MN 078 අයෝධ්‍ය ශ්‍රමණයා

MN 02-03-08 සමණ මණ්ඩික සූත්‍රය

පුජ්‍ය ඉඟුරුවත්තේ ධම්මගවෙසි හිමියන් කල විවරණය

§ 1. “මා විසින් මෙසේ අසන ලදී.
එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර අනේපිඬු මහ සිටුහු විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩ වීසූහ.

§ 2. එකල්හි පඤ්චකංග නම් ඇති වඩු කාර්මිකයා දවල් කාලයෙහි භාග්‍යවතුන් වහන්සේ දැකීමට සැවැත් නුවරින් නික්මුනේය.770

[770 : පන්චන්ගික බාස් උන්නැහේ යැයි ප්‍රසිද්ධ ඔහු කෝසල රජුගේ රාජකීය වඩු කාර්මිකයා ( සථපතියා ) බව අටුවාව කියයි. නිතර වඩු උපකරණ පහක් ඔහු ගෙන යන් නිසා “පන්චාංගික” ලෙස ඔහුට නමක් ජනයා යෙදුහ. බුදුන් වහන්සේ හා අනෙක් ආර්ය සංඝයාගෙන් ධර්මය අසා බෞද්ධ උපාසකයෙක්ව සිටි ඔහු ඉඩක් ඇති හැම විටම විහාරයට හෝ ආරාමයට ගොස් භාග්‍යවතු වහන්සේ හා ධර්මය කතා කරන්නට පුරුදුව සිටි කෙනෙකි. ]

පින්ඩපාතයේ ගොස් භික්ෂුන් ආපසු වැඩ කල් නොගිය බව දුටු පඤ්චකංග වඩුහට මෙබඳු සිතක් වූයේය. “දැන්ම භාග්‍යවතුන් වහන්සේ දැකීමට සුදුසු කල් නොවේ. භාග්‍යවතුන් වහන්සේ පල සමවතින් යුක්තවූයේ වෙයි. සිත වැඩීමෙහි යෙදුනාවූ භික්ෂූන් වහන්සේලාගේ ද දැකීමට මෙය කාලය නොවෙයි. සිත දියුණු කරන්නාවූ භික්ෂුහුද මේ වෙලාවේ ධ්‍යානයන්ට සමවැදී වාසය කරති. මා දන්නා අන්‍ය පරිබ්‍රාජකයෙක් වන උග්ගමාන නම් පරිව්‍රාජකයා ජේතවනාරාමයට නුදුරින් ඇති තින්දුකාචීර උයනෙහි ඇති මල්ලිකාරාම771 නම් එක සාලක ශාලාවෙහි සිටින බව දනිමි. මම එහි ගොස් ඔහු හමුවීම සුදුසුය “

[771 :-තිඹිරි ගස්වලින් වටවූ නිසා තින්දුකාචිර නම්වූ මල්ලිකා දේවිය සතු උයනක එක් විසාල සාලාවක් පමණක් ඇතිව තනවා ශ්‍රමණයන් ගේ පාවිච්චිය සඳහා වෙන් කොට ආරාමයක් තිබුන බවත් ඒ ශාලාව එක් සාලාවක් පමණක් ඇති නිසා ඒකසාල ලෙස හෝ මල්ලිකා දේවියගේ උයනේ තැනවූ නිසා මල්ලිකා සාලාව ලෙසත් කියවූ බව අටුවාව කියයි. උග්ගහමාන පිරිවැඩි ගේ මව සමනමංඩික නම් වූ නිසා ඔහුව සමනමංඩික පුත්ත ලෙස පුර්ව නාමයක් වූ බවද කියවේ.]

§ 3. එසේ සිතු පන්චගික සමණ මණ්ඩික පුත්‍රවූ උග්ගහමාන නම් පරිව්‍රාජකයා දකින්නට ඒකසාල ආරාමය වෙත ගියේය. ඒ වෙනවිට උග්ගහමාන පරිව්‍රාජකයා සත්සියයක් පමණවූ මහත් පරිව්‍රාජක පිරිස සමග මහ හඬින් කෑ කෝ ගසමින් නොයෙක් වැදගැම්මකට නැති කතා සල්ලාපයෙහි යෙදී සිටියේය.

කිනම් දේ ගැන කතාද යත්:- රජුන් පිළිබඳ කතාය, සොරුන් පිළිබඳ කතාය, මහ ඇමැතියන් පිළිබඳ කතාය, සේනාවන් පිළිබඳ කතාය, භය පිළිබඳ කතාය, යුද්ධ පිළිබඳ කතාය, ආහාර පිළිබඳ කතාය, බොන දේ පිළිබඳ කතාය, ඇඳුම් පිළිබඳ කතාය, නිදන ආසන පිළිබඳ කතාය, මල්මාලා පිළිබඳ කතාය, සුවඳ පිළිබඳ කතාය, නෑයන් පිළිබඳ කතාය, රථ පිළිබඳ කතාය, ගම් පිළිබඳ කතාය, මහගම් පිළිබඳ කතාය, නගරයන් පිළිබඳ කතාය, ජනපද පිළිබඳ කතාය, ස්ත්‍රීන් පිළිබඳ කතාය, සූරයන් පිළිබඳ කතාය, වීථි පිළිබඳ කතාය, දියතොට පිළිබඳ කතාය, පූර්වඥාති ප්‍රේතයන් පිළිබඳ කතාය, නොයෙක් ස්වභාවයෙන් යුක්ත කතාය, ලෝකය පිළිබඳ ප්‍රකාශ වන්නාවූ කතාය, සමුද්‍රය පිළිබඳව ප්‍රකාශ වන්නාවූ කතාය ‘මෙසේ වන්නේය, මෙසේ නොවන්නේය’ යන මෙබඳු කතාය.

§ 4. උග්ගහමාන පරිව්‍රාජකයා තම ශාලාව වෙත එන්නාවූ පඤ්චකංග වඩුවා දුරදීම දුටුයේය. දැක ස්වකීය පිරිස නිශ්ශබ්ද කරවුයේය. තැන්පත් කෙළේය.
පින්වත්නි, නිශ්ශබ්ද වෙත්වා, පින්වත්නි, ශබ්ද නොකරව්, මේ එන්නේ ශ්‍රමණ භවත් ගෞතමයන්ගේ ශ්‍රාවකයෙක්වූ පඤ්චකංග නම් උපාසකයය. ශ්‍රමණ ගෞතමයන්ගේ සුදුවත් හඳින්නාවූ ගිහිවූ ශ්‍රාවකයෝ සැවැත් නුවර වාසය කෙරෙත්ද, මේ පඤ්චකංග නම් ථපති තෙමේද ඔවුන්ගෙන් කෙනෙකි. ඒ ශ්‍රමණ භවත් ගෞතමයන් නිශ්ශබ්දතාව ප්‍රිය කරන කෙනෙක්ය. ඔහුගේ පැවිදි ගිහි සියල්ලන් ම එසේම නිහඬ බවේ කැමැත්ත ඇත්තෝ ලෙස හික්මවන ලද්දෝය. ස්වල්ප ශබ්ද ඇත්තවුන් විසින් හික්මවන ලද්දෝය. ස්වල්ප ශබ්ද ඇත්තවුන්ගේ ගුණ කියන්නෝය. ස්වල්ප ශබ්ද ඇති පිරිසකැයි සිතා මේ පන්චන්ගික උපාසකයා මෙහි පැමිණීමට අදහස් කරන්නේ නම් මැනවයි” කියා පිරිස සන්සුන් කෙළේය. ඉක්බිති ඒ පරිව්‍රාජකයෝ නිශ්ශබ්ද වූහ.

§. 5 . එකල්හි පඤ්චකංග තෙමේ උග්ගහමාන පරිව්‍රාජකයා හුන් තැනට පැමිණ ඔහු සමග සතුටු වියයුතුවූ සිහි කටයුතුවූ කථාව කොට නිමවා එක් පැත්තක හිඳ හුන්නේය. එක් පැත්තක හුන්නාවූ පඤ්චකංග නම් වඩුවාට උග්ගමාන පරිව්‍රජාක තෙම මෙසේ කීයේය.

§ 5. “සථපතිය, කරුණු සතරකින් යුක්තවූ පුරුෂයා සම්පූර්ණවූ කුසල් ඇති උතුම්වූ කුසල් ඇති උත්තම භාවයට පැමිණියාවූ වාද කොට සෙලවිය නොහැකි ශ්‍රමණයා යයි මම කියමි.
කවර සතරකින්ද යත්?

“සථපතිය,
(i) කාය දුෂ්චරිතයෙන් දුරුව; කයින් පව්කම් නොකෙරේද,
(ii) නපුරු වචන නොකියයිද,
(iii) පවිටු වූ සිතුවිලි කල්පනා නොකෙරේද,
(iv) අධාර්මමික වූ ජීවිකාවෙන් ජීවිකාව නොකෙරේද,

සථපතිය, මේ කරුණු සතරින් යුක්තවූ පුරුෂයා කුසල් සම්පූර්ණ කර ඇති උතුම් කුසල් ඇති උතුම් බවට පැමිණියාවූ වාද කොට සෙලවිය නොහැකි ශ්‍රමණයායි මම ප්‍රකාශ කරමියි” කීය.

§ 6 . එවිට පඤ්චකංග සථපති තෙම, උග්ගහමාන පරිව්‍රාජකයාගේ කීමට සතුටුද නොවිය. ප්‍රතික්ෂෙපද නොකෙළේය. සතුටු නොවී ප්‍රතික්ෂෙප නොකොට හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙන් මේ කියමනේ අර්ථය දැන ගන්නෙමියි. සිතා උග්ගහමාන පරිව්‍රාජකයා ගෙන් සමුගෙන පිටව ගියේය.

§ 7. ඉක්බිති පඤ්චකංග සථපති තෙමේ ජේතවනාරාමයට පැමිණ භාග්‍යවතුන් වහන්සේට මනා කොට වැඳ එකත් පස්වහිද තමන් සහ උග්ගහමාන පරිව්‍රාජක අතර වූ සියළු කථාබහ භාග්‍යවතුන් වහන්සේට දැන්වූයේය. මෙසේ දැන්වූ කල්හි භාග්‍යවතුන් වහන්සෙ පඤ්චකංගට මෙසේ වදාළේය.

‘සමණ මණ්ඩික උග්ගහමාන පරිව්‍රාජකයාගේ කීමට අනුව සථපතිය, අළුත උපන්නාවූ, තොටිල්ලක උඩුකුරුව වැතිර ඉන්නාවූ, ලපටි දරුවෙකු කුසල ධර්ම සම්පුර්ණ කළාවූ, අනුපමේය විමුක්තියට පත් වූ වාදයෙන් බිඳ හෙලනට නොහැකි ශ්‍රමණ උත්තමයෙකු වන්නේය.

මන්දයත්,

  • ඒ ළදරුවාට “මේ මගේ ශරීරය” යැයි තම ශරීරය කිසිදු දැනුමක් නැත. උඩුකුරුව සයනය කරන්නාවූ එම ලපටියා අත පය සොලවනවා මිස කයෙන් අකුසල් කිරීමක් නොකරන්නේය.
  • ඒ ළදරුවාට කතා කරන්නට දැනුමක් නැත. වචන කතා කරන්නට නොදන්නා ඒ ළදරුවා හැඬීම පමණක් කරනවා මිස වාග් අකුසලයක් ද නොකරන්නේය.
  • සිනාසීම් මාත්‍රයක් හැර පවිටු කල්පනා කල්පනා කරන්නේද නැත. මේ කලයුතු යෑයි ඒ ළදරුවාට ඕනෑකමක් ද නැත.
  • මවගේ කිරි බීම හැර ලාමකවූ ජීවිකාවෙන් ජීවිකාව කරන්නේද නොවේ

ඉදින් උග්ගහමාන ගේ පිළිගැනීමේ හැටියට මේ ළදරුවා සම්පූර්ණ කුසල් ඇති උතුම්වූ කුසල් ඇති උතුම් බවට පැමිණියාවූ වාදකොට ජය ගත නොහැකි ශ්‍රමණයෙක් උතුම් ආජීවකයෙකු වීමට අවශ්‍ය කාරනා සතරම සම්පුර්ණ කල කෙනෙකු නොවන්නේද?

§ 8 . “සථපතිය, එසේ එම කාරනා සතර සම්පුර්ණ කළාවූ යම් ශ්‍රමණයෙකු ආජීවකයෙකු වේනම් ඔහු උත්තරීතර උතුම්වූ කුසල් ඇති උතුම් බවට පැමිණියාවූ වාදකොට ජය ගත නොහැකි ශ්‍රමණයෙක් උතුම් ආජීවකයෙකු නොව තොටිල්ලේ වැද හූනා ඒ ලපටියා වැන්නැ’ යි මම කියමි.

“කවර සතරකින්ද යත්, ථපතිය, මේ ලෝකයෙහි කයින් පව්කම් නොකෙරේද, ලාමක නපුරු වචන නොකියාද, ලාමකවූ සිතිවිලි කල්පනා නොකෙරේද, අධාර්මික ජීවිකාවෙන් ජීවිකාව නොකෙරෙයිද, ථපතිය, මේ කරුණු සතරින් යුක්තවූ පුද්ගලයා සම්පූර්ණ කුසල් නැත්තාවූද, උතුම් කුසල් නැත්තාවූද, උතුම් පැමිණීමට නොපැමිණියාවූද, වාදයෙන් සෙලවිය නොහැක්කාවූද, මේ ළදරුවූ බාලවූ උඩුකුරුව නිදන්නාවූ මේ කුමාරයාට සමානයෙක් මිස වීශේෂවූද ශ්‍රමණයෙකැයි ප්‍රකාශ නොකරමි.

§ 9 .“සථපතිය, කරුණු දසයකින් යුක්තවූ පුද්ගලයා කුසල ධර්ම සම්පූර්ණ කළාවූද, උතුම් කුසල් ඇත්තාවූද, උත්තම බවට පැමිණියාවූද, වාදයෙන් සෙල්විය නොහැක්කාවූද ශ්‍රමණයෙකැයි ප්‍රකාශ කරමි.772

[772: එම කාරනාවලට පෙර භාග්‍යවතුන් වහන්සේ රහතුන් ගේ ( “අසෙක” පුද්ගලයෙකුගේ) ස්වභාවය දක්වයි. ඉන්පසු යම් ශ්‍රාවකයෙකු විසි කෙසේ ඒ ධර්මයන් වඩා “සේක” තත්වයට පත් විය යුතු දැයි විස්තර කරයි. මේ වැඩිය යුතු ධර්මයන් “සීලය” යන්නෙන් ඔබ්බට ගියාවූ ඊට වඩා පුළුල් වූ කාරනා වෙති]

දත යුතු පිළිවෙත්

(i) “සථපතිය, අකුශල පිළිවෙත්773 මොනවාදැයි දතයුතුයයි කියමි.
මේ අකුශල පිළිවෙත්, කුමක් හේතුකොට ගෙන හටගත්තාහුදැ’යි දතයුතුදැයි කියමි.
මේ අකුශල පිළිවෙත් කෙසේනම් ඉතිරිනොවී නිරුද්ධ වෙත්දැයි දතයුතුය” යි කියමි.
සථපතිය, කෙසේ පිළිපදින්නාවූ තැනැත්තකු මේ අකුශල පිළිවෙත්හි නිරෝධය පිණිස පිළිපන්නේ වේදැයි දැනගත යුතුයයි කියමි.

[773:- කුසල සීල, අකුසල සීල ආදී පාලි යෙදුම් වල සීල යන පදය වෙනුවට මේ පරිවර්තනයේ “පිළිවෙත්” (ප්‍රතිපත්ති) යැයි යොදා ඇත්තේ ප්‍රකට ලෙස භාවිතා වන “සීල” පදයෙහි අර්ථය මෙයින් නොකිලිටි වේ යැයි අදහසිනි. “පිළිවෙත්” යන්නෙන් “පුරුදු” යන අදහස නැගේ නම් ඒ නිවැරදිය. සමහර ක්‍රියා මිනිසුන් කරන්නේ පුරුද්දට වගේය එය සසර පුරුද්ද හෝ ඇතිකරගත් පුරුද්ද විය හැක. ]

(ii) “සථපතිය, කුශල පිළිවෙත් මොනවා දැයි දත යුතුයයි කියමි.
මේ කුසල පිළිවෙත් කුමක් නිසා හට ගන්නාහුදැ’යයි දත යුතු යැයි කියමි.
මේ කුශල පිළිවෙත් කෙසේ නම් ඉතිරියක් නොවී නිරුද්ධ වෙත්දැයි දැනගත යුතුයි කියමි.
කෙසේ මේ කුසල පිළිවෙත් වල නිරෝධය පිණිස පිළිපන්නේදැයි දතයුතුයයි කියමි.

(iii) සථපතිය, අකුශල සංකල්පනා මොනවා දැයි දතයුතුයයි කියමි.
මේ අකුශල සංකල්පනාවෝ කුමක්කි නිසා හටගන්නාහුදැයි දතයුතුය’යි කියමි.
මේ අකුශල සංකල්පනාවෝ ඉතිරි නොවී කොතැන්හි නිරුද්ධ වෙත්දැයි දතයුතුයයි කියමි.
කෙසේ පිළිපන්නාවූ පුද්ගලයෙකු මේ අකුසල සංකල්පනාවන්ගේ නිරෝධය පිණිස පිළිපන්නේදැ”යි දතයුතුයයි කියමි.

(iv) කුසල සංකල්පනාවෝ මොනවාදැයි දතයුතුයි කියමි.
මේ කුසල සංකල්පනාවෝ කුමක් නිසා හටගන්නාහුදැයි දතයුතුයයි කියමි.
මේ කුසල සංකල්පනාවෝ කොතැන්හි ඉතිරි නැතිව නිරුද්ධ වෙත්දැයි දතයුතුයයි කියමි.
කෙසේ පිළිපන්නාවූ පුද්ගලයෙකු මේ කුසල සංකල්පනාවන්ගේ නිරෝධය පිණිස පිළිපදින්නේදැයි දතයුතුයයි කියමි.

අකුසල පිළිවෙත්

§10 . “සථපතිය, අකුසල පිළිවෙත් කවරහුද,

අකුසල්වූ කාය කර්මය
අකුසල්වූ වාග්කර්මය
ලාමකවූ ජීවිකාවය යන මේවාය.

සථපතිය, මේවා අකුසල පිළිවෙත්ය යි කියනු ලැබෙත්.

මේ අකුසල පිළිවෙත් කුමක් හේතු කොටගෙන හට ගන්නාහුද?
ඔවුන්ගේ ඉපදීමට හේතුව අසන්නේ වී නම් අකුසල සඥාව නිසා උපදින්නාහුයයි කියයුතු වෙත්.

අකුසල සඥාව කවරේද?
සඥාව බොහෝ වැදෑරුම්හ. නොයෙක් ආකාරය.
ඒ කාම සඥාවය,
ව්‍යාපාද සඥාවය,
හිංසා සඥාවය, ,
අකුසල පිළිවෙත් මේ සඥා නිසා හටගත්තාහුය.

§ 11 සථපතිය, මේ අකුසල පිළිවෙත් කෙසේ ඉතිරියක් නැතිව නිරුද්ධවෙත්ද?,
ඒවායේ නිරෝධය මෙසේ කියනු ලැබේ.

සථපතිය, භික්ෂුවක් කාය දුශ්චරිතය හැර කාය සුචරිතය වඩාද, වාග් දුශ්චරිතය හැර වාග් සුචරිතය වඩාද, මනො දුශ්චරිතය හැර මනො සුචරිතය වඩාද මිථ්‍යා ආජීවය හැර යහපත් ජීවිකාවෙන් ජීවිකාව කෙරේද, මෙසේ මේ අකුසල පිළිවෙත් ඉතිරියක් නැතිව නිරුද්ධවෙත්.

.  සථපතිය , කෙසේ පවතින්නා වූ පුද්ගලයා, අකුසල පිළිවෙත් හි නිරෝධය කරගන්නේද?

“සථපතිය, යම් භික්ෂුවක් ..

(i) නූපන්නාවූ ලාමකවූ අකුශල ධර්මයන්ගේ නොඉපදවීම පිණිස කැමැත්ත උපදවයිද, වෑයම් කරයිද, වීර්ය පටන්ගනියිද, සිත ඔසවයිද, වීර්ය කරයිද,
(ii) උපන්නාවූ ලාමකවූ අකුශල ධර්මයන් දුරුකිරීම පිණිස කැමැත්ත උපදවයිද, ව්‍යායාම් කරයිද, වීර්ය පටන්ගනියිද, සිත ඔසවයිද, උත්සාහ කරයිද, නූපන්නාවූ
(iii) නුපන් කුසල ධර්මයන්ගේ ඉපදීම පිණිස කැමැත්ත උපදවයිද, වෑයම් කරයිද, වීර්ය පටන් ගනියිද, සිත ඔසවයිද, උත්සාහ කරයිද,
(iv) උපන්නාවූ කුසල ධර්මයන්ගේ පැවැත්ම පිණිස, මුලානොවීම පිණිස, වැඩිවීම පිණිස, මහත්බව පිණිස, දියුණු කිරීම පිණිස කැමැත්ත උපදවයිද, වෑයම් කරයිද, වීර්ය පටන්ගනියිද, සිත ඔසවයිද, උත්සාහ කරයිද, 774

ගෘහපතිය, මෙසේ පිළිපදින්නාවූ පුද්ගලයා අකුසල පිළිවෙත් හි නිරෝධය පිණිස පිළිපදීන්නේ වෙයි.

[774 සෝවාන් වනතුරු ඔහු අකුසල පිළිවෙත් නතර කර ගන්නට මෙසේ පිළිපැදිය යුතු වේ. සෝවාන් වූ අයෙකුට මේ අකුසල පිළිවෙත් නැවත ඇති වේ යැයි බියක් වී යුතු නොවේ.]

කුසල පිළිවෙත්

§. 12 . “සථපතිය, කුසල පිළිවෙත් මොනවාද ?
සථපතිය , කුසලවූ කාය කර්මයද, කුසල් වූ වාග් කර්මයද, පිරිසිදු ජීවිකාවද කුසල පිළිවෙත් වේ.

සථපතිය, මේ කුසල පිලිවෙත් කුමක් හේතු කොටගෙන උපදින්නාහුද, ?
කුසල පිලිවෙත්වල උත්පත්ති හේතුව කිවහොත් සිත හා සිතුවිලි නිසා උපදින්නාහුය”යි කියයුතු වෙත්.

සිත කවරේද?,
සිත බොහෝ වැදෑරුම්ය, නානාප්‍රකාරය.

යම් සිතක රාගය පහ කරන ලද්දේද, දෝසය පහ කරන ලද්දේද , මෝහය පහ කරන ලද්දේ වෙයිද, ඒ මනස කුසල පිළිවෙත් හි පිහිටියා වෙත්.

සථපතිය, මේ කුසල පිළිවෙත් කෙසේ ඉතිරියක් නැතිව නිරුද්ධ වෙත්ද?

කුසල පිළිවෙත් හි නිරෝධය කියතහොත් සථපතිය, යම් භික්ෂුවක් සිල්වත් වේද, ඒ “සිල්වත් කෙනා මම” යැයි හෝ “ඒ මගේ සීලය” යැයි මමඥනාව දුරු කොට සිටීද , මින්පසු රැක්කයුතු තවත් සීලයක් නැත්තේයැයි තමාම අවබෝධයෙන් දන්නාවූ අරහත් භාවය සාක්ෂාත් කර්ගන්නා ලද “අසේක” වූ රහතුන් වහන්සේ කෙනෙක් සිත අකුසල් කිරීමට නොව කුසල් කිරීමට පවා නොනමයි.

ඵල සමාධියත් ඵල සමාපත්තියත් දන්නා උන්වහන්සේ කරන කර්මයන් ඵල ශුන්‍ය වේ. එසේ හෙයින් අසේක උන්වහන්සේ කුසල පිළිවෙත් පවා නිරෝධයට පත් කර ගන්නා ලද්දේ යැයි776 කිව හැකිය.

[776:- කරන්නා වූ කුසල් අකුසල් මම කරමි මගේ ක්‍රියා යැයි නොදකින්නේ රහතුන් විසින් “මම”, “මාගේ” ලෙස ඒවා නොදකින නිසාය. මතුදු උන්වහන්සේ කරණ යහපත් ක්‍රියා කුසල් නොවන්නේ , ඒවා නිසා කුසල කර්මයක් සිදු නොවන බැවිනි.]

§ 13. අකුසල සංකල්පනා මොනවාද?

“සථපතිය, අකුසල සංකල්පනාවෝ තුනෙකි. ඒ නම්
කාම සංකල්පයෝ
ව්‍යාපාද සංකල්පයෝ සහ
විහිංසා සංකල්පයෝ ය.

අකුසල සංකල්පයන් කුමක් මුල් කොට උපදීද?
අකුසල සංකල්පයන් පුද්ගලයාගේ සඥාවෙන්ම උපදින්නේ වෙයි.

ඒ කුමන සඥාවකින්ද ?

ඒ කුමන සඥාවකින්ඳ කිවහොත් , සඥාවෝ බොහෝ වෙති. ඒ බහු විධ සඥා අතරින්
කාමච්චන්දය නොහොත් කාම සඥාය ,
ව්‍යාපාද සඥා,
හිංසා සඥා යන තෙවදෑරුම් සඥා නිසා අකුසල සංකල්පයෝ උපදිත්.

මේ අකුසල සංකල්පයෝ කෙසේ නම් නිරුද්ධ වේද?

සථපතිය , භික්ෂුව කාමයන්ගෙන් වෙන්වම අකුශල ධර්මයන්ගෙන් වෙන්වම විතර්ක සහිතවූ, විචාර සහිතවූ, විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි නම් මේ අකුශල සංකල්පනාවෝ ඉතිරියක් නැතිවම නිරුද්ධ වෙත්.

, කෙසේ පිළිපදින පුද්ගලයා අකුශල සංකල්පනාවන්ගේ නිරෝධය පිණිස පිළිපන්නේ වේද ?

සථපතිය, මේ ශාසනයෙහි භික්ෂුව
(i) නූපන්නාවූ ලාමකවූ අකුශල ධර්මයන්ගේ නොඉපදීම පිණිස කැමැත්ත උපදවයිද ව්‍යායාම කරයිද, වීර්ය පටන්ගනියිද, සිත ඔසවයිද, උත්සාහ කරයිද

(ii) උපන්නාවූ ලාමකවූ අකුසල ධර්මයන්ගේ දුරුකිරීම පිණිස කැමැත්ත උපදවයි වෑයම් කරයි. වීර්ය පටන්ගනියි. උත්සාහ කරයි.

(iii) නූපන්නාවූ කුශල ධර්මයන්ගේ ඉපදීම පිණිස කැමැත්ත උපදවයි. වෑයම් කරයි. වීර්ය පටන්ගනියි. උත්සාහ කරයි.

(iv) උපන්නාවූ කුසල ධර්මයන්ගේ පැවැත්ම පිණිස, ගිලිහී නොයාම පිණිස, වැඩිවීම පිණිස, මහත් බැව් පිණිස, දියුණුව පිණිස, කැමැත්ත උපදවයිද, ව්‍යායාම කරයිද, වීර්ය පටන්ගනියිද, සිත ඔසොවයිද, උත්සාහ කරයිද, ගෘහපතිය,

මෙසේ පිළිපදින පුද්ගලයා අකුසල සංකල්පනාවන්ගේ නිරෝධය පිණිස පිළිපන්නේ වේ.

§14 . “ සථපතිය , කුසල සංකල්පනාවෝ කවරහුද?

නෛෂ්ක්‍රම්‍ය සංකල්පනාය,
අව්‍යාපද සංකල්පනාය,
අවිහිංසා සංකල්පනාය යන මේවායි.

සථපතිය, මේවා කුසල සංකල්පයෝයයි කියනු ලැබෙත්.

සථපතිය, මේ කුසල සංකල්පනාවෝ කුමකින් හටගන්නාහු වෙත්ද?,
ඔවුන්ගේ හටගැනීම කිවහොත්, සංඥාව නිසා ඒ සංකල්පනාවෝ හටගන්නාහුයයි කියයුතු වෙත්.

සංඥා මොනවාද ?
සංඥාවෝද බොහෝ වැදෑරුම්ය, නානාප්‍රකාරය.

කාමයන්ගෙන් සිත මුදා ගන්නට ඇතිවන සංඥාවය,
අනුන්ට වෛර නොකිරීම පිළිබඳ සංඥාවය,
හිංසා නොකිරීම පිළිබඳ සංඥාවය යන මේවා යි.
කුසල සංකල්පනාවෝ මේ සංඥා නිසා හටගන්නාහු වෙත්.

සථපතිය, මේ කුසල සංකල්පනාවෝ කෙසේ ඉතිරි නැතිව නිරුද්ධ වෙත්ද?

ඔවුන්ගේ නිරෝධයද කියත හොත්
සථපතිය, මේ ශාසනයෙහි භික්ෂුවක් විතර්ක විචාරයන්ගේ සංසිඳීමෙන්, ඇතුලත පැහැදීම ඇති හිතේ එකඟබව ඇති විතර්ක රහිතවූ විචාර සහිතවූ, සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ද්විතීය ධ්‍යානයට පැමිණ වාසය කරයිද, එහිදී මේ කුසල සංකල්පනාවෝ ඉතිරිනොවී නිරුද්ධ වෙත්.

සථපතිය, කෙසේ පිළිපදින අයෙකු ගේ කුසල සංකල්පනාවන් නිරෝධය පිණිස පිළිපන්නේ වේද?
සථපතිය , යම් භික්ෂුවක් නූපන්නාවූ ලාමකවූ අකුසල ධර්මයන්ගේ නොඉපදීම පිණිස කැමැත්ත උපදවයිද, වෑයම් කරයිද, වීර්ය පටන්ගනියිද, සිත ඔසවයිද, උත්සාහ කරයිද,
උපන්නාවූ ලාමකවු අකුසල ධර්මයන්ගේ දුරුකිරීම පිණිස කැමැත්ත උපදවයි. වෑයම් කරයි. වීර්ය පටන්ගනියි. උත්සාහ කරයි.
නූපන්නාවූ කුශල ධර්මයන්ගේ ඉපදීම පිණිස කැමැත්ත උපදයි. වෑයම් කරයි. වීර්ය පටන්ගනියි. උත්සාහ කරයි.
උපන්නාවූ කුසල ධර්මයන්ගේ පැවැත්ම පිණිස, මුළා නොවීම පිණිස, වැඩිවීම පිණිස, මහත් බැව් පිණිස, දියුණුව පිණිස, කැමැත්ත උපදවයි. වෑයම් කරයි, වීර්ය පටන්ගනියි, සිත ඔසවයි, උත්සාහ කරයි.
සථපතිය , මෙසේ පිළිපදින්නා කුසල සංකල්පනාවන්ගේ නිරෝධය පිණිස පිළිපන්නේ වේ

උත්තම ශ්‍රමණයා කවරෙක්ද

§. 15 “ සථපතිය, කවර නම් කරුණු දසයකින් යුක්තවූ පුරුෂ පුද්ගලයා කුසල් සම්පූර්ණ කර ඇති, උතුම් කුසල් ඇති, උතුම් පැමිණීමට පැමිණියාවූ, වාදයෙන් නොසෙල්විය හැකිවූ ශ්‍රමණයා යයි ප්‍රකාශ කරම්ද?

“සථපතිය , භික්ෂුව
අශෛක්ෂ වූ (රහත්වූ) , සම්‍යක් දෘෂ්ටියෙන් (යහපත් දැකීමෙන්) යුක්තවූයේ වේද,
අශෛක්ෂවූ (රහත්වූ) සම්‍යක් සංකල්පනයෙන් (යහපත් කල්පනාවෙන්) යුක්තවූයේ වේද,
අශෛක්ෂවූ (රහත්) සම්‍යක් වචනයෙන් (යහපත් වචනයෙන්) යුක්තවූයේ වේද,
අශෛක්ෂවූ (රහත්) සම්‍යක් කර්මාන්තයෙන් (යහපත් කිරීමෙන්) යුක්තවූයේ වේද,
අශෛක්ෂවූ (රහත්) සම්‍යක් ආජීවයෙන් (යහපත් ජීවිකාවෙන්) යුක්තවූයේ වේද,
අශෛක්ෂවූ (රහත්) සම්‍යක් ව්‍යායාමයෙන් (යහපත් උත්සාහයෙන්) යුක්තවූයේ වේද,
අශෛක්ෂවූ (රහත්) සම්‍යක් ස්මෘතියෙන් (යහපත් සිහියෙන්) යුක්තවූයේ වේද,
අශෛක්ෂවූ (රහත්) සම්‍යක් සමාධියෙන් (යහපත් සිතේ එකඟබවෙන්) යුක්තවූයේ වේද,
අශෛක්ෂවූ (රහත්) සම්‍යක් ඥානයෙන් (යහපත් නුවණින්) යුක්තවූයේ වේද,
අශෛක්ෂවූ (රහත්) සම්‍යක් විමුක්තියෙන් (යහපත් මිදීමෙන්) යුක්තවූයේ වේද,

[ ශෛක්ෂ හා අශෛක්ෂ යනු දැනගන්නට සෙඛපරියාය සූත්‍රය කියවන්න.]

සථපතිය , මේ කරුණු දහයෙන් යුක්තවූ පුරුෂයා කුසල් සම්පූර්ණ කරගත්තා වූ, උතුම්වූ කුසල් ඇති, උතුම් බවට පැමිණියාවූ, වාදයෙන් නොසෙල්විය හැකි උත්තම ශ්‍රමණයෙකැයි ප්‍රකාශ කරමි.

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
සතුටු සිත් ඇත්තාවූ පඤ්චකංග සථපති තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ වචනය සතුටින් පිළිගත්තේය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.