MN 02-02-05 භද්දාලි සුත්‍රය

65 භද්දාලි සුත්‍රය

[659: බොහෝ සාමාජිකයන් ඉන්නා ඕනෑම ආයතනයක, සංස්ථාවක, නීති රාමුවක්, ආයතන පටිපාටියක් ඇත. මේ ලෝකයේ පැරණිම ආයතනය බෞද්ධ සංඝ සමාජය වේ. මේ සංඝ සංස්ථාවේ පවතින ඒ රාමුව විනය පිටකය වේ. විනය නොරකින කල මේ බෞද්ධ සාසනය වැඩිකල් නොගොස් නැත්තටම නැතිව යනු ඇත. භාග්‍යවතුන් වහන්සේ බුද්ධත්වයෙන් විසි අවුරුද්දක් යන තුරු එකදු විනය නීතියක් පැනවුයේ නැත. ඒ වනතුරු භික්ෂුහු භාග්‍යවතුන් වහන්සේ ගේ සම්බුද්ධත්වය ගැන විචිකිච්චාවක් නොකළහ. සංසාර විමුක්තිය ලබන්නට භාග්‍යවතුන් වහන්සේ උගන්වන පටිපදාව හැර වෙනෙකක් නැති බව දත් උන් වහන්සේලා ශ්‍රද්ධාවෙන් පිළිවෙත් පිරුහ. පසුව වෙනත් හේතු පිණිස පැවිදි වුවන් කල ඇතැම් ක්‍රියා නිසා, වරින් වර විනය නීති පැනවූයේ සාසනයේ චිරස්තිතිය පිණිසය.

සර්වඥවූ භාග්‍යවතුන් වහන්සේ සියලු කාලයන්ට ගැලපෙනසේ සංඝ ක්‍රියා පටිපාටිය විනය නීතිවල අඩංගු කර ඇත. එදිනෙදා කල යුතු සෑම කටයුත්තක් ම කරන සැටි භාග්‍යවතුන් වහන්සේ මවක දරුවනට උගන්වන ලෙස උගන්වා ඇත. මේ පිළිවෙත් අනුව ජීවත්වන්නා අකුසල් බැහැර කරයි. විමුක්තියටම ලං වෙයි.

මේ භද්දාලි සුත්‍රය කියවා, ගත යුතු ආදර්ශය වන්නේ විකාල භෝජනය නොකළ යුතු බව නොවෙයි. මේ සංඝ සමාජයේ ඉන්නා සියලු දෙනා සියලු කල්හි විනය නීති සැමකල් රැකියා යුතු බවය. බුදුන් වහන්සේ ගේ සර්වඥතාව පිළිගන්නා අය උන්වහන්සේට වඩා තමන් දන්නේයැයි නොසිතා, “ඒ කාලෙට හොඳ උනාට දැන් මේ නීති හරියන්නේ නැත. සංසෝදනය කරන්න ඕනෑ යයි සිතති.” රන් රිදී කහවනු විසකුරු සර්පයන් සේ බැහැර කල යුතු බව කීවත් අද සමාජයේ ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරන හාමුදුරුවරුන් පවා සිටිති.

හාමුදුරුවන් පමණක් නොව ගිහියන් පවා බුද්ධාගම තමන්ට ඕනෑ ලෙස පරිවර්තන කරගෙන පන්සල් යති. පෝය දාට අට සිල් දස සිල් ගෙන හවස පහට “පවාරණය” කොට රෑ බතට ගෙදර යති. ගිහි විනය රකින්නට බැරි නම් සිල් නොගෙන ගෙදර සිටීමෙන් අපායේ නොවැටී ඉන්නට හැක. සිල් ගත්තාය කියා සාසනය හෑල්ලු කිරීම , ශික්ෂාව සංශෝධනය කරගැනීම අපාගත වන අකුසලයකි.]

කුලියාපිටියේ දෙලන පන්සලේ බුදු කුටියේ වැඩ ඉන්නා පිළිම වහන්සේ

§ 1. මා විසින් මෙසේ අසනලදී.
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවත් නුවර අනේපිඬු මහ සිටුහුගේ ජේතවන නම්වූ ආරාමයෙහි වැඩ වාසය කළහ. එකල්හි දිනක් භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි”යි භික්ෂූන්ට කථා කළහ “පින්වතුන් වහන්ස”යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ.

§ 2. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ.
“මහණෙනි, මම පෙරවරුවේ එක් වරක් පමණක් වළඳමි. එසේ එක වේලක් වළඳන හෙයින්ම ආබාධ නැති බවද, නිදුක් බවද, ශරීර සැහැල්ලු බවද, කාය බලයද, ශරීරයේ සැප විහරණයද ලබමි. මහණෙනි, ඔබලාද උදය කාලයේ ආහාර වළඳව්. මහණෙනි, තොපිද උදය කාලයේ ආහාරයම වළඳන්නාහු ආබාධ නැති බවද, නිදුක් බවද, ශරීර සැහැල්ලු බවද, කාය බලයද, ශරීර සැප විහරණයද ලබව්” යයි වදාළහ.660

[660: මේ සිදුවීම වුයේ විකාල භෝජන ශික්ෂාව විනය නීතියක් ලෙස පැනවීමට පෙර වූ බැව් පෙනේ. තමන් වහන්සේ පුරුදු කරන්නාවූ මේ යහ පිළිවෙත සිය ශ්‍රාවකයනුත් පිලි පදින්නේ නම් ඒ උන්ගේ යහපත වෙයි භාග්‍යවතුන් වහන්සේ මෙසේ යෝජනා කල සේක.]

§ 3. මෙසේ වදාළ කළ, භද්දාලි නම් භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය. “ස්වාමීනි, මට පෙරවරුවේ පමණක් ආහාර වැලදීම කල නොහැකිය. ස්වාමීනි, පෙරවරුවේ ආහාරයෙන් පමණක් මට ජීවිතය පවත්වාගෙන යා හැකිදැයි සැකය, ”

“භද්දාලිය, එසේ නම් ඔබ යම් තැනෙකට දානයට ආරාධනා ලද්දේ නම් , එහිදී කොටසක් අනුභවකොට, කොටසක් ගෙණ ගොස් පසුව වළඳව, ”661

[661:- මේ ගෙන එන ආහාරයද හිරු අස්ථානගත වීමට පෙර ගන්නට වේනම් බද්දාලි භික්ෂුවගේ අභිමතාර්ථය ඉටු නොවෙන නිසා ඔහු මෙයටද එකඟ නොවීය. එසේ භද්දාලි භික්ෂුව අකමැති වන්නට හේතුව ඔහුට රාත්‍රී ආහාරය වළදන්නට ඕනෑකමක් වීමය. මෙසේ අවවාදයෙන් පසුවද ඔහු එක භජනය නොව පෙර කළා සේ කැමති විට ආහාර ගත් බව පෙනේ. ]

“ස්වාමීනි, මම එසේ වළඳන්ටද කැමැති නොවෙමි. ස්වාමීනි, එසේ පෙරවරුවේ ආහාරයෙන් පමණක් මට ජීවිතය පවත්වාගෙන යා හැකිදැයි සැකය, ”.”

§ 4. පසුව භාග්‍යවතුන් වහන්සේ විසින් විකාල භොජන ශික්ෂාපදය පනවනු ලැබූ කල්හි, භික්ෂු සංඝයා ශික්ෂාපදය සමාදන්වනු ලබන කල්හිද ආයුෂ්මත් භද්දාලි භික්ෂුව තමන්ට එය රැකීමට නොහැකි බව ප්‍රසිද්ධියේ පළ කළේය. 662 ඉක්බිති ශාස්තෘ ශාසනයෙහි ශික්ෂාව නොපුරන්නෙක් සේ ආයුෂ්මත් භද්දාලි භික්ෂුව තෙමසක් මුළුල්ලෙහි වූ වස් කාලයෙහි කිසි විටෙක භාග්‍යවතුන් වහන්සේ හමුවීමට නොපැමිණියේය. ඒ ඔහු ප්‍රාතිමොක්ඛ ශීලය කඩ කල හෙයිනි.

[662: භද්දාලි මෙසේ විප්ලවීය ආකාරයකින් අනෙක් සංඝයා ඉදිරියේ තමන් අනෙක් සංඝයාමෙන් සෑම ශික්ෂා පදයක් ම පිලි නොගන්න බව කීමෙන් වන හානිය ඔහු පසුව අවබෝධ කරගත්තේය.]

§ 5. තෙමසකින් වස් කාලය ගෙවුන පසු භාග්‍යවතුන් වහන්සේ චාරිකාවෙහි වඩිතියි අපේක්ෂාවෙන් උන් වහන්සේ උදෙසා සිවුරක් මැසීමට බොහෝ භික්ෂූහු එක්ව සිවුර මසමින් සිටියෝය. මේ භද්දාලි භික්ෂුව එහි ගිය විට අනෙක් භික්ෂුහු ඔහුට මෙසේ කීහ.

§ 6. “තුන් මාසයකින් පසු භාග්‍යවතුන් වහන්සේ චාරිකාවෙහි වඩින හෙයින් භාග්‍යවතුන් වහන්සේගේ පරිභෝජනය පිණිස අප මේ සිවුර මසනු ලැබේ.

“ආයුෂ්මත් භද්දාලිය, එබැවින් ශික්ෂා පදයක් පිලි නොගන්නෙමැයි ඔබ කරගත් ඒ දෝෂය හොඳින් සිහිකරව! ඔබට ඒ දුෂ්ක්‍රියාව නිසා පසුව නරකයක් සිදු නොවන ලෙස වහා ගොස් භාග්‍යවතුන් වහන්සේ ගෙන් සමාව අයදිව.”යි කීහ.

§ 7 . ආයුෂ්මත් භද්දාලි භික්ෂුව, “එසේය ඇවැත්නි”යි ඒ භික්ෂූන්ට පිළිතුරු දී භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. එහි පැමිණ, භාග්‍යවතුන් වහන්සේට පසඟ පිහිටුවා වඳිමින් මෙසේ කීය.

“ස්වාමිනි , භාග්‍යවතුන් වහන්ස’ ඔබ වහන්සේ විසින් ශික්ෂාපදයක් පණවනු ලැබූ කල්හි, සෙසු භික්ෂු සංඝයා ශික්ෂාපදය සමාදන් වන කල්හි මම ඒ සමාදන් නොවීමෙන් ඇවැතක් කලෙමි. බාලයකුසේ, මුළාවූවකුසේ, අව්‍යක්තයකුසේ, මම වරදක්ම කර ගත්තේ වෙමි. මම ඒ වරද අවබෝධකරගෙන නැවත එවැනි අනුවන කමක් නොකරන්නට පොරොන්දු වෙමි. භාග්‍යවතුන් වහන්සේ මගෙන් වූ ඒ දෝෂයට මට කමා කරන සේක්වා”යි කීය.

§ 8. “භද්දාලිය, මා විසින් ශික්ෂාපදයක් පණවනු ලබන කල්හි, සෙසු භික්ෂු සංඝයා ශික්ෂාපදය සමාදන් වන කල්හි ඔබ ඒ සමාදන් නොවීමෙන් ඔබ බාලයකුසේ, මුළාවූවකුසේ, අව්‍යක්තයකුසේ, විනය කඩකරන ලද්දේය. ඒ බව ප්‍රසිද්ධියේ කීමෙන් ඔබ තවත් වරදක්ම කර ගත්තේ වෙයි.

§ 9. භද්දාලිය, ඔබ විසින් මේ කරුණු අවබෝධ කර නොගත්තේය. දැන් භාග්‍යවතුන් වහන්සේද සැවැත්නුවර වසති, මේ ප්‍රවුර්තිය අසා, “භද්දාලි භික්ෂුව ශාස්තෘ ශාසනයෙහි ශික්ෂාවන් නොපුරන්නෙකැ’යි භාග්‍යවතුන් වහන්සේද මාගේ අවක්‍රියා ගැන දැනගන්නේ යි යන කාරණය ඔබ නොසිතන ලද්දේය. එහි බැරෑරුම් බව අවබෝධ කර නොගත්තේය.

.“භද්දාලිය, මේ දිනවල වස් සමාදන්වීමට බොහෝ භික්ෂුන් පැමිණ සැවැත්නුවර වස් වැසුවාහුය, භද්දාලි නම් භික්ෂුව ශාස්තෘ ශාසනයෙහි ශික්ෂාවන් නොපුරන්නෙකැයි ඒ භික්ෂූහුද ඔබ ගැණ දැනගන්නේය යි යන කාරණය ඔබ නොසිතන ලද්දේය. එහි බැරෑරුම් බව අවබෝධ කර නොගත්තේය.

“භද්දාලිය, බොහෝ භික්ෂුණීහුද සැවැත්නුවර වස් සමාදන් ව ඉන්නෝය.. , භද්දාලි නම් භික්ෂුව ශාස්තෘ ශාසනයෙහි ශික්ෂාව නොපුරන්නෙකැ’යි ඒ භික්ෂුණීහුද ඔබ ගැණ දැනගන්නේය යි යන කාරණය ඔබ නොසිතන ලද්දේය. එහි බැරෑරුම් බව අවබෝධ කර නොගත්තේය.

.“භද්දාලිය, බොහෝ සැදැහැති උපාසකයෝ සැවැත්නුවර වෙසෙත්. භද්දාලි භික්ෂුව ශාස්තෘ ශාසනයෙහි ශික්ෂාවන් නොපුරන්නෙකැ’යි ඔව්හුද ඔබ ගැණ දැනගන්නේය යි යන කාරණය ඔබ නොසිතන ලද්දේය. එහි බැරෑරුම් බව අවබෝධ කර නොගත්තේය.

“භද්දාලිය, බොහෝ උපාසිකාවෝ සැවැත්නුවර වෙසෙත්. භද්දාලි නම් භික්ෂුව ශාස්තෘ ශාසනයෙහි ශික්ෂාවන් නොපුරන්නෙකැ’යි ඒ උපාසිකාවෝද ඔබ ගැණ දැනගන්නේය යි යන කාරණය ඔබ නොසිතන ලද්දේය. එහි බැරෑරුම් බව අවබෝධ කර නොගත්තේය.

“භද්දාලිය, නොයෙක් අන්‍ය තීර්ථක මහණ බමුණෝ සැවැත්නුවර වස් එළඹියාහුය. භද්දාලි නම් භික්ෂුව ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවක තෙරුන් අතරෙන් කෙනෙක්වද ශාස්තෲන් වහන්සේගේ ශාසනයෙහි ශික්ෂාවන් නොපුරන්නෙකැ’යි ඔවුහුද ඔබ ගැණ දැනගන්නේය යි යන කාරණය ඔබ නොසිතන ලද්දේය. එහි බැරෑරුම් බව අවබෝධ කර නොගත්තේය. .”

§ 10. “ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේ විසින් ශික්ෂාපදය පනවන කල්හි, භික්ෂු සංඝයා ශික්ෂාපදය සමාදන් වන කල්හි අනුත්සාහය පළ කෙළෙම්ද ඒ වරද බාලයකුසේ, මුළාවූවකුසේ, අව්‍යක්තයකුසේ, මා අතින් සිදු විය. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඒ බඳු වරදක් නැවත මා විසින් නොකරණු පිණිස මාගේ වරද වරද වශයෙන් මා පිළිගන්නා නිසා මට සමා කරන සේක්වා.” යි භද්දාලි නැවත ආයාචනා කළේය.

“භද්දාලිය, මා විසින් ශික්ෂාපදය පනවනු ලබන කල්හි භික්ෂු සංඝයා ශික්ෂාපදය සමාදන් වන කල්හි ඔබ ඒ නොපිළිගන්නා බවත්, ඒ ශික්ෂාව පිළිනොපදින බවත් අනෙක් භික්ශුනට කීමෙන් බාලයකුසේ මුළාවූවකු සේ, අව්‍යක්තයකුසේ ඔබ ඔබ වරද වඩා ගත්තෙහිය.

§ 11 “භද්දාලිය, ඒ කුමකැයි සිතන්නෙහිද?
මේ ශාසනයෙහි උභතොභාග විමුත්තවූ භික්ෂුවක්663 වේද, මම ඒ භික්ෂුව අමතා ‘භික්ෂුව, මට මේ මඩ ගොඩින් එගොඩවීමට මඩෙහි මත වැතිරෙව” යි කීවොත් ඔහු මාගේ අභිමතාර්ථය පරිදි මට මඩෙන් ගොදීමට සිය සිරුර ඒ දණ්ඩක් සේ මඩෙහි එලාවී ද? එසේ නොකොට අන් දෙසකට හැරී යන්නේද, නොහැකියයි කියන්නේද?”
“ස්වාමීනි, එසේ නොවන්නේය.”

[663: චිත්ත, පඤ්ඤා යන දෙපසින් මිදුනු හෙයින් උභය විමුක්ත ලෙස හැඳින්වෙන භ්ක්ෂුව අරහත් බව ප්‍රත්‍යක්ෂ කල භික්ෂුවකි. භාග්‍යවතුන් වහන්සේ තව දුරටත් සත් ආකාර වූ වුමුක්ති ප්‍රාප්ත රහතුන් වහන්සේලාගෙන් කෙනෙකු මේ බුද්ධ විධානය අනුව ක්‍රියා කරත් දැයි නොකරත් දැයි ආයුෂ්මත් භද්දාලි භික්සුන්වහන්සේ ගෙන් විචාරයි.]

“භද්දාලිය, ඒ කුමකැයි සිතන්නේද?
මේ ශාසනයෙහි දිට්ඨප්පත්තව රහත් වූ භික්ෂුවක් වන්නේද, මම ඒ භික්ෂුව අමතා ….”
“ස්වාමීනි, එසේ නොවන්නේය.”

“භද්දාලිය, ඒ කුමකැයි සිතන්නේද?
මේ ශාසනයෙහි සද්ධාවිමුත්තව රහත් වූ භික්ෂුවක් වන්නේද,…….”
“ස්වාමීනි, එසේ නොවන්නේය.”
“භද්දාලිය, ඒ කුමකැයි සිතන්නේද?
මේ ශාසනයෙහි ධම්මානුසාරීව රහත් වූ භික්ෂුවක් වන්නේද, …..?”
“ස්වාමීනි, එසේ නොවන්නේය.”
“භද්දාලිය, ඒ කුමකැයි සිතන්නේද?
මේ ශාසනයෙහි සද්ධානුසාරීව රහත් වූ භික්ෂුවක් වන්නේද, ……?”
“ස්වාමීනි, එසේ නොවන්නේය.” 664

[664: මේ චේදයේ දක්වා ඇති පද හත අරහත් ඵල ලැබූ උතුමෙකු ඵල ලබා ගන්නා ආකාරය අනුව කල වර්ගීකරණයක් වේ. මේ පිලිබඳ සම්පුර්ණ විස්තරය කීටාගිරි සුත්‍රයෙ සඳහන් වන අක්කරයටම මේ සුත්‍රයේ අග කෙළවරෙහි දක්වා ඇත. ඒ දැන නොගැනීමෙන් මේ සුත්‍රය කියවීමට කිසිදු අපහසුවක් නොවන මුත් සම්පුර්ණ කම සඳහා උපුටා ගත උද්ධෘතය මේ පරිවර්තනයේ අගට එක් කළෙමු. ]

§ 12 “භද්දාලිය, ඒ කුමකැයි සිතන්නෙහිද?
භද්දාලිය, ඉදින් ඔබ මේ ඇවත සිදුකරද්දී ඔබ උභතොභාග විමුත්තයෙක් හෝ, පඤ්ඤා විමුත්තයෙක් හෝ, කායසක්ඛී වූවෙක් හෝ, දිට්ඨප්පත්තයෙක් හෝ, සද්ධාවිමුත්තයෙක් හෝ, ධම්මානුසාරී වූවෙක් හෝ, සද්ධානුසාරී වූවෙක් හෝ වූයෙහිද, ?”
“නැත ස්වාමිනි මම අසෙක තත්වයේ නොවීමි.

“භද්දාලිය, රහත් වූ ශ්‍රාවකයන් පවා මගේ කීම බැහැර නොකරන විට ඔබ එසේ නොවීදු ප්‍රතිමොක්ක විනය අභිභවායාමේන් නුඹගේ හිස් බව අසමත් බව නොවැටහෙද? ”

§ 13 . “එසේය, ස්වාමීනි. ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේ ශික්ෂාපදය පනවන කල්හි, භික්ෂු සංඝයා ශික්ෂාපදය සමාදන් වන කල්හි අනුත්සාහය පළ කෙළෙම්ද, බාලයකුසේ මුළාවූවකුසේ, අදක්ෂයකුසේ වරද මා ඉක්ම පැවැත්තේය. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ ඒ මාගේ වරද වරද වශයෙන් නැවත සංවරය පිණිස පිළිගන්නාසේක්වා.”

“මා විසින් ශික්ෂාපදය පනවනු ලබන කල්හි භික්ෂු සංඝයා ශික්ෂාපදය සමාදන් වන කල්හි ඔබ ඒ නොපිළිගන්නා බවත්, ඒ ශික්ෂාව පිළිනොපදින බවත් අනෙක් භික්ශුනට කීමෙන් බාලයකුසේ මුළාවූවකු සේ, අව්‍යක්තයකුසේ ඔබ ඔබ වරද වඩා ගත්තෙහිය.. භද්දාලිය, ඔබ වරද වරද වශයෙන් දැන ධර්මයවූ පරිදි පිළියම් කෙරෙහිද, ඔබගේ ඒ වරදට අපි සමාව දෙමු. භද්දාලිය, යමෙක් වරද වරද වශයෙන් දැක ධර්මයවූ පරිදි පිළියම් කරයිද, නැවත සංවරයට පැමිණේද, එය ආර්‍ය්‍යවිනයයි කියනලද මේ ශාසනයෙහි දියුණුව වේ.

§ 14 . “භද්දාලිය, මේ ශාසනයෙහි ඇතැම් භික්ෂුවක් ශික්ෂාපදයන් නොරකිමින් මෙසේ සිතයි. ‘මම අරහත් ඵලය මගේ අරමුණ වූ නිර්වාන අවබෝධය පිණිස වනයට , වන ආරණ්‍යයකට , රුක්මූලයකට , කඳුරැලියකට , පර්වතයක් මුලට , ගුහාවකට , සොහොන් පිටියකට , පිදුරුබිස්ස කට යන විවේක ඇති සෙනසුනකට ගොස් භාවනා කරන්නේ නම් යෙහෙකි’ (කියායි.)“

ඉදින් ඒ භික්ෂුව ආරණ්‍යය, රුක් මූලය, පර්වතමූලය කඳු රැලිය, පර්වත ගුහාය, සොහොනය, වනයෙහි ඉතා දුර සෙනසුනය, අභ්‍යවකාසය, පිදුරුබිස්සය යන විවේක ඇති සෙනසුන් භාවිත කරයි. එසේ විවේකව වසන ඔහුට ඔහුගේ අසිල්වත් බව නිසා ගුරුවරයා දොස් කියයි. සබ්‍රහ්මචාරින්ද දොස් කියයි, දේවතාවෝද දොස් කියත්. තමාම තමාටම දොස් කියයි. ඒ භික්ෂුව, මනුෂ්‍ය ධර්මයට වඩා උසස් ආර්‍ය්‍ය භාවය කිරීමට සමර්ථ විශේෂ ඥානයක් ප්‍රත්‍යක්ෂ නොකරයි.

ඊට හේතු කවරේද?
භද්දාලිය, ශාස්තෘ ශාසනයෙහි ශික්ෂාව සම්පූර්ණ නොකරන්නාහට කිසිදා ආර්‍ය්‍ය භාවය කිරීමට සමර්ථ විශේෂ ඥානයක් ප්‍රත්‍යක්ෂ නොකරයි.

§ 15. “භද්දාලිය, මේ ශාසනයෙහි, භික්ෂුවක් ශික්ෂාපද රකින්නෙක් වේද, ඔහු සික්ඛා පද සියල්ල ආරක්ෂා කරමින් හැසිරෙන නිසා ගුරුවරයා දොස් නොකියයි. සබ්‍රහ්මචාරින්ද දොස් නොකියයි, දේවතාවෝද දොස් නොකියත්. තමා තමාටම දොස් නොකියයි.  මනුෂ්‍ය ධර්මයට වඩා උසස්වූ ආර්‍ය්‍යභාවය කිරීමට සමර්ථ විශේෂ ඥානයක් ප්‍රත්‍යක්ෂ කරයි. ඒ භික්ෂුව කාමයන්ගෙන් වෙන්ව විතර්ක සහිත විචාර සහිත ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි.

එයට හේතු කවරේද, භද්දාලිය, ශාස්තෘ ශාසනයෙහි ශික්ෂාව සම්පූර්ණ කරන්නාහට එය එසේම වෙයි. ඒ භික්ෂුව, මනුෂ්‍ය ධර්මයට වඩා උසස් ආර්‍ය්‍ය භාවය කිරීමට සමර්ථ විශේෂ ඥානයන් ප්‍රත්‍යක්ෂ කරයි.

§ 16. “නැවතද භද්දාලිය, ඒ භික්ෂුව විතර්ක විචාරයන් සංසිඳවීමෙන් සිත තුළ පැහැදීම ඇති, සිතේ එකඟ බැව් ඇති අවිතර්ක අවිචාර සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ද්විතීය ධ්‍යානයට පැමිණ වාසය කරයි. ඊට හේතු කවරේද, භද්දාලිය, ශාස්තෘ ශාසනයෙහි ශික්ෂාව සම්පූර්ණ කරන්නාහට එය එසේම වෙයි.

භික්ෂුව , ප්‍රීතියේ නො ඇලී උපෙක්ෂා ඇත්තෙක්ව වාසය කරයි. සිහියෙන් යුත්ත වූයේ යහපත් නුවණ ඇතිව කයින් සැපවිඳී, ආර්‍ය්‍යයෝ යම් ධ්‍යානයක් උපෙක්ෂාව ඇත්තෙක්ව සිහි ඇත්තෙක්ව සැප විහරණය ඇත්තෙකැයි කියත්ද, ඒ තෘතීය ධ්‍යානයට පැමිණ වාසය කරයි. ඊට හේතු කවරේද, භද්දාලිය, ශාස්තෘ ශාසනයෙහි ශික්ෂාව සම්පූර්ණ කරන්නාහට එය එසේම වෙයි.

භද්දාලිය, භික්ෂුව සැපදුක් හැර පළමුවම සොම්නස් දොම්නස් දුරුකොට දුක්ද නොවූ සැපද නොවූ උපෙක්ෂා සිහියෙන් පිරිසුදු බව ඇති චතුර්ථ ධ්‍යානයට එළඹ වාසය කරයි. ඊට හේතු කවරේද? භද්දාලිය, ශාස්තෘ ශාසනයෙහි ශික්ෂාව සම්පූර්ණ කරන්නාහට එය එසේම වෙයි.

§ 17. “ඒ භික්ෂුව මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසුදුවූ කල්හි, කෙළෙස් නැති කල්හි, කෙලෙස් රහිත කල්හි, මොලොක්වූ කල්හි, කටයුත්තට සුදුසුව පැවති කල්හි, ස්ථිරව සිටි කල්හි, නොසැලෙන කල්හි, පෙරවිසූ කඳපිළිවෙළ දැන ගැනීමට සිත මෙහෙයවයි. ඒ භික්ෂුව නොයෙක් ආකාර පෙර විසූ කඳ පිළිවෙළ සිහි කරයි.

කෙසේද යත් ? එක් ජාතියක්ද, ජාති දෙකක්ද, ජාති තුනක්ද, ජාති සතරක්ද, ජාති පසක්ද, ජාති දසයක්ද, ජාති විස්සක්ද, ජාති තිසක්ද, ජාති සතලිසක්ද, ජාති පණහක්ද, ජාති සියයක්ද, ජාති දහසක්ද, ජාති සියක් දහසක්ද නොයෙක් විනාස වෙමින් පවතින කල්පයන්ද නොයෙක් හැදෙමින් පවතින කල්පයන්ද නොයෙක් විනාශවන හෝ හැදෙන කල්පයන්ද, අසුවල් තැන වීම් මෙනම් ඇත්තෙම් මේ ගොත්‍ර ඇත්තෙම් මේ පාට ඇත්තෙම් මේ කෑම ඇත්තෙම් මේ සැප දුක් වින්දෙම් මේ ආයුෂ කෙළවර කොට මම එයින් චුත වූයෙම් අසුවල් තැන උපන්නෙමි. එහිදු මෙනම් ඇත්තෙම් මේ ගොත්‍ර ඇත්තෙම් මේ පාට ඇත්තෙම් මේ කෑම ඇත්තෙම් මේ සැප දුක් වින්දෙම් මේ ආයුෂ කෙළවර කොට ඇත්තෙම් වීමි. ඒ මම එයින් චුතවූයෙම් මෙහි උපන්නෙමියි. මෙසේ ආකාර උද්දෙස සහිත නොයෙක් ආකාර පෙර විසූ කඳ පිළිවෙළ සිහිකරයි.

ඊට හේතු කවරේද? භද්දාලිය, ශාස්තෘශාසනයෙහි ශික්ෂාව සම්පූර්ණ කරන්නාහට එය එසේම වෙයි.“

§ 18 . ඒ භික්ෂුව මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, හාත්පසින් පිරිසිදුවූ කල්හි, කෙලෙස් රහිත කල්හි, කෙලෙස් උවදුරු නැති කල්හි, මොලොක්වූ කල්හි, කටයුත්තට සුදුසුව පැවති කල්හි, ස්ථිරව සිටි කල්හි, නොසැලෙන කල්හි. ඒ භික්ෂුව පිරිසුදු මිනිස්බව ඉක්මවූ දිවැසින් චුතවන උපදින හීන, ප්‍රණීත, සුවර්ණ , දුර්වර්ණ යහපත් උපතට පත් වූවාවු, අයහපත් ගතිවලට ගියාවූ, කර්මයට අනුව උපදින සත්වයන් දකී. මේ පින්වත් සත්වයෝ කාය දුශ්චරිතයෙන් යුක්තවූහ. වාග්දුශ්චරිතයෙන් යුක්තවූහ. මනො දුශ්චරිතයෙන් යුක්ත වූහ. ආර්‍ය්‍යයන්ට ගරහන්නෝ වූහ. මිථ්‍යාදෘෂ්ටිකයෝ වූහ. මිථ්‍යාදෘෂ්ටි කර්ම සමාදන්වූවෝ වූහ. ඔවුහු මරණින් මතු සැපයෙන් පහවූ නපුරුවූ දුක්වූ නිරයට පැමිණෙත්. නැතහොත් මේ පින්වත් සත්වයෝ කාය සුචරිතයෙන් යුක්ත වූහ. වාග් සුචරිතයෙන් යුක්ත වූහ. මනො සුචරිතයෙන් යුක්ත වූහ. ආර්‍ය්‍යයන්ට නොගරහන්නෝ වූහ. සත්‍යය අදහන්නෝ වූහ. සත්‍ය ඇදහීම් සමාදන් වූවෝ වූහ. ඔවුහු මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ගලෝකයට පැමිණියෝ”යි, මෙසේ පිරිසිදුවූ මිනිස් ඇස ඉක්මවූ දිව ඇසින් චුතවන උපදින සත්වයන් දකී.

මෙසේ පිරිසිදුවූ මනුෂ්‍යත්වය ඉක්ම සිටියාවූ දිව ඇසින් චුත වන්නාවූද උපදින්නාවූද පහත්වූද උසස්වූද ලක්ෂණවූද අවලක්ෂණවූද හොඳ ලොවකට ගියාවූ, නොහොත් නරක ලොවකට ගියාවූද කම්වූ පරිදි මිය පරලොව ගිය සත්වයන් දනී,

ඊට හේතු කවරේද? භද්දාලිය, ශාස්තෘශාසනයෙහි ශික්ෂාව සම්පූර්ණ කරන්නාහට එය එසේම වෙයි.“

§ 19 . ඒ භික්ෂුව මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි කෙලෙස් රහිත කල්හි, කෙලෙස් උවදුරු නැති කල්හි, මොලොක්වූ කල්හි, කටයුත්තට සුදුසුව පැවති කල්හි, ස්ථිරව සිටි කල්හි නොසැලෙන කල්හි, ආශ්‍රවයන් ක්ෂය කරන නුවණ පිණිස සිත යොමුකරයි.

ඒ භික්ෂුව මේ දුකයයි ඇති සැටියෙන් දනී. මේ දුක් ඉපදීමේ හේතුවයයි ඇති සැටියෙන් දනී. මේ දුක් නැතිකිරීමයයි ඇති සැටියෙන් දනී. මේ දුක් නැති කිරීමේ මාර්ගයයි ඇති සැටියෙන් දනී. මේ ආශ්‍රවයයි තතුලෙස දනී. මේ ආශ්‍රවයන්ගේ හේතුවයයි තතු ලෙස දනී. මේ ඒ ආශ්‍රවයන් නැති කිරීමයයි තතු ලෙස දැනගනී. මේ ආශ්‍රවයන් නැති කිරීමට පමුණුවන පිළිවෙතයයි තතුලෙස දනී.

§ 20. මෙසේ දන්නාවූ ඒ භික්ෂුවගේ සිත කාමාසාවයෙන් (කාමයේ ඇල්මෙන්) වෙන් වෙයි. භව (භවයේ ඇල්මෙන්) ආසාවයෙන්ද වෙන්වෙයි අවිජ්ජාසවයෙන් (මෝහයෙන්) ද වෙන්වෙයි.

සිත ඒවායෙන් වෙන්ව ගිය කල සියළු ආශ්‍රවයන් ගෙන් වෙන් වූ බව දක්නා ඒවායෙන් වෙනස්විය යන දැනීම ඇති වෙයි. එවිට ඉපදීම නැතිකරණ ලද්දීවෙයි. බඹසර (ශ්‍රේෂ්ඨ හැසිරීමෙහි) වාසය කිරීම අවසන් කරණ ලද්දී වෙයි. කටයුත්ත කරණ ලද්දේ වෙයි. මේ ආත්ම භාවයෙන් පසු නැවත ඉපදීමක් නැතැයි දැන ගණී.

ඊට හේතු කවරේද? භද්දාලිය, ශාස්තෘශාසනයෙහි ශික්ෂාව සම්පූර්ණ කරන්නාහට එය එසේම වෙයි.

.§ 21. “මෙසේ භාග්‍යවතුන් වහන්සේ දෙසනා කල කල්හි ආයුෂ්මත් භද්දාලි භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ කීය.

“ස්වාමීනි, මේ ශාසනයෙහි ඇතැම් භික්ෂුවක් කල සුළු වරදක් නිසා නැවත නැවත ඔහුට නිග්‍රහ කරමින් උපවාද කරමින් ඔහු හික්මවීමට හේතුව කුමක්ද? එයට ප්‍රත්‍යයවන කරුණු මොනවාද?
ස්වාමීනි, ඇතැම් භික්ෂුවකට නැවත නැවත අවවාද කොට නොහික්ම වත්. ඊට හේතු කවරහුද? එයට ප්‍රත්‍යය කරුණු මොනවාද?’

§ 22 “භද්දාලිය, ශාසනයෙහි ඇතැම් භික්ෂුවක් නිතර ඇවැත්වලට පැමිණෙන්නෙක් වෙයි. ඇවැත් බහුල වූවෙක් වෙයි. භික්ෂූන් විසින් අවවාද කරන ලද්දාවූ ඒ භික්ෂුව අන් කරුණකින් ඒ කාරණය වසාදමයි. කථාව අන් අතකට හරවයි. කෝපය, ද්වේෂය, නොසතුට ඇති කරයි. මනාකොට පිළිවෙත් නො පවත්වයි. මනා පැවැත්මට අනුව නො පවතී. ඉක්මණින් ඇවතෙන් මිදීමට කැමති ඇත්තෙක් නොවෙයි. සබ්‍රහ්මචාරින් වහන්සේලා සතුටු වෙන ලෙස පැවතුම් සකස් කර ගන්නට වෙර නොදරයි,

§ 23 භද්දාලිය, එකල්හි භික්ෂූන්ට මෙසේ අදහස් වෙයි.
‘ඇවැත්නි, මේ භික්ෂුව නිතර ඇවැත්වලට පැමිණෙන්නෙක, ඇවැත් බහුල වූවෙක, භික්ෂූන් විසින් අවවාද කරන ලද්දාවූ ඒ භික්ෂුව අන් කරුණකින් ඒ කාරණය වසාදමයි. කථාව අන් අතකට හරවයි. කෝපයද, ද්වේෂයද, නොසතුටද, ඇතිකරයි. මනාකොට නොපවතී. මනාපැවැත්මට අනුව නොපවතී. ඉක්මණින් ඇවතින් නැඟී සිටීමට කැමති ඇත්තෙක් නොවෙයි. යමකින් සංඝයා සතුටු වෙයිද, එය කරමියි නොකියයි. ඇවැත්නි, මේ භික්ෂුවගේ මේ අධිකරණය (නඩුව) යමසේ වහා නොසංසිඳේද එසේ ඒ ඒ ආකාරයෙන් කල් දම දමා විනිශ්චය කිරීම යෙහෙකැයි සිතා, භද්දාලිය, භික්ෂූහු යම්සේ ඒ භික්ෂුවගේ මේ අධිකරණය වහා නොසංසිඳේද ඒ ඒ ආකාරයෙන් කල් දම දමා විනිශ්චය කරත්.

§ 24. “භද්දාලිය, ඇතැම් භික්ෂුවක් නිතර ඇවැත්වලට පැමිණෙන්නේ වෙයිද, ඇවැත් බහුල වූවෙක් වෙයිද, ඒ භික්ෂුව අනෙක් භික්ෂූන් විසින් අවවාද කරන ලද්දේ අන් කරුණකින් කරුණ වසා නොදමයිද, කථාව අන් අතකට නොහරවයිද, කෝපය, ද්වේෂය, නොසතුට ඇති නොකරයිද මනාකොට පවතීද, මනා පැවතුමට අනුව පවතියිද, ඉක්මණින් ඇවතින් නැඟී සිටීමට කැමති වෙයිද, යමකින් සංඝයා සතුටු වෙයිද එයකරමියි කියයිද, භද්දාලිය, එකල්හි භික්ෂූන්ට මෙසේ අදහස් වෙයි.

‘ඇවැත්නි, මේ භික්ෂුව නිතර ඇවැත්වලට පැමිණෙන්නෙක, ඇවැත් බහුල වූවෙක, ඒ භික්ෂුව භික්ෂූන් විසින් අවවාද කරන ලද්දේ අන් කරුණකින් කරුණ වසා නොදමයි. කථාව අන් අතකට නොහරවයි. කෝපයද, ද්වේෂයද, නොසතුටද, ඇති නොකරයි. මනාකොට පවතී. මනා පැවතුමට අනුව පවතී. ඉක්මණින් ඇවැතින් නැඟී සිටීමට කැමති වෙයි. යමකින් සංඝයා සතුටු වෙයිද, එය කරමියි කියයි. ඇවැත්නි, මේ භික්ෂුවගේ මේ අධිකරණය (නඩුව) යම් සේ වහා සංසිඳේද ඒ ඒ ආකාරයෙන් විනිශ්චය කිරීම යහපත්යයි සිතා, (ඉක්බිති) භද්දාලිය, භික්ෂූහු යම් සේ ඒ භික්ෂුවගේ මේ අධිකරණය වහා සංසිඳේද ඒ ඒ ආකාරයෙන් විනිශ්චය කරත්.

§ 25. “භද්දාලිය, මේ ශාසනයෙහි ඇතැම් භික්ෂුවක් කලාතුරකින් ඇවැත්වලට පැමිණෙන්නේ වෙයිද, ඇවැත් බහුලකොට නොවෙයිද, ඒ භික්ෂුව භික්ෂූන් විසින් අවවාද කරන ලද්දේ අන් කරුණකින් කරුණ වසා දමයිද. කථාව අන් අතකට හරවයිද කෝපය, ද්වේෂය, නොසතුට ඇති කරයිද, මනාකොට නොපවතීද, මනා පැවැත්මට අනුව නොපවතීද, ඉක්මණින් ඇවැතින් නැගී සිටීමට කැමති නොවෙයිද. යමකින් සංඝයා සතුටු වෙයිද, එය කරමියි නොකියයිද, භද්දාලිය, එහි භික්ෂූන්ට මෙබඳු සිතක් වෙයි.

‘ඇවැත්නි, මේ භික්ෂුව වරින්වර ඇවැත්වලට පැමිණෙන්නෙක, ඇවැත් බහුල නොවූවෙක, ඒ භික්ෂුව භික්ෂූන් විසින් අවවාද කරන ලද්දේ අන් කරුණකින් කරුණ වසාදමයි, කථාව අන් අතකට හරවයි. කෝපයද, ද්වේෂයද, නොසතුටද ඇතිකරයි. මනාකොට නොපවතියි. මනාපැවැත්මට අනුව නොපවතියි. ඉක්මණින් ඇවැතින් නැගී සිටීමට කැමැති නොවෙයි. යමකින් සංඝයා සතුටු වෙයිද, එය කරමියි නොකියයි. ඇවැත්නි, මේ භික්ෂුවගේ මේ අධිකරණය යම් සේ වහා නොසංසිඳේද, ඒ ඒ ආකාරයෙන් විනිශ්චය කිරීම යෙහෙක කියායි. භද්දාලිය, භික්ෂූහු යම් සේ ඒ භික්ෂුවගේ මේ අධිකරණය වහා නොසංසිඳේද, ඒ ඒ ආකාරයෙන් විනිශ්චය කරත්.

§ 26. “භද්දාලිය, මේ ශාසනයෙහි ඇතැම් භික්ෂුවක් කලාතුරකින් ඇවැත්වලට පැමිණෙන්නේ වෙයිද, ඇවැත් බහුලකොට ඇත්තේ නොවෙයිද, ඒ භික්ෂුව භික්ෂූන් විසින් අවවාද කරන ලද්දේ අන් කරුණකින් කරුණ වසා නොදමයිද, කථාව අන් අතකට නොහරවයිද, කෝපය, ද්වේෂය, නොසතුට ඇති නොකරයිද මනාකොට පවතීද, මනා පැවතුමට අනුව පවතීද, ඉක්මණින් ඇවතින් නැඟී සිටීමට කැමති වෙයිද, යමකින් සංඝයා සතුටු වෙයිද, එය කරමියි කියයිද, භද්දාලිය, එහි භික්ෂූන්ට මෙබඳු සිතක් වෙයි. ඇවැත්නි, මේ භික්ෂුව වරින් වර ඇවැත්වලට පැමිණෙන්නෙක. ඇවැත් බහුල නොවූවෙක, ඒ භික්ෂුව භික්ෂූන් විසින් අවවාද කරනලද්දේ අන් කරුණකින් වසා නොදමයි. පිටතින් කථාවක් ඉදිරිපත් නොකරයි. කෝපයද, ද්වේෂයද, නොසතුටද ඇතිනොකරයි. මනාකොට පවතියි. මනා පැවතුමට අනුව පවතියි. ඉක්මණින් ඇවතින් නැඟීසිටීම කැමති වෙයි. යමකින් සංඝයා සතුටු වෙයිද එය කරමියි කියයි. ඇවැත්නි, මේ භික්ෂුවගේ මේ අධිකරණය යම්සේ වහා සංසිඳේද, ඒ ඒ ආකාරයෙන් විනිශ්චය කිරීම යෙහෙක කියායි,

ඉක්බිති භද්දාලිය, භික්ෂූහු යම්සේ ඒ භික්ෂුවගේ මේ අධිකරණය වහා සංසිඳේද ඒ ඒ ආකාරයෙන් විනිශ්චය කරත්.

§ 27 “භද්දාලිය, මේ ශාසනයෙහි ඇතැම් භික්ෂුවක් ආචාර්‍ය්‍ය උපාධ්‍යායයන් කෙරෙහි ඇති භක්තිය සුළු ය. සබ්‍රහ්මචාරින් කෙරෙහි ඇති ලැදියාව අල්පය. එනමුත් ඔහු සාසනයේ රැදී මහණ කම් කරයි, භද්දාලිය, එහිදී භික්ෂූන්ට මෙබඳු සිතක් වෙයි.

“ඇවැත්නි, මේ භික්ෂුව ආචාර්‍ය්‍ය උපාධ්‍යායයන් කෙරෙහි ඇති සුලු භක්තියකින් සුලු ආදරයකින් මහණකම කරයි. භක්ති මාත්‍රයෙන් ප්‍රෙම මාත්‍රයෙන් මහණකම කරයි කියායි.“

භද්දාලිය, යම්සේ පුරුෂයෙකුගේ දෑසෙන් එක් ඇසක් කණව ගොස් එක ඇසක් පමණක් වේද, ඔහුගේ මිත්‍රයන් හා නෑයෝ ඔහුගේ ඒ එකම ඇස ආරක්ෂා කර ගන්නට වෙහෙසෙයි. ඒ එකම ඇසට හිංසා වෙන ලෙස ඔහු ඇසල දී පහන් නොදල්වයි. නං නෑ විදියෙන් පරෙස්සම් කරයි.

භද්දාලිය, එමෙන්ම මේ ශාසනයෙහි යම් භික්ෂූවක් සුළු භක්ති මාත්‍රයකින් හා ප්‍රේම මාත්‍රයකින් මහණකම් කරයි ද . භද්දාලිය, භික්ෂූන්ට මෙබඳු සිතක් වෙයි. ඇවැත්නි, මේ භික්ෂුව භක්ති මාත්‍රයකින් හා ප්‍රේමමාත්‍රයකින් මහණකම් කරයි. ඒ භික්ෂුවගේ යම් භක්තිමාත්‍රයක් ප්‍රේම මාත්‍රයක් වී ද, නැවත නැවත ඔහුට උද්දේස කිරීමෙන් අවවාද කිරීමෙන් ඒ අල්ප වූ භක්තිය ද ඇල්මද පිහෙයි. ඒ නිසා ඔහු ගේ අල්ප භක්තිය, ප්‍රේමය නොපිරිහෙවයි. නැවත නැවත ඔහුට උද්දේස නොකරන්නෙමු. අවවාද නොකරන්නෙමු ” කියායි.

§ 28.. භද්දාලිය, යම් හෙයකින් මේ ශාසනයෙහි ඇතැම් භික්ෂුවකට නැවත නැවත අවවාද කරයි නම් මේ ඊට හේතුවවේ. මේ ප්‍රත්‍යයවේ. භද්දාලිය, යම් හෙයකින් මේ ශාසනයෙහි ඇතැම් භික්ෂුවකට එසේ නැවත නැවත අවවාද නොකරත් නම් මේ ඊට හේතුවයි. මේ ප්‍රත්‍යයයි.“

§ 29. ස්වාමීනි, පෙර දී ශික්ෂාපද ස්වල්පයක් පමණක් වූහ. ඒ ස්වල්ප වූ ශික්ඛා බොහෝ භික්ෂූහු රහත්වූහ. ඊට හේතු කවරේද? ප්‍රත්‍යය කවරේද? දැන් ශික්ෂාපද බොහෝ වෙත්. භික්ෂූන් ගෙන් සුළු පිරිසක් පමණක් රහත් වෙත්. ඊට හේතු කවරේද? ප්‍රත්‍යය කවරේද?”

§ 30 .“භද්දාලිය, එය සැබෑවකි . සත්වයන් ධර්මයෙන් පිරිහෙන කල්හි, ප්‍රතිපත්තියෙන් පිරිහෙන කල්හි, ශික්ෂාපද බොහෝ වෙත්. භික්ෂූහු ස්වල්ප දෙනෙක් පමණක් රහත් වෙත්.

භද්දාලිය, මේ ශාසනයෙහි සංඝයා කෙරෙහි ආශ්‍රවයන්ට හේතුවූ කරුණු පහළ වී නොමැති නම්, ඒතාක් ශාස්තෲන් වහන්සේ ශ්‍රවකයන්ට ශික්ෂාපද නොපනවත්, භද්දාලිය, යම් දිනක පටන් සංඝයා කෙරෙහි ආශ්‍රවයන්ට හේතුවූ කරුණු ඇති වෙත්ද, ශාස්තෲන් වහන්සේ ඒ වැරදි නැති කරණු පිණිස ශ්‍රාවකයන්ට ශික්ෂාපද පනවත්.

§ 31 . “භද්දාලිය, මේ ශාසනයෙහි සංඝයා බොහෝ නොවුයේද , ඒකල සංඝයා අතර වැරදි පහළ නොවීය. භද්දාලිය, යම් දිනෙක පටන් සංඝයා අතර ක්ලේශ ධර්ම මතු වීද එකල්හි භික්ෂුන්
ලාභ සත්කාර පිණිස ලෝභයෙන් වැඩී ගියේද,
බොහෝ ධර්ම කාරනා දැන ගන්නට ආසාවෙන් වැඩී ගියේද,
තමනට ප්‍රසිද්ධ වන්නට ඇති ආසාවෙන් වැඩී ගියේද,
එකල්හි මේ ආශ්‍රව ස්ථානීය ධර්මයන් නැති කිරීම පිණිස තථාගතයන් සික්ඛාවන් පණවති. ඒ සික්ඛා පදයන් භික්ෂුවට ක්ලේශයන් මතුවීම වැලැක්වීම පිණිස ආරක්ශාවක්ම වේ.

§ 32. .“භද්දාලිය, මේ ශාසනයෙහි සංඝයා යම්තාක් කල් ගිය බවට නොපැමිණේද එතාක් සංඝයා අතර වැරදි පහළ නොවෙත්.“භද්දාලිය, යම් දිනෙක පටන් සංඝයා කල්ගිය බවට පැමිණේද, එකල්හි මේ ශාසනයෙහි සංඝයා අතර ඇතැම් වැරදි ඇතිවෙත්. ඉක්බිති ශාස්තෲන් වහන්සේ ඒ වැරදි නැති කරුණු පිණිස ශ්‍රාවකයන්ට ශික්ෂාපද පනවත්.

§ 33 . “භද්දාලිය, තොපි ස්වල්පදෙනෙක් අමතා යම් දිනෙක මම තොපට අජානීය අශ්වයාගේ උපමාව දේශනා කෙළෙමි. එය ඔබට මතක ඇත්තෙහිද?”
“නැත. ස්වාමීනි”

“භද්දාලිය, එය කුමක් නිසා මතක නැති දැයි සිතන්නෙහිද?”
“ස්වාමීනි, ඒ මම ශාස්තෘ ශාසනයෙහි බොහෝ කාලයක් ශික්ෂාපද නොපුරන්නෙක් වීම් නිසායයි සිතමි.
“භද්දාලිය, හේතුව එයම නොවේ. ඔබගේ සිත පිරිසිඳ බලන මම මෙසේ දකිමි. මා ධර්මය දේශනා කරත් දී මේ මහනා ඒ ධර්මය සතිඑන් අසන්නට, අවබෝධයට සිත යොමු නොකරයි. ඇසෙන ධර්මය ග්‍රහණය කර නොගනිත්. ඕනෑකමින් ධර්මය අසන්නට යොමු නොවෙත්” ඔබට මේ සුළු දේශනාව මතක නොසිටීමේ හේතුව එයයි. කෙසේ වුවද නුඹගේ යහපත පිණිස ඒ අශ්ව පෝතකයාගේ උදාහරණ දෙසනා කරමි. සිත් එලවා එය අසව, එය දරව. “එසේය ස්වාමින් වහන්ස”යි භද්දාලි පිළිවදන් දුනි. භාග්‍යවතුන් වහන්සේ මෙසේ දෙසනා කල සේක.

§ 34 . “භද්දාලිය, යහපත් ආජානීය අශ්වයකු ලැබු යම් දක්ෂ අශ්වයන් දමනය කරන්නෙක් පළමු කොට කටකලියාව දැමීමේ හික්මවීම කරයි. ඒ කටකලියාව දැමීමෙන් අශ්වයාට පෙර නොදැනුනු අපහසුවක්, සන්ත්රාසයක්, භීතියක් ඇති වෙයි. ඔහු ඒ නිසා කුපිත වේ. කුලප්පු වේ උඩ පනිමින් දුවන්නට සැරසෙයි. එනමුත් නිතර කටකලියාව අසුගේ මුවට දෑමීමෙන් කලක් යාමේදී අශ්ව පෝතකයා කටකලියාව පැළඳ සිටීමට පුරුදු වෙයි. බියෙන් තොර වේ. සන්ත්‍රාසයෙන් තොරවේ. පෝතකයා ඒ කාරණයෙන් හික්මෙන්නේය.

§ 35 ,“භද්දාලිය, ආජානීය අශ්ව පෝතකයා එසේ කටකලියාවට එසේ හුරු වේද අශ්ව පුහුණු කරන්නා ඊ ළඟට පෝතකයාව කරයුග පටියට හුරු කරයි. එසේ කරයුග පටිය යෙදු විට අශ්වයාට පෙර නොදැනුනු අපහසුවක්, සන්ත්රාසයක්, භීතියක් ඇති වෙයි. ඔහු ඒ නිසා කුපිත වේ. කුලප්පු වේ උඩ පනිමින් දුවන්නට සැරසෙයි. එනමුත් කලක් කරයුග පටිය යොදා පුරුදු කල පසු කලක් යාමේදී අශ්ව පෝතකයා කර යුගපටි පැළඳ සිටීමට පුරුදු වෙයි. බියෙන් තොර වේ. සන්ත්‍රාසයෙන් තොරවේ. පෝතකයා ඒ කාරණයෙන් හික්මෙන්නේය.

§ 36 . මෙසේ හික්මවීමෙන් පිළිවෙළින් හික්මවීමෙන් ඒ ඒ කාරණයෙන් අශ්ව පෝතකයා හික්මුණ පසු අශ්වයන් දමනය කරන්නා ඒ අශ්වයා නැවත සිවුපා එකට ඔසවා තැබීමෙහිද, (බිම වැටුනු දෙයක් ගත හැකිසේ) නැමීමෙහිද, ඛුර අගින් යාමෙහිද, සීඝ්‍ර ධාවනයෙහිද, (යුදයෙහි ඇතිවන) ශබ්දයන්ට බිය නොවීමෙහිද, රජු විසින් දතයුතු ගුණයෙහිද, අශ්වරාජ වංශයෙහිද, ජවසම්පත්තියෙන් (-ශ්‍රේෂ්ඨ වේගයෙහි) ශ්‍රේෂ්ඨ අශ්වයෙක් වීමෙහිද, මෘදු වචනයට කීකරු වීමෙහිද, (යන කරුණු දසය) පුරුදු කරවයි.

ජවසම්පත්තියෙහි හික්මවීමෙහිද ශ්‍රේෂ්ඨ අශ්වයෙක් කිරීමෙහිද, මෘදු වචනයට කීකරු කිරීමෙහිද පෙර නොකළ දෙයක් කරන අශ්වයාටද යම් යම් දැඟලීම් නොහික්මීම ඇතිවෙත්මය. ඒ අශ්වයා නිතර කිරීමෙන් පිළිවෙළින් කිරීමෙන් එහි හික්මෙන්නේය.

§ 37 . භද්දාලිය මෙසේ ඒ අශ්ව පෝතකයා නිතර නිතර කිරීමෙන් පිළිවෙළින් කිරීමෙන් අශ්වයා හික්මුනේද, අසුන් දමනය කරන්නා නැවත ඒ අශ්වයා තැලීම විදීම ආදී අශ්ව දමන කර්ම විශේෂයන්ට යොදවයි, භද්දාලිය, මේ දශ අංගයන් ගෙන් යුත් යහපත් ආජානීය අශ්වයා රජුන්ට සුදුසු වේ රජු විසින් පරිභොග කළ යුතුවේ. රජුගේ අංගය යන සංඛ්‍යාවට ඇතුළත් වෙයි.

“භද්දාලිය, එමෙන්ම දසවිධ ධර්මයන්ගෙන් සමනාගත වූ භික්ෂුවක්
ආහුනෙය්‍ය (-දුරසිට ඇවිත් පිදියයුතු) වෙයි,
පාහුණෙය්‍ය (-අභිනව දෙයින් පිදියයුතු) වෙයි
දක්ඛිනෙය්ය ( වැඳුම් ලැබීමට සුදුස්සෙක් ) වෙයි.

කවර දසයකින්ද, 669
භද්දාලිය, මේ ශාසනයෙහි භික්ෂුව
(i) අසෙඛ (-හික්මී අවසානවූ) සම්මාදිට්ඨියෙන් (-යහපත් දැකීමෙන්) යුතු වෙයි,
(ii) අසෙඛ සම්මාසංකප්පයෙන් (-යහපත් කල්පනාවෙන්) යුතු වෙයි,
(iii) අසෙඛ සම්මාවාචායෙන් (-යහපත් වචනයෙන්) යුතුවෙයි.
(iv) අසෙඛ සම්මාකම්මන්තයෙන් (-යහපත් කර්මාන්තයෙන්) යුතුවෙයි.
(v) අසෙඛ සම්මා ආජීවයෙන් (-යහපත් දිවි පැවැත්මෙන්) යුතුවෙයි
(vi) අසෙඛ සම්මාවායාමයෙන් (-යහපත් උත්සාහයෙන්) යුතුවෙයි
(vii). අසෙඛ සම්මාසතියෙන් (යහපත් සිහියෙන්) යුතුවෙයි.
(viii) අසෙඛ සම්මාසාමධියෙන් (-යහපත් සිත එකඟ කිරීමෙන්) යුතුවෙයි
(xi) අසෙඛ සම්මාඤාණයෙන් යුතු වෙයි,
(x ) අසෙඛ සම්මාවිමුත්තියෙන් යුතුවෙයි.

[669:- අසේඛ යනු කලයුතු සියල්ල කොට නිමකල උත්තම අරහත් ඵලය සාක්ෂාත් කල උතුමාය. ඒ නිසා මේ සඳහන් කල ගුණ දහය අරහත් ඵලයේ ප්‍රතිඵල හො අරහත් ඵලය සමගම ලැබෙන ධර්මයන් ලෙස අටුවාව සිස්තර කරයි.]

§ 38 .භද්දාලිය මේ දසවිධ ධර්මයන්ගෙන් යුත් භික්ෂුව ආහුණෙය්‍ය (-දුරසිට ඇවිත් පිදියයුතු) වෙයි, පාහුණෙය්‍ය (-අභිනව දෙයින් පිදියයුතු) වෙයි, දක්ඛිණෙය්‍ය (පින් කැමතිව පිදියයුතු) වෙයි, වැඳියයුතු වෙයි, ලොවට උතුම් පින් කෙත වෙයි.

භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රය දෙසූ සේක
සතුටු සිත් ඇති ආයුෂ්මත් භද්දාලි භික්ෂුව භාග්‍යවතුන් වහන්සේගේ කීමට සතුටු විය.

කීටාගිරි සුත්‍රයෙන් උපුටා ගත් සත් ආකාර වූ රහත් උතුමන් වහන්සේලා

§ 9. “මහණෙනි, මේ ලෝකයෙහි මේ නම් පුද්ගලයෝ සත්දෙනෙක් වෙත්.
ඒ සත්දෙන කවරහුද? 
(i) උභතොභාග විමුත්තය,
(ii) පඤ්ඤාවිමුත්තය,
(iii’) කායසක්ඛිය,
(iv) දිට්ඨප්පත්තය, 
(v) සද්ධාවිමුත්තිය,
(vi)  ධම්මානුසාරීය,
(vii) සද්ධානුසාරිය
(යන සත්දෙනයි.)

§9.1. “මහණෙනි, උභතොභාග විමුක්ත පුද්ගලයා නම් කවරේද?

මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක්  ශාන්ත විමොක්ෂ යයි කියන ලද අරූපාවචර ධ්‍යානයෝ වෙත්ද, රූප ධ්‍යානයන් ඉක්මවා ඒ අරූප ධ්‍යානයන් කයින් ස්පර්ශ කොට වාසය කෙරේද, ඔහුගේ විදර්ශනා නුවණින් දැන ආශ්‍රවයෝ ක්ෂය වූවාහුද, මහණෙනි, මේ පුද්ගලයා උභතොභාග විමුක්ත පුද්ගලයායයි, කියනු ලැබේ.

මහණෙනි, මම මේ භික්ෂුවට අප්‍රමාදයෙන් (කටයුතු) කළ යුතුයයි නොකියමි. ඊට හේතු කවරේද, ඔහු අප්‍රමාදයෙන් (කටයුතු) කරණ ලද්දාහ. ඔහු කිසිදා ප්‍රමාද වීමට නොපැමිණේ. 

§ 9.2 “මහණෙනි, පඤ්ඤාවිමුත්ත පුද්ගලයා නම් කවරේද,

මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් රූපාවචර ධ්‍යානයන් ඉක්මවා  ශාන්තවූ  විමොක්ෂ යයි කියන ලද අරූපාවචර ධ්‍යානයෝ කයින් ස්පර්ශ නොකොට වාසය කෙරේද, ඔහුගේ විදර්ශනා නුවණින් දැන ආශ්‍රවයෝ ක්ෂය වූවාහුද, මහණෙනි, මේ  පඤ්ඤාවිමුත්ත පුද්ගලයා යයි කියනු ලැබේ.

මහණෙනි, මම මේ භික්ෂුවටද අප්‍රමාදයෙන් (කටයුතු) කළ යුතු යයි නොකියමි.
ඊට හේතු කවරේද, ඔහු අප්‍රමාදයෙන් (කටයුතු) කරණ ලදහ. ඔහු ප්‍රමාදයට නොපැමිනෙන්නේය.  

§ 9.3. “මහණෙනි, කාය සක්ඛී පුද්ගලයා නම් කවරේද?
මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් රූපාවචර ධ්‍යානයන් ඉක්මවා  ශාන්ත විමොක්ෂ යයි කියන ලද අරූපාවචර ධ්‍යානයෝ  කයින් ස්පර්ශ කොට වාසය නොකෙරේද, ඔහුගේ නුවණින් දැක ඇතැම් ආශ්‍රවයෝ ක්ෂය වූවාහු වෙත්ද, මහණෙනි, මේ පුද්ගලයා කාය සක්ඛී ය’යි කියනු ලැබේ.

මහණෙනි, මම මේ භික්ෂුවට අප්‍රමාදයෙන් (කටයුතු) කළ යුතු යයි කියමි.
ඊට හේතු කවරේද? මේ ආයුෂ්මත් තෙමේ සුදුසු සෙනසුන් සෙවනය කරමින් කළ්‍යාණ මිත්‍රයන් ඇසුරු කරමින්, ඉඳුරන් සමකරමින්, යමක් නිසා කුලපුත්‍රයෝ මනා කොට ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වෙත්ද, ඒ මාර්ග බ්‍රහ්මචර්යාව කෙළවර කොට ඇති, අනුත්තර නිර්වාණය, මේ ආත්මයෙහි තමා නුවණින් දැන, ප්‍රත්‍යක්ෂ කොට, (රහත් බවට) පැමිණ වාසය කරන්නේ නම් යෙහෙකැයි’ (කියා) මහණෙනි මම මේ භික්ෂුවට මේ අප්‍රමාද ඵලය දකිමින් අප්‍රමාදයෙන් කටයුතු කළ යුතු යයි කියමි.

§ 9.4. “මහණෙනි, දිට්ඨප්පත්ත පුද්ගලයා නම් කවරේද?

මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් රූපාවචර ධ්‍යානයන් ඉක්මවා ශාන්ත විමොක්ෂ යයි කියනලද යම් ඒ අරූප ධ්‍යානයන් නාම කයින් ස්පර්ශ කොට වාසය නොකරයිද, ඔහුගේ විදර්ශනා නුවණින් දැක ඇතැම් ආශ්‍රවක්ෂය වූවාහු වෙත්ද, තථාගතයන් වහන්සේ විසින් දැන ගන්නා ලද ධර්මයෝ ඔහුගේ නුවණින් මනා කොට දැන ගන්නා ලද්දාහුද, මහණෙනි, මේ තෙමේ දිට්ඨප්පත්ත පුද්ගලයාය’යි කියනු ලැබේ.

මහණෙනි, මම මේ භික්ෂුවටද අප්‍රමාදයෙන් (කටයුතු) කළ යුතුයයි කියමි.
ඊට හේතු කවරේද? මේ ආයුෂ්මත් තෙමේ සුදුසු සෙනසුන් සේවනය කරමින් කළ්‍යාණ මිත්‍රයින්, ආශ්‍රය කරමින්, ඉන්ද්‍රියයන් සම කරමින්, යමක් නිසා කුල පුත්‍රයෝ මනා කොට ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වෙත්ද, මාර්ග බ්‍රහ්මචර්යාව කෙළවර කොට ඇති ඒ නිර්වාණය මේ ආත්මයෙහි තමා නුවණින් දැන ප්‍රත්‍යක්ෂ කොට ඊට පැමිණ වාසය කරන්නාහු නම් යෙහෙකැයි (කියායි).

මහණෙනි, මම මේ භික්ෂුවගේ අප්‍රමාද ඵලය බලමින් නො පමාවෙන් (කටයුතු) කළ යුතුයයි කියමි.

§ 9.5. “මහණෙනි, සද්ධාවිමුත්ත පුද්ගලයා නම් කවරේද?

මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් රූපාවචර ධ්‍යානයන් ඉක්මවා  ශාන්තවිමොක්ෂ යයි කියනලද අරූපාවචර  ධ්‍යානයන් කයින් ස්පර් නොකොට වාසය කරයිද, ඔහුගේ විදර්ශනා නුවණින් දැක ඇතම් ආශ්‍රවයෝ ක්ෂයවූවාහු වෙත්ද, තථාගතයන් වහන්සේ කෙරෙහි ඔහුගේ ශ්‍රද්ධාව බැසගත්තීවේද, මුල් බැස පිහිටියාවේද, මහණෙනි, මේ තෙමේ සද්ධාවිමුත්ත පුද්ගලයායි කියනු ලැබේ.

මහණෙනි, මම මේ භික්ෂුවටද, අප්‍රමාදයෙන් කටයුතු කළ යුතුයයි කියමි.
ඊට හේතු කවරේද? මේ ආයුෂ්මත් තෙමේ සුදුසු සෙනසුන් සේවනය කරමින් කළ්‍යාණ මිත්‍රයන් ආශ්‍රය කරමින්, ඉන්ද්‍රියයන් සම කරමින්, යමක් නිසා කුලපුත්‍රයො මනාකොට ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වෙද්ද, මාර්ගබ්‍රහ්මචර්යාව කෙළවර කොට ඇති ඒ නිර්වාණය මේ ආත්මයෙහිම තමා නුවණින් දැන ප්‍රත්‍යක්ෂ කොට ඊට පැමිණ වාසය කරන්නේ නම් යෙහෙකැයි (කියායි). මහණෙනි, මම මේ භික්ෂුවගේ මේ අප්‍රමාද ඵලය දකිමින් අප්‍රමාදයෙන් (කටයුතු) කළ යුතුයයි කියමි.

§ 9.6. “මහණෙනි, ධම්මානුසාරී පුද්ගලයා කවරේද?

මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් රූපාවචර ධ්‍යානයන් ඉක්මවා ශාන්ත විමොක්ෂයයි කියන ලද අරූපාවචර  ධ්‍යානයන් නාම කයින් ස්පර්ශ නොකොට වාසය කරයිද, ඔහුගේ නුවණින් දැක ආශ්‍රවයෝ ක්ෂය නොවූවාහු වෙත්ද, තථාගතයන් වහන්සේ විසින් දැනගන්නා ලද ධර්මය ඔහුගේ නුවණින් පමණකින් දැකීමට පැමිණෙත්. තවද ඔහුට මේ ධර්මයෝ වෙත්, කවරහුද? සද්ධින්ද්‍රිය, විරියින්ද්‍රිය, සතින්ද්‍රිය, සමාධින්ද්‍රිය, පඤ්චෙන්ද්‍රිය ය (යන මොහුයි) මහණෙනි, මේ තෙමේ ධම්මානුසාරි පුද්ගලයායයි කියනු ලැබේ.

මහණෙනි, මම මේ භික්ෂුවටද අප්‍රමාදයෙන් කටයුතු කළයුතුයයි කියමි.
ඊට හේතු කවරේද? මේ ආයුෂ්මත් තෙමේ සුදුසු සෙනසුන් සේවනය කරමින් කළ්‍යාණ මිත්‍රයන්, ආශ්‍රය කරමින්, ඉන්ද්‍රියන් සමකරමින් යමක් නිසා කුලපුත්‍රයෝ මනාකොට ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වෙයිද, මාර්ග බ්‍රහ්මචර්යාව කෙළවර කොට ඇති ඒ නිර්වාණය මේ ආත්මයෙහි තමා නුවණින් දැන ප්‍රත්‍යක්ෂ කොට ඊට පැමිණ වාසය කරන්නේ නම් යෙහෙකැයි (කියායි). මහණෙනි, මම මේ භික්ෂුවගේ අප්‍රමාද ඵලය දකිමින් අප්‍රමාදයෙන් කටයුතු කළයුතුයයි කියමි.

§ 9.7. “මහණෙනි, සද්ධානුසාරී පුද්ගලයා නම් කවරේද?

මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් රූපාවචර ධ්‍යානයන් ඉක්මවා ශාන්ත විමොක්ෂයයි කියන ලද අරූපාවචර  ධ්‍යානයන් නාම කයින් ස්පර්ශ කොට වාසය නොකරයිද, ඔහුගේ නුවණින් දැක ආශ්‍රවයෝ ක්ෂය නොවූවාහු වෙත්ද, තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව පමණක් භක්තිය පමණක් වෙයිද, තවද ඔහුට මේ ධර්මයෝ වෙත්, එනම් සද්ධින්ද්‍රිය, විරියින්ද්‍රිය සතින්ද්‍රිය, සමාධින්ද්‍රිය, පඤ්ඤින්ද්‍රිය (යන මොහුයි). මහණෙනි, මේ තෙමේ සද්ධානුසාරී පුද්ගලයායි කියනු ලැබේ.

මහණෙනි. මම මේ භික්ෂුවට අප්‍රමාදයෙන් කටයුතු කළ යුතුයයි කියමි. ඊට හේතු කවරේද? මේ ආයුෂ්මතෙමේ සුදුසු සෙනසුන් සේවනය කරමින් කළ්‍යාණ මිත්‍රයන්, ආශ්‍රය කරමින්, ඉන්ද්‍රියයන් සමකරමින්, යමක් නිසා කුල පුත්‍රයෝ මනා කොට ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වෙත්ද, මාර්ගබ්‍රහ්මචර්යාව කෙළවර කොට ඇති ඒ නිර්වාණය මේ ආත්මයෙහිම තමා නුවණින් දැන ප්‍රත්‍යක්ෂ කොට ඊට පැමිණ වාසය කරන්නේ නම් යෙහෙකැයි (කියායි) මහණෙනි, මම මේ භික්ෂුවගේ අප්‍රමාද ඵලය දකිමින් අප්‍රමාදයෙන් කටයුතු කළ යුතුයයි කියමි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.