MN 02-04-07 . පිය ජාතික සූත්‍රය

ප්‍රියයන් සෝකයට හේතු වෙයි

පුජ්‍ය මාන්කඩවල සමාහිත හිමි කල සුත්රාන්ත දේශනාව

§ 1. මා විසින් මෙසේ අසනලදී.
එක් කාලයක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි අනේපිඬු සිටුහු විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවාසය කරති.

§ 2. එකල සාවත්ති නුවර එක් ගෘහපතියෙකුගේ ප්‍රියවූ මනාපවූ එකම පුත්‍රයා හදිසියේ කළුරිය කෙළේය. පුත්‍රයාගේ මරණයෙන් බොහෝ සේ කම්පාවට හා දුකට පත් ඒ ගෘහපතියාහට කිසිදු කටයුත්තක් කරන්නට සිත් නොදෙයි. කෑමට පීමට පවා සිත් නොදෙයි. නිතරම පුතුගේ සිරුර ආදාහනය කල සොහොන් බිමට ගොස් “අහෝ පුතුනි, මගේ එකම පුතුනි, ඔබ කොහිද, එකම පුත්‍රය ඔබ කොහිදැයි’ කියමින් විලාප කියති.

§ 3. ඉදින් මෙසේ ශෝකයෙන් පීඩිත වූ මේ ගෘහපතියා සිය දුකට පිහිටක් සැනසීමට උපදෙසක් ගන්නට බුදුන් වහන්සේ වෙත යාමෙන් හැකිවෙතැයි සිතා භාග්‍යවතුන් වහන්සේ වැඩ හුන් ජේත වනාරාමයට ගොස් භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පසෙක උන්නේය. එසේ උන් ඒ ගෘහපතියාගේ මේ දුක්ටඛිත ස්වභාවය දැක භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළේය.
“ගෘහපතිය, නුඹගේ විලාසය සිහි විකල්වූවෙකුගේ බඳු වේ. නුඹගේ ඉන්ද්‍රියයන්ගේ ප්‍රකෘති ස්වභාවය ඉක්මවා නුඹගේ ඉන්ද්‍රියයන්ගේ වෙනස් බවක් පෙනෙතැයි” වදාළේය.
“ස්වාමීන් වහන්ස, මාගේ ඉන්ද්‍රියන්ගේ වෙනස් බවෙක් කෙසේ නම් නොවන්නේද?
ස්වාමීන් වහන්ස, මාගේ ප්‍රියවූ, මනාපවූ, මගේ එකම පුත්‍රයා මළේය. ඔහුගේ මරණයෙන් පසු මට කිසිවක් කිරීමට කැමැත්තක් නැත. කන්නට බොන්නටවත් නොහාජ. මම සොහොනට ගොස් ‘මගේ පුත , ඔබ කොහිද? එකම පුත්‍රය, ඔබ කොහිද? කියමින් අඬමියි” කීය.

“ගෘහපතිය, ඒ එසේමය. ඒ එසේමය.
ගෘහපතිය, ශෝකය වැළපීම දුකය, දොම්නසය, ඉච්චා භංගය , යන දේ ප්‍රියයන් නිසාම හටගන්නාහුය. ප්‍රිය දෙයින්ම උපදින්නාහුය.”
“ස්වාමීනි, ශෝකය, වැළපීම, දුක, දොම්නස, ඉච්චා භංගය ආදිය කෙසේ නම් ප්‍රිය දෙයින් හටගන්නේද , ප්‍රියයන් නිසා කෙසේ නම් උපදින්නේද ?’,
” ස්වාමීනි, ප්‍රියයන් නිසා සතුට සොම්නස හටගන්නේය. ප්‍රීතියම උපදනාහුයයි” කියා ඒ ගෘහපතියා භාග්‍යවතුන් වහන්සේගේ වචනයට නොසතුටුව එය ප්‍රතික්ෂෙප කොට ආසනයෙන් නැගිට පිටව ගියේය.

§.4 . එකල්හි දාදු කෙළින්නෝ ජේතවනාරාමයට නුදුරු තැනක දාදු කෙළිති. භාග්‍යවතුන්වහන්සේ කෙරෙහි අමනාපයෙන් ජේතවනාරාමයෙන් පිටව ආ එම ගෘහපතියා එහි ගොස් දාදු කෙළින්නන්ට මෙසේ කීය.
“මිතුරනි, මම ශ්‍රමණ ගෞතමයන් වෙත සිට පැමිණෙන්නෙමි. මගේ ප්‍රියවූ මගේ එකම පුතු මල සෝකයෙන් ඉන්නා මම ශ්‍රමන භවත් ගෞතමයන් හමුවීමට ගියේ මගේ දුක සෝකය තුනී කර ගන්නට උපදේසයක් අසා ගන්නටය. එනමුත්, මගේ සෝකය දුරු කරන්නට කිසිවක් නොකියා “ගෘහපතිය, සෝකය, හැඬීමය, දුකය, දොම්නසය, බලාපොරොත්තු සුන්වීමය යන මේවා ප්‍රිය දෙයින් උපදනාහු වෙති. ප්‍රිය දෙයින් හටගන්නාහු වෙති”යි භවත් ගෞතමයන් කීය. . “ස්වාමීනි, එය එසේ නොවේය. ප්‍රිය දේ නිසා සෝකය නොව ප්‍රිය දෙයින් සතුට හා සොම්නස හටගන්නාහුය, උපදනාහුයයි’ කියා මම ශ්‍රමණ ගෞතමයන්ගේ කීමට සතුටු නොවී ප්‍රතික්ෂෙපකොට හුන් ආසනයෙන් නැගිට ආවෙමියි” කීය.

“ගෘහපතිය, ඒ කාරණය ඔබ කී ආකාරයමය. ගෘහපතිය, ඔබගේ කීම නිවැරදිය. භවත් ගෞතමයන් කී දේ වැරදිය. ප්‍රියයන් නිසා ප්‍රිය දේ නිසා සතුට හා සොම්නස මිස සෝකයක් කිසිවිටක නොඋපදින්නේය. ” කියා ඔවූන් ද ඔහුට කීහ. ඉක්බිති ඒ ගෘහපතියා මාගේ අදහසට දාදු කෙළින්නන්ද එකඟ විය. ප්‍රියයන් නිසා ප්‍රිය දේ නිසා සතුට සොම්නස මිස දුකක, සෝකයක් වන්නට නොපිලිවන “යයි කියා ගියේය. ඉදින් මේ කතාව සාවත්තිය පුරා පැතිර ගියේ, හැම දෙනාම ප්‍රිය දෙයින් සතුටක් සොම්නසක් විඳුනු විනා දුකක් දොම්නසක් නොවිඳින බව විශ්වාස කරනා නිසාත්, මේ භවත් ගෞතමයන් කව්දැයි බොහෝ දෙනා නොදත් නිසාත් ය.

§ 5. මෙසේ භාග්‍යවතුන් වහන්සේ පළකල් සමාජ පිළිගැන්මට නොගැලපුන , මතභේදාත්මක මතය ගැන බොහෝ මිනිසුන් අදහස් පල කළහ. විරුද්ධව කතා කළහ. මේ කතාව සැවැත් නුවර සිය අගනුවර කොට ගෙන කොසොල් ජනපද පාලනය කල පසේනදී කෝසල රජුටද අසන්නට ලැබිණි.

ඉක්බිති පසෙනදි කොසොල් රජ825 , මල්ලිකා දේවිය කැඳවී. “මල්ලිකාවෙනි, සොකය, හැඬීමය, දුකය, දොම්නසය යන මොහු ප්‍රියදේ නිසා උපදනාහුය. ප්‍රියදේ නිසා හටගන්නාහුයයි තොපගේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ විසින් කියනලදී.”

[825; මේ සිද්ධිය සිදුවුයේ භාග්‍යවතුන් වහන්සේ සම්බුද්ධත්වයට පත්ව දෙඅවුරුද්දක් හො තුන් අවුරුද්දක් වැනි කාලයක බවත්, කොසොල් රජු මේ වන විට භාග්‍යවතුන් දැක නොසිටි බවත්, භාග්‍යවතුන් වහන්සේ බුද්ධත්වයට පත් බව නො ඇදහු බවත්, මේ සුත්‍රයේ අටුවාව කියයි. මල්ලිකා නම්වූ කෝසල රජුගේ මහේසිකාව, සිය විවාහයට පෙර සමයේ පටන්ම බුදුන් වහන්සේගේ ශ්රාවිකාවක්ව සිටි බව කියැවේ. වැඩි විස්තර කියවන්න.. . ]

“ඉදින් මහරජතුමනි, ඒ කාරණය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද නම් එය එසේයයි” කීවාය.

“මේ මල්ලිකාව ශ්‍රමණ ගෞතමයන් වහන්සේ යමක් යමක් කියයි නම් ‘මහරජතුමනි, ඉදින් ඒ කාරණය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දක්නම් ඒ එසේම වෙයි’ කියමින් ඒ එසේම පිළිගනියි.

“යම්සේ ගුරුවරයෙක් ගොලයාට යමක් කියයි නම් ‘ආචාර්යයන් වහන්ස, එය එසේයයි’ ගොලයා පිළිගනියි.“එමෙන් මල්ලිකාවෙනි, නුඹද එලෙසම ශ්‍රමණ ගෞතමයන් යමක් කියයි නම් ‘ඉදින් මහරජ’ ඒ කාරණය භාග්‍යවතුන් වහන්සේ වදාළේ නම් ඒ එසේම වන්නේය’. කියා පිළිගන්නෙහිය. මල්ලිකාවෙනි, තී මෙතනින් ඉවත්ව යව!”යි කීයා ඇය එතැනින් පලවා හැරියේය.

§  6. ඉක්බිති මල්ලිකා දේවිය, මාලිගාවේ පණිවිඩ ගෙනයන නාලිජංඝ නම් බමුණා කැඳවා .
“බ්‍රාහ්මණය, මෙහි එව. නුඹ භාග්‍යවතුන් වහන්සේ වැඩ වසනා ජේත උයනට ගොස්, මාගේ වචනයෙන් භාග්‍යවතුන් වහන්සේගේ පා මුදුනෙන් වඳුව. භාග්‍යවතුන් වහන්සේ ගේ සුව දුක් විචාරව. ‘ස්වාමීන් වහන්ස, මල්ලිකා දේවී භාග්‍යවතුන් වහන්සේගේ පා මුදුනෙන් වඳියි. පීඩා නැතිබව ලෙඩ නැති බව කය පිළිබඳ සැහැල්ලුකම, කය පිළිබඳ ශක්තිය, සැප විහරණය අසායයි’ කියව.

“මෙසේද කියව ‘ස්වාමීන් වහන්ස, සෝක පරිදෙව දුක් දොම්නස් උපායාස යන මේවා ප්‍රියදේ නිසා උපදනාහුය. ප්‍රියදේ නිසා හටගන්නාහුයයි, භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේද, කියා මල්ලිකා බිසොවුන් වහන්සේ දැනගන්නට කැමැත්තෙන් මා මෙසේ එවීය.. භාග්‍යවතුන් වහන්සේ නුඹට යම්සේ ප්‍රකාශ කෙරේද? ඒ එසේම යහපත්ව උගෙණ මට කියව.

“එසේය”, කියා නාලිජංඝ බ්‍රාහ්මණතෙම මල්ලිකාදේවියට උත්තරදී භාග්‍යවතුන් වහන්සේ වැඩ හුන් ජේත ආරාමයයට පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වියයුතු සිහි කටයුතු කථාවකොට අවසන්ව, එක් පසෙක හිඳ මල්ලිකා බිසොව ගේ පණිවිඩය දැන්වීය.

§ 7. “බ්‍රාහ්මණය, ඒ එසේමය. බ්‍රාහ්මණය, එසේමය. බ්‍රාහ්මණය ශොක පරිදෙව දුක් දොම්නස් උපායාස යන සියල්ල ප්‍රිය දෙයින් උපදනාහුය. ප්‍රිය දෙයින් හටගන්නාහු වෙති. බ්‍රාහ්මණය සොක පරිදෙව දුක් දොම්නස්, උපායාස යන දේ ප්‍රිය දෙයින් හටගන්නාහුය. ප්‍රිය දෙයින් උපදනාහුය. යන මේ කාරණය මේ ක්‍රමයෙන් ද දතයුතුය.

§  8 .කෙසේද යත්?
පෙරදවස බ්‍රාහ්මණය, මේ සැවැත් නුවරම එක්තරා ස්ත්‍රියකගේ මව් කළුරිය කළාය. මවගේ මරණයෙන් උමතුවූ සිත පෙරළුණු ඒ ස්ත්‍රී තොමෝ වීථියෙන් වීථියට මංසන්ධියෙන් මංසන්ධියට පැමිණ මෙසේ කියයි. ‘මාගේ මව් දුටුවාහුද? මාගේ මව් දුටුවොහුද? යනුයි.

“බ්‍රාහ්මණය, සොක, පරිදෙව, දුක්ඛ, දොම්නස්ස, උපායාස යන මේවා ප්‍රිය දෙයින් හට ගන්නාහුය, දෙයින් උපදනාහුය, ප්‍රිය යන මේ කාරණය මේ ආකාරයෙන්ද දතයුතුය.

§  9 . කෙසේද යත්?
බ්‍රාහ්මණය, පෙර දවස මේ සැවැත් නුවරම එක්තරා ස්ත්‍රියකගේ පියා මැරිණි. ඒ පියාගේ මරණින් උමතුවූ සිත පෙරළුනු ඒ ස්ත්‍රිය වීථියෙන් විථියට මංසන්ධියෙන් මංසන්ධියට පැමිණ, මාගේ පියා දුටුවාහුද? මාගේ පියා දුටුවාහුදැ’යි අසයි. ඇයගේ ප්‍රිය මව නිසාම ප්‍රිය මවගේ අභාවය නිසාම ඇය සොක, පරිදෙව, දුක්, දොම්නස්, උපායාස ආදී විපතට පත් විය.

“බ්‍රාහ්මණය, සොක, පරිදෙව, දුක්, දොම්නස්, උපායාස යන මොවුහු ප්‍රියදෙයින් හටගන්නාහුය, ප්‍රියදෙයින් උපදනාහුය යන මේ කාරණය මේ ආකාරයෙන්ද දත යුතුය.

§  10 .බ්‍රාහ්මණය පෙර දවස මේ සැවැත් නුවරම එක්තරා ස්ත්‍රියකගේ සොහොයුරා මළේය. ඒ සොහොයුරාගේ මරණින් උමතුවූ සිත පෙරළුණු ඒ ස්ත්‍රිය වීථියෙන් වීථියට, මංසන්ධියෙන් මංසන්ධියට පැමිණ, ‘මගේ සොහොයුරා දුටුවාහුද? මගේ සොහොයුරා දුටුවාහුදැයි’ කියයි. ඇයගේ ප්‍රිය මව නිසාම ප්‍රිය මවගේ අභාවය නිසාම ඇය සොක, පරිදෙව, දුක්, දොම්නස්, උපායාස ආදී විපතට පත් විය.

“බ්‍රාහ්මණය, සොක, පරිදෙව, දුක්, දොම්නස්, උපායාස යන මොවුහු ප්‍රිය දෙයින් හටගන්නාහුය. ප්‍රිය දෙයින් උපදනාහුය, යන මේ කාරණය මේ ආකාරයෙන්ද දත යුතුය.

§  11 .බ්‍රාහ්මණය පෙර දවස මේ සැවැත් නුවරම එක්තරා ස්ත්‍රියකගේ සොහොයුරිය මළහ. ඒ සොහොයුරියගේ මරණින් උමතුවූ සිත පෙරළුණු ඒ ස්ත්‍රිය වීථියෙන් වීථියට, මංසන්ධියෙන් මංසන්ධියට පැමිණ, ‘මගේ සොහොයුරිය දුටුවාහුද? මගේ සොහොයුරිය දුටුවාහුදැ’යි කියයි. ඇයගේ ප්‍රිය මව නිසාම ප්‍රිය මවගේ අභාවය නිසාම ඇය සොක, පරිදෙව, දුක්, දොම්නස්, උපායාස ආදී විපතට පත් විය.

“බ්‍රාහ්මණය, සොක, පරිදෙව, දුක්, දොම්නස්, උපායාස යන මොවුහු ප්‍රිය දෙයින් හටගන්නාහුය, ප්‍රිය දෙයින් උපදනාහුය. මේ කාරණය මේ ආකාරයෙන්ද දත යුතුයි.

§  12 . බ්‍රාහ්මණය පෙර දවස මේ සැවැත් නුවරම එක්තරා ස්ත්‍රියකගේ පුත්‍රයා මළේය. ඒ පුත්‍රයාගේ මරණින් උමතුවූ සිත පෙරළුණු ඒ ස්ත්‍රිය වීථියෙන් වීථියට, මංසන්ධියෙන් මංසන්ධියට පැමිණ, ‘මගේ පුත්‍රයා දුටුවාහුද? මගේ පුත්‍රයා දුටුවාහුදැයි’ කියයි. ඇයගේ ප්‍රිය මව නිසාම ප්‍රිය මවගේ අභාවය නිසාම ඇය සොක, පරිදෙව, දුක්, දොම්නස්, උපායාස ආදී විපතට පත් විය.

“බ්‍රාහ්මණය, සොක, පරිදෙව, දුක්, දොම්නස්, උපායාස යන මොවුහු ප්‍රිය දෙයින් හටගන්නාහුය. ප්‍රිය දෙයින් උපදනාහුය. යන මේ කාරණය මේ ආකාරයෙන්ද දතයුතුය.

§  13 . බ්‍රාහ්මණය, පෙර දවස මේ සැවැත් නුවරම එක්තරා ස්ත්‍රියකගේ දුවක් මළහ. ඒ දුවගේ මරණින් උමතුවූ සිත පෙරළුණු ඒ ස්ත්‍රිය වීථියෙන් වීථියට, මංසන්ධියෙන් මංසන්ධියට පැමිණ, ‘මගේ දුව දුටුවාහුද? මගේ දුව දුටුවාහුදැයි’ කියයි. ඇයගේ ප්‍රිය දුව නිසාම ප්‍රිය දුවගේ අභාවය නිසාම ඇය සොක, පරිදෙව, දුක්, දොම්නස්, උපායාස ආදී විපතට පත් විය.

“බ්‍රාහ්මණය, සොක, පරිදෙව, දුක්, දොම්නස්, උපායාස යන මොවුහු ප්‍රිය දෙයින් හටගන්නාහුය. ප්‍රිය දෙයින් උපදින්නාහුය, යන මේ කාරණය මේ ආකාරයෙන්ද දතයුතුයි.

§  14 . බ්‍රාහ්මණය පෙර දවස මේ සැවැත් නුවරම එක්තරා ස්ත්‍රියකගේ හිමියා මළේය. ඔහුගේ මරණයෙන් උමතුව සිත පෙරළුණ ඕ තොමෝ වීථියෙන් වීථිය, හන්දියෙන් හන්දිය වෙත පැමිණ, මෙසේ කියයි. ‘මාගේ හිමියා දුටුවාහුද? මාගේ හිමියා දුටුවොහුද?’ කියයි. ඇයගේ ප්‍රිය හිමියා නිසාම ප්‍රිය හිමියාගේ අභාවය නිසාම ඇය සොක, පරිදෙව, දුක්, දොම්නස්, උපායාස ආදී විපතට පත් විය.

“බ්‍රාහ්මණය, සොකය, පරිදෙවය, දුක්ඛය දොමනස්සය උපායාසය යන මොහු ප්‍රිය දෙයින් හටගන්නාහුය. ප්‍රිය දෙයින් උපදින්නාහුය. යන මේ කාරණය මේ ක්‍රමයෙන්ද දත යුතුවෙයි. කෙසේද?

§  15 .“බ්‍රාහ්මණය, පෙරකලෙක මේ සැවැත් නුවරෙහිම එක්තරා පුරුෂයෙකුගේ මවු මිය ගියාය. ඇගේ මරණයෙන් උමතුව සිත පෙරලුණ ඒ පුරුෂතෙම වීථියෙන් වීථිය හන්දියෙන් හන්දිය වෙත පැමිණ මෙසේ කීය. මාගේ මෑණියන් දුටුවාහුද? මාගේ මෑණියන් දුටුවාහුද?” (කියාය.) ඔහුගේ ප්‍රිය මවු නිසාම ප්‍රිය මවගේ අභාවය නිසාම ඔහු සොක, පරිදෙව, දුක්, දොම්නස්, උපායාස ආදී විපතට පත් විය.

“බ්‍රාහ්මණය, සොකය, පරිදෙවය, දුකය, දොම්නසය, උපායාසය යන මේවා ප්‍රිය දෙයින් හටගන්නාහුය. ප්‍රිය දෙයින් උපදනාහුය යනු මේ ක්‍රමයෙන්ද දත යුතුය.

§  16 .“බ්‍රාහ්මණය, පෙරදවස මේ සැවැත් නුවරම එක්තරා පුරුෂයෙකුගේ පියා මළේය. ඒ පියාගේ මරණින් උමතුවූ සිත පෙරළුණු ඒ පුරුෂයා වීථියෙන් වීථියට මංසන්ධියෙන් මංසන්ධියට පැමිණ ‘මගේ පියා දුටුවාහුද? මගේ පියා දුටුවාහුදැ’යි කියයි. ඔහුගේ ප්‍රිය පියා නිසාම ප්‍රිය පියාගේ අභාවය නිසාම ඇය සොක, පරිදෙව, දුක්, දොම්නස්, උපායාස ආදී විපතට පත් විය.

“බ්‍රාහ්මණය, සොකය, පරිදෙවය, දුකය, දොම්නසය, උපායාසය යන මොවුහු ප්‍රිය දෙයින් හටගන්නාහුය. ප්‍රිය දෙයින් උපදනාහුය. යන මේ කාරණය මේ ආකාරයෙන්ද දත යුතුය.

§  17 .බ්‍රාහ්මණය පෙර දවස මේ සැවැත්නුවරම එක්තරා පුරුෂයෙකුගේ සහෝදරයා මළේය. ඒ සහෝදරයාගේ මරණින් උමතුවූ සිත පෙරළුනු ඒ පුරුෂයා වීථියෙන් වීථියට මංසන්ධියෙන් මංසන්ධියට පැමිණ ‘මගේ සහෝදරයා දුටුවාහුද? මගේ සහෝදරයා දුටුවාහුදැයි?’ කියයි, ඔහුගේ ප්‍රිය සහෝදරයා නිසාම ප්‍රිය සහෝදරයාගේ අභාවය නිසාම ඔහු සොක, පරිදෙව, දුක්, දොම්නස්, උපායාස ආදී විපතට පත් විය.

“බ්‍රාහ්මණය, සොකය, පරිදෙවය, දුකය, දොම්නසය, උපායාසය, මොවුහු ප්‍රිය දෙයින් හටගන්නාහුය. ප්‍රිය දෙයින් උපදනාහුය. යන මේ කාරණය මේ ආකාරයෙන්ද දතයුතුය.

§  18 . බ්‍රාහ්මණය, පෙර දවස මේ සැවැත් නුවරම එක්තරා පුරුෂයෙකුගේ සහෝදරිය මළාය. ඒ සහෝදරියගේ මරණයෙන් උමතුවූ, සිත පෙරළුණ ඒ පුරුෂයා වීථියෙන් වීථියට මංසන්ධියෙන් මංසන්ධියට පැමිණ, මගේ සහෝදරිය දුටුවාහුද? මගේ සහෝදරිය දුටුවාහුදැයි?’ කියයි, ඔහුගේ ප්‍රිය සහෝදරිය නිසාම ප්‍රිය සහෝදරියගේ අභාවය නිසාම ඔහු සොක, පරිදෙව, දුක්, දොම්නස්, උපායාස ආදී විපතට පත් විය.

“බ්‍රාහ්මණය, සොකය, පරිදෙවය, දුකය, දොම්නසය, උපායාසය යන මොවුහු ප්‍රිය දෙයින් හටගන්නාහුය. ප්‍රිය දෙයින් උපදනාහුය. යන මේ කාරණය මේ ආකාරයෙන්ද දතයුතුය.

§  19. බ්‍රාහ්මණය, පෙර දවස මේ සැවැත්නුවරම එක්තරා පුරුෂයෙකුගේ පුතා මළේය. ඒ පුතාගේ මරණයෙන් උමතුවූ සිත පෙරළුනු ඒ පුරුෂයා වීථියෙන් වීථියට මංසන්ධියෙන් මංසන්ධියට පැමිණ ‘මගේ පුතා දුටුවාහුද? මගේ පුතා දුටුවාහුදැයි?’ කියයි, ඔහුගේ ප්‍රිය පුතා නිසාම ප්‍රිය පුතාගේ අභාවය නිසාම ඔහු සොක, පරිදෙව, දුක්, දොම්නස්, උපායාස ආදී විපතට පත් විය.

“බ්‍රාහ්මණය, සොකය, පරිදෙවය, දුකය, දොම්නසය, උපායාසය යන මොවුහු ප්‍රිය දෙයින් හටගන්නාහුය. ප්‍රිය දෙයින් උපදනාහුය. යන මේ කාරණය මේ ආකාරයෙන්ද දත යුතුය.

§  20. බ්‍රාහ්මණය පෙර දවස මේ සැවැත්නුවරම එක්තරා පුරුෂයෙකුගේ දුව මළාය. ඒ දුවගේ මරණයෙන් උමතුවූ සිත පෙරළුනු ඒ පුරුෂයා වීථියෙන් වීථියට මංසන්ධියෙන් මංසන්ධියට පැමිණ ‘මගේ දුව දුටුවාහුද? මගේ දුව දුටුවාහුදැයි?’ කියයි, ඔහු ගේ ප්‍රිය දුව නිසාම ප්‍රිය දුවගේ අභාවය නිසාම ඔහු සොක, පරිදෙව, දුක්, දොම්නස්, උපායාස ආදී විපතට පත් විය.

“බ්‍රාහ්මණය, සොකය, පරිදෙවය, දුකය, දොම්නසය, උපායාසය යන මොවුහු ප්‍රිය දෙයින් හටගන්නාහුය. ප්‍රිය දෙයින් උපදනාහුය. යන මේ කාරණය මේ ආකාරයෙන්ද දත යුතුය.

§  21 . බ්‍රාහ්මණය පෙර දවස මේ සැවැත්නුවරම එක්තරා පුරුෂයෙකුගේ භාර්යාව මළාය. ඇගේ මරණයෙන් උමතුවූ පෙරළුනු සිත් ඇති ඒ පුරුෂතෙම වීථියෙන් වීථියට මංසන්ධියෙන් මංසන්ධිය කරා ගොස් මෙසේ කියයි. ‘මගේ භාර්යාව දුටුවාහුද? මගේ භාර්යාව දුටුවාහුද?’ කියාය, ඔහුගේ ප්‍රිය භාර්යාව නිසාම ප්‍රිය භාර්යාවගේ අභාවය නිසාම ඔහු සොක, පරිදෙව, දුක්, දොම්නස්, උපායාස ආදී විපතට පත් විය.

“බ්‍රාහ්මණය, සොකය, පරිදෙවය, දුකය, දොම්නසය, උපායාසය යන මොහු ප්‍රිය දෙයින් හටගන්නාහුය, ප්‍රිය දෙයින් උපදනාහුය යන මේ ආකාරයෙන්ද දතයුතුය. කෙසේද?

§  22 .“බ්‍රාහ්මණය, පෙර දවස මේ සැවැත් නුවරම එක්තරා ස්ත්‍රියාවක් නෑගෙට ගියාය. ඇගේ නෑයෝ ඇය හිමියාගෙන් වෙන්කොට අනිකෙක්හට යලි දීග දෙනු කැමැත්තේය. ඇයද ඒ පුරුෂයාට කැමති නොවීය. ඉක්බිති ඔතොමෝ සිය හිමියාට ‘ස්වාමිපුත්‍රය, මාගේ නෑයෝ මා ඔබගෙන් වෙන්කොට අනිකෙක්හට දීග දෙනු කැමැත්තෝය. මමද ඔබට කැමති නොවෙමියි,’ කීවාය. ඉක්බිති ඒ පුරුෂයා කඩුවක් ගෙන ඒ ස්ත්‍රිය දෙපලු කොට තමාගේද බඩ පලාගෙන දෙදෙන පරලොවදී එක්වෙමු යයි මළේය.

බ්‍රාහ්මණය, මේ කාරණයෙන්ද සොකය පරිදෙවය, දුකය, දොම්නසය යන මොහු ප්‍රිය දෙයින් හටගන්නාහුය. ප්‍රිය දෙයින් උපදනාහුය යන බව දත යුතුයයි,” වදාළේය.

§ 23 . “ඉක්බිති නාලිජංග බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේගේ වචනයට සතුටුව අනුමෝදන්ව ආසනයෙන් නැගිට මල්ලිකාදේවී වෙත පැමිණ, භාග්‍යවතුන් වහන්සේ සමග කල සම්පුර්ණ කථාව මල්ලිකා දේවියට දැන්වීය.

§  24 . ඉක්බිති මල්ලිකාදේවී, පසෙනදී කොසොල් රජතුමා වෙත පැමිණ පසෙනදී කොසොල් රජහට මෙසේ කීය.

“මහරජ, ඔබ කුමකැයි සිතන්නෙහිද?
ඔබට ඔබ දියණී වජිරී කුමාරිකාව ප්‍රියදැයි” ඇසීය.
“මල්ලිකාවෙනි, එසේය. වජිරී කුමාරිකාව මට ඉතා ප්‍රියයයි” කීය.
“මහරජ තුමනි, ඒ ඔබ කුමකැයි සිතන්නෙහිද?
වජිරී කුමරිය යම් ලෙසකින් ආබාධයට අංග විකලත්වයට පත්වුයේ නම්, ඇයගේ මරනය සිදු වී නම් ඔබට ශෝකය, පරිදෙවය, දුකය, දොම්නස්ස යන මේවා උපදින්නාහුදැයි” ඇසීය.
“මල්ලිකාවෙනි, වජිරී කුමරියට එවන් විපතක් වී නම් මාගේ ජීවිතය පවා වෙනස්වන්නේය. කෙසේ නම් සොක, පරිදෙව, දුක්ඛ, දොමනස්ස, යන දේ නූපදින්නාහුදැයි” ඇසීය..


“මහරජතුමනි, සියල්ල දන්නාවූ, සියල්ල දක්නාවූ, ඒ අර්හත් සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේ විසින් සොක පරිදෙව දුක්ඛ දොමනස්ස උපායාස යන මේවා ප්‍රිය දෙයින් හටගන්නාහුය. ප්‍රිය දෙයින් උපදනාහුයයි වදාළේ මේ සඳහාය.

§  25 .“මහරජාණෙනි, කුමක් සිතන්නෙහිද?
ඔබට වාසභ ඛත්තියාව ප්‍රියදැයි” ඇසීය.
මල්ලිකාවෙනි, එසේය වාසභ ඛත්තියා මට ප්‍රියයි කීය.
“මහරජුනි, ඒ කුමක් සිතන්නෙහිද?
වාසභඛත්තියාවගේ යම් ලෙසකින් ආබාධයට අංග විකලත්වයට පත්වුයේ නම්, ඇයගේ මරනය සිදු වී නම් ඔබට ශෝකය, පරිදෙවය, දුකය, දොම්නස්ස යන මේවා උපදින්නාහුදැයි” ඇසීය.
“මල්ලිකාවෙනි, වාසභඛත්තියාවගේ මරණයෙන් හෝ විපතකින් හෝ මාගේ ජීවිතය පවා වෙනස්වෙයි. සොක පරිදෙව දුක්ඛ දොමනස්ස උපායාස යන මොහු කෙසේ නම් නූපදින්නාහුද?”
“මහරජතුමනි, සියල්ල දන්නාවූ සියල්ල දක්නාවූ අර්හත් වූ ඒ සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේ විසින් සොක පරිදෙව දුක්ඛ දොමනස්ස උපායාස යන මොහු ප්‍රිය දෙයින් හටගන්නාහුය, ප්‍රිය දෙයින් උපදනාහුයයි, මේ සඳහා වදාරණ ලදී.

§  26 . “මහරජතුමනි! ඔබ කුමක් සිතන්නෙහිද?
විඩුඩභ සේනාපතිතෙම ඔබට ප්‍රියවේද?”
“මල්ලිකාවෙනි, එසේය විඩුඩභ සෙනාපති මට ප්‍රියයි” කීය.
“මහරජතුමනි, ඒ කුමකැයි සිතන්නෙහිද?
විඩුඩභ සෙන්පති යම් ලෙසකින් ආබාධයට අංග විකලත්වයට පත්වුයේ නම්, ඔහුගේ මරනය සිදු වී නම් ඔබට ශෝකය, පරිදෙවය, දුකය, දොම්නස්ස යන මේවා උපදින්නාහුදැයි” ඇසීය.
“මල්ලිකාවෙනි, විඩුඩභ සේනාපතිගේ මරණයෙන් හෝ විපතකින් හෝ මාගේ ජීවිතය පවා වෙනස් වෙයි. ශොක පරිදෙව, දුක්ඛ, දොමනස්ස යන මොව්හු කෙසේ නම් නූපදින්නාහුද?
“සියල්ල දන්නාවූ සියල්ල දක්නාවූ අර්හත්වූ ඒ සම්‍යක් සම්බුදු රජාණන් වහන්සේ විසින් සොක, පරිදෙව, දුක්ඛ දොමනස්ස යන මොව්හු ප්‍රිය දෙයින් හටගන්නාහුය, ප්‍රිය දෙයින් උපදිනාහුයයි මේ සඳහා වදරණ ලදී.

§  27 . “මහරජතුමනි, ඒ කුමක් සිතන්නෙහිද?
ඔබට මා ප්‍රියද?”
“මල්ලිකාවෙනි, එසේය. මට නුඹ ප්‍රියවෙහිය.”
“මහරජතුමනි, ඒ කුමකැයි සිතන්නෙහිද?
මාගේ මරණයෙන් මට වන දරුණු ආබාධයකින් හෝ ඔබට ශෝකය, පරිදෙවය, දුක්ඛය දොමනස්සය යන මොව්හු උපදින්නාහුද?”
“මල්ලිකාවෙනි, නුඹගේ මරණයෙන් විපතකින් හෝ මාගේ ජීවිතය පවා වෙනස් වෙයි. සොක පරිදෙව, දුක්ඛ, දොමනස්ස යන මොව්හු මට කිමනූපදින්නාහුද?”
“මහරජතුමනි, සියල්ල දන්නාවූ, සියල්ල දක්නාවූ, ඒ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුදු රජාණන් වහන්සේ විසින් සොක පරිදෙව දුක්ඛ දොමනස්ස උපායාස, යන මොව්හු ප්‍රිය දෙයින් හටගන්නාහුය, ප්‍රිය දෙයින් උපදනාහුයයි මේ සඳහා වදාරණ ලදී.”

§  28 . “මහරජතුමනි, ඒ කුමකැයි, සිතන්නෙහිද?
කසී, කොසොල් යන මේ දෙරට ඔබට ප්‍රියවේද?”
“මල්ලිකාවෙනි, එසේය කසී කොසොල් දෙරට මට ප්‍රියයයි” කීය.
“මල්ලිකාවෙනි! කසී කොසොල් දෙරටෙහි ආනුභාවයෙන් කසී කොසොල් දෙරටෙහිවූ කාසික චන්දනා නම්වූ සඳුන් භාවිතා කරමු. මල්ගඳ විලවුන් දරමුයි” කීය.

“මහරජතුමනි, ඒ කුමක් සිතන්නෙහිද?
කසී, කොසොල් දෙරට අත්හැරීමෙන් හෝ ඒ දෙරට සතුරන්ට අත්වීමෙන් ඔබට ශොක, පරිදෙව, දුක්ඛ දොමනස්ස යන මොව්හු උපදින්නාහුද?”
“මල්ලිකාවෙනි, කසී, කොසොල් දෙරට අත්හැරීමෙන් හෝ සතුරන්ට අත්වීමෙන් හෝ මාගේ ජීවිතය පවා වෙනස් වෙයි. ශොක, පරිදෙව, දුක්ඛ, දොමනස්ස යන මොව්හු කිම නූපදින්නාහුද?”
“මහරජතුමනි, සියල්ල දන්නාවූ සියල්ල දක්නාවූ ඒ අර්හත් සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේ විසින් ශොක පරිදෙව, දුක්ඛ දොමනස්ස යන මොව්හු ප්‍රිය දෙයින් හට ගන්නාහුය, ප්‍රිය දෙයින් උපන්නාහුයයි මේ සඳහා වදාරණ ලදැයි” කීය.

§  29 . “මල්ලිකාවෙනි, ආශ්චර්යයයි! මල්ලිකාවෙනි පුදුමයි. ඒ භාග්‍යවතුන් වහන්සේ ප්‍රඥාවෙන් (දතයුතු) යම් පමණද (ඒ සියල්ල) අතිශයින් අවබෝධ කොට දක්නාහුයයි සිතමි. මල්ලිකාවෙනි, මෙහි එව අත්පාසෝදන ජලය826 ගෙනෙවයි’ කීය.”

[826: අත් පා සෝදා මුව සෝදා බුදුන් වහන්සේ වන්දනා කිරීමට යාම ඔහුගේ චාරිත්‍රය විය. භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ඔහුගේ ශ්‍රද්ධාව ඇතිවෙන්නට මුල හේතුව මේ සිද්ධියෙන් කියවේ. සංයුත්ත නිකායේ කෝසල සංයුක්තයේ පළමුවන දඟර සුත්‍රයේ ඔහු බුද්ධ ශ්‍රාවකයෙකු වූ ආකාරය සඳහන් වේ.. එදා සිට ඔහු අභාග්‍ය සම්පන්න ලෙස මිය යන තෙක් දිනපතා බුදුන් දැක වන්දනා කිරීමට යාම ඔහු අත් නොහළේය. ඔහුට දෙසනා කල ධර්ම කාණ්ඩය කෝසල සංයුක්තයේ අඩංගු වේ.]

ඉක්බිති පසෙනදි කොසොල් රජතෙම උන් ආසනයෙන් නැගිට උතුරු සළුව එක් අංශයෙක්හි කොට භාග්‍යවතුන් වහන්සේ යම් දිශාවෙක්හිද ඒ දිශාවට දොහොත් මුදුන් දී නමස්කාර කොට ‘ඒ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා. ඒ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා, ඒ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවායි’ තුන්වරක් ප්‍රීති වාක්‍ය ප්‍රකාශ කෙළේය

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.