MN 02-04-03. මඛාදෙව සූත්‍රය

පුජ්‍ය පුහුල්වැල්ලේ සාරද හිමි කල සුත්‍ර විවරණය

[සටහන: මේ මඛාදේව සුත්‍රය පළමු සංගායනාවෙන් පසු මජ්ජිම නිකායට අතුලුවුවක් දෝ හෝයි සැක කිරීමට කාරනා ඇත. ජාතක පාළියෙහි එකක නිපාතයෙහි අපන්නක වග්ගයෙහි සඳහන් මඛාදේව ජාතකය සම්පුර්ණයෙන්ම උපුටා මෙහි දැක්වීමක් ලෙස පෙනේ. සුත්‍ර පිටකයේ ඇති හරබර උපදේශ හිඟ මේ සුත්‍රය සුළු සුළු වෙනස්කම් ඇතිව චීන භාෂාවෙන්ද ඇති නිසා සැකය කෙසේ වුවත් මජ්ජිම නිකායේ ඇති ලෙසටම මෙහි අඩංගු කරමු.]

§1. මා විසින් මෙසේ අසනලදී.
එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ මිථිලා නම් නගරයෙහි මඛාදෙව නම් අඹ උයනෙහි වැඩ වෙසෙත්.

§ 2. ඒ කාලයෙහි ‘භාග්‍යවතුන් වහන්සේ එක්තරා තැනකදී සිනහ පහල කෙළේය. එහිදී ආයුෂ්මත් අනඳ තෙරුන්හට මේ සිත පහළ විය. භාග්‍යවතුන් වහන්සේගේ සිනහ පහල කිරීමට හේතුව කිම? කරුණ කිම? කරුණක් නැති කල්හි තථාගතවරයෝ සිනහ පහළ නොකෙරෙත්ය” කියාය.

එහිදී ආයුෂ්මත් ආනන්ද තෙමේ සිවුර ඒකාංශකොට පොරවා භාග්‍යවතුන් වහන්සේ දෙසට ඇඳිලි බැඳ වැඳ භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය කීය.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේගේ සිනහ පහල කිරීමට හේතුව කිම? කරුණු කිම? තථාගතවරයෝ හේතුවක් නැතිව සිනහ පහල නොකෙරෙතියි” කියාය.

§ 3. “ආනන්දය, පෙර දවස මේ මිථිලා නගරයෙහිම මඛාදෙව නම් රජෙක් වූයේය. ධාර්මිකවූ ධර්මයෙන් රජකම් කරන ධර්මයෙහි පිහිටි මහ රජෙක්ව බ්‍රාහ්මණ ගෘහපතියන් කෙරෙහිද නියම් ගම් වැස්සන් කෙරෙහිද ජනපද වැස්සන් කෙරෙහිද ධර්මයෙන් පිළිපදියි.807

“පක්ෂයෙහි තුදුස්වක් දිනයෙහිද පසලොස්වක් දිනයෙහිද අටවක් දිනයෙහිද සිල්සමාදන්ව වාසය කරයි.808

[807: මඛාදේව රජු ජීවත්වුයේ බුද්ධ කාලයක් නොවූ නිසා මෙහි ධර්මය යන්නෙන් අදහස් වන්නේ බුද්ධ ධර්මය නොවේ. සාධාරණ ලෝක නීතියට ගරු කරන මනුෂ්‍ය ධර්මයන් ලෙස සැලකිය හැක.]

[808:- දඹදිව බොහෝ පුරාන කාලයක සිට පසලොවක පුර සඳ පායන දිනය වෙන් ව තිබුනේ ආගමික කටයුතු පිණිසය. කැලැන්ඩර් නොතිබුණු ඒ යුගයේ සඳේ ප්‍රමාණය අනුව දිනය හැඳින්වූ බවද පෙනේ. සිල් සමාදන්ව යන්නෙන් අඩ කරනා අටසිල් හො දස සිල් අදහස් නොවේ. තාපස වරු නියම කරගත් සීලයන් සමාදන්ව සිටි බවත් සැලකේ. කෙසේ වුවත් සාමාන්‍ය එදිනෙදා ජීවිතයෙන් වෙනකොට මෙසේ දිනයක් අධ්‍යාත්මික වර්ධනයට එදා මිනිසුන් යොදා ගත්හ.]

“ආනන්දය, ඒ කාලයෙහි අවුරුදු බොහෝ ගණනක් අවුරුදු සියගණනක් අවුරුදු දහස් ගණනක් ගතවීමෙන් පසු මඛාදෙව රජ තෙමේ හිස රැවුල් කපන්නාට කථා කෙළේය. “යහලුව, යම් දවසක මාගේ හිසෙහි පැසුණු හිසකෙසක් දක්නේ නම් එකල්හි මට කියවයි’ කීහ.“ආනන්දය, ‘දෙවයිනි, එසේයයි’ කරණවෑමියා උත්තර දුන්නේය.

“ආනන්දය, බොහෝ අවුරුදු බොහෝ සියක් අවුරුදු බොහෝ දහසක් අවුරුදු ගතවීමෙන් කරණවෑමියා මඛාදෙව රජහුගේ හිසෙහි පැසුණු හිස කෙසක් දිටීය, දැක මඛාදෙව රජහට “දේවයන්හට දේවදූතයෝ809 පහල වූවාහුය. හිසෙහි පැසුණු හිස කෙස් දක්නා ලැබෙත්යි” කීය. “එසේ නම් යහළු ඒ පැසුණු කෙස් අඬුවෙන් ප්‍රවේශම්ව උදුරා මාගේ අතෙහි තබවයි” කීහ.“ආනන්දය, දෙවයිනි, එසේයි’ කියා ඒ පැසුණු කෙස් ප්‍රවේසමින් අඬුවෙන් උදුරා මඛාදෙව රජහුගේ අතෙහි තැබීය.

[809: දෙවදුතයන් යන යෙදුම දැක්වෙන තැන් බොහෝය. දේවදුත සුත්‍රයෙහි ඉප්දුනු ළදරුවන්, ලෙඩවූ අය, මහල්ලන් හා මලගිය මෘත ශරීරය දේව දුතයන් යයි යාම රජු කියයි. සිද්ධාර්ථ කුමාරයන් මහබිනික්මන කලේද, ලේඩේක්, මහල්ලෙක්, මරණයක් හා ශ්‍රමණයෙක් යන සතර පෙර නිමිති දැකය].

§ 5. “ආනන්දය, එවිට රජවූ මඛදෙව කරණවෑමියාට ගම්වරයක් තෑගී දී , සිය වැඩිමහල් පුත් කුමරුට කථාකොට මෙසේ කීහ. “දරුව , මට දෙවදූතයෝ පහල වූහ. හිසෙහි පැසුණු කෙස් දක්නා ලැබෙත්. මා විසින් මිනිස්ලොව සියලු කාම සම්පත් අනුභව කරණලදී. දැන් දිව්‍ය කාම සම්පත් සෙවීමට කාලය වෙයි.”

“දරුව , එව. නුඹ මේ රාජ්‍යය භාරගනුව. මම කෙස් රැවුල් කපා හැර කසාවත් හැඳ පොරවා ගිහිගෙන් නික්ම පැවිදි වන්නෙමි. දරුව . එසේම නුඹත් යම් දවසක න් නුඹේ හිසෙහි පැසුණු හිස කෙස් දක්නෙහිද, එකල්හි නුඹගේ දෙටු පුත් කුමරු යහපත් කොට රාජ්‍යයෙහි පිහිටුවා නොහොත් රජයෙන් අනුශාසනා කොට කෙස් රැවුල් කපාහැර කසාවත් හැඳ පොරවා ගිහිගෙන් නික්ම සාසනයෙහි පැවිදි වෙව. යම් හෙයකින් මා විසින් පිහිටුවන ලද මේ යහපත් පැවැත්ම අනුව පවත්නෙහිය. නුඹ මාගේ සිරිතෙහි අන්තිම පුරුෂයා නොවෙව.

“දරුව, මාගේ වංශයෙහි උපන් යම් පුරුෂයෙකුගේ කාලයෙහි මේ යහපත් පැවතුමගේ බිදී ගියහොත් ඔහු මේ වංශයේ අන්තිම පුරුෂයා වෙයි. දරුව , එහෙයින් ඔබට මම මෙසේ කියමි. මා විසින් පිහිටුවන ලද මේ යහපත් සිරිත පවත්වාගෙන යව. එය නොකඩවා ගෙන යව.. නුඹ මාගේ වංසයෙහි අන්තිම පුරුෂයා නොවෙව’යි කීහ.

“එකල්හි ආනන්දය, මඛාදෙව රජ මෙසේ වැඩිමහල් පුත් කුමරු යහපත්ව රජයෙහි පිහිටුවා කෙස් රැවුල් කපාහැර කසාවත් හැඳ පොරවා මේ මඛාදෙව අඹ උයනෙහිදී ගිහිගෙන් නික්ම පැවිදි වූයේය.

“හෙතෙම මෛත්‍රී සහගත සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කෙළේය. එසේම දෙවෙනි දිසාවද එසේම තුන්වෙනි දිසාවද එසේම සතරවැනි දිසාවදැයි මෙසේ උඩද යටද සරස දැයි සියලු කාලයෙහි සියලු තැන පැතිර පවත්නා බැවින් සියල්ල ඇත්තාවූ ලෝකය මෛත්‍රිය සමග පවත්නාවූ මහත්වූ උසස් බවට පැමිණියාවූ ප්‍රමාණ නොකොට හැකිවූ වෛර නැත්තාවූ ක්‍රොධ රහිතවූ සිතින් මෛත්‍රිය පතුරුවා වාසය කෙළේය.

කරුණාව සමග පැවැත්තාවූ සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කළේය. එසේම දෙවෙනි දිසාවද, එසේම තුන්වෙනි දිසාවද, එසේම සතර වෙනි දිසාවද මෙසේ උඩ යට සරස සියලු කාලයෙහි සියලු තැන පවත්නාවූ සියල්ල ඇත්තාවූ ලෝකය මහත්වූ මහත් බවට පැමිණියාවූ අප්‍රමාණවූ වෛරනැත්තාවූ කරුණා සහගත සිතින් පතුරුවා වාසය කළේය. එක් දිසාවක් පතුරුවා වාසය කළේය. එසේම දෙවෙනි දිසාව එසේම තුන්වෙනි දිසාවද, එසේම සතර වෙනි දිසාවද, මෙසේ උඩ යට සරස සියලු කාලයෙහි සියලු තැන පවත්නාවූ සියල්ල ඇත්තාවූ ලෝකය මහත්වූ මහත් බවට පැමිණියාවූ අප්‍රමාණවූ වෛරනැත්තාවූ කරුණා සහගත සිතින් පතුරුවා වාසය කළේය.

මුදිතාව සමග පැවැත්තාවූ සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කළේය. එසේම දෙවෙනි දිසාවද එසේම තුන්වෙනි දිසාවද එසේම සතරවෙනි දිසාවද මෙසේ උඩ යට සරස සියලු කාලයෙහි සියලු තැන පවත්නාවූ සියල්ල ඇත්තාවූ ලෝකය මහත්වූ මහත් බවට පැමිණියාවූ අප්‍රමාණවූ වෛර නැත්තාවූ මුදිතා සහගත සිතින් පතුරුවා වාසය කළේය. එක් දිසාවක් පතුරුවා වාසය කළේය, එසේම දෙවෙනි දිසාව, එසේම තුන්වෙනි දිසාවද, එසේම සතර වෙනි දිසාවද, මෙසේ උඩ යට සරස සියලු කාලයෙහි සියලු තැන පවත්නාවූ සියල්ල ඇත්තාවූ ලෝකය මහත්වූ මහත් බවට පැමිණියාවූ අප්‍රමාණවූ වෛර නැත්තාවූ මුදිතා සහගත සිතින් පතුරුවා වාසය කළේය.

උපෙක්ෂාව සමග පැවැත්තාවූ සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කෙළේය. එසේම දෙවෙනි දිසාවද, එසේම තුන්වෙනි දිසාවද, එසේම සතරවෙනි දිසාවද මෙසේ උඩද යටද, සරසදැයි සියලු කාලයෙහි සියලු තැන පැතිර පවත්නා බැවින් සියල්ල ඇත්තාවූ ලෝකය මහත්වූ උසස් බවට ගියාවූ ප්‍රමාණ කළ නොහැක්කාවූ වෛර නැත්තාවූ ව්‍යාපාද නැත්තාවූ උපේක්ෂා සහගත සිතින් පතුරුවා වාසය කෙළේය.810

[810:- සතර බ්‍රහ්ම විහාර බෞද්ධ සන්ජ්කල්පයක් නොව බුද්ධෝත්පත්තියට බොහෝ කලකට පෙර සිට භාරතයේ පවත ආ සංකල්පයකි. එහි උතුම් භාවිතය හා ශ්‍රේෂ්ඨ ප්‍රතිඵල නිසා භාග්‍යවතුන් වහන්සේද ඒ අනුමත කොට බොහෝ තැන්වලදී වර්ණනා කොට ඇත. එනමුත් බ්‍රහ්ම විහාර වැඩීමෙන් සසරින් ගොඩවීම සිදු නොවන නිසා මෙයින් ඔබ්බට යන්නක් භාග්‍යවතුන් වහන්සේ සිය ශ්‍රාවකයන්ගෙන් බලාපොරොත්තු විය. මේ සුත්‍රයේ අන්තිමට ඒ සඳහන් වේ.]

“ආනන්දය, මඛාදෙව රජ අසූහාර දහසක් අවුරුදු කුමාර ක්‍රීඩා විය ගත කෙළේය. අසූහාර දහසක් අවුරුදු යුව රජකම කෙළේය. අසූහාර දහසක් අවුරුදු මහ රජකම් කෙළේය. අසූහාර දහසක් අවුරුදු මේ මඛාදෙව අඹ උයනෙහිම ගිහිගෙන් නික්ම පැවිදිව බ්‍රහ්මචර්යාවෙහි හැසුරුණේය. හෙතෙමේ මෙසේ සතර බ්‍රහ්ම විහාර ධර්මයන් වඩා ශරීරයාගේ බිදීමෙන් මරණින් මතු බ්‍රහ්මලෝකයට පැමිණියෙක් වූයේය.

[811:- මේ සුත්‍රය බොහෝ විට අතිශයෝක්තියෙන් යුතු සංක්‍යා සඳහන් කරයි. මේ චදයේ හැටියට මඛාදේව රජු 84000 x 4 = 336,000 වසරක් මනුෂ්‍ය ජීවිතය ගතකළේය. ලෙයින් මසින් සැදුනු මේ මනුෂ්‍ය ශරීරය කිසි විටෙක එපමණ කලක් පවතීයැයි සිතන්නට පවා නොහැකිය. මේ ගැන වාද විවාද නොකොට සුත්‍රයේ හරය උකහා ගනු වටී]

§ 7 “ඉක්බිති ආනන්දය, මඛාදෙව රජුගේ පුත්‍රයාද සිය පියා සේම නර කෙස් හිසෙහි මතුවූ විට තම පුතුට රජය පවරා මේ අඹ වනයෙහිම සතර බ්‍රහ්ම විහරණ වඩා කලුරිය කොට බඹ ලොව පහල විය.

§ 10. “ආනන්දය, මඛාදෙව රජුගේ දරුවන්ගේ දරුවන් සිට ඇති ඔහුගේ අසූහාර දහසක් පරම්පරාව මේ මඛාදෙව අඹ වනයෙහිම කෙස් රැවුල් කපා හැර කසාවත් හැඳ පොරවා ගිහිගෙන් නික්ම පැවිදි විය.

“ඔව්හු මෛත්‍රි සහගත සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කළහ. එසේම දෙවන දිසාවද, එසේම තුන්වැනි දිසාවද, එසේම සතරුවැනි දිසාවද, මෙසේ උඩද යටද සරසද සියලු කාලයෙහි සියලු තැන පැතිර පවත්නා බැවින් සියල්ල ඇත්තාවූ ලෝකය මෛත්‍රී සහගතවූ විපුලවූ උසස්වූ ප්‍රමාණයක් නැත්තාවූ වෛර රහිතවූ ක්‍රොධ නැත්තාවූ සිතින් පතුරුවා වාසය කළහ.

“කරුණා සහගත සිතින් එක් දිසාවක්…
මුදිතා සහගත සිතින්…….
උපෙක්ඛා සහගත සිතින් එක් දිසාවක්…. උඩද යටද සරසද සියලු කාලයෙහි සියලු තැන පැතිර පවත්නාවූ බැවින් සියල්ල ඇත්තාවූ ලෝකය විපුලවූ මහත් බවට පැමිණියාවූ අප්‍රමාණවූ වෛර රහිතවූ ව්‍යාපාද රහිතවූ සිතින් පැතිර විසූහ.

§ 11. “ඒ පරපුරෙහිවූ රජදරුවෝ අවුරුදු අසූහර දහසක් කුමාර ක්‍රීඩාකළහ. අසූහාරදහසක් අවුරුදු උපරජකම් කළාහුය. අසූහාර දහසක් අවුරුදු රජකම් කළාහුය. අසූහාර දහසක් අවුරුදු මේ මඛාදෙව අඹ වෙනෙහිම ගිහිගෙන් නික්ම පැවිදි වූවාහු බ්‍රහ්මචර්යාවෙහි හැසුරුණාහුය.

“ඔව්හු සතර බ්‍රහ්ම විහරණයන් වඩා ශරීරයාගේ බිඳීමෙන් පසු මරණින් මත්තෙහි බඹලොව උපන්නෝ වූහ.

§ 12. “ඒ රජුන් අතරෙහි අන්තිම තැනැත්තේ “නිමි” නම් රජ වූයේය. හෙතෙම ධාර්මිකවූ දැහැමින් රජකරන්නාවූ කුශල ධර්මයෙහි පිහිටියාවූ මහ රජෙකි. බ්‍රාහ්මණ ගෘහපතියන් කෙරෙහිද නියම් ගම් වාසීන් කෙරෙහිද ජනපද වාසීන් කෙරෙහිද ධර්මයෙන් හැසිරෙයි. පක්ෂයෙහි තුදුස්වක් දිනයෙහිද, පසලොස්වක් දිනයෙහිද, අටවක් දිනයෙහිද, සිල් සමාදන්ව වෙසෙයි.

§ 13 . “ආනන්දය, එකල සුධර්මා නම් දිව්‍ය සභාවෙහි තව්තිසා දෙවියන් අතර මේ කථාව පහළවිය.

‘පින්වත්නි, විදෙහ වැසියන්ට ඒකාන්තයෙන් ලාභයෙක. පින්වතුනි විදෙහරට වැසියන් විසින් යහපත් ලාභයක් ලබනලදී. ඔවුන්ගේ ධාර්මිකවූ ධර්මයෙන් රජකම් කරන්නාවූ තෙමේ කුසල ධර්මයෙහි පිහිටියාවූ මහ රජෙක්වූ නිමි රජ ගෘහපතියන් කෙරෙහිද, නියම් ගම් වාසීන් කෙරෙහිද, ජනපද වාසීන් කෙරෙහිද සමානව ධර්මයෙන් හැසිරෙයි. පක්ෂයෙහි තුදුස්වක් දිනයෙහිද, පසලොස්වක් දිනයෙහිද, අටවක් දිනයෙහිද සිල්සමාදන්ව වාසය කරයි.” කියායි

§ 14. “එකල්හි ආනන්දය, සක්දෙව්රජ තව්තිසා දෙවියන්ට කථාකොට
‘නිදුකාණෙනි, තෙපි නිමිරජ දක්නට කැමතිවන්නහුදැයි’ ඇසීය. “එසේය නිදුකානනි , අප ඔහු දක්නා කැමැත්තෙමු.” යි ඔවුහු පිළිතුරු දුන්හ.

“එකල්හි හිස සිට ස්නානය කළාවූ නිමි රජ පසලොස්වක් පොහොදිනයෙහි උපොසථ සිල්සමාදන්ව ප්‍රාසාදයෙහි මතුමහල් තලයෙහි හුන්නේ වෙයි. ආනන්දය, එකල්හි සක්දෙව් රජ, යම්සේ බලවත් පුරුෂයෙක් හකුලන ලද අත හෝ දික්කරන්නේද දික්කරණ ලද අත හෝ හකුළන්නේද එපරිදිවූ සැනකින් තව්තිසා දෙවියන් අතරෙන් අතුරුදන්ව නිමි රජු ඉදිරියෙහි පහළ විය.“එකල්හි ආනන්දය, සක්දෙව්රජ තෙම නිමි රජුට මේ කාරණය කීයේය.

“මහරජ, ඔබට ලාභයෙක, මහරජ ඔබ විසින් යහපත් ලාභයක් ලබන ලදී. මහරජ තව්තිසා දෙව්ලොව දෙවියෝ සුධර්මා නම් දිව්‍යසභාවෙහි ඔබගේ ගුණ කියමින් හුන්නාහුය.“පින්වත්නි, විදෙහ වැස්සන්ට ඒකාන්තයෙන් ලාභයෙක. පින්වත්නි, විදෙහ වැසියන් විසින් යහපත් ලාභයක් ලබන ලදී. ඔවුන්ගේ ධාර්මිකවූ ධර්මයෙන් රජකම් කරන්නාවූ කුශලධර්මයෙහි පිහිටියාවූ මහරජවූ නිමි රජතෙම බ්‍රාහ්මණ ගෘහපතියන් කෙරෙහිද නිගමවාසීන් කෙරෙහිද ජනපද වාසීන් කෙරෙහිද ධර්මයෙන් හැසිරෙයි.“පක්ෂයෙහි තුදුස්වක් දිනයෙහිද, පසලොස්වක් දිනයෙහිද, අටවක් දිනයෙහිද, උපොසථ සිල් සමාදන්ව වාසය කරයි යනුවෙනි. මහරජ, තව්තිසාදෙවියෝ ඔබ දකිනු කැමැත්තෙ වෙති. මහරජ, ඒ ඔබට මම දහසක් අසුන් යොදනලද උතුම් රථයක් එවන්නෙමි. මහරජ, දිව්‍යයානාවට බයක් නැතිව නගිනු මැනවැයි’ කීය.“ආනන්දය, නිමි රජ තෙමේ තුෂ්ණිම් භාවයෙන් ඉවසීය.

§ 15. “එවිට ආනන්දය, සක්දෙව් රජතෙමේ නිමි රජුගේ ඉවසීම දැන බලවත් පුරුෂයෙක් තෙම යම්සේ හකුලන ලද අත හෝ දික්කරන්නේද, දික්කරණ ලද අත හෝ හකුලන්නේද එපරිද්දෙන් නිමි රජු ඉදිරියෙහි අතුරුදන්වූයේ තව්තිසාවෙහි දෙවියන් අතරෙහි පෙණී ගියේය.

“එකල්හි ආනන්දය, සක්දෙව් රජ මාතලි දිව්‍යපුත්‍රයාට කථාකෙළේය. කථාකොට යහලුව මාතලිය, එව නුඹ දහසක් අසුන් යොදනලද රථය පැදගෙණ ගොස් නිමි රජු කරා එළඹ මෙසේ කියව.

“මහරජ, දහසක් අසුන් යොදනලද මේ උතුම් රථය සක්දෙව්රජ විසින් ඔබට එවන ලදී. මහරජ, නිර්භයව දිව්‍ය රථයට නගිනු මැනව,’ කියාය.
‘පින්වතුන් වහන්ස එසේයයි’ මාතලි දිව්‍යපුත්‍රතෙමේ සක්දෙව් රජහට උත්තරදී දහසක්අසුන් යොදනලද රථය පැදගෙණ නිමි රජු කරා පැමිණ මේ කාරණය කීය.

“මහරජ, දහසක් අසුන් යොදනලද මේ රථය සක්දෙව්රජ විසින් එවනා ලද්දේය. මහරජ භය නැතිව දිව්‍ය රථයට නගිනු මැනව. මහරජ, තවද යම් මගක පව්කම් කළ සත්වයෝ පව්කම්වල විපාක විඳිත්ද, යම් මගක පින්කම් කළ සත්වයෝ පින්කම්වල විපාක විඳිත්ද (ඒ දෙමගින්) කවර මගකින් ඔබ ගෙණයම්ද?, ‘මාතලිය, ඒ දෙමගින්ම මා ගෙණයවයි’ කීය.

“ආනන්දය මාතලි දිව්‍ය පුත්‍ර තෙමේ නිමි රජුහු සුධර්මානම් දිව්‍ය සභාවට පැමිණවීය.“ආනන්දය, සක්දෙව්රජ තෙම එන්නාවූ නිමි රජ දුරදීම දිටීය. දැක නිමි රජුට මෙසේ කීය. මහරජ එනු මැනව. මහරජ ඔබගේ යහපත් පැමිණීමක්ය.“මහරජ, තව්තිසා දෙවියෝ සුධර්මා නම් දිව්‍ය සභාවෙහි ඔබගේ ගුණ කියමින් හුන්නාහුය. (කෙසේදයත්) ‘පින්වතිනි, විදෙහ වැසියන්හට ඒකාන්තයෙන් ලාභයෙක පින්වත්නි, විදෙහ වැසියන් විසින් යහපත් ලාභයක් ලබනලදී.“දැහැමිවූ ධර්මයෙන් රජකම් කරන්නාවූ කුසල ධර්මයෙහි පිහිටියාවූ මහරජවූ නිමි රජතෙමේ බ්‍රාහ්මණ ගෘහපතියන් කෙරෙහිද, නියම් ගම්වාසීන් කෙරෙහිද, ජනපද වාසීන් කෙරෙහිද ධර්මයෙහි හැසිරෙයි.“පක්ෂයෙහි තුදුස්වක් දිනයෙහිද, පසලොස්වක් දිනයෙහිද අටවක් දිනයෙහිද උපොසථ සිල් සමාදන්ව වෙසෙයි.

“මහරජ තව්තිසා දෙවියෝ ඔබගේ දැකීම කැමැත්තෝය මහරජ දෙවියන් අතරෙහහි දෙවියන්ගේ ආනුභාවයෙන් සතුටු වන මැනවැයි’ (කීය)

“නිදුකානෙනි, කම්නැත. මා මිථිලා නුවරට නැවත ගෙණ යේවා. එහි බ්‍රාහ්මණ ගෘහපතියන් කෙරෙහිද නියම් ගම් වැස්සන් කෙරෙහිද ජනපද වැස්සන් කෙරෙහිද ධර්මයෙහි හැසිරෙන්නෙමි.“පක්ෂයෙහි තුදුස්වක් දිනයෙහිද, පසලොස්වක් දිනහිද අටවක් දිනෙහිද, උපොසථ සිල් සමාදන්ව වෙසෙන්නෙමි.’

§ 16 . “ඉක්බිති ආනන්දය, සක්දෙව් රජතෙමේ මාතලි දිව්‍ය පුත්‍රයා කැඳවීය. ‘යහලු මාතලිය’ (මෙහි) එව. නුඹ දහසක් අසුන් යොදන රථයෙහි අසුන් යොදා නිමි රජ එහි මිථිලාවට ආපසු පමුණුවයි’ කීය.“ආනන්දය, ‘පින්වත එසේය’ කියා මාතලී දිව්‍ය පුත්‍රතෙම සක්දෙව්රජ හට උත්තර දී දහසක් අසුන් යොදන රථයෙහි අසුන් යොදා නිමි රජු එහි මිථිලාවට ආපසු පැමිණවීය.“ආනන්දය, එකල්හි වනාහි නිමි රජතෙමේ බ්‍රාහ්මණ ගෘහපතියන් කෙරෙහිද, නියම් ගම් වැස්සන් කෙරෙහිද, ජනපද වැස්සන් කෙරෙහිද ධර්මයෙහි හැසිරෙයි. පක්ෂයෙහි තුදුස්වක් දිනෙහිද පසලොස්වක් දිනෙහිද අටවක් දිනෙහිද සීලය සමාදන්ව වාසය කරයි.

§ 17. “එකල්හි ආනන්දය, නිමි රජතෙමේ බොහෝවූ අවුරුදු සියක් බොහෝ අවුරුදු බොහෝවූ දහසක් අවුරුදු ගතවීමෙන් ඇම්බැට්ටයාට කථා කළේය. ‘යහලුව, දවසක මාගේ හිසෙහි පැසුණු කෙහෙ දක්නෙහිනම් එකල්හි මට කියවයි’ කීය……….

“ආනන්දය, නිමි රජහට කලාර ජනක නම් පුත්‍රයෙක් වී. නිමි රජු ඔහුට රාජ්‍ය පවරා මෙසේ කීය.

“දරුව කලාර ජනකයෙනි, මා විසින් පවත්වාගෙන ආ මේ යහපත් පැවතුමට අනුව තොපත් පැවතව. අපේ පරපුඑ ඉතා ඈත හුන් මඛාදේව රජ පටන්ගෙන අද දක්වා සියලු රජුන් පවත්වාගෙන ආ මේ සම්ප්‍රදාය නුඹත් ඉදිරියට ගෙන යව. මේ සිරිත බිඳ නුඹ මාගේ වංශයෙහි අන්තිම පුරුෂයා නොවෙව. ’ කියාය.

§ 20 .“ආනන්දය, නිමි රජුගේ පුත් කලාර ජනක ගිහිගෙන් නික්ම පැවිදි නොවීය. හෙතෙම ඒ යහපත් පැවතුම සිඳදැමීය. හෙතෙම ඔවුන් අතර අන්තිම පුරුෂයා විය.

§ 21 “ආනන්දය, ඔබට මෙබඳු අදහසෙක් විය හැක්කේය. එනම් ඒ කාලයෙහි , ඒ යහපත් පැවතුම පිහිටු වූ ඒ මඛාදෙව රජ ඒකාන්තයෙන් අන් කෙනෙක් වූයේද (කියායි). ආනන්දය, ඒ කාරණය එසේ නොදතයුතුය.

“ඒ කාලයෙහි මම මඛාදෙව රජවීමි. මම ඒ යහපත් පැවතුම ඇතිකෙළෙමි. මා විසින් පිහිටුවන ලද ඒ යහපත් පැවතුමට අනුව පසු ජනතෙම පැවතුනේය.

“ආනන්දය, ඒ ප්‍රතිපත්තිය යහපත් පැවතුම් කලකිරීමය පිණිස නොඇලීම පිණිස, භව නිරෝධය කෙලෙස් සංසිඳීම පිණිස, විශේෂ ඤාණය පිණිස, අවබෝධය පිණිස, නිර්වාණය පිණිස නොපවතී. යම්තාක් බ්‍රහ්මලෝකෝත්පත්තිය පිණිස පමණක් වෙයි.

“ආනන්දය, දැන් මා විසින් පිහිටුවන ලද මේ යහපත් පැවතුම වනාහි ඒකාන්තයෙන් කලකිරීම පිණිස, නොඇලීම පිණිස, භව නිරෝධය පිණිස, කෙලෙස් සංසිඳීම පිණිස, විශේෂ ඥාණය පිණිස, අවබෝධය පිණිස, නිර්වාණය පිණිස පවතී.

“ආනන්දය, දැන් වනාහි මා විසින් පිහිටුවනලද ඒකාන්තයෙන් කලකිරීම පිණිස, නොඇලීම පිණිස, භව නිරෝධය පිණිස, කෙලෙස් සංසිඳීම පිණිස, විශේෂ ඥාණය අවබෝධය පිණිස, නිර්වාණය පිණිස පවතින ඒ යහපත් පැවතුම කවරේද?

“මේ අංග අටක් ඇති ආර්ය මාර්ග එනම් යහපත් දැකීම යහපත් කල්පනාව, යහපත් වචනය, යහපත් කර්මාන්තය යහපත් ජීවිකාව, යහපත් උත්සාහය, යහපත් සිහිය, යහපත් සමාධිය යන මොව්හුය.812

[812: ආර්ය අෂ්ඨාංගික මාර්ගය.]

“ආනන්දය, දැන් මා විසින් පිහිටුවන ලද මේ යහපත් පැවතුම් ඒකාන්තයෙන් කලකිරීම පිණිස, නොඇලීම පිණිස, භව නිරෝධය පිණිස, කෙලෙස් සංසිඳීම පිණිස, විශේෂ ඥාණය පිණිස, අවබෝධය පිණිස, නිර්වාණය පිණිස පවතියි.

“ආනන්දය, මම නුඹට මෙසේ කියමි.

මා විසින් දේශනා කරන ලද මේ යහපත් පැවතුමට අනුව පවතිව්. තෙපි මාගේ සාසනයෙහි අන්තිම භික්ෂුව නොවව්. ආනන්දය, මාගේ සාසනයෙහි වූ යම් භික්ෂුවකගේ පැවැත්මෙන් මෙසේවූ යහපත් පැවතුම සිඳීයාම වෙයිද? හෙතෙම මේ සාසනයෙහි අන්තිම භික්ෂුව වෙයි.
“ආනන්දය, එහෙයින් තොපට මම මෙසේ කියමි. මා විසින් පිහිටුවන ලද මේ යහපත් පැවතුමට අනුව පවතිව්. තෙපි මාගේ සාසනයෙහි අන්තිම භික්ෂුන් නොවව්.” කියාය

භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළේය. ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් භාග්‍යවතුන් වහන්සේගේ වචනයට සතුටු විය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.