්තෙක, විසිතුරු කථා ඇත්තෙක, යහපත් වැටහීම් ඇත්තෙක, වයසින් වැඩිමහළු මහා රහත් කෙනැකැයි’ උන්වහන්සේ පිළිබඳව කීර්ති ඝෝෂාවක් සැම තැන පැතිර උස්ව නැගුණ යහපත් කීර්ති ශබ්දයෙක් ඇත්තේ වෙයි. එබඳුවූ රහතන්ගේ දර්ශන මාත්‍රය පවා යහපත්යයි රජු සිතීය.

§ 3. ඉදින් මධුරාවෙහි රජහු සිය රාජකීය යානාවකට නැගී තවත් පරිවාර ඇමතීන් ද පිරිවරා මහත් රාජානුභාවයෙන් යුක්තව ආයුෂ්මත් මහා කාත්‍යායණ ස්ථවිරයන් දකිනු පිණිස මධුරා නගරයෙන් පිටත්ව ගියහ. යානාවෙන් යාමට සුදුසු තැන් දක්වා යානාවෙන් ගොස් යානාවෙන් බැස ආයුෂ්මත් මහා කාත්‍යායණ ස්ථවිරයන් වහන්සේ වැඩ හුන් තැනට පයින්ම පැමිණියේය. පැමිණ මහා ස්ථවිරයන් සමග සතුටුවිය යුතු සිහිකළ යුතු කතාව කොට අවසන් කොට එක්පසෙක හිඳ මහා කාත්‍යායණ ස්ථවිරයන් වහන්සේට මෙසේ කීය.

§ 4. “භවත් කාත්‍යායණ ස්ථවිරයන් වහන්ස, බ්‍රාහ්මණයෝ මෙසේ කියන්නාහ. එනම් ‘බ්‍රාහ්මණයෝ උසස්ම වංශය කුලය වෙත්. අන්‍යයවූ කුලයන් බ්‍රාහ්මණ කුලයට වඩා පහත් ය.

බ්‍රාහ්මණයෝම පිරිසිදු ජාතිය වේ. අන්‍යයවූ කුලයන්හි උපන්නෝ අපිරිසිදු අය වේ.
බ්‍රාහ්මණයෝම පිරිසිදු වෙත්. බ්‍රාහ්මණ නොවන්නෝ පිරිසිදු නොවෙත්.
බ්‍රාහ්මණයෝම බ්‍රහ්මයාගේ මුඛයෙන් උපන් බ්‍රහ්මයාගෙන් හටගත්තෝය.
බ්‍රාහ්මයා විසින් මවනලද බ්‍රහ්මයා දායාද කොට ඇත්තෝ වෙත්.’ (කියාය)

මේ ගැන පින්වත් කාත්‍යායණ ස්ථවිරයන් වහන්සේ කුමක් කියන්නේදැයි ඇසීය.

§ 5. “මහරජ, ඒ කතාව ලෝක ව්‍යාවහාරයේ ඇති කතාවක් පමණක් ය. බ්‍රාහ්මණයන් පමණක්ම උතුම් වංශය වේය අන්‍යයන් නීච කුලයන්හි වේය යන්න ව්‍යවහාර මාත්‍රයක්ය යනු මේ ආකාරයෙන් දැනගත හැක..

“මහරජ, ඔබ මේ ගැන කුමක් සිතන්නෙහිද?
යම් ක්ෂත්‍රියෙකු ධනයෙන්ද, ධාන්‍ය හෝ රිදීයෙන්ද, රත්රනින්ද, සමෘද්ධ වන්නේය. ඔහු නින්දෙන් නැගිටින්නට පළමුව නින්දෙන් නැගිටි ඔහු වෙනුවෙන් දර දිය අදින, ඔහුට රිසි දේ සකසන , දවස පුරා ඔහුට සේවය කර ඔහුට පසුව නින්දට යන ඔහුගේ කීකරු ඔහුට මනාප සේ හැසිරෙන ප්‍රිය වචන කියන්නාවූ බ්‍රාහ්මණ සේවකයෙක් වන්නේද?
…..ක්ෂත්‍රිය සේවකයෙක් වන්නේද?
…..වෛශ්‍ය සේවකයෙක් වන්නේද?,
…… ක්ෂුද්‍ර සේවකයෙක් වන්නේද?

ඒ ඒ කුලයට වංශයට අයත් ඒ ඒ සියළු සේවකයන් මේ ක්ෂත්‍රියයාට පෙර නින්දෙන් නැගිට ඔහු වෙනුවෙන් දර දිය ඇද, ඔහුට රිසි දේ සකසා , දවස පුරා ඔහුට සේවය කර ඔහුට පසුව නින්දට යන්නට ඔහුට කීකරුව ඔහුට මනාප සේ හැසිරෙමින් ප්‍රිය වචන කියන්නෝ වේද?

“ එසේය භවත් කාත්‍යායණයන් වහන්ස, ඉදින් ක්ෂත්‍රියයෙක් හට සේවය කරන සේවකයා බ්‍රාහ්මණ වේවා, ක්ෂත්‍රිය වේවා, වෛශ්‍ය වේවා, ක්ෂුද්‍ර වේවා ඔවුහු …… ඒ ක්ෂත්‍රියයාට කීකරු ඔහු සිත්සේ හැසිරෙන ඔහුට ගරු බුහුමන් කරන්නෙක් වන්නේය.” 815.

[815:- බුදුන් දවස කුල හා සමාජ පිළිගැන්මට වඩා බලවත් වංශ පිළිවෙතක් පසු කාලයක ඉන්දීය සමාජයේ ඇතිවූ බවත්, ඒ අනුව තම කුලයට වඩා අඩු කුලයක ස්වාමි පුත්‍රයෙක් යටතේ සේවයට යාම කිසිසේත් සමාජයේ සම්මතයට අඩංගු නොවූ බවත් පෙනේ.]

“මහරජ, කුමක් සිතන්නෙහිද?
ඉදින් මෙසේ වන කල්හි මේ ජාති සතර සම සම හෝ වෙත්ද?
සම සම නොවන්නාහු හෝ වෙත්ද? මෙහි ඔබගේ අදහස කුමක් හෝ වෙයිද?’

‘භවත් කාත්‍යායණ ස්ථවිරයන් වහන්ස, මෙසේ ඇති කල්හි එකාන්තයෙන් මේ සතර ජාතීහුම සම සම වෙති. ඔවුන්ගේ මෙහි කිසි වෙනසක් නොදක්නෙමියි’ කීය.

“මහරජ, මේ ආකාරයෙන්ද බ්‍රාහ්මණයෝම උතුම් ජාතියය. අන්‍ය ජාති පහත්ය. පිරිසිදු කුලය බ්‍රාහ්ණයෝමය. අන්‍ය කුල කෘෂ්ණය, බ්‍රාහ්මණයෝම සුද්ධියට පැමිණෙති. බ්‍රාහ්මණ නොවන්නාහු නොපැමිණෙති. බ්‍රාහ්මයාගේ පුත්‍රයෝය උරෙහි හට ගත්තෝය. මුඛයෙහි උපන්නෝය බ්‍රාහ්මයාගෙන් හට ගත්තෝය. බ්‍රාහ්මයා විසින් මවන ලද්දෝය. බ්‍රාහ්මයා දායාද කොට ඇත්තෝය. යනු මේ ලෝකයෙහි පැවැති ව්‍යවහාර මාත්‍රයක් බව දතයුතු.

§ 6 . මහරජ, මේ ගැන ඔබ කුමක් හඟනෙහිද?
යම් ක්ෂත්‍රියෙක් පර පණ නසන්නේ නම්, අන්සතු දෑ ගන්නාවූ, කාමයෙහි වරදවා හැසිරෙන්නේ නම්, බොරු කියන්නේ නම්, කේලාම් කියන්නේ නම්, ඵරුෂ වචන කියන්නේ නම්, හිස් බස් කථා කරන්නේ නම්, මසුරු වූයේ නම්, ලෝභි නම්, ක්‍රොධ කරන්නේ නම්, මිථ්‍යා දෘෂ්ටි දරන්නේ නම්, ඔහු මරණින් මත්තෙහි සැපයෙන් තොර, නපුරු විපාක දුක් දෙන නිරයෙහි උපදනේද? නූපදින්නේද? ” යි ඇසීය.

“භවත් කාත්‍යායණ ස්ථවිරයන් වහන්ස, ඒකාන්තයෙන්ම එබඳු දුශ්චරියාවේ යෙදෙන ඒ ක්ෂත්රියයා මරණින් මත්තෙහි සැපයෙන් තොර, නපුරු විපාක දුක් දෙන නිරයෙහි උපදනේය. මේ කරුණෙහි මාගේ අදහස මෙසේය. මා විසින් මේ කාරණය රහතන්ගෙන්ද අසන ලද්දේ මෙසේය.”

“යහපති, යහපති. මහරජ, මහරජ, ඔබගේ මේ ඇසීම යහපත්මය, ඒ එසේම වෙයි. ඔබ විසින් මේ කාරණය රහතන්ගෙන් යහපත්වම අසනලදී.”

“මහරජ, ඔබ මේ ගැන ඔබ කුමක් හඟනෙහිද?
යම් බ්‍රහ්මණයෙක් පර පණ නසන්නේ නම්, …..
යම් වෛශ්‍යයෙක් පර පණ නසන්නේ නම්,….
යම් ක්ෂුද්‍රයෙක් පර පණ නසන්නේ නම්, පර පණ නසන්නේ නම්, අන්සතු දෑ ගන්නාවූ, කාමයෙහි වරදවා හැසිරෙන්නේ නම්, බොරු කියන්නේ නම්, කේලාම් කියන්නේ නම්, ඵරුෂ වචන කියන්නේ නම්, හිස් බස් කථා කරන්නේ නම්, මසුරු වූයේ නම්, ලෝභි නම්, ක්‍රොධ කරන්නේ නම්, මිථ්‍යා දෘෂ්ටි දරන්නේ නම්, ඔහු මරණින් මත්තෙහි සැපයෙන් තොර, නපුරු විපාක දුක් දෙන නිරයෙහි උපදනේද? නූපදින්නේද? ” යි ඇසීය.

පරපණ නසන, අන් අයත් දේ ගන්නා කාමයෙහි…….. බ්‍රාහ්මණයාද, වෛශ්‍යයාද, ක්ෂුද්‍රයාද මරණින් මතු සැපයෙන් තොරවූ, නපුරු විපාක ඇති නිරයෙහි උපදන්නේය. මේ කරුණෙහි මගේ හැඟීම මෙසේය. මා විසින් මේ කාරණය රහතන්ගෙන්ද අසන ලද්දේද මෙසේය”.

“යහපති, යහපති මහරජ, මහරජ ඔබගේ මේ ඇසීම යහපත්ය, ඒ එසේම වෙයි. ඔබ විසින් මේ කාරණය රහතන්ගෙන් යහපත්වම අසන ලදී.

ඉදින් මෙසේ ඇතිකල මේ සතර ජාතීහු සමසම වෙත්ද? නොවෙත්ද? මෙහිදී ඔබගේ අදහස කෙසේ වේදැයි’ ඇසීය.

“භවත් කාත්‍යායණ ස්ථවිරයන් වහන්ස, ඒකාන්තයෙන්ම මෙසේ ඇති කල්හි මේ ජාති සතර සම සම වෙති. මෙහි ඔවුන්ගේ කිසිත් වෙනසක් නොදන්නෙමියි” කීය.

“මහරජ, බ්‍රාහ්මණයෝම, උතුම් ජාතියවේ. අන්‍ය ජාති පහත්ය. පිරිසිදු කුලය බ්‍රාහ්මණයෝය, අන්‍ය කුල කෘෂ්ණය, බ්‍රාහ්මණයෝම සුද්ධියට පැමිණෙති. බ්‍රාහ්මණ නොවන්නාහු නොපැමිණෙති. බ්‍රාහ්මණයෝම බ්‍රහ්මයාගේ පුත්‍රයෝය. උරෙහි හටගත්තේය. මුඛයෙහි උපන්නේය. බ්‍රහ්මයාගෙන් හටගත්තෝය. බ්‍රහ්මයා විසින් මවනලද්දෝය. බ්‍රහ්මයා දායාද කොට ඇත්තාහුය යන මෙය ලෝකයෙහි ව්‍යවහාර මාත්‍රයක් යන බව මේ ආකාරයෙන්ද දතයුතුය.

§ 7. “මහරජ, ඔබ කුමක් සිතන්නෙහිද?
ප්‍රාණඝාතයෙන් වැලකුණු, සොරකමින් වැලකුණු, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැලකුණු බොරු කීමෙන් වැලකුණු, කේලාම් කීමෙන් වැලකුණු ඵරුෂ වචන කීමෙන් වැලකුණු, හිස් කථාවෙන් වැලකුණු, විසම ලෝභයෙන් තොරවූ ක්‍රෝධයෙන් තොරවූ සම්‍යක් දෘෂ්ටි ඇති
.. ක්ෂත්‍රියයෙක් වන්නේය.
.. බ්‍රහ්මණයෙක් වන්නේය.
.. වෛශ්‍යයෙක් වන්නේය.
… ක්ෂුද්‍රයෙක් වන්නේය.
ඔහු මරණින් මත්තෙහි යහපත් ගති ඇති ස්වර්ගයෙහි උපදනේද? නූපදින්නේද? මෙහිදී ඔබගේ අදහස හෝ කෙසේ වේදැයි” ඇසීය.

“භවත් කාත්‍යායණ ස්ථවිරයන් වහන්ස, ප්‍රාණඝාතයෙන් වැලකුණු, සොරකමින් වැලකුණු, කාම මිථ්‍යාචාරයෙන් වැලකුණු බොරුකීමෙන් වැලකුණු, කේලාම් කීමෙන් වැලකුණු, ඵරුෂ වචන කීමෙන් වැලකුණු, හිස් කථාවෙන් වැලකුණු දැඩි ලෝභයෙන් තොරවූ ක්‍රෝධයෙන් දුරුවූ සම්‍යක් දෘෂ්ටි ඇති ක්ෂත්‍රියයාද,
….. බ්‍රහ්මණයාද,.
.. වෛශ්‍යයාද .
… ක්ෂුද්‍රයාද මරණින් මත්තෙහි යහපත් ගති ඇති ස්වර්ග ලෝකයට පැමිණෙන්නේය. මාගේ අදහස මෙසේ වෙයි. මා විසින් මේ කාරණය රහතන් හමුවෙන් මෙසේ අසන ලද්දේය.”

“යහපති, යහපති මහරජ, ඔබගේ මේ ඇසීම යහපත්මය. ඒ එසේම වෙයි. රහතන් අතින්ද ඔබ විසින් යහපත් කොට අසන ලද්දේය”

“මහරජ ඉදින් මෙසේ ඇති කල්හි මේ ජාති සතර සම සම වෙද? නොවෙද? මෙහිලා ඔබගේ අදහස කෙසේ වේදැයි” ඇසීය.

“පින්වත් කාත්‍යායණ ස්ථවිරයන් වහන්ස, ඒකාන්තයෙන්ම මෙසේ ඇති කල්හි මේ ජාති සතර සම සම වෙති. මෙහිලා ඔවුන්ගේ කිසිත් වෙනසක් නොදක්නෙමියි” කීහ.

“මරහජ, මේ ආකාරයෙන්ද බ්‍රාහ්මණ තෙමේම උතුම් ජාති ඇත්තේය. අනික් ජාති ඇත්තේ පහත්ය. පිරිසිදු කුලය බ්‍රාහ්මණයෝය, අන්‍ය කුල කෘෂ්ණය, බ්‍රාහ්මණයෝම සුද්ධියට පැමිණෙති. බ්‍රාහ්මණ නොවන්නාහු නොපැමිණෙති. බ්‍රාහ්මණයෝම බ්‍රහ්මයාගේ පුත්‍රයෝය. උරෙහි හටගත්තෝය. මුඛයෙහි උපන්නෝය. බ්‍රහ්මයා දායාදකොට ඇත්තාහුය යනු මෙය ලෝකයෙහි ව්‍යවහාර මාත්‍රයක්ම බව මේ කාරණයෙන්ද දතයුතු වෙයි..

§ 8 . “මහරජ මේ ගැන ඔබ කුමක් හඟින්නෙහිද?
යම් ක්ෂත්‍රියෙක් ගම්පහරන්නේ ද, බලාත්කාරයෙන් අන් සතු දේ ගන්නේද, මංපැහැරීමෙහි යෙදී සිටින්නේද, පරස්ත්‍රීන් කරා යන්නේද, ඉදින් නුඹගේ රාජ පුරුෂයෝ ඔහු අල්වාගෙණ අවුත් , ‘දේවයන් වහන්ස, මෙතෙම ඔබගේ අපරාධ කරන්නාවූ සොරෙක් වේ. මොහුට යමක් කැමැත්තෙහි නම් ඒ දඬුවම පණවනු මැනවැයි’ ඔබට දක්වන්නාහු නම් ඔබ කුමක් කරන්නේද?’

“පින්වත් කාත්‍යායණ ස්ථවිරයන් වහන්ස, රාජ්‍ය නීතිය අනුව අපි ඔහුට මරණ දණ්ඩනය දෙමු, හෝ රටින් නෙරපන්නෙමු හෝ සුදුසු වූවක් හෝ කරන්නෙමු. ඊට හේතු කවරේද? භවත් කාත්‍යායණ ස්ථවිරයන් වහන්ස, පෙර මොහුගේ ක්ෂත්‍රියයා යන යම් පුර්ව නාමයක් වීද, මොහුගේ ඒ වංශය කුලය නැතිවිය. සොරෙක යන ව්‍යවහාරයටම පැමිණුන හෙයිනි.

මහරජ, මේ ගැන ඔබ කුමක් හඟින්නෙහිද?
යම් බ්‍රාහ්මණයෙක්……
යම් වෛශ්‍යයෙක් ………
යම් ක්ෂුද්‍රයෙක් ගම්පහරන්නේ ද, බලාත්කාරයෙන් අන් සතු දේ ගන්නේද, මංපැහැරීමෙහි යෙදී සිටින්නේද, පරස්ත්‍රීන් කරා යන්නේද, ඉදින් නුඹගේ රාජ පුරුෂයෝ ඔහු අල්වාගෙණ අවුත් , ‘දේවයන් වහන්ස, මෙතෙම ඔබගේ අපරාධ කරන්නාවූ සොරෙක් වේ. මොහුට යමක් කැමැත්තෙහි නම් ඒ දඬුවම පණවනු මැනවැයි’ ඔබට දක්වන්නාහු නම් ඔබ කුමක් කරන්නේද?’

පින්වත් කාත්‍යායණ ස්ථවිරයන් වහන්ස,
රාජ්‍ය නීතිය අනුව අපි ඔහුට මරණ දණ්ඩනය දෙමු, හෝ රටින් නෙරපන්නෙමු හෝ සුදුසු වූවක් හෝ කරන්නෙමු. ඊට හේතු කවරේද? භවත් කාත්‍යායණ ස්ථවිරයන් වහන්ස,
පෙර මොහුගේ බ්‍රාහ්මණයාය යන වංශයක් වීද,…..
වෛශ්‍යයාය යන වංශයක් වීද,…..
ක්ෂුද්‍රයාය යන වංශයක් වීද,….. එය අතුරුදහන් විය. අපරාධ කරුවාය යන ව්‍යාහාරයට පැමිණෙතියි”

“මහරජ මේ ගැන ඔබ කුමක් හඟින්නෙහිද?
ඉදින් මෙසේ ඇතිකල්හි මේ සතර ජාති ඇත්තෝ සම සම වූවාහු වෙත්ද? නොවෙත්ද? කෙසේ නුඹට මෙහි අදහස් වේද?”

“භවත් කාත්‍යායණ ස්ථවිරයන් වහන්ස, ඒකාන්තයෙන්ම මෙසේ ඇතිකල්හි මේ සතර ජාති ඇත්තෝ සම සමවූවාහු වෙත්. මොවුන්ගේ මෙහි කිසි වෙනසක් නොදක්නෙමියි” කීය.

“මහරජ, බ්‍රාහ්මණයාම උතුම් ජාති ඇත්තෙක, සෙසු ජාති ඇත්තේ පහත්ය, පිරිසිදු කුලය බ්‍රාහ්මණයෝමය. අන්‍යකුල කෘෂ්ණය, බ්‍රාහ්මණයෝම සුද්ධියට පැමිණෙති. බ්‍රාහ්මණ නොවන්නාහු නොපැමිණෙති. බ්‍රාහ්මණයෝම බ්‍රහ්මයාගේ පුත්‍රයෝය. උරෙහි හට ගත්තෝය. මුඛයෙහි උපන්නෝය. බ්‍රහ්මයාගෙන් හටගත්තෝය. බ්‍රහ්මයා විසින් මවන ලද්දෝය. බ්‍රහ්මයා දායාද කොට ඇත්තාහුය යනු ලෝකයෙහි ව්‍යවහාර මාත්‍රයක්ම බව මේ කාරණයෙන් ද දතයුතු”.

§ 9. “මේ ගැන ඔබ කුමක් හඟින්නෙහිද?
යම් ක්ෂත්‍රියයෙක් ……
යම් බ්‍රහ්මණයෙක් …….
යම් වෛශ්‍යයෙක් …..
යම් ක්ෂුද්‍රයෙක් තම හිසකේ රැවුල් කපා කසට වත් හැඳ ගිහිගෙන් නික්ම පැවිදිව ප්‍රාණඝාතයෙන් වැලකුණු සොරකමින් වැළකුණු බොරුකීමෙන් වැළකුණු එක වේලක් පමණක් වැළඳීම ඇති බ්‍රහ්මචර්යාවෙන් යුත් සිල් ඇති යහපත් ගුණධර්ම ඇත්තෙක් වන්නේය. තොප ඔහුට කුමක් නම් කරන්නෙහිද?”

“භවත් කාත්‍යායණ ස්ථවිරයන් වහන්ස,
අප ඒ වඳින්නෙමු හෝ දැක හුනස්සෙන් නැගිටින්නෙමු හෝ හිඳගැනීමට දෙන්නෙමු හෝ චීවර පිණ්ඩපාත සයනාසන ගිලන්පස බෙහෙත් පිරිකර යන මේ දීමට කැඳවීම හෝ කරන්නෙමු. උන්වහන්සේට ධාර්මිකවූ ආරක්ෂාව හෝ සලසන්නෙමු.

ඊට හේතු කවරේද?
“භවත් කාත්‍යායණ ස්ථවිරයන් වහන්ස පෙර උන්වහන්සේගේ
ක්ෂත්‍රිය යන යම් නමක්වීද, ……
බ්‍රහ්මණ යන යම් නමක්වීද, …….
වෛශ්‍යය යන යම් නමක්වීද, …..
ක්ෂුද්‍රය යන යම් නමක්වීද, ඔහුගේ ඒ නම අතුරුදහන් විය. ශ්‍රමණ යන නම ව්‍යවහාරයට පැමිණ හෙයිනි”.

“මහරජ, මේ ගැන ඔබ කුමක් හඟින්නෙහිද?
ඉදින් මෙසේ ඇති කල්හි මේ සතර ජාති ඇත්තෝ සම සමවූවෝ වෙත්ද? නොහොත් නොවෙත්ද? කෙසේ නුඹට මෙහිදී අදහස් වේද?”

“භවත් කාත්‍යායණ ස්ථවිරයන් වහන්ස, ඒකාන්තයෙන්ම මෙසේ ඇති කල්හි මේ සතර ජාති ඇත්තෝ සම සමවූවාහු වෙත්. මොවුන්ගේ මෙහි කිසි වෙනසක් නොදක්නෙමියි කීයේය”.

“මහරජ, බ්‍රාහ්මණයාම උතුම් ජාති ඇත්තේය. සෙසු ජාති ඇත්තේ පහත්ය. බ්‍රාහ්මණයාම පිරිසිදු ජාති ඇත්තේය. සෙසු ජාති ඇත්තේ අපිරිසිදුය. බ්‍රාහ්මණයෝම පිරිසිදුවෙත්. බ්‍රාහ්මණ නොවූවාහු පිරිසිදු නොවෙත්. බ්‍රාහ්මණයෝම බ්‍රහ්මයාගේ පුත්‍රයෝය. ලෙහි හටගත්තාහු මුඛයෙන් උපන්නාහු බ්‍රහ්මයාගෙන් උපන්නාහු බ්‍රහ්මයා විසින් මවන ලද්දාහු බ්‍රහ්මයා දායාද කොට ඇත්තාහුය. යනු මේ ලෝකයෙහි ව්‍යවහාර මාත්‍රයක්ම බව මේ කාරණයෙන්ද දතයුතු”

§ 10. මෙසේ කීකල්හි අවන්තී පුත්‍රවූ මාධුර නම් රජ තුමා ආයුෂ්මත් මහා කාත්‍යායණස්ථවිරයන් වහන්සේට මෙසේ කීයේය.

“භවත් කාත්‍යායණ ස්ථවිරයන් වහන්ස, ඉතා යහපත භවත් කාත්‍යායණ ස්ථවිරයන් වහන්ස, ඉතා යහපත. භවත් කාත්‍යායණස්ථවිරයන් වහන්ස, යම්සේ යටිකුරුකොට තබන ලද්දක් හෝ උඩුකුරු කරන්නේද, වසා තබන ලද්දක් හෝ වැසුම් අරින්නේද, මංමුලා වූවෙකුට හෝ මග කියන්නේද, අන්ධකාරයෙහි හෝ ඇත්තෝ රූප දකිත්වායි තෙල් පහනක් දරන්නේද, එපරිද්දෙන්ම භවත් කාත්‍යායණ ස්ථවිරයන් වහන්සේ විසින් නොයෙක් ආකාරයෙන් ධර්මය ප්‍රකාශ කරණ ලදී.

මම භවත් කාත්‍යායණ ස්ථවිරයන් වහන්සේ සරණ කොට යමි.
ධර්මයද භික්ෂු සංඝයාද සරණකොට යමි.
භවත් කාත්‍යායණ ස්ථවිරයන් වහන්සේ අද පටන් දිවිහිමියෙන් සරණ ගියාවූ උපාසකයෝයි මා දරණ සේක්වායි”, (කීයේය.)

“මහරජ නුඹ මා සරණ කොට නොයව.
මම යම් කෙනෙකු සරණ කොට ගියෙම්ද, නුඹද ඒ භාග්‍යවතුන් වහන්සේම සරණ කොට යවයි” කීය.
“භවත් කාත්‍යායණ ස්ථවිරයන් වහන්ස, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ ඒ භාග්‍යවතුන් වහන්සේ දැන් කොහි වැඩ වසන සේක්දැයි” ඇසීය. “මහරජ, ඒ භවත් අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ පිරිනිවන් පෑසේකැයි” කීය,

“භවත් කාත්‍යායණ ස්ථවිරයන් වහන්ස, ඉදින් අපි ඒ භාග්‍යවතුන් වහන්සේ දස යොදුනක් තන්හි වැඩ සිටී යයි අසන්නෙමු නම් අපි දස යොදුනක් තැන්ද අර්හත් සම්‍යක් සම්බුද්ධවූ ඒ භාග්‍යවතුන් වහන්සේ දැකීමට යන්නෙමු.
භවත් කාත්‍යායණ ස්ථවිරයන් වහන්ස, ඉදින් අපි ඒ භාග්‍යවතුන් වහන්සේ විසි යොදුනක් තන්හි වැඩ සිටී යයි අසන්නෙමුද අපි විසි යොදුනක් තැන්ද අර්හත් සම්‍යක් සම්බුද්ධවූ ඒ භාග්‍යවතුන් වහන්සේ දැකීමට යන්නෙමු.
භවත් කාත්‍යායණ ස්ථවිරයන් වහන්ස ඉදින් අපි ඒ භාග්‍යවතුන් වහන්සේ තිස් යොදුනක් තන්හි වැඩ සිටී යයි අපි අසන්නෙමු නම් අපි තිස් යොදුනක් තැන්ද අර්හත් සම්‍යක් සම්බුද්ධවූ ඒ භාග්‍යවතුන් වහන්සේ දැකීමට යන්නෙමු.
භවත් කාත්‍යායණ ස්ථවිරයන් වහන්ස. ඉදින් අපි ඒ භාග්‍යවතුන් වහන්සේ සතලිස් යොදුනක් තන්හි වැඩ සිටී යයි අසන්නෙමුද, අපි සතළිස් යොදුනක් තන්හිද අර්හත් සම්‍යක් සම්බුද්ධවූ ඒ භාග්‍යවතුන් වහන්සේ දැකීමට යන්නෙමු.
භවත් කාත්‍යායණ ස්ථවිරයන් වහන්ස, ඉදින් අපි ඒ භාග්‍යවතුන් වහන්සේ පණස් යොදුනක් තැන්හි වැඩ සිටී යයි අසන්නෙමු නම්, අපි පණස් යොදුනක්ද අර්හත් සම්‍යක් සම්බුද්ධවූ ඒ භාග්‍යවතුන් වහන්සේ දැකීමට යන්නෙමු.
භවත් කාත්‍යායණ ස්ථවිරයන් වහන්ස, ඒ භාග්‍යවතුන් වහන්සේ සියක් යොදුන් තන්හි වැඩ සිටී යයි අපි අසන්නෙමු නම්, අපි යොදුන් සියයක්ද අර්හත් සම්‍යක් සම්බුද්ධවූ ඒ භාග්‍යවතුන් වහන්සේ දැකීමට යන්නෙමු.

භවත් කාත්‍යායණ ස්ථවිරයන් වහන්ස, ඒ භාග්‍යවතුන් පිරිනිවී සේක්ද, අපි පිරිනිවියාවූද ඒ භාග්‍යවතුන් වහන්සේ සරණ කොට යමු. ධර්මයද භික්ෂු සංඝයාද සරණ කොට යමු. භවත් කාත්‍යායණ ස්ථවිරයන් වහන්සේ මා අද පටන් දිවිහිම් කොට තිසරණ සරණ ගියාවූ උපාසකයෙකු යයි දරණ සේක්වායි” කීයේය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.