MN 03-03-02 මහා සුඤ්ඤත සූත්‍රය

[1145 බොහෝ අවස්තාවලදී භාග්‍යවතුන් වහන්සේ විසින් හුදෙකලාවේ අගය ගැන දේසනා කර ඇත. සමාජයට ප්‍රියව දොඩමළුව හිස් කතා කිරීම සසර දික් කරගැන්මට අනිසි තැන්වල උපත ලැබීමට සංඛාර ජනනයට හේතු වනවා පමණක් නොව සසර විම්ක්තිය පතා ඉන්නෙකුගේ ප්‍රතිපත්ති පුරාණයට ද මහා බාධකයක් වේ. ශුන්යතාවයට සිත පුරුදු කරන්නෙකුට මහ ජනයා අතර දී වුවත් සිය අභ්‍යන්තරික, අධ්‍යාත්මික හුදෙකලාව පවත්වාගැන්මට ශුන්යතාවට සිත නැංවීම නිසා හැකිවේ. සමාජයෙන් වෙන්ව කටයුතු කල නොහැකි වැඩ පල ඇති ආනන්ද හිමියන්ට මේ දේශනාව කලේ ආනන්ද හිමියන්ට ශුන්යතාවේ ඇති ප්‍රයෝජනය වඩා හොඳින් දැක්වීම පිණිස වන්නට හැක.]

මේ සුත්රය විග්‍රහ කෙරෙන අන් දේසනාවක් සොයාගන්නට අසමත් වීමි.

§ 1. මා විසින් මෙසේ අසනලදී. 1145
එක් සමයක භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයන්හි, කිඹුල්වත් පුරයේ නිග්‍රොධ උයනෙහි වැඩ වසන සේක.

§ 2 දිනක් භාග්‍යවතුන් වහන්සේ පෙරවරු කාලයෙහි හැඳ, පා සිවුරු ගෙන කිඹුල්වත් පුරයට පිඬු පිණිස වැඩිසේක. කිඹුල්වත් පුරයෙහි පිඬු පිණිස හැසිර, බතින් පසු “කාලඛෙමක”1146 නම් ශාක්‍යය පුත්රයා තනවා තිබු ප්‍රසිද්ධ ගිමන් ශාලාවේ දවල් කාලයෙහි “දිවා විහරණය” පිණිස වැඩිසේක. ඒ “කාලඛේමක ශාක්‍යයාගේ විහාරයෙහි බොහෝ අසුන් පනවා තිබු සැටි දුටු භාග්‍යවතුන් වහන්සේ “කාලඛේමක” විහාරයෙහි බොහෝ භික්ෂූහු වාසය කෙරෙත්ය’යි දැන ගත සේක.

[1146: නිග්‍රෝධ උයනෙහි කාලකෙමඛ නම් සාක්‍ය කුමරෙකු විසින් කරවන ලද මේ ශාලාව නොයෙක් ශ්‍රමණයන්ගේ පාවිච්චියට වෙන් කොට තිබුවක් බවත් භාග්‍යවතුන් වහන්සේ එහි වඩින කල බොහෝ සයනයන් නිදන පැදුරු ආදිය එලා එය සංඝයා ගේ බෝඩිමක් ලෙස පෙනෙන්නට තිබු බවත් අටුවාව කියයි.]

§ 2. එසමයෙහි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ බොහෝ භික්ෂුන් සමග “ඝටා” නම් ශාක්‍යයාගේ විහාරයෙහි සිවුරු මැසීම කරයි. එකල්හි භාග්‍යවතුන් වහන්සේ සවස් කාලයෙහි පලසමවතින් නැඟි සිට “ඝටා” ශාක්‍යයාගේ විහාරයට වැඩම කොට පනවන ලද ආසනයෙහි වැඩහුන්සේක. වැඩහිඳ භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේට කථාකළසේක.

“ආනන්දය, ‘කාලඛේමක” ශාක්‍යයාගේ විහාරයෙහි බොහෝ සෙනසුන් පනවන ලද්දාහුය. එහි බොහෝ භික්ෂුහු වෙත්දැ”යි යි ඇසූහ.1147

[1147: භාග්‍යවතුන් වහන්සේ එසේ ප්‍රශ්නයක් නැගුවේ පිළිතුර නොදන්නා නිසා නොව සංඝයාගේ බොහෝ කල් පැවැත්මට අර්ථ ශාධනයට අත්‍යවශ්‍යම වූ හුදෙකලාව විසීමේ අගය ඔවුනට මේ ‘මහා ශුන්‍යතා සුත්‍රය” දේශනා කරන්නට අවස්තාවක් කර ගන්නට බව අටුවාව කියයි.]

“එසේය ස්වාමිනි,  මෙහි මේදිනවල මෙහි බොහෝ භික්ෂූහු සිටියි. ස්වාමීනි, මේ අපගේ සිවුරු මසන කාලය වේයයි කීය.”1148.

[1148:- බොහෝ සංඝයා එක්ව සතුටක් ආනන්දයක් ලබන්නට නොව සිවුරු මැසීමේ කාර්යය පිණිස භික්ෂුන් බොහෝ දෙනෙක් එක්වී සිටින බව ආනන්ද ස්වාමින් වහන්සේ කිවූ බවක් පෙනේ.]

§ 3 .“ආනන්දය, ශාසන ප්‍රතිපදාවේ නියැලී විමුක්තිය ප්‍රාර්ථනයෙන් පැවිදි වුවෙකු බොහෝ දෙනා හා එක්වී, සමාජ ශීලි වීම, එසේ එකට ඉන්නට කැමති වීම, එසේ එකව් සිටිමින් ඉන් සතුටක් ලැබීම ඔහුගේ ප්‍රතිපත්ති සාධනයට අවහිරයක් ම වේ. ඒ භික්ෂුවකට නොසුදුසුය.

එසේ බොහෝ දෙනා සමග එක්ව විසීම, එසේ ඉන්ට ඇති කැමැත්ත, එසේ එක්ව සිටීමෙන් සතුටුවීම ඔහුගේ ගමන අඩාල කරයි. එසේ එක්ව විසීමෙහි ඇළුණු එක්ව විසීමෙහි කැමති මහණහු නෙක්කම්ම සැපය (පංච කාමයෙන් නික්මීමේ සැපය), කාමයෙන් වෙන්වීමේ සැපයද, රාගාදීන්ගේ සංසිඳීම නිසා ලබන සැපයක් වේද, මාර්ගාවබෝධය නිසා ලබන සැපයක් වේද, ඒ ඒ සැප කිසිවක් අත් නොවිඳියි.“1149.

[1149: “සැපය” යන වචනය යොදා ඇත්තේ පාලි “සුඛ” වෙනුවෙනි. පාලි වචනයෙහි සම්පුර්ණ අර්ථය ඉන් නොකියවෙන මුත් “සුවය”, “සතුට” වැනි අනෙක් වචන වලට වඩා “සැපය” සුදුසු බව තමන් සිතු බව ඥානාලෝක හිමියන් කියයි.]

“ආනන්දය, යම් භික්ෂුවක් හුදකලා ජීවන පැවැත්ම රුචි කරන්නේද , සමූහයාගෙන් වෙන්ව හුදෙකලාව වාසය කෙරේද, ඒ භික්ෂුව කාමයෙන් නික්මීමේ සැපයද, කාමයෙන් වෙන්වීමේ සැපයද, රාගාදීන්ගේ සංසිඳීම නිසා වන්නාවූ සැපයද, මාර්ගාවබෝධය පිණිස පැවතීමේ සැපයද, නොඅඩුව ලබයි.

§ 4. “ආනන්දය, යම් භික්ෂුවක් සමාජශිලිවන්නට බොහෝදෙනා සමග එක්ව විසීමට කැමත්ත ඇත්තේද අනුන් හා එක්ව විසීමෙහි ඇළුනේද හෙතෙමේ කෙලෙසුන්ගෙන් මිදී තාවකාලිකව කෙටි කාලෙකට ලබන්නාවූ රූපාරූපාවචර චිත්ත සමාධියක් හෝ ක්ලේශයන්ගෙන් සහමුලින්ම මිදී ලබන නොසිඳෙන සමාධියක්1150 හෝ ලබන්නට අසමත් වන්නේය..“

[1150: පළමුවන ධ්යානයේ සිට සිව් වැන්න තෙක්ම ධ්‍යානයන් ලැබීමෙන් ලබන සුවය – රුප ධ්‍යානයන් හා සතර අරූප ධ්‍යායන ගෙන් කෙටි කාලින අසමාය විමොක්ඛ සුඛය ලෙසද සතර මාර්ග ඵල සාක්ෂාත් කර ගත්තෙකු ලබන නොසිඳේන්නාවූ සුවය සමාය විමොක්ඛ සැපය දෙවැන්න ලෙසද අටුවාව විස්තර කරයි.]

§ 5. “ආනන්දය,
වෙනස්වීම නිසා ශෝකය ඇති නොකරන්නාවූ, වැළපීමට තුඩු නොදෙන්නාවූ, පරිදේහය ඇති නොකරන්නාවූ කිසිදු රූපයක්, රූප ස්වභාවයක් මම නොදකිමි. [රූපය යන්නෙන් සියලුම කාණ්ඩ රූප රූප, ශබ්දව් රූප, ඝන්ධ රූප, රස රූප, ස්පර්ශ රූප අදහස් වෙයි.]

§ 6. එසේ වුවත් ආනන්ද, තථාගතයන් විසින් නිරාවරණය කර ගත් ශුන්‍යතා විහරණයක් ඇත්තේය. මේ ශුන්‍යතා විහරණයට එළඹීමෙන් සියළු කාම අරමුණු වලින් වෙන්ව අධ්‍යාත්මිකව ලබන උත්තරීතර සැපය ලබත හැක්කේය.

මේ ශුන්‍යතා විහරණයෙහි නිමග්නවූ තථාගතයන්1151 දකින්නට භික්ෂුන්, භික්ෂුනීන් , ගිහි උපාසක උපාසිකාවන්, රජුන්, ඇමතින්, සිටුවරුන්, තීර්ථකයෝ, තීර්ථක ශ්‍රාවකයෝද, හෝ අන් කවරෙකු ආවත්, තථාගතයන් සිය ශුනයතා සමාපත්තිය පවත්වාගන්නය සමත්ය. තථාගතයන් .ඉක්මනින්ම ඒ ආවා වූ පිරිස ආපසු පිටත් කරන්නාවූ ලෙසම ඔවුන් හා කථා කරයි. හුදෙකලාවට නැමුණු චන්දය , නිර්වාණයට නැමුණු, නිර්වාණයට අවනතවූ නිර්වාණයට බරවූ ක්ලේශයන්ගෙන් වෙන්වූ, හික්මීමෙහි ඇළුනු සිතින් යුක්තව කෙලෙසුන්ට හේතුවන ධර්මයන් නොවැඩෙන පරිදිම, කථා කරන්නේවෙයි.

[1151: සිය ශ්‍රාවක භික්ෂුන්ට හුදෙකලාවීමේ අනුසස් කරමින් භාග්‍යවතුන් වහන්සේ රජුන් සිටුන් උපාසක උපාසිකාවන් සමග කතා බස් කරමින් සමාජ ශිලිව ඉන්නේය යනුවෙන් මතුවට යමෙක් කල හැකි දෝශාරෝපනය වැලැක්වීම පිණිස හා ශුන්‍යතා විහරණය හුරු කල කෙනෙකුට සමාජයේ සිටියද ශුන්‍යතා විහරණ රැකීම කල හැකි බව දක්වනු පිණිස මෙසේ දේශනා කරන්නට ඇත.]

§ 7.  ආනන්දය, යම් මහණෙකු එසේ ශුන්‍යතා විහරණයට කැමත්තේ වී නම් තෙමේ සුඤ්ඤත ඵල සමාපත්ති අරමුණට සිත නමා එහි සිත මොනවට තැබිය යුතුයි. මොනවට පිහිටුවා ගත යුතුයි. එකඟකළ යුතුයි. එකම වූ ඒ අරමුනෙහි සිය සිත නොසෙල්වෙන සේ පිහිටුවා ගත යුතුයි.

භික්ෂුවක් කෙසේ සිය සිත ශුන්‍යතා විහරණ සමාපත්තිය කෙරෙහි එකඟ කල යුත්තේද?

§ 8. ආනන්දය භික්ෂුවක් සියලු කාමයන්ගෙන් වෙන්ව, අකුශල ධර්මයන්ගෙන් වෙන්ව, විතර්ක සහිතවූ, විචාර සහිතවූ, විවේකයෙන් හටගත් ප්‍රීති සැප ඇති, ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයිද, විතර්ක විචාරයන්ගේ සංසිඳීමෙන් තමාතුළ පැහැදීම ඇති කරන්නාවූ චිත්තයාගේ එකඟ බව ඇති කරන්නාවූ විතර්ක රහිත විචාර රහිත සමාධියෙන් හටගත් ප්‍රීති සැප ඇති, ද්වීතිය ධ්‍යානයට පැමිණ වාසයකරයිද, උපෙක්ෂා ඇත්තේ, සිහි ඇත්තේ, සැප විහරණ ඇත්තේයයි ආර්‍ය්‍යයෝ වර්ණනා කරන්නාවූ ඒ තෘතිය ධ්‍යානයට පැමිණ වාසය කරත්ද, සැපය දුරු කිරීමෙන්ද, දුක්ඛය දුරු කිරීමෙන්ද, පළමුවම සොම්නස් දොම්නස් දෙකම දුරු කිරීමෙන්, දුක් නැත්තාවූද, සැප නැත්තාවූද, උපෙක්ෂා ස්මෘති දෙදෙනාගේ පිරිසිදු බැව් ඇති චතුර්ථ ධ්‍යානයට පැමිණ වාසය කරයිද ආනන්දය, භික්ෂුව මෙසේ ධ්‍යාන සමවැතට පත් වූ සිත නොසෙල්වෙයි. අරමුණෙහි ඒකාග්‍ර වෙයි. සියළු ලෞකිකත්වයෙන් (ලෝකය ට සම්බන්ධවන්නාවූ සිතුවිලි වලින්) මිදෙයි. උසස්ම සමාධිය ලබයි. 1152

[1152 : ශුන්‍යතා විහරණයට දොරටුව , හිනිපෙළ ධ්‍යානයන් බවම මෙසේ දැක්වේ. ධ්යානයනට නොනැංවූ අසමාහිත සිතකින් සමාධිය ධ්‍යානය තෙක් නොනැංවූ සිතකින් ශුන්‍යතා විහාරනට එළඹෙන්නට නොහැකිය.]

§ 9. “ආනන්දය, ඉන්පසු ඔහු ශුන්යතාවට සිත ගෙන යන්නට සැරසෙයි. තම පංච ස්කන්ධයන් එකින් එකෙහි ඇති ශුන්‍යත්වය ඔහු විමසයි. එසේ විදර්ශනාවට තැත් කරන ඔහු සිය සිත ශුන්යතාවයට නොඑළඹෙන බව ඔහු දකියි. මේ සමථ විදර්ශනා විහරණයෙන් සූන්‍යතාවයේ සිත නොබැස ගනී. නොපහදී. නොසිටී. මනාව නොපිහිටයි. සූන්‍යතාවයේ සිත නොබැස ගනී. නොපහදී. සතුටක් නොවිදී. එහි මනාව නොපිහිටයි. ලොවින් නොමිදේ .1153

[1153:- නපඥ්න්න්දති, නප්පසිදති, න සන්තිට්ඨති, න විමුජ්ජති: නොබසියි, අරමුණට නොපනියි, අරමුණෙහි නොගිලෙය්. ලෝකයෙන් නිදහස් නොවෙයි. මහා වේදල්ල සුත්‍රයෙහි 43 හි දැක්වූ ලෙස සියළු සඥාවලින් වෙන්ව අසංඥයික සමාධිය ලැබීම ]

ආනන්දය, එසේ වූ කල්හි භික්ෂුව මෙසේ දැනගනියි, තම පංච ස්කන්ධයන්ගේ සූන්‍යතාවය මෙනෙහි කරණ මාගේ සිත මා පිළිබඳ සූන්‍යතාවයේ නොබැසගනී. නොපහදී. නොසිටී. ස්ථිරව නොපිහිටායයි දැනගනී. මෙහිදී කර්මස්ථානය සම්පූර්ණ නොවන බව දැනගනී.

§ 10.  එසේ සිත කර්මස්තානයෙහි නොපිහිටන බව දත් භික්ෂුව නැවත ආපසු ධ්යානයනට සිත යොමුකොට සිත සමාධියට, නොසෙල්වෙන බවට හා නොසතුටු බව නැති කරගන්නට තැත් කල යුතුයි. හොඳින් හුරු කල සිත වහා භාවනා නිමිත්තට පැන (පක්කන්ධති) එහි එල්බ ගනී. අරමුණට බැඳේ. 1154

[1154: විදර්ශනාවට පාදක වූ ධ්‍යානය ට සිත නවන්නට ඔහු නැවත නැවත තැත් කල යුතු වෙයි. සිත ඒ සමාධියට පොලා නොපනී නම් ඉන් සතුට ට නොපැමිණේ නම් සිය පංචස්කන්ධයේ ශුන්‍යතාව ඔහු දකින්නට අසමත් වේ. එසේ අසමත් සිත ආපසු ධ්යානනට ලන්වීමටම ඔහු තැත් කල යුතු වේ.]

මෙසේ නිශ්චල කල සිත නැවත අභ්‍යන්තර ස්කන්ධයන් ගේ ශුන්‍යතාව මෙනෙහි කරන්නට යොමු කල විට බොහෝ විට කර්මස්ථානය වැඩෙනු ඇත. එසේ නොවේ නම් නැවත ආපසු ධ්‍යාන සමාධිය වඩා සිත නිශ්චල කොට ඉන් පසු අභ්‍යන්තර ස්කන්ධයන්ගේ ශුන්‍යතාව විදර්ශනා කල යුතු වේ. එසේ කරන්නාවූ ඔහු තම සිත අභ්‍යන්තර ස්කන්ධයන්ගේ ශුන්යතාවයේ සිත පිහිටන අයුරු දකියි. ඔහු සිත ශුන්‍යතාවයට නොපැකිල පොලා පැන ගනී. (leaps), එහි එල්ලෙයි. ප්‍රීතිය විදී. හෙතෙම එවිට බාහිර වූ ස්කන්ධ පිළිබඳ සූන්‍යතාවය මෙනෙහි කරයි.. හෙතෙම තමාගේද අන්‍යයන්ගේද ස්කන්ධයන් පිළිබඳ සූන්‍යතාවය මෙනෙහි කරයි.

ආනන්දය, එසේ ඇති කල්හි භික්ෂුව මෙසේ දැනගනියි, “තම ස්කන්ධයන්ගේ සූන්‍යතාවය මෙනෙහි කරණ තමාගේ සිත තමා පිළිබඳ සූන්‍යතාවයේ බැසගනී. පහදී. . ස්ථිරව පිහිටාය”යි දැනගනී. මෙහිදී කර්මස්ථානය සම්පූර්ණ බවද දැනගනී.

හෙතෙම අන්‍යයන්ගේ ස්කන්ධ පිළිබඳ සූන්‍යතාවය මෙනෙහි කෙරේ. හෙතෙම තමාගේද අන්‍යයන්ගේද ස්කන්ධයන් පිළිබඳ සූන්‍යතාවය මෙනෙහි කෙරෙයි. අරූප සමාපත්තිය මෙනෙහි කෙරෙයි. අරූප සමාපත්තිය මෙනෙහි කරන්නාවූ ඔහුගේ සිත අරූප සමාපත්තියෙහි බැස ගනී. පහදී. . ස්ථීරව පිහිටයි. ලෞකියත්වයෙන් මිදෙයි.

§ 11. එසේ කරණ ඒ භික්ෂුවගේ සිත ඉදින් සක්මනට නැමෙයි නම් හෙතෙම සක්මන් කරයි. මෙසේ සක්මන් කරන ඔහුට අභිජ්ජාව අසතුට යන ලාමක අකුශල ධර්ම පහළ නොවන්නාහුය. එහිදී මෙසේ ඒ කර්මස්ථානය සම්පූර්ණයයි දැනගනියි.

ආනන්දය, මේ සමථ විදර්ශනා විහරණයෙන් යුක්තව වාසය කරණ භික්ෂුවගේ සිත ඉදින් සිටීමට නැමෙයි නම් හෙතෙම සිටගන සිටී. මෙසේ සිටින ඔහුට කලකිරීම්, ආසාවන් යන ලාමක අකුශල ධර්ම පහළ නොවන්නාහුය. මෙසේ එහිදී කර්මස්ථානය සම්පූර්ණයයි දැන ගනියි.

ආනන්දය, මේ විහරණයෙන් යුක්තව වාසය කරන ඒ භික්ෂුවගේ සිත ඉදින් පල්ලන්කයෙහි හිඳීම පිණිස නැමෙයි නම් හෙතෙම හිඳියි. මෙසේ හිඳින ඔහුට අභිධ්‍යා අසතුට ආදී ලාමක අකුශල ධර්මයෝ පහළ නොවන්නේය. මෙසේ එහිදී ඔහු සිය කර්ම ස්ථානය සම්පූර්ණයයි දැනගනී.

ආනන්දය, මේ අයුරින් සිත හැසිරවූ භික්ෂුවගේ සිත ඉදින් සැතපී සිටීමට නැමෙයි නම් හෙතෙම සැතපෙයි. මෙසේ වැතිරී සැතපෙන ඔහුට කලකිරීම්, ආසාවන් යන ලාමක අකුශල ධර්ම පහළ නොවන්නාහුය. මෙසේ එහිදී සිය කර්මස්ථානය සම්පූර්ණයයි දැනගනී“

§ 12. ආනන්දය, මේ විහරණයෙන් යුක්තව වාසයකරන ඒ භික්ෂුවගේ සිත ඉදින් කිසිවෙක් හා කථාවට නැමෙයි නම් හෙතෙමේ යම් කථාවක්1153 ලාමකද, ග්‍රාම්‍යද, පෘථග්ජනයන්ට අයත්ද, අනාර්‍ය්‍යද අනර්ථයෙන් යුක්තද, කලකිරීම පිණිස නොපවතීද, නොඇල්ම පිණිස පවතීද, නිරෝධය පිණිස නොපවතීද, කෙලෙස් සංසිඳීම පිණිස නොපවතීද, විශේෂ දැනීම පිණිස නොපවතීද, සම්‍යක් අවබෝධය පිණිස නොපවතීද නිර්වාණය පිණිස නොපවතීද, මෙබඳු කථා නොකරන්නෙමි”යි පිළිපදියි. හික්මෙයි.

[1153 එනම්: රජුන් පිළිබඳ කථාය, සොරුන් පිළිබඳ කථාය, මහ ඇමතියන් පිළිබඳ කථාය, සේනා පිළිබඳ කථාය, භය පිළිබඳ කථාය, යුද්ධ පිළිබඳ කථාය, ආහාර පිළිබඳ කථාය, පානවර්ග පිළිබඳ කථාය, වස්ත්‍ර පිළිබඳ කථාය සයන පිළිබඳ කථාය, මල්මාලා පිළිබඳ කථාය, සුවඳ පිළිබඳ කථාය, නෑයන් පිළිබඳ කථාය, යාන පිළිබඳ කථාය, ගම් පිළිබඳ කථාය, නියම්ගම් පිළිබඳ කථාය, නගර පිළිබඳ කථාය, ජනපද පිළිබඳ කථාය, ස්ත්‍රීන් පිළිබඳ කථාය, පුරුෂයන් පිළිබඳ කථාය, සුරා පිළිබඳ කථාය, වීථි පිළිබඳ කථාය, තොටුපලවල් පිළිබඳ කථාය, පෙර මළගියවුන් පිළිබඳ කථාය, නානත්වය පිළිබඳ කථාය, ලෝකය පිළිබඳ කථාය, (ලෝකය මැවීම) මුහුද පිළිබඳ කථාය, ශාස්වත උච්ඡෙද පිළිබඳ කථාය,]

මෙසේ මෙබඳු කථා නොකරන්නෙමියි පිළිපදියි. මෙසේ එහි කර්මස්ථානය සම්පූර්ණ වීයයි දැනගනී.

“ආනන්දය, යම් කථාවක් කෙලෙස් කපා හරින්නීද, සිය සිත අල්පෙච්චතාව පිණිස, සංසිඳීම පිණිස, ඇති දෙයින් සතුටුටට පත්වීම පිණිස, හුදෙකලාවේ ඉන්නට කැමති බව ඇති කිරීමට සුදුසුද, ඒකාන්තයෙන් කාමයන් කෙරෙහි කලකිරීම පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස, කෙලෙස් සංසිඳවීම පිණිස, විශේෂ දැනීම පිණිස, සත්‍යාවබෝධය පිණිස, නිර්වාණය පිණිස පවතීද,

[1154: එනම්:- මද දෙයින් සතුටුවීම පිළිබඳ කථාය, ලද පමණින් සතුටුවීම පිළිබඳ කථාය, විවේකය පිළිබඳ කථාය බොහෝදෙනා එකතු නොවීම පිළිබඳ කථාය, පටන්ගන්නා ලද වීර්‍යය පිළිබඳ කථාය, ශීලය පිළිබඳ කථාය, සමාධිය පිළිබඳ කථාය, ප්‍රඥාව පිළිබඳ කථාය, විමුක්තිය පිළිබඳ කථාය, විමුක්ති ඥානදර්ශනය පිළිබඳ කථාය, යන මේවාය. මෙසේ මෙබඳුවූ කථා කරන්නෙමිය ඔහු සිත නැමෙයි. මෙසේ එහි කර්මස්ථානය සම්පූර්ණයයි දැනගනී.]

§ 13 ආනන්දය, මේ විහරණයෙන් යුක්තව වාසයකරන ඒ භික්ෂුවගේ සිත ඉදින් විතර්කයට නැමෙයි නම් (සිතුවිලි ඇති වන්නේ නම්) හෙතෙම ලාමකවූ පෘථග්ජනයන්ට අයත්වූ පිළිබඳවූ ආර්‍යයන්ට අයත් නොවූ අනර්ථ සහිතවූ යම් මේ විතර්කයෝ වෙත් නම් (ඒවා) කලකිරීම් පිණිස නොපවතිත්ය, නොඇල්ම පිණිස නොපවතිත්ය, නිරෝධය පිණිස නොපවතිත්ද, සංසිඳීම පිණිස නොපවතිත්ද, විශේෂ දැනීම පිණිස නොපවතිත්ද, අවබෝධය පිණිස නොපවතිත්ද, නිර්වාණය පිණිස නොපවතිත්ද, ඒ නම් කාම විතර්කය, ව්‍යාපාද විතර්කය, විහිංසා විතර්කයයි යන මේවා යි.

මෙසේ මෙබඳු විතර්කයන් කල්පනා නොකරන්නේනෙමියි පිළිදියි මෙසේ එහිදී කර්මස්ථානය සම්පූර්ණයයි දැනගනී. (සම්මා සංකප්ප)

“ආනන්දය, යම් සිතුවිලි පිරිසිදු ද, නෛර්‍ය්‍යානික ද (නිවනට හේතුවන්නා වේද ) ඒ සිතන්නහුගේ දුක් ක්ෂය කරන්නහුද එනම්:- නෛෂ්ක්‍රම්‍ය විතර්ක, අව්‍යාපාද විතර්ක, අවිහිංසා විතර්ක යන මේවා යි. මෙසේ මෙබඳු සිතිවිලි පමණක් සිත පවත්වමි යැයි සිත නැමෙයි. මෙසේ එහි කර්මස්ථානය සම්පූර්ණයයි දැනගනී.

[අටුවාවට අනුව භාග්‍යවතුන් වහන්සේ $13 චේදය තෙක් සෝවාන් සකෘදාගාමි ඵල තෙක් සිත මෙහෙයවන අයුරු උගන්වන අතර 14 හා 15 හි අනාගාමි ඵලය තෙක් සිත නංවා කාමච්චන්දය දුරු කරන ශික්ෂාව දක්වයි.]

§ 14. “ආනන්දය, උපාදානස්කන්ධ යෝ පසකි.
කුමන පසක් ද යත්:

(i) රූපය : ඇසින් දැකිය හැකි වූ මනාප වූ ප්‍රිය වූ කැමති වන්නාවූ ආශාව වන්නා වූ රුපයෝ වෙත්.
(ii) ශබ්දයෝ: කනින් ඇසිය හැකි වූ මනාප වූ ප්‍රිය වූ කැමති වන්නාවූ ආශාව ඇති වන්නා වූ ශබ්දයෝ වෙත්.
(iii) ඝන්ධයෝ: නාසයෙන් විඳිය හැකි වූ මනාප වූ ප්‍රිය වූ කැමති වන්නාවූ ආශාව ඇති වන්නා වූ ඝන්ධයෝ වෙත්.
(iv) රස: දිවෙන් විඳිය හැකි වූ මනාප වූ ප්‍රිය වූ කැමති වන්නාවූ ආශාව ඇති කර වන්නා වූ රස වෙත්.
(v) ස්පර්ශයෝ: ශරීරයෙන් ලබත හැකි වූ මනාප වූ ප්‍රිය වූ කැමති වන්නාවූ ආශාව වඩවන්නා වූ ස්පර්ශයෝ වෙත්. මේ පස් ආකාර වූ කාම ගුණයන් වෙති.

§ 15. මේ සාසනයෙහි භික්ෂුවක් නිතොර නිතොර මේ පංච කාම ගුණයන්ගෙන් කිසිවක් නිසා මගේ සන්තානයෙහි කැළඹීමක් සෙලවීමක් වේද යනුවෙන් ප්‍රත්‍යාවෙක්ෂ කල යුතු වෙයි.

සිය සිත එසේ විමර්ශනය කල යුතු වෙයි. එසේ සලකන ඔහු සිය සන්තානයේ යම් සෙලවීමක් සමාධියේ යම් ගිලිහීමක් දකින්නේ වී නම් මේ කාම ගුණයන් පහ මා සිතෙන් පහව නැත්තේ යැයි ඔහු ප්‍රත්යාවෙක්ෂයෙන්ම දනියි. හොඳින්ම දනියි.

නමුත් එසේ ප්‍රතවෙක්ෂ කරත්දී සිය සන්තානයේ සෙලවීමක් සමාධියේ යම් ගිලිහීමක් නොදකින්නේ වී නම් මේ කාම ගුණයන් පහ මා සිතෙන් පහව ගොස් ඇත්තේ යැයි ඔහු ප්‍රත්යාවෙක්ෂයෙන්ම දනියි. හොඳින්ම දනියි.

§ 16. ආනන්දය, මේ පංච උපාදාන ස්කන්ධයන්ගේ1156 උදය, ව්‍යය භික්ෂුව විසින් මෙසේ නුවනින් දැකිය යුතු වේ. කෙසේද යත්:

[1156: §§16–17 දෙකෙහි අරහත් ඵල සාක්ෂාත් කරගන්නට අවශ්‍යවන අසමි මානය “මම” යන මමංකාරය නැතිකරගන්නට පාදකවන විදර්ශනාව දැක්වේ.]

රූපය : මෙසේය, රූපයේ පහළවීම (සමුදය) මෙසේය, රූපයේ විනාශය (අස්තන්ගමය) මෙසේය,
වේදනාව වින්දනය මෙසේය, විඳීම පටන්ගන්නේ මෙසේය, විඳීම නැතිවන්න මෙසේය,
සංඥාව මෙසේය, සංඥාවේ හටගැන්මට හේතු මෙසේය, සංඥාවේ විනාශය මෙසේය,
සංස්කාර මෙසේය, සංස්කාරයන්ගේ හටගැන්ම මෙසේය, සංස්කාරයන්ගේ විනාශය මෙසේය,
විඥානය මෙසේය, විඥානයන්ගේ හටගැන්ම මෙසේය, විඥානයන්ගේ විනාශය මෙසේයයි කියාය.

§ 17. මේ උපාදාන ස්කන්ධ පසේ ඇතිවීම සහ නැතිවීම නැවත නැවත දකිමින් වාසය කරන ඔහුට උපාදාන ස්කන්ධ පසෙහි මම වෙමි යන හැඟීම , පංචස්කන්ධය නිසා වූ අස්මිමානය ප්‍රහීණ වෙයි.

ආනන්දය, මෙසේ වූ කල්හි භික්ෂුව මෙසේ දැනගනී. මේ උපාදානස්කන්ධ පසේ මමය යන හැඟීමක් විය “මට දැන් මමය යන හැගීම ප්‍රහීනය“යි යනුවෙනි. මෙසේ එහි කර්මස්ථානය සම්පූර්ණය,යි දැනගනී.

§ 18 මේ ඵලයන් ඒකාන්තයෙන් කුශල් වශයෙන් පැමිණියාහ, කෙලෙස් රහිතයහ, ලෝකෝත්තරය. මාරයා විසින් නොදක්නා ලදහ.

§ 19. “ආනන්දය, ඔබ කෙසේ සිතන්නේද?

භාග්‍යවතුන් වහන්සේ විසින් එලවා පලවා හරින ලද්දේ මුත් ඔහු වෙතම රැදී ප්‍රතිපදාව හැදෑරීමට හැකි ශ්‍රාවකයා ගැන ඔබ කෙසේ සිතන්නේද?”

“ස්වාමීනි, අප දන්නා ධර්මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල්කොට ඇත්තෝ නොවෙත්ද, භාග්‍යවතුන් වහන්සේ වෙතින් මතුව ආවෝ නොවෙත්ද, භාග්‍යවතුන් වහන්සේ පිළිසරණකොට ඇත්තෝ නොවෙත්ද, මේ වචනයේ අර්ථයද භාග්‍යවතුන් වහන්සේම ප්‍රකාශ කරන සේක්වා. භාග්‍යවතුන් වහන්සේගෙන් අසා ගත් ලෙසම භික්ෂූහු ඒ දරාගන්නාහුය.”

§ 20. “ආනන්දය, සුත්‍ර ධර්ම ඉගෙනීමට, ගාථා ධර්ම ඉගෙනීමට, අන් ධර්ම ඉගෙනීමේ අදහසින් යම් ශ්‍රාවක යෙක් ශාස්තෘන් වහන්සේ කරා යන්නට නුසුදුසුය. මන්ද යත් :-

පැවිදිව බොහෝ කල් ගෙවුනාවූ ශ්‍රාවකයන් බොහෝ පර්යාප්ති ධර්මයෝ අසන ලද්දාහ. ධාරණය කරන ලද්දාහ. කට පාඩම් කරන ලද්දාහ. සිතින් සලකා බලන ලද්දාහ, ප්‍රඥා වෙන් අවබෝධ කරණ ලද්දාහ,

එහෙත් ආනන්දය, යම් කථාවක් කෙළෙසුන් අඩු කර හරින්නීද, සිත විනිශ්චය කිරීමට සුදුසුද ඒකාන්තයෙන් කලකිරීම පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස, උපසමය පිණිස, අභිඥාව පිණිස, සම්බෝධය ක්ලෙශයන්ගේ සංසිඳීම පිණිස, සම්පුර්ණ දැනීම පිණිස, සත්‍යාවබෝධය පිණිස, නිර්වාණය පිණිස පවතීද.
එනම්:-
මද දෙයින් සතුටුවීම පිළිබඳ කථාය (අල්පේච්ච කතා) ,
ලද පමණින් සතුටුවීම පිළිබඳ කථාය (සන්තුට්ඨි කථා),
විවේකය පිළිබඳ කථාය, (ප්‍රවීවේක කථා),
බොහෝදෙනා එකතුවීමේ ආදීනව පිළිබඳ කථාය (අසංසර්ග කථා),
වීරියාරම්භය පිළිබඳ කථාය ( වීරියාරම්භය කථා),
සීලය පිළිබඳ කථාය (ශිල කථා),
සමාධිය පිළිබඳ කථාය ( සමාධි කථා),
ප්‍රඥාව පිළිබඳ කථාය ( ප්‍රඥා කථා),
විමුක්තිය පිළිබඳ කථාය ( විමුක්ති කථාය),
විමුක්තිඥාන දර්ශනය පිළිබඳ කථාය ( විමුක්තිඥාන දර්ශන කථා),
යන මේවා යි.

ආනන්දය, මෙබඳු කථා අසාගන්නට කැමති ශ්‍රාවකයා වළක්වනලද නමුත් ආචාර්යයන් වහන්සේ වෙත යන්නට සුදුසුය.

§ 21. “ආනන්දය, එසේවුවද ආචාර්‍ය්‍යයාට උපද්‍රව ඇතිවෙයි.
එසේ ඇති කල්හි අතවැසියාට (ශිෂ්යයා)ට ද උපද්‍රව ඇතිවෙයි.
එසේ ඇතිකල්හි බ්‍රහ්මචර්‍යාව පිළිබඳ උපද්‍රව ඇතිවෙයි. 1157

[1157: ආචාරිය උපද්දව, අන්තේවාස උපද්දව , බ්‍රහ්මචරිය උපද්දව, උපද්දව යනු අන්තරාය, මනාප නොවූ ප්‍රතිපල ලෙස සලකන්න. ශුන්‍යත්වය පතා හුදෙකලාව ඉන්නා වූ ශ්‍රමණහු තනිව විසුවද හුදෙකලාවේ අරමුණ අමතක වුවහොත් මේ තෙආකාරවන අන්තරායනට ගොදුරුවිය හැකි බව දැක්වේ. මෙහි ආචාර්යවරයා භාග්‍යවතුන් වහන්සේ නොවන බව සලකන්න.]

§ 22 .“ආනන්දය, ආචාර්‍ය්‍යයා පිළිබඳ උපද්‍රව කෙසේ වේද?

ආනන්දය, මේ ලෝකයෙහි යම් ශාස්තෘවරයෙක්, ආචාරී කෙනෙක් ජනයාගෙන් තොරවූ කැලෑවක් , මහා වනයක්, ගස් බෙනයක්, ගුහාවක්, සුසාන භූමියක්, පිදුරු ගොඩක්, හිස් එලිමහනක් වෙත ගොස් වාසය කරයි. එසේ තපස් රකිනා ඔහු සොයා ගම වැසියෝද නගර වැසියෝද බමුණු බැමිනියෝද එන්නට පටන් ගනී. ඔහුට පිරිකර භව භෝග පුද කරත්. එසේ වූ විට ඔහුගේ ආසාවෝ මතුවෙති. ක්ලේශයෝ ඔහු යටත් කර ගනී. තෘෂ්ණාවෙන් ඔහුව මැඩගෙන ඔහුට සිය කාර්‍ය අමතක කරවයි. පිළිවෙත් පිරීම ඔහුට අමතක වේ.

මේ (අනතුරට) උපද්දවයට පත් ආචාර්‍ය්‍යයා යයි කියනු ලැබේ. සිතෙහි කෙලෙසීම ඇතිකරණ, නැවත ඉපදීම ඇතිකරණ, විඩා ඇතිකරණ, දුක් විපාක ගෙන දෙන, මත්තෙහි ජරා මරණ ඇති කරවන, ලාමක අකුශල ධර්මයෝ ආචාර්‍ය්‍ය උපද්‍රවයෙන් ඔහු වැනසූහ. ආනන්දය මෙසේ ආචාර්‍ය්‍ය උපද්‍රවය වෙයි.

§ 23 “ආනන්දය, අතවැසි උපද්‍රවය කෙසේ වේද?

ආනන්දය, යම් ශ්‍රාවක අතවැසි කෙනෙක්, ගෝලවූ ශ්‍රමණයෙක් ඒ ශාස්තෘවරයා අනුව විවේකය වඩන්නේ ජනයාගෙන් තොරවූ කැලෑවක් , මහා වනයක්, ගස් බෙනයක්, ගුහාවක්, සුසාන භූමියක්, පිදුරු ගොඩක්, හිස් එලිමහනක් වෙත ගොස් වාසය කරයි. එසේ තපස් රකිනා ඔහු සොයා ගම වැසියෝද නගර වැසියෝද බමුණු බැමිනියෝද එන්නට පටන් ගනී. එසේ වූ විට ඔහුගේ ආසාවෝ මතුවෙති. ක්ලේශයෝ ඔහු යටත් කර ගනී. තෘෂ්ණාවෙන් ඔහුව මැඩගෙන ඔහුට සිය කාර්‍ය අමතක කරවයි. පිළිවෙත් පිරීම ඔහුට අමතක වේ.

ආනන්දය, මෙතෙම උවදුරට පැමිණි අතවැසියායයි කියනු ලැබේ. කෙලෙසීම ඇතිකරණ, නැවත ඉපදීම ඇතිකරණ, දුක් විපාක ඇති, මතු ජාති ජරා මරණ ඇතිවන, ලාමක අකුශල ධර්මයෝ අතවැසි උවදුරෙන් යුත් ඔහු මැරූහ. ආනන්දය, මෙසේ අතවැසි උපද්‍රවය වෙයි.

§24 ආනන්දය, බ්‍රහ්මචාරී උපද්‍රවය කෙසේ වේද?

ආනන්දය, මේ ලෝකයෙහි අර්හත්වූ සම්‍යක් සම්බුද්ධවූ අෂ්ට විද්‍යා පසළොස් චරණ ධර්මයන්ගෙන් යුත්, මනා ගති ඇති, තුන්ලොව දත්, නිරුත්තර, දමනය කළයුතු පුරුෂයන් දමනය කරන්නාවූ, දෙවිමිනිසුන්ට අනුශාසකවූ, චතුරාර්‍ය සත්‍යය අවබෝධ කළ භාග්‍යවත් තථාගත තෙමේ පහළ වෙයි.

ඒ තථාගතයන් ජනයාගෙන් තොරවූ කැලෑවක් , මහා වනයක්, ගස් බෙනයක්, ගුහාවක්, සුසාන භූමියක්, පිදුරු ගොඩක්, හිස් එලිමහනක් වෙත ගොස් වාසය කරයි. එසේ තපස් රකිනා තථාගතයන් සොයා ගම් වැසියෝද නගර වැසියෝද බමුණු බැමිනියෝද එන්නට පටන් ගනී. එසේ පැමිණි කල්හි තථාගතයන් මුළා නොවෙයි. තෘෂ්ණා වශයෙන් කැමති නොවෙයි. දැඩි ඇල්මට නොපැමිණෙත්. ප්‍රත්‍ය බහුලත්වයට නොපෙරළෙයි.

“ආනන්දය, තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක කෙනෙක් ද ඒ තථාගතයන් වහන්සේ අනුව විවේකය වඩන්නේ, ජනයාගෙන් තොරවූ කැලෑවක් , මහා වනයක්, ගස් බෙනයක්, ගුහාවක්, සුසාන භූමියක්, පිදුරු ගොඩක්, හිස් එලිමහනක් සේවනය කරයි. එසේ විවේකව වාසය කරන ඔහු වෙතට බ්‍රාහ්මණ ගෘහපතියෝද, නියම්ගම් වැසියෝද, දනව් වැස්සෝද පැමිණෙත්. හෙතෙමේ බ්‍රාහ්මණ ගෘහපතියන්ද, නියම්ගම් වැසියන්ද, දනව් වැසියන්ද පැමිණි කල්හි මූළාවෙයි. තෘෂ්ණා වශයෙන් කැමති වෙයි. දැඩි ඇල්මට පැමිණෙයි. ප්‍රත්‍ය බහුල බවට පෙරළෙයි.

“ආනන්දය, මෙතෙමේ උවදුරට පත් බ්‍රහ්මචාරියෙක් යැයි කියනු ලැබේ, කෙලෙසීම ඇතිකරණ, නැවත නැවත ඉපදීම් ඇතිකරණ, විඩා ඇතිකරණ, දුක් විපාක ඇති, මතු ජාති ජරා මරණ ඇතිවන, ලාමක අකුශල ධර්මයෝ බ්‍රහ්මචාරී උපද්‍රවයෙන් යුත් ඔහු වැනසූහ. ආනන්දය, බ්‍රහ්මචාරී උපද්‍රවය මෙසේ වෙයි.“

ආනන්දය, යම් ආචාර්‍ය්‍ය උපද්‍රවයක් වේද, යම් අන්තෙවාසික උපද්‍රවයක් වේද, මේ බ්‍රහ්මචාරී උපද්‍රවය ඒ දෙකටම වඩා අතිශයින් දුක් විපාක ඇත්තේය, අතිශයින් දැඩි නපුරු විපාක ඇත්තේද වෙයි. බොහෝ කල් නිරයෙහි ඉපදීම පිණිස පවතී. 1158

[1158: සම්බුද්ධ සාසනයෙන් පිට අන් සසුනක පැවිදි වන්නට කෙසේ දැඩිව ඒ පිළිවෙත පිරුවත් ලැබෙනුයේ අල්ප වූ ඵලයකි. එසේ ලද අල්ප ප්‍රතිඵලයෙන් පිරිහුනද එය දැඩි ලෙස ඔහුට නපුරක් නොවේ. මේ ආර්ය සාසනයෙහි පැවිදි වන්නා ඉතා මහත් ඉතා ප්‍රනීතවූ ප්‍රතිඵල ඇති එකක් වේ. එහෙයින් මේ සාසනයේ බ්‍රහ්මචාරී උපද්‍රවයට පත් වන්නා බොහෝ දුකටම බොහෝ විශාල වූ අනතුරටම පත් වේ. සෙමින් යන කොටලුවෙකුගේ පිට යන්නෙකු බිමට වැටුනහොත් වෙන තුවාල අල්පමුත් වේගයෙන් දිව යන අශ්වයෙකුගේ පිටින් වැටුන හොත් ලබන තුවාල බිඳුම් බොහෝ වැඩි ලෙසය.]

§ 25. ආනන්දය, එහෙයින් මිත්‍රභාවයෙන් තථාගතයන් ආශ්‍රය කරව්. සතුරුකමින් ආශ්‍රය නොකරව්. එය තොපට බොහෝ කලක් හිත පිණිස, සැප පිණිස වන්නේය.
කෙසේ නම් ශ්‍රාවකයෝ ශාස්තෘන් වහන්සේ සතුරුකමින් ඇසුරු කෙරෙත්ද? මිත්‍රභාවයෙන් ඇසුරු නොකෙරෙත්ද?

“ආනන්දය, සිය ශ්‍රාවකයන්ගේ යහපත පිණිසම ඔවුන් කෙරෙහි පතල මහා කරුණාවෙන් තථාගතයන් ඔවුනට ධර්මය දේශනා කෙරෙයි.

ආනන්දය, මේ ශාසනයෙහි ශාස්තෘන් වහන්සේ අනුකම්පා ඇතුව, හිතවත්ව, මෙය තොපට හිත පිණිසය, මෙය තොපට සැප පිණිසයයි අනුකම්පාවෙන් ශ්‍රාවකයන්ට දහම් දෙසයි. උන්වහන්සේගේ දේසනා ඇසීමට ශ්‍රාවකයෝ කැමති නොවෙත්. ඒවාට කන් යොමු නොකෙරෙත්. දැනීම පිණිස සිත නොපිහිටුවත්. ශාස්තෘ ශාසනයෙන් බැහැරව සිත පවත්වත්.

ආනන්දය, මෙසේ වූ ශ්‍රාවකයෝ ශාස්තෘන් වහන්සේට සතුරුව හැසිරෙත්. මිත්‍රත්වයෙන් ඇසුරු නොකරත්.

§ 26. “ආනන්දය, කෙසේ නම් ශ්‍රාවකයෝ ශාස්තෘන් වහන්සේ මිත්‍රත්වයෙන් ඇසුරු කරත්ද? සතුරුකමින් ඇසුරු නොකෙරෙත්ද?

ආනන්දය, තථාගතයන් ශ්‍රාවකයන්හට අනුකම්පා ඇතියේ ඔබට හිතවත්ව මේ තොපට හිත පිණිස, සැප පිණිස යයි අනුකම්පාවෙන් ශ්‍රාවකයන්හට දහම් දෙසයි. උන්වහන්සේගේ ශ්‍රාවකයෝ එය අසනු කැමති වෙති. කන් යොමත්. දැනීම සඳහා සිත පිහිටුවත්. ශාස්තෘ ශාසනයෙන් ඉවත් නොව එහිම පවතිත්.

ආනන්දය, ශ්‍රාවකයෝ මෙසේ ශාස්තෘන්වහන්සේ මිත්‍රත්වයෙන් ඇසුරු කෙරෙත්. සතුරුකමින් ඇසුරු නොකරත්.

ඒ නිසා මිත්‍රත්වයෙන් මා ආශ්‍රය කරව්. සතුරුකමින් ආශ්‍රය නොකරව්. එය තොපට බොහෝ කලක් හිත පිණිස, සැප පිණිස පවත්නේය. ආනන්දය, කුඹල්කරුවෙක් සිය කර්මාන්තට ගෙන ආ මැටි ගුලියට කරන්නාක් මෙන් නිතරම නුඹලා වළක්වමින් ඒ මේ අත හරවමින් මම නුඹලා නොහික්මවමි 1159 . එනමුත් අවශ්‍යවූ තැන නුඹලා වලක්වමින්ද, වරදක් දුටු කල එය නිවරද කරන්නට දැඩිව අවවාද කරමින්ද නුඹලාට යා යුතු මගෙහි යාමට මම යලි යලිත් උපදෙස් දෙමි.

[1159: මේ උපමාව මෙසේ වටහා ගනු වටි. අමු මැටි අනමින් තවමින් කුඹලා ඕනාකරන හැඩය ලැබෙන තුරු මැටි ගුළිය තලයි. වරක් උපදෙස් දුන් පසු තථාගතයන් ශ්‍රාවකයා නොසලා නොසිටියි. ඔහුට ඵලයක් ලැබෙන තුරුම නැවත නැවත ඔහු ට උපදෙස් දේ. හික්මවයි. කලාතුරකින් ඇදව ගිය නොපිලිස්සුනු භාණ්ඩ වේ නම් ඒ ඉවත් කරන්නටද කුඹල් කරු මැලි නොවන්නා සේ තථාගතයන් ද ශ්‍රාවකයන් පරික්ෂා කරයි.]

නිබඳවම බොහෝ වර මම නිග්‍රහ කොට කොට හෝ , දොෂයන් හැර හැර, නැවත නැවත අවවාද කරන්නෙමි. එය තොපට යහපත පිණිසම වන්නේය.

භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රය වදාළසේක. ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව සතුටින් පිළිගත්තේය.

PLEASE CLICK ABOVE TO READ ENGLISH VERSION

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.