MN 02-04-02 රට්ඨපාල සූත්‍රය

85. මහණවන්නේ කුමටද

බොහෝ අඥාන මිනිසුන් තමන් ගේ නොදන්නා කම නිසා අපේ මහා සංඝ රත්නයට නොයෙක් කථා කියමින් අපහාස උපහාස කරති. ගිහි ගෙයි ඉඳ සංසාර විමුක්තිය ලබන්නට පහසු නම් ඒ සංඝයා වහන්සේලා අනෙක දුක් පීඩා විඳිමින් මේ සාසනයේ වත් පිළිවෙත් කරන්නට එන්නේ නැති බව මේ සුත්‍රය කියැවූ විට ඔබටම වටහා ගත හැක. සිවුරට ආවේ මේ කෞරව්‍ය රජතුමා සඳහන් කල ලාමක හේතු සතර නිසාය කියන අද ඉන්නා, තමන් පණ්ඩිත යයි සිතා ඉන්නා ගිහියන්ට රට්ඨපාල රහතුන් වහන්සේ කෞරව්‍ය රජුට දුන් පිළිතුර වැටහේවා. අපේ භික්ෂුන් වහන්සේලා රැක ගන්නට ආධාර කරන්නට අපේ සිංහල බෞධයන්ගේ සිත් නැමේවා.

අතිපුජ්‍ය නාඋයනේ අරියධම්ම මහා ස්වාමින් වහන්සේ කල ධර්ම දේශනාව පළමුව අසන්න (press arrow mark above)

§ 1. මා විසින් (මේ සූත්‍රය) මෙසේ අසන ලදී.
එක් කලෙක්හි භග්‍යවතුන් වහන්සේ කුරු ජනපදයන්හි මහත් වූ භික්ෂු සංඝයා සමග සැරිසරන්නේ ථුල්ලකොට්ඨිත නම්වූ කුරු දනව් වැස්සන්ගේ නිම් ගම වෙත වැඩියහ.

§ 2. ථුල්ලකොට්ඨිත නියම් ගම වැසි බ්‍රාහ්මණ ගෘහපතීහු, ශාක්‍යපුත්‍රවූ ශාක්‍ය කුලයෙන් නික්ම පැවිදිවූ ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ විසාල භික්ෂු සංඝයා පිරිසක් සමග , ථුල්ලකොට්ඨිත නියම්ගමට ආවේ යැයි ද, . ඒ භවත් ගෞතමයන් වහන්සේගේ මෙබඳුවූ යහපත් ගුණ ඝොෂාවෙක් සියලු ජම්බුද්වීපයේ ප්‍රසිද්ධව ඇතැයි ද ඇසුවෝය.

ඒ භාග්‍යවත් ගෞතමයන් මේ කාරණයෙනුත් අර්හත්ය. පුරුෂයන් දමනය කිරීමෙහි නිරුත්තරවූ සාර්ත්ථ වාහකයකු බඳුය. දෙවි මිනිසුන්ට අනුශාසනා කරන්නෙක. චතුස්සත්‍යය අවබෝධ කළ හෙයින් බුද්ධය. සියලු කෙලෙසුන් නැසූ හෙයින් භාග්‍යවත්ය. හෙතෙම දෙවියන් සහිතවූ මාරයන් සහිතවූ බ්‍රහ්මයන් සහිතවූ මේ ලෝකයද මහණ බමුණන් සහිතවූ දෙවි මිනිසුන් සහිතවූ සත්ව සමූහයාද තෙමේ විශේෂ නුවණින් දැන ප්‍රත්‍යක්ෂ කොට ප්‍රකාශ කෙරෙයි. හෙතෙම මුල යහපත්වූ මැද යහපත්වූ කෙළවර යහපත්වූ අර්ථ සහිතවූ ව්‍යංජන සහිතවූ සියල්ලෙන් සම්පූර්ණවූ ධර්මයක් දේශනා කරයි. පිරිසිදුවූ බ්‍රහ්මචර්යාව ප්‍රකාශ කරයි. එබඳුවූ රහතුන් වහන්සේලාගේ දැක්ම පවා යහපත් වේයයි ඇසුවාහුය.

§ 3. ඉක්බිති ථුල්ලකොට්ඨිත ගම වැසි බ්‍රාහ්මණයන් හා ගෘහපතීහු භාග්‍යවතුන් වහන්සේ හුන් තැනට පැමිණියාහුය. පැමිණ සමහරු භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පසෙක හිඳ ගත්හ. සමහරු භාග්‍යවතුන් වහන්සේ සමඟ සතුටු වියයුතුවූ සිහිකටයුතුවූ කථා කොට නිමවා එක් පසෙක හිඳගත්හ. සමහරු භාග්‍යවතුන් වහන්සේ දෙසට ඇඳිලිබැඳ නමස්කාර කොට එක් පසෙක හිඳගත්හ. සමහරු භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි තමන්ගේ නාම ගොත්‍ර දක්වා එක් පසෙක හිඳගත්හ. සමහරු නිශ්ශබ්දව එක්පසෙක හිඳගත්හ. එක්පසෙක හුන්නාවූ ථුල්ලකොට්ඨිත නම් නියම්ගම වැසි බමුණන් හා ගෘහපතින්ට භාග්‍යවතුන් වහන්සේ දැහැමිවූ කථාවෙන් කරුණු දැක්වූයේය. සමාදන් කරවූයේය. සිත් තියුණු කරවූයේය. සතුටු කරවූයේය.

§ 4. එකල්හි ඒ ථුල්ලකොට්ඨිත නියම් ගමෙහිම ප්‍රධාන කුලවතාගේ එකම පුත්‍රයා වූ රට්ඨපාල නම් කුලපුත්‍රයාද ඒ පිරිසෙහි උන්නේය. භාග්‍යවතුන් වහන්සේ ධර්ම දේශනාවට ඕනෑකමින් සවන් දුන් රට්ඨපාල කුලපුත්‍රයාහට මෙබඳු අදහසක් ඇති විය. භාග්‍යවතුන්වහන්සේ දෙසනාකල ආකාරයට සංසාර විමුක්තිය පතා බ්‍රහ්මචරියාවේ යෙදීම ගිහි ගෙහි වසමින් කිරීම නොකළ හැකිය. ඒ ආකාරයෙන් ගිහිගෙයි වසන්නහු විසින් ඒකාන්තයෙන් සම්පූර්ණකොට ඒකාන්තයෙන් පිරිසිදුකොට ලියනලද සකක් මෙන් කොට මේ බ්‍රහ්මචර්යාවෙහි හැසිරෙන්ට පහසු නොවෙයි. මම හිස රැවුල් කපා කසාවත් හැඳ ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වන්නෙම් නම් යෙහෙkayi කියායි.

§ 5. ඉක්බිති ගෘහපතීහු භාග්‍යවතුන් වහන්සේ විසින් දැහැමිවූ කථාවෙන් කරුණු දක්වන ලද්දාවූ සමාදන් කරවන ලද්දාවූ සිත් තියුණු කරවන ලද්දාවූ සතුටු කරවන ලද්දාවූ ථුල්ලකොට්ඨිත නම් නියම්ගම් වැසි බ්‍රාහ්මණ ගෘහපතීහු භාග්‍යවතුන් වහන්සේගේ දේසනාව ගැන සතුටින් එය අනුමෝදන්ව හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේට වැඳ පැදකුණුකොට ගියාහුය.

ඉක්බිති රට්ඨපාල කුලපුත්‍රයා අනෙක් බ්‍රාහ්මණ ගෘහපතීන් ගිය නොබෝවේලාවකින් භාග්‍යවතුන්වහන්සේ වෙත පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක්පසෙක හිඳ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීවේය. “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරණ ලද ධර්මය මම වටහා ගත් ආකාරයට ගිහිගෙයි වසමින් සින් ඒකාන්තයෙන් සම්පූර්ණකොට ඒකාන්තයෙන් පිරිසිදුකොට ලියන ලද සකක් මෙන් කොට, මේ බ්‍රහ්මචර්යාවෙහි හැසිරෙන්ට පහසු නොවෙයි. ස්වාමීනි මම භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි පැවිදි බව ලබන්නෙමි. උපසම්පදාව ලබන්නෙමියි” කීයේය.

“රට්ඨපාලය, නුඹ ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදිවීමට මව්පියන්ගෙන් අවසර ලබා ගත්තෙහිද”?

“ස්වාමීනි, මම ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවීමට මව්පියන්ගෙන් අවසරයක් නොගත්තෙමි”.
“රට්ඨපාලය, මව්පියන්ගේ අවසරයෙන් තොරව තථාගත සාසනයේ පැවිදි නොකරන්නාහ”
“ස්වාමීනි, ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවීමට මව්පිය අවසර ලබාගෙන එන්නෙමියි” කීය.

§  6. ඉක්බිති රට්ඨපාල කුලපුත්‍රයා හුන් ආසනයෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේට වැඳ, පැදකුණු කොට සිය නිවසට ගොස් මව්පියනට තමන් බුදුන් වහන්සේගේ ධර්මය අසන්නට ගිය බවත් ඉන් තමන් දැන ගත දේත් කියා මෙසේද කීහ.,

“මෑණියෙනි, පියාණෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරණ ලද ධර්මය මා වටහාගත් ආකාරයෙන් ගිහිගෙහි වසන්නහු විසින් බ්‍රහ්ම චර්යාවෙහි හැසිරෙන්ට පහසු නොවෙයි. මම ඉසකේ රැවුල් කපා කසාවත් හැඳ ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවන්ට කැමැත්තෙමි. ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවීමට මට අවසර දුන මැනවැයි” මවුපියන්ට කීයේය.

§ 7. මෙසේ කී කල්හි රට්ඨපාලගේ මව්පියෝ, “පුත රට්ඨපාලය, නුඹ අපගේ ප්‍රියවූ මනාපවූ එකම පුත්‍රයා වුයේය. කිසිදු දුකක් නැතිව ඉතා මත් සැප පහසු කම් දෙමින් අප නුඹව පෝෂණය කළෙමු. යම් කිසි අභාග්‍යය යක් නිසා නුඹ මිය ගියොත් ඒද අපේ කැමැත්තක් නිසා සිදු නොවන්නක් වේ. එසේ වෙත්දී අප කෙසේ නම් නුඹට අප හැරදා ගොස් ශ්‍රමණ වෙස් ගෙන දුක් විඳින්නට අපේ අවසරය දෙන්නෙමුද?”යි රට්ඨපාල කුල පුත්‍රයාට කීවාහුය.

දෙවනුවද රට්ඨපාල සිය දෙමව්පියනට ගිහිගෙය හැර සසුන් ගත වන්නට අවසර ඉල්ලිය. රට්ඨපාලගේ දෙමව්පියන් නැවතද “පුත රට්ඨපාලය, නුඹ අපගේ ප්‍රියවූ මනාපවූ එකම පුත්‍රයා වුයේය. ……අපේ අවසරය කෙසේ දෙන්නෙමුද?” යි කීහ.

තෙවනුවද රට්ඨපාල සිය දෙමව්පියනට ගිහිගෙය හැර සසුන් ගත වන්නට අවසර ඉල්ලිය. රට්ඨපාලගේ දෙමව්පියන් නැවතද “පුත රට්ඨපාලය, නුඹ අපගේ ප්‍රියවූ මනාපවූ එකම පුත්‍රයා වුයේය. එව, කව, බොව, රිසිසේ සැප විඳිමින් අප හා එක්ව වසව . තොප කැමති සේ දන් දෙමින්, පින් කරමින්, සිත් අලවා වාසය කරව. අපි තොපට ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවීමට අවසර නොදෙමු. තොපගේ මරණයෙනුත් අපි නොකැමැත්තෙන් වෙන් වන්නෙමු. කිමෙක්ද? අපි ජීවත්වන්නාවූ තොපට ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවීමට අනුදන්නෙමුදැයි” රට්ඨපාල කුල පුත්‍රයාට කීවාහුය.

එසේ සිය ඉල්ලීම මා පියන් ඉවත ලු කල රට්ඨපාල කුලපුත්‍රයා මව්පියන්ට මෙසේ කීයේය.

“මෑණියෙනි, පියාණෙනි, ඉක්බිති මව්පියන්ගෙන් පැවිදිවීමට අවසර නොලත් රට්ඨපාල එහිම බිම වැතිර “පැවිදිවන්නට මට ඔබ අවසරය නොදෙන්නේ නම් මෙහිම මාගේ මරණය හෝ වන්නේය. පැවිදිබව හෝ වන්නේයයි” කියා වැතිර ගත්තේය.

§  7. රට්ඨපාල ගේ මව්පියෝ රට්ඨපාල නම් කුලපුත්‍රයාට ‘පුත රට්ටපාලය, නුඹ අපගේ ප්‍රියවූ මනාපවූ සුවසේ වැඩුනාවූ සුවසේ පොෂණය කළාවූ එකම පුත්‍රයා වෙහිය, පුත රට්ඨපාලය, නුඹ කිසිත් දුකක් නොදන්නෙහිය. පුත රට්ඨපාලය, නැගීටුව. කව, බොව, ඉඳුරන් පිනවීමද කරව. කමින්, බොමින්, ඉන්ද්‍රියන් පිනවීම කරමින්, කම්සැප විඳිමින්, පින් කරමින්, සිත් සතුටින් අප හා වාසය කරව. අපි නුඹට ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවීමට අවසර නොදෙමු. නුඹගේ මරණයෙනුත් අපි නොකැමැත්තෙන් වෙන් වන්නෙමු. කිමෙක්ද? අපි ජීවත්වන්නාවූ නුඹට ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවීමට අවසර දෙන්නෙමුදැයි” රට්ඨපාල කුලපුත්‍රයාට කීවාහුය. මෙසේ කීකල්හි රට්ඨපාල නිශ්ශබ්ද විය, දෙවනුවද, තුන්වෙනුවද රට්ඨපාලගේ මව්පියෝ රට්ඨපාල ට එසේ කීවාහුය. තුන්වෙනුවද රට්ඨපාල නිශ්ශබ්දවම බිම වැතිරුණ තැනම වූයේය. කිසිත් අහරක් පානයක් නොගෙන දින ගණනක් මා පිය ආයාචනය ගනනකට නොගෙන නිහඬව බිම වැතිර හොත් රට්ඨපාල ක්‍රමයෙන් ශක්තිය හීනවෙමින් දුබල වුයේය. ශරීරය කෘෂව දුර්වර්ණව ගියේය.

§ 8. ඉක්බිති රට්ඨපාල නම් කුලපුත්‍රයාගේ මව්පියෝ රට්ඨපාලගේ යහලුවෝ ගෙන්වා ඔවුනට “දරුවෙනි, මේ රට්ඨපාල දින ගණනක් සිට අහරක් නැතිව පැනක් නැතිව, බිම වැතිර , ‘මෙහිම මාගේ මරණය හෝ පැවිදිබව හෝ වන්නේයයි’ කියා නිදන්නේය. දරුවෙනි රට්ඨපාලට “යහලු රට්ටපාලය, නුඹ මව්පියන්ගේ ප්‍රියවූ, මනාපවූ, සුවසේ වැඩුනාවූ, සුවසේ පොෂණයවූ එකම පුත්‍රයා වේ. යහලු රට්ඨපාලය නුඹ කිසිත් දුකක් නොදන්නෙහිය. යහලු රට්ඨපාලය නැගී සිටුව, කව, බොව, ඉන්ද්‍රියයන් සතුටු කරව, කමින් බොමින් ඉන්ද්‍රියයන් සතුටු කරමින් කම්සැප විඳිමින් පින්කරමින් සිත් අලවා වාසය කරව. මව්පියෝ නුඹට ගිහිගෙන්නික්ම ශාසනයෙහි පැවිදිවීමට අවසර නොදෙත්. නුඹගේ මරණයෙන්ද මව්පියෝ නොකැමැත්තෙන් වෙන්වන්නාහුය. කිමෙක්ද ජීවත්වන්නාවූ නුඹට ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවීමට අවසර දෙන්නාහුදැයි” කියව්යයි කීවාහුය.

§ 9. ඉක්බිති රට්ඨපාලගේ යහලුවෝ රට්ඨපාල වැතිර හුන් තැනට ගොස් රට්ඨපාල ට, ” යහලු රට්ඨපාලය, නුඹ වනාහි මව්පියන්ගේ ප්‍රියවූ මනාපවූ සුවසේ වැඩුනාවූ සුවසේ පොෂණයවූ එකම පුත්‍රයා වෙහිය. ය…..කිමෙක්ද ජීවත් වන්නාවූ නුඹට ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවීමට අවසර දෙන්නාහුදැයි” කීවාහුය.

මෙසේ කී කල්හිද රට්ඨපාල නිශ්ශබ්දවම සිටියේය. දෙවනුවද තුන්වෙනුවද රට්ඨපාල ගේ යහලුවෝ ඔහුට ඇවටිලි කලත් ඔහු නිශ්බ්දවම බිම වැතිර සිටියේය.

§ 10. ඉක්බිති රට්ඨපාලගේ යහලුවෝ රට්ඨපාලගේ මව්පියෝ වෙත ගොස් “මෑනියෙනි, පියානෙනි, මේ රට්ඨපාල බිම වැතිර , ‘මෙහිම මාගේ මරණය හෝ පැවිදිබව වන්නේයයි’ නිදන්නේය. අප කල ඇවිටිලිද ඔහු ගණනකට නොගන්නේය. ඔහුගේ සෞඛ්යද පැයේන් පැය පිරිහී යන්නේය. ඉදින් නුඹලා රට්ඨපාලට ශාසනයෙහි පැවිදිවීමට අවසර නොදෙන්නේ නම් මෙහිම ඔහුගේ මරණය සිදුවන්නේය. ඉදින් නුඹලා රට්ඨපාලට ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවීමට අවසර දෙන්නේ නම් පැවිදිවූ නමුත් ඔහු දක්නහුය. ඉදින් රට්ඨපාල ශාසනයෙහි පැවිදිවී ඉන්නේ නම්, යම් දිනක එහි කලකිරුනේ නම් ඔහු වෙන කොහි යන්නේද? මෙහිම ආපසු එන්නේය. රට්ඨපාලට ශාසනයෙහි පැවිදිවීමට අවසර දෙව්” යයි , කීවාහුය.

” එසේනම් දරුවෙනි, රට්ඨපාලට ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවීමට අවසර දෙමු. පැවිදිවූ පසු ඔහු විසින් මව්පියෝ දැකිමට ආයුතුය’ යි ”, කීවාහුය.

§ 11. ඉක්බිති රට්ඨපාලගේ යහලුවෝ ඔහු වෙත ගොස් ඔහුට “යහලු රට්ඨපාලය, නුඹ මව්පියන්ගේ ප්‍රියවූ මනාපවූ සුවසේ වැඩුනාවූ සුවසේ පොෂ්‍යවූ එකම පුත්‍රයාය. යහලු රට්ඨපාලය, නුඹ කිසිත් දුකක් නොදන්නෙහිය. යහලු රට්ඨපාලය, නැගීටුව, කව බොව. මව්පියන් විසින් ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවීමට අවසර දෙන ලද්දේ වෙහිය. පැවිදිවූ මුත් තොප නුඹගේ මව්පියෝ දැකියයුත්තාහුයයි”, කීවාහුය.

§ 12. ඉක්බිති රට්ඨපාල නැගීසිට උපවාසය හැර අහර ගෙන කාය ශක්තිය උපදවාගත පසු භාග්‍යවතුන් වහන්සේ වැඩහුන් තැනට පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක පසෙක හිඳ, ‘ස්වාමීනි වහන්ස, මම මව්පියන් විසින් ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවීමට අවසර ලද්දේවෙමි. භාග්‍යවතුන් වහන්සේ මා පැවිදි කරණසේක්වායි”, කීයේය. රට්ඨපාලනම් කුලපුත්‍රයා එසේ භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි පැවිදිබව ලැබුයේය. උපසම්පදාවද ලැබූයේය.

§ 13. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත්වූ රට්ඨපාල ස්ථවිරයන් උපසම්පදාවූ නොබෝ කල් ඇති උපසම්පදාවූ අඩමසක් පමණ කල්හි ථුල්ලකොට්ඨිත නම් නියම් ගමෙහි කැමති පරිද්දෙන් වාසය කොට සැවැත්නුවර වෙත චාරිකාවෙහි වැඩියහ. ගම් නගර වල චාරිකා කරමින් භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවරට වැඩ, එහි ජේතවන නම්වූ අනේපිඩු මහ සිටුහුගේ ආරාමයෙහි වැඩ වසති.

§ 14. එකල්හි ආයුෂ්මත් රට්ඨපාල ස්ථවිරයන් තනිව හුදෙකලා වාසය ඇත්තේ අප්‍රමාදව කෙලෙස්තවන වීර්යයෙන් ජීවිත ආශාව පවා අත්හැර වාසය කරන්නේ නොබෝ කලකින්ම යමක් සඳහා කුලපුත්‍රයෝ ගිහිගෙන් නික්ම මනාකොටම ශාසනයෙහි පැවිදිවෙත්ද, බ්‍රහ්මචර්යාවගේ අවසානය වූ ඒ අර්හත් ඵලය මේ ආත්මයෙහිම තෙමේ විශේෂ නුවණින් ප්‍රත්‍යක්ෂ කොට ඊට පැමිණ වාසය කෙළේය.798 ජාතිය කෙළවර කරණ ලද්දීය. මාර්ග බ්‍රහ්මචර්යාව වැස නිමවන ලද්දේය. සතර මගින් කටයුතු දෙය කරණ ලදී. මේ ආත්මභාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දැනගත්තේය. ආයුෂ්මත් රට්ඨපාල ස්ථවිර තෙමේ වනාහි රහතුන් අතුරෙන් එක්තරා කෙනෙක් වූහ.

[798: සුත්‍රයේ කියැවෙන පිදි “නොබෝ කලකින්” යනු ඇත්තටම අවුරුදු දොළොසක් පමණ වූ දිගු කලක් බව අටුවාව දක්වයි. මේ නිරවද්‍ය බව විශ්වාස කරන්නට ඉඩ ඇත්තේ ඔහුගේ නැවත පෑ පියන් දැක්මට ගමට ගිය විට ඔහුව හඳුනාගන්නට පියාට පවා නොහැකිවීම නිසාය.]

§ 15. ඉක්බිති ආයුෂ්මත් රට්ඨපාල ස්ථවිරයන් භාග්‍යවතුන් වහන්සේ වැඩ හුන් තැනට පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක්පසක හිඳ මෙසේ අවසර ඉල්ලීය.

” ස්වාමීනි ඉදින් භාග්‍යවතුන් වහන්සේ මට අවසර දෙන්නේ නම් මම මව්පියන් දකින්ට ථුල්ලකොට්ඨිත ග්‍රාමයට යාමට කැමැත්තෙමියි” කීයේය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් රට්ඨපාල ස්ථවිරයන්ගේ සිත තමන් වහන්සේගේ සිතින් විමර්ශනා කරමින් මෙනෙහි කළහ. දැන් ආයුෂ්මත් රට්ඨපාල ස්ථවිරයන් අරහත් භාවය ප්‍රත්‍යක්ෂ කර ගැන ඇති බවත් කිසිසේත්ම ශික්ෂාව හැර ගිහිබවට පෙරලෙන්ට අසමත් බව දැනගත්හ. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් රට්ඨපාල ස්ථවිරයන්ට “ රට්ඨපාලය, තොපි දැන් කැමැත්තක් ඇති නම් එසේ යව.” යි” වදාළේය.

§ 16. ඉක්බිති ආයුෂ්මත් රට්ඨපාල ස්ථවිර තෙම හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේට වැඳ පැදකුණු කොට පිටව ගොස් සිය සෙනාසනය තැන්පත් කොට තබා පාත්‍රා සිවුරු ගෙණ ථුල්ලකොට්ඨිත නියම්ගම්ට චාරිකාවෙහි ගියේය. පිළිවෙළින් යනුයේ ථුල්ලකොට්ඨිත නම් නියම් ගමට පැමිණියේය.

ආයුෂ්මත්වූ රට්ඨපාල ස්ථවිරයන් එම ථුල්ලකොට්ඨිත නියම් ගම්හි කොරව්‍ය නම් රජු විසින් කරවූ මිගාචීර නම් උයනෙහි 799 වාසය කරයි. ඉක්බිති ආයුෂ්මත් රට්ඨපාල ස්ථවිරතෙම පෙරවරු වේලෙහි හැඳ පෙරවා පා සිව්රු ගෙන ථුල්ලකොට්ඨිත නම් නියම් ගමට පිඬු පිණිස පැමිණියේය. ථුල්ලකොට්ඨිත නම් නියම් ගමෙහි ගෙපිළිවෙලින් පිඬු පිණිස හැසිරෙන්නේ ස්වකීය පියාගේ ගෘහය දෙසට පැමිණියේය.

[799:- සෑම රජ කෙනෙක්ම ආජීවක ආදී ශ්‍රමනයන් ට නවාතැන් ගැනීම පිණිස උයනක යම් ශාලාවක් කර වූ බවට සාක්ෂි තිබේ. මේ මිගාචිර උයනේද එසේ ශ්‍රමනයනට නවාතැනක් විය.]

§ 17. එකල්හි ආයුෂ්මත් රට්ඨපාල ස්ථවිරයන්ගේ පියා ගේ මධ්‍යයෙහිවූ ද්වාරාශාලාවෙහි කරණවෑමීයෙක් ලවා සිය හිස කේ අවුල් හරවයි. ඔහු දුරින් පැමිනෙන්නාවූ ආයුෂ්මත්වූ රට්ඨපාල ස්ථවිරයන්ගේ දුරදීම දුටු මුත්එ මේ එන්න්නානේ සිය පුතා යයි හඳුනා ගන්වූනට අසමත් විය. “ මේ එන්නේ තවත් ශ්‍රමනයෙක්ය මේ හිසමුඩුවූ ශ්‍රමණයන් විසින් අපගේ ප්‍රියවූ මනාපවූ එකම පුත්‍රයා පැවිදි කරවන ලද්දේයයි” කීයේය. කිසි දනක් ශ්මනයනට පිදීමක් ඔහු අනුමත කර නොතිබි හෙයින් කිසිවෙක් රට්ඨපාල හිමියනට දානය පුජා නොකළේය.

ඉක්බිත්තෙන් ආයුෂ්මත්වූ රට්ඨපාල ස්ථවිරයන් ස්වකීය පියාගේ ගෙදර දානයක් නොමලද්දේය. පිළිසඳර වචන මාත්‍රයකුදු නොලද්දේය. ඒකාන්තයෙන් ක්‍රොධ වචනයම ලද්දේය.

§ 18. එකල්හි එනිවස දාසියක් විසින් පෙරදා පිස ඉතිරිවූ පිළුණු වූ යම් යව පිට්ටුවක් අහක දමනු පිණිස ගෙන් පිට පැමිනියා දැක , ඒ දාසියට කතාකොට ,
” නැගනියනි , ඉදින් ඔය ආහාරය ඉවත දමනු පිණිස ගෙන යන්නේ නම්, මාගේ මේ පාත්‍රයෙහි දමව”යි කීය. ඉක්බිත්තෙන් එම දාසිය රාත්‍රියක් ඉක්මවූ ඒ යවපිට්ටුව ආයුෂ්මත් වූ රට්ඨපාල ස්ථවිරයන්ගේ පාත්‍රයෙහි දමන්නී, ස්ථවිරයන්ගේ අත්වලද පාවලද හැඩය දැක, උන්වහන්සේගේ කට හඬේහි ස්වරයෙහිද ශබ්දයද අනුව මේ නම් අපේ ස්වාමි වූ රට්ඨපාල සිටුහුම වේ යයි හැඳින වහ වහා ගෙට ගොස් රට්ඨපාල හිමියන්ගේ මව් දේවිය සොයා,
“අහෝ! ආර්යාවෙනි දන්නෙහිද, රට්ඨපාලනම් අපේ ස්වාමි පුත්‍රයා මේ දැන් පැමිණියේයයි” කීය.
“ඉදින් කෙල්ල සැබැවක් කීයෙහි නම්, තී දාසකමින් නිදහස් වන්නෙහියයි” ඇයට තුති කොට සිටුහු වෙත පැමිණ “අනේ ගෘහපතියෙනි, රට්ඨපාල අපේ පුත්‍රයා පැමිණියේයයි” කීවාය.

§ 19 “එකල්හි ආයුෂ්මත් රට්ඨපාල ස්ථවිරයන් ඒ අසලවූ යම් සෙවනක හිඳ තමා ලද පිළුණු වූ ඒ යවපිට්ටුව වලඳයි.

. එකල්හි ආයුෂ්මත් රට්ඨපාල ස්ථවිරයන්ගේ පියහු ආයුෂ්මත් රට්ඨපාල ස්ථවිරයන් වහන්සේ සොයා එතනට දිව ආයේ මහත් සෝකයෙන් ආයුෂ්මත් රට්ඨපාල ස්ථවිරයන්ට කියනුයේ “මාගේ පුත්‍රවූ රට්ඨපාල යෙනි, මෙවැනි තැනක හිඳ ඉඳුල් කෑම ගන්නේ මන්ද? පුත්‍රවූ රට්ඨපාලය, ස්වකීය ගෙදරට යායුතු නොවේදැයි” කීය.

“ගෘහපතිය ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවූ අපට ගෙදරක් කොයින්ද? ගෘහපතිය, අපි ගෙවල් නැත්තෝ වෙමු. ගෘහපතිය, අප නුඹගේ ගෙදරට ගියෙමු. එහි දානයක් නොම ලදුම්හ. පිළිසඳර වචනයක් නොම ලදුම්හ. ඒකාන්තයෙන්ම ආක්‍රොශයක්ම ලැබුවෙමුයි” කීය.

“පුත්‍රවූ රට්ඨපාලයෙනි, එනු මැනව. ගෙදරට යන්නෙමුයි” කීයේය.
“ගෘහපතිය, ඒ කම් නැත. අද මා විසින් මගේ ආහාර කෘත්‍යයනිම කරණ ලදී”. යි කීහ.
“එසේවී නම්, පුත්‍රවූ රට්ඨපාලයෙනි, සෙට දවස පිණිස ආහාරය ඉවසනු මැනව.” යි පසුදා ආහාරය ගනු පිණිස එන්නට ආරාධනා කළේය. ආයුෂ්මත් රට්ඨපාල ස්ථවිරයන් නිශ්ශබ්දවීමෙන් ඒ ආරාධනය ඉවසීය.

§ 20 . ඉක්බිති ආයුෂ්මත්වූ රට්ඨපාල ස්ථවිරයන්ගේ පියහු ආයුෂ්මත්වූ රට්ඨපාල ස්ථවිරයන්ගේ ඉවසීම දැන ස්වකීය ගෘහය ට ගොස්, ආභරණ තැනූ රන්ද, නොතැනූ රන්ද, මහත් ගොඩක් ගසා, පැලලිවලින් වස්වා, ආයුෂ්මත්වූ රට්ඨපාල ස්ථවිරයන්ගේ පුරාන අඹුවන්ව සිටි ස්ත්‍රීන් කැඳවා ඔවුනට මෙසේ කීහ.

“ලේලිවරුනි, එව්.නුඹලාගේ ස්වාමියා සෙට දවස මෙහි එන්නෝය. නුඹලා යම්සේ පෙර කුලපුත්‍රයාහට ප්‍රිය යම් සැරසීමකින් සැරසුනාහුද , පෙර රට්ඨපාල කුලපුත්‍රයාහට මන වඩන යම් සැරසීමකින් වූවාහුද, ඒ සැරසීමෙන් සැරසෙව්යයි” කීයේය.

§ 21 ඉක්බිති රට්ඨපාල ස්ථවිරයන්ගේ පිය තෙම ඒ රාත්‍රිය ඉක්මීමෙන් ස්වකීය ගෘහයෙහි ප්‍රණීතවූ ආහාරපාන පිළියෙළ කරවා, ආයුෂ්මත් රට්ඨපාල ස්ථවිරයන්ට කල් දැන්වීය. “පුත්‍රවූ රට්ඨපාලයෙනි, ආහාර පිළියෙළ කිරීම නිමවන ලදී. දැන් පැමිණීමට සුදුසු කල් වේයයි” දැන්වීය. ඉක්බිති ආයුෂ්මත් රට්ඨපාල ස්ථවිරයන් පෙරවරුයෙහි හැඳ පොරවා, පාත්‍ර සිව්රු ගෙණ, සිය පියාගේ ගෙදර ට පැමිණ, පණවනලද ආසනයෙහි වැඩ උන්නේය.

§ 22 එවිට ආයුෂ්මත් රට්ඨපාල ස්ථවිරයන්ගේ පියානන් තමන් ගොඩ ගැස්සවූ රන් ගොඩ වසා තිබු වහන් හැර විවෘත කරවා ඒ පෙන්වා ආයුෂ්මත් රට්ඨපාල ස්ථවිරයන්ට මෙසේ කීය,
“පුත්‍රවූ රට්ඨපාලයෙනි, මේ නුඹගේ මෑණියන් ඇවෑමෙන් නුඹ සතුවූ ධනය වේ. සෙස්ස පියාගේ ඇවෑමෙන් නුඹ සන්තකවූ ධනය වේ. සෙසු ධනය මුත්තනුවන් විසින් නුඹ ට හිමි වනසේ වෙන්කළ ධනය වේ. පුත්‍රවූ රට්ඨපාල යෙනි, මේ සම්පත් වලින් නුඹට රිසිසේ සැප විඳින්නට ද, පින් කරන්ටද හැක්කේය. පුත්‍රවූ රට්ඨපාලයෙනි, එනු මැනව. ඔය මහණකම හැරදමා, ගිහිව ඉඳ සියළු සැප සම්පත් අනුභව කරව, පින්ද කරවයි,” කියේය.

“ගෘහපතිය, ඉදින් නුඹ මාගේ වචනය පිලිගන්නෙහි නම්, මේ රන්ගොඩ ගැල්වල පටවා අද්දවා ගංගානම් ගඟ මැද ට ගෙන ගොස් දමනු මැනවි. ඊට හේතු කවරේද? ගෘහපතිය, ඒ ධනය හේතුකොටගෙන ඔබට ශෝකය, වැලපීමය, කායික දුකය, චෛතසික දුකය, දැඩි වෙහෙසය යන මේවා උපදින්නාහුයයි” කීය.

§ 23 .එවිට ආයුෂ්මත් රට්ඨපාල ස්ථවිරයන්ගේ පෙර බිරියන් පැමිණ උන් වහන්සේගේ පාදයන් අල්වාගෙණ ආයුෂ්මත් රට්ඨපාල ස්ථවිරයන්ට මෙසේ කීවාහුය. “ස්වාමිපුත්‍රයෙනි, නුඹවහන්සේ දිව්‍ය අප්සරාවන් පතා800 අප අත් හැර ශ්‍රමණ වත රකින්නෙහිද? ඒ දිව්‍ය අප්සරාවෝ කෙබඳු වෙත්දැයි” ඇසූහ.
“නැගණිවරුනි, අපි දිව්‍ය අප්සරාවන් පතා බ්‍රහ්මචර්යාවෙහි නොහැසිරෙමුයි” කීයේය.

[800:- එදා දඹදිව ශ්‍රමණ ප්‍රතිපත්ති පුරන්නට යන්නෝ කාරනා සතරකට අඩංගු කල හැකි බව මේ සුත්‍රයේ අවසානයෙ § 29 හි කෞරව රජ සඳහන් කරයි. මේ හැරෙන්නට දිව්‍ය ලෝකවල ඉන්නා දිව්‍ය අප්සරාවන් පතා ශ්‍රමණ දම් පුරන්නේයැයි ශ්‍රමණයන්ට අපවාද ලෙස කීමට බ්‍රාහ්මණ ලබ්ධිකයන් පුරුදුව සිටියහ. මේ ස්ත්‍රීන් ආයුෂ්මත් රට්ඨපාල ස්වාමින්වහන්සේගෙන් මෙසේ ඇසුවේ ඒ බඳු අපහාසයකට ය.] .

“ස්වාමිපුත්‍රවූ රට්ඨපාලයන් අපට ‘නැගණිවරුනියි’ කීමෙන් කථා කෙරේයයි” ඔව්හු එහිම මුර්ජාවී වැටුනාහුය.

§ 24. ඉක්බිති ආයුෂ්මත් රට්ඨපාල ස්ථවිරයන් සිය පියා අමතා , “ගෘහපතිය, ඉදින් ඔබ දානය දිය යුතු නම් දෙව්. අප වෙහෙසට හා අපහසුවට පත් නොකරවා දානය පිලිගන්වව” යයි කීය.
“රට්ඨපාල ස්වාමිනි , වළඳනු මැනව. ආහාරය පිළියෙළ කරන ලදැයි” කීයා රට්ඨපාල ස්ථවිරයන්ගේ පියහු ප්‍රණීතවූ ආහාර පානයෙන් වැළඳවීය.

§ 25. ඉක්බිති ආයුෂ්මත් රට්ඨපාල ස්ථවිරයන් දානය වළඳා අවසන්කොට පාත්‍රයෙන් අත් ඉවත්කොට සෝදා ගෙන් පිටව යාමට නැගී සිට මේ ගාථාවන් ප්‍රකාශ කෙළේය.

[1] “විසිතුරුලෙස සරසා වසා සඟවන ලද අසුචි ගොඩක් වැනි කුනපයෙන් පිරුණු,
ඇට නහර ආදියෙන් උඩට ඔසවනලද
ජරා රොගාදියෙන් ආතුරවූ
බොහෝදෙනා විසින් පතන්නාවූ කිසිදු ස්ථිර පැවැත්මක් නැත්තා වූ
මේ ශරීරය දෙස බලව”

[2] “මුතු, මැණික්වලින්, කුණ්ඩලාභරණවලින් විසිතුරු කරනලද,
ඇට කටු වලින් කෙලින් කොට ඇති සම සිවියෙන් වසන ලද
වෛවර්ණ වස්ත්‍ර නිසා අලංකාරවූ මේ ශරීරය දෙස බලව.

[3] “රතු සායමින් සායම් කරනලද්දාවූ පාදයෝද,
සුණුවලින් තවරණ ලද්දාවූ මුහුණ
අඥානයන් මුළා කරන්නට සමත් මුත්,
නිවන් මග සොයන්නා මුලා කිරීමට සමත් නොවේ.

[4] “අට කොටසකට බෙදා ගොතනලද කෙශයෝද,
අඳුන් ගානලද ඇස්ද,
අඥානයන් මුළා කරන්නට සමත් මුත්,
නිවන් මග සොයන්නා මුලා කිරීමට සමත් නොවේ..

[5] “විසිතුරුවූ අළුත්වූ අඳුන් හෙප්පුවක් මෙන්
අලංකාර කරණ ලද්දාවූ මේ කුණු ශරීරය
අඥානයන් මුළා කරන්නට සමත් මුත්,
නිවන් මග සොයන්නා මුලා කිරීමට සමත් නොවේ.

[6] “මුව වැද්දා උගුලක් ඇටෙව්වේය.
මුවා යොදනලද පුඩුවට ලං නොවීය.
නිවාපය (තෘණ ගොදුර) අනුභව කල මුවා,
වැද්දා හඬමින් සිටියදී බේරී ගියාක් මෙන් යන්නෙමු.”

§ 26. එසේ ආයුෂ්මත් රට්ඨපාල ස්ථවිරයන් හිටගෙනම මේ ගාථාවන් කියා පිය නිවසින් නික්ම කොරව්‍ය රජුහුගේ මිගාචීර නම් උයන වෙත පැමිණ, එක්තරා ගසක් මුල දවල් කාලයේ හුන්නේය.

§ 27 . එදින කොරව්‍ය රජතුමා සවස උයනෙහි විවේක සුවය පිණිස යන්නට සිතා මිගව නම් උද්‍යානපාලයාට කථාකෙළේය.
“යහලු මිගවය, මිගාචීර නම් උයන ශුද්ධ පවිත්‍ර කොට පිළියෙළ කරව. සවස් කල උයන දකිනු පිණිස යම්හයි” කීයේය.
“දෙවයන් වහන්ස, ‘එසේය,’ කියා මිගව නම් උද්‍යානපාලක මිගාචීර උයන ශුද්ධකොට පිළියෙල කරන්නේ එක් ගසක් මුල වැඩ උන්නාවූ ආයුෂ්මත් රට්ටපාල ස්ථවිරයන් දැක, මේ රට්ඨපාල සිටු උත බව හැඳින කොරව්‍ය රජ වෙත පැමිණ, මෙසේ කීවේය.

“දෙවයන්වහන්ස, මිගාචීර උයන සුද්ධ කොට පිළියෙල කරනලදී. ස්වාමිනි, මේ ථුල්ලකොට්ඨිත නියම් ගමෙහි ප්‍රධාන කුල ඇත්තහුගේ පුත්‍රවූ රට්ඨපාල නම් කුල පුත්‍රයා ශ්‍රමන වස්ත්‍ර හැඳ එහි එක්තරා ගසක් මුල භාවනා සුවයෙන් ඉන්නේය.. නිරන්තරයෙන් නුඹවහන්සේ ඒ රට්ඨපාල සිටු පුත් ගේ ගුණ කියනු අප අසා ඇති නිසා ඔබතුමාට ඒ බව දන්වමි” යයි කීයේය.
“එසේ නම් යහලු මිගවය, අද දැන් උයනට යන විනෝද ගමනින් කම් නැත. දැන් අපි ඒ පින්වත්වූ රට්ඨපාල ස්ථවිරයන් දකින්නට යමුයි” කීයේය.

§ 28 .ඉක්බිති කොරව්‍ය රජ සිය රාජකීය අස් කරත්තයේ නැගී මහත්වූ රාජානුභාවයෙන් යුක්තව ථුල්ලකොට්ඨිත නියම්ගමින් ආයුෂ්මත් රට්ඨපාල ස්ථවිරයන් දැකීමට නික්මුනේය. යානාවෙන් යා හැකි තරම් දුර යානාවෙන් ගොස්, ඉතිරිය යානාවෙන් බැස, පා ගමනින් ඇවිද ආයුෂ්මත් රට්ඨපාල ස්ථවිරයන් වහන්සේ වැඩ හුන් ගස මුලට පැමිණියේය. පැමිණ, ආයුෂ්මත් රට්ඨපාල ස්ථවිරයන් සමග සතුටු විය යුතුවූ සිහි කටයුතුවූ කතාව කොට නිමවා, එක්පසක සිට , ‘පින්වත් රට්ඨපාල ස්ථවිර යනි, මා ගෙන ආ මෙම ඇතුන්පිට අතුරණ ඇතිරියෙහි වැඩ ඉන්නා සේක්වායි” කීය.“මහරජ, කමක් නැත. නුඹ හිඳගනු මැනව. මම මේ ඉන්නා වූ ආසනයෙහිම හිඳිමි යි” කීය. කොරව්‍ය රජ හිඳගෙන ආයුෂ්මත් රට්ඨපාල ස්ථවිරයන්ට මෙසේ කීයේය .

§ 29. පින්වත්වූ රට්ඨපාල ස්ථවිරයන් වහන්ස, මේ ලෝකයෙහි යමෙක් ගෘහස්ත ජීවිතයේ සැප සම්පත් හැර හිසකේ රැවුල් කපා හැර, කසාවත් හැඳ, ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි ව දුෂ්කර වූ ශ්‍රමණ ජීවිතය තෝරා ගන්නට හේතු සතරක් වේ යැයි මා අසා ඇත්තෙමි. එනම් සතර ආකාරයකින් තමනට පිරිහීමක් වූ විටය. කවර සතරක් ද යත්:

(i) වයසින්, ජරාවට පැමිණීමෙන් පිරිහීමය,
(ii) ලෙඩ රෝගාදිය සෑදීමෙන් පිරිහීමය,
(iii) වස්තුවෙන් පිරිහීමය,
(iv) නෑයන්ගෙන් පිරිහීමය යන සතරයි.

§ 30. පින්වත්වූ රට්ඨපාල ස්ථවිරයන් වහන්ස, වයසින් ජරාවට පැමිණීමෙන් පිරිහීම නම් කවරේද?

පින්වත්වූ රට්ඨපාල ස්ථවිරයන් වහන්ස, වයසින් බොහෝ කල් ගතවූ මනුෂ්‍යයෝ වයස්ගත ව ජරාවට පැමිණියේ වෙයි., වයසට පැමිණියේ ජාතියෙන් මහලුවූයේ, බොහෝ කල් ඉක්මගියේ, අන්තිම වයසට පැමිණියේ වේද, හෙතෙම මෙසේ කල්පනා කරයි. ‘මම දැන් දිරාගියේ වෙමි. වයස්ගත වූයේ වෙමි. මහලුවීමි. බොහෝ කල් ඉක්මගියේ වෙමි. අන්තිම වයසට පැමිණියෙමි. මා විසින් දැන් නොලද්දාවූ සම්පත් ලබන්ට හෝ ලැබුවාවූ සම්පත් දියුණු කරන්ටද පහසු නොවෙයි. මම හිසකේ රැවුල් කපාහැර, කසාවත් හැඳ, ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වන්නෙම් නම් ඉතා යෙහෙකැයි’ සිතන්නේය.හෙතෙම ඒ ජරාව නිසා පිරිහීමෙන් යුක්තවූයේ හිස රැවුල් කපා කසාවත් හැඳ, ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වෙයි.

පින්වත්වූ රට්ටපාල ස්ථවිරයෙනි, මේ ජරාවෙන් පිරිහීමයයි කියනු ලැබේ. පින්වත් රට්ඨපාල ස්ථවිරයනි ඔබ තවමත් භද්‍ර යෞවනයේ ඉන්නා කලු හිසකේ ඇති යහපත්වූ තරුණ භාවයෙන් යුක්ත, පළමු වයසින් යුක්තවූයේ වෙයි. පින්වත්වූ රට්ඨපාල ස්ථවිරයන්ට ඔබට ඒ කියූ අයුරු ජරාවෙන් පිරිහීමක් නැත. පින්වත් රට්ඨපාල ස්ථවිර යානි, ඔබ කුමක් දැන හෝ දැක හෝ අසා හෝ ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූයේද?“

§ 31. පින්වත් රට්ඨපාල ස්ථවිරයෙනි, රොගාබාධ නිසාවන ව්‍යාධි පිරිහීම නම් කවරේද?

පින්වත් රට්ඨපාල ස්ථවිරයෙනි, මේ ලෝකයෙහි ඇතමෙක් නිතොර රෝග ආබාධ ඇත්තේ දුකින් පෙලුනේ දැඩි සේ ගිලන්වූයේ වෙයි. හෙතෙම මෙසේ කල්පනා කරයි ‘මම දැන් හටගත් ආබාධ ඇත්තේ දුකින් පෙලුනේ දැඩි ගිලන්වූයේ වෙමි. ඒ නිසා දැන් මා විසින් නොලබනලද සම්පත් ලබන්ට හෝ ලබනලද සම්පත් දියුණුකරන්ට හෝ අසමත් වෙමි. මම ඉසකේ රැවුල් කපාහැර කසාවත් හැඳ ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවන්නෙම් නම් යෙහෙක, කියායි. හෙතෙම ඒ ව්‍යාධි පරිහානිය නිසා පිරිහීමෙන් යුක්තවූයේ හිස රැවුල් කපා කසාවත් හැඳ, ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වෙයි.

පින්වත්වූ රට්ටපාල ස්ථවිරයෙනි, මේ ව්‍යාධි පිරිහීමයයි කියනු ලැබේ. පින්වත් රට්ඨපාල ස්ථවිරයනි ඔබ තවමත් භද්‍ර යෞවනයේ ඉන්නා කිසිදු රෝග ආබාධයක් නැත්තා වූ නිරෝගී යහපත් සෞඛ්‍යයෙන් යුතු තරුණයෙක. පින්වත් රට්ඨපාල ස්ථවිර දැන් ආබාධ නැත්තේ නීරොගවූයේ ඉතා මදද නොවූ ඉතා වැඩිද නොවූ සමවූ පැසවීම් ඇත්තාවූ ග්‍රහණියෙන් (ජඨරාග්නියෙන්) යුක්තවූයේ වේ. පින්වත් රට්ඨපාල ස්ථවිරයන්ට ඒ ව්‍යාධිය නිසා පිරිහීමක් නැත්තේය.

පින්වත් රට්ඨපාල ස්ථවිරයනි ඔබ කුමක් දැන හෝ දැක හෝ අසා හෝ ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවූයේද?ඔබ ට මිසිදු ව්‍යාධි පිරිහීමක් නැත. පින්වත් රට්ඨපාල ස්ථවිර යානි, ඔබ කුමක් දැන හෝ දැක හෝ අසා හෝ ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූයේද?“

§ 32. “පින්වත් රට්ඨපාල ස්ථවිරයන් වහන්ස, වස්තුවෙන් පිරිහීම නම් කවරේද?

පින්වත් රට්ඨපාල ස්ථවිරයන් වහන්ස, මේ ලෝකයෙහි ඇතමෙක් වස්තුවෙන් ආඪ්‍යවූයේ මහත් ධන සම්පත් ඇත්තේ වේ. මහත් වූ අනෙකුත් සම්පත් ඇත්තේ වේ. එනමුත් කලකදී ඔහුගේ වස්තුව පිළිවෙළින් විනාශවීමට පත් වෙයි. එවිට හෙතෙම මෙසේ කල්පනා කරයි. ‘මම පෙර වස්තුවෙන් ආඪ්‍යව මහත් ධන සම්පත් ඇතිව හුන්නෙමි.. ඒ මාගේ සම්පත් පිළිවෙළින් විනාශයට පත් විය. ඒ නිසා දැන් මා විසින් නොලබනලද සම්පත් ලබන්ට හෝ ලබනලද සම්පත් දියුණුකරන්ට හෝ අසමත් වෙමි. මම ඉසකේ රැවුල් කපාහැර කසාවත් හැඳ ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවන්නෙම් නම් යෙහෙක, කියායි. හෙතෙම ඒ ධන පරිහානිය නිසා පිරිහීමට පත්වූයේ හිස රැවුල් කපා කසාවත් හැඳ, ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වෙයි

පින්වත්වූ රට්ටපාල ස්ථවිරයෙනි, මේ වස්තු පිරිහීමයයි කියනු ලැබේ. පින්වත් රට්ඨපාල ස්ථවිරයනි ඔබ සන්තකව බොහෝ ධනය වස්තුව ඇත්තේ, මේ රාජ්‍යයේ රජ වන මා ලඟට ධන සම්පත් ඇත්තේ ඔබටය. එබඳු මහා ධන හා වස්තු සම්පත් හිමි ඔබ ට වස්තු සම්පත් නිසා පිරිහීමක් නැත්තේය. එබඳු ධන සම්පත් හිමි ඔබ කුමක් දැක හෝ කුමක් අසා හෝ ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවූයේද?

§ 33. “පින්වත් රට්ඨපාල ස්ථවිරයන් වහන්ස, බන්ධු පරිහානිය යනු කුමක්ද යත්:

පින්වත් රට්ඨපාල ස්ථවිරයන් වහන්ස, මේ ලෝකයෙහි ඇතමෙක්න් බොහෝ ඥාති පිරිස් ඇතිව, බොහෝ පරිවාර ස්ත්‍රී පුරුෂයන් ඇතිව බොහෝ මිත්‍රයන් ඇතිව විනෝදයෙන් ප්‍රීතියෙන් ජීවත් වේ. නමුත් යක් කලකදී ඔහුගේ ඒ බන්ධුන්, පරිවාර පිරිස්, මිත්‍රයන් ඔහු හා විනෝද වන්නට එක් නොවන්නේද එවිට හෙතෙම මෙසේ කල්පනා කරයි. ‘මම පෙර බොහෝ ඥාති මිත්‍රයන් පරිවාර පිරිස් සමග හුන්නෙමි.. ඒ මාගේ ඥාතින් , මිතුරන් හා පරිවාර පිරිස් මා හැර දමා ගියාහුය. ඒ නිසා දැන් මා විසින් නොලබනලද සම්පත් ලබන්ට හෝ ලබනලද සම්පත් දියුණුකරන්ට හෝ කුමට වෑයම් කරම්ද? මම ඉසකේ රැවුල් කපාහැර කසාවත් හැඳ ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවන්නෙම් නම් යෙහෙක, කියායි. හෙතෙම ඒ පරිවාර පරිහානිය නිසා පිරිහීමට පත්වූයේ හිස රැවුල් කපා කසාවත් හැඳ, ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වෙයි

පින්වත්වූ රට්ටපාල ස්ථවිරයෙනි, මේ ඥාති මිත්‍ර පිරිහීමයයි කියනු ලැබේ. පින්වත් රට්ඨපාල ස්ථවිරයනි ඔබ ට බොහෝ ඥාතින් ඇත්තාහ. බොහෝ මිත්‍රයන් ඇත්තාහ. මේ තරම් විසාල පරිවාර සෙනගක් ඇති ඔබට බන්ධු පිරිහීමක් නැත්තේය. එබඳු පරිවාර සම්පත් හිමි ඔබ කුමක් දැක හෝ කුමක් අසා හෝ ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවූයේද?

“පින්වත්වූ රට්ඨපාල ස්ථවිරයන් වහන්ස, යම් පිරිහීමකින් යුක්තවූ මේ ලෝකයෙහි සමහරු හිසකේ රැවුල් කපාහැර කසාවත් හැඳ ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වෙත්ද, මේ ඒ පිරිහීම් සතර වෙත්. පින්වත් රට්ඨපාල ස්ථවිරයන් වහන්සේට ඒ පිරිහීම් කිසිත් නැත්තේය. පින්වත් රට්ඨපාල ස්ථවිර තෙමේ කුමක් දැන හෝ දැක හෝ අසා හෝ ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවූයේදැ”යි ඇසුවේය.

§ 34 . “මහරජ, භාග්‍යවත්වූ සියල්ල දන්නාවූ සියලු ධර්මයන් දක්නාවූ අර්හත්වූ ඒ සම්‍යක්සම්බුද්ධයන් විසින් කොටින් වදාළ ධර්මපද සතරක් වෙත්. මේ ඒ ධර්මපද සතර දැන දැක අසා ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවූයෙමි.

ඒ ධර්මපද සතර නම් කවරහුද යත්?

(i) මහරජ ‘ලෝවැසියා ජරා මරණ දෙක දෙසට නිරතුරුවම ගමන්ට කෙරෙයි .

යනු භාග්‍යවත්වූ සියල්ල දන්නාවූ සියලු ධර්මයන් දක්නාවූ අර්හත්වූ ඒ සම්‍යක්සම්බුද්ධයන් වහන්සේ විසින් වදාළ පළමුවෙනි ධර්මපදයයි. මම එය දැනද දැකද අසාද ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවූයෙමි.

(ii) “මහරජ, ‘ලෝවැසියා හට කිසිදු ආරක්ෂාවක් නැත්තේය. කිසි පිහිටක් නැත්තේය’

“අත්තාණෝ ලෝකෝ අන්භිස්සරෝති”
යනු භාග්‍යවත්වූ සියල්ල දන්නාවූ සියලු ධර්මයන් දක්නාවූ අර්හත්වූ ඒ සම්‍යක්සම්බුද්ධයන් වහන්සේ විසින් වදාළ දෙවැනි ධර්මපදයයි. මම එය දැනද දැකද අසාද ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවූයෙමි.

(iii) “මහරජ, ‘ලෝවැසියාට තමා සතුවූ කිසිවක් නැත්තේය. ඔහු සියල්ල හැර යා යුතුය’
“අස්සකෝ ලෝකෝ සබ්බං පහාය ගනනීයන්ති.”

යනු භාග්‍යවත්වූ සියල්ල දන්නාවූ සියලු ධර්මයන් දක්නාවූ අර්හත්වූ ඒ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් වදාළ තුන්වැනි ධර්මපදයයි. මම එය දැනද දැකද අසාද ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූයෙමි.

(iv) “මහරජ ‘ලොකවාසී සත්වයා කිසිදා සෑහීමකට පත් නොවේය. තණ්හාවට දාසවූයේය’
“ඌණෝ ලෝකෝ අතිත්තෝ තන්හාදාසෝ”

යනු භාග්‍යවත්වූ සියල්ල දන්නාවූ සියල්ල දක්නාවූ ඒ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් වදාළ සතරවැනි ධර්මපදයයි. මම එය දැනද දැකද අසාද ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූයෙමි.

මහරජ, භාග්‍යවත්වූ සියල්ල දන්නාවූ සියලු ධර්මයන් දන්නාවූ අර්හත්වූ ඒ සර්වඥයන් වහන්සේ විසින් මේ ධර්මපද සතර කොටින් වදාළහ. මම ඒ ධර්මපද සතර දැනද දැකද අසාද ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවූයෙමි.”

(i) උපනීයති ලෝකෝ අද්ධුවෝති

§ 35 . “පින්වත් රට්ඨපාල ස්ථවිරයනි ’
‘ලෝවාසිහු ජරා මරණ දෙකදෙක දෙසට නිරතුරුවම ගමන්ට කෙරෙයි . ඔහු බොහෝ කල් නොපවත්නේයයි,
උපනීයති ලෝකෝ අද්ධුවෝති ‘යි කීසේක. පින්වත් රට්ඨපාල ස්ථවිරයන් වහන්ස, මේ කීමේ අර්ථය කෙසේ දැනගත යුතුද?”

“මහරජ, ඒ කුමකැයි සිතන්නෙහිද?
මහරජ, නුඹ විසි වයස් කල්හි දී කල කී දෑ මතකයෙහි ඇත්ද?. ඔබ පස්විසි වයස් කල්හිද හස්තිශිල්පයෙහිද දක්ෂවූයේද? අශ්ව ශිල්පයෙහිද දක්ෂවූයේද? රථ ශිල්පයෙහිද පුරුදුවූයේද? දුනු ශිල්පයෙහිද කළ පුරුද්ද ඇත්තේ වීද? කඩු ශිල්පයෙහිද සමර්ථ වූයේද? පාදයන්හිද බල ඇත්තේ වී ද ? අත්වලද බල ඇත්තේ වීද? යුද්ධයෙහි දක්ෂවූයේද? යුද්ධ කිරීමට සමර්ථවූවෙක් වූයෙහිදැ”යි ඇසුයේය.

“පින්වත් රට්ටපාල ස්ථවිරයන් වහන්ස, මම විසිවයස් ඇතිකල්හි පස්විසි වයස් ඇතිකල්හි හස්ති ශිල්පයෙහිද දක්ෂ වූවෙක් වීමි, අශ්වශිල්පයෙහිද දක්ෂවූවෙක් වීමි. රථනැගීමෙහිද පුහුණු වූවෙක් වීමි. දුනු ශිල්පයෙහිද දක්ෂවූවෙක් වීමි. කඩු ශිල්පයෙහිද මනා පුරුද්ද ඇත්තෙක් වීමි. මගේ පාදයන්හිද මගේ අත්වලද බොහෝ ශක්තිය බලය ඇත්තෙක් වීමි. යුද්ධයෙහි සූරයෙක්ද වීමි. යුද්ධ කිරීමට බොහෝ සමර්ථවීමි. පින්වත්වූ රට්ටපාල ස්ථවිරයන් වහන්ස, සමහර විටෙක මම ඍද්ධි ඇත්තෙකු මෙන් සිතුවක් කරන්නට සමතෙකැයි මම සිතුවෙමි. මාගේ බලය හා සමවූ බල ඇත්තෙකු මම නොදත්මියි” රජු කීයේය.

“මහරජ, ඒ කුමකැයි හඟින්නෙහිද?
එපරිද්දෙන්ම දැනුත් නුඹගේ අත් පා වල ශක්තිය බලය ඇත්තේද? එකල මෙන්ම ඔබ දැනුත් , යුද්ධයෙහි ශූර වූයේද? යුද්ධකරන්ට සමර්ථවූවෙක් වෙහිදැ”යි. (ඇසූයේය)
“පින්වත් රට්ඨපාල ස්ථවිරයන් වහන්ස, ඒ නම් එසේ නොවේ මැයි, මා දැන් වයස් ගතව ඉඳිමි. මගේ ගත ජරාවෙන් දිරාගියේය. මා වයසින් වැඩිවූයේ මහලුවූයේ වයස් ඉක්ම ගියේ අන්තිම වයසට පැමිණියේ වෙමි. මට දැන් අවුරුදු අසූවක් පමණ වයස් වෙයි. සිටිමි. පින්වත් රට්ඨපාල ස්ථවිරයන් වහන්ස, සමහර කලෙක මම මෙහි පය තබන්නෙමියි සිතා පැය තබන විට මගේ පය අන් තැනෙක්හිම තැබෙයි” යි කීයේය.

§ “මහරජ, මේ නිසාම භාග්‍යවත්වූ සියල්ල දන්නාවූ සියලු ධර්මයන් දක්නාවූ ඒ සම්මා සම්බුදුන් විසින් ලෝවාසිහු ජරා මරණ දෙකදෙක දෙසට නිරතුරුවම ගමන්ට කෙරෙයි . ඔහු බොහෝ කල් නොපවත්නේයයි,
උපනීයති ලෝකෝ අද්ධුවෝති ‘යි වදාරණ ලදී. මම ඒ කාරණය දැනද දැකද අසාද ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවූයෙමි” කීයේය.

“පින්වත් රට්ඨපාල ස්ථවිරයන් වහන්ස, ආශ්චර්යය, පින්වත් රට්ටපාල ස්ථවිරයන් වහන්ස පුදුමය. භාග්‍යවත්වූ සියල්ල දන්නාවූ සියලු ධර්මයන් දක්නාවූ අර්හත්වූ ඒ සම්මා සම්බුදුන් විසින් “ලෝවාසිහු ජරා මරණ දෙකදෙක දෙසට නිරතුරුවම ගමන්ට කෙරෙයි . ඔහු බොහෝ කල් නොපවත්නේය“යි, යන මේ කාරණය ඉතාම යහපත් කොට දේශනා කරණලදී. පින්වත් රට්ඨපාල ස්ථවිරයන් වහන්ස, ‘ලෝවාසිහු ජරා මරණ දෙක දෙසට නිරතුරුවම ගමන් කෙරෙයි . ඔහු බොහෝකල් නොපවත්නේමැයි”

(ii) “අත්තාණෝ ලෝකෝ අනභිස්සරෝති”

§ 36 . “පින්වත් රට්ඨපාල ස්ථවිරයන් වහන්ස, අපට යම් උවදුරක් විපතක් පැමිණි කල්හි අපගී ආරක්ෂාව පිණිස පවත්නාහු බොහෝ වෙති. මට එබඳුවූ හස්ති සේනාවෝද අශ්ව සේනාවෝද රථ සේනාවෝද පාබල සේනාවෝද මේ රජකුලයෙහි ඇත්තාහ.
ලෝ වැසියාට කිසි ආරක්ෂාවක් නැත්තේය. කිසි පිහිටක් නැත්තේය“යි කියා ඔබ වහන්සේ කීයේය. පින්වත් රට්ඨපාල ස්ථවිරයන් වහන්ස, මේ වචනයෙහි අර්ථය කෙසේ දත යුතුදැයි” විචාළේය.

“මහරජ, ඒ කුමකැයි සිතන්නෙහිද?
තොපට බෙහෙතින් සුව කිරීමට අසීරු , ඔබ සිරුර නොහැර පවත්නාවූ කිසියම් ශාරීරික ආබාධයක් ඇත්තේදැයි” ඇසීය.

“පින්වත් රට්ඨපාල ස්ථවිරයන් වහන්ස, එසේය. මට කලක සිට පවතින්නාවූ සුව නොවෙන වාතාබාධයෙක් ඇත්තේය. පින්වත් රට්ඨපාල ස්ථවිරයන් වහන්ස, සමහර කලෙක මා ඉතා දැඩි ලෙස ගිලන්වූ කල මගේ යහළු මිත්‍රයෝද ලේ නෑයෝද මා වැතිර ඉන්නා ඇඳ පිරිවරා දැන් දැන් කොරව්‍ය රජ කලුරිය කරන්නේය. දැන් කොරව්‍ය රජ කලුරිය කරන්නේයයි සිටියෝය.”

“මහරජ ඒ කුමකැයි හඟින්නෙහිද?”
පින්වත්නි, “මාගේ යාළු මිත්‍රයෝද ලේ නෑයෝද අවුත් මම මේ රෝගය නිසා විඳින්නාවූ මේ දැඩි සරීර වේදනාව මට මදක් හෝ අඩුවන පිණිස මේ වේදනාව සියල්ලෝම බෙදා ගනිව්යයි” දුක් වේදනාව බෙදාදිය හැකි යාළු මිත්‍රයන් හෝ නෑසහ ලේ නෑයන් හෝ නුඹට ඉන්නෙහිද? නැතිනම් නුඹම ඒ වේදනාව තනිව විඳින්නෙහිදැයි” ඇසුවේය.

“පින්වත් රට්ඨපාල ස්ථවිරයන් වහන්ස, එසේ මාගේ වේදනාව බෙදාගන්නට හැකි යාළු මිත්‍රයන් හෝ ලේ නෑයන් හෝ නැත. මමම ඒ වේදනාව විඳිමියි” කීයේය.

“මහරජ, ඒ නිසාම භාග්‍යවත්වූ සියල්ල දන්නාවූ සියලු ධර්මයන් දක්නාවූ අර්හත්වූ ඒ සර්වඥයන් වහන්සේ විසින් “ලෝවැසියාට කිසි ආරක්ෂාවක් නැත්තේය. කිසිපිහිටක් නැත්තේය“යි’යි වදාරණ ලදී. මම ඒ කාරණය දැන දැක අසා ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවූයෙමියි” කීයේය.

“පින්වත් රට්ඨපාල ස්ථවිරයන් වහන්ස, ආශ්චර්යයෙක පින්වත් රට්ඨපාල ස්ථවිරයන් වහන්ස, පුදුමයකි. භාග්‍යවත් වූ සියල්ල දන්නාවූ සියලු ධර්මයන් දක්නාවූ අර්හත්වූ ක්නාවූ අර්හත්වූ ඒ සම්මා සම්බුදුන් විසින් “ලෝවැසියාට කිසි ආරක්ෂාවක් නැත්තේය. කිසිපිහිටක් නැත්තේය“යි, යන මේ කාරණය ඉතාම යහපත් කොට දේශනා කරණලදී. පින්වත් රට්ඨපාල ස්ථවිරයන් වහන්ස. , “ලෝවැසියාට කිසි ආරක්ෂාවක් නැත්තේය. කිසිපිහිටක් නැත්තේමය“යි. කීයේය.

(iii) “අස්සකෝ ලෝකෝ සබ්බං පහාය ගනනීයන්ති.”

§ 37 . “පින්වත් රට්ඨපාල ස්ථවිරයන් වහන්ස, අප රාජ මාලිගාවෙහි හා භාන්ඩාගාරවල ඇති මහතා රන් රිදී ද කහවනුද, මිල කල නොහැකි තරම් මිනි මුතු, දියමන්ති ආදියද ගබඩා කර ඇත්තේය. එනමුත් ඔබ වහන්සේ විසින් “ලෝවැසියාට තමා සතුවූ කිසිවක් නැත්තේය. ඔහු සියල්ල හැර යා යුතුය” යි කියා කියන ලද්දේය.

පින්වත් රට්ඨපාල ස්ථවිරයන් වහන්ස, මෙසේ කියන ලද වචනයාගේ අර්ථයතෙම කෙසේ දතයුත්තේදැයි ඇසීය.

“මහරජ, ඒ කුමකැයි හඟින්නෙහිද?
“නුඹ මෙකල්හි ඒ මාලිගයේ ඇති වස්තුව නිසා පඤ්චකාම සම්පත්තියෙන් යුක්තව කැමති කැමති සැප විඳින්නෙහිය. නුඹ මිය පරලොව ගිය පසුත් පරලොවදිත් මෙපරිද්දෙන්ම මේ ධනය පාවිච්චි කොට මේ පඤ්ච කාම සම්පත්තියෙන්ම යුක්තව සැප විඳීම ලබන්නෙහිද, නැතිනම් අන්‍යයෝ මේ ධනය, සම්පත්තිය භුක්ති විඳින්නේද?” යි කීයේය.

“පින්වත් රට්ඨපාල ස්ථවිරයන් වහන්ස, මම මෙකල්හි මේ සම්පත් නිසා සැප විඳින්නෙම්. එනමුත් මේ අති මහත් රන් රුවන් මුතු මැණික් ඈ මේ සම්පත් කිසිවක මට පරලොව ගෙන යා නොහැක. ඒ සියල්ල මගේ ඇවෑමෙන් මගේ පරපුරේ අන් කිසිවෙකු සතු වන්නේය. එහෙයින් පරලොව්හිද මෙපරිද්දෙන්ම මේ පඤ්චකාමසම්පත්තියෙන්ම යුක්තව සැප විඳීම සිදු නොවන්නට පිළිවන. මම මා කල කර්ම අනුව පරලොව දී ලබන්නක්ම ලබන්නෙමි”යි” කීයේය.

“මහරජ, මෙසේ වූ කාරණය නිසා භාග්‍යවත්වූ සියල්ල දන්නාවූ සියලු ධර්මයන් දක්නාවූ අර්හත්වූ ඒ සර්වඥයන් වහන්සේ විසින් ‘”ලෝවැසියාට තමා සතුවූ කිසිවක් නැත්තේය. ඔහු සියල්ල හැර යා යුතුය”යි’ වදාරණ ලදී. මම ඒ කාරණය දැනද දැකද අසාද ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූයෙමියි” කීයේය.

“පින්වත් රට්ටපාල ස්ථවිරයන් වහන්ස, ආශ්චර්යය, පින්වත් රට්ඨපාල ස්ථවිරයන් වහන්ස, පුදුමය. භාග්‍යවත්වූ සියල්ල දන්නාවූ ධර්මයන් දක්නාවූ අර්හත්වූ ඒ සර්වඥයන් වහන්සේ විසින් වදාළ පරිදි “ලෝවැසියාට තමා සතුවූ කිසිවක් නැත්තේය. ඔහු සියල්ල හැර යා යුතුය” යන මේ කාරණය ඉතාම යහපත්කොට වදාරණ ලදී.

පින්වත් රට්ඨපාල ස්ථවිරයන් වහන්ස, ලෝවැසියාට තමා සතුවූ කිසිවක් නැත්තේය. ඔහු සියල්ල හැර යා යුතුයයි” කීයේය.

(iv) “ඌණෝ ලෝකෝ අතිත්තෝ තන්හා දාසෝ”

§ 38 . “ලොකවාසී සත්වයා කිසිදා සෑහීමකට පත් නොවේය. තණ්හාවට දාසවූයේය’ යයි, පින්වත් රට්ඨපාල ස්ථවිර කීයේය. පින්වත් රට්ඨපාල ස්ථවිරයන් වහන්ස මේ කීමේ අර්ථය කෙසේ දතයුතු දැයි” විචාළේය.

“මහරජ, ඒ කුමකැයි හඟින්නෙහිද?
ඔබ සියල්ලෙන් සමෘද්ධවූ කුරුරටට අධිපතිව වාසය කරන්නේදැයි” ඇසීය.
“ පින්වත් රට්ඨපාල ස්ථවිරයන් වහන්ස, එසේය. සමෘද්ධවූ කුරුරටට අධිපතිව මම වාසය කරමියි” කීයේය.

“මහරජ ඒ කුමකැයි සිතන්නෙහිද?
කුරු රටට නැගෙනහිර දිශාවෙන් ඔබගේ විශ්වාසවන්ත වූ ඇදහිය යුතුවූ විශ්වාස කටයුතුවූ රාජ පුරුෂයෙක් එන්නේය. හෙතෙම නුඹ කරා පැමිණ මෙසේ කියන්නේය. ‘මහරජ, කාරණයක් දන්නෙහිද, මම නැගෙනහිර දිශාවෙන් වූ රටක සිට එමි. ඒ දිශාවෙහි ඉතා සමෘද්ධවූද, සම්පත් පිරුණාවූද බොහෝ මිනිසුන්ගෙන් ගැවසී ගත්තාවූ මහත්වූ ජනපදයක් දුටුවෙමි. එහි හස්ති සේනාවෝද අශ්ව සේනාවෝද රථ සේනාවෝද පාබල සේනාවෝද බොහෝ වෙත්. ඒ ජනපදයෙහි ඇත් අස් සෙනගද බොහෝය. එහි වැඩ කළා වූද වැඩ නොකළාවූද රත්රන් බොහෝය. කුඩා බලසෙනගකින් එරට ජයගන්ටද හැක්කේය. මහරජ, එරට අල්ල ගනු මැනව. ජයගනු මැනවැයි’ කියන්නේය. එවීට ඔබ කුමක් කරන්නෙහිද?”
“පින්වත් රට්ඨපාල ස්ථවිරයන් වහන්ස, මම වහා ඒ රට ආක්‍රමණය කොට එයද දිනාගෙන වාසය කරම්හයි” කීයේය.

“මහරජ ඒ කුමකැයි හඟින්නෙහිද,
මෙරටට බස්නාහිර දිශාවෙන් ඇදහිය යුතු විශ්වාස කටයුතුවූ පුරුෂයෙක් එන්නේය. හෙතෙමද …….

මහරජ ජය ගණුවයි,’ කියන්නේය. ඊට කුමක් නම් කරන්නෙහිදැයි,” ඇසීය.
“පින්වත් රට්ඨපාල ස්ථවිරයන් වහන්ස, අපි ඒ ජනපදයද ජයගෙණ වාසය කරම්හයි” කීයේය.

“මහරජ ඒ කුමකැයි හඟින්නෙහිද?
තොපට “උතුරු දිශාවෙන්ද මහරජ තොපට ඇදහිය යුතු විශ්වාස කටයුතු වූ පුරුෂයෙක් එන්නේය. හෙතෙමද මහරජ ජය ගනුවයි’ කියන්නේය. ඊට කුමක් නම් කරන්නේදැයි” ඇසීය.
“පින්වත් රට්ඨපාල ස්ථවිරයන් වහන්ස, අපි ඒ ජනපදයද ජයගෙණ වාසය කරම්හයි” කීයේය.

“දකුණු දිශාවෙන්ද මහරජ ඒ කුමකැයි සිතන්නේද? මෙහි තොපට ඇදහිය යුතු විශ්වාස කටයුතුවූ පුරුෂයෙක් එන්නේය. මහරජ, ජයගනුවයි කියන්නේය. ‘එයට කුමක් නම් කරන්නෙහිදැයි” ඇසුවේය.
“පින්වත් රට්ඨපාල ස්ථවිරයන් වහන්ස, අපි ඒ ජනපදයද ජය ගෙණ වාසය කරම්හයි” කීයේය.

මුහුදට එතරින්ද ඇදහිය යුතු විශ්වාස කටයුතුවූ පුරුෂයෙක් එන්නේය….. ඔහුද රජ තුමනි, ඒ මුහුදින් එතර රට ජයගන්ටද හැක්කේය. මහරජ, ජයගනු මැනවැයි’ කියන්නේය. එවීට ඔබ කුමක් කරන්නෙහිදැයි” ඇසුයේය.
“පින්වත් රට්ඨපාල ස්ථවිරයන් වහන්ස, අපි ඒ එතර රටද ජය ගෙණ වාසය කරම්හයි” කීයේය.

“මහරජ, තොපට අන් රටක් අල්ල ගැනීමෙන් ලැබෙන වැඩි යමක් නැතිවද තොප සැම රටක්ම අල්ලා ගන්නට යන්නේ තොපගේ තන්හාව නිසාය. මේ කාරණය නිසා භාග්‍යවත්වූ සියල්ල දන්නාවූ සියලු ධර්මයන් දක්නාවූ අර්හත්වූ ඒ සර්වඥයන් වහන්සේ විසින් “ලොකවාසී සත්වයා කිසිදා සෑහීමකට පත් නොවේය. තණ්හාවට දාස වූයේය’ යි වදාරණ ලදී.

මම ඒ කාරණය දැනද දැකද අසාද ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවීමි ”යි කීයේය.

“පින්වත් රට්ඨපාල ස්ථවිරයන් වහන්ස, ආශ්චර්යය, පින්වත් රට්ඨපාල ස්ථවිරයන් වහන්ස, පුදුමය, භාග්‍යවත්වූ සියල්ල දන්නාවූ සියලු ධර්මයන් දක්නාවූ අර්හත්වූ ඒ සර්වඥයන් වහන්සේ විසින් වදාළ ‘ලොකවාසී සත්වයා කිසිදා සෑහීමකට පත් නොවේය. තණ්හාවට දාසවූයේය’, යන කාරණය ඉතා යහපත් කොට වදාරණලදී. පින්වත් රට්ඨපාල ස්ථවිරයන් වහන්ස, ලොකවාසී සත්වයා කිසිදා සෑහීමකට පත් නොවේය. තණ්හාවට දාසවූයේය’ යි,” කීය.

§ 39 ආයුෂ්මත් රට්ඨපාල ස්ථවිරයන් වහන්සේ මෙසේ ප්‍රකාශ කළේය. මෙය ප්‍රකාශ කොට ඉක්බිති මේ ගාථාවන්ද වදාළේය.

[1] “ලොවෙහි දනන් රැස් කරමින් හැම සම්පත්,
දිළින්දෙකු හට බුදිනට පමණ නොදේ කිසිත්,
තමනට සැපම වෙන සේ ගොඩ ගසා සම්පත්,
සැපම පතයි මෝහෙන් නීති පතා පතත්. .

[2] “සයුරින් එපිට රට රට ජය ගන්න සිතා,
හමුදා යවා දහසක් මිනිසුන් මරවා,
දිනුවත් කෙතෙක් රටවල් මේ අනුවන මිනිසා,
සිය තන්හාව ජය ගැනුමට නොවේ සමත්.

[3] “රජ පමණක්ද නොවේ සෙසු මිනිසුන්ද බොහෝ,
මියැදෙන්නට කලින් මේ මේ කරමි’යි සිතත්,
මරණය පැමින ඒ සැම පැතුම් සුන්ව ගියත්,
මේ ලොව විඳින කම් සැපයෙන් නොවේ සැපක්..

[4] “අහෝ අපේ නෑයා නැතිවුණයි දුකින්,
වැලපෙති හඬති, ගසමින් අතින් ලමැදට වැරෙන්,
ඔසවා රැගෙන ගොස් සොහොනට දමත්,
දවනට සෑය මත ඔහුගේ ගුණ කියමින්.

[5] “හැඳවුන් රෙද්ද පමනකි ඔහු වෙත වෙන්නේ,
තම රන් රිදී සම්පත් නොම ගෙන යන්නේ,
දර සෑයේ දැවෙන්නේ ඔහුමය තනියෙන්,
හිත මිතුරන් නෑයෝ ආපසු යයි දොඩමින්.

[6] “උරුමක්කාරයෝ ඔහුගේ වස්තු ගණිත්.
ඔහුට ඉතිරිවන්නේ කල කී දේ පමණක්,
අඹු දරුවන්, ලේ නෑයෝ හා හැම හිතවත්,
රට්ටු කිසිත් ඔහු යන ගමනට නොම එත්.

[7] “ඇති වස්තුව නිසා දීර්ඝායුෂ නොලබත්,
පොහොසත්කම නිසා වයසට යාම නොවැලක්වෙත්,
මේ ජීවිතය කෙටි කලකැයි දැන වී නැණවත්,
දහමින් දිවිය හැඩ කරනා ඔබය සමත්.

[8] “මහ ධන සිටුත් , මග යදිනා දිලිඳත් එකසේ,
මරණය පැමිණි කල හැර යන්නේ සැමදේ.
නැත්තා නුවණ හඬමින් යයි කල පව් සිහි වී,
සතිමත් කෙනා නොසැලේ මරනින්.

[9] “ ප්‍රඥාවම උතුම් මේ ලොව හැම රනට වඩා,
ප්‍රඥා වඩා අරහත් බව වෙයි නොපමා,
නැති කොට කෙලෙස් දැන සසරෙහි වෙයි නොපමා,
ධන සම්පත් නොව නැන සම්පත වේ උතුමා.

[10] “හොඳ පව්ලක උපදියි පින් කරන දනා.
දුක් වින්දිනටම උපදියි පව් කරන දනා,
දැන නැවතත් නොපතන දුක් උපතක්
පණ්ඩිතයා නිබඳව නිවනම සොයත්.

[11] “කල කම් නිසා දුක් විඳිනා සොරා,
දන්නේ නම් පෙරදී මේ වන විනය ගැනා,
නොකරන්නේය සොරකම් සිතිනා,
නපුරු සිතින් කම් කරනා ජනයා,
දන්නේනම් එහි ඵල නොකරති නපුරා..

[12] “විසිතුරු මිහිරි සිත් තුටුකරනා හැම දේ,
කාමය කියා දනිතිය නැණවත් ජනයා ,
විපල්ලාසයෙන් කළඹා සිත් වනසත්,
මහරජ කාමයෙ දොස් දැක හලෙමි කුල ගොත්.

[13] “ වැටෙනා සේ ගිලිහී ගසෙන්,
පැසුණු පොල්, කුරුම්බා, ඇට්ටි සේම
මහළුවූන්ද තරුනෝ හා ලපටින්ද,
මියෙත්, තරම හෝ වයසත් නැත තැකුමක්,
මහරජ දිවියේ අස්ථිර බව දැකම මමත්,
හලෙමි කුල ගොත් පිරුමට සසුන් පිළිවෙත්.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.