SN 03-01-10 . පුප්ඵ වර්ගය

SN 03-01-10-01.
නදී සූත්‍රය

§ 1. මා විසින් මෙසේ අසන ලදී.
එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසයකරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.

§ 2 “මහණෙනි, යම්සේ පර්වතයෙක සිට පටන් ගෙන බොහෝ දුර ඉතා සැඩ වේගයෙන් ගලන ගංගාවක දෙබඩ වැලුක්තණද වෙත්. ඒ වැලුක් ඒ ගඟට නැමී වැඩියක් මත්තෙහි එල්බෙත්. හට ගත්තාවූ කුස තණද වෙත්. ඒ කුස තණද ඒ ගඟට එල්බී පවතිත්. හටගත්තාවූ බබුස් තණද වෙත්. ඒ බබුස්තණද ඒ ගඟට එල්බෙති. එහි හටගත් බෙරු තණද වෙත්. ඒ බෙරු තණද ඒ ගඟට නැමී එල්බෙන්නාහුය. හටගත් ගස්ද වෙත්. ඒ ගස්ද ඒ ගඟට නැමී එල්බෙන්නාහුය.

§3. “ඒ ගඟේ සැඩ පහරින් ගසා ගෙන යන පුරුෂයෙක් සැඩ පහරින් ගැලවී ගොඩ ඒමට වැලුක්තණ අල්ලා ගන්නේය. ඒ වැලුක්තණ පඳුර සහමුලින් මැටි සමග ඔහු හිසටම වැටෙන්නාහුය. හෙතෙම ඒ හේතුකොට ගෙන මහා විනාශයට පැමිණෙන්නේය. ඔහු කුසතණද අල්වා ගන්නේය. ඒ කුසතණද සහමුලින් මැටි සමග ඉගිල වැටෙන්නාහුය. හෙතෙම ඒ හේතුකොටගෙන මහාවිනාශයට පැමිණෙන්නේය. බබුස්තණද අල්වාගන්නේය. ඒ බබුස්තණ පඳුරුද ඉදිරී වැටෙන්නාහුය. හෙතෙම ඒ හේතුකොටගෙන මහාවිනාශයට පැමිණෙන්නේය. බෙරුතණද අල්ලා ගන්නේය. ඒ බෙරුතණ පඳුරු ද ඉදිරී වැටෙන්නාහුය. හෙතෙම ඒ හේතුකොට ගෙන මහාවිනාශයට පැමිණෙන්නේය. ගස්ද අල්වාගන්නේය. ඒ ගස්ද සහමුලින් මැටි සමග ඉගිලී වැටෙන්නාහුය. හෙතෙම ඒ හේතුකොටගෙන මහාවිනාශයට පැමිණෙන්නේය.

§4. “මහණෙනි; එපරිද්දෙන්ම ආර්යයන් නොදක්නාවූ ආර්ය ධර්මයෙහි දක්ෂ නොවූ ආර්යධර්මයෙහි නොහික්මුණාවූ සත්පුරුෂයන් නොදක්නාවූ සත්පුරුෂ ධර්මයෙහි අදක්ෂවූ සත්පුරුෂයන්ගේ ධර්මයෙහි නොහික්මුණාවූ ඇසූ පිරූ තැන් නැත්තාවූ පෘථග්ජන පුත්ගලයා…..

(i) …රූපය මමය වශයෙන් හෝ දක්නේය. තමා රූපය ඇත්තෙකුකොට හෝ දක්නේය. මම කෙරෙහි හෝ රූපය වෙතැයි දක්නේය. රූපයෙහි තමා දක්නේය. ඔහුගේ ඒ රූපය වැනසෙයි. හෙතෙම ඒ හේතුකොට ගෙන මහාවිනාශයට පැමිණෙන්නේය.

(ii)“වින්දනය මම වශයෙන් හෝ දක්නේය. මම වේදනාව විඳින්නෙකුකොට හෝ දක්නේය. වින්දනය මගෙ යයි දක්නේය. වේදනාවෙහි හෝ තමා දක්නේය. ඔහුගේ ඒ වේදනාව නොපවතීයි. හෙතෙම ඒ හේතුකොට ගෙන මහා විනාශයට පැමිණෙන්නේය.

(iii)“සංඥාව මම වශයෙන් හෝ දක්නේය. මම සංඥාව ඇත්තෙකුකොට හෝ දක්නේය. තමා කෙරෙහි හෝ සංඥාව දක්නේය. සංඥාවෙහි හෝ තමා දක්නේය. ඔහුගේ ඒ සංඥා නොපවතී. වැනසෙයි. හෙතෙම ඒ හේතුකොට ගෙන මහා විනාශයට පැමිණෙන්නේය.

(iv)”සංස්කාරයන් මම වශයෙන් හෝ දක්නේය. තමා සංස්කාරයන් ඇත්තෙකු කොට හෝ දක්නේය. තමා කෙරෙහි හෝ සංස්කාරයන් දක්නේය. සංස්කාරයන්හි හෝ තමා දක්නේය. ඔහුගේ ඒ සංස්කාරයෝ වැනසෙත්. හෙතෙම ඒ හේතුකොටගෙන මහා විනාශයට පැමිණෙන්නේය.

(v)“විඤ්ඤාණය ආත්මය වශයෙන් හෝ දක්නේය. තමා විඤ්ඤාණය ඇත්තෙකුකොට හෝ දක්නේය. තමා කෙරෙහි හෝ විඤ්ඤාණය දක්නේය. විඤ්ඤාණයෙහි හෝ තමා දක්නේය. ඔහුගේ ඒ විඥානය වැනසෙන්නේය. හෙතෙම ඒ හේතුකොටගෙන මහා විනාශයට පැමිණෙන්නේය.

§ 6. “මහණෙනි, ඒ කුමැයි සිතන්නෙහිද?
“රූපය නිත්‍යද? අනිත්‍යද?” –
“ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් අනිත්‍යවේ නම් එය දුක් හෝ සැප හෝ වේද?” –
“ස්වාමීනි, දුකෙකි.”
“යමක් අනිත්‍යද, දුකද, වෙනස්වන ස්වභාවයෙන් යුක්ත නම් ? ‘මේ රූපය මාගේය. මේ මම වෙමි. මේ මගේ ආත්මයයි’ ඒ රූපය දක්නට සුදුසුද?-
“ස්වාමීනි, මෙය සුදුසු නොවේමය.”

“වේදනාව නිත්‍යද? අනිත්‍යද?” –
‘ස්වාමීනි අනිත්‍යය.”
“යමක් අනිත්‍ය වේනම් , එය දුක් හෝ සැප හෝ වේද?” –
“ස්වාමීනි, දුකෙකි.”
“යමක් අනිත්‍ය නම් , දුක නම්, වෙනස්වන ස්වභාවයෙන් යුක්ත නම් ‘මේ වේදනාව මගේය. මේ මම වෙමි. මේ මගේ ආත්මයයි’ ඒ වේදනාව දක්නට සුදුසුද?” –
“ස්වාමීනි, සුදුසු නොවේමය.”

“සංඥාව නිත්‍යද? අනිත්‍යද?” –
“ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් අනිත්‍ය වේනම් , එය දුක් හෝ සැප හෝ වේද?” –
“ස්වාමීනි, දුකෙකි.”
“යමක් අනිත්‍ය නම්, දුක නම්, වෙනස්වන ස්වභාවයෙන් යුක්ත නම්, ‘මේ සංඥාව මාගේය. මේ මම වෙමි. මේ මාගේ ආත්මයයි’ ඒ සංඥාව දක්නට සුදුසුද?” –
“ස්වාමිනි, සුදුසු නොවේමය.”

“සංස්කාරය නිත්‍යද? අනිත්‍යද?” –
“ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් අනිත්‍ය වේ නම්, එය දුක් හෝ සැප හෝ වේද?” –
“ස්වාමීනි, දුකෙකි.”
“යමක් වනාහි අනිත්‍ය නම් , දුක නම්, වෙනස්වන ස්වභාවයෙන් යුක්ත නම්, ‘මේ සංස්කාරය මාගේය. මේ මම වෙමි. මේ මාගේ ආත්මයයි’ ඒ සංස්කාරය දක්නට සුදුසුද?” –
“ස්වාමීනි, සුදුසු නොවේමය.”

“විඤ්ඤාණය නිත්‍යද? අනිත්‍යද?” –
“ස්වාමීනි, අනිත්‍යය.”
““යමක් අනිත්‍ය වේ නම්, එය දුක් හෝ සැප හෝ වේද?” –
“ස්වාමීනි, දුකෙකි.”
“යමක් වනාහි අනිත්‍ය නම් , දුක නම්, වෙනස්වන ස්වභාවයෙන් යුක්ත නම් . ‘මේ විඤ්ඤාණය මගේය. මේ මම වෙමි. මේ මගේ ආත්මයයි’ දක්නට සුදුසුද?” –
“ස්වාමීනි, මෙය සුදුසු නොවේමය.”

§ 7 .“එහෙයින් මහණෙනි, තමා පිළිබඳවූ හෝ බාහිරවූ හෝ මහත්වූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ උතුම්වූ හෝ අතීතවූද, වර්තමානවූද, යම්කිසි රූපයෙක් වේද, දුරෙහි හෝ සමීපයෙහි හෝ යම් රූපයෙක් වේද,
මේ රූපය මාගේ නොවේ. මේ මම නොවෙමි. මේ මාගේ ආත්මය නොවේ’
යයි මෙසේ මේ රූපය තත්වූ පරිද්දෙන් සම්‍යක් ප්‍රඥාවෙන් දත යුතුයි.“

අධ්‍යාත්මිකවූ හෝ බාහිරවූ හෝ මහත්වූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ උතුම්වූ හෝ අතීතවූද, අනාගතවූද, වර්තමානවූද යම්කිසි වේදනාවක් වේද, දුරෙහි හෝ සමීපයෙහි හෝ යම් වේදනාවක් වේද,
‘මේ වේදනාව මාගේ නොවේ, මේ මම නොවෙමි, මේ මාගේ ආත්මය නොවේ’
යයි මෙසේ මේ වේදනාව තත්වූ පරිද්දෙන් සම්‍යක් ප්‍රඥාවෙන් දත යුතුය.

§ 8 .“තමා පිළිබඳවූ හෝ බාහිරවූ හෝ මහත්වූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ උතුම්වූ හෝ අතීතවූ ද, අනාගතවූද, වර්තමානවූද, යම්කිසි සංඥාවක් වේද, දුරෙහි හෝ සමීපයෙහි හෝ යම් සංඥාවක් වේද, ‘මේ සංඥාව මාගේ නොවේ, මේ මම නොවෙමි, මේ මාගේ ආත්මය නොවේයයි මෙසේ මේ සංඥාව තත්වූ පරිද්දෙන් සම්‍යක් ප්‍රඥාව දතයුතුය.

§ 9 .“තමා පිළිබඳවූ හෝ බාහිරවූ හෝ මහත්වූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ උතුම්වූ හෝ අතීතවූද, අනාගතවූද, වර්තමානවූද යම්කිසි සංස්කාරයෝ වෙද්ද, දුරෙහි හෝ සමීපයෙහි හෝ යම් සංස්කාරයෝ වෙත්ද ‘මේ සංස්කාරය මාගේ නොවේ. මේ මම නොවෙමි. මේ මාගේ ආත්මය නොවේ’යයි මෙසේ මේ සංස්කාරය තත්වූ පරිද්දෙන් සම්‍යක් ප්‍රඥාවෙන් දතයුතුය.

§ 10 .“තමා පිළිබඳවූ හෝ බාහිරවූ හෝ මහත්වූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ උතුම්වූ හෝ අතීතවූද, අනාගතවූද, වර්තමානවූද යම්කිසි විඥානයක් වේද, දුරෙහි හෝ සමීපයෙහි හෝ යම් විඥානයක් වේද, ‘මේ විඥානය මාගේ නොවේ මේ මම නොවෙමි. මේ මාගේ ආත්මය නොවේ’යයි මෙසේ මේ විඥානය තත්වූ පරිද්දෙන් සම්‍යක් ප්‍රඥාවෙන් දත යුතුය.”

§ 11 .“මහණෙනි, මෙසේ දක්නාවූ, ඇසූ පිරූ තැන් ඇත්තාවූ, ආර්යශ්‍රාවක තෙමේ රූපයෙහිද කලකිරේ. වේදනාවෙහිද කලකිරේ. සංඥාවෙහිද කලකිරේ. සංස්කාරයන්හිද කලකිරේ. විඥානයෙහිද කලකිරේ. කලකිරුණේ නොඇලේ. නොඇලීමෙන් (කෙලෙසුන්ගෙන්) මිදේ. මිදුණු කල්හි මිදුණේයයි දැනීම වේ. ජාතිය ක්ෂයවූවාය. බ්‍රහ්මචර්යාවෙහි හැසිර නිමවන ලද්දේය. සතර මාර්ගයෙන් කටයුතු කොට නිමවන ලද්දේය. මේ රහත් බව පිණිස කළයුතු අනිකක් නැතැයි විශේෂයෙන් දැනගනී.”

(පළමුවෙනි නදී සූත්‍රය නිමි.)

SN 03-01-10-02.
. පුප්ඵ සූත්‍රය

§ 1. මා විසින් මෙසේ අසන ලදී.
එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරනසේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්‍ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.

§ 2 .“මහණෙනි, මම ලෝකයා සමග විවාද නොකරමි. මහණෙනි, ලෝවැස්සාද මා සමග විරුද්ධ වාද කෙරෙයි. මහණෙනි, දහම් කියන්නෙක් ලෝකයෙහි කිසිවකු සමග විවාද නොකෙරෙයි.
මහණෙනි, ලෝකයෙහි පණ්ඩිතයන් විසින් ‘යමක් නැතැ’යි මනාව දන්නා ලද්දේද, මමත් ‘එය නැතැ’යි කියමි.
මහණෙනි, ලෝකයෙහි පණ්ඩිතයන් විසින් ‘යමක් ඇතැ’යි මනාව දන්නා ලද්දේද, මමත් ‘එය ඇතැ’යි කියමි.
“මහණෙනි, ලෝකයෙහි පණ්ඩිතයන් විසින් කුමක් නැතැ’යි මනාව දන්නා ලද්දේද? මම යමක් නැතැයි කියම්ද, මහණෙනි, නිත්‍යවූ ස්ථිරවූ සදාකාලිකවූ නොපෙරළෙන ස්වභාව ඇත්තාවූ රූපයෙක් ලෝකයෙහි පණ්ඩිතයන් විසින් ‘නැතැ’යි මනාව දන්නා ලද්දේය. මමද එය ‘නැතැ’යි කියමි.

§ 3 .“නිත්‍යවූ ස්ථීරවූ සියලු කල්හි පවත්නාවූ නොපෙරළෙන ස්වභාව ඇත්තාවූ වේදනාවක් ලෝකයෙහි පණ්ඩිතයන් විසින් ‘නැතැ’යි මනාව දන්නා ලදහ. මමද එය ‘නැතැ’යි කියමි.
“නිත්‍යවූ, ස්ථිරවූ, හැමකල්හි පවත්නාවූ, නොපෙරළෙන ස්වභාව ඇත්තාවූ, සංඥාවක් ලෝකයෙහි පණ්ඩිතයන් විසින් ‘නැතැයි මනාව දන්නා ලද්දේය. මමද එය ‘නැතැ’යි කියමි.
“නිත්‍යවූ, ස්ථිරවූ, හැම කල්හි පවත්නාවූ, නොපෙරළෙන ස්වභාවය ඇත්තාවූ, සංස්කාරයෝ ලෝකයෙහි පණ්ඩිතයන් විසින් ‘නැතැ’යි මනාව දන්නාලද්දාහ. මම ද එය ‘නැතැ’යි කියමි.
“නිත්‍යවූ, ස්ථිරවූ, සියලුකල්හි පවත්නාවූ, නොපෙරළෙන ස්වභාව ඇත්තාවූ, විඤ්ඤාණයෙක් ලෝකයෙහි පණ්ඩිතයන් විසින් ‘නැතැ’යි මනාව දන්නා ලද්දේය. මමද එය ‘නැතැ’යි කියමි.
“මහණෙනි, ‘මම යමක් නැතැ’යි කියම්ද, මේ වනාහි ලෝකයෙහි පණ්ඩිතයන් විසින් ‘නැතැ’යි සම්මත කරන ලද්දේය.
“මහණෙනි, මම යමක් ඇතැයි කියම්ද, ලෝකයෙහි පණ්ඩිතයන් විසින් කුමක් ‘ඇතැ’යි සම්මත කරන ලද්දේද? මහණෙනි, අනිත්‍යවූ, දුක්වූ, පෙරළෙන ස්වභාව ඇත්තාවූ රූපය ලෝකයෙහි පණ්ඩිතයන් විසින් ඇතැයි සම්මත කරන ලද්දේය. මමද එය ‘ඇතැ’යි කියමි.

§ 4 .“ලෝකයෙහි පණ්ඩිතයන් විසින් අනිත්‍යවූ, දුක්වූ, පෙරළෙන ස්වභාවය ඇත්තාවූ, වේදනා තොමෝ ‘ඇතැයි සම්මත කරන ලද්දේය. මමද එය ‘ඇතැ’යි කියමි.
“ලෝකයෙහි පණ්ඩිතයන් විසින් අනිත්‍යවූ, දුක්වූ පෙරළෙන ස්වභාව ඇත්තාවූ සංඥාතොමෝ ‘ඇතැ’යි සම්මත කරන ලද්දේය. මමද එය ‘ඇතැ’යි කියමි.
“ලෝකයෙහි පණ්ඩිතයන් විසින් අනිත්‍යවූ, දුක්වූ පෙරළෙන ස්වභාවය ඇත්තාවූ සංස්කාරයෝ ‘ඇතැ’යි සම්මත කරන ලද්දාහුය. මමද එය ‘ඇතැ’යි කියමි.
“ලෝකයෙහි පණ්ඩිතයන් විසින් අනිත්‍යවූ, දුක්වූ, පෙරළෙන ස්වභාවය ඇත්තාවූ විඤ්ඤාණය ‘ඇතැ’යි සම්මත කරන ලද්දේය. මමද එය ‘ඇතැ’යි කියමි.

§ 5 “මහණෙනි, තථාගතයන් වහන්සේ යම් ලෝ දහමක් මනාව අවබෝධ කෙරෙද්ද, මනාව දැනගනිද්ද, මනාව අවබෝධකොට මනාව දැන කියද්ද, ප්‍රකාශ කෙරෙද්ද, දන්වද්ද, පිහිටුවද්ද, විවෘත කෙරෙද්ද, මනාව බෙදද්ද, ප්‍රකට කෙරෙද්ද, ලෝකයෙහි (ඒ) ස්කන්ධ පඤ්චකයයි කියන ලද ලෝකධර්මයක් ඇත.

§ 6 .“මහණෙනි, තථාගතයන් වහන්සේ යම් ලෝ දහමක් මනාව අවබෝධ කෙරෙද්ද, මනාව දැනගනිද්ද, මනාව අවබෝධකොට මනාව දැන කියද්ද, දෙසද්ද, දන්වද්ද, පිහිටුවද්ද, විවරණය කෙරෙද්ද, ප්‍රකට කෙරෙද්ද, ලෝකයෙහි (ඒ) ලොකධර්මය කවරේද?

“මහණෙනි, රූපය ලෝකයෙහි ලොකධර්මයෙකි, තථාගතයන් වහන්සේ ඒ ලෝදහම මනාව අවබෝධ කෙරෙති. මනාව දැනගනිති. මනාව අවබෝධකොට මනාව දැන කියත්, ප්‍රකාශ කෙරෙත්, දන්වත්, පිහිටුවත්, විවරණය කෙරෙත්, ප්‍රකට කෙරෙත්.“මහණෙනි, යමෙක් තථාගතයන් වහන්සේ විසින් මෙසේ කියනු ලබන කල්හි, දෙසනු ලබන කල්හි, දන්වනු ලබන කල්හි, පිහිටුවනු ලබන කල්හි, විවෘත කරනු ලබන කල්හි, ප්‍රකට කරනු ලබන කල්හි නොදනීද, නොදකීද, මහණෙනි, මම බාලවූ, නුවණ ඇස් නැත්තාවූද, නොදන්නාවූ, නොදක්නාවූ, ඒ අන්ධ පෘථග්ජනයා (ගැන) කෙසේ නම් කෙරෙම්ද?

§“මහණෙනි, වින්දනය (වේදනා) ලෝකයෙහි ලොකධර්මයෙක, තථාගතයන් වහන්සේ ඒ ලෝදහම මනාව අවබෝධ කෙරෙත්. මනාව දැනගනිත්. මනාව අවබෝධකොට මනාව දැන කියත්, දෙසත්, දන්වත්, පිහිටුවත්, විවෘත කෙරෙත්, ප්‍රකට කෙරෙත්. මහණෙනි, යමෙක් තථාගතයන් වහන්සේ විසින් මෙසේ කියනු ලබන කල්හි, දෙසනු ලබන කල්හි, දන්වනු ලබන කල්හි, පිහිටුවනු ලබන කල්හි, විවෘත කරනු ලබන කල්හි, ප්‍රකට කරනු ලබන කල්හි, නොදනීද, නොදකීද, මහණෙනි, මම අඥානවූ, නුවණැස් නැත්තාවූ, නොදන්නාවූ, නොදක්නාවූ, බොහෝ කෙලෙස් රැස්කරන්නාවූ ඒ අන්ධයා (ගැන) කෙසේ කෙරෙම්ද?

§ 7. “මහණෙනි, සංඥාව ලෝකයෙහි ලෝ දහමෙක, භාග්‍යවතුන් වහන්සේ ඒ ලෝ දහම අවබෝධ කෙරෙති. මනාව දැනගනිති. අවබෝධකොට මනාව දැන කියත්, ප්‍රකාශ කෙරෙත්, දන්වත්, පිහිටුවත්, විවෘත කෙරෙත්, ප්‍රකට කෙරෙත්. මහණෙනි, යමෙක් තථාගතයන් විසින් මෙසේ කියනු ලබන කල්හි, දෙසනු ලබන කල්හි, දන්වනු ලබන කල්හි, පිහිටුවනු ලබන කල්හි, විවෘත කරනු ලබන කල්හි, ප්‍රකට කරනු ලබන කල්හි නොදනීද, නොදකීද, මහණෙනි, මම නුවණැස් නැත්තාවූ, නොදන්නාවූ, නොදක්නාවූ, බොහෝ කෙලෙස් රැස්කරන්නාවූ ඒ අන්ධයා (ගැන) කෙසේ කෙරෙම්ද?

§ “මහණෙනි, සංස්කාරයෝ ලෝකයෙහි ලෝ දහමෙක, භාග්‍යවතුන් වහන්සේ ඒ ලෝදහම අවබෝධ කෙරෙති, මනාව දැනගනිති, අවබෝධකොට මනාව දැනගෙන කියත්, ප්‍රකාශ කෙරෙත්, දන්වත්, පිහිටුවත්, විවෘත කෙරෙත්, ප්‍රකට කෙරෙත්, මහණෙනි, යමෙක් භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ කියනු ලබන කල්හි, ප්‍රකාශ කරනු ලබන කල්හි, දන්වනු ලබන කල්හි, පිහිටුවනු ලබන කල්හි, විවෘත කරනු ලබන කල්හි, ප්‍රකට කරනු ලබන කල්හි නොදනීද, නොදකීද, මහණෙනි, මම නුවණැස් නැත්තාවූ, නොදන්නාවූ නොදක්නාවූ, බොහෝ කෙලෙස් රැස්කරන්නාවූ, අඥානවූ ඒ අන්ධ පෘථග්ජනයා (ගැන) කෙසේ කෙරෙම්ද?

§ “මහණෙනි විඤඤාණය ලෝකයෙහි ලෝ දහමෙක, තථාගතයන් වහන්සේ ඒ ලෝදහම අවබෝධ කෙරෙත්. මනාව දැනගනිත්. අවබෝධකොට මනාව දැන කියත්, ප්‍රකාශ කෙරෙත්, දන්වත්, පිහිටුවත්, විවෘත කෙරෙත්, ප්‍රකට කෙරෙත්. මහණෙනි, යමෙක් තථාගතයන් වහන්සේ විසින් මෙසේ කියනු ලබන කල්හි, ප්‍රකාශකරනු ලබන කල්හි, දන්වනු ලබන කල්හි, පිහිටුවනු ලබන කල්හි, විවෘත කරනු ලබන කල්හි, ප්‍රකට කරනු ලබන කල්හි නොදනීද, නොදකීද, මහණෙනි, මම නුවණැස් නැත්තාවූ, නොදන්නාවූ, නොදක්නාවූ, බොහෝ කෙලෙස් රැස් කරන්නාවූ, ඒ අන්ධයා (ගැන) කෙසේ කෙරෙම්ද?

“මහණෙනි, දියේ හටගත්තාවූ, දියේ වැඩුනාවූ, උපුලක් හෝ රත් පියුමක් හෝ සුදු පියුමක් හෝ දිය හා නොතැවරී දියෙන් උඩට නැගී සිටීද, මහණෙනි, එපරිද්දෙන්ම ලෝකයෙහි උපන්නාවූ, ලෝකයෙහි වැඩුණාවූ, තථාගතයන් වහන්සේ ලෝකයා හා නොතැවරුණාහු, ලෝකයා මුදුනෙහි වාසය කෙරෙතියි” වදාළසේක.

(දෙවෙනි පුප්ඵ සූත්‍රය නිමි.)

SN 03-01-10-03.
ඵෙණ සූත්‍රය

§ මා විසින් මෙසේ අසනලදී.
එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ අයොධ්‍යපුර සමීපයෙහි ගංගානම් නදීතෙර වැඩ වසනසේක. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ මහණෙනි, කියා භික්‍ෂූන් ඇමතූසේක. ඒ භික්‍ෂූහු ‘පින්වතුන් වහන්සැ’යි කියා භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රය වදාළසේක.

§ 2 .“මහණෙනි. මේ ගංගානදීහි මහත් පෙණපිඩු ගෙන එන්නේය, ඇස් ඇති පුරුෂයෙක් ඒ පෙණපිඩු දකින්නේය, බලන්නේය, නුවණින් නැවත නැවත පරීක්‍ෂා කරන්නේය. ඒ පෙණපිඩු දක්නාවූ බලන්නාවූ, නුවණින් නැවත නැවත පරීක්‍ෂා කරන්නාවූ ඔහුට ඒ පෙණ පිඩු හිස්වූවක්ම බව වැටහෙන්නේය, ශූන්‍යවූවක්ම බව වැටහෙන්නේය, හර නැත්තක්වම බව වැටහෙන්නේය.
“මහණෙනි, පෙණපිඩ පිළිබඳව කිනම් හරයක් වන්නේද?

§ 3 . “මහණෙනි, එපරිද්දෙන්ම තමා පිළිබඳවූ හෝ පිටත්හිවූ හෝ මහත්වූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ උසස්වූ හෝ අතීතවූද, අනාගතවූද, වර්තමානවූද යම් රූපයක් වේද, දුරෙහි හෝ සමීපයෙහි හෝ යම් රූපයක් වේද, මහණතෙම ඒ රූපය දකියි, බලයි. නුවණින් නැවත නැවත පරීක්‍ෂා කර බලයි. ඒ රූපය බලන්නාවූ, සිතන්නාවූ, නුවණින් නැවත නැවත පරීක්‍ෂා කරන්නාවූ ඔහුට හිස්වූවක්වම වැටහෙන්නේය, ශූන්‍යවූවක්ම වැටහෙන්නේය, හරනැති වූවක්ම වැටහෙන්නේය.
“මහණෙනි, රූපයෙහි කිනම් හරයක් වන්නේද?

§ 4 .“මහණෙනි, යම්සේ සරත් කාලයෙහි මහවැසි ඇති වැසි වසින කල්හි දිය බුබුලු උපදීද, නැතිවේද, ඇස් ඇති පුරුෂයෙක් ඒ දිය බුබුලු දක්නේ, හොඳින් බලන්නේ, නුවණින් නැවත නැවත පරීක්ෂා කරන්නේ, ඒ දිය බුබුල දක්නාවූ බලන්නාවූ නුවණින් නැවත නැවත පරීක්ෂා කරන්නාවූ ඒ පුරුෂයාහට ඒ දිය බුබුල හිස්වූවකැයිම වැටහෙන්නේය, ශූන්‍යවූවකැයිම වැටහෙන්නේය, හර නැත්තකැයිම වැටහෙන්නේය.
“මහණෙනි, දිය බුබුලේ කිනම් හරයක් වන්නේද?

§ 5 .“මහණෙනි, එසේම වනාහි තමා පිළිබඳවූ හෝ පිටත්හිවූ හෝ මහත්වූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ උතුම්වූ හෝ අතීත අනාගත-වර්තමානවූ යම් වේදනාවක් වේද, දුරවූ හෝ ලඟවූ හෝ යම් වේදනාවක් වේද, මහණතෙම ඒ වේදනාව දකියි. බලයි. නුවණින් නැවත නැවත පරීක්ෂාකර බලයි. ඒ වේදනාව දකින්නාවූ, සිතන්නාවූ, නුවණින් නැවත නැවත පරීක්ෂා කොට බලන්නාවූ, ඔහුට හිස්වූවක්ම වැටහෙන්නේය, ශූන්‍ය වූවක්වම වැටහෙන්නේය, නිස්සාරවූවක්වම වැටහෙන්නේය. .
“මහණෙනි, වේදනාවේ කිනම් හරයක් වන්නේද?

§ 6“මහණෙනි, ග්‍රීෂ්ම මාසයන්ගේ අන්තිම මාසයෙහි ඉරුමුදුනෙහි සිටි කල්හි මිරිඟුව සැලේද, ඇස් ඇති පුරුෂයෙක් ඒ මිරිඟුව දක්නේය, බලන්නේය, නුවණින් නැවත නැවත පරීක්ෂා කරන්නේය. දක්නාවූ බලන්නාවූ නුවණින් නැවත නැවත පරීක්ෂා කරන්නාවූ ඒ පුරුෂයාහට ඒ මිරිඟුව හිස්වූවකැයිම හිස්වූවකැයිම වැටහෙන්නේය, ශූන්‍යවූවකැයිම වැටහෙන්නේය, හර නැත්තකැයිම වැටහෙන්නේය.
“මහණෙනි, මිරිඟුවෙහි කිනම් හරයක් වන්නේද?

§ 7 .“මහණෙනි, එපරිද්දෙන්ම තමා පිළිබඳවූ හෝ පිටතවූ හෝ මහත්වූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ උතුම්වූ හෝ අතීත අනාගත-වර්තමානවූ යම්කිසි සංඥාවක් වේද, දුරවූ හෝ ලඟවූ හෝ යම් සංඥාවක් වේද, මහණතෙම ඒ සංඥාව දකියි, බලයි, නුවණින් නැවත නැවත පරීක්ෂා කෙරෙයි. ඒ සංඥාව දක්නාවූ බලන්නාවූ නුවණින් නැවත නැවත පරීක්ෂා කරන්නාවූ ඒ මහණහට ඒ සංඥාව හිස්වූවකැයිම වැටහෙන්නේය, ශූන්‍ය වූවකැයිම වැටහෙන්නේය, හර නැත්තකැයිම වැටහෙන්නේය.
“මහණෙනි, සංඥ වෙහි කිනම් හරෙක් වන්නේද?

§ 8. “මහණෙනි, අරටුවෙන් ප්‍රයෝජන ඇත්තාවූ අරටුව සොයන්නාවූ අරටුව සෙවීමෙහි ඇවිදින්නාවූ පුරුෂයෙක් කෙටේරියක් රැගෙන වනයකට පිවිසෙන්නේ, හෙතෙම එහි කෙළින්වූ නොපීදුණු මහ නාඹුල්කෙසෙල් ගසක් දක්නේද, හෙතෙම ඒ කෙසෙල් ගස මුලින් කපන්නේය, මුල කපා පිති කපන්නේය, පිති කපා පතුරු ගළවන්නේය, හෙතෙම ඒ කෙසෙල් ගසෙහි පතුරු ගළවනුයේ එළයද නොලබන්නේය, අරටුවක් කොයින් ලබන්නේද? ඇස් ඇති පුරුෂයෙක් ඒ කෙසෙල් පතුරු දක්නේය, බලන්නේය, නුවණින් නැවත නැවත පරීක්ෂා කරන්නේය. දක්නාවූ බලන්නාවූ නුවණින් නැවත නැවත පරීක්ෂා කරන්නාවූ ඒ පුරුෂයාහට ඒ කෙසෙල් පතුරු හිස්වූවකැයිම ශූන්‍ය වූවකැයිම හර නැත්තෙකැයිම වැටහෙන්නේය.
“මහණෙනි, කෙසෙල් කඳේ කිනම් හරයෙක් වන්නේද?

§ 9. “මහණෙනි, එපරිද්දෙන්ම තමා පිළිබඳවූ හෝ අනුන් පිළිබඳවූ හෝ මහත්වූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ උතුම්වූ හෝ අතීත -අනාගත – වර්තමානවූ යම්කිසි සංස්කාරයෝ වෙද්ද, දුරවූ හෝ ලඟවූ හෝ යම් සංස්කාරයෝ වෙද්ද, මහණකු එය දකියි, බලයි. නුවණින් නැවත නැවත පරීක්ෂා කරයි. ඒ සංස්කාර ස්කන්ධය දක්නාවූ බලන්නාවූ නැවත නැවත පරීක්ෂා කරන්නාවූ ඔහුට එය හිස්වූවකැයිම ශුන්‍ය වූවකැයිම හර නැත්තෙකැයිම වැටහෙන්නේය.
“මහණෙනි, සංස්කාරයන්හි කිනම් හරයෙක් වන්නේද?“

§ 10 .මහණෙනි, යම්සේ වනාහි මායාකාරයෙක් හෝ මායාකාරයෙකුගේ අතවැස්සෙක් හෝ සතරමංසන්ධියෙක ඇස් බැන්ඳුම දක්වන්නේද, ඇස් ඇති පුරුෂයෙක් ඒ ඇස් බැන්ඳුම දක්නේය, බලන්නේය. නුවණින් සලකන්නේය. ඒ මායාව දක්නාවූ බලන්නාවූ නුවණින් නැවත නැවත පරීක්ෂා කරන්නාවූ ඔහුට හිස්වූවකැයිම වැටහෙන්නේය, ශූන්‍යවූවකැයිම වැටහෙන්නේය, හර නැත්තෙකැයිම වැටහෙන්නේය.
“මහණෙනි, මායාවෙහි කිනම් හරයෙක් වන්නේද?

එපරිද්දෙන්ම මහණෙනි, තමා පිළිබඳවූ හෝ පිටත්හිවූ හෝ මහත්වූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ උතුම්වූ හෝ අතීත අනාගත -වර්තමානවූ හෝ යම්කිසි විඤ්ඤාණයෙක් වේද, දුරවූ හෝ ලඟවූ හෝ යම් විඤ්ඤාණයෙක් වේද, මහණතෙම ඒ විඤ්ඤාණය දකියි, බලයි, නුවණින් විමසයි. ඒ විඤ්ඤාණය දක්නාවූ බලන්නාවූ නුවණින් විමසන්නාවූ ඒ මහණහට හිස් වූවක්ම වැටහෙන්නේය, ශූන්‍යවූවක්ම වැටහෙන්නේය, හරනැත්තෙක්ම වැටහෙන්නේය.“මහණෙනි, විඤ්ඤාණයෙහි කිනම් හරයෙක් වන්නේද?

§ 11 . “මහණෙනි, මෙසේ දක්නාවූ ඇසූ පිරූ තැන් ඇත්තාවූ ආර්යශ්‍රාවක තෙම රූපයෙහිද කලකිරෙයි, වේදනාවෙහිද කලකිරෙයි. සංඥාවෙහිද කලකිරෙයි, සංස්කාරයන්හිද කලකිරෙයි, විඥානයෙහිද කලකිරෙයි, කලකිරුණේ නො ඇලෙයි, නො ඇලීමෙන් (කෙලෙසුන්ගෙන්) මිදේ. මිදුණු කල්හි “මිදුණේයයි දැනීම වෙයි, ජාතිතොමෝ ක්ෂයවූවාය, බ්‍රහ්මචර්යාවෙහි හැසිර නිමකරන ලද්දේය, කළයුත්ත කරන ලද්දේය, මේ ආත්මභාවය සඳහා කළයුතු අනිකක් නැතැ”යි දැනගනී. මේ සූත්‍රය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

§ 12. ශාස්තෲවූ සුගතයන් වහන්සේ මෙය වදාරා අනතුරුව මේ ගාථා වදාළසේක.

“රූපය පෙණපිඩක් බඳුය,
වේදනාව දියබුබුලක් බඳුය,
සංඥාව මිරිඟුවක් බඳුය,
සංස්කාරයෝ කෙසෙල් ගසක් බඳුවූහ,
විඥානය මායාවක් බඳුය”

යි සූර්යවංශිකයනට නෑවූ භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලදහ.“

යමෙක් මේ පස්කඳ නුවණින් බලාද යම් යම් අයුරකින් සිතාද, නුවණින් නැවත නැවත විමසාද, (ඔහුට එය) හිස්ව වැටහෙයි, ශූන්‍යව වැටහෙයි.“
යමෙක් (ජීවිතෙන්ද්‍රිය, කර්මයෙන් උපන් තෙජොධාතුව, සිත යන) ධර්මයන් තිදෙන පහකළාවූ (එහෙයින්ම නෑයන් විසින් බැහැර) දමන ලද රූපය දක්නේද, (හෙතෙම) සියුම් ප්‍රඥාව ඇත්තාවූද, මහත් පැතුරුණු ප්‍රඥාව ඇත්තාවූද, භාග්‍යවතුන් වහන්සේ විසින් මේ කය ගැරහිය යුතු කොට දෙසන ලදැයි දක්නේය.“
යම් කලෙක්හි ජීවිතෙන්ද්‍රියයද කර්මයෙන් උපන් තේජොධාතුවද, සිතද මේ කය හරිද්ද, එකල්හි සිතිවිලි නැත්තක්ව (නානාවිධ පණු ආදීන්ට) ගොදුරුව (ඥාතීන් විසින්) ඉවත දමන ලද්දේ (පොළොව මත) හෝනේය.“

යම් මේ විඤ්ඤාණස්කන්ධයක් වේද, (එය) අඥාන මහජනයා කතාකරවන මායාවක් නම්වෙයි, ‘එබඳු ප්‍රවේණිය වෙයි, මේ පඤ්චස්කන්ධය වධකයෙක් යයි වදාරණ ලදී.
පටන් ගන්නා ලද වීර්යය ඇත්තාවූ, සම්‍යක් ප්‍රඥාව ඇත්තාවූ, එළඹ සිටි සිහි ඇත්තාවූ, මහණා ඉදින් දවල් හෝ රෑ හෝ ස්කන්ධයන් මෙසේ දක්නේද, ඔහු සියලු (දස) සංයෝජනය පහකරන්නේය. තමහට පිහිට ඇති කරන්නේය, නිර්වාණය පතමින් හිස ගිනිගත්තෙකුසේ හැසිරෙන්නේය.”

(තුන්වෙනි ඵෙණ සූත්‍රය නිමි.)

SN 03-01-10-01.
ගොමය සූත්‍රය

පුජ්‍ය මොරගොල්ලාගම උපරතන හිමි කල විවරණය

§ 1. මා විසින් මෙසේ අසනලදී.
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. භික්ෂුවක් තෙම භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පැත්තෙක හුන්නේය. එක් පැත්තෙක හුන්නාවූ, ඒ භික්ෂුතෙම භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ කීයේය.

§ 2 .“ස්වාමීනි, නිත්‍යවූ, ස්ථිරවූ, සියලු කල්හි පවතින්නාවූ, නොපෙරලෙන ස්වභාව ඇත්තාවූ, සදාකාලිකයන් හා සමානව එසේම සිටින්නාවූ යම්කිසි රූපයෙක් ඇත්තේද?”
“ස්වාමීනි, නිත්‍යවූ, ස්ථිරවූ, සියලු කල්හි පවත්නාවූ නොපෙරලෙන ස්වභාව ඇත්තාවූ සදාකාලිකයන් මෙන් එසේම සිටින්නාවූ යම්කිසි වේදනාවක් ඇත්තේද?
“ස්වාමීනි, නිත්‍යවූ ස්ථිරවූ, හැමදා පවතින්නාවූ නොපෙරෙලෙන ස්වභාවය ඇත්තාවූ සදාකාලික වස්තුවක්සේ එසේම සිටින්නාවූ යම්කිසි සංඥාවක් ඇත්තේද?
“ස්වාමීනි, නිත්‍යවන්නාවූ ස්ථිරවන්නාවූ, හැම කල්හි පවත්නාවූ, නොපෙරෙලෙන ස්වභාවය ඇත්තාවූ සදාකාලික වස්තුවක් මෙන් එසේම සිටින්නාවූ යම්කිසි සංස්කාරයෝ ඇත්තාහුද?
“ස්වාමීනි නිත්‍යවූ ස්ථිරවූ, හැමකල්හි පවතින්නාවූ නොපෙරෙලෙන ස්වභාවය ඇත්තාවූ හැමකල්හි පවත්නාවූ දෙයක් මෙන් එසේම තිබෙන්නාවූ යම් කිසි විඥානයෙක් ඇත්තේද?”

§ 3 .“මහණ, නිත්‍යවූ, ස්ථිරවූ, හැම කල්හි පවත්නාවූ නොපෙරෙලෙන ස්වභාවය ඇත්තාවූ සදාකාලික වස්තුවක් සේ එසේම සිටින්නාවූ කිසි රූපයෙක් නැත්තේමය.
“මහණ, නිත්‍යවූ, ස්ථිරවූ, හැමදා පවතින්නාවූ නොපෙරෙලෙන ස්වභාවය ඇත්තාවූ, සදාකාලික වස්තුවක් මෙන් එසේම සිටින්නාවූ කිසි වේදනාවක් තොමෝ නැත්තේමය.
“මහණ, නිත්‍යවූ, ස්ථිරවූ, හැම කල්හි පවතින්නාවූ නො පෙරෙලෙන ස්වභාවය ඇත්තාවූ සදාකාලික වස්තුවක් මෙන් එපරිද්දෙන්ම සිටින්නාවූ කිසි සංඥාවක් නැත්තේමය.
“මහණ, නිත්‍යවූ ස්ථිරවූ හැමකල්හි පවත්නාවූ නො පෙරෙලෙන ස්වභාවය ඇත්තාවූ, සදාකාලික වස්තුවක් මෙන් එකාකාරව සිටින්නාවූ කිසි සංස්කාර කෙනෙක් නැත්තාහුමය.
“මහණ නිත්‍යවූ, ස්ථිරවූ, හැමදා පවතින්නාවූ නොපෙරෙලෙන ස්වභාවය ඇත්තාවූ, සදාකාලික දෙයක් මෙන් එසේම සිටින්නාවූ කිසි විඥානයෙක් නැත්තේමය.”

§ 4. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ස්වල්පවූ ගොම පිඩක් අතින් ගෙන ඒ මහණහට මෙය වදාළසේක.
“මහණ, නිත්‍යවූ ස්ථිරවූ හැමකල්හි පවත්නාවූ නොපෙරෙලෙන ස්වභාවය ඇත්තාවූ මෙපමණවූද ඉපදීම ලැබූ ආත්මභාවයක් නැත.“මහණ, නිත්‍යවූ, ස්ථිරවූ, හැම කල්හි පවත්නාවූ, නොපෙරෙලෙන ස්වභාවය ඇත්තාවූ, මෙපමණවූද ආත්මභාවය ලැබීමක් ඉදින් වන්නේ නම් මනාව දුක් ක්ෂය කරනු පිණිස මේ මාර්ගබ්‍රහ්මචර්යාව විසීම නම් නොපණවන්නේය.

§ 5. “මහණ, යම්හෙයකින් නිත්‍යවූ, ස්ථිරවූ, හැමකල්හි පවත්නාවූ, නොපෙරෙලෙන ස්වභාවය ඇත්තාවූද, මේ (ගොම පිඩ) පමණවූද, ආත්මභාව ප්‍රතිලාභයෙක් නැද්ද, එහෙයින් මනා කොට දුක් ක්ෂය කරනු පිණිස මාර්ගබ්‍රහ්මචර්යාව විසීම පණවන්නේය.

§ 6 . “මහණ, මම පෙර හිසෙහි ඔටුනු පළඳවන ලද්දාවූ ක්ෂත්‍රිය රජෙක් වීමි.
“මහණ, ඔටුනු පළඳවන ලද්දාවූ ක්ෂත්‍රිය රජවූ මට කුසාවතී රාජධානිය ප්‍රධානකොට ඇති අසූහාර දහසක් නුවරවල් වූහ.. ධර්මප්‍රාසාදය ප්‍රධාන කොට ඇති අසූහාරදහසක් ප්‍රාසාදයෝ වූහ. ..‘මහාබ්‍යුහ’ නම් කුළුගෙය ප්‍රධානකොට ඇති අසූ හතර දහසක් කුළුගෙවල් වූහ….. (ඇත්) දලින් කරන ලද්දාවූද, රත්හඳුන් අරටුවෙන් කරන ලද්දාවූද, රනින් කරන ලද්දාවූද, රිදියෙන් කරන ලද්දාවූද, අඟල් හතරකට වැඩි ලොම් ඇති කළුකොඳු පලස් අතුරණ ලද්දාවූද, දෙපැත්තෙහි සුදු එළු ලොම් මුවා කම්බිලි අතුරණ ලද්දාවූද, ගණවූ මල් ඇති සුදු එළු ලොම් මුවා ඇතිරිලි අතුරණ ලද්දාවූද, කෙසෙල් මුවන්ගේ සමින් කරන ලද උතුම් පසතුරුණු අතුරණ ලද්දාවූද, මත්තෙහි බඳින ලද රතුවියන් සහිතවූ දෙපැත්තෙහි තබන ලද රතු කොට්ට ඇත්තාවූ අසූහාරදහසක් පුටුවූහ… ස්වර්ණාභරණ ඇති, රනින් කරන ලද කොඩි ඇති රන්දැලින් වසන ලද්දාවූ, උපෝසථ හස්තිරාජයා ප්‍රධාන කොට ඇති සුවාසූ දහසක් ඇත්තුවූහ.“.. ස්වර්ණාලංකාර ඇත්තාවූ, රන් දද ඇත්තාවූ, රන් දැලින් වසන ලද්දාවූ, වලාහක අශ්වරාජයා ප්‍රධානකොට ඇති අසූහතර දහසක් අශ්වයෝ වූහ… ස්වර්ණාලංකාර ඇති රනින් කරන ලද කොඩි ඇති රන් දැලින් වසන ලද්දාවූ, වෛජයන්ත රථය ප්‍රධානකොට ඇති අසූහාරදහසක් රථ වූහ……… අසූහාරදහසක් මැණික් වූහ.“… ශුභද්‍රාදේවිය ප්‍රධානකොට ඇති අසූහාරදහසක් ස්ත්‍රීහු වූහ.“….අනුකූලවූ පුත්‍ර රත්නය ප්‍රධාන කොට ඇති අසූහාර දහසක් ක්ෂත්‍රියයෝ වූහ…..රෙදි අතුරන ලද්දාවූ, රිදීයෙන් කරන ලද කිරිදෝනා බඳුන් ඇති සුවාසූ දහසක් දෙන්නු වූහ.“… කොමු පිළියෙන් සියුම්වූද, කෝසෙය්‍ය වස්ත්‍රයෙන් සියුම්වූද, පලස්වලින් සියුම්වූද, කපු පිළියෙන් සියුම්වූද අසූ හතර දහසක් රෙදි මිටිවූහ.“… අසූහතර දහසක් බත් හැළි වූහ. සවසද උදෑසනද දිය යුතු ඒ බත දෙන ලදී.

§ 7. “මහණ, මම එකල්හි යම් නුවරෙක වෙසෙම්ද, ඒ සුවාසූ දහසක් නගරයන් අතුරෙන් කුසාවතී රාජධානියවූ ඒ එකම නුවර වෙයි.“මහණ ඒ අසූහතර දහසක් ප්‍රාසාදයන් අතුරෙන් යම් පහයෙක මම එකල්හිවසම්ද, ධර්මප්‍රාසාදයවූ ඒ එකම ප්‍රාසාදය වෙයි.“මහණ, මම එකල්හි යම් කුළුගෙයක වසම්ද, ඒ සුවාසූ දහසක් කුළුගෙවල් අතුරෙන් “මහාබ්‍යුහ” කුළුගෙයවූ ඒ එකම කුළුගෙය වෙයි.“
මහණ, මම එසමයෙහි යම් පුටුවක් පරිභොගකරම්ද, ඒ අසූහතර දහසක් පුටු අතුරෙන් ඇත් දතින් කරන ලද්දාවූ හෝ රත්හඳුන් හරින් කරන ලද්දාවූ හෝ රනින් කරන ලද්දාවූ හෝ රිදීයෙන් කරන ලද්දාවූ හෝ ඒ එකම පුටුවක් වෙයි.“
මහණ, මම ඒ කාලයෙහි යම් ඇත් රජෙකු පිට නගිම්ද, ඒ සුවාසූ දහසක් ඇතුන් අතුරෙන් උපොසිත හස්තිරාජයාවූ ඒ එකම ඇතෙක් වෙයි.“මහණ, මම ඒ කාලයෙහි යම් අසෙකු පිට නගිම්ද, ඒ අසූහතර දහසක් අසුන් අතුරෙන් වලාහක අශ්වරාජයාවූ ඒ එකම අශ්වයෙක් වෙයි.
“මහණ මම ඒ කාලයෙහි යම් රියකට නගිම්ද, ඒ අසූ හතර දහසක් රථයන් අතුරෙන් විජයොත් රිය නම් වූ ඒ එකම රථය වෙයි.“මහණ, මම එසමයෙහි ක්ෂත්‍රිය ස්ත්‍රියක හෝ ක්ෂත්‍රියයාට දාව බැමිණිය කුස උපන්නාවූද, බමුණාට දාව ක්ෂත්‍රිය ස්ත්‍රිය කුස උපන්නාවූද ස්ත්‍රියක් උපස්ථාන කෙරේද, ඒ සුවාසු දහසක් ස්ත්‍රීන් අතුරෙන් ඈ එකම ස්ත්‍රී (රත්නය) වෙයි.
“මහණ එසමයෙහි යම් පිළි සඟළක් හඳිම්ද, ඒ අසූහතර දහසක් වස්ත්‍ර මිටි අතුරෙන් කොමු පිළියෙන් සියුම්වූද, කොසෙය්‍ය වස්ත්‍රයෙන් සියුම්වූද කම්බිලියෙන් සියුම්වූද, කපුපිළියෙන් සියුම්වූද, ඒ එකම පිළිසඟළෙක් වෙයි.

§ 8 . “මහණ, මම එසමයෙහි යම් සහල් නැළියක පමණ බත් ද ඊට සුදුසු සූප ව්‍යඤ්ජනද අනුභව කරම්ද, ඒ අසූහතරදහසක් පිසූ බත් සැළි අතුරෙන් ඒ එකම සැළියක පිසූ බත වෙයි.“මහණ, මෙසේ වනාහි ඉක්මගියාවූ ඒ හැම සංස්කාරයෝ නිරුද්ධවූහ, පෙරළුණාහුය. මහණ, මෙසේ සංස්කාරයෝ අනිත්‍ය වන්නාහුමය. මහණ, මෙසේ සංස්කාරයෝ ස්ථිර නොවන්නාහුමය. මහණ, මෙසේ සංස්කාරයෝ සැනසිලි නැත්තාහුමය. මහණ, සියලු සංස්කාරයන්හි අතිශයින් කලකිරෙන්නට සුදුසුමය, නො ඇලෙන්නට සුදුසුමය. මිදෙන්නට සුදුසුමය.”

(හතරවෙනි ගොමය සූත්‍රය නිමි.)

SN 03-01-10-05.
නඛ සිඛ සූත්‍රය

§ 1. මා විසින් මෙසේ අසන ලදී.
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එකල්හි එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක්පසෙක්හි හුන්නේය. එක්පසෙක්හි හුන්නාවූ ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ කීයේය.

“ස්වාමීනි, නිත්‍යවූ, ස්ථිරවූ, සදාකාලිකවූ, නොපෙරළෙන ස්වභාවය ඇත්තාවූ, සදාකාලික දැයක් සමානව එපරිද්දෙන් සිටින්නාවූ, කිසිරූපයෙක් ඇත්තේද? ස්වාමීනි, නිත්‍යවූ, ස්ථිරවූ, සැමදා පවතින්නාවූ, නොපෙරළෙන ස්වභාවය ඇත්තාවූ, සදාකාලික වස්තුවක් සේ එපරිද්දෙන්ම සිටින්නාවූ කිසි වේදනාවක් තොමෝ ඇත්තීද? ස්වාමීනි, නිත්‍යවූ, ස්ථිරවූ, සැම කල්හි පවතින්නාවූ, නොපෙරළෙන ස්වභාවය ඇත්තාවූ සදාකාලික වස්තුවක් මෙන් එපරිද්දෙන්ම සිටින්නාවූ කිසි සංඥාවක් තොමෝ ඇත්තීද? ස්වාමීනි, නිත්‍යවූ, ස්ථිරවූ හැමකල්හි පවත්නාවූ, සදාකාලික වස්තුවක් සමානව එයාකාරයෙන්ම සිටින්නාවූ, කිසි සංස්කාර කෙනෙක් ඇත්තාහුද? ස්වාමීනි, නිත්‍යවූ, ස්ථිරවූ, හැම කල්හි පවතින්නාවූ, නොපෙරළෙන ස්වභාවය ඇත්තාවූ, සදාකාලික දැයක් සේ එපරිද්දෙන්ම සිටින්නාවූ, කිසි විඥානයෙක් ඇත්තේද?”

“මහණ, නිත්‍යවූ, ස්ථිරවූ, හැම කල්හි පවතින්නාවූ, නොපෙරළෙන ස්වභාවය ඇත්තාවූ, සදාකාලික වස්තුවක් මෙන් එපරිද්දෙන්ම සිටින්නාවූ, කිසි රූපයෙක් නැත්තේමය. මහණ, නිත්‍යවූ, ස්ථිරවූ, හැම කල්හි පවතින්නාවූ, නොපෙරළෙන ස්වභාවය ඇත්තාවූ, සදාකාලික දැයක් සේ එපරිද්දෙන්ම සිටින්නාවූ, කිසි වේදනාවක් තොමෝ නැත්තීමය, මහණ, නිත්‍යවූ, ස්ථිරවූ, සැමදා පවතින්නාවූ, නොපෙරළෙන ස්වභාවය ඇත්තාවූ, සදාකාලික වස්තුවක් සේ එසේම සිටින්නාවූ, කිසි සංඥාවක් තොමෝ නැත්තීමය. මහණ, නිත්‍යවූ ස්ථිරවූ හැම කල්හි පවතින්නාවූ, නොපෙරළෙන ස්වභාවය ඇත්තාවූ, සදාකාලික වස්තුවක් සේ එසේම සිටින්නාවූ කිසි සංස්කාර කෙනෙක් නැත්තාහුමය. මහණ, නිත්‍යවූ, ස්ථිරවූ, හැම කල්හි පවතින්නාවූ, නොපෙරළෙන ස්වභාවය ඇත්තාවූ, සදාකාලික වස්තුවක් සමානව එසේම සිටින්නාවූ, කිසි විඥානයෙක් නැත්තේමය.ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පස්ටිකක් නියපිටෙහි තබාගෙන ඒ මහණහට මෙය වදාළසේක:

“මහණ සදාකාලික ද්‍රව්‍යයක් සමව එසේම සිටින්නාවූ නිත්‍යවූ ස්ථිරවූ හැමකල්හි පවතින්නාවූ නොපෙරළෙන ස්වභාවය ඇත්තාවූ මෙපමණවූද රූපයෙක් නැත්තේමය. මහණ, ඉදින් නිත්‍යවූ ස්ථිරවූ සියලු කල්හි පවත්නාවූ නොපෙරළෙන ස්වභාවය ඇත්තාවූ මෙපමණවූද රූපයෙක් වීනම් මනාකොට දුක් ක්ෂය කිරීම පිණිස මාර්ගබ්‍රහ්මචර්යා වාසය නොපණවන්නේය. මහණ, යම් හේතුවකින් වනාහි නිත්‍යවූ ස්ථිරවූ හැමකල්හි පවත්නාවූ නොපෙරළෙන ස්වභාවය ඇත්තාවූ මෙතෙකුදු රූපයෙක් නැත්තේද, එහෙයින් මනාකොට දුක් ක්ෂය කරනු වස් මාර්ග බ්‍රහ්මචර්යය විසීම පණවන්නේය.

“මහණ, සදාකාලික වස්තුවක් වැනිව එසේම සිටින්නාවූ, නිත්‍යවූ, ස්ථිරවූ, හැම කල්හි පවතින්නාවූ, නොපෙරළෙන ස්වභාවය ඇත්තාවූද, මෙපමණවූද වේදනාවක් තොමෝ නැත්තීමය. මහණ, නිත්‍යවූ, ස්ථිරවූ, හැම කල්හි පවත්නාවූ, නොපෙරළෙන ස්වභාවය ඇත්තාවූ මෙපමණවූද වේදනාවක් තොමෝ වී නම් මනාකොට දුක් ක්ෂයකිරීම පිණිස මාර්ග බ්‍රහ්මචර්යාවෙහි විසීම නොපණවන්නේය. මහණ, යම් හෙයකින් නිත්‍යවූ, ස්ථිරවූ, හැමකල්හි පවත්නාවූ, නොපෙරළෙන ස්වභාවය ඇත්තාවූ මෙපමණවූද, වේදනාවක් තොමෝ නැත්තීද, එහෙයින් මනාකොට දුක ක්ෂය කරනු පිණිස මාර්ගබ්‍රහ්මචරියාවෙහි විසීම පණවන්නේය.

“මහණ, සදාකාලික වස්තුවක් බඳුව, එපරිද්දෙන්ම සිටින්නාවූ, නිත්‍යවූ, ස්ථිරවූ, හැමදා පවත්නාවූ, නොපෙරළෙන ස්වභාවය ඇත්තාවූ, මෙපමණවූද සංඥාවක් තොමෝ නැත්තීමය. මහණ, නිත්‍යවූ, ස්ථිරවූ, හැමකල්හි පවත්නාවූ නොපෙරළෙන ස්වභාවය ඇත්තාවූ, මෙපමණවූද සංඥාවක් වීනම් මනාකොට දුක ක්ෂයකිරීමට මාර්ගබ්‍රහ්මචරියාවෙහි විසීම නොපණවන්නේය. මහණ, යම් හෙයකින් නිත්‍යවූ, ස්ථිරවූ, හැම කල්හි පවත්නාවූ, නොපෙරළෙන ස්වභාවය ඇත්තාවූ, මෙපමණවූද සංඥාවක් තොමෝ නැත්තීද, එහෙයින් මනා කොට දුක ක්ෂයකිරීමට මාර්ග බ්‍රහ්මචරියාවෙහි විසීම පණවන්නේය.

“මහණ, සදාකාලික දෙයක් සමව ඒ අයුරෙන්ම සිටින්නාවූ, නිත්‍යවූ, ස්ථිරවූ, හැම කල්හි පවත්නාවූ, නොපෙරළෙන ස්වභාවය ඇත්තාවූ, මෙපමණවූද සංස්කාර කෙනෙක් නැත්තාහුමය මහණ, නිත්‍යවූ ස්ථිරවූ හැම කල්හි පවත්නාවූ, නොපෙරළෙන ස්වභාවය ඇත්තාවූ, මෙපමණවූද සංස්කාරයෝවූ නම්, මනාකොට දුක ක්ෂයකිරීමට මාර්ගබ්‍රහ්මචරියාවෙහි විසීම නොපණවන්නේය. මහණ, යම් හෙයකින් නිත්‍යවූ, ස්ථිරවූ, හැමකල්හි පවත්නාවූ, නොපෙරළෙන ස්වභාවය ඇත්තාවූ, මෙපමණවූද සංස්කාර කෙනෙක් නැත්තාහුද, එහෙයින් මනාකොට දුක ක්ෂයකිරීමට මාර්ග බ්‍රහ්මචරියාවෙහි විසීම පණවන්නේය.

“මහණ, සදාකාලික වස්තුවක් සමානව එසේම සිටින්නාවූ, නිත්‍යවූ, ස්ථිරවූ, හැමකල්හි පවත්නාවූ, නොපෙරළෙන ස්වභාවය ඇත්තාවූද, මෙපමණවූද විඥානයෙක් නැත්තේමය. මහණ, නිත්‍යවූ, ස්ථිරවූ, හැමකල්හි පවත්නාවූ, නොපෙරළෙන ස්වභාවය ඇත්තාවූ, මෙපමණවූද විඥානයෙක් වීනම් මනාකොට දුක ක්ෂයකිරීමට මාර්ග බ්‍රහ්මචරියාවෙහි විසීම නොපණවන්නේය. මහණ, යම් හෙයකින් නිත්‍යවූ, ස්ථිරවූ, හැමකල්හි පවත්නාවූ, නොපෙරළෙන ස්වභාවය ඇත්තාවූ, මෙපමණවූද විඥානයෙක් නැත්තේද, එහෙයින් මනාකොට දුක ක්ෂය කිරීමට මාර්ග බ්‍රහ්මචරියාවෙහි විසීම පණවන්නේය.

“මහණ, ඒ කුමැයි සිතන්නෙහිද?
“රූපය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” –
“ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍ය නම්, එය දුක් හෝ සැප හෝ වේද?” –
“ස්වාමීනි, දුකය.”
“යමක් වනාහි අනිත්‍යය වේද, දුක් වේද, පෙරළෙන ස්වභාවය ඇත්තේ වේද, ‘මේ රූපය මාගේය, මේ මම වෙමි. මේ මාගේ ආත්ම’යයි ඒ රූපය (දෘෂ්ටි වශයෙන්) දක්නට සුදුසු වේද?” –
“ස්වාමීනි, මෙය නුසුදුසුමය.”

“වේදනාව නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” –
“ස්වාමීනි, අනිත්‍යය.”
“වේදනාව අනිත්‍ය වේද, ඕතොමෝ දුක් හෝ සැප හෝ වේද?” –
“ස්වාමීනි, දුකය.”
“යම් වේදනාව අනිත්‍ය වන්නීද, දුක් වන්නීද, පෙරළෙන ස්වභාවය ඇත්තීද, ‘මේ මාගේ වේදනාවය, මේ වේදනාව විඳින්නා මම වෙමි. මේ මාගේ ආත්ම’යයි ඒ වේදනාව (දෘෂ්ටි වශයෙන්) දක්නට සුදුසුද?” –
“ස්වාමීනි, මෙය නුසුදුසුමය.”

“සංඥාව නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද” –
“ස්වාමීනි, අනිත්‍යය.”
“යම් සංඥාවක් අනිත්‍ය වේද, ඕ දුක් හෝ සැප හෝ වේද?” –
“ස්වාමීනි, දුකය.”
“යම් සංඥාවක් අනිත්‍ය වේද, දුක් වේද, පෙරළෙන ස්වභාවය ඇත්තීද, ‘මේ සංඥාව මාගේය මේ මම වෙමි. මේ මාගේ ආත්ම’යයි ඒ සංඥාව (දෘෂ්ටි වශයෙන්) දක්නට සුදුසුද?” –
“ස්වාමීනි, මේ සුදුසු නොවේමය.”

“සංස්කාරයෝ නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” –
“ස්වාමීනි, අනිත්‍යය.”
“යම් සංස්කාරයක් අනිත්‍ය වෙද්ද, ඒ සංස්කාරයෝ දුක් හෝ සැප හෝ වෙද්ද?” –
“ස්වාමීනි, දුක්ය”
“යම් සංස්කාර කෙනෙක් අනිත්‍ය වෙද්ද, දුක් වෙද්ද, පෙරළෙන ස්වභාවය ඇත්තාහු වෙද්ද, ‘මේ සංස්කාරස්කන්ධය මාගේය. මේ මම වෙමි. මේ මාගේ ආත්ම’යයි (දෘෂ්ටි වශයෙන්) දක්නට සුදුසුද?” –
“ස්වාමීනි, මෙය සුදුසු නොවේමය.”

“විඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” –
“ස්වාමීනි, අනිත්‍යය.”
“යම් විඥානයෙක් අනිත්‍ය වේද, ඒ විඥානය දුක් හෝ සැප හෝ වේද?” –
“ස්වාමීනි, දුකය.”“යම් විඥානයෙක් අනිත්‍ය වේද, දුක් වේද, පෙරළෙන ස්වභාවය ඇත්තේ වේද, මේ විඥානය මාගේය. මේ මම වෙමි. මේ මාගේ ආත්ම’යයි ඒ විඥානය (දෘෂ්ටි වශයෙන්) දක්නට සුදුසුද” –
“ස්වාමීනි මෙය සුදුසු නොවේමය.”

“මහණ, එහෙයින් තමා පිළිබඳවූ හෝ පිටත්හිවූ හෝ මහත්වූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ උසස්වූ හෝ අතීතවූද, අනාගතවූද, වර්තමානවූද, යම්කිසි රූපයෙක් වේද, දුරවූ හෝ ළඟවූ හෝ යම්කිසි රූපයෙක් වේද, ‘මේ රූපය මාගේ නොවේ. මේ මම නොවෙමි. මේ මාගේ ආත්මය නොවේ’ යයි මෙසේ මේ සියලු රූපය තත්වූ පරිද්දෙන් සම්‍යක් ප්‍රඥාවෙන් දත යුතුය.

“තමා පිළිබඳවූ හෝ අනුන් පිළිබඳවූ හෝ ගොරෝසුවූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ උසස්වූ හෝ අතීතවූද, අනාගතවූද, වර්තමානවූද, යම්කිසි වේදනාවක් වේද, දුරවූ හෝ ළඟවූ හෝ යම් වේදනාවක් වේද, ‘මේ වේදනාව මාගේ නොවේ. මේ මම නොවෙමි. මේ මාගේ ආත්මය නොවේ’යයි මෙසේ මේ හැම වේදනාව තත්වූ පරිද්දෙන් සම්‍යක් ප්‍රඥාවෙන් දත යුතුය.“

තමා පිළිබඳවූ හෝ පිටත්හිවූ හෝ මහත්වූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ උසස්වූ හෝ අතීතවූද, අනාගතවූද, වර්තමානවූද, යම්කිසි සංඥාවක් වේද, දුරවූ හෝ ළඟවූ හෝ යම් සංඥාවක් වේද, ‘මේ සංඥාව මාගේ නොවේ. මේ මම නොවෙමි, මේ මාගේ ආත්මය නොවේ’යයි මෙසේ මේ හැම සංඥාව තත්වූ පරිද්දෙන් සම්‍යක් ප්‍රඥාවෙන් දත යුතුය.

“තමා පිළිබඳවූ හෝ පිටත්හිවූ හෝ මහත්වූ හෝ සියුම්වූ හෝ ලාමකවූ හෝ උතුම්වූ හෝ අතීතවූද, අනාගතවූද, වර්තමානවූද යම්කිසි සංස්කාර කෙනෙක් වෙද්ද, දුරවූ හෝ ළඟවූ හෝ යම් සංස්කාරයෝ වෙද්ද, ‘මේ සංස්කාර ස්කන්ධය මාගේ නොවේ. මේ මම නොවෙමි මේ මාගේ ආත්මය නොවේ’යයි මෙසේ මේ හැම සංස්කාරය තත්වූ පරිද්දෙන් සම්‍යක් ප්‍රඥාවෙන් දත යුතුය.“

තමා පිළිබඳවූ හෝ අනුන් පිළිබඳවූ හෝ මහත්වූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ උතුම්වූ හෝ අතීතවූද, අනාගතවූද, වර්තමානවූද, යම්කිසි විඥානයෙක් වේද, දුරෙහි හෝ සමීපයෙහි හෝ යම් විඥානයෙක් වේද, ‘මේ විඥානය මාගේ නොවේ. මේ මම නොවෙමි, මේ මාගේ ආත්මය නොවේ’යයි මෙසේ මේ සියලු විඥානය තත්වූ පරිද්දෙන් සම්‍යක් ප්‍රඥාවෙන් දතයුතුය.

“මහණ, මෙසේ දක්නාවූ බොහෝ ඇසූ පිරූ තැන් ඇති, ආර්යශ්‍රාවකයා රූපයෙහිද කලකිරෙයි, වේදනාවෙහිද කලකිරෙයි, සංඥාවෙහිද කලකිරෙයි, සංස්කාරයන්හිද කලකිරෙයි, විඥානයෙහිද කලකිරෙයි. කලකිරුණේ නොඇලෙයි, නොඇලීමෙන් (කෙලෙසුන් කෙරෙන්) මිදෙයි. මිදුණු කල්හි ‘මිදුණේ’යයි දැනීම වෙයි. ඉපදීම ක්ෂය වූවාය. බ්‍රහ්මචර්යාවෙහි හැසිර නිමවන ලද්දේය. සතර මාර්ගයෙන් කටයුතු කොට නිමවන ලද්දේය. මේ රහත් බව පිණිස කළයුතු අනිකක් නැතැයි දැනගනීයයි” වදාළසේක.

(පස්වෙනි නඛසිඛ සූත්‍රය නිමි.)

SN 03-01-10-06.
සාමුද්දක සූත්‍රය

§ 1 .මා විසින් මෙසේ අසනලදී.
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. ඉක්බිති මහණෙක් තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පැත්තෙක හුන්නේය. එක් පැත්තක හුන්නාවූ ඒ මහණතෙම භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ කීයේය.

§ 2 .“ස්වාමීනි, යම් රූපයෙක් නිත්‍යවේද, ස්ථිරවේද, හැම කල්හි තිබේද, නොපෙරෙලෙන ස්වභාවය ඇත්තේ වේද, සදාකාලික දෙයක් මෙන් එසේම සිටින්නේද, (එබඳු) කිසි රූපයෙක් ඇත්තේද?
“ස්වාමීනි, යම් වේදනාවක් තොමෝ නිත්‍යවේද, ස්ථිරවේද, හැමකල්හි තිබේද, නොපෙරෙලෙන ස්වභාවය ඇත්තීවේද, සදාකාලික වස්තුවක් වැනිව එසේම සිටින්නීද, (එබඳු) කිසි වේදනාවක් තොමෝ ඇත්තීද?“
ස්වාමීනි, යම් සංඥාවක් තොමෝ නිත්‍යවේද, ස්ථිරවේද, සැම කල්හි තිබේද, නොපෙරෙලෙන ස්වභාවය ඇත්තීවේද, සදාකාලික වස්තුවක්සේ එපරිද්දෙන්ම සිටින්නීද? (එබඳු) කිසි සංඥාවක් තොමෝ ඇත්තීද?“
ස්වාමීනි, යම් සංස්කාර කෙනෙක් නිත්‍යවෙද්ද, ස්ථිර වෙද්ද, හැමදා තිබෙද්ද, නොපෙරෙලෙන ස්වභාවය ඇත්තාහු වෙද්ද, සදාකාලික වස්තුවක් සමානව එපරිද්දෙන්ම සිටිද්ද, (එබඳු) කිසි සංස්කාර කෙනෙක් ඇත්තාහුද?“
ස්වාමීනි, යම් විඥානයෙක් නිත්‍යවේද, ස්ථිරවේද, හැම කල්හි තිබේද, නොපෙරෙලෙන ස්වභාවය ඇත්තේවේද, සදාකාලික ද්‍රව්‍යයක් මෙන් එපරිද්දෙන්ම සිටින්නේද (එබඳු) කිසි විඥානයෙක් ඇත්තේද?

§ 3. “මහණ, යම් රූපයෙක් නිත්‍යවේද, ස්ථිරවේද, නොපෙරෙලෙන ස්වභාවය ඇත්තේ වේද, සදාකාලික වස්තුවක් බඳුව එපරිද්දෙන්ම සිටින්නේද, (එබඳු) කිසි රූපයෙක් නැත්තේමය.
“මහණ, යම් වේදනාවක් තොමෝ නිත්‍යවන්නීද, ස්ථිර වන්නීද, හැමකල්හි තිබේද, නොපෙරෙලෙන ස්වභාවය ඇත්තීවේද, සදාකාලික දෙයක් මෙන් එසේම සිටින්නීද, (එබඳු) කිසි වේදනාවක් තොමෝ නැත්තීමය.
“මහණ, යම් සංඥාවක් තොමෝ නිත්‍යවන්නීද, ස්ථිර වන්නීද, හැම කල්හි තිබෙන්නීද, නොපෙරෙලෙන ස්වභාවය ඇත්තීවේද, සදාකාලික වස්තුවක්සේ එපරිද්දෙන්ම සිටින්නීද, (එබඳු) කිසි සංඥාවක් තොමෝ නැත්තීමය.
“මහණ, යම් සංස්කාර කෙනෙක් නිත්‍යවෙද්ද, ස්ථිර වෙද්ද, හැමකල්හි තිබෙන්නීද, නොපෙරෙලෙන ස්වභාවය ඇත්තාහු වෙද්ද, සදාකාලික ද්‍රව්‍යයක් සමානව එසේම සිටින්නාහුද, (එබඳු) කිසි සංස්කාර කෙනෙක් නැත්තාහුමය.
“මහණ, යම් විඥානයෙක් නිත්‍යවේද, ස්ථිරවේද, හැම කල්හි තිබේද, නොපෙරෙලෙන ස්වභාවය ඇත්තේ වේද, සදාකාලික වස්තුවක් බඳුව එසේම සිටින්නේද, (එබඳු) කිසි විඥානයෙක් නැත්තේමයයි” (වදාළසේක.)

(හයවෙනි සාමුද්දක සූත්‍රය නිමි.)

SN 03-01-10-07
ගද්දුලබද්ධ සුත්‍රය

පුජ්‍ය සියඹලා පිටියේ බුද්ධරක්ඛිත තිස්ස හිමි කල විවරණය

§ 1. මා විසින් මෙසේ අසනලදී.
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.

§ 2 .“මහණෙනි, අවිජ්ජාවෙන් වැසී ගියාවූ තණ්හාවෙන් බැඳුනාවූ නැවත නැවත ඇවිදින්නාවූ නැවත නැවත සැරිසරන්නාවූ සත්ත්වයන්ගේ මේ සසර නොදන්නා ලද කෙළවර ඇත්තේය, මුල් කොණ නොපෙනෙයි.

§ 3 .“මහණෙනි, යම්හෙයකින් මහමුහුද සිඳෙන්නේද, විශේෂයෙන් වියලෙන්නේද, විද්‍යමාන නොවේද, එබඳු කලක් වන්නේමය. මහණෙනි, අවිජ්ජාවෙන් වැසී ගියාවූ තණ්හාවෙන් බැඳුනාවූ නැවත නැවත දිවන්නාවූ නැවත නැවත සැරිසරන්නාවූ සත්ත්වයන්ගේ දුක් කෙළවර කිරීම මම නොකියමි.

“මහණෙනි, යම් කලෙක්හි මේ මහාමේරු පර්වතරාජයා දැවේද, වැනසේද, අවිද්‍යමාන වේද, ඒ කාලය වන්නේමය. මහණෙනි, අවිජ්ජාවෙන් වැසුණු තණ්හාවෙන් බැඳුණු නැවත නැවත දිවන්නාවූ නැවත නැවත සැරිසරන්නාවූ සත්ත්වයන්ගේ දුක් කෙළවර කිරීම මම නොකියමි.

§ 4 . “මහණෙනි, යම්කලෙක මේ මහපොළොව දැවේද, වැනසේද, විද්‍යමාන නොවේද, ඒ කාලය වන්නේමය. මහණෙනි, අවිජ්ජාවෙන් වැසුණු තණ්හාවෙන් බැඳුණු ඇවිදින්නාවූ, නැවත නැවත සැරිසරන්නාවූ, සත්ත්වයන්ගේ දුක් කෙළවර කිරීම මම නොම කියමි.

§ 5. “මහණෙනි, යම්සේ වනාහි බලුදමෙන් බඳනාලද සුනඛ තෙම තදවූ මහ උලෙක හෝ කණුවක හෝ බඳනාලද්දේ එම උල හෝ කණුව හෝ වටේ නැවත නැවත දිවේද, අවට කරකැවේද, මහණෙනි, එපරිද්දෙන්ම ආර්යයන් නොදක්නාවූ ආර්ය ධර්මයෙහි අදක්ෂවූ ආර්ය ධර්මයෙහි නොහික්මුණාවූ සත්පුරුෂයන් නොදක්නාවූ සත්පුරුෂ ධර්මයෙහි දක්ෂ නුවූ සත්පුරුෂ ධර්මයෙහි නොහික්මුණු ඇසූ පිරූ තැන් නැත්තාවූ පෘථග්ජනතෙම රූපය ආත්ම වශයෙන් දක්නේය, තමා රූපය ඇත්තක් කොට හෝ තමා කෙරෙහි රූපය හෝ රූපයෙහි තමා හෝ දක්නේය. වේදනාව ආත්ම වශයෙන් හෝ තමා වේදනාව ඇත්තක් කොට හෝ තමා කෙරෙහි වේදනාව හෝ වේදනාවෙහි තමා හෝ දක්නේය. සංඥාව ආත්ම වශයෙන් හෝ තමා සංඥාවක් ඇත්තක් කොට හෝ තමා කෙරෙහි සංඥාව හෝ සංඥාවෙහිලා තමා හෝ දක්නේය. සංස්කාරයන් ආත්ම වශයෙන් හෝ තමා සංස්කාරයන් ඇත්තක් කොට හෝ තමා කෙරෙහි සංස්කාරයන් හෝ සංස්කාරයන්හි තමා හෝ දක්නේය. විඥානය ආත්ම වශයෙන් හෝ තමා විඥානය ඇත්තක් කොට හෝ තමා කෙරෙහි විඥානය හෝ විඥානයෙහි තමා හෝ දක්නේය.“

§ 6. හෙතෙම රූපයෙහිම බැඳී දුවයි. නැවත නැවත පෙරලෙයි, වේදනාවෙහිම බැඳී දිවෙයි. නැවත නැවත පෙරලෙමින් පවතී. සංඥාවෙහිම බැඳී දුවයි, නැවත නැවත පෙරෙලෙමින් පවතී. සංස්කාරයන්හි බැඳී දුවයි, නැවත නැවත පෙරලෙමින් පවතී. විඥානයෙහිම බැඳී දුවයි, නැවත නැවත පෙරලෙමින් පවතී.

“හෙතෙම රූපය අනුව දුවන්නේ, පෙරලෙන්නේ, වේදනාව අනුව දුවන්නේ, පෙරලෙන්නේ, සංඥාව අනුව දුවන්නේ, පෙරලෙන්නේ, සංස්කාරයන් අනුව දුවන්නේ, පෙරලෙන්නේය, විඥානය අනුව දුවන්නේ, පෙරලෙන්නේ, රූපයෙන් නොමිදේ, වේදනාවෙන් නොමිදේ, සංඥාවෙන් නොමිදේ, සංස්කාරයන්ගෙන් නොමිදේ, විඥානයෙන් නොමිදේ, ඉපදීමෙන්ද ජරාවෙන්ද මරණයෙන්ද සෝකයෙන්ද, හැඬීමෙන්ද කායික දුකින්ද දොම්නසින්ද වැලපීමෙන්ද නොමිදේ, දුකින් නොමිදේ යයි මම කියමි.

§ 7. “මහණෙනි, ආර්යයන් දක්නාවූ ආර්යයන්ගේ ධර්මයෙහි දක්ෂවූ ආර්යධර්මයෙහි හික්මුණාවූ සත්පුරුෂයන් දක්නාවූ සත්පුරුෂයන්ගේ ධර්මයෙහි දක්ෂවූ සත්පුරුෂ ධර්මයෙහි හික්මුණාවූ බොහෝ ඇසූ පිරූතැන් ඇති ආර්ය ශ්‍රාවකතෙම රූපය තමා යයි හෝ නොදක්නේය. තමා රූපය ඇත්තෙකැයි හෝ නොදක්නේය. තමා කෙරෙහි රූපය හෝ නොදක්නේය. රූපයෙහි තමා හෝ නොදක්නේය.

“වේදනාව ආත්මයයි හෝ නොදක්නේය, තමා වේදනාව ඇත්තෙකැයි නොදක්නේය, තමා කෙරෙහි වේදනාව හෝ නොදක්නේය, වේදනාවෙහි තමා හෝ නොදක්නේය.

“සංඥාව තමා යයි හෝ නොදක්නේය, තමා සංඥාව ඇත්තෙකැයි හෝ නොදක්නේය, තමා කෙරෙහි සංඥාව හෝ නොදක්නේය, සංඥාවෙහි තමා හෝ නොදක්නේය.

“සංස්කාරයන් තමා යයි හෝ නොදක්නේය, තමා සංස්කාරයන් ඇත්තක් කොට හෝ නොදක්නේය, තමා කෙරෙහි සංස්කාරයන් හෝ නොදක්නේය, සංස්කාරයන්හි තමා හෝ නොදක්නේය.

විඥානය තමා යයි හෝ නොදක්නේය, තමා විඥානය ඇත්තෙක් කොට හෝ නොදක්නේය. තමා කෙරෙහි විඥානය හෝ නොදක්නේය, විඥානයෙහි තමා හෝ නොදක්නේය.“

§ 8 .හෙතෙම රූපයෙහි බැඳී නොදුවයි, නැවත නැවත නොපෙරලෙයි. වේදනාවෙහි බැඳී නොදුවයි, නැවත නැවත නොපෙරලෙයි. සංඥාවෙහි බැඳී නොදුවයි, නැවත නැවත නොපෙරලෙයි. සංස්කාරයෙහි බැඳී නොදුවයි, නැවත නැවත නොපෙරලෙයි. විඥානයෙහි බැඳී නොදුවයි, නැවත නැවත නොපෙරලෙයි.“
හෙතෙම රූපයෙහි බැඳී නොදුවන්නේ, නැවත නැවත නොපෙරලෙන්නේ.
වේදනාවෙහි බැඳී නොදුවන්නේ, නැවත නැවත නොපෙරලෙන්නේ,
සංඥාවෙහි බැඳී නොදුවන්නේ, නැවත නැවත නොපෙරලෙන්නේ,
සංස්කාරයන්හි බැඳී නොදුවන්නේ, නැවත නැවත නොපෙරලෙන්නේ,
විඥානයෙහි බැඳී නොදුවන්නේ, නැවත නැවත නොපෙරලෙන්නේ.
රූපයෙන් මිදේ, වේදනාවෙන් මිදේ, සංඥාවෙන් මිදේ, සංස්කාරයන්ගෙන් මිදේ, විඥානයෙන් මිදේ, ඉපදීමෙන්ද ජරාවෙන් හා මරණයෙන්ද සෝකයෙන්ද හැඬීමෙන්ද දුකින්ද වැලපීමෙන්ද මිදේ, දුකින් මිදේයයි කියමි”යි වදාළසේක.

(හත්වෙනි ගද්දුලා සූත්‍රය නිමි)

SN 03-01-10-08.
ගද්දුලා සූත්‍රය

§ 1. මා විසින් මෙසේ අසන ලදී.
එක කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවත්නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතුසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

§“අවිජ්ජාවෙන් වැසුණු, තණ්හාවෙන් බැඳුණු, (සසර) නැවත නැවත දුවන්නා වූ, සැරිසරන්නා වූ, සත්ත්වයන්ගේ මේ සසර නොදන්නාලද කොන් ඇත්තේය. පූර්ව කෙළවර නොපෙණෙයි. මහණෙනි, යම්සේ වනාහි බලුදමින් බඳනාලද සුනඛතෙම තද හුලෙක වේවයි මහ කණුවක වේවයි බඳනා ලද්දේ වේද, ඉදින් ඒ බල්ලා නම් එම හුලේ හෝ කණුවේ හෝ සමීපයට යයි, ඉදින් සිටී නම් එම හුලේ හෝ කණුවේ හෝ ළඟම සිටී, ඉදින් හිඳී නම් එම හුලේ හෝ කණුවේ ළඟ හිඳී, ඉදින් ලගී නම් එම හුලේ හෝ කණුවේ හෝ ළඟ ලගී.‘මහණෙනි, එපරිද්දෙන්ම ඇසූ පිරූ තැන් නැති පෘථජ්ජනතෙම ‘ මේ රූපය මාගේය. මේ මම වෙමි. මේ මාගේ ආත්ම’යයි රූපය ආත්මයයි දෘෂ්ටි වශයෙන් දක්නේය. ‘මේ වේදනාව මාගේය. මේ මම වෙමි. මේ මාගේ ආත්ම’යයි වේදනාව ආත්මයයි දක්නේය. ‘මේ සංඥාව මාගේය. මේ මම වෙමි. මේ මාගේ ආත්ම’යයි සංඥාව ආත්මයයි දක්නේය. මේ සංස්කාරක මාගේය. මේ මම වෙමි. මේ මාගේ ආත්ම’යයි සංස්කාරයන් ආත්මයයි දක්නේය. ‘මේ විඥානය මාගේය. මේ මම වෙමි. මේ මාගේ ආත්ම’යි විඥානය ආත්මයයි දක්නේය.

§ 3. “ඉදින් ඒ පෘථග්ජනතෙම යයි නම් මේ පඤ්චඋපාදානස්කන්ධයන් කරාම යෙයි. ඉදින් සිටී නම් මේ පඤ්චඋපාදානස්කන්ධයන් කරාම සිටී. ඉදින් හොවී නම් මේ පඤ්චඋපාදානස්කන්ධයන් කරාම හොවී. ඉදින් හිඳී නම් මේ පඤ්චඋපාදානස්කන්ධයන් කරාම හිඳී එහෙයින් මහණෙනි, ‘දීර්ඝ කාලයක් මුලුල්ලෙහි මේ සිත රාගයෙන්ද, ද්වේෂයෙන්ද, මෝහයෙන්ද, අතිශයින් කිලිටියයි නිරතුරුව තමාගේ සිත ගැන නුවණින් සලකා බැලිය යුතුය.

§ 4 .“මහණෙනි, සත්ත්වයෝ සිත කිලිටුවීමෙන් කිලුටු වන්නාහුය. සත්ත්වයෝ සිත පිරිසිදුවීමෙන් විශේෂයෙන් පිරිසිදු වෙත්. මහණෙනි, තොප විසින් ‘හැසිරෙන’ සිතියමක් නම් දක්නා ලද්දේද?” – “ස්වාමීනි, එසේය”“මහණෙනි, ඒ හැසිරෙන සිතියමද සිතින්ම සිතන ලද්දේය. මහණෙනි, ඒ හැසිරෙන සිතියමටද වඩා සිතම ඉතා විසිතුරුය.“මහණෙනි, එහෙයින් ‘බොහෝ කලක් මුලුල්ලේ රාගයෙන්ද, ද්වේෂයෙන්ද, මෝහයෙන්ද, මේ සිත අතිශයින් කෙලෙසුණේ” යයි නිතර ස්වකීය වූ සිත ගැන(නුවණින්) සලකා බැලිය යුතුය.

§ 5 .“මහණෙනි, සත්ත්වයෝ සිත කෙලෙසීමෙන් කෙළෙසෙන්නාහුය. සිත පිරිසිදුවීමෙන් විශේෂයෙන් පිරිසිදු වන්නාහුය. “මහණෙනි, මේ සිත යම්සේද, මම එබඳුවූ අන් එක නිකායකුදු (සමාන වර්ගයක්) නොමදකිමි.

“මහණෙනි, මේ තිරිසන්ගත සත්ත්වයෝ වෙද්ද, මහණෙනි, ඒ තිරිසන්ගත සත්ත්වයෝද කර්ම සිතින්ම විසිතුරු වූහ.“මහණෙනි, එහෙයින් ‘බොහෝ කලක් මුලුල්ලෙහි රාගයෙන්ද, ද්වේෂයෙන්ද, මෝහයෙන්ද මේ සිත අතිශයින් කෙළෙසුණේ’යයි නිතර ස්වකීය වූ සිත ගැන (නුවණින්) සලකා බැලිය යුතුය.

§ 6 .“මහණෙනි, යම් රෙදිපාට කරන්නෙක් හෝ සිත්තරෙක් හෝ විද්‍යමාන වූ සායමකින් හෝ ලාකඩින් හෝ කහයෙන් හෝ නිලින් හෝ මදටියෙන් හෝ අතිශයින් මට්ටම්වූ පුවරුවෙක හෝ බිත්තියෙක හෝ රෙදිපටෙක හෝ සියලු අඟපසඟින් යුත් ස්ත්‍රී රූපයක් හෝ පුරුෂ රූපයක් හෝ මනාකොට මවන්නේ ද, මහණෙනි, එපරිද්දෙන්ම ඇසූ පිරූ තැන් නැත්තාවූ පෘථග්ජන මිනිසා උපදවන්නේ රූපයම උපදවයි. උපදවන්නේ වේදනාවම උපදවයි. උපදවන්නේ සංඥාවම උපදවයි. උපදවන්නේ සංස්කාරයන්ම උපදවයි. උපදවන්නේ විඥානයම උපදවයි.

§ 7 . “මහණෙනි, ඒ කුමැයි සිතන්නෙහිද?
රූපය නිත්‍ය හෝ වේද, අනිත්‍ය හෝ වේද?… ‘ස්වාමීනි, අනිත්‍යය.’“යමක් වනාහි අනිත්‍ය වේද, එය දුක් හෝ සැප හෝ වේද?… ස්වාමීනි, දුකය“යමක් වනාහි අනිත්‍යද, දුක්ද, පෙරලෙන ස්වාභාවය ඇත්තේද, එය ‘මේ රූපය මාගේය, මේ මම වෙමි. මේ මාගේ ආත්ම’යයි ඒ රූපය (දෘෂ්ටි වශයෙන්) දක්නට සුදුසුද?…” “ස්වාමීනි, මේ සුදුසු නොවේමය”“මහණෙනි, වේදනා තොමෝ නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?…” “ස්වාමීනි, අනිත්‍යය”“යම් වේදනාවක් තොමෝ අනිත්‍ය වේද, ඒ දුක් හෝ සැප හෝ වේද?” “ස්වාමීනි දුක් වෙයි.”“යමක් වනාහි අනිත්‍ය වේද, දුක් වේද, පෙරලෙන ස්වාභාවය ඇත්තේ වේද, ‘මේ වේදනාව මාගේය. මේ මම වෙමි. මේ මගේ ආත්මය’යයි ඒ වේදනාව දක්නට සුදුසුද?”… “ ස්වාමීනි, මේ සුදුසු නොවේමය.“මහණෙනි සංඥා තොමෝ නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?”…“ස්වාමීනි, අනිත්‍යය.”“යමක් වනාහි අනිත්‍ය නම් එය දුක් හෝ සැප හෝ වේද?”… “ස්වාමීනි, දුක් වේ.”“යමක් වනාහි අනිත්‍ය වේද, දුක් වේද, පෙරලෙන ස්වාභාවය ඇත්තේ වේද, ‘මේ සංඥාව මාගේය, මේ මම වෙමි, මේ මාගේ ආත්මය’යි ඒ සංඥාව දක්නට සුදුසු වේද?…“ස්වාමීනි, මෙය සුදුසු නොවේමය.”“මහණෙනි සංස්කාරයෝ නිත්‍ය හෝ අනිත්‍ය වේද?”… “ස්වාමීනි, අනිත්‍යය.”“යමක් වනාහි අනිත්‍ය නම් ඒ දුක් හෝ සැප වේද?”… “ස්වාමීනි, දුක් වේ.”“යමක් වනාහි අනිත්‍ය වේද, දුක් වේද, පෙරලෙන ස්වාභාවය ඇත්තේ වේද, ‘මේ සංස්කාරයන් මාගේය, මේ මම වෙමි, මේ මාගේ ආත්මය’යි ඒ සංස්කාරයන් දක්නට සුදුසු වේද?…“ස්වාමීනි, මෙය සුදුසු නොවේමය.”“මහණෙනි විඥානය නිත්‍ය හෝ අනිත්‍ය වේද?”…“ස්වාමීනි, අනිත්‍යය.”“යමක් වනාහි අනිත්‍ය නම් ඒ දුක් හෝ සැප වේද?”… “ස්වාමීනි, දුක් වේ.”“යමක් වනාහි අනිත්‍ය වේද, දුක් වේද,පෙරලෙන ස්වාභාවය ඇත්තේ වේද,‘මේ විඥානය මාගේය, මේ මම වෙමි, මේ මාගේ ආත්මය”යි ඒ විඥානය දක්නට සුදුසු වේද?”…“ස්වාමීනි, සුදුසු නොවේමය.“

§ 8. එහෙයින් මහණෙනි, තමා පිළිබඳවූ හෝ අනුන් පිළිබඳවූ හෝ මහත් සියුම්වූ හෝ හීනවූ හෝ උස්වූ හෝ අතීතවූද, අනාගතවූද, වර්තමානවූද, යම්කිසි රූපයෙක් වේද, දුරවූ හෝ ළඟවූ හෝ යම් රූපයෙක් වේද, ‘මේ රූපය මාගේ නොවේ, මේ මම නොවෙමි, මේ මාගේ ආත්මය නොවේ’යයි ඒ මේ සියලු රූපය මෙසේ තත්වූ පරිද්දෙන් සම්‍යක් ප්‍රඥාවෙන් දතයුතුය.“තමා පිළිබඳවූ හෝ අනුන් පිළිබඳවූ හෝ මහත්වූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ උසස්වූ හෝ අතීතවූද, අනාගතවූද, වර්තමානවූද යම්කිසි වේදනාවක් වේද, දුරවූ හෝ ළඟවූ හෝ යම්කිසි වේදනාවක් වේද, ‘මේ වේදනා තොමෝ මාගේ නොවේ, මේ මම නොවෙමි, මේ මාගේ ආත්මය නොවේ’යයි ඒ මේ හැම වේදනාව මෙසේ තත්වූ පරිද්දෙන් සම්‍යක් ප්‍රඥාවෙන් දත යුතුය.“තමා පිළිබඳවූ හෝ අනුන් පිළිබඳවූ හෝ මහත් වූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ උසස්වූ හෝ අතීතවූද, අනාගතවූද, වර්තමානවූද, යම්කිසි සංඥාවක් වේද, දුරවූ හෝ ළඟවූ හෝ යම් සංඥාවක් වේද, ‘මේ සංඥා තොමෝ මාගේ නොවේ, මේ මම නොවෙමි. මේ මාගේ ආත්මය නොවේ’යයි ඒ මේ සියලු සංඥාව මෙසේ තත්වූ පරිද්දෙන් සම්‍යක් ප්‍රඥාවෙන් දතයුතුය.“

§ 9 .තමා පිළිබඳවූ හෝ අනුන් පිළිබඳ හෝ මහත්වූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ උසස්වූ හෝ අතීතවූද, අනාගතවූද, වර්තමානවූද, යම් සංස්කාරයෝ වෙද්ද, දුරවූ හෝ ළඟවූ හෝ යම් සංස්කාරයෝ වෙද්ද, මේ ‘සංස්කාර ස්කන්ධය මාගේ නොවේ, මේ මම නොවෙමි, මේ මාගේ ආත්මය නොවේ’යයි මෙසේ ඒ සියලු සංස්කාර ස්කන්ධය තත්වූ පරිද්දෙන් සම්‍යක් ප්‍රඥාවෙන් දතයුතුය.“තමා පිළිබඳවූ හෝ අනුන් පිළිබඳවූ හෝ මහත්වූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ උසස්වූ හෝ අතීතවූද, අනාගතවූද, වර්තමානවූද යම්කිසි විඥානයෙක් වේද, දුරවූ හෝ ළඟවූ හෝ යම් විඥානයක් වේද, ‘මේ විඥානය මාගේ නොවේ, මේ මම නොවෙමි, මේ මාගේ ආත්මය නොවේ’යයි මෙසේ ඒ මේ හැම විඥානය තත්වූ පරිද්දෙන් සම්‍යක් ප්‍රඥාවෙන් දතයුතුය.“මහණෙනි, මෙසේ දක්නාවූ ආර්යශ්‍රාවකතෙම රූපයෙහිද කලකිරෙයි, වේදනාවෙහිද කලකිරෙයි, සංඥාවෙහිද කලකිරෙයි, සංස්කාරයන්හිද කලකිරෙයි, විඥානයෙහිද කලකිරෙයි. කලකිරුණේ නොඇලෙයි, නොඇලීමෙන් (කෙලෙසුන්ගෙන්) මිදෙයි, මිදුනුකල්හි ‘මිදුණේ’ යයි දැනීම වෙයි. ඉපදීම ක්ෂය විය. මාර්ගබ්‍රහ්මචර්යාවෙහි හැසිර නිමවන ලද්දේය. කළයුතු දේ කොට නිමවන ලද්දේය. මේ ආත්මභාවයෙහි කළයුතු අනිකක් නැතැයි විශේෂයෙන් දැනගනී.”

(අටවෙනි ගද්දුල සූත්‍රය නිමි. )

SN 03-01-10-09.
නාවා සූත්‍රය

පුජ්‍ය එල්ලාවල විජිතානන්ද හිමි ගේ විවරණය 1 කොටස

§ 1 .මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.

§ 2. “මහණෙනි, මම දන්නහුගේ දක්නහුගේ ආශ්‍රවයන්ගේ ක්ෂය කිරීම කියමි. නොදන්නහුගේ නොදක්නහුගේ නොකියමි. මහණෙනි, කුමක් දන්නහුගේ කුමක් දක්නහුගේ ආශ්‍රවයන් ක්ෂය වේද? ,
රූපය මෙසේය,
රූපයගේ ඉපදීම මෙසේය,
රූපයගේ විනාශය මෙසේය,
වේදනාව මෙසේය,
වේදනාවගේ ඉපදීම මෙසේය,
වේදනාවගේ විනාශය මෙසේය,
සංඥාව මෙසේය,
සංඥාවගේ ඉපදීම මෙසේය,
සංඥාවගේ විනාශය මෙසේය,
සංස්කාරයෝ මෙසේය,
සංස්කාරයන්ගේ ඉපදීම මෙසේය,
සංස්කාරයන්ගේ විනාශය මෙසේය.
විඥානය මෙසේය,
විඥානයාගේ ඉපදීම මෙසේය,
විඥානයාගේ විනාශය මෙසේය.

මහණෙනි, මෙසේ දන්නහුගේ මෙසේ දක්නහුගේ ආශ්‍රවයන්ගේ ක්ෂය වෙයි.“

පුජ්‍ය එල්ලාවල විජිතානන්ද හිමි ගේ විවරණය 2 කොටස

§ 3 . මහණෙනි, භාවනා කිරීමෙහි නැවත නැවත යෙදී වසන මහණහට ඒකාන්තයෙන් මෙබඳු කැමැත්තක් උපදින්නේය. “මාගේ සිත දැඩිකොට අල්වා නොගෙන ආශ්‍රවයන්ගෙන් මිදෙන්නේ නම් ඉතා යෙහෙක (කියායි.)“

එතකුදුවුවත් ඔහුගේ සිත දැඩිකොට අල්වා නොගෙන ආශ්‍රවයන් කෙරෙන් නොමිදේ,
ඊට හේතු කවරේද?
ඔහුගේ (සිත) නොවැඩූ බැවිනැයි කිය යුතුය.
කුමක් නොවඩනා ලද බැවින්ද,
සතර සතිපට්ඨානයන් නොවඩනා ලද බැවින්ද, සතර සම්‍යක් ප්‍රධාන වීර්යයන් නොවඩනා ලද බැවින්ද, සතර ඍද්ධිපාදයන් නොවඩනාලද බැවින්ද, පඤ්චෙන්ද්‍රියයන් නොවඩනා ලද බැවින්ද පඤ්චබලයන් නොවඩනා ලද බැවින්ද, සප්ත බොධ්‍යංගයන් නොවඩන ලද බැවින්ද, ආර්ය අෂ්ටාංගික මාර්ගය නොවඩනාලද බැවින්ද (වෙයි.)

§ 4 . “මහණෙනි, යම්සේ වනාහි කිකිළියගේ බිජු අටක් හෝ දසයක් හෝ දොළසක් හෝ වෙද්ද, ඒ බිජු කිකිළිය විසින් මනාකොට සයනය නොකරන ලද්දාහු වෙද්ද, මනාකොට හාත්පස උණුසුම් නොකරන ලද්දාහු වෙද්ද, හාත්පස මනා කොට කුකුල් ගඳ නොගන්වන ලද්දාහු වෙද්ද, (එවිට) කිසිසේත් ඒ කිකිළියට ‘මාගේ කුකුළු පැටව් පා නිය අගින් හෝ මුවතුඩින් හෝ බිත්තර කටුව පළාගෙන සුවසේ පිටවන්නාහු නම් ඉතා මැනව’යි මෙබඳු කැමැත්තක් නූපදින්නේය. එතකුදුවුවත් ඒ කුකුළු පැටව් පා අගින් හෝ මුව තුඩින් හෝ බිත්තර කටුව පළාගෙන සුවසේ පිටවන්නට නුසුදුස්සෝම වෙති.
ඊට හේතු කවරේද?
“මහණෙනි, ඒ කියන ලද ප්‍රකාරවූම කිකිළියගේ බිජු අටක් හෝ දසයක් හෝ දොළසක් හෝ වෙද්ද, ඒ බිජු කිකිළිය විසින් මත්තෙහි මනාකොට සයනය නොකරන ලද්දාහු වෙත්. මනාකොට හාත්පස උණුසුම් නොගන්වන ලද්දාහු වෙත්. මනාකොට කුකුළු ගඳ නොගන්වන ලද්දාහුවෙත්. (එහෙයිනි,)

§ 5. “මහණෙනි, එපරිද්දෙන්ම භාවනා කිරීමෙහි නැවත නැවත නොයෙදී වසන මහණහට ‘මාගේ සිත (උපාදානයන් විසින්) අල්වා නොගෙන ආශ්‍රවයන් කෙරෙන් මිදෙන්නේ නම් ඉතා යෙහෙකැ’යි කිසිසේත් මෙබඳු සිතෙක් උපදින්නේද, එතකුදුවුවත් ඒ මහණහුගේ සිත දැඩිව අල්වා නොගෙන ආශ්‍රවයන්ගෙන් නොමිදේ.
ඊට හේතු කවරේද?
ඔහු විසින් නොවඩනා ලද බැවිනැයි කිය යුතුය.
කුමක්හු නොවඩනා ලද බැවින්ද?
සතර සතිපට්ඨානයන් නොවඩනා ලද බැවිනුදු, සතර සම්‍යක් ප්‍රධාන වීර්යයන් නොවඩනා ලද බැවිනුදු, සතර ඍද්ධිපාදයන් නොවඩනා ලද බැවිනුද, පඤ්චෙන්ද්‍රියන් නොවඩනා ලද බැවිනුදු, පඤ්චබලයන් නොවඩනා ලද බැවිනුදු, සප්තබොධ්‍යංගයන් නොවඩනාලද බැවිනුදු, ආර්ය අෂ්ටාංගික මාර්ගය නොවඩනාලද බැවිනුදු (වෙයි.)“

§ 6 .මහණෙනි, භාවනා කිරීමෙහි නැවත නැවත යෙදී වසන මහණහට “(උපාදානයන් විසින්) තදින් අල්ලා නොගෙන මාගේ සිත ආශ්‍රවයන්ගෙන් මිදෙන්නේ නම් ඉතා යෙහෙකැ”යි කිසිසේත් මෙබඳු සිතෙක් උපදින්නේද, ඉක්බිති දැඩිකොට අල්ලා නොගෙන ආශ්‍රවයන්ගෙන් ඔහුගේ සිත මිදේ.
ඊට හේතු කවරේද?
ඔහු විසින් වඩනලද බැවිනැයි කිය යුතුය.
කුමක් වඩනලද බැවින්ද?
සතරසතිපට්ඨානයන් වඩනලද බැවිනුදු, සතර සම්‍යක් ප්‍රධානයන් වඩනලද බැවිනුදු, සතර ඍද්ධිපාදයන් වඩනලද බැවිනුදු, පඤ්චෙන්ද්‍රියයන් වඩන ලද බැවිනුදු, පඤ්ච බලයන් වඩනලද බැවිනුදු, සප්තබොධ්‍යංගයන් වඩනලද බැවිනුදු, ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩනලද බැවිනුදු (වෙයි.)

§ 7 .“මහණෙනි, යම්සේ වනාහි කිකිළියගේ බිජු අටක් හෝ දසයක් හෝ දොළසක් හෝ වෙද්ද, ඒ බිජු කිකිළිය විසින් මනාකොට මත්තෙහි සයනය කරන ලද්දාහු වෙද්ද, මනාකොට හාත්පස උණුසුම් ගන්වන ලද්දාහු වෙද්ද, මනාකොට කුකුළුගඳ ගන්වන ලද්දාහු වෙද්ද, කිසිසේත් ඒ කිකිළියට ‘මාගේ කුකුළු පැටව් පා අගින් හෝ මුවතුඩින් හෝ බිජුවට පළාගෙන සුවසේ පිටතට නික්මෙන්නාහු නම් ඉතා යෙහෙකැ’යි මෙබඳු කැමැත්තක් නො උපදින්නේද, එතකුදු වුවත් ඒ කුකුළු පැටව් පා නිය අගින් හෝ මුවතුඩින් හෝ බිජුවට පළාගෙන සුවසේ පිටතට නික්මෙන්නට සුදුස්සෝම වෙති. ඊට හේතු කවරේද?“

§ 8 .මහණෙනි, ඒ ප්‍රකාරවූම කිකිළියගේ බිජු අටක් හෝ දසයක් හෝ දොළසක් හෝ වෙද්ද? ඒ බිජු කිකිළිය විසින් මනාව මත්තෙහි හෝනා ලද්දාහු වෙති. මනාව හාත්පස උණුසුම් ගන්වන ලද්දාහු වෙති. මනාව හාත්පස කුකුළු ගඳ ගන්වන ලද්දාහු වෙති.“

§9. මහණෙනි, එපරිද්දෙන්ම භාවනා කිරීමෙහි නැවත නැවත යෙදී වාසය කරන්නාවූ මහණහට කිසිසේත් (උපාදාන වශයෙන්) තදින් අල්ලා නොගෙන ආශ්‍රවයන්ගෙන් මාගේ සිත මිදෙන්නේ නම් ඉතා යෙහෙකැ’යි මෙබඳු කැමැත්තක් නො උපදින්නේද, එතකුදුවුවත් (උපාදාන වශයෙන්) නොගෙන ආශ්‍රවයන්ගෙන් ඔහුගේ සිත මිදෙයි. ඊට හේතු කවරේද? වැඩුණු බැවිනැයි කියයුතු වන්නේය.
කුමක් වඩන ලද බැවින්ද?
සතර සතිපට්ඨානයන් වඩනලද බැවින්ද, සතර සම්‍යක් ප්‍රධාන වීර්යයන් වඩන ලද බැවින්ද, සතර ඍද්ධිපාදයන් වඩනලද බැවින්ද, පඤ්චෙන්ද්‍රියයන් වඩනලද බැවින්ද, පඤ්චබලයන් වඩනලද බැවින්ද, සප්තබොධ්‍යංගයන් වඩන ලද බැවින්ද, ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩනලද බැවින්ද වේ.

§10 .“මහණෙනි, යම්සේ වනාහි වඩුවාගේ හෝ වඩු අතවැස්සාගේ හෝ වෑමිටෙහි ඇඟිලි පාරවල් දක්නා ලැබෙද්ද, මහපට ඇඟිලි පාරවල් හෝ දකිනු ලැබෙද්ද, ‘මාගේ වෑමිට අද මෙපමණ ගෙවුණේය ඊයේ මෙපමණ ගෙවුණේය. පෙරේදා මෙපමණ ගෙවුණේ’යයි ඔහුගේ මෙසේ දැනීමෙක් නොවේමය. එතකුදුවුවත් නැතිවූ කල්හි නැතිවූයේය යන දැනීම ඇතිවෙයි.“

මහණෙනි, එපරිද්දෙන්ම භාවනා කිරීමෙහි නැවත නැවත යෙදී වසන මහණහට ‘අද මාගේ ආශ්‍රවයන් අතුරෙන් මෙපමණ ක්ෂයවීයයි හෝ ඊයේ මෙපමණ ක්ෂයවීයයි හෝ පෙරේදා මෙපමණ ක්ෂයවීයයි හෝ’ කිසිසේත් මෙසේ දැනීම ඇති නොවේද, එතකුදුවුවත් ක්ෂයවූ කල්හි ක්ෂයවීමයයි දැනීම වෙයි.

“මහණෙනි, යම්සේ වනාහි සමසක් මුළුල්ලෙහි දියෙහි දමා හේමන්ත කාලයෙහි ගොඩට ගන්නා ලද්දාවූ වේවැල් බැඳුමෙන් බඳින ලද්දාවූ මූදේ යන නැවකගේ බැමි අව් සුළඟින් වියලුනාහු වෙද්ද, ඒ බැමි වැසිකල වසින වැස්සෙන් තෙමෙන ලද්දාහු ලෙහෙසියෙන්ම දුබල වෙද්ද, දිරායද්ද, මහණෙනි, එපරිද්දෙන්ම භාවනා කිරීමෙහි නැවත නැවත යෙදී වසන මහණහුගේ සංයෝජනයෝ ලෙහෙසියෙන්ම යටපත් වෙත්. කුණුවෙත්”

(නවවෙනි නාවා සූත්‍රය නිමි.)

SN 03-01-10-10.
අනිත්‍ය සඤ්ඤා සූත්‍රය

පුජ්‍ය කොත්මලේ කුමාර කස්සප හිමි හිමි කල විවරණය

§ 1 . මා විසින් මෙසේ අසන ලදී.
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.“

§ 2 . මහණෙනි, වඩන ලද, පුරුදු කරනලද අනිත්‍ය සංඥාව සියලු කාමරාගය ක්ෂය කරයි. සියලු රූපරාගය ක්ෂය කරයි. සියලු භවරාගය ක්ෂය කරයි. සියලු අවිද්‍යාව ක්ෂය කරයි. සියලු අස්මිමානය ක්ෂය කරයි. සහමුලින්ම විනාස කෙරෙයි.“

§ 3 .මහණෙනි, යම්සේ වනාහි සරත් කාලයෙහි ගොවියෙක් මහ නඟුලෙන් සීසාන්නේ ඇද තුබූ මුල් මනාව කඩමින් සීසාද, එපරිද්දෙන්ම මහණෙනි, වඩනලද, පුරුදුකරනලද අනිත්‍ය සංඥාව සියලු කාමරාගය ක්ෂය කෙරෙයි, සියලු රූපරාගය ක්ෂය කෙරෙයි, සියලු භවරාගය ක්ෂය කෙරෙයි, සියලු අවිද්‍යාව ක්ෂය කෙරෙයි. සියලු අස්මිමානය ක්ෂය කෙරෙයි, සහමුලින්ම විනාස කෙරෙයි.“

§ 4 .මහණෙනි, යම්සේ වනාහි බබුස් තණ කපන්නා බබුස් තණ කපා අග අල්වාගෙන සලාද, පොළාද, ගසාදමාද, මහණෙනි, එපරිද්දෙන්ම වඩනලද, පුරුදු කරනලද අනිත්‍ය සංඥාව සියලු කාමරාගය ක්ෂය කෙරෙයි, සියලු රූපරාගය ක්ෂය කෙරෙයි, සියලු භවරාගය ක්ෂය කෙරෙයි, සියලු අවිද්‍යාව ක්ෂය කෙරෙයි, සියලු අස්මිමානය ක්ෂය කෙරෙයි, සහමුලින්ම විනාස කෙරෙයි.“

§ 5 . මහණෙනි, යම්සේ වනාහි අඹවල්ලෙහි නැට්ට සිඳිනලද කල්හි එහි නැට්ටෙහි බැඳුණු යම් අඹ ගෙඩි වෙද්ද, ඒ සියලු ගෙඩි ඒ අඹ කැනැත්තට අනුගත වෙද්ද, එපරිද්දෙන්ම මහණෙනි, වඩනලද පුරුදු කරනලද අනිත්‍ය සංඥාව සියලු කාමරාගය ක්ෂය කෙරෙයි, සියලු රූපරාගය ක්ෂය කෙරෙයි, සියලු භව රාගය ක්ෂය කෙරෙයි, සියලු අවිද්‍යාව ක්ෂය කෙරෙයි, සියලු අස්මිමානය ක්ෂය කෙරෙයි, සහමුලින්ම විනාස කෙරෙයි.“

§ 6 . මහණෙනි, යම්සේ වනාහි මුදුන් ගෙයක යම්කිසි පරාල වෙද්ද, ඒ සියලු පරාල මුදුනකරා යෙද්ද, මුදුනට වදින බැවින් එයට නැඹුරු වෙද්ද, මුදුනට මනාව රැස්ව සිටිද්ද, මුදුන ඒ ගොණැසි අතුරෙන් අග්‍රයයි කියනු ලැබේ. මහණෙනි, එපරිද්දෙන්ම වඩනාලද, පුරුදු කරනලද අනිත්‍ය සංඥාව සියලු කාමරාගය ක්ෂය කෙරෙයි, සියලු රූපරාගය ක්ෂය කෙරෙයි, සියලු භවරාගය ක්ෂය කෙරෙයි, සියලු අවිද්‍යාව ක්ෂය කෙරෙයි. සියලු අස්මිමානය ක්ෂය කෙරෙයි, සහමුලින් විනාස කෙරෙයි.“

§ 7. මහණෙනි, යම් හර සුවඳක් වෙද්ද, ඔවුන් අතුරෙන් රත්සඳුන් අග්‍රයයි කියනු ලැබේද, මහණෙනි, එපරිද්දෙන්ම වඩනාලද, පුරුදු කරනලද අනිත්‍ය සංඥාව සියලු කාමරාගය ක්ෂය කෙරෙයි, සියලු රූපරාගය ක්ෂය කෙරෙයි, සියලු භවරාගය ක්ෂය කෙරෙයි, සියලු අවිද්‍යාව ක්ෂය කෙරෙයි. සියලු අස්මිමානය ක්ෂය කෙරෙයි, සහමුලින් විනාස කෙරෙයි.“

§ 8 . මහණෙනි, යම්කිසි මල් සුවඳක් වෙද්ද, ඒ අතුරෙන් සමන්මල් (සුවඳ) අග්‍රයයි කියනු ලැබේද, මහණෙනි, එපරිද්දෙන්ම වඩනලද, පුරුදු කරනලද අනිත්‍ය සංඥාව සියලු කාමරාගය ක්ෂය කෙරෙයි, සියලු රූපරාගය ක්ෂය කෙරෙයි, සියලු භවරාගය ක්ෂය කෙරෙයි, සියලු අවිද්‍යාව ක්ෂය කෙරෙයි, සියලු අස්මිමානය ක්ෂය කෙරෙයි, සහමුලින් විනාස කෙරෙයි.“

§ 9 . මහණෙනි, යම්සේ වනාහි යම්කිසි කුඩා රජවරු වෙද්ද, ඒ සියල්ලෝ සක්විති රජහට අනුකූල වූවාහු වෙද්ද, ඔවුන් අතුරෙන් සක්විති රජතෙම අග්‍රයයි කියනු ලැබේද, මහණෙනි, එපරිද්දෙන්ම වඩනලද, පුරුදු කරනලද අනිත්‍ය සංඥාව සියලු කාමරාගය ක්ෂය කෙරෙයි, සියලු රූපරාගය ක්ෂය කෙරෙයි, සියලු භවරාගය ක්ෂය කෙරෙයි, සියලු අවිද්‍යාව ක්ෂය කෙරෙයි, සියලු අස්මිමානය ක්ෂය කෙරෙයි, සහමුලින් විනාස කෙරෙයි.’“

§ 10, මහණෙනි, යම්සේ වනාහි තරුවල යම්කිසි එළියක්වේද, ඒ සියලු එළි සඳඑළියේ සොළොස්වන කොටසකටද නොඅගිත්, ඔවුන් අතුරෙන් සඳඑළිය අග්‍රයයි කියනු ලැබේද, මහණෙනි, එපරිද්දෙන්ම වඩනාලද, පුරුදු කරනලද අනිත්‍ය සංඥාව සියලු කාමරාගය ක්ෂය කෙරෙයි, සියලු රූපරාගය ක්ෂය කෙරෙයි, සියලු භවරාගය ක්ෂය කෙරෙයි, සියලු අවිද්‍යාව ක්ෂය කෙරෙයි, සියලු අස්මිමානය ක්ෂය කෙරෙයි, සහමුලින් විනාස කෙරෙයි.“

§ 11. මහණෙනි, යම්සේ වනාහි සරත් සමය වැඩුණු කල්හි පහවගිය වළාකුල්ද, වැසිද ඇතිකල්හි සූර්යතෙම අහසට නැංගේ ආකාසගතවූ සියලු අඳුරු නසා එළිය කෙරේද, බබලාද, විශේෂයෙන් දීප්තිමත් වේද.” .මහණෙනි, එපරිද්දෙන්ම වඩනලද, පුරුදු කරනලද අනිත්‍ය සංඥාව සියලු කාමරාගය ක්ෂය කෙරෙයි, සියලු රූප රාගය ක්ෂය කෙරෙයි, සියලු භවරාගය ක්ෂය කෙරෙයි, සියලු අවිද්‍යාව ක්ෂය කෙරෙයි, සියලු අස්මිමානය ක්ෂය කෙරෙයි. සහමුලින් විනාශ කෙරෙයි.

§ 12 .“මහණෙනි, කෙසේ වඩනා ලද්දාවූ කෙසේ පුරුදුකරන ලද්දාවූ අනිත්‍ය සංඥාව තොමෝ සියලු කාමරාගය ක්ෂයකෙරේද, සියලු රූපරාගය ක්ෂය කෙරේද, සියලු භවරාගය ක්ෂය කෙරේද, සියලු අවිද්‍යාව ක්ෂය කෙරේද, සියලු අස්මිමානය ක්ෂය කෙරේද, සහමුලින්ම විනාශ කෙරේද, රූපය මෙසේය, රූපයාගේ ඉපදීම මෙසේය, රූපයාගේ විනාශය මෙසේය. වේදනාව මෙසේය, වේදනාවේ ඉපදීම මෙසේය, වේදනාවේ විනාශය මෙසේය, සංඥාව මෙසේය, සංඥාවේ ඉපදීම මෙසේය, සංඥාවේ විනාශය මෙසේය, සංස්කාරයන් මෙසේය, සංස්කාරයන්ගේ ඉපදීම මෙසේය, සංස්කාරයන්ගේ විනාශය මෙසේය, විඥානය මෙසේය, විඥානයාගේ ඉපදීම මෙසේය, විඥානයාගේ විනාශය මෙසේයයි මෙසේ වඩන ලද්දාවූ මෙසේ පුරුදු කරන ලද්දාවූ අනිත්‍ය සංඥාතොමෝ සියලු කාමරාගය ක්ෂය කෙරෙයි සියලු රූපරාගය ක්ෂය කෙරෙයි, සියලු භවරාගය ක්ෂය කෙරෙයි, සියලු අවිද්‍යාව ක්ෂය කෙරෙයි, සියලු අස්මිමානය සහමුලින්ම විනාශ කෙරේයයි” (වදාළසේක.)

(දහවෙනි සංඥා සූත්‍රය නිමි.)

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.