MN 02-03-09 චූල සකුළුදායී සූත්‍රය.

මේ සුත්‍රයේ කියැවෙන කරුණු ඉතා සැලකිල්ලෙන් විමර්ශනය කිරීම වටනේය. සකුළුදායි පරිබ්‍රාජක ආචාර්යවරයා දීර්ඝ ධර්ම පෙළපතක නායකයා විය. ඒ සාසනයේ මුල් අය සිය තපස් වෘත පුරමින්ම සමථ භාවනාවෙන් සිත සන්සුන් කරමින් තුන්වන ධ්‍යානය දක්වා ඉහලට සිත් නැංවූ අය වුහ. ඒ ප්‍රතිපදාවේ ඉන් ඉහලට යාමක් නොවීය. තුන්වන ධ්‍යානයට පත් සිතක් ඇත්තෙක් මරණයේ මතු ආභස්සර බ්‍රහ්මලෝකයෙහි පහළවෙති. මරණයට පෙරද තුන්වන ධ්‍යානයට සමවැද සිටිනවිට ආභස්සර ලොව දකියි. එම සාසනයේ ඉගැන්වීම එම ප්‍රතිඵලය- එනම් ආභස්සර ලොව පහළවීම- උතුම්ම දෙය ලෙස ඉගැන්වීය. නමුත් ක්‍රමයෙන් ඔවුන් ගේ අනුගාමික පරපුර ප්‍රතිපත්තිය අත්හල නිසා පසු කාලීනව කිසිවෙක් කිසිදු ධ්‍යානයක් නොලෑබුහ. පංච සිලය රකිමින් තාපස ජීවිත ගෙවුහ. අවුරුදු දෙසීයකට පෙරදී සම්බුද්ධ සාසනයද මෙම තත්වයට පත්ව තිබුණි. භාවනාව ගැන කතාකරන්නට පවා කෙනෙක් සංඝයා අතර නොවීය. සිල් පද රකිමින් වතාවත් කරමින් පිරිත් කියමින්, පුද පුජා හා ආමිසයේ යෙදෙමින් කල් ගෙවූ ඒ භික්ෂුන් ද මේ සකුළුදායි පිරිවැඩි තුමා වැන්නෝම වුහ. අපේ රටේ 1951 තරම පුජ්‍ය කඩවැද්දුවේ ජිනවංශ මහා ස්වාමින්වහන්සේ, මාතර ශ්‍රී ඥානාරාම මහා ස්වාමින්වහන්සේ වැන්නන් කල භාවනා මාර්ගය පිළිසකර කිරීම සිදු නොවන්නට අපිත් තවමත් සකුළුදායි සාසනයක් වැනි සාසනයක වුවෝම නොවේද?

පුජ්‍ය ඉඟුරුහේනේ ධම්මදේව හිමි කල දේසනාව

§ 1. මා විසින් මෙසේ අසනලදී.
එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර කලන්දක නිවාප නම්වූ වෙළුවනාරාමයෙහි වැඩ විසූහ.එකල්හි වනාහි සකුළුදායී නම් පරිව්‍රාජක තෙම මෝරනිවාප නම්වූ පරිබ්‍රාජකාරාමයෙහි මහත්වූ පරිබ්‍රාජක පිරිස සමග වාසය කරයි.

§ 2. දිනෙක භාග්‍යවතුන් වහන්සේ උදය කාලයෙහි හැඳපෙරවා පාසිව්රු ගෙණ රජගහ නුවරට පිඬු පිණිස පැමිණියෝය. එකල්හි පිණ්ඩපාත චාරිකාවට තවම වේලාසන වැඩිය දැන රජගහනුවරට පිඬුපිණිස පැමිණෙන්ට සුදුසු වෙලාව වනතුරු භාග්‍යවතුන් වහන්සේ මෝරනිවාප නම් පරිබ්‍රාජකාරාමයට ගොස් එහි ඉන්නා, සකුළුදායී පරිව්‍රාජකයා හමු වන්නට අදහස් කල සේක..

§ 3. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මෝරනිවාප පරිබ්‍රාජකාරාමය වෙත පැමිණියෝය. එකල්හි සකුළුදායී පරිබ්‍රාජක හා ඔහුගේ පිරිස උස්හඬින් හා මහත්වූ හඬින් ඝෝෂා කරමින් කිසි වැදගත්කමක් නැති නොයෙක් දේ ගැන කථා බස් කරමින් හුන්නේය. කෙබඳු වල් පල් කතා ද යත්:781

[781: බොහෝ මිනිසුන් ගැහැනුන් කතාවට ඉතා ප්‍රියය. දක්ෂය. කා සමග හෝ කුමක් ගැන හෝ කතා කරමින් ඉන්නට ඇත්නම් ඒ තරම් වෙනත් කිසිවක් ආනන්ද ජනක නොවේ. භාග්‍යවතුන් වහන්සේ මේ තිරච්චින කථා මාතෘකා ලැයිස්තුවේ සඳහන් කර ඇත්තේ එදා දඹදිව මිනිසුන් කතා කල මාත්රුකාය. ඒවාට “තිරස්චින කතා”ය කියන්නේ සතුන් ගේ කතා නිසා නොවේ. මනුෂ්‍යයා නිතර උත්සාහ කලයුත්තේ උඩට ඒමටය. සසර ගොහොරුවෙන් ඉහලට ඒමට ය. ඒ “සිරස”ට යාමය. ඊට විරුද්ධ, පැත්තට යන්නෝ තිරසට යන්නෝය. සතුන් ට තිරස්චින කියන්නේද උන් හරහට යන නිසාය. නිවනට තුඩු නොදෙන කතා ඒ නිසා තිරස්චින කතා ලෙස මේ සාසනයේ කියෑවේ. බොහෝ සුත්‍ර වල මේ ගැන සඳහන් වේ. මේ මාතෘකා හැරෙන්නට තවත් දස දහසක් මාතෘකා අද මේ ලැයිස්තුවට එක් කල හැක. එනමුත් ඉතා සරල ලෙස කියතොත්, අධ්‍යාත්මික දියුණුවට උදව් නොවෙන්නාවූ සියලු කතා මේ තිරස්චින කතා ලෙස නම් කල හැක.]

එනම්, රජුන් පිළිබඳ කථාය, සොරුන් පිළිබඳ කථාය, මහ ඇමතියන් පිළිබඳ කථාය, සේනා පිළිබඳ කථාය, භය පිළිබඳ කථාය, යුද්ධ ගැන කථාය, ආහාර ගැන කථාය, බීම ගැන කථාය, වස්ත්‍ර ගැන කථාය, සයන ගැන කථාය, මාලා ගැන කථාය, ගන්ධ ගැන කථාය, නෑයන් ගැන කථාය, යානා ගැන කථාය, ගම් ගැන කථාය, මහගම් ගැන කථාය, නගර ගැන කථාය, ජනපද ගැන කථාය, ස්ත්‍රින් ගැන කථාය, සූරයන් ගැන කථාය. වීථි ගැන කථාය, දිය ගන්නා තැන් ගැන කථාය, මළවුන් ගැන කථාය. නොයෙක් නොයෙක් කථාය, ලෝකය ගැන කථාය, සමුද්‍රය ගැන කථාය, පිරිහීම නොපිරිහීම ගැන කථාය යන මේයි.

සකුළුදායී පරිව්‍රාජක ආචාරිතුමා ඈත එන්නාවූ භාග්‍යවතුන් වහන්සේ දුර දීම දුටුයේය. දැක තම පිරිස නිශ්ශබ්ද කරවුයේය. ‘පින්වත්නි නිශ්ශබ්ද වෙත්වා පින්වත්නි ශබ්ද නොකරව්. මේ ශ්‍රමණ ගෞතම තෙමේ එන්නේය. ඒ භවත් ගෞතමයන් නිශ්ශබ්දය කැමති කෙනෙක. නිශ්ශබ්දතාවයේ ගුණ කියන්නෙක. අප නිශ්ශබ්ද වු පිරිසක් බව දැන මෙහි පැමිණිය හොත් ඉතා යෙහකැයි,’ සිය පිරිස සන්සුන් කෙළේය. ඒ පරිව්‍රාජකයෝද නිශ්ශබ්ද වූහ.

§ 4 . එකල්හි භාග්‍යවතුන් වහන්සේ සකුළුදායි පරිව්‍රාජක වෙත වැඩි සේක. සකුළුදායි පරිව්‍රාජක ආචාරීන් භාග්‍යවතුන් වහන්සේට මෙසේ කියමින් ආරාධනා කළේය.
‘ස්වාමිනී, භාග්‍යවතුන් වහන්සේ මෙහි වඩින සේක්වා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේගේ වැඩමවීම ඉතා යහපත්ය. ස්වාමිනි භාග්‍යවතුන් වහන්සේ බොහෝ කලකින් මේහි වැඩම කළසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ ආසනයේ වැඩ ඉන්නා සේක්වා. මේ ආසනය ඔබ සඳහා පණවන ලදැ”යි, කීය.

භාග්‍යවතුන් වහන්සේ පණවන ලද ආසනයෙහි වැඩහුන්සේක. සකුළුදායී පරිව්‍රාජකද එක් මිටි අස්නක් ගෙණ එක් පැත්තක හුන්නේය. එක් පැත්තක හුන්නාවූ සකුළුදායී පරිව්‍රාජකයාගෙන් භාග්‍යවතුන් වහන්සේ මෙසේ ඇසීහ. “උදායීය, නුඹලා දැන් කවර කථාවකින් යුක්තව හුන්නාහුද? තොපගේ කිනම් කථාවක් මගේ පැමිණීමෙන් අඩාල වූවාද?”, යනුයි

§ 5. ස්වාමීනි, අපි කරමින් සිටි කථාව පසෙකින් තිබේවා. ඒ කථාව තිබේවා. ස්වාමිනි, ඒ කථාව භාග්‍යවතුන් වහන්සේට පසුවද ඇසීමට හැකිය. ස්වාමීනි, මම මේ සභාවට එන්නට පෙර ඔවුන් නොයෙක් නොයෙක් දේ ගැන කතා කරමින් සිටියත්, මා මෙහි ආ විට ඔවුන් මගෙන් ධර්ම දේශනාවක් අසන්නට බලාපොරොත්තු වෙයි. 782

[782: ධර්ම දේශනාව බෞද්ධ භික්ෂුන්ට පමණක් සීමා නොවීය. අන්‍ය ආගමික දේශකයන්ද ගුරුවරුන්ද තම තමන්ගේ ඉගැන්වීමේ පිළිගැනීමේ වාදයේ ආකාරයට නොයෙක් කාරනා ගැන ඔවුන්ගේ ශ්‍රාවකයන්ට දේශනා කළහ. ඒ ඔවුන්ගේ ධර්මයන්ය.]

එනමුත් අද භාග්‍යවතුන් වහන්සේ මෙහි පැමිණීම නිසා මාද මේ මාගේ ශිෂ්‍ය පිරිසද ඔබ වහන්සේගෙන් යම් ධර්ම කාරනාවක් ගැන අසන්නට කැමැත්තෙමු.

§ 6. “උදායීය, එසේවී නම් කුමන කාරණයක් ගැන ඔබ අසන්නට කැමැත්තේ දැයි යෝජනා කරව. ඒ කාරණය ගැන ඔබට දේශනා කරන්නෙමි.” යි වදාළහ.

“ස්වාමීනි, පසුගිය දිනවල එක් ශ්‍රමණ ආචාර්යවරයෙක් තමන් සර්වඥය. සියල්ලම දන්නේය. “ඇවිදිද්දී, සිටිත් දී , සැතපෙත්දී යන තුන් ඉරියව්වේදී ම මට සියල්ලම ප්‍රත්‍යක්ෂ වශයෙන් නොවෙනස්ව අඛණ්ඩව නිරවශේෂව ඥාණ දර්ශනය පිහිටියේය” යයි කියමින් තමන් ගැන දෙසනා කළේය. මම ඔහුගෙන් පසුවුණු අතීතය ගැන යම් ප්‍රශ්නයක් ඇසු විට ඔහු ඊට පිළිතුරු නොදී වෙනත් දෙයක් කියා ප්‍රශ්ණයෙන් මගහැරියේය. ප්‍රශ්නය නැවත ඇසු විට ඔහු කෝපයට පත්වූවේය. ද්වේෂයද නොසතුටු බවද පළ කෙළේය.

ස්වාමීනි, එවිට මට භාග්‍යවතුන් වහන්සේ මතක් වී ඔබවහන්සේ අරබයා ප්‍රීතිය පහළවූයේය. “මෙලොව යමෙක් මේ ධර්මයෙහි දක්ෂවූයේද ඒ භාග්‍යවතුන් වහන්සේ මය. සර්වඥ වුයේ නම් ඒද සුගතයන් වහන්සේය” යි මට මහත් ප්‍රමෝදයක් ඇති විය.

“නමුත් උදායීය, කවරෙක් විසින් තමන් සර්වඥය. සියල්ල දක්නේය. ආදී ලෙස , නිර්වශෙෂ ඥාන දර්ශනයක් ප්‍රකාශ කලේද, තොප විසින් අතීතය අරබයා ප්‍රශ්නයක් විචාරණ ලද විට, කථාව බැහැර කෙළේ, කෝපයද ද්වේෂයද නොසතුටද පහළ කෙළේ කවරෙක්ද?”
“ස්වාමීනි, එසේ කලේ නිගණ්ඨ නාත පුත්‍රය”783

[783: නිඝන්ට නාථ පුත්‍ර’ හා මහා වීර ලෙස කියෑවෙන්නේ ජෛන ආගමේ මුලිකයය. ඔහු කීවේ; සත්වයාගේ ශරීරය නැසේ, එහෙත් ආත්මය නොනැසේ යන්නය. ආත්මය ශරීරයෙන් ශරීරයට යමින් උග්‍රවූ තපසින් පාප වහනය කල පසු විමුක්තිය ලබන්නේය යන්න ඔහුගේ මතය විය. ඔහු පරම අවිහිංසාවාදියෙක් මෙන්ම උග්‍ර කර්මවාදියෙක්ද විය.]

§ 7. “උදායීය, යමෙක් තමන් මේ ජීවිතයට පෙර විසු අනෙකප්‍රකාරවූ පෙරවිසූ කඳ පිළිවෙළ සිහිකරන්නේ නම්, එනම් ජාති එකක්ද, ජාති දෙකක්ද ජාති තුනක්ද, ජාති….වශයෙන් ද, …, නොයෙක් සංවර්ත කල්පයක්ද, විවර්ත කල්පයන්ද, නොයෙක් සංවර්ත විවර්ත කල්පයන්ද වශයෙන් ද, ඒ ඒ භවයන් හිදී තමන් අසවල් තැන වීම්, මෙනම් ඇත්තෙක් මේ ගොත්‍ර ඇත්තෙම් මෙබඳු වර්ණ ඇත්තෙම් මෙබඳු ආහාර ඇත්තෙම් මෙබඳු සුවදුක් වින්දෙම් මෙබඳු ආයුෂ කෙළවර කොට ඇත්තෙම් වීමි. ඒ මම එයින් චුත වූයෙමි. අසවල් තැන ඉපදුනෙමි. ආදී වශයෙන් කියන්නේ නම් මෙසේ ආකාර සහිතවූ උදෙසීම් සහිතවූ අනෙකප්‍රකාරවූ පෙරවිසූ භව පිළිවෙළ සිහිකරන්නේ නම්, මම පූර්ව භවයන් අරබයා ඔහුගෙන් ප්‍රශ්න අසන්නෙමි. හෙතෙම තම පිළිතුරෙන් මාගේ සිත සතුටු කරන්නේ නම් මමද පූර්ව භවයන් අරබයා ඔහු අසන ප්‍රශ්න විසඳීමෙන් ඔහුගේ සිත සතුටු කරන්නෙමි.

උදායීය, යමෙක් මිනිසැස ඉක්මවූ දිව්‍යවූ ඇසින් (දිවැසින්) චුතවන හා නැවත , උපදිනු ලබන්නාවූද හීනවූද ප්‍රණීතවූද යහපත් වන්න (= ප්‍රතිලාභ) ඇත්තාවූද අයහපත් වන්න ඇත්තාවූද හොඳලොව ගියාවූද නරක ලොව ගියාවූද, සත්වයන් දකින්නේද ඒ ඒ සත්වයා කර්මානුරූපව උපදිනු දකින්නේ නම් , මා අසන ප්‍රෂණයන්ට මම ඔහුගෙන් පිළිතුරු බලාපොරොත්තු වෙමි. ඔහු ඒ ගැන මගෙන් අසන්නේනම් මම ඔහුට පිළිතුරු දෙමි.

“උදායීය, එතකුදු වුවත් අතීතය ඒ ලෙසම තිබේවා. අනාගතය ද ඒ ලෙසම තිබේවා, මම දැන් නොපට ධර්මයක් දේශනා කරමි. කුමක් හේතුවෙන් කුමක් ඇතිවේද, ඒ නැතිකළ කුමක් නුඋපදීද, කුමක් නැති කල කුමක් නොපවතීද, යන්න මම නුඹට කියා දෙමි.” 784

[784: දොළොස් ආකාර පදයන්ගෙන් සංවෘත වූ “පටිච්ච සමුප්පාදය” මේ ලෙස ඥාණමෝලි මහා තෙරණුවෝ පරිවර්තනය කර ඇත.]

§ 8. ” ස්වාමිනි, මේ ජීවිතයේදී මා මුහුණ පෑ යම් යම් දේ පවා මගේ මතකයේ නැති කල කෙසේ නම් පෙර ජීවිතයකදී වූ දී සිහි කරන්නෙම්ද?” මේ පාංශු පිසාචයන් පවා නොදකින මට කෙසේ නම් දිවැසින් දකින සත්‍යන් මැරී අන් භව වල ඉපදීම පෙනේද. අහෝ භාග්‍යවතුන් වහන්ස , “අතීතය තිබේවා, අනාගතය තිබේවා ධර්මයක් දෙසනා කන්නෙමි’යි කියා ‘යමක් ඇතිකළ වෙනත් දෙයක් ඇති වේ” ආදී ලෙස කියා ඔබ වහන්සේ කියූ කිසි ධර්මයක් මට නම් අල්පයක් වත් වැටහෙන්නේ නැත.”

§ 9. එවිට භාග්‍යවතුන් වහන්සේ. සකුළුදායි පිරිවඩියා තවත් අපහසුවට පත් නොවන ලෙස ඔහුම ලවා ඔහුගේ වාදය කියවා ගන්නෙම් නම් මැනවයි මෙසේ ඇසීය.

” එසේ නම් උදායිය, ඔබගේ ශාස්තෘන්ගේ සාසනයේ ධර්මය කෙසේ නම් උගන්වා ඇත්ද?” යි අසා වදාළේය.

“ස්වාමීනි, අපගේ ආචාර්යයන්ගේ ඉගැන්වීම මෙසේ වන්නේය.

“මේ ආත්මය උතුම් පරම වර්ණයෙන්785 යුක්තය. මේ ආත්මය උතුම් වර්ණ ඇත්තේය” යනුයි. උදායීය, තොපගේ ස්වකීය ආචාර්යයන්ගේ ඉගැන්වීම මේ ආත්මය උතුම් වර්ණ ඇත්තේය, මේ ආත්මය උතුම් වර්ණ ඇත්තේය යනු නම් ඒ උතුම් වර්ණ නම් කුමක්ද? [ වර්ණ යනු පාට නොවේ.]

ස්වාමීනි, යම් වර්ණයකට වඩා වැඩිවූද, උසස්වූද අන් වර්ණයක් නැත්නම් එය උතුම් වර්ණයයි.

උදායීය, යම් වර්ණයකට වඩා උසස්වූද වැඩිවූද යම්වර්ණයක් නැති ඒ උතුම් වර්ණය (පරමෝ වන්නෝ”) නම් කුමක්ද?
ස්වාමීනි, යම් වර්ණයකට වඩා වැඩිවූද උසස්වූද අන් වර්ණයක් නැත්නම් එය උතුම් වර්ණයයි.

[785: ” ඒවං වන්නෝ අත්තා හෝති ආරෝගෝ පරම් මරණ ” මෙහිදී ආරෝගෝ ලෙස දැක්වෙන්නේ සෞඛ්‍ය සම්පන්න වීම නොව සදාකාලික බවය. අටුවාව කියන පරිදි සකලුදායි කියන්නේ බොහෝ සැප සම්පත් ඇති සුභකින්නක දෙව් ලොව ඔවුනගේ උපත වන බවයි. තුන්වන ධ්‍යානයට සිත නංවන යෝගියෙක් ඒ සිතෙන් මිය ගිය හොත් සුභකින්නක දෙව් ලොව පහල වෙයි. සකුළුදායි ගේ ආගමේ ඉගැන්වෙන්නේ කිසි ධ්යානයකින් නොරව වුවද සුභකින්නක දෙව් ලොව පරම සැපය ඔවුනගේ ආත්මය ලබන බවයි]

§ 10. උදායීය, තොපගේ මේ වචන නිෂ්ප්‍රයෝජනය. යම් වර්ණයකට වඩා වැඩිවූද උසස්වූද අන් වර්ණයක් නැත්නම් එය උතුම් වර්ණයයි කියන්නෙහිය. “ඒ තේරුම් කරන්න” යැයි කීවිට උතුම් වර්ණය අන් වර්ණයන්ට වඩා උතුම්’ යැයි කියන්නේය. මේ ප්‍රකාශ දෙකම එකකි.

උදාහරණයක් කිව හොත්: මේ දේශයේ ඉන්නා රූමත්ම කාන්තාව මම විවාහ කර ගනිමි’ යි කියන මිනිසෙකු ගෙන් “ඔබ ඒ විවාහ වෙන්නට පතන කාන්තාව කුමන කුලයක, ගෝත්‍රයකදැයි ඇසු විට ඔහු නොදන්නා බව කියයි. ඇය කෙබඳු චවි වර්නයෙකින් යුතුදැයි ඇසු විට ඔහු නොදන්නා බව කියයි. ඇය උසද මිටිද ඇසු විට ඔහු නොදන්නා බව කියයි. ඇය ඉන්නේ කුමන නගරයේද ගම්මානයේදැයි ඇසු විට නොදන්නා බව කියයි.

එවිට ජනයා ඔහුට මෙසේ කියන්නාහුය. ‘පින්වත් පුරුෂය, නුඹ එසේ කිසිවක් නොදන්නා ස්ත්‍රීයක් ගැන නොදන්නෙහිද, නොදක්නෙහිද, එනමුත් නුඹ ඇය කැමැතිවන්නෙහිද පතන්නෙහිදැයි, අසන ලද්දේ ‘එසේයයි, කියන්නේය.

ඉදින් උදායිය උදායීය, ඔබ කුමක් සිතන්නේද? , මෙසේ කතා කල ඒ පුරුෂයාගේ කීම අර්ථශුන්‍ය කීමක් නොවන්නේද ?”
“ස්වාමීනි, ඒකාන්තයෙන්ම එසේ වූ කල්හි, ඒ පුරුෂයාගේ කීම නිරර්ථකවූ කීමක්” ය.
“ඒ මිනිසාගේ කතාවේ හරයක් ඇත්ද? තේරුමක් ඇත්ද? “
“නැත ස්වාමිනි, ඒ මනුෂ්‍යයාගේ කතාවේ පිළිගන්නට දෙයක් නැත.”

“උදායීය, එපරිද්දෙන්ම යම් වර්ණයකට වඩා වැඩිවූද උසස්වූද අන් වර්ණයක් නැත්නම් ඒ වර්ණය උතුම් වර්ණය වේයයි, ඔබ කියන්නෙහිය. එනමුත් ඒ වර්ණයද කෙබඳු දැයි නොකියන්නෙහිය.”

§ 11. “ස්වාමීනි, අගනා, ඇතුලත කිසි කැළලක් නොවූ, ඉරි නොගිය, ජාති සම්පන්නවූ, පෘෂ්ඨ අටක් ඇත්තාවූ , මනාව ඔප දමන ලද්දාවූ වෛධූර්ය මාණික්‍යයක් රතු කම්බිලියෙක්හි මත්තෙහි තැබූ විට බබලයිද, දිලිසෙයිද, ඒ ආකාරයෙන්ම මරණින් මත්තෙහි උවදුරක් නැතිව පවත්නාවූ ආත්මයක මේ වන්නය ඇත්තේය

§ 12. “උදායීය, ඔබ කුමක් සිතන්නේද ?
ඉතා ශෝබන අට පැත්තක් ඇත්තාවූ, මනාව ඔප දමන ලද්දාවූ, වෛධූර්ය මාණික්‍යය පඬුවන් කම්බිලියෙක්හි බහා තබන ලද්දේ බබලයි, දිලිසෙයි, උදායීය! මහා අන්ධකාර රාත්‍රියෙක්හි යම් කළාමැදිරියෙක් ඒ අසලට ඒද මේ වර්ණයන් දෙදෙනාගෙන් කවර වර්ණයක් වඩා බබලන්නේත් වඩා උසස් වන්නේත් වේද?”

“ස්වාමීනි, මහත් අන්ධකාර ඇති රාත්‍රියෙහි නම් කළාමැදිරියා ගේ වර්ණය මේ වර්ණ දෙක අතුරෙන් වඩාත් බබලන්නේත් වඩා උසස් වන්නේත් වෙයි.”

උදායීය, ඔබ කුමක් සිතන්නේද ?
මහත් අන්ධකාර රාත්‍රියෙහි කලාමැදිරියා ගේ ආලෝකය හෝ තෙල් පහනක ආලෝකය යන දෙකෙන් කවර වර්ණයක් වඩා බබලන්නේත්, වඩා උසස් වන්නේත් වේද?
“ස්වාමීනි, මහත් අඳුරු රාත්‍රියෙහි යම් තෙල් පහන මේ වර්ණ දෙක අතුරෙන් වඩා බබලන්නේත් වඩා උසස් වන්නේත් වෙයි”.

§ 13. “උදායීය, ඔබ කුමක් සිතන්නේද ?
මහත් අඳුරු රාත්‍රියෙහි තෙල් පහනක් හෝ වේද, මහ ගිනි මැලයක් හෝ වේද, මේ වර්ණ දෙක අතුරෙන් කවර වර්ණයක් වඩා බබලන්නේත් වඩා උසස් වන්නේත් වේද?”
“ස්වාමීනි, , මේ වර්ණ දෙක අතුරෙන් මහ ගිනි මැලය වඩා බබලන්නේත් වඩා උසස් වන්නේත් වෙයි.”

§ 14, “උදායීය, ඔබ කුමක් සිතන්නේද ?,
මහත් අඳුරු රාත්‍රියෙහි යම් මහ ගිනි මැලයක් හෝ වේද, අළුයම් කාලයෙහි පහව වළාකුල් නැති අහසෙහි උදෑ තරුව හෝ වේද, මේ වර්ණ දෙක අතුරෙන් කවර නම් වර්ණයක් වඩා බබලන්නේත් වඩා උසස් වන්නේත් වේද?
ස්වාමීනි අළුයම් කාලයෙහි දුරුවූ පහවූ වළාකුල් ඇති අහසෙහි උදෑ තරුව , මෙය මේ උභය වර්ණයන්ගෙන් වඩා යහපත් වන්නේද වඩා උසස් වන්නේය.

§ 15. උදායීය, ඔබ කුමක් සිතන්නේද ,
රාත්‍රි අළුයම් කාලයෙහි දුරුවූ වැස්ස ඇති පහවූ වලාකුල් ඇති අහසෙහි ඇති උදෑ තරුව හෝ එදවස්හි පොහොය ඇති පසළොස්වක්හි දුරුවූ පහවූ වළාකුල් ඇති අහසෙහි සම්පූර්ණ පුන්සඳක් වේද, මේ වර්ණදෙක අතුරෙන් කවර වර්ණයක් වඩා බබලන්නේත් වඩා උසස් වන්නේත් වේද?”
“ස්වාමීනි, පොහොය ඇති පසළොස්වක්හි පුන්සඳ , මේ වර්ණ දෙක අතුරෙන් වඩා බබලන්නේත් වඩා උසස් වන්නේත් වෙයි.

§ 16 .උදායීය, ඒ කුමකැයි හඟින්නෙහිද,
පොහොය ඇති පසළොස්වක්හි වැස්ස නැති, වළාකුල් නැති අහසෙහි වන පුන්සඳක් වේද, වැසි කාලයේ අන්තිම මාසය වන සරත් කාලයෙහි වැස්ස, වළාකුල් නැති අහසෙහි ඉර සම්පූර්ණයෙන් මුදුන් වන කාලයෙහි සූර්යයෙක් වේද, මේ වර්ණදෙක අතුරෙන් කවර නම් වර්ණයක් වඩා බබලන්නේත් වඩා උසස් වන්නේත් වේද?”
“ස්වාමීනි, එය මේ වර්ණදෙක අතුරෙන් වඩා බබලන්නේත් වඩා උසස් වන්නේත් සුර්යයා වෙයි.“

§ 18 . උදායීය, මේ සඳ හිරු දෙදෙනාගෙන් ආලෝකය නොලබා තම ශරීරයෙන්ම මීටද වඩා ආලෝකයක් විහිදුවන දෙවියෝ බොහෝ වෙත්. ඉතා බොහෝ වෙත්. මම ඔවුන්ද දනිමි. එහෙත් යම් වර්ණයකට වඩා අතිශයින් උසස්වූද අතිශයින් ප්‍රණීතවූද අනික් වර්ණයෙක් නැත්තේ යයි මම නොකියමි.

එතකුදු වුවත් උදායීය, නුඹ මේ කලාමැදිරි වර්ණයටත් වඩා පහත්වූද, පිළිකුල්වූද වර්ණයක් උතුම් වර්ණයයි කීයෙහිය. ඒ වර්ණය ශ්‍රේෂ්ඨ යයි යන මතයේ එල්බගෙන ඉන්නේහිය.”

§ 19 .“භාග්‍යවතුන් වහන්සේ මගේ කථාව නිෂ්ඵල බව පෙන්නුවේය. සුගතයන් වහන්සේ මගේ කථාව කපා හැරියේය.”
“උදායීය, කුමක් හෙයින් නුඹ ‘භාග්‍යවතුන් වහන්සේ මගේ කථාව නිෂ්ඵල කර හැරියේය. සුගතයන් වහන්සේ මගේ කථාව කපා හැරියේයයි, කීයෙහිද?’

“ස්වාමීනි, අපගේ උතුම් ආචාර්යයන්ගේ ඉගැන්වීමෙහි මේ ආත්මයට උතුම් වන්න ඇත්තේය. මේ ආත්මය උතුම් වර්ණය ඇත්තේය”යනු වෙන් කියා ඇත්තේය. “

ස්වාමීනි, අපගේ ආචාර්යයන්ගේ ඉගැන්වීම පිළිබඳව පැහැදිලි කරන්නට, කරුණු දක්වන්නට කල මගේ වෑයම, නිෂ්ඵල බව භාග්‍යවතුන් වහන්සේ විසින් පෙන්වන ලද්දෝය. එසේ අපේ විවරණය සුන්වූ බව කීවෙමු ”

§ 20 . “උදායීය, එය එසේ වේවා. නුඹ දන්නා පරිදි නොවෙනස්වන සැප ඇත්තාවූ ලෝකයක් ඇත්තේද?
එසේ සැම කල්හි සැප ඇත්තාවූ ලෝකයට පැමිණීම පිණිස ප්‍රායෝගික මාර්ගයක් ඇත්තේද?

“ස්වාමීනි, අපගේ ආචාර්යයන්ගේ ඉගැන්වීමෙහි පරිදි එකාන්තයෙන් සැප ඇත්තාවූ ලෝකයක් ඇත්තේය. එකාන්ත සැප ඇත්තාවූ ඒ ලෝකයට යාම පිණිස ප්‍රායෝගික මාර්ගයක් ඇත්තේය යන ඉගැන්වීම වෙයි.”

§ 21. “උදායීය, ඒ ප්‍රයෝගික මාර්ගය කුමක්ද?”

“ස්වාමීනි, යමෙක්
ප්‍රාණඝාතය අත් හැර කිසිදා ප්‍රාණඝාතයෙන් වැලකුනේ ද .
සොරකම් කිරීම අත් හැර කිසිදා සොරකමින් වැලකුනේ ද .
කාමයෙහි වරදවා හැසිරීම අත් හැර කිසිදා කාමයෙහි වරදවා හැසිරීමෙන් වැලකුනේ ද .
බොරුකීම හැර බොරුකීමෙන් වැලකුනේ ද .
අපගේ තපස් ගුණයන් සමාදන්ව සිටියිද . 786

ස්වාමීනි, ඒ පුද්ගලයා ඒකාන්ත සැප ඇත්තාවූ ලෝකයෙහි උපදින්නේය..”

[786: පන්සිල් රැකීම බුදුන් වහන්සේ අනුමත කළා මිස එය භාග්‍යවතුන් වහන්සේ ඇතිකළ දෙයක් නොවේ. භාග්‍යවතුන්වහන්සේගේ කාලයට බොහෝ පෙර සිටම පන් සිල්, අට සිල්, දස සිල් දඹදිව මිනිසුන් සමාදන් වුබවට කොතෙකුත් සාක්ෂි ඇත. සකුළුදායි දැන් අදහන්නේ මේ කිවූ සිල් පස සමාදන්වූ පසු මරණින් මතු ආභස්සර නම්වූ සැප ඇති ලෝකයෙහි පහළවන්නට හැකි බවය.]

§ 22 . “උදායීය, මේ ගැන ඔබ කුමක් කියන්නේද ?
ප්‍රාණඝාතය හැර ප්‍රාණඝාතයෙන් වැලකුන විට, ඒ පුද්ගලයාගේ ආත්මය සැප පමණක් විඳින්නේද , සැප දුක් දෙකම විඳින්නේද?”
“ස්වාමීනි, සැප දුක් දෙකම විඳින්නේය.”

“උදායීය, මේ ගැන ඔබ කුමක් කියන්නේද ?
යම් කලෙක්හි සොරකම් හැර සොරකමින් වැලකුනේ ද, එකල්හි ඒ පුද්ගලයාගේ ආත්මය සැප පමණක් විඳින්නේද , සැප දුක් දෙකම විඳින්නේද?”
“ස්වාමීනි, සැප දුක් දෙකම විඳින්නේය.“

උදායීය, මේ ගැන ඔබ කුමක් කියන්නේද ?
යම් කලෙක්හි කාම මිථ්‍යාචාරය හැර කාම මිථ්‍යාචාරයෙන් වැලකුනේ ද, එකල්හි ඒ පුද්ගලයාගේ ආත්මය සැප පමණක් විඳින්නේද , සැප දුක් දෙකම විඳින්නේද?” ?”
“ස්වාමීනි, සැප දුක් දෙකම විඳින්නේය.”

“උදායීය, මේ ගැන ඔබ කුමක් කියන්නේද ? යම් කලෙක්හි මුසාවාදය හැර මුසාවාදයෙන් වැලකුනේ ද, එකල්හි ඒ පුද්ගලයාගේ ආත්මය සැප පමණක් විඳින්නේද , සැප දුක් දෙකම විඳින්නේද?” ”
“ස්වාමීනි, සැප දුක් දෙකම විඳින්නේය.”

“උදායීය, මේ ගැන ඔබ කුමක් කියන්නේද ?
යම් තපස් ගුණයක් සමාදන්ව සිටී ද, එකල්හි ඒ පුද්ගලයාගේ ආත්මය සැප පමණක් විඳින්නේද , සැප දුක් දෙකම විඳින්නේද?”
“ස්වාමීනි, සැප දුක් දෙකම විඳින්නේය.”

“උදායීය, මේ ගැන ඔබ කුමක් කියන්නේද ?
කිම, සැප දුක් දෙකම මිශ්‍ර වූ විඳීමක් ඇති ආත්මය ඒකාන්ත සුව ඇත්තාවූ සැප පමණක් ඇති ලෝකයකට ගීය හැකිද?”

§ 23 . “භාග්‍යවතුන් වහන්සේ අහෝ නැවතත් මගේ කථාව සින්දේය සුගතයන් වහන්සේ මගේ වාදය බින්දේය.”

“උදායීය, නුඹ කුමක් නිසා භාග්‍යවතුන් වහන්සේ කථාව සින්දේය, සුගතයන් වහන්සේ කථාව බින්දේයයි, කීයෙහිද?”

“ස්වාමීනි, අපගේ පුරාතන ආචාර්යයන්ගේ ඉගැන්වීමෙහි ඒකාන්ත සැප ඇති ලෝකයක් ඇත්තේය. ‘ඒකාන්ත සැප ඇත්තාවූ ලෝකයට පැමිණීම පිණිස ප්‍රායෝගික මාර්ගයෙක් ඇත්තේය’ යන ඉගැන්වීම ඇත. ස්වාමීනි, අපේ ආචාර්යයන්ගේ ඉගැන්වීම අපට හැකි ලෙස ගෙනහැර දක්වමින් විස්තර කළාවූ අපගේ වාදය භාග්‍යවතුන් වහන්සේ විසින් අසන ලද ප්‍රශ්නවලින්ම අර්ථ ශුන්‍ය එකක් බවට ඔප්පු කරවනු ලැබීය.. අපේ ආචාරීන්ගේ ඉගැන්වීම හිස්, අර්ථ ශුන්‍ය එකක බවට නින්දා කරන ලද්දේය. වරදට පමුණුවන ලද්දේය.

“ස්වාමීනි, කිම, ඔබවහන්සේගේ දැනීම අනුව ඒකාන්ත සුවයක් ඇත්තාවූ ලෝකයක් ඇත්තේද, ඒකාන්ත සුව ඇත්තාවූ ලෝකයට යාම පිණිස ප්‍රායෝගික මාර්ගයක් ඇත්තේද?”

§ 24. “උදායීය, ඒකාන්ත සුව ඇත්තාවූ ලෝකයක් ඇත්තේය. ඒකාන්ත සුව ඇත්තාවූ ලෝකයට පැමිණීම පිණිස ප්‍රායෝගික මාර්ගයෙක් ඇත්තේය.

“ස්වාමීනි, ඒකාන්ත සුව ඇත්තාවූ ඒ ලෝකයට යාම පිණිස පවත්නා ඒ ප්‍රායෝගික මාර්ගය කවරේද?”

§ 25 .“උදායීය, මේ ශාසනයෙහි භික්ෂුව කාමයන්ගෙන් වෙන්ව අකුසල ධර්මයන්ගෙන් වෙන්ව පළමු ධ්‍යානයට සිත් නංවා විචාරත්. ඔවුන්ට මම දුක්ඛ සමුදය සත්‍යය විචාරණ ලද්දේ ප්‍රකාශකරමි. මම ඔවුන්ගේ ප්‍රශ්න විසඳීමෙන් සිත සතුටු කරමි. ඔව්හු දුක්ඛ නිරෝධ සත්‍යය මා විචාරත්. ඔවුන්ට මම දුක්ඛ නිරෝධ සත්‍යය විචාරන ලද්දේ ප්‍රකාශ කරමි. මම ඔවුන්ගේ ප්‍රශ්න විසඳීමෙන් සිත සතුටු කරමි. භික්ෂුව ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි,

විතර්ක විචාරයන්ගේ සංසිඳීමෙන් යුතුව, කෙලෙස් තවන වීර්යය ඇත්තේ, මනා දැනුම් ඇත්තේ ලෝකයෙහි විසම ලෝභය (= අභිජ්ජාව) හා සිතේ නොසතුට දුරුකොට වේදනාවන්හි වේදනාවන් අනුව බලමින් වාසය කෙරේද, කෙලෙස් තවන වීර්යය ඇත්තේ මනා දැනුම් ඇත්තේ ලෝකයෙහි විසම ලෝභය හා සිතේ නොසතුට දුරුකොට සිතෙහි සිත අනුව බලමින් වාසය කෙරේද, ද්විතීය ධ්‍යානයට ප්‍රධාන සංස්කාරයන්ගෙන් යුක්තවූ ඍද්ධිපාදය වඩයි.

චිත්ත සමාධි ප්‍රධාන සංස්කාරයන්ගෙන් යුක්තවූ ඍද්ධිපාදය වඩයි. තෘතීය ධ්‍යානයට පැමිණ වාසය කරයි, උදායීය, මේ ඒකාන්ත සුව ඇත්තාවූ ලෝකයට පැමිණීම පිණිස පවත්නා කරුණු සහිතවූ මාර්ගයයි”

“ස්වාමීනි, ඒ දෙසනා කලේ ඒකාන්ත සුව ඇත්තාවූ ලෝකයට පැමිණීම පිණිස පවත්නා මාර්ගය නොවෙයි. ස්වාමීනි, ඒ වනවිටත් ඔහු ඒකාන්ත සුව ඇත්තාවූ ලෝකයට පැමින සිටින්නේ නොවේද? ”

[තුන්වන ධ්‍යානය ආභස්සර බ්‍රහ්ම ලෝකයක ඇති සැපය දෙන නිසා සකුළුදායි ඒ තුන්වන ධ්‍යානය ලැබීම සදා සැප ඇති ලෝකය ලැබීම ලෙස සලකයි.]

“උදායීය, මෙතෙකින් ඔහු ඒකාන්ත සුව ඇත්තාවූ ලෝකයට පැමිණියේ නොවෙයි. මෙය ඒකාන්ත සුව ඇත්තාවූ ලෝකයට පැමිණීම පිණිස ඇති ප්‍රායෝගික මාර්ගය වන්නේය.

§ 26. මෙසේ වදාළ කල්හි බොහෝ කලබලයට පත් සකුළුදායි පරිබ්‍රාජකයාගේ ශිෂ්‍ය පිරිස මෙසේ කියමින් කෑ ගැසුහ. “අපි අපගේ ආචාර්යයන් සමගම නැසුනෙමු. අපි අපගේ ආචාර්යයන් දෙසනාකල ධර්මයත් සමගම වැනැසුනෙමු. අපි මීට වඩා වැඩිදෙයක් නොදනිමුයි” සකුළුදායි පරිබ්‍රාජකයාගේ පිරිස උස් හඬින් මහ හඬින් කෑ ගැසීය. 784

[784: එත්තන් මයං අනස්සාම සාචරියකා , එත්තන් මයං පනස්සාම සාචරියකා , නමයං ඉතො භියේය උත්තරීතරං පජානමාති.”]

§ 27. එවිට සකුළුදායි පරිබ්‍රාජකයන් සිය පිරිස සන්සුන් කොට භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීයේය. “ස්වාමීනි, කොතනදී මොහු විසින් ඒකාන්ත සුව ඇත්තාවූ ලෝකයට පිවිසෙන්නේ ද?”

“උදායීය, එසේ ධ්‍යාන වඩන්නාවූ භික්ෂුව ප්‍රීතිය හා සුවයද දුරුකිරීමෙන් සංසිඳීමට පමුණුවන්නාවූ, සම්බොධියට පමුණුවන්නාවූ විරියෙන්ද්‍රිය වඩාද, සංසිඳීමට පමුණුවන්නාවූ සම්බොධියට පමුණුවන්නාවූ ස්මෘතින්ද්‍රිය වඩාද, සංසිඳීමට පමුණුවන්නාවූ, සම්බොධියට පමුණුවන්නාවූ සමාධින්ද්‍රිය වඩාද, චතුර්ථධ්‍යානයට පැමිණ වාසය කරයි.785.

[785: තුන්වන ධ්‍යානයෙදී ඔහු ලැබූ ප්‍රීතිය හා සුඛය ඔහු අත් හරියි. මේ ලැබූ සතරවන ධ්‍යාන අවස්ථාවේ දී අදුක්ඛම අසුඛ සති සම්පජන්නයෙන් යුක්ත වේ. සතරවන ධ්‍යාන අවස්ථාවේ ඔහු ලබන අභිඥඥා නිසා දේව සහ බ්‍රහ්ම ලෝකයන්හි වසන්නවුන් හා සංවාදය හැකි වේ.]

යම්තාක් දෙවියෝ ඒකාන්ත සුව ඇත්තාවූ ලෝකයෙහි උපන්නාහුද, ඒ දෙවියන් සමග එක්ව සිටිමටද , එක්ව කථාකිරීමටද, සාකච්ඡා කිරීමටද, හැකියාව වන නිසා , උදායීය, මෙතෙකින් මොහු ඒකාන්ත සුව ඇත්තාවූ ලෝකයට පැමිණෙන ලද්දේ යි කිව හැක..”

§ 28. “ස්වාමීනි, මේ ඒකාන්ත සුව ඇති ලෝකයට පැමිණීම පිණිස කැමැත්ත ඇති නිසා භික්ෂුහු භාග්‍යවතුන් වහන්සේ ගේ සාසනයෙහි පිළිවෙත් පුරන්නේද?”

“උදායීය, භික්ෂුහු මාගේ ශාසනයෙහි (බඹසර) හැසිරෙන්නේ ඒකාන්ත සුව ඇති ඒ ලෝකයට යාම පිණිස. නොවේ.

උදායීය, ඒකාන්ත සුව ඇති ඒ ලෝකය ට වඩා සුව එලවන ප්‍රසන්න වු ඉතා ප්‍රණීතවූද ධර්මයෝ ඇත්තාහ. ඒ උතුම් ධර්මයන් ප්‍රත්‍යක්ෂ කිරීම සඳහා භික්ෂූහු මාගේ ශාසනයෙහි ප්‍රතිපත්ති පුරති.”

“ස්වාමීනි, අන්‍යවූ ඒ අතිශයින් උතුම්වූද, අතිශයින් ප්‍රණීතවූද ඒ ධර්මයෝ කවරහුද?”

§ 29. “උදායීය, අර්හත්වූ සම්‍යක් සම්බුද්ධවූ, විද්‍යාචරණ සම්පන්නවූ, යහපත් ගති ඇත්තාවූ, සියලු ලෝකයන් දන්නාවූ, ශ්‍රේෂ්ඨවූ, හික්මවිය යුතු පුරුෂයන් දමනය කිරීමෙහි රියැදුරෙකු වැනිවූ, දෙවිමිනිසුන්ට ගුරුවරයෙක්වූ, චතුස්සත්‍ය අවබෝධ කළාවූ තථාගත කෙනෙක් මෙලොව උපදනාහ. ඒ තථාගතයන් දෙවියන් සහිතවූ, මරුන් සහිතවූ, බ්‍රහ්මයන් සහිතවූ, මහණ බමුණන් සහිතවූ, දෙවි මිනිසුන් සහිතවූ, මේ ලෝකය ස්වකීය විශේෂ ඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂකොට ප්‍රකාශ කරයි. ඒ තථාගතයන් වහන්සේ මුල යහපත්වූ, මැද යහපත්වූ, අවසානය යහපත්වූ, අර්ථ සහිතවූ, දස වැදෑරුම් අක්ෂර සම්පත්තියෙන් යුක්තවූ සියලු ආකාරයෙන් සම්පූර්ණවූ, පිරිසිදුවූ, ශාසන බ්‍රහ්මචර්යාව ප්‍රකාශ කරති.“

§ 30. ඒ ධර්මය ගෘහපතියෙක් හෝ ගෘහපති පුත්‍රයෙක් අසයි; ඒ ධර්මය අසා තථාගතයන් වහන්සේ කෙරෙහි ඔහුගේ ශ්‍රද්ධාව ඇති වේයි; ඔහු ඒ ශ්‍රද්ධාවෙන් යුක්ත වූයේ මෙසේ සලකන්නේය. ගිහිගෙයි විසීම අවහිර සහිතය. කෙලෙස් දූවිලි උපදින තැනකි. මහණකම කිසි බාධාවකින් තොර අවකාශය මෙන් නිදහස්ය. ගිහිගෙයි වසන්නහු විසින් සියලු ආකාරයෙන් සම්පූර්ණවූ, සියලු ආකාරයෙන් පිරිසිදුවූ, ලියවූ හක්ගෙඩියක් වැනි මෙම බ්‍රහ්මචරියාවෙහි හැසිරෙන්ට නොහැක්කේය. මම කෙස් දැළිරැවුලු කපා දමා සිවුරු හැඳ ගිහිගෙන් නික්ම සස්නෙහි මහණ වන්නෙම් නම් යහපතැයි කියායි.“

ඔහු පසු කාලයක ස්වල්පවූ හෝ බොහෝවූ හෝ සිය සම්පත් හැර, ස්වල්පවූ හෝ බොහෝවූ නෑපිරිස් හැර, කෙස් දැළි රැවුලු කපා දමා සිවුරු හැඳ, ගිහිගෙන් නික්ම,මේ සස්නෙහි මහණ වන්නේය.

§ 31. එසේ මහණවූ ඔහු භික්ෂු සීලයෙන් යුක්තවූයේ,

  • ප්‍රාණවධය හැර, ඉන් සම්පූර්ණයෙන් වැළකුනේ, දඬු , මුගුරු, අවි, , ආයුධ අත් හලේ , පව්කිරීමෙහි ලජ්ජා ඇත්තේ, සියල්ලන් කෙරෙහි කරුණාවන්ත වූයේ, සියලු ප්‍රාණීන් කෙරෙහි හිත අනුකම්පාව ඇතුව වාසය කෙරේ.
  • නොදුන් දෙය ගැනීමෙන් වෙන්ව, එයින් සම්පූර්ණයෙන් වැළකුණේ, දුන් දෙයම ගන්නේ, දුන් දෙයම කැමති වන්නේ, සොර නොවූ, පිරිසිදුවූ සිතින් යුක්තව වාසයකෙරේ.
  • අබ්‍රහ්මචර්යාව හැර උතුම් පැවතුම් ඇත්තේ ස්ත්‍රී පුරුෂ සංසර්ගය නම්වූ ග්‍රාම ධර්මයෙන් වෙන් වූයේ බ්‍රහ්මචාරීවේ.
  • බොරු කීමෙන් දුරුව, ඉන් සම්පූර්ණයෙන් වැළකුණේ, සැබෑ වචනම කියන්නේ, සැබැවින් සැබව ගළපන ගති ඇතුව ස්ථිර කථා ඇත්තේ, ඇදහිය යුතු වචන ඇත්තේ ලෝකයා අතර විරුද්ධ කථා ඇති නොකෙරේ.
  • පිසුනු බස් හැර, ඉන් සම්පූර්ණයෙන් වැළකුණේ, මෙතැනින් අසා මොවුන් බිඳවීම පිණිස එතැන නොකියන ගති ඇත්තේ, එතැනින් අසා මොවුන් බිඳවීම පිණිස මෙතැන නොකියන ගති ඇත්තේ, මෙසේ භෙද වූවන් ගළපන්නේ, සමගි වූවන්ගේ සමගිය තහවුරු කිරීමට අනුබල දෙන්නේ, සමගියෙහි ඇලුම් බහුල කොට ඇත්තේ, සමගිකම්හි ඇලුනේ, සමගිකම්හි සතුටුවන ගති ඇත්තේ, සමගිය ඇතිකරණ වචන කියන්නේය.
  • පරුෂ වචනය හැර ඉන් සම්පූර්ණයෙන් වැළකුණේ, යම් වචනයක් නිදොස් වේද, කණට මිහිරිද ප්‍රෙමණීයද, සතුටු කරයිද, යහපත්ද, බොහෝදෙනාට ප්‍රියද, බොහෝදෙනාගේ හිත් ප්‍රිය කරන්නේද, එබඳු වචනම කියන්නේ වේ. හිස්වූ ප්‍රලාප කථා හැර ඉන් සම්පූර්ණයෙන් වැළකුණේ, කාලයට සුදුසු කථා කරන්නේ, සිදුවූ වචනම කියන්නේ, අර්ථයෙන් යුක්තවූ, ධර්මයෙන් යුක්තවූ, විනයයෙන් යුක්තවූ, වචන කියන්නේ, සුදුසු කල්හි උපමා හා කරුණු සහිතවූ, සීමා ඇති, අර්ථයෙන් යුත්, නිධානයක් මෙන් සිතෙහි තැබිය යුතු වචන කියන්නේ වේ.“
  • හෙතෙම තණ, ගස්, වැල් සිඳීම් බිඳීම් ආදියෙන් වැළකුණේ වෙයි
  • එක් වේලක් වළඳන්නේ රාත්‍රි භොජනයෙන් හා විකාල භොජනයෙන් වැළකුණේ වෙයි.
  • නැටීම්, ගී කීම්, බෙර ආදිය වැයීම්, විසුලු දැකීම් යන මෙයින් වැළකුණේ වෙයි.
  • මල්, ගඳ, විලවුන් පැළඳීම, ඉන් සැරසීම, අඩු තැන් පිරවීමෙන් අලංකාර කිරීම යන මෙයින් වැළකුණේ වෙයි.
  • උස් අසුන් මහ අසුන් යන මෙයින් වැළකුණේ වෙයි.
  • රන්, රිදී, මසු, කහවණු පිළිගැන්මෙන් වැළකුණේ වෙයි.
  • අමු ධාන්‍ය වර්ග පිළිගැන්මෙන් තොරවූයේ වෙයි.
  • අමු මස් පිළිගැන්මෙන් තොරවූයේ වෙයි.
  • ස්ත්‍රීන් තරුණින් පිළිගැන්මෙන් තොර වූයේ වෙයි.
  • වැඩකරුවන් වැඩකාරියන් පිළිගැන්මෙන් තොර වූයේ වෙයි.
  • එළුවන් බැටළුවන් පිළිගැනීමෙන් වැළකුණේ වෙයි. ඌරන්, කුකුළන් පිළිගැනීමෙන් වැළකුණේ වෙයි. ඇතුන්, ගවයින්, අසුන්, වෙළඹුන්, පිළිගැන්මෙන් වැළකුණේ වෙයි.
  • කෙත්, වත්, පිළිගැනීමෙන් වැළකුණේ වෙයි.
  • ගිහින්ගේ දූත මෙහෙවරය, ගෙන් ගෙට යන මහත් මෙහෙවරය යන මෙයින් වැළකුණේ වෙයි.
  • විකිණීම මිළට ගැනීම යන මෙයින් වැළකුණේ වෙයි. තරාදියෙන් හොරට කිරීම, රන් නොරන් කිරීමාදියෙන්, හොරකිරීම, මැනීමෙන් හොර කිරීමාදියෙන් වැළකුණේ වෙයි.
  • හිමියන් අහිමි කිරීමාදිය සඳහා අල්ලස් ගැන්මය, උපායෙන් අනුන් රැවටීමය, යකඩ ආදී ලොහ රන් රිදීයයි අගවා වඤ්චා කිරීමය, නොයෙක් ආකාරවූ කුටිල ප්‍රයොගය යන මෙයින් වැළකුණේ වෙයි.
  • කැපීමය, බැඳීමය, සැඟවී සිට වස්තු පැහැරගැන්මය, ගම් නියම්ගම් ආදිය පැහැරීමය, බලාත්කාරකමින් වස්තු පැහැර ගැන්මය යන මෙයින් වැළකුණේ වෙයි.“
  • හෙතෙමේ යන්තම් කය වැසීමට තරම්වූ සිවුරෙන්ද, යැපීමට ප්‍රමාණවූ ආහාරයෙන්ද සතුටුවන්නේ වේ. ඔහු යම් යම් තැනකට යේ නම් ඒ ඒ තැනට එය ගෙනයන්නේ වෙයි. යම්සේ පක්ෂියෙක් යම් තැනකට පියාඹා යේ නම් ඒ සියලු තැන පියාපත් බර පමණකින් යුක්තව පියාඹා යේද, එපරිද්දෙන්ම භික්ෂු තෙමේද ශරීරය වැසීමට ප්‍රමාණවූ සිවුරෙන්ද, යැපීමට ප්‍රමාණවූ ආහාරයෙන්ද සතුටුවන්නේ වේ. ඔහු යම් තැනකට යා නම් ඒ ඒ තැන එය රැගෙණම යයි. හෙතෙමේ මේ උතුම් සීලයෙන් යුක්තවූයේ තම සන්තානයෙහි නිරවද්‍යවූ සැපය විඳින්නේය.

§ 32 . “, ඇසින් රූපයක් දැක එහි සටහන් සිතට ගන්නේ නැත. කුඩා සටහන් සිතට ගන්නේ නැත. චක්ෂු ඉන්ද්‍රියයෙහි අසංවරව වසන්නහුට යමක් හේතු කොට ගෙන ලෝභ ද්වේෂ අකුශල ධර්මයෝ හිතට ඇතුල් වන්නාහුද, එහි සංවරය පිණිස ඔහු පිළිපදී. ඔහු තමාගේ චක්ෂු ඉන්ද්‍රියය රකී, චක්ෂු ඉන්ද්‍රියයෙහි සංවරයට පැමිණේ.

“කණින් ශබ්දයක් අසා එය නිමිති වශයෙන් ගන්නේ නොවේ. නැවත නැවත මතක් වනසේ අල්ලා ගන්නේ නොවේ. යමක් හේතු කොට ගෙන ශ්‍රොතෙන්ද්‍රිය (කන්) අසංවරව වසන්නහුට ලෝභ ද්වේෂ අකුශල ධර්මයෝ උපදිත්ද, ඒ ශ්‍රොතෙන්ද්‍රියෙහි සංවරය පිණිස පිළිපදියි. ශ්‍රොතඉන්ද්‍රිය රකී. ශ්‍රොතෙන්ද්‍රියෙහි සංවරයට පැමිණෙයි.“

නාසයෙන් ගඳක් ආඝ්‍රාණය කොට එය නිමිති වශයෙන් නොගනී. නැවත නැවත මතක් වනසේ සිතට නොගනී. යමක් හේතු කොට ගෙන ඝානෙන්ද්‍රිය (නාසය) අසංවරව වාසය කරන්නහුට ලෝභ ද්වේෂ අකුසල ධර්මයෝ උපදිත්ද එහි සංවරය පිණිස පිළිපදියි. ඝානෙන්ද්‍රිය රකියි. ඝානෙන්ද්‍රියාගේ සංවරයට පැමිණෙයි.

දිවෙන් රසක් විඳ එය අරමුණු වශයෙන් නොගනී. නැවත නැවත මතක්වනසේ නොගනී. යමක් හේතු කොට ගෙන, ජිව්හේන්ද්‍රිය සංවර නොකොට වාසයකරන්නාහට ලෝභ ද්වේෂ අකුශල ධර්මයෝ උපදිත්ද එහි සංවරය පිළිපදියි. ජීව්හෙන්ද්‍රිය (දිව) ආරක්ෂා කරයි. ජිව්හේන්ද්‍රියයෙහි සංවරයට පැමිණෙයි.“

කයින් පහසක් ස්පර්ශකොට නිමිති වශයෙන් නොගනියි. නැවත නැවත මතක් වන සේ සිතට නොගනියි. යමක් හේතු කොට කායෙන්ද්‍රිය අසංවරව වාසය කරන්නහුට ලෝභ ද්වේෂ අකුසල ධර්මයෝ උපදිත්ද, ඒ කායෙන්ද්‍රිය සංවරය පිණිස පිළිපදියි. කායෙන්ද්‍රිය ආරක්ෂා කරයි. කායෙන්ද්‍රියේ සංවරයට පැමිණෙයි.

සිතින් ආරම්මණයක් දැන නිමිති වශයෙන් නොගනී. නැවත නැවතත් මතක් වන සේ සිතට නොගනී. යම් හෙයකින් සිත අසංවරව වාසය කරන්නහුට ලෝභ ද්වේෂ අකුශල ධර්මයෝ උපදිත්ද, ඒ මනින්ද්‍රිය (සිත) සංවරය පිණිස පිළිපදියි. මනින්ද්‍රිය රකී. මනින්ද්‍රිය සංවරයට පැමිණෙයි.

හෙතෙමේ මේ උතුම් ඉන්ද්‍රිය සංවරයෙන් යුක්තවූයේ තම සන්තානයෙහි කෙලෙසුන්ගෙන් තෙත් නොවූ සැපය විඳින්නේය.“

§ 33 .හෙතෙමේ ඉදිරියට යාමෙහිද ආපසු යාමෙහිද නුවණින් යුක්තවූයේ වෙයි. ඉදිරිපස බැලීමෙහිද හැරී බැලීමෙහිද නුවණින් යුක්තවූයේ වෙයි. අත් පා හැකිලීමෙහිද දිගුකිරීමෙහිද නුවණින් යුක්තවූයේ වෙයි. සඟළ සිවුර සහ පාත්‍රා සිවුරු දැරීමෙහි නුවණින් යුක්තවූයේ වෙයි.“

§ 34. අනුභව කිරීමය, පානය කිරීමය, රස විඳීමය යන මෙහිද නුවණින් යුක්තවූයේ වෙයි. මල මුත්‍ර පහකිරීමෙහිද නුවණින් යුක්තවූයේ වෙයි. යෑම්, සිටීම්, හිඳීම්, සැතපීම්, නිදි තොර කිරීම්, කථාකිරීම්, නිශ්ශබ්ද වීම් යන මෙහිද නුවණින් යුක්තවූයේ වෙයි.“

§ 35. .උතුම්වූ මේ සීල සමූහයෙන් යුක්තවූද උතුම්වූ මේ ඉන්ද්‍රිය සංවරයෙන් යුක්තවූද, මේ උතුම්වූ සතිසම්පජඤ්ඤයෙන් යුක්තවූද, ඒ භික්ෂුව කැලයද, ගහක් මුලද, පර්වතද, කඳුරැලිද, ගල්ගුහාද, සොහොන්ද, ඉතා දුරවූ කැලෑද, හිස්තැන්ද, පිදුරු ගොඩවල්ද යන මේ විවේක සෙනාසන භජනය කෙරෙයි.

§ 36 .ඔහු බතින් පසු, පර්යංක බැඳ, ශරීරය කෙළින් තබා සිත අරමුණෙහි පිහිටුවා හිඳගනියි.“

  • ඔහු ස්කන්ධ ලෝකයෙහි ලෝභය පහකොට ලෝභ රහිත සිතින් යුක්තව වාසය කෙරේ. ලෝභයෙන් සිත පිරිසිදු කෙරේ.
  • සිත කෙලෙසන්නාවූ ක්‍රෝධය පහකොට, ක්‍රෝධයෙන් දුරුවූ සිත් ඇතිව වාසය කරයි. සියලු සතුන් කෙරෙහි හිතානුකම්පා ඇතිව වාසය කරයි. ක්‍රෝධයෙන් සිත පිරිසිදු කෙරේ.
  • කාය චිත්ත දෙදෙනාගේ අලස බව දුරු කොට කය-සිත පිළිබඳ පහවූ අලස බව ඇත්තේ ආලෝක සංඥා ඇත්තේ, සිහි ඇත්තේ, යහපත් ප්‍රඥා ඇත්තෙක්ව ථිනමිද්ධයෙන් සිත පිරිසිදු කෙරේ.
  • නොසන්සුන්කම හා පසුතැවීම දුරුකොට, සංසිඳුනු සිත් ඇතිව වාසය කෙරේ. ඇතුළත සංසිඳුනු සිත් ඇත්තේ, උද්ධච්චකුක්කුච්චයෙන් සිත පිරිසිදු කෙරේ.
  • සැකය දුරු කොට, පහකළ සැක ඇත්තේ කුශල ධර්ම විෂයෙහි එසේද මෙසේදැයි සැක නැතිව විචිකිච්ඡාවෙන් සිත පිරිසිදු කෙරේ.“

§ 37 .හෙතෙම සිත කිලුටු කරන්නාවූ, ප්‍රඥාව දුර්වල කරන්නාවූ මේ පංච නීවරණයන් දුරුකොට, කාමයන්ගෙන් වෙන්වම අකුශල ධර්මයන්ගෙන් වෙන්වම විතර්ක සහිතවූ විචාර සහිතවූ විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැප ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වාසය කරයි,

උදායීය, යමක් ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස භික්ෂූහු මාගේ ශාසනයෙහි උතුම් හැසිරීමෙහි හැසිරෙත්ද අතිශයින් උතුම්වූද, අතිශයින් ප්‍රණීතවූද මේ ධර්මයද වේ.

§ 38 .උදායීය, නැවත අනිකක්ද කියමි. මහණහු විතර්ක විචාරයන්ගේ සංසිඳීමෙන් ඇතුලත පැහැදීම ඇති, හිතේ එකඟ බව ඇති, විතර්ක රහිතවූ විචාර රහිතවූ සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ද්විතීය ධ්‍යානයට පැමිණ වාසය කරයි, උදායීය, යමක් ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස භික්ෂූහු මාගේ ශාසනයෙහි උතුම් හැසිරීමෙහි හැසිරෙත්ද අතිශයින් උතුම්වූද, අතිශයින් ප්‍රණීතවූද මේ ධර්මයද වේ.“

§ 39 .උදායීය, නැවත අනිකක්ද කියමි. භික්ෂුව ප්‍රීතියෙහිද නොඇලීමෙන් උපෙක්ෂා ඇත්තේ වාසය කරයි, සිහියෙන් යුක්ත වූයේ, නුවූණින් යුක්තවූයේ ශරීරයෙන් සුවය විඳින්නේද, ආර්යයෝ යම් ධ්‍යානයක් උපෙක්ෂා ඇති සිහි ඇති සැප විහරණ ඇත්තේයයි කියද්ද, ඒ තෘතීය ධ්‍යානයට පැමිණ වාසය කරයි.

උදායීය, යමක් ප්‍රත්‍යක්ෂ කිරීම සඳහා භික්ෂුහු මාගේ ශාසනයෙහි උතුම් හැසිරීමෙහි හැසිරෙත්ද, අතිශයින් උතුම්වූද අතිශයින් ප්‍රණීතවූද මේ ධර්මයද වේ.“

§ 40 .උදායීය, නැවත අනිකක්ද කියමි. භික්ෂුව සැපය දුරු කිරීමෙන්ද, දුක දුරු කිරීමෙන්ද, (ධ්‍යානය ලැබීමට) පළමුවම සොම්නස් දොම්නස් දෙදෙනාගේ නැසීමෙන් දුක්ද නොවූ, සැපද නොවූ උපෙක්ෂා සිහියෙන් පිරිසිදු බව ඇති සතරවන ධ්‍යානයට පැමිණ වාසය කරයි.“

§ 41 . හෙතෙමේ මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කාම හිත් රහිතවූ කල්හි, ක්ලෙශයන් පහව ගිය කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට යොග්‍යවූ කල්හි, හිත ස්ථිරවූ කල්හි, කම්පානොවන බවට පැමිණි කල්හි, පෙර ජාති සිහි කිරීමේ ඥානය පිණිස සිත නමයි.

හේ තමාගේ නොයෙක් විදියේ පෙර විසීම් සිහි කෙරෙයි. කෙසේදයත්, ‘එක් ජාතියක්ද, ජාති දෙකක්ද, ජාති තුනක්ද, ජාති හතරක්ද, ජාති පසක්ද, ජාති දසයක්ද ජාති විස්සක්ද, ජාති තිසක්ද, ජාති සතළිසක්ද, ජාති පනසක්ද, ජාති සියයක්ද, දහස් ජාතියක්ද, සියක් දහස් ජාතියක්ද, නොයෙක් විනාශ වෙමින් පවතින කල්පයන්ද, නොයෙක් හැදෙමින් පවතින කල්පයන්ද, නොයෙක් විනාශවන හෝ හැදෙන කල්පයන්ද, ‘අසුවල් තැන වීමි. මෙනම් ඇත්තෙම්, මේ ගොත්‍ර ඇත්තෙම්, මේ පාට ඇත්තෙම්, මේ කෑම ඇත්තෙම්, මේ සැප දුක් වින්දෙම්, මේ ආයුෂ කෙළවර කොට ඇත්තෙම් වීමි. ඒ මම එයින් චුතවූයෙම්, අසුවල් තැන උපන්නෙම්, එහිදු මෙනම් ඇත්තෙම්, මේ ගොත්‍ර ඇත්තෙම්, මේ පාට ඇත්තෙම් මේ කෑම ඇත්තෙම්, මේ සැප දුක් වින්දෙම්, මේ ආයුෂ කෙළවර කොට ඇත්තෙම් වීමි. ඒ මම එයින් චුතවූයෙම්, මෙහි උපන්නෙමි’යි මෙසේ ආකාර සහිතව, දැක්වීම් සහිතව, නොයෙක් විදියේ පෙර ජීවිත සිහි කෙරෙයි.

උදායීය, යමක් ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස භික්ෂූහු මාගේ ශාසනයෙහි උතුම් හැසිරීමෙහි හැසිරෙත්ද අතිශයින් උතුම් වූද, අතිශයින් ප්‍රණීතවූද, මේ ධර්මයද වේ.“

§ 42 . ඔහු මේ මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කාමය සිතෙහි නැති වූ කල්හි, කෙලෙස් පහව ගිය කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට යොග්‍යවූ කල්හි, හිත ස්ථිරවූ කල්හි, කම්පා නොවන බවට පැමිණි කල්හි, චුති උත්පත්ති දැනගන්නා නුවණ පිණිස සිත නමයි.

. හේ පිරිසිදුවූ මිනිස් ඇස ඉක්මවූ, දිව ඇසින් චුතවන උපදින සත්ත්වයන් දකී. පහත්වූද උසස්වූද, ලක්ෂණවූද, අවලක්ෂණවූද, හොඳ ලොව උපදින්නාවූද, නරක ලොව උපදින්නාවූද, කර්මයට අනුව උපදින්නාවූ සත්ත්වයන් දකී. ‘

මේ පින්වත් සත්වයෝ කාය දුශ්චරිතයෙන් යුක්තවූහ. වාග් දුශ්චරිතයෙන් යුක්තවූහ. මනො දුශ්චරිතයෙන් යුක්තවූහ. ආර්යයන්ට ගරහන්නෝ වූහ, මිථ්‍යාදෘෂ්ටිකයෝ වූහ. මිථ්‍යාදෘෂ්ටි කර්ම සමාදන්වූවෝ වූහ. ඔව්හු මරණින් මතු සැපයෙන් තොරවූ, නපුරුවූ දුක්වූ නිරයට පැමිණෙත්.

නැතහොත්, මේ පින්වත් සත්ත්වයෝ කාය සුචරිතයෙන් යුක්තවූහ. වාක් සුචරිතයෙන් යුක්ත වූහ, මනො සුචරිතයෙන් යුක්ත වූහ, ආර්යයන්ට ගරහන්නෝ නොවූහ, සත්‍යය අදහන්නෝ වූහ, සත්‍ය ඇදහීම් සමාදන් වූහ. ඔව්හු මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ග ලෝකයට පැමිණියෝ”යි මෙසේ පිරිසිදුවූ මිනිස් ඇස ඉක්මවූ දිව ඇසින් චුතවන උපදින සත්ත්වයන් දකී. මෙසේ පිරිසිදුවූ මනුෂ්‍යත්වය ඉක්ම සිටියාවූ දිවැසින් චුතවන්නාවූද උපදින්නාවූද පහත්වූද උසස්වූද ලක්ෂණවූද අවලක්ෂණවූද හොඳ ලොවට ගියාවූද නරක ලොවට ගියාවූද කර්මය ලෙස පැමිණි සත්ත්වයන් දනී.“

§ 43 . ඔහු මේ මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කාමහිත් රහිතවූ කල්හි, ක්ලෙශයන් පහව ගිය කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට යොග්‍යවූ කල්හි, හිත ස්ථිරවූ කල්හි, කම්පානොවන බවට පැමිණි කල්හි සිතේ පැසවන කෙලෙස් පහකිරීමේ ඥානය පිණිස සිත නමයි.

ඔහු මේ දුක යයි තතු ලෙස දැනගණී, මේ දුක් ඉපදීමේ හේතුවයයි තතු ලෙස දැනගණී, මේ දුක් නැතිකිරීමයයි තතු ලෙස දැන ගණී, මේ දුක් නැතිකිරීමේ මාර්ගයයි තතු ලෙස දැනගණී, මේ පැසවන කෙලෙස්යයි තතු ලෙස දැනගණී මේ පැසවන ක්ලේශයන්ගේ හේතුවයයි තතු ලෙස දැනගණී, මේ ඒ කෙලෙස් නැතිකිරීමයයි තතු ලෙස දැනගනී, මේ ඒ කෙළෙස් නැතිකිරීමේ මාර්ගයයයි තතුලෙස දැනගනී“

§ 44 . මෙසේ දන්නා දක්නා ඔහුගේ සිත කාම ආශ්‍රවය කෙරෙන්ද මිදේ, භව ආශ්‍රවය කෙරෙන්ද සිත මිදේ අවිද්‍යාශ්‍රවය කෙරෙන්ද සිත මිදේ, මිදුනු කල්හි මිදුනේය යන ඥානය පහළවෙයි. ඉපදීම නැති විය. උතුම් හැසිරීමෙහි වසනලදි, කටයුත්ත කරණ ලදී, මින් පසු මේ සඳහා කළ යුත්තක් නැතැ’යිද දැනගණී.“

උදායීය, යමක් ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස භික්ෂූහු මාගේ ශාසනයෙහි උතුම් හැසිරීමෙහි හැසිරෙත්ද මේ වනාහි ඒ ඉතා උතුම්වූද, ඉතා ප්‍රණීතවූද ධර්මය වේ. උදායීය, යම් ධර්මයන් ප්‍රත්‍යක්ෂ කිරීම සඳහා භික්ෂූහු මාගේ ශාසනයෙහි උතුම් හැසිරීමෙහි හැසිරෙත්ද මේ වනාහි ඉතා උතුම්වූද, ඉතා ප්‍රණීතවූද එම ධර්මයෝ වෙතියි” වදාළේය.

§ 45. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ කල්හි සකුළුදායී පරිබ්‍රාජකයන් භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීයේය.

“ස්වාමීනී, ඉතා යහපත. ස්වාමීනි, ඉතා යහපත. ස්වාමීනි, යම්සේ යටිකුරු කොට තබන ලද්දක් උඩුකුරු කරන්නේද, වසා තබන ලද්දක් හෝ විවෘත කරන්නේද, මං මුලාවූවෙකුට හෝ මග කියන්නේද, අන්ධකාරයෙහි හෝ ඇස් ඇත්තෝ රූප දකිත්වායි තෙල් පහනක් දරන්නේද, එපරිද්දෙන්ම භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් ආකාරයෙන් ධර්මය දේශනා කරණ ලදී. ස්වාමීනි, ඒ මම භාග්‍යවතුන් වහන්සේ සරණකොට යමි. ධර්මයද භික්ෂු සංඝයාද (සරණකොට යමි) ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි පැවිදිවීම ලබන්නෙමියි” කීය

§ 46. මෙසේ කී කල්හි සකුළුදායී පරිබ්‍රාජකයාගේ පිරිස බොහෝ කලබල වුයේ අසතුටට පත් වුයේ සිය ආචාරීන් වන සකුළුදායී පරිව්‍රාජකයාට මෙසේ කීයේය.“

“භවත් උදායීය, ශ්‍රමණ ගෞතමයන් කෙරෙහි බ්‍රහ්මචර්යාවෙහි නොහැසිරේවා. භවත් උදායී තුමා බොහෝ දෙනෙකුට ආචාර්යයෙක්ව සිට වෙනත් කෙනෙකුට අතවැසිව වාසය නොකෙරේවා.

යම්සේ නම් මහ දිය සැලියක්ව සිට නැවත දිය ඉසින කිනිස්සක් වන්නේ යම් සේද , භවත් උදායීහුගේ මේ කාරණය එසේ වන්නේය. උදායීය ශ්‍රමණ ගෞතමයන් කෙරෙහි බ්‍රහ්ම චර්යාවෙහි නොහැසිරේවා. භවත් උදායීය තෙමේ ගුරුවරයෙක්ව සිට අතවැසිව නොවෙසේවා” යනුයි.

මෙසේ සකුළුදායී පරිබ්‍රාජකයාගේ පිරිස සකුළුදායී පරිබ්‍රාජකයාට භාග්‍යවතුන් වහන්සේගේ සාසනයෙහි බ්‍රහ්මචර්යාවෙහි හැසිරීමට බාධා කෙළේය. 786

[786:-මේ අභාග්‍ය සම්පන්න ඉරණම එනම් තමනට පැවිදි වන්නට ඕනෑකම තිබියදී එසේ කිරීමට නොලැබීම පෙර අත් බවෙකදී සකුළුදායි කල කර්මයක ඵලයක් බව අටුවාව කියයි. පෙර අත්බවකදී ඔහු කස්සප නම් සම්බුද්ධරාජයාන කෙනෙකුගේ සාසනයෙහි සකුළුදායි මහණ දම් පිරු බවත්, ඔහුගේ සබ්‍රහ්මචාරි සොයුරු භික්ෂුවක් උපැවිදි වනන්නට කැමති බව ඔහුට කීවිට ඒ භික්ෂුවගේ සිව්ර හා පාත්‍රය තමනට ලබා ගැනීමේ කැමැත්තෙන් ඔහුට උපෑවැදී වෙන්නට ඉඩ හැරීමේ හේතුවෙන් සකුල්දායි පිරිවැඩි හට ගෞතම බුද්ධ සාසනයෙහි පැවිදි වන්නට ඉඩ නොලැබුණු බවත් ආටුවාව කියයි. භාග්‍යවතුන් වහන්සේ ඔහුට දෙසනා කල වටිනා සුත්‍ර ධර්ම දෙක ඔහුගේ අනාගත විමුක්තියට ආධාර වූ බවත් අශෝහ අධිරාජයාගේ සමයෙහි ඉපිද අස්සගුත්ත නමිනි පැවිදිව මහා රහත් බව ලබා මෛත්‍රී වඩන්නවූ භික්ෂුන් ගෙන් බොහෝ තුම් වූ රහතුන් වහන්සේ ලෙස සිටි බවත් කියැවේ.]

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.